ජීවිතය ජීවත් කරන්නේ මතකයයි . සොදුරු වුවත් අසුන්දර වුවත් මතකය හැමදාම අපි එක්ක ඉන්නවා . හිතේ දුක නැතිවෙන්න කොළ ගණන් ගුලි කරන් හැමදාම ලියනවා. ඒ වුනාට දුක අඩුවෙනවට වඩා වෙන්නේ දුක වැඩිවෙන එක . ඒ නිසාම අද ටිකක් වෙනස් කථාවකට මුල පිරුවා. මේක උනෙත් ඉතින් මේ මටම තමයි . මේකට හිනාවෙනවද ? අඬනවද? බනිනවද ? මොකුත්ම නොකියා ඉන්නවද ? කියන එක ඔබට බාරයි .
මෙහෙමයි දැන් කථාව පටන්ගන්නේ
මේ කථාව 2003 තරම් ටිකක් ඈත අතීතයට දිව යනවා . ඒ වනවිට මා දෙවන වර උසස් පෙළ විභාගය සඳහා සූදානම් වෙන කාලේ . අපේ පදිංචිය පොතුහැර වුවත් මව රාජකාරී කරේ රුවන්වැල්ලේ . මා පාසල් ගියෙත් රුවන්වැල්ල රාජසිංහ මාධ්‍ය මහා විද්‍යාලයට . මගේ පියා පදවිය ප්‍රදේශයේ රාජකාරි කළා. මා දෙවන වර උසස් පෙළ විභාගයට පෙනී සිටින නිසා පාසලේ සිංහල ගුරුවරයා පවත්වන අතිරේක පන්තියකට සහභාගී වුණා. තරමක් දුෂ්කර උනත් ගුරුවරයා හොඳින් ඉගැන්වීම් කළ නිසා ඊට සහභාගී වුණා.
ඔය සිංහල පන්තියට යන එක්තරා උදෑසනක තමයි මේ රසවත් සිදුවීමට මට මුහුණ පාන්න වුණේ. මගේ මව සෑමදාම රාජකාරී සඳහා උදෑසන 6.00 ට පමණ නිවසින් බැහැර වෙනවා. ඉතින් මට පන්ති තියන දාට ඇය මට පන්ති යාමට අවශ්‍ය මුදල් මගේ අතට දෙනවා . වැඩිපුර මුදල් දෙන්නේ නෑ . රුපියල් 100 ක් 150 ක් වගේ මුදලක් තමයි දෙන්නේ . මගේ ගමන් මාර්ගය පොතුහැර සිට වරකාපොළට හා වරකාපොළ සිට රුවන්වැල්ල ඒ දිනවල පොතුහැර සිට වරකාපොළට මුදල රු 12/=කි . වරකාපොළ සිට රුවන්වැල්ලට 23/= කි. එදිනත් සුපුරුදු පරිදි මව නිවසින් බැහැර වන අවස්ථාවේ මා හට රු 12/=ක් හා රුපියල් 100/= ක නෝට්ටුවක් ලබදුන්නා. අතිරේක පන්තිය පැවැත්වෙන්නේ සවස් කාලයේ වුවද මගේ මව කියා සිටියේ උදෑසන 7 .00 විතර පිටත්වී පැමිණ පුස්තකාලයේ සිට පාඩම් කරන ලෙසයි. ඊට හේතුව නිවසේ සිටියදී මගේ ප්‍රියතම විනෝදාංශය රූපවාහිනිය නැරඹීම පමණක් වීම නිසාය.
කෙසේ හෝ සියලු උපදෙස් ලබාදී ඇය නිවසින් පිටත්ව ගිය පසු, මම හෙමින් සූදානම් වී උදෑසන 7.00 පමණ වනවිට බස් නැවතුමට ගියෙමි. කොළඹ බසයක් පැමිණි අතර, ඊට ගොඩ වූ මමරු 12/= මුදල කොන්දොස්තරට ලබාදුන්නෙමි . බස රථය උදෑසන 7.50 පමණ වනවිට වරකාපොළ නගරයට සේන්දු විය. සාමාන්‍යයෙන් කොළඹ බස් රියක් වරකපොළට විනාඩි 45 කින් හෝ විනාඩි 50 කින් පමණ පැමිණේ . වරකාපොළදී බස් රියෙන් බැසගත් මම සෙමින් කරවනැල්ල බස්රථ නැවතුම වෙත පිය මැන්නෙමි . කරවනැල්ල බසයක් එහි නතර කරතිබූ අතර, එයට ගොඩ විය. බස්රථයට ගොඩවූ වහාම මා කරන්නේ ටිකට් ලබාගැනීමට මුදල් අතට ගැනීමය . බෑගයේ තිබූ පර්ස් එකෙන් මුදල් ගැනීමට සැරසුණු මට දැක ගැනීමට හැකිවූයේ රුපියල් 100 නෝට්ටුව අතුරුදහන් වී ඇති බවයි. එය දුටු මට හීන්දාඩිය හා මහදාඩිය දෙකම දැමීය . මුළු බෑග් එකම පිරික්සූ මට වැටහුණු පරම සත්‍ය නම් අතේ සතපහක්වත් නැතිබවයි. තවත් බසයේ සිටීමෙන් කිසිදු පලක් නැති නිසා මමබසයෙන් බැස්සෙමි . තවත් සැරයක් මුළු බෑගය පුරාවටම ඇස් යොමු කල මට සැඟවී තිබූ රු. 1. 50 /= ක් හමුවිය .
බිම ඉඳගෙන කෑ ගහමින් අඬන්නට කාරණා යෙදී තිබුණද , මගේ යටි සිත කීවේ කලබල නොවී කටයුතු කරන ලෙසයි. ඒ අනුව ක්‍රියාත්මක වූ මා, පළමුව කරේ බස් නැවතුමෙන් ඉවත් වීමයි . එසේ කළේ කවුරුන් හෝ මා අධ්‍යයනය කළේ නම්, ඒ අනවශ්‍ය අතපෙවීම්වලින් වැළකීමටයි .
ඉන්පසු මා තනිවම තීරණයකට එළඹීමට මා සතු දෑ හා මා සතු ශක්තිය පිළිබඳ සිතින් විමසන ලදී.ඒ අනුව පහත දේ මට වැටහිණි.
1. වරකාපොළ නගරයේ මට උදවුවක් ලබා ගැනීමට මිනිසෙකු තියා මා දන්නා බල්ලෙකු , පූසෙකුවත් නැති බව .
2. කිසිවෙකුට දුරකථනයෙන් කතාකර උදවු ගැනීමටවත් මා හට ප්‍රමාණවත් මුදලක් නොමැති බව . ( අවම රු 2/= ) බොක්ස් එකකින් කථාකිරීමට
3. පයින් යාම එකම විකල්පය බව .
4. පයින් යන්නේ නම්, දුර අනුව බලන කළ ගෙදර යාම වඩාත් යෝග්‍ය බව .
ඒ අනුව මාගේ පයින් ගමන උදැසන 8.15 ට පමණ නැවත ආරම්භ විය. තරමක් උස සපත්තු දෙකක් දමාසිටි බැවින් පයින් යාම ද සිතුව තරම් පහසු නොවීය. හෙමින් හෙමින් මම පයින් යමින් සිටියෙමි. පයින් යන ගමන්ද මට මුදල් සොයා ගැනීමට විකල්පයක් සිතන ලදී. ඒ වනවිට මා සතුව වටිනා යමකට පැවතියේ කරාඹු 2 ක හා අත් ඔරලෝසුව පමණි . කරාඹු 2 උකස් කර නොහැක්කේ මවට උත්තර බැඳීම ඊට වඩා අපහසු නිසාය. ඕවා මේවා සිතමින් තුල්හිරිය ප්‍රදේශයට ලංව තිබුණි. පාරේ යන ත්‍රිවිලයක් ද මා අසල නැවත්වා ඇසුවේ. "මිස් අලව්වට යනවාද ?" යන්නයි . මම ස්ථානෝචිතව පිළිතුරු දී එයද ගානට මග හැර ගත්තෙමි.
දැන් අලව්ව නගරයට ආසන්නව පැවතුණි. දෙකන්ශයෙන්ම දාඩිය දමා තිබුණි . සැනෙකින් මට මතක් වුණේ අලව්ව නගරයේ ඇති පොලිස් මාර්ග බාධකයයි. මා සිතා ගත්තේ කාන්තා පොලිස් නිලධාරණියන් සිටියහොත් එහි ගොස් සත්‍ය පවසා ඔවුන්ගේ සහය ඇතිව බස්රථයෙන් නිවසට යාමටයි . අලව්ව නගරයට යනවිට උදෑසන 9.30 පසුවී තිබුණි. මගේ සියලු බලාපොරොත්තු කඩ කරමින් එහි සිටියේ පිරිමි පොලිස් නිලධාරීන් පමණි. එමනිසා එතැනින්ද මම හෙමිහිට පැන ගත්තෙමි. ඔය අතරදී මම මාර්ගය අසළ නිවසකින් වතුරද ඉල්ලගෙන බීවෙමි.
තව දුරක් යනවිට මාඉදිරියට හිඟන්නෙක් පැමිණෙමින් සිටියේය . මොහොතකින් මේ මනුස්සයා පවසා සිටියේ
අනේ , නෝනා ............. තියනවනම් මට කීයක් හරි දෙන්න .
නෝනට පින් සිද්ධ වෙයි .
මම කිසිත් නොකියා සිතින් මටම සිනාසුණෙමි. තවත් ඉදිරියට පියමනින විට මා හට කාන්තාවක් මුණ ගැසිනි. මා ඇයට පැවසුවේ මගේ ඔරලෝසුව රැගෙන කීයක් හෝ දෙන ලෙසයි. ඇය විසින් එය ප්‍රතික්ෂේප කරන ලදී . මට මේ වනවිට ඇවිදීම ඉතා අපහසු වී තිබුණි. අවු රශ්මියද ඊට බලපෑවේය.
මමඅලව්ව පසු කරමින් ඉදිරියට පැමිණෙමින් සිටියෙමි. ඔය අතර වළකුඹුර දුම්රිය පොළ ආසන්නයට පැමිණෙමින් සිටින විට පයින් ගිය මිනිසුන් කිහිප දෙනෙක්
"මේ ළමයා හුඟක් දුර ඉදලා පයින් එනවා" කියා කථාබහක යෙදී සිටිනු මට ඇසුණි.
තවදුරටත් පයින් යා නොහැකි තරම් වෙහෙසට පත්ව සිටි මා දිගටම පයින් යාම අවධානම් බවද, අවබෝධ කරගෙන තිබුණි. ඔය අතර , මා පයින් ගමන් කරන විට පාර අයිනේ තිබූ එක නිවසක මවක් හා දියණියක් එළියේ සිටිනු දැක , මා ඔවුන්ගෙන් වතුරද ඉල්ලාගෙන පානය කළ අතර , මා විසින් අලව්ව පොළට යනවිට මගේ පර්ස් එක පිට් පොකට් ගසා ඇති බැවින් මෙලෙස පයින් යන බවත්, හැකිනම් කීයක් හෝ දෙන ලෙසත් මා පැවසුවා . මා පිළිබඳ කාරුණික වූ ඔවුහු රු 5 /= මා අතේ තැබූහ. ඔවුන්ට මහත් සේ ස්තූති කර යාල්ගම්මෝදර හන්දියෙන් මා බසයකට ගොඩවිය. අලව්ව - කුරුණෑගල බසයේ වැඩි සෙනගක් නොවූ බැවින් ඉඳ ගැනීමට හැකිවිය. ඔවුන් දුන් රු 5 /= ත් මා සතු රු. 1.50 ත් එක්කළවිට මුළු මුදල රු.6.50 ක් වුවද, ගාස්තුව රු. 8. 50 කි. එහෙත් මා කොන්දොස්තරට කියා සිටියේ මා සතුව මාරු කාසි නොමැති බවයි. මා දෙස රවා බැලුවද, කිසිවක් නොකී ඔහු අදාළ නැවතුමෙන් මා බැස්සවීය. මේ සියලු කරණං ගසා ගෙදර පැමිණෙනවිට සවස 1. 00 පමණ විය . යටිපතුලේ දියපට්ටයක් දමා තිබූ අතර , මුළු ඇඟම රිදෙන්නට විය. එතැන් සිට මව එනතුරු මම හොඳ හැටි නිදා ගත්තෙමි . මව පැමිණි පසු
"ඇයි ළමයෝ අද පන්ති ගියේ නැද්ද? " ඇසූවිට
"උණ හැදුනා " යයි බොරුවක් කියා ෂේප් විය .
එම සිද්ධිය නිවැසියන් හා පැවසූයේ ඊට බොහෝ කලකට පසුවය . විශේෂයෙන් මගේ පියා සතුටින් සිටින අවස්ථාවකය .
විචාරක දියණිය ප. ව. 17.00 පැයට
විචාරක දියණිය.. දෙවන වර උසස් පෙළ කරන කොට මම ඉපදිලත් නෑ නොවැ.... හුටා.. මාර වැඩනෙ කරන්නෙ.
ReplyDelete- ජෑ මා කාලී -
එහෙනම් වයස හිතා ගත්ත හැකියි. ප්‍රතිචාරයට තුති
ReplyDeleteවිචාරක දියණිය
- ජෑ මා කාලී -
Deleteවලකුබුරින් train එක්ට නැග්ගනම් පොතුහැරින් බැහැලා පයින් එන දුරනේ!!
ReplyDeleteඒ දවස්වල ඒ තරම් කොච්චි ගමන් ගැන තේරෙන්නේ නෑ.
Deleteවිචාරක දියණිය
විකල්ප කොයිතරම් තිබුනත් ගැහැණු ළමයෙකුට ඒ විකල්ප එකක්වත් ක්‍රියාත්මක කරන්න බැහැ. ඒත් ලඟම තියන පොලිසියට ගියානම් ගෙදරට හෝ ඥාතියෙකුට දුරකථන ඇමතුමක් ගන්න තිබ්බ.
ReplyDeleteඔබ කියන දේ 100 % නිවැරදියි පොලිසියට යන්න බය උණා
Deleteවිචාරක දියණිය
කිව්වට තරහ වෙන්න එපා. ඔබ ලීව සිද්දිය ඇතුලේ මේක කියවන දෙමාපියන්ට ඉගෙනගන්න පාඩමක් තියෙනවා. ඔයා මේ සිද්දිය ඇතුලෙම උත්සහ කරල තියෙන්නේ සල්ලි නැතිවීම ගෙදරින් වසන් කරගෙන වැටිච්ච අමාරුවෙන් ගොඩවෙන්නයි. එතන නොකියවෙන දේ තමයි මුදල් අස්තානගතවීම දෙමාපියන්ට දැනුම් දීමට තියන බිය. (සමහරවිට මම වැරදි වෙන්න පුළුවනි ). ඒ සිද්දිය ඔයා ගෙදරට කීවෙත් බොහොම කාලයකට පස්සෙයි. එතැනදී දැනෙනවා දෙමාපියන් විසින් ඔබව යම් පීඩනයකට පත්කරවලා කියල. ඒ නිසයි තමුන් අමාරුවේ වැටිලා ඉද්දිත් දෙමාපියන්ට පණිවිඩයක් යවන්න උත්සහ නොකර ගෙදර යන්න සල්ලි හොයන්න උත්සහ කරන්නේ. ඒත් ඒ උත්සාහය ඇතුලේ සහ අච්චර දුරක් පයින් ඒම ඇතුලේ ඔබව අනතුරකට පත්වෙන්න තිබ්බ ඉඩකඩ බොහොමයි. දෙමාපියන් අනවශ්‍ය ආකාරයෙන් දරුවන්ට සැර වැර කරන්න ගියාම දරුවන් ඔවුන් කරදරේක වැටුන වෙලාවට දෙමාපියන් කැඳවන්න බයයි. මොකද ගහෙන් වැටුන එකාට ගොනා ඇන්නා වගේ තත්වයක් උදාවෙන නිසා. ඒත් දෙමාපියන්ගේ වගකීම තමුන්ගේ දරුවන්ගේ හිත් ඇතුලේ ඔවුන්ගේ ලඟම ගැලවුම්කරුවා දෙමාපියන් වන බවට තක්සේරුවක් ඇතිකිරීමයි. ඔය සිද්දිය ඇතුලේ නොකියවෙන සත්‍යය මට දැනෙන විදිහට ලිව්වට අමනාප වෙන්න එපා.
Deleteමෙහෙමයි බනින්නේනම් නෑ. හැබැයි මම හිතනවා මගේ නොසැලකිල්ල නිසා වෙච්ච දෙයක් හින්දා ඒ ගැන කියන්න බය උනා කියලා. නැත්තම් මගේ මව පියා තරම් මට ආදරේ කෙනෙක් මුළු ලෝකෙම මට හොයාගන්න බෑ. මේක නොකියවීම අම්ම විහින් හදාගත්ත දෙයක් . අවසානේ මම ලියා තිබෙනඔහු සතුටින් සිටින අවස්ථාවක මේක කිවුවා කියලා මොකද පරක්කු වෙලා කියන අවස්තාවකදී ඔහු කේන්තියෙන් ඉන්න වෙලාවක මේකත් කීවම දණ්ඩ එකත් කියන්නේ වැනි හැඟීමක් ඇතිවන නිසා
Deleteවිචාරක දියණිය
විචාරක දියණිය
අදකාලෙ පොලිසියෙං වත් උදව්වක් නං ඉල්ලන්න යන්න නාකයි. ඔයා කරපු දේ හරි...
ReplyDeleteඒකනේ ......... මම බය උණේ
Deleteවිචාරක දියණිය
බයි ද වේ, තාත්තගෙ ලෙගසිය රකින්න නං මීට වඩා උක්තාඛ්‍යාත සම්බන්ධය ගැන සැළකිලිමත් වෙන්න වෙනව. මොකද විචාරක තමයි අපෙත් වැරදි හැදුවෙ...
ReplyDeleteඋදාහරණ
/ඊට ගොඩ වූ මා රු 12/= මුදල කොන්දොස්තරට ලබා දුනි ./
/වරකාපොළදී බස් රියෙන් බැසගත් මා කරවනැල්ල බස්රථ නැවතුම වෙත පිය මැන්නාය./
මිත්‍රශීලී මතක් කිරීමක් හැටියට ගන්න ප්ලීස්...
Mmm..ow😭
Deleteයේස්
Deleteඔව් ඔව් බොහොම අගෙයි. වැරැද්ද පිළිගන්නවා. තාත්ත හිටියනම් වෙනදේ හිතා ගන්න බෑ බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාරය නිසා තමයි ලියන්නේ නැත්තන් මේක නැවතිලා ගොඩක් කල්
Deleteවිචාරක දියණිය
ඉස්සර මම ලිව්ව හැම ලිපියකම ව්‍යාකරණ වැරදි පෙන්නලා ඒවා හැදුවේ විචා...
Deleteමරු අත්දැකීම. දෙමව්පියන්ට මේකෙන් ඉගෙනීමට යමක් තියෙනවා. ඔබගේ දරුවාගේ බෑග් එකේ යම් කිසි මුදල් ප්‍රමාණයක් වැඩිපුර තියන්න. ඕනනම් ඒක තියෙනවද කියල ඉඳල හිටල චෙක් කරල බලන්නත් පුළුවන්. මේවගේ හදිස්සියකදි පාවිච්චියට ඒමුදල් තියෙන එකෙන් ප්‍රයෝජනයක් වෙයි.
ReplyDeleteඔව් ඒකඇත්ත ඇත්තටම කියනවනම් කීයක් හරි තියනවනම් ඉතුරු කරගන්න ඕන හදිසියට . ඒ දවස්වල ලැබුනද වියදම් කරා . මෙහෙමයි විචාරකතුමාටයි මටයි ඉතිරිය කියන දේ බෑ. නැත්තම් නෑම තමයි අපේ ගෙදර එකම ඉතිරි කරන්නා අපේ අම්ම තමයි විචාරකතුමා පෙන්ෂන් ගියාම තමයි ටිකක් හරි ඉතිරියට පෙළඹුනේ . මටත් වෙන්නේ ඒකම තමයි
Deleteවිචාරක දියණිය
නියම කට්ටක්නෙ කාල තියෙන්නෙ. ළමයෙක් අතේ දුරකථනයක් තියෙන එක ප්‍රයෝජනවත් වෙන්නෙ ඔය වගේ වෙලාවට තමයි. පන්තියට ගිහිල්ල ආපහු එනකොට ඔය දේ උනානං යාලුවෙක්ගෙන් හරි උදව් ගන්න තිබුණ.
ReplyDeleteඒකාලේ ජංගම දුරකථන තිබුනේ බොහොම ස්වල්ප දෙනෙක් අතරේ තමයි. විචාරකතුමා ළඟ තිබ්බෙත් ගඩොල් භාගයක් වගේ දුරකතනයක් . ඒක ඇවිල්ල කන්නම තිබ්බ කට්ටක්.
Deleteවිචාරක දියණිය
අවස්ථාවෙ හැටියට ගත්තු නිවැරදි තීරණයක්. බුද්ධිය යනු එක් අතකින් නිවැරදි තීරණය ගැනීමේ හැකියාව දියණී
ReplyDeleteබොහොම ස්තූතියි සර් . ඔබගේ ප්‍රතිචාරයට
Deleteවිචාරක දියණිය
බෑග් එකේ ගානක් හංගලා වෙනම තියාගන්න එක තමයි හොඳම දේ. හැබැයි ගෑල්ලමයි නොකරන එකම දේත් ඕක මයි. මාර්ගයේ තනියම පයින් යාම කිසිසේත් අනුමත කරන්නේම නෑ. පොලිසියට යන්න බය නොවුන නම් වඩා වටිනවා. බොහොම කල්පනාවෙන් වැඩ කොරල තියනවා හැබැයි. හෙහ් හෙහ්..
ReplyDeleteජයවේවා..!!
එකනම් ඇත්ත . කොල්ලන්ගේ නම් කලිසම් සාකකු වලයි කමිස සාකු වලයි මාරු කාසි හරි තියාගන්න්නවා ගැහැණු ළමයින්ගේ පර්ස් එකක් නැතිවුණා කියන්නේ ඔක්කොම නැතිවුණා හා සමානයි . පොලිසියට යාන මගේ අදටවත් කිසිම ආසාවක් නෑ.
Deleteවිචාරක දියණිය
thanks
ReplyDeletevichraka diyaniya
++++
ReplyDelete++++++++++++++++++++++++++
Deleteවිචාරක දියණිය
මේකට දැන් අරෙහෙම කරන්න තිබ්බ මෙහෙම කරන්න තිබ්බ කියල අපිට උපදෙස් දෙන්න පුළුවන් කමකුත් නෑ වැඩකුත් නෑ.. ඒ වෙලාවේ ඔබේ මානසිකත්වය අනුව ඔබට හරියි කියල හිතුන දේ කරා.. ආරක්ෂිතව ගෙදරට එන්න ලැබීම ගැන සතුටු වෙන්න.. මේ හරහා අපිට ඉගෙන ගන්න තියෙනවා පාඩමක්.. එක නිසා මේ අත්දැකීම බෙදා ගත්තට ස්තුතියි.
ReplyDeleteඔබ කියන දේ ඇත්ත අපි තීරණ ගනිද්දී ඒ වෙලාවේ අපේ හිත කියන දේ තමයි කරන්නේ . හදිසි අවස්ථාවකදී ක්‍රමවේදවලට ගිහින් වැඩ කරන්න අමාරුයි
Deleteවිචාරක දියණිය