හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ
Showing posts with label කලාව සහ සාහිත්‍යය. Show all posts
Showing posts with label කලාව සහ සාහිත්‍යය. Show all posts

29 March 2016

නෙලුම් පිපීලා විල ලෙළ දෙනවා



   නෙළුම්යාය බ්ලොග් සම්මාන උළෙල අවසන් වන්නටත් කලින්, එදා ජනමාධ්‍ය අමාත්‍යංශ පරිශ්‍රයෙන් එලියට එද්දී, හිතේ ඇඳුනු රැඳුණු බොහොමයක් දේ දැන් මැකී ගොස් ය. වසර 40 කට වැඩි කාලයක්, ඇත්තටම මට මචං කෙනෙකු වී සිටි මගේ ලොකු අක්කාගේ මහත්තයා, රණවීර අයියා සමුගැනීම මට මහත් දුකකි. එදා සම්මාන උළෙලට ඇවිත් ඔක්කොම අයට විරිත්තුවේ ඒ දුකද දරාගෙනය. ඔහුගේත් මගෙත් සහෝදරකම එතරම්ම ගැඹුරුය. ඔහුට නිවන් සුව පතා ලිපිය අරඹමි. 

   නෙළුම් යායට ගොඩවෙන්නට සූදානමක් තිබුන අතරේ, හමුදා කඳවුරක තිබෙන උත්සවයකට යාමටද සූදානම් වන්නට සිදුවීම නිසා, මා සිටියේ මහත් උභතෝකෝටිකයකට මැදිවී ය. රණවීර අයියා රෝහලට ඇතුළු කලේ 20 වැනිදාය. දන්නා කියන හැමෝටම බැගෑපත් වී, රෝහලෙන් සියලු දේ කරගන්නට හැකිවිය. නමුත් රණවීර අයියා 24 වනිදා මෙලොව හැරගිය බැවින්, සියලු වැඩකටයුතු අතහැර ඔහුගේ අවමංගල්‍යය වෙනුවෙන් වෙහෙසෙන්නට සිදුවිය. 

   ඒ අතරේ කලාහිතේ කල්‍යාණට ඇමතුමක් දී, මගේ තත්වය විස්තර කලෙමි. 'කොහොමහරි පැයකට දෙකකටවත් ඔලුව දාගන්න පුළුවන් නම් හොඳයි' ඒ කියමනේ සහ ස්වරයේ,  ඉල්ලීම/උපදේශනය/නියෝගය/ යන සියල්ල ගැබ්ව තිබුණි. හ්ම්.........මේකා මාව කමාන්ඩ් කරනවා එහෙනම් ඈ. හරි බලමුකෝ පොඩ්ඩක් ඔලුව දාන්ඩ. (මළගෙදර යනවිට, අමතර කලිසමක් සහ කමිසයක් බෑගයට ඔබාගත්තෙමි) 

   මට වරුවක් අවමංගල නිවසින් ඈත්වී යන්නට වෙන බව, එකපාරටම ලොකු අක්කාට කියන්නට බැරිය. ඈ ඉන්න විදිහ දැක්කාම, හිත වාවන්නේ නැත. මුලින්ම, ඒ පවුලේ පුත්තු තුන්දෙනාට සහ උන්ගේ බිරින්දෑ වරුන්ට, මේ තත්වය පහදා දී, 

   (අනේ දෙයියනේ මේ බ්ලොග් ලියනවා කියන එක, මිනිස්සුන්ට තේරුම් කරලා දෙන පහසු ක්‍රමයක්, කවුරුහරි කියා දීපල්ලා. මටනම් දැන් ඒ වැඩේ එපාවෙලා)  

   බෙල්ල ගහලා ගියත් වෙලාවට වැඩකිරීමේ පුරුද්ද හමුදා පුහුණුවෙන්ම ලැබී තිබීමේ වාසනාවට පින්සිද්දවෙන්න, දවල්ට හරියට නොකා, කොහොමහරි, හවස 2.16 ට, ජනමාධ්‍ය අමාත්‍යාංශ ශාලාවේ, ප්‍රධාන දොරටුව වෙත ආවෙමි. කිසිම හැලහොල්මනක් නැත, පිළිගැනීමේ කවුන්ටරයේ මොකෙක්වත් නැත. හුටා.........මෙතන නෙවෙයිද තැන? කෝකටත් කියා වහාම කල්‍යාණට ඇමතුවෙමි. 'ඔය වට වන්දනාවෙන් ඇවිත්, බෝධියත් වැඳගෙන එන්න' කියා උපදෙස් ලැබුනෙමි. 

   හප්පොච්චියෙ බෝධිය ළඟ මාතලනා 'රෝබ්බොක්' එකක් දාලා ය. එන එන එකා චැක් කොරනවාය. මමත් ඉතින් මාතලනාට හග්  එකක් දී, මාතලනා කටේ ගහගෙන හිටිය කාල පන්දම නිවෙනතුරු සිට, ඇතුළට සැපත්වුනේමිය. ඔන්න ඉතිං නෙළුම් මල් පනින්නේ ඔය වෙලාවටය. මම හිතුවේ  මේ දැන් වැඩේ පටන් ගනියි කියලාය. මක්කැයි කිව්වොත්, කාලය මට වල්ලා පට්ට වලට වඩා වටිනවාය. ආපහු මළගෙදරට කල්තියා නොගියොත්, අක්කා, මාවත් මස්සිනා සමග ආදාහනාගාරයට බාරදෙන්නට ඉඩ තිබෙනවාය. හ්ම්......කමක් නෑ කමක් නෑ, මේක හමුදා පෙළපාලියක් නෙවෙයිනේ. දැන් ඉතිං අක්කා මාව කෑවත් පුළුවන් තරම් වෙලා මෙතන ඉඳලා යනවාය. 

   'නෙලාගන්න බෑ මගේ අත දිග නෑ අනේ ඒත් තව නෙළුම් මල් නෙළුම් යායේ පිපියන්' කියන හැඟීමෙන්, ශාලාවට ඇතුළු වුනෙමි. පොහ්........වැඩේ මල් හතයි. සෑහෙන සෙනගක් එකතුවී සිටිති. දන්නා මූණු වගේම නොදන්නා මූණුත් ගොඩකි. වටේ යමින් පුළු පුළුවන් හ්මදෙනාටම අත දෙමින් මම අහවලා කියමින් විරිත්තුවෙමි. සුදීක සහ ඔමායා වාඩිවී සිටි පේලියේ ඉඩක් තිබුණු නිසා එතනට පාත්වුනෙමි. නමුත් අපි මොහොතකට නැගිට්ට පසු වෙනත් පිරිසක් එහි ඈඳිගත් බැවින, රසිකටත්, ඔහුගේ මවටත්, සහෝදරයාටත්, කරදරයක් වීගෙන, ආසන පේලිය අතරින්, වෙනත් තැනකට ගියෙමි. 

   හ්ම්..දැන් බලමුකෝ වැඩ කිඩ. අද මගේ නම මෙතන කියවෙනවාට සැකයක් නැත. මක්නිසාද යත්, මා පළකළ පොටෝ ටිකක් නිසා, මාත් මහලොකු පොටෝකාරයෙක් කියා නම් කිරීමක් පමණක් සිදුවී ඇත. අර කැමරාවා අද මෙතනට ඇවිත් හිටියා නම් ඌ දෙකොනින් හිනාවෙනු ඇත. කමක් නෑ, අපේ ප්‍රම්ප්‍රාවේ එකෙක්ගේ නම, මේ වගේ විසාල වේදිකාවක කියවෙනකොට කාටද ආඩම්බර? අනේ මං අර යුද්ද කතා ලියන එව්වාට ඔය මොකක්හරි දෙයක් ලැබෙයි කියලා හිත හදාගන්න තිබුණා. දැන් ඉතිං සම්මාන ගන්න ඔක්කොටම අප්පුඩි ගහලා, කලින්ම පැනගැනීමට දොරටු මතක තියාගැනීම වැදගත් කියා හිතාගෙන වැඩේ දිහා බලාගෙන හිටියාය. කොහෙද, සුදීකයේ පොං කැමරාවේ පොකස් ද මොකක්ද එක නැතිවෙලාය. ආසන පේලිය යට බැලුවත් වැටිලා තිබුනේ නැත. ඒක හොයන්න සුදීක අටමා ලඟට ගියේය. බලනකොට අටමා කැමරා බාස් වැඩෙත් දන්නවාය. 

   ඒ මදිවට ඔමායා ජරබරස් ගා මහා පතන්දර කැමරාවක් ඇගේ මල්ලෙන් එලියට ගත්තාය. බුදු අම්මෝ........ ඒකෙන් දමලා ගැහුවොත්, ජනමාධ්‍ය අමාත්‍යංශ බිල්ඩිමත් කුඩු වෙනවාය. ඔන්න ඉතින් ඒකෙ තියන සුකුරුත්තන් වැඩ කෑලි බලන අතරේ, තව දිග මදි කියා, තවත් ලෙන්ස් කෑල්ලක් ඉස්සරහට හයි කොලාය. දැන්නං කැමරාව හැරෙව්වොත්, මීටර් දෙකක් එහා ඉන්න එකෙක්ගේ හොම්බේ වුනත්, අර ලෙන්ස් එක වදින්න ඇහැකිය. ඔන්න ඔමා දිගට හරහට පොටෝ කෙලින්න පටන් ගත්තාය. ඒ මදිවට ඒ ඇත්තී සම්මාන ගන්න අතරේ, ඒ කැමරා පතයෙන්, ඇගේ පින්තූර ගත්තේ නැත්තේ ඇයි කියා, මගේ හොම්බට අර ලෙන්ස් එකෙන් ඇන්නාය. අපි නොදන්නා කැමරා අතපත ගාලා, මොනවයින් මොනවා වෙයිද? 

   බෑ බෑ මේ විස්තරේ කියන්න ගියොත්, ලියන්න හිතාගෙන හිටිය දේ අමතක වෙනවාය. ඒ නිසා වැඩේට බහිමි. 

සම්මාන උළෙලේ සංවිධානය:- අති විශිෂ්ඨම නොවේ. නමුත් ඉවසීමත්, කැපවීමත්, උපරිමයෙන් යොදා, කර ඇති බව පෙනුනි. අජිත් මේ වැඩේට දරා තිබුණු වෙහෙස, ඔහුගේ මුහුණෙන් ඉතා හොඳින් පිළිබිඹු වුනා. සම්මාන උළෙලට පසු, කල්‍යාණට කොන්දේ අමාරුවක් එහෙම හැදෙන්නට නැතැයි කියා හිතමි. ඒ තරමට බර ඇද්ද හැටි හොඳින්ම දැක්කා. සම්මාන උළෙල වෙනුවෙන් සිදුවූ සම්පූර්ණ මහන්සිය ගැන වචනයක්වත් සඳහන් නොකර, නෙළුම් යාය කණ්ඩායමේ සියලුදෙනා සාමූහික වගකීමෙන් ක්‍රියාකර ඇති ආකාරය බෙහෙවින් ප්‍රශංසනීයයි. 

ඉදිරිපත් කිරීම:- මටනම් ඉවාන් ගේ හඬ සෞමය වැඩි බවක් පෙනුනි. ඔහු තුළ, මීට වඩා ඉතා ඉහලින් යමක් කිරීමේ හැකියාව ඇති බව පෙනුනි. 

   වේදිකාවේ බඩුබාහිරාදිය මීට වඩා සැලසුම් සහගතව ස්ථානගත කළා නම් හොඳයි. පැරා සහ නාලක වේදිකාවට ගොඩවෙන්නට ගියේ, බාධක තරණය කරමින්.

  එතන හිටිය ඔක්කොම වගේ බ්ලොගාලා බ්ලොගීලා තමා. ඔවුන් සෑහෙන බ්ලොග් අඩවි ගණනක් ගැන දන්නා බවත් ඇත්තයි. නමුත්, සම්මානයට නිර්දේශිත අඩවිවල, අදාළ ලිපිය සහිත පිටුව, පසුබිම් තිරයට යොමුකලා නම් හොඳයි. මක්නිසාද යත්, සමහර අය සම්මාන ගන්නා අතරේ, ඒ කවුද? මොකක්ද එයා ලියන අඩවිය? කියන කසුකුසුව ප්‍රේක්ෂකාගාරයේ තිබුණා. 

සංවාදශීලී බව:- පැරා සහ නාලක සමග යෙදුනු සංවාදයට හවුල් වෙන්නට, සභාවටත් අවස්ථාවක් ලැබුණා නම්, වඩාත් හොඳයි. (ඔව්, මමත් ඇතුළුව කියන එක තමයි එයින් අදහස් කලේ) එමෙන්ම, ප්‍රථම ස්ථාන දිනාගත් අයටවත්, තත්පර 30 කින් විතර, ස්තුතියක් කිරීමට අවස්ථාවක් දුන්නානම් හොඳයි. 

   තෑගි පිරිනමන්නට, ප්‍රවීණ බ්ලොග් කරුවන් යොදාගැනීම, හොඳයි. 

   ගීත ගායනයේදී, ප්‍රමාණවත් තරම් පෙර පුහුණුවක් කර නැතුවාදෝ කියා හිතුනා. ගීතයක් ආරම්භ කරන්නට ගත් කාලය වැඩියි. ශබ්ද මිශ්‍රකයක් සහ ඒ උපකරණ පාලකයකු සිටියේදැයි නොදැක්කෙමි. අර වීදුරුවෙන් එහා පැත්තේ හිටියේ ඒ අයද? සමහර අවස්ථා වලදී කටහඬ ගිලීයාම් සිදුවිය. කෙසේ වෙතත්, ඒ ගීත, දෙනෙත් පියාගෙන රසවින්දෙමි. 

   පළමුවෙන් ඉදිරිපත් කල කෙටි නාට්‍යයේ වේගය ඉතා වැඩියි. එතරම් කලබලෙන් එය කලයුතු නැතැයි සිතමි. ටිකක් විතර අධි රංග ලක්ෂණ දැක්කෙමි. උච්ඡාරණය එතරම්ම ඉහල ස්වරයකට ගතයුතු නොවේ. හොඳ ප්‍රබුද්ධ, කුඩා ප්‍රේක්ෂක පිරිසක් පමණි සිටියේ. සමහර අවස්ථා වල දී, රඟපෑම ඩ්‍රිල් එකක් වගේ පෙනුනි. පෙර පුහුණුව, කෙටි කාලයක් තුළ, වැඩි වාර ගණනක් කලාමයි, ඔය ඩ්‍රිල් තත්වය ඇතිවන්නේ. නළුවන් දෙදෙනා, බොහෝවිට, බිම බලාගෙන දෙබස් කිව්වෝය. සතර අභිනය සමබර නොවීය. හොඳ කථා ආකෘතියක් තිබුනත්, සමහර අවස්ථා, සාමාන්‍යපෙළ පන්තියේ දරුවන්, වාරාවසානයේ ඉදිරිපත් කරන රැඟුමක ස්වභාවය ඉසිලීය. 

   දෙවැනි නාට්‍යය බලන්නට නොසිටියෙමි. 

  ප්‍රධාන අමුත්තාව තනියම වාඩි කරවීම සුදුසු මදි. එතනට අජිත් ධර්ම සහ පැරා, නාලක, මාතලන්, රසික, වර්ණකුලසුරිය, වැනි ප්‍රවීණ බ්ලොග් කරුවන්ද, දෙපස අසුන්වල තැබීම ඉතා යහපත්. 

ස්තුතිය:- බ්ලොග් ලියන්නට පටන්ගෙන වසර හතරක් තුළ, මෙවැනි සම්මාන දෙකකට මා පාත්‍රවේයැයි සිහිනෙකිනුදු ප්‍රාර්ථනය නොකළෙමි. ඕනෑම යහපත් කාර්යයක යෙදෙන්නෙකු වෙත, යම් උත්තේජනයක්, ඇගයීමක් ලබාදීමෙන්, ඔහු තුළ චිත්ත ධෛර්යය වර්ධනය කරවා, ඔහුගේ නිර්මාණ කාර්යය, නොසිඳී නොබිඳී ඉදිරියට ගෙනයන්නටත්,  වඩාත් ඉහල මට්ටමේ නිර්මාණ බිහිකිරීමෙහි ලා, ඔවුන් උනන්දු කරවන්නටත්, මෙවැනි සම්මාන උළෙල, මොනවට ආධාර වන්නේද යන්න, නොකිව මනා ය. ඒ අතින්, නෙළුම්යාය බ්ලොග් සම්මාන උළෙල, සිංහල බ්ලොග් ලෝකයේ අනාගතය ගැන බලාපොරොත්තු, ඉහලින්ම දල්වා ඇති බව ප්‍රශංසාභිමුඛව පවසමි. 

  අම්මෝ..........බඩගින්න. දවල්ට හරියට නොකා ඒමේ ප්‍රතිඵලය. ඒ මදිවට ඔමායත්, සුදීකත් බඩගින්න ගැන මැසිවිලි නැගුවා. පස්සේ මතක්වුනා, මේ වගේ ශාලා ඇතුලට, බඩගිනි නිවන දේ ගෙනත් දෙන්නේ නැති බව. ඒ අස්සේ ඔමාට එකසිය ගානට කෝල් එනවා අම්මගෙන්. 'බයවෙන්න එපා අම්මේ, මම ඉන්නේ නාකි පප්පෙක් ළඟ. උන්දෑ මාව බලාගන්නේ දරුවෙක් වගේ. අම්මා කලබල නොවී ඉන්න' කියලා, කීප වරක් කියන්න සිද්දවුණා.  ප්‍රධාන මුත්තාගේ දේශනයත් අවසන්. දැන් ඉතින් යන්න වෙලාව හරි. ඕමා කිව්වා, 'පනිමු සීයේ පනිමු' කියලා. ඒ අස්සේ 'ආ.........පොඩ්ඩක් ඉන්න මම සීයට බඩුවක් ගෙනාවා, හැබැයි මෙව්වා හරිම සැරයි. සීයලා වගේ නාකින්ට නෙවේ, මෙව්වා තියෙන්නේ, අර අටමා වගේ කොල්ලන්ට හරිය, ඔන්න මෙව්වා ඇන්න, අර අහිංසක ආච්චිට එහෙම කරදර කොරනවා නෙවෙයි හරිය' කියලා, එළියේ තිබුන ලොරියකින් ඇදලා දුන්නා එකක් බුදු අම්මෝ............ඒකෙ විසාල. කොහොම ගෙනාවද මන්දා. මම වහාම එතන තිබුණු බිත්තිය ළඟ ඒ තෑග්ගයි ඔමාවයි තියලා පින්තූරයක් ගත්තා. මෙන්න බඩු.


   මේක දාලා තිබුනේ, ෆ්‍රිජ් එකක් දාන්න තරම් විසාල කවරෙක. ඒකේ හීබෘ ද, තාබෘ ද, ආබෘ ද, මොකක්ද බාසාවෙන් ගහලා තිබුනා, මෙව්වා ෂොට් එකක් දාපුවම, දඩ සයිස් වලහෙක් වුනත්, පූස් පැටියෙක් වගේ, බයිසිකල් බාස්කට් එකේ දාගෙන යන්න පුළුවන් කියලා. 



   යන්තම් අර එතන අල්ලපු වැටේ තියන යුදහමුදා පොලීසියේ, කෝප්‍රල් උන්නැහේලා දෙන්නෙකුට කියලා, බඩී වෑන් එකක් හොයාගෙන මේක පටවාගත්තා.

   ඔහෙලා හුඟ දෙනෙක් දන්නේ නැති තවත් රහසක් මම අල්ලාගත්තා. ඇත්තටම ඔමා වැඩ කරන්නේ ඊශ්‍රායල් හමුදාවේ. එදා සම්මාන උළෙලට දාගෙන ඇවිත් හිටියේ, ඊශ්‍රායල් කාලතුවක්කු හමුදාවේ බූට්ස් දෙකක්. කොහොමද වැඩ. ඒකනේ එයා කාටවත් බය නැත්තේ. කාටවත් නොදැනෙන්න පින්තූර ගොඩක් ගත්තා. ඔය ඔමාට අරවා මෙව්වා කියන්ඩ බලාගෙන ඉන්න අය පෙරේසම් වෙනවා හොඳයි. 

  දෙයියන්නේ රටේ අඩවියට අධිපති අපේ ගුණසිංහ මහත්තයාගේ පුත්‍ර රත්නයත් මේ උළෙලේදී හඳුනාගන්න ලැබීම සතුටක්. නමුත් කතාකරන්න අවශ්‍යම බ්ලොග් සහෘදයන් බොහොමයකට එක වචනයක්වත් කතාකරන්න නොලැබීම ලොකු දුකක්. 

  ඊළඟ නෙළුම්යායේ දී හමුවෙමු. නෙළුම් යාය දිනේවා!

පසුව එකතු කිරීම:- හුටා...................අර බට කෑල්ල, බට කෑල්ල.



 අම්මපා ඒ බට කෑල්ල පෙදානය කිරීම නිමිත්තෙං අපේ කමියාට සහ පූසාට බොහොම ඉස්කෝතුය. මං හිතන්නේ, බට කෑල්ල අර බිල්ඩින් උයන්නාගේ වැඩ පොළකින් ගන්න ඇතිය කියාය. අන්තිමට බට කෑල්ල බොහොම පොරෝජං උනාය. අපේ කුස්සියේ වතුර බටයක ලීක් එකක් හදාගන්න, ඔය සයිස් බට කෑල්ලක් හොයා හොයා සිටියෙමුය. ඉතිං ඒක හොඳට රත් කරලා, ගම් ගාලා ගහගත්තෙමුය. (බට කෑල්ල ඕනේ කරලා තිබ්බ තැනට ගැහුවේ යකෝ)

2016 මාර්තු මස 28 දින 2358 පැය

01 February 2016

මාධ්‍යවේදියා ! මේ කවුද මොනවද කරන්නේ?


Reporter
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, පාර්ලිමේන්තුවේදී ජනමාධ්‍ය සහ මාධ්‍යවේදීන් පිළිබඳව අදහස් දැක්වීමෙන් පසු, ඒ පිළිබඳව විවිධ අදහස්, විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය වලත්, සමාජ ජාල වෙබ් අඩවි වලත්, පළවන්නට පටන්ගෙන තිබෙනවා. මාධ්‍ය පිළිබඳව, දේශපාලනඥයන් සිය අප්‍රසාදය පලකිරීම, අපේ රටට පමණක් සීමාවූ තත්වයක් හෝ අද ඊයේ සිදුවන දෙයක් හෝ නොවෙයි. ලෝකය පුරාම, මේ තත්වය අඩු වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. මාධ්‍ය සහ දේශපාලනඥයන් මෙසේ ගැටෙන්නේ ඇයි? මාධ්‍ය සමග ගැටෙන්නේ දේශපාලනඥයන් පමණද? මෙම ලිපියෙන් මා අදහස් කරන්නේ, මේ සම්බන්ධව, පසුගිය වසර 40 ක පමණ කාලයක් තුළ, මා ලබා ඇති අත්දැකීම් ඇසුරෙන්, ඔබ සමග සංවාදයක යෙදෙන්නයි.

   මුලින්ම මගේ සිත ඇදීයන්නේ, අප පාසල් යන කාලයේ, මේ මාධ්‍යවේදීන් පිලිබඳ මතකය වෙතයි. අප පාසල් දරුවන් ලෙස ගතකළ කාලයේ, මාධ්‍ය ලෙස අප දැනසිටියේ, පුවත්පත් සහ ගුවන්විදුලිය පමණයි. නමුත්, ඒවා හැඳින්වීමට, මාධ්‍ය යන වචනය යෙදුනේ නැහැ. අප දන්නා විදිහට, පත්තරවල සිටියේ, පත්තර වාර්තාකාරයෝ සහ පත්තර කර්තෘවරු. ගුවන්විදුලියේ සිටියේ, නිවේදකවරු. (වැඩසටහන් නිෂ්පාදකයන්, තාක්ෂණ ශිල්පීන් ගැන අපි කිසිවක් දැනසිටියේ නැහැ) පුවත්පත් වාර්තාකරුවන් දැක්කෙත් බොහොම කලාතුරකින්. ඔවුන්ට වාර්තා කරන්න දේවල් අපේ ගම්වල තිබුනේ නැහැ. මැතිවරණය හෙවත් අපි දන්නා චන්ද කාලෙට, දේශපාලන රැස්වීම් තියද්දී, ඒවා වාර්තාකරමින් පින්තූර ගන්න, පොත්වවල සටහන් ලියාගන්න කීපදෙනෙක් දැක, ඒ ගැන වැඩිහිටියන්ගෙන් අහලා බැලුවම කිව්වේ, ඒ පත්තර වාර්තාකාරයෝ කියලයි. ජනමාධ්‍ය Mass Media කියන වචනය පවා, පෘථුල ලෙස අපේ සමාජයේ භාවිතයට ආවේ, විශ්ව විද්‍යාල අධ්‍යාපනය ඔස්සේ බවයි මගේ හැඟීම.

Prof.Sunanda Mahendra   මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර වැනි විද්වතුන් විසින්, පුවත්පත් වලට ලියන ලද ලිපි, ගුවන්විදුලියේ ඉදිරිපත් කළ සාකච්ඡා ආදියෙන් තමයි, අපි මේ ජනමාධ්‍ය කියන්නේ මොකක්ද කියා, අවබෝධය පුළුල් කරගත්තේ. ජනමාධ්‍ය යනු, මිනිස් ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක් බවත්, ඒ ඔස්සේ, ඉතා පුළුල් සමාජ කාර්ය භාරයක් සිදුවන බවත් දැනගත්තේ, මෙවැනි විද්වතුන් විසින්, සමාජය දැනුම්වත් කළ, විවිධ වැඩසටහන් මගිනුයි. කෙසේ වෙතත්, අප සාමාන්‍ය පෙළ පාසල් දරුවන් කාලයේ, ජනමාධ්‍ය පිලිබඳ විශ්ව විද්‍යාල පාඨමාලා නොතිබුන අතර, උසස් පෙළ සිසුන් කාලයේ, ඒ පිළිබඳ යම් යම් ඉහළ අධ්‍යයන අවස්ථා තිබුණා. කෙසේ වෙතත්, 1980 දශකයේ අග භාගය වනතුරු, ජනමාධ්‍ය පිලිබඳ උපාධිධරයන් සැළකියයුතු ප්‍රමාණයක්, අපේ රටේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය තුළ නොසිටි බවයි, මට හිතෙන්නේ.

   ජනමාධ්‍ය යන්න, වඩාත් අර්ථවත් වන්නට හේතුවූ ප්‍රධාන කාරනාව, අන් කවරක්වත් නොව, තොරතුරු තාක්‍ෂණය දියුණුවීම බව, අවිවාදිතයි.
එහි ප්‍රතිඵලයක් වශයෙන්;
  • පරිගණකගත පිටු සැකසුම් සහ පරිගණක මගින් පාලනය වන වඩාත් දියුණු, වඩාත් උසස් තත්වයේ මුද්‍රණ ක්‍රම නිසා, පුවත්පත්/සඟරා/වාර ප්‍රකාශන/ ආදියට නව පණක් ලැබුණි.

  • FM තාක්‍ෂණය ලැබීම නිසා, තාක්ෂණික අතින් වඩාත් උසස් තත්වයේ විකාශන හැකියාවක් ලැබීම හේතුවෙන්, ගුවන්විදුලියට නව පණක් ලැබුණි.

  • අප මෙතෙක් දැක නොතිබුණු, එහෙත් කියවා/අසා තිබුණු රූපවාහිණී මාධ්‍යය ලැබීමෙන්, මහජනතාව ඒ මාධ්‍යය සමග දැඩි බැඳීමක් ඇතිකරගත් අතර, ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක් වූ බැවින්, මහජනතාවගේ වැඩි විශ්වසනීයත්වයට පත්වීමට, රූපවාහිනියට හැකිවිය.
   1977 න් පසු, විවෘත ආර්ථිකය මෙරටට පැමිණීමත් සමග, ජනමාධ්‍ය, වෙළඳ භාණ්ඩයක් වශයෙන්, සමාජයේ ඉල්ලුමට පාත්‍රවීමත් සමග, පුවත් සහ තොරතුරු විකිණීමේ කර්මාන්තය, මහා පරිමාණයෙන් වැඩෙන්නට පටන් ගත් බව නොරහසක්. මේ කාලයේදී, වල් පත්තර, මල් පත්තර, ආදී මෙකී නොකී දෑ අහන්නට ලැබුණු අතර, පෞද්ගලික ගුවන්විදුලි/රූපවාහිණී නාලිකා ආරම්භවීමත් සමග, මේ මහා කර්මාන්තය, ජනසමාජය ගිලගන්නා දැවැන්ත බලවේගයක් බවට පත්විය. 'මාධ්‍යවේදියා' යන වචනය, සමාජය තුළ පැළපදියම් වූයේ, මෙහි ප්‍රතිඵලයක් වශයෙනි.

   වර්තමානයේදී මාධ්‍ය අපගේ ජීවිතයට බද්ධවී තිබෙන්නේ, එදිනෙදා ගන්නා ආහාරයක් තරම් සමීපවය. අද, පාසලක පහළ පන්තිවල පවා, 'මාධ්‍ය කව' දැකිය හැකිය. මාධ්‍යවේදියාගේ කාර්යභාරය කුමක්ද යන්න කාලීනව සාකච්ඡා කෙරෙන, (තළුමරමින්, අර හක්කෙන් මේ හක්කට මාරු කරමින් සාරය උරාබොන) මාතෘකාවක් බවට පත්ව තිබෙන්නේ, වර්තමාන මාධ්‍ය කලාව, එදිනෙදා ජනජීවිතය කෙරෙහි, දැඩි බලපෑමක් එල්ල කරන බැවිනි. වර්තමාන මාධ්‍ය මගින්, සමාජ කතිකාවත් සඳහා යොමු නොකරන මාතෘකාවක් නොමැති තරම්ය.

   එදිනෙදා සිදුවීම් වලට අමතරව, ඉතා පෘථුල වශයෙන් දේශපාලන සිදුවීම්, ඊට අමතරව ජ්‍යොතිෂය, ඉවුම් පිහුම්, ගෘහ අලංකරණය, විලාසිතා, විවාහය, ලිංගිකත්වය, වෛද්‍යෝපදේශ, වාස්තු විද්‍යාව, ආදී ජනජීවිතයේ සෑම අංගයක්ම ආවරණය වන පරිදි, මාධ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක වෙයි. ව්‍යාපාරික ප්‍රජාව විසින්, තම ප්‍රචාරණ කටයුතු සඳහා කෙරෙන මාධ්‍ය භාවිතය, පාඨකයාට/ප්‍රේක්ෂකයාට හිරිහැරයක් වන තරම් ඉහල මට්ටමකට පැමිණ තිබේ.

   මාධ්‍ය තරගය අපේ රටට පැමිණියේද, පෞද්ගලික ගුවන්විදුලි/රූපවාහිණී නාලිකා බිහිවීමෙන් පසුව බව පැහැදිළි වෙයි. සියල්ලට මුල් වන්නේ මෙම මාධ්‍ය තරගය බවට, හොඳම නිදසුනක් වන්නේ, පසුගිය කාලයේදී, විවිධ මාධ්‍ය ආයතන අතර, සීතල යුද්ධ ස්වභාවයෙන් මෙන්ම, එළිපිටම සිදුවූ ගැටුම්/අපහාස/උපහාස/මඩ ගැසීම්/ හේතුවෙනි.

   අපේ රටේ දේශපාලනය සහ මාධ්‍ය අතර සම්බන්ධයට සෑහෙන ඉතිහාසයක් තිබේ. මාධ්‍ය මර්දනයටද එවැනිම ඉතිහාසයක් තිබේ. අගමැතිණි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ කාලයේදී එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (දවස නිවස) මුද්‍රා තැබීම, මාධ්‍ය මර්දනයේ අතීත සිදුවීමකි. 1977 න් පසු, මාධ්‍ය මර්දනය දැඩිව ක්‍රියාත්මක වූ බව අපි දනිමු. විධායක ජනාධිපති තනතුර ඇතිවීමෙන් පසු පත්වූ ජනාධිපති වරුන් අතරින්, මාධ්‍ය මර්දනයට හවුල් නොවූයේ, ඩී.බී.විජේතුංග ජනාධිපතිතුමා පමණකැයි සිතමි. එමෙන්ම වත්මන් ජනාධිපතිවරයා මාධ්‍ය මර්දනය කරන බවක් පෙනෙන්නට නැත.

   මෙතැන්සිට මා මාධ්‍යවේදීන් පිළිබඳව මට ඇති පෞද්ගලික අත්දැකීම් කීපයක් සඳහන් කරන අතර, එයින් මා අදහස් කරන්නේ, සෑම මාධ්‍යවේදියාම මේ හා සමානයයි කීම නොවේ. මාධ්‍ය පිළිබඳව ඇති විශ්වාසය සහ සදාචාරාත්මක බව කෙළෙසන්නන් නිසා, සමස්ත මාධ්‍ය කලාවම ගර්හාවට ලක්වෙයි. පසුගිය යුද සමයේදී, උතුරු නැගෙනහිර සංග්‍රාම භූමියේ තොරතුරු වාර්තා කිරීමට පැමිණි, විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යවේදීන් ගෙන් අති මහත් බහුතරයක්, සංග්‍රාමික කටයුතු වාර්තා කිරීම war correspondence පිළිබඳව, මෙලෝ හසරක් නොදන්නවුන් බව පැහැදිලිවම පෙනුනි. රාජ්‍ය මාධ්‍ය ඇතුළු, කිසිදු මාධ්‍ය ආයතනයක්, තම මාධ්‍යවේදීන්ට, මේ සඳහා දේශීය සහ විශේෂයෙන් විදෙශීය වශයෙන් කිසිදු පුහුණුවක් ලබාදුන් බවක් මගේ දැනීමේ හැටියට නැත. මේ හේතුවෙන්, විදේශීය ප්‍රවෘත්ති ආයතන, අපේ රටේ මාධ්‍ය ආයතන ගැන විශ්වාසය නොතැබීමෙන්, LTTE සංවිධානයට වාසිවන ආකාරයේ ප්‍රවෘත්ති, ජාත්‍යන්තර වශයෙන් පලවිය.

මෙහි තවත් ප්‍රතිඵල වූයේ;
  • ත්‍රිවිධ හමුදාවේ අපි කියන ඕනෙම දෙයක්, ඒ විදිහටම ඉදිරිපත් කරන මාධ්‍ය ගිරා පෝතක පිරිසක් ඇතිවීම.

  • එක් එක් ප්‍රතිරූප පිම්බීම, සඳහා මහජන මුදල් වැයකරමින්, මාධ්‍ය සංදර්ශන පැවැත්වීම.

  • දෙවැනි මට්ටමේ හමුදා ප්‍රධානීන් තුළ ද, ප්‍රතිරූපය පුම්බාගැනීමේ අභිලාශයක් ඇතිවීම හේතුවෙන්, ඒ ඒ හමුදා ප්‍රධානීන්, (යුද හමුදාවේ සේනාංකාධිපති වරුන්, බලසේනාධිපති වරුන්, ගුවන් හමුදාවේ සහ නාවික හමුදාවේ ඒ හා සමාන නිළධාරීන්) තමන්ව පුම්බන මාධ්‍ය කණ්ඩායම් තබාගැනීම.

  • සමහර මාධ්‍යවේදීන්, ත්‍රිවිධ හමුදාවේ සමහර ඉහළ නිලධාරීන්ව, තම පන්ති සගයන්ගේ මට්ටමෙන් ඇසුරු කිරීම නිසා, ත්‍රිවිධ හමුදාවේම සමහර මාණ්ඩලික නිලධාරීන්ට, එම මාධ්‍යවේදීන්ගේ අතවැසියන් ලෙස ක්‍රියා කිරීමට සිදුවීම.

  • මා පෞද්ගලිකව හොඳින් දන්නා හඳුනන එක්තරා මාධ්‍යවේදියකු, එක්තරා හමුදාපති කෙනෙකුට කොතරම් සමීපව සිටියේදයත්, අපට, එම මාධ්‍යවේදියා සිටින තැන, කට පරිස්සම් කරගැනීම පිළිබඳව ඉතා සැළකිල්ලෙන් කටයුතු කිරීමට සිදුවිය. අපිට වාතයක් ගියත්, ඒ 'මාධ්‍යවේදියා' එම සිද්ධිය, සමහරවිට අර හමුදා ප්‍රධානියාගේ පෞද්ගලික නිවස්නය වෙත ගොස්, වහාම වාර්තා කිරීමට පුරුදුවී සිටියේය.

  • යුද සමයේදී උතුරු නැගෙනහිර හමුදා කඳවුරු වලට පැමිණි සමහර මාධ්‍යවේදීන්, ඉහළ නිළධාරීන්ට කෙසේ වෙතත්, අපටනම් මහා හිසරදයක් විය. හමුදාවෙන් කන්න බොන්න හුරුවූ සමහර අය, තමන්ගේ සේවය ඇගයීමක් වශයෙන් හමුදා කඳවුරු වලින් ඔවුන්ට අහාර සහ නවාතැන් දෙන බව අමතක කර, පහළ මට්ටමේ අපේ නිලධාරීන්ට 'ජාති දාන්නට' පවා පෙළඹුණි. ඕනෙවට වඩා වැඩිනම්, ඒවා අඩුකරනහැටි අපි දන්නා බව ඔවුන්ට කියාදීමට සිදුවිය. හමුදාවේ නිළධාරි නිවස්න වල ඔවුන්ට නවාතැන් දීමෙන් මහා හිරිහැර ඇතිවිය. තමන්ට ලබාදුන් කාමරයේ නොසිට, උඩුකය නොවසා, සරම පිටින් එළියේ ඇවිදීම, නිළධාරීන්ගේ භෝජන ශාලාවේදී, ආහාර ගන්නා අවස්ථාවේදී, මේසයකට නිසි පරිදි වාඩිවී, මහත්වරුන් මෙන් ආහාර නොගෙන, මුළු භෝජන ශාලාවටම ඇසෙන පරිදි මහ හඬින් කතාකිරීම, හමුදාවේ සුළු සේවකයන් තමන්ගේද සේවකයන් යයි සිතීම හා ඔවුන්ට අවමන් කිරීම, බැණවදීම, තමන්ට දරාගත නොහැකි තරම් මත්පැන් පානයකොට, බලු පදමට පත්ව විකාර කිරීම, සෑම නිළධාරියකුටම මචං කියා ඇමතිය හැකියැයි සිතීම. (අපි සෑමවිටම ඔවුන්ට මිස්ටර් කියා ආමන්ත්‍රණය කළෙමු) කඳවුරකට ඇතුළුවීමට/පිටවීමට නොහැකි අවස්ථා වලදී, ඇතුළුවීමට සහ පිටවීමට උත්සාහ කිරීම සහ ආරක්ෂක හේතු නිසා එයට අවසර නොදුන්විට, ඉහළ පෙළේ දේශපාලනඥයන්ට දුරකථන ඇමතුම් ලබාදී, අපට බලපෑම් කිරීම, උදාහරණ කීපයකි.   

  • සති අන්ත ඉංග්‍රීසි පුවත්පතකට ආරක්ෂක තොරතුරු ලිපියක් ලියූ මහා මාධ්‍යවේදියකු, වරක් මගෙන් රට කුණුහරප අහගත්තේ, වන්නි ආරක්ෂකසේනා මූලස්ථානයේදී, එවකට යුද හමුදාපති වරායව සිටි, ජෙනරල් ශ්‍රීලාල් වීරසූරිය විසින් ප්‍රධානත්වය ඉසිලු, හමුදා සාකච්ඡාවක දී, කතාකලේ මොනවාද යන්න, මගෙන් හාර හාරා අසන්නට යාම නිසාය. මේ සඳහා ඔහු, මුලින්ම මට තෑගිබෝග දෙන්නට උත්සහ කල අතර, ඒවා ආපසු හරවා යැවීමෙන්, මම අල්ලසෙන් බේරුනෙමි.

   අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මාධ්‍ය මර්දනයක් දියත් කලාද? මාධ්‍ය වලට අභියෝග කරන්නට කිසිවකුටත් නොහැකි යයි මාධ්‍ය සංවිධාන කියයි. ඔවුන් එසේ කියන්නේ කුමන පදනමක සිට ද? මාධ්‍ය මගින් වක්‍රාකාරයෙන් රටේ අධිකරණය, නීතිපති, පවා විවේචනය කරන්නේනම්, මාධ්‍යවල ක්‍රියාකලාපය පිලිබඳ විවේචන එල්ල කිරීමට කිසිවකුටත් අයිතියක් නැතිද? පවතින සෑම රජයකටම, පක්ෂපාතී වන්දිභට්ට මාධ්‍ය ආයතන සහ, සෑමවිටම විරුද්ධවන මාධ්‍ය ආයතන මෙන්ම, බොහෝදුරට මධ්‍යස්ත මාධ්‍ය ආයතන, කාලීනව තම ප්‍රතිපත්ති වෙනස්කරන මාධ්‍ය ආයතන, තිබෙන බව අපි දනිමු. රටේ ජනාධිපතිවරයාව, හරකා, බල්ලා, බූරුවා, වැනි වචන වලින් අපහාසයට ලක්කරන්නට, කාටූන් අඳින්නට, මාධ්‍ය වලට නිදහස ඇත්නම්, සමහර මාධ්‍යවේදීන්ගේ සදාචාරාත්මක නොවන, යටිකූට්ටු, විරුද්ධවාදී දේශපාලකයන්ගේ කාලසටහන් ක්‍රියාත්මක කෙරෙන, චර්යාවන් විවෙචනය කිරීමය අයිතිය ඇත්තේ කාටද? මේ ගැන ඔබේ අදහස් සමග අපි සංවාදයක යෙදෙමු.

   FM නාලිකාවල සිටින නිවේදක නිවේදිකාවන් යයි කියාගන්නා, බාල බොළඳ සිඟිත්තන් සිඟිත්තියන්, බහුකාර්ය තමෝපකාර = තමන්ටම උපකාර කරගන්න නරි නාටක චරිත, මේ ලිපිය ලිවීමේදී සිතාමතාම අමතක කළේ, ඔවුන් පිළිබඳව සාකච්ඡා කිරීම කිසිදු ඵලයක් නැති බැවිනි.

2016 පෙබරවාරි මස 01 වැනි දින 0904 පැය

03 January 2016

පැරණි පෙම්වතියක් අප හැරදා යයි

   පෙම්වතියක් වෙන්වීම ඉවසන්නට බැරි දුකක් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ නේ. මේ පෙම්වතිය ඇත්තටම මට ජීවිතයේදී හමුවුන කෙනෙක් නෙවෙයි. නමුත් ඇය අපේ කාලයේ සදානුස්මරණීය පෙම්වතියක් බව නොකියාම බැහැ. හින්දි සිනමාවේ අතිශයින් ජනප්‍රිය, සුරූපී නිළි, සාධනා, (සාධනා ශිවදාසනී) වසර 74 ක් ආයු වළඳා, පසුගිය දෙසැම්බර් 25 වැනිදා අභාවප්‍රාප්ත වූ බව දැනගත් මොහොතේ, මගේ සිත අතීතයට ඇදීගියේ නිතැතින්මයි. හින්දි චිත්‍රපටි පිස්සුව තදින්ම වැළඳී තිබුණු, 1960 දශකයේ, අපේ සිත් තදින් පැහැරගත් හින්දි සිනමා නිලි රැජිණක් ලෙස, ඇයට අප හදවත්හි හිමිවන්නේ අද්විතීය ස්ථානයක්. මා නම් ඇය හඳුනාගත්තේ 1962 දී නිපදවුණු, එහෙත් 1966 දී පමණ ලංකාවේ තිරගතවුණු, 'අස්ලි නක්ලි' චිත්‍රපටියෙන්. ඒ චිත්‍රපටියේ ඇගේ තරුණ, සුරූපී, පෙම්වත් රංගනය පිලිබඳ හොඳ උදාහරණයක් පහත දැක්වෙන ගීතය. 




   ඇගේ රංගනය ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් අතර තවත් ජනප්‍රිය වන්නට හේතුවූ චිත්‍රපටියක් වුයේ, 1965 දී නිපදවුණු, 1967 දී පමණ ලංකාවේ තිරගතවුණු අර්සු චිත්‍රපටියයි. එම චිත්‍රපටියේ, මෙහි පහත දැක්වෙන ගීතයේ තනුවට අනුව, ජී.එස්.බී.රානි පෙරේරා ගායිකාව විසින්, 'බැඳී ආදරයට මාගේ පිටුපා යාවිද වෙන්වී' යනුවෙන්, ගීතයක් ගායනා කළා. එම ගීතයද පහත දක්වනවා.







ශ්‍රී ලාංකික හින්දි චිත්‍රපටි ප්‍රේක්ෂකයන්ගේ සිත් තුළ සාධනා ගැඹුරින් ලැගුම් ගත්තේ, 1969 දී නිපදවුණු, 1970 දී ලංකාවේ තිරගතවුණු, ඒක් ඵූල් දෝ මාලි චිත්‍රපටියෙනුයි. බලන්න මේ ගීතය ඔබට මතකද කියා.








සාධනාගේ පැරණි පින්තූර කීපයක් පහත දක්වනවා. 



m4LiN3k
sadhana-759















ඉතා මෑතකදී ගත් සාධනාගේ පින්තූරයක් පහත දක්වනවා. 

029326aa-8f05-4052-89ef-35e38c61d85b

   සාධනාගේ අභාවය වෙනුවෙන් සොව පළකරන්නට, තවත් පැරණි, ජනප්‍රිය හින්දි නිලියන් දෙදෙනෙකු පැමිණි අවස්ථාවේදී ගත් ඡායාරූපයක් පහත දක්වන අතර, ඔවුන්ගේ තරුණ කාලයේ පින්තූර, මා එම පින්තූරයටම ඇතුළු කළා. 


ජීවිතය කියන්නේ හමුවීම් සහ වෙන්වීම් ගොඩක් බව අපි හොඳින්ම දන්නවා. නමුත් මෙවැනි ළබැඳි කෙනෙකුගේ වියෝව අපට සංවේගයක් උපදවන බවත් අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. අපේ කාලයේ පෙම්වතියේ ඔබට මෝක්ෂ සුවය ලැබේවා!

2016 ජනවාරි මස 03 වැනි දින 0101 පැය

09 November 2015

නරලොව හොල්මන් දැකලා තියනවද?

56
ඔව් ඉතින්, එදත් අදත් අපි, නොයෙක්විට, විවිධාකාර හොල්මන් දකිනවනේ. එදා අපේ කාලෙත්, පාරේ යනකොට දකින සමහර අය, මනුස්සයෙක්ද හොල්මනක්ද කියලා හිතාගන්න බැරි අවස්ථා තිබුනා. ඉතින් අදත් එහෙම වෙන එක පුදුමයක් නෙවෙයි. වැඩේ කියන්නේ, පණපිටින් ඉන්න මනුස්ස පරාණ, හොල්මන් වගේ පෙනෙන එකයි. බොහෝවිට ඒ සඳහා බාලපාන්නේ ඇඳගෙන ඉන්න ඇඳුම් සහ බාහිර පෙණුමයි. 'අඳින්න මිනිගවුම අඳින්න' කියලා ඇන්ටන් ජෝන්ස් කියන සින්දුවෙත්, මිනි සහ මිණී දෙක පැටලිලා සිද්ධවෙන අවුලක් ගැන කියනවා නේද?



Scan_20151027_104524   හොඳයි, මේ චූර්ණිකාව කිව්වේ, අද මා ඔබවෙත ගෙන එන අසහාය ලේඛක, චන්ද්‍ර අනගිරත්න මහතාගේ, 'නරලොව හොල්මන්' කෘතිය ගැන කතා කරන්නයි. අපි පාසල් සිසුන් ලෙස, එතුමාගේ නිර්මාණ රසවිඳි ආකාරය තවමත් මතකයි. 'සීමාසහිත ස්වාධීන පුවත්පත් සමාගම' හෙවත්, 'දවස නිවස' වෙතින් පළකෙරුණු, සති අන්ත පුවත් පතක් වන, 'රිවිදින' පුවත්පතේ පළවුණු, හාස්‍ය රසයෙන් අනූන මෙම නිර්මාණ, එකල අපේ සිත් තදින්ම බැඳගත් බව, නොකියාම නොහැකියි. ලංකාවේ ඉරිදා නිවාඩු දිනය වෙනුවට, පෝය දින නිවාඩුව ක්‍රියාත්මක වීමෙන් පසු, රිවිදින පුවත්පත 'රිවිරැස' යනුවෙන් නම් කෙරුණා.

   මෙහි මා දක්වන එතුමාගේ ලිපි එකතුව, එසේ පසුකාලීනව රිවිරැස පුවත්පතට ලියන ලද ලිපි බව මෙම කෘතියේ සඳහන් වෙනවා.

Scan_20151027_104343

Scan_20151027_103503    මෙය, මෙතුමාගේ ලිපි එකතු වශයෙන් පලකළ, තුන්වැනි කෘතියයි. මෙහි 1 සහ 2 කොටස් සොයාගන්නට, මට තවමත් නොහැකි වුන බවත්, කණගාටුවෙන් සඳහන් කරනවා. ඒ කාලයේ, මෙම ලිපි, සති අන්තයේ පළවූ පසු, ඉතා පුළුල් ලෙස, එම ලිපි පිළිබඳව, සමාජයේ කතාබහට ලක්වුණා. එයට ප්‍රධාන වශයෙන් හේතුවුණේ, රූපවාහිණිය එකල මේ රටේ නොතිබීම, ගුවන්විදුලිය සීමිත පිරිසකට පමණක් අසන්නට ලැබීම, ග්‍රාමීය ජනතාව පවා, සෑහෙන දුරට පුවත්පත් කියවීම, යන සාධකයි. මෙම ලිපි වලින්, ඉතා ගැඹුරු දේශපාලන ප්‍රහසන, සමාජ ප්‍රහසන, කාලීන සමාජ ගැටළු, මොනවට නිරූපණය කෙරුණා. ඒ නිසාම, ඒ ලිපි තදින් ග්‍රහණය කරගන්නට, ජනතාව පෙළඹුණා යයි කීම නිවැරදියි.

   එතුමාගේ සමහර ලිපි සමහරෙකුට පිස්සු විකාර මෙන් පෙනෙන්න ඇති. ඒ නිසා එතුමා මේ පොත මෙන්න මේ ආකාරයට පිළිගන්වා තිබෙනවා. 



Scan_20151027_103944



   චන්ද්‍ර අනගිරත්න මහතා සෑහෙන ග්‍රන්ථ සංඛ්‍යාවක් නිර්මාණය කර තිබෙනවා. මේ බලන්න.


Scan_20151027_104204

   ශ්‍රී ලාංකීය සමාජයේ පැවැත්ම ගැන සලකා බැලීමේදී, මේ ලිපිවලින් බහුතරයක්, සර්වකාලීන වටිනාකමකින් යුක්ත බව, නොකියාම බැහැ. නරලොව හොල්මන් 3 කෘතියෙන් උපුටාගත් ලිපියක්, ඔබ වෙත ඉදිරිපත් කරන්නට මා සිතුවේ, වර්තමානයේදී අපේ සමාජයේ කතාබහට ලක්වන මාතෘකාවක්, එදත් සාකච්ඡාවට භාජනය වී තිබුණු ආකාරය ඔබට පෙන්වා දෙන්නටයි. මේ දිනවල, ජනමාධ්‍ය, නීතිය, පොලීසිය, මහජනතාව සම්බන්ධ විවිධ දේශපාලන මතිමතාන්තර කැටිවූ ලිපි, පුවත්පත්වල මෙන්ම අන්තර්ජාලයේත් දකින්නට ලැබෙනවා. බලන්න පහතින් දක්වා ඇති ලිපිය, මා ඉහත සඳහන් කලාක් මෙන්, සර්වකාලීන වටිනාකමක් නැද්ද කියා. 



Scan_20151027_105330Scan_20151027_105517Scan_20151027_105759Scan_20151027_105942Scan_20151027_110126Scan_20151027_110304Scan_20151027_110439


ඔන්න ඔහොමයි චන්ද්‍ර අනගිරත්න මහත්තයාගේ කතා.

2015 නොවැම්බර් මස 07 වැනි දින 2301 පැය 

13 October 2015

පැරණි පොතක තිබුණා මෙසේ........

   මේ මෑතකදී, අපේ පන්සලේ පුස්තකාලයට, පැරණි පොත් එකතුවක් තෑගි ලැබුණා. ඒ පොත් තොගය, විශ්‍රාමලත් විදුහල්පති වරයකුට අයත්, පොත් තොගයක්. වැඩිදෙනෙකුගේ දැනුම දියුණු කිරීමේ අරමුණෙන් තමා, ඒ මහතා මේ පොත් පරිත්‍යාග කළේ. එයින් කීපයක් මා ඉල්ලාගෙන ආවා, කියවා බලන්නට. මේ එයින් එක පොතක තිබුණු දේ වලින් සමහරක්.


1


   මේ ග්‍රන්ථය කොපමණ පැරණිද යන්න දැක්කාම මට පුදුම හිතුණා. මේ බලන්න විස්තර.


2


   1949 වර්ෂයේදී, කෑගල්ලේ මුද්‍රණාලයකයි මෙය මුද්‍රණය කර තිබෙන්නේ. නමුත් 1950 දශකයේ කෑගල්ලට නුදුරුව උපන් මා, 1960 දශකයේ සිට 1980 දශකය දක්වා කෑගල්ලේ පදිංචිව සිටියත්, මේ පොත් මුද්‍රණය කළ 'ජාතික මුද්‍රණාලය' ගැන දන්නේ නැහැ. දන්නා කෙනෙකු ඇත්නම්, කියාදෙන ලෙස කාරුණිකව ඉල්ලනවා.

   මේ පොතේ තිබුණු වචනයක්, සහ පැරණි සිංහල යෙදුමක් ගැන, දක්වා තිබුණු නිර්වචන කෙරෙහි, මගේ සිත ඇදීගියා. ඒ නිසා ඔබටත් එය පෙන්වන්න සිතුනා.

වලවෙට්ටුවා කියන්නේ කාටද?

   අපි කුඩා කාලයේ මේ වචනය නිතර ඇහුනා. නොහික්මුණු, දඩබ්බර, තරුණයන් හැඳින්වීමටයි, අපේ වැඩිහිටියන්, 'වලවෙට්ටුවා' යන වචනය යොදාගත්තේ. මේ පොතේ එම වචනය මෙන්න මෙහෙම නිර්වචනය කර තිබෙනවා. 

9



හෙයියම්මාරුව කියන්නේ මොකක්ද?

   හෙයියම්මාරුව කියන යෙදුම, අද සමාජයේ එතරම් අහන්නට දකින්නට නොලැබුනත්, ව්‍යවහාරයෙන් සම්පූර්ණයෙන්ම බැහැරට හිය යෙදුමක් නොවෙයි. තමන්ගේ නොසැලකිල්ල හෝ අණුවන කම නිසා, ඇතිකරගත් බරපතළ වියවුලක් හැඳින්වීමට තමා, 'හෙයියම්මාරුව' යන වචනය පාවිච්චි කරන්නේ. එහි නිරුක්තිය, මේ පොතේ මෙලෙස විස්තර කරනවා. 

7 - Copy


   ඉතා අපූරු තේරවිලි කවිත් මේ පොතේ ඇතුළත් වෙනවා. මේ එයින් කීපයක්.


4


   පිටු 106 කින් යුත් මේ ග්‍රන්ථයේ, විවිධ මාතෘකා ඔස්සේ ලියන ලද, පරිඡේද 25 ක් ඇතුළත් වෙනවා. එකල සමාජ ආකල්ප මෙන්ම, ජනශ‍්‍රැතියේ විවිධ පැතිකඩ නිරූපණය කෙරෙන ලිපිද, තිබෙනවා. අද්‍යතන සමාජ ආකල්ප සමග කෙළින්ම ගැටෙන අදහස්ද, ඇතුළත් වෙනවා. වරින්වර, ඒ ලිපි ඔබවෙත ගෙන එන්නට මා බලාපොරොත්තු වෙනවා. 

2015 ඔක්තෝබර් මස 13 වැනි දින 0005 පැය 

28 September 2015

පරණ පොතක පිටුවක්

Old Books
පරණ පොත් වලට බොහොම දෙනෙක් කැමතියිනේ. අද කාලේ ඉන්න හුඟ දෙනෙක්, අලුත් පොත් කියලා හඳුන්වලා, අපිට දෙන්නේ පරණ පොත්ම තමා, එක අතකින් බලනකොට. මට පහුගිය දවස්වල, අහම්බෙන් පරණ පොත් ටිකක් ලැබුණා. ඉතින් මට හිතුනා, ඒ පොත්වලින් තෝරාගත් කොටස්, ඔබ සමග බෙදාහදා ගන්නට. මෙන්න අද මම ඉදිරිපත් කරන පොත් පිටුව. 


1


   ඔන්න ඉතිං මෙව්වා, මේ පාඩම් පොතේ තියන පාඩම්, මෙන්න මේ වගේ කියලා පෙන්නන්න ඉදිරිපත් කළා මිසක්, වෙන වෙන අර්ථ කථන දෙන්න හිතාගෙන ඉදිරිපත් කළා නෙවෙයි. අනේ මං දන්නෑ, ඕනේ කෙනෙක්, ඕනේ අර්ථ කථනයක් දෙන්න. ඒ කාලේ මේ කියන මෝරුන් සහ හාල්මැස්සා/සෝ, අද කාලේ කවුද? ඒ කාලේ වැද්දා, මුවා සහ සර්පයා අද කාලේ කවුද? කියලා නම් මගෙන් අහන්න එපා. පූර්වාපර සන්ධි ගලපන්න මේක ජාතක කතාවක් නෙවෙයිනේ.


   මේ පොත, 1940 දශකයේදී පමණ මුද්‍රණය කළ එකක් කියා අනුමාන කරනවා. භාෂා විලාශය ටිකක් අමුතුයි නේද? කාලීනව භාෂාව වෙනස්වන ආකාරය පෙන්වන, හොඳ උදාහරණයක්. බලන්න, සර්පයා කියන වචනය සඳහා, රේඵය යොදා ඇති ආකාරය. අද රේඵය යොදාගන්නේ නැති තරම්. ඒ වගේම දෂ්ට කියන වචනයේ හල් ෂයන්න සහ ටයන්න, එකට බැඳලා තියෙන්නේ. මෙසේ බැඳී අකුරු ලිවීම භාවිතයෙන් නැතිවී ගියේ, 1970 දශකයේදී පමණ කියා මා හිතනවා. (අදත් කලාතුරකින් නැත්තේම නොවේ) ඒ වගේම, 'උඹ බන් බොලන්' භාෂාව, පළමුවැනි පන්තියේදීම, ළමුන්ට අහන්න දකින්න ලැබෙනවා. ඒ කාලේ මුද්‍රණ කටයුතු, කෙබඳු තත්වයක තිබෙන්නට ඇද්ද යන්නත්, අකුරුවල ස්වභාවයෙන් පෙනෙනවා.


   තවත් දෙයක්. ඉංගිරිසියේ බලපෑම කොතරම්ද යන්නත්, මනාව පිළිබිඹු වෙනවා. සිංහල උගන්වන පොතේ, අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නම සහ පොතේ නම ඉංගිරිසියෙන් යොදා තිබෙන්නේ, එකල පරිපාලන කටයුතු වලදී, බහුලව ඉංගිරිසිය භාවිත වුන නිසායැයි හිතෙනවා. 



   මේ පිටුව ලැබුණේ, වෙනත් පොතක් අස්සේ තිබිලා. ඉතුරු ටිකත් තිබුණා නම්, හරිම වටින පොතක්. ටිකක් හොයලා බලන්න ඕනේ.


2015 සැප්තැම්බර් මස 20 වැනි දින 1325 පැය 
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }