හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

20 May 2015

චාරිකා සටහන් එකතුවක්

Writing
 පහුගිය මාස පහක හයක පමණ කාලය තුළ, චාරිකා කීපයක යෙදෙන්නට, මට අවස්ථාව ලැබුණා. එයින් 'යාපනයේ සංචාරය' සහ 'වැදි ජනතාව බලන්නට ගිය චාරිකාව' පිලිබඳ අද්දැකීම්, මා ඔබ සමග බෙදා හදාගත්තා. නමුත්, සමහර චාරිකා පිලිබඳ විස්තර කියන්න අමතක වුණා. එහෙම නැත්නම්, ඊට වඩා ප්‍රමුඛස්ථානයක් ලැබිය යුතු මාතෘකා ඔස්සේ ලිපි ලියවුණ නිසා, චාරිකා සටහන් ලිවීම අතපසු වුණා. ඔන්න ඒ මගහැරුණු චාරිකා ඔක්කොම එකතු කරලා, මේ ලිපිය ලියන්නේ.

   
රන්ටැඹේ චාරිකාව 

   වැදි ජනතාව බලන්නට ගිය චාරිකාව බොහොම රසවත්. පසුගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේදී ගිය මේ චාරිකාව සඳහා, දින තුනක් ගතවුණා. එයින් දින දෙකක් මා සහ සහෝදර විශ්‍රාමික නිළධාරීන්, නැවතී සිටියේ, රන්ටැඹේ පිහිටි ජාතික ශිෂ්‍යභට බලකායේ පුහුණු මධ්‍යස්ථානයේ. 

   මා හමුදා සේවයේ යෙදීසිටියදී, කවරදාක වත්, මේ කඳවුරට ගිහින් නැහැ. එසේ යන්නට අවශ්‍යතාවක් නොතිබුණු නිසා. මේ තමයි මා පළමුවරට එහි ගිය අවස්ථාව. ශ්‍රී ලංකාවේ දර්ශණීයතම භූමි භාගයක පිහිටි මේ කඳවුර, ප්‍රධාන නගර වලින් ඈත්ව පිහිටීමත් විශේෂත්වයක්. ප්‍රධාන නගරයක් වශයෙන් පිහිටි මහියංගනය නගරයටත්, මෙහි සිට කි.මී. 28 ක් පමණ දුරක් තිබෙනවා.

   මෙම කඳවුරු භූමිය, මහවැලි ව්‍යාපාරයට අදාළව නිමවුණු, රන්දෙනිගල සහ රන්ටැඹේ ජලාශ ව්‍යාපෘතීන්හි සේවය කළ, ජර්මානු ජාතික නියෝජිතයන්ගේ නවාතැන්, ගබඩා, කාර්යාල, සංකීර්ණයක් ලෙසයි පවත්වාගෙන ගොස් තිබෙන්නේ. මේ ප්‍රදේශය වල් අලින් ගෙන් ගහණ ප්‍රදේශයක් වුවත්,

   (වල් අලියා යන්න, වන අලියා ලෙස හඳුන්වන්නට අදහස් කළේ, මොන ගොන් අලියාදැයි දන්නේ නැහැ. වල / වළ යන වචන දෙකෙහි තේරුම නොදත්, සිංහල නූගත්, අබබ්බයකු වෙන්න ඇති, ඒ යෝජනාව ගෙනෙන්න ඇත්තේ. මෙවැනි අබබ්බයන්, 'වල්' කියන වචනයට දන්නේ, එක තේරුමයි. ඒ කියන්නේ, අසභ්‍ය කියන තේරුම. මේ අය, ඒ තේරුම දන්නෙත්, තමන් වල් නිසා වෙන්න ඇති. වන අලියා, වණ අලියා කියලත් ලියයි, සමහරවිට) 

   මෙතෙක් ශිෂ්‍යභට පුහුණුවට එයින් බාධාවක් වී නැති බව දැනගන්නට ලැබුණා. කෙසේ වෙතත්, ශිෂ්‍යභටයන් වන අභ්‍යාසවල යෙදීමේදී, උපදේශක මණ්ඩලය විසින්, ආරක්ෂාව ගැන විශේෂයෙන් සැළකිලිමත්වන බවත්, දැනගන්නට ලැබුණා. කඳවුර වටා විදුලි වැටක් ඉදිකර තිබෙනවා, අලින් පැමිණීම වළක්වන්නට. මෙන්න රන්ටැඹේ ප්‍රදේශය. පින්තූරය මත ක්ලික් කර, විශාල කර බලන්න. 

Rantambe

   මෙන්න රන්ටැඹේ දී සහ මහියංගණ ප්‍රදේශයේ චාරිකාවේදී ගත් පින්තූර කීපයක්.

රන්ටැඹේ කඳවුර 

DSC01270


DSC01260



මහියංගණ චෛත්‍යය

DSC01291



සොරබොර වැව

DSC01329


DSC01324

   සොරබොර වැව ලංකාවේ ඇති වැව් අතරින් සුවිශේෂී ස්ථානයක් ගන්නේ, එහි ඇති සොරොව්වේ විශේෂත්වය නිසයි.  එය සම්පූර්ණයෙන් ස්වභාවික ගලක ඉදිකරන ලද සොරොව්වක්. ඒ ආකාරයට ලංකාවේ ඉදිකර ඇති එකම සොරොව්ව එයයි. අදාළ විස්තර, වැව අසළ ඇති පුවරුවක සඳහන්වන්නේ මෙහෙමයි. 

DSC01318

මේ සොරොව්වේ වීඩියෝවක් ගන්නට මට හැකිවුණා. මේ තියෙන්නේ ඒ වීඩියෝව. (තත්පර 30 ක් පමණයි)




  කල්පිටිය චාරිකාව 

   ඔබට මතකද මා මීට පෙර කීප වතාවක් ඔබට කියා තිබෙනවා අපේ ගමේ සුබසාධක සමිතියෙන් යන වාර්ෂික චාරිකාව ගැන. 2015 වසර වෙනුවෙන් ඒ චාරිකාව අපි ගියේ කල්පිටිය අර්ධ ද්වීපය සහ පුත්තලම ප්‍රදේශය ආශ්‍රිත කරගෙනයි.

   කල්පිටියට යනවානම් නොවරදවාම නැරඹිය යුතු ස්ථානයක් වන්නේ, කල්පිටිය නාවික හමුදා කඳවුර තුළ පිහිටි, පැරණි ඕලන්ද බලකොටුවයි. මෙය නැරඹීම සඳහා, කල්තබා දැනුම්දීමක් කර, අවසර ගන්නවානම්, වඩා හොඳයි. කෙසේවෙතත්, හතර පස් දෙනෙකු වැනි සුළු පිරිසකට නම්, ඒ මොහොතේම වුනත්, කඳවුරේ ඇති සම්බන්ධිකරණ කාර්යාලයෙන්, අවසර ගන්න පුළුවන්. 

   මේ ඕලන්ද බලකොටුව සීඝ්‍රයෙන් විනාශවීගෙන යන බවත්, පුරාවිද්‍යා සංරක්‍ෂණ කටයුතු කිසිවක් සිදුවී නැති බවත් පෙනෙනවා. පසුගිය යුද සමයේ මා, මේ කඳවුරට කීප වතාවක් ගියා. නමුත් නිදහසේ මේ බලකොටුව නරඹන්නට ලැබුණේ, මේ පහුගිය පෙබරවාරි මාසයේ යෙදුන සංචාරයෙදීයි. කඳවුර හරිම අලංකාරයි. ඔබට පුළුවන්, අවසර දී ඇති ප්‍රදේශ වලට පමණක්, නිදහසේ ඇතුළුවී නරඹන්න.

   කඳවුර ඇතුළට යනකොටම දකින්න ලැබෙන්නේ තල්මසකුගේ ඇටසැකිල්ලක් සංරක්ෂණය කර ඇති ආකාරය.

DSC01826

   හමුදා භටයන් විශ්‍රාම ගන්නවා වගේ, අවි ආයුධත් විශ්‍රාම ගන්නවා. මේ නාවික යාත්‍රාවල සවි කරන මැෂින් තුවක්කුවක් විශ්‍රාම ගෙන තිබෙන ආකාරය.

DSC01824


ඕලන්ද බලකොටුවේ පිවිසුම් දොරටුව 

DSC01827


බලකොටුව අභාවයට යමින් පවතින හැටි 

DSC01829

   බලකොටුවේ, පැරණි, අතිවිශාල, දැවමය දොරටුවක් තිබෙනවා. එහි සටහන්ව තිබෙන ආකාරයට, මේ බලකොටුව ඉදිකර තිබෙන්නේ ක්‍රි.ව. 1759 දී. MDCCLIX = 1759

DSC01862

   මේ පහත පින්තූරයේ තිබෙන්නේ, 'ක්‍රිස්තු වර්ෂ' යන්න, ANNODOMINI යනුවෙන්, සටහන් කර ඇති ආකාරයයි. 

DSC01861

   යුද්දෙට ගිහින් වෙහෙසට පත් ප්‍රහාරක යාත්‍රා, මේ කඳවුරේ, විවේක සුවයෙන් තිබෙනවා. නමුත් ඕනෑම වෙලාවක රාජකාරියට සූදානම්. අදත් අභ්‍යාසවල යෙදෙනවා. මේ යාත්‍රා අසළටම ගොස් බලන්නට අවසර තිබෙනවා. 

DSC01870

   නාවික කඳවුර නරඹා ආපසු එන ගමන්, අපි, අති සුප්‍රසිද්ධ, තලවිල ශාන්ත ආනා දෙව් මැඳුර වන්දනා කරන්නටත් ගියා. ඉතා අලංකාර පරිසරයක පිහිටි මේ දෙව් මැඳුරු භූමිය, පරිසර සංරක්ෂණය අතින් ඉහළ තැනක් ගන්නවා. 

DSC01920


DSC01927

   ඊළඟට අපි ගියේ, නොරොච්චෝලේ, 'ලක් විජය ගල් අඟුරු තාප විදුලිබලාගාරය' නරඹන්නටයි. බලාගාරය ඇතුලේ පින්තූර ගන්න අවසට නැහැ. මේ පෙනෙන්නේ, නැව් මගින් ගෙන එන ගල් අඟුරු, බත්තල් මගින් ගොඩබිම ආසන්නයට ගෙනැවිත්, ධාවන මාර්ගයක් ඔස්සේ, Conveyor Belt බලාගාරය වෙත එවන ආකාරයයි. 


DSC01917

   නොරොච්චෝලේ ප්‍රදේශයේ, ඉතා විශාල ප්‍රමාණයක්, සුළං විදුලි ජනක සවිකර තිබෙනවා. පුත්තලම ප්‍රදේශයම ගතහොත්, 100 කට අධික ප්‍රමාණයක් තියනවා වගේ දැක්කේ. මේ තියෙන්නේ. 

DSC01887

   'අනේ ඔය දෙන්නා නිකං, ඈතින් හිටෙව්ව හුළං මෝල් දෙකක් වගේ ඈත්වෙලා ඉන්නැතුව ලංවෙන්නකෝ', කියලා, ලොකු දුව කොච්චර කිව්වත්, ලංවුණේ නැහැනේ.

DSC01906

   දිවා ආහාරය සඳහා අපි බලාපොරොත්තු වුණේ, පුත්තලම - මන්නාරම මාර්ගයේ, එළුවන්කුලම ප්‍රදේශය පසුකර, කලාඔයේ දිය පැන්නුමෙන් එගොඩවී, ඔයෙන් නෑමෙන් පසු, මොක මොකවත් කරගෙන, දෙයියනේ කියලා බත්ටික කන්නයි.

   නමුත් ඔයේ වතුර වැඩි නිසා වාහන එගොඩ කරන්න බැහැ, සපත්තු පාළමෙන්. Causeway කෝසුව කියලත් කියනවා. මේ බලන්න කෝසුවේ වතුර වැඩියි. එගොඩින් පෙනෙන්නේ, විල්පත්තු අභයභූමිය.

DSC01935

   මෙතනදී මම දැක්කා, තම වර්ගයා බෝ කිරීමේ අරමුණින්, උඩුගං බලා, කෝසුවෙන් පණින මසුන්. ඔන්න මම උන්ව වීඩියෝ කරගත්තා.



   ඉතින් මොකේදැයි දන් වළඳන්නේ කිව්වලු.  දැන් කොහේ ගිහින්ද,  මොක මොකවත් කරගෙන, දවල් බත කොටාබාන්නේ කියලා, අපේ කට්ටිය විස්සෝප වුණා. හෙහ් හෙහ්......එව්වා කොහෙද මාත් එක්ක.

   මේ ප්‍රදේශය මට හොඳට හුරුයි. මම මුලින්ම මේ ප්‍රදේශයේ රාජකාරි කලේ 1987 දී. මම අපේ කට්ටියත් අරගෙන ගියා, ඉතා සුන්දර පරිසරයක පිහිටි ධීවර ජනාවාසයක් වන, 'ගඟේවාඩිය' නමැති ප්‍රදේශයට. (සිතියමේ බලන්න)

   ඉස්සර මේ පැත්ත ඉතා දැඩි ලෙස LTTE තර්ජනයට ලක්ව තිබුණා. දැන් නිදහස්. මේ අසළ, අති විශේෂ නාවික හමුදා කඳවුරක් තිබෙනවා. එය තරමක් රහසිගත එකක්.

   මෙන්න බලන්න ගඟේවාඩිය. 

DSC01948

Screenshot (14)



ත්‍රිකුණාමලය සහ තිරියාය චාරිකාව

   මේ චාරිකාවේ යෙදුණේ පහුගිය මාර්තු මාසේ. අපේ පන්සලේ තිබෙන දහම් පාසලේ දරුවන් වෙනුවෙන්, චාරිකාවක් සූදානම් කර තිබුණා. අපේ හාමුදුරුවෝ මට කිව්වා, 'මහත්තයත් ඇවිත්, පින්තූර ටිකක් අරං දුන්නොත් හොඳයි' කියලා. ඒ නිසා තමා ගියේ. මේක දහම් පාසල් චාරිකාවක්නේ. ආයෙ 'වෙන වැඩ බැහැ' ඒ නිසා, උපාසක ලීලාවෙන් ගිහින් ආවා.

   ත්‍රිකුණාමලයේ පින්තූර නම්, බොහෝදෙනෙක්, අනන්තවත් දැකලා ඇති. ඒ නිසා වැඩිය පින්තූර දාන්නේ නැහැ. ත්‍රිකුණාමාලයේ පිහිටි ෆ්‍රෙඩ්රික් බලකොටුවේ ප්‍රධාන දොරටුව මේ පෙනෙන්නේ.

1

   ත්‍රිකුණාමලයේ කෝණේස්වරම් කෝවිලට පහළින් පිහිටා ඇති, 'ස්වාමි ගල හෙවත් පෙම්වතුන් පිනූ ගල' සෑම සංචාරකයකුගේම කැමරාවට හසුවෙනවා. 

2

   අතීතයේ පටන් ත්‍රිකුණාමලයේ වෙසෙන මුව රංචුව, ප්‍රධාන නගරයක් තුළ වෙසෙන, ලෝකයේ එකම මුව රංචුවයි. නමුත් ඔවුන් වඳවේගන යනවාලු. මමත් මේ මුවාව දැක්කේ, ත්‍රිකුණාමලයේ හමුදා කඳවුරක් තුළදී. 

3

   මේ ගමනේ අපි ප්‍රධාන අරමුණක් කරගත්තේ, තිරියායේ ගිරිහඬු සෑය වන්දනාමාන කිරීමයි. අපි ඉක්මණින්ම තිරියාය බලා පිටත්වුනා. ත්‍රිකුණාමලය - පුල්මුඩේ මාර්ගයේ, තිරියායට හැරෙන හන්දිය අසළ ඇති නාවික හමුදා කඳවුරෙන්, අපිට ඉතා ඉහළ මට්ටමේ තේ පැන් සංග්‍රහයක් ලැබුණා. අපේ ගමේ ඉන්න නාවික හමුදා නිළධාරියකු විසින් එය සූදානම් කර තිබුණා. මේ තියෙන්නේ ඒ කඳවුරේ අලංකාරයි. 

4

5

   තිරියාය ගැන හැඳින්වීමක්  බලලා, පින්තූර බලමු.

6

   ලංකාවේ තිබෙන විශාලතම වටදාගේ තියෙන්නෙත්, තිරියාය ගිරිහඬු සෑයේ.

9

   ගිරිහඬු සෑය පිහිටි කන්ද පාමුල, පැරණි ගල් පාළමක් සහ දිය අගලක් දකින්නට ලැබෙනවා. 

7

8

   මේ සිතියම දාන්නේ, ඔබටත් තිරියායේ යන්න මග සලකුණු පෙන්වන්නයි. 

Screenshot (15)

   අපේ කණ්ඩායමේ හිටිය මේ සංචාරිකාවෝ, මගේ කැමරාව ඉදිරියේ, නිරූපිකාවෝ බවට පත්වුණා. 

10

11

   මේ කෙටි ලිපිය කියෙව්වාට බොහොම ස්තුතියි.


2015 මැයි මස 19 වැනි දින 2333 පැය 

84 comments :

  1. වල් බල්ලා කියන කොට වල් යන්නේ තේරුම එකක් වල් ඌරා, වල් අලියා, වල් පැළෑටිය, වල් දර්ශ කියන කොට තේරුම එකක්. විචාරක මහතා දන්නවාට වඩා "වල් " වලට තේරුම් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඉහත සඳහන් //විචාරක මහතා දන්නවාට වඩා// යන්න විජිතමුණි මහාතා දන්නවාට වඩා ලෙස වෙනස් විය යුතුය.

      Delete
    2. වල් බල්ලා යන්නට තේරුම් තුනක් තියනවා නේද? 1. අප්‍රිකානු වනාන්තර වල ජීවත්වන බල්ලා. 2. අයාලේ යන බල්ලා. 3. අශික්ෂිත ක්‍රියාවන්හි යෙදෙන මිනිහා.

      Delete
    3. ඔය තේරුම් ඔය විදියටම wild කියන ඉංග්‍රීසි පදයටත් තියෙනවා නේ. wild elephant කියන පදයත් forest elephant කියා වෙනස් නොකිරීම පුදුමයි

      Delete
  2. සොරබොර වැව ලංකාවේ ඇති වැව් අතරින් සුවිශේෂී ස්ථානයක් ගන්නේ, එහි ඇති සොරොව්වේ විශේෂත්වය නිසයි. එය සම්පූර්ණයෙන් ස්වභාවික ගලක ඉදිකරන ලද සොරොව්වක්. ඒ ආකාරයට ලංකාවේ ඉදිකර ඇති එකම සොරොව්ව එයයි.:
    මේ ස්ථාන සංරක්‍ෂණය කිරීමට අවශ්‍යයි

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මෙය ඉතා හොඳින් සංරක්ෂණය කර තිබෙනවා. සෑමවිටම මුරකරුවන් පවා ඉන්නවා.

      Delete
  3. පාසල් කාලයේ තාත්තා ගේ වොරන්ට්වලින් අපි තවත් පවුල් කීපයක් සමග ගිය චාරිකා සිහිවුණා. අනුරාධපුර දෙවරක්, ත්‍රිකුණාමලය, කන්කසන්තුරය, පොලොන්නරුව, කතරගම, බදුල්ල වගේ තැන්වලට. පුත්තලම ප්‍රදේශයට නං හියේම නෑ. පාසලෙන් එක් දින අධ්‍යාපන ගමනක් ගොස් තියෙනවා සිමෙන්ති සහ වීදුරු කම්හල් බැලීමට.

    ඒ කාලයේ අපිට ඉතිං කොයින්ද කැමරා?

    ReplyDelete
    Replies
    1. මගේ දෙමව්පියොත් ගුරුවරු නිසා සෑම නිවාඩු කාලයකම පාහේ නිවාඩු දුම්රිය බලපත්‍ර මගින් එවැනි ගමන් ගියා. බොක්ස් කැමරාවකින් ගත්ත පින්තූර තිබුණා. අදනම් මොකවත් නැහැ. නමුත් ඒ මතකය හරිම මිහිරියි නේද?

      Delete
  4. මතකද Battleship Film එක.. ඔය විදියට විශ්‍රාම ගිහින් කෞතුකාගාරයක් වෙච්ච නැවක් අරගෙනනෙ අන්තිමට අරුන් ඒලියන්ලා එක්ක යුද්ධෙට යන්නෙ... හි හි...

    මං ගිහිල්ල නෑනේ ඔය කොයි පැත්තෙවත්...

    ( අර උඩිං දාලා තියෙන කාටූන් රෑපේ නං විචාරකට නියමෙට ගැලපෙනව... හි හි)

    ReplyDelete
    Replies
    1. විශ්‍රාම ගිය අයට තවමත් පුළුවන් ඔය කොයි එලියන් එක්කත් හැප්පෙන්න. :e

      මේ වගේ පැතිවල කොහොමහරි ඇවිදලා බලන්න. හරිම ලස්සනයි.

      අර කාටූන් ඒක දැක්ක ගමන් මට හිතුණා මේක මේ ලිපියට හරියනවා කියලා.

      Delete
  5. ඔය ගහලා තියෙන්නෙ පොසොන් තොරණක්ම! අගේ ඇති පිංතූරු ටික. අර කොල්ලයි කෙල්ලයිත් ඉන්නෙ යස රඟට. බොහොම රසවත් විචාරක තුමා.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, ගොඩගැහිලා තිබුණු තොරතුරු එක පාරටම ලියලා දැම්මා. ස්තුතියි ඇගයීම ගැන.

      Delete
  6. හරිම ලස්සණ රූප එකතුවක්. විචාරක අර 'සපත්තු පාලම' ගැන පොඩ්ඩක් කියලා දෙන්ට.

    ඊලඟ දවසේ නම් විචාරකී (මෙහෙම කීවට කමක් නැතුව ඇති නේ? ) ලඟට වෙලා ගත්තු ෆොටෝ ඕනිලු. :P

    ReplyDelete
    Replies
    1. ඔන්න පරණ පින්තූරයක්. බලන්න හොඳද කියලා.

      [im#]https://jangun.files.wordpress.com/2014/02/img025.jpg?w=540[/im]

      සපත්තු පාළම Causeway කියන්නේ, ගඟක්, ඔයක් වැනි දිය පහරකින් හෝ විශාල ජලාශයකින් වාහන වලට සහ මිනිස්සුන්ට එගොඩවෙන්න හදන, පහත් මට්ටමකින්, ඒ කියන්නේ ජලය ගලායන මට්ටමට ආසන්නව හදන පාළමකටයි.

      මෙහිදී කරන්නේ ඒ දියපහරේ පතුලේ සිට කොන්ක්‍රීට් ආස්තරණයක් දැමීමයි. නැත්නම් දිය මතුපිටට ඉතා ආසන්නව පාළමක් දැමීමයි. එය මතින් හැමදාම වගේ වතුර ගලනවා. දැඩි නියඟයක් ඇවිත් ගඟ සිඳෙන අවස්ථාවක මෙය ඉතා ආරක්ෂාකාරී මාර්ගයක්. මෙහි සැඩ පහර වැඩිනම් වාහන ධාවනය භයානකයි. මේ මෑතකදීත් ලංකාවේ ඒ විදිහේ අනතුරකින් කාර් එකක් සැඩ පහරේ ගසාගෙන ගොස් එක් අයකු මියගියා.

      මේ පාලම තාවකාලිකව හදන්නේ පසු කාලයක හොඳ පාලමක් හදන්නයි. නමුත් වියදම් අධික නිසා මේවා තවමත් භාවිතයේ පවතිනවා. නඩත්තුත් කරනවා. මෙතනින් තව විස්තර බලන්න.

      http://en.wikipedia.org/wiki/The_Causeway

      Delete
    2. //සමහර වෙලාවට ඔය ස්පිල් එක උඩින් වාහන එහෙම යන්ට පුලුවන් විදිහට පළල්වට හදනව. එහෙම වාහන යන්ට කළුගලෙන් බැඳල හරි කොන්ක්‍රීට් දාල හරි හදන නිර්මිතයට කියන්නෙ Causeway කියල. සිංහලෙන් සපත්තු පාලම ..සමහර ඔය ඌව පළාතෙ වගෙ ඒකට ගිණිපෙට්ටි පාළම කියලත් කියනව.ඔය සපත්තු පාළං බහුලව හම්බවෙනව නැගෙනහිර පළාතෙ සහ ඌව පළාතෙ.පාර හරහා යන පොඩි ඇළක් වගෙ දියපාරකට, සාමාන්‍ය ක්‍රමේට පාළමක් ඉදිනොකර ඇළ මට්ටමට පාර පහත් කරල සපත්තු පාලමක් හදනව. වැහි කාලෙට පාර උඩින් වතුර යන්නෙ. වාහන වතුර පාර හරහ ගිහිල්ල එගොඩ වෙන්ට ඕන. පයින් යන මිනිස්සුන්ට සපත්තු ගලවල කලිසම් සාරි නවාගෙන අනික් පැත්තට යන්ට වෙනව. ඔව්වට සපත්තු පාළංය කියල කියන්නෙ ඔය හින්දවත්ද අනේ මන්ද... //
      රවී - නිදහස් සිතුවිලි

      Delete
    3. බොහොම ස්තුතියි ප්‍රසන්න. ඔන්න පොද්දීගේ දැණුමට තවත් යමක්.

      Delete
    4. යකඩෝ.... මස්කඩේ ළඟ මුකුළු කරන්න ගිහාම ඔහොම රතුවෙනවා තමයි ඉතිං.

      Delete
    5. මුකුලුවෙන් පස්සෙනේ මස් කඩේ

      Delete
  7. මීට මාස කිහිපයකට පෙර මම විදේශීය නාලිකාවක ශ්‍රී ලංකාවේ හමුදාවේ දිගු දුර මෙහෙයුම් කරන ඒකකය ගැන වැඩසටහනක් බැලුවා. මේකේ තියෙන්නේ මේ හමුදාවේ වෙනත් ඒකක වල ඉන්න සෙබළුන් මේ පාඨමාලාව හැදෑරීමට තෝරාගැනීමේදී මුහුණ දෙන පරීක්ෂණය ගැන. විචාරක මහතා මේ වීඩියෝව බලලා තියෙනවද?

    ඔබතුමාත් කැමති වෙයි කියලයි ලින්ක් එක මෙතන දමන්නේ. විනාඩි 40 ක පමණ වැඩසටහනක්.ඒ වගේම විචාරකතුමා, අපේ කොමාන්ඩෝ සෙබළුන් සහ මේ කණ්ඩායම අතර ඇති වෙනස මොකක්ද ? ඒ ගැන ඔබතුමා කලින් ලිපියක් ලියා තිබෙනවද කියා සොයා බැලුවා. මට හොයාගන්න බැරි උනා. ඔබතුමාට විවේකයක් තියෙනවා නං පහල තියෙන වීඩියෝ එක බලලා, මගේ ගැටලුවටත් පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නං ඉතාම අගය කරනවා.

    මේ තියෙන්නේ ශ්‍රී ලංකා හමුදාවේ දිගුදුර මෙහෙයුම් ඒකකය (මහසෝන් බලකාය කියලනේ රට්ටු කියන්නේ) ගැන විදේශීය නාලිකාවක් විකාශනය කෙරු වීඩියෝව

    (ඔබතුමාගේ මේ ලිපියේ තියෙන සොරබොර වැවේ සොරොව්ව ගැන අහලා තිබුනාට,ඒ ගැන වීඩියෝවක් දැක්කේ අදයි. මේක නං කදිම නිර්මාණයක්.මම හිතං හිටියේ ස්භාවිකවම මෙම සොරොව්ව ඒ ආකාරයට පිහිටලා තිබුන එකක් කියලා. ඒත් ඉහත විචාරකතුමා දමා ඇති ජායාරුප විස්තරයේ තියෙන්නේ ස්භාවික ගල්පර්වතය එකල තිබුණු වාරි තාක්ෂනය යොදාගෙන සොරොව්වක් විදියට පරිවර්තනය කලා කියල. බලන්න එකේ අපුර්ව බව. වසර දහස් ගණනක් ගත උනත් අදටත් මේකේ පැවැත්ම.බොහොම ස්තුතියි සොරබොර වැවේ සොරොව්වේ කදිම වීඩියෝවට.)

    ReplyDelete
    Replies
    1. Long Range Reconnaissance Patrol හෙවත් Deep Penetration Unit නැතහොත් දිගු දුර විහිදුම් බලකාය යනු ශ්‍රී ලංකා යුධ හමුදාම යටතේ ක්‍රියාත්මක Covert operation (Black operations) ඒකකයක්. Black ops මෙහෙයුමක් කියන්නේ ගුප්ත සහ අදාළ මෙහෙයමු දියත් කරන භට ඛන්ඩය පසුපස අැති මව් හමුදාවේ සම්බන්ධතාවයක් මෙහෙයමුට සදහා අැති බව නෙපෙනන අාකාරයට දියත් කරන රහසිගත මෙහෙයමුක්. Black ops කණ්ඩායමක විශේෂත්වය තනි තනිව හෝ උපරිම දෙදෙනෙකු වශයෙන් මෙහෙයමුවලට සම්බන්ධව සාර්ථකව ඉලක්ක කරා ලගා වෙන්න ඒවාට තිබෙන හැකියාව.

      යුධ හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුව කියන්නේ යුධ හමුදාව යටතේ තිබෙන විශේෂ බලකා (Special operations) දෙකෙන් එකක් (අනෙක, යුධ හමුදා විශේෂ බලකාය). විශේෂ බලකායක කාර්ය සම්මත යුධ උපක්‍රම යෙදවිය නොහැකි අවස්ථාවල මෙහෙයුම් සිදු කිරීම. ලංකාවේ කමාන්ඩෝ බලකාය ව්‍යූහයෙන් සහ හැසිරිමෙන් බ්‍රිතාන්‍ය Special Air Service (SAS) බලකායට සමානයි. ගොඩක් වෙලාවට ප්‍රභූ අාරක්ෂාව, ප්‍රාණ අැපකරුවන් ගලවා ගැනීම වැනි කාර්යයන්වලට විශේෂ බලකායන් පුහුණු කෙරෙනවා.

      ලංකා දිගුදුර බලකාය පිරික්සුම් (Reconnaissance ) සහ අලාභහානි මෙහෙයම් (Sabotage) සදහා විශේෂයෙන් පුහුණු කරන ලද ඒකකයක්. මිට කාලෙකට කලින් දිනමිණ පුවත්පත විසින් දිගු දුර විහිදුම් බලකාය හැදින්වුවේ ප්‍රභාකරන්ගේ ගෙදර මිදුලටම ගිහින් බෝම්බ පුපරවලා එන්න තරම් දක්ෂ රහසිගත කණ්ඩායමක් විදියට. LTTE ගුවන් බලාකායේ නායකයාව සිටි ශංකර් වැනි අයගේ ඝාතනය්ට කොටි සංවිධානය සෘජුවම මේ ඒකකයට චෝදනා කරා. තවත් ඉහළ පෙළේ කොටි නායකයන් ගණනාවකගේ මරණයන්ට මේ ඒකකය සම්බන්ධ බව සදහන්.

      කමාන්ඩෝ සහ දිගුදුර විහිදුම් ඒකක අතර තිබෙන මූලිකම වෙනසක් තමයි දිගුදුර ඒකකයේ තිබෙන අතිශය රහස්‍ය භාවය. ඒක ලෝකය පුරාම Black ops operation teamsවලට අාවෙණික රහස්‍යභාවයක්. උදාහරණයක් විදියට කමාන්ඩෝ රෙජිමේන්තු මූලස්තානය ගනේමුල්ලේ තිබෙන බව අපි දන්නවා වුනත් දිගුදුර ඒකකය ගැන එවැනි නිශ්චිත විස්තරයක් නැහැ.

      දිගුදුර විහිදුම් ඒකකය යුධ හමුදා බුද්ධි අංශය (Directorate of Military inteligence) යටතේ සෘජුවම ක්‍රියාත්මක වෙනවා කියලයි කියන්නේ. නමුත් යුධ හමුදාව හෝ රජය මෙවැනි ඒකකයක් තිබෙන බවට නිල වශයෙන් පිලිගෙන නැහැ. කාෙමාන්ඩෝ සහ විශේෂ බලකාවලින් තෝරාගත් දක්ෂ සෙබළුන් වගේම කොටි සංවිධානය අතහැර පැමිණි කාඩර්වරුනුත්, මෙම සංවිධානයට බදවාගන්නවා.විශේෂයෙන්ම LTTE විරෝදී අතුරු හමුදා කණ්ඩායම් සාමාජිකයනුත් මේ යටතේ ඉන්නවා කියලා කියවෙනවා.

      2002 ජනවාරි 02 වැනිදා ඒකාලේ පැවති එක්සත් ජාතික පක්ෂ රජය යටතේ සහකාර පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පල අතුරුගිරියේ මිලේනියම් සිටි නිවාස සංකිර්ණයේ තිබුන මේ ඒකකයේ මධ්‍යස්ථානයක් වටලලා ඒකකය සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු නිරාවරණය කරන්න කලින් මේක ක්‍රියාත්මක වුනේ කපිතාන් ශාහුල් හමීඩ් නිලාම් යටතේ. ඒකාලේ මෙහි දෙවැන්නා වුනේ මේජර් තුවාන් නිශාම් මුතාලිෆ්.

      මේ නිරාවරණය වීමෙන් අනතුරුව අදට මේ ඒකකය ක්‍රියාත්මක ද නැද්ද කියන එක ගැන නිසි තොරතුරක් නැහැ.

      Sunday Times එකට ඉක්බාල් අතාස් ලියූ මේ ලිපියත් කියවන්න Tigers crack Mike mystery after Safe House blunder

      මේවා අන්තර්ජාලයෙන් විවිද අවස්ථාවල කියවපු තොරතුරු. Black ops කණ්ඩායම් ගැන අැත්තටම හොයන්න පෙළඹුනේ Call of Duty පරිඝනක ක්‍රීඩාව නිසා. මීට වැඩිය ප්‍රායෝගික කාරණා විචාරකතුමා දන්නවා අැති.

      Delete
    2. මේ Prageeth Liyanarachchi කියන තැනැත්තා ඇත්ත වගේ ලියල තිබුනට මේකේ තියෙන වැඩිහරියක් අසත්‍ය කාරනා. තමුන් නොදන්නා ඩේ දන්නවා වගේ ලියන්න එපා.

      ලංකාවේ හමුදාවේ දිගුදුර මෙහෙයුම් ඒකකයක් තියෙනවා කියන එක රහසක් නෙමෙයි. 1996 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනියගේ අණ පරිදි කර්නල් රාජ් විජේසිරි මහතාගේ යටතේයි මේ දිගුදුර මෙහෙයුම් ඒකකය (මහසෝන් බලකාය) පිහිටුව්වේ.මුලින්ම මේකේ හිටියේ සෙබළුන් 20 යි.

      කොටි සංවිධානයේ පිරිස් මේකට බදවා ගන්නේ නෑ. මේකේ ඉන්නේ හමුදාවේම වෙනත් ඒකක වල ඉන්නා අය විශේෂිත පරීක්ෂණයට යොමු කරලා, ඒකෙන් තෝරා ගන්නා අය. මාසයක් විතර තියෙන තෝරාගැනීමේ පරික්ෂයෙන් සමත් වෙන අය, මේ ඒකකයට බදවා ගෙන, නැවත මාස 6 ක පුහුණුවක් ලබා දෙනවා.

      අනික ලංකාවේ මේ අය මෙහෙයුම් කරද්දී එක්කෙනෙක් හෝ දෙන්නෙක් යන්නේ නෑ. මේ අය යන්නේ අට දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් විදියට.

      අදටත් මේ ඒකකයට සාමාජිකයන් බදවා ගන්නවා.ඔවුන් පුහුණුවීම් වල නිරත වෙනවා. ඒක රහසක් නෙමෙයි.

      Delete
    3. අැනෝ. දන්නවා වගේ මම කිසිම නොදන්නා දෙයක් ලියලා නැහැ. යුධ හමුදාවට සම්බන්ධව කටයුතු කරලා නැති නිසා මේවා මගේ ප්‍රායෝගික අත්දැකකීම් නෙවෙයි, මම අන්තර්ජාලයෙන් කියවලා තියෙන දේවල්. ඒ බව පැහැදිලිව සදහන් කරලා මීට වැඩිය ප්‍රායෝගික කාරණා විචාරකතුමා දන්නවා අැති කියලත් මම ලියලා තිබෙනවා.
      දිගුදුර ඒකකයක් තිබෙන බව රජයෙන් හෝ හමුදාවෙන් හෝ නිල වශයෙන් පිලිගෙන නැති බව කිවා මිස ඒවැනි ඒකකයක් නැහැ කියලා මම සදහන් කරලා නැහැ. කොටි සංවිධානයේ පිරිස් හෝ අතුරු හමුදාවල පිරිස් මේකේ නැහැ කියලා කීම Back ops ඒකක ගැන ඔබේ නොදන්නා කම.
      ලංකාවේ අය මෙහෙයම් කරද්දි 08 දෙනක් යනවා වෙන්න අැති. ඒක ඔබ දැනගත්තේ කොහෙන්ද කියලා අපිටත් කියන්න. නමුත්, //Black ops කණ්ඩායමක විශේෂත්වය තනි තනිව හෝ උපරිම දෙදෙනෙකු වශයෙන් මෙහෙයමුවලට සම්බන්ධව සාර්ථකව ඉලක්ක කරා ලගා වෙන්න ඒවාට තිබෙන හැකියාව.//

      Delete
    4. කොටි සංවිධානයේ පිරිස් මේකේ නෑ. කොටි සංවිධානයේ හිටපු අය ඕනි නම් මේ මෙහෙයුම් වලට ඔත්තු සපයන්න ඇති. එහෙම නැතිව ලංකා හමුදාවේ මෙම ඒකකයේ කොටි සංවිධානයට සම්බන්ධව සිටි පිරිස් සිටියේ නැත. අසත්‍යය කාරනා ප්‍රකාශ කිරීමෙන් වලකින්න.

      ඔබ නොදන්නා දේවල් දන්නා දේවල් වගේ සදහන් කරලා අසත්‍යය වපුරන්න එපා. Call of Duty පරිඝනක ක්‍රීඩාව ක්‍රීඩා කරලාද ඔබ එහි තියෙන කාරනා ලංකාවේ හමුදා ඒකක වලට සම්බන්ධ කරලා කතා ගොතන්නේ?

      කරුණාකර නොදන්නා දේවල් ගැන අසත්‍යය ප්‍රකාශ කරන්න එපා.

      ඔබේ කුඩා වයස නිසා අත්දැකීම් නැති නිසා මේ වගේ හැසිරෙනවා වෙන්න ඇති. ඒකට කමක් නෑ.

      Delete
    5. //කොටි සංවිධානයේ පිරිස් මේකේ නෑ.// වෙන්න පුලුවන්. නොවෙන්නත් පුලුවන්. ඔබ මෙන් මේ ඒකකයට සම්බන්ධව නොසිටි නිසා ඒ පිළිබදව දන්නේ නෑ. නමුත් මා ඒහෙම කියවලා තියෙනවා. ඒ නිසා එවැනි අයත් මේකේ ඉන්නවා කියලා කියවෙනවා කියලා විතරයි මම කිව්වේ. ඉක්බාල් අතාස්ගේ ලිපිය බලන්න. CoD හරහා Black ops .ගැන උනන්දුවක් අැතිව Black ops ගැන කියවා ඒයින් දැනගත් දේ මෙතනත් ලිව්වා මිස ඒහි අැති දේවල් මෙයට සම්බන්ධ කර කතා ගොතා නැහැ
      .
      මා නැවතත් කියනවා මා අසත්‍යය ප්‍රකාශ කර කිසිවෙක් නොමග යවා නැති බව. බහුතරයක් කාරණා මා අසා කියවා අැති දේ. මේවා මා ප්‍රායෝගිකව ලබා ගත් දැනුම බව හැගවෙන අාකාරයට වචනයක්වත් ලියලා නැහැ. මේ කාරණා සියල්ල අතරින් මා සෘජුවම දන්නා එකම කාරණය වන මිලේනියම් සිටි සිද්ධිය ගැන පැහැදිලිවම ලියා තිබෙනවා එය සිදුකළ පුද්ගලයන්ගේ නම්ගම් සහිතව.

      මගේ කුඩා වයස? අත්දැකීම් නැති නිසා?

      Delete
    6. ඉක්බාල් අතාස්ගේ වාර්තාද ඔබ බලන්නේ? ඉක්බාල් අතාස් කියන්නේ ශ්‍රී ලංකා හමුදාවට යුද්ධය දිනන්න බැහැ කියලා ලියපු කෙනෙක්. පුළුවන් නං හොයලා බලන්නකෝ 2009 න් පස්සේ එයාගේ වැඩි සද්දයක් නැත්තේ ඇයි කියලා.

      විචාරක මහතා දන්නවා හොදටම මේ අතාස් කියන්නේ කවුද කියලා.

      ඔබගේ අදහස් වලට ස්තුතියි. ආයේ නොදන්නා දේවල් ගැන අසත්‍යය ලියලා මිනිස්සු රවට්ටන එපා.

      Delete
    7. හොදයි, මා නොදන්නා දේවල් ගැන අසත්‍ය ලියලා මිනිස්සු රවටලා කියලමයි නම් ඔබ කියන්නේ ඔබේ මතය සමග තවදුරටත් වාද කරන්නේ නැහැ. මා ලියා අැති 'අසත්‍යයට' පහලින් ඔබ 'සත්‍යය' ලියා තිබෙන නිසා කියවන අය සුදුස්සක් තෝරා ගනී.

      ස්තූතියි.

      Delete
    8. දිගදුර මෙහෙයුම් කණ්ඩායමක සාමාන්‍ය වශයෙන් සෙබළු 8-10 සිටිනවා.ස්නයිපර් අවි කරුවෙක් සහ අනිත් සියලු දෙනා බොහෝදුරට T 56 අවි වලින් සන්නද්ද වෙලයි ඉන්නේ.බොහෝ දුර ඇවිදින්න සිදුවන නිසා බර අවි රැගෙන යන්නේ නැහැ.බැලු බැල්මට ඔවුන් කොටි සාමාජිකයන් වගේ තමයි.හිසකෙස් රැවුල් වැවුණු කෙට්ටු සෙබළුන්,නිල ලාංචන පලදින්නේ නැහැ කණ්ඩායමේ නායකයා හඳුනා ගන්නත් බැහැ.එක වරක් වවුනියාවේ ඕමන්ත ප්‍රදේශයේ බටහිර දෙසදී මෙම කණ්ඩායමක් අපේ සැඟවුණු ප්‍රහාරයකට ලක්වෙන්නට ආසන්න තත්වයකට පත් වුනා.නමුත් ඔවුන්ගේ අත් වල පැළඳි රෝස පැහැති පලදනාවන් නිසා අපට සැක සිතී ඈතදීම ඔවුන්ව නතර කර ප්‍රශ්න කළා.මෙනිසා විශාල විනාශයක් නතර වුනා.එකල අපට මේ දිගදුර බලකායන් අමුත්තක් වුනේ නැහැ.අවසන් වශයෙන් කියන්න ඕන ඉහල අදහස් දැක්වූ නිර්නාමිකයා සහ මා දෙදෙනෙක් බව.

      Delete
    9. දිගුදුර කණ්ඩායම් වලට සම්බන්දද දන්නේ නැහැ.නමුත් තනිව කොටි පාලන ප්‍රදේශ වලට ගොස් සතිගණන් රැක සිට ඉලක්ක සොයා ගිය දෙමල ජාතික පුද්ගලයකු වූ ප්ලොට් මොහාන් ගැන ඔය පණ්ඩිත ඇනෝ දන්නේ නැද්ද?

      Delete
    10. ප්ලොට් සංවිධානය කල ප්‍රචණ්ඩ ක්‍රියාවන්,කප්පම් ගැනීම්,මිනීමැරුම් ගැන නම් දැනගෙන හිටියා.ඒ හැර හමුදාවේ දිගදුර මෙහෙයුම් වලට සම්බන්දව සිටි මොහාන් කෙනෙක් ගැන නම් දැනගෙන හිටියේ නැහැ.පණ්ඩිත ඇනෝ කියා විශේෂණයක් යෙදුවේ මන්දැයි නොදනිමි.මා ඇසි දුටු සැබෑ අත්දැකීම් පමණක් සඳහන් කලෙමි.

      Delete
    11. පණ්ඩිත ඇනෝ කියා විශේෂණයක් යෙදුවේ ඔබද හරියට නොදන්නා කරුණු ගැන පඬි වැකි කී බැවිනි.

      දිගදුර මෙහෙයුම් වලට සම්බන්දව සිටි මොහාන් කෙනෙක් ගැන නම් දැනගෙන හිටියේ නැහැ කියන්නේ ඔබ දිගු දුර මෙහෙයුම් ගැන දාන්නේ නැති බවයි.

      දිගුදුර විහිදුම් බලකාය ජනප්‍රිය වුයේ 2002 ජනවාරි 2 වැනිදා සිදුකල මහා පාවා දීම තුලිනි එහිදී කපිතාන් නීලම් ඇතුළු කණ්‌ඩායම අත්අඩංගුවට ගත් අතර ඔවුන්ගේ නම් ප්‍රසිද්ද විය. මෙම කණ්ඩායමට අයත් එක් සාමාජිකයෙක් අතර LTTE විරෝදී අතුරු හමුදා කණ්ඩායම් සාමාජිකයනුත් අනිවාර්යෙන් සිටියා ඔවුන්ගෙන් කෙනෙක් තමයි යෝගරාසා හෙවත් ප්ලොට්‌ මොහාන්. ප්ලොට්‌ මොහාන් කියන්නේ උතුරු නැගෙනහිර ප්‍රදේශ තම ගෙදර වැඩේ පුරුදු අති දක්ෂ පුද්ගලයෙක්. මොහු කල සමහර මෙහෙයිම් කලේ තනියම. ( එතැනින්ම ඔය ඇනෝ කියපු 8 කණ්ඩායම් වලින් පමණක් ගිහින් යුධ කරපු බව කියන කතාව බිඳ වැටෙනවා 8 කණ්ඩායම් ගියා තමයි ඒ වගේම අවශ්‍යතාවය අනුව තනි අයත් ගිහින් තියෙනවා). තනියෙන් ගිහින් කරපු සමහර මෙහෙයුම් වලදී කිසි පණිවිඩයක් නැතිවිට මොහාන්ට අනතුරු වුයේ යයි පවා සැක කලා නමුත් අදාළ ඉලක්කය සම්පුර්ණ කරන ඔහු නැවත පැමිණියා. මෙම දක්ෂයන් ගේ නම් රහස් ලෙස නොතබා ප්‍රසිද්ද වීම නිසා මොවුන් ප්පසුපස LTTE අය ආවා 2004 ජනවාරි 31 වැනිදා කොළඹදී ඔහු වෙඩිතබා මරා දැමුවා. රාජ්‍ය අනුග්‍රයෙන් සිදුවූ ඒ මහා පාවාදීමෙන් මුලින් පටන්ගත් ඒ දිගුදුර විහිදුම් බලකායට අයත් සෑම දෙනාම මැරුම් කෑවා. වීරයන්ට ආරක්ෂාව ලැබුනේ එහෙමයි.

      http://www.sundaytimes.lk/040808/news/21.html
      http://www.sundaytimes.lk/040801/news/6.html
      https://www.tamilnet.com/art.html?catid=79&artid=12572
      http://asiantribune.com/news/2004/08/22/killers-plote-mohan-nabbed
      http://www.divaina.com/2009/08/31/mano09.html

      Delete
    12. ඉහත AnonymousMay 20, 2015 at 2:17 PM සහ AnonymousMay 20, 2015 at 3:56 PM කොමෙන්ටු දමා ඇත්තේ එක් අයෙකි. ඊට කලින් ඇති ඇනෝ කොමෙන්ටු දැම්මේ මාය.

      මහා කළු සිංහලයා කරුණු නොදැන සියල්ල බලං සිටියා මෙන් කියනා විට සිනහාත් යයි. ප්ලොට් මොහාන් යනු ශ්‍රී ලංකා හමුදාවේ දිගු දුර මෙහෙයුම් ඒකකයේ සාමාජිකයෙක් නොවන බව තරයේ ප්‍රකාශ කරමි.

      මේ ඇතැම් උදවිය හමුදාවට මෙන්ම,කොටින්ටද එකවර ඔත්තු සැපයු අයවලුන්ය. ඇතැමුන් කොටි සංවිධානයෙන් බිදී පැමිණ රජයේ එහි තොරතුරු හෙළිදරව් කෙරු අයය. මේ අය කිසිම විටකදී දිගු දුර මෙහෙයුම් ඒකකයට අනුයුක්ත කලේ නැත. මෙයට බඳවා ගත්තේ හමුදාවේ වෙනත් ඒකක වල සිටි අයවලුන් පමණකි. කොටි සංවිධානයේ සිටි පිරිස් මෙහි සිටියේ නැත.

      Delete
    13. //2004 ජනවාරි 31 වැනිදා කොළඹදී ඔහු වෙඩිතබා මරා දැමුවා// යන්න "/2004 ජුලි 31 වැනිදා කොළඹදී ඔහු වෙඩිතබා මරා දැමුවා" ලෙස නිවැරදි විය යුතුය

      Delete
    14. මේ මුලින්ම Prageeth Liyanarachchi කියලා තිබෙන රජය හෝ හමුදා දිගු දුර විහිදුම් ඒකකය නිල වශයෙන් පිලිගෙන නෑ කියන එක 2002 කුලසිරි උඩුගම්පොල මිලේනියම් සිටි පාවාදීමට පෙර තත්ත්වය.ඊට පස්සේ හමුදා බුද්ධි අංශය සහ ඒකාලේ හිටපු හමුදාපතිවරයා විසින් දිගුදුර විහිදුම් බලකායේ නීත්‍යානුකූලභාවය තහවුරු කරලා ප්‍රකාශ නිකුත් කරා.

      //මහා කළු සිංහලයා කරුණු නොදැන සියල්ල බලං සිටියා මෙන් කියනා විට සිනහාත් යයි// කියලා කියන අැනෝ මහත්තයා සුට්ටක් එයාටම හිනා වුනොත් හොදයි මොකද එකක් මෙයා මහා කළු ලාංකිකයා අනික අැනෝතුමාත් කියන දේවල් කියන්නේ බලං හිටියා වගේ තමයි. අැනෝ දැන් ඔය ප්‍රගීත් කියන කෙනා කියලා තියෙනවානේ එයා මේවා කියවපු දේවල් කියලා, ඒ වගේම මහා කළු ලාංකිකයා පෙන්නලා තීන ලින්ක්ස් බැලුවම පේනවා ඒ හාදයත් ඔය ඉන්ටර්නෙට් එකෙන් කියවපුවා පත්තරවල දැකපුවා අහපුවා තමයි මෙතන ගෙනත් ගහන්නේ කියලා. මේ කවුරුවත් දිගු දුර බලකායේ වැඩ කරලා අාපු අය නෙවෙයිනේ. හැබැයි ඔයා නම් තරයේ ප්‍රකාශ කරමි කියලා කියන්නේ හරියට ඒ බලකායේ සේරම වැඩ බලාකියාගෙන දුකට සැපට හිටිය කෙනා කියන්නාහේ.

      ගොඩක් ස්වාධීන වාර්තාවල ප්ලොට් මොහාන් හදුන්වලා තියෙන්නේ ලංකාවේ බුද්ධි අංශවලට හිටිය ලොකුම සම්පතක් වශයෙන්. ඔහු ලංකාවේ බුද්ධි අංශවල උවමනා එපාකම් තමයි ඉටු කරේ. කිසිම රහසිගත හමුදා කණ්ඩායමක් හිටපු හෝ වර්තමාන ත්‍රස්තවාදියෙක්ව තමන්ගේ හමුදාවට 'අනුයුක්ත.' කරගන්නේ නෑ. හැබැයි Intel assets විදියට ඔවුන් වැඩ කරන්නේ අර හමුදා කණ්ඩායමේ උපදෙස්වලට අනුව. ඔවුන් අදාළ හමුදා කණ්ඩයේ නීත්‍යානුකූල සෙබලුන් වගේම ඒ අවස්ථාවේ තිබෙන mission එකක කොටසක්. සෙබලුන් වගේම මේ අයත් මිෂන් එකට වැදගත් මොකද මේ අය නිරාවරණය වුනත් සෙබළුන් නිරාවරණය වුනත් දෙකෙන්ම මිෂන් එක compromise වෙන්න පුලුහන්. මහා කළු ලාංකිකයා සහ ප්‍රගීත් කියන දෙන්නම කියන කොටි සාමාජිකයන් සහ පැරා-මිලිටරි සාමාජිකයන් මේ යටතේ ඉන්නවා කියන කතාවේ තේරුම ඒකයි. ඔනම Black ops එහෙක ඒ වගේ double agents ලා ඉන්නවා.

      Delete
    15. මම ඒ විදියට තරයේ ප්‍රකාශ කරමි කියලා තියෙන්නේ හොදටම දන්නා කාරණයක් ගැන. ඒ තමයි ඉහත අදහස් දමා ඇති දෙදෙනා කොටි සංවිධානයේ සිටි පිරිස් මෙම ඒකකයට අනුයුක්ත බව කර ඇති අසත්‍ය ප්‍රකාශ.

      මුලිනුත් සදහන් කරලා තියෙනවා කොටි සංවිධානයට සම්බන්ධ අය මෙම ඒකකයට අනුයුක්ත කර නැති බව. ඒත් නැවත නැවතත් අසත්‍ය ලෙස කොටි සංවිධානයේ පිරිස්ද ශ්‍රී ලංකා හමුදාවේ දිගුදුර ඒකකයේ සිටිනා බවට සදහන් කරන නිසයි මා එසේ කියා ඇත්තේ.

      තමන් යමක් නොදන්නවා නං ඒ ගැන දන්නවා වගේ අසත්‍ය ප්‍රකාශ කිරීම සුදුසු නෑ. විශේෂයෙන්ම මෙවැනි කාරණයක් සම්බන්ධව.

      Delete
    16. @AnonymousMay 20, 2015 at 5:00 PM
      මම මගේ කමෙන්ටුවේ නිවරදි කිරීම දාන්න මොහොතකට කලින් ඔබ දාපු කමෙන්ට් එක ඒ වෙලාවේ දැක්කේ නැහැ. මෙන්න එයට පිළිතුර

      මෙතන ප්‍රගීත් හෝ මගේ කමෙන්ට් වල කිසිම තැනක තියනවාද LTTE සාමාජිකයන් දිගුදුර විහිදුම් එකේ සිටියා කියලා. නැහැ. ආපේ කමෙන්ට් වල තියෙන්නේ //LTTE විරෝදී අතුරු හමුදා කණ්ඩායම් සාමාජිකයනුත් මේ යටතේ ඉන්නවා // කියලා LTTE විරෝදී අතුරු හමුදා කණ්ඩායම් කියන්නේ LTTE අය නොවන බව ඔබට තේරෙන්නේ නැද්ද?

      ඒ වගේම මම කියලා තියෙන්නේ දිගදුර මෙහෙයුම් වලට සම්බන්දව සිටි මොහාන් කෙනෙක් කියලා ඇත්තටම මම කියවලා තියන වාර්තා අනුව ඔහු දිගු දුර මෙහෙයුම් කරපු කෙනෙක්. එතනින් අදහස් වෙන්නේ නැහැ ඔහු එම LRRP කණ්ඩායාමේ සාමාජිකයෙක්ද නැද්ද බව. නමුත් ඔහු මිලේනියම් සිටි සිද්දියේ අනාවරණය වූ අය අතර ඉන්නවා. ඒ වගේම එම සිද්දිය නිසා මැරුම් කෑ අයගේ යිස්තුවේ ඔහු ඉන්නවා. ඒ බව මේ ලිපියේ පවා සඳහන්
      http://en.wikipedia.org/wiki/Millennium_City_incident
      https://lrrp.wordpress.com/2004/09/29/compensate-families-of-plote-mohan-et-al-sl-by-harischandra-gunaratna/

      යමෙක් විවේචනය කරන්න කලින් ඔහු කියන දේ හරියට තේරුම් ගන්න

      Delete
    17. @ AnonymousMay 20, 2015 at 8:38 AM

      බොහොම ස්තුතියි. ඔබේ කමෙන්ට් එකේ සඳහන් වීඩියෝව සෑහෙන කලකට ඉහතදී සිට මා ළඟ තිබෙනවා. මා කැමති නැහැ ඒ අය ගැන ලියන්න. එයින් ඔයුන්ගේ රහසිගත භාවයට හානියක් වෙතැයි සිතෙන නිසා. ඔවුන් ගැන මා දන්නා ඉතා ත්‍රාසජනක තොරතුරු ඇතත්, ඒවා සඟවා තබාගැනීම හොඳයි කියා හිතෙනවා.

      @ Prageeth Liyanarachchi

      ඔබ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට ඇල්මක් දක්වන අයකු බවත්, හමුදා ක්‍රියාකාරිත්වය ගැන සතුටුදායක දැනුමක් ඇති අයකු බවත් පෙනෙනවා. ඒ ගැන සතුටුයි. තවත් ලිපි, පොත්පත්, කියවා දැනුම දියුණු කරගන්න.

      ලංකා දිගුදුර බලකාය යනුවෙන් විශේෂ ඒකකයක් නැහැ. අදාළ පුහුණුව ඇති සියළුම ඒකක වලට ඒ හැකියාව තිබෙනවා. ඒ ඒ කාලයට අනුව කණ්ඩායම් යොදවනවා. //යුධ හමුදා බුද්ධි අංශය (Directorate of Military inteligence)// යන යෙදුම වැරදියි. සන්නද්ධ බුද්ධි බලකාය - Military Intelligence Corps = MIC තමයි නිවැරදි යෙදුම. Directorate of Military Intelligence = DMI කියන්නේ යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයයි. එය පරිපාලන ඒකකයක් පමණයි. ඔබේ උනන්දුව නිසා යම් යම් උපකල්පන යටතේද කරුණු ලියා ඇතිබව පෙනෙනවා. එයින් වැරදි මත ඉස්මතු වන්නට ඉඩ තිබෙනවා.

      ලෝකයේ ඕනෑම හමුදාවක් හමුදා තොරතුරු නිකුත් කරන්නේ එය ලබාගන්නා අයගේ දැණුම සඳහා ප්‍රමාණවත් අයුරින් පමණයි. need to know basis ඒ නිසා මෙහි ඇති සියලු උපකල්පන වලට පිළිතුරු දීමට නොහැකි බව ප්‍රකාශ කරනවා.

      @ AnonymousMay 20, 2015 at 11:39 AM

      ඔබත් සෑහෙන තරම් තොරතුරු දන්නා බව පෙනෙනවා. නමුත් ඒ සියල්ලම සත්‍යය නොවේ. ඔබටත් කියන්න තිබෙන්නේ මේ ගැන මා දන්නා තොරතුරු මේ අවස්ථාවීදී කියන්නට නොහැකිවීම ගැන කණගාටුවන බවයි.

      @ මහා කළු ලාංකිකයා

      ඔබ දන්නා සමහර තොරතුරු සාවද්‍යයි. තනිව ගිහින් සටන් කළ ද්‍රවිඩ සටන් කරුවන් කවුරුවත් හිටියේ නැහැ. PLOTE, PELO, EPDP, EPRLF, යන සංවිධාන වල සාමාජිකයන් 1996 අග භාගයේදී පමණ සිට රජයේ හමුදා සමග සහයෝගයෙන් වැඩකලා. ඔවුන්ට හමුදා සෙබළුන්ට බොහෝදුරට සමාන ආහාර සළාක, ඔවුන්ගේ නාම ලේඛනය නඩත්තු කළ හමුදා කඳවුරු වෙත රජය මගින් ලබාදුන්නා. ඔවුන්ට යම් වැටුපකුත් ගෙව්වා. රජය මගින්. අවි ආයුධ සහ පතරොම් බෝම්බ දුන්නා. නමුත් කිසිම නිළ ඇඳුමක් දුන්නේ නැහැ. ඔවුන් සමග එක්ව combine operations කලේ නාග. ඔවුන්ගෙන් තොරතුරු ගත්තා. ඒ ඒ ප්‍රදේශවල පාරවල් පෙන්නන අය ලෙස රැගෙන ගියා.

      ඉක්බාල් අතාස් යනු යුද්ධය පරදවා කොටි දිනවන්නට ප්‍රාර්ථනා කළ ද්‍රෝහියෙක්. මා ඔහුව පෞද්ගලිකවම ඉතා හොඳින් දන්නවා. ඔහු මට තෑගිබෝග දී යුද තොරතුරු ගන්නට උත්සාහ කළා. මගෙන් රට කුණුහරප ඇහුවට පස්සේ මාව අතහැරියා.

      අපේ අත්අඩංගුවට පත් කිසිදු කොටි සාමාජිකයකු අපි සමග එක්ව සටන් කරුවන් ලෙස යෙදෙව්වේ නැහැ. ඔවුන්ගෙන් ප්‍රශ්නකර තොරතුරු ලබාගත්තා.

      මහත්වරුණි, එකිනෙකාට අපහාස කරගන්නේ නැතිව, හැකිතරම් සංවාදයේ යෙදෙන්න.

      Delete
    18. නිවැරදි කිරීම් PELO යන්න TELO වියයුතුයි.

      ඔවුන් සමග එක්ව combine operations කලේ නාග. යන්න, නැහැ වියයුතුයි.

      Delete
    19. විචාරක මහත්මයා DMI සහ MIC අතර වෙනස දැනගන්නට බොහෝ කාලයක සිට උවමනා වුනා. ස්තූතියි ඒ ගැන සදහන් කළාට. මම සමහර කාරණා සදහන් කරලා තිබෙන විදියෙන් වැරදි මත අැතිවන්නට ඉඩ තිබෙනවා යැයි කීම පිළිගන්නවා. මෙතන සමහර අැනෝවරුත් ඒබව වෙන්න ඕන කියා තිබෙන්නේ. ඒ පිළිබද සියලුම දෙනාගෙන් අවංකවම සමාව ඉල්ලා සිටිනවා. ඉක්බාල් අතාස් ගැන සදහන් කළේ ඔහු දිගු දුර මෙහෙයුම් ගැන පුලුල්ව විස්තර කර තිබූ නිසා පමණයි. ඔහු ගැන ඔබ කර තිබෙන විවේචනයට එකඟයි.
      ස්තූතියි.

      Delete
    20. බොහොම ස්තුතියි විචාරක මහතා. මම ඒ පුද්ගලයා තනිව මෙහෙයුම් වලට ගිය කතාව කියුවේ මම ඉස්සර්(බොහෝ විට 2000-2003) කියවපු පුවත්පත් ලිපියක මතකයේ තිබුණු කරුණු වලින් මම පුළුවන් තරම් සිංහල සහ ඉංග්‍රීසි වලින් අන්තර්ජාලයේ සෙවීම් කළා එම ලිපිය සොයන්න නමුත් එම කාලයේ ලිපි අන්තර්ජාලයේ නැහැ. එම ලිපිය ඉක්බාල් අතාස් හෝ කීර්ති වර්ණකුලසුරිය ලියපු එකෙක් වෙන්න ඉඩ වැඩියි. පුවත් පත්වල අසත්‍ය කාරනා පල වෙන්නත් පුළුවන් නේ.

      ඉක්බාල් අතාස් යනු යුද්ධය පරදවා කොටි දිනවන්නට ප්‍රාර්ථනා කළ ද්‍රෝහියෙක්, ඒ වගේම කීර්ති වර්ණකුලසුරිය හමුදා ජය ප්‍රර්ථනා කල කෙනෙක්. මේ දෙන්නාම සමහර කරුණු අතිශෝක්ති සහ උපකල්පන සහිතව ලියන්න ප්‍රසිද්ද අය.

      Delete
    21. // ඒ වගේම කීර්ති වර්ණකුලසුරිය හමුදා ජය ප්‍රර්ථනා කල කෙනෙක්// මකලා මේක කියෙව්වෙත් කීර්ති වර්ණකුලසූරියගෙම ලිපියකින්ද? හැක්.
      විචාරක තුමා කියුවා වගේ මේ සමහර තොරතුරු විශේෂයෙන්ම විශේෂ හමුදා අනුඛණ්ඩ ගැන තොරතුරු හැමෝම දැන ගන්න එක හොඳ නෑ.. කොච්චර තොරතුරු දැන ගැනීමේ අයිතිය කියුවත්. ඒක හරියට හයි ප්‍රොෆයිල් කම්පැණි එකක බිස්නස් සීක්‍රට්ස් වගේ කියල හිතන්නකෝ. විචාරක තුමාගේ පැහැදිලි කිරීම ඇරුණම මට උඩ කොමෙන්ට් ටික පේන්නේ MIC, DMI, LRRP, SF, Commando, Para troops, Double Agents කියන ඔක්කොම දාල හදපු අච්චාරුවක් වගේ..

      Delete
    22. හම්මෝ...................කල්‍යාණ මේ වෙලාවේ මගේ උදව්වට ආව එක ලොකු දෙයක්.

      ඇත්තටම ඉහත කමෙන්ට් වල තියනවා බොහොම තදින් රැකිය යුතු රහසිගත කරුණු, එහෙන් මෙහෙන් අතපත ගෑවිලා. ඒ නිසයි මම පොදු පිළිතුරක් දුන්නේ.

      Delete
    23. දිගු දුර මෙහෙයුම් බළකායේ නිර්මාතෘ කර්නල් රාජ් විජේසිරි මහත්මයාගේ ඉන්ටවීව් එකක් මෙන්න මේ සඟරාවේ 115 පිටුවේ තියෙනවා

      http://esankalani.read.lk/blog/2015/05/31/%E0%B6%89-%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B6%BD%E0%B6%AB%E0%B7%92-%E0%B6%AD%E0%B7%99%E0%B7%80%E0%B6%B1-%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA-2015-%E0%B6%B8%E0%B7%90%E0%B6%BA%E0%B7%92/

      Delete
  8. විචා මාමේ.. ඔය අනං මනං ලියන එක නවත්තල සංචාරක සටහන් ලියහංකෝ.. පුදුම ආසාවෙන් බැලුවේ කියෙව්වේ... ගගේ වාඩියට ගිහිල්ල නෑ.. අපි නං දෙයියනේ කියල රංටැබේ ගියා.. ඉස්කෝලේ කාලෙම...

    ReplyDelete
    Replies
    1. යකෝ, මම බෙල්ලේ වැලදාගෙන, ඊළඟට වහ කාලා, ඊළඟට වෙඩි තියාගෙන, ඊළඟටට කෝච්චියට පැනලා, මුහුදේ ගිලිලා මැරෙනවා.

      ඇයි යකෝ සමහර එවුන් කියනවා යුද්දේ ගැන විතරක් ලියපන්ලු. සමහර එවුන් කියනවා අර අරකතා විතරක් ලියපන්ලු. දැන් උඹ කියනවා මෙව්වා විතරක් ලියපන්ලු.

      ඒක නෙවෙයි උඹ රන්ටැඹේ ගිය දවසේ අලි කෑගහනවා ඇහිලා බිලට් එක හෝදන්න වුණා කියන්නේ ඇත්තද?

      Delete
  9. එල ද බ්‍රා
    ඒ වුනාට යුද අත්දැකිමක් ලිව්වෙ නෑ කාලෙකින්

    ReplyDelete
    Replies
    1. ඇයි යකෝ පත්තරයගෙ ගෙදර තිබ්බ යුද්දේ ගැන ලිව්වේ. ඒක මදිද?

      Delete
    2. ඇයි මෙන්ඩලගෙ ගේ ළඟ විදානෙයා කරපු යුද්ධෙ … යුද්ධ ටැංකියක් රිවස් කරලා තාප්පෙකුත් පෙරලුවලු :D

      Delete
    3. හෙහ් හෙහ්, ඊළඟ සැරේ විදානයා උඹව හම්බවෙන්න එන්නේ පිහියකුත් අරං.

      Delete
  10. කාලෙකින් ගෙදර ගිහින් ආවා වගේ.. කල්පිටිය, ගඟේ වාඩිය (මෙහෙ ගියා කියල පොඩි ඉඟියකුත් දුන්නනේ..) නොරොච්චෝලේ.. ගිරිහඬුසෑය, ට්‍රින්කෝ.. හ්ම්ම්ම්.. එතකොට සොරබොර, රංටැඹේ, මහියංගණය ඒවානම් කොහොමත් ගෙවල් ලඟනේ.. මගේ ලඟ මේ එහෙකවත් ෆොටෝ නැද්ද කොහෙද :(

    ReplyDelete
    Replies
    1. 'ගෙදර යන ගමන්' වගේද? ගඟේ වාඩියට ඔයා ගිහිල්ලා ඇති නේද? ගෙවල් ළඟ තියන දේවල්වල පින්තූර බොහෝදෙනෙක් ළඟ නැහැ. ඔව්වා කවදා ගන්න බැරිද කියලා හිතන නිසා.

      Delete
  11. රංටැඹේ නම් ස්කොලෙන්ම ගියා.ලංකාවේ කොච්චර තැන් තියෙනවාද ඇත්තෙන්ම අපි නොගිය.අර කල්පිටිය ගමනට මගෙත් හිත ගිය.
    කල්පිටිය කිව්වාම මතක් වෙන්නේම "කල්ලන්දුවේ මුතු කොල්ලය"කියන පොත.

    ReplyDelete
    Replies
    1. කල්පිටියට යනවා නම් මනෝජ් අර බලකොටුව විතරක් බලලා මදි. කල්පිටියෙන් තියනවා මුදල් ගෙවා යන බෝට්ටු සංචාර. එයින් ගිහිල්ලා ඩොල්ෆින්ලා සහ තල්මස්සු බලන්න පුළුවන් ඈත මූදේ. යන්නම වටින ගමනක්.

      Delete
  12. වෙලාව අඩු නිසා පිංතූරූ ටික විතරක් බැලුවෙමි.....

    ReplyDelete
    Replies
    1. දැනට ඒ මදෑ. පස්සේ අදහස් කියමු.

      Delete
  13. මමත් රන්ටඹේ හිටියා. එහෙ හරිම හොදයි. ආයේ යන්න ආසයි. ඒත් දැන් ඉන්නේ කැනඩාවේ. ආයේ ලංකාවට එන්න බැහැ මට හානිකරන්න ඉන්න නිසා. ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. හානි කරන්න ඉන්නේ මැස්සෝ, මදුරුවෝ, මැක්කෝ, වගේ එවුන්ද?

      Delete
  14. කල්පිටියට ගිහින් එද්දි තලවිල පල්ලිය බලලම එන්ඩ තිබුන. යාපනේ ඇරෙන්ඩ අනික් සියලු පැතිවල සංචාරය කරන්න අවස්තාව ලැබිල තියනව.
    ෆොටෝ ටික වගේම සංචාරක සටහනත් ලස්සනයි. ඇත්තටම ෆොටෝ එකේ හුලං මෝල් දෙක වගේ ඉන්නෙ නැතිව ලංවෙලා ගත්තනම් ගති

    ReplyDelete
    Replies
    1. ඈ යකෝ.. උඹ ඇස් පියාගෙනද මේක බැලුවේ.. ඔය කිරි ටොයිය වගේ දාල තියෙන්නේ තලවිල ෆොටෝ එකක් එක්කම ගියැයි කියල..

      පොඩුවකට්ටු ඕනෙ නෑ.. ඉක්කණට යමන් ට්‍රිපක් ජැෆ්නා..

      Delete
    2. ඒ ෆොටෝ එකේ ඈන්ගල් එකෙන් මම දැක්කෙ පාර අයිනෙ තියන ශාන්ත ආනා පල්ලිය වගේ. ඇත්තටම මම ඔය ඈන්ගල් එකේ ඉදන් පල්ලිය බලල නෑ කියල තේරුනේ කමියගෙ කමෙන්ට් එකෙන්. අනික බං අපි කොච්චර ඔතනට ගියත් බවලත්තු පූජාවට ගියාට අපි ඉතින් බෝතලයක් අරන් කරෝල වාඩිය ගාවින් මූදට පනින එකනෙ කරන්නෙ.
      වෙච්චි වරදට කමා කරත්වා.

      Delete
    3. /පොඩුවකට්ටු ඕනෙ නෑ.. ඉක්කණට යමන් ට්‍රිපක් ජැෆ්නා../
      අනිවා ජැෆ්න යන්ඩ ඕනෙ. කෝච්චියේ යන්ඩ තමයි ආස.

      Delete
    4. හෙහ් හෙහ්...කලබලෙන් බලනකොට පල්ලියක් තරම් විශාල දෙයක්වත් පෙනෙන්නේ නෑ.

      තොපි මාව දාලා ට්‍රිපක් ගියොත් එහෙම............ අම්මපා යාපනේ කෑම්ප් එකකට කියලා, තොපිව ඇම්බුෂ් කරවනවා.................. ඕ යේස්.

      Delete
    5. //තොපි මාව දාලා ට්‍රිපක් ගියොත් එහෙම............ අම්මපා යාපනේ කෑම්ප් එකකට කියලා, තොපිව ඇම්බුෂ් කරවනවා.................. ඕ යේස්.//
      අපි බයවෙයි ආමි එකේ ඇම්බුෂ් වලට...... මේ විචාරක තුමනි .....වෙඩිමක් නොකියය ගෙදර බවලත්තු ටික ෂේප් කරගෙන ගමන යන්න ප්ලෑනක් කියනවද ? හැම එකාටම තියන දැවෙන ප්‍රශ්නෙ ඒකයි. දුන්නොත් අයිඩියා එකක් අරන් යන්නම් කරේ තියන්.

      Delete
    6. අන්න එහෙම වරෙන්. පොඩ්ඩක් හිටපං මම 'කල්පනාව බාජනේකට දාලා' බලන්නම් හොඳ පැලෑනක් ගහන්න කෙරමෙයක්.

      Delete
  15. නියම සටහනක්නෙ. මටත් මේ පැතිවලින් වැඩි හරියකම තවම යන්න හැකිවෙලා නෑ.
    අර 'මොක මොකවත් කරන' වෙලාවෙ ෆොටෝ කෑලි දෙක තුනකුත් තිබුණනං අගෙයි.

    ReplyDelete
    Replies
    1. බලන්න ලස්සන ප්‍රදේශ ප්‍රසන්න.

      මොක මොකවත් කොරන වෙලාවට ලොකු දුව ඇවිත් කැමරාව උදුරාගෙන යනවා. ඔයා ඕකට මොනවා කරගනියිද දන්නේ නෑ කියලා.

      Delete
  16. "වල් අලි" "වන අලි"කරපු "ගොන් අලියා"තමයි හිටපු වනජීවී අමත්‍ය විජිත් විජිතමුණි සොයිසා.වැඩක් කියලා කෙරුවේ ඔච්චරමද කොහෙද මිනිහා .

    ReplyDelete
    Replies
    1. හිහ් හී................එයාට හොඳට ගැලපෙනවා ඒ වැඩේ.

      Delete
  17. බැඳපු අලුත් අපි දෙන්න මයියංගනේ ගියපු වෙලාවෙ සොරබොර බලන්න ගිය මතකය අවදිවුනා.ආපහු 2003 වගේ මට මතක හැටියට කල්පිටියෙ සංචාරයක් කළා.හැබැයි අපට ඔය කියන නේවි කෑම්ප් එක බලන්න ලැබුනෙ නෑ.හොඳ රස ඉස්සො කකුළුවො එහෙම කන්න නං ලැබුණා එමින් ගමන තලවිල පල්ලියටත් ගියා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම හැලපේ නේවි කෑම්ප් ඒක ඇතුලට සාමාන්‍ය ජනතාවට යන්න දෙන්න පටන්ගත්තේ යුද්දෙන් පස්සේ. මට ඒක කියන්න අමතක වුණා.

      ඉස්සෝ, දැල්ලෝ, කකුළුවෝ, තෝර මාළු, කෙන්දා මාළු කන්න ඉතින් කල්පිටිය මසුරං.

      Delete
  18. එළකිරි විස්තරයක් විචාරක තුමා. සංචාරක සටහන් කියන්නෙ ඔන්න ඔව්වට. සොරබොර වැව ගැන මේ සටහන කියවල ඊට පස්සෙ ඒ සොරොව්ව ගැන හැමතැනම විස්තර හෙව්වා, වීඩියෝ බැලුව. අනර්ඝයි.. ජයවේවා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සජ්ජා. අතටම මේ තොරතුරු පැරණි වෙන්නට කලින් ලියලා දාන්න හිතුණා. යමුද අපි කට්ටියක් අල්ලගෙන මේ වගේ සංචාරයක්.

      Delete
  19. ෆීසිබිලිටි ස්ටඩීස්, පරිසර වාර්තා මුකුත්ම ඕනා වෙලා නෑනෙ බුලතට...

    අර ඇනෝ දිප්පු වීඩියෝ එක බල බල හිටියා ලිපිය අමතක වුනා... පස්සේ ඇවිල්ලා මේ කමෙන්ට් එක දාන්නේ...

    ReplyDelete
    Replies
    1. බුලතා ගැන කතා එමටයි. මිනිහට පනිෂ්මන්ට් ට්‍රාන්සර් එකක් ලැබිලා තමයි මුලින්ම ඔය පැත්තට ගිහින් තියෙන්නේ. එතැනදී තමා ඔය මහා දිය පහර දැකලා තියෙන්නේ. මිනිහා සැලැස්මත් අරගෙන රජ්ජුරුවන්ව හම්බවෙලා ප්‍රොජෙක්ට් රිපෝට් එකට අපෘවල් එක අරගෙන තියනවා. ඊට පස්සේ වැව හැදුවලු.

      වැඩේ අවසන් වෙලා නියමෙට වැව තියාගෙන ඉන්න කාලේ, හී වොස් හැවින්ග් ඇන් එෆෙයාර් විත් කිංග්ස් නෝනා කියලා කතාවක් තියනවා. බිකොස් ශී වොස් වෙරි ෆ්‍රීක්වන්ට්ලි එනවලු වැවේ නාන්න. ඒක අහුවුනාම මරණය ලැබෙන්න කලින් බුලතා වැවට පැනලා මැරුනලු.

      අනික් කතාවේ කියන්නේ, ඔතන වැස්ස මණින උපකරණයක් ඒ කාලේ තිබිලා තියනවලු. බුලතා යෝධයා තමයි ඉරිගේෂන් ඉංජිනියර්.

      එක දවසක් මහා වැස්සක් වැහලා වැව බැම්ම පුපුරලා. බුලතා තමන්ගේ ජොබ් එක හරියට කරලා නැහැ. ඒ දුකටයි රජ්ජුරුවන්ගෙන් සබ්බුව ලැබෙන එකටයි බයේ වැවට පැනලා මැරුනලු. ඊට පස්සේ එයා දෙවියෙක් වෙලා ඉපදුනා කියලා සමහරු කියනවා. යකෙක් වෙලා ඉපදුනා කියලා තවත් සමහරු කියනවා.

      Delete
  20. ගරු විචාරක මැතිතුමා කියන්නේ අපේ රටේ දශක තුනක් තිස්සේ වෙලාගෙන තිබුණු කුරිරු යුද්ධය අවසන් කිරීමට ඉමහත් දායකත්වයක් දුන් විරෝධාර රණවිරුවෙක්. කොටි ත්‍රස්තයන් සමග මුහුණට මුහුණ,අභිතව සටන්වැද කොටියා පරාද කිරීමට විචාරක මහතා දැක්වූ මෙහෙය කියා නිම කල නොහැකියි. ලාංකිකයන් වන අප එතුමාට ගෙවා නිමකිරීමට ඇති ණය කෙදිනකවත් අමතක කල යුතු නෑ.

    ඒ නිසා එතුමාට සියලු දෙවිදේවතාවුන්ගේ ආරක්ෂාව සහිතව දීර්ඝායුෂ ලැබ, මේ ගෞතම බුද්ධ සාසනය තුලම අමාමහ නිවනින් සැනසීම උදාවේවා කියලා අපිත් ප්‍රර්ථනා කරමු.

    ReplyDelete
  21. විචාරක තුමත් ගිහින් අපිව මෙහෙම ඇදගෙන ඒ චාරිකාවම එක්කන් ගියාට සෑහෙන්න ස්තූතියි.. අපිට දැන් මෙහෙම ට්‍රිප් යන්න තමා වෙලා තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. හැබැයි කොහොමහරි උත්සාහ කරලා, ඉඳහිටලා වත්, චාරිකාවක් යන්න උත්සාහ කරන්න.

      Delete
  22. පින්තූර ටික නිසා අපිත් එහේ ගියා වගේ..

    තැන්කූ අපිවත් මේ චාරිකා එක්කගෙන ගියාට....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි තුශානි. කවදාහරි මේ තැන්වලට ගිහිල්ලත් බලන්න.

      Delete
  23. ලබ්න පාර ආවම මාත් එනවා.. ඕ යේස් !!

    ReplyDelete
    Replies
    1. යමු යමු, කොහෙහරි ගිහිල්ල ඇවිදලා එමු.

      හුටා.................උඹේ ඇඹේනිය සහ සිඟිත්තා?

      Delete
  24. විචාරක තුමාගේ බ්ලොග් එක ලෝඩ් වෙනකොට කොම්පීතරේම හිරවෙනවා. මොකක් හරි අවුලක් තියෙනවා පොඩ්ඩක් බලන්න.

    හරිම අපූරු සංචාරක සටහනක්. පින්තූර යොදාගැනීමත් කදිමයි.

    මේ තැන්වලින් මම ගිහින් තියෙන්නෙ රන්ටැඹේ කඳවුරටයි, තලවිල පල්ලියටයි විතරයි. රන්ටැඹේ කඳවුර සාමාන්‍ය වැසියන්ට විවෘතද? එහෙම යන්න පුළුවන් නම් වෙලාවක ගිහින් පරණ මතකයන් ටික අලුත් කරන් එන්න ඕනෙ.

    තලවිල පල්ලි නම් විසි තිස් පාරක් ගිහින් ඇති. කඳවුරු ගහගෙන ඉඳලා ඇති සති ගණන්. ඒත් නිකමටවත් කල්පිටිය පැත්තට ගිහිල්ලා නෑ.

    මට ලයිසන් එක හම්බුනාම රටවටා සවාරියක් යන්නයි ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ මූ ලයිසොම නැතුව මේ රවුම් ගහන්නේ ඈ.. GPS එකට බැන බැන

      Delete
    2. පින්තූර ගොඩක් තියන නිසාත් ඒවාගේ resolution ඒක ටිකක් වැඩි නිසාත් ලෝඩ් වෙන්න වෙලා යනවා ඇති හරී.

      රන්ටැඹේ කඳවුර සාමාන්‍ය ජනතාවට විවෘත නැහැ. අපි ගියේ ශිෂ්‍යභට බලකායේ අනුග්‍රහයෙන්.

      යුද්ද කාලේ, තලවිල පල්ලියේ උත්සවයට, තාවකාලිකව හමුදා අනුඛණ්ඩයක් පිහිටවලා, ආරක්ෂාව දෙනවා. අම්මෝ...............එක එක පාලාත්වලින් එන නංගිලා, ආමි අයියලාට 'බුදු භක්තියකින්' සලකන්නේ. ඒ වගේමයි සමහර අයියලා , අංකල්ලා 'බෝතල් භක්තියෙන්' සලකනවා. ඔය හේතු දෙකම නිසා සමහර ආමි අයියලා අමාරුවේ වැටෙනවා. කොහොමත් උත්සවයෙන් මාසෙකට දෙකකට පස්සේ හමුදා අයියලා දෙන්නෙක්වත් අර නංගිලාව බැඳගන්නවා. :e

      @ සෙන්නා.

      මේකා ඊයේ පෙරේදා ලයිසන් එක අරගෙන නෙවෙයි හනිමූන් ගිහිං තියෙන්නේ. මූ බාල අපරාධ කාරයෙක්ද කොහෙද. :e

      Delete
    3. @සෙන්නා,

      ඒ කාලෙ තිබ්බා දැන් නෑ..

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }