හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

03 May 2016

පයින් යනෙන සෙබළුන් හට - යුද රථයක් සොයා දෙන්න!

   බ්ලොග් ලිපියකට මාතෘකාවක් තෝරා ගැනීමත් ටිකක් අමාරු වැඩක්. අද  ලියන දේවල් ගැන කල්පනා කරමින් ඉඳිද්දී, මට මතක්වුනේ, අකාලයේ වියෝවූ, ජනප්‍රිය නිලි රෙබෙකා නිර්මලී රඟපෑ, 'වෙද හාමිනේ' ටෙලි නාට්‍යයේ,  ගායිකා ප්‍රදීපා ධර්මදාස ගැයූ, 'දූවිල්ලෙන් සැදුන ලියේ' ගීතයයි. ඒ ඇසුරෙන් තමා, මම මාතෘකාව යෙදුවේ, 'පයින් යනෙන සෙබළුන් හට යුද රථයක් සොයා දෙන්න' කියලා. මොකද අර ගීතයේ කියනවා නේද, 'වෙණ වයනා මිනිස්සුන්ට පන් පැදුරක් එලා දෙන්න' කියලා. ඒ කියන්නේ, වෙහෙස වන අයට, සහනයක් සලස්වන්න කියන එකනේ. ඉතින්, වෙහෙස වෙන සෙබළුන්ට, පන් පැදුරක් එලලා දෙනවද, නැත්නම් යුද්ධ රථයක් හොයලා දෙනවද කියලා තමයි, අද කතාකරන්න යන්නේ. 

   ඔබ යුද හමුදාව ගැන විවිධ තොරතුරු අසා තිබුනත්, අද මා ඔබ සමග සාකච්ඡා කරන්න යන කරුණ, බොහෝවිට මීට පෙර අසා නැතුව ඇති කියා, මට හිතෙනවා. අද මා ඔබ සමග කතාකරන්නේ, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව කියන්නේ මොකක්ද, කියන එක ගැනයි. 

   ඔබ අසා ඇතුවාට සැකයක් නැහැ, චතුරංගනී සේනාව කියන එක ගැන. චතුරංගනී සේනාව කියන්නේ, ඇත්, අස්, රිය, පාබල, යන සතර ආකාරයේ හමුදා වලට බවත්, ඇත් හමුදාව, ඇතුන්පිට නැගී යුද පිටියට ගොස්, සටන් වැදුන බවත්, ඇතුන් ලවා, සතුරු බලකොටු බිත්ති බිඳ දැමූ බවත්, ඔබ අසා ඇති. අස් හමුදාව හෙවත් අසුන් පිටේ යන හමුදාව, වේගයෙන් සතුරන් වෙත කඩාපැන, අසුන් පිට සිටිමින්, සටන් කල බවත්, රිය හමුදාව, සතුන් විසින් අදින ලද රථ මගින්, යුද පිටිය වෙත භටපිරිස් රැගෙන ගිය බවත්, ඔබ අසා ඇති. 

   මේ ආකාරයට, පයින් ගමන් කරන හමුදාවට, යම් ප්‍රවාහන ශක්තියක්/බලයක් ලබාදීමෙන්, ඔවුන් යොදවා වේගවත් ප්‍රහාර එල්ල කළහැකි බවත්, යුද බිම වෙත සහ යුද බිම තුළ, පයින් ගමන් කිරීමට සිදුවන කාලය අඩු කරගත හැකි බවත්, ඈත අතීතයේ සිටම පිළිගත් සංකල්පයක් බව පෙනෙනවා. අද වනවිට එහි වඩාත් දියුණු අවස්ථාව, ලෝකය පුරා යුද හමුදාවන්හි ක්‍රියාවට නංවා තිබෙනවා. ඒ තමයි, යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සංකල්පය. Mechanized Infantry Regiment = MIR  මෙය හමුදා කෙටි යෙදුමකින් හඳුන්වන්නේ, Mec Infantry යනුවෙන්. 

   ශ්‍රී ලංකා යුද හමුදාවේත්, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවක් තිබෙනවා. වර්ෂ 2007 දී, අපේ හමුදාවට යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවක් ඇරඹීමේ පුරෝගාමියා වූයේ, වර්තමාන ෆීල්ඩ් මාර්ෂල්, එවකට ශ්‍රී ලංකා යුද හමුදාධිපති වූ, ලුතිතන් ජෙනරල් සරත් ෆොන්සේකා මහතායි. අවසන් මානුෂික මෙහෙයුමේදී, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවෙන් විශාල මෙහෙයක් ඉටුවුණා. ශ්‍රී ලංකා යුද හමුදා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ, ලාංඡනය සහ ධජය පහත දක්වනවා. 




 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවක් කියන්නේ මොකක්ද? 

   සාමාන්‍යයෙන් යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවක් ප්‍රධාන වශයෙන් හැදෙන්නේ, පාබල හමුදාව සහ සන්නාහ සන්නද්ධ බලකාය එක්වීමෙන්. මෙහිදී සන්නාහ සන්නද්ධ බලකායේ, විශේෂිත සන්නද්ධ රථවල නැගුන පාබල සෙබළුන්, කඩිනමින් යුද බිමට ගොස්, යුද බිමේදී එම රථවලින් බැස, එම රථ වල ආවරණය, වෙඩි බලය, ආධාර කරගනිමින්, සාමාන්‍ය පාබල සෙබල භූමිකාවේ යෙදෙනවා. නමුත් මෙහි ඇති විශේෂත්වය වන්නේ, සන්නද්ධ රථවලින් ගමන් කිරීම, ක්‍ෂණයකින් රථයට නැගීම සහ බැසීම, සන්නද්ධ රථ සතුරු ප්‍රහාර වලින් ආරක්ෂා කරගනිමින් සටන් කිරීම, අවශ්‍ය අවස්ථා වලදී, සන්නද්ධ රථ මගින්ද ප්‍රහාර එල්ල කිරීම, යන කරුණුයි. මේ සඳහා, යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සාමාජිකයන්ට විශේෂ පුහුණුවක් ලැබෙනවා. 

   සාමාන්‍ය පාබල සෙබල සේනාවන්ට යුද භූමිය වෙත පිවිසීමේදී සතුරු සන්නද්ධ රථ සහ සතුරු යාන්ත්‍රික පාබල කණ්ඩායම් වලින් එල්ලවිය හැකි තර්ජනයට ප්‍රතිවිරෝධීව කටයුතු කිරීම, යාන්ත්‍රික පාබල භූමිකාවේ වැදගත් කොටසක්. සාමාන්‍යයෙන්, මේ පහත දැක්වෙන ක්‍රමයට තමයි, එක සන්නද්ධ රථයකට අදාළ යාන්ත්‍රික පාබල කණ්ඩායමක් සැකසෙන්නේ. මෙය, රටෙන් රටට වෙනස් වෙනවා. 


   ඉතින් මේ කණ්ඩායම කොහොමද සන්නද්ධ රථයක යන්නේ? නිකම් හිතුමතේට යන්න බැහැ. මේ බලන්න කොයිතරම් සංවිධානාත්මකවද යන්නේ කියලා. 



   ඒ ඒ අවස්ථාව අනුව රථය මත නැගී යන්නත්, රථය තුළ ගමන් කරන්නත් පුළුවන්. නියමිත අණ යටතේ ක්‍ෂණයකින් රථයෙන් බැස, සටනට එක්වෙනවා. 









   පහත දැක්වෙන වීඩියෝවේ තිබෙනවා, බ්‍රිතාන්‍ය යුද හමුදාවේ, යාන්ත්‍රික පාබල සොල්දාදුවන් පිරිසක්, යුද අභ්‍යාසයක යෙදෙන හැටි. එය නැරඹීමෙන්, ඔබට මනාව පැහැදිලිවනු ඇති, යාන්ත්‍රික පාබල හමුදාව සටන් කරන්නේ කුමන ආකාරයටද යන්න. 




   යාන්ත්‍රික පාබල හමුදා මුලින්ම පිහිටෙව්වේ කොයි කාලෙද? 

   අපේ රටේ නම්, 2007 දී කියලා, මම ඉහත සඳහන් කලානේ. නමුත් පළමුවැනි ලෝක යුද සමයේදී තමයි, මුලින්ම යාන්ත්‍රික පාබල සංකල්පය ක්‍රියාවට නැංවී තිබෙන්නේ.  මේ බලන්න, 1918 තරම් ඈත අතීතයේදී, යාන්ත්‍රික පාබල කටයුතු සඳහා යොදාගෙන ඇති, සන්නද්ධ රථයක ස්වරූපය. 



  මේ මොහොතේ මට තවත් වැදගත් කාරණයක් මතක්වුණා. සංග්‍රාමික අවශ්‍යතා සඳහා, පාබල හමුදා සෙබල කණ්ඩායම්, හමුදා ට්‍රක් රථ මගින්, තැන් තැන් වලට යවනවා. නමුත් ඔවුන් යාන්ත්‍රික පාබල කියන වර්ගීකරණයට වැටෙන්නේ නැහැ. ඔවුන් අයත්වන්නේ, 'මෝටර් ප්‍රවාහන පාබල කණ්ඩායම් - Motarised Infantry' යන වර්ගීකරණයටයි. 

අපේ යාන්ත්‍රික පාබල හමුදාව පාවිච්චි කරන සන්නද්ධ රථ මොනවද? 

   අපේ හමුදාව සෑහෙන සන්නද්ධ රථ වර්ග කීපයක්ම පාවිච්චි කරනවා. යුද්ධ ටැංකියක් මත වුනත්, සෙබල පිරිසක් ගෙනියන්න පුළුවන්. ලෝකයේ හැම තැනම, යුද්ධ ටැංකි නිකම් යවන්නේ නැහැ. ආරක්ෂාවට සෙබල කණ්ඩායමක් ඉන්නවා. අපිත් පහුගිය යුද්දෙදි එහෙම කළා. බලමුකො, අපිට යාන්ත්‍රික පාබල හමුදාවේ ප්‍රයෝජනයට ගන්න පුළුවන්, සටන්කාරී සන්නද්ධ රථ Armoured Fighting Vehicles = AFV මොනවද කියලා. 

   අපි පාවිච්චි කරන එක සන්නද්ධ රථ වර්ගයක් තමා, BMP යනුවෙන් හැඳින්වෙන, රුසියාවේ නිෂ්පාදිත, සන්නද්ධ රථ. BMP කියන්නේ, රුසියානු නමක්. Boevaya Mashina Pehoty (Боевая Машина Пехоты, "Infantry Combat Vehicle") පාබල සටන් රථය. මේ පහල තියෙන්නේ, BMP 1, 2, සහ 3 යන වර්ග තුන. මේ වර්ග තුනම, අපේ හමුදාව පාවිච්චි කරනවා. මේ කිසිදු රථයක, තාක්‍ෂණික විස්තර ඉදිරිපත් නොකරන්නේ, මේ ලිපිය, මහා දීර්ඝ ලිපියක් වීම වලක්වා ගන්නයි. 







   ඊළඟට තියෙන්නේ, සන්නද්ධ සටන් රථ හෙවත් Armoured Fighting Vehicle = AFV නමැති වර්ගීකරණයට වැටෙන රථ. මේ වර්ගයට අයත් මෝස්‌තර දෙකක රථ අපේ හමුදාව පාවිච්චි කරනවා. ඒ තමයි T 85 AFV සහ T 86 AFV






   අපේ හමුදාව මෙතනින් නවතින්නේ නැහැ. තවත් සන්නද්ධ රථ වර්ගයක් තිබෙනවා සන්නද්ධ සෙබල ප්‍රවාහන රථ හෙවත්, Armoured Personnel Carriers = APC යනුවෙන් හැඳින්වෙන. එම වර්ගීකරණයට අයත් මෝස්‌තර තුනක් අපි පාවිච්චි කරනවා. පහත දැක්වෙන්නේ ඒවා.






   ඉහත පින්තූරයේ BTR කියන එකත් රුසියානු නමක්. (бронетранспортер/Bronetransporter, = "Armoured Transporter") ඔබ දන්නවා නොවැ, රෝද හතරටම බලය යෙදූ වාහන. 4 x 4 වාහන. සමහර ඒවා නිපදවලා තියෙන්නේ, සෑමවිටම, රෝද හතරටම බලය යෙදෙන ආකාරයටනේ. මේ සන්නද්ධ රථයත්, ඒ වගේ. මෙහි රෝද අටටම, සෑමවිටම බලය යෙදී තිබෙනවා. ඒ කියන්නේ මෙය 8 x 8 රථයක්. 

   හොඳට මතක තියාගන්න, ඉහත පෙන්වා ඇති එකක්වත්, යුද්ධ ටැංකි නෙවෙයි. ප්‍රහාරක ශක්තිය තිබුනත්, ඒවා යුද්ධ ටැංකි (Main Battle Tank = MBT) කියන වර්ගීකරණයට අයත් වන්නේ නැහැ. මේවා BMP, BTR, AFV, APC, යන වර්ග පමණයි. 

ඉතින් ඔය යාන්ත්‍රික පාබල හමුදාව තනියම සටන් කරනවද යුද්ධයකදී?

   යාන්ත්‍රික පාබල හමුදාව, ගමරාලගේ වංගෙඩිය  වගේ, හැම එකටම යවන්නේ නැහැ. යුද්ධයකදී තියනවා, යුද්ධය කියවීම කියලා දෙයක්. (reading the battle) ඒ කියන්නේ, අපි මුහුණ දෙන යුද්ධය කෙබඳුද යන්න, යුද න්‍යායන් අනුව සිතා තේරුම් ගැනීමයි. අන්න ඒ අනුව තමයි, සේනාංකාධිපතිවරුන් තීරණය කරන්නේ, යුද හමුදාවේ කුමන කොටස/කොටස් ද, සටනට යොමුකල යුත්තේ කියා. යාන්ත්‍රික පාබල හමුදාව සාමාන්‍ය පාබල හමුදාව සටන් කරන භූමියටම රිංගා සටන් කිරීම මෙන්ම, තමන්ට පමණක් සීමා කොට ලබාදෙන කාර්ය භාරයන් task ඉටුකිරීමද, එකසේ සිදුකරනවා. 

   මා හිතනවා, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව ගැන මා කල මේ සරල විස්තරය, ඔබේ දැනුමට යමක් එකතු කරන්නට සමත්වනු ඇතැයි කියා. ඉතා සංකීර්ණ කරුණු, හැකිතරම් සරලව ඔබවෙත ගෙන ඒමයි, මගේ පරමාර්ථය වුයේ. තවත් මෙවැනි ලිපියකින් ඉදිරියේදී හමුවෙමු.
  
2016 මැයි මස 02 වැනි දින 2218 පැය

62 comments :

  1. BMP, BTR, AFV, APC කියන්නේ යුද්ධ ටැංකි ‍කියලා මම හිතන් ආවේ එතකොට යුද්ධ ටැංකි කියන්නේ මොකක්ද? මොනා උනත් මාමගේ මේ විස්තර වලට මම හරිම මනාපයි

    ReplyDelete
    Replies
    1. එක්තරා ආකාරයකට මේවා යුද්ධ ටැංකි වගේ යොදවන්න පුළුවන්. නමුත් ජාත්‍යන්තරවපිලිගන්නා වර්ගීකරණය අනුව මේවා යාන්ත්‍රික පාබල කටයුතු වලට තමයි යොදවාගන්නේ.

      ඇගයීම ගැන ස්තුතියි. ඔන්න මම පහලින් දානවා අපේ යුද්ධ හමුදාව පාවිච්චි කරන යුද්ධ ටැංකි වල පින්තූර. හැබැයි, මීට වඩා බොහොම බලගතු යුද්ධ ටැංකි, වෙනත් රටවල තියනවා.

      [im]https://jangun.files.wordpress.com/2016/05/t-551.jpg[/im]


      [im]https://jangun.files.wordpress.com/2016/05/t-55am2.jpg[/im]


      [im]https://jangun.files.wordpress.com/2016/05/type_63_tank.jpg[/im]

      Delete
  2. හරවත් වගේම වටිනා විස්තරයක් විචාරකතුමණි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ගුණසිංහ මහත්මයා.

      Delete
  3. නොදන්නා බොහෝ තොරතුරු දැනගත්තා.

    ReplyDelete
    Replies
    1. එහෙනම් මගේ උත්සාහය සාර්ථකයි.

      Delete
  4. //යාන්ත්‍රික පාබල හමුදාව, ගමරාලගේ වංගෙඩිය වගේ, හැම එකටම යවන්නේ නැහැ.// හරි හරි උපහැරණ නොවැ අප්ප මේවා...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අපේ භාෂාවේ තිබෙන උපහැරණ ලෝකයක් වටිනවා.

      ගමරාලගේ වංගෙඩිය, පිටි කොටන්න, මිරිස් කොටන්න, සම්බෝල කොටන්න, බෙහෙත් කොටන්න, වාඩිවෙන්න, ගෙදර දොර ඇරෙන එක වලක්වන්න අඩයක් වශයෙන් තියන්න, ආදී දහසකුත් එකක් දේවල් වලට පාවිච්චි කරනවලු.

      ඉතින් ඒ වගේ, යාන්ත්‍රික පාබල හමුදාවත්, ඕනේ එකටයි එපා එකටයි, ඔක්කොටම යවන්න බැහැනේ.

      Delete
  5. සුපුරුදු පරිදි බොහොම පැහැදිලි විවරණයක්. ඔබේ සියලු හමුදා ළිපි පොතක් ලෙස එකතු කලොත් බ්ලොග් නොකියවන පාඨකයින් අතර බොහෝ ජනප්‍රිය වේවි. ස්තුතියි !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි උදය. ඔබ කියා ඇති අදහස මීට පෙරත් කීපවිටක් බ්ලොග් කියවන අය විසින් යෝජනා කර තිබුනා. මා හිතනවා ඒ ගැන අවධානය යොමුකලයුතුයි කියා.

      Delete
  6. සෑර් අර BTR 80 මරු ඈ.. ලස්සනේ බෑ

    ReplyDelete
    Replies
    1. මටත් ඒක දැක්ක ගමන් හිතුනේ එහෙමයි...

      Delete
    2. අම්මපා පත්තරේ/ලොකුපුතා මේක මාර වාහනයක්. ෆුල් AC, පවර් ස්ටියරින්ග්, ඩීසල්, 8 ෆෝර්වර්ඩ්, 2 රිවස්, මීට වඩා ලොකු එකක් වුනත් එරුනොත් අදින්න පුළුවන් කේබල් ඔක්කොම තියනවා. ගස් ගල් උඩින් ගියත් දැනෙන්නේ නැහැ ඇතුලට. මෙව්වා එලවන කෝප්‍රල්ලා, සාජන්ලා, මාර වැඩ දානවා.

      ඒ මදිවට යුද්ද කාලේ ඔය ලොකු ලොකු මැති ඇමතිවරු ක්‍රියාන්විත ප්‍රදේශ වලට ආවම, මෙව්වා එකක දාගෙන තමයි යන්නේ. (මෙව්වට RPG පාරක්වත් වදින්නේ නැහැ. ටයර් එකකට වෙඩි වැදුනොත්, තවකි.මී. 25 ක් 30 ක් යන්න පුළුවන් විදිහට, ඒ ටයර් එකට හුළං පීඩනයක් ඇතුලෙන් දෙනවා) ඊට පස්සේ උන්ට කක්කා කරන්න යන්නත් මෙව්වා ඉල්ලනවා. අපි උන්ගේ හත්මුතු පරම්පරාවටම උපහාර පවත්වමින්, යුද්දෙට තියන මෙව්වා, උන්ව දක්කගෙන යන්න දෙනවා.

      හැබැයි පුතෝ, ඩීසල් ලීටරේට කි.මී 4 ක් ද කොහෙද යන්නේ. අද නම් එක ටයර් එකක් ලක්ෂ 10 ක් වත් වෙයි.

      Delete
    3. [im]https://jangun.files.wordpress.com/2016/05/btr-821.jpg[/im]

      Delete
    4. //ෆුල් AC, පවර් ස්ටියරින්ග්, ඩීසල්, 8 ෆෝර්වර්ඩ්, 2 රිවස්// යකෝ කාර් එක විකුණලා මේකක් ගන්න හිතෙනවා.

      Delete
    5. ඩිසල් ලිටරෙකින් කිලෝ මීටර් 4ක් යන්න පුලුවන්නම් ඒ හැටි අවුලකුත් නෑ.. මම හිතුවේ සයිස් එකේ හැටියට කිලෝමීටරයක් යන්න අඩුම ඩිසල් ලීටර් 4ක් වත් යයි කියලා..

      Delete
    6. හෙහ් හෙහ්, අම්මපා මෙව්වා රාජ්‍ය සංස්ථාවක තිබුනානම් ලීටර් 10 කට කි.මී. 1 යි කියලා හදාගනියි.

      Delete
    7. @ උදය හැබැයි ඉතින් ඩීසල් බවුසරයකුත් අරන් යන්න වෙනවා.

      Delete
    8. ලිටරේට 4 ක් යන්න පුළුවන්නම් මේක එල වාහනයක්...
      මගේ රියදුරාල සමහර වෙලාවට පෙන්නන්නේ ඩිසල් ලිටරේට කිලෝමීටර 2 යි...
      ඒ වගේම මම දැන් පදින බවුසරේ පැස්ටල් කරන්නෙත් 5 ක් වගේ...
      එහෙම බැලුවම පරණ එකක් උනත් කමක් නැහැ මේකක් ගන්න බලන්න ඕනේ...
      මහපාරේ යන්න කියාපු භාණ්ඩේ. හැමෝම ඉඩ දෙයි. ඉඩ නොදුන්නොත් යට කරගෙන යන්න හරි බැරියැ...

      Delete
    9. කියන්න අමතක වෙච්චි කාරණයක් මතක් වුනා. මෙව්වා ගෙන්නපු අලුත, වවුනියාව වගේ නගර වල යද්දී, වැඩි පරෙස්සමක් තියෙන්න ඕනේ නිසා, මෙව්වට හෝන් හයිකරා. හිනා කනවා. රටින් එනකොට මෙව්වට හෝන් එකක් නැහැනේ. ලොරි හෝන් හයිකරගෙන, එව්වා ගහනකොට අපි බඩ අල්ලගෙන හිනාවුනා.

      මෙව්වා පාරේ යද්දී වුනත් වෙන වාහනයක් හැපුනොත් නවත්තන්නේ නැහැ. නීතියෙන් පිළිගන්නේ යුද්ධය සඳහා යන යුද්ධ රථයක් කියන එකයි. එක සැරයක්, පුත්තලම නගරයේදී, අතුරු පාරකින් එකවර ප්‍රධාන පාරට දැමූ වෑන් එකක්, මේ රථයක හැපුනා. වෑන් එකේ ඉස්සරහ පැත්ත කුඩු වුනා. රියදුරා තරමක් බරපතල තුවාල ලැබුවා. නමුත්, සන්නද්ධ රථය නොනවත්වා යන ගමන ගියා.

      Delete
  7. එකක් දෙකක් ඇරෙන්න ඇත්තටම අහලා තිබුනෙ නෑ....ගොඩක් ස්තූතියි විචා තුමණි

    ReplyDelete
    Replies
    1. ඔබේ දැනුමට යමක් එකතුවීම ගැන සතුටුයි.

      Delete
  8. විස්තරයට ගොඩක් ස්තුතියි විචා මාමේ...
    මමත් හිතං හිටියේ අර අයිටම් යුධ ටැංකි කියලා...

    ReplyDelete
    Replies
    1. මේවා සටන්කාරී භූමිකාවේ combat role යෙදෙනවා. නමුත් ලොකු යුද්ධ ටැංකි එක්ක තියලා බැලුවම බොහොම පල්ලෙහා තමයි තියෙන්නේ.

      Delete
    2. ඒක තමයි මාත් අහන්න හැදුවේ.. බරපතල අවියක් දෙකක් හයි කරලා battle tank එකක් විදියට කන්වර්ට් කරලා ෆීල්ඩ් එකට දාන්න කවුරුත් උත්සාහ කරේ නැද්ද ඒ කාලේ කියල..

      Delete
    3. වෙනස් කලොත් ගැරන්ටිය යනවා කල්‍යාන. ඒ නිසයි මොකුත් නොකළේ.

      Delete
  9. වැදගත් කරුණු රැසක් දැනගත්තා...

    ReplyDelete
    Replies
    1. එහෙනම් මගේ උත්සාහය සාර්ථකයි. මට ලොකු සතුටක්.

      Delete
  10. Wilbur Smith ගේ Cry Wolf පොත කියවල තියනවද?
    පරණ APC හදා ගෙන ගිහින් කරන සටනක් ගැන

    ReplyDelete
    Replies
    1. බාගන්නවත් පුලුවන්ද කියලා ජාලයේ බැලුවා හරිගියේ නැහැ.

      Delete
  11. ඇත්තටම වැදගත් ලිපියක්...

    අපූරුයි..

    ReplyDelete
  12. මමත් හිතාන හිටියෙ මේව යුද්ධ ටැංකි කියල.

    ReplyDelete
    Replies
    1. මේවා යුද්දෙට ගෙනාව කාලේ අපිටත් නිතර ටැපලුනා :e කල් යනකොට හරිගියා.

      Delete
  13. යාන්ත්‍රික රෙජිමේන්තු ගැන විස්තර ටිකක් හොයා හොයා තමා මම හිටියේ. මේ ලඟදි මට හම්බුනා යුධ ටැංකි ගැන තොරතුරු ටිකක්. ඒවායේ ඉතිහාසය එහෙම. එයින් එකක් තමා Chriss Barrie කියන ඉංග්‍රීසි ජාතිකයා විසින් ඉදිරිපත් කරන Britain's Greatest Machines කියන කොටස් කිහිපයකින් යුතු කතා මාලාව. ඒකෙ තියනවා ඔය යුද්ධ ටැංකිය හදන්න මුල් වුන කතාව. යු ටියුබ් ඒකෙ ඔය නම ගහල බලන්න. සීරීස් එකම හොයාගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. යාන්ත්‍රික පාබල රෙජිමේන්තු ගැන/යුද්ධ ටැංකි ගැන විස්තර ඕනේ තරම් ජාලයේ තියනවා. සමහර ඒවා forum හැටියට තියෙන්නේ. මූලික දැනුම නැතුව ඒවාට යන්න අමාරුයි. ඒවාට නොගියත් අවශ්‍යතාවපිරිමහගන්න පුළුවන්.

      යූ ටියුබ් එකට ගිහින් බලන්නම්.

      Delete
  14. හරවත් වගේම වටිනා විස්තරයක් විචාරකතුමණි. ඔබතුමා වෙතින් පෞද්ගලික ලිපි දෙකක් ඊමේල් මගින් එවා ඇති බව දන්වා සිටිමි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගුණසිංහ මහත්මයා. මම ඊ මේල් බලන්නම්.

      Delete
  15. රසිකය විචායි ඈදුනු පොස්ට් දාන්නේ කතාවෙලා වගේ. රසිකගේ ඉන්දියානු කොටු කොටු චතුරාංගනී හමුදාවේ පයින්යන අයට පදාති කියනකොට විචාගේ රුසියන් මෝටර් හමුදාවේ එයාලට කියන්නේ පෙහොති කියලා, විචා පාබල හමුදාවේද?

    ReplyDelete
    Replies
    1. පුදුමාකාර අහම්බයක්. නමුත්, කාගේත් දැනුම වර්ධනයට හේතු වනවා නම්, එකවගේ ලිපි කොයි එකත් වටිනවා. මේ වගේ ලිපි වලින් වෙනත් භාෂාවන්හි වචන කීපයක් හෝ දැන ගැනීමත් වැදගත්.

      ඔව් මම පාබල හමුදාවේ. ශ්‍රී ලංකා යුද හමුදාවට තිබෙන එකම රයිෆල් රෙජිමේන්තුව වන, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ.

      Delete
  16. වෙනදා වගේම වටිනා රසවත් ලිපියක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.

      Delete
  17. කඩවසම් වාහන පොඩ්ඩ.. සතුරා ලඟටම අවම හානියකින් ගිහිල්ල කණ රත්වෙන්න ගහන්න පුළුවන් නෙව මෙව්වයිං.. ඉස්තූතියි විස්තරේට.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හොඳ පොඩ්ඩ. පොඩි රවුමක් ගියානම් තේරෙයි පොඩ්ඩ කොහොමද කියලා.

      ඔව් මෙව්වගෙන් සෑහෙන්න වැඩගත්තා පහුගිය යුද්දෙදි.

      බොහොම ස්තුතියි අදහස් දැක්වීම ගැන.

      Delete
  18. LTTE එක APC හෝ එවන් වෙනත් යුද වාහන භාවිතා කලේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඉන්දියන් හමුදාවෙන් අල්ලගත්ත යුද්ධ ටැංකියක් පාවිච්චි කල බවට රාවයක් තිබුනා. නමුත් යුද්ධය ජයගත්තට පස්සේ යුද ටැංකියක කෑලි හමුවුනා.

      Delete
  19. විචාරක Wicharaka,

    මෙච්චර දියුණු තක්ෂණය ඇති ඇමරිකාවට තලේබාන් වරු ඉවර කිරීමට බැරිවීම විහිළුවක් නෙමෙයිද ?

    ReplyDelete
    Replies
    1. කිසිසේත්ම විහිළුවක් නොවේ. ත්‍රස්තවාදීන් සෑමවිටම සැඟවී සිටින්නේ මහජනතාව අතරේ. ඔවුන් එසේ සිටින්නේ, ඒ මහජනතාවගෙන් සුළු පිරිසකගේ කැමැත්ත සහ බහුතරයකගේ අකමැත්ත මත, ඒ ජනතාවට තර්ජනය කොට බියවද්දා ගැනීමෙන්. ඔබට මතක ඇති LTTE සංවිධානයට එරෙහිව කල මානුෂික මෙහෙයුමේ අවසන් කොටසේදී, අහිංසක ද්‍රවිඩ ජනතාව LTTE සංවිධානයේ ග්‍රහණයෙන් මිදී පලා ආ හැටි.

      හොඳින් සොයා බලන්න, ඇෆ්ඝනිස්ථානය, පාකිස්ථානය, වැනි රටවල තිබෙන කඳුකර භූමි ලක්ෂණ වල ස්වරූපය. ඒ ප්‍රදේශ වල, විවිධ ජන ගෝත්‍ර රාශියක් ජීවත් වෙනවා. තලේබාන් සහ ඊට සමාන වෙනත් අන්තවාදී ත්‍රස්තවාදී කණ්ඩායම්, එහි මහජනතාව අතර සැඟවී සිට ත්‍රස්තවාදී ක්‍රියා කරනවා. දියුණු තාක්ෂණයෙන් ඒ සියල්ල සොයාගන්න පුළුවන්. (මතකනේ බින් ලාඩන් හොයාගෙන ගහපු හැටි) නමුත්, මහා පරිමාන ප්‍රහාරයකදී, සාමාන්‍ය ජනතාවත් මැරෙනවා. එය විශාල මානව හිමිකම් කඩකිරීමක් වෙනවා. ඒ නිසා හෙමින් හෙමින් එක එකා බාගන්න තමයි වෙලා තියෙන්නේ.

      බටහිර රටවල් තුල පවා මේ අන්තවාදී සංවිධාන බිම්ගතව ක්‍රියාත්මක වෙනවා. නමුත්, අපේ අය කළා වගේ උස්සලා මරන්න බැහැ. ඒ රටවල නීතිය අකුරට ක්‍රියාත්මක වෙනවා.

      Delete
    2. //බටහිර රටවල් තුල පවා මේ අන්තවාදී සංවිධාන බිම්ගතව ක්‍රියාත්මක වෙනවා. නමුත්, අපේ අය කළා වගේ උස්සලා මරන්න බැහැ. ඒ රටවල නීතිය අකුරට ක්‍රියාත්මක වෙනවා.//

      එහෙනම් මොකටද Guantanamo Bay detention camp පවත්වාගන්නේ, ඔබකියන ඇමරිකාවේ නීතියට අනුව කලානම් ඉවරයි නේ, කවුද මේවට විරුද්ද වෙන්නේ මොන මානව හිමිකම් සන්විදානයද ? මේක තමයි කියන්නේ වවාගෙන කනවා කියල

      Delete
    3. අපි මේ ගැන බලන්න ඕනේ තුන් පැත්තකින්. අපේ පැත්තෙන්, ඇමරිකාවේ පැත්තෙන්, මධ්‍යස්ථ සහ සාධාරණ පැත්තෙන්.

      අද ඔය කයිය ගහන උන්නැහේලා හිතන දෙයක් තමා මානව හිමිකම් රැකෙන්නේ සමාජවාදී රටවල පනමයි කියන එක. ඒක විහිළුවක් කියලා ලෝකෙම දන්නවා. අපේ රටට පුලුවන්නම් ඉන්දියාව හෝ චීනය යටත් කරගන්න, අපි ඒක නොකර ඉන්නවා කියන එකට සහතිකයක් දෙන්න බැහැ.කා තුලත් බල ලෝභය අඩු වැඩි වශයෙන් තියනවා. LTTE සංවිධානයේ විදේශීය කාඩර් වරුන් ඒ රටවල රැඳවුම් කඳවුරු වලට කොටුකරන්න පුළුවන්නම් අපේ රට ඊට අකමැති වෙන්නේ නැහැ.

      ග්වන්තනමෝ කඳවුර ගැන මුළු ලෝකයටම පුළුවන් ඇමරිකාවට බලු බැනුම් බනින්න. නමුත් උතුරු කොරියාව, චීනය, කියුබාව වැනි රටවල් ගැන කතාකලොත් කඩිගුල වගේ අවිස්සෙනවා. ග්වන්තනමෝ කඳවුරේදී ප්‍රශ්න කර ලබාගත් තොරතුරු ඔස්සේ තමයි ඇමරිකාව ත්‍රස්තවාදී ක්‍රියා මැඩලීමේ ක්‍රියාන්විත බොහොමයක් කලේ.

      වවාගෙන කන්නේ පාරාජිකා වෙච්චි, අනාථ වෙච්චි, ජනතාව විසින් පරාජය කල, අමන දේශපාලුවන්, සහ උන්ව උල තියාගෙන ගොඩ එන්න බලන සරණාගත දේශපාලු පක්ෂ කියාගන්න කල්ලි පමණයි.

      Delete
  20. දන්නේ නැති දේවල් රාශියක්!!!!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අරුණ

      Delete
  21. 1971 අප්‍රේල් කැරැල්ල කාලයේත් යුද ටැංකි ලංකාවේ හමුදාව බාවිතා කරා කියා අසා ඇත. එතකොට ආමඩ් කෝ කියල එකක් තිබුණේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. අපොයි 1971 වෙනකොට අපේ සන්නාහ සන්නද්ධ බලකාය පිහිටුවලා තිබුනේ. ඒ ගොල්ලෝ සටන් කළා ඒ කාලෙදිත්. පෙන්නන්නද ඒ කාලේ සටන් කරපු සන්නද්ධ රථ. මේවා පැන්සොන් ගත්තේ 1980 දශකයේදී.

      [im]https://jangun.files.wordpress.com/2016/05/6.jpg[/im]


      [im]https://jangun.files.wordpress.com/2016/05/7.jpg[/im]


      [im]https://jangun.files.wordpress.com/2016/05/8.jpg[/im]


      [im]https://jangun.files.wordpress.com/2016/05/9.jpg[/im]

      කොහොමද ලස්සන?

      Delete
  22. යුද ටැංකි ටික නම් මරු. දෙවන ලෝක යුද්ධයේ දී මේ මිකැනිකල් ඉන්ෆන්ට්‍ සෑහෙන වෙනසක් කලා නේද? යුධ ටැංකි වලින් තමයි සමහ තැන්වල ඉරණම විසඳුනේ.

    ReplyDelete
    Replies
    1. ඔව්, දෙවැනි ලෝක යුද්ධයේදී තමයි යුද විශේෂඥයන් තේරුම් ගත්තේ, වෙඩි නොවදින රථ මගින්, ක්ෂණිකව, භට පිරිස්, යුද භූමියේ අවශ්‍ය ස්ථාන වලට යැවීමේ වැදගත්කම. ඒ නිසා, යාන්ත්‍රික පාබල සංකල්පය වේගයෙන් වර්ධනය වුනා.

      ටැංකි සටන් කියලා, වෙනමම යුද ටැංකි සටන් ක්‍රමයක් තියනවා. ජර්මන් සහ රුසියන් ටැංකි සටන්, දෙවැනි ලෝක යුද්ධයේ තීරණාත්මක සාධයක් වුනා.

      Delete
  23. හොද විස්තරයක් ගොඩක් දේ දැන ගත්තා

    ReplyDelete
    Replies
    1. දැනුමක් ලැබුනානම් මට සතුටුයි.

      Delete
  24. inside of a APC

    http://i1048.photobucket.com/albums/s374/podilamaya/APC/IMG_20150224_123429_zpsshexvyxa.jpg

    http://i1048.photobucket.com/albums/s374/podilamaya/APC/IMG_20150224_122930_zpsiobjlqny.jpg

    http://i1048.photobucket.com/albums/s374/podilamaya/APC/IMG_20150224_122824_zpsa4ivygqv.jpg

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }