හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ
Showing posts with label විශේෂ. Show all posts
Showing posts with label විශේෂ. Show all posts

01 May 2020

නීල අම්භරයෙන් මැකී ගිය තරු දෙකක් - පළමු තරුව


මේ දිනවල වෙනදාට වැඩියෙන් ශෝක ජනක පුවත් වාර්ථා වෙනවා. ඒ සඳහා මේ වනවිට ලෝතයේ ඇතිවි තිබෙන තත්වය මෙන්ම  අනෙකුත් කාරණා ද ඇතුළත් වෙනවා. කෙසේ වෙතත් ලාංකිය සිනමා ක්ෂේත්‍ර යේ  තරු රැසක් මේ කාලය තුළ  සමු ගත්තා.  එහෙත්  ඊයේ උදැසන මා හට අසන්නට ලැබුණේ  තවත්  ශ්‍රී ලාංකීය සිනමාවේ යකඩයකු මිය ගිය පුවතයි. 

ඔහු නමින්  ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු නම් විය. 1925 අගෝස්තු 25  කොළඹ කොටහේනේ  උපන් ඔහුට ලාංකීය සිනමාව මෙන්ම දමිළ හා හොලිවුඩ් සිනමාවේ දික්විජය කරන්නට හැකිවිය.  එකල හින්දි සිනමාවේ ආකෘතියට නැගුණු සිනමාවක් තුළ කථා නායිකාවක්, කථා නායකයෙක් මෙන්ම දුෂ්ටයෙක් ද විය.  මෙම දුෂ්ට චරිතය මැනවින් නිරූපනය කිරීමට මොහු සමත්විය. මේ සඳහා සටන් පුහුණුවද අවශ්‍ය විය.  ඒ අනුව මොහු ඉතා විශිෂ්ට සටන් අධ්‍යක්ෂවරයෙකුගේ භූමිකාවද  මනා ලෙස ප්‍රකට කළේය.


මේ සියල්ලටම ඔහු මනා පසුබිමක් සකසා ගෙන සිටියේය.  වයස අවුරුදු 15 දි පමණ මොහු රෙස්ලින්, ජූඩෝ, කරාටේ වැනි ශිල්පයන් හැඳෑරීය.  එමෙන්ම රෙස්ලින්වලින් ඔහු බස්නාහිර පළාත් පාසල් ශූරතාවය  දිනාගන්නා ලදී.  වර්ෂ 1959 දී  ඔහු ලිපිකරුවෙක් ලෙස මුල්ම රැකියාව ශ්‍රී ලංකා වරායෙන් ආරම්භකරන ලදී. 1961 ජාතික රෙස්ලින් තරඟාවලියද 1962 පොදු රාජ්‍යමණ්ඩල කරග නියෝජනය කිරීමටද ඔහුට හැකිවිය. මේ නිසාම 1964 ටොකියෝ ඔලිම්පික් උළෙල නියෝජනය කිරීමට ඔහුට හැකිවිය.  එමෙන්ම 1966 බැංකොක් ආසියානු ක්‍රීඩාවලියද ඔහු නියෝජනය කළේය. පසුකාලයේ ඇතිවූ දනහිසේ ආබාධයක් හේතුකොටගෙන ඔහුට බොහෝ අගනා අවස්ථා මගහැරී ගියේ ය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩාවෙන් ජාත්‍යන්තරයට ගිය එකම නළුවා මොහුය.  


ඔහුගේ සිනමා දිවියේ ආරම්භය සඳහන් වන්නේ වර්ෂ 1963 දිය. ඔහුගේ මුල්ම සිනමාපටය වූයේ වෙන ස්වර්ගයක් කුමටද යන්නයි . එය දමිළ සිනමාකරුවෙක් ටී. සෝමසේකරන් මහතාගේ චිත්‍රපටියකි. මුල් කාලීනව ඔහුට වැඩකිරීමට සිදුවන්නේ එවකට දක්ෂ දමිළ චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් සමගය.  මේ නිසා එය ඔහුගේ සිනමා දිවියට මහත් ආලෝකයක් විය. ඉහත චිත්‍රපටයේ ඔහුගේ මුල්ම රඟපෑම වූයේ සටන් ජවනිකාවකි. ඒ මහා රංගධර හෙන්රි ජයසේන සමගයි.  එහෙත් එම දර්ශනය චිත්‍රපටයෙන්  හිතාමතාව ඉවත්කර තිබුණි. මේ කාලයේදීම ඔහුගේ හොඳම මිතුරෙකු වූ  එච්. ආර්. ජෝතිපාලගේ සහයෙන් ඔහුට ලෙනින් මොරායස් නම් ප්‍රබල සිනමාකරුවාත්, රොබින් ප්‍රනාන්දු නම් සටන් අධ්‍යක්ෂකවරයාත්  හඳුනාගැනිමේ භාග්‍යය හිමිවිය. වර්ෂ 1964 දී ඔහුගේ ආරාධනයෙන් රුහුණු කුමාරි චිත්‍රපටයට එක්විය.  ඉන්පසු 1968 අටවෙනි පුදුමය 1969  කොහොමද වැඩේ යන සිනමාපටවලට දායක විය.  




රුහුණු  කුමාරි  චිත්‍රපටය තිරගතවීමෙන් පසු මොහු ඉතා ජනප්‍රියතාවයට පත්වන අතර,  ඒ නිසාම 1972 ජෝ අබේවික්‍රමයන් විසින් ඔහුට හාර ලක්ෂයෙහි රඟපාන්නට ආරාධනා කළේය.  හාර ලක්ෂය ඔහුට හැරවුම් ලක්ෂයක් විය. ප්‍රථමවරට ඔහු චරිතාංග නළුවෙකු වන්නේ මෙම සිනමාපටයෙනි.  ප්‍රථමවරට  ඔහු දෙබස් කියන්නේ මෙම චිත්‍රපටයටය.  මෙහි නිර්මාණකරු වන්නේ ටයිටස් තොටවත්ත සූරීන්ය.  එම වසරේ තවත් චිත්‍රපට රැසකට දායකවන්නට අවස්ථාව ලැබුණි. රජගෙදර පරවියෝ, සරදියෙල්ගෙ පුතා, එම සිනමාපටයන්ය.  1973 මාතර ආච්චි,  දැන් මතකද,  සුහද පැතුම , සහයට ඩැනී වැනි සිනමාපට  විවිධ අධ්‍යක්ෂකවරුන් යටතේ රගපෑවේය.  1977 ව්ර්ෂයේ දී ඔහු හෙළයේ මහා සක්විති ගාමිණි ෆොන්සේකා සමග යකඩයා චිත්‍රපටයේ රඟපෑවේය.  ප්‍රධාන සටන් චරිතයක් රඟ දක්වමින් ඔහු මෙම සිනමාපටයට දායකවිය. මෙහිදී එක් දර්ශනයකදි මොහුගේ ප්‍රහාරයකට නතුවන ගාමිණීට දින තුනක් යනකම් ඇස්දෙ ඇරීමට නොහැකි වී ඇත. 


ඉන්පසු වර්ෂ 1982 පමණ වනවිට වේදිකාවට ද සම්බන්ධ විය.  ඒ සඳහා ඔහුට ඇන්තිනි සී පෙරේරා ගේ සහ  නාමෙල් විරමුණිගේ සහය ලැබුණි.   1983 වර්ෂයේ මර්වින්  ජයතුංග හා ආනන්ද හේවගේ අධ්‍යක්ෂණය කළ පසමිතුරෝ  සිනමා පටයට දායක වූ අතර,  එම චිත්‍රපටයේ යථාර්ථවාදි සිනමා රංගනයක් උදෙසා   ඔහුට ජනාධිපති සම්මාන හිමිවිය.


සිනමාවේදී ඔහුගේ  අතගත් පෙම්වතිය වූයේ සෝනියා දිසාය.  ඇය සමඟ ඔහු පෙමිවතාගේ චරිතය  රඟදක්වමින් බොහෝ  සිනමාපට වර්ණවත් කළේය.  ශ්‍රී මධාරා,  ඇගෙ ආදර කථාව,  සහයට ඩැනී,   කවුද රජා,  හරිම බඩු තුනක් එම සිනමාපට වේ.  ඔහු දමිළ සිනමාවද හොලිවුඩ චිත්‍රපටයකට ද දායක වී ඇත.  


අනෝමා  ලුම්බිණි නමැති  කාන්තාව 1978 විවාහකරගත් ඔහු තිදරු පියෙකි.   මිය යනවිට  79 වන වියෙහි වූ අතර , සිංහල සිනමාවේ තවත් මහා පුරුකක් අද දින අපෙන් සමුගන්නා ලදී .


අන්තර්ජාලය ඇසුරිණි

විචාරක දියණිය  පෙ ව 01 00 පැයට 



28 April 2020

පියාණනේ


ගතවිය තුන් වසක් ඔබ නැතිවී අද                           දවසේ්‍

පෙරටත්  වඩා  ඔබ සිහිවේ අද                               දවසේ

එනමුත්  ඉතින්  ඔබ අද නෑ අපෙ                          නිවසේ

කාලය හිමින් ඉගීලී ගොස්   ඇත                          දුකසේ      


මරණය පොදුයි දන්නෙමි මම බුදු                           දහම                     

එනමුත් මමත් මිනිස්  දියණියකැයි  කියමි                මම 

සසර දුකයි මතු   බවයත්                                   සැමදාම  

සසරේ යළිත් අපි හමුමෙු                                    මතුදාක  



ලෝ වැසි දනන් මරු තුරුලට                             යවමින් 

කොරෝනාව ඇවිදින්  හැම තැනම                      ඉතින්

තවත් යමක් සිතන්නටත් ඉඩ                             හරිමින්

පැතිරී ඇත වෛරසයක් සතර                              අතින්



කෙසේ වෙතත්  මගේ පැතුම අද                       දිනයේ 

මතු අත් බවේදී ඔබ මගෙ පියා                         වෙමින් 

සිටියා විලස  මම ඔබෙ දියණියක                   ලෙසින්

පතනෙමි අමා දම් සුව මේ                              විලසින්



විචාරක දියණිය
පෙරවරු 1000 පැයට 




04 April 2020

දන්නා දෙයක් ගැන නොදන්නා යමක් 2

නැවතුණු තැනින් .....................

අද තමයි ජේතවන සංරක්ෂණය පිළිබඳ කථා කරන්නේ 

මම පසුගිය ලිපියෙන් සංරක්ෂණය කියන්නේ මොකක්ද?  සංරක්ෂණ මුලධර්ම පිළිබඳව විග්‍රහ කළා.  අද මා පවසන්නේ ජේතවනයේ කොත වර්තමාන තත්වයෙන් සංරරක්ෂණය කළ හේතුවයි.

පසුගිය ලිපියෙන් මා මූලික අගයන් 3ක් පිළිබඳව පැවසුවා.  ඒවා නැවත අනු අගයන්වලට ද බෙදී යනවා . එහිදී


  •     ඓතිහාසික  අගය‍
  •     ආශ්චර්යමත් අගය
  •     පුරාවිද්‍යාත්මක අගය‍
  •     ආගමික අගය
  •     සංස්කෘතික අගය
  •     දේශපාලන අගය

මේ අනුව යම් ස්මාරකයක් සංරක්ෂණයේදී  එම ස්මාරකයේ වඩාත් රැකගත යුතු අගයන් පිළිබඳ මැන බැලීමක් සිදුකරනවා.  ඉන්පසුව එම අගයන් රැකෙන පරිදි සංරක්ෂණ කටයුතු සිදුකරනු ලබනවා. එහිදි මෙම ස්මාරකයේ මුල් ස්වරුපය,  එහි ඓතිහාසික බව, පුරාවිද්‍යාත්මක අගය,  ආශ්චර්යමත් බව ආදිය  පිළිබඳව මෙහිදී   සැළකිළිමත් වෙනවා.  එය ස්මාරකයේ ස්වරූපය අනුව වෙනස් වෙනවා.


ඒ අනුව ජේතවන සංරක්ෂණයේදී ද මේ කරුණු පිළිබඳව සැළකිළිමත් වූණා.  මෙය ඉතා සරළ කාර්යයක් ලෙස ඔබට හැඟුනත් මෙය ඉතා  දුෂ්කර කාර්යයක් බව කිව යුතුයි.  මෙම සංරක්ෂණ කටයුතු වෙනුවෙන් අධ්‍යයයන කටයුතුවලටම වසර 10 කට අධික කාලයක් ගතවුණා.  ඊට හේතුව ඔබ දන්නා පරිදි මෙය ගඩොලින් තැනූ ස්මාරකයක්. අභයගිරිය ද ගඩොලින් තැනූ ස්මාරකයක්. නමුත් මේ සඳහා භාවිතා කරන ලද ගඩොල  දිගින් අඩු පළලින් වැඩි හා  පැතලි ගඩොලකි. මෙම ගඩොල නිර්මාණය කළේ කෙසේදැයි යන්න පිළිබඳව අපේ  වර්තමාන ශිල්පීන් නොදැන සිටි නිසා  මෙවැනි පුරාවිද්‍යා ස්මාරක ඇති බංගලාදේශයට  ඔවුන්ව පිටත්කර එම ගඩොල් තාක්ෂණික දැනුම ඔවුන්ට  ලබාදීමට  සැලැස්වීය. ඉන්පසුව  එම දැනුම ලබාගත් ශිල්පින් මෙහි පැම්ණ අනුරාධපුරයේ  යම් ස්ථානයක මෙම ගඩොල් සඳහා යොදා ගත හැකි මැටි වර්ග පිළිබඳව  අධ්‍යයනයක් කර එම මැටි  සුලබ  ප්‍රදේශයක්  ආසන්නයේ  පෝරණුවක් සාදා එම විහේෂ ගඩොල් නිෂ්පාදනය ඇරඹුවා. මෙම ගඩොලෙහි අනිවාර්යයෙන්ම  බුද්ධ වර්ෂය යෙදිම සිදුකළා.  එය අනිවාර්ය නිතියක්.  ඉන්පසුව සංරක්ෂණ කටයුතු  ආරම්භ කළා .


මෙම ගඩොල් බැඳිමට භාවතා කළේ ද වෙනස්ම  බදාමයකි.එනම් උළු කුඩු,මකුල් මැටි,දහයියා කුඩු  ආදී අමුද්‍රව්‍ය එක්කරන ලද්දකි. මෙම  උළු  කුඩුකිරීමටද යම් යන්ත්‍රයක් සකස් කරනු ලැබුවා.එය අභයගිරියේ  ස්ථුපය අසළ  ඉදිකළා .

ජේතවනයේ මුල් ස්වරූපය


ජේතවනයේ හතරැස් කොටුව සංරක්ෂණය 



ගර්භය හරහා ගඩොල් ඉහළට ගෙනයාම 




ගර්භය සංරක්ෂණය




මෙහිදී ප්‍රතිසංස්කරණය මෙන්ම පුනරුත්ථාපනය යන සංරක්ෂණ මූලධර්ම දෙකම උපයෝගී කරගත්තා.මෙහිදි කොත සංරක්ෂණය කිරීම පිළිබඳව  පැන නැගුණ ප්‍රධාන ගැටලුව නම් මෙම කොතෙහි මුල් ස්වරූපය දැක්වෙන කිසිම  සාක්ෂියක්  හමු නොවීමයි. ඡායාරූප,සිතියම් ආදි කිසිවක් මෙහි මුල් ස්වරූපය පිළිබඳ අදහසක් ලබා ගැනිමට  සොයා ගත නොහැකි වි තිබෙනවා.එවන් අවස්ථාවක දි අප හිතුමතේට මෙහි සංරක්ෂණ කටයුතු  සිදුකළහොත්  එහි  තිබෙන සම්පූර්ණ ස්වූපයේ හැඩය වෙනස් වීමටත්   එමෙන්ම අප  ඉහත දක්වන අගයන් හානියට පත්වීමටත් ඉඩ තිබෙනු  දුටු පුරාවිද්‍යා  ක්ෂේත්‍රයේ  ප්‍රබලයින්  දැනට තිබෙන පරිදිම එහි සංරන්ෂණය  නිමා කිරීමට ඉඩ සැළැස්සුවා.


ලිපියේ අවසානය



විචාරක දියණිය
පස්වරු 1500 පැයට

30 March 2020

දන්නා දෙයක් ගැන නොදන්නා යමක් 1

හැමදාම සිතට නැගෙන දේ ලිවුවට මේ ලිපි වලට යම් අර්යක් ඇති කරන්න වගේම මා උගත් විෂය පථයෙන් යමක් කරන්න සිතුව නිසා නව ලිපි පෙළක් අරඹන්න තමයි මේ හදන්නෙ. 


ජේතවනය හා අභයගිරිය පිළිබඳ ඔබතුමන්ලා මේ වනවිටත් බොහො ්කරුණු කාරණා දන්නවා යැයි මට හැගේ. නමුත් ඒ පිළිබඳව  තරමක් විශයානුබද්ධ කරුණු කාරණා බොහෝමයක්  ද තිබෙනවා .


අපි සරලව කථාකළොත් ජේතවනය හා අභයගිරිය පහසුවෙන් හදුනා ගතහැක්කේ කෙසේද? යන්න විමසා බැලුවහොත් සාමාන්‍යෙයන් ලබාදෙන පිළිතුර තමයි,  කොත බාගෙට  නිමවා තියෙන්නෙ ජේතවනයෙ, කොත සම්පූර්ණයෙන් නිමවා තියෙන්නෙ අභයගිරියෙ  කියලා. 

ලංකාවෙ මුලින්ම මේ ජේතවනය හා අභයගිරිය පිළිබඳ පර්යේෂණ පවත්වන්නෙ වර්ෂ 1890 ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පළමු කොමසාරිස්වරයා  වුණු එච්. සි. පී. බෙල් මහත්මයා.  එහෙත් ඔහු විසිනුත්  නැගෙනහිර හා බටහිර  දිශාව පිළිබඳ  වු යම් වරදිමක් නිසා එකළ ජේතවනය හා අභයගිරිය යන්නෙන් මුලින්ම හඳුන්වා දී තිබුණේ  මෙම ස්තූප දෙක මාරුකරගෙනය. එහෙත් පසුකාලීනව ඔහුගෙන් පසුකාලීනව වර්ෂ 1932 පුරාවිද්‍යා කොමසාරිස් ධුරයට පත් සෙනරත් පරණවිතාන සූරින්ගේ පර්යේෂණවල ප්‍රතිළුලයක් ලෙස නිවැරදි  ජේතවනය හා අභයගිරිය  හඳුන්වාදෙන ලදී. 


   පැරණී ජේතවන ස්තූපය                     

                                                


 








1

පැරණි අභයගිරි ස්තූපය



මේ අනුව වර්තමානය වනවිට මේවා සංරක්ෂණය කරමින් අනාගත පරපුරට උරුමකර දිම සඳහා කටයුතු කර තිබෙනවා. එහිදී මෙම සියලු සංරක්ෂණ කටයුතු සිදුකරන්නේ සංරක්ෂණ මූලධර්මයන්ට අනුකූලවයි. 

එහිදී ස්මාරක සංරක්ෂණයේදී පළමුව ස්මාරකයේ අගයන් පිළිබඳ සොයා බලනවා. මෙම අගයන් ප්‍රධාන  කොටස්  3කට වෙන් කරනවා.

                 1.    භාව විෂයක අගය.
                 2.  සංස්කාතික අගය.
                 3.  පරිහරණ අගය

              

මෙම අගයන්වලින් බලාපොරොත්තුවනුයේ සංරක්ෂණයේදි මෙම අගයන්ට හානි නොවන පරිදි කටයුතු කිරීමයි. එහිදි යම් හානියක් සිදුවුවහොත් වඩාත් රැකගත යුත්තේ කුමන අගයන් දැයි මෙහිදී පරීක්ෂාවට ලක්කරනවා.

එහිදී සංරක්ෂණ මූලධර්ම යටතේ ස්මාරකයක් සංරක්ෂණයේදී  ප්‍රධාන වශයෙන් ක්‍රම 7ක් යටතේ සංරක්ෂණය කළ හැකියි. ඉන් වැඩි වශයෙන් ලෝකයේ ස්මාරක සංරක්ෂණයේදී භාවිතා කරන ක්‍රම කිහිපයක් පහත දැක්වෙනවා.  

                                          

                    1.    ප්‍රතිසංස්කරණය  - renovation
                 2.  පුනරුත්ථාපනය - restoration
                 3. නැවත ඉදිකිරීම  - re location
                 4. ප්‍රතිනිර්මාණය - recreation

              

මේවා බැලූ බැල්මට එකම ආකාරයේ වචන වගේ පෙනුනත්, සංරක්ෂණයේදී මෙම ක්‍රමවේද භාවිතා කරන්නේ  එම ස්මාරකයන්ගේ අගයන් මැන බැලිමෙන් පසුව අවම හානි ඇතිවන පරිදියි. 


ප්‍රතිසංස්කරණය


 බොහෝ  ස්මාරකයන් සඳහා බහුලව  සිදුකරනු ලබන සංරක්ෂණ ක්‍රමවේදය ප්‍රතිසංස්කරණයයි. ඒ අනුව  ස්මාරකයේ සංරක්ෂණ කළයුතු කොටස් පරීක්ෂා කරබලා සුදුසු පරිදි ප්‍රතිසංස්කරණය කටයුතු සිදුකරනු ලබනවා. එහිදි එහි මුල් පෙනුම,  එහි ඇති ඓතිහාසික  බව,  උපයෝගිතාව  ආදි සියලු කරනු සැළකිල්ලට ගනු ලබනවා.  එමෙන්ම  මෙහිදී මුල් අමුද්‍රව්‍ වලට වඩා ශක්තියෙන් අඩු අමුදුවය තමයි  භාවිතයට ගනු ලබන්නේ.  එයින්  බලාපොරොත්තු වනුයේ හායනය අවම වීමයි .  හායනය යනු  දිරාපත්වීමයි.  අපි මුල් අමුද්‍රව්‍යයට වඩා ශක්තියෙන් වැඩි අමුද්‍රවය යෙදුවහොත් ඉක්මනින් හායනයට ලක්වන්නේ මුල් අමුද්‍රව්‍යයයි. සංරක්ෂණයේදී මූලික අරමුණ ස්මාරකයේ මුල් ස්වභාවය හැකිකාත් ආරක්ෂා කරගැනීමයි. 

උදා -  ගාලු කොටුව,  ජේතවනය ස්තූපය, අභයගිරිය ස්තූපය


පුනරුත්ථාපනය

මෙය සිදුකරනු ලබන්නේ  ස්මාරකය  තරමක් විනාශ වි ගොස් ඇති විටකයි .  එහිදි  එම හානි වූ කොටස් සඳහා සුදුසු අමුද්‍රවය භාවිතා කරමින්  නැවත ඉදිකිරීමයි.

උදා - සීගිරි චිත්‍ර , ලංකාරාමය,  ඊජිප්තු පිරමිඩ


සීගිරිය සිංහ පාදය













ප්‍රතිනිර්මාණය

මෙහිදි  ස්මාරකය බෙහෙවින් විනාශ වී ඇති විටෙන එහි මුල් ස්වරූපයට සමානවන අයුරින් මුල් ස්මාරකකයේ  ගත හැකි කොටස් සියල්ල එක්කරමින් ඒවා නිවැරදි පිළිවෙළට සකසා  අඩු ස්ථානයන්ට සුදුසු අමුද්‍රවය යොදා මුල් සමාරකය හා ගැළපෙන පරිද්දෙන් එහි අගයන්ට අවම හානිවන පරිද්දෙන්  සැකසීම මෙම ප්‍රතිනිර්මාණය කිරීම ලෙස සැළකෙනවා .

උදා-    පොළොන්නරුවේ  ලංකාතිලක පිළිමගෙය, පොළොන්නරු ශිව  දේවාලය



යළි ගොඩනැගීම

මෙවැනි අවස්තාවක් උදාවෙන්නේ ඉතාමත් විරලවය එනම් යම් ස්මාරකයක්  කිසියම් සංවර්ධන ක්‍රියාවලියක් නිසා හෝ  යම් අවධානම් සහගත තත්වයක් නිසා  විනාශවිම වැළැක්වීම  අවම කිරීම පිණිස  ඊට සුදුසු ස්ථානයක් තෝරා එය තිබූ අයුරින්ම නැවත සැකසීම මෙම යළි ගොඩනැගීම ලෙස  සඳහන් කළ හැකිය. 

උදා - මාතලේ නාලන්දා ගෙඩිගේ,   ඊජිප්තුවේ අබු සිම්බල් දේවස්ථානය 



ඉතාමත් අවධාරණය කළයුතු කරුණ වන්නේ ඇතැම් ස්මාරකයන් සංරක්ෂණයේදී ඇතැම්විට මෙම ක්‍රමවේද දෙක තුනක් එකවර භාවිතා කිරිමට සිදුවීමයි. 


විචාරක දියණිය
පස්වරු 2300 පැයට 

මතු සම්බන්ධයි.

22 April 2019

දෑ අවුරුද්ද


කලකින් ගොඩවැදුනේ මේ අඩවිය                           පැත්තේ

එවුනේ නැතත් තරහත් නෑ සිත                                ඇතුලේ 

අධිකව  රාජකාරිය  අවිවේකව  ගෙවි                       ඇත්තේ  

සිතුනත් ලියන්නට වේලාවක්                                  නැත්තේ


හදිසියෙ ඇවිත් කඩිමුඩියේ කීමට                               ඇත්තේ 

දෑ වසරකුත් ගෙවුණී  ඔහු  නැතිවී  මේ                        වසරේ   

වාතාවරණය හොඳ නෑ රට හැම තැන යම                  යුද්දේ

එන්නට කියන්නෑ ඒ නිසා මේ                                   පැත්තේ 


නමුත් කිසිවෙකුත් අමතක නොකරමි                         සත්තේ

දානෙයි බණයි විසිහත විසි අට                                   ඇත්තේ 

අම්මා ඇහුවා  ළමයෝ  අර අඩවිය                             පැත්තේ

කාලයකින් ඇයි නුඹ දැන් ගියෙ                                 නැත්තේ  

                         

ඉක්මණින්ම නැවතත් ලියන්නට                                සිතුවේ

ඔහු නැති අඩුව  සැමදා මගෙ හිත                               ඇතුළේ

ඊයේ පෙරේදා හීනෙන්                                              දැක්කේ

අපිත් සමග සුහදව පිළිසඳරේ                                     යෙදුණේ්



විචාරක දියණිය ප. ව 19 30 පැයට

06 November 2018

අහිමි ප්‍රජාතන්ත්‍රවාදය


ග්‍රීසි නගරයෙ ඇතැන්ස් පාමුල
                       මහාජනගඟ රැස්වෙමින්


එදා එහි තිබු ප්‍රජාතන්ත්‍රවාදය
                       කොහිගියාදැයි අසන්


දහස් වසරක් ඉක්ම ගිය පසු
එය මිලින වූ බව දැනන්


සියුස් දෙවියනි අපට සරණක්
                       වෙනු මැනවියයි කියන්




සල්ලි කහවණු මිටි බඳින ලෝකෙක
                       දේවදූතයො පැනගිහින්


ෂා රජුන්ලා ඉඩි අමින්ලා
                       මුසෝලිනිලා රජකරන්


කුලියටත් මිනිමරන දේශෙක
                       වාසභවනක් මිලදී අරන්


යුක්තියේ දෙවගනඳ ඇත්තේ
                       ඇස්දෙකේ පටිතදකරන්




මෙවන් දේසෙක වාස කෙරුමට මතු සසරෙදිවත් නොවෙන්
දේසෙ හැටියට  වාස කෙරුමට අපට ශක්තිය              දියන්

                      

විචාරක දියණිය  ප.ව. 18.30 පැයට

28 July 2018

ගුරුවරු සහ ගුරු හොරු


ගුරුවරු උතුම්මය
අපගෙ පෙර දෙවිවරුමය 

එහෙමයි පැරණි කාලෙ ගුරුවරයා  හැඳින්වූයේ………..

සුනිල් එදිරිසිංහ මහතා කියනවා


පැන මඩ කඩිති වැව් තාවුල වැහිකාලේ
පෙන්නා මග නොමග නොවැටී යන තාලේ
සිප්කිරි පෙවූ මූසිලයන් උඩුමාලේ
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ …………………..



මෙහෙම ගුරු භවතුන් තාමත් අපේ ඉස්කෝලවල නැතිවා නෙවෙයි . ළමයින්ව යහමගට ගන්න වගේම ඔවුන්ගේ දැනුම කුසලතා වර්ධනය කරන්න ගුරුවරු ගන්න වෙහෙස අපමණයි. මා මේ  ලිපියට අද මුල පිරුවෙ මේ මාසය දෙක ඇතුළෙ ගුරුවරුන්ගේ භූමිකාව සමාජය ඉදිරියේ හෑල්ලුවට ලක්වෙන එක දරාගන්න බැරි නිසා.  මූලිකම හේතුව මමත් ගුරු පවුලකින් පැවත ඒමයි. මගේ පියාගේ මුල් රැකියාව ගුරු වෘත්තිය ,මගේ මව ගුරුවරියක්, ගුරු උපදේශකවරියක්, ලෙස සේවය කරලයි විශ්‍රාම ගියේ.  සේවයෙන් ඉවත්වන තුරු කිසිම වැඩවර්ජනයකට  තනතුරක් වෙනුවෙන් හිඟාකෑව අය නෙවෙයි. එහෙම ගුරුවරු විශාල ප්‍රමාණයක්මේ රටේ ඉන්නවා. සුළු පිරිසක් කරන මේ වැඩ නිසා සමස්ථ ගුරු පරපුර  හෑල්ලුවට ලක්වෙනවා.


ගුරුවෘත්තිය අනෙක් සේවාවලින් වෙනස්වන පළමුවන දේ මා දකින හැටියට නම් අනෙක් සේවාවන්හි සේවකයන් නිර්මාණය කරන්නේ ගුරුවරයා වීම නිසයි. හැබැයි අපේ කාලයේ ද මූසිලයන් නැතිවාම නොවෙයි.  ඔවුන් සිතන්නේ මුදල් යහමින් අතේ ගැවසෙන කොට බලය ලැබෙන කොට උගන්නපු අය කවුද කියලයි. තමා තනියම මේ මාර්ගයන් සොයාගත්බවක් තමයි ඔවුන් ප්‍රදර්ශනය කරනනේ . එහෙම අය මට පෞද්ගලිකවම මුණගැහිලා තියෙනවා .


ගුරු වෘත්තියට මොකද වුණේ ?


         සාමා අමර විකුණති බස්පොළේ කජූ
         කුමාරෝදෙ පිටු  දන්දෙති එයින් පසූ
         උගතමනා ශිල්පය පිල්කඩ නොපැතූ
         වේවැල වටා ඉකිබිඳ ඳඩුවමක් පැතූ


අනූව දහකයේ අගභාගය වන විට විසිඑක්වන සියවස පිළිගත්තට පස්සේ  ටියුෂන් කඩ දැවැන්ත ව්‍යාපාර බවට පත්වෙන්නට වැඩිකාලයක් ගතවුණේ නෑ. අත්‍යවශ්‍ය විෂයකට ටියුෂන් ගිය අපේ ළමයි  විෂයන් 8ටම ටියුෂන් යන්න පටන් ගත්තා. ඒ වගේම අමුතු ටියුෂන් සංස්කෘතියක් ඇතිවූණා.  වෛවාරන්න  ඇඳුම්වලින් සැරසිලා , මොන්ටේරෝ රථයකික් ගොඩ බැහැලා, යකඩ කටින් පොඩ්ඩ්ක් ළමයින්ව අවුස්සලා, කුණුහර්පයක් දෙකක් කියලා, තමන්ගේ පන්තිය මාතට් කරන්න මේගොල්ලො  දක්ෂ වෙද්දි, ඉස්කෝලෙ ගුරුවරයා කොයිතරම් හොඳට ඉගැන්නුවත්, නිකම්ම දෙකයි පනහට වැට්ටුවා මේ සමාජ ක්‍රමය විසින්. අදක්ෂ ගුරු භවතුන් පාසැල්වල නැතිවාම නෙවෙයි. නමුත් සමස්ථය ඊට හාත්පසින් වෙනස්.


පාසැල් පද්ධතිය දේශපාලනය වීම

මා පාසැල් යන කාලෙත් ගුරුවරු වැඩවර්ජන කරන්න පටන් ගත්තා.  නමුත් අපේ පාසලේ කිසිදු ගුරුවරයෙක් වැඩවර්ජනයක නියැලෙනවා අප දුටුවෙ නෑ. කෙසේ වෙතත්  දේශපාලන පලිගැනීම්වලට ලක්වූවන්  හරි සුන්දර  වචනයක්.  මේ වචනෙ ඉස්සරහට දාලා ලොතු පිරිසක් විවිධ තනතුරුවලට ගියා මට හොඳට මතකයි  1998 – 2008 යන කාල වකවානුවල.  විදුහල්පති ,විෂය අධ්‍යක්ෂක , කලාප අධ්‍යක්ෂක , මේ තනතුරු ඒ කාලෙ හොඳට ලබා දුන්නා . මේ දේශපාලන මඩගොහොරුවෙ අතුරු ප්‍රතිඵලයක් විදියට පාසැල් පද්ධතියක් විනාශ මුඛයට ඇදලා දාන්න පුළුවන් වුණා.  වෘත්තීය සංගම් පිහිටුවා ගත්තා. හැබැයි ගුරුවරුන්ගේ අයිතීන්වලට නෙවෙයි. තමන්ගේ බඩගෝස්තරවාදය වෙනුවෙන්, දේශපාලකයන්ගේ අතකොළු වෙච්ච මානසික නිවටයො ටිකක්, මේ රටේ ඉන්නවා . සිවුරෙන් අයුුතු ප්‍රයෝජන ගන්න, ගුරුවරුන්ගේ  වැටුපෙන් තමාගේ වගේ ජීවත්වෙන , සටන්පාට කියෙවුවට ජීවිතේට අකුරක් උගන්නලා නැති, මිනිස්සු ටිකක් තමයි ලොක්කෝ වෙලා තියෙන්නේ.



නුුසුදුසු පුද්ගලයන් ගුරුවරු වීම


අද  සමහර පාසැල්වල ළමයින්ට සිය ජීවිතේම වරද්දලා තියෙන්නේ ගුරුවරු වගයි පේන්න තියෙන්නේ.  අපයෝජනය කිරීම්,  පංති තහනම් කිරීම්,  හිරිහැර කිරීම් , මේවාට හේතුව නුසුදුසු පුද්ගලයන් කුමන හෝ ලෙසින් ගුරුවරුන් බවට පත්වීම මෙන්ම හා ඔවුන්ගේ  වගකීම් විරහිත බාවයයි .


කෙසේ වෙතත් අවසානයේ වර්තමානය වනවිට පාසැල් පද්ධතිය සහ ගුරුවරයාගේ භූමිකාව ඉතා විශාල  ඛේදවාචකයනට මුහුණ පා ඇත .



විචාරක දියණිය  රාත්‍රී  22.00   පැයට 

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }