සමහරවිට ඔබ මේවා මීට පෙර අසා ඇති. කෙසේ වෙතත් මතකයට නැගුන නිසයි ලියන්නේ.
ඔන්න ඉතින් අර ඉබ්බා කොක්කු දෙන්නගේ ගුවන් ගමන් උපදෙස් නිසි පරිදි පිළිපැද්දේ නැති නිසානේ මැරුණේ. මතකයි නේද. කොක්කු දෙන්නා ඒ ඉබ්බාට කිව්වා අලුතෙන් ස්ථාන මාරුව ලබන විලේ ඉතා සෞම්ය ලෙස ගොඩ බස්වනතුරු (Smooth Landing) කට අරින්න එපා කියලා. නමුත් අර කොල්ලන්ගේ හූව ඉවසන්න බැරුව උන්ට බනින්න ගිහින් ඉබ්බා හදිසියේ කඩා වැටීම නිසා (Crash Land) මැරුණා.
ඉතින් මෙහෙම කාලයක් ගතවුනා. එදා කුඩාවට හිටිය ඒ ඉබ්බාගේ ලොකු මල්ලී දැන් ලොකු ඉබ්බෙක්. ඌටත් මේ විලේ ජීවිතය එපාවුනා වතුර හිගය නිසා. අතිපන්ඩිත කමට ජල විදුලිය හදන්න ගිහින්, අර මෝඩ ඇමතියෙක්, මධ්‍යම කඳුකරයේ ජලාශවල ජලය අවසන් කළා වගේ, මේ විලේ වතුරත් ඉස්සා, ඒ ගමේ මිනිස්සු, මාළු අල්ලන්න. ඉතින් ඉබ්බා කොක්කු දෙන්නා හමුවී, ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්වුවා, අලුත් විලක් සොයා යාමේ කඩිනම් ව්‍යාපෘතියක් මූලෝපාය මෙන්ම සෛද්ධාන්තික වශයෙන් හා ප්‍රායෝගික වශයෙන් මෙන්ම ප්‍රාග්ධන යෙදවුම් ශක්යතාවයද සලකා බලමින්.
කොක්කු දෙන්න මුලදී මේ ව්‍යාපෘති යෝජනාව සහමුලින්ම ප්‍රතික්ෂේප කළා. අහසින් ගමන් කිරීමේදී ගිවිසුමේ සඳහන් කොන්දේසි කඩ කරමින් ‘අයියා ඉබ්බා’ ක්‍රියාකළ ආකාරය නිසා. කෙසේ වෙතත් ඉබ්බා තමන් විසින් ඉදිරිපත් කරනලද ශක්‍යතා අධ්‍යයන වාර්තාව මගින් ඔප්පු කළා, තමන්ට ගමනාන්තය දක්වා කෝටු කෑල්ල හපාගෙන ඉඳීමේ ශක්තිය තිබෙනවා කියා. මේ පිළිබඳව කොකුන්ගේ ආරක්ෂක මණ්ඩලයේ විශේෂ සැසිවාරයක් පැවැත්වීමෙන් පසු, කොකුන් දෙන්නාට අවසර ලැබුනා ඉබ්බාව අහසින් රැගෙන යන්නට. කලින් වතාවේ ලද අත්දැකීම් නිසා, මේ ඉබ්බාට අවවාද කරමින්, කොකුන් දෙදෙනා කියා සිටියේ, කිසියම් අනතුරක් සිදුවුවොත්, මෙය ඉබි පරපුර වැනසීම සඳහා කරන ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් යන චෝදනාව තමන්ට එල්ලවිය හැකි බැවින්, ගමනාරම්භයේ සිට ගමනාන්තය දක්වා ජාත්‍යන්තර නිරීක්ෂක මණ්ඩලයක පූර්ණ අධීක්ෂනය යටතේ මේ ක්‍රියාන්විතය සිදුකලයුතු බව. ඒ අනුව රටවල් පහකින් තෝරාගත් කොකුන් පස් දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් පත් කරනු ලැබුවා නිරීක්ෂණ කටයුතු සඳහා.
එමෙන්ම ද්විපාර්ශ්වීය එකඟතාවකට එළඹෙනු ලැබුවා ගුවන් ගතවීම සහ ගොඩ බෑම පිලිබඳ ක්‍රියා හැකිතරම් කෙටියෙන් හෙවත් STOL = short take off and landing ක්‍රමයේ ගුවන් යානයක පිළිවෙත් අනුව කලයුතුයි කියා.
නියමිත පරිදි එක සුන්දර උදෑසනක ගමන ආරම්භ කිරීමට සියල්ල සූදානම් වුනා. කලින් වතාවේ මෙන් ශක්තිමත් කෝටුවක් ගත් කොක්කු දෙන්නා එය තම හොටයෙන් අල්ලා ගත්තා. නිරීක්ෂණ මණ්ඩලයේ කොක්කු, ඊට පෙර, කොකුන් දෙදෙනාගේ මුත්‍රා සාම්පල් ලබාගත්තා, තහනම් උත්තේජක ලබාගෙන තිබේදැයි බැලීමට. එමෙන්ම උවමනාවට වඩා උඩින් හෝ උවමනාවට වඩා වේගයෙන් නොයායුතු බවට නිරීක්ෂක මණ්ඩලය කොක්කු දෙන්නාට කොන්දේසි පැනවුවා. මෙය බලාසිටි සමහර මධ්‍යස්ත මතධාරී කොකුන් කිව්වේ නිරීක්ෂක මණ්ඩලයේ කොකුන්ට එතරම් වේගයෙන් සහ උඩින් පියෑඹීමට නොහැකි නිසා මෙවැනි අසාධාරණ කොන්දේසි පැනවූ බවයි. කෙසේ වෙතත් ඉබ්බාගේ රුධිර පීඩනය, හර්දයවස්තුවේ ක්‍රියාකාරිත්වය, කෝටුව හපාගෙන සිටීම සඳහා ප්‍රමාණවත් දත් තිබේද, යන්න පරීක්ෂාකර සෑහීමකට පත්වූ නිරීක්ෂණ මණ්ඩලය, ගුවන්ගතවීමට අවසර දුන්නා.
කිසිදු අපහසුවකින් තොරව ගුවන්ගතවීම සිදුවුනා. නිරීක්ෂක මණ්ඩලයද බොහොම අමාරුවෙන් තටු ගසමින්, ඉබ්බා රැගෙන යන කොකුන් දෙන්නා පසුපස අමාරුවෙන් පියාඹාගෙන ගියා. ඔන්න දැන් අර මහා නරක කොල්ලන් ඉන්න පිට්ටනියට උඩින් තමයි ගුවන් ගමන සිදුවෙන්නේ. සුපුරුදු පරිදි කොල්ලෝ හූව පටන් ගත්තා ඒයි. . . .අර බලපල්ලා ඉබ්බෙක් ඉගිලෙනවා කියමින්. නිරීක්ෂණ මණ්ඩලය ඉබ්බාගේ ආසන්නයටම පැමිණ හෙමිහිට කිව්වා ඉබ්බාට, ‘කලබල වෙන්න එපා, කට අරින්න එපා, හොඳට හයියෙන් කෝටුව හපාගන්න’ කියලා.
ඒ උපදේශය අනුව යමින් ඉබ්බා කෝටුව කිටි කිටියේ හපාගත්තා. එවිට ඉබ්බා හපාගෙන හිටිය තැනින් කෝටුව දෙකට කැඩුනා. . . . . . . . .ඉබ්බා. . . . . . . . . .නා. ඊටපස්සේ . . . . නා.
ඉබිවන්ශලා මේ පිළිබඳව කොක් ශ්‍රේෂ්ඨාධිකරණයේ මෝසමක් ගොනු කළා. (නිරිතදිග හෝ ඊසානදිග මෝසම් කාලේ නොවුනත්) කොක් ප්‍රවාහන ඇමති, කොක් නීතිපති, කොක් ප්‍රවාහන සේවයේ ලේකම්, විත්තිකරුවන් ලෙස නම් කරමින්. නමුත් කොක් ශ්‍රේෂ්ඨාධිකරණය ඒ මෝසම ගාස්තුවටත් යටත් කොට නිෂ්ප්‍රභ කළා.
ඉබිවන්ශලාත් වැඩේ අතෑරියේ නැහැ. අරාබි වසන්තය හා සමානව, ඉබි වසන්තයක් සඳහා ඉබි ජනතාව මහපාරට බස්සවා, විශාල උද්ඝෝෂණයක් කර, කොක් රජය පෙරලන්නට සියලු කටයුතු සංවිධානය කෙරුවා.
ඉබිවන්ශලා මේ අසාධාරණය ජාත්‍යන්තරයට ගෙන යාමට තීරණය කළා. (ඉබි වේගෙන් යන නිසා, ජාත්‍යන්තර දින රේඛාව පැත්තෙන් නොයන්න කලින්ම තීරණය කළා. ඒ වෙනුවට, අධිරාජ්‍යවාදී රටක් වන බ්‍රිතාන්‍යය හරහා වැටී ඇති, ග්‍රිනිච් රේඛාව හරහා යාමත්, තමන්ගේ ප්‍රතිප්තියට පටහැනි නිසා, මේ රේඛා දෙක අතර පිහිටි රටවල් පමණක් ජාත්‍යන්තරය ලෙස සැලකීමට තීරණය කළා) කොහොම හරි විශාල පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කරන්න ඉබිවන්ශලාට හැකිවුනා.
අහසින් යාම පිලිබඳ විශේෂඥ දැනුම සහිත ඉබි ආචාර්ය මහාචාර්ය වරුන් මේ සඳහා පැමිණ සිටියේ ඉබි ජනතාව අතර අනාගත බලාපොරොත්තු නංවාලමින්.
කෙසේ වෙතත් ඉබි ඩයස්පෝරාවද සටන අතහැරියේ නැහැ. ඔවුන් දුරකථන කුළුණු අලුත්වැඩියා කරන්නන්, පාරට වැටීමට ඉඩ ඇති ගස්වල අතු කපන්නන්, උස ගොඩනැගිලිවල ජනෙල් පිරිසිදු කරන්නන් වශයෙන් බුද්ධිමත් සහ වේගවත් ඉබ්බන් යොදවනු ලැබුවා තම ආරක්ෂාව සඳහා.
ඉබි සමුළුව කිසිදු බාධාවකින් තොරව පවත්වන්නට ඉබි ප්‍රජාවට හැකිවුනා. විශේෂයෙන් ඉබි හිමිකම් උල්ලංඝනය වීම පිලිබඳ දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කරනු ලැබුවා.
කාන්තාවන්ට ඇතිවන කොන්දේ වේදනාව මගහරවා ගැනීම සඳහා, ඉබි කටුවකට රිංගාගෙන සිටීම, ප්‍රත්‍යක්ෂ ප්‍රතිකර්මයක් බව, කොක් රාජකීය වෛකල්පික වෙර හොදෙක් නව මතයක් ඉදිරිපත් කර තිබුන නිසා, ඉබි කටු අහිමිවී යාමේ තර්ජනයකට ලක්වූ, ග්‍රාමීය පාරම්පරික ඉබි ප්‍රජාව, විශේෂ ඉල්ලීමක් කළා, තමන්ට එල්ලවී ඇති තර්ජනය ඉවත් කරදෙන ලෙස. ඒ ගැන අවබෝධතා ගිවිසුමක් ඇතිකරගැනීම පිණිස විශේෂ ඉබි කමිටුවක් පත්කළ අතර, එහි කටයුතු ඉබි ගමනින් නොකරන ලෙස, ග්‍රාමීය ඉබ්බන් හඬ නැගුවා.
ඇත්ත වශයෙන්ම එම නව සංකල්ප වලින් ගතහැකි ප්‍රයෝජන ඉතා ඉහල බව සමුළුවේ බහුතරයකගේ අදහස වුනා.
කෙසේ වෙතත් මෙය සංකල්පයක් පමණක් බවත්, තවමත් ඇමරිකානු ඉබ්බන්ට පවා එලෙස ඇවිදීමට නොහැකිවූ බවත්, එහි වැඩි දුරටත් සඳහන් වුනා.
මේ ආකාරයෙන් කාලය ගෙවීගියා. ඉබි වන්ශලා කිසිදු ප්‍රගතියක් ඇති කරගත්තේ නැහැ. කොකාලන්තය සුපුරුදු ලෙස බලයෙන් මත්ව නිද්‍රාවට වැටී උන්නා. අර පළමුවැනි ඉබ්බාගේ බාලම මල්ලී දැන් ලොකු ඉබ්බෙක්. ඔහු දිනක් කොකාලන්තයේ ප්‍රවාහන අමාත්‍යාංශයේ කාර්යාල කාර්ය සහායකයකුව මුණ ගැසුනා. තමන්ට දැන් ඉබිලන්තයේ උග්‍ර ජල හිගය දරාගත නොහැකි බවත්, ඉබි ප්‍රජාවගේ අනාගත අභිවෘද්ධිය සඳහා, ඉබි වන්ශලා සතුව කිසිදු න්‍යාය පත්‍රයක් නැති බවත්, එබැවින් ඕනෑම කොන්දේසියක් යටතේ ඈත ප්‍රදේශයක පිහිටි විලකට කෝටුවේ එල්ලී යාමට තමන් සූදානම් බවත් ඉබ්බා ප්‍රකාශ කළා. මේ කතාව ඇසූ කොක් කා.කා.ස.යා, තටු ගසමින් උඩ පනිමින් කොක් හඬලමින් හිනාවෙන්න පටන් ගත්තා. ‘තමුසෙගෙ අයියල දෙන්නම උඩින් යන්න ගිහින් ‘සෙත්ත පෝච්චි’ වුනා. තමුසෙටත් ඒ ටිකම කරගන්න ඕනෙද? අම්මපා තමුසෙලාගේ ඔය උපන් ගෙයි මෝඩකම අඩු වෙන්නෙම නැද්ද? කියා කොක් කා.කා.ස.යා ඉබ්බාගෙන් ඇහුවා. ‘මේ බලනවා, මිනිහෙක් එක වරකින් දෙවරකින් වැරදීම් හරිගස්ස ගන්නවා, ඉතින් ඉබ්බෙකුටත් බැරිද තුන්වෙනි වතාවේදී වැරදි හදාගන්න? ඉබ්බා ඇහුවා. ලඟම තිබෙන තැබෑරුමට කොක් කා.කා.ස.යා රැගෙන ගිය ඉබ්බා, මනාව කරුණු පැහැදිලි කලාම, කොකා හොටය සාක්කුවේ දාගෙන ඉන්න තත්වයෙන් ඒක පිළිගත්තා.
ඊට පහුවදාම කොක් කා.කා.ස.යා තමන්ගේ ලොක්කාට ඉබ්බාගේ අදහස දැම්මා. එදා දවසම ලොක්කොකා කොක් හඬලමින් හිටියා මේ කතාව අහලා. දැන් ඉතින් ආයේ සැරයක් කියන්න අවශ්‍ය නැහැනේ, පසුගිය වාරයේ මෙන් සාකච්ඡා, සම්මන්ත්‍රණ, අවබෝධතා ගිවිසුම්, නිරීක්ෂණ මණ්ඩල, එහෙම පත් කරගෙන ගුවන් ගමනට සියල්ල සූදානම් කෙරුනා. මෙවර ඉබ්බාව ගෙනියන්න තෝරාගෙන තිබුනේ කොක් විශේෂ බලකායට අයත්, හොඳ තරුණ, එමෙන්ම ගුවන් කරනම් පාඨමාලාව ගුවන්විදුලි මගින් හදාරන ලද, කොක්කු දෙන්නෙක්වයි. ඒ නිසා කවුරුත් විශ්වාසය පල කළා, මෙවර, කරදරයකින් තොරව ගුවන් ගමන නිම කිරීමට, ඉබ්බාට හැකිවෙයි කියා. ගුවන් ගමන සූදානම් කලේ, කෝටුව හපාගෙන සිටීම සඳහා යෙදිය යුතු ශක්තිය පිළිබඳව, ඉබ්බාට තෙදින වැඩමුළුවක් පැවැත්වීමෙන් අනතුරුවයි.
ගුවන් ගමන පිටත්වනු බැලීමට කොක් ප්‍රවාහන ඇමැතිත් ඇවිත් හිටියා ඔහු විශේෂ කතාවක් පැවැත්වුවා. ‘මම මෙහෙම හිටියට හොඳ මිකැනික් කෙනෙක්. මට පුළුවන් ඕකෙම කොකෙක්ගේ ගෙදරක පස්ස දොරෙන් රිංගලා ඉස්සරහ ජනේලෙන් පිටවෙන්න. ඕනෙනම් අර ඇන්. කුමාරිගෙන් අහන්න, අපි එහෙමයි සේවය කරන්නේ’ ආදී වශයෙන් ගබ්සා නීතිය ගැනත් ටිකක්වෙන්න කතාකලා.
No comments :
Post a Comment