හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

22 November 2016

අපි හමුදා කුමන්ත්‍රණයක් කරමුද?

   නිකං ඉන්න එකේ ඔන්න ඔහේ කරලා බලමු අනේ, මොකක් වෙයිද කියලා. ඕනේ කැකිරි වත්තකින් යන්නේ නැතෑ. 

  අර අපේ කුශාග්‍ර දේශපාලන සෘෂිවර, හමුදා පරිපාලනය පිළිබඳව, ජෙනරල් පැටන් වුවත් පරදවන, අතිගරු, සරණාගත, ඒකා + බද්ද, ආඬි කැඳහැලියේ ගැට්ට කරේ තියන ආකාරයට පැළඳගෙන සිටින, සෑමවිටම පාර්ලිමේන්තුව තුළ මහා විලාප තියන, සිරිමත් දිනේස ගුණවර්ධන උතුමෝ, මේ ග්‍රහ වලල්ලේ කිසිදු ප්‍රාණීයකුට කල නොහැකි, මහා විශ්වකර්ම අනාවැකියක් කියමින්, ඒකාන්තයෙන්ම, (අපේ මාතයා කියන පරිදි) අපේ මේ අම්මට සිරි ලංකාවේ, හමුදා කුමන්ත්‍රණයක් සිදුවන බව කියයි. 

    සෙල්ලංද කොල්ලො කිව්වලු. 

   මොකෑ උන්නැහේලා හමුදා දැනුම ලබාගත්තේ, දේශපාලනේට එන්නත් කලින්නේ. ඒ කියන්නේ, උන්නැහේ තරුණ කාලේ, ඇමරිකාවේ ජොබ් එකක් කරන අතරේ, හමුදා පුහුණුවකුත් ලබන්න ඇති මයෙ හිතේ. නැත්තං කොහොමද ටක්කෙටම කියන්නේ, හමුදා කුමන්ත්‍රණයක් වෙනවා කියලා. අනේ ඒකට ඕං උන්නැහේගේ අප්පුච්චා. ඒ උත්තමයා නම්, දේශපාලනේ විතරයි කොළේ. පක්ෂ කීපයක හිටියා වුනාට, තමන්ගේ නම්බුව රැකගෙන, සුවාදීන දේශපාලනේ කොළේ. සරණාගත කල්ලි හැදුවේ නෑ, පාරාජිකා වෙච්චි, දේශපාලන මළමිණී කරේ තියාගෙන ඇවිද්දේ නෑ, අනුන්ගේ පානෙන් එලිය බැලුවේ නෑ, මුන්දෑලා වගේ, හැම වින්නඹුකොම ම, හැම අලුගුත්තේරුකොම ම, කොරන්ට ගියේ නැහැ. 

  එක කරුණක් පැහැදිලි කරන්න ඕනේ. 


   මේ ලිපිය ලියන්නේ, මේ යහපාලන රජය හොඳා................යි. අනික් ඔක්කොම ගඳා...................යි, කියන්න නෙවෙයි. මේ රජයේ ක්‍රියාකලාපයේ ඇති දුර්වලතාවය ගැන, විවේචන ඕනෑතරම් තිබෙනවා. එමෙන්ම ඒවා සාධාරණ විවේචන. නමුත්, මේ රජය තරම් විවේචනයට ලක්වුණු, විවේචනයට ඉඩදී තියන රජයක්, මගේ මතකයට එනවානම්, ඒ, 1965 - 70 ඩඩ්ලි සේනානායක රජය සහ 1970 - 77 සිරිමාවෝ බණ්ඩාරනායක රජය පමණයි. නමුත් ඒ කාලයේ මෙතරම් දැඩි මාධ්‍ය ප්‍රහාර තිබුණේ නැහැ. 


   අද දිනේෂ් ගුනවර්ධනලාගේ මොලය කොලොප්පන් වී හමුදා කුමන්ත්‍රණ ගැන කතා කරන්නෙත්, වාසුදේව නානායක්කාරලා මහා නීතීඥයන් වුනාට පාර්ලිමේන්තුවේ අමු කුණුහරප කියන්නෙත්, උදය ගම්මන්පිල, විමල් වීරවංශ වැනි අය නන්නත්තාර වී සිටින්නේත්, මහින්ද රාජපක්ෂලා, බැසිල් රාජපක්ෂලා, නන් දොඩවන්නේත්, මේ රජය පෙරලා දමන්න, ඔවුන්ට තවමත් ශක්තිමත්ව සංවිධානයවීමට නොහැකි නිසයි.  එය ඔවුන්ගේ දුර්වලත්වය විනා, රජයේ දුර්වලත්වය නොවෙයි.

   හොඳයි, ඒ කතාව එතනින් නවත්වමු.

  හමුදා කුමන්ත්‍රණ මගින්, ලෝකයේ රටරටවල බලය අල්ලාගැනීම, අද ඊයේ සිදුවන දෙයක් හෝ, අරුම පුදුම දෙයක් නෙවෙයි. අපේ රටේ හමුදා කුමන්ත්‍රණයක් ගැන මුලින්ම කියවෙන්නේ, 1962 වර්ෂයේදීයි. අපි ඒ කාලේ බොහොම පොඩි එවුන් නිසා, රටතුළ යම් කැළඹීමක් ඇතිවුනාද යන්න, දැනුනේ නැහැ. 

   ඔබ අතරින් සෑහෙන පිරිසක්, 1962 රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය ගැන අසා ඇතත්, එය වඩාත් සවිස්තරව, එහෙත් හැකිතරම් සංක්‍ෂිප්තව, පහතින් ඉදිරිපත් කරනවා.

   ලංකාවට නිදහස හෙවත් ඩොමීනියන් තත්වය ලැබුනට පස්සේ, ඩී.එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, ශ්‍රීමත් ජෝන් කොතලාවල, වැනි අගමැතිවරුන්, රාජ්‍ය පාලන ක්‍රමයේ, බරපතළ වෙනස්කම් කරන්න ගියේ නැහැ. හේතුව ඔවුන් සුද්දාගේ ක්‍රමය අගය කළ නිසා. 

   නමුත්, එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පිහිටුවාගැනීමෙන් පසු, රාජ්‍ය පාලන ක්‍රමයේ වෙනස්කම් කිරීමට පෙළඹුණා. විශේෂයෙන් 1956 විප්ලවයෙන් පස්සේ, ලංකාවේ ස්වාධීනත්වය වර්ධනය කරගනිමින්, පූර්ණ බලතල සහිත ජනරජයක් වීමේ ගමන සඳහා, මුල් පියවර තැබුණා. ජනසතු ව්‍යාපාරය එහි මූලික පියවරක්. බණ්ඩාරනායක මහතා ඝාතනය කිරීමෙන් පසු බලයට පැමිණි, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය, බණ්ඩාරනායක ප්‍රතිපත්ති, ඒ අයුරින්ම ක්‍රියාත්මක කළා. 

   1948 නිදහස ලැබීමෙන් පසු, ලංකා රාජ්‍යයේ ප්‍රධාන නිලතල බහුතරයක් ලැබුණේ, අධිරාජ්‍යවාදී පාලනයට ගැතිකම් කළ, රාජ්‍ය, සන්නද්ධ සේවා, සහ පොලිස්, නිලධාරීන්ටයි. බණ්ඩාරනායක මහතා විසින්, සිංහල බෞද්ධ බහුතර ජනතාවට සහ සිංහල භාෂාවට විශේෂ තැනක් දීම නිසා, පෙර කී බෞද්ධ නොවන සහ  සිංහල නොවන සමහර රාජ්‍ය නිලධාරීන් මෙන්ම, සන්නද්ධ සේවා උසස් නිලධාරීන්, කලකිරීමකට පත්වුණා. 

   ඔවුන්, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ රජය, පෙරළා දමා, රටේ බලය අල්ලාගැනීමට කුමන්ත්‍රණයක් සැළසුම් කළා. මේ කුමන්ත්‍රණයට ලංකා ගුවන් හමුදාව සහභාගි නොවීම විශේෂත්වයක්. යුද හමුදාව, නාවික හමුදාව, සහ පොලීසිය තමයි හවුල් වුණේ. එමෙන්ම විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් සහ, සන්නද්ධ සේවා/පොලිස්, නිලධාරීන් ද හවුල් වුණා. කුමන්ත්‍රණය සඳහා නියමිත දිනය වුනේ, 1962 ජනවාරි මස 27 වැනිදින රාත්‍රියේ.

   තෝරාගත් හමුදා බලඇණි කීපයක් යොදවා, කොළඹ නගරයේ වැදගත් ස්ථාන අල්ලාගෙන, (ලංකා ගුවන්විදුලි සේවය, විදුලි සංදේශ මධ්‍යස්ථානය, වැනි) ඉන්පසු අගමැතිනිය සහ අත්‍යවශ්‍ය ඇමතිවරුන් ද අත්අඩංගුවට ගෙන, යුද හමුදා මූලස්ථානයේ, (අද එතනින් ඉවත්වෙමින් පවතින) පොළොව යට පිහිටි අවි ගබඩාවේ (මෙය තිබුණේ, බාලදක්ෂ මාවතේ යුද හමුදා මූලස්ථානයේ සිට, ගාලු මුවදොර පිටිය යට හාරන ලද, අති විශාල බංකරයක් වැනි ගබඩාවක. අද එය සම්පූර්ණයෙන් වසා දමා තියෙන්නේ. මෙය, දෙවැනි ලෝක යුද සමයේදී, සුදු අධිරාජ්‍යවාදී පාලනය යටතේ ගොඩනැගුවක්) සිරකර තැබීම සහ ඉන්පසු ලංකාවේ අග්‍රාණ්ඩුකාර වරයා වූ ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක හමුවී, රජය විසුරුවා හැරිය බවට ලිඛිත ප්‍රකාශයක් ලබාගෙන, එය ගුවන්විදුලි මගින් රටපුරා ප්‍රචාරය කිරීමටත්, සැලසුම් කර තිබුණා.

   තවද, පනාගොඩ යුද හමුදා කඳවුරේ සිට, රජයේ ආධාරය සඳහා එනු ඇතැයි සිටන භටපිරිස් වැලැක්වීම සඳහා, කැළණි පාළම, වික්ටෝරියා පාළම, වැල්ලවත්ත පාළම,  වැනි ස්ථානවල සහ, කොළඹ නගරයේ වැදගත් සියලු ස්ථාන වල, හමුදා සන්නද්ධ රථ (ඒ කාලේ යුද්ධ ටැංකි තිබුණේ නැහැ) රඳවා තැබුණා. 

   නියමිත දිනයේ අගමැතිණිය කතරගම ප්‍රදේශය වෙත යාමට නියමිතව සිටියත්, අවසාන මොහොතේ ඒ ගමන යැවුනේ නැහැ. ඒ අතර, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති සහ කොළඹ නගරය භාර ජ්‍යොෂ්ඨ පොලිස් අධිකාරි හදිසියේම අරලියගහ මන්දිරය වෙත පැමිණ, රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක තොරතුරු ලැබී තිබෙන බව අගමැතිනිය වෙත හෙළි කළා. 


අගමැතිණිය වහාම ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක ඇමතිවරයා (බණ්ඩාරනායක මැතිණියගේ ඥාති පුත්‍රයෙකි) මගින්, උපක්‍රමිකව කුමන්ත්‍රණකරුවන් සියලුදෙනා අත්අඩංගුවට ගත් අතර, ඔවුන්ව අරලියගහ මන්දිරය වෙත ගෙනවිත් ප්‍රශ්න කර, සියල්ල හෙළිකරගත්තා. ඉන්පසු විශේෂ පාර්ලිමේන්තු පණතක් සකසා, මේ නඩුව විභාග කෙරුණා. කෙසේ වෙතත්, එම පනත අතීතයට බලපාන පරිදි පනවා තිබීම, නීතියට අනුකූල වුනේ නැහැ. එවකට, ලංකා රාජ්‍යයට අදාළ, උපරිම අධිකරණය වුණේ, බ්‍රිතාන්‍ය ප්‍රිවි කවුන්සිලයයි. විත්තිකරුවෝ නඩුව ඒ වෙත යොමුකොට, නිදහස ලැබුවා.  

  කෙසේ වෙතත්, හමුදාව සහ පොලීසිය කොතරම් දුරට මේ කුමන්ත්‍රණයට සහභාගී වුයේද යන්න තහවුරු කිරීම පිණිස, විත්තිකරුවන්ගේ නම් ලැයිස්තුව පහත දක්වනවා. මොවුන් අතර, බෞද්ධ කිසිවකුත් නැතිවීම විශේෂත්වයක්.  


   ඔබ කැමති ඇති කවුද විත්තිකරුවන් කියා දැනගන්න. මෙන්න ඒ පිරිස. මේ පිරිසට විසි දෙදෙනෙකු අයත් වෙනවා.


යුද හමුදා නිළධාරීන් 

1. කර්නල් F.C. ද සේරම්:- ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක සහ ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිළධාරි.


2. කර්නල් මොරිස් ද මෙල්:- ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධාන සහ ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක.


3. ලුතිතන් කර්නල් විල්මට් (විලී) එස්. ආබ්‍රහම්:- අණදෙන නිලධාරි, 3 වැනි ක්ෂේත්‍ර රෙජිමේන්තුව ලංකා කාලතුවක්කු හමුදාව.


4. ලුතිතන් කර්නල් J.H.V. ද අල්විස්:-  අණදෙන නිළධාරි, දෙවැනි ස්වේච්ඡා ඉංජිනේරු රෙජිමේන්තුව, ලංකා ඉංජිනේරු බලකාය.


5. ලුතිතන් කර්නල් බැසිල් R ජේසුදාසන්:- අණදෙන නිලධාරි, දෙවැනි ස්වේච්ඡා සංඥා බලඇණිය, ලංකා සංඥා බලකාය.


6. ලුතිතන් කර්නල් නොයෙල් මතායෙස්:-  අණදෙන නිලධාරි, ලංකා විදුලි සහ යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව.


7. මේජර් B.I. ලොයෝලා:-  3 වැනි ක්ෂේත්‍ර බලඇණිය, ලංකා කාලතුවක්කු හමුදාව.


8.  මේජර් W.G. වයිට්:- 3 වැනි ක්ෂේත්‍ර බලඇණිය, ලංකා කාලතුවක්කු හමුදාව.


9. මේජර් වික්ටර් ජෝසෆ්:- කුමන්ත්‍රණය සිදුවූ දින, දවසේ කාර්ය භාර නිලධාරි, ලංකා සන්නාහ සන්නද්ධ බලකා මූලස්ථානය.


10. කපිතන් J.A.R.  ෆීලික්ස්:- ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරි.


11. කපිතන් ටෝනි අංගි:- 3 වැනි ක්ෂේත්‍ර බලඇණිය, ලංකා කාලතුවක්කු හමුදාව.


12. කපිතන් දොන් වීරසිංහ:- 3 වැනි ක්ෂේත්‍ර බලඇණිය, ලංකා කාලතුවක්කු හමුදාව.



නාවික හමුදා නිළධාරි 


1. රියර් අද්මිරල් (විශ්‍රාමික) ජෙරාඩ් රොයිස් මැක්ස්වෙල් ද මෙල්:- ලංකා නාවික හමුදාවේ පළමුවැනි සිංහල නාවික හමුදාපති, ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ පළමුවැනි නාවික හමුදාපති. ඉහත අංක 2 යටතේ සඳහන්, කර්නල් මොරිස් ද මෙල් ගේ, එකකුස උපන් සොහොයුරු. 


පොලිස් නිළධාරීන් 


1. ජ්‍යොෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති C.C. දිසානායක ('ජන්ගල්' යන අන්වර්ථ නාමයකින් ද හැඳින්වුණි):- පොලිස් කොට්ඨාශ අංක 1 භාර නිලධාරි.  


2. ජ්‍යොෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (විශ්‍රාමික) සිඩ්නි ද සොයිසා:- පොලි කොට්ඨාශ සම්බන්ධිකරණ සහ පරිපාලන නිලධාරි. 1962 දක්වා.


3. පොලිස් අධිකාරි V.E. පෙරේරා:- කොළඹ බටහිර පොලිස් කොට්ඨාශය.


4. පොලිස් අධිකාරි  W.E.C. ජෙබනේසම්:- කොළඹ 


5. සහකාර පොලිස් අධිකාරි කොලින් වැන්ඩන්ඩ්‍රීසන්:- තිඹිරිගස්යාය පොලිස් ක්‍ෂේත්‍ර බලකා මූලස්ථානය භාර නිලධාරි.


6. සහකාර පොලිස් අධිකාරි J.F. බෙඩේ ජෝන්පිල්ලේ:- රථවාහන අංශය 


7. සහකාර පොලිස් අධිකාරි ටෙරී V. විජේසිංහ:- නියෝජ්‍ය පොලිස්පති 1 ගේ මාණ්ඩලික සහකාර.


8. සහකාර පොලිස් අධිකාරි ලයනල් C.S. ජීරසිංහ.


රාජ්‍ය නිළධාරීන් 

1. ඩග්ලස් ලියනගේ (ලංකා සිවිල් සේවය):-  ඉඩම් සංවර්ධන නියෝජ්‍ය අධ්‍යක්‍ෂ.

2. රොඩ්නි ද මෙල්:- වැවිලිකරු.


  මොකද හිතෙන්නේ? මෙච්චර වැඩකාරයෝ ගොඩක් ඉඳලත්, වැඩේ අසාර්ථකයි. මොකද එහෙම වුණේ? බොහොමයක් රටවල, මෙවැනි කුමන්ත්‍රණ සාර්ථක වුනාට වඩා අසාර්ථක වීම තමයි, සිදුවෙලා තියෙන්නේ. හොඳ රාජ්‍ය ඔත්තු සේවයක් තියනවා නම්, එම සේවය, ඇත්තටම පවතින රජයට අවංකව සහ පක්ෂපාතීව සේවය කරනවා නම්, මෙවැනි කුමන්ත්‍රණ කරන්න පහසු වෙන්නේ නැහැ. 


   හොඳයි, ඔබ හිතනවාදමේ යහපාලන රජයට විරුද්ධ හමුදා කුමන්ත්‍රණයක් දියත්වෙයි කියා. මමනම් කීයටවත් හිතන්නේ නැහැ. 


මෙන්න හේතු:-


1. එදා වගේ නෙවෙයි අද. හමුදාව රාජ්‍ය බලය අල්ලාගත්ත ගමන්, ලෝකයේ රටවල් බොහොමයක්, ඒ ජුන්ටාව පිලිගන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි, ලෝකයේ බලවත් රටවල් බොහොමයක්, අපිට විවිධ සම්බාධක පනවනවා. මේ නිසා, රාජ්‍ය පාලනය ගෙනයාම, රටේ මිනිස්සුන්ට එදාවේල කන්න දීම, අත්‍යවශ්‍ය සේවා පවත්වා ගැනීම, ප්‍රශ්නයක් වෙනවා. 


2. ඛනිජ තෙල් සපයාගැනීම මහා බරපතළ ප්‍රශ්නයක් වෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා අපිට සම්බාධක පනවනවා. එතකොට ඉතින් බස්තියන් පයින් යන්න තමයි වෙන්නේ. 


3. අපේ ආනයන අපනයන වලට සම්බාධක පැනවීමත් සමග, ආර්ථිකය කඩා වැටෙනවා. කොටස් වෙළඳපොල මුළුමනින්ම කඩා වැටෙනවා. රාජ්‍ය සහ පෞද්ගලික යන අංශ දෙකම අවුල් වෙනවා. 


4. හමුදාව ලවා බලය අල්ලාගෙන, පාලනය සියතට ගන්න අර අඳින, පාරාජිකා වෙච්චි දේශපාලුවන් හිතනවා ඇති, ඔවුන්ට පුළුවන් කියා, විදේශ සබඳතා ගොඩනගාගන්න. එය කෙසේවත් සිදුවන්නේ නැහැ. මේ රජයේ විදේශ සබඳතා ශක්තිමත් නිසා, බලයෙන් පහකලත්, ලෝකයේ බොහොමයක් රටවල්, නීත්‍යානුකූල රජය ලෙස පිළිගන්නේ, වත්මන් ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුවයි. 


5. ඉන්දියාව, චීනය, පාකිස්ථානය, බංග්ලාදේශය, බලයෙන් පහකළ රජයේ උදව්වට එනවා. (වෙනත් රටවල් ද එක්විය හැකියි)  එය යුද්ධාධාර වියහැකියි. අවසන් ප්‍රතිඵලය වන්නේ භයානක ලේ වැගිරීමකින් පසු, බලය යලිත් පෙර පැවති රජයටම ලැබීමයි. කපටි මොළයක් තියන රාජ්‍ය නායකයකුට පුළුවන්, ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන, දේශපාලන සතුරන්, සදහටම වනසා දමන්න. 


6. ණයබර, ආර්ථික වියවුල්, සහිත මේ රට අල්ලාගන්න, කිසිදු ත්‍රිවිධ හමුදා නායකයකු එකඟවනු ඇතැයි මා හිතන්නේ නැහැ. 


7.  හමුදා කුමන්ත්‍රණයකට අවශ්‍ය පසුබිම මේ රටේ තවම දකින්නට නැහැ. ඒ සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සහ පොලීසිය පෙළඹවීමට තරම් උත්තේජනයක් සමාජය තුළ වර්ධනය වී නැහැ. ඒ නිසා, තමන් දැනට විඳින වරප්‍රසාද ඔට්ටුවට තබා, කුමන්ත්‍රණයකට යන්නට තරම් අඥාන පිරිසක්, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය තුළ ඇතැයි සිතන්නට අමාරුයි. 


8. මේ කුමන්ත්‍රණ කතා නිසා, රජය, මේ වනවිටත්, පූර්වාරක්‍ෂක පියවර ගණනාවක් ගෙන ඇති. ඒවා උපක්‍රමික ක්‍රියා නිසා, මා මෙහි විස්තර කරන්නේ නැහැ. 


මේ යහපාලන රජය, නියමිත අවුරුදු 5 යන්නට කළින්, ප්‍රජාතන්ත්‍රවාදීව පෙරළා දැමුවොත්, මා පුදුම වන්නේ නැහැ.


අපි මේ ගැන සංවාදයක යෙදෙමු.


2016 නොවැම්බර් මස 22 වැනි දින 2204 පැය

81 comments :

  1. මෙතරම් බොළඳ ප්‍රකාශයක් කිරීම එවැනි පරිනත දේශපාලකයකුට තරම් නෑ ! අතීතයේ සිදු වූ බව අසා තියන කුමන්ත්‍රණයේ විස්තර දැන ගන්ට ලැබීම මහත් සතුටක් විචාරකතුමා

    ReplyDelete
    Replies
    1. දැන් උන්නැහේලගේ කාලේ ඉවරයි කියලා නොතේරීම නිසා තමයි මේ වගේ විකාර දොඩවන්නේ ගුණසිංහ මහත්තයෝ.

      Delete
  2. කුමන්ත්‍රණය හෙළි කරන්න සේනානායක නම් පොලිස් නිලධාරියෙකු මූලික වුණු බව අසා තියෙනවා. ඒ රෝසි ගේ මාමණ්ඩි නේද?

    ReplyDelete
    Replies
    1. විකිපීඩියාවෙන් තොරතුරු-
      https://en.wikipedia.org/wiki/1962_Ceylonese_coup_d'%C3%A9tat_attempt

      The information came from SP (Colombo) Stanley Senanayake (would later become IGP), head of Police in Colombo, who after being taken into the confidence of the coup leaders had informed his father-in-law, SLFP MP and party secretary Patrick de Silva Kularatne, who in turn notified the CID.[citation needed]

      Delete
  3. හමුදා කුමන්ත්රණයකට පසු.. ප්රජාතන්තරවාදී චන්දයක් පවත්වා ගන්න පුලුවන් උෙනාත් පත්ෙවන රජය නීත්යානූකූල ෙවනවා ෙන්ද?

    ReplyDelete
    Replies
    1. ඔව්. හැබැයි ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදී විදිහට ඡන්දයක් පැවැත්වුවොත්.

      Delete
  4. කුමන්ත්‍රණය හෙළි කලේ ස්ටැන්ලි සේනානායක ඒ නිසා ඔහුව IGP කලා

    ReplyDelete
    Replies
    1. ස්ටැන්ලි සේනානායක පොලිස්පති (IGP) වුනේ ඊට සෑහෙන කාලෙකට පස්සේ අපිට මතක තියෙන කාලේ. මිනිහා කුමන්ත්‍රණය කාලේ කොළඹ පොලිස් අධිකාරි (SP) කියා නේද ඉහත Wikipedia උපුටනයේ තියෙන්නේ.

      Delete
    2. එවකට සිටි IGP සහ ඉන් පසු පත් වූ IGP ලා දෙන්නෙකු ගැන විස්තර-

      As the coup leaders met to finalize plans, the prime minister was visited by her nephew Felix Dias Bandaranaike and two senior police officers of the Criminal Investigation Department (CID), which included its Director DIG S.A. Dissanayake and SP John Attygalle (both would later become IGPs) who informed the PM about an attempt to take over the Government by a coup by certain army, navy and police personnel according to information received. They had earlier informed IGP M.F.W. Abeykoon about the possible coup, who due to the seriousness on the situation notified Felix Dias Bandaranaike, the Minister of Finance and Parliamentary Secretary for Defence and External affairs.

      Delete
    3. මෙන්න ඒ කාලේ ලංකාවේ ලා.
      https://en.wikipedia.org/wiki/Inspector_General_of_Police_(Sri_Lanka)

      Stanley Senanayake: 14 September 1970 - 23 August 1978

      Delete
    4. ස්ටැන්ලි සේනානායක පසුව තමයි පොලිස්පති වුනේ. මේ කුමන්ත්‍රනයේ ඔහුත් කොටස්කරුවෙක්. ඔහුගේ බිරිඳ තමයි පී.ද එස් කුලරත්නගේ දුව. ස්ටැන්ලි මේ ගැන බිරිඳට කී පසු, බිරිඳ ඒ බව තම පියාට කී නිසා වැඩේ ලීක්වූ කතාවක් තමයි මම අසා තිබෙන්නේ. ඔතන සිටි එකම බෞද්ධයා ස්ටැන්ලි කියා කියනවා. ආගම පිලිබඳ නම් විස්තර දන්නේ නැහැ. ස්ටැන්ලිගේ පුතා කාලයක් මගේ බොස් වෙලා නම් හිටියා.

      Delete
    5. ස්ටැන්ලි සේනානායක තමයි කුමන්ත්‍රණය හෙළි කළේ. ඒ වගේම හමුදා ප්‍රධානීන් කීප දෙනෙක් හිටියා ඇත්තටම කුමන්ත්‍රණය ගැන දැන නොසිටි. නමුත් ඔවුන්වත් ඉවත් කළා.

      ඇත්තටම මේ සිද්ධියේදී බෞද්ධ නිලධාරීන් කිසිවෙක් සම්බන්ධ නොවීම අහම්බයක්ද නැතහොත් වෙනත් හේතුවක්ද යන්න ගැටළුවක්.

      Delete
  5. සැරෙන් සැරේ මේ ගැන විස්තර කියවලා තිබුනත් හොද විස්තරයක් දැනගත්තා ..
    විචා ...උබට මේ දේවල් විස්තර කරලා ලියන්න තියන හැකියාව එල ද බ්‍රා ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මෙන්ඩෝ

      Delete
  6. මේ වගේ විස්තර නම් කවදාවත් මම දැනගෙන හිටියේ නෑ.. බොහොම ස්තුතියි... මේ ලඟදි තුර්කියේ ද කොහෙද ඔහොම හමුදා කුමන්ත්‍රණයක් කරන්න ගිහින් ෆේල් වුණා නේද? එහි ජනාධිපතිවරයා සමජ මාධ්‍ය භාවිතාවෙන් ජනතාව දැනුවත් කරලා ඒක වලක්වපු කතාවක් මම කියෙව්වා. අවංකව දුෂ්ට පාලනයක් නැතිනම් ඔය වගේ දේවල් සාර්ථක කරන්න බෑ..තාම යහපාලනේ එච්චරම චාටර් නෑ කියලයි මම හිතන්නේ..


    ReplyDelete
    Replies
    1. ඇත්තටම පැතුම් මේ වගේ සිදුවීම් පාසල් දරුවන්ට කියා නොදීම ලොකු අඩුවක්. දැන් මේවත් අපේ ඉතිහාස පොත්වලට එකතු කලයුතුයි.

      ඔව් තුර්කියේ තමා එහෙම වුනේ.

      යහපාලන රජය ගහලා බැනලා හරි හදාගන්න පුළුවන් දරුවෙක් වගේ මට නම් පෙනෙන්නේ.

      Delete
  7. විචා මාමේ. මේ විස්තරේ නං කලින් කවදාවත් අහල නැති උනත් ඔබේ පොස්ට් එකෙන් විස්තරේ අඩුවක් නැතිවම පැහැදිලි කරල තියෙනව. ඒ වගේම මේ දේවල් මතකයෙ තියාගෙන ඉන්න හැකියාවත් බොහොම අගෙයි.

    ලෝකේ හමුදා කුමන්ත්‍රණ වලින් ගත්ත කිසිම ආණ්ඩුවක් පැවතෙන්නේ නැහැ කියන මතයේ තමයි මම ඉන්නෙත්. එහෙම කෘමන්තන කරල ගත්ත රටක් ඒ වගේම ලිබියාවක් වෙනව මිසක් සාමාන්‍ය රජයක් වෙන්නෙත් නැහැ.

    ඔබ මේ ලිපිය ලියනකන් මම හිතාගෙන හිටියේ ලංකාවේ ඔය හමුදා කෘමන්තනය කියන්නේ 75% වගේ වෙන්ට පුළුවන් දෙයක් කියල.

    මොකද මහින්ද ඇතුළු පිරිස කොච්චර ජාතිවාදය ආගම්වාදය පෝෂණය කලත් කොරගන්ට පුළුවන් දෙයක් නැති උන නිසා හමුදාව උසි ගන්වල කරන කෘමන්තන සමහරක්විට උන්ගෙ ලාස්ට් ඔප්ෂන් එක වෙන්නත් බැරි නැහැ.

    අනික ජනාදිපති තුමාටත් ආරක්ෂක ලේකම් තුම්ටත් මේ නිසා ලොකු වගකීමක් තියෙනව තමන්ගේ ආරක්ෂක සේනා, ඔත්තු සේවා ආරක්ෂා කරගැනීමට. ඒක විශාල වගකීමක්.

    මොකද දේශපාලකයින් කලට වෙලාවට ජනතා මොලගෙඩි දිනාගන්ට කරන ගොන් කතා වලින් හානියක් වගේම තව කෙනෙකුට වාසියක් වෙන්ටත් පුළුවන්.

    ස්තුතියි..!!
    👊🏽

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තිලාන්.

      මේවා අපේ ඉතිහාස පොත්වලට දාලා ළමයින්ට කියා නොදීම ලොකු අඩුවක්.

      මා හිතන්නේ නැහැ ඒකාබද්ධ විපක්‍ෂය මේ වගේ ගොන්කතා කීමෙන් කිසිම දේශපාලන වාසියක් ගනියි කියලා. ඔවුන්ගේ නොහැකියාව තවත් ඔප්පුවෙනවා මේ වගේ කතා වලින්.

      Delete
  8. මේ අසාර්ථක කුමන්ත්‍රණය හෙළිවීම ගැන කථාවක් මා අසා තිබෙනවා. සත්‍ය අසත්‍ය දන්නවා නම් කියන්න. මෙම කුමන්ත්‍රණයේ එක් පාර්ශව කරුවෙක් රෝහල් ගතවී සිටි ඔහුගේ ඥාතියෙකුට මෙම සැලසුම ගැන කියනු ඊට ආසන්න ඇඳේ සිටි කෙනෙකුට ඇසුනා. රෝහලෙන් රහසේ පිටව ගිය ඔහු ෆිලික්ස් ඩයස් බණ්ඩාරණයක දැනුවත් කලා. ස්තූතියි විචා

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඉයන් මේ කුමන්ත්‍රණයේ වටිනා තොරතුරු බොහොමයක් වැළලී ගිහින් තියෙන්නේ. ඒ කාලේ අදවගේ විද්‍යුත් ක්‍රමයට වාර්තා තබාගැනීමට ක්‍රමවේද නොතිබීම, ලිඛිත සාක්‍ෂි විනාශවීම, තොරතුරු දන්නා අය අතර මතභේද තිබීම නිසා, එදා ඇත්තටම මොකද වුනේ කියන එක, හරියටම හොයාගන්න අමාරුයි.

      Delete
  9. ඔබේ ලිපිය අති විශිෂ්ටයි.
    අැත්තටම හමුදා කුමන්ත්‍රනය කියන වචනය විහිලුවටවත් කිවයුත්තක් නෙමෙයි. කනගාටුවට කරුන බුකියෙ පෝල් එකක සමහරු ඊට කැමැත්තත් පලකරල.තිබුන. ඔවුන්ගෙ දැනුමෙ තරම තමයි. ඒ වගෙ දෙයකින් අපි මෙතෙක් දිනාගත් සියල්ල.අහිමි වෙනවා.පූර්න වහල් සමාජයක් බිහිවෙනවා. හමුදා පවුල් අතලොස්සක් ධනවත් වෙයි.
    කොන්දේසි විරහිතව හමුදා කුමන්ත්‍රනයකට පක්ෂ පාට භේද වලින් තොරව විරුද්ධ විය යුතුයි.
    දිනේශ් කල ප්‍රකාශය හෙලා දකින්න ඕන.පෙරලන තරමට
    රජය ජනතාව අතර අප්‍රසාදයට පත්වී නැහැ. අැත්තටම මහලොකු අවුලක්අාන්ඩුවෙ නෑ.
    අාන්ඩුව පත්වෙලා අවුරුදු 2 ක්වත් නෑනෙ.

    සමගිි පෙරමුනු කාලෙ සහ ඩඩ්ලි කාලෙ නිදහසක් තිබුන කියන කතාවට එකග වෙන්න බෑ. අපට එම යුගය ගැන ජීවන අත්දැකීම් නැතත් අහන්න දකින්න ලැබුන දේ අනුව එය කිසිසේත්ම විය නොහැකියි. සිරිමගෙ කාලෙ හරියට පෙලපාලියක්වක් යන්න බැරිලු. සමාජවාදී මර්ධන අාභාෂය නිසා ප්‍රතිගාමීන් ලෙස හංවඩුගහල මර්ධනය කලාලු.සිරිම ගැන
    කවියක් කියල සංගදාසට පොලීසියෙන් ගූ යනකම් ගැහුවලු. පත්තර රජයට පවර ගත්තෙත් සිරිම නේද.
    ඩඩ්ලි කාලෙ දොඩම්පෙ මුදලාලි සිද්ධිය එහෙම වුනේ.
    මානව හිමිකම් ගැන කතිකාවතක් වත් නොතිබුන. නූගත් වැඩවසම් සමාජයක ජනතාවට මාධ්‍ය අාරක්ෂාවක්වත් නැතිව සිරිමල ඩඩ්ලිල නිදහස දුන්න කියල හිතන්න බෑ.

    කුමන්ත්‍රනකරුවන්ගෙ නම් ලැයිස්තුව දිහා බලපුවම බෞද්ධ කිසිවෙක් නැතිබව බැලූබැල්මට පේනවා. ඒ නීච කුමන්ත්‍රනය පරාජය කිරීම රටේ වාසනාවක්. නැතිනම් සීතාවක හෝ පෘතුගීසි කාලෙ මෙන් දරුනු මර්ධනයකට මුහුන දෙන්න බෞද්ධයන්ට සිදුවෙෙන්න ඉඩ තිබුන

    ReplyDelete
    Replies
    1. ලිපිය ඇගයීම ගැන බොහොම ස්තුතියි.

      හමුදා ආණ්ඩුවක් බිහිවුනොත් ජනතාව නොමැරී මැරෙනවා. හමුදා පවුල් රජසැප විඳිනවා. ඒ නිසා හමුදා කුමන්ත්‍රණයක් ඇතිවීම වැළක්විය යුතුයි. ඒ සඳහා සැකකටයුතු හමුදා නිලධාරීන් පන්නා දැමීම සාධාරණයි.

      දිනේෂ්ලා දැන් ඉන්නේ ඔවුන්ගේ දේශපාලන ජීවිතයි අවසාන මොහොතේ. තව එක වරක් හෝ රජසැප විඳින්නයි මේ උත්සාහ කරන්නේ.

      මම අදහස් කලේ සමගි පෙරමුණු ආණ්ඩුව කාලේ සහ ඩඩ්ලි සේනානායක කාලේ පූර්ණ නිදහස තිබුණා කියලා නෙවෙයි. නමුත් මිනිස්සුන්ට පුළුවන් වුණා ආණ්ඩුවට පස් පඩංගුවෙ බනින්න. දැඩි මර්දනයකට ලක්වුණේ නැහැ ඒ විවේචන. නමුත් එය පූර්ණ නිදහසක් නෙවෙයි.

      දොඩම්පේ මුදලාලි සිද්ධිය අද ඉන්න බොහොම දෙනෙක් දන්නේ නැහැ.

      ඇත්තටම 1962 කුමන්ත්‍රණය සාර්ථක වුනානම්, සුද්දා යලිත් අපිව පාලනය කරනවා අවුරුදු 50 ක් විතර යනතුරු.

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. US citizen එහෙත් හිරේ ලඟින්න වෙන අවුලක් හදාගනීද? දැනට හිරේ ළඟින්න තරම් අවදානමක් නැති කිසිම ඔෆිසර් කෙනෙත් ඕවට සම්බන්ධ වෙන්නේ නෑ, වෙන රටවල වීසා නොලැබෙන්න ඉඩ තියන කර්මයන්ට එයාල කිසි දායකත්වයක් දෙන්නෑ.

      Delete
  11. මේ විස්තර කිසිවක් දැනගෙන හිටියේ නැහැ, බොහොම ස්තුතියි...

    ///මේ යහපාලන රජය, නියමිත අවුරුදු 5 යන්නට කළින්, ප්‍රජාතන්ත්‍රවාදීව පෙරළා දැමුවොත්, මා පුදුම වන්නේ නැහැ.///
    5 ට කළින්නම් පෙරලෙන එකක් නැහැ, එන ජන්දෙකදී මෙයාලව ගෙනාපු අයම නිෂ්ශබ්ධව හිඳීමෙන් සහ විරුද්ධව ජන්දය දීමෙන් මේගොල්ලෝ ගෙදර යවයි කියලයි මට හිතෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ඉතිහාසය ඉස්කෝලවල කියා දෙනවානම් මේවත් කියලා දෙන්න ඕනේ. ඒ නිසයි ඔබේ පරපුරෙන් මේ තොරතුරු සැඟවිලා තියෙන්නේ.

      ඔව් මටත් හිතෙනවා යහපාලන රජය නිකම්ම චුතවෙයි කියලා ආයුෂ පිරිහුනාට පස්සේ.

      Delete
  12. 1962 හමුදා කුමන්ත්‍රණයක් පිලිබඳව අසා තිබුනට අද තමයි සම්පූර්ණ විස්තරය දැනගත්තෙ. බොහොම ස්තූතියි විචා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබට.

      Delete
  13. තාත්තා - බොරළුගොඩ සිංහයා
    පුතා - බොරළුගොඩ සුනඛය

    අනිවාර්යයෙන් මුන් සිරාට ගේමක් දෙනවා.. බොහෝ විට ඝාතනය කරයි.. ඒවා තමයි මේ කටින් එලියට පනින්නේ.. ඝෝඨාභයගෙ උන් රෙද්ද අස්සෙ දාගෙන බයිලා ගහනවට එයාට කවදා හරි ලැබෙන තෑග්ග තමයි ඒ..

    විචා.. සුබ සහ යස කතන්දරේ කියවන්න.. ඉතිහාසය රිපීට් වෙනවා කියන්නෙ ඒකයි...

    ReplyDelete
    Replies
    1. ළඟදි තුර්කියේ එකටත් කෙල උනා නේද..?

      Delete
    2. උබ කිව්ව පලවෙනි කොමෙන්ට් එකේ තියෙන දේ අනිවා ඩෙෆා වෙනව ..

      Delete
    3. @ මාතේ. කුමන්ත්‍රණකාරී කම බොරලුගොඩ සුනඛකමටත් වඩා පහත් ය.

      තුර්කියේ ලොක්කා මිනිස්සුන්ට ඇත්ත කියලා දීලා වැඩේ ගොඩදාගත්තා.

      Delete
  14. ඩි මෙල් ලගෙ කුමන්ත්‍රණයට Catholic coup කියලත් කිව්වා නේද? ස්ටැන්ලි සේනානායක ගියෙ එන් කියු ඩයස්ගේ ලඟට නේද?

    දවසක් මට එන් කියු ඩයස්ගේ පුතා සහ එක ඩි මෙල් කෙනෙක් ගේ පුතෙක් එකට හමුවුනා. වැඩිය coups ගැන කතා කලේ නෑ :-D

    තව එකකට "කක්කුස්සි කුමණ්ත්‍රනය" කිව්වා කියල අහල තියනවා.
    දෙකම 1960 ගණන් වල?

    ReplyDelete
    Replies
    1. එන්.කියු.ඩයස්ගේ පුතා නේද ගෝමින් දයාසිරි...

      Delete
    2. Catholic coup කියලා තමයි මේ කුමන්ත්‍රණය පසු කාලයේ හැඳින්වූවේ. නමුත් සදාචාරාත්මක කරුණු නිසා මා ඒ නම මෙහි පළකලේ නැහැ.

      1963 දී තවත් එකක් සැලසුම් කර හෝ සාකච්ඡා කර තිබෙනවා.

      අරු, ගෝමින් දයාශ්‍රී ද දයස් ශ්‍රී ද නිවැරදි නම?

      Delete
    3. ගෝමින් දයස් ශ්‍රී.....විචා හරි.

      Delete
  15. @ Ian, මං අහල තියෙන්නෙ සේනානායක දැන්නුවෙ එන් කියු ඩයස්ට කියල. ඔහු තමයි අගමැතිනියට දැන්නුවෙ.
    ජන්ගල් සහ ජින්ගල් දිසානායක (brothers) ල එක්කෙනෙක්ගෙන් සේනානායක දැනගත්තා කියලත් කියනවා.

    60 ගණන්වල තිබුනු අසාර්ථක කුමණ්තන දෙකේ කරුණු පැටලැවෙනවද දන්නෙත් නෑ

    ReplyDelete
    Replies
    1. ඇත්තටම තවත් කුමන්ත්‍රණ කතාවක් ගියා 1966 දී.

      මෙන්න තියනවා විස්තරේ

      නමුත් මේ සිද්ධිය රටේ එච්චර ලොකු කැළඹීමක් ඇති කලේ නැහැ. N.Q. ඩයස් සම්බන්ධ වෙන්නේ මේ කතාවටයි.

      Delete
  16. ඇතැම් දේශපාලන අඳ බාලයන් කල්පනා කරන්නේ එවන් සන්නද්ද හමුදා කුමන්ත්‍රණයක් සිදු වුවහොත් අදාළ කුමන්ත්‍රණ කරුවන් විසින්අත්පත් කරගත් බලය සිවිල් දේශපාලන නායකයන්ට පවරනු ඇතැයි යනුවෙනි.....1973 වසරේ චිලී දේශයේ හමුදා කුමන්ත්‍රණය සිදුවූ විටත් එරට දක්ෂිණාංශික කඳවුරේ දේශපාලකයන් කල්පනා කලේ හමුදාව තමන් අතට බලය දෙනු ඇතැයි යනුවෙනි.නමුත් සිදුවුවේ ජනරාල් ඕගස්ටෝ පිනොශේ විසින් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය සම්පුර්ණයෙන් සමතලා කර පුර්ණ මිලිටරි පාලනයක් පවත්වා ගෙන යාමයි...අවසානයේ සිදුවුවේ කුමන්ත්‍රණයට ආවැඩු වන්ටද මහත් විපත් වලට මුහුණ දෙන්නටය.....ලංකාවේ එවැනි දෙයක් සිදුවුවහොත් එහි දුර්විපාක මුලින්ම අත් විඳින්නන් අතර දිනේෂ් ගුණවර්ධන මහතාද සිටිනු ඇත...

    ReplyDelete
    Replies
    1. කිසි සේත්ම නෑ... ඔවුන් තමයි ක්‍රමන්ත්‍රණය මෙහෙයවන්නේ...

      Delete
    2. @ jay-c z. එකඟයි. බලය ගන්න කොයි මිනිහද ඒක අතාරින්න කැමතිවෙන්නේ.

      @ මාතේ. නෑ නෑ, දිනේෂ්ලා කුමන්ත්‍රණය මෙහෙයවූවා කියා උපකල්පනය කලත්, අන්තිමට ඔවුනුත් උගුලට අහුවෙනවා.

      Delete
  17. ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මහතාවත් අග‍්‍රාන්ඩුකාර තනතුරෙන් අයින් කරලා තමන්ගේ ඥාතියෙක් වෙච්චි විලියම් ගොපල්ලව පත්කරගන්නත් හේතුවුනෙත් මේ කුමන්ත‍්‍රනය නිසා නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. විලියම් ගොපල්ලව මහතා බණ්ඩාරනායක මැතිණියගේ මාමා කෙනෙක්.

      Delete
  18. ඔබ කියා තිබෙන පරිදි ජනතා ජන්දයකින් බලය ලබා තිබෙන ආණ්ඩුවකට විරුද්ධව හමුදා කුමන්ත්‍රණයක් ක්‍රියත්මක කර බලය ලබා ගැනීමට හැකියව ඇතැයි සිතා කිසිවෙකු සිතනවා නම් එය අනුවණ කමක්.ඔබ එය ඉතා හොඳින් සරලව විස්තර කර තිබෙනවා.මට මතකයි උග්‍ර වමේ කොටසක් ලෙස ජවිපෙන් පෙරටුගාමින් ඉවත්ව ගිය මොහොතේ සමහර මාධ්‍ය තුල පවා වාර්තා තිබ්බා ජවිපෙ නැවත සන්නද්ධ වෙන්න යනවා කියා.නමුත් ජවිපෙ දන්නවා සන්නද්ධ අරගල වලින් බලය ලබා ගන්න දැන් නොහැකි බව.මේ නැති බිල්ලෝ මවලා පෙන්වන්නේ සමහර මාධ්‍ය විසින්.

    සන්නද්ධ අරගල වලින් හෝ හමුදා කුමන්ත්‍රණ තුලින් බලය ලබා ගන්න පුළුවන් කියලා අබ ඇටයක් තරම් හෝ දේශපාලන දැනුමක් තියෙන අය හිතනවා කියලා මම හිතන්නේ නැහැ.සරත් එන් සිල්වා දීලා තියෙන බහුබූත තීන්දු නිසා මන්ත්‍රී කෙනෙක් පක්ෂ මාරු කිරීම නිත්‍යානුකුල දෙයක් නිසා පාර්ලිමේන්තුවේ ඔලු ගෙඩි එහාට,මෙහාට කරලා බලය ගන්න ඕන නම් ගන්න පුළුවන්කම තියේද්දී මේ වගේ කිසිම තේරුමක් නැති වැඩ කරන්නේ මොකටද ?

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම හමුදා කුමන්ත්‍රණයක් සිදුවීමට තරම් වාතාවරණයක් ගොඩනැගී නැහැ දැනට. ඒ වගේමයි අපේ රටේ එවැනි දේ කරන්න බැහැ. අපේ සමාජය ඊට ඉඩදෙන්නේ නැහැ. කුමන්ත්‍රණය සැලසුම් කරනකොටම එලියට එනවා. වරදින්නේ නැතුව කරන්න පුළුවන් එක ක්‍රමයයි තියෙන්නේ. ඒක නොකියා ඉන්නම් මෙතන.

      පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු පක්ෂ මාරුකලාම ඒ මිනිහව ඉඹලා පිළිගන්න ජරා සම්ප්‍රදාය ලෝකයේම තියෙන්නේ අපේ රටේ විතරක් වෙන්න ඇති. අපේ අයියලා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කාරයෝ, බටහිරයෝ කියලා බනින රටවල, වෙනත් පක්ෂයකින් අස්වී එන කෙනෙකුව බාරගන්නේ නැහැ. ඒ වගේමයි එහෙම අස්වී යන්නෙත් නැහැ.

      සරත් එන් සිල්වාට යන්න අපායක් වෙනම නිර්මාණයවනු ඇති.

      Delete
  19. හමුදා කුමන්ත්‍රණයක් සිදුවීමේ සම්භාවිතාව අඩුයි - ඔව් - 1973 ඔගස්ටෝ ෆිනෝෂේ බලයට එන්නේ ලෝකයේ බලවත්ම රටේ අනුග්‍රහය ඒ කුමන්ත්‍රණයට තිබුන නිසා - තායිලන්තයේ මෑතක හමුදා කුමන්ත්‍රණය සාර්ථක වන්නේ රජුගේ සහයෝගය හා ඒ නිසා ජනතා සහාය තිබුන නිසා හා පසුව රජයක් පත් කරපු නිසා- තුර්කියේ හමුදා කුමන්ත්‍රණය අසාර්ථක වන්නේ එරට ජනතාවගෙන් බහුතරය ජාතිකවාදී ඉස්ලාමික රජයට කැමති නිසාත් කුමන්ත්‍රණකරුවක් ඊට පෙර සිටි ජනප්‍රිය නොව සෙකියුලර් මතවාදය නියෝජනය කිරීමත්
    දැන් ලංකාව ගමු- මේ වන විට යහපාලන රජයේ වැඩපිලිවෙල් නිසා බහුතර සිංහල ජනතාව අතර යම් ප්‍රතිරෝධයක් හා ජාතිකවාදී හැඟීම් උත්සන්න වීමක් දක්නට ඇති බව සත්‍යයක් -ගෝඨාභයගේ ට්‍රම්ප් ජයග්‍රහණය ගැන ටීවීට් එකෙනුත් ඒ බව සනාථ වනවා- මේ ලෙසම හමුදාව තුළත් කළකිරීමක් තිබිය හැකියි - හැබැයි හමුදා කුමන්ත්‍රණය නැමැති දුෂ්කර පියවරට ඔවුන් යන්න තරම් මේ කළකිරීම බලවත් බව සිතන්න අමාරුයි - අනිත් අතට විචාරක කිව්වත් වගේ මේ වගේ කතා තිබෙද්දි රජයත් බකං නිලා ගෙන ඉන්නවා කියල කවුරුන් හෝ සිතනවා නම් එය මුලාවක්

    ReplyDelete
    Replies
    1. මා පැහැදිලිවම දන්නවා, හමුදාවෙ බහුතරයක් තුළ කිසිදු කලකිරීමක් නැහැ. හමුදා සේවයේ යේදී සිටියදී, විවිධ අපරාධ වලට සම්බන්ධ වූ අය, එදා බලයෙන් මත්වී එවැනි දේ කලාට, කවදා හෝ ඒවා එලියට එතැයි සිතුවේ නැහැ. අන්න ඒ වගේ අය, බයට සහ කලකිරීමට පත්ව තිබෙනවා. ඒ පිරිස ගොනාට අන්දාගෙන ඔවුන්ලවා පරවැඩ කරවාගත් ජරා දේශපාලනඥයන්, අද ඒ අපරාධ එලියට එතැයි කියන බයෙන් තප්පුලන සද්දේ තමයි, මේ කුමන්ත්‍රණ කතාවේ ආරම්භය. ඒ සියලු දෙනාට එරෙහිව නිසි නීතිමය පියවර ගෙන, ත්‍රිවිධ හමුදාවම පිරිසිදු කලාම, යලි කිසිදිනය තමන්ට අයිති වැඩ කොටස මිස, අමතර ලකුණු දාගන්න කවුරුවත් දඟලන්නේ නැතිවෙයි.

      Delete
  20. විචා.....කාලෙකට පස්සේ මේ සිද්ධීන් ගැන කියවන්න ලැබුනේ. විචාගේ ලිපිවල තියෙන පිලිවෙල සහ තොරතුරු එක් රැස් කිරීම හරිම වැදගත්!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අරු.

      ලිපිය ලියන්න නිමිත්ත පහල කරදුන් දිනේස තුමාටත් ස්තුති කරන්න වටිනවා.

      Delete
  21. මමත් විචා කියපු හා රසික එකතු කළ (සේනානායක ) වර්ෂන් එක තමා දන්නේ. මගේ පියා ඔය නඩුවේ එක්තරා උසස් නිලධාරියෙකුට පක්ෂව සාක්කි දුන්නාලු. ඔහු බේරුනේ ඒ නිසා කියා තමයි මගේ පියා මට කිව්වේ.
    පසුව 71 කැරැල්ල කාලේ දේශපාලන පළිගැනීමකට ලක්ව පියාට රැකියාව නැතිවුණා. ළමයි හතරදෙනෙකුත් එක්ක අසරණ වුනාට පස්සේ ඒක දැනගෙන ඔය කියන උසස් නිලධාරියා බදුල්ල පැත්තේ සුළු රැකියාවක්මගේ පියාට හදා දුන්නා. මම රුසියාවේ ඉන්න කාලේ, මගේ පියාට ඔහු නැවත හමුවූ විටෙක ඔහු ගේ විස්තර අසා දැනගෙන උසස් නිලධාරීන්ට කියා පියාට රැකියාවේ උසස් වීම් තුනක් විටින් විට ලබා දීල තිබෙනවා. ඔහුගේ ඒ උදව් නිසා මගේ පියා කිවේ ඇත්ත විය හැකියි. මගේ පියා කිවේ ක්‍රිස්තියානි භක්තිකයන් විසින් තමන්ට අසාධාරණයන් සිදු වෙනවා කියා මේ කුමන්ත්‍රණය කළ බවයි. අර උසස් නිලධරයත් ඇන්ග්ලිකන් හෝ කතෝලික. පසුව බුද්ධාගමට හැරුණු බවකුයි දන්නේ. දෙදෙනාම දැන් මිය ගිහින්.

    ReplyDelete
    Replies
    1. හොන විස්තරයක් අජිත්. ඇත්තටම ඔබේ පියා ඉතා වටිනා තොරතුරු රැසක් දැනසිටින්න ඇති. ඔහු එය දිනපොතකවත් ලියා තැබුවානම් ඒ කරුණු අද මිල කල නොහැකි ඓතිහාසික තොරතුරු බවට පත්වෙනවා.

      මේ කුමන්ත්‍රණය ක්‍රිස්තියානි සහ/හෝ කතෝලික කුමන්ත්‍රණය කියා හැඳින්වීමේ යම් සත්‍යයක් තිබෙනවා.

      Delete
    2. එක දින පොතක් තියනවා. පරණ ට්‍රම්ප් වගේ කාරයක පින්තූරයකුත් තියනවා. ඒක නිවී හැනහිල්ලේ බලන්න ඕනේ.

      Delete
    3. සොරි ට්‍රයම්ප් කාර් එකක්.

      Delete
    4. බලන්න බලන්න. මේ ගැන නැතත් වෙනත් වැදගත් තොරතුරු තියෙන්න පුළුවන් හොඳ බ්ලොග් ලිපියකට පාදක කරගතහැකි.

      Delete
  22. මම හිතුවේ ඇත්තටම කුමන්ත්‍රනයක් කරන්න යනවා කියලා. හොඳ සතුටකින් ආවේ. බලනකොට වෙච්ච දෙයක් නේ? :(

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, ඔයා දන්නවනම් හමුදා කුමන්ත්‍රණයක ප්‍රතිඵල කොයිතරම් භයානකද කියලා, හමුදා කාරයෙක් ලියන මේ බ්ලොග් එක පැත්ත පළාතේ එන්නේ නැහැ.

      Delete
  23. නොදැන හිටි බොහෝ තොරතුරු දැනගත්ත විචා. ස්තුතියි.

    කුමන්ත්‍රණ නේද. හැක්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න.

      අපි නොදන්න කුමන්ත්‍රණ කිව්වලු.

      Delete
  24. ඩග්ලස් ලියනගේ පසුව ජේ.ආර්.ගේ ආණ්ඩුව කාලෙදි රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෙලා හිටියා නේද?

    ReplyDelete
    Replies
    1. මේ කුමන්ත්‍රණයට සම්බන්ධ වී නිදහස ලැබූ කීපදෙනෙකුම පසුව විවිධ උසස් නිලතල ලැබුනා කියා අපේ තාත්තා කියනවා මා අසා තිබෙනවා. ඒක ඇත්ත වෙන්න ඇති.

      Delete
  25. Aru @ Wicharaka,

    He writes his surname as "Dayasri"

    ReplyDelete
    Replies
    1. ඔහු එය කියන විට ඇසෙන්නේ "ඩයස්‍රී" හෝ "ඩයශ්‍රී" කියාය. කෙසේ වෙතත් එය එන් කියු ඩයස් විසින් "ඩයස්" දේශීය කිරීමකි

      Delete
    2. මටත් හිතෙන්නේ ඩයස් දයස් කරලා කියලයි.

      Delete
    3. ප්‍රා ගෝමින් දයාශ්‍රී මහතාව පෞද්ගලිකව දන්න කෙනෙක්. ඒ නිසා ඔහු කියන එක පිළිගැනීම සුදුසුයි කියා සිතමි.

      Delete
  26. එහෙන් මෙහෙන් අහල තිබුනට හරි විස්තරයක් බලාගත්තේ මේ පෝස්ට් එකෙන්.ස්තූතියි ඔබට.
    පාර්ලිමේන්තුවට බෝම්බ ගැසීම ගැනත් මතකය අවධිකරන ලෙසට ඉල්ලා සිටිනවා.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලබ්ස්.

      යකෝ, පාර්ලිමේන්තු බෝම්බේ ගැන කියන්න ගියොත්, අර 'මැදපුකමිසතුන' ගැනත් කියන්න වෙනවා.

      Delete
  27. එල ද බ්‍රා කමෙන්ට් ටිකක් තියනවා

    ReplyDelete
  28. /ලංකා රාජ්‍යයට අදාළ, උපරිම අධිකරණය වුණේ, බ්‍රිතාන්‍ය ප්‍රිවි කවුන්සිලයයි. විත්තිකරුවෝ නඩුව ඒ වෙත යොමුකොට, නිදහස ලැබුවා./

    ප්‍රිවි කවුන්සලයෙන් අභියාචකයින් නිදහස් කලේ ෆීලික්ස්ගෙ ගොන්පාට් එකක් හින්දය කියල ඔය කැරැල්ල ගැන ලියවුනු ලිපියක මම කියෙව්ව.ඒ කියන්නෙ කුමන්ත්‍රණකරුවන් අත් අඩංගුවට ගත්තම පීලිස් ගොයිය ඉස්සෙල්ලම ගිහිල්ල එතන රඟපාල අඩව්වක් අල්ලල කුමන්ත්‍රණ කාරයින්ගෙන් ප්‍රශ්න කරල ප්‍රකාශ ගත්තලු.

    ඒකාලෙ ලංකාවෙ රාජ්‍ය නායිකාව රැජිණ නොහොත් එලිසබෙත් අක්කනෙ.එතකොට එංගලන්ත නීතිය අනුව රැජිණට විරුද්ධව කුමන්ත්‍රණය කලාය කියන චෝදනාවට ලක්වුනු සැකකරුවෙක්ගෙන් ප්‍රශ්න කරල ප්‍රකාශයක් ගන්ට පුලුවන් රාජ්‍ය නිවේදිත ( Gazetted) පොලිස් නිලධාරියෙකුට විතරයිලු.අන්න ඒ ලෝ පොයින්ට් එක උඩලු කට්ටිය නිදහස් වුනේ.

    අග්‍රාණ්ඩුකාර ඔලිවරුත් කුමන්ත්‍රණයට සම්බන්ධයිලු.කුමන්ත්‍රණට සාර්ථක වුනානම් ඔලිවර්ගෙ ප්‍රධානත්වයෙන් තාවකාලික ආණ්ඩුවක් පිහිටුවල ඊට පස්සෙ මාස තුනක් ඇතුලත මැතිවරණයක් තියන්නලු එකඟ වෙලා තිබුනයි කියන්නෙ..

    බොහොම ස්තූතියි විචා...හොඳ ලිපියක්...:)

    ReplyDelete
    Replies
    1. ඔබේ විස්තරයෙන් ලිපියට තවත් ආලෝකයක් ලැබුණා රවී. බොහොම ස්තුතියි මේ විස්තර ඇතුලත් කිරීම ගැන.

      අපි පාසල් ශිෂ්‍ය භටයන් කාලේ දිව්රුම් දුන්නේ එලිසබෙත් රැජිනගේ නාමයෙන්.

      1971 කැරැල්ලේදී ජවිපෙට චෝදනා කලේ රැජිනගේ යටත් විජිතයක් වූ ලංකාවේ බලය පැහැරගන්න උත්සාහ කළා කියලයි.

      Delete
  29. දැනට තිබෙන අධ්‍යාපන ක්‍රමය නිසා මිනිසුන්ට ඇත්තේ තරමක් අඩු දේශපාලන දැනීමක්. හමුදා කුමන්ත්‍රණයක භයානක කම අපේ පරම්පරාවේ බොහෝ දෙනෙකු නොදන්නා බවයි මම හිතන්නේ.

    තායිලන්තයේ හමුදා පාලනය මම දැක තිබෙන විශේෂ තත්වයක්. හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍ර තායිලන්තය දියුණු කර ජ්‍යාත්‍යන්තර මුලය අරමුදලෙන් ලබාගත් ණය බොහෝ සෙයින් ගෙවා දැමු නමුත් ඔහුගේ සහ නැගණිය යින්ග්ලුක් තක්ෂින් ෂිනවත්‍ර පවුල් බලය තහවුරු කරගැනීමට සහ දුෂණයටයි මිනිසුන් විරුද්ධ වුණේ. මෙයින් අපේ රටේ පාලකයනුත් පාඩමක් ඉගෙන ගත යුතුයි. තක්ෂින් ෂිනවත්‍ර සහ සොන්ධි ලිම්තොන්ග්කුල් වෙනුවෙන් තායිලන්තය දෙකට බෙදී මොබ් මානසිකත්වයක් ආරුඪ කර ගැනීම වැනි දේ අද අපේ රටේත් වෙනස් සව්රූපයකින් දැකිය හැකියි. මෙසේ තායිලන්තය දෙකට බෙදී මොබ් මානසිකත්වයක් ආරුඪ කර ගැනීමන් පසුව රජුගෙන් ලැබුණු විධානයක් අනුව හමුදාව බලය ලබාගත් බව කියවෙනවා. මේ හමුදා කුමන්ත්‍රනයේදී ලේ ගැලීම් සිදු නොවීමත් විශේෂ සිදුවීමක් ලෙසයි මම හිතන්නේ.

    තායිලන්ත රාජධානියේ ප්‍රධානියා වන රජු විසින් හමුදා රජයට සහය දැක්වීම නිසා ජ්යාත්යන්තරය හමුවේ තායිලන්තයට එතරම් ගැටළු ඇතිවුනේ නැතිබවයි පෙනෙන්නේ. දැනට තායිලන්තයේ රජෙක් නොමැතිවීමෙන් රාජ්‍යයේ භාරකරු වන්නේ හමුදා පාලනයේ අගමැති ප්‍රයුත් චන්-ඔ-ච යි. මේ හමුදා රජයට තායි මිනිසුන් බොහෝ කැමතියි. හමුදා රජය මිනිසුන්ට ඉතා කරුණාවන්ත බවත් තායි මාෆියාව සහ මත්ද්‍රවය ජාවාරම් කරුවන්ට නොබියව හමුදා රජය ක්‍රියා කිරීමත් මිනිසුන් අගය කරනවා. එසේම හමුදා රජය වටිනා ජාතික ප්‍රතිපත්ති කිහිපයක් සම්පාදනය කල බවයි මම අසා තිබෙන්නේ. වසරක් හෝ දෙකක් තුල ඡන්දයක් පවත්වන්නට හමුදා පාලකයන් පොරොන්දු වී තිබුනත් ලැබුණු බලය එසේ පවරාවිද කියා අපිට ඉදිරියේදී දකින්න ලැබේවි.

    හමුදා පාලනයන් ගැන කියන විට තායිලන්තයේ හමුදා පාලනය බොහෝ සෙයින් සුමට සහ වෙනස් එකක් බවයි මගේ අදහස. එසේ වුවද, තවමත් යුධ මානසිකත්වයේම සිටින අපේ යුධ හමුදාවන් විසින් හමුදා කුමන්ත්‍රණයක් සිදුකළහොත් එය ඉතාම ඉතාම අමිහිරි අතිශය භයානක තත්වයක් වෙනු ඇති බව නොතේරෙන දේශපාලකයන් පාර්ලිමේන්තුවේ සිටීමෙන් පෙනෙන්නේ අපේ දේශපාලකයන්ගේ තත්වයයි. එවැනි දේශපාලකයන්ටම ගැලපෙන මිනිස්සුත් යම් පිරිසක් සිටින බවයි පෙනෙන්නේ.

    ReplyDelete
    Replies
    1. බොහොම අගනා විස්තරයක්. තායිලන්තයේ තත්වය ගැන සතුටු වියහැකියි. නමුත් අපේ රටේ හමුදා කුමන්ත්‍රණයක් සිදුවුනොත් මුළු රටේම අනාගතය අඳුරු වෙනවා සිකුරුයි.

      Delete
  30. කුමන්ත්‍රණය කියනදේ සමාඡ ක්‍රමයෙ අවුල් එක්ක මතුවෙන දෙයක් ,, පවතින රඡය වැරදි වෙන්න අවශ්‍ය වන්නෙ නෑ කුමන්ත්‍රණයක් ඇතිවෙන්න ,,ඉතිහාසය තුළ සාදාරණ පාලකයන්ටත් කුමන්ත්‍රණ වලට මුහුදෙන්න සිද්ධ වෙලා තියෙනව ඕන තරම් , ඡනතා කුමන්ත්‍රණයක් ඇතිවෙන්න නම් දූෂිත පාලනයක් ඇතිවෙන්න ඕන,, නමුත් කුමන්ත්‍රණයක් වෙන්න කලින් පෙර සූදානමක් වෙනවටත් වඩා කුමන්ත්‍රණයක් ඇති වෙන්න තියෙන ේතු මකා දාන එක තමා හොඳම දේ

    ReplyDelete
    Replies
    1. ඔව්, පැලැස්තර දානවට වඩා, කල්තියාම කරුණු සොයාබලා, කුමන්ත්‍රණයක් ඇතිවීමට බලපාන හේතු වලක්වාගැනීමේ ක්‍රියාමාර්ග ගැනීමයි වැදගත්.

      Delete
  31. අනුන්ගෙ post එකක මෙහෙම දාන්න හොඳයි ද මන්ද ,, මම බ්ලොග් කියෙව්වට,,ලියන අයව එච්චර අඳුරන්නෑ , බ්ලොග් එකක් blog reder එකකට හරි සිංඩියකට හරි දාගන්න හැටි කවුරුහරි මට කියල දෙනවද? Plzzzz

    ReplyDelete
    Replies
    1. තරිඳු ලක්ෂාන්...බ්ලොග්ස් ලියන අයව හඳුනගන්න එක හරිම හොඳයි. ඒත් ඒ කිසිවක් නිසා තමන්ගේ ස්වාධීනත්වය විනාශ කරගන්න එපා.

      සින්ඩියකට දාන එක මේ කියවන අය කරලා දෙයි. මාතලන්, අඹගහයට වගේ අනිකුත් සින්ඩිවලට ලින්ක් එක දෙන්න. සින්ඩි පවත්වාගෙන යන අයගේ උපකාරය මත තමා බ්ලොග් ලිවීමේ ආසාව පවත්වා ගෙන යන්න පුලුවන්. අනිත් එවුන් නම් කමෙන්ට් කරුවන්ම තමයි. මොනවා වුනත් තමන්ගේ ස්වාධීනත්වය පවත්වාගෙන දිගටම ලියන්න. මෙතන ලින්ක් එකක් දැම්මට විචා අප්සෙට් වෙන එකක් නැහැ.

      Delete
    2. @ තරිඳු. වෙන කෙනෙකුගේ බ්ලොග් එකක් සින්ඩියකට දාන්න අමාරු වෙයි. මොකද ඒ සඳහා බ්ලොග් අඩවි පාලකගේ විස්තර ලබාදිය යුතුයි.

      ඔබ බ්ලොග් එකක් ලියනවා නම් තමන්ගේ අඩවියේ බ්ලොග් රෝලට (බලන්න මේ දකුණු අත පැත්තේ තියන බ්ලොග් ලැයිස්තුව) වෙනත් අඩවි දාගන්න පුළුවන්.

      Delete
  32. බොහොම ස්තූතියි.. මම බලන්නම් ,

    ReplyDelete
  33. This comment has been removed by the author.

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }