මේ ලිපිය ලිවීමේ අදහස මගේ ඔලුවට ඇතුළු කලේ හරී. පසුගිය ලිපිය (අපේ කාලයේ තුවක්කු 5) සමග, මා බ්ලොග් පිටුවේ පැති පුවරුවේ ප්‍රදර්ශනය කල, යුදහමුදා බෑග් පයිප් වාදිකාවගේ පින්තූරය නිසයි, මේ මාතෘකාවට මුල පිරුණේ. ඉතින් අලුත් මාතෘකාවක් ලබාදුන්නට හරීට ස්තුති කරමින් ලිපිය පටන්ගන්නවා
බියුගල් එක යනු තඹ හෝ පිත්තල වලින් නිර්මාණය කරන ලද නලාවක්. එය පිඹින පැත්තේ කෙලවර සිට, ශබ්දය පිටවන පැත්තේ කෙලවර දක්වා, එක වරක්, දෙවරක්, හෝ තුන්වරක්, ඕවලාකාර හැඩයට ආසන්න හැඩයකට නවා සකස් කල, ලෝහමය නළයකින් යුක්තයි. කාලීනව වෙනස්කම් වලට භාජනය වුනත් බියුගලයේ ඇති විශේෂත්වය වන්නේ එය අප අද දකින ට්‍රම්පට්, එකක මෙන් ඔබන යතුරු නැති අතිශයින් සරල නලාවක් වීමයි.
බියුගලයට ඉතා ඈත අතීතයට දිවයන ඉතිහාසයක් තිබෙනවා. ක්‍රි.ව. 4 වැනි සියවසේදී රෝම අධිරාජ්‍ය සමයේද බියුගලය වැනි නලා පාවිච්චි කල බවට සනාථ වූ සාක්ෂි තිබෙනවා. මේ ලිපියෙන් මා අදහස් කරන්නේ බියුගලයේ අතීතය හෝ එහි විකාශය වීම යන කරුණු වලට වඩා හමුදා කටයුතු සඳහා එය යොදාගන්න ආකාරය පැහැදිලි කිරීමටයි.
අනෙක් බොහෝ සංගීත භාණ්ඩ මෙන් නොව බියුගලය හමුදා කටයුතු සඳහාම වෙන්වූවක් වශයෙන් හැඳින්වීම නිවැරදියි. අදටත් එය එසේම පවතිනවා. බියුගලය ලෝහ වලින් සාදන්නට පෙර ඒ සඳහා යොදාගෙන ඇත්තේ හරක් අං වලින් නිපදවූ නලා.
බියුගලය එදා දඩයම් කටයුතු සඳහා පාවිච්චි කර තිබෙනවා. හැබැයි ඒ කාලයේදී එය හැඳින්වුණේ බියුගල් කියන නමින් නෙවෙයි. එහිදී සිදුකෙරුණේ ගෝණුන් වැනි සතුන්ගේ කෑගැසීමේ හඬට සමාන හඬවල් මේ නලා මගින් පිටකර, ඒ සතුන් දඩයම්කරු අසලට ගෙන්වා ගැනීමයි. ගෝත්‍රික සටන්, සිවිල් යුද්ධ, ආදියේදී කෙටි පණිවිඩ ඉක්මනින් දැනුම්දීමේ ක්‍රමයක් ලෙස, නලා හඬ සාර්ථකව යොදාගතහැකි බව අවබෝධවූ කාලයේ පටන්, හමුදා කටයුතු වලට බියුගලය එක්වුණා. පසුකාලීනව යුදහමුදා සංවිධානය කිරීමේදී බියුගල් නලා හඬ මගින් පණිවිඩ දැනුම්දීමේ ක්‍රමය ආරම්භ වුනා. අතීතය ගැන ඒ ඇති නේද? දැන් අපි වර්තමානය දෙසට හැරෙමු.
ත්‍රිවිධ හමුදා පවත්වාගෙන යන ලෝකයේ සෑම රටකම පාහේ අදටත් බියුගල් නලා හඬ ප්‍රයෝජනයට ගන්නවා. එය හමුදා සම්ප්‍රදායක් ලෙස ඉතා වැදගත් ස්ථානයක් ගන්නවා. නවීන තාක්ෂනය කොතරම් තිබුනත් සමහර හමුදා කටයුතු වලදී අනිවාර්යයෙන්ම බියුගල් නලාකරුවකු යොදාගැනීමට සිදුවන අවස්ථා තිබෙනවා. උදාහරණයක් වශයෙන් සෙබළකුගේ අවමංගල්‍යයකදී දේහය සහිත දෙණ වලට පහත් කිරීමේදී, බියුගල් නලාකරුවකු විසින් වාදනයක් පවත්වන බව, පසුගිය කාලයේ අපේ රටේ පැවති යුද සමයේදී, ඔබ බොහෝ දෙනෙක් දැක ඇති. එහෙත් ඒ බියුගල් හඬ, කැසට් පටියක්, සී.ඩී. තැටියක්, පෙන් ඩ්‍රයිව් එකක්, මගින් සොහොන් බිමේදී ප්‍රචාරය කලොත්, නිකම් සින්දුවක් දැම්මා වගේ වෙනවා. ඒ නිසා නිවැරදි සම්ප්‍රදාය පිළිපැදිය යුතුයි.
නමුත් සෑම විටම බියුගල් නලා කරුවකු යොදාගත නොහැකි අවස්ථා තිබෙනවා. සාමාන්‍යයෙන් පැරණි කාලයේදී (අපේ රටෙනම් 1980 දශකය පමණ වනතුරු) පැවති යුද හමුදා කඳවුරු එතරම් විශාල නැති නිසා, බියුගල් කරුවකුගේ වාදනය මුළු කඳවුරටම ඇසෙනවා. නමුත් අද කාලයේ කඳවුරු සමහරක් අති විශාලයි. ආරක්ෂක සේනා මූලස්ථාන, සේනාංක මූලස්ථාන, බලසේනා මූලස්ථාන වැනි කඳවුරු (ඒ මොනවාගේ මූලස්ථානද යන්න පසුව ලිපියකින් විස්තර කරන්නම්) වල සෑම තැනටම ඇසෙනසේ එක බියුගල් කරුවකු යොදවා සංඥා වාදන ඉදිරිපත් කල නොහැකියි. එකම කඳවුරක එකවර ස්ථාන දෙකක හෝ ඊට වැඩි ගණනක බියුගල් කරුවන් යෙදවීම සම්ප්‍රදායට පටහැනියි. ඒ නිසා ලෝකයේ සෑම රටකම පාහේ එවැනි විශාල කඳවුරු, මහා යුද නැව්, ආදියේදී අද කරන්නේ, පටිගත කල බියුගල් නලා හඬ ශබ්ද විකාශන මගින් ප්‍රචාරය කිරීමයි. ‘ඉතින් අනේ ඕකට නලා හඬම ඕනේයැ. මයික් එකකින් කිව්වනම් ඉවරනේ’ කියා සමහරවිට ඔබට සිතෙනු ඇති. එතකොට අර අනාදිමත් කාලයක් රැකගෙන ආ හමුදා සම්ප්‍රදාය පිරිහෙනවා මෙන්ම එය විනය පිරිහීමටත් හේතුවක් විය හැකියි. එහෙනම් ඉතින් රේඩියෝ එකේ උදේට පිරිත් නොදා නිවේදකයකු ලවා පින්වත්නි දැන් පිරිත් කියලා කිව්වොත් ඇති. ටී.වී. තිරයේ පොල් අකුරෙන් පිරිත් කියලා දැම්මොත් ඇති. මෙන්න මේ නිසයි ඕනෑම රටක, සමාජයක, ජාතියක, මෙන්ම ආරක්ෂක හමුදාවක ඇති හරවත් සම්ප්‍රදායයන් නොකඩා ඉදිරියට ගෙන යායුත්තේ.
සාමාන්‍යයෙන් මම ලියන සෑම ලිපියකම යම් උපකරණයක් පෙන්නුම් කලොත් එහි කොටස් හඳුන්වනවා නොවැ. ඔන්න එහෙනම් බියුගලයේ කොටස් බලාගන්න.
Bugle Call බියුගල් කෝල් හෙවත් බියුගල් නලා සංඥාවක් යනු කුමක්ද? එය ඉතා කෙටියෙන් මෙසේ නිර්වචනය කල හැකියි. බියුගල් නලා සංඥාවක් යනු කිසියම් හමුදා කඳවුරක, යුද පෙරමුණක, යුද නැවක, හෝ හමුදා පරිශ්‍රයක දෛනිකව ඉටුකෙරෙන හෝ එදිනෙදා සාමාන්‍ය කටයුතු සියළු දෙනාට මතක් කරදීම, (දැන් මෙන්න මේ ක්‍රියාව සඳහා කාලයයි යනුවෙන් මතක් කිරීම) සහ සාමාන්‍ය ක්‍රියාවලියෙන් පරිබාහිරව සිදු කලයුතු ක්‍රියා, (ගින්නක් ඇතිවෙලා. වහාම ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කරන්න වැනි) සියළු නිළයන් වෙත මතක් කිරීමේ සන්නිවේදනයක් ලෙස ඉදිරිපත් කෙරෙන, කෙටි වාදනයකි.
හමුදා කඳවුරක සිදුකෙරෙන සාමාන්‍ය රාජකාරි වන්නේ උදැසන අවදිවීමේ සිට රාත්‍රියේ නින්දට යනතුරු කෙරෙන සාමාන්‍ය ක්‍රියායි (යුද්ධයක් නැති විට) එහිදී සාමාන්‍ය රාජකාරි වශයෙන් ගැනෙන්නේ අවදිවීමෙන් හා අහාර ගැනීමෙන් පසු පෙළපාලි භූමියට යාම, පුහුණුවීම, ආදී කටයුතුයි. විශේෂ අවස්ථා යනු කඳවුරේ ගින්නක් හට ගැනුනොත් අනතුරු ඇඟවීම, උසස් නිළධාරියකුට උත්තමාචාරයක් පිරිනැමීම, විශේෂ භෝජන සංග්‍රහ පවත්වන අවස්ථා ආදියයි.
බියුගල් නලාකරු මේ සෑම අවස්ථාවකටම සූදානමින් සිටිය යුතුයි. බියුගල් නලාකරු පාඨමාලාව සඳහා බඳවා ගැනීමේදී සොයාබලන වැදගත් සුදුසුකමක් වන්නේ බියුගලය නිවැරදිව පිඹීමට සුදුසු ආකාරයට දත් සහ තොල් පිහිටා තිබේද යන්නයි.
එමෙන්ම බියුගල් නලාකරුවකු එක අතකින් කඳවුරේ ආරක්ෂකයෙක්. හදිසි අවස්ථාවක් වන ගින්නකදී ඔහුගේ සංඥාව ඉතා වැදගත්. ඔහු අභිමානවත් පෙනුමකින් යුත් ස්ථානොචිත ප්‍රඥාවෙන් යුතු අයකු වියයුතුයි. මේ පින්තූරයේ සිටින සොල්දාදුවා දෙස බැලීමෙන් ඔබට එය පැහැදිලි වනු ඇති.
මෙතැන්සිට මා ඔබට හමුදා කටයුතු වලට අදාළ බියුගල් නලා හඬවල් ඇසිය හැකි සබඳතා (links) ලබා දෙනවා. නමුත් එක ප්‍රශ්නයක් තිබෙනවා. මට මගේ බ්ලොග් අඩවියේ ඇති තාක්ෂණික පහසුකම් යටතේ කෙලින්ම mp 3 files ඔබ වෙත දෙන්නට බැහැ. ඒ සඳහා ඩොලර් 20 ක් ගෙවිය යුතුයි. මා සතුව ඒ සඳහා ක්‍රෙඩිට් කාඩ් එකක් හෝ එවැනි බැංකු ගිණුමක්වත් නැහැ. පෞද්ගලික බැංකුවක තිබෙන මගේ ඉතිරිකිරීමේ ගිණුම වෙනුවෙන් පේ පෑල් ගිණුමක් සෑදීමට අද උත්සාහ කලත් එය හරිගියේ නැහැ. ඒ නිසා මා ඉතා කරුණාවෙන් ඔබෙන් ඉල්ලන්නේ මේ සබඳතා වලට යාමට පෙර ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් මෘදුකාංගය ඔබේ පරිගණකයේ ස්ථාපනය කරගන්නා ලෙසයි. මේ සෑම සබඳතාවක් මගින් ලැබෙන ගොනු කිලෝ බයිට් 200 ඉක්මවන්නේ නැහැ. ඇසිපිය ගසන සැනින් ඩවුන්ලෝඩ් වෙනවා ඔබ සතුව මා ඉහත කී මෘදුකාංගය තිබේනම්. එසේම වින්ඩෝස් මීඩියා ප්ලේයර් එකේ ඒවා ඉතා පහසුවෙන් වාදනය වෙනවා. මේ නිසා ඔබට යම් අපහසුතාවක් ඇතිවේනම් මා මගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරනවා. හොඳයි එහෙනම් මා මෙතැන්සිට එක් එක් (තෝරාගත් ඒවා පමණයි) බියුගල් වාදනය හඳුන්වාදී එහි ඩවුන්ලෝඩ් ලින්ක් එක දෙනවා.
කඳවුරක දවසේ වැඩ කටයුතු ආරම්භ වෙන්නේ 0500 පැයට (යුද හමුදාවේ පාවිච්චි කරන්නේ 24 පැයේ ඔරලෝසුවයි. වෙලාව ලිවීමේදී 05.00 කියා ලියන්නේ නැහැ) ඒ නිසා දිනපතාම 0500 පැයට ඉදිරිපත් කරන බියුගල් කෝල් එකක් තියනවා. එය අවදිවීම හෙවත් ඉංග්‍රීසියෙන් Reveille රිවෙලී.
අවදි වෙලා, මූණ කට හෝදලා, තේ එකක් බීලා, ශාරීරික අභ්‍යාස වලට යනවා. ඉන්පස්සේ ඇහෙන්නේ කෑමට එන්න කියන ‘කර්ණ රසායන’ බියුගල් කෝල් එකයි. මෙය උදේ දවල් රාත්‍රී ආහාරවේල් තුන ම සඳහා වාදනය කරනවා. මෙය නාද කරනතුරු භෝජනාගාරය පැත්ත පළාතේ යාම තහනම්.
උදේට කෑවා බිව්වනම් ඉතින් ඊළඟට පුහුණුව තමයි පටන්ගන්නේ. ඒ සඳහා ‘සරඹ පිටියට එනු’ කියලා කියන්නේ මෙහෙමයි.
දවසේ වැඩ කටයුතු අවසානයේ හරියටම 1800 පැයට කඳවුරේ ධජය කොඩි ගසෙන් බානවා. මේ වාදනය ආරම්භ වන විටයි කොඩිය බෑම ආරම්භ වන්නේ. වාදනය අවසන් වනවිය කොඩිය පහත් කරන සෙබලාගේ අතටම එන පරිදි වාදනයට ගැලපෙනසේ සෙමින් කොඩිය පහත් කරනවා. ඒ සමගම සටනේදී දිවි පිදු රණවිරුවන් සිහි කරනවා. මේ සිහි කිරීම අද ඊයේ දෙයක් නොවේ. යුද හමුදාව පිහිටවූ දිනයේ සිට කරන දෙයක්. මේ වාදනය ඇසෙන විට එළිමහනේ සිටින සියලු දෙනා නිහඬව සීරුවෙන් සිටගත යුතුයි. ගොඩනැගිලි ඇතුලත සිටින අය නිහඬ විය යුතුයි. මෙය පසුබැසීමේ නලා හඬ යනුවෙන් හඳුන්වනවා (Ritreat රිට්‍රීට්). ඇත්තෙන්ම මෙයින් අදහස් කරන්නේ සටනින් පසු බැසීම නොව, ‘දවසේ රාජකාරි අවසන්, කඳවුරෙන් පිටත සිටින්නේනම් ආපසු කඳවුර තුළට එනු’ යන්නයි.
යුද හමුදා කඳවුරක දවසේ රාජකාරි භාරව නිලධාරියකු සහ කාර්ය මණ්ඩලයක් දිනපතාම පත් කරනවා. සාමාන්‍යයෙන් දින 15 කට වරක් ඉදිරියට එන දින 15 සඳහා එම කාර්ය මණ්ඩල පත්කර මුද්‍රිත නියෝග පල කරනවා. එම කාර්ය මණ්ඩලය දිනපතාම 2200 පැයට හැකිනම් සරඹ භූමියේ කොඩි ගස ඉදිරිපිට (ඒ වනවිට කොඩිය ඉවත් කරලා) නැතහොත් මූලස්ථාන කාර්යාලය ඉදිරිපිට, පෙරෙට්ටුවක් වශයෙන් රැස්වෙනවා. (වහිනවානම් ගොඩනැගිල්ලක් තුල, එහෙත් ගොඩනැගිල්ලක් තුල බියුගල් වාදනය කරන්නේ නැහැ.) එහිදී දවසේ කාර්ය භාර කෝප්‍රල්, දවසේ කාර්ය භාර සැරයන්, දවසේ කාර්ය භාර ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරි (මාණ්ඩලික සැරයන් හෝ බලලත් නිලධාරි නිලයේ අයෙක්, නිලයන් ගැන ලිපියක් අවශ්‍යද?) යන අය දවසේ කාර්ය භාර නිලධාරි වෙත, තම රාජකාරි කාලය ඇතුලත සිදුවූ දේ සම්බන්ධව, වාචිකව කෙටියෙන් වාර්තා කරනවා. ඒ අවසානයේ තමයි මේ බියුගල් වාදනය (Last Post ලාස්ට් පොස්ට්) ඉදිරිපත් කරන්නේ. යුද හමුදා අවමංගල්‍ය වලදීත් ඉදිරිපත් කරන්නේ මෙයමයි.
2215 පැය වනවිට කඳවුරක ඇති භට නිවාසවල පහන් නිවාදැමිය යුතුයි. ඉන්පසු පිටතට ඇසෙනසේ කතා කිරීමත් තහනම්. පහන් නිවනු යන පණිවිඩය දෙන්නේ මෙහෙමයි.
සාමාන්‍ය රාජකාරි සඳහා පාවිච්චි කරන බියුගල් කෝල් වලින් තෝරාගත් කීපයක් ඒ. මීළඟට බලමු විශේෂ අවස්ථා. කඳවුරේ ගින්නක් ඇතිවී තිබෙන බව බව දැනුම් දෙන්නේ මෙහෙමයි.
ඉහළ නිලධාරීන්ගේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වෙන විට ‘නිලධාරි වරුනි දැන් කෑම වෙලාවයි’ කියන්නේ මෙහෙමයි.
ඉහල නිළධාරියකු වෙනුවෙන්, කඳවුරු ආරක්ෂක මුරය විසින් පවත්වන, පිළිගැනීමේ පෙරෙට්ටුවේදී, වාදනය කරන බියුගල් නාදය මෙයයි. මෙය හඳුන්වන්නේ ‘ජෙනරල් සෙලියුට්’ නමින්.
මා මෙහිදී ඉදිරිපත් කළේ, තෝරාගත් බියුගල් නාද කීපයක් පමණක් බව, නැවතත් අවධාරණය කරනවා. පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් සෑම රටකම පාහේ මේ බියුගල් නාද රටා බොහෝ දුරට එක සමානයි. අපේ යුද හමුදාව, බ්‍රිතාන්‍ය යුද හමුදා සම්ප්‍රදායයන් අනුසාරයෙන් සැකසී ඇතිනිසා, ඒ සමානත්වය අදටත් බොහෝ දුරට දකින්නට තිබෙනවා. මා මෙහි දක්වා ඇත්තේ බ්‍රිතාන්‍ය රාජකීය ඉංජිනේරු රෙජිමේන්තුව විසින් ඉදිරිපත් කරන බියුගල් වාදනයි. ඒ වාදන සහ ශ්‍රී ලංකා යුද හමුදාව මෙහි දක්වා ඇති රාජකාරි කටයුතු සඳහා අද ද කරන වාදන අතර කිසිදු වෙනසක් නැහැ.
No comments :
Post a Comment