හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

18 August 2016

සොළොස් මහා ගීත වන්දනාව

   ඉයන් උන්නැහේගේ ගීතාභියෝගය, සිංහල බ්ලොග් ලෝකය තුළ, නව රැල්ලක් ආරම්භ කරන්නට සමත්වී තිබෙන බව පෙනෙනවා. ඇත්තෙන්ම, මේ අදහස, සාර්ථකව බ්ලොග් රචකයන් අතර පැතිරී ගොස් තිබෙන බව පෙනෙනවා. ටිකක් ප්‍රමාද වී හෝ, මේ සොළොස් මහා ගීත වන්දනාවේ යෙදෙන්නට මටත් හිතුනත්, මතකයේ ඇති ගීත සිය ගණනක් අතරින්, දහසයක් තේරීම ම, ලොකු අභියෝගයක්. ඒ වගේමයි, ගායක ගායිකාවන් දහසය දෙනෙකු පමණක් තෝරාගැනීම, ඊටත් වඩා ලොකු අභියෝගයක්. මෙහිදී මා අවසානයට ගත් තීරණය වුනේ, 1960 දශකයෙන් පටන්ගෙන, සොළොස් මහා ගීත වන්දනාවේ යෙදෙන්නයි. 



1. මහා ගාන්ධර්වයාගේ විස්ම ප්‍රාතිහාර්යය 

මහා ගාන්ධර්වයා, මුලින්ම අප සිත් තුළට එබී බැලුවේ, ඈත කඳුකර හිමව් අරණක සිට ය. එම දිව්‍යමය ස්තෝත්‍ර ගායනය, දන මන පුබුදුවන, තුරුණු සිත් පොළඹවන, සුගායනයක්ම විය. ආචාර්ය පණ්ඩිත් අමරදෙව් ශූරීන්, ලොවට දායාද කල අනුපමේය මහා ගීත සාගරයෙන්, එක් බිඳක් හෝ කණ වැකීම ම, මෙලොව අමා මහ සුවයකි. නාරි ලාලිත්‍යය මෙන්ම ස්වභාව සෞන්දර්යය ද, අපූරු රටාවකට එකට ගොතා, ශෘංගාරය මුසුවූ ලෝක ස්වභාවය, බෞද්ධ දර්ශනයේද ඡායාවක සඟවමින්, යථාර්ථවාදීව ඉදිරිපත් කළ, දර්ශනවාදී ගීයකැයි හඟිමි. අග්‍රගණ්‍ය ගේය පදරචක, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ ශූරීහු මේ ගීයේ පදමාලාව මැවූහ.


2. සුසිල්වත් මනමෝහකයා 

සුසිල්වත් මනමෝහකයා, බහුවිධ දක්ෂතාවන්ගෙන් හෙබි, විශ්වකර්මයෙකි. වරෙක හෙතෙම, තම සිතුවම් මැවීමේ ප්‍රාතිහාර්යයෙන් අප දෙනෙත්, අප සිත්, අපූර්ව මනෝ ලෝකයකට රැගෙන යයි. වරෙක තම සොඳුරු සුගායනයෙන් අප මත් කරයි. ශ්‍රාවකයාගේ මනස තුළ චිත්තරූප මැවීම අතින් ද, විදිලි සරයක් මෙන් තුරුණු සිතක ඇතිවූ, ක්‍ෂණික ප්‍රේමාවනද්ධ  හැඟීමක් පිළිබඳ අපූර්ව ගේය කථනයක් මවන මේ ගීතය, මා සිත තුළ අදත් නොමැකී පවතී.




3. මෝහනීය සිසිර මාරුතය 

ඔහුගේ කඩවසම් බව තිබුනේ, රූපකායේ පමණක් නොවේ. ගීත ගායනයේ ද, ඒ කඩවසම් බව මොනවට රැඳී තිබුණි. ඒ ගායනයෙන් මත් නොවුණු, මෝහනය නොවුණු තරුණ සිතක්, ඒ කාලයේදී නොතිබුණු තරම් ය. තම දැඩි ශික්ෂිත හඬ මාධූර්යයට,  නිවැරැදි උච්ඡාරණ කුසලතාවද කැටිකොට, ඔවුන් විසින් ගුවනේ පා කළ ගීත ධූප වලාවෝ, අද ද අප හදවත් සුවඳ කෙරෙති.




4. ගී රද වූ නාරද 

විරහවේ යථාර්ථය කෙබඳුද යන්න, ලාංකේය ගායන ඉතිහාසයේ සටහන් කළ මුල්ම ගායකයන් අතර, නාරදට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. පිදූ ප්‍රේමය, අවතක්සේරුවට, අපහාසයට, ගර්හාවට, නොසැලකිල්ලට ලක්වීම, අසන්නා තුළ දැඩි කම්පනයක් ඇතිවන පරිදි, තම පෞද්ගලික අද්දැකීමක් ඉදිරිපත් කරන ආකාරයට කෙරෙන, මේ අපූර්ව ගීතය, මතකයේ නොමියෙන්නකි. මෙහි දැක්වෙන්නේ, මුල් ගායනය නොව පසුකලෙක, නොගැලපෙන සංගීතයක් සහිතව කළ ගායනයකි. මුල් ගායනයට ඉතා ආසන්න ලෙස ගායනය කළ අවස්ථාවක්, මෙතැනින් ඇසිය හැකියි.






5. මහා ගායනා කළ කුඩා මිල්ටන් 

ශරීර ප්‍රමාණයෙන් කුඩා වූ ඔහු, ලාංකේය ගීත ක්ෂේත්‍රයේ මහා ප්‍රතිරූපයක් විය. මුල් කාලයේදී අනුකරණ ගීත වෙත වැඩි අවධානය යොමු කළ ද, දක්ෂ සංගීතවේදීන්ගේ ඇසුර තුලින්, ඔහු තම හැකියාව ඔපමට්ටම් කරගෙන, ස්වතන්ත්‍ර නිර්මාණ තුළින්, ගීත ලෝකයේ ඉහළටම ගොස්, තම කීර්ති කදම්බය පතුරවාලීමට සමත්විය. මේ ගීතය, එකල්හි, ගුවන්විදුලියෙන් ඇසෙනවිට, කඳුළු සලන පෙම්වතුන් පෙම්වතියන් සිටි බව, මට හොඳටම මතකය. සරල පදමාලාවක් තුලින්, ඔහු මවන භාවමය හැඟීම් සමුදාය අද ද, එදා මෙන්, එක සේ අගය කළහැකිය. වීඩියෝවක් සොයාගැනීමට නැත. ගීතය මෙතනින් අසන්න.



6. තරුණ බවින් කුල්මත් හඬ 

මේ කතාව CD ගැනවත්, 'ෆොන්සේකා' ගැනවත් නෙවෙයි. ඒ දෙකම එකට එකතුවුන සී.ඩී.ෆොන්සේකා ගැන. 60 දශකයේ ජනප්‍රිය ගායකයන් අතර ඔහු ඉහලින් සිටියේය. ඒ හඬ තරුණ සිත ඇමතීම සඳහාම උපන් හඬකැයි සිතෙයි. ඔහු වයසට ගියද, ඔහුගේ තරුණ හඬ වයසට නොගියේය. පාසල් ප්‍රේමය පාදක කරගත් මේ ගීතය, සරල ජනප්‍රිය ගීතයක් ලෙස, හදේ කොනක අදත් ලැගුම්ගෙන සිටී. 



7. සංගීතය ඉක්මවා ගිය විස්මිත දේවානන්ද හඬ 

ඔහුගේ ගායන විලාශයට, සංගීතය කුමකටදැයි බොහෝවිට මට සිතේ. ඔහුගේ මධුර ස්වරය, එකම සංගීතයකි. එහි ඇත්තේ, හුදු කටහඬ පමණක් නොවේ. ස්වර පරාසයන් තුළ දිවෙන, සංගීතමය මන්ත්‍රයකි. ඒ ගායනය, සිත් පහන් කරයි. මනස සන්සුන් කරයි. අසන්නාගේ සිත, සංගීතමය භාවනාවක් වෙත පා කර යවයි.




8. පරිපූර්ණ සංගීතඥයා 

ගායන ලොවට පිවිසි මුල් යුගයේ සිට, ඔහුගේ ගැඹුරු එහෙත් සන්සුන් හඬ, අසන්නන්ගේ සිත් තදින් පැහැරගත්තේ, මන්ද්‍ර, මාධ්‍ය, උච්ඡ, සප්තකයන් තුළ, වේගවත්ව, තානය, ලය, ශ‍්‍රැතිය, අපූර්ව ලෙස සුරකිමින්, ගීතය රසමසවුලක් සේ අප සවන්පත් වෙත ගලා එවීමේ නෛසර්ගික හැකියාව නිසාමය. ඇත්තෙන්ම ඔහුගේ ගීතසමුදාය අතරින් එකක් තෝරාගැනීම දුෂ්කරක්‍රියාවකි. මේ ලිපිය ලියන මොහොතේදී ද, ලිපිය ලිවීම පසෙක තබා, ගීතය යලිත් වරක් රසවින්දෙමි. 




9. හදවත් සනසන්නා මුසපත් කරන්නා 

ඔරුවක පාවෙන රෑ ගැන අඳුරේ ගීතය, 60 දශකයේදී එළිදැක්වූ මොහොතේදී, එය හින්දි ගීතයක අනුකරණයක් දෝ, යන සැකය, බොහෝ දෙනා තුළ මතුවිණි. එහෙත්, ඊනියා අනුකාරකයකු බවට පත්නොවුණු ඔහු, ගායකයකු ලෙස, තමන් තුළ, ඕනෑතරම් ශක්‍යතා, කුසලතා, සහජ දක්ෂතා ඇති බව, මොනවට ඔප්පු කළේය. මගේ පෞද්ගලික ජීවිතයේදී, මා අත්විඳි විරහ වේදනාවක ප්‍රේමනීය රසය, අද ද නොඅඩුව ලැබෙන මේ ගීතය, මා ජීවිත සිහිවටනයකි. 





10. හදවිල කැළඹෙයි 

කවදත් කොතනත් ඉක්මනින් කැළඹෙන්නේ, තරුණ හදවත් බව අමුතුවෙන් කිවයුතු නැහැ. ඒ කැළඹීම වඩාත් තීව්‍ර වන්නේ, හදවත් දෙකක් අතර ඇතිවන කැළඹීමක්, ඒ දෙහදටම දැනෙන රිද්මය අනුවයි. පාසල් යන කාලයේදී, හෙමින් හෙමින් අපේ හිතට, ආදරය යන මිහිරි සිහිනය මෝදුවුනේ, මෙන්න මේ වගේ ගීත ඇසීමෙන්. එදා ඇගේ හිරිමල් තරුණ හඬ, මේ ගීතය තුළ මොනවට ගැබ්ව පවතිනවා.

 


11. නිහඬවූ සුරඟන 

සැබෑ ලෝකයේ සුරඟනන් ඇතැයි කියා විශ්වාස මම විශ්වාස නොකරමි. 
නමුත්, සිංහල ගීත ලෝකයේ සුරඟනන් ඇතැයි විශ්වාස කරමි. අකාලයේ නිහඬ වූ මේ සුරඟන, අප හදවත් දිනාගත්තේ, ළමා ගායිකාවක ලෙස ගීත ලෝකයට පිවිසි යුගයේ සිටයි. ඇගේ කුමන ගීතය තෝරාගතයුතුදැයි උභාතෝකොටිකයකට පත්ව සිටින කල්හි, වත්මන් පෙම්වතුන් පෙම්වතියන්ටද ඔබින, පෙරදිග චින්තනයද පිළිබිඹු කරන, ඇගේ සුරංගනා හඬ උපරිමයෙන් ඇතුලත් මේ ගීතය, මතකයට නැගුණා. 







12. ගීතයේ සිරිමතිය 

සංගීත ගුරුවරියක ලෙස, සිය දිවිය පුරා කල මහා මෙහෙයට අමතරව, ගායිකාවක ලෙස, සිංහල ගීත කෙත අස්වැද්දීමට ඇය ගත් වෙහෙස අපමණය. වර්ණනා විෂයාතික්‍රාන්ත ය. සරල සුගම පදමාලා, ඇගේ සුකොමල හඬින්, අප සවන් පිනවද්දී, එමගින් අප මහත් අමන්දානන්දයට පත්කරද්දී, 'ජීවිතය නම් මේ යැ'යි සිතු වාර අනන්තය. ඇය සුවඳැති ගීත පුබුදුවන නෙලුම් විලක්ම වූවාය. 




13. ගීතයේ සිහල රූපය 

දේශීය සංගීතය නම් මේ යැයි කියන්නට, උදාහරණ සපයද්දී, ඇගේ ගීතමය ස්වරය, ඒ සඳහා ලබාදිය හැකි ඉහලම ප්‍රමිතියේ පරමාදර්ශයක් බව නොකිවමනාය. දේශීය සංගීතය තුළ, ඈ ලද ශික්ෂණය සහ සතතාභ්‍යාසය, ඇගේ සෑම ගායනයක් තුලින්ම, මනාව පිළිබිඹු වෙයි. නිරායාසයෙන් නැගෙන ඇගේ ගීතමය ස්වරය තුළ, කිසියම් ශෝකී බවක ඡායාවක් මම දකිමි. එම ස්වභාවයෙන්, ඇගේ ගායන විලාශයට, ධාරාලෝකයක් සැපයුවාක් වැනි, අමුතු අලංකාරයක් ගෙනදෙයි. 





14. අකාලයේ වියෝවූ පෙම්වතිය 

ඇගේ අකල් වියෝවෙන්, සිංහල ගීත ක්‍ෂේත්‍රය තුළ ඇතිවූ මහා හිඩැස පුරවන්නට, කිසිවකු නූපදින බව සක්සුදක් සේ පැහැදිළිය. අපේ ගීත ක්‍ෂේත්‍රය තුළ විස්කම් පෑ ගායිකාවන් බොහොමයක්, සංගීත ගුරුවරියන් වීම විශේෂත්වයකි. එමෙන්ම ඒ සංගීත ගුරුවරියන්, කිසිදු විටක ජනප්‍රියත්වය හඹා නොගියවුන් වීම ද, විශේෂත්වයකි. ප්‍රේම ගීත මෙන්ම, විවිධ විෂයයන් අළලා ගැයුණු ඇගේ ගීත සමුච්චය, සිංහල ගීත ලෝකය වෙත පැළඳවූ මුක්තහාරයකි. 




15. ලංවෙන හැටි වෙන්වෙන හැටි කිව්වේ ඔහුයි

ඔහු ආවේ බොහොම නිහඬවයි. ඔහුගේ කාලයේදී බොරු පිම්බිලි, විකුණාගෙන කෑම්, ප්‍රදර්ශන ගායනා, ගැයුමට වඩා දැඟලීමට තැන දීම්, විච්චූරණ ඇඳුම් නොතිබුණි. එබැවින්ම ඔහු, වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ගායකයකු විය. ඔහු ආවේ, සිහිල් සුළං රැල්ලක් මෙනි. ඒ සිහිල් සුළං රැල්ල, සොබා සොඳුරු බව සමග කැටිවූ, අපරිමිත ප්‍රේමයේ ලගන්නා සුලු බව, ලොව්තුරු රසය, සංවර සහ සමීප බව කදිමට පිළිබිඹු කළේය. ශෘංගාරයෙන් තොර ආත්මික ප්‍රේමය මේ යැයි කියන්නට, මේ ගීතය හොඳම උදාහරණයකි. 





16. සුන්දර මිනිසෙකි රන් සමනලයෙකි 

පුංචි දියසීරාවක් ලෙස පටන්ගෙන, සුන්දර දියදහරාවක් බවට පත්වූ ඔහු, ගීත ලෝකය අතික්‍රමණය කලේ, කිසිදු අභියෝගයකින් තොරවය. ගැමි දිවියේ සොඳුරු බව, යථාර්ථවාදීව ඉදිරිපත් කරන මේ ගැයුම, සිංහල ගීත කලාවේ අගනා පියසටහනක් ලෙස හැඳින්වීමට, මම කැමැත්තෙමි. මෙහි ඇති සරල සුගම බව නිසාම, ගීතයක් වශයෙන් එහි ඇති කලාත්මක වටිනාකම, ඉතා ඉහල තැනක පවතී. 




ඔන්න එහෙනම් ලිව්වා ඉයන්. 

2016 අගෝස්තු මස 18 වැනි දින 0107 පැය

56 comments :

  1. ඩැනීගෙ සිංදුවට ආස නැද්ද ? ඒක රනිල්ගේ ආසම සිංදුව

    ReplyDelete
    Replies
    1. මොකක්ද ඩැනීගෙ සින්දුව?

      Delete
    2. රූකන්තගේ සුවඳ ඩැනී ඩැනී.. ඩැනී

      Delete
  2. දාපු නම ගැලපෙනවා. අම්මප මේ සින්දු ටිකෙන් මතක් වුනේ සිසිර සේනාරත්න අමතක වුනානේ මට කියල. සින්දු 50 ක් වත් ලියන්න ඕනේ කැමති ඒවා හැටියට. පරණ හද බැඳී ගීත ටිකක් මතක් කරලා දුන්නට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. මේක එක අතකට සින්දු වන්දනාවක්නේ ඒකයි ඒ නම දැම්මේ. ඇත්තටම අවම වශයෙන් සින්දු 35 ක් වත් දාන්න තිබුනානම්, සාධාරණ ලිපියක් ලියන්න තිබුනා.

      ඇගයීම ගැන ස්තුතියි

      Delete
  3. තවත් ආස කරන සිංදු ටිකක්. අංක 6 සිංදුව හුරුපුරුදු වුණත් ගායකයා ගැන දැනගෙන හිටියේ නැහැ. අනිත් ඒවානම් ඔක්කොම කොහොමටත් ආස, 'දන්න කියන' සිංදු.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.

      ඔව් සී.ඩී. ෆොන්සේකා අද අමතකව ගිය ගායකයෙක්.

      Delete
  4. නියමයි..මෙතනින් ගොඩක්ම කැමතී නෙලුම් විල මමයි සිංදුවට....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිර්මාණී.

      මමත් හරිම කැමතියි ඒ ගීතයට. මම කාර් එකේ මග හයියෙන් දාගෙන යනවා ඔය සින්දුව බොහෝ වෙලාවට.

      Delete
  5. විචා බොහොම ස්තූතියි. නියම කලෙක්ශන් එක

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, අම්මපා තමුන්නැහෙත් ඉඳලා ඉඳලා දාන තොප්පි.

      මේක හරි අමාරු වැඩක් ඉයන්. ගීත 16 ක් තේරීම ඇත්තටම ලොකු අභියෝගයක්.

      Delete
  6. අහලත් නැති එව්වා තියෙනවනෙ.

    ReplyDelete
    Replies
    1. හොඳම දේ අම්මයි තාත්තයි එක්ක ඒ පැරණි ගීත අහන එක. එයාලා ඒ ගීත ගැන ගොඩක් දේ කියයි.

      Delete
  7. මට නම් ඉයන්ගේ අභියෝගය කීයටවත් බාර ගන්න වෙන්නේ නෑ... ඒක මාතලන් ගැන දන්න ඕන එකෙක් දන්න දෙයක්.. උඹ මාව තවත් කරකවලා අත ඇරියා.. ඒකෙන් උනේ 60 ගනන් වලට ඉස්සෙල්ලා යුගයටත් ගෙනිච්ච එක.. නූර්ති ගී, නාඩගම් ගී, මනමේ, සිංහභාහූ, වෙස්සන්තර, සිරිසඟබෝ, ජී ඇස් බී රානි, වසන්තා සන්දනායක, රුක්මනී දේවී, ආනන්ද සමරකෝන්, සුනිල් ශාන්ත, සී ටී, හරූන් ලන්ත්‍රා, ඉස්සන් මඟුරන්, පනමුරේ.. පිස්සු හැදිලා ආයේ හැදෙන වැඩක් මේක...

    උඹගේ ඉදිරිපත් කිරීම මරු..

    ReplyDelete
    Replies
    1. මාතේ මමත් උඹත් එක්ක ....එක ගීතයක් කියලා තෝරන්න බෑ .එහෙම වුනොත් පොස්ට් කියක් දාන්න වෙයිද දන්නේ නැ ...සමහර විට අර ප්‍රබුද්ධ පිචන් වාගේ වෙයි .ගල් බෝතල් සීයක් තියලා මොන බෝතල් වලටද කැමති කියලා ඇහුවා වාගේ ....

      විචා පට්ට කලෙක්ෂන් ටික ....ජයවේවා !!!

      Delete
    2. උඹත් එක්ක සීයට දාහක් එකමයි මාතේ. හැලපෙත් කියලා තිබුනා හිතට එකඟව කරන්න බැරි වැඩක් නිසා කරන්නේ නැහැ කියලා. උඹ ලියලා තියන ගායක ගායිකා ලැයිස්තුව වගේම, මේ ඉයන්ගේ තොප්පිය දාගත්ත කවුරුවත්ම (මමත් ඇතුළුව) සෝමතිලක ජයමහ, සී.ටී.ප්‍රනාන්දු, මොහිදීන් බෙග් (60 දශකයේ සරසවි සම්මානයක් ලද 'සරවනභව කඳ සුරිඳුගේ තෙද බලේ' වැනි ගීත) ගැන ලියලා තිබුනේ නැහැ.

      ස්තුතියි සින්දුවෝ. ඒ වුනාට උඹත් කියලා තියන විදිහට මේක කරන්න බැරි වැඩක්. අකමැත්තෙන් අතහැරිය ගායක ගායිකාවන් ඉන්නවා.

      Delete
  8. මෙන්න නියම ක්ලැසික් ගෝල්ඩ් කලෙක්ෂන් එකක්. නියමයි විචා මාමේ. ෂැක් මොන එහෙකටද මන්ද එකෙක්වත් සී ටී ප්‍රනාන්දු වගේ බයිල සක්විතිල ප්‍රොමෝට් කොරල නැහැනෙ. ජය වේවා..!! 👊🏽

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තිලාන්. ඒ වුනාට මේක 100% ක් හිතට එකඟව කල දෙයක් නෙවෙයි. අඩු ගානේ සින්දු 35 ක් වත් දාන්න තිබුනානම් හොඳයි.

      Delete
  9. හොඳ සින්දු එකතුවක් හා ශාස්ත්‍රීය සටහනක් විචාරක . අගෙයි !

    ReplyDelete
    Replies
    1. ඔබේ ඇගයීම මට විශාල ධෛර්යයක්. ස්තුතියි.

      Delete
  10. Replies
    1. මේ කමෙන්ට් එකට පිළිතුරු ලියන්නේ දැන් වුනාට, කමෙන්ට් ටික උඩින් පල්ලෙන් කියෙව්වා ඊයේ. දැක්ක ගමන් චෙක් කරා. වැරැද්දක් තිබුනේ නැහැ.

      Delete
  11. ඩේටා ටිකට බුදුසරණයි මේ මාසේ :)

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++

      ඉයන් ඩයලොග් හා එක්ව කරනා බටහිර කුමන්ත්‍රනයකි...

      Delete
    2. @ නිර්නාම

      ඩේටා ටිකට බුදු සරණයි මේ මාසේ
      ලියනව මුන් එක එක දේවල් ඕසේ
      පොකැට්ටුවමයි කෙලවෙන්නේ බෝසේ
      නොබලා ඉන්නේ කොහොමද රස තේ මේසේ

      Delete
    3. මෙවන් මියුරු ගී රස දැන් නම් නෑසේ
      කෙළවූවත් කමක් නෑ ඩේටා ටික ඕසේ
      ඔපීසියේ හිඳ බැලුවෙමි ගී රාසේ
      බොසා දැක්කනං කපනව පඩි මාසේ

      Delete
  12. හරිම අපූරුයි... හරිම අපූරුයි...
    මට නම් මේක කරන්න බැරි වැඩක්... දාසයක් කොහොම තෝරන්නද අප්පා...
    බොහොම පිං සී.ඩී. ෆොන්සේකා මහතා හඳුන්වා දුන්නාට... හරිම අපූරු ගීයක් ඒකනම්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඩිල්ශාන්.

      ඇත්තටම කරන්න පුළුවන්වට කල දෙයක් නෙවෙයි. අමාරුවෙන් හිතලා ලියපු එකක්. සමහර ගායක ගායිකාවන් අතහරින්න සිදුවුනා.

      සී.ඩී.ෆොන්සේකාගේ මියුරු ගීත එකතුවක් අදත් කඩවල් වල ගන්න තියනවා.

      Delete
  13. අහලවත් නැති සිංදු තුනක් තියනව. ඉයන්ට තමයි පිං ටික ලැබෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. මම හිතුවා කම්මලේ අඩුගානේ එක්කෙනෙක්වත් ඔහොම කියයි කියලා. දැන් බලනකොට කීපදෙනෙක්ම එහෙම කියලා තියනවා. කොහොම වුනත් පැරණි ගී ගැන ලිපියක් ලියන්න හිතුනා මේ කමෙන්ට් දැක්කම.

      Delete
  14. තමන් කැමති ගීත 16 සහෝදර බ්ලොග් කරුවන්/කාරියන් ( සහ බ්ලොග් මාමලා ) අතර බෙදා ගත්තු ලිස්ට් 18 ක් දැනට පබ්ලිශ් වෙලා තියෙනවා. මේ ගීත එකතු ටික එක තැනක තියන්න කවුරුහරි ඉදිරිපත් වෙනවනම් හොඳයි. එතකම් ඒ ටික මේ පෝස්ට් එකේ තියෙනවා.

    පොඩි කරුණක්. මම කලේ මම කැමති සිංදු ටික දාපු එක විතරයි. ඒක සුන්දර රැල්ලක් කලේ තම තමන්ගේ ලිස්ට් දාපු ඔබ වගේ අය. ඒක නිසා මගේ නම දැන් හලල මේක අපේ පොදු දෙයක් ලෙස තියමු.

    ඔබගේ කැමැත්ත බෙදා ගත් එක ගැන නම් ඉතාමත් ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඉයන්, ඔබ දුන්න උත්තේජනය, බ්ලොග් ලියන අය 18 දෙනෙකුගෙන් සීමාවන එකක් නැහැ. තවත් අය ලියයි. මෙය මා දකින්නේ, සිංහල ගීත සාහිත්‍යය පිළිබඳව, බ්ලොග් ලෝකය තුළ ඇතිවූ හොඳ සමුළුවක් ලෙසයි.

      ස්තුතියි ඔබට.

      Delete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. සම්භාව්‍ය වචන සහ සම්භාව්‍ය ගීත අතර අතරමං වූ ගස්ලබ්බාට තමා අයිස් ඒජ් පිලුම් එකේ සිඩ් දෝ හෝයි මොහොතකට සිතුනි..
    පූර්විකා ටික තාලෙට කියවෙනකොට නිකං සෝ එකක් බැලුවා වගේ.. අත්පොලසන් නාදයත් එක්කමයි ගීතය එන්නෙ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ලබ්ස්.

      හැඳින්වීම් ටික මේ විදිහට නොලියා හිටියානම්, මේ ගායක ගායිකාවන්ට කරන අසාධාරණයක් කියලා හිතුන නිසයි, එහෙම ලිව්වේ.

      Delete
  17. නියම කලෙක්ෂන් එකක්නෙ විචා.

    අර සී.ඩී. ෆොන්සේකා ගැන ඇහුවමද කොහෙද.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න. සී.ඩී. ෆොන්සේකාගේ CD, කඩවල්වල අදත් තියනවා. අරන් අහලා බලපන්. මාර සින්දු ගොඩක් තියනවා.

      Delete
  18. මේක හරියන්නේ නෑ, මතක අවිස්සෙන්වා මේවා දැක්කම, සින්දු 16 ක් කොහොම තොරන්න්ද මටනං බෑමයි. විචා මාමගේ ලිස්ට් එක උපරීමයි

    ReplyDelete
    Replies
    1. මාගෙ මතකේ ඔබේ රුව ඇඳෙයි - සුහද මා ජීවිතේ ඔබ සතුයි
      ඔබේ සුවඳ මනමත් කරයි - ඔබ මා හදේ සැරිසරයි

      ඇගයීමට ස්තුතියි.

      Delete
  19. Replies
    1. ගොහිං බලල දෙකක් කියඤ්ඤංකො

      Delete
  20. නියම සංගීතමය උණක් තමා තමුන්නාන්සේ බෝ කලේ සිංහල බ්ලොග් ලෝකෙටම.

    ReplyDelete
  21. නියමයි... තවත් ආසම ගීත ටිකක්... ඔන්න බොහොම අමාරුවෙන් මාත් තේරුවා ගීත 16 ක්

    ReplyDelete
    Replies
    1. හොඳයි, එන්නම් ඒ පැත්තට.

      Delete
  22. Replies
    1. තුශානීගෙයි ඉකොන්ගෙයි ලිපි බැලුවා. නියමයි.

      Delete
  23. විචා ගේ සින්දු ලිස්ට් එකත් සුපිරි යි.

    සමහර එව්වා නම් මෙතෙක් අපි අහල තිබුනේ නැති ඒවා.

    මේ ලිස්ට් එකෙන්ම මට නම් අල්ලලා ගියේ අර සී.ඩී ෆොන්සේකා ගේ සින්දුව තමයි..

    ReplyDelete
    Replies
    1. ඇගයීම ගැන ස්තුතියි විභියෝ.

      සී.ඩී.ෆොන්සේකාගේ සින්දු ඒ කාලේ හරිම ජනප්‍රියයි. ඒවා එකතු කරලා ගහපු CD වෙළඳපොලේ අදත් තියනවා.

      Delete
  24. ඔබ සබැඳිය සදහන් කරලා තිබෙන ඈත කඳුකර හිමවූ අරණේ විශේෂිත ගීයක් මම හිතන්නේ. කාන්තාවන්ගේ ලස්සන ගැන කියන ගීත ගොඩක් තිබුනට පුරුෂයන්ගේ කඩවසම් බව ගැන කියවෙන ගීත අඩුයි නේ.

    ReplyDelete
  25. මේකට කොමෙන්ට් කරන්න මෙතන ඉන්න ඕනි අපේ අම්මයි තාත්තයි.. :) මා හද අසපුව, සීත දිය රැල් සලා, හිමිනැති පෙමකට, ඔබේ නිල නුවන් තලාවේ විශේෂ ලව් එකකින් අහන සිංදු..
    මේක හරියට අපේ ගෙදර පැදුරු පාටියකට සෙට් වුනා වගේ සීන් එකක්.. :)

    ReplyDelete
  26. ගීත පිළිබඳ ඔබේ විචාරය / හේතු පාඨ දැක්වීම විශිෂ්ටයි විචා...:)

    ReplyDelete
  27. ගීත පිළිබඳ ඔබේ විචාරය / හේතු පාඨ දැක්වීම විශිෂ්ටයි විචා...:)

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }