හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

06 November 2018

අහිමි ප්‍රජාතන්ත්‍රවාදය


ග්‍රීසි නගරයෙ ඇතැන්ස් පාමුල
                       මහාජනගඟ රැස්වෙමින්


එදා එහි තිබු ප්‍රජාතන්ත්‍රවාදය
                       කොහිගියාදැයි අසන්


දහස් වසරක් ඉක්ම ගිය පසු
එය මිලින වූ බව දැනන්


සියුස් දෙවියනි අපට සරණක්
                       වෙනු මැනවියයි කියන්




සල්ලි කහවණු මිටි බඳින ලෝකෙක
                       දේවදූතයො පැනගිහින්


ෂා රජුන්ලා ඉඩි අමින්ලා
                       මුසෝලිනිලා රජකරන්


කුලියටත් මිනිමරන දේශෙක
                       වාසභවනක් මිලදී අරන්


යුක්තියේ දෙවගනඳ ඇත්තේ
                       ඇස්දෙකේ පටිතදකරන්




මෙවන් දේසෙක වාස කෙරුමට මතු සසරෙදිවත් නොවෙන්
දේසෙ හැටියට  වාස කෙරුමට අපට ශක්තිය              දියන්

                      

විචාරක දියණිය  ප.ව. 18.30 පැයට

04 November 2018

නිහඬතාවය


         නොසැලකිල්ල


         අකුණු ගැසීම 


        පරිගණකය  හා රවුටරය  පිළිස්සීම     කණ පුරා බැණුම් ඇසීම


        වැඩදන්නා අය නොමැතිවීම


        අනුනගේ පිහිට පැතීම 


        සාදා ගැනීමට දෙමාසයක්  ගතවීම


        හොඳ  ගණනකට කෙළවීම


        නැවත වැඩ ඇරඹීමට සිතීම .......................


         විචාරක දියණිය ප.ව. 12 35 පැයට

    

  



05 August 2018

ක්‍රිෂ් 2


කොල්ලො දෙපිරසක්  රණ්ඩු වෙන ඹ්නෑම කථාවක අවසානයේ කෙල්ලෙක් ඉන්නවා කියලා මට කියලා දුන්නේ අපේ පංතිභාර ගුරුතුමියයි. ඒ 1998 වසරේ මා පාසලේ 10 වසරේ ඉගෙනුම ලබන කාලේ , දිනක සිදුවුණු සිදුවීමකුත් සමගයි. සිද්ධිය කෙටියෙන්ම කියනවානම් එදින විවෙික කාලයේ සුපුරුදු පරිදි ගෙවෙමින් තිබෙන මොහොතක, කෑම කා අවසන් වූ මා මිතුරියන් කිහිපදෙනෙකු සමග පංතියේ බැල්කනියට වී සිටි අතර, උසස්පෙළ පංතිවල අයියලා රොත්තක් 11 වසර A පංතිය දෙසට දිවයනු පෙණිනි. සැනෙකින් එම පංතියේ පිරිමි ළමයි සමග මහා ගැටුමක් නිර්මාණය විය. එකෙනෙහිම ගුරු විවෙිකාගාරයේ සිටි ගුරුවරුන් ඒ දෙසට දිවගොස් එකෙකු දෙන්නෙකුට ගසා උසස්පෙළ සිසුන්ට තරයේ අවවාද කර පන්නා දමන ලද අතර, අපේ පංතිභාර ගුරුතුමිය අපේ පංතියට දිව ආවාය. ඇය අපිට දැඩි ලෙංගතුකමක් දැක්වූ අතර, අපේ පංතියේ ළමුන්ගේ ආරත්ෂාවට ඇය පැමිණියාය. එසේ පැමිණි අවස්ථාවේ ඇය අපිට ඉහත ප්‍රකාශය සිදුකළාය. පසු විපරමේ දී ඇයගේ කියමන සැබෑවක් වී තිබුණේ එකම මලට බඹරුන් දෙදෙනෙක් සටන් කර ඇති බව දැනගත් නිසාය.


දැන් තමයි මාතෘකාවේ කථාව පටන් ගන්නේ


විශ්ව විද්‍යාල ජිවිතයේ තවත් මතකයක් ගෙනඑන්නයි හදන්නේ. සුන්දර තැන් අසුන්දර  වෙන්නේ අපේම අයගේ වරදින්. විශ්ව විද්‍යාලයේ දෙවන වසර  ආරම්භ වී සති  කිහිපයකින් කමයි මේ සිදුවීම වුණේ.  ඒ වන විට සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨයට  නවකයන් පැමිණ වැඩිකලක් ගතවී කිබුණේ නෑ.  ඔවුන්ට පරිසරය ගැනත් අවබෝධයක් තිබුණේ නෑ. අනෙක් කරුණ තමයි මෙම පීඨයට සිටින පිරිමි ළමයි ප්‍රමාණය අල්පයි.  ඒ නිසා වැඩිය ගැටුම් ඇතිකරගන්න උත්සාහ කරන්නෙත් නෑ. නමුත් කළමණාකරණ පීඨය කියන්නේ පිරිමි ළමුන් වැඩිපුර සිටින පීඨයක්.  ඔවුන්ට වැඩි බලයක් තිබුණා.  මේ පීඨ දෙක අතර  සීතල යුද්ධයක් නොතිබුණා නොවෙයි . මෙවැනි වටපිටාවක් තිබෙන මොහොතක  අපේ පීඨයේ කලා සංගමයෙන් චිත්‍රපටි උළෙලක් සංවිධානය කළා .  එවකට අප දෙවන වසරේ සිටි නිසා විශ්ව විද්‍යාල පරිශ්‍රයෙන් බැහැර නේවාසිකාගාරවල තමයි සිටියේ . කෙසේ වෙතත් මෙම චිත්‍රපට උළෙලේ එකල  ජනප්‍රිය හින්දි විත්‍රපට තිහිපයක් ප්‍රදර්ශනයට සකස්කර තිබුණා.  සෑම දිනකම  හවස 7.00 තමයි චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භ වුණේ.  බාහිර නේවාසිකාගාරවල ශිෂ්‍යයන්ට ආපසු යාමට විශ්වවිද්‍යාල බස්රථය ලබාදෙනවා කියූ නිසාම මමත් මගේ යෙහෙළියන් කිහිප දෙනෙකුත්  චිත්‍රපට බලන්න පැමිණියා.  මේ කියන දිනයට අදාළව පෙන්නුවේ ක්‍රිෂ් 2 චිත්‍රපටයයි  .



අප විශ්ව විද්‍යාල භූමියට ඇතුළුවන විටම  පරිසරයේ යම්  වෙනසක් දැනුනත් එය ගණන් නොගෙන  චිත්‍රපට ශාලාවට හෙවත් අමරදේව ශ්‍රවණාගාරයට  ගියා.   අතුරු සිදුරු නැතිව  සියලු දෙනා වාඩිවී සිටි අතර , පළමු වසරේ  නංගිලා මල්ලිලා බොහෝදෙනෙක් හා අප බැච් එකේ අය ද තෙවන වසරේ අයියලා අක්කලා ද  ප්‍රේමවන්තයෝ ද  කළමනාකරණ පිඨයේ  ගැහැණු පාර්ශවයද පැමිණ සිටිනු දක්නට ලැබුණා.  තවත් විනාඩි තිහිපයකින් ශාලාවේ විදුලි පහන් නිවා දැමුණු අතර චිත්‍රපටයේ පෙළ තිරයේ දිස්වූවා පමණි,  මහා ගෝෂාවක් පිටතින් ඇසෙන්නට වූ අතර,  ක්ෂණයකින් පොලු මුගුරු අතින්ගත් කළමනාකරණ පිඨයේ   පිරිමි ළමුන් ශාලාවට කඩා වැදුණී.


එවිටම සියලු  දෙනා වටකරගත්  අතර,   වෙන්ඩ යන දේ සිතාගත නොහැකිව අපි මවිතව බලා සිටිමු.  අපේ සීනියස්ලා කිහිප දෙනෙක් ඇයි ? දැයි ඇසූවිට එය ගුටි හුවමාරුවකින් අවසන් විය.


ඔවුන්ගේ පීඨයෙන් පැමිණි අක්කලාට ඔවුන් මෙසේ බැණ වැදුණි.
තොපිත් ආවද මේක බලන්න‍.
බැහැපියව් එළීයට

යන පරුෂ වචනයෙන් ඔවුන් කෑ ගැසීය. ඒ සමගම ඔවුන් අපේ පීඨයේ සියලු පිරිමි පාර්ශවයට අවලාද කියමින්  ගුටි ප්‍රහාර  දියත් කරන්නට විය .


  අපට තේරුණ පරම සත්‍ය  නම් අපේ පීඨයට අලුතින් පැමිණි මල්ලිලා සොයා එලවා එලවා පහර දෙන බවයි. සියලුම ගැහැණු ළමුන් එකකතුව ඔවුන් හැකි පරිදි
බේරාගෙන ගස් අතර සැඟවීය.  රාත්‍රිය එයට වාසිදායක විය.  ඇතැම් මල්ලිලා දුවගොස් ඈත කැලෑ ප්‍රදේශයේ සැඟවී තිබුණි . ( එවකට අපේ විශ්ව  විද්‍යාල භූමියේ  සෑහෙන ඉඩ ප්‍රමාණයක් වන ලැහැබවලින්  හිස්ව පැවතුණි)  චිත්‍රපට සංවිධායක මණ්ඩලයේ අයියලා කඩිනමින් විශ්ව විද්‍යාල බස්රථය ලබාදුන්නේ නැවත කඩිනමින් නේවාසිකාගාරවලට යාමට හා පළමු වසරේ මල්ලිලාගේ ආරක්ෂාව සඳහා, අප කණ්ඩායමේ පිරිමි ළමයි නැවති සිටි බාහිර නේවාසිකාගාරයට ඔවුන්ව යැවිමටයි. මේ වනවිට අප දුරකථන මගින් ඔවුන්ට  පණිවිඩ ලබාදී තිබුණි . බොහෝ දෙනෙක් ඒ වනවිට විශ්ව විද්‍යාලයට පැමිණසිටි අතර, ඔවුන් පැවසුවේ ඉතිරි මල්ලිලා සොයාගන්නාතුරු මොවුන්ව රැගෙන යන ලෙසයි. ඉන්පසු අප ඔවුන්වත් රැගෙන විශ්ව විද්‍යාල භුමියෙන් පිටවූ අතර , බස්රථයයෙන් ඔවුන්ව අපේ පිරිමි ළමයින්ගේ නේවාසිකාගාර දොරකඩට ඇරළීය . ඇතැම් අයට සුළු තුවාල හා තැලීම්, සීීරීම් තිබූ අතර , අපේ කොළු ගැටයන් පසුදා එළිවනතුරු ඔවුන්ට සාත්තු කර තිබුණි. අනෙක් අයද සැගවුණු තැන්වලින් දුරකථන ආධාරයෙන් සොයාගෙන  රැගෙනවිත් තිබූණි. එදින අප කාටවත් නින්දක් නොවීය.


පසුදා දැනගත හැකිවූයේ විශ්ව විද්‍යාලයේ මිහින්තලා පරිශ්‍රයේ සියලු පීඨ නැවත දැනුම් දෙනතුරු වසාදමා ඇති බවයි.  රණ්ඩුවේ ප්‍රතිඵලයක් විදියට කිසිදෙයකට සම්බන්ධ නොවුණු එහෙත් පරිශ්‍රයේ සිටි ව්‍යවාහාරික විද්‍යා පීඨයටද  ගෙදර යාමට සිදුවිය. එදින උදෑසන පරිශ්‍රය ඇතුළත දී පීඨයේ සියලු දෙනා එකතුව රැස්වීමක් පවත්වන ලදී . කළමනාකරණ පීඨයද එවැනිම රැස්වීමක් ගෙන තිබුණි. එහිදී අපේ පීඨයෙන් කළමනාකරණ පිඨයේ අයියලා සමග පෙම්කෙළි සහෝදරියන්ට බැණුම් වර්ෂා එල්ලවිය.  කෙසේ වෙතත් සති තුනක පමණ ඇවෑමෙන් යළි විශ්ව  විද්‍යාලය ආරම්භ වූ අතර,  ඒ වනවිට වාතාවරණය යම්තාක් දුරට වෙන්ස්වී තිබුණු අතර, කළමනාකරණ පිඨයේ සිසුන් සිදුවූ දෙය පිළිබඳ පෂ්චාත්තාප වුණු බවක් පෙනෙන්නට  තිබූණි.


කෙසේ වෙතත්  මගේ පාසලේ ගුරුතුමිය කියූ දේ යළි සැබෑවක් කරමින් රණ්ඩුවට පදනම සැකසී තිබුණේ  අපේ පළමු වසරේ සහෝදරයෙකුත් කළමනාකරණ පිඨයේ සහෝදරයෙකුත් එකම මලකට පෙම් කළත්, ඇය සිය ප්‍රේමය අපේ සහෝදරයාට පුද කිරීම හේතුවෙනි.


විචාරක දියණිය  රාත්‍රී  22 .00 පැයට 

28 July 2018

ගුරුවරු සහ ගුරු හොරු


ගුරුවරු උතුම්මය
අපගෙ පෙර දෙවිවරුමය 

එහෙමයි පැරණි කාලෙ ගුරුවරයා  හැඳින්වූයේ………..

සුනිල් එදිරිසිංහ මහතා කියනවා


පැන මඩ කඩිති වැව් තාවුල වැහිකාලේ
පෙන්නා මග නොමග නොවැටී යන තාලේ
සිප්කිරි පෙවූ මූසිලයන් උඩුමාලේ
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ …………………..



මෙහෙම ගුරු භවතුන් තාමත් අපේ ඉස්කෝලවල නැතිවා නෙවෙයි . ළමයින්ව යහමගට ගන්න වගේම ඔවුන්ගේ දැනුම කුසලතා වර්ධනය කරන්න ගුරුවරු ගන්න වෙහෙස අපමණයි. මා මේ  ලිපියට අද මුල පිරුවෙ මේ මාසය දෙක ඇතුළෙ ගුරුවරුන්ගේ භූමිකාව සමාජය ඉදිරියේ හෑල්ලුවට ලක්වෙන එක දරාගන්න බැරි නිසා.  මූලිකම හේතුව මමත් ගුරු පවුලකින් පැවත ඒමයි. මගේ පියාගේ මුල් රැකියාව ගුරු වෘත්තිය ,මගේ මව ගුරුවරියක්, ගුරු උපදේශකවරියක්, ලෙස සේවය කරලයි විශ්‍රාම ගියේ.  සේවයෙන් ඉවත්වන තුරු කිසිම වැඩවර්ජනයකට  තනතුරක් වෙනුවෙන් හිඟාකෑව අය නෙවෙයි. එහෙම ගුරුවරු විශාල ප්‍රමාණයක්මේ රටේ ඉන්නවා. සුළු පිරිසක් කරන මේ වැඩ නිසා සමස්ථ ගුරු පරපුර  හෑල්ලුවට ලක්වෙනවා.


ගුරුවෘත්තිය අනෙක් සේවාවලින් වෙනස්වන පළමුවන දේ මා දකින හැටියට නම් අනෙක් සේවාවන්හි සේවකයන් නිර්මාණය කරන්නේ ගුරුවරයා වීම නිසයි. හැබැයි අපේ කාලයේ ද මූසිලයන් නැතිවාම නොවෙයි.  ඔවුන් සිතන්නේ මුදල් යහමින් අතේ ගැවසෙන කොට බලය ලැබෙන කොට උගන්නපු අය කවුද කියලයි. තමා තනියම මේ මාර්ගයන් සොයාගත්බවක් තමයි ඔවුන් ප්‍රදර්ශනය කරනනේ . එහෙම අය මට පෞද්ගලිකවම මුණගැහිලා තියෙනවා .


ගුරු වෘත්තියට මොකද වුණේ ?


         සාමා අමර විකුණති බස්පොළේ කජූ
         කුමාරෝදෙ පිටු  දන්දෙති එයින් පසූ
         උගතමනා ශිල්පය පිල්කඩ නොපැතූ
         වේවැල වටා ඉකිබිඳ ඳඩුවමක් පැතූ


අනූව දහකයේ අගභාගය වන විට විසිඑක්වන සියවස පිළිගත්තට පස්සේ  ටියුෂන් කඩ දැවැන්ත ව්‍යාපාර බවට පත්වෙන්නට වැඩිකාලයක් ගතවුණේ නෑ. අත්‍යවශ්‍ය විෂයකට ටියුෂන් ගිය අපේ ළමයි  විෂයන් 8ටම ටියුෂන් යන්න පටන් ගත්තා. ඒ වගේම අමුතු ටියුෂන් සංස්කෘතියක් ඇතිවූණා.  වෛවාරන්න  ඇඳුම්වලින් සැරසිලා , මොන්ටේරෝ රථයකික් ගොඩ බැහැලා, යකඩ කටින් පොඩ්ඩ්ක් ළමයින්ව අවුස්සලා, කුණුහර්පයක් දෙකක් කියලා, තමන්ගේ පන්තිය මාතට් කරන්න මේගොල්ලො  දක්ෂ වෙද්දි, ඉස්කෝලෙ ගුරුවරයා කොයිතරම් හොඳට ඉගැන්නුවත්, නිකම්ම දෙකයි පනහට වැට්ටුවා මේ සමාජ ක්‍රමය විසින්. අදක්ෂ ගුරු භවතුන් පාසැල්වල නැතිවාම නෙවෙයි. නමුත් සමස්ථය ඊට හාත්පසින් වෙනස්.


පාසැල් පද්ධතිය දේශපාලනය වීම

මා පාසැල් යන කාලෙත් ගුරුවරු වැඩවර්ජන කරන්න පටන් ගත්තා.  නමුත් අපේ පාසලේ කිසිදු ගුරුවරයෙක් වැඩවර්ජනයක නියැලෙනවා අප දුටුවෙ නෑ. කෙසේ වෙතත්  දේශපාලන පලිගැනීම්වලට ලක්වූවන්  හරි සුන්දර  වචනයක්.  මේ වචනෙ ඉස්සරහට දාලා ලොතු පිරිසක් විවිධ තනතුරුවලට ගියා මට හොඳට මතකයි  1998 – 2008 යන කාල වකවානුවල.  විදුහල්පති ,විෂය අධ්‍යක්ෂක , කලාප අධ්‍යක්ෂක , මේ තනතුරු ඒ කාලෙ හොඳට ලබා දුන්නා . මේ දේශපාලන මඩගොහොරුවෙ අතුරු ප්‍රතිඵලයක් විදියට පාසැල් පද්ධතියක් විනාශ මුඛයට ඇදලා දාන්න පුළුවන් වුණා.  වෘත්තීය සංගම් පිහිටුවා ගත්තා. හැබැයි ගුරුවරුන්ගේ අයිතීන්වලට නෙවෙයි. තමන්ගේ බඩගෝස්තරවාදය වෙනුවෙන්, දේශපාලකයන්ගේ අතකොළු වෙච්ච මානසික නිවටයො ටිකක්, මේ රටේ ඉන්නවා . සිවුරෙන් අයුුතු ප්‍රයෝජන ගන්න, ගුරුවරුන්ගේ  වැටුපෙන් තමාගේ වගේ ජීවත්වෙන , සටන්පාට කියෙවුවට ජීවිතේට අකුරක් උගන්නලා නැති, මිනිස්සු ටිකක් තමයි ලොක්කෝ වෙලා තියෙන්නේ.



නුුසුදුසු පුද්ගලයන් ගුරුවරු වීම


අද  සමහර පාසැල්වල ළමයින්ට සිය ජීවිතේම වරද්දලා තියෙන්නේ ගුරුවරු වගයි පේන්න තියෙන්නේ.  අපයෝජනය කිරීම්,  පංති තහනම් කිරීම්,  හිරිහැර කිරීම් , මේවාට හේතුව නුසුදුසු පුද්ගලයන් කුමන හෝ ලෙසින් ගුරුවරුන් බවට පත්වීම මෙන්ම හා ඔවුන්ගේ  වගකීම් විරහිත බාවයයි .


කෙසේ වෙතත් අවසානයේ වර්තමානය වනවිට පාසැල් පද්ධතිය සහ ගුරුවරයාගේ භූමිකාව ඉතා විශාල  ඛේදවාචකයනට මුහුණ පා ඇත .



විචාරක දියණිය  රාත්‍රී  22.00   පැයට 

21 July 2018

සතුට දුක කඳුල



අදින් වසර තිහකට පමණ පෙර දිනයක මා අක්කා  කෙනෙකු කළේ මගේ නැගණියයි . වර්තමානයේ මෙන් පෙර සූදානම් සහිතව මෙලොව එළිය දකින්නේ දුවෙක්ද ? පුතෙක්ද ? යන්න දැන ගැනීමට අවස්ථාව එකළ නොවීය.පැරණී සමාජයේ සරම හා කම්බාය යන සංඛේත මෙයට ලබා දී තිබුණි. මගේ නැගණිය ඉපදුන දා ඇයව බැලීමට මා තාත්තා  ද නැන්දා ද සමඟ රෝහලට ගිය අයුරු තවම මතකය. යන අතර මගදී තාත්තා මගෙන් ප්‍රශ්නයක් ඇසුවේය.


තාත්තා : ඔයා කැමති නංගියෙකුට ද  මල්ලියෙකුට ද ?

මා විසින් ගත් කටටම කීවේ මා නංගියෙකුට කැමතියි  කියාය


අප රෝහලට යන විට අම්මා රෝස පාට රෙද්දකට නංගී තුරුළු කරගෙන සිටියාය. මගේ පැතුම ඉටුවී තිබුණිඉන්පසු අපි ඇයව කුලී රථයතින් තාත්තාගේ මහගෙදරට රැගෙන ආවෙමු. ඇගේ මුහුණ පාට අද මෙන් මට මතකය.  නිවෙසට රැගෙන ආ විගසම මගේ පියා සිදුකළේ ඇගේ ඡායාරුප කිහිපයක් ගැනීමය.  ඒ ඔහුගේ පළමු විනෝදාංශය එය නිසාය. මගේ සහ නැගණියගේ කුඩාකළ ඇති ඡායාරූප ගොන්න මේ ලංකාවේ කිසිම දරුවෙකුට නොමැති බව මම දනිමි.  සිහිවටන එකතු කරන්නට ඔහු මෙන් දක්ෂයෙකු මම නොදනිමි. මම ඇයව කුඩාකළ කකුලේ දමා නිදි කෙරෙව්වෙමි.  ඇයව බලා ගතිමි. ඇය සමග සෙල්ලම් කළෙමි.  ඇයව පාසැල් රැගෙන ගියෙමි .


වසර තිස්පහකට පසුව අද ඇය අම්මා කෙනෙක් වී මා ලොකු අම්මා කෙනෙක් බවට පත්වී ඇත. පසුගිය දිනෙක ඇය සිඟිති දියණියකගේ මවක් වූවාය. ඇයව බැලීමට රෝහලට යනවිට පෙර සිදුවීම මගේ මනසට නැගිණි.  සිඟිති  දියණියගේ රුව මගේ නැගණිය කුඩාකළ ගත් ඒ ඡායාරුව මට සිහිගැන්වීය.  අම්මා ද එය මා සමග කීවාය.  පසෙකින් සතුට දැනෙද්දී  මගේ නෙතඟ කඳුලින් තෙත්  වූයේ මිණිපිරියගේ සිනහව දකින්නට  ඇගේ සීයා මෙලොව නැති නිසාය


සතුට දුක කඳුල ජීවිතයේ ළඟම අපි සමඟ හැමදාම රැඳෙනු ඇත.


විචාරක දියණිය  ප. ව. 17.00 පැයට

22 April 2018

වසරක් නික්මීම



වසරකට පෙරාතුව  මියගිය  මගේ පියාණන්ගේ  වර්ෂ පූර්ණ  දානමය පිංකම අප්‍රේල් 30  වනදා හා මැයි 1 වෙනිදා අප නිවසේ  පැවැත්වේ . අප්‍රේල් 30 වන දින වරු පිරිතක් පවත්වන අතර ඔහු වෙනුවෙන් සිදුකරන ලද ධර්ම දේශනය 30 වනදා පෙ. ව. 8.00 බෞද්ධයා රූපවාහිනී  නාලිකාවේ විකාශය වේ . නැවත විකාශය එදින රාත්‍රී 10.00 ට විකාශනය වේ. පසුදින දොළොස් නමක් විෂයෙහි සංඝගත දක්ෂිණාවකි.  මෙපින් බලෙන් සසර වසනාතුරු මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා !

පිං කැමති ඔබ සියලු දෙනාහට  බැතිසිතින්  අරාධනා  කරමි .  වැඩි විස්තර සඳහා ගස්ලබ්බා මහතා අමතන්න. 


විචාරක දියණිය  ප. ව. 21. 00 පැයට 

14 April 2018

අවුරුදු කාලේ මතකයි බාලේ


අපේ  ගෙදර අවුරුදු කුමාරයා පසුගිය අවුරුද්දේ  අපිව සදහටම හැරදාලා  ගිය නිසා මෙදා පාර අපිට නම් අවුරුදු නෑ.  එහෙත් මීට අවුරුදු අවුරුදු 20 කට  විතර කට එහා අතීතයේ  අවුරුදු  සැමරූ හැටි තාම මතකයි . ඒවායේ සුන්දර තැන් මෙන්ම අසුන්දර  තැන්  නැතිවාම නෙවෙයි. 


එහෙම අතීත මතක ටිකක් ගෙන එන්නයි මේ සූදානම


බයිසිකල් රේස් සහ ගල් ප්‍රහාර


මේ සිද්දිය වෙනකොට මට වයස අවුරුදු 5ක් 6ක් විතර ඇති . අද අවුරුදු උත්සවවල දක්නට නොලැබුනාට ඉස්සර අවුරුදු උත්සවවල  අනිවාර්ය අංගයක් තමයි බයිසිල් රේස් කියන්නේ . ඉතින් ඒ කාලේ බයිසිකල් ධාවකයන්ට  වතුර ගැසීම තමයි අපට තියන ලොකුම විනෝදෙ. පාර අයිනේ ගෙවල්වල හිටපු  මට සහ වටේ සගයන්ට මේවා තමයි තියන වැඩ. හුඟක් අවුරුදු උත්සවවලට  මගේ පියාට නිවාඩු තිබුණේ නැහැ . ඉතින් ඒ දිනවල ඔහු ආවේ අවුරුද්දට පසුව හෝ කලින් තමයි. මේ සිදුවීම වෙනකොටත් එහෙම කාලයක් තමයි ගතවුනේ.  මොකද ඔහු නිවසේ ඉන්නකොට වැඩිය නිදහස ලැබෙන්නේ නැහැ. සිද්ධිය මෙහෙමයි අපේ කණ්ඩායම  උදේ සෙල්ලම් කරමින් ඉන්නකොට යකඩ කටින් කෑ ගහගෙන ගියා  මහා බයිසිකල් ධාවන තරඟය දැන් ආරම්භ වුණා මාර්ගයේ  ඉඩ ලබාදෙන්න කියාගෙන .

සෙල්ලම පැත්තක දාපු අපි දුවගන ගියා  පාර අයිනට.  ඒ කාලේ ඉතින් අද වගේ නෙවේනේ.......... මොකද වාහන ඉගිලුනේ නෑනේ. ඉතින් ඒ හින්දා බය නැහැ. අද පාර අයිනට ගියොත් බෙල්ල නැතිව තමයි එන්න වෙන්නේ.  කොහොම හරි , අපේ අසල්වැසි  අනුරුද්ද අයියගේ  ගෙදර පාර අයිනේ තිබුණා වගේම  හොද ඉඩකඩක් තිබුණා . ඒ වගේම එයාලගේ ගරාජ් එකක් තිබුණා නිසා හොඳ ලොකු හෝස් එකකුත් තිබුණා . ඉතින් ඔන්න එකෙන්ම අපේ  අය සූදානම් වෙලා ඉන්නේ වතුර ගහන්න . දැන් ඉතින් අයියලා හෝස් එක අල්ලනවා අපි අප්පුඩි ගහලා කෑ ගහනවා . ඔන්න දැන් ඉති වැඩේ සුපිරියටම යනවා . ඔහොම ගිහින් බයිසිකල් රේස් එක ඉවර වුනා හැබැයි අපේ හෝස් එක තාම වැඩ.  හිටපු ගමන් අපේ  එක්කෙනෙක් කීවා, ඒ බන් පාරේ යන වාහනවලටත් වතුර අල්ලමුද කියලා .......... අදහස හොඳයි කියලා කට්ටියම  තීරණය කළා.  එතකොටම ආවේ වැලි පුරවගන යන ට්‍රැක්ටර් එකක් . ඒකේ කට මට්ටන් වෙනකන් වැලි පුරෝලා  හතර පස් දෙනෙක් වැලි උඩ වාඩිවෙලා තමා ආවේ. ඉතින් මොකද  අපේ අයත් හෝස් එක මදි නොකියන්න ඇල්ලුවා. අපි ඉතින්  ඒ ෆන්  එකෙන් එතනම ඉඳගෙන සෙල්ලම් කර කර හිටියා . අපි නොදන්නවා උනාට ඒ ට්‍රැක්ටර් එක ආපහු  මේ පාරේ  යන එකක් . ඉතින් අපිට රිටන් එක දෙන්න ඒගොල්ලෝ ලැස්ති වෙලයි ඇවිල්ල තියෙන්නේ.  ඒ අනුව ගල්වලින් ගැහීම තමයි රිටන් එක.

මේ ගැන මෙලෝ දෙයක් දන්නැති අපි පාර අයිනටම වෙලා  සෙල්ලම් කරකර හිටියා . හැබැයි  මේ සියලු  සිදුවීම දැකපු එක වැඩිහිටියෙක් හිටියා. ඒ තමයි අනුරුද්ද අයියගේ ගෙට ගෙවල් 2කට උඩින් හිටපු  රාජපක්ෂ මහත්තයා,  ඒ වගේම  අර මිනිස්සු ගල් අරගන එනවත් එයා දැකලා තිබුණා. ඒ උනත් එයා හිතුවේ නැහැ අපිට ගහන්නයි ගේන්නේ කියලා. ගල් 3 හතරක් එහෙන් මෙහෙන් ගියත් කොහොම හරි බේරීලා ඉන්නකොට එක ගලක් ඇවිල්ලා මගේ කකුලේ  වැදුණා. මම එහෙන්මම කෑ ගහගෙන අයින් වුණේ ඉවසන්න බැරි කමට. කකුලේ  ඇස් වටේ ළඟ ඉදිමුණා වගේම අඩිය තියන්නත් අමාරු වුණා.  හැමෝම බය වුනේ අම්බානක  බැනුම් අහන්න වෙන හින්දා.  මමත්  බය වුණා අපේ අම්මට. කොහොම වුණත් අපි  හැමෝටම වඩා වැඩිමල් අනුරුද්ධ අයියා  මාවත් එක්කගෙන එයාගේ අම්ම ළඟට එක්කගෙන ගියා.  මොකද එයා නර්ස් කෙනෙක් නිසා. එදා හොඳ වෙලාවට එදා ගෙදර හිටියා. එයා මගේ කකුල අයිස් වලින් තවලා බාම් වගයක් ගාලා බැන්ඩේජ් කරා . අපි සියලු දෙනා තීරණය කරා කකුල උළුක්කු වුණේ සෙල්ලම්  කරන්න ගිහින් කියලා ගෙවල්වලට කියන්න. ඉතින් දවස් දෙක තුනක් යනකම්  මම කට්ටක් කෑවා.


 කඹ ඇදීම සහ බෙල්ලට තොණ්ඩුව වැටීම

මගේ පියාගේ  භාෂාවෙන් කීවොත්  අපේ නිවෙස පිහිටි ජනපදයේ  වාර්ෂික අවුරුදු උත්සවය සැම වසරකම පවත්වනවා . ගිය වසරේ ඔවුන් එය පැවැත්වුවේ නැහැ මගේ පියා රෝගාතුර වී සිටිනිසා . ඔය අවුරුදු උත්සවේ මරාගෙන මැරෙන ගේම් එකක් තමයි කඹ ඇදීම කියන්නේ . කට්ටිය ඒක ඔලිම්පික් කියලා තමයි හිතාගෙන ඉන්නේ. කොහොම හරි එක අවුරුද්දක ඔය කඹ ඇදීමේ ටීම් එකකට මාවත් කට්ටිය දාගන්නේ ශරීරය දිහා බලලයි. ඒ තරඟය ආරම්භය කෙරුණේ මගේ පියාගේ විසිල් එකෙන් . තරඟය විනිශ්චය කරන්න තවත් කට්ටිය දාල තිබුණා මම හිටියේ අවසානේ. කඹය ඉනට දාගෙන ඇදගෙන හිටියත් අපේ ඉස්සරම හිටිය එක්කෙනා අතින් ලිහිල් වෙලා කඹය ඇදුනා එහෙත් යා නොදී හිරකරගත්තත් තව තවත් ප්‍රතිවිරුද්ධ  අය අදින්න අදින්න කඹය ලිහිල් වේවි බෙල්ලටම   ආවා . විනිශ්චය මණ්ඩලය ප්‍රතිවිරුද්ධ පාර්ශවයට දිනුම දිඉල තියෙද්දිත් අදින එක නැවැත්තුවේ නැතිනිසා  මාව හිරවුනා. මගේ පියාවත් සිද්ධිය දැක්කේ නෑ . ප්‍රේක්ෂකයෝ කෑ ගහලා තමයි වැඩේ නවත්ත ගත්තේ. තව නූලෙන්  බෙල්ලට තොණ්ඩුව වැටීමේ තරගෙන් නම් පළවෙනියා වෙන්න තිබුණා. 



අවුරුදු  ඇඳුම්


ලුත් අවුද්දත් එක්ක  ඇඳුම් ළගින්ම යන මාතෘකාවක්නේ . අද කඩසාප්පුවලින් ඇඳුම් ගත්තට ඒ දවස්වල මෙන්ම අදත් අපේ අම්මා මටයි නංගිටයි ගවුම් 2ක් මහලා දෙනවා . අපිට ඒක මහමෙරටත් වඩා ලොකුයි. හැමදාම  අවුරුදු සිරියත් එක්ක  කාන්තාවන්ගේ විලාසිතා විදියට යන්නේ රෙද්ද හැට්ටය හින්දා එක අවුරුද්දක අපි අම්මට යෝජනා කළා අප‍ට ගවුම් මහන්නැතිව රෙද්ද හැට්ට මහලා දෙන්න කියලා . ඉතින් අපේ අම්මත් රෙද්ද හැට්ටය විතරක් නෙවෙයි  ඒවට හරියන පබළු මලත් වලලුත් අරන් දුන්නා. ඒ අවුරුද්දෙත් පියා අපි සමග අවුරුදු සමරන්න ගෙදර හිටියේ නෑ. නමුහ් අපි කැමති දේ කරන්න කියලා ඔහු මගේ මවට පවසා තිබුණා. ඉති රෙද්ද හැට්ටේ ඇඳලා කාර්යාලයම පිගන් අරන් ගෙවල් වලට ගිය මටයි නංගිටයි හොඳ ප්‍රතිචාර තිබුණා.

මගේ පියා සමග අවුරුදු සමරපු එක අවුරුද්දක අවුරුදු උදාව සිදුවුනේ රාත්‍රියක . ඒ කාලේ ඔහු නුවරඑළියේ සිටි නිසා ඔහු අවුරුද්දට නුවරඑළියෙන් මල් ගෙනාවා.  ඉතින් ඒ අලුත් මල් පෝච්චිවල දාලා  හරිම නැවුම් බවක් අලංකාරයක් මෙන්ම හරිම සුවදක් නිවස පුරාම තිබුණා. විශ්‍රාම ගත්තට පස්සේ සෑම අවුරුද්දක්ම බොහොම සතුටින් ගතකළා.  මං හිතන්නේ ඉතාම සතුටින් ගතරපු  අවුරුද්දක් තමයි 2003 අලුත් අවුරුද්ද . මතකය තමයි මිනිස්සු ජීවත් කරන්නේ කියලා  මං විශ්වාස කරනවා . 


 විචාරක දියණිය  ප.ව 19. 00 පැයට 

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }