හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

30 June 2012

නිර්භීත සතුරා බිස්මාර්ක් Battleship Bismarck (පළමුවන කොටස)

 දෙවැනි ලෝක යුද සමය පසුබිම් කරගත් යුද වාර්තා, මූලාශ්‍ර ලෙස ගෙන නිපදවූ, සිනමා පට, රූපවාහිනී වැඩසටහන්, මෙන්ම පොත්පත්ද ඔබ පරිශීලනය කර ඇති. ‘බිස්මාර්ක් – Bismarck’ යන නම දෙවැනි ලෝක යුද සමයේදී ලොව හෙල්ලූ නමක් බව ඔබට මතකද? නැතහොත් එවැනි නමක් අසා තිබේද? මේ කියන්නට යන්නේ ඒ අභීත සතුරා හෙවත් බිස්මාර්ක් යුද නැවේ කතාවයි. සෑම විටම සත්‍යය ප්‍රබන්ධයට වඩා රසවත් මෙන්ම ප්‍රබල වන බව මේ කතාව කියවීමෙන් ඔබට මොනවට තහවුරු වනු ඇති.
දෙවැනි ලෝක යුද සමයේදී ලොවම මවිත කල, ලොව හෙල්ලූ, එමෙන්ම බ්‍රිතාන්‍ය, ප්‍රංශ, ඇමෙරිකානු, නාවික හමුදා මවිතයට හා භීතියට පත්කළ, අසාමාන්‍ය, අභිමානවත්, අති බලවත් යුද නැවක් ලෙස, බිස්මාර්ක් නැවට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. එහි විශේෂත්වය වන්නේ මේ නැව සේවයේ යෙදුනේ මාස 8 ක් වැනි සුලුකාලයක් වීමය. මේ නැව, ජර්මානු ආඥාදායක පාලනය ලොවපුරා ව්‍යාප්ත කිරීම සඳහා, නාවික බලය වර්ධනය කරගැනීම පිණිස යොදනලද, අති දැවැන්ත උත්සාහයක් ලෙසද, ඉතිහාසයට එක්වෙයි. එමෙන්ම එය ජර්මානු නාවික තාක්ෂණයේ අද්විතීයත්වය ලොවට පිළිබිඹු කල ප්‍රබල සංකේතයක්ද (icon) වෙයි.
මාස 8 ක් පමණක් සේවයේ යෙදුනු, තම ප්‍රථම හා එකම අණදෙන්නා වූ, කපිතන් අර්න්ස්ට් ලින්ඩ්මාන් ගේ අණදීම යටතේ,
එකම එක ක්රියාන්විතයකට පමණක් සහභාගිවූ බිස්මාර්ක් නැව, මෙතරම් වැදගත් තැනක් ගන්නේ ඇයි. විශේෂත්වය වන්නේ 1940 යුගයේදී ලොව බලවත් යුරෝපීය රටවල් අතරින් නිපදවුණු, මේ ආකාරයේ ප්‍රථම නැව මෙය වීම හා මෙයට අභියෝග කළහැකි නැවක් ලොව වෙනත් කිසිදු රටක් සතුව එවකට නොතිබීමයි. මේ නැවෙහි නිර්මාණය, ප්‍රහාරක ශක්තිය, සහ චාලක ශක්තිය පිළිබඳව ප්‍රධාන කරුණු පහත වෙනම විස්තර කරනු ලබනවා.
 බිස්මාර්ක් නැව නිපදවීම ආරම්භ වුයේ 1936 ජූලි මස පළමුවැනිදා ජර්මනියේ හැම්බර්ග් වරායෙහිදීය. 1939 පෙබරවාරි මස 14 වැනිදා දියත් කල මෙම නැවේ අත්හදා බැලීම් නිමකොට, සියලු වෙනස්කිරීම් හා නවීකරණ කටයුතු නිමවා, අධිකාරියට පත්කොට, (නාවික හමුදාවක ඇති යුද නැව් මෙන්ම තෝරාගත් වෙනත් යාත්‍රා අධිකාරියට පත්කිරීම (Commissioning) ලොව පුරා නාවික හමුදා සම්ප්‍රදායකි. එවැනි නැවකට ගොඩවන විටත් බසින විටත් ත්‍රිවිධ හමුදාවට අයත් සියලු දෙනා නැවට ආචාර කල යුතුය) සේවයේ යොදවන ලද්දේ 1940 අගෝස්තු 24 වැනිදා ය. එනම් දෙවැනි ලෝක යුද්ධය ආරම්භ වන්නට ඔන්න මෙන්න කියන අවදියේදීය. මෙම නැවට ‘බිස්මාර්ක්’ යන නම ලැබුණේ, 1871 දී ජර්මනිය එක්සත් කිරීම සඳහා පුරෝගාමීවූ චාන්සලර් ඔටෝ වොන් බිස්මාර්ක් Chancellor Otto Von Bismarck සිහිපත්වීම සඳහාය.
බිස්මාර්ක් නැවේ සැකිල්ලේ පටන් එහි ඉදිකිරීම ඉතා විශේෂ සැලැස්මකට අනුව සිදුවිය. කොතරම් රළු මුහුදක වුවද අපහසුවකින් තොරව ගමන් කිරීමත් සතුරු ප්‍රහාර වලට හොඳින් ඔරොත්තු දීමත් මේ නැව නිපදවීමේදී විශේෂ අවධානයට ලක්වූ කරුණු විය. බිස්මාර්ක් නැව නිපදවුනේ තනිව නොවේ. ඒ සමගම එවැනිම තවත් නැවක් නිපදවුනි. එය හැඳින්වුණේ ‘ටර්පිට්ස්’ ‘Tirpitz’ යන නමිනි. 1936 දී ඉදිකිරීම් ආරම්භ කල මෙම නැව බොහෝ දුරට බිස්මාර්ක් නැවට සමාන විය. 1941 දී අධිකාරියට පත්කර සේවයේ යෙදවූ මෙම නැවට අයත්වූ ප්‍රධාන කාර්යභාරය වුයේ, උතුරු අත්ලාන්තික් සාගර ප්‍රදේශයේ සෝවියට් රුසියානු නාවික බලයට එරෙහිව ක්‍රියා කිරීමයි. සාර්ථකව තම රාජකාරියේ යෙදුන මේ නැවෙන් එල්ලවූ තර්ජනය බලවත්වූ බැවින්, මිත්‍ර හමුදා විසින් සබ්මැරීන් ප්‍රහාර සහ ගුවනින් බෝම්බ හෙලීමෙන් 1944 වසරේදී මෙම නැව විනාශ කරනලදී.
 බිස්මාර්ක් යුද නැව, දෙවැනි ලෝක යුද සමයේ නාවික තාක්ෂණය හා සසඳා බලනවිට අසමාන නැවකි. වර්තමානයේ තිබෙන ඇති දැවැන්ත යුද නැව් සමග සසඳා බැලීමේදී බිස්මාර්ක් එදා සාගරයේ යෝධයෙකි. රකුසෙකි, භයානක අවියකි. අද මහා යුද නැව වල පරමාණු බෝම්බ හෙළිය හැකි ගුවන්යානා පවා ඇත. බිස්මාර්ක් සතුවද බෝම්බ හෙළිය හැකි (පරමාණු බෝම්බ නොවේ) කුඩා ගුවන් යානා හතරක් විය. මෙය එකල අනෙක් යුද නැව වලට දැඩි අභියෝගයක් විය.
සාමාන්‍යයෙන් යුද නැවක ප්‍රහාරක ශක්තිය ගැන එතරම් අවබෝධයක් නැති කෙනෙකුට වුවද බිස්මාර්ක් නැවේ තරම වටහා ගැනීමට හැකිවන පරිදි හැකි තරම් සරලව එහි ශක්තිය මේ ආකාරයෙන් දැක්විය හැකියි.
  • 1. ප්‍රධාන කාලතුවක්කු බතරොයිය (Main Artillery Battery)
. සෙ.මී. 38 ක් (අඟල් 15) විෂ්කම්බය සහිත, එකක් කිලෝ ග්රෑම් 800 ක් බර, උණ්ඩ යොදා, කිලෝමීටර් 35.5 ක් ඈතට වෙඩි තැබිය හැකි කාල තුවක්කු 8 යි. මේ කාලතුවක්කු 8 ද්විත්ව තුවක්කු අට්ටාල (twin gun turrets) ලෙස සකසා, අට්ටාල දෙකක් නැවේ ඉදිරිපස කොටසේද, (ඇණිය)  අනෙක් දෙක පසුපස කොටසේද (අවරය) සවිකර තිබුණි. මේ කාලතුවක්කුවක බැරලයේ (බටයේ) දිග මීටර් 19 ක් විය. (අද අපේ හමුදාවේ තිබෙන ලොකුම කාලතුවක්කුව වන මිමී 130 කාලතුවක්කුවෙන් වෙඩි තැබිය හැක්කේ උපරිම කි.මී. 27 ක ඉලක්කයකටය)
  • 2. ද්විතීයික කාලතුවක්කු බතරොයිය (Secondary Artillery Battery)
සෙ.මී. 15 ක් (අඟල් 6 ක් ) විෂ්කම්බය සහිත, එකක් කි.ග්රෑ. 45 ක් බර උණ්ඩ යොදා, කි.මී. 23 ක් ඈතට වෙඩි තැබිය හැකි කාලතුවක්කු 12 යි. මේවා ද්විත්ව අට්ටාල තුන බැගින් නැවේ දෙපස සවිකර තිබුණි.
  • 3. ගුවන් යානා නාශක බර මැෂින් තුවක්කු බතරොයිය (Heavy Anti Aircraft Battery)
සෙ.මී. 10.5 (අඟල් 4) විෂ්කම්බයකින් යුත්, එකක් කි.ග්රෑ. 15 ක් බර උණ්ඩ යොදා, කි.මී. 17 ක් දුරට හෝ කි.මී 12 ක් උඩට (අහසට) වෙඩි තැබිය හැකි, ද්විත්ව මැෂින් තුවක්කු 16 යි. තුවක්කු දෙකේ අට්ටාල 8 ක් ලෙස සවි කර තිබුණි.
  • 4. මධ්‍යම, ගුවන් යානා නාශක මැෂින් තුවක්කු බතරොයිය. (Medium Anti Aircraft Battery)
සෙ.මී. 3 ක (අඟල් 1.5 ක) විෂ්කම්බයකින් යුත්, එකක් ග්රෑම් 745 ක් බර උණ්ඩ යොදා, කි.මී. 6.75 ක් දුරට වෙඩි තැබිය හැකි තුවක්කු 16 යි. ද්විත්ව තුවක්කු අට්ටාල 8 ක් ලෙස, නැවේ දෙපස සවි කර තිබුණි.
  • 5. ගුවන්යානා නාශක සැහැල්ලු මැෂින් තුවක්කු බතරොයිය (Light Anti Aircraft Battery)
සෙ.මී. 2 ක (අඟල් 3/4) විෂ්කම්බය සහිත, එකක් ග්රෑම් 132 ක් බර උණ්ඩ යොදා, කි.මී. 4.8 ක් දුරට වෙඩි තැබිය හැකි මැෂින් තුවක්කු 18 යි. මෙයින් තුවක්කු 10 තනි තනිව සවිකළ පාදස්තල වල(single pedastal) තිබුන අතර අනෙක් තුවක්කු 8 චතුර්ථ පාදස්තල (quadruple mounts - එක පාදස්තලයක තුවක්කු 4 බැගින්) වල සවි කර තිබුණි.
  • 6. බෝම්බ හෙලීමට භාවිත කළහැකි සැහැල්ලු ගුවන් යානා 4 යි.
එපමණක් නොව දිගු දුර රේඩාර් පද්ධති තුනකින් සමන්විතවූ බිස්මාර්ක් මීටර් 251 ක දිගකින් හා මීටර් 36 ක පළලකින් ද මෙට්‍රික් ටොන් 50300 ක බරකින් ද යුක්ත විය. එමෙන්ම වාෂ්ප ටර්බයින තුනකින් සහ ඉන්දන බලයෙන් ක්‍රියා කරන බොයිලේරු 12 කින් සමන්විතවූ බිස්මාර්ක් නැවේ, මුළු ශක්ති ජනනය කිලෝවොට් 111,980 ක් විය. එමගින් පැයට නාවික සැතපුම් 30.01 ක් හෙවත් පැ.කි.මී. 55.58 ක වේගයක් උපදවාගත හැකිවිය. නැවේ ඉන්දන ටැංකි වලට එකවර ඉන්දන මෙට්‍රික් ටොන් 8294 ක් පිරවිය හැකිවූ අතර එම ඉන්දන ප්‍රමාණයෙන්, අවම වේගය වූ පැයට නාවික සැතපුම් 19 ක (පැ.කි.මී. 35 ක) වේගයෙන්, නොනවත්වා නාවික සැතපුම් 8870 ක් (කි.මී. 16430 ක් ) යාත්‍රා කළහැකි විය. නැවේ බඳ, තුවක්කු අට්ටාල, විශේෂ ආවරණ තහඩු සෙ.මී. 3 සිට සෙ.මී. 32 දක්වා ප්‍රමාණයේ ඝනකමකින් යුක්ත විය.
බිස්මාර්ක් නැවේ කාර්ය මණ්ඩලය නිලධාරීන් 103 දෙනෙකුගෙන් හා නාවික සෙබළුන් 1962 දෙනෙකුගෙන් සමන්විත විය. (අපේ යුද හමුදාවේ බලසේනාවකට Brigede වඩා වැඩියි. සේනාංකයක් Division තරම්) එක කාර්ය අංශයකට නිලධාරීන් හා සෙබළුන් 180 ත් 220 ත් අතර ප්‍රමාණයක් සිටිනසේ මුළු නාවික බල ඇණිය අංශ 12 කට බෙදා තිබුණි. නැවේ අණදෙන නිලධාරියා වුයේ කපිතන් අර්නස්ට් ලින්ඩ්මාන් ය.
මෙතරම් ප්‍රබල නැවක්, පාවෙන යුද බලකොටුවකට, සම කල හැකි නැවක්, එකම එක ක්රියාන්විතයකට පසු, පහරදී මුහුදේ ගිල්ලවා දැමුවේ කෙසේද? මීළඟ කොටසෙන් බලමු.
දැන් ඊළඟ ලිපිය එනතුරු නිකම් ඉන්න එපා. මම දෙන්නම් කර කර ඉන්න වැඩක්. මම මෙපමනකල් ඔබට අවස්ථාව දුන්නේ යුද හමුදාවේ අවි වලින් වෙඩි තියන්න පමණයි. ඔන්න පළමුවනි වතාවට දෙනවා යුද්ධ නැවක කාලතුවක්කුවෙන් වෙඩි තියන්න. හැබැයි පරිස්සමෙන්. මතකනේ එක උණ්ඩයක් කි. ග්රෑ. 800 ක් බරයි. අත් කකුල් විතරක් නෙවෙයි, ශරීරයේ වෙනත් වැදගත් ‘අස්ථි’ තලාගන්න එහෙම එපා. අපේ ‘මහ වෙදනා’ ලඟට යන්න වෙයි බෙහෙත් කරගන්න. එහෙනම් මෙතනින් ගිහින් බලන්න.

29 June 2012

කතා දෙකක්

 මේ කතා ප්‍රබන්ධ කතාද ඇත්ත කතාද කියා මා මෙතෙක් සොයා බලා නැහැ. හැබැයි මෙවැනි කතා රාශියක් මතකයේ තිබුනත්, සභ්‍යත්වය සහ සදාචාරය විසින් මාගේ දෑත සහ මනස පාලනය කරන බැවින්, ඒවා බ්ලොග් එකේ ලිවිය නොහැකියි. කවදා හෝ බ්ලොග් කරුවන්ගේ සංසදයකදී සජීවීව කියන්නම්. මේ කතා දෙක ලියන්නේ දැනට මා කරගෙන යන බරපතල පරිවර්තන ක්‍රියාවක් අතරතුර මඳ විවේකයක් ගැනීමට සිතුන නිසයි.
දන්නවනේ යුද්ද කාලේදී හමුදාවේ සෙනග මදි නිසා වෙන වෙන ආරක්ෂක අංශත් යුද්දයට සම්බන්ධ කරගන්න සිදුවුනා. ඒගොල්ලන්ට හමුදා පුහුණුව තරමක් දුරට දෙන්නත් සිදුවුනා. මුලදී හමුදාව සමගත් පසුව තනියමත් ඒගොල්ලෝ ඉදිරි ආරක්ෂක ප්‍රදේශවල (FDL = Forward Defended Locality) රාජකාරියේ යෙදුනා. හැබැයි ඇත්තවශයෙන්ම ඒ ගොල්ලන්ගෙන් බහුතරයකගේ රාජකාරි උනන්දුවනම් ඉතාම අඩුයි. අනිවාර්යයෙන් සේවය කලයුතු අවම කාලසීමාව සේවය කර, ආපසු ගම රට බලා යන්නයි නොඉවසිල්ලෙන් බලා ඉන්නේ. එක අතකට ඒ ගොල්ලෝ හමුදාවක් නොවන නිසා ඒ සිතුවිල්ල සාධාරණයි. හැබැයි ගෙදර ඇවිත් යුද්ධය ගැන නොදන්නා දේ පවා කියමින් නයි ඇරීම තමයි නරක.
ඔන්න ඉතින් මේ ජාතියේ එක්කෙනෙකුයි හමුදාවේ එක්කෙනෙකුයි බංකරයක රාජකාරියේ යෙදී ඉන්නවා. හමුදා සෙබලා තුවක්කුව ඉදිරි භූමියට යොමු කරගෙන, රාත්‍රී අඳුර දෙස ඉතා දැඩි විමසිල්ලෙන් බලමින්, නිරීක්ෂණයේ යෙදී ඉන්නවා. නමුත් අර සගයාට රාජකාරිය ගැන වගේ වගක් නැහැ. ඔහු බකන්නිලාගෙන ඉන්නවා. ඒ මදිවට ඔහු උත්සාහ ගත්තා අර හමුදා සෙබලාව කතාවට අල්ලගන්න. නමුත් සෙබලා වචනයෙන් දෙකෙන් කතාව මග හරියේ රාජකාරිය හරියට නොකලොත් මරණය අත ළඟටම එන බව දන්නා නිසයි. (අර වර්ගයේ අය සෑහෙන්න යුද්ධයේදී මැරුණේ නොසැලකිල්ලෙන් බව, වගකීමෙන් යුක්තව කිව හැකියි) නමුත් අරයාට ඒවා ගානක් නැහැ. ඔහු හමුදා සෙබළාගෙන් මෙහෙම අහනවා.
“උඹලා ජොබ් එක කරන වෙලාවට හෙන සිරා නේ”
හමුදා සෙබලා:- හ්ම්ම් . . .
“උඹලා ජීවිතේ පුරාම ඉන්නෙත් හෙන සිරා විදිහට නේ”
සෙබලා:- හ්ම්ම් . . .
“උඹලා ගෙවල් දොරවල් වල මොනවද වෙන්නේ කියලා හොයන්නෙත් නෑ වගේ නේ”
සෙබලා:- හ්ම්ම් . . .
“උඹලාගේ ගෑනු මොනවා කරනවාද කියලා හොයන්නෙත් නෑ නේ”
සෙබලා:- හ්ම්ම් . . .
“ඉතින් උඹලගේ ගෑනු වෙන එවුන් එක්ක යාලු වෙනවත් ඇතිනේ”
සෙබලා:- හ්ම්ම් . . .
“ඉතින් උඹලගේ ගෑනුන්ට වෙන එවුන් නිසා ළමයිනුත් ඉන්නවා ඇති නේ”
සෙබලා:- හ්ම්ම් . . .
“ඉතින් උඹලා ඒ අවජාතක ළමයින්ට මොකද කරන්නේ”
සෙබලා:- “යකෝ, මතක තියාගන්, අපි ඒ අවජාතක . . . ගේ පුතාලා ඔක්කොම තොපේ අංශයට බන්දවනවා”
දෙවෙනි කතාව මෙහෙමයි. හමුදා සෙබලෙක් සහ අර ජාතියේ කෙනෙක් රාත්‍රී රාජකාරිය නිමවී මූණ සෝදා ගැනීමට අසල තිබුණු වැවකට ගියා. ඊට කරින් රාත්‍රියේ එකතුවුන ‘බර’ ගහක් මුලට අතාරින්නත් දෙන්නා අමතක කලේ නැහැ. එතන තිබුන පොඩි වතුර වලක් ළඟ දෙදෙනා ඉඳගත්තේ හෝදාගන්නයි. එතකොටම සතුරු මෝටාර් වෙඩිල්ලක් මහා හඩීන් ඩෝං ගාලා ඒ අසලට පතිත වුනා. මොහොතකින් සෙබලා අර සගයාට කියනවා ඔයා ඔයාගේ හොදාගන්නකෝ මොකද මගේ හෝදන්නේ?

22 June 2012

රෝමියෝ ඔයා ජුලියට් එක්ක හොටෙල් ගිහින් විස්කි බිව්ව නේද?

 ගුවන්විදුලි පණිවිඩ හුවමාරුව ත්‍රිවිධ හමුදාවට මෙන්ම පොලීසියටද එකසේ පොදු දෙයකි. එහෙත් පොලිස් ගුවන්විදුලි පණිවිඩ හුවමාරු පිළිවෙත ත්‍රිවිධ හමුදා පණිවිඩ හුවමාරු පිළිවෙතට හාත්පසින්ම වෙනස් ඉතා සරල ක්‍රමයකි. පොලිස් නිලධාරීන් අතේ ගෙනයන පණිවිඩ හුවමාරු යන්ත්‍රයකින් හෝ ඔබ කෙදිනක හෝ පොලිස් ස්ථානයකට ගොස් ඇත්නම් එහිදීද පොලිස් පණිවිඩ හුවමාරු යන්ත්‍ර වලින් නිකුත්වන පණිවිඩ අසා ඇති. ඒ පණිවිඩ ඔබට පහසුවෙන් තේරුම්ගත හැකියි. උදාහරණයක් වශයෙන් මහරගම පොලිස් ස්ථානයේ සිට අවිස්සාවේල්ල පොලීසියට ඇමතුමක් කරන්නේ ‘අමතන්න මහරගමට අවිස්සාවේල්ල’ යනුවෙන්. (විහිලුවට කියනවා, ‘අමතන්න වලස්මුල්ලට බකමූණ’ කිව්වම, බකමූනෙන්, ‘හූම්. . . .  හූම්. . . . ‘ කිව්වලු. ‘බකමූනට වලස්මුල්ල අමතන්න’ කිව්වම, ‘ගර්ර්. . . . ගර්ර්. . . . කිව්වලු)  එය අසා සිටින ඕනෑම කෙනෙකුට වැටහෙනවා මේ කොහෙන් කොහාටද කතා කරන්නේ කියා. එමෙන්ම ‘සැක කටයුතු නිල්පාට කැන්ටර් රථයක් එනවා වහාම අත්අඩංගුවට ගන්න’ කියා කිව්වොත්, එයත් අසා සිටින ඕනෑම කෙනෙකුට වැටහෙනවා. ඒ කැන්ටර් රථයට සම්බන්ධ කෙනෙක් එය අසා සිටියොත්, කැන්ටර් රථයේ යන අයට ජංගම දුරකතනයක් තිබේනම්, එයට කතාකර අනතුරු ඇඟවීමක් කල හැකියි.
නමුත් ත්‍රිවිධ හමුදාවේ පණිවිඩ හුවමාරු එසේ සරලව කල නොහැකියි. යුද්ධයකදී රහසිගත බව කොතරම් ඉහලින් ආරක්ෂා කලයුතුද යන්න, පසුගිය යුද සමයේ අත්දැකීම් නිසා මේ රටේ බොහෝ දෙනෙක් දන්නවා. හමුදා පණිවිඩ හුවමාරුවක එක ඉස්පිල්ලක් ඇලපිල්ලක් වැරදුනොත් යුද්ධය පැරදී රටක් තවත් රටකට යටත් වන්නට සිදුවිය හැකියි. නැත්නම් තමන්ගේම හමුදාවේ සිය දහස් ගණනකගේ ජීවිත හානි විය හැකියි. ගුවන් යානා, නැව්, යුද ටැංකි ආදිය සතුරා අතට පත්විය හැකියි. මේ නිසා ආරක්ෂක හමුදා පණිවිඩ හුවමාරු කටයුතු සිදුවන්නේ ඉතා සංවිධානාත්මකව ඉහල විනය නීති සහ දැඩි අධීක්ෂණය යටතේයි.
 මෙහි දැක්වෙන ආකාරයේ පණිවිඩ හුවමාරු යන්ත්‍ර ඔබ පොලිස් නිලධාරීන් අතේ මෙන්ම සමහරවිට හමුදා නිලධාරීන් අතේද තිබෙනු දැක ඇති. මෙවැනි යන්ත්‍රයක් සොරකම් කරගතහොත් පහසුවෙන් පොලීසියේ හෝ හමුදාවේ පණිවිඩ අසා සිටිය හැකියි. පසුගිය යුද සමයේ එල්.ටී.ටී.ඊය එසේ කල අවස්ථා තිබුනා. නමුත් නවීන තාක්ෂණයෙන්ම එය ජයගත්තා. ඒ නිසා පසු කාලයේදී අපේ හමුදාවන්ට පහරදී පණිවිඩ හුවමාරු යන්ත්‍ර අත්පත් කරගත්තත්, එම යන්ත්‍රවල තිබුණු එක්තරා තාක්ෂණික උපක්‍රමයකින් ඒවා නැවත පාවිච්චියට ගත නොහැකි ලෙස ක්‍රියා විරහිත කරවන්නට අපේ හමුදාවට නවීන තාක්ෂණික පහසුකම් ලැබුණා.
ආරක්ෂක හමුදා භාවිතා කරන පණිවිඩ හුවමාරු යන්ත්‍ර ඉතා උසස් අධි තාක්ෂණික පහසුකම් වලින් යුක්තයි. උදාහරණයක් වශයෙන් එක ප්‍රධාන මධ්‍යස්ථානයක් යටතේ පවතින උප මධ්‍යස්ථාන වලින්, තෝරාගත් මධ්‍යස්ථාන සමග පමණක් රහසිගත පණිවිඩ හුවමාරු කල හැකියි. එයට අදාළ නොවන අනෙක් මධ්‍යස්ථානවල යන්ත්‍ර වලින් එවිට නැගෙන්නේ ‘ෂෝ. . .’ යනුවෙන් හඬක් පමණයි.
 මේ ලිපියෙන් මම අදහස් කරන්නේ පණිවිඩ හුවමාරු යන්ත්‍ර පිළිබඳව ඔබ දැනුවත් කිරීමට නොවේ. එසේ එම යන්ත්‍ර පිළිබඳව ලියනවානම් අඩුම ගණනේ දීර්ඝ ලිපි තුනක්වත් ලියන්න වෙනවා. එය පසුවට තබා මගේ ප්‍රධාන මාතෘකාවට බහින්නම්. මේ ලිපියේ මාතෘකාවේ තේරුම කුමක්ද? රෝමියෝ කවුද? ජුලියට් කවුද? ඒ දෙන්න හොටේල් එකකට ගිහින් විස්කි බිව්වේ ඇයි? ඒ කතාව සහ හමුදාවේ පණිවිඩ හුවමාරුව අතර ඇති සම්බන්ධය කුමක්ද? මෙතැන්සිට මා විස්තර කරන්නේ ඒ කතාවයි.
පණිවිඩ හුවමාරු කටයුතු වලදී එම පණිවිඩ වල ඇති වැදගත්කම අනුව ඒවා වර්ග කරනවා. එක වර්ගයක් හැඳින්වෙන්නේ ‘නිවර්ග’ යනුවෙන්. එයින් අදහස් කෙරෙන්නේ එම පණිවිඩය හමුදාවේ ඕනෑම පණිවිඩ හුවමාරු යන්ත්‍රයකට කෙලින්ම යොමු කිරීමේ වරදක් නැති බවයි. උදාහරණක් වශයෙන් ‘ඔබ කඳවුරේ සේවය කරන, මහනුවර දිස්ත්‍රික්කයේ පදිංචි අයගේ නාම ලේඛනයක් හෙට දින 1500 පැයට පෙර (බියුගල් ලිපිය නිසා දැන් ඔබ දන්නවා හමුදාවේ වෙලාව කියන ලියන හැටි) මෙම කඳවුරට ලැබෙන්නට සලස්වන්න’ යන පණිවිඩය රහස්‍ය පණිවිඩයක් නොවේ. ඉතින් එවැනි පණිවිඩයක් සඳහාත් අර අති රහසිගත පණිවිඩ සඳහා පමණක් වෙන්වූ ගුවන්විදුලි ජාලය පාවිච්චි කිරීම තේරුමක් නැති අතර, ඒ ජාලයේ හදිසි සහ අත්‍යවශ්‍ය පණිවිඩ හුවමාරුවටද එයින් බාධා සිදුවෙනවා. ඒ නිසා මෙවැනි පණිවිඩ යැවීමට වෙනම ගුවන්විදුලි ජාලයක් තිබෙනවා. එකම යන්ත්‍රයෙන් වුනත් අවශ්‍ය විට මේ දෙවිදිහටම කරන්න පුළුවන්. (එය දීර්ඝ විස්තරයක්) එවිට ඒ යන්ත්‍රය ‘රහසිගත’ ස්විච් එක ඕෆ් කරලා ‘සාමාන්‍ය’ ස්විච් එක දාගන්නවා කියලා හිතන්නකෝ.
සාමාන්‍ය පණිවිඩ යැවීම එසේ සිදුකලත් එහි නිවැරදිතාවය ගැන ඉතාම සැලකිලිමත් විය යුතුයි. කෙනෙක් කියන දෙයක් ඊට සම්පූර්ණයෙන් වෙනස්වූ ආකාරයකට අර්ථ කථනය කරගන්න අවස්ථා විශේෂයෙන් දුරකථන සංවාද වලදී ඔබ අත්විඳ ඇති. අංජුලා කියන නම මංජුලා ලෙස තේරුම් ගැනීම, විමල් කියන නම බිමල් ලෙස තේරුම් ගැනීම, එයට උදාහරණයක්. මම ඉතා හොඳ උදාහරණයක් යුද හමුදාවෙන්ම කියන්නම්. මම කපිතන් නිලයේ සිය මේජර් නිලය දක්වා උසස් කිරීමේ පරීක්ෂණයට පෙනීසිටීම සඳහා සූදානම් වෙමින් සිටි අවදියයි ඒ. ඒ දිනවල අපේ කඳවුර පාලනය වූ බලසේනා මූලස්ථානය මගින් එම විභාගයට පෙනී සිටින නිලධාරීන් සඳහා දේශණ මාලාවක් සංවිධානය කෙරුනා. යුද්ධයේ ඉන්න ගමන් එක දේශනයකට සියලු දෙනාටම එන්නට බැරි නිසා එකම දේශනය විවිධ කණ්ඩායම් වලට කීප වරක් පවත්වනවා. එක විෂයයක් තිබෙනවා වර්තමාන ලෝකයේ, දේශපාලන, සංග්‍රාමික, ආර්ථික, කරුණු පදනම් කරගත්. එය හඳුන්වන්නේ ‘කාලීන තොරතුරු’ Current Affairs’ යනුවෙන්. එක් දිනක් මා ඇතුළු පිරිස බලසේනා මූලස්ථානයට යාමට සූදානමින් සිටිනවිට අපේ කඳවුරේ ගුවන්විදුලි පණිවිඩ හුවමාරුකරු පැමිණ දැනුම් දුන්නා සර්, අද සර්ලට එන්න එපා කිව්වා. එහෙ කරන්ට් රෙපෙයාර්ලු, යනුවෙන්. අපි සාප කරමින් අපි සිටින බංකර් වළල්ලට ආපසු යාමට සූදානම් වුනා. මම නිකමට දුරකථන ඇමතුමක් ගත්තා බලසේනා මූලස්ථානයේ සහෝදර නිලධාරියකුට. ඒයි මොකක්ද බං ඔතන ජෙනරේටර් එකක් තියනවා නේද ලයිට් ගියාම දාගන්ඩ? මේ කරන්ට් රෙපෙයාර් කියලා එන්ඩ එපා කියන්නේ මොකද? මම ඇසුවා. කවුද බං කරන්ට් රෙපෙයාර් කිව්වේ? මමමනේ ඒ පණිවිඩේ උඹලගේ කෑම්ප් එකට කිව්වේ. මම කිව්වේ අද ’කරන්ට් එෆෙයාර්ස්’, ඒ නිසා එන්ඩ එපා කියලා. මම දන්නවනේ උඹලා කලින් ඒක කළා කියලා. ඒ නිසයි එන්ඩ එපා කිව්වේ. අපේ පණිවිඩ හුවමාරුකරු කරන්ට් එෆෙයාර්ස් තේරුම් ගත්තේ කරන්ට් රෙපෙයාර් විදිහටයි.
ඉතින් මෙවැනි ජංජාල ඇතිවීම වලක්වා ගැනීම සඳහා, ඉංග්‍රීසි හෝඩියේ සියලුම අකුරු, ගුවන්විදුලි පණිවිඩ යැවීමේදී නිවැරදිව සටහන් කරගැනීම පිණිස, අවශ්‍ය අවස්තාවලදී වචනය නොකියා, ඒ වචනයේ අකුරෙන් අකුර කියවනවා. විශේෂයෙන් අර මා කලින් සඳහන් කල පරිදි පුද්ගල නාම, ලිපින, ආදිය කියවන්නේ මෙලෙස අකුරෙන් අකුර. මෙය පුහුණුවූ පසු ඉතා වේගයෙන් කල හැකියි. මේ ක්‍රමය නේටෝ සංවිධානයේ සහ පොදුරාජ්‍ය මණ්ඩලයේ සියලුම රටවල් පාවිච්චි කරනවා. ඒ නිසා අපේ හමුදාවේ සාමාජිකයකුට ඒ රටවලදී වුවත්, පණිවිඩ හුවමාරුවේ දුෂ්කරතා ඇතිවන්නේ නැහැ. මෙහිදී ඉංග්‍රීසි හෝඩියේ එක් එක් අකුර උච්ඡාරණය කරන්නේ මෙහෙමයි.
  • A – අල්ෆා
  • B – බ්‍රාවෝ
  • C – චාර්ලී
  • D – ඩෙල්ටා  
  • E – එකෝ 
  • F – ෆොක්ස්ට්‍රොට්  
  • G – ගොල්ෆ්
  • H – හොටෙල් 
  • I – ඉන්ඩියා
  • J - ජුලියට්
  • K – කීලෝ
  • L - ලීමා
  • M – මයික්
  • N – නොවෙම්බර්
  • O – ඔස්කාර් 
  • P – පාපා
  • Q – කිව්බෙක් 
  • R - රෝමියෝ
  • S – සියරා
  • T – ටැංගෝ
  • U – යුනිෆෝම් 
  • V – වික්ටර් 
  • W – විස්කී  
  • X – එක්ස්රේ  
  • Y – යැන්කී 
  • Z – සූලූ(ඉසෙඩ් හඬ)

උදාහරණයක් වශයෙන් බලමු ‘නිමල්’ යන වචනය කියන්නේ කොහොමද කියා. නොවෙම්බර්, ඉන්ඩියා, මයික්, අල්ෆා, ලීමා. ඒ විදිහටයි කියන්නේ. මේ ක්‍රමය සිංහල අකුරු සඳහාද සකස් කරගෙන තිබෙනවා. මා කවදාවත් එය පාවිච්චි කර නැතිනිසා සියලු අකුරු දන්නේ නැහැ. සිංහර අකුරු වලදී බොහොමයක් තිබෙන්නේ කාන්තා නම්. පද්මා, රංජනී, වැනි. ඒ වගේම පිල්ලම් (ඉස්පිලි පාපිලි ආදිය) සඳහාද වෙනම වචන යොදනවා. උදාහරණයක් වශයෙන් කොටුව කියා කියන විට ටුයන්න නොකියා ටයන්නට පුටුව කියා කියනවා. මෙහිදී පුටුව කියන්නේ ටයන්නට යොදන පාපිල්ලටයි. මෙන්න තවත් පුංචි කතාවක්. එක කඳවුරකින් තව කඳවුරකට සිංහලෙන් පණිවිඩයක් යැව්වලු. එක තැනකදී කිව්වලු ‘පද්මාට ඇලපිල්ල’ කියලා. අනික් පැත්තට ඒක ඇහිලා තියෙන්නේ ‘පද්මාට කැරකිල්ල’ කියලා. ඒ පැත්තේ පණිවිඩ හුවමාරුකරුගේ නෝනගේ නමත් පද්මලු. එයා ඇහුවලු ‘පද්මාට කැරකිල්ල වුනාම තමුසෙට මොකද? මමනේ එයාගේ හස්බන්ඩ්. බැන්දට පස්සේ ගෑනුන්ට ඔහොම ඒවා වෙනබව දන්නේ නැද්ද? කියලා.
දැන් අර ඉංග්‍රීසි අකුරු මගින්, අර මාතෘකාවේ ඉන්න රෝමියෝ, ජුලියට්, ඔක්කොම අල්ලගන්න පුළුවන් නේද?

20 June 2012

හමුදාවේ හොරණෑ හඬ

 මේ ලිපිය ලිවීමේ අදහස මගේ ඔලුවට ඇතුළු කලේ හරී. පසුගිය ලිපිය (අපේ කාලයේ තුවක්කු 5) සමග, මා බ්ලොග් පිටුවේ පැති පුවරුවේ ප්‍රදර්ශනය කල, යුදහමුදා බෑග් පයිප් වාදිකාවගේ පින්තූරය නිසයි, මේ මාතෘකාවට මුල පිරුණේ. ඉතින් අලුත් මාතෘකාවක් ලබාදුන්නට හරීට ස්තුති කරමින් ලිපිය පටන්ගන්නවා
බියුගල් එක යනු තඹ හෝ පිත්තල වලින් නිර්මාණය කරන ලද නලාවක්. එය පිඹින පැත්තේ කෙලවර සිට, ශබ්දය පිටවන පැත්තේ කෙලවර දක්වා, එක වරක්, දෙවරක්, හෝ තුන්වරක්, ඕවලාකාර හැඩයට ආසන්න හැඩයකට නවා සකස් කල, ලෝහමය නළයකින් යුක්තයි. කාලීනව වෙනස්කම් වලට භාජනය වුනත් බියුගලයේ ඇති විශේෂත්වය වන්නේ එය අප අද දකින ට්‍රම්පට්, එකක මෙන් ඔබන යතුරු නැති අතිශයින් සරල නලාවක් වීමයි.
බියුගලයට ඉතා ඈත අතීතයට දිවයන ඉතිහාසයක් තිබෙනවා. ක්‍රි.ව. 4 වැනි සියවසේදී රෝම අධිරාජ්‍ය සමයේද බියුගලය වැනි නලා පාවිච්චි කල බවට සනාථ වූ සාක්ෂි තිබෙනවා. මේ ලිපියෙන් මා අදහස් කරන්නේ බියුගලයේ අතීතය හෝ එහි විකාශය වීම යන කරුණු වලට වඩා හමුදා කටයුතු සඳහා එය යොදාගන්න ආකාරය පැහැදිලි කිරීමටයි.
අනෙක් බොහෝ සංගීත භාණ්ඩ මෙන් නොව බියුගලය හමුදා කටයුතු සඳහාම වෙන්වූවක් වශයෙන් හැඳින්වීම නිවැරදියි. අදටත් එය එසේම පවතිනවා. බියුගලය ලෝහ වලින් සාදන්නට පෙර ඒ සඳහා යොදාගෙන ඇත්තේ හරක් අං වලින් නිපදවූ නලා.
 බියුගලය එදා දඩයම් කටයුතු සඳහා පාවිච්චි කර තිබෙනවා. හැබැයි ඒ කාලයේදී එය හැඳින්වුණේ බියුගල් කියන නමින් නෙවෙයි. එහිදී සිදුකෙරුණේ ගෝණුන් වැනි සතුන්ගේ කෑගැසීමේ හඬට සමාන හඬවල් මේ නලා මගින් පිටකර, ඒ සතුන් දඩයම්කරු අසලට ගෙන්වා ගැනීමයි. ගෝත්‍රික සටන්, සිවිල් යුද්ධ, ආදියේදී කෙටි පණිවිඩ ඉක්මනින් දැනුම්දීමේ ක්‍රමයක් ලෙස, නලා හඬ සාර්ථකව යොදාගතහැකි බව අවබෝධවූ කාලයේ පටන්, හමුදා කටයුතු වලට බියුගලය එක්වුණා. පසුකාලීනව යුදහමුදා සංවිධානය කිරීමේදී බියුගල් නලා හඬ මගින් පණිවිඩ දැනුම්දීමේ ක්‍රමය ආරම්භ වුනා. අතීතය ගැන ඒ ඇති නේද? දැන් අපි වර්තමානය දෙසට හැරෙමු.
ත්‍රිවිධ හමුදා පවත්වාගෙන යන ලෝකයේ සෑම රටකම පාහේ අදටත් බියුගල් නලා හඬ ප්‍රයෝජනයට ගන්නවා. එය හමුදා සම්ප්‍රදායක් ලෙස ඉතා වැදගත් ස්ථානයක් ගන්නවා. නවීන තාක්ෂනය කොතරම් තිබුනත් සමහර හමුදා කටයුතු වලදී අනිවාර්යයෙන්ම බියුගල් නලාකරුවකු යොදාගැනීමට සිදුවන අවස්ථා තිබෙනවා. උදාහරණයක් වශයෙන් සෙබළකුගේ අවමංගල්‍යයකදී  දේහය සහිත දෙණ වලට පහත් කිරීමේදී, බියුගල් නලාකරුවකු විසින් වාදනයක් පවත්වන බව, පසුගිය කාලයේ අපේ රටේ පැවති යුද සමයේදී, ඔබ බොහෝ දෙනෙක් දැක ඇති. එහෙත් ඒ බියුගල් හඬ, කැසට් පටියක්, සී.ඩී. තැටියක්, පෙන් ඩ්‍රයිව් එකක්, මගින් සොහොන් බිමේදී ප්‍රචාරය කලොත්, නිකම් සින්දුවක් දැම්මා වගේ වෙනවා. ඒ නිසා නිවැරදි සම්ප්‍රදාය පිළිපැදිය යුතුයි.
නමුත් සෑම විටම බියුගල් නලා කරුවකු යොදාගත නොහැකි අවස්ථා තිබෙනවා. සාමාන්‍යයෙන් පැරණි කාලයේදී (අපේ රටෙනම් 1980 දශකය පමණ වනතුරු) පැවති යුද හමුදා කඳවුරු එතරම් විශාල නැති නිසා, බියුගල් කරුවකුගේ වාදනය මුළු කඳවුරටම ඇසෙනවා. නමුත් අද කාලයේ කඳවුරු සමහරක් අති විශාලයි. ආරක්ෂක සේනා මූලස්ථාන, සේනාංක මූලස්ථාන, බලසේනා මූලස්ථාන වැනි කඳවුරු (ඒ මොනවාගේ මූලස්ථානද යන්න පසුව ලිපියකින් විස්තර කරන්නම්) වල සෑම තැනටම ඇසෙනසේ එක බියුගල් කරුවකු යොදවා සංඥා වාදන ඉදිරිපත් කල නොහැකියි. එකම කඳවුරක එකවර ස්ථාන දෙකක හෝ ඊට වැඩි ගණනක බියුගල් කරුවන් යෙදවීම සම්ප්‍රදායට පටහැනියි. ඒ නිසා ලෝකයේ සෑම රටකම පාහේ එවැනි විශාල කඳවුරු, මහා යුද නැව්, ආදියේදී අද කරන්නේ, පටිගත කල බියුගල් නලා හඬ ශබ්ද විකාශන මගින් ප්‍රචාරය කිරීමයි. ‘ඉතින් අනේ ඕකට නලා හඬම ඕනේයැ. මයික් එකකින් කිව්වනම් ඉවරනේ’ කියා සමහරවිට ඔබට සිතෙනු ඇති. එතකොට අර අනාදිමත් කාලයක් රැකගෙන ආ හමුදා සම්ප්‍රදාය පිරිහෙනවා මෙන්ම එය විනය පිරිහීමටත් හේතුවක් විය හැකියි. එහෙනම්  ඉතින් රේඩියෝ එකේ උදේට පිරිත් නොදා නිවේදකයකු ලවා පින්වත්නි දැන් පිරිත් කියලා කිව්වොත් ඇති. ටී.වී. තිරයේ පොල් අකුරෙන් පිරිත් කියලා දැම්මොත් ඇති. මෙන්න මේ නිසයි ඕනෑම රටක, සමාජයක, ජාතියක, මෙන්ම ආරක්ෂක හමුදාවක ඇති හරවත් සම්ප්‍රදායයන් නොකඩා ඉදිරියට ගෙන යායුත්තේ.
සාමාන්‍යයෙන් මම ලියන සෑම ලිපියකම යම් උපකරණයක් පෙන්නුම් කලොත් එහි කොටස් හඳුන්වනවා නොවැ. ඔන්න එහෙනම් බියුගලයේ කොටස් බලාගන්න.
 Bugle Call බියුගල් කෝල් හෙවත් බියුගල් නලා සංඥාවක් යනු කුමක්ද? එය ඉතා කෙටියෙන් මෙසේ නිර්වචනය කල හැකියි. බියුගල් නලා සංඥාවක් යනු කිසියම් හමුදා කඳවුරක, යුද පෙරමුණක, යුද නැවක, හෝ හමුදා පරිශ්‍රයක දෛනිකව ඉටුකෙරෙන හෝ එදිනෙදා සාමාන්‍ය කටයුතු සියළු දෙනාට මතක් කරදීම, (දැන් මෙන්න මේ ක්‍රියාව සඳහා කාලයයි යනුවෙන් මතක් කිරීම) සහ සාමාන්‍ය ක්‍රියාවලියෙන් පරිබාහිරව සිදු කලයුතු ක්‍රියා, (ගින්නක් ඇතිවෙලා. වහාම ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කරන්න වැනි) සියළු නිළයන් වෙත මතක් කිරීමේ සන්නිවේදනයක් ලෙස ඉදිරිපත් කෙරෙන, කෙටි වාදනයකි.
 හමුදා කඳවුරක සිදුකෙරෙන සාමාන්‍ය රාජකාරි වන්නේ උදැසන අවදිවීමේ සිට රාත්‍රියේ නින්දට යනතුරු කෙරෙන සාමාන්‍ය ක්‍රියායි (යුද්ධයක් නැති විට) එහිදී සාමාන්‍ය රාජකාරි වශයෙන් ගැනෙන්නේ අවදිවීමෙන් හා අහාර ගැනීමෙන් පසු පෙළපාලි භූමියට යාම, පුහුණුවීම, ආදී කටයුතුයි. විශේෂ අවස්ථා යනු කඳවුරේ ගින්නක් හට ගැනුනොත් අනතුරු ඇඟවීම, උසස් නිළධාරියකුට උත්තමාචාරයක් පිරිනැමීම, විශේෂ භෝජන සංග්‍රහ පවත්වන අවස්ථා  ආදියයි.
බියුගල් නලාකරු මේ සෑම අවස්ථාවකටම සූදානමින් සිටිය යුතුයි. බියුගල් නලාකරු පාඨමාලාව සඳහා බඳවා ගැනීමේදී සොයාබලන වැදගත් සුදුසුකමක් වන්නේ බියුගලය නිවැරදිව පිඹීමට සුදුසු ආකාරයට දත් සහ තොල් පිහිටා තිබේද යන්නයි.
 එමෙන්ම බියුගල් නලාකරුවකු එක අතකින් කඳවුරේ ආරක්ෂකයෙක්. හදිසි අවස්ථාවක් වන ගින්නකදී ඔහුගේ සංඥාව ඉතා වැදගත්. ඔහු අභිමානවත් පෙනුමකින් යුත් ස්ථානොචිත ප්‍රඥාවෙන් යුතු අයකු වියයුතුයි. මේ පින්තූරයේ සිටින සොල්දාදුවා දෙස බැලීමෙන් ඔබට එය පැහැදිලි වනු ඇති.
මෙතැන්සිට මා ඔබට හමුදා කටයුතු වලට අදාළ බියුගල් නලා හඬවල් ඇසිය හැකි සබඳතා (links) ලබා දෙනවා. නමුත් එක ප්‍රශ්නයක් තිබෙනවා. මට මගේ බ්ලොග් අඩවියේ ඇති තාක්ෂණික පහසුකම් යටතේ කෙලින්ම mp 3 files ඔබ වෙත දෙන්නට බැහැ. ඒ සඳහා ඩොලර් 20 ක් ගෙවිය යුතුයි. මා සතුව ඒ සඳහා ක්‍රෙඩිට් කාඩ් එකක් හෝ එවැනි බැංකු ගිණුමක්වත් නැහැ. පෞද්ගලික බැංකුවක තිබෙන මගේ ඉතිරිකිරීමේ ගිණුම වෙනුවෙන් පේ පෑල් ගිණුමක් සෑදීමට අද උත්සාහ කලත් එය හරිගියේ නැහැ. ඒ නිසා මා ඉතා කරුණාවෙන් ඔබෙන් ඉල්ලන්නේ මේ සබඳතා වලට යාමට පෙර ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් මෘදුකාංගය ඔබේ පරිගණකයේ ස්ථාපනය කරගන්නා ලෙසයි. මේ සෑම සබඳතාවක් මගින් ලැබෙන ගොනු කිලෝ බයිට් 200 ඉක්මවන්නේ නැහැ. ඇසිපිය ගසන සැනින් ඩවුන්ලෝඩ් වෙනවා ඔබ සතුව මා ඉහත කී මෘදුකාංගය තිබේනම්. එසේම වින්ඩෝස් මීඩියා ප්ලේයර් එකේ ඒවා ඉතා පහසුවෙන් වාදනය වෙනවා. මේ නිසා ඔබට යම් අපහසුතාවක් ඇතිවේනම් මා මගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරනවා. හොඳයි එහෙනම් මා මෙතැන්සිට එක් එක් (තෝරාගත් ඒවා පමණයි) බියුගල් වාදනය හඳුන්වාදී එහි ඩවුන්ලෝඩ් ලින්ක් එක දෙනවා.
කඳවුරක දවසේ වැඩ කටයුතු ආරම්භ වෙන්නේ 0500 පැයට (යුද හමුදාවේ පාවිච්චි කරන්නේ 24 පැයේ ඔරලෝසුවයි. වෙලාව ලිවීමේදී 05.00 කියා ලියන්නේ නැහැ) ඒ නිසා දිනපතාම 0500 පැයට ඉදිරිපත් කරන බියුගල් කෝල් එකක් තියනවා. එය අවදිවීම හෙවත් ඉංග්‍රීසියෙන් Reveille රිවෙලී.
අවදි වෙලා, මූණ කට හෝදලා, තේ එකක් බීලා, ශාරීරික අභ්‍යාස වලට යනවා. ඉන්පස්සේ ඇහෙන්නේ කෑමට එන්න කියන ‘කර්ණ රසායන’ බියුගල් කෝල් එකයි. මෙය උදේ දවල් රාත්‍රී ආහාරවේල් තුන ම සඳහා වාදනය කරනවා. මෙය නාද කරනතුරු භෝජනාගාරය පැත්ත පළාතේ යාම තහනම්.
උදේට කෑවා බිව්වනම් ඉතින් ඊළඟට පුහුණුව තමයි පටන්ගන්නේ. ඒ සඳහා ‘සරඹ පිටියට එනු’ කියලා කියන්නේ මෙහෙමයි.
දවසේ වැඩ කටයුතු අවසානයේ හරියටම 1800 පැයට කඳවුරේ ධජය කොඩි ගසෙන් බානවා. මේ වාදනය ආරම්භ වන විටයි කොඩිය බෑම ආරම්භ වන්නේ. වාදනය අවසන් වනවිය කොඩිය පහත් කරන සෙබලාගේ අතටම එන පරිදි වාදනයට ගැලපෙනසේ සෙමින් කොඩිය පහත් කරනවා. ඒ සමගම සටනේදී දිවි පිදු රණවිරුවන් සිහි කරනවා. මේ සිහි කිරීම අද ඊයේ දෙයක් නොවේ. යුද හමුදාව පිහිටවූ දිනයේ සිට කරන දෙයක්. මේ වාදනය ඇසෙන විට එළිමහනේ සිටින සියලු දෙනා නිහඬව සීරුවෙන් සිටගත යුතුයි.  ගොඩනැගිලි ඇතුලත සිටින අය නිහඬ විය යුතුයි. මෙය පසුබැසීමේ නලා හඬ යනුවෙන් හඳුන්වනවා (Ritreat රිට්‍රීට්). ඇත්තෙන්ම මෙයින් අදහස් කරන්නේ සටනින් පසු බැසීම නොව, ‘දවසේ රාජකාරි අවසන්, කඳවුරෙන් පිටත සිටින්නේනම් ආපසු කඳවුර තුළට එනු’ යන්නයි.
යුද හමුදා කඳවුරක දවසේ රාජකාරි භාරව නිලධාරියකු සහ කාර්ය මණ්ඩලයක් දිනපතාම පත් කරනවා. සාමාන්‍යයෙන් දින 15 කට වරක් ඉදිරියට එන දින 15 සඳහා එම කාර්ය මණ්ඩල පත්කර මුද්‍රිත නියෝග පල කරනවා. එම කාර්ය මණ්ඩලය දිනපතාම 2200 පැයට හැකිනම් සරඹ භූමියේ කොඩි ගස ඉදිරිපිට (ඒ වනවිට කොඩිය ඉවත් කරලා) නැතහොත් මූලස්ථාන කාර්යාලය ඉදිරිපිට, පෙරෙට්ටුවක් වශයෙන් රැස්වෙනවා. (වහිනවානම් ගොඩනැගිල්ලක් තුල, එහෙත් ගොඩනැගිල්ලක් තුල බියුගල් වාදනය කරන්නේ නැහැ.) එහිදී දවසේ කාර්ය භාර කෝප්‍රල්, දවසේ කාර්ය භාර සැරයන්, දවසේ කාර්ය භාර ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරි (මාණ්ඩලික සැරයන් හෝ බලලත් නිලධාරි නිලයේ අයෙක්, නිලයන් ගැන ලිපියක් අවශ්‍යද?) යන අය දවසේ කාර්ය භාර නිලධාරි වෙත, තම රාජකාරි කාලය ඇතුලත සිදුවූ දේ සම්බන්ධව, වාචිකව කෙටියෙන් වාර්තා කරනවා. ඒ අවසානයේ තමයි මේ බියුගල් වාදනය (Last Post ලාස්ට් පොස්ට්) ඉදිරිපත් කරන්නේ. යුද හමුදා අවමංගල්‍ය වලදීත් ඉදිරිපත් කරන්නේ මෙයමයි.
2215 පැය වනවිට කඳවුරක ඇති භට නිවාසවල පහන් නිවාදැමිය යුතුයි. ඉන්පසු පිටතට ඇසෙනසේ කතා කිරීමත් තහනම්. පහන් නිවනු යන පණිවිඩය දෙන්නේ මෙහෙමයි.
සාමාන්‍ය රාජකාරි සඳහා පාවිච්චි කරන බියුගල් කෝල් වලින් තෝරාගත් කීපයක් ඒ. මීළඟට බලමු විශේෂ අවස්ථා.  කඳවුරේ ගින්නක් ඇතිවී තිබෙන බව බව දැනුම් දෙන්නේ මෙහෙමයි.
ඉහළ නිලධාරීන්ගේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වෙන විට ‘නිලධාරි වරුනි දැන් කෑම වෙලාවයි’ කියන්නේ මෙහෙමයි.
ඉහල නිළධාරියකු වෙනුවෙන්, කඳවුරු ආරක්ෂක මුරය විසින් පවත්වන, පිළිගැනීමේ පෙරෙට්ටුවේදී, වාදනය කරන බියුගල් නාදය මෙයයි. මෙය හඳුන්වන්නේ ‘ජෙනරල් සෙලියුට්’ නමින්.
මා මෙහිදී ඉදිරිපත් කළේ, තෝරාගත් බියුගල් නාද කීපයක් පමණක් බව, නැවතත් අවධාරණය කරනවා. පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් සෑම රටකම පාහේ මේ බියුගල් නාද රටා බොහෝ දුරට එක සමානයි. අපේ යුද හමුදාව, බ්‍රිතාන්‍ය යුද හමුදා සම්ප්‍රදායයන් අනුසාරයෙන් සැකසී ඇතිනිසා, ඒ සමානත්වය අදටත් බොහෝ දුරට දකින්නට තිබෙනවා. මා මෙහි දක්වා ඇත්තේ බ්‍රිතාන්‍ය රාජකීය ඉංජිනේරු රෙජිමේන්තුව විසින් ඉදිරිපත් කරන බියුගල් වාදනයි. ඒ වාදන සහ ශ්‍රී ලංකා යුද හමුදාව මෙහි දක්වා ඇති රාජකාරි කටයුතු සඳහා අද ද කරන වාදන අතර කිසිදු වෙනසක් නැහැ.

16 June 2012

අපේ කාලයේ තුවක්කු 5 (සංස්කරණය කරන ලදී)

 මේ ලිපිය ලියන්නට හිතාගෙන හිටි එකක් නෙවෙයි. අපේ කාලයේ තුවක්කු ලිපි පෙළ, තවත් ලිපි තුනකින් පමණ අවසන් කරන්නට හිතාගෙන හිටියත්අටම්පහුරෙන් ලැබුණු පෙළඹවීම, විමසීම, උනන්දු කරවීම මත තමයි මේ ලියන්නේ. ඒ ගැන අටම්පහුරට මගේ ප්‍රණාමය. ඉතින් මේ ලිපිය හැර අපේ කාලයේ තුවක්කු ලිපි තවත් කීපයක් ඉදිරියේදී ඔබ වෙත ගෙන එනවා.
Shotgun – ෂොට්ගන් හෙවත් ව්‍යවහාර භාෂාවෙන් පතරොම් තුවක්කු යන වර්ගීකරණයට අයත්වන තුවක්කුවක් ලෙස රිපීටර් තුවක්කුව හඳුන්වා දිය හැකියි. ඉංග්‍රීසි භාෂාවෙන් රිපීට් repeat කියන්නේ නැවත නැවතත් සිදුවෙන, සිදු කරන කියන තේරුම බව ඔබ දන්නවනේ. රිපීටර් තුවක්කුව කියන්නේ එක වරකට පතරොම් කීපයක් ඇතුළු කලපසු ඒවා අවසන් වනතුරු නැවත නැවතත් කොක් කරමින් වෙඩි තැබිය හැකි පතරොම් තුවක්කුවක්.
  තුවක්කුවක ප්‍රධාන කොටස් සහ ඒවායේ ක්‍රියාකාරිත්වය පිළිබඳව දැන් ඔබට සෑහෙන දැනීමක් ඇතැයි මා සිතනවා. ඔබ අපේ කාලයේ තුවක්කු 123, 4 කියවා ඇතැයි මා විශ්වාස කරනවා. ඒ නිසා මේ ලිපියේදී පැරණි තොරතුරු නැවත නැවතත් ‘රිපීට්’ කරලා ‘රිපීටරයක්’ වෙන්න මම උත්සාහ කරන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම රිපීටර් තුවක්කුව කියන්නේ බොහොම ජනප්‍රිය තුවක්කුවක්. අපේ රටේ පෞද්ගලිකව පාවිච්චි කරන (බලපත් සහිත) රිපීටර් තුවක්කු බොහොම ස්වල්පයයි තිබෙන්නේ. ඒ වගේම බලපත්‍රයක් ඇති කෙනෙකුට වුනත් මිලදීගන්නට රිපීටර් තුවක්කු ශ්‍රී ලංකාවේ එතරම් නැහැ. අපි ඉස්සරවෙලාම බලමුද රිපීටර් තුවක්කුවෙන් වෙඩි තියන හැටි.
  ටිකක් අමුතුයි නේද? ඔබ දැක තිබෙන වෙනත් තුවක්කු වල, එක්කෝ සම්පූර්ණ ස්වයන්ක්‍රීයව සියලු පතරොම් එක දිගට වෙඩි තබාගෙන යාහැකි ආකාරයට මැගසින් එකෙන් චේම්බර් එකට එනවා. එහෙම නැත්නම් තුවක්කුවේ කොකා මිරිකන වාරයක් පාසා එක වෙඩිල්ල බැගින් පිටවෙනවා. නමුත් මේ තුවක්කුවේ එහෙම වෙන්නේ නැත්තේ ඇයි? පතරොම් තුවක්කුවකදී පත්තුවන පතරොමෙන් පිටවන වායු ප‍්‍රමාණය එකවර සම්පූර්ණයෙන් මුදා හරින්නට සිදුවෙනවා. එයට හේතුව තුවක්කු පතරොමකින් පිටවන්නේ රයිෆල් හෝ පිස්තෝල පතරොමක මෙන් තනි උණ්ඩයක් නොවේ. තුවක්කු පතරොමක තිබෙන මූනිස්සම් සියල්ලටම එකවර තුවක්කු බටයෙන් පිටවී යාමට ඉඩ දියයුතුයි. ඕනෑම තුවක්කුවක, ස්වයන්ක්‍රීයව ඊළඟ පතරොම ලෝඩ් කිරීමටනම්, ඊට පෙර වෙඩි තැබූ පතරොමෙන් පිටවූ වායුවේ පීඩනය මගින්, තුවක්කුවේ යාන්ත්‍රික කොටස් ක්‍රියාත්මක කරවා ඊළඟ පතරොම චෙම්බරය වෙත රැගෙන ආ යුතුයි. මෙතනින් බලන්න (තුවක්කු පතරොමරයිෆල් පතරොමතුවක්කු බටයචෙම්බරය)
  රිපීටර් තුවක්කුවේ එක් එක් පතරොම වෙඩි තබන්නා විසින්ම ලෝඩ් කල යුතුයි. ඒ ක්‍රියාව තමයි අර ඉහත වීඩියෝවෙදි  ඔබ දුටුවේ, තුවක්කුවේ බටයට (බැරල්) යටින් පිහිටි කෙටි බැරල් එකක් වැනි කොටස, ඉදිරියට පසුපසට තල්ලු කරන (පොම්පයක් ක්‍රියාත්මක කරවනවා වැනි) ආකාරයෙන්. මේ ක්‍රියාව හඳුන්වන්නේ පම්ප් ඇක්ෂන් pump action කියලයි. ඒ නිසා මේ තුවක්කුව හඳුන්වන්නේ පම්ප් ඇක්ෂන් රිපීටර් ෂොට්ගන් Pump Action Repeater Shotgun යනුවෙන්. මේ පම්ප් ඇක්ෂන් එක බොහෝ දෙනෙකුගේ සිත පැහැර ගන්නවා. විශේෂයෙන් බටහිර චිත්‍රපටිවල පම්ප් ඇක්ෂන් තුවක්කුවට විශේෂ තැනක් ලැබෙනවා.
හොඳයි දැන් අපි මේ තුවක්කුවේ මූලික කොටස් හඳුනාගනිමු.
 මෙය එතරම් සංකීර්ණ තුවක්කුවක් නොවේ. එබැවින් මෙහි යාන්ත්‍රික කොටස් ප්‍රමාණය රයිෆලයකට හෝ මැෂින් තුවක්කුවකට සාපේක්ෂව බොහොම අඩුයි. මෙය පිරිසිදු කිරීම සඳහා ගැලවීමේදීද පෙර පුහුණුවක් නැත්නම් ගැලවිය යුත්තේ මූලික කොටස් පමණයි. මෙතෙක් කල් මා ඔබ සමග සාකච්ඡා කළ, විවිධ ගිනි අවි වල, ඔබ දුටු කොටස් වලට වඩා වෙනස් දෙයක් ලෙස, ඔබ මෙහිදී දකිනු ඇත්තේ ෆෝස්ටොක් forestock නමැති කොටස පමණයි. ඒ අර ඉදිරියට පසුපසට යවන කොටසයි. එයින් තුවක්කුවේ බටයක් වැනි මැගසින් එකෙන් කොටසක් ආවරනයවී ඇති බව ඔබට පෙනෙනවා ඇති. එමෙන්ම අප මීට පෙර සාකච්ඡා කල පතරොම් තුවක්කු වල හැමර් යන කොටස තිබුනා ඔබට මතක ඇති නමුත් මේ පතරොම් තුවක්කුවේ හැමරයක් නැහැ. එයත් මෙහි තිබෙන විශේෂත්වයක්. මෙහි ඒ කොටස තිබෙන්නේ තුවක්කුව ඇතුලේ. එමෙන්ම පතරොම පත්තුවීම සඳහා එහි ප්රිමරයට පහර වදින ෆයරින් පින් එකද පෙනෙන්නට නැහැ.
 පම්ප් ඇක්ෂන් රිපීටරයට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. 1866 දී ඇමරිකා එක්සත් ජනපදයේදී පිහිටුවාගත් වින්චෙස්ටර් සමාගම විසින් 1897 දී තමයි මුලින්ම පම්ප් ඇක්ෂන් රිපීටරයක් නිපදවා තිබෙන්නේ. ඒ තුවක්කුව පිටතට පෙනෙන හැමරයකින් යුක්තයි.
එමෙන්ම රිපීටර් තුවක්කුවේ මැගසිනය අප මෙතෙක් සාකච්ඡා කල විවිධ ගිනි අවි වල මැගසිනයට හාත්පසින්ම වෙනස්. මෙහි මැගසිනය පයිප්පයක් (බටයක්) වැනි ආකාරයෙන් (tubuler) තමයි පිහිටා තිබෙන්නේ. ඒ මැගසිනයට පතරොම් දැමීමත් අමුතුම ආකාරයකටයි සිදුකරන්නේ. තාක්ෂණික වශයෙන් මේ තුවක්කුව හඳුන්වන්නේ අභ්‍යන්තර හැමරය සහ බාහිර ටියුබ මැගසිනය සහිත පොම්ප ක්‍රියාකාරී පතරොම් තුවක්කුව කියායි. (Internal Hammer, Pump Action Shotgun with an external Tube Magazine) ඒ ක්‍රියාකාරිත්වය මෙන්ම මේ තුවක්කුවේ ඒ විශේෂ මැගසිනයට පතරොම් ඇතුළු කරන ආකාරය පහත වීඩියෝවෙන් බලන්න.
රිපීටර් තුවක්කු අතරින් මෙතෙක් නිපදවන ලද විශිෂ්ඨතම තුවක්කුව ලෙස සැලකෙන්නේ 1912 දී වින්චෙස්ටර් සමාගම නිපදවූ තුවක්කුවයි.
  වින්චෙස්ටර් සමාගම 1963 දී රිපීටර් තුවක්කු නිපදවීම අත්හිටවනු ලැබුවා. වින්චෙස්ටර් සමාගම සමග තරගකාරීව කටයුතු කල සමාගම් දෙකක් වන රෙමින්ග්ටන් සහ මොස්බර්ග් යන සමාගම් දෙක තවමත් රිපීටර් තුවක්කු නිපදවනවා.
 රිපීටර් තුවක්කුව කිසිදු වැදගම්මක් නැතැයි සිතා ඉවත දැමියහැකි තුවක්කුවක් නොවේ. තවමත් ලෝකයේ සමහර රටවල ආරක්ෂක හමුදා මෙන්ම පොලීසියද රිපීටර් තුවක්කු පාවිච්චි කරනවා. එයට හේතු කීපයක් තිබෙනවා. පළමුවැනි හේතුව තමයි රිපීටර් තුවක්කු කීපයක් සටන් භූමියකදී එකවර යෙදවීමෙන් සතුරු පිරිසකට එකවර විශාල හානියක් කල හැකියි. තනි උණ්ඩය සහිත තුවක්කුවකට වඩා, පුනීලයක හැඩයට විහිදී යන මූනිස්සම් රාශියකින් වෙඩි තැබීමෙන් සතුරු පිරිසෙන් බහුතරයකට සුළු තුවාල හෝ සිදුවෙනවා. සතුරා අඩපන කරගැනීමත් යුද ජයග්‍රහණයට හේතු වෙනවා. එමෙන්ම වීදි වලට රැස්වී කලහකාරී ලෙස හැසිරෙමින් පොදු හෝ පෞද්ගලික හෝ දේපල වනසමින් කටයුතු කරන පුද්ගලයන් මෙල්ල කිරීමට පොලීසියට මහෝපකාරී වන අවියක් ලෙසත් මෙය හැඳින්විය හැකියි.
අනෙකුත් තුවක්කු මෙන් රිපීටරයද කාලීන වෙනස්වීම් වලට භාජනය වී තිබෙනවා. එක් එක් අවශ්‍යතා සඳාහා විශේෂයෙන් ගැලපෙන පරිදි රිපීටර් නිපදවනු ලබනවා. ඔබ මේ වනවිට මා පල කර ඇති ලිපි කියවීමෙන් දන්නවා ගිනි අවියක බටය හෙවත් බැරලය දිග වැඩිවූ තරමට එයින් වැඩි දුරකට වෙඩි තැබිය හැකි බව. නමුත් විශේෂ අවශ්‍යතා සඳහා කෙටි බැරලය සහිත රිපීටර නිපදවනවා.ට්‍රෙන්ච් ගන් නමැති රිපීටරය ඉක්මනින් එහා මෙහා හරවමින්, යුද භූමියේ දුව පනිමින්, වෙඩි තැබීම සඳහා ඉතා කෙටි බැරලයක් සහිතව නිපදවන ලද්දක්.
 රිපීටර් තුවක්කු වර්තමානයට ගැලපෙන පරිදි නවීකරණය කිරීමේදී අධෝරක්ත කිරණ සහිත රාත්‍රී දුරදක්නයද සහිතව නිපදවා තිබෙනවා. කෙසේ වෙතත් ඒවා නිපදවනු ලබන්නේ හමුදාමය කටයුතු වලට පමණයි. එයින් තහවුරු වන්නේ රිපීටරය තවමත් ඉතා ප්‍රතිඵලදායී ලෙස ප්‍රයෝජනයට ගතහැකි ගිනි අවියක් බවයි. රිපීටර්යේ මැගසින් එක ටියුබයක් හෙවත් නලයක් මෙන් තිබෙන බව ඔබ කලින් දුටුවා. ඒදෙස ටිකක් සමීපව බලමු.
රිපීටර් තුවක්කු විවිධ බෝර් ප්‍රමාණයන්ගෙන් නිපදවනු ලබනවා. එහෙත් ඒ අතරින් තවමත් ජනප්‍රියව පවතින්නේ බෝර් 12 මෝස්තරයයි. පහත දැක්වෙන්නේ දැනට ලෝකයේ රිපීටර් තුවක්කු නිපදවන බෝර් ප්‍රමාණයන්.
රිපීටර් තුවක්කුවට යොදන්නෙත් සාමාන්‍ය පතරොම් තුවක්කු වලට යොදන පතරොම්. තුවක්කු පතරොම් පිළිබඳව මා ඔබට පතරොමක කතාව 1 මගින් කරුණු කියාදුන්නා මතක ඇති.
 දැන් ඔබ රිපීටර් තුවක්කුව ගැන සතුටුදායක දැනුමක් ලබාගත්තා. ඒ අවියට පතරොම් දමන හැටි මෙන්ම වෙඩි තබන හැටිද දුටුවා. හැබැයි තුවක්කු ගැන මා මගේ මුල් ලිපි වලදීම සඳහන් කලාක් මෙන් සෑම ගිනි අවියක්ම වෙඩි තැබීමෙන් පසු සහ පාවිච්චි නොකලත් යම්කිසි කාලසීමාවකට වරක් ගලවා පිරිසිදු කල යුතුයි. එය කරන ආකාරයත් මා ඔබට පෙන්වන්නේ පහත දැක්වෙන වීඩියෝවෙන්.
https://www.youtube-nocookie.com/v/WeTVr8lGybs?version=3&hl=en_US&rel=0
  අප ගිනි අවි ගැන දැනගත් යුත්තේත් හැකිනම් ගිනි අවි පුහුණුවක් ලැබිය යුත්තේත් මිනිසුන් මරණ චේතනාවෙන් නොවේ. ජීවිතයේ කිසියම් දිනක ආත්මාරක්ෂාව තකා ගිනි අවියක් පාවිච්චි කරන්නට සිදුවුනොත් තමන්ගේ මෙන්ම අනුන්ගේද ජීවිත අනතුරෙන් ගලවා ගැනීමට ඉඩ ලැබෙන බැවින්. තවත් මෙවැනි ගිනි අවියක් සමග ඉදිරියේදී හමුවෙමු.

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }