හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

20 July 2012

ඔයා බ්‍රිගේඩියර් ද, කමඩෝර් ද, ග්රූප් කැප්ටන් ද? (පළමුවැනි කොටස) – Equal Ranks in Three Forces (Part One)


 ත්‍රිවිධ හමුදාවේ එක සමාන නිළ මොනවාද යන්න පැහැදිලි කරදෙන මෙන් ඉල්ලීම් ලැබුනේ සෑහෙන කලක සිටයි. නමුත් කල් තබා ආරම්භ කර තිබුණු වෙනත් ලිපි සම්බන්ධ පරිවර්තන කටයුතු නිසා ඒ ඉල්ලීම් ප්‍රමාද කරන්නට සිදුවුනා. ඒ ගැන මගේ කණගාටුවද ප්‍රකාශ කරමින් අද ඒ ඉල්ලීම ඉටු කරනවා. නමුත් මේ ලිපියත් එක කොටසකින් අවසන් කරන්නට නොහැකි බව මට අවබෝධ වුනේ ලිපිය සබැඳි දළ සටහන සැකසීමෙන් පසුවයි. සමහරු ඉල්ලා තිබුනා ත්‍රිවිධ හමුදාවේ නිළ හා සමාන වන පොලිස් සේවයේ නිළ මොනවාද යන්නත් පැහැදිලි කරන ලෙස. මුලින්ම එයට පිළිතුරු දී ඒ ගැන කරුණු පැහැදිලි කිරීමක් කලොත් හොඳයයි මා හිතනවා.

ත්‍රිවිධ හමුදා යනු  සන්නද්ධ සේවා (Armed Forces) කියන ගණයට වැටෙන විශේෂ සංවිධාන. නමුත් පොලීසිය කියන්නේ දෙපාර්තමේන්තුවක්. දෙපාර්තමේන්තුවක් සහ සන්නද්ධ සේවයක් සංසන්දනය කිරීම ඉතා අපහසු කාර්යයක්. එයින් අදහස් කරන්නේ ත්‍රිවිධ හමුදාව උසස් පොලීසිය පහත් යයි කියා වරදවා වටහාගන්නට එපා. ත්‍රිවිධ හමුදා පාලනය වන්නේ ඒ සඳහා වෙන වෙනම සම්මතවූ පාර්ලිමේන්තු පනත් වලින් වන අතර පොලීසිය පාලනය වන්නේ දෙපාර්තමේන්තුවක් පවත්වාගෙන යාමට අවශ්‍ය ආකාරයේ පනතකිනුයි. ත්‍රිවිධ හමුදා නිලධාරින් වෙත පිරිනමන්නේ අධිකාරී බලයයි. (Commission) එය පිරිනැමීමේ ව්‍යවස්ථානුකූල බලය තිබෙන්නේ සේනාධිනායකයාට පමණයි. පොලිස් නිලධාරීන් වෙත පිරිනමන්නේ අධිකාරි බලයක් නොවෙයි. එය දෙපාර්තමේන්තුවක නිළ පත්වීමක්. 

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සේනාධිනායකයා (Commander in Chief) වන්නේ ශ්‍රී ලංකා ජනාධිපති වරයායි. ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් අතරින් කනිෂ්ඨතම අධිකාරි නිලයට පත්වන නිලධාරියාගේ අධිකාරි පත්‍රයට (Credentiels) වුවත් ශ්‍රී ලංකා ජනාධිපති වරයා පෞද්ගලිකවම අත්සන් කලයුතුයි. එතැන් සිට ඒ නිලධාරියා විශ්‍රාම යනතුරු හෝ සේවයෙන් පහ කරනතුරු ඔහු පිලිබඳ සෑම පත්වීමකදීම ජනාධිපති වරයා පෞද්ගලිකවම අත්සන් කලයුතුයි. එමෙන්ම දෙවැනි ලුතිතන් ලෙස අධිකාරියට පත්වීමේ සිට ඉහත සඳහන් පරිදි මාණ්ඩලික ශ්‍රේණියේ විශේෂ පත්වීමකදීම, සියලු නිළ උසස්වීමකදීම ඒ බව ශ්‍රී ලංකා ජනරජයේ ගැසට් පත්‍රයේ පලවෙනවා. (සේවයෙන් පහ කිරීම වුනත්) නමුත් පොලිස් සේවයේ නිලධාරීන් අතරින් ගැසට් පත්‍රයේ නම පළකරන්නේ සහකාර පොලිස් අධිකාරි සිට ඉහලට ඇති නිලයන්ගේ පමණයි. එහෙත් පොලිස් නිලධාරීන්ගේ නිලය සම්බන්ධ වෙනත් වෙනස්වීම් එසේ ගැසට් පත්‍රයේ පලකෙරෙන්නේ නැහැ. එබැවින් නිළ සමාන කරන්නට ගියොත් යුද හමුදාවේ දෙවැනි ලුතිතන්ට සමාන වන්නේ සහකාර පොලිස් අධිකාරියි. සමහර ත්‍රිවිධ හමුදා රෙජිමේන්තුවල අදටත් කඳවුරු තුල නිලධාරි නිවස්න වෙත ඇරයුම් ලබන්නේ පොලීසියේ ස.පො.අ. (A.S.P.) සහ ඊට ඉහල නිලයන් පමණයි.  ඒ නිසා ඒ කරුණු එසේ තිබෙන්නට හැර, අපි ත්‍රිවිධ හමුදාව ගැන කතා කරමු.
 ලෝකයේ සෑම රටකම ත්‍රිවිධ හමුදාවට කිසියම් ජ්‍යෙෂ්ඨතා අනුපිළිවෙලක් හිමිවෙනවා. අපේ රටේ එම ජ්‍යෙෂ්ඨතා අනුපිලිවෙල වන්නේ යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව යන අනුපිළිවෙළයි. සමහර රටවල නාවික හමුදාව ජ්‍යෙෂ්ටයි. මේ සඳහා පදනම වන්නේ මුලින්ම පිහිටවුයේ කුමන හමුදාවද යන්න මෙන්ම අනෙක් හමුදාවලට සාපේක්ෂව විශාලත්වය (භට පිරිස් ප්‍රමාණය) වැනි කරුණුයි. ඔබට මතකද ජනාධිපතිතුමා සහභාගිවන නිදහස් උත්සවය, රණවිරු අනුස්මරණය, වැනි විශේෂ නිළ උත්සවයකදී ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් එතුමා පසුපසින් සිටගෙන සිටින ආකාරය? මෙහිදී එතුමාට පසුපසින් එතුමාගේ දකුණු අත පැත්තේ කෙළවරම සිටගන්නේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියායි. (Chief of Defence Staff) ඉන්පසු පිලිවෙලින් යුද හමුදාපති, නාවික හමුදාපති, ගුවන් හමුදාපති සහ ඉන් අනතුරුව පොලිස්පති සිටගන්නවා.  එසේ සිටගන්නේ හමුදා ජ්‍යෙෂ්ඨතා අනුපිලිවෙල අනුවයි.
අපේ රටේ සන්නද්ධ සේවා පවත්වාගෙන යන්නේ එංගලන්තයේ සන්නද්ධ සේවා ආකෘතිය අනුවයි. එයට හේතුව වන්නේ අපි බ්‍රිතාන්‍යයට යටත්ව සිටි සමයේ පිහිටවන සන්නද්ධ සේවා ඒ ආකෘතියට අනුව හැඩ ගැසීමයි. 1972 වනතුරු අපේ ත්‍රිවිධ හමුදා ඇන්දේ එංගලන්ත ත්‍රිවිධ හමුදාව අඳින නිළ ලාංඡනමයි. 1972 දී ශ්‍රී ලංකාව ජනරජයක් වීමෙන් පසුවයි ලංකාවට අදාලවන ලෙස එම ලාංඡන වෙනස් කලේ.
 මෙසේ ලාංඡන වෙනස් වුනත් හමුදා සංවිධානයේ මූලික ආකෘතීන් එංගලන්තයේ ආකෘතීන් හා සසඳන විට, වෙනස්වී තිබෙන්නේ ස්වල්ප වශයෙන්. 

හමුදා සංවිධාන ව්‍යුහය වෙනමම කතා කලයුතු දීර්ඝ, සංකීර්ණ, මාතෘකාවක්. එය පසුවට තබා අපි මුලින්ම ත්‍රිවිධ හමුදා නිළ පිළිබඳව සාකච්ඡා කරමු.
වර්තමානයේදී අපේ රටේ බොහෝ දෙනෙකුට හමුදා නිළ පිළිබඳව සෑහෙන තරම් සතුටුදායක අවබෝධයක් තිබෙනවා. එයින් වඩාත් හොඳ අවබෝධය තිබෙන්නේ යුද හමුදාව ගැනයි. එයට හේතුව පසුගිය සමයේ යුද ප්‍රවෘත්ති වල වැඩිපුරම සඳහන් වුයේ යුද හමුදාව ගැන පුවත් නිසයි. කෙසේ වෙතත් නාවික හමුදාව සහ ගුවන් හමුදාවත් ඒ සටනේදී අනබිභවනීය සේවයක් කල බව අවධාරණයෙන් කිව යුතුයි.
හොඳයි, මෙතැන්සිට මා ඔබට හඳුන්වා දෙන්නේ හමුදා නිළ පිළිබඳවයි. මුලින්ම කිවයුතුයි, සන්නද්ධ හමුදාවක සාමාජිකයන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි,
  • නිලධාරීන් (Officers)සහ
  • සෙසු නිලයන් (Other Ranks)වශයෙන්.
කෙටි යෙදුම (Offrs /  ORs)
  • මෙයින් නිලධාරීන් ලෙස සැලකෙන්නේ 2 වැනි ලුතිතන් සිට ජෙනරල් දක්වා නිලයන්. (ශ්‍රී ලංකාවේ මෙතෙක් ලබාදී ඇති ඉහලම නිලය ජෙනරල්. වෙනත් සමහර රටවල ෆීල්ඩ් මාර්ෂල්Field Martial යනුවෙන් ඊට ඉහල නිලයක් තිබෙනවා.)
  • සෙසු නිලයන් ලෙස සැලකෙන්නේ සාමාන්‍ය සෙබලාගේ සිට බලලත් නිලධාරි I දක්වා නිලයන්
නිලධාරීන්ගේ සහ සෙසු නිලයන්ගේ තවත් වර්ගීකරණ තිබෙනවා. කැඩෙට් නිලධාරියකු ලෙස (Cadet Officer) හමුදාවට බැඳෙන අයකු පුහුණුව සමත් වුවොත් ඔහුට ලැබෙන්නේ ක්ෂේත්‍ර අධිකාරියයි. (Field Commission) එමෙන්ම, උපකරණ පාලක රාජකාරි වල යෙදවීම සඳහා, බොහෝවිට බලලත් නිලධාරි II පන්තියේ නිලයන්, (අවශ්‍යතාවය අනුව නිලය මීට වඩා පහල හෝ මීට ඉහළින් ඇති බලලත් නිලධාරි I නිලය වියහැකියි) සුදුසුකම් පරීක්ෂාකර, කෙටිකාලීන පුහුණුවකින් පසු, අධිකාරියට පත්කරනවා. ඒ ආකාරයට අධිකාරියට පත්කිරීම හඳුන්වන්නේ උපකරණ පාලක අධිකාරිය (Quarter Master Commission = ‘Q’ Commission)යනුවෙන්. ඔවුන් පාලන රාජකාරි වල පමණයි යොදවන්නේ. අණදීමේ රාජකාරිවල හෝ ක්‍රියාන්විත (Operation)රාජකාරිවල යොදවන්නේ නැහැ. නමුත් ඔවුන් නැතුව යුද්ධ කරන්නත් බැහැ. ඔවුන් තමයි සියලු නිලයන්ගේ කෑම බීම, ඉඳුම් හිටුම්, ඇඳුම් පැළඳුම්, අවි ආයුධ, පතරොම්, ප්‍රවාහන කටයුතු, වැටුප්, ආදී විශාල පාලන කටයුතු සම්භාරයක් ඉටු කරන්නේ. ඒ බර ඔවුන්ට දී අනෙක් නිලධාරීන්ට යුද්ධය කලහැකියි. මේ ‘QM’ ලා ටත්, අනෙක් නිලධාරීන්ට මෙන්ම, ජෙනරල් නිලය දක්වා වුනත් උසස්වීම් ලබාගතහැකියි. මෙතෙක් මා දන්නා තරමින් බ්‍රිගේඩියර් නිලය දක්වා ගිය එක්කෙනෙක් හිටියා. හැබැයි, ඔවුන් නම ලියනවිට QM යන්න සඳහන් කලයුතුයි. උදාහරණය කපිතන් (උපකරණ පාලක ‘උපා’ යනුවෙන් ලියන්නේ) ඒබීසී ගුණපාල Capt (QM) ABC Gunapala. 

ඒ නිලධාරීන්ටත් අනෙක් නිලධාරීන්ට මෙන්ම අචාර කිරීම, ගරු කිරීම, වෙනසක් නැතුව සිදුකල යුතුයි, ඊට පහල සියලු නිලධාරීන් හා සෙසු නිලයන් විසින්. සම නිලයේ නම්,  එනම්, ක්ෂේත්‍ර අධිකාරියේ ලුතිතන් කෙනෙකු අද කපිතන් නිලයට පත් වුනත්, මෙතෙක් කපිතන් (උපා) නිලයේ සිටි නිලධාරියාට වඩා ජ්‍යෙෂ්ට වෙනවා. ක්ෂේත්‍ර අධිකාරියට පත් කරන කැඩෙට් නිලධාරියකුට ලැබෙන්නේ දෙවැනි ලුතිතන් නිලය වුවත්, උපකරණ පාලක අධිකාරියට පත් කරන නිලධාරියකුට ලැබෙන්නේ දෙවැනි ලුතිතන් නිලය නොව කෙලින්ම ලුතිතන් නිලයයි. ක්ෂේත්‍ර අධිකාරි නිලධාරියකු සහ උපකරණ පාලක නිලධාරියකු අතර නිළ ඇඳුමේ කිසිදු වෙනසක් නැහැ.
(උපකරණ පාලක නිලයට පත්වන මාණ්ඩලික සැරයන් හෝ, බලලත් නිලධාරි I හෝ II එතෙක් කල් ජීවත් වුනේ, බලලත් නිලධාරීන්ගේ සහ සැරයන් වරුන්ගේ නිවස්නයේ නොවැ. ඉතින් එය අතහැර අධිකාරිලත් නිලධාරීන්ගේ නිවස්නයට එනදා විශේෂ දවසක්. සමහරවිට ඔහුට කිසිදු නිළ ඇඳුමක් හෝ සිවිල් ඇඳුමක් පවා ගෙනයන්න ඔහුගේ පරණ සගයන් වන සැරයන් වරු, මාණ්ඩලික සැරයන් වරු, බලලත් නිලධාරිවරු, ඉඩ දෙන්නේ නැහැ. එය පුංචි නවක වදයක්. ‘චී. . චී. . සර්, ඕවා ඇඳන් යන්නේ කොහොමද ඔෆිසර්ස් මෙස් එකට’ කියා ඔහු ඇඳන් ඉන්න නිළ ඇඳුම පමණක් ඉතුරුවෙන්න අනික් ඔක්කොම ගන්නවා. ටික දවසකට පස්සේ දෙන්නේ. සමහරුනම් දෙන්නෙම නැහැ. හැබැයි ගත්ත අය ඒවා අඳින්නෙත් නැහැ. බොහෝවිට උපකරණ පාලක අධිකාරියට පත්ව එන නිලධාරියාගේ දරුවන්ගේ වයසේ, 2/ලුතිතන් වරුන්, ලුතිතන් වරුන් නිලධාරී නිවස්නයේ සිටිය හැකියි, ඒත් ඉතින් පුංචි නවක වදයක් නොදෙන්නෙත් නැහැ, නිලධාරි නිවස්නයට පිළිගැනීම වෙනුවෙන්. හැබැයි වයස ගැන සලකා බලා බොහොම පරිස්සමෙන් එය කරන්නේ)
හමුදාවේ නිලධාරීන් ඔවුන්ගේ නිලය අනුව ප්‍රධාන වර්ග තුනකට බෙදනවා.
  • කනිෂ්ට නිලධාරීන්. (Subaltern Officers)
  • ක්ෂේත්‍ර නිලධාරීන් (Field Officers) සහ
  • ප්‍රධාන (මහ) නිලධාරීන් (General Officers) වශයෙන්.
  • කණිෂ්ට නිලධාරීන් (Subaltern Officers) ගණයට වැටෙන්නේ, 2/ලුතිතන්, ලුතිතන්, කපිතන්, කියන නිළ තුනයි. (2nd Lieutenant, Lieutenant, Captain) 
  • ක්ෂේත්‍ර නිලධාරි (Field Officers)  කියන ගණයට වැටෙන්නේ,  මේජර්, ලුතිතන් කර්නල්, කර්නල්, යන නිළ තුනයි. (Major, Lieutenant Colonel, Colonel)
  • ප්‍රධාන (මහ) නිලධාරීන් (General Officers) වන්නේ, බ්‍රිගේඩියර්, මේජර් ජෙනරල්, ලුතිතන් ජෙනරල්, ජෙනරල්, යන නිළ හතරයි. (Brigadier, Major General, Lieutenant General, General)
ප්‍රධාන නිලධාරීන් හැඳින්වීමට ඔවුන්ගේ නිළ ඇඳුමේ අඳින නිල ලාංඡන වලට අමතරව තවත් සංකේතයක් පාවිච්චි කරනවා. ඒ මෙසේයි. බ්‍රිගේඩියර් සංකේතවත් කරන්නේ එක තරුවකින්. මේජර් ජෙනරල් තරු දෙකයි. ලුතිතන් ජෙනරල් තරු තුනයි, ජෙනරල් තරු හතරයි. මෙම නිලධාරීන් ගමන් කරන නිල වාහනයේ ඉදිරිපස සහ පසුපස බෆරයේ මේ තරු සලකුණු දකින්නට ලැබෙනවා. මෙසේ නිලධාරීන් වර්ගීකරණය කිරීම හා තරු සංකේත ලබාදීම ත්‍රිවිධ හමුදාවේම එක සමානව සිදු කෙරෙනවා. නිලධාරීන් ගැන මෙතරම් සවිස්තරව කියන්නේ ඔබට ඇතිවියහැකි ගැටළු හැකි තරම් අවම කිරීමටයි.
 මේ ලිපිය දැනටම සෑහෙන්න දිග බව පෙනෙනවා. ඒ නිසා ත්‍රිවිධ හමුදාවේ එක සමාන නිළ හඳුන්වාදීම ඊළඟ ලිපියෙන් කරන්නම්.

4 comments :

  1. එක සැරයක් මරු වැඩක් වුනා.මම බණ්ඩාරවෙල මගේ යාලුවෙක්ගෙ ගෙදර ගියා. එයාට යන්න තිබුණා දියතලාව කෑම්ප් එකට ගිණුම් වගයක් අරින්න. මමත් ගියා උදව්වට. ලන්ච් එකේදී මැනේජර් මහත්තයාව Officer's Mess එකටයි අපි දෙන්නව ඊට පහල එකකටයි යැව්වනේ. අපේ ඉතිං එහෙම වෙන් කිරීමක් නැති වුණත්, හමුදා වල ඒක හරියටම කෙරෙනවා.

    ReplyDelete
  2. ඒ වැඩේ කරලා තියෙන්නේ නිළ ඇඳුම් ඇඳපු අති පණ්ඩිත බූරුවෙක්. එහෙම බෙදීමක් කරන්න අවශ්‍ය නැහැ.

    ReplyDelete
  3. මමත් අයි.ටී වැඩකට කෑම්ප් එකට ගියා. මුන් ටික අපේ සර්ව වාහනේක යවලා අපිව පයින් එව්වනේ පාන්දර 1ට වගේ. අපි ඉතින් කිලෝමීටර් 8ක් වගේ ආවා පයින් කිලෝ 100ක විතර බඩුත් බෙදා ගෙන

    ReplyDelete
    Replies
    1. සාමාන්‍ය ජනතාව හමුදා නීතියට යටත් නැහැ. එතැනදී ඔබට කියන්න පුළුවන් පයින්යන්න අමාරුයි කියලා. පසුව වුනත් ලිඛිතව පැමිණිලි කරන්න පුළුවන්.

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }