හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

25 June 2015

මොනවද අනේ ඔය එල්ලගෙන ඉන්නේ (දෙවැනි කොටස)

Medals
 ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට පිරිනමනු ලබන පදක්කම් පිළිබඳව, ඔබට යම් අවබෝධයක් ලබාදීමටයි, මේ ලිපි පෙළ ලියන්නේ. පසුගිය ලිපියෙන්, පදක්කම් වර්ගීකරණය, පිරිනැමීමේ පිළිවෙත් සහ වීර පදක්කම් පිළිබඳව ඔබට සරල අවබෝධයක් ලැබෙන්නට ඇතැයි සිතනවා.පසුගිය ලිපියේදී අපි සාකච්ඡා කළා මේ පදක්කම් වර්ගීකරණය කර ඇති ආකාරය. අද අපි බලමු වීර පදක්කම් ලෙස සැලකෙන පදක්කම් වලට පසුව එන පදක්කම් මොනවාද කියා. 


2. විශේෂ කුසලතා/දක්ෂතා වෙනුවෙන් පිරිනැමෙන පදක්කම්
Meritorious Awards & Medals

 මේ වර්ගීකරණයට වැටෙන පදක්කම් දෙකක් තිබෙනවා. ඒ තමයි දේශපුත්‍ර සම්මානය සහ උත්තම පූජා පදක්කම. මෙයින් දේශපුත්‍ර පදක්කම ත්‍රිවිධ හමුදාවේ මෙන්ම ශ්‍රී ලංකා පොලිස් සේවයේද නිර්දේශිත අයවලුන් වෙත ප්‍රදානය කරනු ලබනවා. (ජීවත්ව සිටින/නොසිටින) නමුත් උත්තම පූජා ත්‍රිවිධ හමුදාවේ සේවය කරන හෝ කළ අයට දෙන්නේ නැහැ. එය ලබාදෙන්නේ ත්‍රිවිධ හමුදාවේ සේවය කොට දිවිපිදූ රණවිරුවන්හේ පවුල් වලටයි. ඒ බව මා මෙතනදී සඳහන් කරන්නේ එම පදක්කම පිළිබඳව කලින් දැන සිටින අයගේ සිතේ ඇතිවන ගැටලුවට පිළිතුර වශයෙනුයි.


1. දේශපුත්‍ර සම්මානය 
10
   මිශ්‍ර ලෝහයකින් සකසා ඇති මෙම පදක්කම රිදී පැහැයෙන් යුක්තයි. පදක්කමේ ඉදිරිපස, ත්‍රිවිධ හමුදා නිරූපණය වන සංකේතයක් ඇතුලත් වන අතර, පසුපස තිබෙන්නේ රාජ්‍ය ලාංඡනයයි. දෙපස රිදී පැහැති තීරු දෙකක් සහිත, දම් පැහැති පීත්ත පටියක, පදක්කම රඳවා තිබෙනවා. සතුරු ප්‍රහාර ඉදිරියේ අභීතව මුහුණ දෙමින් සටන් කොට, තරමක් බරපතළ යන වෛද්‍ය නිර්දේශය ලබන තරමේ, තුවාල ලබන හෝ තුවාල ලැබීමෙන් මියයන, ත්‍රිවිධ හමුදා අයවලුන් සහ පොලිස් සේවයේ අයවලුන් වෙත, මෙම පදක්කම ප්‍රදානය කරනු ලබනවා. මෙම පදක්කම ඇමරිකා එක්සත් ජනපදයේ හමුදා සාමාජිකයන්ට පිරිනමන, 'දම් පැහැ හදවත - Purple Heart' පදක්කමට සමානයි කියන්නටත් පුළුවන්. 


2. උත්තම පූජා පදක්කම 
Uththama Pooja Padakkama

   මා කලින් සඳහන් කලාක් මෙන් වරදවා වටහාගන්නට එපා මෙය ත්‍රිවිධ හමුදා සාමාජිකයනට පිරිනැමෙන පදක්කමක් කියා. මෙය පිරි නමන්නේ සංග්‍රාමයේදී දවිපිදූ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ කලත්‍රයා වෙතටයි. මෙම පදක්කම පිරිනැමීම ආරම්භ වූයේ 2010 වර්ෂයේ සිටයි. රිදී පැහැති මිශ්‍ර ලෝහයකින් සාදා ඇති පදක්කමේ මුහුණත ලංකා සිතියමේ අනුරුවක්, පුද්ගල අනුරුවක් ඇතුලත් වන අතර, තද නිල් පැහැති පීත්ත පටියක පදක්කම රඳවා තිබෙනවා.

   හමුදාවේ අය පදක්කම් පළඳිනවා වගේ මේ පදක්කම ලැබෙන කෙනාටත් මේ පදක්කම තම ඇඳුමේ පළඳින්න පුලුවන්ද?

  පුළුවන්. මෙන්න මෙහෙම. 

   පියාට අයිති පදක්කම පුතාට පළඳින්න පුළුවන්, සම්පූර්ණ යුරෝපීය ඇඳුම හෝ අපේ ජාතික ඇඳුම ඇඳ, ජාතික උත්සවයකට සහභාගිවන (බලන්න යන) අවස්ථාවකදී, හමුදාවෙන් ආරාධනා ලැබූ උත්සවයකදී, වෙනත් ජාතික ආගමික උත්සවයකදී පළඳින්න පුළුවන්. පැළඳිය යුත්තේ පපුවේ දකුණු පැත්තේ. (පපුවේ වම් පැත්තේ පදක්කම් පළඳින්නේ, දැනට සේවයේ යෙදී ඉන්න හමුදා/පොලිස් සාමාජිකයන්) එමෙන්ම මියගිය තම පියාගේ අනෙකුත් පදක්කම්, එලෙසම තම පපුවේ දකුණු පැත්තේ පළඳින්නත් පුතාට අවසර තියනවා, ඉහත සඳහන් අවස්ථා වලදී. පුත්තු ගොඩක් ඉන්නවනම් ලොක්කට තමයි පුලුවන්.

දියණිවරු  මේක අහලා තරහ වෙන්න එපා. ලෝකයෙම තියෙන්නේ ඒ ප්‍රතිපත්තිය. 



3. සේවය ඇගයීම සඳහා පිරිනමනු ලබන පදක්කම්/සම්මාන
       Service Medals and Decorations

     මෙම වර්ගීකරණයට වැටෙන පදක්කම් හයක් තිබෙනවා. (යුද හමුදාවට අදාළ ඒවා පමණයි) අපි ඒවා එකින් එක ගෙන බලමු.


1. විශිෂ්ඨ සේවා විභූෂණය - VSV
6

   මෙම පදක්කමේ විශේෂත්වයක් තිබෙනවා. එනම්, මේ පදක්කම පිරිනමනු ලබන්නේ, ත්‍රිවිධ හමුදාවේ, නිත්‍ය සේවයේ Regular Force සාමාජිකයන්ට පමණක් වන අතර, එයින්ද, වර්තමානයේදී මේ පදක්කම සඳහා නිර්දේශ ලබන්නේ, මේජර් ජෙනරල් සහ ඊට ඉහළ නිලයේ අයවලුන් පමණයි. (නාවික හමුදාවේ රියර් අද්මිරල්, ගුවන් හමුදාවේ එයාර් වයිස් මාර්ෂල්)  කළු පැහැති මිශ්‍ර ලෝහයකින් නිමවා ඇති මෙම පදක්කමේ මුහුණත, පැරණි සිංහල රජසමයේ, අසුපිට ගමන්කරන සොල්දාදුවකුගේ ලාංඡනයක් නිරූපණය වන අතර, පසුපස රාජ්‍ය ලාංඡනය දැක්වෙනවා. දෙපස කොළ පැහැති තීරු දෙකක් සහිත, කහ පැහැති පීත්ත පටියක පදක්කම රඳවා තිබෙනවා. ශ්‍රී ලංකා ජනරජයේ නිත්‍ය හමුදාවට අයත් ජ්‍යොෂ්ඨ නිළධාරියකු වශයෙන් කර ඇති, අවංක, පක්ෂපාතී, විශිෂ්ඨ සේවය ඇගයීම සඳහා මෙම පදක්කම පිරිනමනු ලබනවා. පදක්කම් ලාභියාට තම නමට අගින් VSV යන අකුරු යොදන්නට අවසර තිබෙනවා. 


2. උත්තම සේවා පදක්කම - USP

8

   මෙම පදක්කම පිරිනමනු ලබන්නෙත්, නිත්‍ය හමුදාවේ නිළධාරීන්ට සහ සෙසු නිළයන්ට පමණයි.  තම හමුදා සේවා කාලය තුළ, නොකැළැල් සේවා වාර්තාවක් හිමි, රාජකාරිය සඳහා දැඩි කැපවීමකින් යුත්, කැපීපෙනෙන ඉහළ විනයක් සහ පැවැත්මක් ඇති අයවලුන්ට, මෙම පදක්කම පිරිනමනු ලබනවා. නිල් පැහැති පීත්ත පටියක, කහ පති තීරු දෙකක් සහිත පීත්ත පටියක රඳවා ඇති පදක්කම, මිශ්‍ර ලෝහයෙන් නිමවා ඇති අතර මුහුණත පිල් විදහා සිටින මොනරකුගේ ලාංඡනයක් සහ පසුපස රාජ්‍ය ලාංඡනය දැක්වෙනවා. පදක්කම් ලාභියාට තම නමට අගින් USP යන්න යෙදිය හැකියි.


3. විදේශ සේවා පදක්කම
27


   ශ්‍රී ලංකා ජනරජයට අයත් භූමියෙන් පිටත පිහිටි ප්‍රදේශයකදී, සංග්‍රාමික රාජකාරි ඉටු කරනු ලබන, ත්‍රිවිධ හමුදාවේ නිත්‍ය/ස්වේච්ඡා සියලු නිළයන් වෙත, මෙම පදක්කම පිරිනමනු ලබනවා. නිල් පැහැති පසුබිමක ඇති, රිදී පැහැති තීරු දෙකකින් යුත් පීත්ත පටියක රඳවා ඇති, මෙම පදක්කම, ලෝකඩ වලින් නිමවා ඇති අතර, මුහුණත මහනුවර යුගයේ කැටයමක් සහ, පසුපස රාජ්‍ය ලාංඡනය දැක්වෙනවා.


4. ශ්‍රී ලංකා සන්නද්ධ සේවා දීර්ඝ සේවා පදක්කම - 1979 


23

   ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ නිත්‍ය හමුදා සේවයේ යෙදී සිටින, නිළධාරීන්ට සහ සෙසු නිලයන්ට පමණක් පිරිනැමෙන මෙම පදක්කම, ලබාගැනීම සඳහා සුදුසුකම වන්නේ, නොකැළැල්, විශිෂ්ඨ සේවා වාර්තා සහිතව, නොකඩවා අවුරුදු 12ක් හමුදා සේවයේ යෙදී සිටීමයි. රතු පැහැති පීත්ත පටියක, යුද හමුදාව නිරූපණය කරන ගුරු පැහැති තීරුවකුත්, නාවික හමුදාව නිරූපණය කරන තද නිල් පැහැති තීරුවකුත්, ගුවන් හමුදාව නිරූපණය කරන ලා නිල් පැහැති තීරුවකුත් තිබෙනවා. පදක්කම රිදී පැහැති මිශ්‍ර ලෝහයකින් නිමවා ඇති අතර, ඉදිරිපද රාජ්‍ය ලාංඡනය සහ භාෂා තුනෙන් ශ්‍රී ලංකා ජනරජය යන වචනත්, පසුපස ත්‍රිවිධ හමුදා ලාංඡනයත් දක්නට ලැබෙනවා. 


5. කාර්යක්‍ෂම සේවා විභූෂණය - KSV

7

   මෙම පදක්කම පිරිනමනු ලබන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ ස්වේච්ඡා බලසේනාවට අයත් නිලධාරීන්ට පමණයි. එයින්ද වර්තමානයේදී මෙම පදක්කම සඳහා නිර්දේශ ලබන්නේ කර්නල් සහ ඊට ඉහළ නිලයේ නිලධාරීන් පමණයි. සාමාන්‍යයෙන් වසර 20 ක පමණ නොකැළැල් සේවා වාර්තාවක් හිමි අයටයි මෙය ප්‍රදානය කරන්නේ. පදක්කම් ලාභියාට තම නමට අගින් KSV යන අකුරු ලියන්නට අවසර තිබෙනවා. මැද කළු පැහැති තීරුවකින් යුත් පීත්ත පටියේ, වමට සහ දකුණට සමව පිහිටන, කොළ, කහ, රතු, දම්, යන වර්ණවලින් යුත් තෙරු දක්නට ලැබෙන අතර, පදක්කම අඳුරු පති මිශ්‍ර ලෝහයකින් නිමවා තිබෙනවා. ඉදිරිපස කදු දෙකකට මැදිවූ රාජ්‍ය ලාංඡනයත් පසුපස ස්වේච්ඡා බලසේනා ලාංඡනයත් දක්නට ලැබෙනවා. 


6. කාර්යක්‍ෂම සේවා පදක්කම - KSP


9

   මෙම පදක්කම පිරිනමන්නේ ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවට අයත් සෙසු නිළයන්ට පමණයි. වර්තමානයේදී බොහෝවිට නිර්දේශ ලබන්නේ, සැරයන් සහ ඊට ඉහළ නිළ වල අයවලුන්. පදක්කම ලබාදීමේ සුදුසුකම්, ඉහත කාර්යක්ෂම සේවා විභූෂණය ලබාගැනීමට අවශ්‍ය සුසුසුකම් ම වන අතර, පදක්කම් ලාභියාට තම නමට ඉදිරිරියෙන්, KSP යන අකුරු ලියන්නට අවසර තිබෙනවා. පීත්ත පටිය, මීට ඉඅහත දක්වා ඇති පදක්කමේ පීත්ත පටියම වන අතර, පදක්කමේ ඇතුලත් ලාංඡනද සමාන වන නමුත්, වෙනසකට ඇත්තේ, මෙම පදක්කම ඊයම් පැහැයට හුරු මිශ්‍ර ලෝහයකින් නිමවා තිබීමයි. 



4. ක්‍රියාන්විත සහ මෙහෙයුම් සඳහා පිරිනැමෙන පදක්කම් 
     Campaign Medals 


   යම්කිසි රටක ත්‍රිවිධ හමුදාව, කාලීනව සිදුකරනු ලබන, සංග්‍රාමික මෙහෙයුම් සහ මානුෂික ආධාර ලබාදීමේ මෙහෙයුම් වෙනුවෙන්, පිරිනමනු ලබන පදක්කම්, මේ ගණයට අයත්වනවා. 


1. උතුරු නැගෙනහිර සංග්‍රාමික පදක්කම 


14

   1983 ජූලි මස 23 වැනි දිනට පසු, නොකඩවා වසර 3 ක කාලයක්, ශ්‍රී ලංකාවේ උතුරු හෝ නැගෙනහිර යන පළාත්වලින් එකක හෝ ඒ දෙකෙහිම සේවය කර ඇති, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා නිත්‍ය ස්වේච්ඡා සියලු නිළයන්ටත්, පොලිස් නිළයන්ටත්, මෙම පදක්කම පිරිනැමෙනවා. කොළ, රතු, කහ, සමාන තීරු තුනකින් යුත්, පීත්ත පටියක් සහිත මෙම පදක්කම ලෝකඩ වලින් නිමවා ඇති අතර, මුහුණත ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පළාත් පෙන්වන රූපයකින් ද පසුපස රාජ්‍ය ලාංඡනයෙන්ද යුක්ත වෙනවා. 


2. පූර්ණභූමි පදක්කම 


13

   1977 වර්ෂයේ, ජූලි මස 22 දිනට පසුව, අවම වශයෙන්, එක් වසරක කාලයක්, යාපනය දිස්ත්‍රික්කයේ හෝ 1983 සැප්තැම්බර් මස 16 වැනි දිනට පසුව, අවම වශයෙන්, එක වසරක කාලයක්, වවුනියාව, මුලතිව්, කිලිනොච්චිය, මන්නාරම, ත්‍රිකුණාමලය, අම්පාර, මඩකලපුව, යන දිස්ත්‍රික්කවල සේවය කර තිබෙන ශ්‍රීලංකා ත්‍රිවිධ හමුදා නිත්‍ය/ස්වේච්ඡා හමුදා සියලුම නිළයන්ටත්, පොලිස් නිළයන්ටත් හමුදා සිවිල් සේවකයන්ටත්, (ලිපිකරු, අරක්කැමි, වේටර්, බැට්මන්, කම්කරු, වැනි. ඔවුන්ට එය පළඳින්නට බැහැ. සිහිවටනයක් පමණයි.) මෙම පදක්කම පිරිනැමෙනවා. මැද රතු පැහැති පළල තීරුවක් සහ දෙපස සමාන පළලින් යුත් කහ සහ කොළ පැහැති තීරු දෙකකින් යුත් පීත්ත පටියක රඳවා ඇති පදක්කම රිදී පැහැති මිශ්‍ර ලෝහයකින් නිමවා ඇති අතර, ඉදිරිපස නෙළුම් මලක පෙති මෝස්තරයක් මැද ලංකාවේ සිතියම දැක්වෙන අතර, පසුපස රාජ්‍ය ලාංඡනය දක්නට ලැබෙනවා. 


3. වඩමාරච්චි ක්‍රියාන්විත පදක්කම 


15

   යාපනය අර්ධද්වීපයේ පිහිටි, වඩමාරච්චි ප්‍රදේශය, LTTE ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මුදවා ගැනීම සඳහා, 1987 වර්ෂයේදී දියත් කල, වඩමාරච්චි මෙහෙයුම, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා ඉතිහාසයේ කැපීපෙනෙන ක්‍රියාන්විතයක් ලෙස සැලකෙනවා. මෙම මෙහෙයුම සඳහා සටන්කරී භූමිකාවෙන්ද, භට කාර්ය සම්පාදන/වෛද්‍ය/අවට ආරක්‍ෂාව/සේවා සැපයුම්/ ආදී විවිධ ආකාරයෙන් දායකවූ, ත්‍රිවිධ හමුදා නිත්‍ය/ස්වේච්ඡා සාමාජිකයන් වෙත, මෙම පදක්කම පිරිනැමුණා.  අටපට්ටම් හැඩයකින් යුත්, ලෝකඩ පැහැති පදක්කමේ මුහුණත, ශ්‍රී ලංකාවේ සිතියමත්, පසුපස රාජ්‍ය ලාංඡනයත් දැක්වෙන අතර, පීත්ත පටිය මැද තැඹිලි පැහැති පළල තීරුවකින්ද, දෙපස කළු, සුදු, රතු, යන වර්ණ තීරු තුන බැගින්ද යුක්තයි. 


4. රිවිරැස ක්‍රියාන්විත/මෙහෙයුම් පදක්කම 


16

   යාපනය නගරය LTTE ග්‍රහණයෙන් මුදා ගැනීම සඳහා දියත්කළ, රිවිරැස මෙහෙයුමට සෑම අයුරින්ම දායකවූ, ත්‍රිවිධ හමුදාවේ නිත්‍ය/ස්වේච්ඡා සියලු සාමාජිකයන් වෙත මෙම පදක්කම පිරිනැමුණා. පදක්කම රිදී පැහැයෙන් යුක්තවන අතර සූර්යයාගේ හැඩයෙන් යුක්ත මුහුණතක් සහ පසුපස රාජ්‍ය ලාංඡනයෙන් යුක්තයි. පීත්ත පටියේ මැද තිබෙන තැඹිලි, තද නිල්, සහ ලා නිල්, යන වර්ණ වලින් යුද, නාවික, ගුවන්, හමුදා නිරූපණය වනවා. 


5. උතුරු පළාත් මානුෂීය මෙහෙයුම් පදක්කම 


12

   2009 වර්ෂයේදී, ඊලාම් යුද්ධය ජයග්‍රහණයෙන් නිම කරමින්, උතුරු පළාතේ මහජනතාව වෙත, විවිධාකාරයේ සහන සහ පහසුකම් සැලැස්වීමට දායක වූ, ත්‍රිවිධ හමුදාවේ නිත්‍ය/ස්වේච්ඡා සියලුම සාමාජිකයන් වෙත මෙම පදක්කම පිරිනැමුණා. රිදී පැහැති මිශ්‍ර ලෝහ පදක්කම නිල්,රතු,කහ,කළු යන වර්ණ සහිත පීත්ත පටියක රඳවා තිබෙනවා. ඉදිරිපස ලංකාවේ උතුරු පළාත සහ ආරක්ෂක සේනා දැක්වෙන එම්බෝස් කැටයමකින්ද, පසුපස රාජ්‍ය ලාංඡනයෙන්ද යුක්තයි. 


6. නැගෙනහිර පළාත් මානුෂීය මෙහෙයුම් පදක්කම 

11

එදා මාවිල්ආරු මෙහෙයුමෙන් ඇරඹී, නැගෙනහිර පළාත පුරා දියත් කළ, මානුෂීය මෙහෙයුම් තුළින් ඊලාම් සටන ජයග්‍රහණය කරන්නට උරදුන්, ත්‍රිවිධ හමුදාවේ නිත්‍ය/ස්වේච්ඡා සියලුම සාමාජිකයන් වෙත, මෙම පදක්කම පිරිනැමුණා. ත්‍රිවිධ හමුදාව, නියෝජනය වන වර්ණ සහිත පීත්ත පටියක් ඇති මෙම පදක්කමේ, මාවිල්ආරු සොරොව්වේ ලාංඡනයක් සහ රාජ්‍ය ලාංඡනයත් පසුපස රාජ්‍ය ලාංඡනයත් තිබෙනවා.  

අද කොටස මෙතනින් අවසන් කරනවා. තවත් කොටසකින් හමුවෙමු. 



2015 ජූනි මස 25 වැනි දින 1420 පැය

47 comments :

  1. විචා අය්යා, මොකක්ද මේ වෙන්නේ? දිගු දුර එකේ කොල්ලෙක්ට මරණ දඬුවම? අමු මස් කාලා, අමු ලේ බීලා, මාස ගානක් ගන කැලැවේ පුරුදු පුහුණු කලේ එල්ලලා මරන්නද? කෝ හමුදාවේ ලොක්කෝ? කයිවාරු අය්යලා? යුද්දේ තනියම දිනපු ගොතයෝ? එකක්වත් නෑ අද උව බේරගන්න.

    ReplyDelete
    Replies
    1. ඔබ කියන්නේ කුමක්දැයි නොතේරේ. කරුණු පැහැදිලි කර අහන්න.

      Delete
    2. ඔබ අහන්නේ මෙන්න මේ සිද්ධිය ගැන නේද?

      [im]https://jangun.files.wordpress.com/2015/06/screenshot-26.png[/im]

      ඔබ දැඩි සිත්වෙදනාවකට පත්වී ඇති බව පෙනෙනවා. මා කියන්නම් මේ සම්බන්ධ නීතිමය තත්වය.

      1. යුද්ධයකදී දෙපක්ෂයක් අතර සිදුවන සටන් වලදී පුද්ගලයන් මියයාම වරදක් නොවේ. එහෙත්, යුද්ධයේදී අත්අඩංගුවට ගත්, රඳවා තබාගත්, පරීක්ෂා කිරීමකට භාජනය කරන, සතුරකු හෝ සිවිල් වැසියකු, ඝාතනය කරන්න තබා පහර දෙන්නටවත්, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති අනුව, කිසිදු හමුදා සාමාජිකයකුට අවසරයක් හෝ බලයක් නැහැ. එය තම බලතල සීමාව ඉක්මවා පාවිච්චි කිරීමමක්. මේ ආකාරයට ක්‍රියාකළ හමුදා අයවලුන්ට, ලෝකයේ විවිධ රටවල සිවිල් අධිකරණයෙන්, මේ ආකාරයට දඬුවම් ලබාදී තිබෙනවා.

      2. ඕනෑම රටක ඉහලින්ම තිබෙන නීතිය වන්නේ ඒ රටේ සිවිල් නීතියයි. හමුදා නීතිය තිබෙන්නේ ඊට පහලින්. දිගුදුර විහිදුම් බලකායේ සාමාජිකයකුට, අහිංසක සිවිල් වැසියන් ඝාතනය කරන්න විශේෂ බලයක් නැහැ. රටේ ජනාධිපතිටවත් එහෙම බලයක් නැහැ. මේ සෙබලා මේ සඳහා යෙදවූ අණදෙන්නා ගැලවී, මොහු බිල්ලට දීමක් සිදුවී තිබෙන්න පුළුවන්. දිගුදුර විහිදුම් බලකායේ නෙවෙයි, ගමේ මරණාධාර සමිතියේත් තියෙන්න ඕනේ 'සාමූහික වගකීම'

      3. නීතිය ඉදිරියේ හමුදා සාමාජිකයකු කිසිදු සැකයකින් තොරව වරදකරුවකු බව ඔප්පු වුනාට පසු ඔහුව බේරන්න කිසිවකුටත් බලයක් නැහැ.

      Delete
    3. ලොක්කො කිව්ව පලියට වැරදි කරන්ඩ එපා කියල කියන්නෙ ඒකයි ... අන්තිමට ලොක්කො බේරෙනවා .. පොඩි එවුන් ගස් යනවා ... ඕක හැමතැනටම අදාලයි ....

      Delete
    4. ඇනෝපිලිස් ++++++++++++++++++++++++

      Delete
    5. @ ඇනෝපිලිස්June 26, 2015 at 5:15 AM

      එකඟයි. හමුදා පුහුණුවේදී කියලා දෙනවා වැරදි/අසාධාරණ නියෝග ක්‍රියාත්මක නොකර ඊළඟට ඉන්න උසස් නිලධාරියාට කියන්න කියලා.

      දීර්ඝ කාලයක් සටනේ යෙදී සිටිනවිට, සොල්දාදුවකු හිතන්නට ඉඩ තිබෙනවා, ලෝකයේ ප්‍රශ්න සියල්ලට විසඳුම අවි ආයුධ කියලා. ඔබ කියවා ඇති ඒ පිලිබඳ දීර්ඝ විස්තර ලියනවා වෛද්‍ය රුවන් එම් ජයතුංග . මමත් ඒ ගැන ලිපියක් ලියා තිබෙනවා .

      Delete
    6. විචා අය්යා, ආණ්ඩුව මොකක් උනත් නීතිය ක්‍රියාත්මක වෙන විදිය ගැන දැන් අත්දැකීම් ඇතිනේ. ඔය නඩුවේ පැමිණිල්ලේ හැටියට එකේ කියලා තියෙන්නේ ක්‍රියාන්විත ප්‍රදේශයකදී උන්ගේ වතු වල පල නෙලන්න අපු අහිංසක ගැමියෝ නව දෙනෙක් ගැන. එක ගැමියෙක් පැනලා ගිහින් යුද හමුදා පොලීසියට පැමිණිලි කරලා. ක්‍රියාන්විත වෙලාවේදී තහනම් කලාප වලට සාමාන්‍ය වැසියොන්ට යන්න පුළුවන් බව දැනගෙන හිටියේ නෑ. නැත්නම් අපිත් යනවා පල වැල නෙලන්න. යුද්ද කාලේදී සාමාන්‍ය වැසියෝ ගොඩක් හමුදාව අතින් ඝාතනය උනා. නොදැන බඩේ බෝම්බ බැඳ ගෙන ආපු, දන්නේ නැතුව තුවක්කු අරගෙන මරාගෙන මැරෙන මෙහෙයුම් කරන්න ආපු අසරණ උතුරේ වැසියෝ ගොඩාක් හමුදාවෙන් ඝාතනය කලා. අපි අදුනන හොද අය්යා කෙනෙක් හිටියා වෙලුපීල්ලේ ප්‍රබාකරන් කියලා. එයා දෙමළ. මෙහෙ හමුදාවෙන් බස් වල බෝම්බ ගහලා මිනිස්සු මැරුවම, අරන්තලාවේ හමුදුර්වරු හමුදාවෙන් කපල මැරුවම, හමුදාවේ උන් කිව්වේ ඒකට වග කියන්න ඕන අපේ ප්‍රබාකරන් අය්යා කියල. කිසිම අනුකම්පාවක් නැතුව, යන්න හරියට පාරක් වත් නැති මඩ වලක් මැද හමුදාවේ උන් එයාව මරලා දැම්ම. එත් එයා ඉල්ලුව කිව්ව ඊළම දැන් වෙන අය ඉල්ලනවා කියලා හමුදාවෙන්ම කියනවා.ඒ අතරේදී හමුදාවෙන් අහිංසක වැසියෝ මැරුවා කියල හමුදාවේ උන්ම පෝරකේට දක්කනවා. ඉතින් එහෙම නීතියක් තියෙන රටකට අපි ගොඩක් ගරු කරන්න ඕන. වෙන රටවල් වල ජාතික ආරක්ෂාව වල පල්ලට යනකොට, ඒ රටේ හමුදාවේ උන් ඒවාට පිළියම් සොයනවා. එත් අපේ රටේ හමුදා නයකයෝඑච්චර නරක නෑ. ඒ අයට ඕන. තමුන්ට යටින් ඉන්න උන්ගේ සැලියුට් එක විතරයි. ඒ සැලියුට් එක ගැහුවේ නැත්නම් ඒක විනය විරෝදී කියල අරූට දඬුවම් කරනවා. ඒ අතරේදී තුවක්කුවක් කියල දන්නේ නැතුව, එක දර පොල්ලක් කියල හිතාගෙන අල්ලාගෙන හිටපු අහිංසක වැසියො මාරුවා කියල අරූව පෝරකේට දක්කනවා. ඒ වගේම ඊයේ පෝරකේට දක්කපු හමුදාවේ එකාට කවද හරි දවසක ජනාදිපති කෙනෙක්, ජනාදිපති සමාව දීලවත් බෙරගන්නකන් මම වගේ ත්‍රස්තවාදී අදහස් තියෙන උන් බලන් ඉන්නව අපිට කරන්න පුළුවන් එච්චර නිසා........

      Delete
    7. @Dileepa

      යාපනය 2000 වසරේදී තිබුනේ රජයේ පාලන ප්‍රදේශයක් විදිහට. ඒක ක්‍රියාන්විත ප්‍රදේශයක් කියලා වරද්ද ගන්න එපා.

      Delete
    8. @ DileepaJune 26, 2015 at 10:31 AM

      කණගාටුයි. ඔබේ දේශපාලන මතවාද මට අදාළ නොවේ. මා පැහැදිලි කලේ නීතිමය තත්වය පමණයි.

      මේ සොල්දාදුවාගේ නීතිඥයන් ප්ටකාශ කළා අභියාචනයක් ඉදිරිපත් කරන බව. ඒ කියන්නේ තවමත් ඔහුට අවස්ථාව තිබෙනවා, තමන්ගේ නිර්දොශේභාවය ඔප්පු කිරීමට.

      @ wara@kelaniyaJune 26, 2015 at 11:40 AM

      යුද්දයක් ඇතත් නැතත්, රටේ කොතැනක හෝ හමුදා කඳවුරක් පිහිටවා තියනවා නම්, ඒ කඳවුරට අයත් උපක්‍රමික ආරක්ෂාව යටතේ පවතින ක්‍රියාන්විත ප්‍රදේශයක් තියනවා. Tactical Area of Responsibility =TAOR එහිදී හමුදාව කරන්නේ, රජයේ පරිපාලනයට අනුගතවූ හමුදා රාජකාරි.

      Delete
    9. හිටපු ජ්‍යේෂ්ඨ හමුදා නිලධාරී ලෙෆ්ටිනනට් කර්නල් චන්න කරුණාරත්න ගේ අදහස්

      https://www.facebook.com/channa.karunaratne/posts/10204297971358204

      Delete
    10. විචාරක තුමන් කියනකන් ඒ ගැන දැනන් හිටියේ නෑ.ස්තූතියි! මං හිතුවේ ක්‍රියාන්විත ප්‍රදේශයක් කියනෙන යුද්දය පවතින භූමියක් කියලා.

      Delete
    11. @ රසිකොලොජිස්ට් - Rasikologist June 26, 2015 at 1:04 PM

      හොඳ සංවාදයක් පැවැත්වෙන බව පෙනෙනවා. අපහාස නැතුව සංවාද කරන්නට දන්න අය එතනත් බොහොම අඩුයි වගේ.

      Delete
    12. විචා අය්යා, එම කොමන්ටුව දැම්මේ සිවිල් හදවතකින, සිවිල් කෝණයකින්. මා පෙනී සිටියේ සුනිල් රත්නායක වෙනුවෙන්, සහ හමුදාවේ එවන් සුනිල් රත්නායකලා දහස් ගණනක් වෙනුවෙන්. කෙසේ වෙතත් ඔහු බේරා ගැනීමට හඬ නැගීම පටන් ගෙන අවසන්. ඔහු එල්ලන්න දෙන්නේ නෑ. අපෙන් එකෙකි ඒ මිනිසා,,, ඔබට ජය

      Delete
    13. දිලීප, සෑමවිටම ජයගත යුත්තේ නීතිය පමණයි. යුක්තිය සහ සාධාරණය පමණයි. යුද අපරාධයක් කල පුද්ගලයකු, සාමාන්‍ය යුක්ති ධර්මයටත්, පවත්නා නීතියටත් අනුකූලව, වැරදි කරුවකු වුනොත්, ඔහු සිවිල් නීතිය යටතේ දඬුවම් ලැබිය යුතුයි. ඔහු බේරාගන්නවා යන්නෙන් ඔබ අදහස් කලේ කුමක්ද යන්න මට වැටහෙන්නේ නැහැ. රටපුරා උද්ඝෝෂණ කරලා ඔහුව නිදහස් කරනු කිව්වොත්, අපි කරන්නේ, අපි නීතියට ගරු නොකරන රටක් කියලා, ලෝකයටම පෙන්වීමයි. මේ සොල්දාදුවා LTTE සංවිධානය සමග අභීතව සටන් කරමින්, විවිධ ජයග්‍රහණ ලබාදුන් සොල්දාදුවෙක් වුනත්, ඔහුත්, ඔබත්, මමත්, රටේ නීතියට යටත්. ඒ බව අමතක කරන්න එපා.

      ඔහු ඉහල අධිකරණයට ඉදිරිපත් කර ඇති අභියාචනය සාර්ථක වේවා කියා මමද ප්‍රාර්ථනා කරනවා.

      Delete
    14. නීතිය ජයගන්නා අවස්තාවේ ඇතැම්විට ජයගන්නේ සත්‍ය නොව තර්කයයි. තර්කය කිසිවිටෙකත් සත්‍ය ලෙස කියන්න බෑනෙ.තමන් කොතරම් නිවැරදි උනත් එයට ප්‍රබල තර්කයක් ඉදිරපත් කරන්න බැරි උනොත් ඔහු පරාදවෙනවා. මගේ මතයනම් නීතිය ජයගත්තත් එතන සත්‍ය හෝ සාධාරනත්වය නොතිබිය හැකි අවස්ථා ඕන තරම් තිබිය හැකිය යන්නයි..

      Delete
    15. මේ ප්‍රශ්නය විසඳන්න ඔබ යෝජනා කරන විසඳුම පැහැදිලි කරන්න.

      Delete
  2. වෙනදා වගේම එල ද බ්‍රා.
    ඇත්තටම තුන් හතර පාරක් කියවන්න පුලුවන්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මෙන්ඩා

      Delete
  3. ඔය ප‘ප්ල් හාට් වගේ පදක්කම් වලට අමතරව තුවාල ලබන අයට පටි ජාතියකුත් දෙනවා නේද? ඒ පටි ගැනත් ලියංට ඈ...
    තව එකක්! අපි හිතමු පුද්ගලික ආරක්ෂක අංශයක නිළ ඇඳුමක් හිටපු හමුදා සෙබලෙක් අඳිනවා කියලා. එයාට තමන් ලබපු පටි, පදක්කම් ඒ නිළ ඇඳුමට පළඳින්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්නය පැහැදිලි මදි. පටිජාතියක් දෙනවා කියන්නේ නිල උසස් කිරීමද? එහෙමත් නැත්නම් නිල ඇඳුමේ අඳින මේ පදක්කම් නියෝජනය කරන වර්ණ පටිද? ඒ වර්ණ පටි ගැන ලිපියේ අවසාන කොටසේදී කියනවා.

      පෞද්ගලික ආරක්ෂක අංශයක සේවය කරන අයගෙන් මෙම පදක්කම් වලට අදාළ වර්ණ පටි colour bars පළඳිනවා මා දැක තිබෙන්නේ, රක්නා ලංකා සහ ඇවන්ට් ගාඩ් යන සමාගම් දෙකේ අය පමණයි. ඔවුන්ට ඒ සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ විශේෂ අවසරයක් දුන්නද දන්නේ නැහැ පසුගිය රජය කාලයේ.

      Delete
    2. සොරි! පටි කියන්නේ වර්ණ තීරු සහිත පටි (උසස් වීම් නොවේ). අර කියාපු සමාගම් වල යුනිපෝං තමා මාත් කිව්වෙ.

      Delete
  4. මම මෙලෝ දෙයක් දැනගෙන ඉඳලා නෑනේ මේ ගැන බැලුවම

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් දැනගත්තානේ. සතුටුයි නේද? තව කොටස් එනවා ඉස්සරහට.

      Delete
  5. විචා සර්, ලෝන්ග් සර්විස් එකට අවුරුදු 12 නේද ඕනි? අනික උතුරු නැගෙනහිර සංග්‍රාමික පදක්කම ගන්න 'අවුරුදු තුනක් නොකඩවා' ඉන්න ඕනිද? ටෝටල් එක තුන උනාම දෙනව නේද? ආමි එකේ වෙනස්ද මංද.. clasp ගැන වෙනම කියනවද? ඔය සැට් එකෙනුත් 5ක් තියේ මට clasp ද ඇතුලුව.. :) ඒ ගැන මෙච්චරකල් නොතිබිච්චි ආඩම්බරයක් ආව වගේ මේක කියෙව්වම.. ටැන්කූ වේවා!

    ReplyDelete
    Replies
    1. හුටා................ටයිපිං වැරැද්දක් හෙවත් යතුරු ලියන එරර් එකකි. ඔන්න හැදුවා. පින්සිද්ද වෙනවා අඩුපාඩු පෙන්නලා දුන්නට.

      clasp හෙවත් සන්දාරය ගැනයි, මැඩොල් ගහන සීනි රොටිය ගැනයි ඉදිරියේදී ලියනවා.

      Delete
  6. නොදන්න තොරතුරු ටිකක් දැනගත්තා ....
    ප්‍රස්නයක් - උසස්වීම් දෙනකොට ඔය පදක්කම් සලකා බලනවද ..??

    ReplyDelete
    Replies
    1. නිලධාරීන්ට උසස්වීම් දීමේදී සලකා බලන්නේ නැත. එහෙත් සෙබළුන්ට උසස්වීම් දීමේදී යම් ආකාරයක සලකා බැලීමක් සිදුවෙනවා.

      Delete
  7. ආමි නේවි එයාපෝස් ඔය කාට කාටත් ඉස්සෝරම හම්බෙන්නෙ මං හිතන්නෙ නෝත්ඊස්ට් එක හිහි
    වෙන මොකක් නැතත් ඒක විතරක් තියන අය්යලත් ඕන තරං
    බුහැක්

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ලම හම්බ වෙන්නේ පූර්ණභූමි පදක්කම. එකක් විතරක් ගහගෙන ඉන්නකොට ලොක්කෝ අහනවා ඔය මැස්සෙක්ද වහලා ඉන්නේ කියලා. ලැජ්ජාවේ තන්තෝසේ බැරුවා.

      Delete
  8. විචාරක මහත්මයාට තියෙන පදක්කම් මොනවද?

    අර වෙඩිමට ආපු සුද්දි කියලා තිබුනා බොහොම හොඳ මනුස්සයෙක්ව හම්බුනා කියලා... :e

    ReplyDelete
    Replies
    1. මටත් ඔව්වා හත අටක් තිබේ.

      ඇයි යකෝ මෙච්චර තන් තෝස දායක ආරංචියක් කියන්න මෙච්චර පරක්කු කොලේ? මේ.....මට බැරිවෙයිද සුද්දී ඉන්න දිහාවේ යන්න?

      Delete
  9. විචාඑඅක මහත්තයෝ පුලුවන්නම් ලංකාවෙ ඔවැනි පදක්කම් ගත්තු විරුවන් ගැන පෝස්ට් එකක් දාන්න. අපි දැනට දන්නෙ ටික දෙනෙක් ගැන විතරයි.

    ReplyDelete
    Replies
    1. ලියන්න බැරි මෙන්න මේ හේතුව නිසා. ඒ ලැයිස්තු තියෙන්නේ හමුදා මූලස්ථානයේ. ඒවා මට දැන් ලබාගන්න අවසරයක් නැහැ.

      Delete
    2. හොයා ගන්න බැරි කමක් නෑනේ. ඇත්තටම එහෙම දානවනම් හොදයි නැත්නම් තියෙන කෙනා විතරයි දන්නේ. The American sniper 2015 ඇත්තම වීරයෙක් ගැන එයාල හදපු එකක්. එත් අපේ වීරයෝ ගැන දන්නේ වීරයා විතයි

      Delete
    3. @ DileepaJune 26, 2015 at 11:11 AM

      හොයාගන්න බැරිකමක් නෑනේ කිව්වේ දිවැසින් බැලීමෙන්ද? මටනම් හොයාගන්න බැහැ. ඔබ හොයලා දුන්නොත් ලියන්නම්.

      අපේ වීරයන් ගැන සෑම හමුදා ස්මාරකයකම, ත්‍රිවිධ හමුදාවේ ප්‍රධාන කඳවුරකම වාර්තා සහ සිහිවටන තිබෙනවා. ජනමාධ්‍ය මගින් තමයි ඒ ගැන ලියන්න කියන්න ඕනේ. මේ වගේ බ්ලොග් අඩවියක් බලන්නේ බොහොම ටිකදෙනයි.

      Delete
    4. @ විචාරක - WicharakaJune 26, 2015 at 10:18 AM
      සර්,
      සමහර විට මට ඒ ලිස්ට් එකක් ගන්න පුලුවං වෙයි.

      @ කැමරාවෙන් එහා ලෝකයJune 26, 2015 at 9:16 AM
      පුලුවං වෙලාවක ගිහින් බලන්න බත්තරමුල්ලේ තියන රණවිරු ස්මාරකය..

      Delete
  10. /* දියණිවරු මේක අහලා තරහ වෙන්න එපා. ලෝකයෙම තියෙන්නේ ඒ ප්‍රතිපත්තිය. */

    මෙන්න එංගලන්තයෙන් විස්තරයක්. ලංකාංඩුවේ හමුදා නීති රීති එන්න ඇත්තේ එහෙන් නේද?
    http://www.britishlegion.org.uk/remembrance/how-the-nation-remembers/medals/medal-faqs

    Can I wear medals belonging to members of my family?
    ========================================
    The official position regarding wearing medals other than your own is that they should not be worn. However, it was generally accepted from soon after the Great War that widows of the fallen wore their late husband's medals on the right breast on suitable occasions.

    More recently it seems to have become the custom for any family member to wear medals of deceased relations in this way, sometimes trying to give a complete family military history by wearing several groups. Although understandable it is officially incorrect, and when several groups are worn it does little for the dignity of the original owners.

    The Legion takes a pragmatic view and our Ceremonial Rules state:

    "The official rules for wearing medals allow only official awards to be worn. Unofficial purchased medals and foreign medals which do not have the Sovereign's permission to be worn are not allowed. Standard Bearers, Parade Marshals and other officials on Legion duty are bound by this ruling and unofficial medals must not be worn when on Legion duty. The medals awarded to a deceased Service / ex-Service person may be worn on the right breast by a near relative (mother, father, sister, brother, wife, husband, daughter and son). Not more than one group should be worn by any individual."

    One thing is certain, no action will be taken officially if anyone wears a relation's medals. In the Legion this practice is banned for Standard Bearers and parade officials and as stated above for other members.

    Another option is to have the family medals framed so that they can be displayed the whole year round. These displays can include a photo, cap badge and name plate which makes it a very personal display for a family. If you are interested, the following companies offer this service:

    ලංකාංඩුවේ හමුදාවල ඒ සුද්දන් කියන ප්‍රැග්මටිසම් එක නැද්ද?

    ReplyDelete
    Replies
    1. ලංකාවේ කිසිම හමුදා පවුලක සාමාජිකයකු තම පියාට අයත් පදක්කම් පළඳිනු මෙතෙක් මා දැක නැහැ. ලංකාවේ බ්‍රිතාන්‍ය හමුදා සම්ප්‍රදායයන් තරමක් දුරට තිබුනත්, බොහෝ නීති රීති, දැන් ශ්‍රී ලංකා ජනරජයේ අභිමතාර්ථ වලට අනුකූලව වෙනස් කර තිබෙනවා. මේ ඡේදයේ කියන ආකාරයට අපේ රටේ පදක්කම් මිලදීගන්න බැහැ. එසේ කළහැකි වන්නේ තම හමුදා හැඳුනුම්පත ඉදිරිපත් කරන අයට පමණයි.

      මියගිය හමුදා සාමාජිකයන්ගේ පදක්කම් සහ සම්මාන,නිවෙස්වල සුරක්ෂිතව ප්‍රදර්ශනයට තැබීම නම් ලංකාවේ සිදුවෙනවා.

      Delete
  11. අපි තනතුරේ බලවත් කම මනින්නේ එල්ලං ඉන්න බැජ් වල ගණනින්. තරු ගණනින්. නැත්තං පටි ගනනින්.

    ස්තුති තොරුතුරු වලට.

    ReplyDelete
    Replies
    1. බෝ පැලේ වගේ නිකම් හිටියත් හම්බවෙන පදක්කම් තියනවා සෑම්. ඊළඟ කොටසේදී කියන්නම්.

      Delete
    2. ඔය කිසිම දෙයක් එල්ලං නැති අයත් ඉන්නේ...

      Delete
  12. අද තමයි හරියටම දැන ගත්තේ පදක්කම් සෙට් එකේ විස්තරේ...

    ReplyDelete
    Replies
    1. තව ඉවර නෑ. ඊළඟ කොටසත් බලන්නකෝ.

      Delete
  13. ප්‍රශ්න කරන්න තරම් විෂය ගැන දැනුමක් නැහැ.එක නිසා කියවලා අදහස් දක්වන්න තරමක් බලා සිටියා.
    මේ පදක්කම් සියල්ලේම වගේ පිටුපස රජ්‍ය ලාංජනය සටහන් කර තිබෙනවා නේද ?

    ReplyDelete
    Replies
    1. @ Manoj FernandoJune 29, 2015 at 11:13 AM
      නෑ... හැම මෙඩ්ල් එකකම රාජ්‍ය ලාංඡනය සදහන් වෙන්නනේ නැ.
      උදාහරණ විදියට
      UN Medal
      UN (Congo) Medal
      Riviresa Campaign Medal
      Queen Elizabeth Coronation Medal 1953
      Videsha Sewa Medal දක්වන්න පුළුවං.

      Delete
  14. මේ පදක්කම් වලින් විචාරකට දැනට මොනවද හම්බ වෙලා තියෙන්නෙ...? :b

    ReplyDelete
  15. ඔබේ ලිපිවලින් මම නොදත් බොහෝ දෑ ඉගෙනගත්තා. විචා! ඔබට තවත් දෙයක් කරන්න පුළුවන්ද? අපේ රටේ ජනාධිපතිවරුන්ට වෙනම ධජයක් තියෙනවා නේද ? සියළුම හිටපු ජනාධිපතිවරුන්ට අදාල ධජවල විස්තර හොයලා ඔබට ලිපියක් පලකරන්න පුළුවන් නම් පිං සිද්ධ වෙනවා! මම ගොඩක් කාලයක් තිස්සේ මේ ගැන හොයන කෙනෙක්
    ස්තූතියි!

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }