හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

30 November 2015

හමුදා කෙතේ කළමනාකරණය (දෙවැනි කොටස)

එහෙනං තමුන්නාන්සේලා හමුදා කෙතටත් බැස්සා ඈ? හොඳයි හොඳයි, ඔය කොයි කෙතටත් බැහැලා බැලුවම, නවමු අත්දැකීම් ලැබෙනවා. ඒ වගේමයි, ඒ ඒ කෙතේ හැටි සොබාව, බොහොම හොඳින් තේරුම් යනවා. පහුගිය ලිපියෙන් කිව්ව දේවල්, බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වීම ගැන සතුටුවන ගමන්, ඔන්න අද අපි මේ ලිපි මාලාවේ දෙවැනි කොටස, මෙන්න මේ විදිහට ආරම්භ කරනවා.

   එකක් මතක තියාගන්න. මේ විෂයය, ලිපි දෙකකින් අවසන් කරන්න බැරි, මහා කරුණු සම්භාරයක් තියන විෂයයක්. නමුත්, බ්ලොග් ලෝකයේදී, අපි මේවා ලියන්නේ, මෙන්න මෙහෙම දේවල් තියනවා කියලා හඳුන්වා දෙන්න පමණයි. ඒ නිසා, ඉතා සීමිත විස්තර ප්‍රමාණයක් පමණයි, ඇතුළත් කරන්නේ.    පසුගිය ලිපියේදී මා කිව්වා මතක ඇති, හමුදා ක්‍ෂේත්‍රයේ කළමනාකරණය administration in the field නිසිපරිදි සිදු නොවුණොත්, යුදබිමේ සිටින සෙබළා අමාරුවේ වැටෙන බවත්, එයින්ම යුද්ධය පරදින බවත්.

   හමුදා කටයුතු වලදී, මේ ක්‍ෂේත්‍ර කළමනාකරණය සමග තවත් විෂයයක් ඒකාබද්ධ වෙනවා. එය හඳුන්වන්නේ 'භටකාර්ය සම්පාදනය' යනුවෙන්. සාමාන්‍ය ව්‍යවහාරයේදී Logistics නමැති වචනය හමුදා කටයුතු වලදී හඳුන්වන්නේ භටකාර්ය සම්පාදනය යනුවෙන්.

   සාමාන්‍ය ව්‍යවහාරයේදී ලොජිස්ටික්ස් කියන්නේ, යම්කිසි පාරිභෝගික භාණ්ඩයක්, එම භාණ්ඩය නිපදවන ස්ථානයේ සිට, පාරිභෝගිකයා අතට පත්වන තුරු කෙරෙන, ප්‍රවාහනය/හුවමාරුව/ගණුදෙනුව/දාම ක්‍රියාව/ කියලා කියන්න පුළුවන් නේද?


   යුද්ධයේදී, මේ ක්‍රියාදාමය, ඉතා සංකීර්ණ, වගකීම් බහුල, යුද පිටියේ සිටින සෙබළ ජීවිත පිලිබඳ තීරණය කෙරෙන, යුද පිටියෙන් පිටත කෙරෙන තවත් මහා යුද්ධයක්, කිව්වට වැරද්දක් නැහැ. ඒ තරමට එය බරපතළයි. දැන් අපි දන්නවා රටේ පාලන කටයුතු සඳහා එක් එක් අමාත්‍යංශ පිහිටුවා තිබෙන බව. යුද හමුදාවේත්, ඒ ඒ විෂයයන් සඳහා අධ්‍යක්ෂ මණ්ඩල පිහිටුවා තිබෙනවා. මේ වෙලාවේ මතකයට එන ඒවා කීපයක් සඳහන් කරනවා. 

  • ක්‍රියාන්විත අධ්‍යක්ෂ මණ්ඩලය - Directorate of Operations 
  • පාබල හමුදා අධ්‍යක්ෂ මණ්ඩලය - Directorate of Infantry
  • පිරිස් පාලන අධ්‍යක්ෂ මණ්ඩලය - directorate of Personnel Administration
  • සැපයුම් සහ ප්‍රවාහන අධ්‍යක්ෂ මණ්ඩලය - Directorate of Supply & Transport
  • වෛද්‍ය සේවා අධ්‍යක්ෂ මණ්ඩලය - Directorate of Army Medical Services 
  • භට නිවාස සම්පාදන අධ්‍යක්ෂ මණ්ඩලය - Directorate of Army Quartering 
  • ඉංජිනේරු සේවා අධ්‍යක්ෂ මණ්ඩලය - Directorate of Engineer Services 
  • යුද්ධෝපකරණ සේවා අධ්‍යක්ෂ මණ්ඩලය - Directorate of Army Ordnance Services
  • වැටුප් සහ ලේඛන අධ්‍යක්‍ෂ මණ්ඩලය - Directorate of Pay and Records 
   තවත් තියනවා. දැනට ඔය මදෑ. දැන් මුලින්ම පෙනෙනවා නේද, යුද හමුදාව කොයි තරම් සංකීර්ණද කියලා. මීට පෙර මම ඔබට කියලා දුන්නා, යුද හමුදාවක් සංවිධානය වී ඇති ආකාරය. එතනදී නොකියවුණු, යුදහමුදා ආයතන ගැන, මේ ලිපියේදී කියවෙනවා. ඒ නිසයි මා කිව්වේ, යුදහමුදාව ඉතා සංකීර්ණ සංවිධානයක් බව.

   අමාත්‍යාංශයක් භාරව ඇමති කෙනෙක් ඉන්නවා වගේ, මේ අධ්‍යක්‍ෂ මණ්ඩලයක ප්‍රධානියා වන්නේ, මේජර් ජෙනරල්  වරයෙක්. (ඔන්න දැන් පේනවා නේද, හමුදාවට මෙච්චර මේජර් ජෙනරල් ලා අවශ්‍ය මොකද කියලා) සුදුසු මේජර් ජෙනරල් කෙනෙක් නැත්නම්, බ්‍රිගේඩියර් වරයකු පත්කරනවා, කාර්ය නියුක්ත පත්වීමක් ලෙස.

   හොඳයි දැන් කොහොමද මේ කළමනාකරණ/පරිපාලන සහ භටකාර්ය සම්පාදන යුද්දේ Admin & Logistic Procedure සිද්දවෙන්නේ. ඔන්න හොඳට අහගන්න. හමුදාවේ තියන කාර්ය මණ්ඩල ප්‍රධාන වශයෙන් වර්ගීකරණ තුනකට වැටෙනවා. ඒ මෙන්න මෙහෙමයි.

1 ප්‍රධාන කාර්ය මණ්ඩල රාජකාරි  = 'ප්‍ර මාණ්ඩලික'
  General Staff duties = 'G Staff'

2 පාලන කාර්ය මණ්ඩල රාජකාරි = 'පා මාණ්ඩලික'
  Administrative Staff duties = 'A Staff'

3 උපකරණ පාලක මණ්ඩල රාජකාරි = 'උ මාණ්ඩලික'
   Quartermaster Staff duties = 'Q Staff'

   මේ රාජකාරි සඳහා නිළධාරීන් පත්කරන්නේ, ජ්‍යොෂ්ඨතා අනුපිළිවෙල අනුවයි. ඒ කියන්නේ, ඉහත අංක එකේ මාණ්ඩලික රාජකාරි වලට පත්කරන නිළධාරියකුට සමාන නිළයක නිළධාරියකු, අංක දෙක හෝ තුන මාණ්ඩලික රාජකාරි සඳහා පත්කරන්නේ නම්, ඔහු අංක එක මාණ්ඩලික නිළධාරියාට වඩා කණිෂ්ඨ අයකු වනවා, හැකි සෑමවිටම. එමෙන්ම අංක එකේ මාණ්ඩලික රාජකාරි වලට අයත් වන්නේ, ක්‍රියාන්විත රාජකාරි නිසා, එම මාණ්ඩලික රාජකාරි සඳහා පත්කරන්නේ, සටන්කාරී රෙජිමේන්තුවලට අයත් නිළධාරීන්. අංක දෙක සහ තුන සඳහා පත්කරන්නේ, සටන්කාරී නොවන සහ ආධාරක සේනා වශයෙන් සැළකෙන රෙජිමේන්තු වලට අයත් නිළධාරීන්. නිත්‍ය හමුදාවේ නිළධාරීන්/සෙබළුන් මෙන්ම, ස්වේච්ඡා හමුදාවට අයත් නිළධාරීන්/සෙබළුන් ද, 'ප්‍ර මාණ්ඩලික' රාජකාරි හැර, 'පා' සහ 'උ' රාජකාරි සඳහා යොදවනවා. 

   සටන් කරන්නේ කවුද, නොකරන්නේ කවුද කියලා, මීට කලින් කියලා දුන්නා මතකද. දැන් හිතන්න එපා, පරිපාලන වැඩවලට දාන්නේ, වැඩබැරි ටාසන්ලා කියලා. එහෙම එකක් නැහැ. පරිපාලන සහ භටකාර්ය සම්පාදනය වෙනුවෙන්ම සැකසුන, රෙජිමේන්තු සහ අධ්‍යක්ෂ මණ්ඩලවල ඉන්නේ, ඒ පිළිබඳ විශේෂඥයන්. ඔවුන්, නිසි වෙලාවට, නිසි පියවර ගන්නා නිසා තමයි, සෙබළා බයනැතුව යුද්ද කරන්නේ. 

   හෑ..........ඒ කියන්නේ, යුද්ද කරන්න මණ්ඩල එකයි. පරිපාලන වැඩ වලට මණ්ඩල දෙකයි. අම්මපා ඔහොම කොහොමද යුද්ද කරන්නේ?

   ඔව් ඒක එහෙම තමා මහත්තයෝ. රොකට් එකක් හඳට යවන්න, කොච්චර ලොකු පිරිසක් මහපොළොවේ ඉඳලා වෙහෙසෙනවද? නමුත් අන්තිමට රොකට් එකේ නැගලා යන්නේ, එක්කෙනයි දෙන්නයිනේ.

   හෙහ් හෙහ්.......රොකට් යවන්න එහෙම වැඩ කලාට, යුද්දෙදි එහෙම වෙන්නේ නැහැ. ඇත්තටම වැඩි හමුදා පිරිසක් ඉන්නේ යුදබිමේ. මේ පරිපාලන කටයුතු වලට ඉන්නේ, ඊට වඩා බොහොම අඩු පිරිසක්.

   'ඉතින් මේ පිරිසත් යුද්දෙට යවන්න පුළුවන් නේ'.

   ඔක්කොමලා යවන්න බැහැ. මේ අයගෙන් සමහරු වෛද්‍ය/ඉංජිනේරු/නීතීඥ/ගණකාධිකාරී/විදුලි සහ විද්‍යුත් ඉංජිනේරු/ වැනි වෘත්තීන් පිළිබඳ, විශේෂඥ දැනුමක් තියන අය. ඒ වගේම, පාබල හමුදාවල ඉන්න අයට වගේ, සටන් කිරීමේ විශේෂ පුහුණුවක්, ඔවුන්ගෙන් බහුතරයකට ලැබී නැහැ. ඉතින්, ඔවුන් යුදපිටියට යවා, මරණයට පත්වුනොත්, අපට හොඳ වෘත්තිකයන් අහිමි වෙනවා.

   හැබැයි මෙහෙම දෙයක් කරන්න පුළුවන් කියලා මට හිතෙනවා. මේක මගේ පෞද්ගලික අදහසක්. අනිවාර්ය හමුදා නීතිය යටතේ හෝ ස්වේච්ඡාවෙන් හෝ මේ වෘත්තීන් වලට අදාළ අය හමුදාවට බඳවාගන්න පුළුවන් නම්, ඔවුන්ව මේ පරිපාලන කටයුතු වලට පමණක් යොදවා, ඒ තැන්වල ඉන්න වෘත්තීය සෙබළුන් ඉවතට ගෙන, ඔවුන්ට සටන්කාරී පුහුණුවක් දී, යුද්ධයට සහභාගි කරගන්න පුළුවන්, දෙවැනි පෙළක් ලෙස. (යුදබිමේ පසුපස ආරක්ෂාව, යුද්ධය නැති ප්‍රදේශවල කඳවුරු ආරක්‍ෂාව, විදුලිබලාගාර, රූපවාහිනී/ගුවන්විදුලි මධ්‍යස්ථාන ආරක්‍ෂාව වැනි දේට යොදවන්න පුළුවන්. ඉතා සුළු පරිමාණයෙන්, එහෙම කළ අවස්ථා තිබෙනවා, පසුගිය යුද සමයේ)

   මොකද හිතන්නේ ඒ ගැන? හොඳයි, හිතෙන දේ කියන්නකෝ. අපි යමු ඉස්සරහට.

   යුද හමුදාවේ සියලු කටයුතු කෙරෙන්නේ, යම් යම් න්‍යායන් හෝ පිළිවෙත් පදනම් කරගෙන බව, මේ අඩවියේ පළවන ලිපි කියවන ඔබ හොඳින් දන්නවා. ඉතින්, මේ යුද හමුදා ක්ෂේත්‍ර පරිපාලනය සහ භටකාර්ය සම්පාදන ක්‍රියාවලිය සිදුවෙන්නෙත්, එවැනි න්‍යායාත්මක කරුණු හෙවත්, මූලධර්ම පදනම් කරගෙනයි. මෙන්න මේවා තමයි ඒ කරුණු.

අ. ඉදිරි දැක්ම - Foresight

ආ. අරපිරිමැස්ම - Economy

ඇ. නම්‍යශීලී භාවය - Flexibility

ඈ. සරල භාවය - Simplicity

ඉ. සහයෝගීතාවය - Cooperation 

   දිග විස්තරයක් කෙටියෙන් කියනවානම් මෙහෙමයි. යුද්ධයක් ඇති කාලයක වුනත්, නැති කාලයක වුනත් ඉස්සරහට මොනවා වෙයිද කියන එක ගැන කල්පනාවෙන් ඉඳලා අවශ්‍ය පියවර ගන්න ඕනේ. හමුදාවට ලැබෙන සම්පත් හැමදාම මහා විශාල පරිමාණයෙන් ලැබෙන්නේ නැහැ. ඒ නිසා සම්පත් අරපිරිමැස්මෙන් යොදාගත යුතුයි. යුදභූමි කළමනාකරණය, නම්‍යශීලී ප්‍රතිපත්ති අනුව ක්‍රියාත්මක වියයුතුයි. සෙබලා අපහසුතාවයට පත්වන ආකාරයේ දැඩි ප්‍රතිපත්ති නොවිය යුතුයි. සැළසුම් සහ ක්‍රියා පිළිවෙත්, සරල වියයුතුයි. ඒ සඳහා මහා පරිමාන සම්පත් වැයවීම් සිදු නොවිය යුතුයි. (කොළඹ ඉඳලා යාපනේට සෙබළුන් 100 ක් යවන්න, එයාර්බස් ගුවන් යානයක් අවශ්‍ය නැහැ) යුදබිමේ තිබෙන විවිධ මූලස්ථාන සහ කඳවුරු සමග සහයෝගයෙන්, තම වැඩපිළිවෙල ක්‍රියාත්මක කළයුතුයි.

   මේ පරිපාලන කටයුතු සියල්ල පාලනය කරන ප්‍රධාන මූලස්ථානයක්, යුද බිමට ඉතා ඈතින් තියනවා. එය හඳුන්වන්නේ යුද භූමිකා මූලස්ථානය වශයෙන්. Theatre Headquarters (බෝඩ් ගහන්නේ නැහැ. හමුදාවේ දැනගතයුතු අය විතරයි දන්නේ) එහි සිට තමයි පරිපාලන යුද්දේ කරන්නේ.

   ඒ මොකද එයාලා යුධ භූමිය ලඟට එන්න බයද?

   බයක් නැහැ. නමුත් එයාලවත් යුද භූමිය ලඟට ගෙනත්, සතුරු ප්‍රහාරයකට ලක්වුනොත් අර යුදබිමේ ඉන්න සොල්දාදුවාට නේද පාඩුවෙන්නේ. ඒ නිසයි ඒවා යුදබිමෙන් ඈත්කර තබන්නේ.

   පරිපාලන සහ භටකාර්ය සම්පාදන කටයුතු සඳහා, යුද භූමිය කොටස් වලට බෙදාගන්නවා. මේවා කළාප zones වශයෙන් නම් කරනවා. පොඩි රූප සටහනකින් පෙන්වන්නම්.  

Zones

   නිකං ග්‍රීක් වගේද? වගේ තමා. මෙන්න මේකයි මේ කියන්නේ. ඔබේ වම් අත පැත්තේ සීමාවේ තියෙන්නේ, යුදබිම කියලා හිතන්න. දැන් එහි සිට දකුණු අත පැත්තට කි.මී. 100 ක් පමණ ප්‍රදේශයේ, විවිධ සැපයුම් ස්ථාන හදාගන්නවා, ඒ ඒ අවශ්‍යතා සඳහා. මේවායේ සැපයුම්, පැය 24 පුරාම සිද්ධ වෙනවා, අවශ්‍යතාව පරිදි. අවි ආයුධ, පතරොම් බෝම්බ, කෑමබීම, ඉන්ධන, වගේ දේවල්. මේ කළාපය, ඉදිරි සංග්‍රාමික කළාපය කියලා හඳුන්වනවා. දැන් ඉතින් වැරදි අවබෝධයක් ගන්න එපා, පොළොවේ ඉරි ඇඳලා, මේ දුර හරියටම ලකුණු කරලා තියනවා කියලා. මේවා සම්මතයන් පමණයි. පළමුවැනි කළාපය පළල වැඩියි. එහි ඒ තරම් කඳවුරු රාශියක් තියනවා. අනේ එව්වා කියන්න බැහැ. එව්වා රහස්. 

   දෙවැනි කළාපයේ, ඒ කියන්නේ, පසුපස සංග්‍රාමික කළාපයේ, ඊළඟට අවශ්‍යවන තොග ගබඩාකොට තබනවා. සාමාන්‍යයෙන් පැය 24 පුරා සැපයීමක් සිදුවන්නේ නැහැ. ඉස්සරහා තොග අඩුවෙනකොට යවනවා. පසුපසින්ම ඉන්නේ අර සංග්‍රාමික භූමිකා මූලස්ථානය. ඔවුන් ප්‍රතිපත්ති තීරණ අනුව, සංග්‍රාමෝපකරණ ආනයනය, පාලනය, බෙදාහැරීම, සහ අනෙකුත් පරිපාලනමය කටයුතු කරනවා. මේ කලේ හැඳින්වීමක් පමණයි.

   මේ කළාප තුළ ඇති විවිධ හමුදා කඳවුරු, ඒවා මගින් කෙරෙන දේ,  ආදිය හරිම සංකීර්ණයි. එමෙන්ම ඒවා, හමුදාවේ නොවන අය විසින් දැනගත යුතු නොවන, restricted තොරතුරු හැටියටයි සැළකෙන්නේ. ඔබ මොහොතකටවත් සිතුවාද, මේතරම් සංකීර්ණ පාලන ක්‍රියාදාමයක්, යුද්ධය සඳහා අවශ්‍ය බව. ඒ නිසයි මා නිතරම කියන්නේ, හමුදාවේ ක්‍රියා විවේචනය කරන අය නොදන්නා කරුණු රාශියක්, එහි අභ්‍යන්තරයේ සැඟවී ඇති බව. ඒ නිසයි, ඔය බොහෝ විවේචන වලදී, හමුදාව නිහඬව කරබාගෙන ඉන්නේ. හමුදාවට වෙලාවක් නැහැ (පුරුදුත් නැහැ) වාදවිවාද වලට පැටලෙන්න. හමුදාව තියෙන්නේ, හමුදා ක්‍රියා සඳහා පමණයි. වාද විවාද කිරීම හමුදා කාර්යයක් නොවෙයි. 

   මේ හා සමාන තවත් ලිපි කීපයක්, ඉදිරියේදී බලාපොරොත්තුවන්න. 

2015 නොවැම්බර් මස 29 වැනි දින 2342 පැය 

23 November 2015

හමුදා කෙතේ කළමනාකරණය (පළමුවැනි කොටස)


z_p14-Army1   හමුදා කෙත කිව්වේ...............? හමුදාවට අයිති කුඹුරකුත් තියනවද?

  ඔව්, සමහර අවස්ථා වලදී තිබිලා තියනවා. දැන්නම් තියනවාද කියලා දන්නේ නැහැ. හමුදාවට අයිති ගොවිපොළවල් පරිපාලනය කරන්නේ, ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකායෙන්. දැනටත් එවැනි ගොවිපොළ කීපයක් තියනවා. මේවා පරිපාලනය සඳහා කෘෂිකර්මය පිලිබඳ දැනුමක් සහ පුහුණුවක් ඇති නිළධාරීන්, යොදවා සිටිනවා. (එවැනි දැනුමක් ඇති අය නිළධාරීන් ලෙස බඳවාගන්නවා අවශ්‍යතාවය පරිදි)

   හැබැයි එයින් අදහස් කරන්නේ, පොදුසේවා බලකාය කරන්නේ, කෘෂිකාර්මික කටයුතු පමණක් යයි, වැරදි අවබෝධයක් ගන්න එපා. එම බලකාය, ප්‍රධාන වශයෙන් කරන්නේ, සමස්ත යුද හමුදාවේම, පෞද්ගලික ලිපිගොණු පවත්වාගෙන යාම, සමස්ත යුද හමුදාවේම වැටුප් සැකසීම, පිරිස් පාලන සහ විනය කටයුතුවලට සහාය දීම, යුදහමුදා තූර්ය වාදක කණ්ඩායම, සංස්කෘතික නැටුම් කණ්ඩායම් පවත්වාගෙන යාම, යුද හමුදා බියුගල් නලා කරුවන් පුහුණු කිරීම සහ අවශ්‍යවන පරිදි විවිධ හමුදා උත්සව සහ පෙළපාලි සඳහා අදාළ සේවය ලබාදීම වැනි රාජකාරියි.

  මෙතනදී මම හමුදා කෙත කිව්වේ, පොදුවේ 'හමුදා ක්‍ෂේත්‍රය' කියන අදහසින්. අද මා ඔබ සමග කතාකරන්නට යන්නේ, තරමක් ගැඹුරු, සාමාන්‍ය ජනතාව කිසිවිටකත් නොදන්නා, හමුදා පරිපාලනය පිලිබඳ කරුණු කීපයක්, ඉතා සරලව සහ කෙටියෙන්.

   හමුදා මාතෘකා ඉවරවෙලා නිසයි, මම දැන් වෙන වෙන මාතෘකා වලින් ලිපි ලියන්නේ කියලා හිතුනද? එහෙම නෑ අනේ. මගේ හිතේ තියන හමුදා මාතෘකා, මම මැරෙනතුරු වත් ලියලා ඉවර කරන්න බැරිවෙයි. නවීන තුවක්කු ගොඩක විස්තර හොයාගෙන තියනවා. වෙලාවක බලමුකෝ.

   හමුදාව කියන්නේ, වෙඩි තියපන් කිව්වම වෙඩි තියන, මරපන් කිව්වම මරණ, කිසිදු හිතක් පපුවක් නැති, මැරීම හැර වෙනත් කිසිවක් නොදන්නා පිරිසක් යයි, මේ 21 වැනි සියවසේදීත් සිතා සිටින උන්නැහේලා වෙත, අපගේ අනුකම්පාව, මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. 

   මේ විෂයය ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ, 'Administration in The Field' යනුවෙන්. 'යුද බිමේ කළමනාකරණය'  කියලා සිංහලෙන් කියන්න පුළුවන්. මෙය ගැඹුරු විෂයයක් මෙන්ම, විශේෂඥ පුහුණුවක් ලැබියයුතු විෂයයක්. මේ විෂයයට අදාළව විදේශීය පුහුණු පාඨමාලා වලට පවා, අපේ හමුදා නිළධාරීන් යොමු කරවනවා. 

   යුද පිටියක කළමනාකරණය සහ පරිපාලනය හරියට නොවුනොත්, සෙබළා අසරණ වෙනවා, අතරමං වෙනවා, යුද්දේ පරදිනවා. යුද්ධයට ගියාම සෙබළාට අත්‍යවශ්‍යම දේවල් මොනවද?

   අඛණ්ඩ පතරොම් සැපයුමක් තියෙන්න ඕනේ. වෙඩිතැබීමේ ක්‍රියාව, දීර්ඝව, නොකඩවා, කරගෙන යන්න වෙන අවස්ථා බොහොමයි. ඒ වෙලාවට පතරොම් සැපයුම අඩාල වුනොත්, කපෝතියි.

   පිටේ තියන මල්ලට දාගෙන ඉන්න, වියළි ආහාර සළාක පැකට් වල තියන දේවල්, කන්න පුළුවන් තත්වයේ හොඳ ආහාර වියයුතුයි. එම සලාක ඉවරවෙන්න කලින් අලුත් සැපයුම් ලැබිය යුතුයි.

   සටනේදී පුදුම වතුර තිබහක් එනවා. වතුර ඉතා පරිස්සමෙන් පාවිච්චි කළත්, වතුර හොයාගන්න අමාරුනම්, වතුර සැපයුමක් (සොල්දාදුවන් වතුර ගෙනියන ඇලුමිනියම් බෝතල් නැවත පුරවා දීමක්වත්) තිබිය යුතුයි.

   ප්‍රථමාධාර සහ හදිසි අවස්ථා ආධාර සෑමවිටම සක්‍රියව තිබිය යුතුයි. තවත් දේවල් තිබුනත් මේ තමයි අත්‍යවශ්‍යම දේවල්. මේවා නිසිපරිදි කළමනාකරණය ඉතා සැලකිල්ලෙන් හා දැඩි සංවිධානාත්මක බවකින් යුක්තව කළයුතුයි. ඒ සඳහා තමයි ක්‍ෂේත්‍ර පරිපාලනය පුහුණු කරන්නේ. 

   මා ඔබට මීට පෙරදී ද කීප වතාවක් කියා ඇති, ශ්‍රී ලංකා යුද හමුදාවේ, (පොදුවේ ලෝකයේ බොහෝ යුද හමුදාවල) නිළධාරීන් විසින්, අනිවාර්යයෙන් සමත්විය යුතු විභාග දෙකක් තිබෙන බව. ඒ තමයි, ලුතිතන් නිළයේ සිට කපිතන් නිළයට උසස් කිරීමේ විභාගය සහ, කපිතන් නිළයේ සිට මේජර් නිළය දක්වා උසස් කිරීමේ විභාගය. වෙනත් විභාග නැහැ. ඉන්පසු උසස්වීම් ලැබෙන්නේ, ජ්‍යොෂ්ඨත්වය/කුසළතාවය/දක්ෂතාවය අනුවයි.

   මෙම විභාගය, න්‍යායික සහ ප්‍රායෝගික වශයෙන්, කොටස් දෙකකින් පැවැත්වෙනවා. ඇත්තටම හොඳ සූදානමක් නැත්නම්, බොහොම අමාරු විභාග දෙකක්. (ඈ, ඔව් ඔව්, ටැබා හෙවත් ඥානපටි ගහනවා, හෙමින් කතා කරමින් ආධාර ලබාගන්නවා. සමහර විභාග පරීක්‍ෂක වරු, ඒ කාලේ පොඩි අනුකම්පාවක් කළා, සමහරු, යුද භූමියේ සිටිමින්, පොතක් පතක් අල්ලන්නවත් වෙලාවක් නැතුව ඉඳලා, කෙළින්ම විභාගෙට ආව අය නිසා)

   යුද න්‍යාය, පරිපාලනය, යුද හමුදා නීතිය, කාලීන තොරතුරු (current affairs) යන ප්‍රශ්න පත්‍ර හතරට අමතරව, යුද න්‍යාය යටතේ, ප්‍රායෝගික පරීක්‍ෂණයකට මුහුණ දෙන්න සිදුවෙනවා. භූමියේ තෝරාගත් යම්කිසි ස්ථානයකට ඔබව ගෙනගොස්, ඔබට ලබාදෙන ලිඛිත විස්තරයක් අනුව, තනියම යුද සැලැස්මක් සකසා, සිතියමක් ඇඳ, එම භූමියේ අදාළ තැන් පෙන්වමින්, එය පරීක්ෂණ මණ්ඩලය වෙත විස්තර කළයුතු වෙනවා. එම මණ්ඩලයේ සිටින, ජ්‍යොෂ්ඨ/පළපුරුදු නිළධාරීන් නගන ප්‍රති තර්ක වලට, සාර්ථක පිළිතුරු දෙන්නට වෙනවා. ගුවන්විදුලි පණිවිඩ හුවමාරු යන්ත්‍රයක් නිවැරදිව පාවිච්චි කරමින්, පණිවිඩ හුවමාරුවේ යෙදෙන්නට වෙනවා. පරීක්‍ෂණයට මුහුණ දුන් අය, ඊළඟට පරීක්‍ෂණයට මුහුණ දීමට සිටින අයව මුණගැහෙන්නට නොහැකිවන ආකාරයට, වෙන් කරනවා. මේ ප්‍රායෝගික පරීක්‍ෂණයේදී නම්, කිසිම අනුකම්පාවක් නැහැ. උත්තර වැරදි නම් අසමත් කරනවා.

   මම පෙන්වන්නම්, 1993 දී, මම මේ ප්‍රයෝගික පරීක්‍ෂණයට මුහුණ දුන්න ආකාරය. මේ පරීක්‍ෂණය තිබුණේ, මහනුවර - යාපනය A 9 මාර්ගයේ, තිරප්පනේ ප්‍රදේශය ආශ්‍රිතව. කපිතන් සිට මේජර් දක්වා උසස් කිරීමේ පරීක්‍ෂණයට අදාළවයි මේ ප්‍රායෝගික පරීක්ෂණය තිබුණේ. තිරප්පනේ ප්‍රදේශයේ තියනවා, තරමක් විශාල ගල් කන්දක පිහිටි, පැරණි විහාරස්ථානයක්. එම විහාරස්ථානයේ නම, තලගුරු රජමහා විහාරය. මෙන්න මේ විහාරස්ථානය අසළ කන්දේ එක්තරා තැනක, හමුදා කඳවුරක් ඇතැයි උපකල්පනය කරමින් තමා, මෙම අභ්‍යාසයේ යෙදෙන්නේ.

   මට ලබාදුන් සංග්‍රාමික තොරතුරු පත්‍රිකාවේ, (narrative) විස්තර කර තිබුණා, LTTE සාමාජිකයන් 20 ක පමණ පිරිසක්, දැනට අප සිටින ස්ථානයේ සිට කිලෝමීටර් කීපයක් ඈතින් වනගතව පිහිටි  නිවසකට පැමිණෙන බවත්, T 56, ක්ලේමෝ බෝම්බ, බෝම්බ විදින පිස්තෝල, RPG, GPMG, වැනි අවි වලින් සන්නද්ධව යම්කිසි විනාශකාරී ක්‍රියාවක යෙදීම සඳහා, අහවල් දින, අහවල් වෙලාවට, පැමිණෙන බවත්, ඔවුන් පැය 48 ක පමණ කාලයක්, එහි රැඳී සිටීමට ඉඩ ඇති බවට, ඔත්තු කරුවකු මගින් තොරතුරු ලැබී ඇති බවත්, මට භාරදෙන කාර්යය (mission) වන්නේ, ඔවුන් සියලුදෙනා වනසා දැමීම බවත්, ඒ සඳහා මට එම LTTE සාමාජිකයන් සතු අවි වලට සමාන, ඊට වඩා අවි ප්‍රමාණයක් සහිත, 75 ක පමණ හමුදා භට පිරිසක් ලබාදෙන බවත්, මීට අමතරව, අසළ පිහිටි, ගල්කුලම ප්‍රදේශයේ, යුද ටැංකි තුනක් සූදානමින් රඳවා ඇති බවත්, ඒවා මට අවශ්‍ය පරිදි යොදාගතහැකි බවත්, ඊටත් අමතරව, සාලියපුර යුද හමුදා කඳවුරේ සිට, මා ඉල්ලාසිටින ඕනෑම අවස්ථාවක, අපේ යුද හමුදාව සතු විශාලතම කාලතුවක්කුව වන, මිලි මීටර් 130 කාලතුවක්කු වෙඩි සහාය දෙන බවත්, ඒ අනුව සිතාබලා, පැයක පමණ කාලයක් තුළ, මගේ ප්‍රහාරක සැළැස්ම හදා පෙන්වන ලෙසත්.  මෙන්න ඒ විස්තරේ මම පින්තූරෙකට නැගුවා. 

Screenshot (19)

   අප්පොච්චිගෙ පප්පේ............ඉතිං මොකෑ කොරන්නේ. මීට වඩා හොඳයි, මාව කාලතුවක්කුවකට දාලා වෙඩි තිබ්බනම්, යන ලෝකෙකට යන්ඩ. පොහ්...........දැන් ඉතිං හදපියකෝ මයිනා වගේ ඉඳගෙන සැළැස්මක්. එව්වා කොහෙද මාත් එක්ක. මම විභාගෙට ආවේ පාස්වෙනවා කියලා දැඩි අධිෂ්ඨානයකින්. නිළ ඇඳුමේ පිටේ තිබුණු මල්ලෙන් ගත්තා, වතුර බෝතලේ. බිව්වා උගුරු දෙකක්. ඇයි අප්පේ, තොලකට වේලිලා ගියා අර විස්තරේට. අර විස්තරේ නැවත අතට අරන් කියවන ගමන්, වැදගත් කරුණු ලකුණු කරගත්තා වෙනම කොලේක. හැදුවා සැළැස්ම මෙන්න මේ විදිහට.

Screenshot (19a)

   හොඳයි, දැන් මම මේ සටහන විස්තර කරන්නම්, ඉතා කෙටියෙන්. මුලින්ම කියන්න තියෙන්නේ, ගූගල් සිතියම මත මා ඇඳ තිබෙන දේවල්, පරිමාණය අනුව ගැලපීමක් කර නැහැ. විස්තර කිරීම සඳහා ඇන්දා පමණයි. 

   මම මෙහිදී යොදාගන්නේ, Block & Assault නමැති යුද න්‍යායයි. ඒ කියන්නේ එක පැත්තකින් සතුරාට පහරදෙන අතර, එම ප්‍රහාරයේදී, සතුරා පැනයනු ඇතැයි සිතන ප්‍රදේශයේ, තවත් හමුදා කණ්ඩායමක් යොදවනවා, පැනයන සතුරාව සමූලඝාතනය කරන්න. බලන්න මම මගේ භට පිරිස Assault සහ Block වශයෙන් කොටස් දෙකකට වෙනකොට තිබෙනවා. හැකිතරම් කැලෑව පාවිච්චි කරමින්, සැඟවෙමින් පයින්ම ඉලක්කය වෙත ගමන් කරනවා. (ලිපිය දිග වැඩිවන නිසා, ඒ ඒ පියවර අනුව කාලය, ගෙනයන අවි, ප්‍රහාරය ආරම්භ කරන වෙලාව වැනි දීර්ඝ විස්තරයක්, නොකියා අතහරිනවා මෙතනදී)  මේ ප්‍රහාරය එල්ල කරන්නේ රාත්‍රී කාලයේදීයි.

   බලන්න, මම Assault පිරිස ස්ථානගත කරතිබෙන්නේ L අකුරේ හැඩයට. ඒ කියන්නේ, ප්‍රහාරය දෙපැත්තකින් එල්ල වෙනවා. සතුරා පැනයනවා නම්, බොහෝදුරට උත්සාහ කරන්නේ, Block එකට පසුපසින් ඇති පාරට යන්නයි. මම, Block එක, ආසන්න වශයෙන් අඩ කවයක ආකාරයට යොදවා තිබෙන්නේ, පැනයන සතුරන්, ඒ මකර කටට ඇතුළු කරවා ගන්නයි. මෙතනදී මම Assault එක සඳහා 50 ක් පමණ පිරිසකුත්, Block එක සඳහා 25 ක් පමණ පිරිසකුත්, යොදාගන්නවා. (අනේ......... තරහ ගන්න එපා. මේ කියන්නේ යුද්ධ කරන හැටි. ඉතින් මරණ හැටි කියන්න වෙනවා)  

   කහපාට කුඩා ඊතල වලින් පෙන්වන්නේ, ප්‍රහාරය එල්ල කරන දිශාවයි. දැන් ඔබ කවුරුහරි කියන්න පුළුවන්, 'ඉතින් Assault පිරිසයි, Block පිරිසයි වෙඩිතියාගන්න ඒවා, ඒගොල්ලන්ටම වදිනවනේ' කියලා. අන්න ඒ නිසා තමයි මම මුලින්ම කිව්වේ, මේ සිතියම පරිමාණයකට සකසා නැහැ කියලා. ප්‍රායෝගිකව ඒ කණ්ඩායම් දෙක ඉන්නේ එකිනෙකාට මීටර් 800 ක් විතර ඈතින්. ආරම්භක ස්ථානයේ පිටත්වී ක්‍රියාන්විතය අවසන් කොට, සතුරාගෙන් අත්පත් කරගත් දේවල් ඇත්නම් ඒවාත් රැගෙන, අපේ මියගිය/තුවාල ලද අයවළුන්වද රැගෙන, අවසානය යනුවෙන් සඳහන් ස්ථානයටයි යන්නේ.

   ගිය පාරේ ආපහු නොඑන්න හැමවිටම උත්සාහ කරනවානම් හොඳයි. සතුරන් අපි නොදන්නා පිරිස් යොදවා තිබෙන්නත් පුළුවන්. බලන්න අවසානය කියන තැන පාරේ හන්දියක් තියනවා. අපි එතනට රහස් නමක් දෙනවා, මෙවැනි ක්‍රියාන්විතයකදී, අපි හිතමු ඒ නම 'කොල්ලුපිටිය' කියලා. ක්‍රියාන්විතය ඉවර කරලා කෙලින්ම ඇවිත් අර පාරට ගොඩ වෙන්නේ නැහැ. ඒ අසල කැලයේ හැංගිලා ඉඳගෙන රේඩියෝ එකෙන් කියනවා, 'අපි කොල්ලුපිටියට ආවා, අපිට අහන්න සිංදුවක් දාන්න' කියලා. මොකක්ද මේ සින්දුවක් දාන්න කියන්නේ? ඒකත් ක්‍රියාන්විතයට කලින් යොදාගන්නා, රහස් යෙදුමක්. ඒ කියන්නේ, අපිට එන්න වාහන, අර හන්දියට එවන්න කියලා. කොහොමද ටිකිරි මොළේ?  ඇයි මෙහෙම රහස් වචන පාවිච්චි කරන්නේ? අපි ළඟ කොච්චර හොඳ පණිවිඩ හුවමාරු උපකරණ තිබුණත්, අපි සෑමවිටම හිතන්නේ, සතුරා අපේ පණිවිඩ හුවමාරු වලට ඇහුම්කන් දෙනවා කියලයි.

   කෝ දැන් අර විස්තරයේ තිබුන කාලතුවක්කු සහ යුද්ධ ටැංකි පාවිච්චි කරලා නැහැනේ? මොකද ඒ? අනේ අනේ, මාව අන්නවන්ඩ නේ එව්වා දෙන්ඩ හැදුවේ. එව්වට අහුවෙනවද මම? දැන් මගේ අරමුණ මොකක්ද? 20 ක් විතර ඉන්න සතුරු කණ්ඩායම, එකෙක් නෑර සහමුලින් විනාශ කිරීම. මම යුද්ධ ටැංකි තුන අරන් යනවා කියලා හිතමු. මොකද වෙන්නේ? යුද්ධ ටැංකිවල සද්දේ ඇහුන ගමන්, උන් කැලයේ විසිරෙනවා. RPG තියාගෙන රැකගෙන ඉන්නවා, යුද්ධ ටැංකි ලඟට එනකල්. ඉඳලා දීලා අදිනවා RPG වලින්, ටැංකි තුනම උඩුකුරුඤ්ඤං වෙන්ඩ, අර 'ලේ බොන්නා' කියලා තිබුණා වගේ.  මෙන්න මෙතන තියනවා, තත්පර 56 ක් විතරක් යන වීඩියෝ එකක්. බලන්ඩකෝ ටැංකියකට RPG පාරක් වැදුනම වෙන දේ.



   සනීපයි නේද? අර මට දෙනවා කිව්වා යුද්ධ ටැංකි, අර අපිව ආපහු අරන් යන්න එන වාහනවල ආරක්ෂාවට එව්වා නම් හොඳයි.

   එතකොට කාලතුවක්කු? හරි, මිලිමීටර් 130 කාලතුවක්කුවෙන් එවන බෝම්බයක් වැදුනොත්, මීටර් 150 ක විෂ්කම්බයක් තුළ තිබෙන දේවල්, විනාශ වෙනවා. ඉතිං දෙයියනේ, කොයි සැක්කරයාටද පුළුවන්, පළවෙනි වෙඩිල්ලම උන්ගේ ඔලුවට යවන්න. වැරදුනොත් මොකෑ වෙන්නේ? අරුන් පැනලා යනවා. භයානක සතුරු කණ්ඩායමක් විනාශ කරන්න තිබුණු, දුර්ලභ අවස්ථාවක් මගහැරෙනවා. ඔන්න ඔය කරුණු ටික කියලා, මම පරීක්‍ෂණ මණ්ඩලේට කිව්වා, 'අනෙ අම්මෝ මට එව්වා එපා, පරිස්සං කොරලා තියාගන්ඩ' කියලා. මම පරීක්‍ෂණයෙන් සමත්වුණා.

   පසුගිය කාලයේ යුද්ධය පවතිද්දී, මේ විභාගවලින් සෑහෙන දෙනෙක් අසමත් වුණා. නමුත් දෙවැනි අවස්ථාවේදී ඔවුන් සමත්වුනා. ඒ වෙනුවෙන් වෙනම පුහුණු පාඨමාලා, හමුදාව විසින්ම පවත්වනු ලැබුවා. (අපොස සාමාන්‍ය පෙළ/උසස් පෙළ වගේ, මේ විභාගයේදීත්, අසමත්වන විෂයයන් සඳහා ඊළඟ වසරේදී පෙනීසිටින්න ඉඩ දෙනවා. නමුත්, නිළධාරියකුට, ලුතිතන් නිළයේ සිටිය හැකි උපරිම වයස් සීමාව, අවුරුදු 45 යි. ඊට පෙර, කපිතන් දක්වා උසස් කිරීමේ පරීක්‍ෂණය සහ/හෝ වාර්ෂික ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වන්නට නොහැකි වුණොත්, ඔහුට/ඇයට හමුදාවෙන් ඉවත්වන්න සිදුවෙනවා. ඒ විදිහටම, විභාගය සමත් නොවී/ ශාරීරික යෝග්‍යතාව සමත් නොවී, කපිතන් නිළයේ සිටිය හැක්කේ, අවුරුදු 50 දක්වා පමණයි) හමුදාව දුකයි සුදෝ. 

   ඉතින් මේ විභාග දෙකේදීම, Admin in the Field ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන්න සිදුවෙනවා. මේ සඳහා අදාළ පෙළපොත්, යුද හමුදාව විසින්, නිළධාරීන් වෙත නොමිළේ නිකුත් කරනවා. ඒවා පාවිච්චි කර, සුරක්ෂිතව නැවත බාරදිය යුතුයි. නැතිවුනොත්, විනයානුකූලව ක්‍රියා කරනවා. එම පොත්, පරිපාලනයට අදාළව පමණක් නොව, සංග්‍රාමික උපක්‍රම, අවි පරිහරණය, වැනි සියලුම අංශ සඳහා, සකසා තිබෙනවා. ඒ සෑම විෂයයකින්ම ප්‍රශ්න පත්‍ර ලැබෙනවා විභාගයේදී. එම පෙළ පොත්, යුද හමුදා රහස්‍ය ලේඛන හැටියටයි සැලකෙන්නේ. එබැවින්, මේ ලිපිය ලිවීමේදී, මට ඔබවෙත නිරාවරණය කරන්න ලැබෙන්නේ, සීමිත කරුණු ප්‍රමාණයක් පමණයි. 

   දෙයියනේ................ වචන 1600 ත් පැනලා. දැන් මම මොකද්ද කියන්න අවේ, අන්තිමට මොකද්ද කියලා තියෙන්නේ? හරියන්නෑ මේ වැඩේ. මටත් මේ ලෙඩේ බෝවුනේ, හැලපතුමාගෙන් සහ රවීතුමාගෙන් කියලයි මට හිතෙන්නේ. හරි හරි, ඊළඟ කොටසේදී නියමෙට බහිමු, කෙතේ පාලනේට.

2015 නොවැම්බර් මස 23 වැනි දින 0012 පැය



16 November 2015

ගුරුවරුන්ට තහනම්........!

qw
බස්නාහිර මහ ඇමතිතුමා කියනවා ගුරුවරියන්ගේ බුරිය පෙනෙන ලෙස ඇඳුම් ඇඳීම තහනම් කියලා. නැටුම් වලදී සිසුවියන්ගේ බුරිත් එපාලු. ඌව මහ ඇමති කියනවා, ගුරුවරුන්ට පාසල් වෙලාව තුළ, ජංගම දුරකථන පාවිච්චිය තහනම්ලු. පාවිච්චි කළොත් මාරුවීමක් දෙනවලු.

   ඉතුරු පළාත්වල මහා ඇමතිතුමන්ලාත්, දැන්ම තම තමන්ගේ තහනම් නියෝග ටික ගුරුවරුන්ට දුන්නානම් හොඳයි. එතකොට අධ්‍යාපන අමාත්‍යංශයට පුළුවන්, ඔය ඔක්කොම නියෝග එකතු කරලා, සහිඳ ලුණු, සීනක්කාරම්, ගොරෝචන, කුංකුමප්පු, ගල් නහර, අතිවිඩයන්, ආදී මෙකී නොකී දේත් එකතුකොට, පත අට එකට සිඳවා, සියලුම ගුරුවරුන් එක පෙළට සිටුවා, ඔවුන්ගේ කටට එම කසාය වක්කොට, අනුපානය ලෙසින්, ඒ ඒ මහඇමති තුමාගේ සුළුදිය ස්වල්පයක් එකතුකොට, දෙහි ඇඹුල්, සීනි මීපැණි දමා, බොන්නට දෙන්න.

   ඒ වගේම අනික් පළාත්වල මහ ඇමැතිවරුත්, ඉක්මනින්ම තම තමන්ගේ 'ගුරු තහනම් නියෝග' එළිදක්වනවා නම් හොඳයි. එතකොට ගුරුවරුන්ට පුළුවන් තහනම් නියෝග අඩු පළාතකට මාරුවක් ගැනීම සඳහා, අර නියෝග වල සඳහන් වැරදි වැඩ ටිකක් කරන්න. මෙන්න උදාහරණ; උතුරු පළාතට එන ගුරුවරියන්, අනිවාර්යයෙන් නළලේ තිලකය තබා, කොණ්ඩයේ මල් ගවසා පැමිණිය යුතුයි. නැගෙනහිර පළාතේ ගුරුවරියන්, පර්දාව පැළඳිය යුතුයි, දකුණු පළාතේ ගුරුවරුන්, මාතර භාෂාවෙන් කතාකල යුතුයි, සබරගමු පළාතේ ගුරුවරුන් බුලත්විට කෑ යුතුයි. 

   මට හිතෙන්නේ ඔය කොණ්ඩයා වගේ එවුන් හැදෙන්නේ, ඔය ගුරුවරියන්ගේ බුරිය දැකලා. සිසුවියන් නටනකොට බුරිය දැකලා. නැත්තං ඔය වගේ වල් වනචර දේවල්, ආයේ අපේ ටී වී චැනල් වල පෙන්නනවා කියලයැ. ඒවායේ පැය 24 ම පෙන්නන්නේ, ආගමික සහ සදාචාර වර්ධන වැඩසටහන් නේ. කී දෙනෙක් නම් මේ වෙනකොට සෝවාන් ඵලයට ඇවිත් තියනවද, ඔය ටී වී චැනල් බලලා. ඒ උතුම් මෝක්‍ෂ මාර්ගයට යන අපේ මිනිස්සුන්ව කන්ඩ ආපු, තන්හා රතී රඟා වගේ, මාර දූවරු පිරිසක් තමයි, ඔය ගුරුවරියෝ. මහා චිංචිමානවිකාවෝ ජාතියක් උන්. අම්මපා උන්ව බුරියෙන් එල්ලන්න ඕනේ ප්‍රසිද්ධියේ. හොඳම තැන ඉස්කෝලේ පිට්ටනිය. එතනට ගෙනිහින් තමා ඕකුන්ව බුරියෙන් එල්ලන්න ඕනේ.  

Obe Theeraya   දැන් ඔය පාසල්වල ඉන්නවා වැඩිහිටි ගුරුවරියෝ. ඒ ගොල්ලෝ තරුණ කලේ තිබුණේ 'ඔබේ තීරය' විතරයි. ඔබේ තීරය අඟල් 8 ක් තිබුණත්, ඒ කාලේ හිටිය (මහ ඇමති කියන සත්ව කොට්ඨාශය ඒ කාලේ හිටියේ නැහැ) අධ්‍යාපන ඇමතිවරු, පළාත නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ඒ ගුරුවරියන්හේ ඔබේ තීරය අතින් පහළට ඇදලා, කොට කරන්න ගියේ නැහැ. ගුරුවරියන් දණගස්සන්න ගියේ නැහැ. ඒ මැති ඇමති වරුන්ට, රට වෙනුවෙන් කරන්න දහසකුත් එකක් වැඩ තිබුණා.

   මට මතක් වෙනවා, අපි කුඩා කාලයේ, කෑගල්ලේ කෑගලු බාලිකා විද්‍යාලයේ, විදුහල්පතිනිය වශයෙන් ක්‍රියාකළ, ඉතාම ආදර්ශවත් විදුහල්පතිනියක් ලෙස හැඳින්විය හැකි, අනුලා උදලාගම මැතිනිය. එතුමිය පාසලට අඳින්නේ නිල් පැහැති ඔසරියක් නම්, (එතුමිය ඇන්දේ ඔසරි) එතුමියගේ තොල් ආලේපන, නියපොතු ආලේපන, අත් බෑගය, මාලය, සෙරෙප්පු, ඔක්කොම නිල් පාටයි. නමුත් ඒ සියල්ල, සරල සහ චාම් විදිහට තිබුණා. විශේෂ කැපී පෙනීමක් නැහැ. නමුත් ඒ විදුහලේම, ඒ කාලයේම සේවය කළ වෙනත් ගුරුවරියන්, එහෙම ඇන්දෙත් නැහැ. එයට තහනමක් තිබුනෙත් නැහැ කියලා, ඒ කාලයේ ඒ පාසලේ ඉගෙනගත්, මගේ අක්කලා තුන්දෙනාත් ඒ පාසලේ සේවය කළ, සමකාලීන ගුරුවරියනුත් (ඒ පාසලේ සේවය නොකලත්, ගුරුවරියක වූ, මගේ මවගේ සමකාලීන ගුරුවරියන්) කියනවා, මම අහලා තියනවා. ඒ කාලයේ ඒ පාසලේ ගුරුවරියක ලෙස සේවය කළ, සුප්‍රසිද්ධ සිනමා නිළි, තලතා ගුණසේකර මහත්මියවත්,  (සිනමා/රූපවාහිණී නිළි, නදීකා ගුණසේකරගේ මව) ඒ ආකාරයට විලාසිතා සහිතව අඳිනු මා දැක නැහැ. (පාසලේ වාර්ෂික ක්‍රීඩා උළෙලේදී හෝ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේදී හැර)

   ඒ කාලෙත් කොල්ලෝ කෙල්ලෝ ලව් කළා, දැන් වගේ SMS, Chat, Skype, Viber, නොතිබුන නිසා, ලියුම් ලිව්වා, පිචෑර්ස් බැලුවා, බලන ගමන් රසපහස වින්දා, පැනලා ගියා, විවාහ වුනා, පන්සලේ මල්වට්ටි වෙන්දේසිය දවසෙත් රස පහස වින්දා. ඒ මොකද කිව්වොත්, එදත් අදත් ඉන්න කොල්ලෝ කෙල්ලෝ කියන්නේ, අනිකුත් මිනිසුන් වගේම, ලේ මස් ඇට නහර සහ හොඳ මනසක් තියන ජීවීන් කොට්ඨාශයක් නේ. උන්ගේ කලවයස එනකොට, චර්යාව වෙනස්වෙනවා. කොයි ජගතාටවත් බැහැ ඒවා සම්පූර්ණයෙන් නවත්තන්න.

   සමහර උන්නැහේලා හිතන්නේ, එක වරදක් දැක්කම ඒකට නීතියක් දානවා, ඒ වරද වෙනත් විදිහකට කලාම, ඒකටත් නීතියක් දානවා කියලා. මෙහෙම නීති දදා ඉන්න ගියොත්, අන්තිමට නීති විතරයි ඉතුරුවෙන්නේ. මිනිස්සු ඉතුරුවෙන්නේ නැහැ කියලා, මේ අමන මරි මෝඩ තකතීරු උන්නැහේලට තේරෙන්නේ නැහැ. අනේ මන්දා මුන්නැහෙලා පුංචි කාලේ, කොස් ගස් යට කොස් ඇට ගණන් කර කර ඉඳලා, ලංකාවේ ලේසිම රස්සාව වන දේශපාලනය තෝරාගෙන තියනවා කියලයි මටනම් හිතෙන්නේ. 

   බුරි ප්‍රශ්නය ගැන වෙනත් අඩවි කීපයකම ලියවුන නිසා මම ඒ ගැන වැඩිදුර කතාකරන්නේ නැහැ. නමුත් මෙන්න මේ ටික කිවයුතුයි. බුරි තහනම දැමූ මහ ඇමතිතුමා හිතනවාද, ගුරු බුරිය නිසා තරුණ සිසුන් නොමග යනවා කියා? ගුරු බුරිය නිසා සභ්‍යත්වයට හානිවූ අවස්ථා, උදාහරණ ලෙස දැක්වීමට එතුමාට හැකිද? අඩි උස සපත්තු දැමීම නිසා හෝ, ස්වභාවයෙන්ම පිහිටි නාරි ලාලිත්‍යය නිසා වැනෙන, ගුරුවරියකගේ නිතඹ නිසා, තරුණ සිසුන් නොමග යන්නේ යයි, මහ ඇමතිවරයා තවම උපකල්පනය කර නැද්ද? එසේ උපකල්පනය කර ඇත්නම්, ඒ සඳහා විසඳුම ලෙස, එවැනි ගුරුවරියන්ගේ නිතඹ වෑයක් මගින් රැහීම කළයුතුයැයි සිතන්නේද?

   ළමයා දවසේ පැය කීයක්ද ගුරුවරිය දකින්නේ. ඉතුරු පැය ගණනේ දී, බාහිර සමාජය තුළ, ළමයා දකින දේවල් ගැන, මහ ඇමෑත්ත තුමාට අවබෝධයක් තිබේද? මට මෙහෙම දේකුත් හිතෙනවා. දැන් ඉන්න වැඩිහිටි ගුරුවරියන් තුළ, යම් සියුම් වේදනාවක්, ඊර්ෂ්‍යාවක්, ඇතිවෙනවාද දන්නේ නැහැ, අද ඉන්න තරුණ ගුරුවරියන් අඳින පළඳින විදිහ දැකලා, 'අනේ අපිට බැරිවුනානේ මෙහෙම අඳින්න' කියලා. ඉතින් ඒ නිසා, මේ නීති ගෙන ඒමට, ඔවුන් විශාල දායකත්වයක් දෙනවාදෝ කියා හිතෙනවා. 

   දැන් බලමු මේ 'ටෙලිෆෝනියාව' ගැන. 

   ඌව මහ ඇමති තර්ජනය කරනවා ගුරුවරුන්ට, පාසල් කාලය තුළ ජංගම දුරකථන පාවිච්චි කරලා අහුවෙන්න එපාලු. මාරුකරනවාලු වෙන කොහාට හරි. ඉතින් ඌව පළාතේ ඉන්න ඔක්කොම ගුරුවරු, පාසල් වෙලාව තුළ, ළමයින්ගේ අධ්‍යාපනයට බාධාවක් නොවන පරිදි, ජංගම දුකථන පාවිච්චි කළොත්, ඒ ඔක්කොම ගුරුවරු මාරුකර යවන්නේ, මහ ඇමෑත්ත තුමාගේ ...........ද?  ජාතික පාසල් මහ ඇමෑත්ත තුමාගේ පාලනයෙන් තොරයි නේද? එතකොට රටේ අධ්‍යාපන ඇමති කිව්වොත්, ජාතික පාසල්වල ගුරුවරුන්ට ජංගම දුරකථන පාවිච්චි කලහැකියි, නමුත්,  ජංගම දුරකථන පාවිච්චි කළහැක්කේ, ගුරු විවේකාගාරය තුළ පමණයි කියලා, ඌව මහ ඇමෑත්ත තුමා මොකෑ කොරන්නේ?

   අපේ රටේ අතීතයේ පටන්, නිතර නිතර වෙනස්වන, විවිධ නීති රීති වලට, පහසුවෙන් යටත් කරගන්නා, අමුතුම සත්ව කොට්ඨාශයක් තමයි, ගුරුවරු කියන්නේ. ඔවුන්ගේ පූරුවේ කරුමය කොතෙක් මහතදැයි කිවහොත්, හෙදියන්ට, වෛද්‍යවරුන්ට, බස් කොන්දොස්තරලාට, ධීවරයන්ට, තිබෙන ආකාරයේ, හොඳ බලසම්පන්න වෘත්තීය සමිති එකක්වත් ඔවුන්ට නැත. එයට එකම හේතුව, මේ සත්ව කොට්ඨාශය තුළ, සමගිය නමැති, උසස් ගති ලක්ෂණය දකින්නට නොමැතිවීමයි. තමන්ගේ උපාධිය, විෂයය, වර්ගය, පන්තිය, වැනි අටෝරාසියක් ප්‍රාථමික ලක්‍ෂණ නිසා, ඔවුහු, භේද භින්න වී සිටීම ම, මේ සත්ව සමූහය, දේශපාලුවන්, අධ්‍යාපන නිලධාරීන්, විසින් ඔවුන්ව පහසුවෙන් දැක්කීමට පිටිවහලක් කරගෙන තිබෙන බව, ඔවුහු තවමත් අවබෝධ කරගෙන නැත්තේය.

   සමහරවිට, මේ බුරි නීති, ටෙලිෆෝන් නීති දාන මහ ඇමෑත්ත වරු, අධ්‍යාපන සංවර්ධනය යනුවෙන් විෂයයක් තම වගකීම යටතේ ඇති බව, වැරදීමකින්වත් අසා ඇද්ද යන්න සැක සහිතය. පහසුම රැකියාව වන දේශපාලනය තුළින්, මහ ඇමැතිකමට එන්නට පෙර, කොස් ඇට අහුලා කා ජීවිතය රැකගත් එකා, 'අත්ලට සිඟාවත් රස නැති කැවිලි කකා' කවිය අසා නැතුවාදෝ යි සිතේ.  නීති පනවා අධ්‍යාපන සංවර්ධනය ඇති කල නොහැකි බවත්, ගුණාත්මක අධ්‍යාපන සංවර්ධනය යනු විශාල බුද්ධිමතුන් පිරිසකගේ සාමූහිහ දායකත්වයකින් මෙන්ම ප්‍රයත්නයකින් සහ, ගුරුවරුන් තුළ පෙළඹවීමක් ඇති කිරීමෙන් කළයුතු, මහා ව්‍යායාමයක්ය යන්න, මුන්නැහේලා නොදන්නා බව, මෙවැනි අමනෝඥ ප්‍රකාශ වලින්ම හෙළිවෙයි.

   දුෂ්කර ප්‍රදේශවල තිබෙන පාසල්වල ඇති අධ්‍යාපන ගැටළු මේ මහ ඇමතිවරුන් දන්නවාද? අධ්‍යාපන බලධාරීන් සමහ ඉහළ පෙළේ සාකච්ඡා පවත්වනවා වෙනුවට,  අහඹු ලෙස තෝරාගන්නා සාමාන්‍ය ගුරුවරුන් සමූහයක්, සාකච්ඡාවකට කැඳවා, ඔවුන්ට විවෘතව අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව දුන්නොත්, මහ ඇමතිවරුන් උඩ විසිවන ආකාරයේ, අධ්‍යාපනය පිළිබඳ, අමු නිරුවත්, කාලකන්ණි, දුක්ඛිත, අවාසනාවන්ත, තොරතුරු දැනගතහැකි බව, මේ 'ඇමති මහයන්' දන්නවාද? නැතහොත් ඒ බව දැන දැනත්, මේ අපිට 'බබා පාට්' දානවාද? 

   ගුරුවරුන් පාලනය කළයුත්තේ නීතිරීති වලින් නොවේ. ගුරු පුහුණුව උසස් මට්ටමකට ගැනීමෙනි. ගුරු වෘත්තියට යොමු කෙරෙන පිරිස, සාමාන්‍ය පෙළ විභාගය වැනි විභාගයකින් තෝරාගෙන, ඉන්පසු ඔවුන්ව හුදෙක් ගුරු වෘත්තීය සඳහාම හැඩගැස්වෙන දීර්ඝකාලීන පාඨමාලාවකට යොමුකොට, උපාධි, පශ්චාත් උපාධි, පරිපාලන උපාධි දක්වා යන, මහා පරිමාණ ආයතනික වැඩපිළිවෙලක් තුළින්, දැනට අවාසනාවන්ත තත්වයක සිටින මේ සත්ව කොට්ඨාශය යහමගට ගැනීම සහ, අනාගතයේදී වෘත්තීයවේදය අතින් අගතැන්පත් ගුරුවරුන් බිහිකරගැනීමට මග පෑදෙනු ඇත. 

2015 නොවැම්බර් මස 15 වැනි දින 1237 පැය 

09 November 2015

නරලොව හොල්මන් දැකලා තියනවද?

56
ඔව් ඉතින්, එදත් අදත් අපි, නොයෙක්විට, විවිධාකාර හොල්මන් දකිනවනේ. එදා අපේ කාලෙත්, පාරේ යනකොට දකින සමහර අය, මනුස්සයෙක්ද හොල්මනක්ද කියලා හිතාගන්න බැරි අවස්ථා තිබුනා. ඉතින් අදත් එහෙම වෙන එක පුදුමයක් නෙවෙයි. වැඩේ කියන්නේ, පණපිටින් ඉන්න මනුස්ස පරාණ, හොල්මන් වගේ පෙනෙන එකයි. බොහෝවිට ඒ සඳහා බාලපාන්නේ ඇඳගෙන ඉන්න ඇඳුම් සහ බාහිර පෙණුමයි. 'අඳින්න මිනිගවුම අඳින්න' කියලා ඇන්ටන් ජෝන්ස් කියන සින්දුවෙත්, මිනි සහ මිණී දෙක පැටලිලා සිද්ධවෙන අවුලක් ගැන කියනවා නේද?



Scan_20151027_104524   හොඳයි, මේ චූර්ණිකාව කිව්වේ, අද මා ඔබවෙත ගෙන එන අසහාය ලේඛක, චන්ද්‍ර අනගිරත්න මහතාගේ, 'නරලොව හොල්මන්' කෘතිය ගැන කතා කරන්නයි. අපි පාසල් සිසුන් ලෙස, එතුමාගේ නිර්මාණ රසවිඳි ආකාරය තවමත් මතකයි. 'සීමාසහිත ස්වාධීන පුවත්පත් සමාගම' හෙවත්, 'දවස නිවස' වෙතින් පළකෙරුණු, සති අන්ත පුවත් පතක් වන, 'රිවිදින' පුවත්පතේ පළවුණු, හාස්‍ය රසයෙන් අනූන මෙම නිර්මාණ, එකල අපේ සිත් තදින්ම බැඳගත් බව, නොකියාම නොහැකියි. ලංකාවේ ඉරිදා නිවාඩු දිනය වෙනුවට, පෝය දින නිවාඩුව ක්‍රියාත්මක වීමෙන් පසු, රිවිදින පුවත්පත 'රිවිරැස' යනුවෙන් නම් කෙරුණා.

   මෙහි මා දක්වන එතුමාගේ ලිපි එකතුව, එසේ පසුකාලීනව රිවිරැස පුවත්පතට ලියන ලද ලිපි බව මෙම කෘතියේ සඳහන් වෙනවා.

Scan_20151027_104343

Scan_20151027_103503    මෙය, මෙතුමාගේ ලිපි එකතු වශයෙන් පලකළ, තුන්වැනි කෘතියයි. මෙහි 1 සහ 2 කොටස් සොයාගන්නට, මට තවමත් නොහැකි වුන බවත්, කණගාටුවෙන් සඳහන් කරනවා. ඒ කාලයේ, මෙම ලිපි, සති අන්තයේ පළවූ පසු, ඉතා පුළුල් ලෙස, එම ලිපි පිළිබඳව, සමාජයේ කතාබහට ලක්වුණා. එයට ප්‍රධාන වශයෙන් හේතුවුණේ, රූපවාහිණිය එකල මේ රටේ නොතිබීම, ගුවන්විදුලිය සීමිත පිරිසකට පමණක් අසන්නට ලැබීම, ග්‍රාමීය ජනතාව පවා, සෑහෙන දුරට පුවත්පත් කියවීම, යන සාධකයි. මෙම ලිපි වලින්, ඉතා ගැඹුරු දේශපාලන ප්‍රහසන, සමාජ ප්‍රහසන, කාලීන සමාජ ගැටළු, මොනවට නිරූපණය කෙරුණා. ඒ නිසාම, ඒ ලිපි තදින් ග්‍රහණය කරගන්නට, ජනතාව පෙළඹුණා යයි කීම නිවැරදියි.

   එතුමාගේ සමහර ලිපි සමහරෙකුට පිස්සු විකාර මෙන් පෙනෙන්න ඇති. ඒ නිසා එතුමා මේ පොත මෙන්න මේ ආකාරයට පිළිගන්වා තිබෙනවා. 



Scan_20151027_103944



   චන්ද්‍ර අනගිරත්න මහතා සෑහෙන ග්‍රන්ථ සංඛ්‍යාවක් නිර්මාණය කර තිබෙනවා. මේ බලන්න.


Scan_20151027_104204

   ශ්‍රී ලාංකීය සමාජයේ පැවැත්ම ගැන සලකා බැලීමේදී, මේ ලිපිවලින් බහුතරයක්, සර්වකාලීන වටිනාකමකින් යුක්ත බව, නොකියාම බැහැ. නරලොව හොල්මන් 3 කෘතියෙන් උපුටාගත් ලිපියක්, ඔබ වෙත ඉදිරිපත් කරන්නට මා සිතුවේ, වර්තමානයේදී අපේ සමාජයේ කතාබහට ලක්වන මාතෘකාවක්, එදත් සාකච්ඡාවට භාජනය වී තිබුණු ආකාරය ඔබට පෙන්වා දෙන්නටයි. මේ දිනවල, ජනමාධ්‍ය, නීතිය, පොලීසිය, මහජනතාව සම්බන්ධ විවිධ දේශපාලන මතිමතාන්තර කැටිවූ ලිපි, පුවත්පත්වල මෙන්ම අන්තර්ජාලයේත් දකින්නට ලැබෙනවා. බලන්න පහතින් දක්වා ඇති ලිපිය, මා ඉහත සඳහන් කලාක් මෙන්, සර්වකාලීන වටිනාකමක් නැද්ද කියා. 



Scan_20151027_105330Scan_20151027_105517Scan_20151027_105759Scan_20151027_105942Scan_20151027_110126Scan_20151027_110304Scan_20151027_110439


ඔන්න ඔහොමයි චන්ද්‍ර අනගිරත්න මහත්තයාගේ කතා.

2015 නොවැම්බර් මස 07 වැනි දින 2301 පැය 
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }