හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

22 June 2015

මොනවද අනේ ඔය එල්ලගෙන ඉන්නේ............. (පළමුවැනි කොටස)


519px-Peter_Pace_in_dress_uniform_2005
    බලන්නකෝ මේ පින්තූරේ ඉන්න හමුදා නිළධාරියාගේ නිළ ඇඳුමේ එල්ලගෙන ඉන්න පදක්කම් ගොඩ. ඒ මදිවට පපුවේ දකුණු පැත්තේ තවත් මොනවද පාට පාට කෑලි වගයක් ගහගෙන ඉන්නවා. ඔබත් දැකලා ඇති ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිළධාරීන් තම නිළ ඇඳුමේ මෙවැනි දේවල් එල්ලාගෙන ඉන්න හැටි.

   පොදුවේ සලකා බැලුවොත්, ඔබෙන් සෑහෙන දෙනෙක් දන්නවා, ඒ තියෙන්නේ පදක්කම් කියලා කියන්න. පාසල් බාලදක්ෂයන් හෝ ශිෂ්‍ය භටයන් ලෙස කටයුතු කළ අයනම්, පහසුවෙන් හඳුනාගන්නවා, මේ තියෙන්නේ පදක්කම් කියන එක. නමුත් මේ පදක්කම් මොනවාද? ඒවා දෙන්නේ මොකටද? කියලා බොහෝ දෙනෙක් දන්නේ නැහැ.

   සමහරු කියයි, යුද්ධයේදී දැක්වූ දක්ෂකම් නිසා මේවා දෙන්නේ කියලා. ඒ එක හේතුවක් පමණයි. දක්ෂකම් නැතත් ලැබෙන පදක්කම් තියනවා. සමහරවිට ඔබේ පවුලේ සාමාජිකයකු, ත්‍රිවිධ හමුදාවෙන් එකක සිටියත්, ඔබෙන් වැඩි දෙනෙක් ඔහුගෙන්/ඇයගෙන් අහලා නැතුව ඇති, මොනවද ඔය පදක්කම් කියලා. හොඳයි, අපි අද කතාකරමු, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වෙත පිරිනැමෙන පදක්කම් ගැන. නමුත් එක දෙයක් කිවයුතුයි. අපේ ත්‍රිවිධ හමුදාවේ, (ලෝකයේම ත්‍රිවිධ හමුදා වල) ඒ ඒ හමුදාවට පමණක් ආවේනික, පදක්කම් සහ ලාංඡන තිබෙනවා. ඒ සියල්ල ගැන මා දන්නේ නැහැ. දන්නා දේ පමණක් ලියන්නම්.

   ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට පදක්කම් සහ සම්මාන පිරිනැමීම, අද ඊයේ සිදුවුණ දෙයක් නෙවෙයි. ලෝකයේ පැරණි රාජධානි පැවති කාලවලදී පවා, පදක්කම් පිරිනැමීම සිදුවී තිබෙනවා. ත්‍රිවිධ හමුදාවට පමණක් නොව, පොලිස් සේවයේද පදක්කම් පිරිනැමීම සිදුවෙනවා. එමෙන්ම, යම්කිසි රටක සාමාන්‍ය පුරවැසියන් වෙත ද, මෙවැනි සම්මාන ප්‍රදානය සිදුකරනවා, ඔවුන් විසින් රටට, ලෝකයට කරන අනභිබවනීය සේවා වෙනුවෙන්. මේ ලිපියේදී මා ඒ ගැන මීට වඩා විස්තර කියන්නට යන්නේ නැහැ.

   මම හැමදාම ලිපියක් ලියනකොට විවිධ වර්ගීකරණයන් පෙන්වා දෙනවා ඔබට මතක ඇති. ඉතින් පදක්කම් පිළිබඳව කතා කරනකොටත් සමස්ත ලෝකයේම හමුදා සඳහා ලබාදෙන පදක්කම් වල වර්ගීකරණයන් තිබෙනවා. සාමාන්‍යයෙන් පදක්කම් වර්ගීකරණය කර තිබෙන්නේ මෙහෙමයි.

1.  වීරක්‍රියා සඳහා පිරිනැමෙන පදක්කම් = Bravery Medals
ජාත්‍යන්තර වශයෙන් සලකන කල, ත්‍රිවිධ හමුදාවේ ඔනෑම සාමාජිකයකු විසින් සංග්‍රාමයේදී කරනු ලබන වීරක්‍රියා වෙනුවෙන් පිරිනමන පදක්කම්.

2. විශේෂ කුසලතා/දක්ෂතා වෙනුවෙන් පිරිනැමෙන පදක්කම් =  Meritorious Awards & Medals

3. සේවය ඇගයීමේ පදක්කම් = Service Decorations & Medals

4. ක්‍රියාන්විත/මෙහෙයුම් වෙනුවෙන් පිරිනැමෙන පදක්කම් = Campaign Medals

   සංග්‍රාමික කාලයකදී සිදුකරන, විශේෂ හමුදා මෙහෙයුම් සඳහා, සක්‍රිය දායකත්වය දැක්වීම වෙනුවෙන් පිරිනැමෙන පදක්කම්.

5. රාජ්‍ය පරිපාලන කටයුතු සම්බන්ධ විශේෂ පදක්කම් = Coronation/Inauguration Medals

යම්කිසි රාජ්‍යයක විශේෂ අවස්ථා, (නිදහස ලැබීම, පාර්ලිමේන්තු ක්‍රමය ඇරඹීම, ජනරජයක් බවට පත්වීම, විධායක ජනාධිපති ක්‍රමය ඇරඹීම වැනි) අනුස්මරණය කිරීම සඳහා පිරිනැමෙන පදක්කම්.

6. සංවත්සර පදක්කම් = Anniversary medals

හමුදාවට හෝ රටට අදාළ සංවත්සර ( නිදහස ලබා 50 වසරක් ගතවීම වැනි) සඳහා නිකුත් කරන පදක්කම්.

7. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවය සඳහා පිරිනැමෙන පදක්කම් = United Nations' Service Medals

 මීට අමතරව, ඒ ඒ රටවලට විශේෂ අවස්ථා වෙනුවෙන් සැකසූ පදක්කම් මෙන්ම, ඒ ඒ හමුදාවට පමණක් විශේෂ වන අවස්ථා සැමරීමටත්, පදක්කම් පිරිනමනු ලබනවා. සාමාන්‍යයෙන් මේ සියලුම පදක්කම් නිත්‍ය හමුදාවට මෙන්ම ස්වේච්ඡා හමුදාවටත් කිසිදු භේදයකින් තොරව ලබාදෙනවා. නමුත්, පදක්කම් සමහරක්, නිත්‍ය හමුදාවට පමණක් සීමාවන අතර, තවත් පදක්කම් කීපයක් ස්වේච්ඡා හමුදාවට පමණක් සීමා වෙනවා. එමෙන්ම වීර පදක්කම්, විශේෂ කුසලතා ඇගයීමේ පදක්කම්, සහ සේවා පදක්කම් හිමි අයවලුන්ට එම පදක්කමට අදාළ කෙටි යෙදුම, තම නමට අගින් ලියන්නට පුළුවන්. උදාහරණ කෝප්‍රල් ගුණපාල කේබී RSP මෙතනදී, කේබී කියන්නේ, කෝප්‍රල්ගේ නමේ මුල අකුරු, RSP කියන්නේ, රණශූර පදක්කම කියන එකයි. රශූප කියලා ලියන්නත් පුළුවන්. 

   එක කරුණක් මතක් කරන්නට තිබෙනවා. වීර පදක්කම් පිරිනැමීමේදී, ඒ සඳහා බලපවත්වන නිර්නායකයන් තිබෙනවා. යුදපිටියේ සිටින ක්‍ෂේත්‍ර අණදෙන්නන් Field Commanders විසින් තමයි, පළමුවෙන්ම මේ සඳහා නිර්දේශ ඉදිරිපත් කරන්නේ. ඒ නිර්දේශය, පිළිවෙලින්, ඊට ඉහළින් සිටින අණදෙන්නන් වන, බලසේනාධිපති Brigade Commander, සේනාංකාධිපති Division Commander, ආරක්ෂක සේනා ආඥාපති Security Force Commander විසින් නිර්දේශ කිරීමෙන් අනතුරුව, (බ්‍රිගේඩ්, ඩිවිෂන්, රෙජිමන්ට්, එව්වා කියලා දීලා හුඟක් කල් ඈ) යුදහමුදාපති විසින් කාලීනව පත්කරනු ලබන මණ්ඩලයක් විසින්, සළකා බලනවා. එහිදී, එම නිර්දේශිත පුද්ගලයාට, වීර පදක්කමක් පිරිනැමීමට හේතුවන සිදුවීම/සිදුවීම් වලට අදාළ සියලු සංග්‍රාමික වාර්තා, නැවත සලකා බලනවා. ඒ අනුව සමහරවිට, නිර්දේශිත පදක්කමට වඩා ඉහළ මට්ටමේ පදක්කමක් ලැබෙන්නට පුළුවන්, ඊට පහළ මට්ටමක පදක්කමක් ලැබෙන්නටත් පුළුවන්, නොලැබී යන්නටත් පුළුවන්. මන්ද, සමහර අවස්ථා වලදී, නිර්දේශය සඳහා ඉදිරිපත් කරන තොරතුරු, අදාළ නිර්නායකයන් සමග නොගැලපෙන නිසා. නමුත්, ඒ විදිහට පදක්කමක් නොලැබී යන අවස්ථා, අතිශයින් විරලයි.

   පදක්කම් සඳහා සකස් කෙරෙන එම මණ්ඩලයේ නිර්දේශය, ආරක්ෂක ලේකම්ගේ නිර්දේශයෙන්, ජනාධිපතිතුමා වෙත යැවෙන අතර, එතුමාගේ අනුමැතිය ලැබීමෙන් පසුවයි, පිරිනමන්නේ. සෑම වීර පදක්කමක්ම පිරිනමන්නේ සේනාධිනායක වන ජනාධිපති විසින්, ඒ සඳහාම පැවැත්වෙන විශේෂ උත්සවයකදී. 

   මෙතැන්සිට අපි බලමු, අපේ රටේ ත්‍රිවිධ හමුදාවට පිරිනමන, ඒ ඒ වර්ගීකරණයට අයත් පදක්කම් මොනවාද කියා. මෙහිදී, ඉහළම පදක්කමේ සිට පහළට යන ආකාරයට තමයි විස්තර කරන්නේ. සෑම වීර පදක්කමක් පිරිනැමීමේදී, ඒ ඒ පදක්කමට අදාළ, හේතු පාඨයක් citation තිබෙනවා. මා ඉතා කණගාටුවෙන් සඳහන් කරනවා, විශාල උත්සාහයක් දැරුවත්, ඒ හේතුපාඨ සොයාගන්නට නොහැකිවුණා. ඊට ආසන්න වශයෙන් තමා, මා මෙහි විස්තර දක්වන්නේ.  


1.  වීරක්‍රියා සඳහා පිරිනැමෙන පදක්කම් = Bravery Medals

1. පරම වීර විභූෂණය = PWV
1
   ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ ඕනෑම නිළයක අයකුට පිරිනැමෙන, ඉහළම වීර පදක්කම මෙයයි. මේ පදක්කම, ජීවතුන් අතර සිටින කෙනෙකුට පිරිනැමුණහොත්, ඔහු යම්කිසි උත්සව අවස්ථාවකට පැමිණෙන විට, ජනාධිපති වරයාද නැගීසිටිය යුතුයි, ත්‍රිවිධ හමුදාවේ සෑම නිළයකටම අයිති සියලු දෙනා, ආචාර කළයුතුයි. ත්‍රිවිධ හමුදාව තුළ, එදිනෙදා දකින හමුවන සෑමවිටම ද, සියලු නිළයන් එසේ ආචාර කළයුතුයි. මෙය, මෙරූන් වර්ණයෙන් යුත් පීත්ත පටියක (ribbon) රඳවන ලද, මිශ්‍ර ලෝහයකින් නිමවා, රන් ආලේපිත, පදක්කමක්. ඉදිරිපස තිබෙන්නේ ජාතික කොඩියේ ඇති සිංහ ලාංඡනයයි. පසුපස තිබෙන්නේ රාජ්‍ය ලාංඡනයයි. තම ජීවිතය විනාශවීමට හොඳටම ඉඩ ඇති බව දැන දැනත්, තම හමුදාවේ සහ රටේ ගෞරවය, ජයග්‍රහණය, තම සගයින්ගේ ජීවිත ආරක්‍ෂාව වෙනුවෙන්, තම ජීවිතාරක්‍ෂාව ගැන නොසලකා සංග්‍රාමික ක්‍රියාවල යෙදෙන අයට මේ පදක්කම පිරිනැමෙනවා. දැනට අපේ ත්‍රිවිධ හමුදාවේ මෙම පදක්කම ලද ජීවතුන් අතර සිටින්නන් කිසිවකුත් නැහැ. පදක්කම් ලාභීන්ගේ විස්තරයක්, මෙතනින් බලන්න පුළුවන්.



2. වීරෝදාර විභූෂණය WV
2
   මිශ්‍ර ලෝහයෙන් නිමවා, රිදී ආලේපිත පදක්කම, දම් පැහැති වර්ණ පටි දෙකකට මැදිවූ, නිල් පැහැති වර්ණ පටියකින් යුත්, පීත්ත පටියක රඳවා තිබෙන අතර, පදක්කමේ ඉදිරිපස, පැරණි ලාංකික කැටයම් වල නිරූපිත, හස්තියකුගේ ලාංඡනයක් දැක්වෙන අතර,  පසුපස රාජ්‍ය ලාංඡනය දැක්වෙනවා. හමුදා ක්‍රියාන්විත රාජකාරියට අදාලව මෙන්ම ඉඳුරාම හමුදා රාජකාරියට අදාළ නොවන එහෙත් මහජන සුබ සිද්ධිය වෙනුවෙන්, තම ජීවිතාරක්‍ෂාව ගැන නොතකා කරන වීරක්‍රියා වෙනුවෙන් මෙය පිරිනමනවා. ජීවත්ව සිටින අයකු මේ පදක්කම ලබා ඇද්දැයි මා දන්නේ නැහැ. පදක්කම් ලාභීන් ගැන විස්තර මෙතනින් බලන්න.  



3. වීර වික්‍රම විභූෂණය - WWV
3
   මිශ්‍ර ලෝහයකින් නිමවා, රිදී පැහැය ආලේප කර ඇති මෙම පදක්කමේ ඉදිරිපස, පැරණි සිංහල සොල්දාදුවන් දෙදෙනෙකුගේ සටන් විලාශයක් පිළිබිඹු කරන අතර, පසුපස රාජ්‍ය ලාංඡනය නිරූපණය වෙනවා. සම ප්‍රමාණයේ, මෙරූන් පැහැති වර්ණ පටි තුනක්, රන් පැහැති පසුබිමක දැක්වෙන පීත්ත පටියක, මෙම පදක්කම රඳවා තිබෙනවා. මෙම පදක්කම් පිරිනැමීමේදී, තම ජීවිතාරක්‍ෂාව ගැන නොසලකා කරන, හමුදා සේවයට අදාළ වීරක්‍රියා මෙන්ම, සුළි සුළං, ගංවතුර, නායයෑම්, සුනාමි, වැනි ස්වභාවික විපත් වලදී සහ, බෝම්බ තර්ජන, වැනි අවස්ථා වලදී, තම ජීවිතාරක්‍ෂාව ගැන නොසලකා, ජීවිත බේරා ගැනීමට ක්‍රියාකිරීම වෙනුවෙන් පිරිනැමෙනවා. පදක්කම් ලාභීන්ගේ නම්, මෙතනින් බලන්න පුළුවන්




4. රණවික්‍රම පදක්කම RWP
4
   මිශ්‍ර ලෝහයකින් නිමවා, රිදී පැහැය ආලේපිත මෙම පදක්කම, දෙපස රිදී පැහැති වර්ණ පටි දෙකක් සහ මැද තද රතු වර්ණ පටියකින් යුත්, පීත්ත පටියක රඳවා ඇති අතර, ඉදිරිපස වී කරල් දෙකක් වැනි කැටයමකට මැදිව, ත්‍රිවිධ හමුදාව නිරූපණය කෙරෙන සංකේතයකින් යුක්ත වෙනවා. පසුපස රාජ්‍ය ලාංඡනය දැක්වෙනවා. තමන්ට නියෝග නොලැබුනත්, තම ජීවිතාරක්‍ෂාව ගැන නොසලකා, ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්වී කරනු ලබන සංග්‍රාමික වීරක්‍රියා වෙනුවෙන්, මෙම පදක්කම පිරිනමනවා. පදක්කම් ලාභීන් රාශියක්‌ සිටියත්, මෙතනින් දැක්වෙන්නේ, ප්‍රධාන පෙළේ පදක්කම් ලාභීන් ගැන පමණයි. 




5. රණශූර පදක්කම RSP
5
   ලෝකඩ වැනි පෙණුමකින් යුත්, මිශ්‍ර ලෝහයකින් නිමවා ඇති මෙම පදක්කමේ ඉදිරිපස, ත්‍රිවිධ හමුදා ලාංඡනත්, පසුපස රාජ්‍ය ලාංඡනයත් නිරූපණය වෙනවා. දෙපස රතු පැහැති සහ මැද නිල් පැහැති පීත්ත පටියක, මෙම පදක්කම රඳවා තිබෙනවා. සතුරා ඉදිරියේ නොසැලී, අභීතව සටන් කරමින්, දක්වන්නාවූ අති විශේෂ දක්ෂතා වෙනුවෙන්, මෙම පදක්කම පිරිනමනු ලබනවා. මේ පදක්කම් ලාභීන් අතිවිශාල සංඛ්‍යාවක්, අපේ ත්‍රිවිධ හමුදාවේ සිටිනවා. එයින් ප්‍රධාන පෙළේ අයගේ නම් කීපයක්, මෙතනින් බලන්න පුළුවන්

   ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා වෙනුවෙන් පිරිනමන වීර පදක්කම් තිබෙන්නේ, ඉහත සඳහන් කළ පදක්කම් පහ පමණයි. මේ ලිපියට අදාලව කරුණු දක්වන පදක්කම් සංඛ්‍යාව 27 ක්. තව කොටස් කීපයක් ඉදිරියෙදී එනවා. මා හිතනවා ඔබට සෑහෙන්න ප්‍රශ්න ඇතිවෙයි. එයින් සමහරකට ඉදිරි කොටස් වලදී ඉබේම පිළිතුරු ලැබෙයි. නමුත් ප්‍රශ්න අහන්න පසුබට වන්න එපා. ප්‍රස්තුතයට අදාළ ප්‍රශ්න වලට පමණක් ඉඩ ලැබේ.



2015 ජූනි මස 21 වැනි දින 2308 පැය

64 comments :

  1. Gen රොහාන් දළුවත්තට PWV තිබෙනවාද ?

    ReplyDelete
    Replies
    1. නැත. ඔහුට තිබෙන්නේ WWV, RWP, RSP, VSV, USP, යන පදක්කම් පමණයි.

      https://en.wikipedia.org/wiki/Rohan_Daluwatte

      Delete
  2. මේ දැනුම සාමාන්‍ය අපට බොහොම දුර්ලභයි ඉතාම වටිනා මෙහෙවරක් විචාරකතුමණි

    ReplyDelete
    Replies
    1. සාමාන්‍ය ජනතාවගේ දැණුම දියුණු කරන්නමයි මම මේවා ලියන්නේ ගුණසිංහ මහත්තයෝ.

      ස්තුතියි ඇගයීම ගැන.

      Delete
  3. //නමුත්, ඒ විදිහට පදක්කමක් නොලැබී යන අවස්ථා, අතිශයින් විරලයි.// 99 සිට 2001 මුල හරිය දක්වා යවපු බොහෝ වීර පදක්කම් ප්‍රදානය 2001 පත් වුණු එ.ජා.ප. ආණ්ඩුවෙන් ප්‍රතික්ෂේප කරා. ඒවායින් සමහරක් ඒවා පමණක් 2005න් පස්සේ නැවත සලකලා බලලා ප්‍රදානය කරා යුද්දේ පටන් ගත්තට පස්සේ. (අත් දැකීමෙන් කියන්නේ :)
    WV ලිස්ට් එකේ නේවි එකේ දෙන්නම දැනටත් ජීවතුන් අතර ඉන්නවනේ. එක්කෙනෙක් හිටපු නාවික හමුදාපති සෝමතිලක දිසානායක අනිත් එක්කෙනා වත්මන් මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් රවී විජේගුණරත්න.
    අහ්! ඔය අන්තිම ලිස්ට් එකේනම් මගේ නමත් තුන් පාරක් ලියවිලා තියෙනවා..
    Citation තියෙනව English වලින්. මේල් එකක් දාන්නම් විචාරකතුමාට.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම එවැනි දෙයල් ඉන්පසු සිදුවුනේ නැහැ නේද. ඒ නිසයි මා කිව්වේ බොහොම විරලයි කියලා. ඒ ජරා නීච දේශපාලනය අපේ හමුදා තුළින් තුරන්වෙවා කියා මා ප්‍රාර්ථනය කරනවා.

      මා හොඳින් හඳුනන අදත් සේවයේ ඉන්න මේජර් ජෙනරල් වරයෙක් ඔය සිද්ධියෙන් පස්සේ කලින් තමන්ට නිර්දේශිතව තිබුන RWP එක වෙනුවට මණ්ඩලයෙන් නිර්දේශිත RSP එක එපා කියලා ලිපියක් ඉදිරිපත් කළා. මා හිතුවා ඔහු චාජ් එකේ යයි කියලා. නමුත් අවසානයේ RWP එක ලැබුණා.

      මට අද්මිරල් සොමතිලකව සහ රියර් අද්මිරල් විජේගුණරත්න අමතකවුණා. වරද පිලිගන්නවා.

      RSP වීරයාට මගෙන් සුබපැතුම්.

      ඉංග්‍රීසියෙන් තියෙන්නේ ආරක්ෂක අමාත්‍යංශයේ citation එකද නැත්නම් විකිපීඩියාවේ තියන එකද?

      Delete
    2. @ කල්‍යාණ මිත්‍ර

      ඒ කියන්නෙ කමියා ඒ කාලේ හිටියෙ ඩෝරා එකකද?

      Delete
    3. ඉංග්‍රීසියෙන් තියෙන්නේ ආරක්ෂක අමාත්‍යංශයේ citation එක. ඒක එවන්නම්. අපිටත් කියුවා කට්ටිය සබ්මිෂන් දාන්න කියලා.. අනේ මොකටද ඉල්ලලා අඹ ගන්න යන්නේ කියල නිකං හිටියා.. නැත්තං තව පියවරක් දෙකක් උඩ යන්නත් තිබ්බා..

      ඇනෝ.. හුම්ම්... (ඒ පැත්තෙ හිටපු එකෙක් වගේ.)

      Delete
    4. @ කල්‍යාණ එහෙනම් ඒ ටික එවන්න පුළුවන් විදිහකට දාන්නම්.

      Delete
    5. අප්‍ෙපෙොෝ කමිවටත්යටත් තිටනවල්ුතියනවලු විචාට නැද්ද පස්‍ෙවෙනි එකවත්

      Delete
    6. මොනවද යකෝ මේ අකුරු?

      අනේ මට එකක්වත් නැහැනේ. දන්නවද මම ගහගෙන ඉන්නේ ඔරෙන්ජම් බාර්ලි බෝතල්වල මූඩි. හැක්

      Delete
    7. @අටම්

      මමත් ඔය ප්‍රස්නේ දෙතුන් වතාවක් විචාරකගෙන් ඇහුවා.. මොනවහරි වෙන කතාවක් කියල ලිස්සලා යනවා. (ෂූවර් එකටම යුධබිමේ වීරක්‍රියා සඳහා දෙන පදක්කම් නැතුව ඇති. හික්...) පදක්කම් ඇතත් තමන් ගැනම වර්ණනා කරගන්න අනවශ්‍ය නිසා සද්ද නොකර ඉන්නවා ඇති.

      @ කල්‍යාන මිත්‍ර

      හපොයි මම හමුදාවක හිටියෙ නෑ.. ටික කාලයක් ආරස්සාව බාර අමාත්‍යාංසෙ (යුද්ධයෙන් රට බේරාගත්තු ගෝටාබය උත්තමයා ඒකෙ හිටපු කාලෙ) වැඩකලා. ඒ නිස මම ඔය පදක්කම් සිද්ධිය තරමක් දන්නවා. ඒත් ඉතිං විචාරකලගෙ හමුදාවේ කෙටේරියන්ස්ලා ඒකෙ බලය අල්ලගෙන එතන නිකං ඒ අයගෙ මූලස්තානෙ වගේ කරගත්තා නෙව. ඒ කාලෙ එතන අතිරේක ලේකම් තත්වයේ කෙනෙකුට වඩා වැඩි බලයක් කෙටේරියන්ස්ලගෙ ප්‍රය්වෙට්ලටත් තිබුබා. ඒ නරි නාඩගං බලන්න බැරි නිසා එතෙනට ආයුබෝවන් කිව්වා.

      Delete
  4. ගරු විචාරක මහතා,

    'උදාහරණ කෝප්‍රල් ගුණපාල කේබී RSP මෙතනදී, කේබී කියන්නේ, කෝප්‍රල්ගේ නමේ මුල අකුරු, RSP කියන්නේ, රණශූර පදක්කම කියන එකයි. රශූප කියලා ලියන්නත් පුළුවන්. '

    ඉංග්‍රීසියෙන් නම ලියද්දි KB Gunapala RSP කියලා නේද ලියන්නේ. ඔබතුමා මිට කලින් දාපු ලිපියක් තිබෙනවා 'මහ ගෙදරට නැවත පැමිණි රණවිරුවා' යන දාතම යටතේ. එහි ඇති අරාධනා පත්‍රයේ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මැතිතුමාගෙ නම සදහන් වන්නේ Field Marshal GSC Fonseka RWP RSP VSV USP reds psc ලෙස.

    අනික් කාරණේ නම් මා මෙතුවක් කල් සිතාගෙන සිටියේ 'පරම වීර විභූෂණ' පදක්කම ලැබෙන්නේ සටනේදී විශේෂ දක්ෂතා දක්වා, සටන් භූමියේම මිය ගිය සෙබළුන්ට පමණයි කියයි. ජිවත්ව සිටිනා අයටත් මෙය ලබාදීමේ හැකියාවක් තිබෙනවා කියා මා දැනගත්තේ ඔබතුමාගේ මෙම ලිපිය මගින්. බෙහෙවින් ස්තුතියි මේ කාරනා අපට පැහැදිලි කරලා දෙනවාට.

    ඒ වගේම ගරු විචාරක මහතා අපි පහුගිය කාලයේ දැක්කා අපගේ විරෝධාර සෙන්පතිතුමා වන ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මැතිතුමාගේ සේවය වෙනුවෙන් ලැබී තිබුණු පදක්කම් සියල්ලම අහෝසි කිරීමට එවකට සිටි දුර්ධාන්ත පාලකයා කටයුතු කරනවා. හමුදා නිලධාරියෙක්ට තමන්ගේ සේවය වෙනුවෙන් ලැබෙන පදක්කම් නැවත අහෝසි කිරීමට පාලකයාට ඇති අයිතිය කුමක්ද? හමුදා නිතිය අනුව මේ කාරණය පැහැදිලි කර ඇත්තේ කෙසේද?

    ඔබතුමාට විවේකයක් තියෙනවා නං පිළිතුරක් ලබා දෙන්න. ඔබගේ පැහැදිලි කිරීම් ඉතාම අගය කොට සලකමි.

    ReplyDelete
    Replies
    1. මහත්මයාණනි, ඉතා කාරුණිකව ඔබෙන් ඉල්ලා සිරිනවා ගරු/තුමා යනුවෙන් මට නොඅමතන ලෙස. එවැනි විශේෂණයක් ලැබීමට මට විශේෂ සුදුසුකමක් නැහැ. විචාරක කියා ඇමතුවාම හොඳටම ඇති.

      මෙන්න ඔබේ ප්‍රශ්න වලට පිළිතුරු.

      සිංහලෙන් නම ලියා පදක්කමේ නම ඉංග්‍රීසියෙන් ලියන්න පුළුවන්. එහෙම නැත්නම ආර්එස්පී කියා ඉංග්‍රීසි අකුරු සිංහලෙන් හෝ රශූප කියා සිංහලෙන් ලියන්නත් පුළුවන්.

      හමුදාවේ අයවලුන්ගෙන්, තම නමට ඉදිරියෙන් නමේ මුල අකුරු ලියන්න පුළුවන්, දෙවැනි ලුතිතන් සිට ඉහලට ඉන්න නිළධාරීන්ට සහ බලලත් නිලධාරි I නිලයේ ඉන්න, කොමිෂන් නොලත් නිලධාරියකුට පමණයි. අනික් සියලු නිලයන්ගේ නමේ මුල අකුරු ලිවිය යුත්තේ නමට අගින්.

      පරම වීර විභූෂණය ගැන ඔබේ දැණුම වර්ධනයවීම ගැන සතුටුයි.

      අපේ රටේ ඉන්න විධායක ජනාධිපති තමයි, නිළ බලයෙන්, ත්‍රිවිධ හමුදාවේ සේනාධිනායකයා Commander in Chief වෙන්නේ. ඔහුට ඔහුගේ අභිමතය පරිදි, ත්‍රිවිධ හමුදා පාලනය කළහැකි අතර, ජනාධිපති සතු මුක්තිය නිසා, ඒ ගැන ප්‍රශ්න කරන්න බැහැ. හිටපු ජනාධිපතිවරයා විසින් අවලංගු කල සියල්ල, වත්මන් ජනාධිපති විසින් යළි ලබාදුන්නා. ඒ ගැනත් ප්‍රශ්න කරන්න බැහැ.

      ජනාධිපති කැමතිනම් හෙට ඔයාව ජෙනරල් කෙනෙක් කරන්න පුළුවන්.

      Delete
  5. නොදන්නා තොරතුරු ටිකක්. ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඇගයීම ගැන ස්තුතියි ප්‍රසන්න.

      Delete
  6. වටිනවා හොදේ.. මාත් කාලයක් ආර්එස්පී අය ගැන හොදට හෙව්වා. හැක්

    ReplyDelete
    Replies
    1. අන්න කල්‍යාණ RSP කාරයෙක්. ගිහින් අල්ලගත්තනම් හරි.

      ස්තුතියි ඇගයීම ගැන.

      Delete
  7. එල්ලගෙන ඉන්න ඒවා කියල දැක්කම කියවන්න හිතාගෙන ආවෙ වෙන දෙයක්.වල්කොම කොහේ යන්නද.ඇත්තටම විචා මනා විග්‍රහයක්.පදක්කම් ගැන ගොඩක් දේ දැනගත්තා.

    ReplyDelete
    Replies
    1. හිහ් හී...........මම මේ මාතෘකාව දානකොටම හිතුවා හැලපේ කවුරුහරි ඔයටික කියයි කියලා. එල්ලගෙන ඉන්න කිව්වගමන් මතක්වෙන්නේ ඉතින් එල්ලිලා තියන දේවල්නේ, අපි ඔක්කොම එක වල්ලේ පොල්.

      ස්තුතියි ඇගයීම ගැන.

      Delete
  8. ඔවැනි පදක්කම් ලැබූ විරුවන් ගැන ජනතාව දැනුවත් මදි කමක් තියෙනවා නේද...? දසමහා යෝදයන්, ජාතික වීරයන් ගැන සදහන් කරන පොතපත ලියැවී තියෙනවා වගේම මේ විරුවන් ගැනත් ලියැවිය යුතු බවයි මගේ අදහස.

    ReplyDelete
    Replies
    1. දැන්නම් සමහර අයට යුද්දයක් තිබුනද කියන එකත් අමතක වීගෙන යන්නේ. වෙඩි තියන්න කිව්වම වෙඩි තියලා, අහිංසක මිනිස්සු මරණ කුලී හේවායන් පිරිසක් ලෙසයි, සමහර අය අපේ හමුදාව දකින්නේ. 'අනේ කාලේ වනේ වාසේ' කිව්වලුනේ.

      මේ අය ගැන ලිපි පෙළක් පලකරන්න මමත් ආසයි. නමුත් තොරතුරු ලබාගැනීම අතිශයින් දුෂ්කරයි.

      Delete
  9. Purple Heart වගේ තුවාල ලැබූ හෝ මියයන අයට පමණක් ලැබෙන එකක් තියනනවද ?
    PWV ඒ වගේද?

    ReplyDelete
    Replies
    1. දේශ පුත්‍ර සම්මානය.. අයියෝ කට පියාගෙන ඉන්න බෑනේ. අර ඇනෝ ඇවිත් උඩ පනීද දන්නෑ දැන්. හැක්.

      Delete
    2. ඒ කවුද? ඇයි උඩ පනින්නෙ? හයි ජම්ප් වලට මෙඩල් ගන්නද?

      Delete
    3. කවුද නම් දන්නේ නෑ. ඒත් මෑන් කැමති නෑ විචාරකගෙන් අහන ප්‍රශ්ණ වලට මං උත්තර දෙනවට.. ඌට ඒවා විචාරකගෙම්ම අහල සනීප කරගන්න ඕනිලු. හැක්. ඉතින් මොකටෙයි නිලං මං පැස්ටෝල් පුච්ච ගන්නේ කියල මාත් දැන් කඩේ වහල ඉන්නව.. ඒහෙම ඉද්දිනේ මේකට ආපහු පැන්නේ. හැක්.

      Delete
    4. @ Pra Jay

      PWV දෙන්නේ මැරුණොත් විතරයි කියා නියමයක් නැහැ. එවැනි මහා වීර ක්‍රියාවක් කර ජීවත් වන්නේ ලක්ෂයකින් එක්කෙනෙක් විතර. ඒ නිසයි තවම ජීවතුන් අතර ඉන්න කෙනෙකුට PWV ලැබී නැත්තේ.

      කල්‍යාණ කියා ඇති ආකාරයට සටනේදී බරපතල තුවාල ලබන යට දේශපුත්‍ර සම්මානය (පදක්කම) ලැබෙනවා. ඉදිරි ලිපියකදී කියන්නම්.

      @ කල්‍යාණ මිත්‍ර

      මටත් හිතාගන්න බහ ඒ ඇනොට ඔච්චර කේන්ති යන්නේ ඇයි කියලා. ඔබත් යුද බිමේ අත්දැකීම් සහිත නිලධාරියකු බව ඔහු දන්නේ නැද්ද මන්දා.

      Delete
  10. ඊළඟ ලිපි ටිකත් එනකම් බලාගෙන ඉන්නේ.... :c

    ReplyDelete
    Replies
    1. ඉක්මනින් දෙන්නම්

      Delete
  11. සාමාන්‍යයෙන් දැනගන්න නොලැබෙන තොරතුරු ටිකක්. බොහොම වටිනවා (Y)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඇගයීම ගැන

      Delete
  12. /* මොනවද අනේ ඔය එල්ලගෙන ඉන්නේ?*/

    ඇයි ලාග්ගා නැද්ද?

    ReplyDelete
    Replies
    1. මෙච්චර දිග විස්තරයක් කියවලත් මාතෘකාව මොකක්ද කියලා තේරුනේ නැද්ද?

      """"""""""""""""පුදුමයට පත්වුනෙමි""""""""""""""

      Delete
    2. විචාරක සෑර්. මේ රසිකොලොජිස්ට්ව දන්නේ නැද්ද හැබෑට? මෙයා ඔස්ට්‍රේලියාවේ ඉන්න ගොඩක් ලොකු විද්වතෙක්. මේ ලගදි පෙට්රල් මිල ගැන දාර්ශනික පැහැදිලි කිරීමක් කරලා ඔය ඉන්නේ. මේ ලාග්ගා කතාවත් ඒ වගේම දාර්ශනික මතවාදයක්. ඕං බලන්නකෝ තව ටික දොහකින් ඇවිල්ලා මෙතන දෙන පඩි ටෝක.

      Delete
  13. Pwv දෙන්නේ විරක්ක්‍රියාවක් කරල එයින් මිය ගියාමද?

    ReplyDelete
    Replies
    1. නැහැ. පදක්කම පිරිනැමීමට අදාළ හේතුපාඨයේ සඳහන් වන්නේ නැහැ, පදක්කම පිරිනැමීමට නම්, අදාළ පුද්ගලයා වීරක්‍රියාවක් කොට, එයින් මියයායුතුයි කියා. නමුත්, මේ පදක්කම ලබන්නට තරම් උසස් වීරක්‍රියාවක් කරන අයගෙන්, 99.9% ක් ම, ජීවිතය පුදා තමයි එවැනි ක්‍රියා කරන්නේ.

      Delete
  14. ඔය අකුරු මොනවද කියලා සෑහෙන කාලයක් තිබුණා ගැටළුවක්. පස්සෙ ටික ටික දැනගත්තා වචන මොනවද කියලා. හැබැයි අද තමා හොඳම විස්තරය දැනගත්තෙ. විකීපීඩියා බොහොම වටින දැණුම් සාගරයක් වුණත් අපි ඒකට යන්නේ ඒ ඒ වෙලාවට හිතුනු දේ බලන්නනෙ. අනිවාර්යයෙන් කියවන සිංහල බ්ලොග් එකක මේ වගේ විස්තරයක් දැම්මම නිකමට හරි කියවෙනවා. අන්තිමේ දන්නෙම නැතිව විශාල දැනුමක් ලබලා.
    මේක ඉතාම වටිනා මෙහෙවරක් විචාරකතුමා. ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. මම හිටන්නේ මධු මේ විස්තර සිංහලෙන් මීට කලින් කවුරුවත් ලියලා නැතුව ඇති. මේ දැණුමෙන් කවුරුහරි ප්‍රයෝජනයක් ගන්නවානම් ඒක මට ලොකු සතුටක්.

      ස්තුතියි ඇගයීම ගැන.

      හැක්. උඹට කියන්න තව මෙව්වා සැට් එකක් තියනවා අපි හදපු. මෙන්න බලපන්.
      TP= තුවාල පුත්‍ර = ඌ හැමදාම තුවාල වෙනවා යුද්දෙදි.
      WP= වේxගේ පුතා
      HP= හ්ම්......උඹ හිතුව එක තමයි.
      AD= අවි දානපති = ඌ හිටිය කඳවුරට කොටි ගහලා අවි ආයුධ අරන් ගිහින්
      PS= පසුබැසීමේ ශූරී

      Delete
    2. මේ පිලිතුර එල ද බ්‍රා විචා

      Delete
  15. අමතක වුණාම ටොකු කන දේවල් හිහි...
    සමහර විට ආසාවෙන් වගේ ගෙම්බො පයින තාරාවො යන ඒවත් කරල තියේ හිහි

    ReplyDelete
    Replies
    1. හනේ අම්මේ ඒ කාලේ අපි දියතලාවේ වැලි කැටයක් ගානේ ගෙම්බෝ පැනලා, තාරා ගමනින් ගිහිල්ලා, බබා වඩාගෙන ගිහිල්ලා ඉගෙනගත්ත දේවල්.

      Delete
  16. ක්‍ෂේත්‍ර අණදෙන්නන් නොදැන එකට PWV සුදුසුකම් ලබන්න තරන් සුදුසු අය තව ඕනතරන් යුද්දේදි මියගිහින් තියෙන්න පුලුවන් නේද? මියගිය 27 000 ක් වූ සෙබලුන්ගෙන් 29 දෙනෙක්ට විතරක් මේය ලැබීම ටිකක් පුදුමයි වගේ.යුද්දයෙන් මියගිය විට සෙබලෙක්ට උසස්වීමට අමතරව ලැබෙන පදක්කම කුමක්ද? (dulitha)

    ReplyDelete
    Replies
    1. මා හිතනවා මෙහිදී යලිත් කරුණු පැහැදිලි කිරීමක් කරන එක හොඳයි කියලා.

      1. PWV ලබාදීමට සුදුසුකම, යුද්ධයේදී සටන්කර මියයාම නොවේ. තම ජීවිතය ගැන නොසලකා, එමෙන්ම බොහෝවිට වෙනත් හමුදා සාමාජිකයකු නොකරනු ඇතැයි සිතන මට්ටමේ, මහා වීරක්‍රියාවක් කරමින්, තම හමුදාවේ අයගේ ජීවිත රැකගැනීම, සතුරාට ඉතා බරපතල හානියක් කිරීම වැනි තත්වයන් තමා, සලකා බලන්නේ.

      2. අපි හිතමු යුද බිමට යවන කුඩා භට කණ්ඩායමක් අපි නොදන්නා සතුරු ක්‍රියාවක් නිසා එකම තැනකදී එකවර සියලුදෙනාම මිය යනවා කියා. දැන් අපි දන්නේ නැහැ ඇත්තටම මොකද වුනේ කියන එක. මෙහිදී කරන්නේ ඒ සඳහා යුද හමුදා උසාවියක් (මූලික පරීක්ෂණ උසාවිය Court of Inquiry) පත්කරන එකයි. එම මණ්ඩලය විසින් සිද්ධිය වූ ප්‍රදේශයෙන් සහ ඒ ප්‍රදේශයට ආසන්නව සිටි හමුදා අයවලුන්ගෙන් මෙන්ම හැකිනම් සිවිල් අයගෙන්ද තොරතුරු සොයා බලනවා. (යුද්ධය තදින් තිබෙනවානම් මේ පරීක්ෂණය කල්යනවා අදාළ මණ්ඩලයට තොරතුරු ලබාගැනීමට. නමුත් පරීක්ෂණය නවත්වන්නේ නැහැ) එම මණ්ඩලයේ නිරීක්ෂණ හා නිර්දේශ තමයි පදක්කම් නිර්දේශ කිරීම සඳහා තොරතුරු ලබාගන්නේ.

      3. යුද්ධයෙන් මියගිය සෑම සෙබලකුටම හිමිවන විශේෂ පදක්කමක් නැහැ.

      Delete
    2. එතකොට වැඩි දෙනෙක්ට උසස් වීම විතරද?

      Delete
    3. ඔව්. යුද්ධයේදී මියයන සෑම දෙනාටම උසස්වීමක් මිසක් වීර පදක්කමක් පිරිනමන්නේ නැහැ. වීර පදක්කමක් ලැබීමට තරම් සුදුසු වීරක්‍රියාවක් කර තිබුනොත් පමණයි, එවැනි පදක්කමක් ලැබෙන්නේ.

      සාමාන්‍යයෙන් දේශපුත්‍ර සම්මානය බොහෝ දෙනෙකුට ලැබෙන්න පුළුවන්. එය සේවය ඇගයීමේ පදක්කමක්. වීර පදක්කමක් නොවේ. මීළඟ කොටසේදී ඒ ගැන කියන්නම්.

      Delete
  17. හරිම වටින විස්තරයක්. මම ආසම දෙයක් තමයි ඔය සන්නද්ධ හමුදා සංස්කෘතීන් ගැන කියවීම. ඔඩී මර්ෆි ගැන කියවලා තියෙනවද විචාරකතුමා? එයා දෙවැනි ලෝක යුද්ධ කාලේ හිටපු ඇමරිකානු සොල්දාදුවෙක්. Most decorated solider ever කියලයි එයාව හදුන්වන්නේ. ජනාධිපති වර්ණ, රෙජිමේන්තු වර්ණ ගැන විස්තර මොනවද? ඒවා ගැන ඉදිරියේදි ලියවෙයිද?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ප්‍රගීත්. සන්නද්ධ හමුදා ගැන කියවීමෙන් ඒ පිලිබඳ විශේෂඥ දැනුමක් ලබන්න පුළුවන්.

      මේ ලිපියේ ඉහල පින්තූරයේ ඉන්නෙත් දැනට ලෝකයේ ගොඩක් සම්මාන ලාභී නිලධාරියෙක්. ඔඩී මර්ෆිගේ පින්තූරයක් මෙතනට දාන්නම්. ඔබටත් පුළුවන් අදාළ html කෝඩ් එක මගින් ඔබේ කමෙන්ට් එකට පින්තූරයක් දාන්න. යූ ටියුබ් වීඩියෝ එකක් දාන්න අවශ්‍ය නම් කෙලින්ම URL එක කොපි පේස්ට් කරන්න.

      [im]http://www.classicmoviehub.com/blog/wp-content/uploads/2013/10/audie-murphy.jpg[/im]

      ජනාධිපති වර්ණ ගැන පසුව ලිපියක් ලියන්නම්.

      Delete
    2. ඇමරිකාවට මෙයා මෙච්චර වැදගත් මොනව කලාටද විචාරක මහත්තයෝ.ඒ ගැනත් පොඩි සටහනක් දැම්මනම්........

      Delete
  18. ඔන්න අපි නිකමට හිතමු සාමාන්‍ය සෙබළෙකුට PWV ලැබුන කියල. ඊට සතියකට විතර පස්සෙ ඔහු රාජ්‍ය උත්සවයකට සහභාගි වෙනව. ඔන්න එතනට එනව ත්‍රිවිධ හමුදාපතිවරුන්, දැන් විචාරක කියන්නෙ අර සාමාන්‍ය සෙබළව දැකල හමුදාපතිවරු තුන් දෙනා පැනල සැලියුට් කරයි කියල ද?

    ReplyDelete
    Replies
    1. විස්වාස කරන්නත් අමාරුයි නේද? නමුත් සහතික ඇත්ත ඒක තමයි. පැනලා ආචාර කිරීමක් නැහැනේ. පනින්නේ නැතුව ආචාර කරනවා. ඒ තමයි හමුදා නීතිය.

      Delete
    2. මතක තබාගන්න මෙහිදී අචාර කරන්නේ ඒ සෙබලාට නොවේ. අර පදක්කම ලැබීමෙන් ඔහු පත්වූ උසස් ගෞරවාන්විත තත්වයටයි.

      Delete
  19. එල්ලගෙන ඉන්නවා කිව්වම බලන්න අවේ වෙන එකක්, හැබැයි ජීවිතේට අහල දැකලා නැති දෙයක් දැනගත්තා එකෙන් තැනකුයි විචා මාමේ

    ReplyDelete
    Replies
    1. හිහ් හිහ්, හැලපෙත් ඇවිල්ලා තියෙන්නේ එල්ලිච්චා බලන්න. උඹත් ඉතිං ඔව්වා හොයනවනේ.

      දැනුම දියුණුවීම ගැන සතුටුයි.

      Delete
  20. අපේ pwv සම්මානය victoria cross (UK ) සහ medal of honor (US ) දෙකට සමානයි වගේ නේද?
    ඒ දෙක ගන්න අයටත් ඕනෑම ලොක්කෙක් සැලියුට් කරන්ට ඕනෙලු. හැබැයි ඒක නීතියක් නෙවෙයිලු. සම්ප්‍රදායක් පමණලු . අපේ pwv සම්මානෙට සැලියුට් කරන්ට කියල නීතියක් තියනවද?

    i just saw a photo of an admiral saluting a sergeant with the medal of honor. WOW.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබේ මේ පූර්ව දැනුම සහිත අදහස් දැක්වීමට.

      ඇත්තෙන්ම සෑම රටකම තිබෙනවා මෙවැනි ඉහලම පෙලේ පදක්කමක් හෝ සම්මානයක්. ඒ පදක්කම ජීවතුන් අතර සිටින කෙනෙකුට ලැබුනොත් රාජ්‍ය නායකයා පවා ඔහුට ගෞරව කළයුතුයැයි සම්මතයක් තියනවා.

      Delete
  21. අමුතුවෙන් අහන්න තරම් ප්‍රශ්න නැහැ.විස්තර කිරීමෙන් සහා පසුව දක්වා තිබෙන කරුණු තුලින් බොහෝ දේ අලුතෙන් දැන ගත්තා.ස්තූතියි ඔබට.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මනෝජ්. ලිපියේ ඊළඟ කොටස්ද බලන්නට ඔබට ඇරයුම් කරනවා.

      Delete
  22. විචා එල ද බ්‍රා
    මේ වගේ දෙයක් විස්තර කරලා ලියන්න ඔබට තියන හැකියාව දැනුම එල ද බ්‍රා..
    ලිපිය කමෙන්ටු පිලිතුරැ හැම එකක්ම සැලකිල්ලෙන් කියෙව්වා..ස්තූතියි තූමනි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මෙන්ඩා. ලිපියේ ඉතිරි කොටස් ටිකත් බලන්න කියලා ඉල්ලනවා.

      Delete
  23. විචා.. අන්න මධුවා උඔයි කමියා ඩ්‍රින්ක් එක දාපු එක ලියලා.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, ඔන්න ඔහ ඕනේ මගුලක් මට මොකෝ.

      Delete
  24. අගය කරනවා සර් ගොඩක්. සර් මේ ලියන ලිපි ගොඩක් වැදගත් සිවිල් අයට වගේම අපිටත්, සර්ට මම පුංචි යෝජනාවක් කරන්නම්. සර් මේ වගේ ලිපි ලියන්න අපේ රණවිරුවා සගරාවට. ඒක ගොඩක් වැදගත් වෙයි අපේ නිලධාරින්ට වගේම සෙනින්ටත්.
    කපිතන් කේඩබ්එස්ආර්****** SLSC

    ReplyDelete
    Replies
    1. මම නාමිකවම රණවිරුවා එකට ලිව්වා සේවයේ යෙදී සිටියදී. නමුත් නිර්නාමිකව දැන් එය කරන්නට ඉඩක් නොලැබෙයි කියා හිතනවා. රණවිරුවා එඩිට් කරන්නේ තවම අර SLNG මේජර් ද?

      Delete
  25. පියගෙන් පුතාට පදක්කම් උරුම වෙනවද.පුතා හමුදා සොල්දාදුවෙක් නොවුනත්

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }