හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

20 October 2012

පුළුවන්නම් වරෙන්කො අපේ පැත්තෙන් යන්ඩ (පළමුවැනි කොටස) – The Deadly Game ‘Ambush’ (Part One)


    අපි කොච්චර හොඳින් හිටියත් අපට හතුරුකම් කරන අය ඉන්නවා. අපි පාරේ අයින් වෙලා ගියත්, ඇඟේ හැප්පිලා ගෝරි දාගන්න එන අයත් ඉන්නවා. ඉවසලා ඉවසලා බැරිම තැන තමයි අපිත් මග රැකලා ඉඳලා උන්දලාගේ කොන්ද හරහා පොලු පාරක් දීලා පැනලා දුවන්නේ. වෙනත් වචන වලින් කියනවනම් රැක සිට පහර දීමක් කරන්නේ. හිතේ හයිය තියන අය අභියෝග කරනවා ‘පුළුවන්නම් අපේ පැත්තෙන් යන්ඩ වරෙන්’ කියලා. එහෙම එන්ඩ කියන්නෙත් ‘හොඳට සළකලා’ යවන්න නේද? :D
  (Ambush) ඇම්බුෂ් කිරීම වනචාරී ගෝත්‍ර වලින් ඉගෙනගත් ක්‍රියාවක් ලෙසයි සැලකෙන්නේ. ඒ කියන්නේ ඇම්බුෂ් කිරීම එක අතකට වනචාරී (වනචර?) වැඩක්. නමුත් අද තිබෙන ‘දියුණු’  :D ලෝකයේ ඇම්බුෂ් කිරීම වනචර වැඩක් නෙවෙයි. හමුදා ක්‍රියාන්විතයක්.
   හැබැයි එක පුද්ගලයෙක් මග රැක සිට, අතේ පොලු කෙටියක් වත් නැති, තව පුද්ගලයකුට පිහියෙන් ඇනලා, පොල්ලකින් ගහලා, මූණට ඇසිඩ් ගහලා දිවීම, ඇම්බුෂ් එකක් නෙවෙයි. බියගුළු පෞද්ගලික ප්‍රහාරයක්. අපිට බොහෝවිට එදිනෙදා සමාජයේ අසන්නට ලැබෙන්නේ ඒ වගේ පෞද්ගලික පහරදීම් පමණයි. මේ ළඟදිත් දුන්නේ ඉහලම අධිකරණ නිලධාරියකුට. (බොරු අනේ. එයා කියලා ගස්සවාගෙන, එනවා දැන් අපිව අන්දන්න. :D )
  හමුදා ඇම්බුෂ් එකක් යනු ඊට වඩා ඉතා දැඩි සැලකිල්ලකින් හා උපරිම ආරක්ෂාව, වෘත්තීය නිපුනතාව, බුද්ධි තොරතුරු, පදනම් කරගනිමින් කරන ක්‍රියාන්විතයක්. හොඳයි, අපි අද කතා කරමු මොකක්ද මේ රැක සිට පහර දීම හෙවත් ‘ඇම්බුෂ් ‘කියන්නේ කියලා. හැබැයි මුලින්ම මා එක දෙයක් ඔබට ඉතා පැහැදිළිව කිව යුතුයි. මේ ලිපියේදී මට රැකසිට පහරදීම පිලිබඳ සියළු න්‍යායික හා ප්‍රායෝගික කරුණු ඔබට කියන්නට බැහැ. ඒ නිසා සමහර කරුණු යන්තමින් හැඳින්වීමක් පමණයි කරන්නේ. මම යුද්ධ කරන්න උගන්වනවා කියලා, බලධාරීන් හිතුවොත්, ඔබට අනාගතේදී මේ බ්ලොග් අඩවිය අහිමි වනු ඇති. 
  අතීතයේදී රැකසිට පහර දීම සඳහා මහා විශාල සේනාවන් යෙදවූවා. ගමන් කිරීමට අපහසු දුර්ග මාර්ග, කඳු වැටි මැදින් වැටී ඇති පටු නිම්න, වැනි ස්ථාන තමයි ඒ සඳහා තෝරාගත්තේ. අපේ රටේ වීර සිංහලයන් සුද්දාට එරෙහිව මහා පරිමාන ඇම්බුෂ් කල බව අතීත කතාවල සඳහන් වනවා. විශේෂයෙන් කඩුගන්නාව දුර්ගය තමයි ඉංග්‍රීසි බලසේනා වලට එරෙහි රැකසිට පහරදීම් සඳහා යොදාගත්තේ. සුද්දන්ගේ හමුදා, ඒ කඳුකර මාර්ගයේ එද්දී, විශාල ගල් පෙරලීම, ගිනි ඊතල වලින් විදීම, තමයි ඒ වීර සිංහලයන් කල රැකසිට පහරදීම. ඒ කියන්නේ, යුද උපක්‍රම (Battle Tactics) ගැන, ඔවුන්ට ඒ කාලය අනුව ඉතා හොඳ අවබෝධයක් තිබුන අතර, එයින් ප්‍රායෝගිකව සාර්ථක ප්‍රතිඵල අත් කරගත් බවයි.
  ඒ නිසා ඇම්බුෂ් කිරීම අපට අලුත් දෙයක් නෙවෙයි. අලුත් වී තිබෙන්නේ තාක්ෂණය පමණයි. එමෙන්ම අද කාලයේ රැකසිට පහරදීමක්‌ සඳහා විශාල භට පිරිසක් යොදවන්නේ නැහැ. සමහර විට හත් අට දෙනෙකුටත් පුළුවන් එවැනිම කුඩා කණ්ඩායමක් හෝ විශාල පිරිසක් හෝ වැදගත් පුද්ගලයකු ගමන කරන වාහන පෙළක් ඉතා සාර්ථකව ඇම්බුෂ් කරන්නට. අපේ කොමාන්ඩෝ සහ විශේෂ බලකාය, පසුගිය යුද සමයේ, එල්.ටී.ටී.ඊ. පාලනය යටතේ තිබුණ ප්‍රදේශ වල කිලෝමීටර් 20 ක් හෝ ඊටත් වඩා දුරට ගොස් ඔවුන්ගේ නායකයන් කීප දෙනෙකුටම සාර්ථකව වැඩේ දුන්නා, රැකසිට පහරදීම මගින්. 
  මා ඇම්බුෂ් දෙකකින් අනූනවයෙන් බේරුනා, මගේ හමුදා සේවා කාලය තුළදී. පළමුවැන්න 1985 දී. එවකට මා සේවය කලේ පොළොන්නරුව – මඩකළපුව මාර්ගයේ පුනානි ප්‍රදේශයේ. මාස 4 කට පමණ පසුව මා ලද නිවාඩු දින පහ අවසන් වී, පාන්දරින්ම ආපසු පුනානි වෙත යන්න පිටත්වුනත්, බස් ප්‍රමාදය නිසා යන්නට නොහැකිවුනා. හවස්වනවිට මට පැහැදිළිව තේරුණා, ළඟම පිහිටි හමුදා කඳවුර වෙත යාම තමයි, වඩාත් ප්‍රඥාගෝචර වන්නේ කියා.
   ලොරි කබලක එල්ලුන මට, යන්තම් දිඹුලාගල මහා විහාරයේ පිහිටි කඳවුරට යාගත හැකිවුනා. එහි තිබුනේද මගේ රෙජිමේන්තුවේම කඳවුරක්. මා එහි සිට පුනානි අණදෙන නිලධාරි තුමාට ගුවන්විදුලි පණිවිඩයකින් දැන්වුවා, බස් නැති නිසා මා ප්‍රමාද වූ බවත්, ඒ නිසා දිඹුලාගල කඳවුරට පැමිණි බවත්, හෙට උදේම පුනානි වෙත එන බවත්. ඒ සඳහා අනුමැතිය ලැබුනා. (අනිවාර්යයෙන් අනුමැතිය දෙන්නට වෙනවා. මොකද, ඒ දිනවල ප්‍රධාන මාර්ගයේ මීටර් 500 න් 500 ට පමණ සෙබළුන් දෙතුන් දෙනා යොදවා මාර්ගයේ ආරක්ෂාව තහවුරු කරනවා. එයට කියන්නේ පිකට් picket කියලා. (මාර්ග ආරක්ෂක මුරය) (picquet නෙවෙයි) ඒ පිකට් එක සවස 5.00 ට පමණ ඉවත් කරනවා. මම ලොරියට නැග්ගේත් 5.30 ට විතර) පිකට් එක ඉවත් කල පසු ක්‍රියාන්විත රාජකාරි සඳහා යන විශාල සන්නද්ධ භට පිරිස් පමණක් පයින් යනවා හැර, හමුදා රථ ඒ මාර්ගයේ නොයවන්නේ, ඇම්බුෂ් වලට අසුවීමට හොඳටම ඉඩ තිබෙන නිසයි.  
   එදා රාත්‍රියේ පන්සලේ කඳවුරේ සහෝදර නිලධාරියාගෙන් ‘සියළු සත්කාර සංග්‍රහ’ විඳ, උදෙන්ම ගුවන් විදුලියෙන් කතාකර කිව්වා මාව රැගෙන යන්නට වාහනයක් එවන ලෙස. වාහනයක් එවන බව කිව්වත්, එය ප්‍රමාද වන බව පෙනී ගියා. මේ අතර, මගේ සහෝදර නිලධාරියා කිව්වා, ඔහුට රාජකාරි අවශ්‍යතාවක් තිබෙන නිසා, වැලිකන්ද කඳවුරට යන බැවින්, ඔහුගේ වාහනයෙන්, මා වැලිකන්ද දක්වා ගෙන යාහැකි බව. මම බොහොම කැමැත්තෙන් ඔහු සමග පිටත් වුනා. අපි වැලිකන්ද කඳවුරට ළඟා වෙමින් සිටියා. ඒ හරියේ පාර තනි කෙලින් පිහිටා තිබෙන්නේ.
  මේ වෙලාවේ අපි දුටුවා ඈතින් එන ජීප් රථයක්. මම අනුමාන කළා ඒ මා කැඳවාගෙන යන්නට එන ජීප් රථය කියා. මොහොතකින් මහා ‘බුම්ම්ම්ම්ම්ම්……’ හඬක් සමග ඒ ජීප් රථය පොළොවෙන් අඩි 10 ක් පමණ උඩට විසිවී ගිනි ගුලියක් වී පාරට වැටුනා. ඒ වනවිට අපේ රථයත් ඒ රථයත් අතර දුර මීටර් 500 ක් පමණ තිබුනේ. අපේ රථයේ රියදුරා ගැසූ බ්රේක් පාරට, මගේ ඔළුව රථයේ වා මුවාවේ වැදුණා. අපේ ආරක්ෂක මුරය වෙඩි තියාගෙනම එලියට පැන්නා. මමත් මගේ සහෝදර නිලධාරියාත් ආරක්ෂක මුරයේ හතර දෙනාව දෙදෙනා බැගින් යොදාගෙන, පාරේ දෙපස කැලය දිගේ වෙඩිතබමින් ඉදිරියට ගියා. නමුත් ඒ වනවිටත් ත්‍රස්තවාදීන් පැනගොස් තිබුණා.
  ඒ පැමිණ තිබුනේ මා රැගෙන යාමට පැමිණි රථයයි. එය සම්පුර්ණයෙන් කුඩුපට්ටම් වී තිබුණා. එහි සිටි සෙබළුන් පස්දෙනාගෙන් (රියැදුරු, ආරක්ෂක සෙබළු හතර දෙනා) තුන් දෙනෙකුගේ සිරුරු කැබලි වලට කැඩී තිබුණා. රියදුරු ගේ සිරුර කැඩී නොතිබුනත් මියගොස් සිටියා. එක සෙබළකු මරණාසන්න තත්වයේ සිටියා. අපි වහාම ගුවන්විදුලි මගින් තත්වය වාර්තා කල විගස, ඒ වනවිටත් සැක කටයුතු ශබ්දය ඇසුණු ආධාරක භට පිරිස් එහි ළඟා වෙමින් සිටියා.
  ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් නියමුවකු එදා වීර ක්‍රියාවක් කළා. ඔබ දන්නවානේ පාර දෙපස සෙවන සඳහා වවා තිබෙන මාර ගස්. ඔහු මේ මාර ගස් දෙකක අතු වල යන්තමින් ගැටෙමින් (පුංචි රිකිලි හෙලිකොප්ටර් තලවල වැදී කැඩී වැටුනා) ඒ ගස් දෙකක් මැදින් හෙලිකොප්ටරය මහ පාරට බෑවා. ඒ නිසා අර මරණාසන්න සෙබළා පොළොන්නරුව රෝහල වෙත ගෙනගොස්, දිවි බේරාගන්නට හැකිවුණා.
  ඒ වෙලාවේ පැමිණි ආධාරක භට පිරිස් සමග අපි අවට පරීක්ෂා කළා. එහිදී හමුවුනා තවත් බිම්බෝම්බ වයරයක්. එය දිගේ පරීක්ෂා කිරීමේදී පෙනීගිය පුපුරා නොගිය තවත් බිම්බෝම්බයක් ඇති බව. පසුව බෝම්බ නිෂ්ක්‍රිය අංශයෙන් එය නිෂ්ක්‍රිය කළා. ඒ බෝම්බය සවි කර තිබුනේ පාරේ අපේ වාහනය ගමන් කළ තීරුවේ. ඒ කියන්නේ කොයි පැත්තෙන් හෝ එන හමුදා වාහනයකට පහර දෙන්නයි බෝම්බ දෙකක් යොදා තිබුනේ. අර වාහනය අපේ වාහනයට කලින් එතනට ආවා. තවදුරටත් පරීක්ෂා කරන විට මගේ කනට වතුර බින්දුවක් වැටුණා වගේ දැනුණා. උඩ බැලූවිට දැක්කේ, බෝම්බ පිපිරීමේදී, සිරුරෙන් වෙන්ව ගොස්, ගහක රැඳුණු, සොල්දාදුවකුගේ අතකින්, තවමත් ලේ බිඳු වැටෙන බවයි.
  දෙවැනි වතාවටත් මම ඇම්බුෂ් එකකින් ගැලවුනේ 1999 දී. එවකට ක්‍රියාත්මකව තිබුණු ජය සිකුරු ක්‍රියාන්විතයේදී(Operation Jayasikuru) වවුනියාවට උතුරෙන් පිහිටි අලුතෙන් අත්පත් කරගත් ප්‍රදේශයක ආරක්ෂාව තහවුරු කරගන්නට අපේ භට පිරිස් යොදවා තිබුනා. මා ඒ භටපිරිස් යෙදවීම පරීක්ෂාකර ආපසු පැමිණෙන්නට මගේ වාහනයට ගොඩ වෙද්දී මතක් වුනා එක්තරා ස්ථානයකට යොදවා සිටි භට පිරිස් ඊට වඩා මීටර් 100 ක් පමණ පසුපසින් සිටීම වඩාත් යෝග්‍ය බව. ඒ ප්‍රදේශයේ යොදවා සිටි කණ්ඩායම් භාර නිලධාරි වරයාට එය කියන්නට මා නැවතත් වාහනයෙන් බැස ගියා. මේ අවස්ථාවේදී හමුදා වාහනයක් යනවා මා දුටුවා. විනාඩි දෙකකින් පමණ මහා පිපිරුම් හඬක් ඇසුනා. අර වාහනය රැකසිට පහරදීමකට ලක්ව තිබුණා.
  අපේ ආරක්ෂක වළල්ල තුලට රිංගා ගත් තුන් දෙනෙකුගෙන් යුත් ත්‍රස්තවාදී කණ්ඩායමක් තමයි එය කර තිබුනේ. පැන යමින් සිටි ඔවුන්, එදාම සවස, වෙනත් ප්‍රදේශයකදී අපෙන් වෙඩිකා මියගියා.
  පහරදීමට හසුවූ වාහනයේ මා හඳුනන සොල්දාදුවකු සිටියා. මා එතනට යනවිට ඔහු පණ අදිමින් සිටියා. මම වහාම බිම වාඩිවී, ඔහුගේ හිස මගේ  මගේ  උකුලේ තබාගන්න විටයි දුටුවේ, ඔහුගේ ශරීරය දෙකට කැඩී ඇති බව. එළියට ඇවිත් තිබුණ ඔහුගේ හදවත, තවමත් ගැහෙමින් තිබුණා. ඔහු මා දෙසම බලා සිටියා. මාව හඳුනාගත් බවක් පෙනුණා. මා ඔහුට වතුර පොවන්නට උත්සාහ කළත්, ඔහු මඳ සිනහවක් පෙන්වමින්, මගෙන් සදහටම සමුගත්තා. එදා නම් මට හැඬුණා.
  මේ කතාවේ ඊළඟ කොටසට යන්න කලින්, රැකසිට පහරදීමකදී පාවිච්චි කරන බෝම්බ ගැන, කෙටි හැඳින්වීමක් කරන්නට අදහස් කරනවා. ඒ හැඳින්වීම, රැකසිට පහරදීම පිළිබඳ ඔබේ අවබෝධය වර්ධනය කරනු ඇතැයි සිතනවා.
ක්ලේමෝ බෝම්බ Claymore Mines
රැකසිට පහරදීම් වලදී වැඩිපුරම භාවිත කෙරෙන බෝම්බ වර්ගය මෙයයි. ඉතාම භයානක ප්‍රතිඵල දෙන බෝම්බයක්. ඔබෙන් සෑහෙන පිරිසක් මේ බෝම්බ ගැන අහලා තියනවාට සැකයක් නැහැ. ඒ අපේ රටේ පහුගිය යුද සමයේදී අහන්නට දකින්නට ලැබුණු ක්ලේමෝ බෝම්බ ප්‍රහාර නිසා. මේ බෝම්බ වයර් මගින් සම්බන්ධ දුරස්ථ පාලන ක්‍රමයකිනුයි පුපුරවන්නේ. වයර් රහිත දුරස්ථ පාලක දැන් තිබෙනවා. මේ බෝම්බය පිළිබඳව පින්තුර වලින් තොරතුරු කියන්නම්.
  ක්ලේමෝ බෝම්බය බැලූ බැල්මට හරියට ප්ලාස්ටික් පෙට්ටියක් වගෙයි. පිළිගත් ප්‍රමිතීන්ට අනුව හදන ලද ක්ලේමෝ බෝම්බයක් අඟල් 10 ක්‌ පමණ දිගයි. අඟල් 6 ක්‌ පමණ උසයි. අඟල් 2  1/2 ක්‌ පමණ ඝනකමයි. මේ පෙට්ටිය ඇතුලේ විදුලි බලයෙන් පත්තුවන ඩෙටනේටරයක් (සමහරවිට දෙකක්) අධිබල වෙඩි බෙහෙත් සහ යකඩ බෝල අතිවිශාල ගණනක් අඩංගු කරලා තියනවා. සාමාන්‍ය විදුලිපන්දම් බැටරි (Size D 1.5 V) දෙකක බලබලයෙන් පවා පුපුරා යන ඩෙටනේටර් තිබෙනවා. පිපුරුම් උපකරණයේ සිට බෝම්බය දක්වා වයරයක් ඇද තිබෙනවා. බැටරි තිබෙන්නේ පිපුරුම් උපකරණය ඇතුලේ.
  ඒ කාලේ එල්.ටී.ටී.ඊ. සංවිධානය අඩි 3 ක්‌ පමණ දිග, අඩි දෙකක් පමණ උස, අඟල් 4 ක්‌ පමණ ඝනකම ක්ලේමෝ දේශීයව නිපදවා තිබුණා. නමුත් ඒවා දුර ගෙනියන්න අමාරුයි. කැඩෙන්නට ඉඩ තිබෙනවා. දැන් ඉතින් මට හෝ ගාලා ප්‍රශ්න එයි කියා හිතෙන නිසා තමයි මේ පින්තුර පෙන්වන්නේ. මේ පින්තුරවල දැක්වෙන තොරතුරු කියවීමෙන් ඔබට බොහෝ දේවල් දැනගත හැකියි. මෙහි දැක්වෙන්නේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව (මතක තබාගන්න ලෝකයේ සියලුම ආකාරයේ තුවක්කු, පතරොම්, බෝම්බ, යුද ටැංකි, යුද ගුවන්යානා, මිසයිල, සබ්මැරීන්, ආදී මෙකී නොකී සියල්ලටම අදාළ ජාත්‍යන්තර ප්‍රමිතීන් තිබෙනවා) නිපදවා ඇති ක්ලේමෝ බෝම්බයක්. පින්තුර මත ක්ලික් කර විශාල කරගෙන බලන්න.
  ක්ලේමෝ බෝම්බයක් පොළොවේ සවි කලාම එය පරිසරය තුල සැඟවිය යුතුයි. නැත්නම් සතුරාට එය නිරීක්ෂණය විය හැකියි. බොහෝවිට ක්ලේමෝ බෝම්බ අටවන්නේ විශාල් ගස් යට එහි කඳට තබා, හුඹස් වලට හේත්තු කර, ලොකු ගල් වලට හේත්තු කර, හෝ එවැනි ආවරණයක් තබාගෙන. එයට හේතුව ක්ලේමෝ බෝම්බය පිපිරීමේදී පසුපසට විහිදෙන කෑලි වලින් එය පුපුරවන්නාටද හානි වියහැකි නිසා.
  එසේම පිපිරුම් උපකරණයේ සිට බෝම්බය දක්වා විදුලිය ගෙන යන වයරයද සඟවා තිබිය යුතුයි. ඒ සඳහා සමහරවිට පොළොවේ අඟලක් පමණ ගැඹුරට කාණුවක් කපා වයරය එහි දමා ඉතා සුක්ෂ්ම ලෙස කාණුව වසා තබනවා. හොඳ වයරයක් නම ඇළක්, ඔයක්, වැනි දිය පහරක් යටින් වුනත් යෙදවිය හැකියි සැඩ පහර නැත්නම්.
බිම් බෝම්බ – Land Mines
 අවශ්‍ය වෙලාවට පුපුරවා හැරීම සඳහා මාර්ගයක වලක් හාරා අටවා තබන බෝම්බ තමයි බිම්බෝම්බ. හැබැයි මේ ක්‍රමය දැන් බොහොම ප්‍රාථමික ප්‍රහාරක ක්‍රමයක්. මාර්ගය තිබෙන්නේ තමාට අයිති නැති ප්‍රදේශයක නම්, මාර්ගය පරීක්ෂා කරන මුර සංචාර වලදී බෝම්බය අහුවෙන්න පුලුවන්. මොකද අනිවාර්යයෙන්ම බෝම්බයේ සිට පුපුරවන්නා සිටින තැන දක්වා වයරයකින් බලය සැපයිය යුතුයි. නැත්නම් බෝම්බයේ සිට එන වයරය පොලොව මතුපිටට එන තැනට, රැහැන් රහිත දුරස්ථ පාලක ක්‍රමයක් හෝ යෙදවිය යුතුයි. අනෙක තමන්ට අයිති නැති ප්‍රදේශයක මේ බෝම්බ ඇටවීම ඉස්සර තරම් ලෙහෙසි නැහැ දැන්. නිරීක්ෂණ ක්‍රම දියුණු නිසා. ඊට වඩා ක්ලේමෝ බෝම්බය ප්‍රතිඵලදායකයි. අනවශ්යනම් ආපහු අරන් එන්නත් පුළුවන්. පින්තුරයක් නොදෙන්නේ එතරම් වැදගත් නොවන නිසයි.
යුද ටැංකි නාශක බෝම්බ
Anti Tank Mines
 ජරාම ජාතියක්. අහු වුනොත් ආයේ ගැලවීමක් නෑ (කවුරු වගේද? අනේ මම දන්නෑ :D ) යුද ටැංකි නාශක බෝම්බ ක්‍රියාත්මක වන්නේ, ඒ මත යෙදවෙන පීඩනය අනුව ක්‍රියාත්මක වන දුන්නක් (sprin) මගින්, බලය සපයන පරිපථය සම්පුර්ණ කිරීමෙනුයි. සැහැල්ලු වාහනයක සිට යුද ටැංකියක් වැනි බර වැඩි වාහනයක් දක්වා වෙනස්වෙන බර අනුව පත්තුවිය හැකි ආකාරයට සකස් කල හැකියි. ඒ කියන්නේ යුද ටැංකියක් සඳහා සවිකළ බෝම්බයක් උඩින් කාර් එකක් ගියාට එය පත්තු වෙන්නේ නැහැ. හැබැයි මෙය වලලා අත්හැර දමන්න බැහැ. එක්කෝ එයින් නියම ප්‍රයෝජනය ගතයුතුයි. නැත්නම් ගලවා ඉවත් කරගත යුතුයි. රැකසිට පහරදීම, තමන්ගේ ප්‍රදේශයට රිංගන්න එන සතුරන්ට එල්ල කරන එකක් නම්, එම පහරදීම නොකළොත්, අනිවාර්යයෙන් මෙවැනි බෝම්බ ඉවත් කලයුතුයි. නැත්නම් තමන්ගේ වාහනයක් ඊට අසුවිය හැකියි. සතුරාගේ ප්‍රදේශයේ දැම්මානම් ‘ඔන්න ඔහේ උඹම කාපන්’ කියලා ආපහු එන්න පුළුවන්, හැබැයි තමන්ගේ සිතියමක ඒ ස්ථානය ලකුණු කරගතයුතුයි. පසු කාලයක ඒ පැත්ත අල්ලා ගත්තොත්, එතනින් යන්න පෙර පරීක්ෂාකර ආරක්ෂාව තහවුරු කරගැනීම සඳහා.
  යුද ටැංකි නාශක බෝම්බයක ක්‍රියාකාරිත්වය විස්තර කිරීම අනවශ්‍යයි කියා සිතනවා. ඒ නිසා පින්තුරයක් විතරයි පෙන්වන්නේ. මෙහි දැක්වෙන්නේ ඔබට පෙන්වීම සඳහා මතුපිට පස් ඉවත් කර ඇති බෝම්බයක්. පස්වලින් වැසීගිය පසු (තාර පාරක නම් තාර දාලාත් තියන්න පුළුවන්) මෙතන බෝම්බයක් තියනවා කියලා හොයාගන්න බැහැ. ඒ සඳහා බෝම්බ සොයන විශේෂ උපකරණ අවශ්‍යයි. 
   යුද ටැංකි නාශක සැහැල්ලු අවි
   Light Anti Tank Weapons
  වාහන වලට රැකසිට පහර දීම සඳහා තමයි මේ අවි පාවිච්චි කරන්නේ. මෙහිදී රොකට් බලයෙන් ඇදීයන බෝම්බයක් මගින් තමයි ප්‍රහාරය එල්ලවන්නේ. මේ ප්‍රහාරයත් ඉතා මාරාන්තිකයි. මේ බෝම්බයෙන් සෙල්සියස් අංශක 1500 කටත් වඩා වැඩි උෂ්ණත්වයක් ඇති කරන නිසා, යුද ටැංකි වල ඝන තහඩු උණුවෙනවා. ප්‍රහාරයට ලක්වූ යුද ටැංකියක ඇතුලේ ඉන්න අය, ටින් එකක් තුළ දමා රෝස්ට් කළා මෙන් වෙනවා. හම සිරුරෙන් ඉවත් වෙනවා.
  මේවා වර්ග කීපයක් තිබුනත් සාමාන්‍ය හැඳින්වීමක් විතරයි මේ ලිපියේදී කරන්නේ. මේ පින්තුරය මගින් ඔබට RPG 7 අවිය ගැන අවබෝධයක් ලැබෙනු ඇති. මේ අඩවියේ මුල් කොටස්වලදී අවි ආයුධ වල කොටස් ගැන කියවා ඇති ඔබට, මේ රුපය අවබෝධ කරගැනීම අපහසු නොවනු ඇති. 
  යුද ටැංකි නාශක අනෙක් අවිය වන්නේ රොකට් ලෝන්චරයයි. රොකට් ලෝන්චර් වර්ග කීපයක් තියනවා. නමුත් මෙතනට අදාළ නැහැ. මේ පිතුරයේ පෙනෙන්නේ රොකට් ලෝන්චරයක සාමාන්ය බාහිර පෙනුම. මේ අවියෙනුත් RPG 7 අවියේ මෙන්ම රොකට්ටුවකින් රැගෙන යන බෝම්බයක් තමයි පිටවෙන්නේ. නමුත් මෙහි හානිය ඊට වඩා බොහොම බරපතලයි.
  රොකට් ලෝන්චර සමහරක් සාදා තිබෙන්නේ එක වරක් පාවිච්චි කර ඉවත දැමීමටයි. ඒ කියන්නේ එහි සියළු කොටස් කම්හලේදී සවිකර එවන්නේ. බොහෝවිට වාහන හෝ යුද ටැංකි වෙත හදිසියේ රැකසිට පහරදීමක්‌ කරන්නේ නම් ඒ සඳහා යොදාගන්නේ එක වරක් පාවිච්චි කර ඉවත ලන වර්ගයේ රොකට් ලෝන්චර්. මේ පින්තුරයෙන් පෙනෙන්නේ රොකට් ලෝන්චරයක් ක්‍රියාත්මක වන ආකාරයයි.
හොඳයි, මේ ඉතා කෙටි ලිපියෙන්  :D :D :D ඔබ අවබෝධය ලබාගත්තේ, රැකසිට පහරදීම සහ ඒ සඳහා යොදාගන්න ප්‍රධාන අවි සහ බෝම්බ පිළිබඳවයි. ඊළඟ ලිපියේදී, ඔබට සිදුවෙනවා, මේවා පාවිච්චි කරලා, රැකසිට පහරදීමක්‌ කරන්න. මතක තබාගන්න රැකසිට පහරදීම වැරදුනොත් භයානක සෙල්ලමක්.

No comments :

Post a Comment

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }