හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

08 June 2015

යුද්ධ කරන්නෝ සහ නොකරන්නෝ (පළමුවැනි කොටස).........................................................Combatants and Non Combatants (Part One)

Cowerdly & Brave
 යුද්ධයක් කරනකොට රටක මුළු හමුදාවම යුද්ධ කරනවද එහෙම නැත්නම් යුද්ධ නොකරණ අයත් ඉන්නවද? හැබෑටම මේ ප්‍රශ්නෙට උත්තරේ මොකක්ද? මේ ලිපිය ලියන්න හිතුනේ, පහුගිය දිනක, එක්තරා බ්ලොග් අඩවියක, සියල්ල දත් වර්ගයේ මෝඩ ඇනෝවකු විසින් දමා තිබුන, දෙකොනින් හිනායන කමෙන්ට් එකක් නිසා.

   ඔහුගේ අදහස අනුව, ශ්‍රී ලංකාවේ පසුගිය සමයේ තිබුන බෙදුම්වාදී යුද්ධයේදී, ලක්‍ෂ දෙකක් පමණ වන ශ්‍රී ලංකා යුද හමුදාවෙන්, 10% ක් පමණ තමා, කෙලින්ම යුද්ධයට සහභාගිවී තිබෙන්නේ. ඉතුරු අය, මුරකපොලු බලාගැනීම, සැපයුම්, පරිපාලන, සහ පණිවිඩ හුවමාරු වැනි රාජකාරිවල තමයි, යෙදී තිබෙන්නේ.

   ඉතින් මේ අදහස් කියවා, කාලයකට පසු, හොඳම හමුදා විහිලු කතාවක් කියවූ විට ලැබෙන සතුට ලබමින්, සෑහෙන වෙලාවක් හිනාවෙන්න ඉඩ ලැබුණා. අපේ රටේ තරම් ආරක්ෂක විද්‍යා විශේෂඥයන්, ලෝකයේ වෙන කිසිම රටක නැතුව ඇති. තමන්ගේ ඥාතීන්, මිතුරන්, ත්‍රිවිධ හමුදා සේවයේ යෙදී සිටීම/යෙදීසිට තිබීම නිසා, ඔවුන්ගෙන් 'අසාදැනනගත් කරුණු hearsay evidence' පදනම් කරගෙන, එසේ නැතහොත් විවිධ ජනමාධ්‍ය සහ අන්තර්ජාලය පරිහරණය කිරීමෙන්, එහෙන් මෙහෙන් අහුලාගත් දැණුම පදනම් කරගෙන, මෙවැනි අමන පුඟුලන් කරන, හරසුන්, අවලංගු, ප්‍රකාශ, කරුණු නොදත් පාඨක බොහෝ දෙනාගේ, මනස අවුල් කරන්නට ඉඩ තිබෙනවා. ඒ නිසා, යුද හමුදාවක කාර්යභාරය සංක්ෂිප්ත කොට දැක්වීම පිණිස, මේ ලිපිය උපයෝගී කරගන්නවා.

   ඇත්තටම යුද්ධ හමුදාවක ඉන්නවද, යුද්ධ කරන සහ යුද්ධ නොකරණ කියලා වර්ග කරන බලකාය? මේ ප්‍රශ්නෙට උත්තරේ, ඔව්/නෑ කියන එකයි. තමන්ගේ අම්මාව දූෂණය කරන්න හදන එකෙකුට, ගලකින් ගහලා දුවන්න හරි, පොඩි පුතෙක් පෙළඹෙනවා නේද? ඒ පුතා, මහ හැඩිදැඩි මිනිහෙක් එක්ක පොරබදා, තම අම්මාව බේරානොගත්තත්, අර ගල් පහරෙන් ඒ සතුරාව පාලනය කරගන්න පුළුවන්. ඌ අර පොඩි එකාගේ ගල් පහර වැදී, බුදු අම්මෝ...... කියා ඔලුව බදාගත් ඇසිල්ලේ, අර පොඩි එකාට පුළුවන් අම්මවත් ඇදගෙන පනින්න. එහෙමත් නැත්නම් තමන්ගේ මව දූෂණය කරපු එකා, මවගේ බෙල්ල මිරිකන්න කලින්, එතනින් ඉවතට දුවලා, කාව හරි උදව්වට එක්ක ඇවිත්, අම්මගේ ජීවිතය බේරගන්න පුළුවන්. 

   ඔන්න ඔහොම දේවල් යුද්දෙදිත් වෙනවා. ඒ නිසා, කිසිම රෙජිමේන්තුවක්/බලකායක්, යුද්ධ කරන්නේ නෑ කියලා කියන්න බැහැ. අර පොඩි එකා තනියම සටනට යන්නේ නැහැ වගේ, කෙළින්ම පාබල හමුදා භූමිකාව සඳහා නොයොදන රෙජිමේන්තුත්, ලෝකයේ ඔනෑම හමුදාවක තිබෙනවා. නමුත් එයින් අදහස් කරන්නේ නැහැ, ඒ රෙජිමේන්තුවල ඉන්න අය, හදිසියක් වුනාම පැනලා යනවා කියලා. තමන්ට හැකි අයුරින් ඔවුන් සටන් කරනවා. නමුත් යුද්ධයකදී ඉතා කලාතුරකින් තමා එවැනි තත්වයක් ඇතිවන්නේ. පසුගිය සංග්‍රාම සමයේ දී, අපේ රටේ, එවැනි අවස්ථා එකක් දෙකක් පමණ ඇතිවුණා. 

  ලෝකයේ ඔනෑම හමුදාවක, 'සටන්කාරී රෙජිමේන්තු - Combatant Regiments' සහ 'සටන්කාරී නොවන රෙජිමේන්තු - Non Combatant Regiments' යනුවෙන් රෙජිමේන්තු වර්ග දෙකක් තියනවා. නාවික හමුදාවේත්, ගුවන් හමුදාවේත් යම් යම් අංශ තිබෙනවා, කෙලින්ම 'සටන්කාරී භූමිකාව - Combat Role' සඳහා නොයොදවන.

   මම කියන්නද වැඩක්. මේ ලිපිය කොහොමටත් කොටස් දෙකකටවත් යයි. ඒ නිසා, ඔබටත් කරන්න පොඩි අභ්‍යාසයක් දෙන්නම්. මම පහළින් දක්වනවා, සාමාන්‍යයෙන් ජාත්‍යන්තරව තිබෙන හමුදා සැකැස්ම (NATO Military Organisation) අනුව, යුද හමුදාවක තියන රෙජිමේන්තු සහ බලකා ලැයිස්තුවක්. ඔබට කරන්න තියෙන්නේ, ඔබ හිතන විදිහට මෙන්න මේවා සටන්කාරී, මෙන්න මේවා සටන්කාරී නොවන, කියලා ගොඩවල් දෙකකට දාන එකයි. උත්තරේ මම ඊළඟ ලිපියේදී කියන්නම්. මෙන්න ලැයිස්තුව.

ඉංජිනේරු බලකාය/රෙජිමේන්තුව - Engineers Corps

වෛද්‍ය බලකාය - Medical Corps 

සංඥා බලකාය - Signal Corps

පාබල හමුදාව - Light Infantry Regiment

විදුලි සහ යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව - Electrical and Mechanical Engineers Regiment 

සේවා බලකාය - Service Corps 

කමාන්ඩෝ රෙජිමේන්තුව - Commando Regiment 

පොලිස් හේවා බලකාය - Corps of Military Police 

කාන්තා බලකාය - Women's Corps 

යුද්ධෝපකරණ බලකාය - Ordnance Corps 

ඉංජිනේරු සේවා රෙජිමේන්තුව - Engineer Services Regiment

යාන්ත්‍රික පාබළ රෙජිමේන්තුව - Mechanised Infantry Regiment 

පොදු සේවා බලකාය - General Service Corps 

සන්නාහ සන්නද්ධ බලකාය - Armoured Corps

කාලතුවක්කු හමුදාව - Artillery Corps/Regiment

විශේෂ බලකාය - Special Force

සන්නද්ධ බුද්ධි බලකාය - Military Intelligence Corps

පුරෝගාමී බලකාය - Pioneer Corps

ස්වේච්ඡා හමුදාව - Volunteer Force 

   හොඳට මතක තියාගන්න. මේ, ලංකාවේ හමුදාව පදනම් කරගෙන විතරක් හිතලා, උත්තර දියයුතු ප්‍රශ්නයක් නොවේ.

   ඒ වගේම අතුරු ප්‍රශ්නයක්. යුද්ධය ඉතා දරුණු අතට හැරුනොත්, ශිෂ්‍යභට බලකාය, යුද්ධයට කැඳවනවාද නැද්ද?

   හොඳයි, ඊළඟ ලිපියෙන් හමුවෙමු.




2015 ජූනි මස 07 වැනි දින 2243 පැය 

67 comments :

  1. පාබල හමුදාව, කමාන්ඩෝ රෙජිමේන්තුව එතකොට සන්නාහ සන්නද්ධ බලකාය සහ ඉන් පසුව යෙදූ සියල්ල සටන්කාරී අංශ කියලායි මට හිතෙන්නෙ. වෛද්‍ය හා ඉංජිනේරු බලකායන් පැහැදිලිවම සටන් බිමේ පෙරමුණට යනවා නේද?

    ReplyDelete
    Replies
    1. යුද්ධය ඉතා දරුණු අතට හැරුනොත් සේවා බලකායන් සියල්ලත් කැඳවනවා ඇති. ශිෂ්‍ය භට බලකායත් කැඳවනවා කියලයි මං කියන්නෙ. (අනුමාන උත්තරනෙ අප්පා දෙන්න තියෙන්නෙ)

      Delete
    2. මම දන්න විදිහට ඉංජිනේරු බලකායත් ඉදිරියටම යනවා. විශේෂයෙන්ම මර උගුල්, බෝම්බ ආදිය ඉවත් කිරීම, මාර්ග බාධක ඉවත් කරමින් මාර්ගය සකසා දීම, තාවකාලික පාලම් (මෙබඳු ඇකිලිය හැකි යකඩ පාලම් සහිත වාහන අප දැක තිබෙනවා) මගින් ගංගා/ අගාධ වලින් එගොඩ වීමට උපකාර කිරීම ආදී බොහෝ දෑ ඔවුන් ඉටුකරනවා. පණ්ඩිත කමට මෙව්ව ලිව්වට මේ පිළිබඳ අප දන්නේ ඉතා සුළුවෙන්. විචාරක තුමා වැඩි විස්තර ලබා දෙනු ඇතැයි අපෙක්ෂා කරමි.

      Delete
    3. ස්තුතියි මධු අනුමානයෙන් හරි උත්තර දීම ගැන. ඉංජිනේරු බලකාය තමයි යුද බිමේ ඉදිරියෙන්ම යන්නේ. ඊළඟ ලිපියේදී කියන්නම්. වෛද්‍ය බලකාය යුද පෙරමුණට පසුපසින් ඉන්නවා ප්‍රථමාධාර දී තුවාල කරුවන් රෝහලට යැවීමට.

      ස්තුතියි ඇනෝ ඔබ හරි. ඉංජිනේරු බලකාය ඉතා වැදගත් සේවයක් ඉටුකරනවා. ඊළඟ කොටසේදී කියන්නම්.

      Delete
  2. අද කාලේ හැටියටනම් සටන්කාමී රෙජිමේන්තු වලට සටන්කාමී නොවන රෙජිමේන්තු වල සහය නොමැතිව නිකන්ම යුද බිමේ සටන් කරන්න බැහැ නේද?
    වනගතව හෝ නාගරික ප්‍රදේශ වැනි ජනාවාස ප්‍රදේශ වලින් එපිට පවතින සටනක් යම් කිසි ලෙසකින් නගරයක් තුලට ක්‍රම ක්‍රමයෙන් ඇතුලු වන විටක, එහි සියලු අංශ සඳහා යෙදවීමට සෙබලුන් ප්‍රමාණවත් නොවන විටක නගරයේ ආරක්ෂාවට හෝ වෙනත් කටයුතු සඳහා ශිෂ්‍ය භටයින් කැඳවනු ඇතැයි සිතමි.

    ReplyDelete
    Replies
    1. k: තේරුම හොයලා බලන්න

      Delete
    2. මොනම හමුදාවකටවත් බැහැ සටන්කාරී නොවන රෙජිමේන්තුවල සහාය නැතුව යුද්ධ කරන්න. හමුදාවට කන්න අඳින්න, ඉන්න හිටින්න, සටන් කරන්න අවි ආයුධ, බෝම්බ, පතරොම් දෙන්නේ සටන්කාරී නොවන රෙජිමේන්තු විසින්.

      කිසිදු හේතුවක් නිසාවත් ශිෂ්‍යභට බලකාය කැඳවන්නේ නැහැ ලෝකයේ කොහෙවත්. ඔවුන් පාසල් ළමයි.

      @ ඇනෝ

      මොකක්ද තේරුම කියලා හෙව්වා පිළිතුරු දෙකක් ලැබුණා.

      http://boards.4chan.org/k/

      http://en.wikipedia.org/wiki/K

      Delete
  3. දරුණු අතට හැරුනොත්, ශිෂ්යභට බලකාය, යුද්ධයට කැඳවනවාද?
    ඔව්
    * සටන්කාරී නොවන????

    ReplyDelete
    Replies
    1. නැහැ බුද්ධි කැඳවන්නේ නැහැ. ඔවුන් පාසල් ළමයි. කිසිම ආකාරයකින්වත් සම්බන්ධ කරගන්න බැහැ.

      Delete
  4. මෙන්න මෙයාලා යුද්දෙට යන්නේ නැතුව ඇති. Personnel like lawyers, accountants, some doctors, mechanics, administrative staff, and cooks :)

    හොඳටම දරුණු වුනොත් ශිෂ්‍ය භටයෝ කැන්දයි.

    ReplyDelete
    Replies
    1. Have you heard of a thing called " battle field kitchen"?

      Delete
    2. ඔතනින් කෙලින්ම යුද පිටියට නොයන්නේ නීතීඥයෝ, වෛද්‍යවරු, ගණකාධිකාරීවරු, විතරයි අනික් අය ඔක්කොම යනවා. ඊළඟ ලිපියේදී කියන්නම්.

      @ Ano

      Never heard of that. However, most of the home kitchens are like battle fields, specially in a working day morning.

      Delete
  5. මෙන්න මෙයාලා යුද්දෙට යන්නේ නැතුව ඇති. Personnel like lawyers, accountants, some doctors, mechanics, administrative staff, and cooks :)

    හොඳටම දරුණු වුනොත් ශිෂ්‍ය භටයෝ කැන්දයි.

    ReplyDelete
  6. අපි ශිෂ්‍යභයො විදිහට පුහුණු වෙද්දි කිවුවෙ යුද්දෙට ඕනෙ උනොත් ගන්නව කියල. මමත් ආසාවෙන් හිටියෙ කොහු මිටි තුවක්කුව විසිකරල ටොයිය T 56 කින් වෙඩි තියන්න.
    ඉතිරි කොටහ ඉක්මනින්ම දාන්ඩ.

    ReplyDelete
    Replies
    1. ගන්නේ ඉස්කෝලෙන් අස්වුනොත් විතරයි. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති අනුව පාසල් සිසුන් යුද්දෙට යවන්න බැහැ.

      Delete
  7. ශිෂ්‍ය භට බලකාය ස්වේච්ඡා හමුදාවට අයත් කියලා "batar form" එකේද කොහෙද තියෙනවා දැක්කා.එ හින්දා හිතෙනවා එයාලවත් යුද්දෙට ගෙන්නන්න පුලුවන් ඇති කියලා.

    ReplyDelete
    Replies
    1. batar form කියන්න මොකක්ද? මට පැහැදිලි නැත. ශිෂ්‍යභට බලකාය අපේ රටේ ඉස්සර තිබුනේ ස්වේච්ඡා හමුදාව යටතේ. නමුත් දැන් කෙලින්ම ආරක්ෂක අමාත්‍යාංශය යටතේ. සමහර රටවල යුද හමුදාව යටතේ තියනවා. ශිෂ්‍ය භටයන් කියන්නේ පාසල් සිසුන්. ඒ නිසා ඔවුන්ව යුද්දෙට යවන්න බැහැ.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. නමුත් පාසල් සිසුන්ට අනිවාර්ය හමුදා පුහුනුව වසරක්,හෝ දෙකක් දිය යුතුයි. ආකල්ප, විනය, නායකත්ව වර්ධනය සඳහා. හදිසි අවස්තාවකදී රටේ ආරක්ෂාවට පැවැත්මට පවා වැදගත්.

      Delete
    4. ඔව් දිලීප, ලෝකයේ බොහොමයක් රටවල ශිෂ්‍ය භට බලකායක් පවත්වාගෙන යන්නේ, ඒ අරමුණු ඉටුකරගැනීම සඳහායි.

      Delete
    5. අපි බටා එක කිව්වේ කෑම්ප් එකෙන් එන දවසෙ දෙන සල්ලි වලට.එ ෆෝම් එකේ අරහෙම ගහල තිබ්බා ඒකයි..

      Delete
  8. 'මේ ලිපිය ලියන්න හිතුනේ, පහුගිය දිනක, එක්තරා බ්ලොග් අඩවියක, සියල්ල දත් වර්ගයේ මෝඩ ඇනෝවකු විසින් දමා තිබුන, දෙකොනින් හිනායන කමෙන්ට් එකක් නිසා.

    ඔහුගේ අදහස අනුව, ශ්‍රී ලංකාවේ පසුගිය සමයේ තිබුන බෙදුම්වාදී යුද්ධයේදී, ලක්‍ෂ දෙකක් පමණ වන ශ්‍රී ලංකා යුද හමුදාවෙන්, 10% ක් පමණ තමා, කෙලින්ම යුද්ධයට සහභාගිවී තිබෙන්නේ. ඉතුරු අය, මුරකපොලු බලාගැනීම, සැපයුම්, පරිපාලන, සහ පණිවිඩ හුවමාරු වැනි රාජකාරිවල තමයි, යෙදී තිබෙන්නේ.'

    මේ වගේ කාරණයක් හිටපු ශ්‍රී ලංකා යුධ හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාත් බොහෝ වෙලාවට කියනවා. ජගත් ජයසුරිය වැනි අය ගැන සදහන් කිරීමේදී ෆොන්සේකා මහතා කියන දේ තමයි මේ අය කෙලින්ම යුද්ධයට සම්බන්ධ අය නෙමෙයි, මෙයාලා යුද්ධය කරද්දී කෑම එහෙම සපයපු අය කියන එක.

    යුද්ධයක් කරද්දී ඒ භූමියට අවශ්‍ය සැපයුම් නිසි පරිදි කරන එක ඉතාම වැදගත් දෙයක් කියලයි මම අහලා තියෙන්නේ. ඒත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා නං කියන්නේ අර උඩින් ඇනෝවෙක් කියලා තියෙන දේම තමයි,

    සරත් ෆොන්සේකා මහතා මෙවැනි ප්‍රකාශන කරනවා මම දහ දොළොස් වතාවක් වත් අහලා ඇති. ඒ කියන්නේ ශ්‍රී ලංකා ඉතිහාසයේ බිහිකරපු දක්ෂතම යුධ හමුදාපතිවරයාත් ඔහුගේ යටතේ සිටි හමුදාව ගැන එහෙම ප්‍රකාශ කරනවා නං ආයේ මොන කතාද විචාරක තුමා.

    ReplyDelete
    Replies
    1. ඔවු ඒ කතාව ඇත්ත. ඔය මතය ඇත්තටම ප්‍රවර්ධනය කලේ එතුමා තමයි. ඇත්තටම යුද බිමේ සිටි අයට නොව වෙනත් සහායක බලකාවල නිලධාරීන්ට තනතුරු දී ඇති බවත් ඔවුන් මාරු කිරීම පමණක් නොව ඔවුන්ට දඬුවම් දිය යුතු බවත් පැවසුවා.

      Delete
    2. ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා කිව්වේ, මෙන්න මේකයි.

      ඒ කාලයේ, ජෙනරල් ජගත් ජයසූරිය, කෙලින්ම සංග්‍රාමික නොවන, එහෙත් ආධාරක භූමිකාවකයි හිටියේ.

      ඒ කියන්නේ මෙන්න මේකයි. යුද්ධයක් පවතිනකොට යුද බිමට සෑහෙන්න පසුපසින් පවත්වාගෙන යනවා, 'ඉදිරි නඩත්තු පෙදෙස - Forward Maintenance Area = FMA' යනුවෙන් හඳුන්වන, හමුදා උපකරණ/සේවා/නඩත්තු/ සැපයුම් කඳවුරු. ජෙනරල් ජයසූරිය අන්න ඒ කඳවුරක ප්‍රධානියා වෙලා හිටියා. ඒ කඳවුරේ කවුරුවත් (සටන්කාරී රෙජිමේන්තුවලින් පැමිණි අයත් ඉන්න පුළුවන්) යුද පෙරමුණට යන්නේ නැහැ. එතන ඉඳන් සේවය කරනවා. එවැනි අයට යුදබිමේ අත්දැකීම් අඩුයි. එවැනි අයට, පසුකාලීනව, සංග්‍රාමික භූමිකාවේ වැදගත් තනතුරු දුන්නා කියන එකයි, ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා අදහස් කළේ.

      ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා, 'හමුදා යෙදුම්' මාධ්‍යයට කියනකොට, තේරුම් කරලා නොකීමේ විපාකය නිසා, වැරදි අර්ථකථන ඇතිවුණා. ඔහු කියන හැමදේම පිළිගන්න අපි කවුරුවත් බැඳිලා නැහැ නේද?

      Delete
  9. ඔය ආකාරයේ නොදන්න දේවල් කියන එක යුද්දයට පමණක් සීමා වූ දෙයක් නෙවෙයි...ක්‍රිකට් තරගයක් පැරදුණ වෙලාවට බලන්න‍කො...

    ReplyDelete
    Replies
    1. ඒ ගොන්පාට් එකනම් මමත් කරනවා. නොදැනීම කෙරෙනවා :e

      Delete
  10. ඔය කියන එක්තරා බ්ලොග් අඩවියේ, විචාරක ගේ කමෙන්ටුවකට ඇනෝවෙකු දමා තිබුණු පිළිතුර සහ සහ ඊට පසුව විචාරක සහ තවත් පිරිසක් කළ වචන හරඹය දුටුවා. අවාසනාවට මෙන් ඉතාම කාර්ය බහුල වූ නිසා මට එයට සම්මාදම් වීම මග හැරී ගියා.

    ඕකෙම වෙනත් තලයක ප්‍රශ්ණය නේද යුද්දෙ කළේ ආමි එකෙන්ය කියන එක. ඒ කියන්නේ නේවී එක, එයාෆෝස් එක සියඹලා ගෙනත් නෑ කියන කතාව?

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි රසික, එවකට හිටපු යුධ හමුදාපති තුමා ඉතාම පැහැදිලිව පැවසුවේ යුද්ධයෙන් 95% ම සිදු කළේ යුද හමුදාව බවයි. ගුවන් හමුදාව යම් සහයක් දුන්නත් නාවුක හමුදාව කිසිත් නොකළ බවත් ඔවුන්ගේ අකාර්යක්ෂම බව නිසා මුහුදින් පලායාමට ඉඩ ඇතැයි එතුමා බිය වී සිටියා. එමෙන්ම නාවුක හමුදාව කොළඹ සහ වෙනත් ප්‍රදේශවල් මුර කපොලු වලින් කොටසක රාජකාරි කළා පමණයි.

      Delete
    2. එවකට (යුද්ධය පැවති සමයේ) හිටපු නාවික හමුදාපතිවරයා මීට වෙනස් මතයක් දරමින් පැවසුවේ කිසිවෙකුටත් සියට ගණනින් දැක්විය නොහැකි බවත් සියලු දෙනාගේ කැපවීම සහ සහයෝගයෙන් යුද්ධය ජයගත් බවයි. කෙසේ නමුත් ධුරයේ සිටියදීම ජෙනරාල් ධුරයකින් පුදලද පළමු ලාංකික යුධ හමුදාපතිවරයා ලෙසත් යුද්ධය නිමවී වසර 06කට පසුව පවා බලසම්පන්න ෆීල්ඩ් මාෂල් ධුරයකින් ද පිදුම් ලැබූ රටම පිළිගත් ප්‍රධානතම යුධ නායකයා වූයේ යුධ හමුදාපතිතුමා බැවින් එතුමාගේ මතය පිලිගැනීමට අපට සිදුවනවා නේද? මෙය ඉතා පැහැදිලිව එතුමාගේ යුද්ධයෙන් පසු පැවති පළමු මාධ්‍ය සාකච්ඡාවේදී පැවසූ කරුණක්.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. කරන්නාගොඩත් එක්ක මට ලොකු ඇරියස් එකක් තිබ්බට එදා කරන්නාගොඩ කියපු සියයට ගනන් හදන්න බැරි කතාව හරියටම හරි. අනික පෙරමුණ ගැනිල්ල කියන්නේ මොකක්ද? මුහුදෙදි සටනක් ආවොත් කවුද පෙරමුණ ගත්තේ ආමි එකද? ඒරියල් ඇටෑක්, එයාර් රෙකනිසන්ස් නැත්නම් ඉමර්ජන්සි එයාර් ට්‍රාන්ස්පොර්ට් වලදි කවුද පෙරමුණ ගත්තේ ඒත් ආමි එකද? මේක සම්පූර්ණ මිත්‍යාවක්. මේක පෙරමුණු කීපයකින් කරපු යුද්දයක්.. ඒ හැම පෙරමුණකම හිටි අය තමන්ගේ උපරිමය කරපු නිසා තමයි යුද ජයග්‍රහණයක් ලැබුවේ. ඕක මැරෙනකම් විවාද කරන්නනම් පුළුවන්. ඒත් තේරෙන්නේ නැති කෙනාට, තේරුම් ගන්න ඕනේ නැති කෙනාට කියලා වැඩක් නෑ. එකම දෙයක් කියන්නම්, ලංකා මුදිතේ හරි ජෙට්ලයිනර් එකේ හරි නිවාඩු යද්දි එද්දි මුහුද මැද සටනක් දැකපු ආමි කොල්ලෙක්ගෙන් හරි කැශුවල්ටි වෙලා ආටි ගහන මැද්දේ පලාලි ඉඳන් එයාර් ලිෆ්ට් කරල යන්තං පන බේරගත්ත ආමි කොල්ලෙක්ගෙන් හරි අහන්න එක එක්කෙනාගේ දායකත්වයේ ප්‍රතිශතය. එතකොට කියලා දේවි.

      Delete
    5. කළණ ++++++++++++++++++++++++++

      Delete
    6. කමියා , ජෙට් ලයිනර් නැවට අන්තිම වතාවට වෙන්න ඕනෙ , කොටි ගහන්න ආපු වෙලේ නැව ඇතුලෙ හිටපු ආමි සොල්දාදුවෙක් නාවික සටනක බිහිසුණු බව කිවුව. නාවික හමුදාව මරාගෙන මැරෙන හමුදාවක් වගේ සටන් කරල නැව බේරගත්තෙ කිවුව.
      ඇත්තටම ඒ සටනින් අපේ පාසැලේ සීනියර් එකෙක් ඩෝර එකක කමාන්ඩින් ඔෆිසර් කෙනෙක් ක්‍රියා විරහිත වෙච්චි ඩෝර එක බුලට් ඉවර වෙනකම් ගහල, පස්සෙ ආපු කොටි බෝට්ටුවක් ඩෝර එකේ හප්පල අපේ එකා මැරුණ. ( මේ සිද්දිය හරියටම කමි දන්නව ඇති , අපි දන්නෙ ඇහිච්චි කෑලි )

      Delete
    7. @ රසිකොලොජිස්ට් - RasikologistJune 8, 2015 at 10:45 AM

      ඇත්තෙන්ම ඔබ කාර්ය බහුලවීමෙන් එම සංවාදයට මැදිහත් වන්නට ඉඩ නොලැබීම ලොකු අඩුවක් ලෙස මට දැනුණා.

      කවුරුහරි කියනවානම් යුද්දය කලේ යුද හමුදාව විතරයි එහෙම නැත්නම් යුද්දයේ ගෞරවය යුද හමුදාවට දියයුතුයි කියලා, ඔහු මානසික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කලයුතුයි. බොහෝ දෙනෙක් දැක්කේ ගොඩබිම සිදුවන දේ පමණයි. මුහුදේ සහ ගුවනේ සිදුවන දේවල් වාර්තා කරන්න මාධ්‍ය වලට ඉඩක් තිබුනේ නැහැ. ඒ නිසා අර වැරදි අදහස පහසුවෙන් සමාජය තුලට ගියා.

      @ AnonymousJune 8, 2015 at 12:39 PM

      එවකට හිටපු යුද හමුදාපති කියා ඔබ අදහස් කරන්නේ ෆීඩ් මාර්ෂල් ෆොන්සේකා නම්, සමහර අවස්ථා වල, (විශේෂයෙන් යුද්ධයෙන් පසු සිරගතවී සිට නිදහස්වූ පසු) ඔහු යම් යම් ප්‍රකාශ කර තිබෙන්නේ, දේශපාලනික දෘෂ්ටියෙන් විනා, හමුදා නිළධාරියකුගේ දෘෂ්ටියෙන් නොවෙයි. ඒ නිසා එම ප්‍රකාශවල වලංගුභාවය ගැන සැකයක් උපදිනවා.

      @ කල්‍යාණ මිත්‍රJune 8, 2015 at 9:53 PM

      මට ඔබට ස්තුති කරන්න වචන නැහැ කල්‍යාණ. මෙතරම් කෙටියෙන්, මෙතරම් සාර්ථකව, අවශ්‍ය සියල්ල ආවරණය වන පරිදි, ඔබ මේ අදහස් දැක්වීමෙන් කරනලද මහඟු උපකාරයට, බෙහෙවින්ම ස්තුතියි.

      @ කම්මලJune 9, 2015 at 8:48 AM

      ජෙට් ලයිනර්, ලිහිණියා, වගේ යාත්‍රාවල ඒ කාලේ යනකොට බොක්ක රත්වෙලා යන්නේ. ඩෝරා වලින් වටකරගෙන යනවා දැක්කම තමයි ඇඟට ලේ ටිකක් උනන්නේ.

      ඒ වගේමයි, රත්මලානෙන් අහසට නැග්ගම, පලාලි වලින් බහිනකල්, හුඟක් එවුන්ගේ (මමත් එහෙම වෙන්න ඇති) මූනේ ලේ පොදක් නැහැ, කොයි වෙලාවේ මිසයිල් එකක් වදියිද කියලා.

      Delete
  11. වටිනා විස්තර රැසක් සහිත හොඳ ලිපියක් විචාරක මහතා ලියා තිබෙනවා. ඉතාම මහන්සියෙන් කරුණු එකතු කොට ඔබගේ වටිනා කාලය වැයකොට ලියන මෙබඳු ලිපි වෙනුවෙන් ඔබට මාගේ ප්‍රණාමය. තවත් විස්තරාත්මකව අනෙත් හමුදා අංශ/ ආයතන පිලිබඳවත් අපව දැනුවත් කරනමෙන් ඔබෙන් ඉල්ලා සිටිමි. මෙබඳු චෝදනාභිමුඛ කමෙන්ට් වලින් වඩාත් දිරිමත්වී තව තවත් ලියන්නට ඔබහට ධෛර්යය ශක්තිය ලැබෙනු ඇතැයි අප විශ්වාස කරමු. ඔබට ජය !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. මේ ලිපියේ ඉදිරි කොටසත් බලන්න. ඔබේ දැණුමට යමක් එකතුවීම ගැන සතුටුයි.

      Delete
  12. අර චිත්‍රපටි හතනකොට තේ අදින එකත් වැදගත් වගේ ඔය වැඩේට යුද්දෙට නොගියත් කාගෙත් සහයෝගය සුලුවෙන් හෝ අවශ්‍ය වෙනව ඇති.

    ReplyDelete
    Replies
    1. හරියටම හරි ප්‍රසන්න. නමුත් ශිෂ්‍යභට බලකායේ ඉන්නේ පාසල් සිසුන් නිසා ඔවුන්ව ගන්නේ නැහැ.

      Delete
  13. "යුද්ධය ඉතා දරුණු අතට හැරුනොත්, ශිෂ්‍යභට බලකාය, යුද්ධයට කැඳවනවාද නැද්ද?"

    විචාරක තුමා, ශිෂ්‍ය භට සේනාංකයේ සිටින්නේ වයසින් අඩු (>18) පාසැල් සිසුන් බැවින් ඔවුන් යුද්ධයට කැඳවීම නීත්‍යානුකූල හමුදාවකට කළ නොහැකියි නේද? හැබැයි 18ට වැඩි නිලධාරීන් නම් පුලුවන් ඇති. හැබැයි ජාතික ආපදාවකදී සියලුම පුරවැසියන් සටනට කැඳවිය හැකියි ඇතැම් රටවල ව්‍යවස්ථානුකූලවම (උදාහරණ ලෙස සිංගප්පූරුව, ඊශ්‍රායලය, මාලදිවයින වගේ). දෙවන ලෝක යුධ සමයේ ජර්මනිය වයස 16-55 අතර සියලුම පිරිමින් යුද්ධයට කැඳෙව්වා නේද 1943-44 වගේ කාලෙකදි?

    ReplyDelete
  14. හප්පේ පඳුරට කැත්තෙන් ගහල විතරයි. බලමු ඊලඟට මොකද කරන්නෙ කියල.

    ReplyDelete
  15. Engineer Corps සහ Pioneer Corps අතර වෙනස කුමක්ද? ඉන්ජිනේරුවන් පයනියර්ලගෙම කොටසක් විදිහට ක්‍රියාන්විතයකදි සලකනවද?
    Sappers ලට සමහරු Pioneers කියනව, සමහරු Combat Engineers කියනව

    ReplyDelete
  16. මං මොකුත් නොකිය ඉන්නම් නේ. විචාරක තුමා ඔය එක්කම රූල්ස් ඔෆ් එන්ගේජ්මන්ට් ගැනත් කියුවොත් නරකද? අර මෙඩිකල් කෝර්ප්ස් එහෙම දැක්කම හිතුනේ කියුවනම් හොඳයි කියල.. මේක ඉවර උනාම බලමු නේවි එකේ ස්ට්‍රක්චර් එකත් පොඩ්ඩක් කියන්න.. ජය වේවා!

    ReplyDelete
    Replies
    1. ඔය "Corps" කියන එක ඔබ උච්ඡාරණය කරන විදිහ ඉතාම වැරදි සහගතයි. යුධ හමුදා නිලධාරීන් නම් කිසිදිනෙක "කෝර්ප්ස්" කියා කියන්නේ නැහැ. ඔබ නාවුක හමුදාවේ සිටියානම් මේ පිලිබඳව හොඳින් දැනගෙන සිටියයුතුයි.

      Delete
    2. හ හා.. සමා වෙන්න. නාවික හමුදාවේනම් හිටියද කොහෙද? මෙතනදිනම් බුල ගහපු බව පිලිගන්නව.. සින්ග්ලිශ් ටයිපින් කරගෙන යනකොට එච්චර හිතුවේ නෑ.. මෙඩිකල් කෝ(ර්) කිව්වනම් හරි නේද? හැබැයි ඇත්තටම මට නාවික හමුදාවෙදි ඕක කවුරුවත් කියල දීලනම් නෑ.. ඔය ඇහිල පුරුද්දට ලියුවේ.

      නාවික හමුදාවේදී දවස් දා හතරේ දා හතරේ ඉන්ෆැන්ට්‍රි ට්‍රේනින් දෙකකුයි තව දවස් දා හතරක බොම්බ් ඩිස්පෝසල් කෝස් එකකුයි විතරයි ගොඩබිම සටන් සම්බන්දයෙන් කරල තියෙන්නේ. ඉන්ෆැන්ට්‍රි ට්‍රේනින් දෙකම කරෙත් නාවික හමුදාවෙන්මයි. එතනදිත් ඔය සරල යුද උපක්‍රම හා ෆිසිකල් ට්‍රේනින් හැර මහ ලොකු දෙයක් ඉගැන්නුවේ නෑ. බොම්බ් ඩිස්පෝසල් එකනම් ඇඹිලිපිටියේ තුංකම කරේ. සෑහෙන්න හොඳ න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුවක් දුන්නා. ස්තූතියි වැරැද්ද පෙන්නුවට..

      Delete
    3. @ AnonymousJune 8, 2015 at 1:08 PM

      ඔබ ඉතාම නිවැරදිව හිතා තිබෙනවා. ඔව්, මොනම හේතුවක් නිසාවත් ශිෂ්‍ය භටයන් යුද්ධයට කැඳවන්නේ නැහැ. යුද බිමේ පසුපස ඉඳගෙන සොල්දාදුවන්ගේ රෙදිටික හොදන්නවත් යවන්නේ නැහැ. එය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති අනුව ළමා සොල්දාදුවන් නිර්මාණය කිරීමක් වෙනවා. දෙවැනි ලෝක යුද සමයේ බාල වයස්කරුවන් යුද බිමට යවා තිබෙනවා. නමුත් දැන් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති වලට අවනත කිසිදු රටකට එහෙම කරන්න බැහැ.

      @ රාජ්June 8, 2015 at 1:53 PM ඊළඟට දෙන්නම්කො කැත්ත hoos ගාන්න. :e

      @ Pra JayJune 8, 2015 at 3:18 PM

      ඉංජිනියර්ස් හෙවත් සැපර්ස් කෙලින්ම සටන් බිමට යනවා පයනියර්ස්ලා ආධාරක හමුදාවක් පමණයි. ඔවුන්ගේ භූමිකාව වන්නේ නඩත්තු සහ සේවා කටයුතු පමණයි.

      @ කල්‍යාණ මිත්‍රJune 8, 2015 at 4:21 PM මම හිතන්නේ කල්‍යාණ මේ මාතෘකාව ඕසේ කියන්න බොහෝ දේවල් තියනවා. ඊළඟ ලිපියත් මදි වෙයිද මන්දා. කම්මැලියා, උඹ ලියපන් නේවි එක ගැන ලිපි.



      Delete
  17. විචාරක මහතා,

    පසුගිය දිනක මම නැරඹුවා ඇමරිකන් ස්නයිපර් කියන ඉංග්‍රීසි චිත්‍රපටය. මේකේ තියෙන්නේ ඇමරිකානු හමුදාවේ ස්නයිපර් වෙඩික්කරුවෙක් වන ක්‍රිස් කයිල් කියන සෙබලාගේ කතාව. ඔහුගේ ස්නයිපර් ප්‍රහාර නිසා විසින් සතුරන් 160 කට වඩා ඝාතනය කර ඇති බවයි සදහන් වුයේ.

    මේ චිත්‍රපටයේ ස්ථානයක තිබෙනවා මොහු විසින් බෝම්බයක් රැගෙන එන අවුරුදු 10 ක පමණ කුඩා දරුවෙකුට ඈත සිට වෙඩි තබා මරා දමනා ආකාරය.

    මේ දර්ශනය දැක්කම මට පොඩි ගැටලුවක් ආවා. ත්‍රස්‌තවාදී කණ්ඩායම් සමග වැඩ කරන, අවි අයුධ රැගෙන,බෝම්බ රැගෙන ත්‍රස්‌තවාදී ක්‍රියා කරන කුඩා දරුවන් මරා දැමීමට ජාත්‍යන්තර යුධ නිතිය අනුව හැකියාවක් තිබෙනවද? මොකද මොවුන් කුඩා දරුවන්නේ.

    ලංකාවේ යුද්ධයේදී කොටි සංවිධානයේ ළමා සොල්දාදුවන් සමග ශ්‍රී ලංකා හමුදාව ක්‍රියා කලේ කොහොමද? මේ ළමා සෙබළුන් අයුධ රැගෙන හමුදා සමග සටන් කරද්දී ඔවුන්ව ඝාතනය කිරීමට රජයේ හමුදා වලට නීත්‍යානුකූලව හැකියාව තියෙනවද?

    ReplyDelete
    Replies
    1. ඉතාම සංකීර්ණ ප්‍රශ්නයක්. මෙවගේ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමේදී හමුදා නිලධාරීන් අතිශයින් සැලකිලිමත් විය යුතුයි. විශේෂයෙන්ම නීතිඥ උපදෙස් සහිතව නම් වඩාත් සුදුසුයි. මෙම ප්‍රශ්නයට දෙන පිළිතුර ඔබ ඉල්ලා සිටින්නේ කුමන අරමුණින්ද යන්න පැහැදිලි කරගත යුතුයි. හිටපු හමුදාපතිවරයෙකුත් මෙබඳු ප්‍රකාශයක් නිසා අධිකරණයට ඉදිරිපත් කොට සිරගත කිරීමකට ලක්වුණා.

      Delete
    2. මං නම් හිතන්නේ නෑ එච්චර ගැටළුවක් කියලා.. ඒ වගේම එච්චර සංකීර්ණත් නෑ. මොන චේතනාවෙන් ඇහුවත් ඒක ප්‍රශ්ණයක් විතරයි. නිවැරදි උත්තරයක් දෙන්න පුළුවන්නම් ගැටළුවක් නෑ.
      ඒ පුද්ගලයා බෝම්බයක් අරගෙන එන බව සාධාරණ සැකයකින් තොරව ඔබට ඔප්පු කරගන්න පුළුවන්නම් (Hostile act) වෙඩි තියන්න පුළුවන්. වයස ලිංග බේදය ප්‍රශ්ණයක් නෑ.. අවධාරණයෙන් කියන්නේ මම උනා නම් අනිවාර්යෙන්ම වෙඩි තියනවා!! මේ ගැන කියන්න ඕනි නිසා තමයි මං ඉහතින් විචාරක තුමාට කියුවේ Rules of Engagement ගැන පොඩ්ඩක් කතා කරන්න කියලා.. ලස්සන ෆිල්ම් එකක් තියෙනවා මේ වගේ සිද්දියක් ගැන. පුලුවන්නම් හොයාගෙන බලන්න.. ඒකේ නමත් 'Rules of Engagement'

      Delete
    3. @ AnonymousJune 8, 2015 at 5:03 PM
      ඇත්තෙන්ම මෙවැනි ප්‍රශ්න මා ඉතා ඉහළින් අගය කරනවා. මෙවැනි ප්‍රශ්න වලින් තමයි සමාජයේ ඇති දුර්මත දුරුකරන්න පුළුවන්.

      ජාත්‍යන්තර යුද නීතිය අනුව යුද්ධායුදයක් දරන්නා සතුරා ලෙස සලකන්නට සොල්දාදුවකුට අයිතිය තිබෙනවා. හැබැයි එය සාධාරණ සැකයකින් තොරව ඔප්පු කලයුතුයි. ඔබ කියන චිත්‍රපටියේ ඒ ළමයාගේ අම්මා නේද පුතාට බෝම්බය දෙන්නේ. ඒ අම්මා තමයි පුතාව සතුරකු බවට පත්කරන්නේ.

      යුද්ධයේදී, 'අන්න අතන ඉන්නවා ළමා හමුදාවක් ඔවුන් ලොකුවෙන්න ඉස්සරවෙලා දැන්ම මරමු' වගේ හැඟීමකින් කිසිම හමුදාවක් ක්‍රියා කරන්නේ නැහැ. අපිට ප්‍රහාර එල්ල කරන සතුරාට ප්‍රතිප්‍රහාර එල්ල කරනවා. එපමණයි. ඔවුන් ළමා සොල්දාදුවන් බව දැනගන්නේ ප්‍රහාර වලින් මියගිය අයගේ සිරුරු හමුවූවාට පසුවයි.

      @ AnonymousJune 8, 2015 at 5:27 PM

      මටනම් මෙය සංකීර්ණ ප්‍රශ්නයක් නෙවෙයි. පිළිතුරු දීමීදී නීතියට එකඟව ඇත්ත කියනවානම් කිසිම ගැටළුවක් නැහැ.

      @ කල්‍යාණ මිත්‍රJune 8, 2015 at 10:19 PM

      ස්තුතියි කල්‍යාණ, මට ආධාරක සේනාවක් වීම ගැන. Rules of Engagement ගැන වෙනම ලිපියක් දෙකක් ලියන්න වෙනවා. ඉස්සර තිබුනේ Land, Air, Sea, විතරයිනේ. දැන් තියනවා Outer Space සහ Cyber කියන දෙකත් ඇතුළු කරලා හදපු නීති. ඒ නිසා ඒවත් බලලා ලියන්නම්.

      Delete
    4. යුද්ධයේ කිසිම මානුෂිකත්වයක් නැත.

      ළමා (<18) සොල්දාදුවන් රජයේ හමුදාවේත් සිටි බව සමහර සොහොන් කොත්වලින් තහවුරු වෙනවා ලු!

      Delete
    5. @ රසිකොලොජිස්ට් - RasikologistJune 11, 2015 at 7:30 AM

      බොහෝ දෙනෙකුට අමතකවන දෙයක් තමයි යුද්ධය ඇති කරන්නෙත් නැති කරන්නෙත් හමුදාව නොව රාජ්‍ය පාලකයා බව.

      ළමා සොල්දාදු කතාව අජාසත්ත බොරුවකි. ඔබේ වාක්‍යයේ අන්තිමට ඇති ලු යන්න තමා මේ කතාව හදපු අයගේ හෙළුව හෙළිවන තැන. ඒ ආකාරයේ සොහොන් කොතක් තියන තැනක් කිව්වොත්, මම ම ගොස් පින්තූර ගෙන පළකරනවා.

      Delete
  18. යුද්ධය ඉතා දරුණු අතට හැරුනොත්, ශිෂ්‍යභට බලකාය, යුද්ධයට කැඳවනවාද නැද්ද? නෑ

    ReplyDelete
    Replies
    1. හරියට හරි. ඔවුන් පාසල් දරුවෝ.

      Delete
  19. මට හිතෙන හැටියට ඉහත ඔක්කොම බලකායන් සටන්කාරී කියලයි. වැරදිද ?

    ඔය උඩත් කියලා තියන විදිහට ඔය මෝඩ අදහස් සමාජ ගත කළේ අර තුමා තමා. මම පොර ජාතකේ වපුරලා..

    ReplyDelete
    Replies
    1. නැහැ, ඔක්කොම අය සටන්කාරී නෙවෙයි. ඊළඟ ලිපියේදී කියන්නම්.

      එතුමා තම හමුදා නිළය අමතක කරලා දේශපාලකයකු වීමේ ප්‍රතිඵල තමයි ඒ.

      Delete
  20. බොහොම වැදගත් ලිපියක්.. කොයි අංශයෙත් එකමුතුව නැත්නම් යුද්ධයක් කරන්න අමාරුයි කියන එකයි මම හිතන්නේ..වෛද්‍ය, ඉංජිනේරු බලකායන් කොහොමත් වැදගත්..ඊලගට සංඥා බලකාය..

    ශිශ්‍යභටයෝ ගන්නවද නැද්ද කියන එක දන්නනේ නෑ.. 18ට අඩු අය ඉන්න හන්දා..

    ReplyDelete
    Replies
    1. මටනම් කොහෙත්ම වැදගත් නෑ.
      නොදකින්, යුද්දෙ ගැන කතා කිරීමෙ කොහෙන්ද වැදගත් කමක් බං

      Delete
    2. ස්තුතියි දිනේෂ්. අපේ ගෙදරට ගහන්න කවුරුහරි ආවොත් ගෙදර ඉන්න පොඩිම එකා සතුරන්ට තමන්ගේ චූ පුරවපු බෑග් එකකින්වත් ගහන්න ඕනේ යුද්දෙ දිනන්න නම්. ඒ වගේම තමයි යුද්ධයේදී යුද පෙරමුණටම නොගියත්, සෑම රෙජිමේන්තුවක්ම ඉතා වැදගත් කාර්ය භාරයක් ඉටුකරනවා. ශිෂ්‍ය භටයන් යුද්දෙට යවන්නේ නැහැ. ඔවුන් තවමත් පාසල් වියේ ඉන්න දරුවොනේ.

      @ AnonymousJune 9, 2015 at 7:31 AM

      ආරක්ෂක විද්‍යාව නමැති විෂයයට අයත් කරුණු කියාදීමේදී එය තේරුම් නොගෙන තප්පු ලන එවුන් මටත් වැදගත් නැහැ.

      Delete
  21. මම වෛද්‍ය අධ්‍යාපනය හදාරන අයෙක්. නිවාඩු පාඩු වෙලාවට ඇවිත් මේ බ්ලොග් අඩවිය බලනවා. ආරක්ෂක අංශ ගැන දැනගෙන නොහිටි කාරනා ගොඩක් මේ බ්ලොග් අඩවිය බලලා දැනගත්තා. ඒ වගේම මෙම බ්ලොග් අඩවියේ රචකයා වන විචාරකතුමා සෑම විටම ඉතා පැහැදිලිව, ඕනෑම කෙනෙකුට වැටහෙන පරිදි ලිපි සම්පාදනය කර තිබෙනවා. ඔබතුමාට ඒ හැකියාව ලැබී ඇත්තේ උසස් හමුදා පුහුණුව නිසා වෙන්නට ඕනි.

    මගේ පියා සේවය කෙරුවේ ගුවන් හමුදා නිලධාරියෙක් ලෙස. කොළොන්නාව තෙල් ටැංකි වලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේදී මගේ පියා මිය ගියා. එතකොට මම පාසලේ බාලාංශ පන්ති වල හිටියේ. මගේ පියා අද සිටියා නම් ඔබතුමා වගේම ගුවන් හමුදාවේ තොරතුරු ඔහු කියා දේවි.

    ReplyDelete
    Replies
    1. ඔබ මගේ දරුවකුගේ වයසේ ඉන්න කෙනෙක් බව පෙනෙනවා. මගෙත් එක දියණියක් වෛද්‍ය විද්‍යාලයෙන් පිටවී දැන් ඉන්ටර්න් පත්වීමක් ලබා කොළඹට ආසන්න රෝහලක සේවය කරනවා. ඔබටත් වෛද්‍ය වරයකු ලෙස රටට සේවය කරන්න වාසනාව උදාවේවා කියා ප්‍රාර්ථනය කරනවා.

      පියාගේ වියෝව ඔබට මහත් වේදනාවක් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. එය ජීවිතය පුරාම දැනෙයි. දැන් කලයුත්තේ ඉදිරිය ගැන සිතා වැඩ කිරීමයි. ඇත්තෙන්ම ඔබ එහෙම වැඩ කිරීම නිසා තමයි අද ඔය තත්වයට ඇවිත් ඉන්නේ. පියා වෙනුවෙන් කළහැකි සෑම පින්කමක්ම ඔබ කරනු ඇතැයි සිතනවා. මා ඔබේ පියා යයි සිතන්න. කවුද දන්නේ ඔහු කොහේ හො සිට මේවා ලියන්න මාව පොළඹවනවාද කියා. කැමතිනම් ඔබේ සිතේ තියන දේවල් මට ලියන්න wmjgslsr@gmail.com

      මේ අඩවිය ඇගයීම ගැන ස්තුතියි.

      Delete
  22. විචා අය්යා, සියල්ලගේ පහසුව තකා, ඉංග්‍රීසියෙන් කොමන්ට් දැමිල්ලයි Anonymous විදියට යන පොස්ටුයි නවත්තල දාමුද? මොකද කියෝන අපිට නිකන් අඹ, පක, දෙල් වගේ තමයි පෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම දිලීප, ඉංග්‍රීසියෙන් කමෙන්ට් දැමීම දෙවිදිහකට වෙනවනේ. ජංගම උපාංග වලින් අන්තර්ජාලයට යන අය සිංගිරිසි වලින් කමෙන්ට් දානවා. එපා කියන්නත් බැහැ. සම්පූර්ණයෙන් ඉංග්‍රීසියෙන් කමෙන්ට් දාන අය ඉතා සීමිතයි.සමහර ඇනොලා වැදගත් කරුණු කියනවා. ඒ නිසා ඉංග්‍රීසි කමෙන්ට් වලට ඉඩක් දෙන්න වෙනවා.

      ඊර්ෂ්‍යාකාර, විකෘති මනසක් ඇති, විෂයය නොදන්නා, මෝඩ ඇනොලා දාන කමෙන්ට්, කපා හරින්න තීරණය කර තිබෙනවා.

      Delete
  23. තැන්කුයි මයො. මං ගිය සතියෙත් ඕඩිනන්ස් කෝප්ස්ලට සිංහගෙන් කියන්න වචනයක් හෙව්වා ගෙදරදි.. හැක්

    ReplyDelete
    Replies
    1. ඇයි උඹලෑ ගෙදරත් ආමි එකක් තියනවද? හැක්.........කැක්......

      Delete
    2. නෑ නෑ හමුදාමය පුරස්නයක් අැති උනා අපේ මලයට...

      Delete
  24. මෙන්න ලිපි..
    ජයවේවා..!!

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }