හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

23 February 2016

වෘත්තීය සමිතියක් කියන්නේ මොකක්ද?

Trade Union
වෘත්තීය සමිති වෘත්තීය සමිති. අපේ රටේ කොහේ බැලුවත් හැමදාමත් මොකක්හරි වෘත්තීය සමිතියක් පාරට බැහැලා කෑගහනවා බලන්න පුළුවන්. මේක මේ අද ඊයේ දෙයක් නෙවෙයි. මට මතකයි අපි පාසල් සිසුන් කාලේ ලංකා කොමියුනිස්ට් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය යන පක්ෂ දෙක තමයි, වෘත්තීය සමිති සටන්වල පෙරමුණ ගත්තේ. ඒ පක්ෂවල හිටිය, නියම දේශපාලනඥයන් ලෙස හැඳින්විය හැකි නායකයන් නැතිවී ගියපසු, අද ඉන්න ජෝකර්ලා, ඒ පක්ෂ දියකරමින් ඉන්නවා. ජනතා විමුක්ති පෙරමුණත්, දැන්නම් නිකං, 'සීමාසහිත ජ.වි.පෙ. පෞද්ගලික සමාගම' කියලා කිව්වට වරදක් නැහැ කියලා හිතෙන තත්වයේ ඉන්නේ.

   මට වෙලාවකට හිතෙනවා, ලෝකයේ වැඩියෙන්ම වෘත්තීය සමිති තියන රට අපේ රටද කියලා. මට මේ ඊයේ පෙරේදා දකින්නට අහන්නට ලැබුනා, 'ශ්‍රී ලංකා බයිට් නිපදවන්නන්ගේ සංගමය' කියලා එකක් තිබෙන බව. මටනම් බයේ බෑ, ඒගොල්ලෝ ලංකාවම බයිට් එකට ගනියිද කියලා, ඒගොල්ලන්ගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන්. ඕනෑම වෘත්තියක් වෙනුවෙන් සංවිධානාත්මකව ක්‍රියා කරන්න, සෑම දෙනාටම අයිතිය තියනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබෙන පරමාධිපත්‍ය බලය අනුව, මිනිසුන් තම වෘත්තීන් වෙනුවෙන් සංවිධානය වීම අපරාධයක් නෙවෙයි නේ.

   ඇත්තෙන්ම ඕනෑම වෘත්තියක් වෙනුවෙන්, වෘත්තීය සමිතියක් ඇතිවීම වරදක් නෙවෙයි. ඒ නිසා වෘත්තිකයන්ට ලැබෙන සේවා බොහොමයි.

  • වෘත්තීය ගරුත්වය රැකගැනීම.
  • වෘත්තීය අයිතිවාසිකම් රැකගැනීම.
  • පාලකයන්ගෙන් එල්ලවන අසාධාරණකම් වලින්, සාමාජිකයන්ව ආරක්‍ෂා කරගැනීම.
  • වෘත්තීය සමිතියෙන් ලැබෙන විවිධාකාර සුබසාධන කටයුතු සඳහා හිමිකම් ලැබීම.
  • කාලීනව හිමිවියයුතු වෘත්තීය උසස්වීම්, විවිධ දීමනා, වැනි දෑ පිළිබඳව අකටයුතු සිදුවේ නම්, සුදුසු පියවර ගැනීම. 
 එවැනි සේවා වලට උදාහරණ කීපයක් ලෙස දැක්විය හැකියි. නමුත් අපේ රටේ වෘත්තීය සමිති බිහිවීම තුළ තිබෙන්නේ, ඉහත සඳහන් පරමාර්ථ පසෙක දමා, දේශපාලන පක්‍ෂවල බලය රැකගැනීම සඳහා අටවාගත්, නිකම්ම නිකම් සමිති වර්ගයක් කියලයි මටනම් හිතෙන්නේ. එකම වෘත්තියක් වෙනුවෙන් වැඩිම වෘත්තීය සමිති ගණනක් පිහිටුවාගෙන තියන ලෝකයේ එකම රට ලංකාව වන්නට, බොහෝදුරට ඉඩ තිබෙනවා. අපේ රටේ ඕනෑම දේශපාලන පක්‍ෂයක් බලයට පත්වුණාම, විරුද්ධ පක්ෂවල වෘත්තීය සමිති විරෝධතා ආරම්භ කරන අතර, පවතින රජයට පක්ෂ වෘත්තීය සමිති රජයේ ඕනෑම ප්‍රතිපත්තියක් අනුමත කරන ස්වභාවයෙන් හැසිරෙනවා. මේ දෙකම, අමනොඥ ක්‍රියාවක් බව නොදැන නොවෙයි, ඔවුන් මෙලෙස හැසිරෙන්නේ.

   ලංකාවේ එකදු වෘත්තීය සමිතියක්වත්, පහත දැක්වෙන කරුණු, ඇත්ත ඇති සැටියෙන්, තම සාමාජිකයන්ගේ දැනුම සහ අවබෝධය වර්ධනය සඳහා කියාදී තිබෙනවාද?

  • ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ සැබෑ තත්වය කුමක්ද?
  • අපේ රටේ විදේශීය සංචිත වල ඇත්ත තත්වය කුමක්ද?
  • විදේශීය ණය ප්‍රමාණය සහ ඒ වෙනුවෙන් ගෙවිය යුතු පොලිය, දැනට ගෙවමින් පවතින වාරික, සහ ඉදිරි කාලයේදී ගෙවිය යුතු විදේශ ණය ප්‍රමාණය කොපමණද?
  • අපේ රටේ ඒක පුද්ගල ආදායම කොපමණද? දළ දේශීය නිෂ්පාදිතය කොපමණද?
  • ඒ ඒ කාලීනව පවතින රජයේ, ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳව, ආර්ථික විද්‍යාඥයන්ගේ විචාරය කෙබඳුද?
  • තමන් අයිති වෘත්තීය මගින්, වාර්ෂිකව, රටේ ආර්ථිකය නගාසිටුවීම සඳහා සිදුවන සේවය කුමක්ද? එය තවදුරටත් වර්ධනය කිරීමට කුමක් කළයුතුද?
  • සෑම ප්‍රශ්නයකටම විසඳුම වැඩ වර්ජනයද?
  • දේශපාලන ඇසින් නොබලා, මධ්‍යස්ථව රට දෙස බැලුවහොත්, රටේ ඇත්ත තත්වය කුමක්ද?
  • ආදායම් විෂමතාව අවම කරගැනීම සඳහා ආර්ථික විද්‍යානුකූලව සහ රටට ප්‍රායෝගික වන පරිදි කළහැකි යෝජනා මොනවාද?
  • තම වෘත්තීය අයිතිවාසිකම් සඳහා සටන් කර ඒවා දිනාගත්තත්, රටේ ජනගහනයේ ප්‍රතිශතයක් වශයෙන්, ඒ වාසිය අත්විඳින්නේ, කොපමණ පුද්ගලයන් (පවුල්) ගණනක් ද?
  • වෘත්තීය සමිති ලෙස, තමන් කරන ඉල්ලීම්, ඇත්ත වශයෙන්ම රටේ කාලීන ආර්ථික තත්වය සමග බලන කල, සාධාරණද අසාධාරණද?
  • එම ඉල්ලීම් ලැබුන පසු, තම වෘත්තීය සමිති සාමාජිකයන් විසින්, කලින් තිබුණාට වඩා, තම සේවයේ වර්ධනය කොපමණ ප්‍රතිශතයකින් ඉහළට ගෙන තිබේද?
  • තම සේවයේ ඉහළ ගුණාත්මක බව, මානුෂීය බව වෙනුවෙන්, රටේ පොදු ජනතාවගේ ප්‍රශංසාවට, ඇගයීමට, ලක්වන ආකාරයට සහ එවැනි ඇගයීමක් ලැබුණත් නොලැබුණත්, තම සේවා සැපයීම් මට්ටම ඉහළ නංවාගැනීම සඳහා, වෘත්තිකයන්ගේ චර්යාව සහ ආකල්ප වර්ධනය කිරීමට, විශේෂ වැඩපිළිවෙල යොදන වෘත්තීය සමිති තිබේද?  ඒ සඳහා වාර්ෂික සැලැස්මක් හෝ අන් කවරාකාරයක සූදානමක් හෝ තිබේද?
  • වෘත්තීය සමිති නායකයන් පත්කරගැනීමේදී, ඔවුන් හුදු දේශපාලන හෙන්චයියන් නොව, දේශපාලනයට අමතරව, නීතිය, පරිපාලන ක්‍රම, ආර්ථික විද්‍යාත්මක දැනුම, පොදුවේ ලෝක විෂයය පිලිබඳ දැනුම ඇති පුද්ගලයන් පත්කරගැනීමට, එම වෘත්තීය සමිතියේ සාමාජිකයන් උනන්දු වනවාද?  
   සෑම රජයක්ම පාහේ, වෘත්තීය සමිති සම්බන්ධව ක්‍රියාකරන අඳබාල ප්‍රතිපත්තිය නිසා ද, තත්වය අවුලෙන් අවුලට යනවා විනා, සමථයකට පත්වීමක් සිදු නොවේ. නමුත් මීට වඩා යථාර්ථවාදීව ක්‍රියා කරන්නට, කිසිදු රජයක් උත්සාහ නොකරන්නේ ඇයි? එකම හේතුව, අපේ රටේ වෘත්තීය සමිති සියල්ලම පාහේ, දේශපාලන අරමුණු පදනම් කරගෙන බිහිවූ ඒවා බැවින්, පවතින රජයට විරුද්ධ දේශපාලන පක්ෂවලට අයත් වෘත්තීය සමිති ප්‍රතික්ෂේප කිරීමේ ස්වභාවයෙන්, සෑම රජයක්ම කටයුතු කිරීමයි. 

රටේ ප්‍රශ්න විසඳන්නට වෘත්තීය සමිති දායකත්වය කෙබඳුද?

   එය පවතින්නේ, ඉතා පහළ මට්ටමක බව, අප සියලු දෙනා දන්නා අමිහිරි සත්‍යයයි. පවතින රජයට විරුද්ධ දේශපාලන පක්ෂවලට අයත් වෘත්තීය සමිති සෑමවිටම උත්සාහ කරන්නේ, තම න්‍යායාචාර්යයන් වහන්සේලා දෙසා වදාරණ සියල්ල හිස් මුදුනින් පිළිගෙන, පවතින රජය කඩාකප්පල් කිරීම සඳහා වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කිරීමයි. පවතින රජයට පක්ෂපාතී වෘත්තීය සමිති, නිර්වින්දනයකට පත්වූ ලීලාවෙන්, රජය කුමන ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවුවත්, එය රටට අහිතකර වුවත්, නිසොල්මන්ව හිඳිති. නැතහොත් ඒ ප්‍රතිපත්ති පමණක් අගය කරති.
  • සියලුම රාජ්‍ය ප්‍රතිපත්ති වල විනිවිදභාවය රැකගැනීම සඳහා, සියලුම වෘත්තීය සමිති නියෝජනය කරන නිරීක්ෂක පිරිසක්, ඒ ඒ අමාත්‍යංශ මට්ටමෙන් පත්කරගත නොහැකිද? 
  • රටේ කාලීන ආර්ථික තත්වය මත, ඇත්ත වශයෙන්ම කළහැකි දේ මොනවාද, නොකළැකි දේ මොනවාද යන්න, පොදු මහජනතාවට එක එල්ලේම ප්‍රකාශ නොකරීම, රජයට එරෙහි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තව තවත් වැඩිවීමට බලපාන බව තේරුම් ගන්නා රජයක්, ඉතිහාසයේ නොතිබුන අතර, වර්තමානයේත් අනාගතයේත් ඒ තත්වය එලෙසම පවත්වාගන්නවාද?
  • රටේ අයවැය වාර්තාව යනු, පඩි වැඩිකිරීම සහ බඩු මිල අඩුකිරීම නොවන බව, යථාර්ථවාදීව පෙන්නුම් කර නොදී, බොරු පුරාජේරු ඉදිරිපත් කිරීම, තව තවත් වෘත්තීය ක්‍රියාමාර්ග වලට මහජනතාව පොළඹවමින්, තව තවත් ආර්ථිකය පහළ දමාගැනීමක් බව, සෑම රජයයක්ම තේරුම් නොගන්නේ ඇයි?
  • විෂයයමාලා භේදයකින් තොරව, පාසල් අධ්‍යාපනයේ සිටින, කරුණු කාරනා වැටහෙන සියලු දරුවන්ට, විශේෂයෙන් විශ්වවිද්‍යාල සිසුන්ට, මේ සත්‍යය කියා නොදෙන්නේ ඇයි?
   අධ්‍යාපන, සෞඛ්‍ය, ප්‍රවාහන, බලශක්ති, ආදී එදිනෙදා ජනජීවිතය සමග තදින්ම ගැටෙන ක්ෂේත්‍රයන්හි ඇති ගැටළු, මා මෙතන විස්තර නොකලාට ඔබට හොඳ අවබෝධයක් තිබෙනවා. ඉතින් අපට කියන්න තිබෙන්නේ ඇමතිවරුනි දෙන්න ඔය ඇමතිකම ළමයෙකුට කියා නොවේද?

   රටපුරා බෙදාහැරීමට තිබෙන ලිපි දස ලක්‍ෂ ගණනක් මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩගැහිලලු. කොයි වෘත්තීය සමිතියද ඉදිරිපත් වෙන්නේ අපි ස්වේච්ඡාවෙන් වැඩකර මේ ලිපි තේරීම් කඩිනම් කර දෙන්නම් කියලා. කොයි වෘත්තීය සමිතියද ඒ සඳහා තම 'මුට්ටි කාසි' වලින්, අර ස්වේච්ඡාවෙන් වැඩ කරන අයට, වඩයක් සහ ප්ලේන්ටියක් දෙන්නේ?

   ඇමතිතුමනි, ඇමතිකම ළමයෙකුට දෙන්න බැරිනම් ළමයින්ට දෙන්න. අහන්න කොළඹ පාසල්වල උසස්පෙළ දරුවන්ගෙන්, ශ්‍රමදානයකට එන්න පුලුවන්ද කියලා. ළමයි 10 ගොඩවල් 10 ක් හදන්න. ඒ එක ගොඩක ඉන්න දහදෙනා අධීක්ෂණය කරන්න දාන්න තැපැල් දෙපාර්තමේන්තු සේවකයෙක්. පළමුවැනි දවසේ ලිපි තේරීම උගන්වන්න. දෙවැනි දවසේ ඉඳලා බලාගෙන ඉන්න, ඒ ළමයි කොච්චර වේගයෙන් හා කාර්යක්‍ෂමව ඒ වැඩේ කරනවාද කියලා. අනේ තමුන්නාන්සේගේ පොකැට්ටුවෙන්, උන්ට බනිසක්, කෙහෙල් ගෙඩියක්, ප්ලේන්ටියක්, බජ්ජුන්ඩක් දෙන්ට හොඳේ? 

   ඉස්පිරිතාලවල සේවකයන් වර්ජනය කලාම, රෝහල තුළ ලෙඩ්ඩු එහාට මෙහාට ගෙනියන්නේ, අනෙකුත් සහය සේවා ලබාදෙන්නේ, හමුදා සොල්දාදුවෝ. ඉතින් සෞඛ්‍ය ඇමතිතුමෝ, ආරක්ෂක ඇමතිතුමා එක්ක එකතුවෙලා, දෙන්න ඒ ගැන හොඳ පුහුණුවක්, සෑම ප්‍රදේශයකම තියන හමුදා කඳවුරුවල ඉන්න සෙබළුන් 500 කට. (ඒ සඳහා ත්‍රිවිධ හමුදාවම ගන්න. වෛද්‍ය බලකාය යටතේ කඳවුරු තුළම පුහුණුව දෙන්න) ඊට පස්සේ, වෘත්තීය ක්‍රියාමාර්ග, ඒ සෞඛ්‍ය සේවකයන්ට හිතේ හැටියට කරගන්න කියලා, අහිංසක ලෙඩ්ඩුන්ට සේවය ලබාදෙන්න පුළුවන්.

   කෝච්චි ස්ට්‍රයික් කලාම හරි පුරස්න. ප්‍රවාහන ඇමතිතුමෝ, දෙන්න ඇමතිකම ආමි එකට. අවශ්‍ය තරම් ගණිතය, භෞතික විද්‍යාව උපාධිධාරී නිළධාරීන්, දැන් ඉන්නවා ත්‍රිවිධ හමුදාවේම. දෙන්න ඒගොල්ලට කෝච්චි ඩැයිවර්, ගාඩ්, සිග්නල් කෙළි, ඔක්කොම ගැන පුහුණුවක්. (ලංකාවේදී කරන්න වෘත්තීය සමිති ඉඩ දෙන එකක් නැහැ. පිටරටකදී දෙන්න)

   ඔහොම නැතුව නම් බැරිවෙයි අනාගතේදී.

  මීට වඩා දේවල් කියන්න තිබුණත්, වචන 1000ත් පැනලා නිසා, මෙතනින් ලිපිය අවසන් කරන්නේ, ඔබේ ගල් සහ මල් දෙකම බලාපොරොත්තුවෙන්. 

2016 පෙබරවාරි මස 20 දින 2346 පැය

18 February 2016

හාමුදුලුවනේ..........!!!





අලෝ..........ආලෝ......ඔය අපේ අල ලත්තන තුදුපාත හාමුදුලුවොද? හාමුදුලුවනේ, හාමුදුලුවෝ අලි බබෙක් තියාගෙන ඉන්නවද? එයා අතලමං වෙලා ආව අලි බබෙක්ද? ඉතිං එයා බලාගත්තා කියලා කවුද හාමුදුලුවන්ට නඩු දාන්න යන්නේ? කවුද එයාව අතලමං කළේ? හාමුදුලුවෝ නෙවෙයි නේද? අලි බබාලා ඉන්නේ ඈත කැළේ කියලා අපේ මොන්ටිතෝලි චීච කිව්වා. ඉතිං මේ අලි බබා කොහොමද එයාගේ අම්මිවයි තාත්තිවයි දාලා පන්තලට ආවේ? හාමුදුලුවෝ කිව්වද ගෙනත් දෙන්ද කියලා. හමුදුලුවෝ එහෙම කියන්නේ නෑ නේද? ඔයා ෂෝයි හාමුදුලු කෙනෙක්නෙ. ඉතිං ඔය අලිබබා අතලමං වෙලා හිටියනම් ඇයි එයාගේ අම්මිවයි තාත්තිවයි හොයලා දෙන්ද කියලා අල ඔයා හැමදාම බණ කියන ලේඩියෝ එකෙන් කිව්වේ නැත්තේ? පව් නේද? අපේ අක්කි අපිත් එක්ක කැළණියේ පෙලහැල බලන්න ගිහිං අතලමං වුනාම පන්තලේ ඉත්පීකලෙන් කිව්වා මෙන්න අක්කි ඉන්නවා කියලා. අපේ තාත්ති ගිහින් එක්ක ආවා. ඉතිං ඒ වගේ අක්කි කෙනෙක් ඔයාගේ පන්තලේ අතලමං උනාමත් ඔයා එයාව කෑම දීලා බලාගන්නවද? අනේ පව් නේ, නේද? අපි ඔයා කියන බණ හැමදාම අහනවා. එදා ඔයා කිව්වනේ බොලු කියන්න එපා අපායේ යනවා කියලා බුදු තාදු කියලා තියනවා කියලා. අපේ ගේ ළඟ කඩේ ඉන්න අයියා හලි නලකයි. එයා කියනවා ඔයා කියන්නේ බණ නෙවෙයි බයිලලු. එයා හලී නලකයි නේද? 

මම ඔයාගේ පන්තලට ඉත්තලහ ගෙදල නංගි බබා.

2016 පෙබරවාරි මස 18 වැනි දින 0024 පැය 



16 February 2016

පියවර හතරයි යුද්දේ ඉවරයි.................................! Four Phases of War


Footprints
මොනවා.....? පියවර හතරක් තියලා යුද්ධයක් ඉවර කරන්න පුලුවන්ද?

පුළුවන් නිසා නේන්නම් මෙහෙම මාතෘකාවක් දැම්මේ.

ඒ කියන්නේ යුදබිමේ පියවර හතරක් තිබ්බම යුද්දේ ඉවරයි?

ඔව් ආයේ දෙකක් නෑ යුද්දේ ඉවරයි.

මේ....නිකං පිස්සු කියවන්නෙපා.

කිසිම පිස්සුවක් නෑ. ඕනෙම යුද්ධයක් අවසන් වෙන්නේ පියවර හතරකින්, හැබැයි ඒ පියවර හතර කියන්නේ, ඇවිදගෙන යන පියවර හතරක් නෙවෙයි. අවස්ථා හතරක්, කාල ඡේද හතරක්, සැලසුම් සහගත ක්‍රියාන්විත පියවර හතරක්.........දැන් තේරුනාද?

හොඳයි, මේ කෙටි ලිපියෙන් මා ඔබව දැනුවත් කරන්නේ, සාම්ප්‍රදායික යුද ක්‍රම යටතේ, යුද්ධයක් සිදුවන්නේ කොහොමද කියන එකයි. සාම්ප්‍රදායික යුද්ධයක් කියන්නේ මොකක්ද කියලා මීට පෙර මා ඔබට කියා තිබුනත්, දැන් නැවත මතක් කිරීමක් කරන්නම්.

   සාම්ප්‍රදයික යුද්ධයක් යනු, ලෝකයේ පිළිගත් රාජ්‍යයන් දෙකක් හෝ ඊට වැඩි ගණනක් අතර, සම්මත යුද උපකරණ යොදාගනිමින්, සතුරු හමුදා සිටින තැන හඳුනාගනිමින්, හමුදා එකිනෙක මුහුණට මුහුණ ලා, ගොඩබිමෙන්, අහසෙන් සහ මුහුදෙන් භට පිරිස්, ගුවන් යානා, නෞකා යොදාගනිමින්, කරන යුද්ධයයි. මෙහිදී සමූල ඝාතක අවි පාවිච්චි කරන්නේ නැහැ.

   අද කාලයේදී නම්, සාම්ප්‍රදායික යුද උපක්‍රම භාවිත කරමින් සටන් කරන යුද්ධ, දකින්නට නැති තරම්. මා දන්නා තරමින්, අවසන් වරට, සාම්ප්‍රදායික යුද ක්‍රම භාවිතා කළේ, ෆෝල්ක්ලන්ත යුද්ධයෙදීයි. ඊට පෙර, 1965 ඉන්දු - පාකිස්ථාන් යුද්ධයේදී. හොඳයි, කොහොමද දැන් පියවර හතරකින් මේ යුද්ධය සිදුවෙන්නේ.

   සයිමන් අයියයි මාටින් අයියයි, හොඳම යාළුවො දෙන්නා වුණාට, පාරේ යනකොට හිනාවෙන ගෑනු ළමයට දෙන්නම වහ වැටිලා, අන්තිමට පාර මැද්දේ ගහගන්නවා. ඔය වැඩේ එකපාර වෙන්නේ නැහැ. ඉස්සර වෙලාම මේ අයියලා දෙන්නා, අර ගෑණු ළමයා තමන්ට අයිති කරගැනීමේ චේතනාව නිසා, එකිනෙකා සමග අමනාප වෙනවා, ඊළඟට දෙන්නගෙම යාලුවන්ට කියනවා, අනික් එක්කෙනාගේ වැරදි. පාරේදී හම්බවුනාම, ගස්සලා අහක බලාගෙන යනවා. හැන්දෑවට දෙකක් දාලා, පොඩ්ඩක් තර්ජනාත්මක කයිවාරු ගහනවා. 'මම ඕකගේ කොළ බොක්ක එලියට අදිනවා කියලා' පිහියක් එහෙම ඉනේ ගහගෙන ඉන්නවා.

   ඔන්න දෙන්නා හෝ, දෙන්නගෙන් එක්කෙනෙක්, එක දවසක කියනවා, 'මම අද ඕකව බාවනවා' කියලා. දෙන්නා යනවා දෙන්නව මුණගැහෙන්ඩ, දෙකෙන් එකක් බේරගන්ඩ. සටන ඇවිලෙනවා. දෙන්න සටන් කරමින් අර ගෑනු ළමයාගේ ගෙදරට ලංවෙනවා. එක්කෙනෙක් අනික් එක්කෙනාට හොඳටම ගහලා ගානුලමයව තමන්ගේ ගෙදර අරන් යනවා. අනික් එක්කෙනා අතාරින්නෙ නැහැ. දවස් කීපයකට පස්සේ ආපහු සටනට එනවා. ඔන්න ඔයවගේ තමයි මේ යුද්දෙත්.

   අපි දන්නවා ලෝකයේ සෑම රටකම තිබෙන ත්‍රිවිධ හමුදා, නිරන්තර පුහුණු කටයුතුවල යෙදෙනවා.

   මොනවා........? අපේ රටෙත් එහෙමද?

   ඇයි අපේ රට මේ ලෝකෙට අයිති නැද්ද? අපිත් ඉතා හොඳින් පුහුණු කටයුතු කරගෙන යනවා හොඳේ?

   ඉතින් මෙවැනි පුහුණුවකින් සහ සූදානමකින් සිටින හමුදා, එළියට බහින්නේ, එම හමුදා අයත් රාජ්‍යයන්, කුමක් හෝ අර්බුදයක පැටලීමේ හේතුවෙන්. අර අයියලා දෙන්නා වගේ යම්කිසි රටවල් දෙකක් එකිනෙකාට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළොත්, ඒ රටවල්, පසමිතුරු රටවල් ලෙස සැළකෙනවා.

ඇමරිකානු ජනාධිපති රූස්වෙල්ට් ජර්මනියට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීමේ ලේඛනයට අත්සන් තැබීම
ඇමරිකානු ජනාධිපති රූස්වෙල්ට් ජර්මනියට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීමේ ලේඛනයට අත්සන් තැබීම
   (යුද්ධ ප්‍රකාශ කරනවා කියන්නේ සෙල්ලම් වැඩක් නෙවෙයි. මෙහෙමයි කරන්නේ. අපි හිතමු අපේ රට යම්කිසි රටක් සමග යුද්ධ කරන්න යනවා කියලා. එතැනදී, අපේ රාජ්‍යයේ නායකයා විසින්, මුලින්ම විද්‍යුත් මාධ්‍ය මගින්, රටේ මහජනතාවට සහ ලෝකයට දන්වනවා, අහවල් දිනයේ අහවල් වෙලාවේ සිට, මා විසින් අහවල් රටට/රටවලට එරෙහිව යුද්ධමය තත්වයක් ප්‍රකාශ කරමි, කියලා. ඊට පස්සේ ඒ කරුණු සවිස්තරව දක්වන ලේඛනයකට අත්සන් තියනවා. එතැන් සිට, ඒ රටවල් දෙක,, එකිනෙකාට එදිරිවාදී රටවල් ලෙස සැලකෙන අතර, තම අභිමතය පරිදි, යුද්ධයට එළඹෙනවා)

   හොඳයි දැන් එහෙනම් අපි යමු, මෙවැනි සාම්ප්‍රදායික යුද්ධයක් සිදුවන පියවර හතර හඳුනාගන්නට.

පෙරමුණට ගමන් ගැනීම - Advance

  මෙතනදී සිදුවන්නේ, සතුරු හමුදා, එකිනෙකා මුහුණට මුහුණ ලා සටන් කිරීමේ දුරට එනතුරු, යුදබිමේ ඉදිරියට ගමන් කිරීමයි. මෙහිදී භූමිය අයිති කාටද යන්න ප්‍රශ්නයක් නොවේ. සටන ඇරඹීමයි වැදගත් වෙන්නේ. හිතන්න එපා අර අයියලා දෙන්නා වගේ, 'අඩෝ වරෙන් පුලුවන්නම් ඩෝ' කියලා කෑගහගෙන යන්නේ නැහැ. යන්න පුළුවන් උපරිම දුර වාහන වලින් (හැකිනම් සතුන් පිටේ) යනවා. එතන ඉඳලා පයින් යනවා. මෙහිදී විවිධ උපක්‍රම භාවිත කරමින් තමා ගමන් කරන්නේ. ඒ උපක්‍රම පසුව එන ලිපියකින් කියන්නම්. ඒ විදිහට යන ගමන, යුද න්‍යායේදී හඳුන්වන්නේ, 'advance to contact - සතුරා සමග ගැටීම ඇතිවන තුරු ඉදිරියට යාම' කියලයි. මේ ගමන් ගැනීමේදී, අතරමග සටන් ඇවිලෙන අවස්ථා තියනවා. සතුරාගේ කණ්ඩායම්, බලාපොරොත්තු රහිතව, අතරමගදී මුණගැහෙන්න පුළුවන්. එතනදී කරන්න වෙන්නේ, ඔවුන් සමග සටන් කරමින්ම ඉදිරියට ගමන් කිරීමයි. (යන ඔක්කොම හමුදාව ඒ වැඩේට අවශ්‍ය නැහැනේ. කොටසයි සටන් කරන්නේ) මේ විදිහට, සටන් කරමින් ඉදිරියට ගමන් කිරීම, න්‍යායාත්මකව හඳුන්වන්නේ, 'advance in contct - සටන් කරමින් ඉදිරියට යාම' කියලයි. ඔන්න පළමුවැනි පියවර ඉවරයි.

2 ප්‍රහාරය - Attack 

   ඔන්න මෙතනදී තමයි දෙකෙන් එකක් තීන්දු වෙන්නේ. ප්‍රහාරයේදී, තමන්ගේ උපරිම යුද ශක්තිය, සේනා බලය, උපක්‍රමික බව, යුද න්‍යාය යොදාගැනීම, වැනි සියලු අංශ වලින්, උපරිම දක්ෂතාවයෙන් යුක්තව සටන් කරන්න වෙනවා. ප්‍රහාරයක් එල්ල කිරීමේදී, ආදී කාලයේ වගේ මුහුණට මුහුණ ලා සටන් කරන්නේ නැහැනේ. දෙපක්ෂයේම යුද අගල් තියනවා, ඒවාට පහර දියයුතු වෙනවා. සතුරු කඳවුරු ආක්‍රමණය කරන්න වෙනවා, සතුරු හමුදා බලාපොරොත්තු නොවන පැත්තකින් වටකොට, පහර දීමට සිදුවෙනවා. කාලතුවක්කු, යුද ටැංකි, ගුවන් ප්‍රහාර, ඉතා කල්පනාකාරීව නියමිත අවස්ථාවේදී යොදාගන්න සිදුවෙනවා. භටපිරිස් යෙදවීම අරපිරිමැස්මෙන් කළයුතු වෙනවා. (මේවා ගැන පසුව ලියන්නම්)

3 ආරක්‍ෂා සංවිධානය - Defence 

   දැන් සටන ඉවරයි. එක පාර්ශවයක් දිනනවා, එක පාර්ශවයක් පරදිනවා. සමහරවිට මේ පැරදීම, උපක්‍රමික පසුබැසීමක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ, සතුරා තවත් ඉදිරියට ගෙන්වාගෙන පහර දෙන්න යොදන, උපක්‍රමයක්. ඒ කොහොම වෙතත්, මේ අවස්ථාවේදී සිදුවන්නේ මෙයයි. තමන් යුද බිමේ ඉදිරියට ගොස්, සටන්කර අල්ලාගත් ප්‍රදේශය හෝ, පසුබැස රැඳී සිටින ප්‍රදේශය ආරක්‍ෂා කරගැනීමට, උපක්‍රමශීලීව කටයුතු කළයුතුයි. මෙවැනි ප්‍රදේශයක් ආරක්ෂා කරගැනීම සඳහා, සම්මත මූලධර්ම තිබෙනවා. (පසුව ලියන්නම්) ඒ මූලධර්ම භාවිතා කරමින්, දැනට රැඳී සිටින ප්‍රදේශයෙන් පසුබැසීමට සිදු නොවන පරිදි ආරක්‍ෂා කරගැනීම තමයි, මේ පියවරේදී සිදුවන්නේ.

4 ප්‍රතිසංවිධානය හෝ ආපසු ගමන - Reorganise or Withdrawal 

   ආරක්‍ෂා සංවිධානය නමැති පියවරේ ඉන්න ගමන්, කළයුතු වැදගත්ම වැඩේ තමයි, ප්‍රතිසංවිධානය. ඒ කියන්නේ, ඊළඟ සටනට සූදානම් වීම. මෙතැනදී වැඩ ගොඩක් තියනවා. පළමුවෙන්ම පිරිස් බලය ප්‍රතිසංවිධානය කරගත යුතුයි. දෙවනුව සෑම ආකාරයකම යුද්ධෝපකරණ වල අඩුපාඩු, ප්‍රතිපූරණය කරගත යුතුයි. ආහාර, ප්‍රවාහන, සංනිවේදන, වෛද්‍යාධාර, ආදී අනෙකුත් සියලු අංශ ප්‍රතිසංවිධානය කරගත යුතුයි. අපි අත්පත් කරගත් ප්‍රදේශයේ, කාලයක් රැඳී සිටින්නේනම්, මේ ප්‍රතිසංවිධාන කටයුතු වලට, දිනපතා පුහුණුවද ඇතුළත් වෙනවා. අපි එම ප්‍රදේශයෙන් වෙනත් ප්‍රදේශයකට යන්නේ නම්, ඊට පෙර ප්‍රතිසංවිධානය නිමකර තිබිය යුතුයි. ඒ කිසිවක් නොකොට, ආපසු අපේ රටට/කඳවුරට/ එනවා නම්, ආපසු පැමිණීමේදී, සතුරු ප්‍රහාරයන්ට ලක්වීමේ අවදානමට මුහුණ දීම සඳහා, සූදානමින් යුක්තව, උපක්‍රමිකව, ආපසු පැමිණිය යුතුයි.

   ඔන්න ඔබ තවත් හමුදා පාඩමක් ඉගෙන ගත්තා. මා හිතන්නේ, මේ අඩවිය ආරම්භ කල දා සිට, මා ඔබට කියාදී ඇති මෙවැනි කරුණු, හොඳින් අධ්‍යයනය කළොත්, ඔබගේ හමුදා දැනුම ඉතා පුළුල් වන බවයි.

   තවත් මෙවැනිම ලිපියකින් හමුවෙමු. 

2016 පෙබරවාරි මස 15 වැනි දින 2326 පැය 

13 February 2016

ක්‍රෝම් බ්‍රව්සර් අවුල ලිහන්න පුළුවන්ද?



මෙහි මා සඳහන් කරන කරුණු පැහැදිලිව දැකීම සඳහා මේ ලිපිය ගූගල් ක්‍රෝම් බ්‍රව්සරය මගින් කියවා බලන්න.
  
1. ක්‍රෝම් බ්‍රව්සරය දැනට සති දෙකකට පමණ ඉහත සිට සිංහල යුනිකෝඩ් අක්ෂර විකෘති කර පෙන්වයි. මෙහිදී විකෘතිවී පෙනෙන්නේ යංශය සහ රකාරාංශය ඇතුලත්, දිව්‍ය, ව්‍යාපාර, ශක්‍යතාව, ප්‍රශ්න, ක්‍රමය, ග්‍රන්ථ, වැනි වචන ය. 


මේ සඳහා විසඳුම කුමක්ද? මා අත්හදා බලා සාර්ථක වූ පිළිවෙත පහත දක්වනවා. 

2. ක්‍රෝම් බ්‍රව්සරය දැනට සති දෙකක පමණ සිට සිංහල යුනිකෝඩ් අක්‍ෂර විකෘති කර පෙන්වයි. මෙහිදී විකෘතිවී පෙනෙන්නේ, යංශය සහ රකාරාංශය ඇතුළත්, දිව්‍ය, ව්‍යාපාර, ශක්‍යතාව, ප්‍රශ්න, ක්‍රමය, ග්‍රන්ථ, වැනි වචන ය. 

ඉහත අංක 1 ඡේදය මා ටයිප් කලේ online ක්‍රමයටයි. 

අංක 2 ඡේදය MS Word ලිපියක් ලෙස ටයිප් කර cut and paste කළා. එහිදී අර විකෘති වීම දකින්නට ලැබුනේ නැහැ. 

(word ලිපිය ටයිප් කිරීමට පාවිච්චි කලේ google input tools) 

නමුත් මේ ක්‍රමය වුවද, wordpress ක්‍රමයේදී සාර්ථක නොවුන අතර blogger ක්‍රමයේදී පමණයි සාර්ථක වුණේ. 

එමෙන්ම blogger post heading එකේදී මේ ක්‍රමය අසාර්ථක බව පෙනෙනවා. 

මේ සඳහා විසඳුමක් හොයමුද? 




06 February 2016

ලබුතෙමේ ගස් නැග්ගේය

මට මතකයි ඉස්සර අපි විහිලුවට කියනවා, රජතෙමේ කියන වචනය යොදා වාක්‍යයක් හදන්න කිව්වම එක ළමයෙක් ලිව්වලු, 'රජ තෙමේ නම් කුඩයක් ඉහලාගන්න' කියලා. නමුත් ලබුතෙමේ කිව්වම මොකෑ කොරන්නේ. එව්වත් ඉතින් තෙමෙන්න නොදී රැකගන්න වෙනවා. එහෙම නේද? හැබැයි මේ ලබු අර ඔව් ඔව් අන්න ඒ ලබු නෙවෙයි. වෙන එකක්. දන්නව නේද අපේ 'ගෑස් ලෑබ්ස්' හෑ.....දන්නෙ නෑ. ඇයි අප්පේ අර ඉදිච්චි ගස්ලබු පින්තූරේ දාගෙන ඉන්න අපේ ගෑස් ලෑබ්ස් දන්නෙ නැද්ද? ආ.........න්න හරි. ඒ ගොබිලා තමයි.  

   මේකා මේ ලඟදි දවසක උදේ මට තෙලබණුවෙන් ඇමතුමක් දුන්නා.

'මාමේ, මාමා මේ අපේ හිටපු හමුදා මාමා නේද?' 

'ඔව්වොව්, කවුද බෑණෝ උඹ' 

'මාමේ, මාමා දැන් ගෙදරද ඉන්නේ?' 

'ඔව්වොව්, මං මේ දෙපරැන්දට හුළං වදින්න, මිදුලේ හක්කොලන් කොර කොර ඉන්නේ, ඇයි බෑණෝ ඇහුවේ' 

'මාමේ, මාමා ඇඳුම් ඇඳගෙනද ඉන්නේ?' 

'ඇයි යකෝ තෝ හිතුවද මම ප්‍රාග් ඓතිහාසික මානවයෙක් කියලා ඇඳුම් නැතුව ඉන්න?' 

'මාමගේ ගෙදර ගස්ලබු තියනවැයි?' 

'තොට මොකටද බොල අපේ ගෙදර ලබ්බවල්? මට තිබුනම මදිද?' 

'හරි හරි, මාමේ මං මේ කතාකොරන්නේ ගෑස් ලෑබ්ස්' 

'මක්කිව්වා?' 


'හප්පද බොල, එහෙනං උඹද මේ? දැන් මොකෑ වෙලා තියන සංගෙදිය? බොට කවුරුහරි තර්ජනයක් කොලාද, අර වතුර පල්විස් ට බීන් මහත්තයා තර්ජොනය කොලා වගේ?' 'වහාම කියපං ත්‍රිවිධ හමුදාව සහ අමතරව කළු ඩිෆෙන්ඩර් එකකුත් එවන්නං. එව්වා කොහෙද අපිත් එක්ක, හුහ්, අපෙ එකෙකුට පාට් දාන්න ඔය ප්‍රේමචන්ද්‍රලා හිතුවා (තුයන්න තුයන්න) මදි.'

'නෑ නෑ මාමේ, මාත් මේ හේනක් කුඹුරක් කොටාගෙන, පැල් ගැහෙන්නයි යන්නේ' 

'ඉතිං පැල් බැරිනං ගල් ගැහියංකො මට මොකෑ?' 

'නෑ නෑ මාමේ මං මේ කම්පනා කොලේ, ඔය වගේ වෙලාවක මාමත් ළඟ හිටියානං මට ලොකු හයියක්නේ. හදිස්සියක්, අසක්කුවක්, මරාලයක් උනොත්, මට පිටපොට ගහගෙන මාමගේ කරටවත් ගොඩවෙලා, බේරෙන්න පුළුවන්නේ. අනේ මාමේ, ඒ හින්දා බෑ නොකියා වරෙන්කො මගේ තාන්තුවාවට' 

ඉතිං මොකේදැයි දන් වළඳන්නේ කිව්වලු. මක්කොරන්ටද, මං හා කිව්වා. අම්මපා තැපැල් කන්තෝරුව තියෙන්නේ මුගේ ගෙදරද කොහෙද, ඊට පහුවදාම ආවේ නැතැයි සුට්ටන් කාඩ් එකක්. මේ තියෙන්නේ. මේ කටන්තරේ පටන්ගන්න තැන තියෙන්නේ, මේ කාඩ් එකේ පිට පැත්තේ පින්තූරේ. 


හා......දැන් ඉතිං දතකට මැදගෙන පිටපොට ගහහෙන ලැහැත්ති වෙයන්කෝ මේ මගුලේ යන්ට. හෑ.........'සැලියුට්' උස්සව සාලාව? ඒ මොකද්ද බොල ඒ? එතෙන්ට යන්ඩ ඕනේ සැලියුට් ගහගෙනද? එහෙනං මගේ පරණ ගොමස්කඩ යුනිපොං එව්වා හඩු ගඳ යන්න අපුල්ලලා මැදලා ඇන්න තමා යන්ඩ වෙන්නේ. හා........මේක මේ හමුදා මගුලක් නෙවෙයිනේ. ඒ නිසා ඔන්න ඔහේ තියන ඇඳුමක් ඇඳගෙන යන්ඩ හිතාගත්තා. 

කවුද දන්නෑ වෙන එන්නේ. බලනකොට කැමරාවා තමයි මේ මගුලේ අදියක්ස ජනරාල්. 

ගෑස් ලෑබ්ස් සහ කැමරාවා එක පන්තියේ ඉගෙනගත්ත අතීසාර මිත්තරයෝ. ඒ නිසා කැමරාවා හිතලා තියනවා, තමන්ගේ පන්ති මිත්තරයාව අමාරුවේ දාන්න. ඌ තමයි ලබුතුමාව අන්දලා තියෙන්නේ කසාදයක් බඳිමු කියලා. ලබුතුමාගේ පප්පා, කැමරාවාගේ පන්ති භාර ගුරුතුමා. දවසක් ඒ ගුරුතුමා, කැමරාවාගේ විශිෂ්ට හැසිරීම් අගය කරමින්, කැමරාවා කණ ආදරෙන් අතගාලා, පන්තියෙන් එළියට දාලා තියනවා. අන්න ඒ හින්දා, ඒකට දෙන ප්‍රති ප්‍රහාරයක් හැටියට තමා, ගුරුවරයාගේ පුතාට මේ මගුල සැට් කොරලා දීලා තියෙන්නේ. පේනවා නේද, හිමිජ්ජා වගේ හිටියට කැමරාවා කොච්චර භයානෙක ද කියලා. 

කැමරාවාගේ උපදෙස් පරිදි,   ගෑස් ලෑබ්ස් විසින් බොගාලා දෙතුන්සීයකට විතර ආරාධනා කොරලා තිබුණා. නමුත්, එදාට බැංකුව අතුපතු ගාන්ඩ තියනවා කියලා මධුවා එන්ඩ බෑ කිව්වා, අලුතෙන් හදන ගොඩනැගිල්ලක අත්තිවාරමේ වේයෝ මර්දනය කොරන්ඩ තියනවා කියලා, ගොඩනැගිලි උයන තුමා බෑ කිව්වා, දවස් පහක සති අන්තයක් සැට් කොරගෙන අවලමේ යන්ඩ තියනවා කියලා, ඉවානයා බෑ කිව්වා.  මාතලනී අනුමත කොලේ නෑ කියලා මාතලනා බෑ කිව්වා. ඔන්න අන්තිමට අපි අපි කීප දෙනෙක් කොහොම හරි ආවා. මම හිතන්නේ වැඩිම දුර ඉඳලා ආවේ මම. (කි.මී.1.5 යි) 

අටමා හිතුවේ, මේ මගුල තියෙන්නේ, දකුණු අප්‍රිකාව දිහාවේ කියලා. මූට මම කිව්වා, කෝච්චියෙන් ඇවිත් බැහැපිය පොතුහැර ඉට්ටේසමෙන්, මං තෝව ඇන්න යන්ඩ එන්නං කියලා. මේකා අහනවා, පොතුහැර තියෙන්නේ අනුරාදපුරේට මෙහා නේද, මොකෑ එච්චර දුර යන්නේ කියලා. අම්මපා මේකා කෝච්චි ඉට්ටේසමක් කියලා දන්නේ, රාගම විතරයි මගෙහිතේ. ඔන්න ඉතින් කොහොම කොහොම හරි අපි ටිකදෙනෙක් එකතුවුනා කියමුකෝ. මගුල් ගෙදර වැඩ යන්ඩ ඇරලා අපි ටිකක් එළිමහනේ ඉඳගෙන, හිටියා. අටමා කියනවා මට නිකං ඔරෙන්ජම් බාර්ලි සුවඳක් එනවා කියලා. බලනකොට ඊට මීටර් 500 ක් විතර එහා විවුර්ත කරපු බාර්ලි බෝතලේක සුවඳ මූට දැනිලා තියෙන්නේ. කොහොමද මුගේ ඉව? ඔන්න ඉතින් අපි ඔරෙන්ජම් බාරලි වල රස බැලුවා. ඒ බාරලි බෝතලේ අර, නොම්මර 69 ද මොකක්ද. 



කැමරාවා කිව්වා තව ටිකකින් තොපේ මූණු රබර් මූණු වෙන්ඩ කලින් දැම්මම ජෝඩුවත් එක්ක පොටෝ එකක් කෙලපල්ලා කියලා. ඔය තියෙන්නේ ඒක. අම්මපා ඊට පැය දෙකකට විතර පස්සේ ඔය පොටෝ එක ගන්ඩ ගියානම්, මූණු වලට ජැක් ගහන්ඩ වෙනවා, කෙලින් තියාගැනීම සඳහා.


මේ සිරියාවන්ත ජෝඩුවගේ පින්තූරේ, අපේ රබර් මූණු වලින් කැත වුණේ මෙන්න මෙහෙමයි. වමේ සිට දකුණට, ලේ බොන්නා, අහසෙන් පාත්වෙන්නා, කැමරාවා, ගෑස් ලෑබ්ස්, ලබ්බේ අනික් පළුව, මනෝ ගහගෙන ඉන්න එකා, අට්ට තටං, ගරු මම තුමා.  

මගුල් ගෙදර තිබුණු තරු පහේ කෑම බීම ගැන ලියන්න ඉතිං, වෙනම ලිපි දෙකක් විතර ලියන්න වෙනවා. ඒතරම් ඉස්තරම් විදිහට, සියල්ල සංවිධානය කර තිබුණා. මගුල් ගෙදර ඉවරවෙලා මේ බොගාලා සැට් එක පටවාගෙන ගිහිං, පොතුහැර ඉට්ටේසමේ හලලා ආවා, කෝච්චියෙන් බැරිනං ඩක්කුවක හරි නැගලා ගෙදර පලයව් කියලා. අද වෙනතුරු උන්ගෙන් ආරංචියක් නැහැ. 


අකලංක - ජීවනී
 ඔබ දෙපළට සුබ අනාගතයක්!

2016 පෙබරවාරි මස 06 වැනි දින 1103 පැය 


01 February 2016

මාධ්‍යවේදියා ! මේ කවුද මොනවද කරන්නේ?


Reporter
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, පාර්ලිමේන්තුවේදී ජනමාධ්‍ය සහ මාධ්‍යවේදීන් පිළිබඳව අදහස් දැක්වීමෙන් පසු, ඒ පිළිබඳව විවිධ අදහස්, විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය වලත්, සමාජ ජාල වෙබ් අඩවි වලත්, පළවන්නට පටන්ගෙන තිබෙනවා. මාධ්‍ය පිළිබඳව, දේශපාලනඥයන් සිය අප්‍රසාදය පලකිරීම, අපේ රටට පමණක් සීමාවූ තත්වයක් හෝ අද ඊයේ සිදුවන දෙයක් හෝ නොවෙයි. ලෝකය පුරාම, මේ තත්වය අඩු වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. මාධ්‍ය සහ දේශපාලනඥයන් මෙසේ ගැටෙන්නේ ඇයි? මාධ්‍ය සමග ගැටෙන්නේ දේශපාලනඥයන් පමණද? මෙම ලිපියෙන් මා අදහස් කරන්නේ, මේ සම්බන්ධව, පසුගිය වසර 40 ක පමණ කාලයක් තුළ, මා ලබා ඇති අත්දැකීම් ඇසුරෙන්, ඔබ සමග සංවාදයක යෙදෙන්නයි.

   මුලින්ම මගේ සිත ඇදීයන්නේ, අප පාසල් යන කාලයේ, මේ මාධ්‍යවේදීන් පිලිබඳ මතකය වෙතයි. අප පාසල් දරුවන් ලෙස ගතකළ කාලයේ, මාධ්‍ය ලෙස අප දැනසිටියේ, පුවත්පත් සහ ගුවන්විදුලිය පමණයි. නමුත්, ඒවා හැඳින්වීමට, මාධ්‍ය යන වචනය යෙදුනේ නැහැ. අප දන්නා විදිහට, පත්තරවල සිටියේ, පත්තර වාර්තාකාරයෝ සහ පත්තර කර්තෘවරු. ගුවන්විදුලියේ සිටියේ, නිවේදකවරු. (වැඩසටහන් නිෂ්පාදකයන්, තාක්ෂණ ශිල්පීන් ගැන අපි කිසිවක් දැනසිටියේ නැහැ) පුවත්පත් වාර්තාකරුවන් දැක්කෙත් බොහොම කලාතුරකින්. ඔවුන්ට වාර්තා කරන්න දේවල් අපේ ගම්වල තිබුනේ නැහැ. මැතිවරණය හෙවත් අපි දන්නා චන්ද කාලෙට, දේශපාලන රැස්වීම් තියද්දී, ඒවා වාර්තාකරමින් පින්තූර ගන්න, පොත්වවල සටහන් ලියාගන්න කීපදෙනෙක් දැක, ඒ ගැන වැඩිහිටියන්ගෙන් අහලා බැලුවම කිව්වේ, ඒ පත්තර වාර්තාකාරයෝ කියලයි. ජනමාධ්‍ය Mass Media කියන වචනය පවා, පෘථුල ලෙස අපේ සමාජයේ භාවිතයට ආවේ, විශ්ව විද්‍යාල අධ්‍යාපනය ඔස්සේ බවයි මගේ හැඟීම.

Prof.Sunanda Mahendra   මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර වැනි විද්වතුන් විසින්, පුවත්පත් වලට ලියන ලද ලිපි, ගුවන්විදුලියේ ඉදිරිපත් කළ සාකච්ඡා ආදියෙන් තමයි, අපි මේ ජනමාධ්‍ය කියන්නේ මොකක්ද කියා, අවබෝධය පුළුල් කරගත්තේ. ජනමාධ්‍ය යනු, මිනිස් ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක් බවත්, ඒ ඔස්සේ, ඉතා පුළුල් සමාජ කාර්ය භාරයක් සිදුවන බවත් දැනගත්තේ, මෙවැනි විද්වතුන් විසින්, සමාජය දැනුම්වත් කළ, විවිධ වැඩසටහන් මගිනුයි. කෙසේ වෙතත්, අප සාමාන්‍ය පෙළ පාසල් දරුවන් කාලයේ, ජනමාධ්‍ය පිලිබඳ විශ්ව විද්‍යාල පාඨමාලා නොතිබුන අතර, උසස් පෙළ සිසුන් කාලයේ, ඒ පිළිබඳ යම් යම් ඉහළ අධ්‍යයන අවස්ථා තිබුණා. කෙසේ වෙතත්, 1980 දශකයේ අග භාගය වනතුරු, ජනමාධ්‍ය පිලිබඳ උපාධිධරයන් සැළකියයුතු ප්‍රමාණයක්, අපේ රටේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය තුළ නොසිටි බවයි, මට හිතෙන්නේ.

   ජනමාධ්‍ය යන්න, වඩාත් අර්ථවත් වන්නට හේතුවූ ප්‍රධාන කාරනාව, අන් කවරක්වත් නොව, තොරතුරු තාක්‍ෂණය දියුණුවීම බව, අවිවාදිතයි.
එහි ප්‍රතිඵලයක් වශයෙන්;
  • පරිගණකගත පිටු සැකසුම් සහ පරිගණක මගින් පාලනය වන වඩාත් දියුණු, වඩාත් උසස් තත්වයේ මුද්‍රණ ක්‍රම නිසා, පුවත්පත්/සඟරා/වාර ප්‍රකාශන/ ආදියට නව පණක් ලැබුණි.

  • FM තාක්‍ෂණය ලැබීම නිසා, තාක්ෂණික අතින් වඩාත් උසස් තත්වයේ විකාශන හැකියාවක් ලැබීම හේතුවෙන්, ගුවන්විදුලියට නව පණක් ලැබුණි.

  • අප මෙතෙක් දැක නොතිබුණු, එහෙත් කියවා/අසා තිබුණු රූපවාහිණී මාධ්‍යය ලැබීමෙන්, මහජනතාව ඒ මාධ්‍යය සමග දැඩි බැඳීමක් ඇතිකරගත් අතර, ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක් වූ බැවින්, මහජනතාවගේ වැඩි විශ්වසනීයත්වයට පත්වීමට, රූපවාහිනියට හැකිවිය.
   1977 න් පසු, විවෘත ආර්ථිකය මෙරටට පැමිණීමත් සමග, ජනමාධ්‍ය, වෙළඳ භාණ්ඩයක් වශයෙන්, සමාජයේ ඉල්ලුමට පාත්‍රවීමත් සමග, පුවත් සහ තොරතුරු විකිණීමේ කර්මාන්තය, මහා පරිමාණයෙන් වැඩෙන්නට පටන් ගත් බව නොරහසක්. මේ කාලයේදී, වල් පත්තර, මල් පත්තර, ආදී මෙකී නොකී දෑ අහන්නට ලැබුණු අතර, පෞද්ගලික ගුවන්විදුලි/රූපවාහිණී නාලිකා ආරම්භවීමත් සමග, මේ මහා කර්මාන්තය, ජනසමාජය ගිලගන්නා දැවැන්ත බලවේගයක් බවට පත්විය. 'මාධ්‍යවේදියා' යන වචනය, සමාජය තුළ පැළපදියම් වූයේ, මෙහි ප්‍රතිඵලයක් වශයෙනි.

   වර්තමානයේදී මාධ්‍ය අපගේ ජීවිතයට බද්ධවී තිබෙන්නේ, එදිනෙදා ගන්නා ආහාරයක් තරම් සමීපවය. අද, පාසලක පහළ පන්තිවල පවා, 'මාධ්‍ය කව' දැකිය හැකිය. මාධ්‍යවේදියාගේ කාර්යභාරය කුමක්ද යන්න කාලීනව සාකච්ඡා කෙරෙන, (තළුමරමින්, අර හක්කෙන් මේ හක්කට මාරු කරමින් සාරය උරාබොන) මාතෘකාවක් බවට පත්ව තිබෙන්නේ, වර්තමාන මාධ්‍ය කලාව, එදිනෙදා ජනජීවිතය කෙරෙහි, දැඩි බලපෑමක් එල්ල කරන බැවිනි. වර්තමාන මාධ්‍ය මගින්, සමාජ කතිකාවත් සඳහා යොමු නොකරන මාතෘකාවක් නොමැති තරම්ය.

   එදිනෙදා සිදුවීම් වලට අමතරව, ඉතා පෘථුල වශයෙන් දේශපාලන සිදුවීම්, ඊට අමතරව ජ්‍යොතිෂය, ඉවුම් පිහුම්, ගෘහ අලංකරණය, විලාසිතා, විවාහය, ලිංගිකත්වය, වෛද්‍යෝපදේශ, වාස්තු විද්‍යාව, ආදී ජනජීවිතයේ සෑම අංගයක්ම ආවරණය වන පරිදි, මාධ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක වෙයි. ව්‍යාපාරික ප්‍රජාව විසින්, තම ප්‍රචාරණ කටයුතු සඳහා කෙරෙන මාධ්‍ය භාවිතය, පාඨකයාට/ප්‍රේක්ෂකයාට හිරිහැරයක් වන තරම් ඉහල මට්ටමකට පැමිණ තිබේ.

   මාධ්‍ය තරගය අපේ රටට පැමිණියේද, පෞද්ගලික ගුවන්විදුලි/රූපවාහිණී නාලිකා බිහිවීමෙන් පසුව බව පැහැදිළි වෙයි. සියල්ලට මුල් වන්නේ මෙම මාධ්‍ය තරගය බවට, හොඳම නිදසුනක් වන්නේ, පසුගිය කාලයේදී, විවිධ මාධ්‍ය ආයතන අතර, සීතල යුද්ධ ස්වභාවයෙන් මෙන්ම, එළිපිටම සිදුවූ ගැටුම්/අපහාස/උපහාස/මඩ ගැසීම්/ හේතුවෙනි.

   අපේ රටේ දේශපාලනය සහ මාධ්‍ය අතර සම්බන්ධයට සෑහෙන ඉතිහාසයක් තිබේ. මාධ්‍ය මර්දනයටද එවැනිම ඉතිහාසයක් තිබේ. අගමැතිණි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ කාලයේදී එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (දවස නිවස) මුද්‍රා තැබීම, මාධ්‍ය මර්දනයේ අතීත සිදුවීමකි. 1977 න් පසු, මාධ්‍ය මර්දනය දැඩිව ක්‍රියාත්මක වූ බව අපි දනිමු. විධායක ජනාධිපති තනතුර ඇතිවීමෙන් පසු පත්වූ ජනාධිපති වරුන් අතරින්, මාධ්‍ය මර්දනයට හවුල් නොවූයේ, ඩී.බී.විජේතුංග ජනාධිපතිතුමා පමණකැයි සිතමි. එමෙන්ම වත්මන් ජනාධිපතිවරයා මාධ්‍ය මර්දනය කරන බවක් පෙනෙන්නට නැත.

   මෙතැන්සිට මා මාධ්‍යවේදීන් පිළිබඳව මට ඇති පෞද්ගලික අත්දැකීම් කීපයක් සඳහන් කරන අතර, එයින් මා අදහස් කරන්නේ, සෑම මාධ්‍යවේදියාම මේ හා සමානයයි කීම නොවේ. මාධ්‍ය පිළිබඳව ඇති විශ්වාසය සහ සදාචාරාත්මක බව කෙළෙසන්නන් නිසා, සමස්ත මාධ්‍ය කලාවම ගර්හාවට ලක්වෙයි. පසුගිය යුද සමයේදී, උතුරු නැගෙනහිර සංග්‍රාම භූමියේ තොරතුරු වාර්තා කිරීමට පැමිණි, විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යවේදීන් ගෙන් අති මහත් බහුතරයක්, සංග්‍රාමික කටයුතු වාර්තා කිරීම war correspondence පිළිබඳව, මෙලෝ හසරක් නොදන්නවුන් බව පැහැදිලිවම පෙනුනි. රාජ්‍ය මාධ්‍ය ඇතුළු, කිසිදු මාධ්‍ය ආයතනයක්, තම මාධ්‍යවේදීන්ට, මේ සඳහා දේශීය සහ විශේෂයෙන් විදෙශීය වශයෙන් කිසිදු පුහුණුවක් ලබාදුන් බවක් මගේ දැනීමේ හැටියට නැත. මේ හේතුවෙන්, විදේශීය ප්‍රවෘත්ති ආයතන, අපේ රටේ මාධ්‍ය ආයතන ගැන විශ්වාසය නොතැබීමෙන්, LTTE සංවිධානයට වාසිවන ආකාරයේ ප්‍රවෘත්ති, ජාත්‍යන්තර වශයෙන් පලවිය.

මෙහි තවත් ප්‍රතිඵල වූයේ;
  • ත්‍රිවිධ හමුදාවේ අපි කියන ඕනෙම දෙයක්, ඒ විදිහටම ඉදිරිපත් කරන මාධ්‍ය ගිරා පෝතක පිරිසක් ඇතිවීම.

  • එක් එක් ප්‍රතිරූප පිම්බීම, සඳහා මහජන මුදල් වැයකරමින්, මාධ්‍ය සංදර්ශන පැවැත්වීම.

  • දෙවැනි මට්ටමේ හමුදා ප්‍රධානීන් තුළ ද, ප්‍රතිරූපය පුම්බාගැනීමේ අභිලාශයක් ඇතිවීම හේතුවෙන්, ඒ ඒ හමුදා ප්‍රධානීන්, (යුද හමුදාවේ සේනාංකාධිපති වරුන්, බලසේනාධිපති වරුන්, ගුවන් හමුදාවේ සහ නාවික හමුදාවේ ඒ හා සමාන නිළධාරීන්) තමන්ව පුම්බන මාධ්‍ය කණ්ඩායම් තබාගැනීම.

  • සමහර මාධ්‍යවේදීන්, ත්‍රිවිධ හමුදාවේ සමහර ඉහළ නිලධාරීන්ව, තම පන්ති සගයන්ගේ මට්ටමෙන් ඇසුරු කිරීම නිසා, ත්‍රිවිධ හමුදාවේම සමහර මාණ්ඩලික නිලධාරීන්ට, එම මාධ්‍යවේදීන්ගේ අතවැසියන් ලෙස ක්‍රියා කිරීමට සිදුවීම.

  • මා පෞද්ගලිකව හොඳින් දන්නා හඳුනන එක්තරා මාධ්‍යවේදියකු, එක්තරා හමුදාපති කෙනෙකුට කොතරම් සමීපව සිටියේදයත්, අපට, එම මාධ්‍යවේදියා සිටින තැන, කට පරිස්සම් කරගැනීම පිළිබඳව ඉතා සැළකිල්ලෙන් කටයුතු කිරීමට සිදුවිය. අපිට වාතයක් ගියත්, ඒ 'මාධ්‍යවේදියා' එම සිද්ධිය, සමහරවිට අර හමුදා ප්‍රධානියාගේ පෞද්ගලික නිවස්නය වෙත ගොස්, වහාම වාර්තා කිරීමට පුරුදුවී සිටියේය.

  • යුද සමයේදී උතුරු නැගෙනහිර හමුදා කඳවුරු වලට පැමිණි සමහර මාධ්‍යවේදීන්, ඉහළ නිළධාරීන්ට කෙසේ වෙතත්, අපටනම් මහා හිසරදයක් විය. හමුදාවෙන් කන්න බොන්න හුරුවූ සමහර අය, තමන්ගේ සේවය ඇගයීමක් වශයෙන් හමුදා කඳවුරු වලින් ඔවුන්ට අහාර සහ නවාතැන් දෙන බව අමතක කර, පහළ මට්ටමේ අපේ නිලධාරීන්ට 'ජාති දාන්නට' පවා පෙළඹුණි. ඕනෙවට වඩා වැඩිනම්, ඒවා අඩුකරනහැටි අපි දන්නා බව ඔවුන්ට කියාදීමට සිදුවිය. හමුදාවේ නිළධාරි නිවස්න වල ඔවුන්ට නවාතැන් දීමෙන් මහා හිරිහැර ඇතිවිය. තමන්ට ලබාදුන් කාමරයේ නොසිට, උඩුකය නොවසා, සරම පිටින් එළියේ ඇවිදීම, නිළධාරීන්ගේ භෝජන ශාලාවේදී, ආහාර ගන්නා අවස්ථාවේදී, මේසයකට නිසි පරිදි වාඩිවී, මහත්වරුන් මෙන් ආහාර නොගෙන, මුළු භෝජන ශාලාවටම ඇසෙන පරිදි මහ හඬින් කතාකිරීම, හමුදාවේ සුළු සේවකයන් තමන්ගේද සේවකයන් යයි සිතීම හා ඔවුන්ට අවමන් කිරීම, බැණවදීම, තමන්ට දරාගත නොහැකි තරම් මත්පැන් පානයකොට, බලු පදමට පත්ව විකාර කිරීම, සෑම නිළධාරියකුටම මචං කියා ඇමතිය හැකියැයි සිතීම. (අපි සෑමවිටම ඔවුන්ට මිස්ටර් කියා ආමන්ත්‍රණය කළෙමු) කඳවුරකට ඇතුළුවීමට/පිටවීමට නොහැකි අවස්ථා වලදී, ඇතුළුවීමට සහ පිටවීමට උත්සාහ කිරීම සහ ආරක්ෂක හේතු නිසා එයට අවසර නොදුන්විට, ඉහළ පෙළේ දේශපාලනඥයන්ට දුරකථන ඇමතුම් ලබාදී, අපට බලපෑම් කිරීම, උදාහරණ කීපයකි.   

  • සති අන්ත ඉංග්‍රීසි පුවත්පතකට ආරක්ෂක තොරතුරු ලිපියක් ලියූ මහා මාධ්‍යවේදියකු, වරක් මගෙන් රට කුණුහරප අහගත්තේ, වන්නි ආරක්ෂකසේනා මූලස්ථානයේදී, එවකට යුද හමුදාපති වරායව සිටි, ජෙනරල් ශ්‍රීලාල් වීරසූරිය විසින් ප්‍රධානත්වය ඉසිලු, හමුදා සාකච්ඡාවක දී, කතාකලේ මොනවාද යන්න, මගෙන් හාර හාරා අසන්නට යාම නිසාය. මේ සඳහා ඔහු, මුලින්ම මට තෑගිබෝග දෙන්නට උත්සහ කල අතර, ඒවා ආපසු හරවා යැවීමෙන්, මම අල්ලසෙන් බේරුනෙමි.

   අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මාධ්‍ය මර්දනයක් දියත් කලාද? මාධ්‍ය වලට අභියෝග කරන්නට කිසිවකුටත් නොහැකි යයි මාධ්‍ය සංවිධාන කියයි. ඔවුන් එසේ කියන්නේ කුමන පදනමක සිට ද? මාධ්‍ය මගින් වක්‍රාකාරයෙන් රටේ අධිකරණය, නීතිපති, පවා විවේචනය කරන්නේනම්, මාධ්‍යවල ක්‍රියාකලාපය පිලිබඳ විවේචන එල්ල කිරීමට කිසිවකුටත් අයිතියක් නැතිද? පවතින සෑම රජයකටම, පක්ෂපාතී වන්දිභට්ට මාධ්‍ය ආයතන සහ, සෑමවිටම විරුද්ධවන මාධ්‍ය ආයතන මෙන්ම, බොහෝදුරට මධ්‍යස්ත මාධ්‍ය ආයතන, කාලීනව තම ප්‍රතිපත්ති වෙනස්කරන මාධ්‍ය ආයතන, තිබෙන බව අපි දනිමු. රටේ ජනාධිපතිවරයාව, හරකා, බල්ලා, බූරුවා, වැනි වචන වලින් අපහාසයට ලක්කරන්නට, කාටූන් අඳින්නට, මාධ්‍ය වලට නිදහස ඇත්නම්, සමහර මාධ්‍යවේදීන්ගේ සදාචාරාත්මක නොවන, යටිකූට්ටු, විරුද්ධවාදී දේශපාලකයන්ගේ කාලසටහන් ක්‍රියාත්මක කෙරෙන, චර්යාවන් විවෙචනය කිරීමය අයිතිය ඇත්තේ කාටද? මේ ගැන ඔබේ අදහස් සමග අපි සංවාදයක යෙදෙමු.

   FM නාලිකාවල සිටින නිවේදක නිවේදිකාවන් යයි කියාගන්නා, බාල බොළඳ සිඟිත්තන් සිඟිත්තියන්, බහුකාර්ය තමෝපකාර = තමන්ටම උපකාර කරගන්න නරි නාටක චරිත, මේ ලිපිය ලිවීමේදී සිතාමතාම අමතක කළේ, ඔවුන් පිළිබඳව සාකච්ඡා කිරීම කිසිදු ඵලයක් නැති බැවිනි.

2016 පෙබරවාරි මස 01 වැනි දින 0904 පැය

25 January 2016

හයිබ්‍රිඩ් යුද්දේ




   හයිබ්‍රිඩ් කාර් ගැනිල්ලත් එක අතකට යුද්ධයක් තමා. මේ සැරේ අයවැයෙන් හයිබ්‍රිඩ් කාර් මිළ වැඩිවුණා කියලා, ජනතාව මැසිවිලි නගනවා. අනේ අම්මේ........ අපි ඔව්වා දන්නේ නෑ. මේ ලිපිය ලියන්නේ හයිබ්‍රිඩ් කාර් ගැන කතාකරන්න නෙවෙයි. හයිබ්‍රිඩ් යුද්දේ ගැන කියන්නයි. මොනවා........? හයිබ්‍රිඩ් යුද්දේ කියලත් යුද්ධයක් තියනවද? මොනවද අනේ අද කාලේ හයිබ්‍රිඩ් ක්‍රමයට නැත්තේ. හයිබ්‍රිඩ් මිනිස්සුත් බිහිවෙන කාලේ, යුද්දෙත් හයිබ්‍රිඩ් වුනාම මොකද වෙන්නේ? හොඳයි, එහෙනම් කතාකරමුද හයිබ්‍රිඩ් යුද්දේ ගැන. නෑ නෑ බොරු කතාවක් නෙවෙයි. බොරු කියන්නේ ආයේ චන්දෙ ඉල්ලන්නයැ. ඇත්තටම හයිබ්‍රිඩ් යුද්දේ කියලා දෙයක් තියනවා. ඔන්න අහගන්නකො විස්තරේ. මෙය තරමක් ගැඹුරු, එමෙන්ම කෙටි ලිපියක් බවත්, සඳහන් කරන්නට කැමතියි. 

   හයිබ්‍රිඩ් යුද්දේ කියන්නේ, සාම්ප්‍රදායික සංග්‍රාමික මූලෝපාය, අසම්මත සහ අවස්ථානුකූලව සකසාගත් උපක්‍රම මෙන්ම, සයිබර් සංග්‍රාමික ක්‍රියා පදනම් කරගත් යුද්ධෝපායයක්.

   පරිගණක ක්‍රීඩා කරන අයනම් සයිබර් යුද්ධ කරලා ඇති. සයිබර් යුද්ධයක් කියන්නේ, සතුරු පාර්ශ්වයේ පරිගණක පද්ධති වල රහස් පද බිඳදමමින්, ඒ පද්ධති වලට ඇතුළුවී, ඒවා අවුල් කිරීම, අඩපණ කිරීම සහ/හෝ සම්පූර්ණයෙන් විනාශකිරීම බව, ඔබ දන්නවා ඇති. අපේ රටේ පැවති ඊලාම් යුද්ධයේදී, හයිබ්‍රිඩ් යුද්ධයේ දී ක්‍රියාකරන ආකාරයට සමාන ආකාරයෙන් කටයුතු කළ අවස්ථා තිබුණා. නමුත් බොහොම සුළු පරිමාණයෙන්. ඇත්තවශයෙන්ම වැඩිපුර ක්‍රියාත්මක වුනේ ප්‍රති ත්‍රස්තවාදී යුද්ධෝපක්‍රමයි.

   අපි හයිබ්‍රිඩ් යුද්ධය කළේ මෙහෙමයි. උදාහරණයක් වශයෙන්, සාමාන්‍ය සාම්ප්‍රදායික යුද්ධයකදී (Conventional Warfare) වගේ, සතුරාට දැනෙන්න, යුද්ධ භූමියේ, යුද ටැංකි, කාලතුවක්කු, මල්ටිබැරල් රොකට්, ස්ථානගත කරනවා. නියමුවන් සහිත/රහිත ගුවන් යානා, මගින් ඔත්තු බලනවා, නාවික ප්‍රහාරක යාත්‍රා, සතුරු ප්‍රදේශ ආසන්න මුහුදේ, මුර සංචාරවල යොදවනවා.

   අපි හිතමු මුලතිව් ප්‍රදේශය ආශ්‍රිතව මෙහෙම කරනවා කියා. එවිට සතුරා හිතන්නේ, අපි මුලතිව් අල්ලන්න එනවා කියලයි. සතුරා, තම උපරිම ශක්තිය මුලතිව් බේරාගැනීමට යොදවන අතරේ, අපි කමාන්ඩෝ හෝ විශේෂ බලකායේ කුඩා කණ්ඩායම් සතුරු ප්‍රදේශයට රිංගවා, සතුරා බලාපොරොත්තු නොවන, විනාශකාරී ප්‍රහාර එල්ලකොට ආපසු එනවා. ඊට පස්සේ කාලතුවක්කු, මල්ටි බැරල්, ගුවන් ප්‍රහාර වලින් ගහනවා. මේ අතරේ සයිබර් වැඩත් කරනවා. අපිට තිබෙනවා ලෝකයේ ඉතාම නවීන ගුවන්විදුලි උපකරණ. මේ උපකරණ මගින්, සතුරු පණිවිඩ වලට සවන්දෙන අතරම, එම සතුරු පණිවිඩ හුවමාරු යන්ත්‍ර තිබෙන්නේ, භූමියේ කොතනකද යන්න සොයාගැනීමත් කළා. ස්ථාන කීපයක සිට, අපේ සවන්දීමේ ගුවන්විදුලි යන්ත්‍ර යොදවා, ඒ ඒ යන්ත්‍රයට සතුරු පණිවිඩය එන දිසාව, එම යන්ත්‍රයේ පෙන්වන ආකාරයට සිතියමක ජ්‍යාමිතික රේඛා අඳිනවා. අපේ සවන්දීමේ යන්ත්‍ර ඇති ස්ථාන, සිතියමේ ලකුණු කරගෙනයි එහෙම කරන්නේ. අර සියලුම ජ්‍යාමිතික රේඛා, එකිනෙක කැපීයන ලක්ෂ්‍යයේ තමයි, සතුරු ගුවන්විදුලි යන්ත්‍රය තිබෙන්නේ. අපිට අවශ්‍යනම්, කාලතුවක්කු, මල්ටිබැරල්, ගුවන් ප්‍රහාර යොදවා ඒ ස්ථානය විනාශ කරනවා.

   සතුරු ගුවන්විදුලි යන්ත්‍රයෙන් කතාකරන දේ අපට වැදගත් වෙනවා. සතුරාගේ ඉදිරි කටයුතු, සතුරාගේ නායකයන්ගේ ගමන් බිමන්, සතුරු කඳවුරු ඇති ස්ථාන, අවි ආයුධ ගබඩා ඇති ස්ථාන, ආදී විවිධ තොරතුරු සොයාගතහැකි ආකාරයේ පණිවිඩ නම්, එකවර පහර නොදී, අපට අවශ්‍ය තොරතුරු හැකිතරම් ලබාගන්නාතෙක්, අහගෙන ඉන්නවා. ලබාගන්නා තොරතුරු පටිගත කොට, රහසිගතව ඉහල මූලස්ථාන වෙත ලබාදෙනවා. අපේ ක්‍රියාන්විතයක් සිදුවන අතරතුර, සතුරු ගුවන්විදුලි පණිවිඩ අවුල් (jam) කරනවා. ඒ සඳහා විශේෂ ගුවන්විදුලි යන්ත්‍ර තිබෙනවා. 









   හයිබ්‍රිඩ් යුද්ධය සමහර අවස්ථා වලදී තේරුම්ගත නොහැකිතරම් සංකීර්ණයි. උදාහරණයක් වශයෙන්, එය, හෞතිකව එල්ලවන විවිධාකාරයේ ප්‍රහාරයන් සමග, රටක් තුළ හෝ රටින් පිටත සිටින විවිධ දේශපාලන, ත්‍රස්තවාදී, බෙදුම්වාදී බලවේග මගින්, හයිබ්‍රිඩ් යුද්ධයට මැදිවී සිටින ජන සමාජයන්හි, චින්තනය, චර්යාව, වෙනස්කිරීම සඳහා, විවිධ ප්‍රචාරණ වැඩ පිළිවෙල, උද්ඝෝෂණ, වැඩවර්ජන, පෝස්ටර් ඇලවීම, පෙළපාලි යාම, සිවිල් නීති කැඩීම, වැනි නොයෙක් මුහුණුවරින් ක්‍රියාත්මක වියහැකියි.  

   එක්සත් ජාතීන්ගේ සංවිධානය, පවා පිලිගන්නවා හයිබ්‍රිඩ් යුද්ධය වරින්වර මුහුණුවර වෙනස්වන, වරින්වර උපක්‍රම වෙනස්වන, වරින්වර අරමුණු වෙනස්වන, සංකීර්ණ සංග්‍රාමික තත්වයක් බව.

   මැදපෙරදිග රටවල් ඊශ්‍රායලය සමග ඇතිකරගෙන තිබෙන ගැටුම්, අළුයට ගිනි පුපුරු මෙන් තිබෙන අතර, හිස්බුල්ලා වැනි සංවිධාන එළිපිටම ඊශ්‍රායලය සමග ගැටෙනවා. නමුත් හිස්බුල්ලා වැනි සංවිධාන, වෙනත් රටවල් විසින් නටවන රූකඩ පමණයි. ඇත්ත සතුරන් කවුදැයි එකවර හඳුනාගන්නට නොහැකිවීමත්, හයිබ්‍රිඩ් යුද්ධයේ විශේෂත්වයක්. හයිබ්‍රිඩ් සංග්‍රාමික තත්වයන්ට පැටලෙන ලෝකයේ සමහර රටවල්, කුමක් කළයුතුයි සිතාගත නොහැකිව, මානුෂවාදී නීති උල්ලංඝනය වන ආකාරයටද ක්‍රියාකිරීමට ඉඩ තිබෙනවා.

   හයිබ්‍රිඩ් යුද උපක්‍රම මගින්, ක්‍ෂණික ප්‍රතිඵල ලබාගැනීමට හැකිවීමත් විශේෂත්වයක්. උදාහරණයක් වශයෙන්, ඇමරිකා එක්සත් ජනපදය විසින්, අන්තවාදී මුස්ලිම් සංවිධාන ක්‍රියාත්මකව පවතින මැද පෙරදිග රටවල, ත්‍රස්තවාදී නායකයන්ගේ පණිවිඩ හුවමාරු සංඥා ග්‍රහණය කරගෙන සැක කටයුතු ස්ථාන වෙත, ප්‍රබල ගුවන් ප්‍රහාර එල්ල කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන්, මුස්ලිම් අන්තවාදී නායකයන්, ගුවන්විදුලි පණිවිඩ හුවමාරු යන්ත්‍ර වලින් කතාකිරීම නවත්වා දැමුනු අතර,  දිවාකාලයේ එළිමහනට පැමිණීමද අත්හැර දමන ලදී.

   මෙතෙක් අත්හදා බලා නැති, නවීනතම සහ වඩාත් දරුණු යුද්ධායුධ වර්ග අත්හදා බැලීමටත්, හයිබ්‍රිඩ් යුද්ධ යොදාගන්නවා. මෙහිදී විවිධ රසායනික අවි මෙන්ම, එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් තහනම් කොට තිබෙන, සමූල ඝාතක අවි වර්ග පවා එළියට එන්නට පුළුවන්.

   යම්කිසි රටක තිබෙන සාමකාමී තත්වය කඩාකප්පල් කොට, ඒ රටතුළ සිවිල් යුද තත්වයන් ආරම්භ කිරීමෙන්, තම දේශපාලන අරමුණු ඉටුකරගැනීමටත්, හයිබ්‍රිඩ් යුද උපක්‍රම යොදාගත හැකියි. මෙවැනි කටයුතු සඳහා යම් රටක, අභ්‍යන්තරව හෝ බාහිරව සරණාගත තත්වයට පත් මහජනතාව, පහසුවෙන් පොළඹවා ගතහැකියි. විශාල ප්‍රචාරණ යාන්ත්‍රණයන් උපයෝගී කරගනිමින්, සත්‍යය වසන් කොට මහජන චින්තනය වෙනස් කිරීමට ක්‍රියාකිරීම ද, හයිබ්‍රිඩ් යුද්ධයේදී දකින්නට ලැබෙනවා. 

2016 ජනවාරි මස 25 වැනි දින 2220 පැය
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }