‘සම්පීඩිත වායුව මගින් හෝ වෙනත් විශේෂ සම්පීඩිත වායුවක අධාරයෙන්, යම් ප්‍රක්ෂිප්තයක් මුදා හරින තුවක්කුව හෝ රයිෆලය, වායු තුවක්කුව (රයිෆලය) නම් වේ’.
මේ තමයි ඒ පිලිබඳ තාක්ෂණික නිර්වචනය. නමුත් නෛතික කටයුතු වලදී මේ නිර්වචනය මීට වඩා වෙනස්විය හැකියි. එමෙන්ම සමහර රටවල් අදටත් වායු රයිෆලය ‘ගිනි අවියක්’ ලෙස සලකනවා. නමුත් වායු රයිෆලයේ, කිසිදු ආකාරයක වෙඩි බෙහෙත් පාවිච්චි කිරීමක් හෝ ගිනි බලය උපදවන පතරොමක් පාවිච්චි කරන්නේ නැහැ.
මීළඟට අපි වායු රයිෆලයේ ඉතිහාසය සොයා යමු. මෙහිදී අප විශ්මයට පත්කරන තොරතුරු හමු වෙනවා. අප සිතනවාට වඩා ඈත අතීතයේදී, මිනිසා, සම්පීඩිත වායු ගුණ (Pneumatics) දැන සිටි බව තහවුරු වන කරුණු අනාවරණයවී තිබෙනවා.ස්වීඩනයේ, ස්ටොක්හෝම් නුවර පිහිටි කෞතුකාගාරයක, ක්‍රි.ව. 1580 දී නිපදවූ කිසියම් ආකාරයක වායු තුවක්කුවක් තැන්පත්කර තිබෙනවා. වායු රයිෆලය තරමක් දුරට භාවිතය සඳහා යොදාගෙන තිබෙන්නේ 17 වැනි සියවසේදියි. ඒ කාලයේදී භාවිත කල වායු රයිෆල් සඳහා විශාල ටැංකියකට වායුව පොම්ප කර, එම ටැංකියේ වායු පීඩනය වැඩි කර ගැනීමෙන් තුවක්කුව සඳහා අවශ්‍ය වායු පීඩනය ලබා ගැනුනා. මේ යුගයේදී නිපදවුණ සමහර වායු තුවක්කු විශාලත්වයෙන් හා බරෙන් වැඩිවූ අතර එහා මෙහා ගෙනයාමද පහසු නොවුයේ වායු ටැංකිද ගෙනයාමට සිදුවූ බැවින්. නමුත් එකල වායු තුවක්කු වලින් අගනා සේවයක් ඉටුවී තිබෙනවා. ඒ කාලයේ යුද කටයුතු සඳහා යොදා ගැනුනේ ‘මස්ල් ලෝඩර්ස්’ හෙවත් තුවක්කු කටෙන් වෙඩි බෙහෙත් පුරවා වෙඩි තබන තුවක්කුයි. ඔබට මතකද මා ඒ තුවක්කුගැන කිව්වා, අපේ කාලයේ තුවක්කු 2 වැනි කොටසේදී. මස්ල් ලෝඩර්ස් තුවක්කු වැසි සහිත හෝ අධික තෙතමනය සහිත අවස්ථා වලදී පාවිච්චි කල නොහැකියි. එයට හේතුව වැස්සට තෙමුනොත් හෝ තෙතමනයට අසුවුනහොත් වෙඩි බෙහෙත් පත්තු නොවීමයි. එමෙන්ම මස්ල් ලෝඩර් තුවක්කුවෙන් වෙඩි තැබීමේදී, විශාල ගිනි එළියක් සහ දුමක් තුවක්කු කටෙන් පිටවන නිසා, සතුරාගේ නිරීක්ෂනයට පහසුවෙන්ම ලක් වෙනවා. නමුත් වායු තුවක්කුවේ ඒ එකම දුර්වලකමක් වත් නැහැ. ඕනෑම වැස්සක තෙතමනයක එය පාවිච්චි කලහැකියි. සතුරාට පෙනෙන ගිනි එළියක්, දුමක්, මෙන්ම කිසිදු හඬක්ද වායු තුවක්කුවෙන් ඇතිවන්නේ නැහැ. සමහර තුවක්කු තත්පරයකට මීටර් 200 – 300 පමණ ප්‍රවේගයකින් වෙඩි තැබීමට (මෙහිදී සිදුවන්නේ ඊයම් වැනි ලෝහ පෙලට් එකක් තුවක්කුවෙන් පිටවීමයි. එය සාමාන්‍ය තුවක්කුවකින් පිටවන ඊයම් මූනිස්සමක් මෙන් උණුවූ ස්වභාවයෙන් නොවෙයි පිටවන්නේ. මේ නිසා එය වෙඩි තැබීමක් නොව මුදා හැරීමක්.) හැකිවන පරිදි සකසා තිබුනා. එයින් සුප්‍රසිද්ධම තුවක්කුවක් වන්නේGirandoni Military Repeating Air Rifle යනුවෙන් හඳුන්වන ලද තුවක්කුවයි.
1. Spring Piston Type – ස්ප්‍රින්ග් පිස්ටන් වර්ගය
2. Pneumatic Type – නියුමැටික් වර්ගය
3. CO 2 Type – කාබන් ඩයොක්සයිඩ් වර්ගය
අප, මේ මූලික වර්ග තුන මුලින්ම අධ්‍යයනය කර, ඉන්පසු උප වර්ග වලට යාම සුදුසු බවයි මම හිතන්නේ.
1. Spring Piston Type – ස්ප්‍රින්ග් පිස්ටන් වර්ගය:- වඩාත් බහුලවම පාවිච්චි කරන, එමෙන්ම ජනප්‍රිය, ක්‍රියාකාරීත්වයෙන් සරල, වර්ගය මෙයයි. ශ්‍රී ලංකාවේ දැනට ඕනෑම කෙනෙකුට මිලදී ගැනීමට ලැබෙන්නේද මේ වර්ගය පමණයි. මෙන්න එහි පෙනුම.
මේ මෝස්තරය සාමාන්‍ය ව්‍යවහාරයේදී Barrel Break Model ‘බැරල් බ්රේක්’ මෝස්තරය කියා හඳුන්වනවා. එයට හේතුව වන්නේ මේ තුවක්කුවට පෙලට් එකක් ඇතුළු කිරීම සඳහා බැරලය තුවක්කුවට සවි වන තැනින් දෙකට නැවීමට (එවිට බැරලය කැඩුවා මෙන් පෙනෙයි) සිදුවන නිසයි. එසේ බැරලය නවා තිබෙන හැටි මේ පින්තූරයෙන් පෙනෙනවා.
බැරලය නැවීම ඔබ හිතන තරම් පහසු නැහැ. ඒ සඳහා සෑහෙන බලයක් යෙදවිය යුතුයි. තුවක්කුව වඩාත් දුරට වෙඩි තියන එකක්නම් බැරලය නැවීමට වඩාත් ශක්තියක් යෙදවිය යුතුයි. දැන් අපි බලමු බැරලය නැව්වාම කොහොමද පෙනෙන්නේ කියලා. ඉහත දකුණු පැත්තේ ඇති රූපයෙන් පෙන්වන්නේ බැරලය නවීමෙන් පසු පෙලට් එක දමන ස්ථානයයි. ඔබට පෙනෙනවා නේද බැරලය නැවීමෙන් පසු දිස්වන අකාරය. බැරලය නැවීම සඳහා තුවක්කුව අල්ලගතයුතු ක්‍රමයක් තිබෙනවා. අපට හිතෙන හිතෙන ආකාරයට එය කරන්නට බැහැ. නිවැරදි ක්‍රමය භාවිත නොකලොත් ඔබට අනවශ්‍ය වෙහෙසක් දැරීමට සිදුවන අතර තුවක්කුවට හානි වීමටද ඉඩ තිබෙනවා. මේ පින්තූරයෙන් පෙන්වන්නේ තුවක්කුව නැවීම සඳහා අල්ලාගන්නා නිවරැදික්‍රමයයි. තුවක්කු බැරලය නැවීමෙන් පසු වරකට එක පෙලට් එකක් පමණයි ඇතුළු කල හැක්කේ. සෑම පෙලට් එකක්ම වෙඩි තැබීමෙන් පසු බැරලය නවා අලුත් පෙලට් එකක් යෙදිය යුතුයි. මෙසේ සලකා බලන විට සාමාන්‍ය තුවක්කුවකට වඩා මේ තුවක්කුවක වෙඩි තැබීමේ වේගය ඉතා අඩු බව විශේෂයෙන් සඳහන් කලයුතුයි. ඒ වගේම මතක තබාගත යුතු දෙයක් තමයි, තුවක්කුවේ ප්‍රබල බව (වෙඩි තැබීමේ දුර) වැඩි වන, විට ස්ප්‍රින් එකේ තද බවද වැඩි වෙනවා. එයට හේතුව වැඩි වායු පීඩනයක් ලබාගැනීම සඳහා වඩාත් තද ස්ප්‍රින් එකක් යෙදීමයි.
මේ සමග ඇති පින්තූර දෙකෙන් පෙන්වන්නේ ස්ප්‍රින් පිස්ටන් වායු තුවක්කුවක ඇති ස්ප්‍රින් එක සහ පිස්ටන් එකයි. මේ පිස්ටන් එකෙන් තමයි පෙලට් එක විදීම සඳහා අවශ්‍ය වායු පීඩනය සකස්කර දෙන්නේ. ස්ප්‍රින් එක කරන්නේ එක වරම පිස්ටනය ඉදිරියට තෙරපීමයි. එය සිදුවන්නේ මෙහෙමයි. බැරලය නැවූ විට ස්ප්‍රින් එක ඇදී නවතිනවා. ට්‍රිගරය මිරිකූ විට ස්ප්‍රින් එක නිදහස් වෙනවා. එවිට ස්ප්‍රින් එකෙන් පිස්ටනය තෙරපා වායු පීඩනය සකස් කර දෙනවා.
කිසිදු වායු රයිෆලයකින් වෙඩි තැබීමේදී සාමාන්‍ය රයිෆලයකින් හෝ තුවක්කුවකින් වෙඩි තැබීමේදී නිකුත්වන පුපුරන හඬක් එන්නේ නැහැ. එයට හේතුව වන්නේ වායු රයිෆලයක හෝ පිස්තෝලයක කිසිම ආකාරයක වෙඩි බෙහෙත් පාවිච්චි නොකිරීමයි. වායු තුවක්කුවකින් ‘පොප්’ හෝ ‘ටස්’ වැනි හඬක් තමයි නිකුත් වෙන්නේ. බැරලයේ අග කන ළඟ තබා වෙඩි තැබුවත් එතරම් අපහසුවක් නැහැ. ස්ප්‍රින්ග් පිස්ටන් වර්ගයේ තුවක්කුවකට පෙලට් එකක් දමන ආකාරය මීළඟ පින්තූරයෙන් පෙනෙනවා.ස්ප්‍රින් පිස්ටන් වායු තුවක්කුවක් කැඩුනත් අලුත්වැඩියා කරගැනීම එතරම් අපහසු නැහැ. ඒ සඳහා සුදුසු ආයතන ලංකාවේ තිබෙනවා. ඒ වගේම ස්ප්‍රින් පිස්ටන් තුවක්කුවක් නිවැරදිව පාවිච්චි කරන්නේනම් කිසිදු ආබාධයකින් තොරව දීර්ඝ කාලයක් පාවිච්චි කල හැකියි.
මීළඟට මා ඔබේ අවධානය යොමුකරවන්නේ නියුමැටික් වායු තුවක්කුවටයි. මෙහි තිබෙන විශේෂත්වය වන්නේ තුවක්කුවට සවිකළ වායු සිලින්ඩරයක් තුල වායු පීඩනය ඇතිකර ගැනීමෙන් වෙඩි තැබීමට අවශ්‍ය බලය ලබා ගැනීමයි. මෙහි දක්වා ඇති පින්තූරය ඔබට සංකීර්ණ නොවනු ඇතැයි සිතනවා. සියලු මූලික කොටස් පෙන්වා තිබෙනවා. දැන් ඔබ මගේ මීට පෙර ලිපි ගණනාවක් කියවා, තුවක්කු පිලිබඳ දැනුමක් ලබා සිටින නිසා, විශේෂයෙන් පෙන්වියයුතු කොටස් හැර, මීට පෙර කියාදී ඇති කොටස්, නැවත නැවතත් සඳහන් කරන්නේ නැහැ.
මෙහි ඇති වෙනත් මෝස්තර ගැන පහත සඳහන් කරනවා. නමුත් ඒ සියල්ල ක්‍රියා කරන්නේ එකම න්‍යාය අනුවයි. සුළං පොම්ප කිරීමේ යාන්ත්‍රනය හෝ තුවක්කුවේ හැඩය වෙනස්වූවාට මූලික න්‍යාය වෙනස්වන්නේ නැහැ. සමහරවිට වාණිජ පරමාර්ථ මත ප්‍රචාරණයෙන් විවිධ අදහස් ඉදිරිපත් කලහැකියි.
මීළඟට මා ඔබට හඳුන්වා දෙන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුවෙන් ක්‍රියාකරන වායු රයිෆලයයි. මෙහි ඇති විශේෂත්වය වන්නේ, තුවක්කුවට සවිකලහැකි, කාබන් ඩයොක්සයිඩ් වායුව පිරවූ, සිලින්ඩරයක් (කැනිස්ටරයක්) මගින් වෙඩි තැබීමට අවශ්‍ය වායු පීඩනය ලබා ගැනීමයි. මෙම වායු සිලින්ඩර අධික උෂ්ණත්වයට ඔරොත්තු දෙන්නේ නැහැ. ඒවා සෑම විටම සෙල්සියස් අංශක 49 ට අඩු උෂ්ණත්වයේ තබාගත යුතුයි. නැත්නම් ඒ සිලින්ඩර පුපුරනවා.
මේ තුවක්කු වර්ගය හේතු දෙකක් නිසා නියුමැටික් තුවක්කුවට වඩා වාසි දායකයි. 1. මෙය සරල ක්‍රමයක්. ඉතා සුළු දියර ප්‍රමාණයකින් විශාල වායු ප්‍රමාණයක් ලබාගත හැකියි. 2. වායු පීඩන මීටර් මගින් පීඩනය පරීක්ෂා කිරීමක් අවශ්‍යවන්නේ නැහැ. නියමිත් උෂ්ණත්ව පරාසය තුල තබාගන්නේනම් කිසිදු ප්‍රශ්නයක් නැහැ. මේ තුවක්කුවේ ඇති වායු ටැංකිය පිරවිය හැකි ක්‍රම කීපයක් තිබෙනවා. දියේ කිමිදෙන විට හුස්ම ගැනීම සඳහා ගෙනයන වායු ටැංකියකින් මේ සිලින්ඩරය පුරවාගත හැකියි, තුවක්කුවට සවිකරන වර්ගයේ කලින් පිරවූ ටැංකියක් අපි ගෙදර ගෑස් ලිපේ සිලින්ඩරය මාරු කරනවා මෙන් මාරු කල හැකියි. තුවක්කුවෙන් වෙන් නොකළ හැකි ලෙස සකසා ඇති ටැංකි වලට බටයක් සවිකර ගෑස් ටැංකියකින් පුරවාගත හැකියි. මේ තුවක්කු වල නිෂ්පාදන වියදම, නියුමැටික් තුවක්කුවට සාපේක්ෂව අඩුයි, කාර්යක්ෂමතාව වැඩියි, තුවක්කුව එතරම් විශාල නැහැ. මේ නිසා වෙඩි තැබීමේ තරග වලදී බහුලව භාවිත කරනවා.
නියුමැටික් සහ කාබන් ඩයොක්සයිඩ් යන වර්ග දෙකේම තුවක්කුවල වරකට පෙලට් කීපයක් දියහැකි චේම්බර සකස්කර තිබෙනවා. ඒ නිසා කාලය ඉතිරි කරගනිමින් වෙඩි තැබීමට හැකි වෙනවා.
මීළඟට මා ඔබට පෙන්වන්නේ වායු තුවක්කුවල උප විශේෂයන්හි ඇති වෙනස්කම් කීපයක්.
මේ පිස්ටනය වායු පීඩනය වඩාත් හොඳින් පාලනය කිරීමට සමත්. ඉතා මෑතකදී නියුමැටික් තුවක්කු සඳහා නයිට්‍රජන් වායුව පිටවූ පිස්ටන් හඳුන්වාදී තිබෙනවා.
පර්යේෂණ මට්ටමේ පවතින තවත් වායු තුවක්කු වර්ග ඇතත්, මා මෙහිදී ඒ පිලිබඳ විස්තර නොකියන්නේ ලිපිය සංකීර්ණ වීමට ඉඩ ඇති බැවින්. මම දන්නවා දැන් ඔබ බලා ඉන්නේ මේ තුවක්කු වලට දමන පතරොම් ලැබෙනතුරු නේද? ඇත්තටම ඒවා පතරොම් නොවන බව මා මුලින්ම කිව්වා මතක ඇති. ඒවාට කියන්නේ ‘පෙලට්’ කියලයි අපි දැන් පෙලට් ගැන කරුණු දැනගනිමු.ලෝකය පුරා භාවිත කරන විවිධ වර්ගවල වායු තුවක්කු සඳහා එවැනිම විවිධාකාර පෙලට් වර්ග නිපදවනවා. සාමාන්‍යයෙන් පෙලට් නිපදවන්නේ ඊයම් වලින්. එහෙත් සමහර වායු තුවක්කු වල පෙලට් ඇතුළුකර නිසි පරිදි රඳවා තබාගැනීමට ඒවා කාන්දම් බලයෙන් රඳවා ගැනීමේ උපක්‍රමයක් තිබෙනවා. ඒ නිසා සමහර පෙලට් කාන්දම් බලයට හසුවන මිශ්‍ර ලෝහ වලින් සාදා තිබෙනවා.
හැඩය, බර, යොදාගන්නා කාර්යය, අනුව පෙලට් වර්ග කරනවා. එවැනි වර්ගකිරීම් මීළඟට දක්වනවා.
මේ පින්තූර වලින් ඔබට පෙලට් ගැන සතුටුදායක අවබෝධයක් ලැබෙන්නට ඇති සිතනවා. ‘විවිධ පෙලට් වර්ග’ යනුවෙන් ඇති රූපයේ ‘බීබී’ යනුවෙන් රවුම් හැඩයෙන් දක්වා ඇත්තේ මා කලින් සඳහන් කල මිශ්‍ර ලෝහ පෙලට්.
වායු රයිෆල් යන්න අපේ රටේ විනෝදාංශයක් ලෙස අනාගතයේදී වර්ධනය වනු ඇති බව සිතිය හැකියි. එහෙත් ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහය ලැබිය යුතුයි. වායු රයිෆල් වෙඩි තැබීම කරන්නේ ක්‍රීඩාවක් පිණිස බවත්, එය යුද පුහුණුවක් නොවන බවත් අවධාරණය කරන්නට කැමතියි.