හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

30 December 2017

සමුගත් 2017

              

               අඳුරු මතකය                                         ගුලි කරන්

               හිතේ දුක්ගිණි                                          අළු කරන්

               බලාපොරොත්තුත්   පොදි                             බැඳන් 

               පය තබන්නට මම                                      සූදානම් 


               

             ගෙවුන           දෙදහස්                                     දාහත  

             ලබන්නෙමි      දෙදහස්                                    දහඅට 

             පතන්නම් ඔබ   සැම                                            හට 

             සුබ අලුත් අවුරුද්දක්                                         අදදින 

             

   

            

  විචාරක දියණිය  පෙ .ව. 9.00 පැයට 

   

23 December 2017

ඇවිද්ද පය දහස් වටී



ජීවිතය  ජීවත් කරන්නේ මතකයයි . සොදුරු වුවත් අසුන්දර වුවත් මතකය හැමදාම අපි එක්ක ඉන්නවා . හිතේ දුක නැතිවෙන්න කොළ ගණන් ගුලි කරන් හැමදාම ලියනවා. ඒ වුනාට දුක අඩුවෙනවට වඩා වෙන්නේ දුක වැඩිවෙන එක . ඒ නිසාම අද ටිකක් වෙනස් කථාවකට මුල පිරුවා. මේක උනෙත් ඉතින් මේ මටම තමයි . මේකට හිනාවෙනවද ? අඬනවද? බනිනවද ? මොකුත්ම නොකියා ඉන්නවද ? කියන එක ඔබට බාරයි . 


මෙහෙමයි දැන් කථාව පටන්ගන්නේ 


මේ කථාව 2003 තරම් ටිකක් ඈත අතීතයට දිව යනවා . ඒ වනවිට මා දෙවන වර උසස් පෙළ විභාගය සඳහා සූදානම් වෙන කාලේ . අපේ පදිංචිය පොතුහැර වුවත් මව රාජකාරී කරේ රුවන්වැල්ලේ  . මා පාසල් ගියෙත් රුවන්වැල්ල රාජසිංහ මාධ්‍ය මහා විද්‍යාලයට . මගේ පියා පදවිය ප්‍රදේශයේ රාජකාරි කළා. මා දෙවන වර උසස් පෙළ විභාගයට පෙනී සිටින නිසා පාසලේ සිංහල ගුරුවරයා පවත්වන අතිරේක පන්තියකට සහභාගී වුණා. තරමක් දුෂ්කර උනත් ගුරුවරයා හොඳින් ඉගැන්වීම් කළ නිසා ඊට සහභාගී වුණා.


ඔය සිංහල පන්තියට යන එක්තරා උදෑසනක තමයි මේ රසවත් සිදුවීමට මට මුහුණ පාන්න වුණේ. මගේ මව සෑමදාම රාජකාරී සඳහා උදෑසන 6.00 ට පමණ නිවසින් බැහැර වෙනවා. ඉතින් මට පන්ති තියන දාට ඇය මට පන්ති යාමට අවශ්‍ය මුදල් මගේ අතට දෙනවා . වැඩිපුර  මුදල් දෙන්නේ නෑ . රුපියල් 100 ක් 150 ක් වගේ මුදලක් තමයි දෙන්නේ . මගේ ගමන් මාර්ගය පොතුහැර සිට වරකාපොළට හා වරකාපොළ සිට රුවන්වැල්ල  ඒ දිනවල පොතුහැර සිට වරකාපොළට මුදල රු 12/=කි . වරකාපොළ සිට රුවන්වැල්ලට 23/= කි.  එදිනත් සුපුරුදු පරිදි  මව නිවසින් බැහැර වන අවස්ථාවේ මා හට රු 12/=ක් හා රුපියල් 100/= ක  නෝට්ටුවක් ලබදුන්නා. අතිරේක පන්තිය පැවැත්වෙන්නේ සවස් කාලයේ වුවද මගේ මව කියා සිටියේ උදෑසන 7 .00 විතර පිටත්වී පැමිණ  පුස්තකාලයේ සිට පාඩම් කරන ලෙසයි. ඊට හේතුව නිවසේ සිටියදී මගේ ප්‍රියතම විනෝදාංශය රූපවාහිනිය නැරඹීම පමණක් වීම නිසාය. 


කෙසේ හෝ  සියලු උපදෙස්  ලබාදී ඇය නිවසින් පිටත්ව ගිය පසු, මම හෙමින් සූදානම් වී උදෑසන 7.00 පමණ වනවිට බස්  නැවතුමට ගියෙමි. කොළඹ බසයක් පැමිණි අතර, ඊට ගොඩ වූ මමරු 12/= මුදල කොන්දොස්තරට ලබාදුන්නෙමි   . බස රථය උදෑසන 7.50 පමණ වනවිට වරකාපොළ නගරයට සේන්දු විය. සාමාන්‍යයෙන් කොළඹ බස් රියක් වරකපොළට විනාඩි 45 කින් හෝ විනාඩි 50 කින් පමණ පැමිණේ . වරකාපොළදී බස් රියෙන් බැසගත් මම සෙමින් කරවනැල්ල බස්රථ නැවතුම වෙත පිය මැන්නෙමි . කරවනැල්ල බසයක් එහි නතර කරතිබූ අතර, එයට ගොඩ විය. බස්රථයට ගොඩවූ වහාම මා කරන්නේ ටිකට් ලබාගැනීමට මුදල් අතට ගැනීමය . බෑගයේ තිබූ පර්ස් එකෙන් මුදල් ගැනීමට සැරසුණු මට දැක ගැනීමට හැකිවූයේ රුපියල් 100 නෝට්ටුව අතුරුදහන් වී ඇති බවයි.  එය දුටු මට හීන්දාඩිය හා මහදාඩිය දෙකම දැමීය . මුළු බෑග් එකම පිරික්සූ මට වැටහුණු පරම සත්‍ය නම් අතේ සතපහක්වත් නැතිබවයි.  තවත් බසයේ සිටීමෙන් කිසිදු පලක් නැති නිසා මමබසයෙන් බැස්සෙමි .  තවත් සැරයක් මුළු බෑගය පුරාවටම ඇස් යොමු කල මට සැඟවී තිබූ රු. 1. 50 /= ක් හමුවිය .


බිම ඉඳගෙන කෑ ගහමින්  අඬන්නට කාරණා යෙදී තිබුණද , මගේ යටි සිත කීවේ කලබල නොවී කටයුතු කරන ලෙසයි. ඒ අනුව ක්‍රියාත්මක වූ මා, පළමුව කරේ බස් නැවතුමෙන් ඉවත් වීමයි . එසේ කළේ  කවුරුන් හෝ මා අධ්‍යයනය කළේ නම්,  ඒ අනවශ්‍ය අතපෙවීම්වලින් වැළකීමටයි . 


ඉන්පසු මා  තනිවම තීරණයකට එළඹීමට මා සතු දෑ හා මා සතු ශක්තිය පිළිබඳ සිතින් විමසන ලදී.ඒ අනුව පහත දේ මට වැටහිණි.


1. වරකාපොළ නගරයේ මට උදවුවක් ලබා ගැනීමට  මිනිසෙකු තියා මා දන්නා බල්ලෙකු , පූසෙකුවත්  නැති බව .

2. කිසිවෙකුට දුරකථනයෙන්  කතාකර  උදවු ගැනීමටවත් මා හට ප්‍රමාණවත්  මුදලක් නොමැති බව .  ( අවම රු 2/= )  බොක්ස් එකකින් කථාකිරීමට 

3. පයින් යාම එකම විකල්පය බව .

4. පයින් යන්නේ නම්, දුර අනුව බලන කළ ගෙදර යාම වඩාත් යෝග්‍ය බව .


ඒ අනුව මාගේ පයින් ගමන උදැසන 8.15 ට පමණ නැවත ආරම්භ විය.  තරමක් උස සපත්තු දෙකක් දමාසිටි බැවින් පයින් යාම ද සිතුව තරම් පහසු නොවීය. හෙමින් හෙමින් මම පයින්  යමින් සිටියෙමි. පයින් යන ගමන්ද මට මුදල් සොයා ගැනීමට විකල්පයක් සිතන ලදී. ඒ වනවිට මා සතුව වටිනා යමකට පැවතියේ කරාඹු 2 ක හා අත් ඔරලෝසුව පමණි . කරාඹු 2 උකස් කර නොහැක්කේ මවට උත්තර බැඳීම ඊට වඩා අපහසු නිසාය. ඕවා  මේවා සිතමින්  තුල්හිරිය ප්‍රදේශයට ලංව තිබුණි. පාරේ යන ත්‍රිවිලයක් ද  මා අසල නැවත්වා ඇසුවේ. "මිස් අලව්වට යනවාද ?"  යන්නයි . මම ස්ථානෝචිතව පිළිතුරු දී එයද ගානට මග හැර ගත්තෙමි. 


දැන් අලව්ව නගරයට ආසන්නව පැවතුණි. දෙකන්ශයෙන්ම දාඩිය දමා තිබුණි . සැනෙකින් මට මතක් වුණේ අලව්ව නගරයේ ඇති පොලිස් මාර්ග බාධකයයි. මා සිතා ගත්තේ කාන්තා පොලිස් නිලධාරණියන් සිටියහොත් එහි ගොස් සත්‍ය පවසා ඔවුන්ගේ සහය ඇතිව බස්රථයෙන් නිවසට යාමටයි . අලව්ව නගරයට යනවිට උදෑසන 9.30 පසුවී තිබුණි. මගේ සියලු බලාපොරොත්තු කඩ කරමින් එහි සිටියේ පිරිමි පොලිස් නිලධාරීන් පමණි. එමනිසා එතැනින්ද මම හෙමිහිට පැන ගත්තෙමි. ඔය අතරදී මම  මාර්ගය අසළ නිවසකින් වතුරද ඉල්ලගෙන බීවෙමි.


තව දුරක් යනවිට මාඉදිරියට  හිඟන්නෙක් පැමිණෙමින්  සිටියේය . මොහොතකින් මේ මනුස්සයා  පවසා සිටියේ 


                               අනේ , නෝනා ............. තියනවනම් මට කීයක් හරි දෙන්න .

                               නෝනට පින් සිද්ධ වෙයි .


මම කිසිත් නොකියා සිතින් මටම සිනාසුණෙමි.  තවත් ඉදිරියට පියමනින විට මා හට කාන්තාවක් මුණ ගැසිනි.  මා  ඇයට පැවසුවේ මගේ ඔරලෝසුව රැගෙන කීයක් හෝ දෙන ලෙසයි. ඇය විසින් එය ප්‍රතික්ෂේප කරන ලදී . මට මේ වනවිට ඇවිදීම ඉතා අපහසු වී තිබුණි. අවු රශ්මියද ඊට බලපෑවේය. 


මමඅලව්ව පසු කරමින් ඉදිරියට පැමිණෙමින් සිටියෙමි. ඔය අතර වළකුඹුර දුම්රිය පොළ ආසන්නයට පැමිණෙමින් සිටින විට පයින් ගිය මිනිසුන් කිහිප දෙනෙක් 


"මේ ළමයා හුඟක් දුර ඉදලා පයින් එනවා"  කියා  කථාබහක යෙදී සිටිනු මට ඇසුණි.


තවදුරටත් පයින් යා නොහැකි තරම් වෙහෙසට පත්ව සිටි මා දිගටම පයින් යාම අවධානම් බවද,  අවබෝධ කරගෙන තිබුණි.  ඔය අතර , මා පයින් ගමන් කරන විට පාර අයිනේ තිබූ එක නිවසක මවක් හා දියණියක් එළියේ  සිටිනු දැක , මා ඔවුන්ගෙන් වතුරද ඉල්ලාගෙන පානය කළ අතර ,  මා විසින් අලව්ව පොළට යනවිට මගේ පර්ස් එක පිට් පොකට් ගසා ඇති බැවින් මෙලෙස පයින් යන බවත්, හැකිනම් කීයක් හෝ දෙන ලෙසත් මා පැවසුවා . මා පිළිබඳ කාරුණික වූ ඔවුහු  රු 5 /= මා අතේ තැබූහ. ඔවුන්ට මහත් සේ ස්තූති කර යාල්ගම්මෝදර හන්දියෙන් මා බසයකට ගොඩවිය. අලව්ව - කුරුණෑගල බසයේ වැඩි සෙනගක් නොවූ බැවින්  ඉඳ ගැනීමට හැකිවිය. ඔවුන් දුන් රු 5 /= ත් මා සතු රු. 1.50 ත් එක්කළවිට මුළු මුදල රු.6.50  ක් වුවද,  ගාස්තුව රු. 8. 50 කි. එහෙත් මා කොන්දොස්තරට කියා සිටියේ  මා සතුව මාරු කාසි නොමැති බවයි. මා දෙස රවා බැලුවද, කිසිවක් නොකී ඔහු අදාළ නැවතුමෙන් මා බැස්සවීය. මේ සියලු කරණං ගසා ගෙදර පැමිණෙනවිට  සවස 1. 00 පමණ විය .  යටිපතුලේ දියපට්ටයක් දමා තිබූ අතර , මුළු ඇඟම රිදෙන්නට විය. එතැන් සිට   මව එනතුරු මම  හොඳ හැටි නිදා ගත්තෙමි . මව පැමිණි පසු 


"ඇයි ළමයෝ අද පන්ති ගියේ නැද්ද? "  ඇසූවිට 

"උණ හැදුනා " යයි බොරුවක් කියා ෂේප් විය .


එම  සිද්ධිය නිවැසියන් හා පැවසූයේ ඊට බොහෝ කලකට පසුවය . විශේෂයෙන් මගේ පියා සතුටින් සිටින අවස්ථාවකය .



විචාරක දියණිය ප. ව.  17.00  පැයට 

15 December 2017

හයේ පහරක් ගසමින් දැවීයාම



මගේ පියා මා පුංචි කාලයේ ක්‍රිකට් මැච් බලන විට මට ඇතිවන තරහා පාලනය කළ නොහැකිය. ඒ මන්ද යත් ඊට මගේ කිසිදු කැමැත්තක් නොමැති වීමයි. එහෙත්  මගේ පියා ඒ සඳහා මාව ඒ වෙත යොමු කරගැනීමට දැඩි ප්‍රත්නයක් දැරුවේය  .  කෙසේ වෙතත් කාලයාගේ ඇවෑමෙන් මා හා මගේ නැගණියද ක්‍රිකට් තරග නැරඹීමට යොමු වන්නේ ගහේ කටු උල් නොකළ යුතු නිසාය. අප තිදෙනා  එක්ව නරඹන ලද එවැනි එවැනි තරඟ මතක්වෙනවිට  නෙතට ඉබේ කඳුලක් නැගේ. ඔහු ලෙඩ ඇඳේ සිටද ක්‍රිකට් තරග නැරඹු අයෙකි. අවසන් කාල සීමාවල මා බෝඩිමේ සිටියදී  ක්‍රිකට් තරඟ මට නැරඹිය නොහැකි අවස්ථාවල මට දුරකථන ඇමතුම් දෙමින් ලකුණු හා ජය පැරදුම පවසන්නේ ඔහුය. ඇතැම් විට කාර්යාලයේ සිටියදී  පවා මැච් දවසට මට දුරකථන ඇමතුම් ලබා දේ . ඒ මතකය නිසාවෙන්ම ඔහු මිය ගිය දිනයේ සිට මට ක්‍රිකට් තරඟ නැරඹීම ඉතා අපහසු වී තිබේ. 


එහෙත් මගේ කතාව ක්‍රිකට් නොවේ . 



අද මේ බ්ලොගයේ 6 වැනි උපන් දිනයයි 


එහෙත් උපන් දිනයේ ප්‍රධාන  අමුත්තා  ජිවිත කෙළිබිමෙන් සමුගෙන ඇත.  ඔහු  මාව  විශාල ප්‍රේක්ෂකාගාරයක,  මහා පිට්ටනියක් මැද තනිවම තරඟ කිරීමට අතහැර ගොස් ඇත. 


2011  දෙසැම්බර් 15 වනදා වාක්‍ය  දෙකක ලිපියකින්  ප්‍රතිචාර 5 කින් ඔහු මේ ගමන මෙතරම් දුරක් රැගෙන ආවේය . ඔහුට අයත් ලිපි ගණන 438 කි.මේ ලිපි ලියන්නට ඔහු වෙහෙසුන හැටි මම සියසින් දැක ඇත්තෙමි . ඔහුට අවශ්‍ය වූයේ ඔහු සතු දැනුම අන් අය හා බෙදා හදා ගැනීම පමණි . ඔහුගේ පසු ගිය උපන්දිනයට  ප්‍රතිචාර  100 ක් ලැබී තිබුණි. ජිවිතයේ අනේක විද  දුක්ඛ දෝමනස්සයන් ඔහු මැදහත් සිතින් ඉවසූයේ කෙසේදැයි මම නොදනිමි . එහෙත් ඔහු ඒවාට අකුරුවලින් පණ දුන්නේය . 


ඔහු 6 වැනි දිනුම් කණුව පෙනී පෙනී ජිවිතයෙන් සමුගත්තේ ඇයිදැයි මා සැමදා  මගේ  ඇතුලාන්තයෙන් නගන ප්‍රශ්නයයි. උපන්දිනයක් වුනත් නෙත් දෙකේ කඳුළු වගුරවමින් මෙය මට ලිවීමට තබා ඔහු පැන ගියේ කොහිදැයි මම තවම සොයමි . 


අවසාන වශයෙන් දියණියක ලෙස මගේ පරම  හා එකම පැතුම වන්නේ 


පියාණෙනි............... ඔබ නැවත උපන්නොත්  අපාර  වූ මේ  සංසාරේ .................මගේ පියා වේවා ............................... ඔබ මගේ පියා වේවා ...........................





විචාරක  දියණිය  රාත්‍රි 23.00 පැයට 


09 December 2017

නවක අනුරූපීතාවය 3

පසුගිය ලිපි දෙකට ලැබුණු උණුසුම් ප්‍රතිචාරවලට ස්තූතිවන්ත වෙන ගමන් ලිපියේ අවසාන භාගය මෙසේ සනිටුවහන් කිරීමට සිතුවෙමි. 


කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගොස් සති දෙක හමාරක ඇවෑමෙන් දිනක් සවස් භාගයේ බකට් එකක් ලැබුණි. බකට් එක අවසානයේ කියා සිටියේ නවක අනුරූපිතාවය නිමා වන බවත්ය. ඔවුන් හිනාවී එසේ කියා සින්දු කියන ලෙසත්, නැටුම් නටන ලෙසත් කිවාත්,  අපේ සෙට් එක සිටියේ තක්බීර් වෙලාය.ඒ මොකද කියනවානම් හිටි හැටියේ සිදුවූ විපර්යාසය නිසාය. කෙසේ වෙතත් අවසානයේ කියා සිටියේ මගුල් ගෙදර (සෝෂල් එක) සඳහා  ඇඳුම් ආයිත්තම් රැගෙන ඒම සඳහා දින 3ක නිවාඩුවක් ලබාදෙන බවයි. පසුදා අලුයම සියලුම අය ඒ  ඒ ගම් පළාත් සඳහා  පිටත්ව ගිය අතර , මගේ ගෙදරින් මට පවසා සිටියේ   මාව රැගෙන යාමට කවුරුන් හෝ එන බවත්, තනියම නොයන ලෙසත්ය. ඉතින් ඒ නිසා දුරකථන පණිවිඩයක් මගින් මාව රැගෙන යාමට එන ලෙස කීවාය. 


මගේ මව පැමිණෙනතුරු නිදාගත් මා අවදියූයේ ඇයගේ කට හඩිනි. ඇය පැමිණ තිබුනේ දුම්රියෙන් මාව රැගෙන යාම සඳහාය . ඇයට නොතේරුණත් මගේ කාය ශක්තිය නිදිමැරීම නිසා අධික ලෙස පිරිහී තිබුණි. ඒ වුනත් දුම්රියපොළට ඇය යන වේගයෙන් මමත් යමින් සිටි අතර , මගේ සපත්තු අඩිය උස්වූ නිසාත් , කාය ශක්තිය පිරිහී තිබූ නිසාත් සිල්පරකොටයක වැදී කකුල පෙරළිණි. අවසානයේ බස් රියෙන් ගෙදර ගිය අතර , කකුලට වෙදකම් කෙරිණි. මගේ පියා කියා සිටියේ 


අම්ම ඉස්සරහ වැටුන නිසා පිළි්ගන්නවා මොකුත් නෑ කියල 
නැත්තම් ඉතින් අපි හිතන්නේ රැග් එකේ දී උනා කියල තමයි 


මගේ කකුල හොඳටම සනීප වූ නැති නිසා නිවසේ සිටින ලෙසයි . කෑ පරිප්පුව මා දන්නා නිසා  කියා  සිටියේ  මා  නැවත යා යුතු බවයි . 


අවසානයේ මගේ පියා  සමග ආපසු  ගියෙමු  .  අප යනවිට නේවාසිකාගාරය යන පාර අද්දර  සීනියස්ලා  පොකුරු ගැසී    උන්හ . පිරිමි පුද්ගලයන්ට නේවාසිකාගාරයේ දොරටුව පාමුලට  පැමිණිය හැකිව තිබුණි. එහෙත්  අපේ  සීනියස්ලා කියා සිටියේ නේවාසිකාගාර පවිත්‍රතා නිසා එහි යාමට දෙමවුපියන්ට අවසර නොලැබෙන බවයි . එම නිසා පාර අද්දරදීම මගේ පියාට සමු දීමට මට සිදුවුණි. එහිදී කනට කර මගේ පියා මට පවසා සිටියේ රැග් එක නිමවී නොමැති බවයි. එයත් සිත්හි දරාගෙන නේවාසිකාගාරයට පියනගින මට එය සක්සුදක් සේ පැහැදිලි විය. එදා නම් මට දුක වාවා සිටීමට බැරිවිය. මුළු කාලයටම එදා මගේ නෙතින් කඳුළු වැටුණි. එයට වාඩාත් හේතු වූයේ මගේ අසනීප තත්වයයි. එහෙත් රූමියෝ මගේ හිත හැදූහ. 


ඉන්පසු  විශේෂ වශයෙන් දේවල් නොතිබූ අතර ආතල් සඳහා විශේෂ ඉඩක් වෙන්වී තිබුණි. එහි දී දිනක් රාත්‍රියේ හිනාව කැපීම සඳහා මා තෝරාගත් අතර මා හිනාව කැපූ පසු සියලු දෙනාම කොහොඹ කොළ කෑවෝය . එහෙත් ඔවුන් සියලු දෙනා කියා සිටියේ කෙතරම් කොහොඹ කොළ කෑවත් ඒ දීපු ආතල් එකට නම් හිනා නොවී සිටිය නොහැකි බවයි. 


ඉන්පසු දිනයේ කිසිවෙකුත් නොසිතු පරිදී උප කුලපතිවරයා හදිසියේ කැන්ටිමට කඩා වැදුණි. සිනියස්ලා අපේ ඇස් පියා දස අත විසිරෙද්දී සුපර් සිනියස්ලා වැඩය ශේප්  කිරීමට කරලියට බටහ. දැන් අපි සින්දු කියමින් සිටිමු.


 උපකුලපතිතුමා - දැන් ඔය ළමයි මොකද කරන්නේ ? කවුද ඔහොම බිම ඉන්දුවේ 

අපි - උත්තර නොදෙයි .

උපකුපතිතුමා - නැගිටිනවා ඔක්කොම, ඔය  ළමයි කතා කරොත්  තමයි මට ප්‍රශ්න විසදන්න පුළුවන් .


(ඔය අතර සුපර් සිනියස්ලා උපකුලපතිතුමා සමග සාම සාකච්ඡා පවත්වති. ඒ අතර එක අයියා කෙනෙක්  ඇවිත් අපේ කොළු ගැටයෙකුට අපූරු යෝජනාවක් කළේය  ඒයි කොල්ලා, උඹලගේ කාමරේ ෆෑන් එක කැඩිලා නේද ? කියපන් ඉතින් )


කොළු  ගැටයා - ජේෂ්ට උත්තමයා , වීරසූරිය 1 කාමරේ විදුලි පංකාව කැඩිලා . එය පිටවනවාත් සමගම යෝජනාකළ අයියා  පැන දිවූ අතර , අපි සියලු දෙනා උන් හිටි තැන් අමතක කර සිනාසුනෙමු. 


උපකුලපතිතුමා - හයියෙන් සිනාසෙමින් ,  දැන් ඔය ළමයට මාවත් ජේෂ්ට උත්තමයෙක් වගේද? පෙන්නේ . 


එසේ කියා ඔහු කියා සිටියේ මේ දැන් අප සියලු දෙනා නේවාසිකාගාරය වෙත යවන ලෙසයි. එදින වැඩසටහන එතනම ලොප් වූ අතර අප නේවාසිකාගාරය වෙත යවනු ලැබූහ. ඉන් දින 3 කට පමණ පසු අපේ නවක අනුරූපිතාවය අවසන් වූ අතර 2005  සැප්තැම්බර් 6 වනදා  අපේ මගුල හෙවත් සෝෂල් එක පවත්වා විශ්ව විද්‍යාලයට  ජේෂ්ටයන් විසින්   අපව  පිළිගන්නා ලදී. 



විචාරක දියණිය  ප.ව. 2.00 පැයට 

02 December 2017

නවක අනුරූපිතාවය 2


නැවතුණු තැනින් ......................


ඔන්න ඉතින් 10. 00 විතර වෙනකොට විශ්ව විද්‍යාලයට ගියා . එදා තමයි නේවාසිකාගාර පහසුකම් ලාබාදුන් දිනය . පසුදා සිට විශ්ව විද්‍යාල ජීවිතය ආරම්භ කළ යුතුව තිබුණා. මා නම් රැගෙන ගියේ  බෑග් දෙකක් පමණයි. එහෙත් සමහර ළමයි ගෙනත් තිබුණේ රට යන්න ආවා වගේ බඩු ගොඩක් . 


කොහොම කොහොමහරි කාමරයකුත් හම්බ වුණා. කාමරේ 6 දෙනයි. අනිත් අය පොළොන්නරුව , මැදිරිගිරිය, මන්දාරම් නුවර , පලාගල හා  අරලගංවිලයි.   සියලු පළමු වසරේ සිසුන් එකම නේවාසිගාරයකට යොමු කර තිබුණා. මේ වෙනකොට ජේෂ්ඨයන් සියලු දෙනා කඩියන් වගේ නවකයන්ට හා ඔවුන්ගේ දෙමවුපියන්ට උදවු කරමින් සිටියා . 


කාන්තා නේවාසිකාගාරයට යාමට හැකිවුණේ මවට පමණයි . මගේ පියාට ලියාපදිංචි කළ ස්ථානයේදීම සමුදුන්  මා මගේ මව සමග කාමරයට යනවිට ළමයි දෙදෙනෙක් වෙන්වීමේ දුක දරාගන්න බැරිව අඬමින් හිටියා . එය හිත පාරවන සුළුයි. මොකද මෙතැන් සිට අසනීපයක් උනත් දෙමවුපියන් ළඟ නැතිනිසා . බොහොම අමාරුවෙන් මා මගේ හිත හදාගත්තා. 


එදා හවස ඉඳලා අපට බොහොම සැලකිලි සත්කාර හිමි උණා. පසුදා ඉතා අලංකාර ලෙස ඇඳ පැළඳගෙන යනලෙසත් උපදෙස් ලැබුණා. වැඩිපුර ඒ ගැන සඳහන් උන නිසා අපි ඒ ගැන වැඩිපුර සලකා , බොහොම සරළ ලෙස ලැස්ති උණා. එදින හවස පරක්කු වී පැමිණි අයෙකු අප කාමරයට දැම්මා. අපට ඒ ගැන ඇතිවූ සැකය පරිදි ඇයගේ බෑගය ඇවිස්සුවා. ඇයගේ ජාතික හැඳුනුම් පත හමුවුණා. ඇයගේ උපන් දිනය නිසා තරමක සැකය වැඩිවුණා. ඇය හිටි හැටියේ අතුරුදහන් වෙලා නැවත පැමිනුණා. රාත්‍රියේ දී වෛද්‍යවරියක්ද පැමිණියා. වෙද නලාවක්  රැගෙන ආ ඇය අපට තිබෙන විශේෂ රෝග පිලිබඳ විමසීමක් කරා. 


පසුදා උදයේ අමරදේව ශ්‍රවණාගාරයේ සිසුන්ට හා දෙමවුපියන්ට රැස්වීමකුත්  ඉන් අනතුරුව තේපැන් සංග්‍රහයකුත් පැවැත්වුණා. මගේ පියා කිසිදු ආහාරයක් හෝ තේ පානය කළේ නෑ. ඒ වෙනුවට ඔහු මගේ කනට කරලා කිවුවේ අනිවාර්යයෙන් රැග් එක තියනවා. සූදානම් වෙන්න කියලා විතරයි. මමත් ඉතින් චීත්ත ගවුමක් , සෙරෙප්පු දෙකක් අරගන ගියනිසා බය වුනේ නෑ.සියල්ල ඉවරවෙලා දෙමුපියන්ට සමුදීලා අපට ඉංග්‍රීසි දේශනයක් පැවැත්වුවා.එය ඉවර වෙලා නේවාසිකාගාරයට යනවිට කැඳවීමක් ලැබුණා, නැවත ශ්‍රවාණාගාරයට යන ලෙස. අපි ගියාට පස්සේ තේරුණා මොකක්දෝ අමුත්තක්. සියලුම දොරවල් තදින් වැහුවා. ඔවුන් එකදිගට ලංකාවේ අති ශුද්ධ සිංහල භාෂාවෙන් අපව ඇමතුවා. එච්චර ශුද්ධ සිංහල වචන එක පොකුරට මම ඇහුවේ එදා . 


ඔන්න පුතෝ ඒ වෙලාවේ තමා මංගල වෙඩිමුරය පත්තු කළේ .  ඒ වෙලාවෙම අපව පැන්නුවා කැන්ටිමට . කැන්ටිමේ එකලඟ එකපොකුරට වාඩි කෙරෙවුවා. දැන් ඉන්නවා මීයට පිඹලා වගේ සමහරු අඩනවා , සමහරු බයවෙලා . සමහරුන්ට වෙච්ච දේ හිතාගන්න බෑ. දැන් ඔන්න අපේ ජේෂ්ඨ උත්තමයෝ, උත්තමාවියෝ අප ඉදිරියට ආවා. එතන ඉඳලා නවක  අනුරූපිතාවය ගැනත් අපේ කාලසටහන ගැනත්  හොඳ අවබෝධයක් ලබා දුන්නා. 



උදේ 6.00 වෙනකොට නේවාසිකාගාරය ළඟ පෝලිම් වෙන්න ඕන.චීත්ත ගවුම ඇඳලා , රබර් සෙරෙප්පු   දාලා , කොන්ඩේ තෙල්ගාල  කරල් දෙකක් බැඳලා රබර් පටි ගැටගහලා , බූල් දාන්න තහනම් . රැග් එක ඉවර වෙනකම් එකම ගවුම  අඳින්න ඕන. රැට හෝදලා උදේට අදින්න ඕන . 7.00 උදේ කෑම ඉන්පසු 8.30 වෙනකම්  ජේෂ්ඨ උත්තමයෝ ,උත්තමාවියෝ යටතේ 8.30 - 12.30 දේශන හා නවක අනුරූපිතා වැඩසටහන් 12.30 - 1. 30 දිවා අහාරය . 1.30 - 4.30 වෙනකල් දේශන හා වැඩසටහන් 4.30 පස්සේ නින්දට යනකන් ඔවුන් යටතේ. රෑ කෑම නිදහසේ ගන්න දෙනවා .   රෑ කෑම 7.30 රෑ 8. 30 වෙනකොට හොස්ටල් කොමන් එකට රැස් වෙන්න ඕන . ඒක ඉවර වෙන්නේ රෑ 1.00 ට .


ඉතින් මගේ යාලුවෝ මගේ කන ළඟ ටයිම් පීස් ඔරලෝසුවක් තිබ්බ 6.00 ට පෝලිම් වෙන්න 4.30 ට නැගිටින්න ඕන . නිදා ගන්න තියන පැය ගාන බොහොම  සීමිතයි .

 

දවස් දෙකක් විතර යනකොට  එක දවසක් පාන්දර මගේ කන ළඟ ඔරලෝසු රාජයා වදිනවා . මොකද නින්ද ගියොත් වැඩේ දෙල් හින්දා .  ටික් ... ටික්.... 


ඔහොම වදිනකොටම එකෙක් අහනවා................

කීයද බං වෙලාව 

නිදිමතේම මං කියනවා  හතර හමාරයි,හතර හමාරයි ජේෂ්ඨ  උත්තමාවිය කියලා .

මොකද ජම්මෙට වැඩිය පුරුද්ද ලොකු හින්දා .

ඒ පාර මගේ යාලුවා අහනවා,  ඈ බං,උඹට මාව පේන්නෙත් උත්තමාවියක් වගේද කියලා ඒ පාර පාන්දර හැමෝටම හිනාවෙන්න ඒක කාරණයක් වෙනවා . 



අපිට කෑම කන  වෙලාවට බෙර පදයක් කියලා .වෙලාව කාල තමා  පස්සේ බත් කෑවේ ඒ බෙරපද සමාජ ගත කරන්න බැරි ඒ තරම් ශුද්ධ  සිංහල බෙරපදයක් තාම මං අහලා නැති හින්දා. දේශනවලට ගියාට වැඩක් නෑ. ඒවා ඇහෙන්නෙ නෑ . එකසිය ගානට නින්ද යනවා . නිදාගන්න බෑ. මහාචාර්ය වරයාගෙන් බේරුනාට උත්තමයන්ගෙන් බේරෙන්න බෑ. තව තුන් දවසක් යනකොට එක උදෑසනක  අපේ බැච් එකේ කොළු ගැටයන්ගේ කොන්ඩ තලේබාන් ප්‍රහාරයකට අහුවෙලා තිබුණා. එකෙක්වත් මේ මොකාද කියලා අඳුරගන්න බෑ. 


අපේ අයට රෑට නින්ද යනවා එතකොට හීන කියන්න වෙනවා හීන හදන්නේ උත්තමාවියෝ ඒ අය  හදල දෙන හීනෙ කියන්නයි තියෙන්නේ .

ඉතින් මෙහෙමයි ඒ  හීනෙ.මමයි පිරිමි ළමයෙකුගේ කාඩ් එකක් උදා ( ඉත්තෑවා) යි ගියා මල් උයනට.එතැනදී මට නින්ද ගියා.මම ඇහැරිලා බලනකොට මම හිටියේ තව පිරිමි ළමයෙක්ගේ කාඩ් එකක් ( කකුළුවා ) එක්ක . 


ඊළඟට සමහරු මේකෙන් ගැලවෙන්න බොරු ලෙඩ ගත්තොත්  ඔවුන්ට උනේ අසීමිතව ශුද්ධ සිංහල කවි කියන්න .


සතියක් පහුවෙලා අපි දැන් කැන්ටිමේ වාඩිවෙලා ඉන්නකොට . කොට බිත්තියක් තිබුනා අපේ දකුණු පසින් , ඒක උඩට එක පාරටම පැන්නා කොල්ලෙක් , ෂර්ට් එක අනික් පැත්ත අන්දලා , කලිසම කණපිට අන්දලා ලණුවකින් ගැට ගහලා , මේස් දෙක අත් දෙකට දාලා . බෙල්ට්  එක පස්සෙන් එල්ලලා. සපත්තු බෙල්ලට දාල 


මූ ඇවිල්ල කියාපි  මමත් උඹලගේ එක්කෙනෙක්  මාවත් ගනියෝ කියලා. ඌව දැක්කාම හිනාව ඉවසන්න බෑ . නමුත් හිනා වෙන්න තහනම් . ඒ වුනාට හිනා නොවිච්ච එකෙක් නෑ.එදා තමා ඉස්සෙල්ලම කොහොඹ කොළ බැච් එකේ ඔක්කොම කෑවේ.
 

ඔහොම ඉන්නකොට මාව බලලා යන්න අපේ ගෙදරින් ආවා . අම්මයි, නංගියි, තාත්තයි . මේගොල්ලෝ ආවේ සෙනසුරාද  දවසක  , දේශන නැතුව ඇති කියලා හිතලා දේශනා නැති වුණාට අති සුපිරි  දේශන යනවා කියලා ඒගොල්ලෝ දැන සිටියේ නෑ. 


මට දැන් මාර සැලකිලි. කොන්ඩ කරල් දෙක ගලවලා බෑන්ඩ් එකක් දාල , මට හොඳ හීල් සපත්තු දෙකක් දීලා. කොහොම හරි අම්මලට  කැම්පස් එක ඇතුලට එන්න දීලා නෑ. එළියේ බෙන්ච් එකක නවත්වාගෙන . දැන් මම ගියා .  දැන් මට පේනවා වටේම සීනියස්ලා  මෙහාට ඇන්ටනාව දාගෙන ඉන්නවා මොකද මං මොනවා හරි කියයි කියලා. 


අම්මා - මොකද  ළමයෝ මේ ?

මම - අයියෝ  අම්මේ කෑ ගහන්න එපා.  ගෙදර ඇවිත් කියන්නම්.  දැන් මොකුත් කියන්න බෑ.

තාත්තා - මං දිහා බලාගෙන ඉන්නවා . 

පස්සේ මං ඇහුවා මැච් එකක් යනවා නේ කියලා. මොකද මං කැන්ටිමේ දී සීනියස්ලා මැච් එක බලනවා දැක්කා . 

නංගි - ඔව් සංගක්කාර තමා  වැඩිපුරම ගැහුවේ කියලා . මගේ තත්වය තේරුම් ගත්ත ගෙදර අය විනාඩි  15 ක් විතර ඉඳලා ගියා. 

එදා  රැ මමත් කතාවක් කිවුවා . ඒකත් සීනියර් කෙනෙක් ගේ රචනයක්. මම ගෙදර අය එක්ක කතාකරනවා අහන් ඉඳපු . හැමෝම ඉස්සරහා මට කියන්න කීවා . 

සංගක්කාර මට ලවු මම සංගක්කාරට ලවු බට් මට හුලං

අපේ කෙල්ලෝ එදා දෙවෙනි වතාවට කොහොඹ කොළ කෑවා.....................



විචාරක  දියණිය  රාත්‍රී  12.00 පැයට 

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }