හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

18 September 2016

ගීතයෙන් ගීතය

   නෑ නෑ, ඒ අර සින්දු කියන තරගේ නේ. මේක එහෙම දෙයක් නෙවෙයි. මේක මගේ මතකය අවදි කිරීමක්. පැරණි ගීත සහ ගායක ගායිකාවන් හඳුන්වා දෙමින්, මීට පෙර මා ඉදිරිපත් කල ලිපිය මතකයි නේද? මේ දිනවල, සිංහල බ්ලොග් ලෝකය පුරා, ගීත සාහිත්‍යයට විශේෂ තැනක් දෙන ලිපි, නිතර ලියවෙනවා. ඇත්තටම, පැරණි සිංහල ගීත සාහිත්‍යය ගැන, මගේ මතකය යලිත් අවදිවුණේ,  පැරණි හින්දි ගීත සොයමින්, යූ ටියුබ් එකේ සැරිසරණ අවස්ථාවකයි. හින්දි සංගීතය තුලින්, සිංහල සංගීතය පෝෂණය වූ බව, ඔබ බොහෝ දෙනෙකු දන්නවා.

    මුල් කාලයේදී, හින්දි ගීත තනු වලට සිංහල ගීත නිර්මාණය කිරීම, බහුලව සිදුවුනත්, පසු කාලීනව, එහි වටිනාකමක් නැති බව අවබෝධ වූ නිසා, ස්වතන්ත්‍ර ගීත නිර්මාණය කෙරෙහි, දේශීය සංගීතඥයන් යොමුවුණ අතර, 1960 දශකයෙන් ඇරඹුණු, ස්වතන්ත්‍ර ගීත නිර්මාණය නිසා, හින්දි තනු කොපි කිරීම අතහැරී ගියා. එයට තවත් හේතුවක් වුනේ, එවැනි ගීත දැඩි ලෙස විවේචනයට ලක්වීමයි. 

   කෙසේ වෙතත් සමහර කොපි ගීත, අද දක්වාම ජනප්‍රියත්වයෙන් නම් ඉහලින් තිබෙනවා. ඔබෙන් බොහෝ දෙනෙකුගේ මතකයේ නැති, එවැනි ගීත කීපයක් හඳුන්වා දෙන්නයි, අද මා උත්සාහ කරන්නේ. මේ ගීත ඉදිරිපත් කරන්නේ, ඒ ඒ වර්ෂය අදාළ කරගෙන නෙවෙයි. මගේ මතකයට නැගෙන ආකාරයටයි. 

   'මං පොඩි කාලේ දැක්කට පස්සේ දැක්කේ අදයිනෙ ඔයා' නමැති ගීතය සැබවින්ම අතිශයින් ජනප්‍රියවූ ගීතයක්. මෙහි මුල් ගායකයාගේ නම හෙන්රි පෙරේරා වගේ තමයි මතක. මේ ගීතය, පසු කාලයක, ආර්.මුත්තුසාමි සංගීතඥයාගේ පුත්, මොහාන් රාජ් ගායනා කල බවත් මතකයි. මා මෙහි දක්වන්නේ, සිංහල සංගීතවේදියකු වන වික්ටර් විජයන්ත විසින්, එම ගීතය ගායනා කල අවස්ථාවක්.

   මෙතැන් සිට ඉදිරියට දක්වන සෑම වීඩියෝවක්ම, සම්පූර්ණයෙන් නැරඹීමට අවශ්‍ය නැහැ, ඔබේ අන්තර්ජාල දත්ත කෝටාව සීමිත නම්. පළමුවැනි විනාඩි එකහමාර පමණ නැරඹුවාම ඇති.  හඬ ඇසුවත් ඇති.

මං පොඩි කාලේ. 


   මේ ගීතයේ තනුව, 1957 වර්ෂයේ තිරගතවූ, 'තුම්සා නහින් දේඛා' නමැති හින්දි චිත්‍රපටියේ ගීතයකින් ලබාගත් එකක්. මේ තියෙන්නේ එම ගීතය. 




   මොහිදීන් බෙග් සමග ජී.එස්.බී.රානි පෙරේරා ගායනය කරන, 'පෙම් පහන නිවී' නමැති ගීතය, නිතර ගුවන්විදුලියෙන් ප්‍රචාරයවූ ගීයක්. විශේෂයෙන්, ප්‍රේමයේ විරහව අත්විඳින තරුණ තරුණියන් අතර නිතර කියවුන, පෙම්පත් වල ලියවුන, ගීතයක්.

(අපේ කාලේ තිබුණේ එස්.එම්.එස්. ලව් නෙවෙයි. ප්‍රේම සාහිත්‍යයක්. පෙම්පත් කියන්නේ,එක්තරා ආකාරයක සාහිත්‍ය නිර්මාණ)



   මේ ගීතයේ තනුව ලබාගෙන තිබෙන්නේ, 1953 වර්ෂයේ තිරගතවූ, 'ආ' නමැති හින්දි චිත්‍රපටියෙන්. මේ තියෙන්නේ එම ගීතය. 






   ජී.එස්.බී.රානි පෙරේරා විසින් ගායනා කල, 'බැඳි ආදරයට මාගේ පිටුපා යාවිද වෙන්වී' යන ගීතය, අතිශයින් ජනප්‍රිය ගුවන්විදුලි ගීතයක්. එම ගීතය පහත දක්වනවා.  



   මේ ගීතයේ තනුව ලබාගෙන තිබෙන්නේ 1965 වර්ෂයේ තිරගතවූ 'අර්සු' නමැති හින්දි චිත්‍රපටියෙන්. මේ තිබෙන්නේ එම ගීතය. 




   එච්.ආර්.ජෝතිපාල ගායනය කල, 'මේ ජීවනයේ මුළු සංසාරේ' නමැති ගීතයට, වරක් ජනප්‍රිය සම්මානයක්ද ලැබුනා. මේ තිබෙන්නේ එම ගීතය.


   මේ ගීතයේ තනුව ලබාගෙන තිබෙන්නේ, 1972 වර්ෂයේ තිරගතවූ, 'ප්‍යාර් කා ඝර්' නමැති හින්දි චිත්‍රපටියෙන්. මේ තිබෙන්නේ ඒ ගීතය. 





   මිල්ටන් පෙරේරා ගායනය කල, 'කල්‍යාණියෙ ඔබ නෑසූ කතාවක් කියන්නම්' නමැති ගීතය, අපේ කාලයේ පෙම්වතුන් අමන්දානන්දයට පත් කළ, ඔවුන්ගේ හද පතුළටම කිඳා බැසගත් ගීතයක්. මේ තිබෙන්නේ එම ගීතය. 


   මේ ගීතයේ තනුවත්, ඉහත සඳහන් අර්සු චිත්‍රපටියේම එන ගීතයකින් ලබාගෙන තිබෙන්නේ. මේ තියෙන්නේ එම මුල් ගීතයයි. අර්සු චිත්‍රපටිය, ලංකාවේදී, ප්‍රදර්ශන වාර්තා බිඳහෙළු චිත්‍රපටියක්.




   1968 වර්ෂයේ තිරගතවූ, අක්ක නගෝ' නමැති සිංහල චිත්‍රපටියේ, ලතා වල්පොල ගායනා කල, 'ගලනා සීත ජලේ' නමැති ගීය, අතිශයින් ජනප්‍රිය ගීයක්. මේ තිබෙන්නේ එම ගීතයයි.   




   මේ ගීතයේ තනුව උපුටාගෙන තිබෙන්නේ, 1960 වර්ෂයේ තිරගතවූ, 'ජිස් දේශ් මෛන් ගංගා බෙහ්තී හෛ' නමැති, හින්දි චිත්‍රපටියෙන්. මේ තිබෙන්නේ එම මුල් ගීතයයි. 




   1965 වර්ෂයේ තිරගතවූ, 'සත පණහ' සිංහල චිත්‍රපටියේ, සුජාතා අත්තනායක ගායනය කළ, 'මල්සරාට ප්‍රේම ලෝකෙ මාලිගා තනා' නමැති ගීතය, එකල ඉතා ජනප්‍රිය වුණා. මේ තිබෙන්නේ ඒ ගීතයයි. 



   මේ ගීතයේ තනුව ලබාගෙන තිබෙන්නේ, 1961 වර්ෂයේ තිරගතවූ, 'සසුරාල්' නමැති හින්දි චිත්‍රපටියේ එන ගීතයකින්. මේ තිබෙන්නේ එම හින්දි ගීතයයි.  



   
   මේ ලිපියෙන් කියවෙන්නේ, කලකට ඉහතදී  අහපු ගීත වුනත්, මෑත කාලේ අහපු ගීතයක් ගැනත් කියන්න හිතුනා. මෑත යුගයේදී, හින්දි ගී තනුවක් අනුකරණය කරමින් ගයන ලද සිංහල ගීතයක් තමයි, චම්පා කල්හාරි ගායනා කරන, 'මල්යායේ  සමනල්ලු' නමැති ගීතය. 



   මේ ගීතයේ තනුව ලබාගෙන තිබෙන්නේ, 1954 වර්ෂයේ තිරගතවූ, 'ටැක්සි ඩ්‍රයිවර්' නමැති හින්දි චිත්‍රපටියෙන්. මේ එම ගීතයයි. බලන්න, මේ ජවනිකාවේ පෙනී සිටින නිළියගේ මුහුණ, අද ජනප්‍රිය හින්දි නිලියක් වන, ඓශ්වර්යා රායි ගේ මුහුණට බොහෝදුරට සමානයි නේද කියා. මේ නිළියගේ නම ශීලා රමානි.



   සමහර අවස්ථා වලදී, ප්‍රවීනයන් පවා, දැන හෝ නොදැන, අනුකරණ තනු සහිත ගීත ගායනා කර තිබෙනවා. මේ ඒ සඳහා උදාහරණ. 

   'පෙම්බර මධු' චිත්‍රපටියේ එන, 'පෙම්බර මධු මගේ' නමැති ගීතය හින්දි/උර්දු චිත්‍රපටියක එන ගීතයක තනුවක් අනුකරණය කිරීමක්.



   මේ තියෙන්නේ මුල් ගීතය 'චිරාග් කහාන් රෝෂනී කහාන්' නමැති චිත්‍රපටියෙන්.



   නන්දා මාලනීටත් වැරදුනාද? 

   නන්දා මාලනී ගයන, 'ඔබ අපෙයි ශ්‍රී ලංකා' නමැති ගීතය, ඔබ අසා ඇති බවට සැකයක් නැහැ.

 

   එම තනුවටම ගැයුණු, උර්දු ගීතයක් තමා මේ තියෙන්නේ. මේ ගීත දෙකෙන්, මුලින් නිර්මාණය වූයේ කොයි ගීතයද යන්න මට ගැටළුවක්.




    මෙවැනි ගීත සිය ගණනක් මතකයේ තිබුණත්, ඒ සියල්ල මෙහි දැක්වීම අවශ්‍ය නැති බවයි, මගේ හැඟීම. මේ ගීත ඉදිරිපත් කිරීමෙන් අදහස් කළේ, අපේ ගායක ගායිකාවන් පහත් කොට දැක්වීමක් නොව, අතීතයේදී, ඉන්දීය සංගීතය, අපේ සංගීතයට කොතරම් විශාල බලපෑමක් කලේද යන්න පැහැදිළි කිරීමටයි. මේ හා සම්බන්ධ තවත් අතිරේක තොරතුරු, ඉතා දීර්ඝ ලෙස සාකච්ඡා කරන්නට තරම් කරුණුත්, මා මතකයේ තිබෙනවා. අනාගතයේදී, එම කරුණු ඔබවෙත ගෙන එන්නට සිතා සිටිනවා. 


2016 සැප්තැම්බර් මස 10 වැනි දින 2324 පැය 

12 September 2016

හරියට නොපැදපු 'මෝටර් බයිසිකල්'

   මම අද මෝටර් බයිසිකල් චිත්‍රපටිය නැරඹුවෙමි. චිත්‍රපටිය නරඹා, ආපසු නිවස වෙත වාහනය පදවන අතර, මා, මගේ බිරිඳ සහ, දියණියන් අතර ඇතිවූ සංවාදයද පදනම් කරගනිමින්, ඊට අමතරව තනිවම සිතමින් ආ කරුණු ද සලකා බලමින්, රාත්‍රී ආහාරයෙන් පසු, හරි බරි ගැසී පරිගණකය වෙත වාඩිවුණේ, සිනමා විචාරයක් කෙසේ වෙතත්,  මගේ සිතුවිළි අකුරු කරන්නටය. 

   මේ ලියන්නේ, අවංකවම මේ චිත්‍රපටිය ගැන මගේ හිතේ ඇතිවුණු අදහස් ය. ඒ අදහස් සමග ඔබ එකඟවීම මට අවශ්‍ය නැත. මා බලන්නේ මගේ දෘෂ්ටි කෝණයෙනි. මගේ දෘෂ්ටි කෝණයෙන් බලන්නට ඔබ බැඳී නැති අතර, මම ද ඔබේ දෘෂ්ටි කෝණයෙන් හෝ එසේ නැතහොත්, මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂ වරයාගේ දෘෂ්ටි කෝණයෙන් බලන්නට බැඳී නැත්තෙමි. අප සියලුදෙනා ස්වාධීන පුද්ගලයන් බැවින්, ස්වාධීනව අදහස් දැක්වීමේ අයිතිය, මම මෙහිදී භුක්ති විඳින්නෙමි. 

   මේ චිත්‍රපටිය නරඹන්නට පෙර, අජිත් පැරකුම් ජයසිංහ විසින් මෙම චිත්‍රපටිය පිළිබඳව ඉදිරිපත් කරන ලද ලිපිය කියවා තිබුනෙමි. කෙසේ වෙතත්, ඒ ලිපිය කියවා, මා මෙම චිත්‍රපටිය ගැන සිතා සිටි අදහස්, සම්පූර්ණයෙන්ම වෙනස් වූ බව, මුලින්ම කිවයුතුයි. එය, අජිත් පැරකුම්ගේ වරදක් නොවේ. ඔහු ලියන්නේ, ඔහුගේ දෘෂ්ටි කෝණයෙනි. ඒ සඳහා පූර්ණ නිදහස හා අයිතිය ඔහුට ඇත. 

  මගේ මතකයේ හැටියට, චිත්‍රපටියක් යනු කුමක්ද යන්න තේරුම් ගතහැකි ආකාරයට, මා චිත්‍රපටි නැරඹීම ආරම්භ කලේ, 1960 දශකයේ අග භාගයේදීය. මගේ සිනමා ගුරුවරයා වූයේ, සැබෑ ජීවිතයේදී ද ගුරුවරයකු සහ පුවත්පත් චිත්‍ර ශිල්පියකු වූ, මගේ බාප්පාගේ පුතාවන, විරාජිත් මහේන්ද්‍ර ආර්යසිංහ ය. ඔහු මට, සිංහල , ඉංග්‍රීසි, හින්දි, චිත්‍රපටි රාශියක් නැරඹීමේ අවස්ථාව සලසා දුන් අතර, එසේ නැරඹීමෙන් පසු, ඒ චිත්‍රපටි ගැන, මා සමග සාකච්ඡා කරමින්, යම්කිසි විචාරයක යෙදීමටත්, එකල පුවත්පත්වල පළවුණ සිනමා විචාරයන් කියවීම සඳහා, මා පෙළඹවීමටත්, ක්‍රියාකළේය. 

   මේ වනවිට මා, යටත් පිරිසෙයින්, චිත්‍රපටි 500 ක් පමණ නරඹා ඇතැයි සිතමි. සිනමාහල් වලදී ද, වීඩියෝ කැසට් මගින් ද, ඩීවීඩී තැටි වලින් ද, අන්තර්ජාලයෙන් බාගත කරගැනීමෙන් ද, සිංහල, ඉංග්‍රීසි, හින්දි සහ සමහර වෙනත් භාෂා වලින් නිපදවා ඇති චිත්‍රපටි ද, නරඹා ඇත්තෙමි.

   මෙතෙක් මා චිත්‍රපටියකදී අසා ඇති, අතිශයින් කර්ණ කඨෝර, අවිනීත, අසංවර, ජුගුප්සාජනක, බෑඟිරි ගෑමක් අසා ඇත්නම්, එය මේ 'මෝටර් බයිසිකල්' චිත්‍රපටියේ, 'ඊනියා පසුබිම් ගීත' ලෙස ඔබා ඇති, විප්‍රකාරයන් බව ඉඳුරාම ප්‍රකාශ කරමි. මේවා ගීත නම්, මහ පාර අයිනේ,  පදික වේදිකාවේ සිඟා කමින්, ජපන් මැන්ඩලීනයකින්, 'අඩු කුලේ කියාලා අසරණයා' ගීතය, යන්තමින් වයන යාචකයා, මහා ගාන්ධර්වයෙකැයි, මම නොබියව කියමි. මුළු චිත්‍රපටිය පුරාම පැතිරී තිබුණු, මේ අප්‍රසන්න බව, අමාරුවෙන් ඉවසා සිටියෙමි. 

   මෙහිදී අධ්‍යක්‍ෂ වරයාට එක් දෙයක් කීමට කැමැත්තෙමි. රැඩිකල් සංගීතය කියා දෙයක්, අද්‍යතන සමාජය විසින් සම්මත කරගෙන තිබෙන්නට පුළුවන්. එය සම්මතයක් විනා, සම්ප්‍රදායක් හෝ, යම් මූලධර්ම මත පිහිටි දෙයක් නොවේ. 'ඒක තමා ඕයි  එව්වට රැඩිකල් කියන්නේ' කියා, අධ්‍යක්‍ෂවරයා කියන්නේ නම්, ඒ රැඩිකල් කම මටනම්, සුනඛයකුගේ පශ්චාද් භාගයේ බැඳී මීයක් හා සමානයැයි කියමි. 

   මුල මැද අග සහිත කතා හෙවත්, 'ඔන්න එකෝමත් එක රටක' කියා පටන්ගෙන, 'ඉක්බිති සියල්ලෝ සතුටින් ජීවත් වූහ' යනුවෙන් අවසන් කරන චිත්‍රපටි, දැන් යල් පැනගොස් ඇති බවත්, ප්‍රේක්ෂකයාගේ මනස තුළ යම් කම්පනයක් ඇතිකොට, ඒ ඔස්සේ, ඔහුද චිත්‍රපටියේ පාත්‍ර වර්ගයාගේ සමාජයේ සාමාජිකයකු ලෙස සිතන්නට පොළඹවන චිත්‍රපටි, වර්තමාන ලෝකයේ සිනමා නිර්මාණවල පදනම වී ඇති බවත්, එය එසේම වියයුතු බවත්, මම පිලිගනිමි. 'රෂොමොන්' වැනි චිත්‍රපටියක ඇති එකී සුවිශේෂී ලක්‍ෂණය, සිනමාව, කොතරම් ප්‍රබල ලෙස, මානව චර්යාවන් විග්‍රහ කිරීමේ මාධ්‍යයක් ලෙස භාවිත කළහැකිද යන්නට, එක් උදාහරණයක් පමණි. 

   නවක සිනමාවේදීන්, නවමං ඔස්සේ ගමන් කිරීම, සතුටට කරුණකි. එහෙත්, එකී නවමං, සිනමානුරූපී වන්නේද නැද්ද යන්න පිළිබඳව, සැලකියයුතු තරම් බරපතළ මට්ටමෙන් සිතා බැලීමට ද, අධ්‍යක්‍ෂ වරුන් උත්සුක වියයුතුය.

   මෝටර් බයිසිකල් චිත්‍රපටියේ ප්‍රධාන නළුවා, මීට පෙර මම කිසිදු චිත්‍රපටි/ටෙලි නාට්‍ය/ නිර්මානයක දැක නැත්තෙමි. එබැවින්, මට ඔහු නවක නළුවෙකි. සමනලී ෆොන්සේකා නමැති නිළිය, මා මුල්වරට දුටුවේ, ටෙලි නාට්‍යයකිනි. එහිදී ඇයට පැවරී තිබුණේ, බොළඳ තරුණියකගේ චරිතයකි. එහිදී ඇය, සෑහෙන තරම් සාධාරණයක්, එම චරිතයට ඉෂ්ඨ කළාය.  

   මෝටර් බයිසිකල් චිත්‍රපටියේ දී, මේ නළු නිලි යුවල, අධ්‍යක්‍ෂවරයා විසින් කියාදුන් අභ්‍යාස, (drill) අකුරටම කර පෙන්වනු විනා, කිසිදු රංගන වින්‍යාසයක්, ප්‍රතිභාවක්, නොපෙන්වයි. මට මතක්වුනේ, 'හෝ ගානා පොකුණ' චිත්‍රපටියේ ප්‍රධාන නිළිය වූ, අනසුයා සුබසිංහ ය. (නම හරිද මන්දා) හෝ ගානා පොකුණේ ඇය දැක්වූ රංගන ප්‍රතිභාව, ප්‍රවීණයන්ට පවා අභියෝගාත්මක බව, මගේ අදහසයි. මෝටර් බයිසිකල් නළු නිළි යුවල, අධ්‍යක්‍ෂ වරයාගේ සෘෂි භාෂිතයෙන් එකදු මිලි මීටරයක්වත් වෙනස් වී, ස්වාධීනව යමක් කිරීමට උත්සාහ නොකිරීම නිසා, ඔවුන් සතු යම් රංගන කුසලතාවක් ඇත්නම්, එය මොටවී ගොස් ඇත්තේ ඉතා අවාසනාවන්ත ලෙසටය. 

   වීණා ජයකොඩි, නෙතලී නානායක්කාර, දෙදෙනා අධ්‍යක්‍ෂ වරයා විසින් පාවිච්චි කරන්නේ නිකම් සක්ක ගල් දෙකක් ලෙස පමණි. වීණා ජයකොඩි, ඇගේ මව වූ රෝහිනී ජයකොඩි මෙන්ම, ජනප්‍රිය නිළියක මිස දක්‍ෂ නිලියක් නොවේ. අම්මා සහ, පියා නැති පුතා අතර සම්බන්ධය, මීට වඩා තීව්‍ර ලෙස දැක්වූවානම්, කතාවේ ගැඹුරක් ඇතිකළ හැකිව තිබුන නමුත්, කණගාටුදායක ලෙස එය චිත්‍රපටියෙන් ගිලිහී ඇත. 

   කුමාර තිරිමාදුරට රඟපෑමට චිත්‍රපටි හෝ ටෙලිනාට්‍ය නැත්නම්, ත්‍රිරෝද රථයක් පදවා ජීවිකාව ගැටගසාගනීම යෙහෙකි. 

   අනෙකුත් සුළු චරිත සඳහා ගෙන තිබෙන නවක නළු නිලියන්, ඉදිරියේදී, රංගනය ගැඹුරින් හදාරනු ඇතැයි සිතමි. ඔවුන් ගැන දැන්මම යමක් කීමට, මම ඉක්මන් නොවෙමි. 

   මහේන්ද්‍ර පෙරේරා, හැමදාම, මේ චිත්‍රපටියේ දැක්වෙන ආකාරයේ චරිත වලට කොටු නොවී සිටින්නට උත්සාහ කරනවානම් හොඳයි. ප්‍රධාන නළුවා, මහේන්ද්‍ර පෙරේරාගෙන් බයිසිකලය මිලදීගන්නා අවස්ථාවේදී, මහේන්ද්‍ර පෙරේරාගේ ප්‍රතිභාව ඉදිරියේ, ප්‍රධාන නළුවා දැඩි පසුබෑමකට ලක්වෙයි. 

   ට්‍රැෆික් පොලිස් විහිළු, පාක් එකේ ලව් කරන විහිළු, අද්‍යතන තරුණ පරපුරේ ගැටළු විග්‍රහ කිරීමක් ලෙස, මම නොදකිමි. යටත්පිරිසෙයින්, පෞද්ගලික අංශයේ රැකියා ස්ථානයක, මෙවැනි තරුණයන් සූරාකෑමට ලක්වන හැටි, ඔවුන් බලාපොරොත්තුවන සංගීත ලෝකය තුළ ඇත්තේ ද, නවකයන්ගේ හැකියාව විකුණාගෙන කෑමක් බව පෙන්වාදෙන අවස්ථා නිරූපනයක් ඇතිකලානම්, මීට වඩා අර්ථවත් ලෙස, මේ පරපුර, 'විහින්ම පැන නැසීයන' ඛේදවාචකයේ මහත නිරූපණය කරන්නට ඉඩ තිබුනි.

   චිත්‍රපටියක් වේගයෙන් ගලායාම පමණක්, එහි සාර්ථකත්වයට හේතු නොවේ. සංස්කරණ ශිල්පියා, රූප ඡේදනය කරන සමහර අවස්ථා, නිකම් කතුරෙන් කපා ඇලවීමක් වැනිය. පෙම්වතුන් යුවල මෝටර් බයිසිකලයේ යන අවස්ථා කීපයකදී, ඒ දුර්වලත්වය දකින්නට ලැබුණි. ආලෝක කරණයේදී සෑහෙන තරම් සාර්ථක බවක් දුටුවෙමි. 

   අවසාන ජවනිකාවේදී,  ප්‍රධාන නළුවා, රාත්‍රියේ පාර දිගේ ඇවිද එන අවස්ථාවේදී, පාරේ විදුලිපහන් කණු වලින් ආලෝකය පතිත වන ආකාරය, සාර්ථකව සකසා නැත. නළුවාට සමාන්තරව ගෙනයන ආලෝක කදම්බය, දැඩි කෘත්‍රිම බවක් පෙන්වයි. හිසට ඉහලින් මාරුවන (අඩුවී වැඩිවන) ආලෝක ධාරාවක් යෙදවූයේ නම් වඩාත් උචිතයි. 

   වෙඩි හඬ ඉදිරිපත් කිරීම අතිශයෙන් අසාර්ථකය. පිස්තෝල වෙඩිල්ලක හඬ, බටහිර චිත්‍රපටියකින් අසා, ඒ අනුව හඬ මුසුකලානම් වඩාත් උචිතයි. මෙතන ඇහෙන්නේ ගල්බෝර හඬකි. 

   මේ අධ්‍යක්‍ෂවරයා, අද්‍යතන තරුණ පරපුරවෙනුවෙන් හඬක් නගන්නට දරන ලද උත්සාහය ප්‍රශංසනීයය. ඒ සඳහා ඔහු යම් අධ්‍යයනයක් කර ඇති බවත්, යම් වෙහෙසක් දරා ඇති බවත් පෙනීයයි. කෙසේ වෙතත්, අද්‍යතන තාරුණ්‍යයේ සැබෑ ගැටළු ප්‍රාමාණික ගැඹුරකින් නිරූපණය කරන්නට 'මෝටර් බයිසිකල්' චිත්‍රපටිය 100%ක් සමත් නොවුනද, සමාජයේ අවධානය දිනාගැනීමට සමත් නිර්මාණයක් ලෙස මෙම චිත්‍රපටිය හැඳින්විය හැකිය. 

මේ අධ්‍යක්‍ෂවරයා,  තවදුරටත් සිනමාව හදාරනු ඇතැයි අපේක්ෂා කරමි. 

2016 සැප්තැම්බර් මස 11 වැනි දින 2345 පැය   

05 September 2016

වඩු කිරිල්ලිගෙ කතාව

වඩු කිරිල්ලිගෙ කතාව අහලා නැද්ද? අහපු අයත් ඇති, නොඅහපු අයත් ඇති. අහපු අයගේ මතකය අලුත් වෙන්නත්, නොඅහපු අයගේ රසවින්දනය සඳහාත්, විශේෂයෙන්ම අපේ දරුවන්ට කියාදීම සඳහාත්, මේ කතාව මෙහෙම සටහන් කරන්නේ, කුඩා කාලයේදී මට මේ කතාව කියාදුන්, මගේ අම්මා බුදුවේවා! කියන ප්‍රාර්ථනයත් සමගයි.

මගේ අම්මා ගුරු දෙගුරු කියන දෙවර්ගයටම අයත් වෙනවා. අම්මා නිවසේදී මට දෙගුරුන් ගෙන් එක්කෙනෙකු වූ අතර, පාසලේ පහල බාලාංශ පන්ති වලදී, මගේ පන්ති භාර ගුරුතුමිය වුණා.

ඒ කාලේ අදවගේ රූපවාහිනී කාටූන් තිබුණේ නැති නිසා, අම්මලා, කිරි අම්මලා, ආච්චිලා, සීයලා, කිරි අත්තලා, කියාදුන් මෙවැනි කතා වලින්, ඉතා අගනා චිත්තරූප, දරුවන්ගේ මනසේ වර්ධනය වූ අතර, ඔවුන්ගේ චින්තනය මෙන්ම චර්යාව වෙනස් කරන්නත්, එයින් යහපත් බලපෑම් ඇතිවුණා.

හොඳයි, මෙන්න මේකයි කතාව. හෝව්! කතාව කියන්න කලින් තවත් එක දෙයක් කියන්න තියනවා. කතාව අහන ගමන් හූමිටි තියන්න ඕනේ. එහෙමයි ඒ කාලේ අපේ වැඩිහිටියෝ, මේ කතා අපිට කියලා දුන්නේ.

ඔන්න එකෝමත් එක රටක වඩු කිරිල්ලියක් හිටියා. මේ වඩු කිරිල්ලී ගලක් උඩ බිත්තරයක් දැම්මා, බිත්තරේ ගල පලාගෙන ගල ඇතුළට ගියා. වඩු කිරිල්ලී දුකෙන් කෑගහමින්, උදව්වට කෙනෙක් හෙව්වා, බිත්තරය ගල ඇතුලෙන් එලියට ගන්න. වඩු කිරිල්ලී ගියා ගල් වඩුවෙක් ළඟට, ගිහින් මෙහෙම කිව්වා.



‘අනේ ගල් වඩුවෝ, ගල් වඩුවෝ, මම ගලක් උඩ බිත්තරයක් දැම්මා, බිත්තරේ ගල පලාගෙන ඇතුළට ගියා, අනේ ඒක අරන් දීපන් ගල් වඩුවෝ..........’ කියලා.

ගල් වඩුවා වඩු කිරිල්ලිට කිව්වා ‘අටුවක් ගෙන, පුටුවක් ගෙන, තට්ටු හතක බුලත් ගෙන’ කියලා.

වඩු කිරිල්ලී කිව්වා, ‘අනේ දුප්පත් මට අටු කොයින්ද පුටු කොයින්ද, තට්ටු හතක බුලත් කොයින්ද’ කියලා.

ගල් වඩුවා කිව්වා, ‘එහෙනං මට බෑ, මට බෑ,’ කියලා.

ඉතිං වඩු කිරිල්ලී අඬ අඬා යන්න පටන්ගත්තා. යනකොට යනකොට, ඌරෙක් හම්බවුණා. වඩු කිරිල්ලී ඒ ඌරට කිව්වා,



‘අනේ ඌරෝ ඌරෝ, මම ගලක් උඩ බිත්තරයක් දැම්මා, බිත්තරේ ගල පලාගෙන ඇතුළට ගියා, ඒක අරන් දෙන්න බෑ කිව්ව ගල් වඩුවාගේ, හේනේ තියන අල බතල ඔක්කොම කාලා දාපන් ඌරෝ............’ කියලා.

ඌරා වඩු කිරිල්ලිට කිව්වා, ‘අටුවක් ගෙන, පුටුවක් ගෙන, තට්ටු හතක බුලත් ගෙන’ කියලා.

වඩු කිරිල්ලී කිව්වා, ‘අනේ දුප්පත් මට අටු කොයින්ද පුටු කොයින්ද, තට්ටු හතක බුලත් කොයින්ද’ කියලා.

ඌරා කිව්වා, ‘එහෙනං මට බෑ, මට බෑ,’ කියලා.

ඉතිං වඩු කිරිල්ලී අඬ අඬා යන්න පටන්ගත්තා. යනකොට යනකොට, ගිනිගොඩක් හම්බවුණා. වඩු කිරිල්ලී ඒ ගිනිගොඩට කිව්වා,

‘අනේ ගින්දරේ ගින්දරේ, මම ගලක් උඩ බිත්තරයක් දැම්මා, බිත්තරේ ගල පලාගෙන ඇතුළට ගියා, ඒක අරන් දෙන්න බෑ කිව්ව ගල් වඩුවාගේ, හේනේ තියන අල බතල ඔක්කොම කාලා දාන්ඩ බෑ කිව්ව ඌරව, පුච්චලා දාපන් ගින්දරේ............’ කියලා.

ගිනිගොඩ වඩු කිරිල්ලිට කිව්වා, ‘අටුවක් ගෙන, පුටුවක් ගෙන, තට්ටු හතක බුලත් ගෙන’ කියලා.

වඩු කිරිල්ලී කිව්වා, ‘අනේ දුප්පත් මට අටු කොයින්ද පුටු කොයින්ද, තට්ටු හතක බුලත් කොයින්ද’ කියලා.

ගිනිගොඩ කිව්වා, ‘එහෙනං මට බෑ, මට බෑ,’ කියලා.

ඉතිං වඩු කිරිල්ලී අඬ අඬා යන්න පටන්ගත්තා. යනකොට යනකොට, වතුර වලක් හම්බවුණා. වඩු කිරිල්ලී ඒ වතුර වලට කිව්වා,

‘අනේ වතුරේ වතුරේ, මම ගලක් උඩ බිත්තරයක් දැම්මා, බිත්තරේ ගල පලාගෙන ඇතුළට ගියා, ඒක අරන් දෙන්න බෑ කිව්ව ගල් වඩුවාගේ, හේනේ තියන අල බතල ඔක්කොම කාලා දාන්ඩ බෑ කිව්ව ඌරව, පුච්චලා දාන්ඩ බෑ කිව්ව ගිනිගොඩ, නිවලා දාපන් වතුරේ............’ කියලා.

වතුර වල වඩු කිරිල්ලිට කිව්වා, ‘අටුවක් ගෙන, පුටුවක් ගෙන, තට්ටු හතක බුලත් ගෙන’ කියලා.

වඩු කිරිල්ලී කිව්වා, ‘අනේ දුප්පත් මට අටු කොයින්ද පුටු කොයින්ද, තට්ටු හතක බුලත් කොයින්ද’ කියලා.

වතුර වල කිව්වා, ‘එහෙනං මට බෑ, මට බෑ,’ කියලා.

ඉතිං වඩු කිරිල්ලී අඬ අඬා යන්න පටන්ගත්තා. යනකොට යනකොට, අලියෙක් හම්බවුණා. වඩු කිරිල්ලී ඒ අලියට කිව්වා,



‘අනේ අලියෝ අලියෝ, මම ගලක් උඩ බිත්තරයක් දැම්මා, බිත්තරේ ගල පලාගෙන ඇතුළට ගියා, ඒක අරන් දෙන්න බෑ කිව්ව ගල් වඩුවාගේ, හේනේ තියන අල බතල ඔක්කොම කාලා දාන්ඩ බෑ කිව්ව ඌරව, පුච්චලා දාන්ඩ බෑ කිව්ව ගිනිගොඩ, නිවලා දාන්ඩ බෑ කිව්ව වතුර වල බීලා දාපන් අලියෝ............’ කියලා.

අලියා වඩු කිරිල්ලිට කිව්වා, ‘අටුවක් ගෙන, පුටුවක් ගෙන, තට්ටු හතක බුලත් ගෙන’ කියලා.

වඩු කිරිල්ලී කිව්වා, ‘අනේ දුප්පත් මට අටු කොයින්ද පුටු කොයින්ද, තට්ටු හතක බුලත් කොයින්ද’ කියලා.

අලියා කිව්වා, ‘එහෙනං මට බෑ, මට බෑ,’ කියලා.


ඉතිං වඩු කිරිල්ලී අඬ අඬා යන්න පටන්ගත්තා. යනකොට යනකොට, කටුස්සෙක් හම්බවුණා. වඩු කිරිල්ලී ඒ කටුස්සට කිව්වා,

‘අනේ කටුස්සෝ කටුස්සෝ, මම ගලක් උඩ බිත්තරයක් දැම්මා, බිත්තරේ ගල පලාගෙන ඇතුළට ගියා, ඒක අරන් දෙන්න බෑ කිව්ව ගල් වඩුවාගේ, හේනේ තියන අල බතල ඔක්කොම කාලා දාන්ඩ බෑ කිව්ව ඌරව, පුච්චලා දාන්ඩ බෑ කිව්ව ගිනිගොඩ, නිවලා දාන්ඩ බෑ කිව්ව වතුර වල, බීලා දාන්ඩ බෑ කිව්ව අලියාගේ, හොඬේ අස්සට රිංගපන් කටුස්සෝ............’ කියලා.



කටුස්සා කිව්වා, ‘හරි හරි මං ඒ වැඩේ කරන්නං’ කියලා.  

ඔන්න කටුස්සා දුවගෙන දුවගෙන ගියා අලියගෙ හොඬේ අස්සට රිංගන්ඩ,

අලියා බයවෙලා දුවගෙන දුවගෙන ගියා වතුර වල බීලා දාන්ඩ,

වතුර වල බයවෙලා ගලාගෙන ගලාගෙන ගියා ගිනිගොඩ නිවලා දාන්ඩ,

ගිනිගොඩ බයවෙලා ඇවිලීගෙන ඇවිලීගෙන ගියා ඌරව පුච්චලා දාන්ඩ,

ඌරා බයවෙලා දුවගෙන දුවගෙන ගියා ගල් වඩුවගෙ හේනේ තියන අල බතල කාලා දාන්ඩ,

ගල් වඩුවා බයවෙලා දුවගෙන දුවගෙන ගිහින්, ගල පලලා, වඩු කිරිල්ලිගෙ බිත්තරේ අරන් දුන්නා.

වඩු කිරිල්ලී කටුස්සට පින් දීලා, බිත්තරෙත් අරන්, සතුටෙන් ගෙදර ගියා.




මේ කතාවේ ආදර්ශය කුමක්ද කියා, ඔබ කියනවානම් හොඳයි. 


2016 සැප්තැම්බර් මස 5 වැනි දින 0938 පැය 

31 August 2016

ආමි කාරයෝ ගෑණිට වෙඩි තියන්නේ ඇයි?

   ඔව්, මම පිළිගන්නවා. මාතෘකාව ටිකක් අශ්ලීල වචන වලින් ලියවෙලා තියෙන්නේ. නමුත් කරන්න දෙයක් නැහැ. දැන් දැන් අහන්න ලැබෙන දේවල් අනුව, මේ වගේ වචන තමා ලියන්න වෙන්නේ. මේ ලිපිය ලියන්න නිමිත්ත වුනේ යුද හමුදා නිලධාරියකු විසින්, තම බිරිඳ ඝාතනය කිරීමේ අරමුණෙන්, ඇයට වෙඩි තැබුවායයි චෝදනා ලැබීමේ සිද්ධියයි.

   ඔබ බොහෝ දෙනෙක්, දැන් මේ ගැන ජනමාධ්‍ය මගින් විස්තර දැනගෙන ඇති. මේ සිද්ධිය පළමු වරට ජනමාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත්වූ වහාම, මා ඒ ගැන සොයා බැලීමක් කළා. පැයක පමණ කාලයක් ඇතුළත, ඒ ගැන විශාල විස්තරයක් දැනගන්නට හැකිවුණා. නමුත්, සිද්ධියට සම්බන්ධ අයගේ ඉතිරිවී ඇති ආත්ම ගෞරවය සහ මානව හිමිකම් ගැන සලකා, මා දැනගත් දේ මෙහි ලියන්නට අදහස් කරන්නේ නැහැ. 

   දැනට ජනමාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ වී ඇති තොරතුරු මෙසේයි. 

ශ්‍රී ලංකා යුද හමුදාවේ ලුතිතන් කර්නල් වරයකු, (මාජ්ජ කාරයෝ කියන විදිහට ලුතිනන් නෙවෙයි නිවැරැදි වචනය ලුතිතන්) සිය බිරිඳ සමග, කාලයක් තිස්සේ පැවති ආරවුලක ප්‍රතිඵලයක් වශයෙන්, ඔහු විසින් හෝ ඔහු විසින් ආධාරයට කැඳවාගත්, හමුදාවේ හෝ හමුදාවේ නොවන පුද්ගලයකු ලවා, සිය බිරිඳට වෙඩි තබා තිබෙනවා. 

   එම නිලධාරියාගේ රියදුරු සෙබලා විසින්, පොලීසියට කර ඇති ප්‍රකාශයක් අනුව, නිලධාරියා විසින්, මෙම සිද්ධියෙන් පසු, මිලිමීටර් 9 කැලිබරයේ පිස්තෝලයක්, පාර්ලිමේන්තු පාරේ පාලම අසලදී, දියවන්නා ඔයට විසිකොට ඇති අතර, ඒ ගැන කිසිවක්, කිසිවකුට නොකියන ලෙස, එම රියදුරු සෙබලාට එතැනදීම කියා තිබෙනවා. නමුත්, අද දින, නාවික හමුදා කිමිදුම් කරුවන් විසින්, එම අවිය, දියවන්නා ඔය පතුලෙන් ගොඩ ගත්තා. 

   මේ නිලධාරියා මෙසේ දියවන්නා ඔයට විසිකළේ, යුද හමුදාවෙන් නිළ වශයෙන් තමන්ට නිකුත්කළ පිස්තෝලයයැයි සිතන්නට, මා තරමක් මැලිවනවා. එයට හේතුව, ඕනෑම හමුදා සාමාජිකයකු, හමුදාවෙන් තමන්ට නිකුත් කර ඇති ගිනි අවිය ගැන, පූර්ණ වගකීම දැරිය යුතුවීමයි. සංග්‍රාමික කාර්යයකදී ඇතිවන, පිළිගතහැකි හේතුවකින් විනා, වෙනත් කිසිදු ආකාරයකින්, තම පෞද්ගලික අවිය නැතිවුවහොත්, එම හමුදා සාමාජිකයාට එරෙහිව, ඉතා දැඩි විනය ක්‍රියාමාර්ග ගනු ලබනවා. සමහරවිට ඔහුව හමුදාවෙන් අස්කරන්නට පවා අවකාශ තිබෙනවා.

   මෙලෙස විසිකරන්නට නම්, එක්කෝ වෙනත් හමුදා සාමාජිකයකුගේ ගිනි අවියක් සොරාගත යුතුයි, නැතහොත්, යුද්ධ කාලයේදී, සතුරන්ගෙන් අල්ලාගත් ගිනි අවි, යුද හමුදාව වෙත බාරනොදී සඟවාගෙන, මෙවැනි අපරාධ සඳහා යොදාගන්නවා වියහැකියි. 

   කෙසේ වෙතත් දැනට හෙළිවෙමින් පවතින කරුණු අනුව, නිලධාරියා වතුර හැලියට වැටී අවසානයි. ඔහු දැන් ඉන්නේ පොලිස් අත්අඩංගුවේ. දැන් තිබෙන්නේ, පොලීසිය ලිපගිනි මොලවා, නිලධාරියා උසාවියට ඉදිරිපත් කිරීමේ කොටස පමණයි. 

   නමුත්, ඔහු තවමත් චුදිතයකු නිසා, අපි පූර්ව නිගමන වලට එළඹීම සුදුසු මදි. එහෙත්, මේ සිද්ධිය පිළිබඳව බැලූ බැල්මට නිරීක්ෂණය වන කරුණු අනුව, මෙම නිලධාරියා, වෙඩි තැබීමේ සිද්ධියට වගකිවයුතු බවක් හැඟෙනවා. ඔහු තම බිරිඳ සමග දික්කසාද නඩුවකට එළඹී සිටින බවත්, ඊට අදාලව ලද උසාවි නියෝගයන් හේතුවෙන්, මෙම නිලධාරියාගේ බිරිඳ දින කීපයකට පෙර, ඔවුන්ට අයත් නිවසේ පදිංචියට පැමිණ ඇත්තේ, කලකට පසුව බවත්, දික්කසාද නඩුව, ලබන සතියේ, උසාවියේදී විභාගවීමට නියමිතව තිබුන බවත්, පැවසෙනවා. 

   ශ්‍රී ලංකා යුද හමුදාව තුළ, මෙවැනි සිද්ධියක් ඇතිවූ ප්‍රථම අවස්ථාව මෙය නොවෙයි. යටත්පිරිසෙයින්, මෙවැනි සිද්ධි එකක්, මීට පෙර සිදුවී තිබෙනවා. එම සිද්ධියේදී, යුදහමුදා බ්‍රිගේඩියර් වරයකු විසින්, තම පිස්තෝලයෙන් වෙඩි තබා, සිය බිරිඳව, නිදි යහනේදීම ඝාතනය කළ අතර, එය කිසිදු සැකයකින් තොරව උසාවියේදී ඔප්පුවීම නිසා, අද ඒ බ්‍රිගේඩියර් වරයා, මරණ දඬුවමට නියමිතව, වැලිකඩ බන්ධනාගාරයේ සිටිනවා.  

   මේ හැර, හමුදා සාමාජිකයන් විසින්, තම පවුල් සංස්ථාව තුළ සහ සමාජය තුළ, පසුගිය කාලයේදී කරන ලද දරුණු අපරාධ සඳහා, උදාහරණ ඕනෑතරම් තිබෙනවා.

   මෙහෙම වෙන්නේ ඇයි? මෙවැනි සිදුවීම් වලට වගකිවයුත්තේ කවුද? ආමි කාරයෝ කියන්නේ, තුවක්කු බෝම්බ වලින් සෑම ප්‍රශ්නයක්ම විසඳන්න උත්සාහ කරන, අමනයින් පිරිසක්ද? අපි රණවිරුවන් කියා පුද සැලකිලි කරන්නේ, මේ වගේ පිරිසකටද? සමාජය පුරා, මෙවැනි අදහස් සහ මතවාද පැතිරීම, අපට වලක්වන්න බැහැ. නමුත්, මෙවැනි සිදුවීම් ලඝුකොට සලකන්නත් බැහැ. 

   මා අද ඔබ සමග සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ, 'යුද්දෙන් පස්සේ හමුදා විනය' ගැන තොරතුරු ටිකක්. 

   ඇයි යුද්දෙන් පස්සේ? යුද්ද කාලෙත් මේ වගේ දේවල් වෙන්න ඇති නේද? කියා, ඔබ අසන්නට පුළුවන්. මේකයි උත්තරේ. ඔව්, වෙන්න ඇති. නමුත් ඒ කාලේ මේවගේ අපරාධ කරලා, ඒ අපරාධ කාගේ හෝ පිට පටවා ගැලවෙන්නට, අවකාශය සහ ගැලපෙන වාතාවරණයක්, මේ රටේ තිබුණා. ඒ නිසා, ඒ කාලෙත් මේ වගේ දේවල් නොවුනා කියා, බැහැර කරන්නට අමාරුයි. 

   දීර්ඝ කාලීන සංග්‍රාමයක් පැවති රටක, ඒ සංග්‍රාමයෙන් පසු, හමුදා සාමාජිකයන්, විවිධ ආකාරයේ ආතතියකට පත්වන බවත්, ඒ තත්වය කළමනාකරණය නොකලොත්, සමහර හමුදා සාමාජිකයන්, ඉතා දරුණු ලෙස හැසිරෙන්නට ඉඩ ඇති බවත්,  සායනික මනෝවිද්‍යා පර්යේෂකයකු වන, වෛද්‍ය රුවන් එම් ජයතුංග විසින් මීට සෑහෙන කලකට ඉහතදී, ශ්‍රීලංකා යුදහමුදා සාමාජිකයන් ඇසුරෙන් ලද අත්දැකීම් තුළින් ලියන ලද පොතකින්, මනාව කරුණු පැහැදිලි කොට තිබෙනවා.  

   ඇත්තෙන්ම මේ රටේ දැඩි ගිනි අවි පාලනයක් ඇතිකලයුතු බව, මා මීට පෙර ලිපියකින් අවධාරණය කළ අවස්ථාවේදී පවා, සඳහන් කළ එක් කරුණක් වන්නේ, ත්‍රිවිධ හමුදා, පොලිස්, සිවිල් ආරක්ෂක, සාමාජිකයන්ගේ නිවෙස්, හදිසි පරීක්ෂණයකට ලක්කළයුතු බවයි. අනවසර ගිනි අවි, ඔවුන් අත තිබෙන්නට බොහෝ දුරට ඉඩකඩ තිබෙනවා. 

   හමුදා සාමාජිකයකු, රටේ සම්මත නීතියට පටහැනි වරදක් කලවිට, ජනමාධ්‍ය මගින්,  මෙතරම් උලුප්පා දක්වන්නේ ඇයි?  සාමාන්‍ය සමාජ සම්මතය අනුව, හමුදා සාමාජිකයන්, පරමාදර්ශී චරිත වියයුතුයයි මහජනතාව දැඩිව විශ්වාස කරන අතර, ඔවුන් එසේ හැසිරෙතැයි, සෑමවිටම බලාපොරොත්තු වෙනවා. 

   හමුදාවේ සමස්ත සාමාජිකත්වයෙන්, ඉතා සුළු පිරිසක් පමණයි, මෙවැනි අකටයුතුකම් වල යෙදෙන්නේ. නමුත්, ඒ ක්‍රියා තුළින්, සමස්ත හමුදාවේ කීර්තිනාමයට වදින කළු පැල්ලම, සුළුපටු නොවෙයි. අපේ සමාජය සැදී පැහැදී ඉන්නේ, කෑ මකුණාත්, නොකෑ මකුණාත් දෙන්නවම මරන්න බව, අමුතුවෙන් කිවයුතු නැහැ.

   මෙතනදී මා එක කරුණක් අවධාරණය කරන්නට කැමතියි. මෙවැනි වැරදිවලට හසුවන හමුදා සාමාජිකයන්ගෙන් බහුතරය, හමුදාව තුළදී විනයගරුකව හැසිරෙන අතර, බාහිර සමාජයේ හැසිරෙනවිටයි, මෙවැනි අකටයුතුකම් කරන්නේ.  ඒ ඇයි කියන ප්‍රශ්නයට, මට වැටහෙන ආකාරයට දීමට තිබෙන උත්තරය වන්නේ, තම සිතෙහි ඇති ආතතිය, හමුදා නීති රීති වලට ඇති බිය නිසා මුදා නොහරින හමුදා සාමාජිකයන්, කඳවුරෙන් එළියට පැමිණි පසු, එය සමාජය වෙත, පවුල වෙත, මුදාහරින බවයි. 

   මේ ගැන, මට වඩා හොඳින් කරුණු පැහැදිලි කළහැකි වන්නේ, වෛද්‍ය රුවන් ජයතුංග වැනි, සුදුසුකම් ලත් පුද්ගලයකුට කියා මා හිතනවා. 

   හමුදා සාමාජිකයා අමුතු සතෙක්ද? 

   මතකද දැන් කාලෙකට ඉහතදී, හමුදා සාමාජිකයන් අගය කිරීමේ ගීතයකදී කියවුනා, 'අපෙන් එකෙකි මේ මිනිහා' කියලා. ඒ කියන්නේ, හමුදා සාමාජිකයාත්, අපේ සමාජයේම එක් අංශුවක්. ඉතිං මේ අංශු, එකම දාමයකින් බැඳී පවතින නමුත්, විවිධ ඇදීම්, තෙරපීම්, හැලහැප්පීම්, වලට භාජනය වනවා. අර සමාජ අංශු දාමයෙන්, ඔහුවෙත සන්නිවේදනය වන හොඳ නරක තමයි, ඔහුගේ චෛතසිකයේ තැන්පත් වන්නේ. එහිදී ඔහු වඩාත් සංවේදී වන්නේ, ප්‍රතිචාර දක්වන්නේ, ඒ තොරතුරු වලට විනා හමුදාවේ නීතියට යටත් ක්‍රියාකාරකම් වලට නොවෙයි. 

   හරි හරි, දැන් තමුසේ කියන්න හදන්නේ, හමුදා සාමාජිකයා ඉන්නේ මහා කරදර මැද්දේය,  ඒ නිසා උන්ගේ ඔලුව අවුල් වෙලාය,  එසේ ඔලුව අවුල්වීම නිසා, උන් කරන ඕනෑම අපරාධයක්, නොසලකා හැරිය යුතුයි කියලා නේද? ඒ කියන්නේ, හමුදා කාරයන්, එක්තරා ආකාරයක වරලත් චණ්ඩින් හැටියට පිලිගත යුතුයි කියන එකද? 

   නැහැ. කිසිසේත්ම නැහැ. රටේ සිවිල් නීතියට ඉහලින් සිටින හෝ, එම නීතියෙන් රිංගා යාමට හැකි කිසිවෙකුත් නොසිටිය යුතුයි. 

   නමුත් මේ ටිකත් අපි මතක තබාගත යුතුයි. 

   හමුදා සාමාජිකයන්ගෙන් අති මහත් බහුතරය, සිය සේවා කාලයෙන් වැඩි කොටසක් ගෙවන්නේ, කඳවුරේ. තම පවුලේ අය සමග එක්වීමට, ඔහුට ඇත්තේ ඉතා සීමිත ඉඩකඩක්. එමෙන්ම හමුදාවක් පාලනය වන නීති රීති, සාමාන්‍ය සිවිල් ආයතනයක් පාලනය වන නීතිරීති වලට වඩා හාත්පසින්ම වෙනස් බව ඔබට අමුතුවෙන් කිවයුතු නැහැ. අනිවාර්යයෙන් අණ පිළිපැදිය යුතුයි. අසාධාරණයක් වන්නේ නම් පමණක් උසස් නිලයකු වෙත පැමිණිලි කල හැකියි. නමුත් හමුදාවේ කියන්නේ, 'ලබාදුන් අණ පිලිපදිනු ඉන්පසු පැමිණිලි කරනු - comply and complain' කියලයි. මේ නිසා හමුදා සාමාජිකයන් අසරණ වන අවස්ථා නැතුවා නොවේ. එවැනි අත්දැකීම් රාශියක් මා සතුව තිබෙනවා. 

   සර්, මගේ නෝනට බබෙක් හම්බවෙන්න ළඟයි. පොඩ්ඩක් ගිහින් බලලා එන්නද? යන ප්‍රශ්නයට පිළිතුර වන්නේ, මොකද තමුසේ ගිහින් ළමයා හම්බවෙන්න තටමන්නද? කියන එක නෙවෙයි. 

   මැඩම්, මට පීරියඩ්ස් හැදෙනකොට බ්ලීඩ් වෙන එක වැඩිවෙලා. මට ගාඩ් එකේ ඉන්න අමාරුයි. මාව ලයිට් ඩියුටියකට දාන්න බැරිද? යන ප්‍රශ්නයට පිළිතුර, ගලන ඒවා ගලාගෙන යයි, තමුසේ ජොබ් එක කරනවා, කියන එක නෙවෙයි. 

   ජ්‍යොෂ්ඨ නිලයන්ගෙන් සිදුවන කෙනෙහිලිකම්, ලිංගික අතවර, ඉවසාගත නොහැකිව, හමුදාවෙන් පැනගිය, සියදිවි හානි කරගත්,  තමන්ට කරදර කරන එම ජ්‍යොෂ්ඨ නිලයාගේ සිරුර, පෙනේරයක් මෙන් හිල් වලින් පිරෙන්නට වෙඩි තැබූ, සොල්දාදුවන් ද මා දැක තිබෙනවා. 

   තමන් දිවි පරදුවට තබා යුද්ධ කරද්දී, තමන් ලේ වගුරුවා උපයා දුන් මුදලින්, වෙනකෙකු හා පෙම්කෙලින තම බිරිද ගැන, සොල්දාදුවකු හිතන්නේ, එය ද, යුද්ධය මෙන්,  තුවක්කුවෙන් විසඳිය යුතු ප්‍රශ්නයක් ලෙසයි. 

  හමුදාවේ වැදගත් නිළයක් උසුලන, ආදර්ශවත් නිළධාරියකු ලෙස, තමන් ගතකරන ජීවිතය තුට්ටුවකට මායිම් නොකොට, තමන්ගේ ආදරණීය බිරිඳ, තමන්ගේ ආරක්ෂක මුරයේ සිටින සෙබළුන් සමග යහන් ගතවන්නේ නම්, එම ප්‍රශ්නය නොපමාව පිස්තෝලයෙන් විසඳිය යුතුයැයි, එම නිළධාරියාට හිතෙන්නේ, ඔහු නිතර අවි ආයුධ සමග ජීවත්වන නිසාය. 

   තමන් ලොක්කෙකු නිසා, හමුදාවේ සෙබලියන් සමග, නැතහොත් වෙනත් අවලම් ගැහැනියක් සමග, කොතරම් නිදි වැදුනද, තම බිරිඳ ඒ ගැන කට නොහෙල්ලිය යුතුයැයි සිතන හමුදා සාමාජිකයන්, තමන්ගේ අවල කෙලි ගැන යුක්තිය ඉල්ලා, අධිකරණයේ පිහිට පතන තම බිරිඳ, වෙඩි තබා දැමියයුතු යයි සිතන්නේ, බලයෙන් මත්වීම නිසාය. 

   ගෑණු නාන තැන් වලට ගොස් (හමුදාවේ භාෂාවෙන්, එයට යොදන කෙටි විකට යෙදුම, GNT යන්නය)  හොරෙන් බලා සිටින්නට පුරුදු වූ මේජර් ජෙනරල් වරයකු, එක්තරා කාන්තාවකට කරන්නට ගිය බලපෑමක් නිසා, එම කාන්තාවගේ සැමියා විසින්, ඔහුව, තම බිරිඳ යොදවා උගුලකට අසු කරගෙන, තම නිවසේ ගෙමිදුලේ දණගස්වා තබා, හමුදාවට බාරදුන්නා. වලව්කාර නමක් ඇති මේ නිලධාරියාව, විශ්‍රාම යන කාලයට පෙර විශ්‍රාම ගන්වනු ලැබුවා. 

  අපේ හමුදා සාමාජිකයන්, ඉදිරියේදීද, මෙවැනි ආකාරයට දරුණු අපරාධ වලට යොමුවීමට ඉඩ ඇති බව, අමුතුවෙන් කිවයුතු නොවේ. ඒ සඳහා විධිමත් කළමනාකරණ වැඩපිළිවෙලක් නොපමාව ආරම්භ කිරීම, ආරක්ෂක අමාත්‍යාංශය සතු බරපතළ වගකීමක් වෙයි. සෑම හමුදා සාමාජිකයකුම ඉහළ ප්‍රමිතියකින් යුත්, උපදේශන සේවයකට ලක්කළ යුතුය. එය ප්‍රමාදවන්නට වන්නට මෙවැනි අපරාධ තවදවත් දැකිය හැකිවනු ඇත. 

  මමත් අපේ ගෑණිට වෙඩි තිබ්බා........

  මොකක්..............? 

   ඔව්, මම දෙපාරක්ම වෙඩි තිබ්බා. වෙඩි දෙකම හරියටම ඉලක්කෙට වැදුනා. නමුත්, මම තියපු වෙඩි වලින්, කවුරුවත් මැරුණේ නැහැ. ඉපදුනා. මගේ ආදරණීය බිරිඳ, මට රටක් වටිනා දූවරු දෙන්නෙක් තෑගි දුන්නා. 

   අඹු සැමි ප්‍රේමයේ අගය නොදන්නා මිනිසුන්, හමුදාවේ නොව දිව්‍ය ලෝකයේ සිටියත්, අමනකම් කරනවා. 

2016 අගෝස්තු මස 30 වැනි දින 2343 පැය    

26 August 2016

සති අන්තයේ කියවන්න යමක්

මීට ඉස්සෙල්ලා නම්, සති අන්තයේ කියවන්න කියලා ලිව්වේ, ඉංගිරිස් කතා නේ. අදනම්, අමු හිංගල එව්වා ටිකක් තමා ලියන්නේ. 

මෙන්න මේකයි කටන්තරේ. ඊයේ පෙරේදා දවසක ලෙඩ බඩුවක් බලන්ඩ ......හුටා, ලෙඩෙක් බලන්ඩ මම ගියා, කුරුණෑගල ඉස්පිටිතාලෙට. අප්පොච්චියේ......... රුපියල් කෝටි සීයක් විතර වැය කොරලා, ඉස්පිටිතාලේ 'නවීෆයි' හෙවත් 'මොඩිකරණය' කරනවා මේ දවස්වල. එහෙං මෙහෙන් පලංචි අස්සෙන් රිංගලා තමයි, ඉස්පිටිතාලෙට ඇතුල්වෙන්ඩ සිද්දවෙලා තියෙන්නේ. 

ඉතිං අර වැඩකරන බාස් උන්නැහේලාගෙන්, මිටි පාරක්, කියත් පාරක්, $$#@#නියන් පාරක් නොකා, ලෙඩා බලලා එනගමන් දැක්කා, විසාල බිත්තියක් පිරෙන්ඩ, නානාප්පොරකාර පෝස්ටර් ගොඩක් අලවලා තියනවා. මම හිතුවේ, රජයේ වෙද (වීදි?) සටන් සේවා සංගමයේ හෝ, හාමුදුරු නේස් සංගමයේ යුද්ධ ප්‍රකාශන තමා තියෙන්නේ කියලා. 

ඔහෙලට මතකද දැන් ටික දවසකට කලින්, මාජ්ජ ඔස්සේ පොරකාස කෙරුනා, පරිභෝජනය සඳහා වෙළඳපොළට ඉදිරිපත් කරන, පැණිරස බීම වර්ග වල, (නෑ නෑ, එව්වා නෙවෙයි. එව්වා පැණිරසද මොන #$#@ රසද කියලා, ඕන්නං අර අටමගෙන් අහගන්නවා හොඳයි. මොකෑ ආයේ අපි ඔව්වා බොනවා කියලයැ. මගේ බල්ලවත් බොන්නෙ නෑ, මම බිව්වොත් මිසක්) තිබෙන සීනි ප්‍රමාණය, වර්ණ කේතයක්ද මොකද්ද එකකින් දාන්ඩ කියලා. අනේ මන්දන්නෑ, කේත නෙවෙයි හොම්බට දමලා ඇනලා කිව්වත්, අපේ මිනිස්සු මෙව්වා නොබී ඉඳියිද කියලා.

බැලින්නං ඔය බෝතල්වල, පැකට්වල, ලස්සනට පාට පාට හිටින්ඩ අහුරලා තියන බීම වර්ග වල, කොච්චර සීනි තියනවද කියලා, ටිකක් පොරෝජන් තොරතුරු තියනවා. ඇදලා ගත්තා පෝං එක. කෙලියා පොටෝ ටිකක් පට පට ගාලා. 

ඔන්න ඒ ආශ්‍රයෙන් තමයි පල්ලෙහා තියන තොරතුරු ටික ලියන්නේ. 

මිලි ලීටර් 200 ක අඩංගු සීනි ප්‍රමාණය, තේ හැඳි සහ ග්‍රෑම් වලින් දක්වන්නේ.                                         


කොකාකෝලා                                  මිරින්ඩා                               

සීනි තේ හැඳි 9.5                                සීනි තේ හැඳි 6.8 
ග්‍රෑම් 33.7                                               ග්‍රෑම් 16.1









MD Mixed Fruit Nectar                     Minute Maid Mango

සීනි තේ හැඳි 7.7                             සීනි තේ හැඳි 6.3 
ග්‍රෑම් 16.9                                             ග්‍රෑම් 13.3  






අලියා බීම 'නෙක්ටෝ'             අලියා ක්‍රීම් සෝඩා 

සීනි තේ හැඳි 6.3                          සීනි තේ හැඳි 6.0 
ග්‍රෑම් 13.3                                         ග්‍රෑම් 12.5 






ෆැන්ටා                                               පෙප්සි 

සීනි තේ හැඳි 5.4                             සීනි තේ හැඳි 5.2 
ග්‍රෑම් 11.9                                             ග්‍රෑම් 11.7 








ස්මැක්                                           හයිලන්ඩ් රස කළ කිරි       

සීනි තේ හැඳි 5.2                        සීනි තේ හැඳි 5.1 
ග්‍රෑම් 11.7                                        ග්‍රෑම් 11.0 







කොත්මලේ     
චොකලට් රස                      අලියා 
කිරි                                    ජින්ජර් බියර්                                              
සීනි තේ හැඳි 5.1           සීනි තේ හැඳි 5.0 
ග්‍රෑම් 11.0                          ග්‍රෑම් 10.5





ඩේලි                                      
රසකළ 
කිරි 

සීනි                                                   ස්ප්‍රයිට් 
තේ හැඳි 4.8                    සීනි තේ හැඳි 4.2     
ග්‍රෑම් 10.1                         ග්‍රෑම් 10.0






P & S Iced Coffee 

සීනි තේ හැඳි 4.2                   
ග්‍රෑම් 10.0







මයිලෝ 

   සීනි තේ හැඳි 3.9     
   ග්‍රෑම් 9.1 





හොඳයි, තමුන්නාන්සේලා මෙව්වා වැඩි වැඩියෙන් බොනවා හොඳයි හිටං. තමුන්නාන්සේලාගේ ළමයින්ටත් පොවනවා හොඳයි හිටං. 


ඊළඟ කටන්තරේ

ඊළඟ කටන්තරේ මෙන්න මේකයි. දන්නවානේ අර 'අද ද රෙන' එකේ ඉන්න 'ගඩොල් බාගයා'? ඔව් ඔව්, අර තරබාරුකොම නිසාම, නිකං තැම්බ ගැහුවා වගේ ඉඳගෙන, බුග් බුග් ගාන එකා. මේකා අර ගඩොල් බාග කතාවෙන් පස්සේ, හොඳටම සවුත්තු වෙලා, යන්තම් ආපහු ඇතුළට රිංගා ගත්තානේ.  

මූ ඊයේ පෙරේදා දවසක පත්තර කියවන ගමන්, අර මෙලෝ රහක් නැති ඩිලාන් ගොයියා, කොහෙද ඉස්කෝලෙක ශාලාවක හිටං, කොරපු කතාවක්, ප්‍රවුර්ති වලට පෙන්නුවා. ඒ කතාව කොරන තැන පසුබිමේ බිත්තියේ ලියලා තිබුණා, 'සරණයි' කියන වචනය. ගඩොල් බාගයා කියනවා, ඒ පසුබිමේ ලියලා තිබුණේ, ආණ්ඩුවට අබ සරණයි කියලද දන්නේ නැහැ කියලා. ඒ ප්‍රොවුර්තිය වෙනත් බටයක හෙවත් නාලිකාවක, නැවත විකාරය විකාශනය වෙන වෙලාව බලලා මම අල්ලාගත්තා, ගඩොල් බාගයා ගහපු අජාසත්ත බොරුව. 

ඒ බිත්තියේ, පොඩි බුදුපිළිමයක් හයිකොරලා තියනවා. ඊට යටින් ලියලා තියෙන්නේ, 'බුදු සරණයි' කියන වචනේ. ඒකෙ සරණයි කියන කෑල්ල අල්ලාගෙන තමා, ගඩොල් බාගයා මේ මඩ පාරක් ගහන්නේ. මූ තවම ඉන්නේ වනචර දශකයේ බවයි පෙනෙන්නේ. 

මෙන්න බලන්න සැබෑ පින්තූරේ. අද ද රෙන බටයේ මේක පෙන්නුවේ, බුදු පිළිමය පෙනෙන කොටසේ කතාව සංස්කරණය කරලා.  ඒ මදිවට ගඩොල් බාගයා කියනවා, ඩිලාන් ගොයියා, විප්ලවවාදීන් අඳින තොප්පියක් දාගෙන ඉන්නවලු. මේකා දන්නේ නැහැ, මේකට කියන්නේ, 'ගොල්ෆ් කැප්' කියලා බව.






අවසාන වාර්තාව

සැටලයිට් සිංග්ලිෂ් තවම හරිගිහින් නෑ අනේ. මම කලිනුත් පෙන්නුවානේ. මේ බලන්නකෝ, 'මෘගාංගනාවියක්' කියන වචනේ තවමත් හරියට ලියාගන්න බැරුව දඟලන හැටි. එක් 'මුර්ගානංගියක්' කියලා ලියලා තියෙන්නේ. 'මුරුංගා නංගියක්' කියලාවත් ලිව්වනම්, හොදි හදන්නවත් තිබුණා.



ගොහිල්ලා එඤ්ඤං ඈ.

2016 අගෝස්තු මස 25 වැනි දින 2339 පැය 

22 August 2016

මේගොල්ලන්ව හඳුනනවාද?

   මදෑ කොළා. ඉයන් ගොයියා බට කැලේට ගිනි තිබ්බා. දැන් ඒක ඇවිලෙනවා පට පට ගාලා බට පුපුරමින්, සිංහල බ්ලොග් අහස ඒකාලෝක කරමින්. අම්මපා මේ මනුස්සයට මොකක්හරි සම්මානයක් දෙන්න වටිනවා මේ ගිනි තැබිල්ලට. නෑ මං කියන්නේ, ඔය විදිහේ සුන්දර ගිනි තැබිලි හැමදෙනාටම කරන්න බැහැ. ඒකටත් උපතින් ගෙනා දක්ෂකම් තියෙන්න ඕනේ. අපි දන්නේ ඉතිං අමු කැලෑ ගිනිතියන්න නේ. මම හිතන්නේ, මේ අවුරුද්ද ඉවරවෙනතුරු, මේ සොළොස් මහා ගීත වන්දනාව තියෙයි. 

   ඒ අල්ලපනල්ලේ, මගේ මතකය කඩාගෙන බිඳගෙන දුවන්න පටන්ගත්තේ නැතෑ අතීතයට. එහෙම ගිහින් ගිහින්, 'අපි චුච්චි බබා කාලේ ලේදියෝ එකෙන් තින්දු ආපු' කාලෙටම ගියා. ඒ කාලේ හිටිය ගායක ගායිකාවන් බොහොමයක් ගැන මතකයට ආවත්, ඒ ඔක්කොම ගැන කියන්ඩ ගියොත් මේ වගේ ලිපි හතරක් පහක්වත් ලියන්ඩ වෙන නිසා, කීපනෙක් ගැන විතරක් ලියන්ඩ හිතාගත්තා. මේ ඉතා කෙටි ලිපිය ඒ තිදෙනා ගැන කරන සරල හැඳින්වීමක්. 

සී.ඩී.ෆොන්සේකා 
   මේ ගායකයා, 1960 දශකයේ සිට, අපේ සිත තදින් පැහැරගත් ගායකයකු බව, නොකියා බැහැ. එමෙන්ම ඔහු අද අප අතර නැතත්, ඔහුගේ අමරණීය හඬ අපේ මතකයේ තිබෙනවා. ඉතා පුදුමාකාර ලෙස ඔහුගේ හඬේ තිබුණු තරුණ බව ඔහු ගීත ලොවින් සමුගන්නාතුරු ම පැවතුනා. 60 - 70 දශකවල සංගීත සංදර්ශන වල ඔහු අනිවාර්යයෙන් ගීත තුන හතරක් ගායනා කළා. ඒ ගීත සියල්ල තරුණ හදවත් ඇමතූ ගීත. එමෙන්ම ඒ ගීතවල රිද්මය නිසාම ඉක්මනින් ජනප්‍රිය වුවා පමණක් නොව, රසිකයන්ගේ මතකයේද හොඳින් තැන්පත් වුණා. ඔහුගේ ගීත තුනක් පහත දක්වනවා. 











කාන්ති වක්වැල්ල 

   කාන්ති වක්වැල්ල කියන්නේ, ගායිකාවක් නෙවෙයි ගායකයෙක්. ඔහු අමුතුම හඬකින් සහ අමුතුම ශෛලියකින් ගායනා ඉදිරිපත් කළා. ඔහුගේ හඬේ යම් ශෝකී බවක් ගැබ්වී තිබුණා. නමුත් ඒ ගීත තුළ සැඟවුණු අමුතුම මිහිරකුත් තිබුණා.  ඔහුගේ ගීත එකතුවක් සොයාගැනීම තරමක් අපහසුයි. 












   මේ ගීතයේ mp3 පිටපතක් පමණයි තිබුණේ. මා එයට ඔහුගේ පින්තූරය එක්කර, මේ ගීතය සැකසුවා. මේ ගීතයේ විශේෂත්වයක් තිබෙනවා. ඒ තමයි, ඒ කාලයේ සිදුවූ සත්‍ය සිද්ධියක්, එනම් ප්‍රේම වියෝවක් පදනම් කරගෙනයි, මේ ගීය ලියවී තිබෙන්නේ. පෙම්වතියත් ගායිකාවක්. ඊට වඩා තොරතුරු කියන්නට මා අකමැතිවන්නේ, ඔවුන්ගේ පෞද්ගලිකත්වයට හානි වන නිසා.


ස්වර්ණා අබේරත්න 

   ඇය ගායිකාවක් ලෙස බොහෝ දෙනා හඳුනාගත්තේ, පැරණි සිංහල චිත්‍රපටියක් වන 'සුභද්‍රා' චිත්‍රපටියේ ඇය විසින් ඉදිරිපත් කල පසුබිම් ගායනයක් නිසයි. ඒ ගීතය පහතින් දක්වනවා. මේ ගීතයත් බොහොම අමාරුවෙන් හොයාගෙන ඇගේ ඡායාරූපයකුත් හොයාගෙන, මෙලෙස සකසා ඉදිරිපත් කරන්නේ. 




   මේ ගීතය, බොහොම ජනප්‍රිය ගීතයක් වුණා. විශේෂයෙන් විවාහක කාන්තාවන් අතර, ඒ කාලයේදී අතිශයින් ජනප්‍රිය ගීතයක් මෙය. නමුත්, මේ ගීතයේ තනුව නම්, පැරණි හින්දි චිත්‍රපටියකින් ගත් එකක්. මේ තියෙන්නේ මුල් හින්දි ගීතය. ටිකක් අහලා බලන්න. 




   ස්වර්ණා අබේරත්නගේ තවත් ගීත ඔබට මෙතනින් අහන්න පුළුවන්. එමෙන්ම ඇය ගැන විස්තරයක් මෙතනින් කියවන්න පුළුවන්.


ලතා දිසානායක 

   මේ ගායිකාව එදා ජනප්‍රියත්වයේ ඉහලටම පැමිණි ගායිකාවක්. ඇය නැති සංගීත සංදර්ශනයක් ඒ කාලේ තිබුණේ නැහැ. ගායිකාවක් වගේම ඈ රූමතියක්. මා දන්නා තරමින් අද ඇය විදේශගතව යි ඉන්නේ. එදා ඇගේ ජනප්‍රිය ගීත තුනක් පහත ඉදිරිපත් කරනවා. එදා ඇගේ හඬ, ගුවන්විදුලිය, සංදර්ශන වේදිකාව පුරා, පැතිරී තිබුණා.









ලතා දිසානායක ගැන කෙටි විස්තරයක් ඔබට මෙතනින් කියවන්න පුළුවන්. හොඳයි. එහෙනම් අදට සමුගන්නේ, අවකාශ ලැබෙන පරිදි තවත් මෙවැනි ලිපියක් ලිවීමේ අදහස ද ඇතිවයි.

2016 අගෝස්තු මස 22 වැනි දින 0736 පැය 
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }