හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

24 October 2012

පුළුවන්නම් වරෙන්කො අපේ පැත්තෙන් යන්ඩ (දෙවැනි කොටස) – The Deadly Game ‘Ambush’ (Part Two)


  බලු කිරි කාරයන්ගේ බලු වැඩ නිසා මේ ලිපිය සකස් කිරීම පසෙක තබා, ‘බලුකිරි හෙවත් ජරා ඔන්ලයින් සමාජය’ ගැන කෙටි ලිපියක් ලියන්න වුණා. ඒ පිලිබඳ අදහස් හා උපදෙස් ලබාදුන් ඔබ සියළු දෙනාට මුලින්ම හද පත්ලෙන්ම ස්තුතිවන්ත වෙනවා.
  
  පසුගිය ලිපියෙන් අපි කතා කලේ රැකසිට පහරදීමකදී විශේෂයෙන් ප්‍රයෝජනයට ගන්නා බෝම්බ සහ ආයුධ පිළිබඳවයි. සමහරවිට ඔබ හිතන්න ඉඩ තිබෙනවා එහෙනම් තුවක්කු පාවිච්චි කරන්නේ නැද්ද කියා. ඒවා පාවිච්චි නොකර කොහොමද රැකසිට පහර දෙන්නේ. ඒවා අනිවාර්යයෙන් පාවිච්චි කරනවා. T 56 වැනි සාමාන්‍ය තුවක්කුවල සිට T 56 සැහැල්ලු යාන්ත්‍රික තුවක්කු, MPMG  (Medium Purpose Machine Gun) වැනි ප්‍රබල මැෂින් තුවක්කු, දක්වා ඒ සඳහා යොදාගන්නවා. ඒ එක් එක් තුවක්කු යොදා ගැනීමේදී සහ ස්ථානගත කිරීමේදී විශේෂ සැලැස්මකට අනුවයි යොදන්නේ.
රැකසිට පහරදීමක අරමුණ කුමක්ද?
  පිළිතුර ඔබේ සාමාන්‍ය දැනුම තුළ තිබෙනවා. ඔබ ඔබේ සතුරෙකුට රැකසිට පහර දෙන්නේ ඇයි? ඔහුගෙන් ඔබට තියන කිසියම් තර්ජනයක්, අභියෝගයක් ඇත්නම් එය නැති කරගැනීම සඳහා. සතුරාගේ වැඩ පිළිවෙල සහ අනාගත සැළසුම් හෝ දැනට කරගෙන යන සැළසුම් අවුල් කිරීමට. සතුරා භීතියට පත්කර ඔහුගේ චිත්ත ධෛර්යය පහත හෙලීමට. සතුරා ඔබේ ප්‍රදේශයට පැමිණීම හැකිතරම් අඩු කිරීමට හෝ සම්පුර්ණයෙන් වැළක්වීමට.
  ඔබේ සහෝදරියට බැල්ම දාන්න ඔබේ ගෙවල් පැත්තේ කැරකෙන, ඔබට අල්ලන්නේ නැති මුණක් සහිත සතුරාට, එසේ නැතහොත්, දුකසේ ගොඩනගාගත් ඔබේ ප්‍රේමයට අකුල් හෙලන දුෂ්ඨයාට, පොඩි ඇම්බුෂ් එකක් දෙන්නේ ඉහත සඳහන් අරමුණු ඉටුකර ගන්නයි.
  ඉතින් යුද්ධයේදී වෙන්නෙත් මේ ටිකම තමයි. ඔබ ඔබේ සතුරාට පහරදීමට පිහියක්, පොල්ලක්, බයිසිකල් චේන් එකක්, ඇසිඩ්, (සමහරවිට කක්කා :D :D ) පාවිච්චි කරනවා. හමුදාව යුද්ධායුධ පාවිච්චි කරනවා. ඔබ තනිවම හෝ හොඳම මිතුරකු හෝ මිතුරන් කීප දෙනෙකු සමග ක්‍රියාන්විතය කරනවා. හමුදාව කුඩා කණ්ඩායමක සිට විශාල භට පිරිසක් දක්වා බලයක් යොදවනවා. ඉතින් බලන්න ඇම්බුෂ් එක අපේ ජීවිතයට කොයිතරම් සමීපද කියා.
ඉතින් කියන්නකෝ ඇම්බුෂ් එක කරන හැටි
   හ්ම්ම්ම්ම්……… ඔන්න ඔතනදි තමයි මම අමාරුවේ වැටෙන්නේ. මොකද මේක ප්‍රවෘත්තියක් නේ. එහෙමත් නැත්නම් කතාවක් නේ. ඒ මදිවට මේක යුද්ධ කිරීම පිලිබඳ කතාවක්නේ. ප්‍රවෘත්ති වාර්තාකරණය පිලිබඳ සුප්‍රසිද්ධ කියමනක් තියනවා ඔබ අසා ඇති.
  මොකක්ද ඒ.
‘ප්‍රවෘත්තියක් හරියට ලස්සන තරුණියකගේ කොට ගවුමක් වගේ වෙන්න ඕනේ. බලන්නාගේ අවධානය දිනාගැනීමට තරම් කෙටි විය යුතුයි. අවශ්‍ය දේ ආවරණය වන තරමට දිග වියයුතුයි’.
  ඉතින් ඔන්න ඔය උපදේශය අනුව බොහොම පරෙස්සමෙන් වචන තෝරාගෙන, අවශ්‍ය අවම තොරතුරු ප්‍රමාණය ලියන එක මටනම් හිතෙන්නේ දැලි පිහියෙන් කිරි කනවා වගේ කරන්න නෙවෙයි. තමන්ව නොකැපී ගොළු බෙල්ලා දැලිපිහි තලයේ ගමන් කරනවා වගේ කරන්නයි. හොඳයි එහෙම කරන්න බලන්නම්.
රැකසිට පහරදීමක පියවර අනුපිළිවෙල
1. තොරතුරු සොයා බැලීම.
  සැළසුම් සහිත රැකසිට පහරදීමක්‌ සඳහා අවශ්‍ය මුලික කරුණක් වන්නේ තොරතුරු සොයා බැලීමයි. දැන් අර ඔබේ සහෝදරියට බැල්ම හෙලන ‘භූතයා’ ගැන තොරතුරු හොයාගන්නේ කොහොමද? ඔබේ යාලුවන්ට කියනවා මෙන්න මෙහෙම එකෙක් ඉන්නවා, ඌ යන එන තැන් මට කියපල්ලා, කියලා. පුලුවන්නම්, ඒ භුතයාගේ පින්තුරයක් ඔබේ ජංගම දුරකතනයෙන් අරගෙන, MMS මගින් යාලුවන්ට යවනවා මෙන්න භූතයා කියලා. ඔබත් මහන්සිවී තොරතුරු හොයනවා, ඔහුගේ චර්යා රටාව පිළිබඳව. එවිට හොයාගන්නට ලැබෙනවා, ඒ පුද්ගලයා උදේට ගෙදරින් එලියට බැස්ස වෙලාවේ සිට හවස ගෙදර එනතුරු යන එන තැන්, ඒ තැන් වලට යන එන වෙලාව, ආදිය. ඒ අනුව ඔබට පුළුවන් භූතයා ඇම්බුෂ් කිරීමේ සැලැස්ම හදන්න.
  යුධයේදී වෙන්නෙත් විමර්ශන මුර සංචාර, (Reconnaissance Patrol) නිරීක්ෂණ ස්ථාන, (Observation Points) (උස ගසක මුදුනේ, උස කන්දක් මුදුනේ, දුරදක්නයක් සහිත එක්කෙනෙක් හෝ දෙන්නෙක් යෙදවීමෙන් දැකගන්න පුළුවන්, ඉදිරි භුමියේ සතුරාගේ හැසිරීම්. සමහර ස්නයිපර්ලාත් මේ තොරතුරු ලබා දෙනවා) බුද්ධි තොරතුරු, (Military Intelligence Sources) ආදිය මගින් තමයි සතුරාගේ නිශ්චිත චර්යා (Routine Activities) (මේ වෙලාවට එනවා, මේ වෙලාවට යනවා, මෙපමණ පිරිසක් ඉන්නවා, මෙන්න මේවගේ ආයුධ අතේ තියනවා, මෙන්න මේ වගේ ඇඳුම් ඇඳලා ඉන්නේ, වැනි) පිළිබඳව දැනගන්නේ.
2. ස්ථානය තෝරා ගැනීම
  ඔබ අර භුතයාව ඇම්බුෂ් කරන්න තෝරාගන්නේ මොනවගේ තැනක්ද? වඩාත්ම හොඳ කාගේවත් ඇස නොගැටෙන තැනක්නේ. මිනිහා හවසට වැඩ ඇරිලා එන පාරේ සොහොන් පිටියක් එහෙම තියනවනම්, ඔබේ හිත හයියනම් තනිවම හෝ, නැත්නම් තවත් යාලුවෙක් එක්ක හෝ, සොහොන් පිටියේ හැංගිලා ඉඳලා ඇම්බුෂ් කිරීම නේද වඩා සුදුසු. ඉතින් ඒ වගේම තමයි සතුරා බලාපොරොත්තු නොවන තැනක් තෝරාගෙන තමයි හමුදා ඇම්බුෂ් එක යොදවන්නේ.
3. ස්ථානගතවීම, ප්‍රහාරය, ආපසු පැමිණීම
  දැන් ඔබ අර සොහොන් පිටියට යන්නේ කොහොමද? රටටම පෙනෙන්න නෙවෙයිනේ. කළුවර වැටුනට පස්සේ තාප්පෙන් පැනලා හෝ ගම්බද සොහොන් පිටියක් නම් වටපිට සෝදිසි කර හෙමීට රිංගා ගැනීමෙන් ස්ථානගත වෙනවා.  යුද්ධයේදී කරන්නේ, සිතියමක් සකස් කරනවා, මෙන්න මේ පාරෙන්, මෙන්න මේ වෙලාවට මෙන්න මේ ස්ථානයට, මෙන්න මේ ක්‍රමයට (පයින්/වාහනයෙන්/ඒ දෙකෙන්ම, ආදී වශයෙන්) යනවා කියලා.
  ඊට පස්සේ……… ඉතින් කියන්න ඔබේ ක්‍රමය. හැම වෙලේම මම කියනකල් ඉන්න එපා. හිතන්න හිතන්න, මොකක්ද ඊට පස්සේ ඔබ කරන්නේ? හොල්මනක්වත් කතාකරයිදෝ කියලා චූ යන තරම් බයේ ඉන්නවද, වරෙන් පුතෝ, දෙන්නම් අද ……යන්න කියලා සුදානම් වෙන එකද? හොඳයි මෙහෙම හිතන්න. ක්‍රියාන්විතය සඳහා අවශ්‍ය චිත්ත ධෛර්යය ලබාගැනීම සඳහා, ඔබ ඔබේ යාලුවත් එක්ක යන්නේ අරක්කු බෝතලේකුත් අරගෙන කියලා හිතන්න. ඔබ දෙදෙනාට පදම වැඩි වුනොත්, ආව කාරණය අමතක වෙලා, සොහොන් පිටියේ සුපර් ස්ටාර් පටන් ගත්තොත්, මොකද වෙන්නේ. ඒ වගේම පදම වැඩිවීම නිසා අර භුතය දැක්කම, ‘මල්ලී මට සමාවෙයන්, මම තරහ නෑ. උඹ හෙටම අපේ ගෙදර වරෙන්. මම අපේ නංගිව උඹට දෙනවා’ කියලා බදා ගන්නත් ඉඩ තියනවා නේද ඇම්බුෂ් එක පැත්තක දාලා. ඒ වගේම භූතයා ඉන්නෙත් හැම වෙලාවේම සෝදිසියෙන් කියලා හිතන්න. ඔබ දෙදෙනා සොහොන් පිටියේ කළුවරේ ඉන්න ගමන් සිගරට් එකක් පත්තු කරනවා. හොඳ සෝදිසියෙන් එන භුතයාට ඒ එලිය පෙනෙන්න ඉඩ තියනවා. සිගරට් ගඳ දැනෙන්න ඉඩ තියනවා. මිනිහා වැඩ කාරයෙක් නම් හෙමීට වටෙන් කැරකිලා ඇවිත් ඔබට වැඩක් දෙනවා. 
  දැන් තේරෙනවා නේද ඇම්බුෂ් එකකදී කොපමණ ඉහළ විනයක් සහ හැසිරීමක් තියෙන්න ඕනෙද කියලා. එක්කෙනෙකුට කැස්සක්, කිඹුහුමක්, ගියොත් මුළු ඇම්බුෂ් එකම ඉවරයි. මොකද අර භූතයා වගේ නෙවෙයි, යුද පුහුණුව හොඳින් ලබපු, ආයුධ වලින් සන්නද්ධ සතුරු පිරිසකට එරෙහිවයි මේ ඇම්බුෂ් එක කරන්නේ. එකයි මම මාතෘකාවේ දැම්මේ The Deadly Game ‘Ambush’ කියලා.
 ඇම්බුෂ් එකක් ස්ථාන ගත කලාට පසු රැකිය යුතු ඉහළම විනය තමයි සෙලවීමෙන් හෝ ශබ්ද නැගීමෙන් තොරව සිටීම. (මම පුහුණුව ලබන කාලේ අඹේවෙල පැත්තේ තමයි ඇම්බුෂ් අභ්‍යාසය තිබුනේ. මහ රෑ මර හීතලේ ඇම්බුෂ් එක දාගෙන ඉන්නවා. අපේ උපදේශකලා තමයි සතුරන් ලෙස එන්නේ. මගේ යාලුවෙක් ඇම්බුෂ් එකේ කපලා බුදි. ඒ මදිවට මේකා කොටයක් ඉරන්න පටන්ගත්තා, අඹේවෙලට නෙවෙයි මධ්‍යම සහ ඌව පළාත් දෙකටම ඇහෙන්න. කීප සැරයක් කිව්වා ‘යකෝ ගොරවන්නැතුව බුදියගන්’ කියලා. ඇහුවද පින්වත්නි, නෑ පින්වත්නි, ඉතින් අපේ පින්වත් උපදේශක පිරිසට මේ කොට ඉරීම ඇහුනා පින්වත්නි. අනේ උන්වහන්සේලා අප වෙත මහා කරුණාවෙන් වැඩම කර වදාරා, ඒ මහරෑ අපිව වඩම්මාගෙන ගිහින්, අයිස් වගේ සීතල වතුර වලකට වැඩම කෙරෙව්වා පින්වත්නි)  ඒ වගේම ඇම්බුෂ් එක ස්ථානගත කල පසු පණිවිඩ හුවමාරු යන්ත්‍රවල ස්පීකර් ක්‍රියාවිරහිත කොට හෙඩ්ෆෝන් දාගන්නවා. නමුත් කතා කරන්නේ නැහැ. අහගෙන ඉන්නවා පමණයි. අවශ්‍ය නැත්නම් සම්පුර්ණයෙන් ඕෆ් කරනවා.
  ප්‍රහාරය තුළ තිබිය යුතු වැදගත්ම ලක්ෂණය තමයි විශ්මයජනක බව සහ වේගවත් බව. (Surprise & Speed) ඔබ සොහොනේ රැකසිට, ‘අඩෝ……. උඹ අපේ නංගිට ලයින් දානවා නේද’ කියලා කෑ ගහගෙන ඉස්සරහට ගියොත්, භූතයා පැනලා දුවනවා. නැත්නම් මිනිහා ඔබට වඩා ඉස්සර වෙලා ප්‍රති ප්‍රහාරයක් දෙනවා. ඒ නිසා සතුරාට හිතාගන්නවත් බැරි තරම් පුදුම හිතෙන ආකාරයට, ප්‍රහාරය එල්ල විය යුතු අතර, මහා ජලාශයක බැම්ම කැඩුනා වගේ, හෝ ගාලා, වෙඩි වරුසා, ක්ලේමෝ ප්‍රහාර, ආර්.පී.ජී. ප්‍රහාර, රොකට් ලෝන්චර් ප්‍රහාර, එල්ල විය යුතුයි. ඉලක්කය විනාශවී කුඩුපට්ටම් වී යන විදිහට එල්ල විය යුතුයි. එක සතුරකුවත් ඉතුරු නොවිය යුතුයි. බේරී පැනයන සියළු දෙනාද විනාශ කළයුතුයි.
  දැන් මට බනින්න එපා, මම මහා තිරිසන් කතාවක් කියන්නේ කියලා. මම කියන්නේ ඇම්බුෂ් එකේදී කරන දෙයයි. එතැනදී මට ඉඩක් නැහැ මිනිස්කම ගැන බලන්න. එහෙම බලන්න ගියොත් මැරෙන්න වෙන්නේ මටයි. ඇයි? සතුරා මට වඩා ඉස්සර වුනොත් මොකද වෙන්නේ?
  ඇම්බුෂ් එකේ සියලුම කොටස් වලට අදාළ අය, තම තමන්ගේ කාර්ය භාරය අකුරටම ඉටුකළ යුතුයි. තමන් අතින් සිදුවන වරදක් නිසා තමන්ගේ පමණක් නොව තම පිරිසේ සියලු දෙනාගේම ජීවිත අහිමි වියහැකියි. හිතන්න ඔබේ අර භූතයා ටිකක් වැඩ කාරයෙක් කියා. එවිට ඔබට තනිවම ඇම්බුෂ් එක කරන්න බැහැ. අධාරක භටපිරිස් අවශ්‍යයි. කවුද අධාරක භට පිරිස්? ඔබේ යාලු මිත්රයෝනේ. කොහොමද ඒ අයත් ආධාර කරගෙන භුතයට වැඩේ දෙන්නේ. එක යාළුවෙක්ව රඳවනවා, භූතයා එන පාරේ, භුතයාට නොපෙනෙන විදිහට. එයාට අයිති කාර්යය තමයි ජංගම දුරකථනයෙන්/ටෝච් එළියකින්/දවල් කාලයේ කරනවානම් අතින් දෙන සංඥාවකින්, වැනි ක්‍රමයකින් ඔබට දැනුම් දීම, ‘ඔන්න බඩු එනවා’ කියලා.  දැන් ඔබට තිබෙන්නේ විශ්මයජනක බව සහ වේගය යොදාගනිමින් ප්‍රහාරය එල්ල කිරීමයි. හොඳයි, භූතයා ප්‍රහාරය කාගෙන දිගටම පාරේ දුවගෙන ගියොත්? අපරාදේ නේද සැලැස්ම. ඔන්න එතැනදී තව යාලුවෙක් අවශ්‍ය වෙනවා. එයා ඔබ වගේම හැංගිලා ඉඳලා දෙවැනි ප්‍රහාරය එල්ල කරනවා. එයා ඉන්නේ ඔබට වඩා මීටර් 10 ක් – 15 ක් ඈතින්. ඒ නිසා ඔබෙන් ගැලවුනත් භුතයාට ඔහුගෙන් ගැලවීමක් නැහැ. මේ ක්‍රමය වඩාත් විධිමත්ව, ඉහල මට්ටමේ පුහුණුව සහ නිරවද්‍යතාව පදනම් කරගනිමින් තමයි හමුදා ඇම්බුෂ් එකකදී කරන්නේ.
  දැන් ප්‍රහාරය අවසන්. මොකද කලයුත්තේ. සොහොන් පිටිය ළඟ පාරේ ඉඳං ‘යාහ්…… හූ’ කියලා මහා හඬින් කෑ ගසමින්, ජයග්‍රහණය සමරනවාද? භුතයාගේ ආධාරක භට පිරිසක් ඇවිත් ඔබට වැඩක් දෙන්න කලින් මාරු වෙනවද? ශරීරයට වඩාත් ගුණදායක වන්නේ මාරුවීමයි. කොහොමද මාරු වෙන්නේ? මතක තියාගන්න. මම කිව්වනේ භුතයාත් වැඩ කාරයෙක් විය හැකියි කියලා. භුතයාත් ඔහුගේ යාලුවන්ට කියලා තිබුනානම්, ඔබව කොහේදී හරි දැක්කොත් ඇම්බුෂ් කරන්න කියලා, ඔබ, සොහොන් පිටියට ඔබේ ගෙදර සිට ගිය පාරෙන්ම ආපසු එන එක, එතරම් ගුණ දායක නැහැ. මොකද, ඔබ යනවා බලා සිටි භුතයාගේ යාළුවො, ‘හරි මල්ලි, උඹ ගියා වගේ මේ පාරෙන්ම ආපහු එන්න ඕනනේ, වරෙන්කො එහෙනම්’ කියලා බලාගෙන ඉන්න පුළුවන්. ඔබේ සැලැස්මේ තිබිය යුතුයි ඇම්බුෂ් එක දෙන තැනට යන පාර සහ, ඇම්බුෂ් එකෙන් පසු ආපහු එන පාර කුමක්ද කියා. ඒ නිසා හමුදා ඇම්බුෂ් එකකදී ඒ සඳහා යන පාර සහ එන පාර පළමුව තීරණය කරනවා. අපි ඇම්බුෂ් එකට යනවා සතුරාගේ ඇස ගැටුනොත්, ඔහුට පුළුවන් අපි ආපසු එන පාරේ රැකසිට, අපිව ඇම්බුෂ් කරන්න. පේනවා නේද? The Deadly Game ‘Ambush’
  මා දන්නවා ඔබ මෙපමණ දුර මේ ලිපිය කියවාගෙන ආවත්, ‘හාපෝ………. අද පින්තුර නැහැනේ, මේ යකා බණ නේ කියන්නේ’ කියලා හිතන බව. ඔන්න ගෙනාවා ඔබව පින්තුරය වෙත. මේ පින්තුරය පරිගණකය මගින් අඳින්න මට ටිකක් වෙහෙස වෙන්න සිදුවුනා. හොඳින් මතක තබාගන්න, චිත්‍ර ඇඳීමේ සහ සංස්කරණය කිරීමේ මෘදුකාංග පිළිබඳව, කිසිදු පුහුණුවක් මා ලබා නැහැ. තනියම ඉගෙනගෙනයි මේ කරන්නේ. ඒ නිසා මේ චිත්‍රයේ අඩුපාඩු ඇති. මේ රූපයෙන් පෙන්වන්නේ වනාන්තර ප්‍රදේශයක් හරහා වැටී ඇති මාර්ගයක් බව උපකල්පනය කරන්න. මෙහි පෙන්වන සොල්දාදුවන් ඉන්නේ විවෘත භූමියක නොව, හොඳින් ආවරණයවී බවද සලකන්න. ඔබට පැහැදිළිව දැකබලා ගැනීමටයි මෙහෙම ඇඳ තිබෙන්නේ.
  මේ රූපයෙන් පෙන්වන්නේ සාමාන්‍යයෙන් ඉතා සරලව සහ ප්‍රාථමික මට්ටමෙන් යොදවන ඇම්බුෂ් එකක්. මීට වඩා ඉතා සංකීර්ණ ඇම්බුෂ් ක්‍රම තිබෙනවා. ඒවා කියන්න ගියොත්‘ගොලුබෙල්ලා දැලි පිහියට කැපෙන්න ඉඩ තිබෙනවා’ :D :D :D  ඒ නිසා ලද දෙයින් සතුටු වෙමු.  මේ රූපය මත ක්ලික් කර, එය විශාල කරගෙන බලනවානම් වඩාත් හොඳයි. ඇම්බුෂ් එකට යාමට පෙර, මේ සිතියම හෝ, මේ අනුව පොළොවේ සාදන ලද වැලි ආකෘතියක් (Sand Model) මගින්, කණ්ඩායමේ සියලු දෙනාට සම්පුර්ණ සැලැස්ම පැහැදිළි කර දෙනවා.
  රූපයේ ඇති වචන සිංහලෙන් නොයෙදුවේ ඒ සඳහා සිංහල වචන නැති නිසා නොවෙයි. පුහුණුවේදී සහ භාවිතයේදී පාවිච්චි කරන්නේ ඉංග්‍රීසි වචන නිසා.
  රූපයේ තිබෙන සමාන්තර කළු ඉරි දෙකෙන් පෙන්වන්නේ පාරක්. එහි ඇති රතුපාට කඩ ඉර Enemy Approach Path සතුරා එන්නේ මේ දිශාවෙන් බව ඔබට පෙන්වනවා. සතුරා එන මාර්ගයේ පැත්තක සිටින භට පිරිස ඔබ දැක්කාද? ඒ පිරිස හඳුන්වා තිබෙන්නේ Killer Group යනුවෙන්. ඒ තමා ඇම්බුෂ් එකේ ප්‍රධාන ප්‍රහාරක කණ්ඩායම. (මේ රූපයේ පෙන්වන භට පිරිස කීයද කියා ගණින්න එපා. මෙය නිදර්ශනයක් පමණයි. යොදවන සංඛ්‍යාව තීරණය වන්නේ, සතුරාගේ සංඛ්‍යාව කොපමණද, ඔහු අතේ ඇති ආයුධ මොනවාද, ඔහුට ආධාරක භට පිරිස් එයිද, වැනි කරුණු අනුවයි) ‘කිලර් ගෘප්’ එකේ තමයි ඇම්බුෂ් එක අණ දෙන්නා හෙවත් Ambush Commander ඉන්නේ. ඔහු තමයි ප්‍රහාරය ආරම්භ කරන්නේ. බලන්න, පාර අයිනේ සවිකර තිබෙන ක්ලේමෝ බෝම්බ තුනක ස්විච් එක ඔහු අතේ තියනවා. ඔහු ඒවා පුපුරවා හරිනවාත් සමගම, කිලර් ගෘප් එකේ අනිත් අය වෙඩි තැබීම ආරම්භ කරනවා. අර මම කිව්වේ මහා ජලාශයක බැම්ම කැඩුනා වගේ කියලා. කිලර් ගෘප් එකේ තමයි තියෙන්නේ ප්‍රබල මැෂින් තුවක්කුව.  Obstacle හෙවත් බාධකය කියන වචනය දැක්කාද? එතන තියෙන්නේ ප්‍රපාතාකාර ගල් කන්දක්. ප්‍රහාරය එල්ල වුවාට පසුව සතුරාට ඒ පැත්තට දුවන්න බැහැ. තේරුමක් නැහැ. එය බිත්තියක් වගේ ඉවුරක්නේ. මේ තමයි ප්‍රහාරක ස්ථානය තෝරා ගැනීමේ සාර්ථක බව. Early Warning Group එක දැක්කාද? ඒගොල්ලෝ තමයි Ambush Commander ට සංඥා කරන්නේ ‘ඔන්න බඩු එනවා’ කියලා. රාත්‍රී කාලයේ නම්, Early Warning Group එක අතේ තියන ලණුවක් Ambush Commander ගෙ කකුලේ බැඳ තිබෙනවා. සතුරා එනවිටEarly Warning Group එක ඒ ලණුව ඇද්දම, Ambush Commander දන්නවා, ඔන්න බඩු එනවා කියලා. එතකොට Back Stops කියන කණ්ඩායම මොකද කරන්නේ. එයාලා තමයි පැනයන සතුරන්ට වැඩේ දෙන්නේ. ඒගොල්ලෝ අතෙත් තියෙන්නේ ටී 56 සැහැල්ලු යාන්ත්‍රික තුවක්කුව වැනි තුවක්කු. තමන් ගමන් කරමින් සිටි දිශාවටම දුවන්න යන සතුරන්ට එයාලගෙන් ගැලවීමක් නැහැ. ඒ වගේම ආපහු තමන් ආව පැත්තට දුවන්න යන සතුරන් Early Warning Group එකේ ප්‍රහාරයට ලක්වෙනවා. Protection Party කියලා තවත් පිරිසක් ඉන්නවා දැක්කද? එයාලා තමයි ඇම්බුෂ් එකට ආරක්ෂාව සපයන්නේ. ඇම්බුෂ් පිරිස එන්න කලින් තමයි එයාලා ස්ථානගත වෙන්නේ. ඇම්බුෂ් එක ස්ථානගතවූ පසු, එයට පසුපසින් ඇවිත් ගහන්න සතුරා උත්සාහ කලොත්, මෙයාලට අහුවෙනවා. එතකොට මෙයාලයි ඇම්බුෂ් පිරිසයි දෙගොල්ලොම එකතුවෙලා, සතුරාට වැඩේ දෙනවා. ඒවා කලින් පුහුණුවූ දේවල්. ඇම්බුෂ් එක ඉවරවෙලා, ඇම්බුෂ් පිරිස ඉවත්වන විට, මේ පිරිස එහි රැඳී සිටිමින් හතර වටෙන්ම ආරක්ෂාව සපයනවා. ඔවුන් තමයි අන්තිමට ඉවත් වන්නේ. කවුද දන්නේ සතුරා අපිව දැකලා අපි සුදානම් වෙන්න කලින් පසුපසින් ඇවිත් ප්‍රහාරයක් එල්ල කරයිද කියලා. The Deadly Game ‘Ambush’. නිල්පාට කඩ ඉරි දෙකක් පෙනෙනවා නේද, එහි අගට ඊතලයක් සහිතව. එයින් Approach Route කියන්නේ, ඇම්බුෂ් කණ්ඩායම මේ ප්‍රදේශයට එන මාර්ගය. Withdrawal Route කියන්නේ ආපසු යන මාර්ගයයි. ඇම්බුෂ් එකට අයත් එක් එක් කණ්ඩායම් ස්ථානගතවන තැන් අතර පරතරය තීරණය වන්නේ, 1. ඇම්බුෂ් එක කරන්නේ දවල් කාලයේද රාත්‍රී කාලයේද, 2. භුමියේ ස්වභාවය, 3. යෙදවිය හැකි භට පිරිසේ ප්‍රමාණය, වැනි සාධක අනුවයි.
  මේ තමයි ඇම්බුෂ් එක කිරීමේ සරල විස්තරය. මීට වඩා කරුණු විස්තර කරන්න නම් ඔබට මුලික යුද උපක්‍රම ගැන පුහුණුවක් තියෙන්න ඕනේ.(ඔබට මුලික යුද පුහුණුවක් අවශ්‍යද? බැඳෙන්න විචාරක යුද හමුදා ඇකඩමිය වෙත, පහසු ගෙවීමේ ක්‍රම, වයස 55 – 60 අතර කාන්තාවන්ට පුහුණුව නොමිලේ. ඔබේ සැමියාට/බිරිඳට ජීවිත කාලය පුරාම නොබියව මුහුණ දෙන්න. එකම විසඳුම, විචාරක හමුදා ඇකඩමිය.)
  හඃ හා……………………..ඔන්න කට්ටිය එහෙනම් ඇම්බුෂ් එකකුත් කළා ඈ………කාටද ආඩම්බර? අපි අපිටම තමයි. මොකද මේක සාමුහික ප්‍රයත්නයක්නේ.

No comments :

Post a Comment

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }