හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

09 December 2017

නවක අනුරූපීතාවය 3

පසුගිය ලිපි දෙකට ලැබුණු උණුසුම් ප්‍රතිචාරවලට ස්තූතිවන්ත වෙන ගමන් ලිපියේ අවසාන භාගය මෙසේ සනිටුවහන් කිරීමට සිතුවෙමි. 


කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගොස් සති දෙක හමාරක ඇවෑමෙන් දිනක් සවස් භාගයේ බකට් එකක් ලැබුණි. බකට් එක අවසානයේ කියා සිටියේ නවක අනුරූපිතාවය නිමා වන බවත්ය. ඔවුන් හිනාවී එසේ කියා සින්දු කියන ලෙසත්, නැටුම් නටන ලෙසත් කිවාත්,  අපේ සෙට් එක සිටියේ තක්බීර් වෙලාය.ඒ මොකද කියනවානම් හිටි හැටියේ සිදුවූ විපර්යාසය නිසාය. කෙසේ වෙතත් අවසානයේ කියා සිටියේ මගුල් ගෙදර (සෝෂල් එක) සඳහා  ඇඳුම් ආයිත්තම් රැගෙන ඒම සඳහා දින 3ක නිවාඩුවක් ලබාදෙන බවයි. පසුදා අලුයම සියලුම අය ඒ  ඒ ගම් පළාත් සඳහා  පිටත්ව ගිය අතර , මගේ ගෙදරින් මට පවසා සිටියේ   මාව රැගෙන යාමට කවුරුන් හෝ එන බවත්, තනියම නොයන ලෙසත්ය. ඉතින් ඒ නිසා දුරකථන පණිවිඩයක් මගින් මාව රැගෙන යාමට එන ලෙස කීවාය. 


මගේ මව පැමිණෙනතුරු නිදාගත් මා අවදියූයේ ඇයගේ කට හඩිනි. ඇය පැමිණ තිබුනේ දුම්රියෙන් මාව රැගෙන යාම සඳහාය . ඇයට නොතේරුණත් මගේ කාය ශක්තිය නිදිමැරීම නිසා අධික ලෙස පිරිහී තිබුණි. ඒ වුනත් දුම්රියපොළට ඇය යන වේගයෙන් මමත් යමින් සිටි අතර , මගේ සපත්තු අඩිය උස්වූ නිසාත් , කාය ශක්තිය පිරිහී තිබූ නිසාත් සිල්පරකොටයක වැදී කකුල පෙරළිණි. අවසානයේ බස් රියෙන් ගෙදර ගිය අතර , කකුලට වෙදකම් කෙරිණි. මගේ පියා කියා සිටියේ 


අම්ම ඉස්සරහ වැටුන නිසා පිළි්ගන්නවා මොකුත් නෑ කියල 
නැත්තම් ඉතින් අපි හිතන්නේ රැග් එකේ දී උනා කියල තමයි 


මගේ කකුල හොඳටම සනීප වූ නැති නිසා නිවසේ සිටින ලෙසයි . කෑ පරිප්පුව මා දන්නා නිසා  කියා  සිටියේ  මා  නැවත යා යුතු බවයි . 


අවසානයේ මගේ පියා  සමග ආපසු  ගියෙමු  .  අප යනවිට නේවාසිකාගාරය යන පාර අද්දර  සීනියස්ලා  පොකුරු ගැසී    උන්හ . පිරිමි පුද්ගලයන්ට නේවාසිකාගාරයේ දොරටුව පාමුලට  පැමිණිය හැකිව තිබුණි. එහෙත්  අපේ  සීනියස්ලා කියා සිටියේ නේවාසිකාගාර පවිත්‍රතා නිසා එහි යාමට දෙමවුපියන්ට අවසර නොලැබෙන බවයි . එම නිසා පාර අද්දරදීම මගේ පියාට සමු දීමට මට සිදුවුණි. එහිදී කනට කර මගේ පියා මට පවසා සිටියේ රැග් එක නිමවී නොමැති බවයි. එයත් සිත්හි දරාගෙන නේවාසිකාගාරයට පියනගින මට එය සක්සුදක් සේ පැහැදිලි විය. එදා නම් මට දුක වාවා සිටීමට බැරිවිය. මුළු කාලයටම එදා මගේ නෙතින් කඳුළු වැටුණි. එයට වාඩාත් හේතු වූයේ මගේ අසනීප තත්වයයි. එහෙත් රූමියෝ මගේ හිත හැදූහ. 


ඉන්පසු  විශේෂ වශයෙන් දේවල් නොතිබූ අතර ආතල් සඳහා විශේෂ ඉඩක් වෙන්වී තිබුණි. එහි දී දිනක් රාත්‍රියේ හිනාව කැපීම සඳහා මා තෝරාගත් අතර මා හිනාව කැපූ පසු සියලු දෙනාම කොහොඹ කොළ කෑවෝය . එහෙත් ඔවුන් සියලු දෙනා කියා සිටියේ කෙතරම් කොහොඹ කොළ කෑවත් ඒ දීපු ආතල් එකට නම් හිනා නොවී සිටිය නොහැකි බවයි. 


ඉන්පසු දිනයේ කිසිවෙකුත් නොසිතු පරිදී උප කුලපතිවරයා හදිසියේ කැන්ටිමට කඩා වැදුණි. සිනියස්ලා අපේ ඇස් පියා දස අත විසිරෙද්දී සුපර් සිනියස්ලා වැඩය ශේප්  කිරීමට කරලියට බටහ. දැන් අපි සින්දු කියමින් සිටිමු.


 උපකුලපතිතුමා - දැන් ඔය ළමයි මොකද කරන්නේ ? කවුද ඔහොම බිම ඉන්දුවේ 

අපි - උත්තර නොදෙයි .

උපකුපතිතුමා - නැගිටිනවා ඔක්කොම, ඔය  ළමයි කතා කරොත්  තමයි මට ප්‍රශ්න විසදන්න පුළුවන් .


(ඔය අතර සුපර් සිනියස්ලා උපකුලපතිතුමා සමග සාම සාකච්ඡා පවත්වති. ඒ අතර එක අයියා කෙනෙක්  ඇවිත් අපේ කොළු ගැටයෙකුට අපූරු යෝජනාවක් කළේය  ඒයි කොල්ලා, උඹලගේ කාමරේ ෆෑන් එක කැඩිලා නේද ? කියපන් ඉතින් )


කොළු  ගැටයා - ජේෂ්ට උත්තමයා , වීරසූරිය 1 කාමරේ විදුලි පංකාව කැඩිලා . එය පිටවනවාත් සමගම යෝජනාකළ අයියා  පැන දිවූ අතර , අපි සියලු දෙනා උන් හිටි තැන් අමතක කර සිනාසුනෙමු. 


උපකුලපතිතුමා - හයියෙන් සිනාසෙමින් ,  දැන් ඔය ළමයට මාවත් ජේෂ්ට උත්තමයෙක් වගේද? පෙන්නේ . 


එසේ කියා ඔහු කියා සිටියේ මේ දැන් අප සියලු දෙනා නේවාසිකාගාරය වෙත යවන ලෙසයි. එදින වැඩසටහන එතනම ලොප් වූ අතර අප නේවාසිකාගාරය වෙත යවනු ලැබූහ. ඉන් දින 3 කට පමණ පසු අපේ නවක අනුරූපිතාවය අවසන් වූ අතර 2005  සැප්තැම්බර් 6 වනදා  අපේ මගුල හෙවත් සෝෂල් එක පවත්වා විශ්ව විද්‍යාලයට  ජේෂ්ටයන් විසින්   අපව  පිළිගන්නා ලදී. 



විචාරක දියණිය  ප.ව. 2.00 පැයට 

25 comments :

  1. ඔබ මෙය නවක අනුරූපීයතාවය කියා හැඳින්වුවත් සිදුකර ඇත්තේ නවක වදයකි.ටික කාලයක් පැවති නායකත්ව පුහුණුව යම් ආකාරයක සාර්ථක අනුරූපීයතා වැඩසටහනක් වුවත් එයත් දරාගත නොහැකිව එම වැඩසටහන අතර මගදී ඉවත්වූ පිරිසක් සිටි අතර එවැනි අයට නවකවදය විශ්ව විද්‍යාලය අතහැර යාමට තරම් හේතුවක් .වයස විස්සට වඩා වැඩි උසස්පෙළ හොඳින් සමත් වැඩිහිටියන්ට යමක් හොඳින් කතාකර පැහැදිලි කිරීමට නොහැකිය යන්න විශ්වාස කළ නොහැකිය .මේවෙද්දී පේරාදෙණිය සරසවියේ නවකවද විරෝධී ශිෂ්‍ය කණ්ඩායම් තිබෙන අතර මෙය කියවන විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබා ඇති අය සිටී නම් එම කණ්ඩායම් සමග එක්වී අමානුෂික නවක වදයෙන් මිදී ඔබේ සරසවි ජීවිතය ගතකරන්න.
    විචාරක දියණිය ඔබේ අත්දැකීම් බෙදාගත්තාට ස්තූතියි .

    ReplyDelete
  2. ඔබේ ප්‍රතිචාරයට බෙහෙවින් ස්තූතියි.
    විචාරක දියණිය

    ReplyDelete
  3. නවකයන් පිළිගැනීම සීමාවන් ඉක්මවා ගොස් ඇති බව මේ අත්දැකීම් ගොනුව පෙන්වා දුන් කටුක යථාර්ථයයි එහෙත් "මේවෙද්දී පේරාදෙණිය සරසවියේ නවකවද විරෝධී ශිෂ්‍ය කණ්ඩායම් තිබෙන අතර මෙය කියවන විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබා ඇති අය සිටී නම් එම කණ්ඩායම් සමග එක්වී අමානුෂික නවක වදයෙන් මිදී ඔබේ සරසවි ජීවිතය ගතකරන්න." බක්කරේ ලියන මේ කොමෙන්ටුව ඇත්තක් නම් අපට වහල් බවින්් මිදිය හැකි බව පෙන්ව් දෙනවා. මීට පෙරද මෙවැනි උත්සාහයන් දරා ඇතත් විවිධ බලවේග විසින් ඒවා නැති භංග කර දැමූ බව පෙනි ගියා.

    ReplyDelete
  4. මට හිතුනේ මේ මාතෘකාව ඔබේ නෙමේ කියායි.. කවුරු මේ මාතෘකාව දැම්මත් "නවක වදය", නවක අනුරූපිතාව කියා නම් කරනවා නම් ඒ කෙනාට තව යන්න බොහෝ දුර තිබේ....

    මේ ඔබට අමාරු ඇත්තටම නිදි මරලද නැත්නම් මනස දරා ගන්න නොහැකි තරම් දින කීපයක් ඇතුලත වෙහෙසිලාද ..

    මට හිතා ගන්න බැහැ ඇයි ඔබලා වචනයක්වත් නොකියා මේ දේවල් වලට ලෑස්ති වෙලාම යන්නේ.. ඒ කියන්නේ ඔබලා යන්නත් කලින්ම මේ පුහු අවස්ථාවාදින්ට යටත් වෙන්න හිත හදාගෙනයි යන්නේ.. ඉගෙන ගන්න තමන්ව පවා දෙන්න වීම මොන තරම් අවාසනාවක් ද...මොන තරම් පීඩනයක් ද...අනෙ අපේ රට සහ එහි දරුවන්... ඉගෙනීම ඉතාම සැහැල්ලු මනසකින් කරන්න ඕන නිර්මාණශීලි දෙයක් විදිටයි මම නම් දකින්නේ...

    තමන්ට අනුන් මෙහෙයවන්න බලයක් එහෙමත් නැත්නම් අනුන්ගේ ආකර්ශණය තමන්ට නොලැබුනු අය ජිවිතේ කොහෙදි හෝ එය බලෙන් හෝ අවස්ථාවදීව ලබා ගන්නවා එක් එක් අර්ථකතන මවා පාමින්... එයට අහු නොවි සිටින්න තරම් පරිණත බුද්ධිමත් මනසක් අවුරුදු 13ක පාසැල් අධ්‍යාපනය තුල ගොඬ නැංවිය යුතුයි වැඩිහිටියන් ලෙස සමාජයට මුදා හරින්න සුදානම් කරන දරුවන්ව..


    බක්කරේ කියන කතාව "දැන්" නෙමේ ටික කලක ඉඳන් ක්‍රියාත්මක වන දෙයක් වැඩිය ප්‍රචලිත නැති උනාට.. අපේ සමාජේ ළමයි විතරක් නෙමේ දෙමාපියනුත් බයයි සම්මත වෙලා තියන දේකට එහායින් යන්න ප්‍රථිපලය හොඳ උනත් සමාජෙන් කොන් වෙයි කියන බයට.. තවත් ප්‍රශ්න වලට මුණ දෙන්න වෙයි කියන අනියත බයට ....

    කොන්ඳ පණ තියන නායකයන් කොහොමද මෙහෙම රටක බිහි වෙන්නේ.. බිහි උනත් පැවතෙන්නේ...


    ලිපි වලට ප්‍රතිචාර උණුසුම් උනාට කලබල වෙන්නේ නැතුව ලිව්ව දෙය දෙවරක් කියවා බලා ඔබට පෙනෙන නිවැරදි කිරීම් කර පළකරන්න...

    ReplyDelete
    Replies
    1. මටනම් පෙනෙන්නේ හොඳම ආකාරයේ මොළ ශෝධනයක් (brain wash එකක්) මේ තුළින් සිදුවී ඇති බවයි. නැත්නම් මෙවැනි ක්‍රියාවක් නවක අනුරූපීතාවයක් ලෙස කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකියි.

      Delete
  5. ඔබ සියලු දෙනාගේම අදහස්වලට නිහතමානීව ගරු කරමි. මෙඉ සඳහන් තත්වය දැනට අප විශ්ව විද්‍යාලයේ මුළු මුනින්ම අහෝසිවී ඇත. මගේ අරමුණ වූයේ පැවති තත්වය මගේ අත්දැකීම් සමග ගෙනහැර දැක්වීමයි මෙය කිසිලෙසකවත් නිවැරදියයි අදහස් නොකරමි.
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. ඔබ දන්නවා නම් මේ "නවක වද" තත්වය ඔබේ අධ්‍යාපන ආයතනයේ නැතිව ගියේ කොහොමද කියලා(දන්නේ නැත්නම් සොයා බලා ) ලියන්න පුලුවන් නම් මේ වගේ තත්ව තවමත් කෙරෙන තැන් වල අයට අදහසක් ගන්න පුලුවන් වේවි ඔබ කියා ඇති පරිදි මුලුමනින්ම අහෝසි කරගන්න මාර්ගයක් හොයා ගන්න... මොකද වැදගත් වෙන්නේ සෘනාත්මක දේ නොවේ, සෘනාත්මක දේ පරදා ධනාත්මක දේ සොයා යාම..එහෙම නේද?

      ඔබ කියනවා ///මෙඉ සඳහන් තත්වය දැනට අප විශ්ව විද්‍යාලයේ මුළු මුනින්ම අහෝසිවී ඇත. /// කියා, මම හිතන්නේ ඔබේ අරමුණ වෙනන් ඕන එයයි.. සිදු වූ වරද පමණක් නොව වරද නිවැරදි වූ ආකරය ද ලියන්න

      Delete
  6. මා මුලින්ම blog ලිවිම ඇරඹුවේ 2011 පමණ ඈතකදීය. ඉන් පසු මා ඉන් ඉවත් වූ අතර අද වන විට එදා සිටි බොහොමයක් blog කරැවන් ඉන් ඉවත් වී ඇති බව පෙනේ. නමුත් විචාරක මෙතුවක් කල් එය කරගෙන ආ බව පෙනේ. දිගු ගමනට සුභ පැතුම්...

    ReplyDelete
    Replies
    1. ඔබ කියන්නේ අත්තක් බව මටද වැටහී තිබේ බොහෝ දෙනෙක් අද ලියන එක නවත්වා ඇත. ඔබගේ ප්‍රතිචාරයට බෙහෙවින් ස්තූතියි.
      විචාරක දියණිය

      Delete
  7. අපි අපේ අතීත අමිහිරි (මිහිරි) අත්දැකීම් ලියද්දි අප ඉගෙන ගත් පාඩම් ද ලියා තැබීම අනාගත පරපුරට දිය හැකි මහඟු ත්‍යාගයක්..

    එහෙම නැතිනම් නිරපරාදේ අමිහිරි අත්දැකීම් කියවන අනාගත පරපුරේ හිත් වල වෛරයක් ඇති වීම පමණයි වෙන්නේ ඔවුන් කිසිම අමිහිරි අත්දැකීමට මුහුණ නොදීම .. එය මහත් වූ අපරාධයක් කියායි මට නම් හැඟෙන්නේ.. කෙනෙකුගේ පෙළඹවීම මත ලියද්දි ඔබේ මනසින් විමසා බලන්න මොකද්ද මේ ලිවීමේ තේරුම කියා...

    ඔබට මොනවද අනාගතයට මේ ලිවීමෙන් දෙන්න පුලුවන් කෙනෙකුට.. දෙන්න දෙයක් නැත්නම් (වෛරයක්/කණගාටුවක් ඇති කිරීමේ අරමුණක් නැතිනම්) ඔබේ ලිවීමට ගත වූ කාලයත් කිය වූ අයගේ කාලයත් අපතේ නේද...

    ReplyDelete
  8. රැග් එක හරහා බ්‍රේන් වොෂ් කරල මදිවට මෙයාලව ඒ පරපීඩකත්වයේ වාහකයො බවට පත් කර ගන්නත් රැග් දීපු මානසික ලෙඩ්ඩු සමත් වෙලා කියලයි මට හිතෙන්නේ...

    අපිත් කැම්පස් ගියා, අපේ බහුතර සින්නො මේ වගේ ගොන්නු නොවිච්ච නිසා අපි රැග් උනෙත් නැහැ අපි ජුනියර් උන්ට රැග් කලෙත් නැහැ...
    හැබැයි කැම්පස් එකේ හිටපු ඉතා සුළුතර ජෙප්පෝ කාවහරි අල්ලාගෙන අනිත් උන්ට හොරෙන් සිංදුවක් කියවනවා වගේ ගොන්පාට් දැම්මා...
    හොස්ටල් හිටපු දුරින් ආපු ළමයින්ට රැග් කරන බවටත් ආරංචි උනා, ඒ කාලෙට අපි රෑට හොස්ටල් විසිට් යනවා, ගිහින් එක පාරට පැනලා කාමර චෙක් කරනවා මොනවහරි වෙනවද බලන්න...
    එහෙම හොරෙන් හරි රැග් කරන උන්ව අහු උනොත් පහර කෑමකට ලක් වෙන්න පුළුවන් නිසා ඔවුන් පවා ඉතා පරිස්සමින් සහ හොරෙන් තමයි එවැනි දේ කලානම් කලේ...
    අනික, අලුත් ළමයින්ට හවස 06:00 න් පස්සේ කැම්පස් එක ඇතුළට එන්න තහනම්, ඒ නිසා රැග් එකකට අහුවීමේ අවධානම තවත් අඩුයි...

    අලුත් ළමයි සියල්ල හොඳට ඇඳලා සපත්තු එහෙම දාල කැම්පස් එන්න ඕනේ, චීත්ත, සෙරෙප්පු කියන බාල මානසිකත්වය නැති කරලා තිබුනේ...

    හැබැයි අපෙත් සම්ප්‍රදායන් වගයක් තිබුනා. අලුත් බැච් එක අයිති ඊට කළින් බැච් එකට. ඒ අය තමයි අලුත් බැච් එක පිළිගැනීමේ සිට සියලු කටයුතු සම්පාදනය කල යුත්තේ...
    ඊටත් වඩා සින්නන්ට පවා ඒ වැඩ වලට අත දාන්න අයිතියක් නැහැ...
    අපේ ජුනියර් බැච් එක ආපු වෙලාවේ අලුත් ගෑණු ළමයෙක් සහ අපේ සුපර් සින්නෙක් අතර ඇති වෙච්ච පිළිගත් සම්ප්‍රදාය අනුව නොගැළපෙන සිද්ධියක් නිසා අපිට ඒ සුපර් සින්න එක්ක ගැටළුවක් ඇති උනා...
    ඒ වෙලාවේ ඒ බැච් එකේ ලීඩර්ස්ලගේ අදහස උනේ ප්‍රශ්නයක් ඇතිවෙලා උඹල ඌට ගැහුවත් අපි මුකුත් කියන්නේ නැහැ කියන එකයි...
    ඒ තරමට අලුත් ළමයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් තිබුන ක්‍රමවේදය පිළිපදින්න සහ ආරක්ෂා කරන්න හැමෝව වගේ බැඳී හිටියා...

    අපේ සින්නො කොච්චර වෙනස් උන්ද කියනවනම් අපි කැම්පස් ගිහින් සතියක් වගේ යද්දී නිවාඩු දවසක අපේ සුපර් සින්නො අපි කීප දෙනෙක්වත් කතා කරගෙන පානදුර බීච් ගියා රා බොන්න...
    අපේ බැච් එක කොහොමත් අපේ සින්නන්ට වඩා කිට්ටුවෙන් හිටියේ අපේ සුපර් සින්නන්ට...

    ReplyDelete
    Replies
    1. ඔබේ අත්දැකීමත් එකතුකරාට ස්තූතියි
      විචාරක දියණිය

      Delete
  9. සමහර රැග් නරක නැතුව ඇති සමහරවිට. හොඳ ප්‍රතිඵලත් ඇති සමහර විට. සමහරු රස විඳිනවත් ඇති. ඒත් රැග් සමස්ථයක් වශයෙන් ගත්තහම ඒවායේ නරක පැත්ත හොඳට වඩා හුඟක් වැඩියි. ලංකාවේ අධ්‍යාපන ආයතනවල පවතින රැග් නැතිකිරීමෙන් වෙන හොඳ එයින් විය හැකි පාඩුවට වඩා හුඟක් වැඩියි.

    ReplyDelete
    Replies
    1. ඔබ කියන දෙය සැබෑවකි ඕනෑම දෙයක හොඳ සහ නරා සම්මිශ්‍රව පවතී. එහි ඇති හොන්ද උකහා ගෙන නරක ඉවත් කරාම වැඩේ ලේසියි. පාඩු සහ ලාභ අටලෝ දහමේත් ඇත. හැබැයි ඕනෑම කට්ටක් කන්න ටවුන් එකක බය නැතිව ඇවිදින්න ක්කොල්ලෙක් මොකක් හරි කිවුවාම හොටු පෙරාගෙන අඩන්නතිව මූණදෙන්න ගටක් නම් හැදුණා.
      විචාරක දියණිය

      Delete
    2. මේ වගේ මානසික ලෙඩ්ඩුන්ගෙන් තම පෞර්ශය හදා ගන්න තරම් මට්ටමකට සමාජයක් පත් වීම කණගාටුදායක උනත් ඒ තමයි පවතින (තිත්ත ) ඇත්ත..

      බ්ලොග් ලොකේ සම හරක් තමන්ට අවාසිදායක , තම මතයට වෙනස් මත දරණ අදහස් දැක්වීම් අන් අයට නොපෙන්වීමට භාවිතා කරනවා විවිධ ක්‍රම... Comment moderation එයින් එකක්.. අදහස් දැක්වීම් වලින් තමන් කැමති ඒවා පමණක් තෝරා පළ කරන්න බ්ලොග් වල නොමිලේ හදලා තියෙන පහසුකමක් නිසා අවශ්‍ය විටක භාවිතා කරන්න හොයලා බලල ඉගෙන ගත්තා නම් හොඳයි කියලා හිතුනා ඔබ..

      සිංහයෝ වගේ ඉන්න ගොඩක් අය බැටළු හම් පොරව ගත්ත අය කියා වැටහේවි ඔබට කාලය එක්ක...

      Delete
  10. නවක අනුරූපිතාවෙ හොදත් තියෙයි..නරකත් තියෙයි...අනේ මන්දා...

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි මන්දා
      විචාරක දියණිය

      Delete
  11. දුක හිතුනා. නවක වධය වින්දෙත් නැති, නවක වධය දුන්නෙත් නැති කෙනෙක් විදියට මට කියන්න තියෙන්නේ, මේක උපතේ සිට ක්‍රම ක්‍රමයෙන් ලංකාවේ සිද්දවෙන කොඳු කැඩීමේ ක්‍රියාවලියේ උඩම තියෙන එකක් කියල.

    ReplyDelete
    Replies
    1. කොන්ද කඩා ගත්තුන් කඩාගත්තා. හැබැයි සමහරු නම් හොඳට කොන්ද කෙලින් කරගත්තා ජීවිත කාලයටම
      විචාරක දියණිය

      Delete
  12. Replies
    1. +++++++++++++++++++++++++++++++++++++++
      විචාරක දියණිය

      Delete
  13. කොයි විධියෙන් පටන් අරන් කොයි විධියෙන් අවසාන උනත් ඔය රැග් කියන වදයට තිත තැබිය යුතුයි. එය කොහෙත්ම අනුමත කරන්ට බෑ.

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රතිචාරයට බෙහෙවින් ස්තූතිවන්ත වෙමි
      විචාරක දියණිය

      Delete
  14. ලියාගෙන ආපු රිදම් එකට මක්කදෝ වෙලා වගේ තකහනියක්.. පෝස්ට් තුනම එකපාර බලපු නිසාද මන්දා එහෙම දැනුනා.. ඊලඟ එකින් හම්බෙමු.
    රැග් එක කාලා ජොබට ගියාට පස්සෙ දවසක් ගස්ලබ්බට හිතුනා වෙහෙර ගිලපු මට අග්ගලාවත් කජ්ජක්ද කියලා...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඕගොල්ලෝ ලිපි දාන්නැති නිසා අපේ රදම් එකත් මොටවෙලා ගස්ලබු සහෝදරයා එකෙන්ම ඔබ හා එකඟ වෙමි
      විචාරක දියණිය

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }