හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

27 July 2015

වැට ගහන්නෝ, වැට රකින්නෝ සහ වැට කඩන්නෝ (දෙවැනි කොටස)

වැටවල් කතාවට සෑහෙන දෙනෙකුගේ සිත ඇදිලා ගිහින් තිබුණා. ඒ අයගේ පහන් සංවේගය හෙවත් ලාම්පු කණගාටුව උදෙසා, :D අද තව දුරටත් ඒ ගැන කතාකරනවා. තවම වැටවල් ගහලා ඉවර නැහැ. පහුගිය ලිපියේදී මම කිව්වා මතකද, ආරක්ෂාව තමා, මේ වැටවල් ගැහීමේ ප්‍රධානතම පරමාර්ථය කියලා. යුද්ධයකදී අපි කරන ක්‍රියාන්විත සාමාන්‍යයෙන් මූලික කොටස් දෙකකට වෙන්කරන්න පුළුවන්.






1 ආක්‍රමණශීලී හෙවත් ප්‍රහාරාත්මක ක්‍රියාන්විත = Offensive Operations

2 ආරක්ෂාව තහවුරු කරගැනීම සහ වර්ධනය කරගැනීම සඳහා කරන ක්‍රියාන්විත = Defensive Operations 

   මෙතැනදී මේ offence / defence කියන දෙකම කෙරෙන්නේ, ගැඹුරු යුද න්‍යායන් අනුව. වෙනත් විදිහකට කියනවානම්, යම් යම් මූලධර්ම මත. ඒ ඔක්කොම මෙතන කියන්න ගියොත්, බොහෝ දෙනෙක් මේ බ්ලොග් අඩවිය පැත්ත පළාතෙවත් එන එකක් නැහැ. හැබැයි, ඔබට වැඩිය නොදැනෙන්න, මම ඒ මූලධර්ම මේ ලිපියට රිංගවනවා. එහෙම හොඳයිනේ? තිත්ත බේත් පෙති වලට සීනි ගාලා දෙනවා වගේ වැඩක් මේක. Defence කියන විෂයය යුද හමුදා පුහුණුවේදී ඉතා ගැඹුරට යනවා. භූමි ප්‍රදේශයක ආරක්ෂාව, නිසි පරිදි, හමුදා ක්‍රියාන්විත වලින් තහවුරු කරන්න නම්, මූලධර්ම 10 ක් යටතේ ක්‍රියාකරන්න වෙනවා.

   හොඳයි මෙහෙම හිතන්න. ඔබේ ගමේ චන්ඩියෙක්, තුවක්කුවක් ගෙනත්, ඔබ ඇතුළු ගම්වාසීන්ට චන්ඩි පාට් දානවා. ඔබත් තුවක්කුවක් ගේනවා. ගෙනල්ල ඒකත් අතේ තියාගෙන, ගෙට වෙලා දොර වහගෙන ඉන්න එකද හරි, එහෙම නැත්නම් ඔබේ වත්තේ මායිම දිගේ ටිකක් ඇවිදලා බලන එකද හරි?  ආයෙත් අහන්ඩ ඕනෙද නේද?

   (ගෙට වෙලා හිටියොත් අරූ ගෙටම ඇවිල්ලා.......හරි හරි කියන්ඩ එපා මම දන්නවා කියන්ඩ ගිය එක. හප්පෝ..........එව්වනම් කටට එනවා ටක් ගාලා. ඒ වුනාට පහුගිය ලිපියෙන් මොකක් හරි ඇහැව්වොත් හුළං) 

   මෙන්න මේ නිසා සාර්ථක ආරක්ෂක ප්‍රදේශයක්, නිතරම, සටනට දැඩි පෙරසූදානමකින් ඉන්න, එමෙන්ම, සතුරු භූමියට පවා රිංගා බලනසුළු, ආක්‍රමණශීලී aggressive ආරක්ෂක ප්‍රදේශයක් වියයුතුයි.

   හොඳයි, මේ කතාව මෙතන තියලා, ආපහු යමුකෝ වැට ගහන්න. පහුගිය ලිපිය අපි අවසන් කලේ කොන්සර්ටීනා වයර් වැට ගැහිල්ලෙන් නේ. ඒ වගේමයි යුද අගල් සෑදීමත් කළා. ඊට අමතරව මොනවද කරන්න පුළුවන්. අපි හිතමු අපිට කටුකම්බි කෑල්ලක්වත් හොයාගන්න නැහැ කියලා. නමුත් සොල්දාදුවා, 'අලේ මොකුල් ලෑලේ..............' කියලා, හඬ හඬා බලා ඉන්නේ නැහැ. පරිසරයෙන් විසඳුම් හොයාගන්නවා.

   ලොකු වැටක් ගහන්න බැරිනම්, පොළොවේ කුඩා උල් හිටවනවා. පොළොවේ සිට අඟල් හයක් හතක උස මේ උල් ඉතා තියුණු තුඩක් තිබෙන ආකාරයට සකසන්නේ. බූට් සපත්තුවක් හිල්වෙන තරමට තියුණු නැතත්, කකුල පැටලිලා වැටුනොත්, මේ උල්, සිරුර පසාකරගෙන යනවා. අපේ හමුදා, පහුගිය යුද්ද කාලේ, 'කූරටියා' නමැති සිහින් කෝටු විශේෂය පාවිච්චි කර, ඉතා ශක්තිමත් වැටවල් මෙන්ම,  මරණීය තුවාල ඇතිකරන උල් ද, ආරක්ෂක ප්‍රදේශවල නිර්මාණය කළා. ඒ වැටවල් කඩාගෙන එන්න, LTTE එක උත්සාහ කල බොහෝ වාර ගණනක්, ව්‍යර්ථ වුණා. එවැනි වැටක පින්තූරයක් පහත දක්වනවා. නමුත් එය ලංකාවේ එකක් නෙවෙයි. 



   අපේ හමුදා හදපු වැට, මේ වගේ ඇල කරලා නෙවෙයි, කෙළින් අතට තිබුනේ. ඒ වගේම, එකකට එකක් අතර අඩි පහක පමණ පරතරයක් තබා, වැටවල් දෙකක් හෝ තුනක් හදපු අවස්ථා තිබුනා. ඒ වැටවල් අතර උල් හිටවා හෝ බිම් බෝම්බ වලලා තිබුණා. හොඳයි, අපි හිතමු අපිට කොන්සර්ටීනා වයර් නැතත් කටුකම්බි තියනවා කියා. අපේ ගෙවත්තක ගහනවා වගේ කටුකම්බි වැටක් ගැහීමෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ යුද බිමේදී. ඉතා පහසුවෙන් එය කපන්න පුළුවන්. ඒ නිසා යුද බිමේදී කටු කම්බි පාවිච්චි කරලා හදනවා බාධකයක්. 'පහතින් අදින කම්බි පැටලුම' කියලා කියන්න පුළුවන්. low wire entanglement  ඒ බාධකය යොදන්නේ පොළොවට අඩි එකහමාරක් පමණ උඩින් හිටින විදිහට. අවම වශයෙන් අඩි 10ක් වත් පළල තියන ආකාරයට තමයි යොදවන්නේ. මේ බලන්න. 



   පේනවා නේද, මේක හරිම ජංජාලයක්. යටින් රිංගන එකත් ලේසි නෑ. අර බලන්න අර උන්නැහේ, වැට නඩත්තු කරන්න, ලැල්ලක් දාලා ඒක දිගේ යන හැටි. සමහරවිට මේක යට බිම් බෝම්බ දාලා තියෙන්නත් පුළුවන්. එහෙම වුනොත් බඩුම තමයි. ඔය තියෙන්නේ පහළින්, එහෙම බඩු හම්බවෙච්චි වෙලාවක්.



   ඒ වුනාට පුහුණුවේදී දස වදයක් දෙනවා අපිට. අම්මපා එව්වා කොරපු එවුන්ට.......... (හොඳක්ම සිද්ද වුනාවේ. නැත්නම් පුහුණුව අසාර්ථකයිනේ) මේ විදිහට හදපු කම්බි පැටලුම යටින් බඩගාගෙන යන්න කියලා, ඔලුව මට්ටමට අඟලක් ඉහළින් විතර යන විදිහට, නොකඩවාම වෙඩි තියනවා. හෙල්මට් එක දාගෙන හිටියත්, චූ යන තරම් බයකුත් දැනෙනවා. මෙන්න මෙහෙමයි රිංගන්නේ. මෙතන හෙල්මට් දාලා නැහැ. තුවක්කුවත් නැහැ. තවම ආධුනිකයෝ. ඔලුවට උඩින් යන්න වෙඩි තියන්නෙත් නැහැ මෙතන. 




   වැටවල් ගැහිල්ල ගැන තව දිග විස්තර තිබුනත්, ඒ කතාව නවත්තලා වැටවල් ගැහිල්ලේ අන්තිම කොටසට යනවා. ඒ තමයි පස් බැම්මක් ඉදිකිරීම. හැබැයි පුතෝ, පස් බැම්මක් හදාගත්තා කියලා, බැම්මෙන් මෙහා පැත්තට වෙලා, කඩේ වහලා ඉන්න බැහැ. එහෙම කලොත්, සතුරා බැම්ම කොතනින් හරි කපාගෙන රිංගනවා. ඊට පස්සේ අපිට බඩු හම්බවෙනවා. ඒ නිසා, පස් බැම්මේ ඉඳලා ඉදිරිය නිරීක්ෂණය කරන්න පුළුවන් තැන් හදාගන්න ඕනේ. බැම්මට පසුපසින් මීටර් 100ක් විතර ඈතින් තියන රූස්ස ගහක අතුපතරේ හැංගිලා ඉඳගෙන දවල් කාලේදී ඉදිරිය නිරීක්ෂණය කරන්න පුළුවන්. රෑට නම් සවන්දීමේ මුරයක් යොදවන්න වෙනවා. අපි මුලින්ම බලමු යුද බිමේ සාමාන්‍ය පස් බැම්මක්.




   මේ බැම්ම එතරම්ම සාර්ථකයි කියන්න බැහැ. නමුත්, සතුරාට මුහුණ දෙන්න, කල්ගත කරමින් ඉන්නට වෙලාවක් නැති නිසා, ඉක්මනින් බුල්ඩෝසර් එකක් යොදවලා, මේ වගේ බැම්මක් ඉදිකරගැනීම හොඳයි. බලන්න, ආරක්ෂක මුර සෙබළුන් ස්ථානගතව සිටින තැන් තමා, අර කොලපාට වැලි කොට්ට සහ කළු ඉටිරෙදි ගහලා, හදලා තියෙන්නේ. මෙතන ඉඳන් සෑහෙන්න සතුටුදායකව සතුරාට මුහුණ දෙන්න පුළුවන්. මේ පස් බැමි හදනකොට යුද ටැංකි යෙදවීම ගැන විශේෂයෙන් හිතන්න ඕනේ. ඒ නිසා බැම්මේ සමහර තැන හදනවා යුද ටැංකියක් ඇවිත් බැම්මට හේත්තු කරගෙන ප්‍රහාර එල්ල කරන්න. ඒ වගේ තැනකට හමුදා භාෂාවෙන් කියන්නේ hull down position එක කියලා. hull හල් එක කියන්නේ යුද ටැංකියේ ඉදිරිපස කොටස. මේ බලන්න, ටැංකියක් පස් බැම්ම ආවරණයක් කරගනිමින් සටන් කරන හැටි.




   මෙහෙම තියනකොට, සතුරු ටැංකියකින් ගහන ඒවා වදින්නේ, පස් බැම්මේ සහ ටැංකියේ ඝන යකඩ සන්නාහයේ. ඒ නිසා ටැංකිය ආරක්ෂිතයි. ඔන්න පස් බැම්මෙන් ගන්න තවත් වැඩක්.

   මේ පහළ තියන පස් බැම්ම, ඉහළ පෙන්නපු බැම්මට වඩා කල් අරගෙන, හොඳට සැලසුම් කරලා හදපු එකක්. බලන්න බැම්මේ පළල. සෑහෙන්න පළලක් තියනවා. ඒ නිසා කඩාගෙන එන එක ලේසි නැහැ. ඒ වගේම බලන්න බැම්ම උඩ වැටක් තියනවා. මේ පෙනෙන්නේ බැම්මේ පසුපස. ඉස්සරහ පැත්තේ කොන්සර්ටීනා වයර් දාලා, කටුකම්බි පැටලුම් දාලා ඇති. අර දිය අගල ජල ක්‍රීඩා සඳහාවත්, ස්නානය සඳහාවත්, හදපු එකක් නෙවෙයි. :D මේ අගලට වතුර පිරිලා තියෙන්නේ, මෝසම් වැස්සෙන්. අගල හරහා යන්න, ඇළුමිනියම් ඉනිමගක් තියලා තියනවා දැක්කද? ඔය අගලේ සම්පූර්ණයෙන් වතුර පිරුනොත් මාරකයක්. පීනන්න බැරිනම් ගිලිලා මැරෙන්න වෙන්නේ. අඩි හයකට වඩා ගැඹුරයි.




   මේ අගලෙන් කරුණු දෙකක් ඉෂ්ඨ වෙනවා. එකක් තමයි, බැම්ම උඩින් කඩාගෙන එන ටැංකියක ගමන අවසාන වෙනවා, මේ අගලට වැටීමෙන්. (කලින් මෙතන අල්ලගත්තොත් විශේෂ පාළම් වර්ගයක් තියනවා, අගල හරහා ක්‍ෂණිකව දාලා, ටැංකි එගොඩ කරන්න. මේ තියෙන්නේ ඒ වගේ පාළමක්.



   දෙවැනි කාරණේ තමයි, මේ අගල දිගේ, (වතුර නෑ කියලා හිතන්න) භටපිරිස්, අවිආයුධ, අනෙකුත් සැපයුම් එහා මෙහා ගෙනියන්න පුළුවන්. ඒ නිසා, මෙවැනි අගල්, හමුදා භාෂාවෙන් හඳුන්වන්නේ, communication trench කියලා. 


 ඒ බැම්මත්, මේ බැම්මත්, හැර තවත් බැමි තිබේද පින්වත? එහෙමයි ස්වාමීනී, ඇයි වැව් බැම්ම. හුටා..........ඒක යුද්ද කරන්න හදන එකක් නෙවෙයිනේ.  

   ඇත්තටම තවත් බැම්මක් තියනවා. නමුත් අපේ රටේදී දකින්නට නැහැ. ඒ බැම්ම හඳුන්වන්නේ Ditch Cum Bund = DCB යනුවෙන්. එවැනි බැමි, දීර්ඝ කාලයක්, ස්ථිරව තබාගැනීමටයි හදන්නේ. රටවල් දෙකක් අතර ඇති දේශසීමා දිගේ තමයි ඒ විදිහට DCB හදන්නේ. ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශ්, වැනි රටවල මේ DCB දකින්නට පුළුවන්. අගල සහ බැම්ම ඝන කොන්ක්‍රීට් වලින් හදලා තියෙන්නේ. ඒ වගේම, අවශ්‍යනම්, අගල දිගේ, යුද ටැංකි, කාලතුවක්කු, සැපයුම් රැගෙන යන බර වාහන, යන්න වුනත් හැකිවන ආකාරයට හදනවා.  DCB එක මෙන්න මේ වගේ. මෙතන අගල පෙනෙන්නේ නැහැ.



 ඔන්න ඉතින්, මේ ලිපි මාලාවේ මාතෘකාව වන, 'වැට ගහන්නෝ, වැට රකින්නෝ සහ වැට කඩන්නෝ' කියන කොටස් තුනෙන්, වැට ගහන්නෝ කියන කොටස, මෙතනින් අවසන් වෙනවා. ඊළඟ කොටසේදී අපි බලමු, මේ ගහගත්ත වැට කොහොමද රැකගන්නේ කියලා.

2015 ජූලි මස 26 වැනි දින 2304 පැය 

20 July 2015

වැට ගහන්නෝ, වැට රකින්නෝ සහ වැට කඩන්නෝ (පළමුවැනි කොටස)

aaa
 තමන්ගේ ඉඩම වටේට වැටක් ගහගන්න එක අනාදිමත් කාලයක ඉඳලා මිනිසා විසින් කරන ආරක්ෂාකාරී පියවරක් නොවැ. හැබැයි ඉතිං පනින එකා ඔය කොයි වැටත් පනිනවා. දැකලා තියනවද දඬු වැට කියන එක? දඬු වැට කියන්නේ, හේන් ගොවිතැනේදී, හේන වටා ඉදිකරන වැට. හේන සඳහා තෝරාගත් බිමේ තිබෙන විශාල ගස්, කපා ගිනි තැබීමෙන් පසු ඉතිරිවන, විශාල අතු සහ කඳන්  කොටස් උපයෝගී කරගෙන තමයි, දඬු වැට හදන්නේ.

   මක්කිව්වා.........කොටුත් පනිනවද? අනෙ අම්මේ......... අපි දන්නෑ ඔය කොටු පැනිලි. වැට හදන හැටි, වැට රකින හැටි සහ කඩන හැටි ගැන තමා අද මේ කතාකරන්න යන්නේ. කාගෙ වැටද කියලා ඇහුවා? කාගෙවත් නෙවෙයි, හමුදාවෙන් යුද බිමේ ගහන වැටවල් ගැන තමා කතාකරන්න යන්නේ. මට මොකටැයි ඔය අනුන්ගේ වැටවල්. හරි, එහෙනම් බහිමුද කතාවට?

   මේ කතාවට බහින්න කලින්, මෙන්න මේ න්‍යායාත්මක කරුණු, පොඩ්ඩක් කියලා ඉන්න වෙනවා. යුද්ධයේදී, අපි සතුරා සමග සටන් කරමින් භූමිය අල්ලා ගත්තට පස්සේ, එතනින් පසු බසින්න ඉඩක් නොලැබෙන ආකාරයට, ඒ භූමිය ආරක්ෂා කලයුතුයි. භූමිය ආරක්ෂාකාරී ලෙස පවත්වා ගැනීමට, විවිධ උපක්‍රම යොදනවා. මතකද අපි කතා කළා, පැට්‍රෝල් යාම ගැන? ඕං ඉතිං ..........ඕකනේ කියන්නේ........ මේ කියනවා, මේ මතක නෑ. ඔහොම බෑ මේවා කරන්න. සතුරා ඇවිත්, ඔයාගේ මෙව්වා එකත් මෙව්වා කරලා යයි, ඔව්වා මතක නැත්තං.

    හරි හරි, අමතකනං ටක් ගාලා දුවලා ගිහින් බලලා එන්ඩ.  හරි, දැන් මතකයි නේද? ඔව්, එක ක්‍රමයක් තමයි, පැට්‍රෝල් හෙවත් මුර සංචාර මගින් පුළුවන්, භූමිය ආරක්ෂා කරගන්ඩ. ඒ වගේම, ඒ පැට්‍රෝල් කතාවේදී කිව්වා වගේ, නිරීක්ෂණ මුර, සවන්දීමේ මුර, ආදියත් යොදවන්න පුළුවන්. නමුත් ඔය හැම එකකටම සෙබළුන් යොදවන්න ගියොත්, සටන් කරන්න පිරිස මදිවෙන බව, අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ඒ නිසා, වැටක් ගහලා, භූමිය රැකගන්න වෙන අවස්ථා තියනවා. නමුත් වැටක් ගැහුවා කියලා භූමිය ආරක්ෂා වෙන්නේ නැහැනේ. වැට නඩත්තු කරන්න ඕනේ. දිනපතා පරීක්ෂා කරන්න ඕනේ. ඔබ කියයි, 'ඉතින් CCTV කැමරා හයිකරානම් ඉවරයිනේ' කියලා. යුදබිමේ ඇත්තම තත්වය නොදන්නා අය තමයි එහෙම කියන්නේ. ඇත්තටම යුදබිමේ වැටවල් රකින්න කැමරා හයි කර කර ඉන්න බැහැ. කොයි වෙලාවේ වැට වෙනස් කරන්න වෙයිද දන්නේ නැහැ. කාලය සහ ශ්‍රමය කිසිසේත් අපතේ යවන්න බැහැ. ඒ නිසා, නවීන තාක්‍ෂණය ප්‍රායෝගිකව, සෑමවිටම, සෑම ප්‍රශ්නයකටම, යුද බිමට ගැලපෙන්නේ නැහැ.

   සතුරාගෙන් අල්ලාගත් භූමියක, එහෙමත් නැත්නම් අපි දැනට අපේ පාලනය යටතේ තබාගෙන ඇති භූමියක, ආරක්ෂාව තහවුරු කරගැනීම සඳහා, පළමුවෙන්ම කරන්නේ, සතුරු ප්‍රහාර වලින් සහ නිරීක්ෂණය කිරීම් වලින් ආවරණයවී සිටිමින්, අපේ භටපිරිස් වලට, ඉදිරි භූමිය නිරීක්ෂණය කිරීම සහ වෙඩි ප්‍රහාර එල්ල කිරීමට සුදුසු ස්ථානවල, අවශ්‍ය තරම් භටපිරිස් රැඳවීමයි. භූමියේ පිහිටි ඉතා කුඩා කඳු ගැට, ලොකු ගස්වල කඳ, මිනිසෙකුට ආවරණය වෙන්න තරම් විශාල ගල්කුලක්, ඇල කණ්ඩියක්, වැව් බැම්මක්, වගේ ස්ථාන තමා තෝරාගන්නේ.

   යුද න්‍යායේ තිබෙනවා, 'උපක්‍රමික වශයෙන් වැදගත්වන භූමිය - Ground of Tactically Importance = GTI' යනුවෙන් යෙදුමක්. අපි සෑමවිටම උත්සාහ කළයුත්තේ අන්න එවැනි භූමියක් අල්ලාගන්නයි. එවැනි GTI භූමියක සිට, සතුරාගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරන්න, ප්‍රහාර එල්ල කරන්න, තවදුරටත් සතුරාගේ ක්‍රියාකාරකම් වර්ධනයවීම වළක්වන්න, අපේ ඉදිරි සැලසුම් තවත් සාර්ථක කරගන්න, අපේ කාලතුවක්කු, යුද ටැංකි, ආදිය වඩාත් පහසුවෙන් ස්ථානගතකිරීම සහ යෙදවීම කරගන්න, අපට හැකිවෙනවා. (සරලව මෙහෙම හිතන්න. සුනාමිය කියන්නේ, අපිට එන සතුරු ආක්‍රමණයක් නම්, එයින් බේරෙන්න සුදුසු, මුහුද අසල පිහිටි උස් බිම, GTI එකක්)


1. වැට ගහන්නේ මෙහෙමයි 

   යුද්දේ යනගමන් වැටවල් ගැහිල්ල ලේසි කෙළියක් නෙවේ. ඒ නිසා යුද න්‍යායේ කියන්නේ, යුද අගල් සහ වැලි ගෝනි වලින් ආවරණ සකස් කරගන්න කියලා. ඒ නිසා, මුලින්ම කරන්නේ, මෙන්න මේ විදිහට, යන්තම් කාණුවක් හාරගෙන, වැලි ගෝනි ටිකක් දාලා, ආවරණයක් හදාගන්න එක. (ගෝනි තියනවා යුද බිමේ පසුපස ඉන්න සැපයුම් කණ්ඩායම් අතේ.  ඒවා ඉස්සරහට යවනවා. වැලි හොයාගන්න නැත්නම්, අර හාරන කාණුවේ පස් වලින්ම පුරවනවා. හාරන ආයුධ අරන් යනවා ඉදිරියට යනවිට.)  අම්මේ........ යුද පුහුණුවේදී දියතලාවේ/අඹේවෙල, මර හීතලේ, මහ රෑ, මෙව්වා හාරපු හැටි මතකවෙනකොට .........අනේද කියන්නේ...

Basic Position

   ටික කාලයක් ඒ ප්‍රදේශය අල්ලාගෙන ඉන්න වෙනවා නම්, මේක ටිකක් වැඩිදියුණු කරනවා. අපි අල්ලාගෙන ඉන්න ප්‍රදේශයේ වටේටම හෝ බොහෝවිට සතුරා ඉන්න පැත්තට/පැතිවලට මුහුණ දා තිබෙන ප්‍රදේශ තමයි මෙලෙස වැඩිදියුණු කරන්නේ. එතකොට පෙනෙන්නේ මෙන්න මෙහෙම. 

image (1)

   මෙතන තියෙන්නේ එවැනි 'යුද අගල් - Trench' දෙකක පින්තූර.

   'මොකෑ ආයිබොවං, ඔහෙලා බීලද මෙව්වා හාරන්නේ? නිකං ඌරු මීයෝ ගියා වගේ, එහාට මෙහාට ඇදේටනේ ගිහිං තියෙන්නේ'

  'මේකනේ  ආයිබොවං වැඩේ. තනි කෙළින් මෙව්වා හැදුවොත්, අවාසි තියනවා. කවුරු හරි හතුරෙක් මේකට පැනගත්තොත්, තනි කෙළින් තියන නිසා, මේකේ ඉන්න ඔක්කොටම වෙඩිතියලා, කම්බස් කරන්න ලේසි වෙනවා. ඒ වගේමයි, තනි කෙළින් තියන අගලකට, අත් බෝම්බයක්, මෝටාර් බෝම්බයක්, කාලතුවක්කු බෝම්බයක්, ගුවනින් දාන බෝම්බයක්, වැටුනොත් එහෙම, ඔක්කොටම අනිච්ඡාවත සංඛාරා තමයි. ඒකයි මෙහෙම අර Zig - Zag ද මොකද්ද කොරලා හදලා තියෙන්නේ'

   'ඉතිං මෙව්වා කඩා වැටෙන්නේ නැද්ද?'

   'වැටෙනවා වැටෙනවා, එතකොට ආයේ හදන්න ඕනේ. වැස්ස කාලෙට වතුර පිරෙනවා, මෙව්වයේ බැහැලා ඉඳලා, අපේ කකුල්වල ඇඟිලිකරු කුණුවෙලා මිනීකුණු ගඳ ගහනවා, සරපයි එනවා මෙව්වා අස්සට වැස්ස කාලෙට, සමහරු මැරිලත් තියනවා සරපයි ගහලා, යුද්දේ දුකයි ආයිබොවං'

   'අනේ මොටදෑ ඔච්චර නහින්නේ? නිකං කණු හිටෝලා, හොඳ වැටක් ගැහුවනම් ඉවරනේ'

   'එහෙම කොහොමැයි කොරන්නේ? එව්වා කඩාගෙන එනවා එතකොට. මම තව ඉස්සරහදි කියන්නංකෝ'

   'එහෙනං ඉතිං බැකෝ එකක් දාලා හාරනවකෝ'

   'එහෙම කොරන්ට පුළුවං වෙන්නේ, බැකෝ එකේ සද්දේ සතුරාට ඇහෙන්නේ නැත්තං විතරයි. අනික, යුද්ද භූමියේ හැම තැනටම බැකෝ ගෙනියන්න බෑ. මහා ඝන කැලේ තියනවනං කොහොමද ගෙනියන්නේ'

   සතුරා අපට ප්‍රහාර එල්ල කරන පැත්ත අනුව, අපිට පුළුවන්, යුද අගල දිගේ එහාට මෙහාට යමින්, සතුරාව ඉලක්ක කරගන්න. එමෙන්ම, ඈත සිට බලනවිට, සතුරාට තේරුම්ගන්න අමාරුයි, අපේ යුද අගලේ පිහිටීම.  

   සටනේ ප්‍රබලත්වය, කාලය සහ ශ්‍රමය ඉතිරි කරගැනීම, ගැන සලකා බලා, ක්‍ෂණිකව ඉදි කළහැකි, තවත් බාධක වැටක් තිබෙනවා. ඒ තමා, කොන්සර්ටීනා වයර් - Concertina Wire යනුවෙන් හැඳින්වෙන, සර්පිලාකාරව සැකසූ, ඉතා තියුණු තුඩු සහිත, කටුකම්බි රෝල් විශේෂය යෙදවීම. පසුගිය යුද සමයේ, කොළඹ ප්‍රදේශයේත්, අධි ආරක්‍ෂාව අවශ්‍ය ස්ථාන වලට, මේ කම්බි යොදවා තිබුනා, ඔබ දකින්නට ඇති. මේවා සාමාන්‍ය කටුකම්බි වගේ නෙවේ. ස්ප්‍රින් එකක් මෙන් ඇදෙනවා. ගැලවුනොත් එකවරම ඇකිලෙනවා. එවිට හැමතැනම පැටලෙනවා. මේවාගේ තියෙන්නේ සාමාන්‍ය කටුකම්බියක මෙන් උල් නෙවෙයි. ඉතා තියුණු කැපෙන සුළු තල විශේෂයක් තිබෙන්නේ. මේ බලන්න. 

e1383b2ff2f34b3d72dff51078e919a9

විශේෂ ඝන අත්වැසුම් නැතුව, මේවා සවිකරන්න යාමත් බොහොම අනතුරුදායකයි.
Concertina

   මේ කම්බි එක පොටක් පමණක් යෙදවීම, එතරම් සාර්ථක නැහැ. පහසුවෙන් ඉවත් කරන්න හෝ කපා දමන්න පුළුවන්. හොඳ වයර් කටර් එකක් විතරයි ඕනේ. 

Wire Cutter

   ඒ නිසා කොන්සර්ටීනා වයර් කිසියම් න්‍යායාත්මක ක්‍රමයකට තමා යොදවන්නේ. එහිදී කම්බි දෙක, තුන, හතර, සහ ඊට වැඩි ප්‍රමාණයන්ගෙන් පවා යොදවනවා. මේ බලන්න එවැනි යෙදවීම්.
1
      මෙහිදී කර තිබෙන්නේ, සතුරාගේ ගමනට බාධා වන පරිදි, කොන්සර්ටීනා වයර් පේලි කීපයක්, ලී කුඤ්ඤ මගින් සවි කිරීමයි.


2
   දෙපස සාමාන්‍ය කටුකම්බි ඇද තිබෙන්නේ තරමක් උසින් පිහිටන ලෙසයි. මැද ඇති කොන්සර්ටීනා වයර් තිබෙන්නේ ඊට පහතින්. සෑහෙන්න දුෂ්කර බාධකයක්.


3
   කොන්සර්ටීනා වයර් තුනක් සවිකර තිබෙනවා. ඒවා දෙකක් උඩ එකක් ලෙස රඳවා තිබෙන්නේ.

 මේ ආකාරයට වයර් මීට වඩා විශාල ගණනක් වුනත් යොදවන ක්‍රම තිබෙනවා. කපන්න අමාරුයි. කැපුවම ඔක්කොම එකට පැටලෙනවා. මේ තියෙන්නේ cat wire 3 නමැති ක්‍රමය. cat wire 4, 5, වැනි ක්‍රමත් තියනවා.

   අදට මේ ඇති නේද? ඉදිරි කොටස් වලදී තව විස්තර ගොඩක් කතාකරන්න තියනවා. 



2015 ජූලි මස 20 වැනි දින 0007 පැය 

14 July 2015

මේ උගුලට අහුවෙන්න එපා!

උගුල් ඇටවීම, ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත්වුණු මානවයා විසින් පවා කළ දෙයක් නේද? රැකියා නොකළ ඔවුන්, තම ජීවිතය රැකගත්තේ, උගුල් අටවා සතුන් අල්ලාගෙන ආහාරයට ගැනීමෙන්. නමුත් උගුල් ඇටවීම අද සමාජයේත් දෙයාකාරයකින් සිදුවෙනවා. එක් ආකාරයක් තමයි, වන සතුන් අල්ලාගැනීම සඳහා උගුල් ඇටවීම. මෙය අදත් වනසතුන් ගහණ ප්‍රදේශවල සිදුවෙනවා. අනෙක් ක්‍රමය තමයි, අද සමාජයේ තිබෙන විවිධ කපටි කෛරාටික උපක්‍රම මගින්, අහිංසක මිනිසුන් රවටා, ආර්ථික වාසි, සහ/හෝ වෙනයම් පෞද්ගලික වාසි ලබාගැනීම. 'උගුල් අටවනවා' යන යෙදුම අද සමාජයේ බහුලව යෙදෙන්නෙත්, එවැනි ආකාරයේ අසාධාරණ ක්‍රියා හැඳින්වීමටයි. මේ ටික මුලින්ම කිව්වේ, මම අහුවුණ උගුලක් ගැන ඔබ දැණුවත් කිරීමට සහ ඔබ ඒ උගුලට අසුවීමෙන් වලක්වා ගන්නටයි. මා මෙම උගුලට අහුවුණේ 2011 වර්ෂයේදී.

   (මක්කිව්වා.....? නෑ නෑ, ඒ උගුලට අහුවුණේ 1981 දි. අම්මෝ අද වෙනකල් ඒ උගුලේ සැපෙන් සනීපෙන් ඉන්නවා)

   මේ කියන උගුල අටවන්නේ, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයෙන්. උගුල ගැස්සෙන්නේ ශ්‍රී ලංකා රක්ෂණ සමාගමෙන්. මෙන්න මෙහෙමයි කතන්දරේ.

   2011 වර්ෂයේ මැද භාගයේ එක දවසක, මම ගෙදර සිටින අවස්ථාවක, මගේ නිවසේ දුරකථනයට ඇමතුමක් ලැබුණා, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයෙන්.

   ඉතා මිහිරි කටහඬකින් කතාකළ ප්‍රවර්ධන නිළධාරිණියක් මට කිව්වා, ශ්‍රී ලංකා ටෙලිකොම් පාරිභෝගිකයන් වන, රජයේ විශ්‍රාමිකයන් සඳහා, රක්ෂණ යෝජනා ක්‍රමයක් ආරම්භ කර ඇති බවත්, හදිසි අනතුරකදී හෝ මරණයේදී, රුපියල් ලක්ෂයක රක්ෂණ ආවරණයක් ලැබෙන බවත්, ඒ සඳහා මාසික දායකත්වය රුපියල් 60 ක් බවත්. ඔන්න ඉතින් අපි වගේ විශ්‍රාමිකයන්ට, එක වරම ඉහේ මල් දාහක් පිපෙන්නේ, ඔන්න ඔයවගේ ආරංචි ආවම.

   ඉතිරිකරගත් මහා ධනයක් නැති, බැංකුවේ උගස් කළ රත්තරන් බඩු වලට තවමත් පොළී ගෙවන, දෑවැද්ද හොයා බන්දලා දෙන්න දූවරු ඉන්න, අපි වගේ අයට, මේ වගේ ආරංචි, කණේ මීපැණි වක්කරනවා වගේ නේ. ඔන්න මමත්, තනි අණ්ඩෙන් හෙවත් එක පයින්, වැඩේට කැමති වුණා. ඔන්න ඉතින් එදා ඉඳලා අද දක්වා, ඔය රුපියල් 60, මගේ මාසික දුරකථන බිලෙන් කපාගන්නවා. නමුත් ඒ සඳහා වෙනම ලදුපතක් ලැබෙන්නේ නැහැ. මගේ ළඟ තියනවා සියළුම දුරකථන බිල්පත් එකතු කරලා. ඒ නිසා ඒ ගැන නීතිමය කරුණකදී වුණත්, ඒවා ඉදිරිපත් කරන්න පුළුවන්.

   නමුත් මාව කරකවලා අතෑරියා වගේ වැඩක් වුණේ, මේ ඊයේ පෙරේදා, ශ්‍රී ලංකා රක්ෂණ සමාගමෙන් ලැබුණ ලිපියක් නිසයි. ඒ ලිපියේ තියෙන්නේ, ජීවිත රක්ෂණ සහතිකය බව දක්වා තිබෙන අතර, ඒ සඳහා අදාළ නීති සහ කොන්දේසි ද, දක්වා තිබෙනවා. මෙන්න මෙහෙමයි තියෙන්නේ. රූපය මත ක්ලික් කර විශාලනය කර බලන්න. 




2011 දී බැඳුන රක්ෂණ යෝජනා ක්‍රමයට, දැන් මේ 2015 දී තමයි කොන්දේසි එවන්නේ. ඊටත් වඩා, ඒ කොන්දේසි ඇඟ හිරිවැටෙන එව්වා. මේ කොන්දේසි අතරේ තියනවා, පුදුම සහගත සහ හාස්‍යජනක හෙවත්, නොමිළේ විහිලු සපයන කොන්දේසිත්. මෙන්න එව්වා.

  • අංක 2 යටතේ කියනවා, මෙම ගිවිසුම ඇතිවන්නේ ටෙලිකොම් සහ රක්ෂණ සමාගම අතරෙලු. එතකොට අපි රක්ෂණ ගිවිසුමකට බැඳිලා නැද්ද?
  • අංක 6 යටතේ කියනවා, සාමාජිකයාට අවයස අවුරුදු 70 පිරුණු පසු ප්‍රතිලාභ අත්හිටවවාලු. මොකක්ද ඒකෙ තේරුම? ඒ කියන්නේ වයස අවුරුදු 70 ට පස්සේ, අපි මැරුණත් රක්ෂණ මුදල් ගෙවන්නේ නැහැ කියන එකයි. මේ ගැන කරුණු විමසුවාම ශ්‍රී ලංකා ටෙලිකොම් සහ රක්ෂණ සමාගම එය සනාථ කළා. රක්ෂණ වන්දියක් ලබාගැනීමට නම්, මීට වඩා වැඩි වාරික මුදලක් අයකරන යෝජනා ක්‍රමයකට බැඳෙන්නලු. අනේ අනේ නන්නානේ. එහෙනම් ඒක කලින් කියන්න තිබුනනේ මේ උගුලට අපිව අල්ලගන්නේ නැතුව.
  • අංක 9 යටතේ කියනවා, රක්ෂණ ඔප්පුවට ඇතුළත් වනවිට රක්ෂිතයා මනා සෞඛ්‍ය තත්වයෙන් නොසිටි බව හෙළිවුණොත්, රක්ෂණ මුදල් ගෙවන්නේ නැහැ කියලා. ඉතින් මේ රක්ෂණ යෝජනා ක්‍රමයට ඇතුළුවනවිට අපිට වෛද්‍ය පරීක්ෂණයක් තිබ්බේ නැහැනේ. දැන් කොහොමද කියන්නේ එදා අපි නීරෝගීව හිටියද නැද්ද කියලා?
  • අංක 10 නම්, අපි වගේ හමුදා සාමාජිකයන්ට බොහොම හුරු පුරුදු දෙයක්. ඒ කියන්නේ, යුද්ධ, කැරළි, කළකෝලාහල, නිසා මියයාම වෙනුවෙන්, රක්ෂණාවරණ ගෙවන්නේ නැහැ කියන එක. පහුගිය යුද්ධ කාලේ, ඔය මහා රක්ෂණ සමාගම්, එක හඬින් ප්‍රතික්ෂේප කළා, ආරක්ෂක හමුදා සාමාජිකයන්ට ජීවිත රක්ෂණ ලබාදීම. අන්තිමට, ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් විශේෂ වැඩපිළිවෙලක් යොදන්න වුණා, ආරක්‍ෂක හමුදා සාමාජිකයන් වෙනුවෙන්. අද යුද්ධයක් නැතත්, මේගොල්ලන්ගේ ප්‍රතිපත්තිය වෙනස්වෙලා නැහැ. කැරැල්ලකට සම්බන්ධ නැති, පාරේ ගිය අහිංසක මිනිහෙක්, කැරැල්ලේ අනියම් බලපෑමකින් මියගියත්, ඔහු මේ රක්ෂණ ක්‍රමයේ සාමාජිකයකු වුණාට, රක්ෂණය ලැබෙන්නේ නැහැ, මේ ප්‍රතිපත්තිය අනුව. හරි ෂෝක් නේද?
  • අංක 12 හෙවත්, මෝඩයකු විසින් කර තිබෙන, රට විහිලුව. මේ කාරණයේදී කියන්නේ, මෙම රක්ෂණයට බැඳී සිටින සාමාජිකයකු, මෙම ඔප්පුව වලංගුව පවතින කාලය තුළ, හිමිකමක් ඉල්ලීමට පෙර හෝ පසුව හෝ, හිමිකමක් ගෙවමින් සිටියදී හෝ, HIV ඒඩ්ස් ආසාදිතයකු බව දැනගතහොත්, ගෙවීම් අත්හිටවනවාලු. අනේ අම්මපා මුන්දෑලාගේ සාමාන්‍ය දැනුම මෙච්චර පහළද තියෙන්නේ? යම්කිසි පුද්ගලයකු, ඔහුට වළක්වාගත නොහැකි තත්වයන් යටතේ, HIV ඒඩ්ස් ආසාදිතයකු බවට පත්වියහැකි බව, ඉස්කෝලේ ළමයිනුත් දන්නවා වුණාට, මේ රක්ෂණ ඔස්තාර් අබබ්බයන් දන්නේ නැත.
       'ඉතින් මොකේදැයි දන් වළඳන්නේ' කිව්වලු. මේ විදිහටම මේ ටෙලිකොම් උගුලට අහුවුණ කීදෙනෙක්, මේ රටේ ඇද්ද? ඔවුන්ටත් අත්වන්නේ, අද මට අත්වී ඇති ඉරණමම නොවේද? අපිව මේ විදිහට ගසාකන්නේ ඇයි? නිකමට හිතන්න විශ්‍රාමිකයන් 1000ක් මෙයට බැඳුනා කියා. එක මසකට රුපියල් 60000 ක් අයකර ගන්නවා. වසරකට රු 720000 ක් එකතුවෙනවා. විශ්‍රාමිකයාට අවුරුදු 70 පිරුණම, ඒ මුදල් රක්ෂණ සමාගමට අයිති වෙනවා. හොඳයි නේද?  

   අපේ ජනාධිපතිතුමාගේ සහෝදර තුමා වන කුමාරසිංහ සිරිසේන තුමෝ. ඔබතුමා නේද ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති. අනේ තුමෝ, මේ දවස්වල ඔබතුමාට මැතිවරණ උන සෑදී නැත්නම්, මේ ගැන පොඩ්ඩක් බලනවා හොඳයි. 

   මට මේ උගුල පෙනෙන හැටි, පහත දැක්වෙන රූපයෙන් බලන්න.





2015 මැයි මස 10 වැනි දින 0932 පැය



08 July 2015

මේ පින්තූර දැකලා තියනවද? (පළමුවැනි කොටස)

   ලංකාවේ පැරණි තොරතුරු නිරූපණය කෙරෙන පින්තූර, නොයෙක් වෙබ් අඩවි සහ බ්ලොග් අඩවිවල වරින්වර පලවෙනවා. ඒ පින්තූර බොහොමයක්, විවිධ ආයතන, පුද්ගලයන් විසින් ලබාගත්, ඓතිහාසික වටිනාකමකින් යුත් ඡායාරූප බව, එම ඡායාරූප සහිත අඩවි වලට ගියවිට පෙනී යනවා. මේ මෑතකදී, එවැනි ඡායාරූප එකතුවක්, මට දකින්නට ලැබුණා. එම ඡායාරූප මට පෙන්වූ අය, පසුව එයින් කීපයක් මට ඊ මේල් මගින් ඒවා තිබුනේ, මා එම ඡායාරූප කෙරෙහි දැක්වූ දැඩි උනන්දුව නිසයි. 

   මට මේ ඡායාරූප ලබාදුන් මගේ මිත්‍රයා සඳහන් කල පරිදි, මෙවැනි ඓතිහාසික ඡායාරූප විශාල එකතුවක්, ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව තිබෙනවා. මෙම පින්තූරත්, එයින් ලබාගත් ඒවා වන්නට පුළුවන්.

    මේ සෑම පින්තූරයකටම මාතෘකාවක් යොදා තිබුණා. නමුත් ඒ මාතෘකාව පින්තූරය සමග දැක්වුණේ නැති නිසා, මා එම මාතෘකා නැවත මේ පින්තූර මත යෙදුවා. ඒ සමගම, මේ පින්තූර ගැන යම් හැඳින්වීමක් කරන්නටද මා සිතුවා. එහෙනම් අපි බලමු මේ පින්තූර. 




   හපුතලේ සීතල, මේ පින්තූරයෙන් මොනවට පිළිබිඹු වෙනවා. මෙහි දැක්වෙන බරකරත්ත අදනම් දකින්නට නැහැ. ගොනුන් දෙදෙනෙකු බඳින මෙවැනි කරත්තයක, අද තිබෙන කුඩා ලොරියක ගෙනයන තරම් බරක් ගෙනයනවා. 




   ඒ කාලයේ, නුවරඑලිය කොතරම් පාලු ස්වභාවක ගන්නට ඇද්දැයි, මේ පින්තූරයෙන් පෙනෙනවා. මේ පින්තූරය ගත් ස්ථානයේම සිට, අද පින්තූරයක් ගත්තොත්, අර ඈත පෙනෙන කඳු, හොරෙන් කපා අල්ලාගෙන, ගෙවල් හදාගෙන, එළවලු වගාකරගෙන, ඉන්න හැටි පෙනෙනවා. පසුගිය අවුරුදු 20 ක පමණ අතීතයේ, මා දුටු නුවරඑළිය සහ අද අතරත් විශාල වෙනසක් තිබෙනවා. මේ පින්තූරයේ දැක්වෙන ග්‍රෙගරි වැව, බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් කළ නිර්මාණයක්.




   මේ පින්තූරය ලංකාවේදී ගත් එකක් ලෙස මා නම් විශ්වාස කරන්නේ නැහැ. 1885 දී, සුද්දන්ට, අපේ රටේදී කාලතුවක්කු පාවිච්චි කරන්න අවශ්‍යතාවක් තිබුනේ නැහැ. පළමුවැනි ලෝක යුද්ධය ඇරඹුණේ 1914 දී පමණ, දෙවැනි ලෝක යුද්ධය 1942 දී පමණ. ඒ අවස්ථා වලදීවත්, මෙවැනි කාලතුවක්කු, ලංකාව ඇතුළත පාවිච්චි කරන්න අවශ්‍යතාවක් තිබුනේ නැහැ. 

   මේ ඡායාරූපය ඉන්දියාවේදී ගත් එකක් බව, මට සෑහෙන්න විශ්වාසයක් තිබෙනවා. මෙහි අලි පිට ඉන්න අය ඇඳලා ඉන්නේ, ඉන්දියානු ක්‍රමයේ යුද හමුදා නිළ ඇඳුම්. පාර අයිනේ තියන කරත්තයේ, කරත්තකරු ඇඳගෙන ඉන්න ඇඳුමත්, ඉන්දියානු දෝතියක් වගේ එකක්. ඒ කරත්තයේ බැඳ සිටින ගොණුන්, ඉන්දියාවේදී බහුලව දකින්නට ලැබෙන වර්ගයක්. 




   මෙහි මුල් පින්තූරයේ දැක්වෙන්නේ Bandarawela කියා නොවෙයි Bandarawilla කියායි. බණ්ඩාරවෙල ගැන දන්නා අයට, මේ කොතනද කියා හඳුනාගැනීම එතරම් අපහසු නැහැ. මේ කරත්ත එන්නේ, හපුතලේ පැත්තේ සිට. මේ හරිය නගරයට සහ බණ්ඩාරවෙල දුම්රියපොළට ආසන්න ප්‍රදේශය. මේ පින්තූරයේ දකුණු පැත්තේ ඇති බෑවුම, අදනම්, ගොඩනැගිලි වලින් පිරිලා තියෙන්නේ. 




   අපි කුඩා දරුවන් කාලේ, මේ ස්ථානයෙන් බස් රථයක යාම, තරමක් ත්‍රාසය ඇති කරවන දෙයක්. ඒ කාලයේ, අදමෙන්, ද්‍රාව පීඩක බලයෙන් යුත් සුක්කානමක්, කිසිම මෝටර් රථයකට තිබුනේ නැහැ. මේ ස්ථානයට ආසන්නවම, පහලින් තිබෙන වංගුව එකවර ගැනීමට බර වාහනවලට බැහැ. කීප වරක් ඉදිරියට පසුපසට ගෙන තමයි, වංගුව ගන්නේ. මේ අසළ, පහලින් තේ කම්හලක් තිබුණා. 1960 දශකයේදී, මහනුවර දෙස සිට පැමිණි ලොරියක්, පාලනය කරගත නොහැකිව, එම තේ කම්හල තුළට කඩා වැදී, මහත් විනාශක් වුණා. මේ ආසන්නයේ ඇති මහා ප්‍රපාතයට, වාහන වැටුණු අවස්ථා තිබෙනවා. 




   එකල ජනජීවිතය මැනැවින් පිළිබිඹු කරන ඡායාරූපයක් ලෙස, මෙය දක්වන්නට කැමතියි. බලන්න, උඩරට නිළමේ වරයකු පළඳින, සාම්ප්‍රදායික හිස් වැස්මක් පැළඳි අයකුද, මෙහි ඉන්නවා. ඇඳුම් වල සැකැස්ම ගැන බලන්න පිරිමි අය උඩුකය නිරාවරණව ඉන්නේ. 





   ඡායාරූපකරණ විෂයය අතින් ගෙන බැලුවොත්, ඒ කාලයේ තිබුන පහසුකම් යටතේ ලබාගත්, ඉතා හොඳ ඡායාරූපයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මෙය බොහෝවිට හපුතලේ, බණ්ඩාරවෙල, ප්‍රදේශයේදී ගත් ඡායාරූපයක් වන්නට පුළුවන්. 




   බ්‍රිතාන්‍ය ජාතිකයන් ලංකාවේ තේ වගාව ආරම්භ කළ පසු, එය සීඝ්‍රයෙන් පැතිරුනා. බලන්න, පින්තූරයේ ඉන්න සුදු ජාතික වතු අධිකාරී වරයා, ගමන් කරන්නේ, වත්තේ සේවය කරන, ද්‍රවිඩ ජාතිකයකු විසින් අදින, 'රික්ෂෝ' එකකින්. 




   මට පෙනීයන ආකාරයට, මේ ගම්පොල හෝ තලවාකැලේ ප්‍රදේශයයි. මෙය මහවැලි ගඟේ ඉහළ ප්‍රදේශය කියා මට හිතෙනවා. 




   ගොල්ෆ් ක්‍රීඩාව, 15 වැනි සියවස දක්වා ඇදීයන ඉතිහාසයක් හිමි ක්‍රීඩාවක්. මේ ක්‍රීඩාව කිරීමේදී, සහායකයකු අවශ්‍ය වනවා. ඔහුව හඳුන්වන්නේ කැඩී caddy (or caddie) යන නමින්. ක්‍රීඩාවේ ඒ ඒ අවස්ථාවේදී ක්‍රීඩකයා පාවිච්චි කරන විවිධ පිති සහ අනෙකුත් උපකරණ ඇතුළත් බෑගය ඔසවාගෙන, මුළු ගොල්ෆ් කලාපය course පුරා ඔහු ඇවිදිනවා. එපමණක් නොවෙයි, ඔහුට ඒ ගොල්ෆ් කලාපය ගැන මනා විශේෂඥ දැනුමක් තියනවා. ඔහු ක්‍රීඩකයාට උපදෙස් දෙනවා, ඒ ඒ අවස්ථාවේදී ක්‍රීඩා කළයුතු ආකාරය ගැන. 




   කොළඹ තිබෙන රජ ගෙදරට අමතරව, තවත් රජ ගෙදර කීපයක් ලංකාවේ තියනවා. මේ තිබෙන්නේ, නුවරඑළියේ තිබෙන රජ ගෙදර. වර්තමානයේ ජනාධිපති මන්දිරය. මෙය බ්‍රිතාන්‍ය පාලන සමයේදී ඉදිකර තිබෙන්නේ, ලංකාවේ ආණ්ඩුකාරවරයාගේ නිළ නිවසක් ලෙසයි. අදටත් මේ මන්දිරය මේ ආකාරයෙන්ම පවතිනවා. 




   

  අද මේ නමින් හෝටලයක් නුවරඑළියේ තිබෙනවාදැයි මා දන්නේ නැහැ. මෙවැනි හෝටල්, ඒ කාලයේ, සුදු ජාතිකයන්ට පමණක් සීමාවූ ඒවා බව සඳහන් වෙනවා. 




මේ ඡායාරූපය ගත් තැන සිට අද ඡායාරූපයක් ගත්තොත්, නගරයක් මැද ඉන්නවා මෙන් පෙනෙනු ඇති. කෙසේ වෙතත්, නුවරඑළියේ මේ ගොල්ෆ් ක්‍රීඩා කලාපය, අදටත් හොඳින් ක්‍රියාත්මකව පවතිනවා. 




   ඒ කාලයේ සිටම, මාළිගාවේ ඇතාට, ලොකු තැනක් තිබුන බව මේ පින්තූරයෙන් පෙනෙනවා. අපි පාසල් යන කාලයේ, මට මතකයි සමහර පුද්ගලයන් හැඳින්වුණා, 'මාලිගාවේ ඇතා වගේ' කියලා. එයින් අදහස් කළේ, සියලු සැප සම්පත් නොමිලේ ලබාගනිමින්, කිසිදු කාර්යයයක නොයෙදී, සැපට ඉන්න කෙනා යන අදහසින්. 





   මේ ඡායාරූපයෙන් දීර්ඝ විස්තරයක් පෙන්නුම් කරනවා. බ්‍රිතාන්‍ය පාලකයන්, මාලිගාව සංරක්ෂණය කරන්නට, කිසිදු පියවරක් ගෙන නැති හැටිත්, මාලිගාව කොතරම් අභාවයට ගොස් ඇතිද යන්නත්, පෙනෙනවා. 

   මගේ මිත්‍රයා සතුව තවත් මෙවැනි පින්තූර අති විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒවා ලැබෙන ආකාරයට පසුව පලකරන්නම්. 

2015 ජූලි මස 08 වැනි දින 0022 පැය


.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }