හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

04 July 2016

අපිට ගැහුවා - අපිත් ගැහුවා (පළමුවැනි කොටස)

   ඌ මට ගහනවා මට ඌ ගහනවා වගේ කතාවක් කියලද හිතුවේ? නෑ නෑ, මේක ඊට වඩා බොහොම භයානක කතාවක්. මට නම්, මැරෙනතුරු  මතකයෙන් නොගිලිහෙන කතාවක්. ඒ තමයි, ඊලාම් යුද්ධයේදී බංකර් ආශ්‍රිතව කෙරුණු සටන්. 

   බංකර් යුද්දෙට යන්න කලින්, ඔබට පොඩි න්‍යායාත්මක දැනුමක් දෙන්න වෙනවා. එහෙම නැතුව මේ කතාව ඉදිරියට ගෙනියන්න අමාරුයි. 

   ඔබ දන්නවනේ යුද්ධයකදී සතුරාට පහරදීම සඳහා, යුද හමුදාවක්, සතුරා සිටින ස්ථාන සොයා භූමියේ ගමන් කරන බව. යුද න්‍යායේදී මෙය හඳුන්වන්නේ, ඉදිරියට යාම හෙවත් Advance කියලයි. ඉදිරියට ගිහින්, සතුරා මුණගැහුනම, සටන් කරනවා කියලා, අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ඒ අවස්ථාව හඳුන්වන්නේ, ප්‍රහාරය හෙවත් Attack කියලයි. 

   අපි හිතමු, සතුරාට පහරදී, යම් භූමි ප්‍රදේශයක් අපි අල්ලාගත්තා කියා. දැන්, මේ භූමියේ සිට කලයුතු වැඩේ තමයි, ඊළඟ සටන්කාරී පියවර සඳහා  සූදානම් වීම හෙවත්, සටනේදී අපිට සිදුවූ හානි තක්සේරු කර, අඩුපාඩු සම්පූර්ණ කරගැනීම ඇතුළු සියලු ප්‍රතිසංවිධාන කටයුතු සිදුකිරීම. එය හඳුන්වන්නේ Reorganise  කියලයි. 

   ප්‍රතිසංවිධාන කටයුතු සතුරාගේ, ප්‍රති ප්‍රහාර මධ්‍යයේ කරන්නට බැහැ. ඒ සඳහා අපි ආරක්ෂාකාරීව සටන් බිමේ රැඳී සිටිය යුතුයි. මේ විදිහට යුදබිමේ යම් ප්‍රදේශයක් අල්ලාගෙන අපේ පාලනය යටතේ පවත්වාගැනීම හඳුන්වන්නේ ආරක්‍ෂාව හෙවත් Defence යනුවෙන්. වෙනත් විදිහකින් කියනවානම් යුද්ධයකදී පියවර හතරක් ඔස්සේ තමයි ක්‍රියාකරන්නේ. මේ ගැන මම මීට පෙරත් ඔබට කියාදී තිබෙනවා. අද ලිපියෙන් මේ ආරක්‍ෂාව Defence ගැන වෙනත් මානයකින් බැලීමයි කෙරෙන්නේ.  

   ඇත්තෙන්ම ආරක්‍ෂාව යන්න යුද පුහුණුවේදී විශේෂ වැදගත්කමක් සහිත විෂයයක්. ආරක්‍ෂාව කියන්නේ කටුකම්බි වැටවල්, මාර්ග බාධක, සැර විදුලි පහන්, හැම වෙලාවේම සූදානම්ව සිටින සොල්දාදුවන්, බරඅවි, විතරක් නෙවෙයි. ඊට වඩා සියුම් මූලධර්ම ඔස්සේ තමයි, ආරක්‍ෂක ප්‍රදේශයක් පවත්වාගෙන යන්නේ. යුද බිමක තමන්ගේ පාලනය යටතේ තියන ඉදිරි සීමාව හඳුන්වන්නේ, 'ඉදිරි ආරක්ෂක ප්‍රදේශය Forward Defended Locality = FDL' යනුවෙන්. 

   යුද්ධය විද්‍යාවකට වඩා කලාවක්. Art of War කියලා තමයි, යුද පුහුණුවේදී කියන්නේ. සියුම්ව සිතාබලා ගතයුතු පියවර බොහොමයි. සමහරවිට, එක සෙනෙවියෙක්, සොල්දාදුවන් 1000 ක් යොදවා පරාජය වන සටනක්, තවත් සෙනෙවියකු විසින්, සොල්දාදුවන් 100 ක් යොදවා ජයගන්න පුලුවන්. 'සිංහයකු විසින් අණදෙන ඔටු හමුදාවකට, ඔටුවකු විසින් අණදෙන සිංහ හමුදාවක් පරාජය කලහැකියි' කියා කියමනක්, හමුදාවේ තියනවා. 

   මේ ලිපියෙන් මම ආරක්‍ෂාව නමැති ගැඹුරු විෂයය විස්තර කරන්නට බලාපොරොත්තුවන්නේ නැහැ. එය වෙනම ලිපියකින් හෝ දෙකකින් පසුව විස්තර කරන්නම්. 

   ඊලාම් යුද්ධයේ මුල් අවධි වලදී LTTE ත්‍රස්තවාදීන්, අපේ හමුදාවේ බංකර් වලට පහරදී මහා විනාශයන් කල බව ඔබ දන්නවා ඇති. සමහර ප්‍රහාර කොතරම් දරුණු වූවාදැයි කිවහොත්, බංකර්වල සිටි අපේ සෙබළුන්ගේ බෙල්ල කපා, හිස රැගෙන ගිය අවස්ථා තිබුණා. මුල් අවධියේදී, අත්දැකීම් අඩුකම, අපේ අවාසියට හිටියා. ඒ කාලයේ, ත්‍රස්තවාදීන් අපට පහර දුන් එක ක්‍රමයක්, පහත රූපයෙන්, මා ඔබට විස්තර කරනවා. 


   මේ රූපයේ, කළු පැහැති කොටු වලින් පෙන්වන්නේ, යුද බිමේ අපි සකසා තිබුණු බංකර් පේලියකින් බංකර් හතරක්. මෙම බංකර් දෙකක් අතර පරතරය මීටර් 50 ක් පමණ වුණා. රූපයේ තිබෙන, ඉදිරි ආරක්‍ෂක පෙදෙස කියන අකුරු පේලිය සහිත පැත්තට මුහුණ ලා තමයි, බංකර් වල සොල්දාදුවන් ඉන්නේ. මේ බංකර් පේලියට මීටර් 100 ක් පමණ හෝ ඊටත් වඩා පසුපසින් තමයි, අණ දෙන්නන්ගේ බංකර් සකසා තිබුණේ. ඉදිරි ආරක්ෂක පෙදෙස කියන භූමියේ එතරම් බාධක (බිම් බෝම්බ/ක්ලේමෝ බෝම්බ/ට්‍රිප් ෆ්ලෙයාර්ස්/ජම්පිං මයින්ස්) යොදවා තිබුනේ නැහැ. කොන්සර්ටිනා වයර් හෝ කටුකම්බි පමණයි තිබුණේ. 


 අනික් එක, ඒ කාලේ අපි බංකර් ගැහීමේ විශේෂඥයන් වෙලා හිටියේ නැහැ. මෙන්න මේ රූපයේ පෙන්නනවා වගේ, යන්තම් වැලි ගෝනි, ටකරං, පස්, දාලා අටවාගත්තා. අද්දැකීම් ලැබෙන්න ලැබෙන්න, ඒ කියන්නේ, අපිට වන හානිය, මරණ, තුවාල, වැඩිවෙන්න වැඩි වෙන්න තමයි, කොහොමද ඒ තත්වයට මුහුණ දෙන්නේ කියලා ඉගෙනගත්තේ. ඒ කාලේ සොල්දාදුවෝ, තමන්ගේ සබ්බ සකල මනාවම, ඔය බංකර් වලට ගෙනිහින් තියාගෙන හිටියා. ඉතිං බෙල්ල කපාගෙන යන ගමන්, අර සොල්දාදුවන්ගේ බෑග්වල තිබුණු පඩි සල්ලි ටිකටත් කෙළලා යන්න, LTTE කාරයන්ට පුළුවන් වුණා. ඔය හේතුව වගේම, නිවාඩු යන සොල්දාදුවෝ, අනුරාධපුරය සහ කොළඹ යන නගර වලදී, ගණිකාවන්ට, බීමට, මුදල් වියදම් කර, අතේ සතේ නැතුව ගෙදර යාම වළක්වාගන්න, වැටුප, තම කලත්‍රයා සමග ආරම්භ කරන හවුල් ගිණුමකට බැර කරන්න, හමුදා මූලස්ථානය විසින් ක්‍රියාකළා.  

   හොඳයි, ආයෙත් බලමු අර ඉහත රූපය. ඒ කාලේ LTTE කාරයෝ කලේ, රෑට එකවර ඔය බංකර් පේළියක තියන බංකර් හතරක් පහක් ඉලක්ක කරගනිමින්, මහා වෙඩි වරුසාවක් එවීමයි. එම වෙඩි එල්ල වෙන්නේ, බංකරයේ වහල මට්ටමට ටිකක් පාතින්. වෙන වචන වලින් කියනවා නම්, උන්ගේ එක පිරිසකට බිම දිගේ බඩගාගෙන බංකර් ළඟට යන්න තරම් ඉඩ තියලා, ඊට ඉහලින් තමයි අනික් පිරිස වෙඩි තියන්නේ. 

   1 ඉලක්කම් වලින් පෙන්නේන්නේ අන්න ඒ කොටසයි. ප්‍රහාරයේ පළමුවැනි පියවර තමයි ඒ. 

  අංක 2 මගින් පෙන්වන්නේ  අර බඩගාගෙන එන එවුන්, බංකර් අතරෙන් රිංගීමයි. අපේ අයගේ අවධානය යොමුවෙන්නේ වෙඩි තියන එවුන් ගැන විතරයි. මුන් වෙඩි තියන්නේ නැතුවයි බඩගාගෙන එන්නේ. 

   3 වැනි පියවරේදී, මුන් අපේ බංකර් වල පිටිපස්සෙන් ඇවිත්, උන්ට පස්ස හරවා, ඉදිරි භූමියේ සිට වෙඩි තියන එවුන් එක්ක සටන් කරන සොල්දාදුවන්ට, ළඟටම ගිහින් වෙඩි තියනවා. බෙලි කපාගන්නවා, සල්ලි අරගන්නවා, ගෙනියන්ඩ පුළුවන් හැම දෙයක්ම අරන් යනවා.

   4 වැනි පියවරේදී ඔවුන් කෑගහලා කියනවා, ඉදිරි භූමියේ සිට වෙඩි තියන එවුන්ට, 'වැඩේ හරි, වෙඩි තියන එක නවත්තපල්ලා' කියලා. ඊට පස්සේ මුන් ආපහු දුවලා යනවා. කොහොමද වැඩේ? 

   හොඳයි, ඉතිං කොහොමද මේ තත්වය අපි ජයගත්තේ? එය ඉතා වෙහෙසකර, දුක්බර, අද්දැකීම් සමුදායක්. අදම කිව්වොත් කිසි ගතියක් නැහැ නේද? ඊ ළඟ කොටසෙන් කියන්නම්? තරහ ගියාද? එහෙනම් ඔන්න ඔය තදවීම අඩුවෙන්නත් එක්ක, බලන්නකෝ මම ඉරිදා ලියපු ලිපිය.

2016 ජූලි මස 04 වැනි දින 0014 පැය 

45 comments :

  1. ඉක්මනටම දාන්න විචා

    ReplyDelete
    Replies
    1. හරි. ලියන්න පට්ටා.........න් ගත්තා.

      Delete
  2. සිංහයකු විසින් අණදෙන ඔටු හමුදාවකට, ඔටුවකු විසින් අණදෙන සිංහ හමුදාවක් පරාජය කලහැකියි' /////// +++++

    ReplyDelete
    Replies
    1. Do camels live in the same habitat as lions? Unlikely, unless humans there.

      Delete
    2. @ ඇණයා. This is only a saying. The real meaning is, a clever Commander can defeat, a strong army, with the proper utilasation of less trained group of soldiers, using with more effective battle tactics.

      Delete
    3. නේවි එකේ ඕක තව විදියකට කියනවා.. there are no bad sailors .. only bad officers..

      Delete
  3. තෑන්ක් යු විචා. ඉතුරු ටිකත් ඉක්මනට ලියන්ට හිටන්..😜 ජය වේවා..!!

    ReplyDelete
  4. මේ ලිපි අපටත්, අපේ ඉදිරි පරම්පරා වලටත් බොහොම වටිනවා...ඔබට බොහොම ස්තුතියි...

    ReplyDelete
    Replies
    1. අනාගතයේදීත් කියවන්න හැකිවන විදිහට සංරක්‍ෂණයක් තමයි කරන්නේ.

      බොහොම ස්තුතියි.

      Delete
  5. කාට කාටත් කියවන්න හොඳ ලිපියක්...

    බිහිසුනු තත්ත්වයක්.. ඊලඟ කොටස ඉක්මනින්ම දාන්න..

    ReplyDelete
    Replies
    1. ඔව් සමහර අයට දැන් අමතකයි යුද්දයක් තිබුනද කියලාවත්. මම කියන්නේ නැහැ හැමදාම ඒවා මතක් කරන්න ඕනේ කියලා. නමුත් ඉතිහාසය අමතක කිරීම පිරීහීමේ ලක්ෂණයක්.

      Delete
  6. මේ පෝස්ටුව සිතුවම් පෙලක් මෙන් සිත් කාවදිනවා විචාරක තුමා. අන්තර් ගතයේ වටිනාකම ඉදිරිපත් කිරීමෙ කලාත්මක බව අතර තරගයක යෙදෙනවා වගේ

    ReplyDelete
    Replies
    1. බොහොම පරිස්සමෙන් තමයි මේ වගේ ඒවා ලියන්න වෙන්නේ ගුණසිංහ මහත්තයෝ. සමහර රහසිගත කරුණු මගහරිමින් ලිවීම බොහොම දුෂ්කර අභ්‍යාසයක්.

      Delete
  7. මේ වගේ යුධ කතන්දර වෙන කාගෙන් බලාපොරොත්තු වෙන්නද ඉතිං. නියමයි විචාරක තුමා... band of brothers කතා මාලාවේ එක තැනක දුර්වල නායකත්වය නිසා සොල්දාදුවෙක් යාලුවෙක්ට "i would not follow this man into combat"කියල කියනව මතකයි. ඔය අර සිංහ ඔටු කතන්දරේම තමා..

    ReplyDelete
    Replies
    1. සෑම යුද හමුදාවකම පාහේ සිංහයන් මෙන්ම ඔටුවන්ද ඉන්නවා. ඒ ඒ අය ගැලපෙන තැනට දාගත්තම යුද්දේ හරියට කරන්න පුළුවන්.

      Delete
  8. Sir Sorry for using english.if our fdl lost in a battle what may be the actions of second defended locality??

    ReplyDelete
    Replies
    1. Your question will be answered at the next part of this post. We have faced the situation by increasing the depth of the FDL.

      Delete
  9. බලන්නකෝ මෙච්චර යුද්ධයක් වෙච්ච රටක ඉදලත් අපි ඒව නොදන්න හැටි, ඉතුරුවා ඉක්මනට දාන්ටෝ.
    ඔන්න මම ඔතන හිටිය නම් අර පුපුරන එකක් බංකරේ අටෝලා කෑම්ප් එකට දුවනවා, සෙන්ටර් කැම්ප් පොලීසියේ අයනම් දිව්වේ කුඹුරු මැද්දෙන්, ඒ කාලේ එහේ මිනිස්සු හී හාන්නැතුව වපුරන්නේ,වපුරන්න කාලේ ආවම දවසක් දෙකක් රෑට රතිඤඤා පත්තු කරනවා, එච්චරයි.

    ReplyDelete
    Replies
    1. දුවලා යුද්දෙන් බේරෙන්න හදන්නේ;

      1. හොඳ පුහුණුවක් නැති අය.

      2. හොඳ අණදීමක් යටතේ නැති අය.

      3. යුද්ධයට සූදානම්ව නොසිටින අය.

      4. යුද්ධයේ මූලධර්ම නොදන්නා අය.

      පොලීසිය යුද්ධයට යැවීමේ අපරාධය, අදටත් නරක ප්‍රතිඵල දෙනවා.

      Delete
  10. ඊලඟ කොටස කියවන්න බලං ඉන්නවා
    ජයවේවා !
    එකම පෝස්ට් එක දෙපාරක් වැටිල නේද :)

    ReplyDelete
    Replies
    1. ඊළඟ කොටස දැන් ලියවෙමින් පවතිනවා.

      පොඩි සංස්කරණයක් කරන්න ගිහින් තමා එකම ලිපිය දෙවරක් පළවුණේ. එකක් මකා දැම්මා.

      Delete
  11. දැං අපි පෝස්ට් දෙකටම කොමෙන්ට් කරන්න ඕනද?

    මාර ගේම් නෙ. බලමු ඉතුරු ටිකත්.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, දෙවරක් වැටිච්ච එක පොඩි 'මුද්‍රණ දෝෂයක්' එකක් මැකුවා. හැබැයි ඒකෙ තිබුන හරීගේ කමෙන්ට් එකත් නැතිවුනා. දැන් ඕකා මගේ ඔලුව කයි.

      ඉතුරු ටික ඉක්මනින් දෙන්නම්.

      Delete
  12. කෝ දැන් ඔය හමුදාවෙ හිටපු ඔටුව ?

    ReplyDelete
    Replies
    1. ඌ දැන් බ්ලොග් ලියනවා.

      Delete
  13. Replies
    1. බලාගෙන, බෙල්ල කපන එවුන් ඔය පැත්තෙත් ඇති.

      Delete
  14. උන් මාර ගේම්නෙ ගහල තියෙන්නෙ.....

    ReplyDelete
    Replies
    1. ඔව් මුල් කාලේදී මාර ගේම්. නමුත් පස්සේ පස්සේ ගේම උන්ටම ආපහු කැරකුනා.

      Delete
  15. ලස්සන මෙන්ම හරවත් කතාවක්. දෙවෙනි එක බලන්න නොඉවසිල්ලෙන් ඉන්නවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සමරෙ. දෙවැනි කොටස ලියමින් පවතිනවා.

      Delete
  16. වැදගත් ලිපියක්...සාර්ථකව මුහුණ දුන් විදිහත් ඉක්මනට දාන්න...

    ReplyDelete
    Replies
    1. හැකි ඉක්මනින් දෙන්නම්.

      Delete
  17. @ Nut Man,
    http://www.wilderness-safaris.com/blog/posts/10-fascinating-facts-desert-adapted-lion

    විචාරක ,

    මං අහල තියෙන්නෙ ඔටුවො නෙමෙයි බැටළුවො/මුවෝ /ගෝන්නු කියල

    "I should prefer an army of stags led by a lion, to an army of lions led by a stag." Attributed to Chabrias

    "I am not afraid of an army of lions led by a sheep; I am afraid of an army of sheep led by a lion." Attributed Alexander the Great

    "Greater is an army of sheep led by a lion, than an army of lions led by a sheep." Attributed to Daniel Defoe

    "I am more afraid of one hundred sheep led by a lion than one hundred lions led by a sheep". Attributed to Charles Maurice de Talleyrand-Périgord

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ, වෙනත් බොහෝ මෙවැනි කියමන් වගේ, මේ කියමනත්, රටෙන් රටට, සමාජයෙන් සමාජයට, යම් යම් වෙනස්කම් සහිතව කියවෙනවා ඇති. අපේ හමුදාවේ කියවෙන විදිහයි මම දැම්මේ.

      Delete
  18. යුද්ධෙ තදට තියෙන කාලෙ අපි ඒක හරියට දැනෙන වයසක උන්නෙ නෑ.. මේවා කියවද්දි තමයි ඒ යුද්ධෙ භයානක කොටස දැනෙන්නෙ විචා...

    ReplyDelete
    Replies
    1. මීට වඩා සංවේදී තොරතුරු මගේ මතකයේ තිබුනත්, පරණ තුවාල පාරවන්න අකමැති නිසා, ඒවා ගැන කතාකරන්නේ නැහැ.

      Delete
  19. ගොඩබිම ආරක්ෂක රාජකාරී කිහිපයකම යෙදිලා හිටියත් කවදාවත් බංකර් එකක් හදන්න දායක වෙලා නෑ කියල මතක් උනේ මේක කියෙව්වම.. සක්.
    අපේ පඩියත් පස්සේ කාලෙක බැංකුවට යවන්න ගත්තා. හැබැයි එතකොට කියුවේ සප්ලයි ඔෆිසර්ට පඩි බේරන එක අමාරුයි කියල.. අනික කලත්‍රයා එක්ක ජොයින්ට් අකවුන්ට් ඉල්ලුවෙත් නෑ. මොනවා උනත් කියුවා වගේ ඒකෙන් ගෙදර යනකොට කීයක් හරි අතේ ඉතුරු උනා. ATM කාඩ් ආපු එකෙන් පස්සේ ආපහු කෙලවුනා.. හැක් .

    ReplyDelete
  20. ගරිල්ලා ප්‍රහාර වල වාසිය තමයි නේද සෑර්? අඩු වියදම. වැඩිම හානිය..
    ජයවේවා..!!

    ReplyDelete
  21. //'සිංහයකු විසින් අණදෙන ඔටු හමුදාවකට, ඔටුවකු විසින් අණදෙන සිංහ හමුදාවක් පරාජය කලහැකියි'// niyama kathava

    ReplyDelete
  22. // ඒ කාලේ අපි බංකර් ගැහීමේ විශේෂඥයන් වෙලා හිටියේ නැහැ. මෙන්න මේ රූපයේ පෙන්නනවා වගේ, යන්තම් වැලි ගෝනි, ටකරං, පස්, දාලා අටවාගත්තා. අද්දැකීම් ලැබෙන්න ලැබෙන්න, ඒ කියන්නේ, අපිට වන හානිය, මරණ, තුවාල, වැඩිවෙන්න වැඩි වෙන්න තමයි, කොහොමද ඒ තත්වයට මුහුණ දෙන්නේ කියලා ඉගෙනගත්තේ.//

    මෙන්න මේ කාරණය නිසා තමයි ලෝකයේ බොහෝ සොයාගැනීම් වලට මග පෑදිලා තියෙන්නේ. මේවා අමතක වෙමින් පවතින කාලයක, මේ ලිවීම වටිනවා.

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }