මේ කතාව මට අහන්නට ලැබුනේ මා වැලිඔය ප්‍රදේශයේ රාජකාරි කරමින් සිටි අවධියේදීයි. කතාව පුංචි වුනත් මෙහි තිබෙන වචන හරඹය තමයි රසවත්. නුවරකලාවියේ (‘නුවරකලාවිය’ කියන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් නුවර වැව, කළා වැව සහ පදවිය වැව යන වැව් වලින් සීමාවූ ප්‍රදේශය) එක්තරා ඈත ගමක මනුස්සයෙක් ළඟ ලබු කැටයක් තිබුනා.
මේ ලබු කැටය පාවිච්චි කලේ බොන වතුර තබාගන්නා භාජනයක් හැටියටයි. (අද ඉන්න සමහර අය අහලාවත් නැතුව ඇති, අතීතයේදී ලබු කැටය වතුර, පැණි, වගේ දියර වර්ග ගබඩා කර තබාගන්න පාවිච්චි කල බව. ලබු ගෙඩියේ නැට්ටට සෙන්ටිමීටර් 5 ක් පමණ පහලින් කපා වෙන්කරනවා. ඉන්පසු එහි මදය තියුණු පිහියකින් හැකි පමණ ඉවත් කරනවා. ඉතිරි මද කොටස් තිබියදීම ලබු ගෙඩිය මඩ යට වලලනවා. ටික දිනකින් මදය දිරාපත්ව ගොස් හිස් ලබු කැටය ඉතිරි වෙනවා. එය පිරිසිදු කර භාජනයක් ලෙස පාවිච්චි කරනවා.) ලබු කැටය එහා මෙහා ගෙනියන්නේ සිහින් ලනුවකින් වියපු දැලක් මෙන් පෙනෙන මල්ලක දමාගෙනයි. ඉතින් අර මනුස්සයාගේ ලබු කැටයේ ලනු දිරාගිය නිසා අලුතෙන් මල්ලක් සාදා දෙන ලෙස කියා ඊට ඈතින් පිහිටි ගමක සිටි ඒ වගේ වැඩ දන්නා මනුස්සයෙකුට ලබු කැටය බාරදුන්නා.
කාලයක් ගතවුනත් වැඩේ නොකෙරුණ නිසා නැවත නැවත කීප වරක් මතක් කලත් අර මනුස්සයා වැඩේ කරලා දුන්නේ නැහැ. බැරිම තැන ලබු කැටය අයිතිකාරයා එක දවසක් ගිහින් බලනකොට, අර මනුස්සයා ගෙදර හිටියේ නැතත්, තමන්ගේ ලබු කැටයට මල්ලක් සාදා තිබෙන බව දැක්කා. මිනිහා ලබු කැටයයි මල්ලයි අරගෙන හෙමිහිට මාරු වුනා. අර මනුස්සයා ආරච්චිරාලට පැමිණිලි කළා මේ ‘මහා අපරාධය’ ගැන. ආරච්චිරාළ පැමිණිලිකාරයාවත්, විත්තිකාරයාවත්, ගෙන්වා පැමිණිල්ල විභාග කරන්න පටන් ගත්තා.
‘මොකක්ද තමුන්ට කියන්න තිබෙන්නේ’? කියා ආරච්චිරාළ විමසුවාම, ලනු මලු වියන මිනිහා කියනවාලු ‘හාමුදුරුවනේ,ලබ්බ උගේ උගේ මගේ’ කියලා. මේක මොන හතරබීරි කතාවක්ද කියලා, නැවත නැවත ඇහුවත් කියන්නේ ඒකමලු. ‘ලබ්බ උගේ උගේ මගේ’. ආරච්චිරාලට කේන්ති ගිහින් නඩුව විසිකරන්න හදනකොටම, ලනු මලු වියන්නා අර ලබු කැටේ අතට අරන්, එහි මල්ල ගලවා, ලබු කැටය ආපසු අයිතිකාරයාටදී මෙහෙම කියනවලු. ‘මේ උගේ මගේ ලබ්බ උගේ’ කියලා. දැන්නම් ආරච්චිරාලට හිතෙනවාලු තමන්ටම ඉස කුඩිච්චියක් දාගන්න. මේ වෙලාවේ ලනු මලු වියන්නගේ අසල් වැසියෙක් ආවලු නඩුව අහන හැටි බලන්න. ආරච්චිරාළ ඒ මිනිහගෙන් ඇහුවලු ‘මොකක්ද බන් මේ මිනිහා කියන මේ කුණුහරපෙ’? කියලා. ඒ මිනිහා කිව්වලු හාමුදුරුවනේ ‘උගේ’ කියන්නේ ඔය ලනු මල්ලට කියන නම. (ලනු මල්ල හඳුන්වන නම) කියලා. මේ අවුල ඇතිවුනේ, ලනු මලු වියන්නා, ‘ලබු කැටය අරයගේ, ලනු මල්ල මගේ’ කියන අදහස, ඔහුගේ ගමට ආවේනික භාෂාවෙන් කිව්ව නිසයි. යාන්තම් නඩුව එතනින් ඉවර වුනාලු.
No comments :
Post a Comment