පසුගිය යුද සමයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉටුකළ උතුම් සේවය කළගුණ දත් කිසිවකුටත් කිසි දිනක අමතක නොවනු ඇති. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් දැඩි ප්‍රහාර එල්ල කර, අපේ ගුවන් බලය වනසන්නට උත්සාහ කලත්, එය අසාර්ථක කරමින් ජය ගන්නට ගුවන් හමුදාවට හැකි වුනා. මේ කතා හුදෙක් ඕනෑම සන්නද්ධ සේවාවක සිදුවන සිද්ධීන් විනා කිසිවකුට හෝ පහර ගසන්නට පල කරන තොරතුරු නොවන බව මුලින්ම අවධාරණය කරනවා.
ඒ යුද සමයේදී හෙලිකොප්ටර් යානා වලින් සිදුකල මෙහෙය වචනයෙන් විස්තර කල නොහැකි තරම්. ප්‍රහාරක හෙලිකොප්ටර් වලින් කල සේවයට නොදෙවැනි සේවාවක් ප්‍රවාහන හෙලිකොප්ටර් වලින් සිදුකලා. මේ කතා 1980 දශකයේ සිදුවූ සිද්ධීන් කීපයක් සම්බන්ධවයි.
පළමුවැනි කතාව මේකයි. එවකට මා සේවය කලේ නැගෙනහිර පළාතේ කඳවුරක. මේ කඳවුර ඒ පළාතේ යුද බලය සම්බන්ධයෙන් අතිශයින් වැදගත් ප්‍රධාන කඳවුරක්. ඒ නිසා නිතර යුද හමුදාවේ උසස් නිලධාරීන් මෙහි ආවා. සමහරවිට ඔවුන් ආවේ හෙලිකොප්ටර් යානා මගින්. මෙසේ එන නිලධාරීන්ට මෙන්ම ගුවන් නියමුවන්ට, ගුවන් භටයන්ට කෑමෙන් බීමෙන් සංග්‍රහ කිරීම අපේ ගෙවල්වල ආගන්තුක සත්කාර කරන අකාරයටම හෝ ඊටත් වඩා හොඳට කෙරෙනවා. සාමාන්‍යයෙන් උදේ දවල් රාත්‍රී කෑම වෙලාවක තමන්ගේ කඳවුරට අයිති නැති කෙනෙක් ආවොත් ත්‍රිවිධ හමුදාවේ කිසිම කඳවුරකින් කවදාවත් ඔහුව බඩගින්නේ යවන්නේ නැහැ. ඉතින් අපේ කඳවුරට නිතර හෙලිකොප්ටර් එන නිසා, අපි ඒ යානාවල නියමුවන්ව හොඳින් හඳුනනවා. ඔවුන් අප සමග අල්ලාප සල්ලාපයේ යෙදෙමින්, අත්දැකීම් මෙන්ම වැදගත් යුද තොරතුරුද හුවමාරු කරගන්නවා. නමුත් නිතර එන එක්තරා නියමුවෙක්, කිසි දිනක අපේ නිලධාරි නිවස්නය වෙත නොපැමිණ, හෙලිකොප්ටර්යානය නැවැත්වූ පසු එයින් බැස යානය අසලම සිටීම හෝ යානයේ පසුපස අසුනට වී පුවත් පතක් බලමින්, ඔහු ගෙන ආ සුළු ආහාරයක් කමින් සිසිල් බීම බොමින්, සිටින්නට පුරුදුවී සිටියා. එමෙන්ම ඔහු අපව එතරම් ගණන් ගන්නේ නැති බවත් පෙනීගියා. ඇත්තටම ඔහුට අප සමග කිසිදු රාජකාරි ගනුදෙනුවක් නැහැ. නමුත් ඔහුගේ සහායක නියමුවා අපවෙත පැමිණ ‘කොහොමද මචං’ කියා සතුටු සාමීචියේ යෙදෙන්නට පුරුදුවී සිටියා. ත්‍රිවිධ හමුදාවේ එක සමාන නිල අනුව සලකා බැලුවත්, අර නියමුවාට වඩා ජ්‍යෙෂ්ඨ නිලවල නිලධාරින් අපේ කඳවුරේ සිටියා.
හෙලිකොප්ටරයේ ආරක්ෂාව පිළිබඳව සිතා ඔහු එහි රැඳී සිටිනවායැයි සිතන්නට බැරි, හෙලිකොප්ටරය පැමිණෙන බව දැන්වූ මොහොතේ පටන්, යුද සෙබළුන් 25 කින් පමණ යුත් දැඩි ආරක්ෂක වළල්ලක් හා සන්නද්ධ රථයක ආරක්ෂාව යොදවන නිසයි. වරක් ඔහු මෙසේ රැඳී සිටිනවිට, අපේ කඳවුරේ නිලධාරි නිවස්නයේ වේටර් වරයකු අත, ඔහුට සුළු කෑම වර්ග කීපයක් සමග තේ බඳුනක් යැව්වා. නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කර තිබුනේ කාරුණිකව නෙවෙයි. ‘මම තේ ඉල්ලුවේ නැහැ’ යනුවෙන්. අපේ උසස් නිලධාරියකුගේ සිත මේ සිද්ධිය නිසා ටිකක් රිදුනා. ඒ පිළිබඳව එදා රාත්‍රී ආහාර ගනිද්දීද සඳහන් වුනා. මගේ කණ්ඩායම් භාර නිලධාරි වරයාද (Company Commander) මෙය අසා සිටියා. ඔහු තරමක් අමුතු දේවල් කරන්නෙක්. ඊට දින කීපයකට පසු, නැවතත් අර නියමුවා, සිය හෙලිකොප්ටරයෙන් උසස් නිලධාරියකු රැගෙන අපේ කඳවුරට ආවා. එදත් ඔහු සුපුරුදු විදිහට හෙලිකොප්ටරයේ රැඳී සිටියා. මගේ කණ්ඩායම් භාර නිලධාරියා ආරක්ෂක මුරයට කිව්වා වෙනදාට වඩා ටිකක් හෙලිකොප්ටරයට ලංවී සිටින ලෙස. ඉන්පසු ඔහු මෑතකදී සේවයට පැමිණි වේටර් වරයකුට කතාකලා. ඒ වේටර් වරයා හමුදාවක ඇති නිලතල ගැන එතරම් අවබෝධයක් ඇති පුද්ගලයෙක් නෙවෙයි. (ඔහු සොල්දාදුවකු නොව සාමාන්‍ය සිවිල් පුද්ගලයෙක්. විවිධ රාජකාරි සඳහා සිවිල් පුද්ගලයන් බඳවාගෙන සේවයේ යොදවනවා. උතුරු නැගෙනහිර සේවය කල ඔවුන්ගෙන් සමහරෙකුට, ත්‍රිවිධ හමුදාවට පිරිනමන පදක්කම්ද හිමිව තිබෙනවා) මගේ කණ්ඩායම් භාර නිලධාරියා අර වේටර් වරයාට කිව්වා ‘ඒයි, අර හෙලිකොප්ටරේ ඩ්‍රයිවර් මහත්තයට තේ බොන්න එන්න කියනවා’ කියා. වේටර් වරයා දෙවරක් නොසිතා හෙලිකොප්ටරය අසලට ගියා. ‘අපේ සර් කිව්වා ඩැයිවර් මහත්තයට තේ බොන්ඩ එන්ඩ කියලා’ කියා පණිවිඩය කිව්වා. හෙලිකොප්ටරය අසල සිටි අපේ සොල්දාදුවන්ට ‘බකස්’ ගා සිනා ගියා. අර නියමුවා වේටරයා දවා අළු කරන්නට තරම් රවා බලා, ගස්සා අහක බලාගත්තා.
දෙවැනි කතාව යුද හමුදා නිලධාරියකුගේ ‘අතිශයින් ත්‍රාසජනක’ හෙලිකොප්ටර් අත්දැකීමක්. ඒ කාලයේ නොයෙකුත් රාජකාරි සඳහා යුද හමුදා නිලධාරීන්ට හෙලිකොප්ටර් මගින් එහා මෙහා යන්නට සිදුවෙනවා. (ඔබ පින්තූරවල දැක ඇති හෙලිකොප්ටර්වල දෙපස දොරවල් ගලවා ඉක්මනින් නැගීමට බැසීමට හැකිවන අයුරු සකසා ඇති හැටි. වරක් එවැනි හෙලිකොප්ටරයක බඳේ කෙලින් අතට ඇති යකඩ පොල්ලක මාව හොඳින් ගැට ගසනු ලැබුවා. ඒ විදිහට සිටිමින් මම මන්නාරමේ සිට වවුනියාව දක්වා යුදහමුදා බංකර් පේලිය වීඩියෝ ගත කළා. එය ත්‍රාසජනක අත්දැකීමක් වුනා) හැබැයි මේ කියන්න යන්නේ ඒ කතාව නෙවෙයි. මෙසේ නිතර ගමන් කිරීම නිසා හෙලිකොප්ටරයේ ක්‍රියාකාරිත්වය පිලිබඳ අතිශයින් මූලික දැනුමක් අපටත් ලැබෙනවා. ගුවන්ගතවීමට පෙර යානය පරීක්ෂා කිරීම, යානය ගුවනට එසවීමටනම් යානයේ කැරකෙන පෙතිවල වේගය කොපමණ මට්ටමක තිබිය යුතුද ආදිය බලන හැටි සහ යානය ඔසවන හරවන ලීවර ක්‍රියාත්මක වන ආකාරය පවා අපටත් හොඳින් නිරීක්ෂණය වෙනවා. මේ විදිහට නිතර හෙලිකොප්ටරවල යන එක්තරා යුදහමුදා නිලධාරියෙක් වරක් රාජකාරි ගමනක් සඳහා හෙලිකොප්ටරයකට නැගුනා. එහි නියමුවා වුයේ ඔහු හොඳින් හඳුනන තමන්ගේ නිලයට සමාන නිලයක නියමුවෙක්. නියමුවා යානය පරීක්ෂා කිරීමට සෑහෙන වෙලාවක් ගන්නා බව අපේ නිලධාරියාට පෙනුනා. අපේ නිලධාරියට ටිකක් කේන්ති ගියා. ඔහු නියමුවාට මෙහෙම කිව්වා. ‘මොකක්දබන් උඹ හිතුවද ඔය වැඩේ මහා ලොකු කජ්ජක් කියලා, අපිත් දන්නවනේ, මේක මෙහෙම කරා, මේක බැලුවා, මෙතන මෙන්න මෙහෙම. . . . . . . .’ ආදී වශයෙන් හෙලිකොප්ටර් පැදවීම ගැන මහා විස්තරයක් කළා. නියමුවා කිව්වා, ‘මචං මම අදනේ දන්නේ උඹට වැඩේ පුළුවන් කියලා. උඹ කැමතිද පොඩ්ඩක් එළවලා බලන්න’ කියලා අපේ නිලධාරියා නියමුවාට ‘උම්මා එකක්’ දෙන තරම් සතුටෙන් හා කිව්වා. නියමුවා කිව්වා ‘එහෙනම් වරෙන් සහාය නියමු ආසනේට’ කියලා. අපේ වීරයා ඒ ආසනයේ වාඩිවුණා. ඔන්න දැන් නියමුවා අපේ වීරයාට එකින් එක කියා දෙමින් යානය අපේ වීරයා ලවාම පණගැන්වුවා. ‘මචං පරිස්සමෙන් පරිස්සමෙන්’ යන්න දහස් වරක් කියමින් ‘දැන් ටිකක් බලපන් ප්‍රධාන අවරපෙත්තේ වේගය මෙච්චරක් වෙන්න ඕනේ’ ආදී වශයෙන් උපදෙස් දුන්නා. ‘මචං දැන් හෙමින් ඔය ලිවර් එක උස්සපන්’ නියමුවා කිව්වා. අපේ වීරයා එහෙම කලවිට යානය පොළොවේ සිට අඩි 10 ක් පමණ ඉහලට එසවුනා. දැන් ත්‍රාසය නිසා අපේ වීරයාගේ දෙකනින් දාඩිය වැගිරෙනවා. හෘදය වස්තුව උගුරට ඇවිත් වගේ. ‘හරි මචං උඹ නියමයි, දැන් ඔය කන්ට්‍රෝල් ලිවර් එකෙන් මෙහෙම අල්ලලා මෙහෙම කරපන්, එතකොට ඉස්සරහට යනවා’ නියමුවා උපදෙස් දුන්නා. දැන් යානය ගුවන් පථයට උඩින් සෙමෙන් ඉදිරියට ඇදෙනවා. අපේ වීරයා දිව්‍යලෝක ත්‍රාසයක් විඳිනවා. නියමුවා කිව්වා ‘මචං දැන් ඇති නේද, කවුරු හරි දැක්කොත් මගේ ජොබ් එකත් ඉවරයි. දැන් මම උඹට කියලා දෙන්නම් ලෑන්ඩ් කරන හැටි’ කියලා ඒ ටිකත් කියා දෙමින් යානය බිමට පහත් කළා. අපේ වීරයා දැන් ගුවන් නියමු පදවිය ලබලා ඉවරයි. යානය බිමට පහත්කල පසු නියමුවා අපේ වීරයාගෙන් ඇහුවා ‘මචං උඹ දන්නවාද මේ ලිවර් එක මොකක්ද කියලා’ අපේ වීරයාට තේරුනා පාඩම තවම ඉවර නැතිබව. ‘අනේ දන්නේ නැහැ මචං’ ඔහු කිව්වා. ‘මචං මතක තියාගනින් මේ ලිවර් එක මේ පැත්තට දැම්මොත් යානය පදවන්නේ නියමුවා. මේ පැත්තට දැම්මොත් පදවන්නේ සහායක නියමුවා. දැන් උඹට පෙනෙනවානේ, මේ ලිවර් එක තියෙන්නේ මගේ පැත්තට දාලා. ඒ කියන්නේ යානය පැදෙව්වේ උඹ නෙවෙයි මම. මචං එකක් මතක තියාගනින්, බලා ඉඳලා හෙලිකොප්ටර් එලවන්න පුලුවන්නම් නියමුවන් කිලෝගානට හදන්න පුළුවන්. එක තමයි ඇත්ත තත්වය’ කිව්වා. අපේ වීරයාට කට උත්තර නැතිවුනා.
හි හීහී මරු ඈෑෑ
ReplyDelete