අප්පේ....................අලුත් අවුරුදු සුබපැතුම් දෝරේ ගලනවා නේද මේ දවස්වල?
කියලා වැඩක් නැහැ. විද්‍යුත් තැපෑල, කෙටි පණිවිඩ, දුරකථන ඇමතුම්, සුබපැතුම් පත්, එකී මෙකී නොකී දේවල්, හැටහුටහමාරක් සිද්ද වෙනවා. මට එකවරම මතක් වෙන්නේ, දැනට දශක හතරකට පහකට විතර ඉස්සර, ජනවාරි පළමුවැනිදා ගෙවුණු හැටි පිළිබඳවයි.
කොහොමද ගෙවුණේ?
ගෙවුණේ ඉතින් වෙනදා වගේම එච්චර ලොකු විශේෂත්වයක් නැතුවයි. ජනේරුව ඉහළින් සමරුවේ, කතෝලික බැතිමතුන් පමණයි.
ඒ කියන්නේ තමුසෙලා බුම්මගෙන හිටියා? අල්ලපු ගෙදර මිනිහටවත් විශ් කලේ නැහැ.
අන්න එතන තමයි ළමයෝ පුරස්නේ. ඒ කාලේ ඔය විෂ තිබුණේ නැහැ, ගම්වල ජීවත්වුණු මිනිස්සු අතරේ. අපි සහ අපේ අල්ලපු ගෙදර මිනිහා අතර. ඒකට හේතු කීපයක් තිබුණා. අල්ලපු ගෙවල් කියලා බොහොම ටිකයි තිබුණේ, බොහෝවිට අල්ලපු ගෙදර තිබුණේ, මීටර් 50 ක් 100 ක් හෝ ඊටත් වැඩි දුරින්. ඒ නිසා, විශ් කිරිලි කොහොම වෙතත්;
අපේ ගෙදර ඉඳුල් වතුර, අල්ලපු ගෙදරට නොවැටෙන්න විසි කරන්න,
දැන් කාලේ සංදර්ශන වේදිකා වලට විසිකරන අර අහවල් ඒවා, නිදහසේ හෝදලා වැලේ වනන්න,
හොඳට බුලත්විටක් කාලා කෙලපාරක් ගහන්න,
ආණ්ඩුවේ පැත්තට හුළං ටිකක් වැඩිපුර වදින්න, සරම ටිකක් උස්සගෙන, මිදුලේ හක්කොලන් කොරන්න,
කේන්තියක් ආවම මිදුලට බැහැලා බැණ අඬගහන්න,
හදිසියකදී හොඳ හූවක් කියලා අසල්වැසියන් ගෙන්වාගන්න,
දැන් වගේ පෙළපාළි වලට 'අඳින්නේ' නැතුව, ඇත්තටම ගොවිතැන් කටයුතු සඳහා අමුඩේ 'ගහන්න',
අල්ලපු ගෙදර මිනිස්සු 119 ඇමතීමකින් තොරව, සිංහල අවුරුද්දට, ඇති තරම් රතිඤ්ඤා, බීරංග, උණවෙඩි, චීන පටස්, පත්තු කරන්න, (බීරංගය දන්නේ නැති අය, විමසීම යෙහෙකි)
පුළුවන්කම තිබුණා.
ඒ වගේම කොච්චර ඈතින් ගෙවල් තිබුණත්, අපි එකිනෙකා බදාගෙන, බෙදා හදාගෙන හිටියා. කොයි ගෙදරත් ළමයි කාගේත් ළමයි ලෙස සැලකුණා. මට මතකයි, මම රස්තියාදුවේ ගිහින්, මගේ පියාගෙන් ගුටි කෑ අවස්ථා කීපයකදීම, මා රස්තියාදුවේ ගියබව, මගේ පියාට වාර්තා කර තිබුණේ, අපේ අසල්වැසියන්, අපි බඩුගන්න කඩේ මුදලාලි, වැනි අය. නමුත් එළෙස මගේ තත්වයට වැටුණු ළමයි කවුරුවත්, ඒ වැඩිහිටියන් සමන්වන්න ගියේ නැහැ. තරහක් ඇතිවුණත් ටික කාලයයි. ඒ වැඩිහිටියාම, අපිට, 'ඉඳා පුතේ ලොසින්ජරයක්' කියා අපට යමක් දෙනවා. 'මගේ පුතා ආයේ රස්තියාදුවේ යන්ඩ එපා' කියලා කරුණාවෙන් කියනවා, තමන්ගේ ළමයෙකුට වගේ.
අපි හිතේ හැටියට සුබපැතුවේ සිංහල අවුරුද්දටයි. පටන් ගන්නේ පන්සලෙන් නොවැ. ඊට පස්සේ ගමපුරා කෑම පිඟන් අරන් යනහැටි, නෑ දෑ ගමන් යනහැටි, කියන්න ඕනේ නැහැනේ. කෙලින්ම විශ් එක මූණටම දෙන්න පුළුවන් ඒ නිසා. අද කරන විදිහට, කණ්ඩායම් කෙටි පණිවිඩ, කුට්ටි විද්‍යුත් තැපැල් ගහලා, ඔන්න මම ඔක්කොටම සුබ පැතුවා කියලා හිත හදගන්න පුළුවන්ද? ඇත්තටම පුළුවන්ද? මටනම් බැහැ. ඒ නිසා මම සාමාන්‍යයෙන් මුහුණට හමුවන අයට පමණයි, ජනවාරි පළමුවැනිදාට, සුබ අලුත් අවුරුද්දක් වේවා! කියා කියන්නේ. නමුත් මට එන විද්‍යුත් සුබපැතුම් වලට පිළිතුරු දෙන්නේ, යාලුමිත්‍රකම් රැකගැනීමේ අභිලාෂයෙන් විනා, එහි කිසිදු වැදගත්කමක් ඇති නිසා නොවේ. ජනවාරි පළමුවැනිදා වෙනුවෙන් සුබපැතුම් පත් යැවීමට වඩා මා ප්‍රියකරන්නේ, වෙසක් සුබපතුම්පතක් යැවීමටයි.
සිංහල අවුරුද්දට ගෙදර නොඑන, තම විවාහක දරුවන් නිසා සිත්තැවුලට පත්වන වයසක දෙමව්පියන් පිළිබඳ කෙටිකතා, නවකතා, චිත්‍රපටි, ටෙලිනාට්‍ය, කොපමණ බිහිවී ඇද්ද? එම නිර්මාණ බලා, ඒ ප්‍රශ්නය විසඳී ඇද්ද? එය කවදාවත් සම්පූර්ණයෙන් නොවිසඳෙන ප්‍රශ්නයක් බව, මුලින්ම අවබෝධ කරගත් යුත්තේ, අපේ වයසේ ඉන්න වැඩිහිටි පරපුරයි. අපේ වැඩිහිටි පරපුර, වර්තමානයට අනුව හැඩගැහීම අතින් නම්, තවමත් ඉන්නේ බොහොම පසුගාමීවයි.
ජනවාරි පළමුවැනිදා උදේ, මත්පැන් ගඳ වහනය වෙමින් ඉන්නට, රතුවූ දෑසින්, බමන මතින් ඉන්නට, මා අතිශයින් අප්‍රිය කරනවා. ඒ නිසා, බොහෝවිට, නොගියොත් මිත්‍රත්වය පළුදුවන තරමේ, දෙසැම්බර් 31 වැනිදා රාත්‍රියේ සාදයකට ඇරයුමක් ලැබුනොත්, මා සෑමවිටම කරන්නේ, බීර ස්වල්පයක් පානය කිරීම පමණයි. ජනවාරි පළමුවැනිදා මට අතිවිශේෂ දවස නොවූවත්, එලෙස සලකන කෙනෙකුට එදින උදේම මා මුණගැහුනොත්, ඔහුගේ/ඇයගේ අප්‍රසාදයට ලක්වන්නට මා කැමති නැහැ.
'ජනවාරි පළමුවැනිදා අලුත් ආරම්භයක් ගන්නවා' කියන අයගෙන්, සීයට කී දෙනෙක්ද ඒ ආරම්භය, ඒ අවුරුද්ද පුරා පවත්වාගෙන යන්නේ? ඒ නිසා, මා නම් හිතන්නේ, ජනවාරි පළමුවැනිදා, වෙසක් දවස, නත්තල් දවස, වැනි කිසිම ජාතික ආගමික දවසක් අවශ්‍ය නැහැ, ජීවිතයේ අලුත් ආරම්භයක් ගන්නට. සුදුසුම දිනය අද, වෙලාව මේ දැන්, කා එක්කද? කවුරුවත් අවශ්‍ය නැහැ. ඔබට ඉන්නේ ඔබ පමණයි.
අද්‍යතන ජීවන රටාව තුළ අපේ ජීවිත යාන්ත්‍රීකරණය වීමේ භයානක ප්‍රපාතයකට අපි වැටෙමින් ඉන්නවා කියා ඔබට ඉඳහිටවත් දැනෙන්නේ පෙනෙන්නේ නැද්ද? මෙය වලක්වාගන්නේ කොහොමද? එකම එක විසඳුමයි තියෙන්නේ. එනම්, අප සියලුදෙනාම, අපට හැකි උපරිමයෙන්, අල්පේච්ඡතාව simplicity වෙත නැඹුරු වීමයි. ඒ තමයි විසඳුම. අල්පේච්ඡතාව, ලොව ආගම් කතුවරුන් බොහොමයක් අනුදැන වදාළ ක්‍රියාමාර්ගයක්. ධනය, බලය, දේපල, වස්තුව, අප සියලුදෙනාට අවශ්‍යයි. නමුත්, එහි සීමාව කොතැනකදැයි සිතා බලන්න. ඒ සීමාව පළමුවද, දෙවනුවද, තුන්වනුවද ඇතිකරගත යුත්තේ, ඔබේ සිත තුළයි.
සමාජය සමග තරගයට නොගොස්, විවිධ වෙළඳ ප්‍රචාරණ වල ඉලක්ක බවට පත්නොවී, තම ආර්ථිකය කළමනාකරණය කරගන්නට, අසල්වැසියන් කරන කරන දේ, ඉවක් බවක් නැතිව කරන්නට ගොස්, අමාරුවේ නොවැටෙන තත්වයට පත්වන්නට, සමාජ හරයන් ලෙස, අපේ ඔලුවට බලෙන් ඔබ්බවා තිබෙන, බොහෝ ඊනියා චාරිත්‍ර, ඇත්තටම අපට වැඩදායකදැයි නැවත නැවතත් සිතාබලන්නට, ඔබත්, ඔබේ දරුවනුත් යන්නේ යම්කිසි පැහැදිලි ඉලක්කයකටදැයි නැවත සිතාබලන්නට, ස්වාධීන චින්තනය මගින් ජීවිතයේ ස්ථිර අඩිතාලමක් දමාගන්නට, මේ අවුරුද්දේ, මේ දැන් සිට අධිෂ්ඨාන කරගන්නට, ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා!
ඒ මගේ පැතුමයි.
2016 ජනවාරි මස 1 වැනි දින 0001 පැය
ඔබතුමා දී ඇති අවවාදය ඉතා අගෙයි. 2016 ට හැමෝටම හොඳක් වෙයි පිලිපැද්දොත්
ReplyDeleteබොහොම ස්තුතියි. මේවා අවවාද වලට වඩා යෝජනා වශයෙන් සලකනවා නම් හොඳයි. අද කාලේ අවවාද දෙන්නට යාම භයානක ක්‍රියාවකි.
Deleteහිතට තදින් දැනුණ මාත් හිතන විදිහ.
ReplyDelete//ජනවාරි පළමුවැනිදා, වෙසක් දවස, නත්තල් දවස, වැනි කිසිම ජාතික ආගමික දවසක් අවශ්‍ය නැහැ, ජීවිතයේ අලුත් ආරම්භයක් ගන්නට. සුදුසුම දිනය අද, වෙලාව මේ දැන්, කා එක්කද? කවුරුවත් අවශ්‍ය නැහැ. ඔබට ඉන්නේ ඔබ පමණයි.//
ඒ අදහස් වල පදනම බෞද්ධ දර්ශනයයි.
Deleteඅළුත් අවුරුද්දේ උදේ පාන්දර අගේ ඇති ඔවදන් මිටක්...
ReplyDeleteසුභ නව වසරක් වේවා...
වැඩි වැඩියෙන් ලාග්ගන් අහුවේවා !!!
ජ ය වේ වා !!!
ඔවදන් කොහොම වෙතත් හිතලා බලන්න අදහස් ටිකක් තමා ලිව්වේ.
Deleteහපොයි ආයෙත් ලාග්ගෝ අහුවුනොත් මම කම්මුතුයි.
දියුණුව කරා පියනගන නව වසරක් වේවා!
ඔන්න විචාරකතුමෝ පෝස්ට් එක කියවන්නත් කලින්නම #සුභ අලුත් අවුරුද්ද්ක් වේවා# කිව්වා.
ReplyDeleteජය වේවා!
වාසනා වේවා!
කරන කියන කටයුතු සාර්ථක වේවා!
බොහොම ස්තුතියි. ඔබටත් යහපතක්ම වේවා!
DeleteThis comment has been removed by the author.
ReplyDelete++++++
ReplyDeleteහම්මෝ............අලුත් අවුරුද්දේ වැටවල් නොගහා, තියන වැටවලුත් කඩමු මලියෝ :e
Deleteහැම දේම රැල්ලට නොකර අඩුම තමන් කැමති දේ වත් නිදහසේ කරන්න ඕන. අවුරුද්දට විශ් නොකලම සමහර අයගෙ හිත් රිදෙනව ඉතිං මං ඒ අයටත් අරයටත් මෙයාටත් ඔක්කටම ව්ෂ් කරනව එතකොට අහවරයි නෙ.. ඒත් ඉතිං මෙහෙම දේකුත් තියෙයි
ReplyDeleteහුගක් වෙලාවට ඒක ඇස් ඇම් ඇස් එකක් විතරයි.
විචාරක තුමාටත් සුභ නව වසරක් වේවා
එක බිත්තියෙන් වෙන්වෙලා ඉන්න අල්ලපු ගෙදර එක්කෙනත් මේ ගෙදර එක්කෙනාට SMS සුබපැතුමක් එවන තරමට අපි පිරිහුනේ කොහොමද කියලා සෑහෙන දුරට හිතලා බලන්න වෙනවා. මට එන එවැනි පණිවිඩ සමහරක් මම නොදන්නා අංක වලිනුත් එනවා. ජනවාරි පළමුවැනිදා මම විනාඩි 15 ක් පමණ අපේ ගෙදර ගේට්ටුව ළඟ (පිරිසිදු ඇඳුමකින් සහ ප්‍රසන්න සිනහවක් සමග) රැඳී සිටිමින් අසල්වැසියන් 50 කට පමණ සුබපැතුවා.
Deleteඔබට මේ නව වසරේ යහපතක්ම සිදුවේවා!
විචා මාමේ...........
ReplyDeleteසුභ නව වසරක් වේවා.................
කුරුටු කණ්ඩායමේ දුවලා පුතාලා සැමටම වාසනාවන්ත නවවසරක් වේවා!
Deleteවටිනා අදහස් ටිකක්. මම නම් ජනවාරි පළවෙනිදා සහ අප්‍රේල් අවුරුදු දවසේ උදේ පන්සල් ගිහිං එනවා. ඒ හම්බවෙන හැමෝටම සුභ අලුත් අවුරුද්දක් කියනවා. වඳින්න ඕනේ අයට වඳිනවා. මැසේජ් ටිකට නම් රිප්ලයි කරනවා. එච්චර තමා. මට නම් මෙතුවක් කාලෙකට කවුරුවත් මේල් ගහල නෑ අවුරුද්දට.
ReplyDeleteඒ වගේම, අල්පෙච්ජතාව හුරු වෙන්න පුළුවන් නම් ඒක තමා හොඳම. අර බුදු හාමුදුරුවොත් කිව්වේ, කිසිම දේකට නැකතක් අවශ්‍ය නෑ, මේ වෙලාව තමා හොඳම වෙලාව කියලා...
එහෙනම්, ඔන්න විචාරක තුමාටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!
බොහොම ස්තුතියි. ඔබ අනුගමනය කරන ප්‍රතිපත්ති බොහොම හොඳයි. ඔබට දියුණුව කරා පියනගන්නට මංපෙත් විවර වේවා!
Deleteමුනුපුරු මිනිපිරියන් පිරි වාසනාවන්ත නව වසරක් වේවා....!!!
ReplyDeleteහලේ........අපිට තියන උවමනාව උන්ට නෑ වගේ.
Deleteසුබ නව වසරක් වේවා!
"ඒ වගේම කොච්චර ඈතින් ගෙවල් තිබුණත්, අපි එකිනෙකා බදාගෙන, බෙදා හදාගෙන හිටියා. කොයි ගෙදරත් ළමයි කාගේත් ළමයි ලෙස සැලකුණා. මට මතකයි, මම රස්තියාදුවේ ගිහින්, මගේ පියාගෙන් ගුටි කෑ අවස්ථා කීපයකදීම, මා රස්තියාදුවේ ගියබව, මගේ පියාට වාර්තා කර තිබුණේ, අපේ අසල්වැසියන්, අපි බඩුගන්න කඩේ මුදලාලි, වැනි අය. නමුත් එළෙස මගේ තත්වයට වැටුණු ළමයි කවුරුවත්, ඒ වැඩිහිටියන් සමන්වන්න ගියේ නැහැ. තරහක් ඇතිවුණත් ටික කාලයයි. ඒ වැඩිහිටියාම, අපිට, 'ඉඳා පුතේ ලොසින්ජරයක්' කියා අපට යමක් දෙනවා. 'මගේ පුතා ආයේ රස්තියාදුවේ යන්ඩ එපා' කියලා කරුණාවෙන් කියනවා, තමන්ගේ ළමයෙකුට වගේ." මේ අත්දැකීම මටත් ටිකක් වෙනස් වුනත් ඔයවගේම තියනවා. ඒ කාලෙ වෙනත් වැඩිහිටියන් දෙමාපියන්ට ගුරුවරුන්ට හාමුදුරුවන්ට පැමිණිලි කිරීමට පෙර අනතුරු අඟවමින් අවවාද කළ හැටිත් මගේ අත්දැකීම් වලට එකතු වී තියනවා. ඒ අපූර මනුස්ස කම් නැවත නැගිටුවාගත හැකිනම් ????????????? .........!!!
ReplyDeleteමේ ලෝකේ තියන අමාරුම යුද්දේ මිනිහෙකු තුළ තියන මනුස්සකම නගිටවා ගැනීම තමයි ගුණසිංහ මහත්තයෝ. ඒ වැඩේට ඉතින් බුදු කෙනෙක් පහල වෙන්න ඕනේ. අඩු ගාහේ ධර්මපාල උන්නාන්සේ කෙනෙක්වත්.
Deleteමේ අවුරුද්දෙවත් ඔබතුමා හමුවන්නට ලැබේවා!
මුනුපුරු මිනිපිරියන් පිරි වාසනාවන්ත නව වසරක් වේවා....!!!
ReplyDelete(උපුටා ගැනීම....මහාචාර්ය මාතලන් ගෙන් )
අනේ වාසනාවන්...!
හිහ් හිහ්, අපිට තියන ඕනෑකම, අපිට මුනුබුරු මිනිබිරියන් හදලා දෙන්න ඉන්න එවුන්ට නෑ වගේ. බලමුකෝ මේ අවුරුද්දෙවත්.
Deleteජයවේවා!
ඔබට සුභ නව වසරක් වේවා!
ReplyDeleteබොහොම ස්තුතියි. ඔබටත් එසේම වේවා!
Deleteහිතන්න යමක්.. හරිම අගෙයි .… !!!!
ReplyDeleteසුබ අලුත් අවුරුද්දක් ඔබටත් පවුලේ හැමටමත් සෑර්.. !!!
බොහොම ස්තුතියි පත්තරේ. දැන් ස්කයිප් එකෙන් 'චාච්චේ......ගෙජල එන්නේ කවජ්ජ' කියලා අහනකොට මොකද හිතෙන්නේ?
Delete//අපි හිතේ හැටියට සුබපැතුවේ සිංහල අවුරුද්දටයි. පටන් ගන්නේ පන්සලෙන් නොවැ.// දැන් පන්සල් වලින් වෙන වෙන දේවල් පටංගන්න එකත් මේකට එක හේතුවක්.
ReplyDeleteමොනව උනත් හොඳ කරුණු ටිකක් විචා.
ඔන්නොහෙ මගෙන් සුබ නව වසරක් වේවා කියන පැතුම පිළිගන්න.
උඹටත් සුබම සුබ නව වසරක් වේවා ප්‍රස්න්න අයියා..
Deleteඑසේම වේවා පත්තර මලයා...
Deleteබෞද්ධ දර්ශනය ආශ්‍රිත සද්චාරිත්‍ර අපිව පිරිහීමට යාමෙන් වලක්වාගන්නවා.
Deleteසුබ පැතුමට ස්තුතියි. ඔබටත් දියුණුව වෙත පියනගන්නට ලැබේවා!
ලියන්න හදපු දෙයක් ඊටත් වඩා බර සාරෙට ලියලා.. බොහොම සංතෝසයි.ඔලුවට යමක් දාගෙන්න දීපු එක නම් වටිනවා..
ReplyDeleteජයවේවා..!!
මෙතැනදී මම කළේ, අලුත් අවුරුද්ද කට ළඟට එනතුරු නොසිට, කල්තියා, සිතා මතා, යමක් ලිවීම පමණයි.
Deleteඔබට යහපතක්ම වේවා!
ඔබ තුමාගේ අවවාදය බොහොම වටිනවා. ඒත් අපේ මිනිස්සු නිරායාසයෙන්ම අහු වෙන්නේ අන්න එතනටම තමයි.
ReplyDeleteසුබ නව වසරකක් වේවා විචාරක තුමනි.
මෙය අවවාදයකට වඩා, යෝජනාවක් ලෙස සලකා බලන හැටියටයි මා ඉල්ලන්නේ.
Deleteඔබට යහපතක්ම වේවා!
ඔබතුමාගෙ පැතුමට ගොඩක් ස්තූතියි. ඔබතුමාටත් එසේම වේවා!!
ReplyDeleteබොහොම ස්තුතියි ඩ්‍රැකී, ඔබට සර්වප්‍රකාරයෙන්ම යහපත උදාවේවා!
Deleteවිචාරක තුමා
ReplyDeleteලැබූ 2016 නවවසර ඔබට සහ පවුලේ සැමට සුභ නව වසරක් වේවා .
සමරසේකර
සමරේ, ඔබ වැන්නකුගේ පැතුම මට බොහොම වටිනවා. වෙලාවක් ඇත්නම් මට ඊ මේල් එකක් එවනවද? wmjgslsr@gmail.com
Deleteඔබටත් පවුලේ සැමටත් යහපත, සැනසීම උදාවන නව වසරක් වේවා!
2016 සුභ නව වසරක් වේවා
ReplyDeleteඔබට වාසනාවන්ත නව වසරක් වේවා!
Deleteආපහු ගමට යන්න බැරි නිසා පුළුවන් හැටියෙන් අද තියෙන විදිහට අපි විශ් කර ගන්න ඕනිනේ . විචාරකට හා පවුලේ සැමට සුබ අලුත් අවුරුද්දක් පතනවා
ReplyDeleteසම්පූර්ණ ඇත්ත. හැබැයි ඒ ගම අපේ හිත අතුරේ සංරක්ෂණය කරගත්තොත් හුඟක් දේවල් කරන්න පුළුවන්. තට්ටු නිවාස වුනත් ගමක් කරගන්න පුළුවන්. නවීනත්වය විසින් අපිව රෝබෝවන් බවට පත්කිරීමට එරෙහිව අපේ සිත් තුළ ප්‍රතිවිප්ලවයක් කරන්නට කාලයයි මේ.
Deleteයුද්ද කාලේ, සොල්දාදුවෝ, තමන්ගේ යකඩ තොප්පිය තාච්චියක් ලෙස පාවිච්චි කරලා, බංකරේ ඇතුලේ කැවුම් බැද්දේ, උන් අර නැතිවී යමින් පවතින ගමෙන් ආවත්, තවමත් ගැමිකම හිතේ ඉතුරුවී තියන නිසයි.
ඔබටත් පවුලේ සැමටත් යහපත උදාවන නව වසරක් වේවා!
1.//ඒ වගේම කොච්චර ඈතින් ගෙවල් තිබුණත්, අපි එකිනෙකා බදාගෙන, බෙදා හදාගෙන හිටියා. කොයි ගෙදරත් ළමයි කාගේත් ළමයි ලෙස සැලකුණා.// මට මතකයි අපේ තාත්තා කියනවා ඒ කාලෙ වතුවල මායිම් වෙන් කරලා තාප්ප වැටවල් පාරවල් නෑලු. මුළු ගමම එකා යායක්ලු. ගමේම ළමයි සෙල්ලමට ගම පුරාම දුවනවලු කිසිම බාධාවක් නැතුව. ඉඳලා හිටලා එක්කෙනෙක් දෙන්නෙක්ලු වැටවල් ගහලා කාටවත් වත්තට පනින්න නොදුන්නෙ.
ReplyDeleteඒවගේම එක ගෙදරක විශේෂ දෙයක් ඉව්ව වෙලාවට අහල පහල එවල් වලටත් පිඟානක් හම්බවෙනවලු. තව කිව්වොත් එක ගෙදරක උයන්න පරක්කු නම් ඒ ගෙදර ළමයින්ට අඬගහලා බත් ටිකක් දෙන්න තරම් පරිත්‍යාගශීලී මිනිස්සුලු ගමේ හිටියෙ.
2. // අපේ වැඩිහිටි පරපුර, වර්තමානයට අනුව හැඩගැහීම අතින් නම්, තවමත් ඉන්නේ බොහොම පසුගාමීවයි. // මේක නම් ඇත්ත. දැන් හොඳටම පැහැදිලියිනෙ කලින් තිබ්බ අතීතයට ආපහු යන්න බැරිබව. ඉතින් කාලයට අනුව හැඩගැසීම තමයි කරන්න ඕනෙ. වයසක අය තාම ඉන්නෙ කාලයකට කලින් ඒගොල්ලො ජීවත් වෙච්ච රීතීන් ඇතුලෙමයි. ඉතින් ඒවායින් චුට්ටක් හරි අපගමනය වෙච්චි ගමන් මරාගන්න හදනවා.
3. ඇත්තටම මට නම් හිතෙන්නෙ අපි ජීවත්වෙන්නෙ වෙළෙඳන් විසින් අපිව පාලනය කරනා ලෝකයක බවයි. ඒ මදිවට තරඟය අපේ ජීවිත තව තවත් සංකීර්ණ කරනවා. මේ තරඟකාරී ජීවන රටාවේ ආරම්භය කොතනද? මට මතක් වුනේ කතාවෙ කොකාකෝලා බෝතලයෙන් තරඟය ඇතිවෙච්ච හැටි.
4. විචාරක මහත්මයාටත් පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!
අතීතයට ආපහු යන්න බැරුවා වගේම යන්න ඕනෙත් නැහැ හරී. නමුත් අතීතයෙන් ගතහැකි වැදහත්, හරවත් දේ, වර්තමානයට ගැලපෙන්න ටිකක් වෙනස් කරලා, සාර්ථකව යොදාගන්න පුළුවන්.
Deleteඔබේ පියා කියලා තියන දේ හරි. අපි පොඩි කොල්ලන් කාලේ දන්නවා ගෙවතු මැද්දෙන් පැනගෙන ඉතා කෙටි පාරවල් දිගේ ඕනෙම දිහාවකට යන්න. ඒ ගම ආයේ එන්නේ නැහැ. නමුත් ඒ ගමේ තිබුන මිනිස්කම, අපි ආපහු අපේ හිතට ගෙන්වාගන්න ඕනේ.
අද ඉන්න වැඩිහිටි පරපුර ගැටුම් ඇතිකරගන්නේ, ඔවුන්ගෙන් බහුතරයකට, වර්තමානයට හැඩගැහෙන්න කවුරුවත් අතහිත නොදෙන නිසා. විශේෂයෙන්ම විවිධ නවීන විද්‍යුත් මෙවලම් පරිහරණය කරන්න, තරුණ පරපුර විසින් වැඩිහිටියන්ව උනන්දු කරවන්න, කියාදෙන්න, උදව් කරන්න, අවශ්‍යයි. ඔවුන් අධෛර්යයට පත්කලාම තමයි ගැටුම් ඇතිවන්නේ.
වෙළඳපොල මාෆියාවෙන් ගැලවෙන්න එකම බෙහෙත තමයි අල්පේච්ඡ බව. ඒ ගැන බුදුහාමුදුරුවොත් ජේසු තුමාත් කියා තිබෙනවා.
ඔබේ සහ බිරිඳගේ දෙමව්පියන්ටත්, ඔබේ පුංචි කදල්ලටත් ජේසු පිහිටයි! සුබ නව වසරක් වේවා!
ඉතා අගනා ලිපියක් , අදහස් ටිකක්
ReplyDeleteබොහොම ස්තුතියි ඔබට. නව වසරේදී ඔබට යහපතක්ම වේවා!
Deleteඅපි ඉන්න පැති වල ඉතින් ජනවාරි පළමු වැනිදා තමයි ආරම්භක දවස. හැම දෙයක්ම ආරම්භ කිරීමට සුදුසුම වෙලාව අද, හොඳම නැකත දැන් කිව්වේ බුදු හාමුදුරුවෝමයි. නමුත් වැඩිපුරම නැකත් බලන්නෙත් බෞද්ධයෝමයි. ජනවාරි සිට එන අවුරුද්ද නව අවුරුද්දක් ලෙස සලකන නිසා ඔබට සුභ නව වසරක් පතනවා.
ReplyDeleteබොහොම ස්තුතියි. බෞද්ධයන්ගෙන් සෑහෙන පිරිසක් වල්මත්වී සිටින්නේ ආගමික නිදහස වරදවා වටහාගැනීමෙන්.
Deleteව්‍යවහාරික වර්ෂ ක්‍රමය අනුව ඔබටත් සුබ නව වසරක් ප්‍රාර්ථනා කරනවා.
විචාරක මහත්මයාටත් පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා !!!
ReplyDelete