හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

10 January 2014

බැරි සිල් නොගන් අබරෝ කිව්වලු

අහලා තියනවා නේද බැරි සිල් නොගන් අබරෝ කියන කතාව. ඒ කියන්නේ තමන් හරියට ඉගෙන ගෙන, පුරුදු පුහුණු කරලා තියන, ප්‍රත්‍යක්‍ෂයෙන් දන්නා දෙයක් හැර, වෙනත් දේවල් කරන්නට උත්සාහ නොකරනු කියන එකනේ. අබරා සිල් ගන්න ගිහින් අර හාමුදුරුවෝ කියන කියන එකම කියන්න ගිහින් වෙච්චි දේ දන්නවනේ. අපි හැමදෙනාටම පුළුවන් දේවල් තියනවා, බැරි දේවල් තියනවා. නමුත් ඉතින් මොනවා කරන්නද? කරුමෙට ගාත් අටයි, මෝඩකමට බෙහෙත් නැහැ, කියන කියමන් මටම කියාගන්න වැඩක් මේ දැන් පැය දෙකකට කලින් සිද්දවුනා.
  කතන්දරේ මෙන්න මේකයි. හෙට උදේ කොළඹ රටේ රවුමක් යන්න තියනවා. අද දවසම අතිශයින් කාර්ය බහුලවයි හිටියේ. හවස හතට විතර මතක් වුනා කාර් කට්ට ටිකක් පරීක්ෂා කරලා බැලුවොත් හොඳයි කියලා. කරුමයක් පලදෙන්න තියනවානම් ඉතින් ඒක පලදෙනවාමනේ. කාර් කට්ටේ ඉස්සරහ වම්පැත්තේ රෝදේ සද්දයක් තියනවා වගේ කියලා සැකයක් තිබුණා. හනේ අම්මපා වාහන තුනක්, රියැදුරන් තිදෙනෙක් තියාගෙන හිටිය මම, අද තනියම ජැක් ගහනවා. (කාර් එකට, කාර් එකට, නැත්නම් වෙන අහවල් කෙන්ගෙඩියකටද ජැක් ගහන්නේ. මොනවා අහනවද මන්දා. මොකද අද එව්වා හිතුවට කොරන්ඩ පුලුවනැයි) ලෙව්කේ මැතිඳු අද තනියම වෙල මැද්දේ.
  ඔන්න ඉතිං ජැක් ගහලා බඩ තඩිය අමාරුවෙන් පාලනය කරගෙන කාරෙක යටට රිංගුවා, අර සැර එළිය තියන ටෝච් එකත් ඇන්න. ම්හු.......සැක කටයුතු කිසිවක් නැහැ. අපේ උන්දැගෙන් ඇහුවා කාර් එක නියුට්‍රල් කරන්න දන්නවද කියලා. මොන විකාරද අනේ මම ඔව්වා දන්නේ නෑ කියලා උත්තර ලැබුණා. අම්මපා අල්ලපු ගෙදර නෝනට කතා කරානම් නියුට්‍රල් කරවාගන්න තිබුණා. නැද්ද මං අහන්නේ? එකත් අමතක උනානේ. මම කිව්වා  කිව්වා ගියර් පොල්ල ටිකක් ඉස්සරහට පස්සට කරන්න (කාරෙකේ, කාරෙකේ, ආයෙත් අනං මනං ඇහුවොත් ඔන්න කතාව නවත්තනවා ඈ) එතකොට බුරුල් ගතියක් දැනෙයි එහෙමම තියන්න කියලා. ඔන්න මාගේ පියඹ ලෝක වාර්තාවක් තබමින්, ජීවිතයේ පළමුවැනි වතාවට, කාරයක් නියුට්‍රල් කළා.
  රෝදේ කරකවන්න පොඩ්ඩක් කියලා කිව්වා මම. හරි තදයි කැරකෙන්නේ නෑ කියලා උත්තර ලැබුනා. හුටා...... බ්‍රේක් බයින්ඩ් වෙලා ඇති. බ්රේක් පෑඩ් ගැලවෙලා ඩිස්ක් එකත් එක්ක හිරවෙලාද දන්නේ නෑ. ඔහොම හිතමින් මම කාරෙක යටින් එළියට ආවා. රෝදේ අල්ලලා කරකවන්න බැලුවා මොන විකාරද නෝ හෙල්ලුම් පොල් මැල්ලුම්. හෑ.............බලනකොට ලොක්කි කාරෙක නියුට්‍රල් කරලා නැහැනේ. පොල්ල (යකෝ දැන් දෙතුන් සැරයක් කිව්වා නේද කාරෙකේ කියලා) නිකම් හොල්ලලා විතරයි. මට ආව කේන්තියට කාරෙක නියුට්‍රල් කරා, දඩස් ගාලා ගියර් පොල්ලට එකක් ගහලා. කැරකුවා එක පාරටම රෝදේ. මගේ අත ලිස්සලා ගියා ඇලෝයි වීල් එක අස්සට. ඩ්‍රම් එකයි වීල් එකයි අතරට අත හිරවුණා. මෙන්න ප්‍රතිඵලේ.
photo0098
  ඉස්පිරිතාලේ ගියේ නැහැ. ප්‍රථමාධාර සහ බෙහෙත් අපේ ගෙදරම තියනවා. අපේ උන්දැ දුන්න විලාපෙට මගේ යාලුවෙක් දුවගෙන ආවා. මම කිව්වා පොඩ්ඩක් අත වැදුනා අනේ ඔය කාරෙකේ රෝදේ ගලවලා චෙක් කරලා දෙන්න කියලා. රෝදේ කිසිම ලෙඩක් නැහැ. මගේ මනස්ගාතයක් තමයි අර සද්දේ. මේ පින්තූරය ගත්තේ අපේ උන්දැගේ විලාප අස්සේ. හොඳ වෙලාවට මට මේ ඇඟිල්ල පාවිච්චි නොකර ටයිප් කරන්න පුලුවන්. මෙව්වත් තුවාලද අපිට වෙලා තියන තුවාලවල හැටියට. 
හැබැයි බැරි සිල් නොගන් අබරෝ 
my-signature-for-blog[1]2014 ජනවාරි මස 10 දින 2158 පැය

73 comments :

  1. හැක් හැක් බ්ලොග් කාරයෝ තමා බ්ලොග් කාරයෝ... ලෙලි ගියත් ෆොටෝ එකක් අරගෙන පොස්ට් එකක් දානවා..

    ReplyDelete
    Replies
    1. මගේ ඇල්බම් වල තියනවා යුදබිමේ තුවාල සහිත පින්තූර එව්වා එක්ක බලනකොට මෙව්වා මොනවද? අම්මපා ඇත්ත තමයි. පණයන්ඩ මොහොතකට කලින් වුනත් පින්තූරේ තමයි ලොකු.

      Delete
  2. ඕකනේ කියන්නේ කලබල වුනහම අර මොකක්ද එකෙත් අත දන්න බැහැ කියලා.

    ReplyDelete
    Replies
    1. අත තියා කකුල දාගන්නවත් බැහැ.

      Delete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  4. හොඳ වෙලාවට මේ ඇඟිල්ල අහුවෙලා බේරුනේ

    ReplyDelete
    Replies
    1. ඔව් 'අර ඇඟිල්ල' අහුවුනානම් එහෙම මොනවා වෙයිද?

      Delete
    2. "අර ඇඟිල්ලට" වඩා ප්‍රයෝජනවත් ටයිප් කරන මේ ඇඟිල්ල දැන් කාලේට :D

      Delete
  5. වැඩි සොදිසියත් වෙලාවකට කරුමයක් වෙනවනේ විචාරක තුමෝ..
    වෙන තුවාල වගේ නෙමේ ඔය ඇහිල්ලෙ නියපොත්තෙ වෙන තුවාල මගෙ අම්මෝ අඩන්නැතුව කඳුලු එන තරමට වේදනායි..

    ReplyDelete
    Replies
    1. මම විනාඩි දෙක තුනක් දත්මිටි කාගෙන කෙඳිරිගෑවා. ඒ තරම් දරුණු වේදනාවක්.

      Delete
  6. I do believe all the ideas you have offered to your post.
    They're really convincing and can certainly work.
    Nonetheless, the posts are too short for newbies.
    May you please lengthen them a bit from subsequent
    time? Thank you for the post.

    Also visit my website unlock iphone ios 7.0.4

    ReplyDelete
  7. හපොයි....නියපොතු ගැලවුනාම රිදෙනවා...මන් දන්නවනේ.....ඉක්මනින් හොද වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.සුබ දවසක්!

    ReplyDelete
    Replies
    1. තවම කැක්කුමයි. ස්තුතියි සුවය පැතීම ගැන.

      Delete
  8. Please follow the Occupational Health and Safety Precautions

    අවවාදයයි
    කිසිම දවසක කාර් එකට ජැක් එක ගහලා යටට යන්න එපා.අඩු තරමේ කොට කෑල්ලක් හරි තියල ඉන්න ජැක් එකෙ උසට හරියන කාර් එකේ යටින් බොඩියෙ සුදුසු තැනකට මොකද ජැක් එක ට මොනව හරි වුනොත් වෙන දේ කියන්න ඕන නැහැනෙ. මිකැනිකල් ජැක් එකක් තරමකට හරි හොඳයි න්මුත් හයිඩ්‍රොලික් ජැක් කවදාවත් විශ්වාස කරන්න එපා. ඒ වගේම ජැක් කරන්න කලින් රෝද වලට අඩ තියන්න.සමතලා තැනක් මේ වගෙ වෙලාවට යොදාගන්න

    ReplyDelete
    Replies
    1. කාරෙකට තියෙන්නේ අර මිකැනිකල් ජැක් එකක්. හැබැයි කොටයක් නම් තිබ්බේ නැහැ. ඒ ගොන් වැඩේ මීට පස්සේ නොකර නිවැරදිව කරන්නම්. ස්තුතියි මේ උපදෙස් වලට.

      Delete
    2. ඕං මං මේ වගේ අදහසක් දෙන්න හිතාගෙන ආවේ. එහෙනං හිතට ගනු විචාරක...

      Delete
    3. මේක නම් බොහොම වටිනවා. මගේ යාළුවෙක් ( නෑයෙක්) මැරුනා මෙහෙම වාහනේටම යටවෙලා. පොඩි මිස්ටේක් එකකින් කොයි තරම් දේවල් වෙන්න පුළුවන්ද?

      Delete
  9. උදේම හිනා වෙලා පනගියා විචාරක තුමෝ...හෙහ්..හෙහ්....
    තේරුම් ගන්න හැකියි පෙර සිදුවෙලා තියෙන තුවාල වල තරම..
    මෙච්චර දෙයක් වෙලත් ඉන්න ජොලිය දැක්කම...

    ReplyDelete
    Replies
    1. මොනවා කරන්නද කෙන්ජි. මම දැන් තනි ගහක් වගේ. උදව්වට කවුරුවත් නැහැ. උඩින් ගියත් එකයි. බිමින් ගියත් එකයි.

      Delete
  10. දැන් බැ අරක බැ මේක බැ අරහෙම වෙන්නැ මෙහෙම වෙනවා කිය කියා ඉන්නේ කොරල බැලුවනං නරකද

    ReplyDelete
    Replies
    1. අමාරුවෙන් තල්ලු කරලා ස්ටාට් කරගත්තම පට පට ගාලා පිටි අඹරන මෝල් තියනවා. බලමුකෝ බලමුකෝ.

      Delete
  11. විචාරක නෝනා යන්තම් ඔහොම එහාට මෙහාට කල එක හොඳයි ඔලුව උඩින් කාරෙක අරන් යන්නේ නැතුව හී...හී..

    ඒ හන්දා එයාට බනින්ට එපා.

    මම මේ පරීක්ෂා කලේ අත...ඒ වෙලාවේ ෆොටෝ ගන්ට ගිහින් ගෙදර ඇත්තී කෑගැව්වේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. තවම පොඩ්ඩක් විතර ආදරේ නිසා වෙන්න ඇති කාරෙක ඔලුඅ උඩින් නොයැව්වේ.

      මොන විකාරද ඔය කරන්නේ කියලා කෑ ගහද්දී තමයි මේ පොටෝ එක ගත්තේ.

      Delete
  12. ඇයි ගරාජ් එකක් නැද්ද ලඟ පාත.. ඒ මිනිස්සුන්ගේ බඩට ගහන වැඩ කරන්නේ.. ආයේ යුද්දේ පටන් ගත්තොත් ඔහේට කියන්නම්.. ඒත් ඉතින් වාහන තුනක් නම් දෙන්න බෑ.. දැන් පැන්සොන් කාරයොනේ.. කොලිටි උනත් රිජෙක්ටඩ් බඩු.. මාකට් එකක් නෑ..

    ReplyDelete
    Replies
    1. ගෙදරට මීටර් 100ක් ඈතින් ගරාජ් එකක් තියනවා. නමුත් මෝඩකම ඊට වැඩියිනේ.

      ආයේ යුද්දේ පටන් ගත්තත් මමනම් හිතන්නෑ ඉස්සර වගේ වාහන ලැබෙයි කියලා. දැන් බොහොමයක් දෙනා පොදු වාහනවල තමයි යන්නේ. අපි අවංකව යුද්දෙදි වාහන පාවිච්චි කරපුවට තමයි අද ඔයයි මමයි දෙන්නම තවම බදු ගෙවන්නේ.

      Delete
    2. අම්මපා අර කොලිටි වුනත් රිජෙක්ට් බඩු කිව්වම මතක්වුනේ. මේ ලඟදි සමකාලීන 'නිලධාරිනියක්' හම්බවෙලා කිව්වනේ සර් තවම ඉස්සර වගේමයි කියලා.

      Delete
    3. ඈ බොලන් ! එතකොට ආමි එකේ හිටියෙත් ඔය බඩ තඩියත් එක්කමද ?

      Delete
    4. ඇයි අප්පේ ඒ කාලේ බඩ තඩිය කරේ තියං යන්න බඩියෝ හිටියනේ.

      Delete
    5. එහෙම කියන්නේ හිත නරක් වෙනවට..

      Delete
    6. ///අම්මපා අර කොලිටි වුනත් රිජෙක්ට් බඩු කිව්වම මතක්වුනේ. මේ ලඟදි සමකාලීන 'නිලධාරිනියක්' හම්බවෙලා කිව්වනේ සර් තවම ඉස්සර වගේමයි කියලා.//////
      +++++++++++++++++++++

      Delete
  13. හනේ හනේ...ඇගිල්ල දැක්කම මට ඇඩෙන්න වගේ.ඒකට බෙහෙත් දාගන්නෙ නැතිව ෆොටෝ ගහං බොගට දාලා...පරිපූර්ණ බොග කරුවකුගේ ලක්ෂණ වෙන්නැති...

    ReplyDelete
    Replies
    1. ඇයි අනේ මගේ සතුට වගේම දුක් වේදනා බෙදාගන්න නේද මේ බොගවල් අටවාගෙන තියෙන්නේ?

      Delete
  14. හැමදේම බෑ කියල නිකා ඉන්නෙ නැතුව පුලුවංද කියල බලන එකත් ලොකු දෙයක් නෙ.

    ඔය වාහන එලවන්න දන්නෙ නැති ගෑනු කට්ටියට වාහන වල ඒව මේව අතගාන්න දෙන එකනං භයානක වෙන්න ඉඩ තියෙනව. :D

    ReplyDelete
    Replies
    1. මම හිතාගෙන ඉන්නේ ටික ටික පුරුදු කරවන්න. ඊළඟ දවසේ ගමනක් ගිහින් ආපු ගමන් රේඩියේටරේ මූඩිය ගලවලා බලන්න කියලා කියන්නයි ඉන්නේ.

      Delete
  15. කවද්ද කොඹල එන්නෙ ? රාමනායක මාවත පැත්තට මංගැච්චුවොත් මට කෝල් පොජ්ජක් මෙව්වා කරන්න.

    ReplyDelete
    Replies
    1. අද පාන්දර හතරට කොළඹ ගිහින් මේ දැන් ටිකකට කලින් ආවේ. වාහනේ එලවපු නිසාද මන්දා ඇඟිල්ල ටිකක් රිදෙනවා. දැන් ආයෙත් බෙහෙත් දාලා ටිකක් නිදාගන්න ඕනේ. ආයේ කොළඹ ආවොත් නොවරදවාම කතාකරන්නම්.

      Delete
    2. ත්‍රීවිල් මල්ලිලත් එක්ක පරිස්සමින් !!ඌන් හිතං ඉන්නෙ පාර උන්ගේ මාර සංඥා හදල තියෙන්නෙ කහනවට කියලා !!!

      Delete
    3. පත්තර මලේ, සහතික ඇත්ත බොලන්. උන් වෙලාවකට අපි යන අපේ ලේන් එකට සිග්නල් මුකුත්ම නැතිව එක පාරම දාලා අපෙන්ම අහනවා "කොහෙද ඕයි යන්නෙ ?"කියලා.

      Delete
    4. වැඩක් නෑ සෙන්නෝ කතා කරලා !!

      මීහරක් ඊට වඩා ලස්සනට පේලියට පාරෙ යනවා !!!
      වරක් පෑලියගොඩ ඉඳල ආමර් වීදියට එන අතරමග
      මෝඩ‍යෙක් පාර මැද ගැහුවා U ටර්න් එකක් ..

      මං බ්‍රේක් පැඩල් එක උඩ හිටගත්තා !!!

      පිටිපස්සෙ හිටපු නැන්දම්මයි මාමන්ඩියයි රූටල ඇවිත් බිමටම වැටුනා බං !! අම්මපා !!

      කාට කියන්නද බං ??????????????????

      ඌ කොහෙන් ගියාද නෑ !!

      Delete
    5. ඉස්සරනම් ඔයවගේ එවුන්ගේ පස්සෙන් පන්නලා කන අතගාලා තමයි එන්නේ.

      Delete
    6. මටත් හිතුනා එහෙම. !! අපේ අඩවියෙ නං මොකක් හරි කරන්න තිබුන
      ගෑනු‍යි නැන්දම්මලයි පටෝගෙන ඕවගෙ තැන් වලදි ඊට හොඳයි සද්ද නැතුව ඉන්නවා ස‍ර් !!

      Delete
    7. මගේ අද්දැකීම නම් ඔය සත්තු හොඳට බලනවා, ඒ වුනාට උන්ගේ තියෙන පහත් උප්පත්ති ගතිය හින්දා, පාරේ යන අනෙත් අයට අවහිරයක් වෙන විදිහට යනවා. මම නම් ඔය වෙලාවට කරන්නේ කන පැලෙන්න හොන් ඒක ගහගෙන නවත්තන්න හිතන්නෙත් නැති ගානට යනවා. ඔන්න එතකොට බල්ලා.. සොරි, සොරි ත්‍රීවීල්කාරයා වගේ අයින් කරගන්නවා. මොකෝ ඔය ටින් බෙලෙක්කේ හැප්පුනොත් ඌ සතියක් බඩගින්නේ නේ.
      ඔය සත්තු කොහොමත් "රෙද්දේ සුභාෂිතය, කටේ කුණුහරුප, බඩේ හුලන්" type එවුන්නේ.

      Delete
    8. රෙද්දේ සුභාෂිතය, කටේ කුණුහරුප, බඩේ හුලන්.. ඔලුවේ මැටි :)

      Delete
  16. ඔය බක පණ්ඩිත වැඩ වලට නං මම මුකුත්ම කියන්නෙ නෑ... විශේෂයෙන් බක පණ්ඩිත වැඩි කමට මෙලෝ සේෆ්ටි ප්‍රකෝෂන් එකක් නැතුව කරන වැඩ වලට.. කෙලින්ම කියල තියෙන්නෙ අත පය තුවාල කරගෙන ආවොත් බේත් දාන්නං.. හැබැයි අතපය කඩාගෙන ආවොත් මං නං නර්ස් වැඩේ කරන්න එන්නෙ නෑ කියල... ( අපේ උන්දැත් ඔය වගේ වැඩ හරියට කරගන්නව... වැඩිපුරම තුවල කරගන්නෙ වැඩේ කරන්න ගිහින් නෙවෙයි... සපත්තු දෙකක් දාගෙන කරන්න ඕනෙ වැඩේ සෙරප්පු දාගෙන කරන්න ගිහින්, එහෙම නැත්තං ඉනිමඟක් දිගේ ගිහින් කරන්න ඕනෙ වැඩේ තාප්පෙ උඩට වෙලා අඩමානෙට කරන්න ගිහින් , එහෙමත් නැත්තං ෆේස් කවර් එක දාගෙන කරන්න ඕනෙ වැඩේ ෆේස් කවර් එක පැත්තකින් තියල කරන්න ගිහින්... ලේසියට ලේසියට.... අනේ මගේ කට... )

    ReplyDelete
    Replies
    1. හපෝයි............................මේ ගෑනු ජාතිය ඔක්කොම එකයි. මොකක් හරි වැඩක් කරන වෙලාවට ලඟට ඇවිත්, අහෝ මාගේ පෙම්වත, ඔබගේ ශ්‍රී දේහයට තුවාලයක් වුනොත්, මගේ ජීවිතයෙන් ඇති ඵලය කීම. ඒ නිසා පෙම්බරයාණනි, ඔය තාප්පයෙන් බැස, මේ ඉනිමගට වඩිනු මැනවි. කියලා ආදරෙන් කියන්නේ නෑ. ටකරමට කුළුගෙඩියෙන් ගහනවා වගේ ඔය මොකද? වැටිලා ආයෙත් තුවාල කරගන්නද හදන්නේ? කියලා කෑගහන සද්දේ කම්පනේට අර අහිංසකයා නිකම්ම තාප්පෙන් වැටෙනවා.

      Delete
    2. හි හි... ඔහොම කියල කියල බැරි උනාම තමයි මෙහෙම කියන්නෙ...

      Delete
    3. ඒ වුණාට හැමදාම නාන්නේ රේන්කොට් දාල නේද,

      Delete
    4. අන්න උඹව රේන්කොට් නැතිව නාවලා තියනවා, දේශකයා, මාතලන්, රාජ්, ඔක්කොමලා.

      Delete
  17. ikman suwaya pathanawaa. anika wedanawa nathi una kiyala beth noda innepaa.

    mageth niyapoththaka udallak wadila thibunath hawas weddi wedanawa aduwela ganan nogena hitiyaa. menna dawas hatharak witara yaddi budu ammo kakula tiyala yanna bariunaa.

    ReplyDelete
    Replies
    1. මොකද ආයෙත් යුනිකෝඩ් අවුල් වෙලාද? මම ගෙවල් ළඟ ඉන්න රජයේ වෛද්‍ය වරයෙකුගෙන් බෙහෙත් ගත්තා. මොනවහරි අලුතෙන් ලියන්න අදහසක් නැද්ද?

      Delete
  18. මාත් ඔය නොදන්න වැඩ කරන්න ගිහින් හැමදාම මොකක් හරි ඇබැද්දියක් කරගන්නවා. ඒ කොච්චර වුනත් පහුවදාටත් ආයෙත් මොකක් හරි මෝඩ වැඩක් කරනවා.

    ReplyDelete
    Replies
    1. එහෙනං තමුන්නාන්සේ පෙර ආත්මයකදී හෝ මගේ ඥාතියෙක්. එක තමයි මේ ආත්මෙදිත් අපි දෙන්නම එහෙම කරන්නේ.

      Delete
  19. අප්පච්චියේ ඕනම කොරන ඇගිල්ලමනේ තැලිලා තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. දැන් ඔය ඇඟිල්ල හොඳට තිබුණා කියලා වැඩක් නැහැ අනේ.

      Delete
  20. ඇඟිල්ල දැක්කම නිකම් මගේ ඇඟිල්ලත් රිදෙනවා වගේ... ඩ්‍රයිවින් නොදන්නා ගෙදර උන්දැට වාහනේ දෙනවා කියන්නේ සිය දිවි නසා ගන්න තියෙන ලේසි උපක්‍රමයක්... දවසක් මම පුරුදු කරන්න කියල කාර් එක පාර්ක් ගියර් එකට දාල කිව්වා දැන් ඩි එකට දාල ඔහොම ඉස්සරහට ගන්න කියල.. කියල කට ගන්න හම්බ උනේ නෑ රිවස් එකට දාල පෑගුවා නේ ... කරුමෙට වගේ ඒ වෙලාවේ පාරේ මනුස්සයෙක්වත්, සතෙක්වත්, වෙන වාහනයක්වත් තිබ්බේ නෑ... මම පිටිපස්සේ හිටියත් එච්චර තමා... ඔන්න ඔහොමයි ඉතින්...

    ReplyDelete
    Replies
    1. මමත් ඉස්සර කීපවතාවක් උත්සාහ කළා උගන්නන්න. මොන විකාරද. මටම එපාවෙලා අතෑරලා දැම්මා.

      Delete
    2. \\\\\\\මම පිටිපස්සේ හිටියත් එච්චර තමා... ඔන්න ඔහොමයි ඉතින්...\\\\\\\

      ඉතාම ලොල් සහගතයි පැතුම් .... :D ඔය වගේ දේවල් නිසා ජීවිත නැති වූ අවස්ථා එමටයි විචාරක තුමණි.... වැදගත් පෝස්ට් එකක් ...

      Delete
    3. වැදගත් පෝස්ට් එකක් කොහොම වෙතත් අපේ උන්දැ දැක්කනම් දවසක් දෙකක් තුනක් කතා නොකර ඉඳියි.

      Delete
  21. මොකුත් නොකියමි...comments & replies රස වින්දෙමි.

    ReplyDelete
    Replies
    1. අම්මපා සමහර කමෙන්ට්ස් කියෙව්වම මටත් නානාප්‍රකාර දේවල් හිතුනා.

      Delete
  22. අනේ අනේ විචාරක තුමෝ ,ඔයත් මගේ තාත්තා වගේ... එයත් මොනාහරි කරන්න ගියාම හදිස්සිය නිසයී,අදාල සේෆ්ටි ගාඩ් නැතුව කරන්න යාමෙනුයි..,,ඔලුවත් හප්පා ගන්නවා නිතරම....

    ඔයා හරි ශෝක් ඔච්චර එකක් වෙලත් ෆොටෝත් ගහලනේ..

    ReplyDelete
    Replies
    1. තාත්තලා කල් යනකොට එහෙම වීම පොදු ලක්ෂණයක්ද මන්දා.

      ඉස්සර යුද බිමේදීත් මගේ කැමරාව හැමවෙලේම ළඟ තිබුණා. ඒකෙන් හොඳක් මිසක් නරකක් වුනේ නැහැ. නමුත් ඒ පින්තූර අදටත් මා පල කරන්නේ නැත්තේ වැරදි අර්ථකථන ලැබෙන්නට පුළුවන් නිසා.

      Delete
  23. වැඩි සෝදිසියත් වෙලාවක හොද නෑ කියන්නේ මේක තමයි.. මේ පෝස්ට් එකක් පින්තුරෙයි දැක්කම මට මතක් වුනේ දවසක් කතන්දර දාපු පෝස්ට් එකක්.. දැන් දැන් අපිට වෙන හැම දෙයක්ම අපි බ්ලොග් එකට පෝස්ට් එකක් කර ගන්නවා කියන එක.. ලියපු දේ ගැන වරදක් කිවුවා නෙමෙයි විචාරකතුමනි.. මට මතක් වුන දේ කිවුවේ..

    ReplyDelete
    Replies
    1. කතන්දර කියලා තියෙන්නේ ඇත්ත තමයි. බ්ලොග් ලියනකොට ඉතින් එදිනෙදා ජීවිතයේ සිදුවෙන බොහෝ දේවල් හොඳ මාතෘකා වෙනවා. මෙහෙම ලියන එක වැරදියි කියලා ඔබ කිව්වත් මම අමනාප වෙන්නේ නැහැ. ඒ ඔබේ අදහස් දැක්වීමේ නිදහස.

      Delete
  24. ඔය කරගෙන තියෙන්නේ...දැන් ඉතින් කාලත් හමාරයි නේද? විචාරකතුමීට කියලා කවාගන්න චෑන්ස් එකක්.....

    ReplyDelete
    Replies
    1. පිශ්ශුද.......................හැඳි ගෑරෙප්පු ෆයිට් දන්නා නිසා ගොඩේ ගොඩ.

      Delete
  25. කාලත් හමාරයි නේද?...විචාරකතුමීට කියලා කවාගන්න චෑන්ස් එකක්.............

    ReplyDelete
    Replies
    1. අලාපු ගෙදර නෝනට කියලා බැරිවෙයිද දන්නෑ. මෙයා කවනවා හොඳ නෑ අනේ.

      Delete
  26. මම මේ පණ්ඩිත කම් කිව්වට ඕන තරම් ඇඟිලි තලාගෙන තියෙනවා. මම හිතන්නේ අපිට වැඩක් කරන්න අවශ්‍ය වුණාම, ඒකට අදාළ නියමිත් උපකරණ නැතිනම් ඒවා නොකර ඉන්න එක හොඳයි. අනිත් එක අර follow the basics කියලා කතාවක් තියෙනවනේ. එහෙනම් මුලින්ම කරන්න ඕනේ ඔය නියුට්‍රල් කරන එක. අර කිව්වා වගේ වාහනය යටට රිංගන එක. රෙදියෙටරේ ගෝනියක් නැතිව අරින එක අන්තිම භයානක වැඩ. අත තාම පොඩි කොල්ලෙක්ගේ වගේනේ. අර සමකාලීන නිලධාරිණිය කිව්වා එක බොරු නෙවෙයි. හිත තරුණ නම් මිනිස්සු වයසට යන්නේ නෑ. විචාරක නෝනා බලන්නේ නැතිව ඇතිනේ.

    ReplyDelete
    Replies
    1. මගෙත් තියනවා ඔය කලබලේට වැඩ කරන්ඩ යාමේ දුර්වලකම. මෙව්වා මොනවද. එක සැරයක් පිස්තොලේ පත්තු වුනා අත්වැරදීමකින් කාමරේ ඇතුලේ. වැඩට හිටිය කොල්ලගේ කන ලඟින් ගිහින් බිත්තියේ වැදුනා. කොල්ලා කලන්තේ දාලා වැටුනා. ආමි කොල්ලෙක් නෙවෙයි නිකම් වැඩට අරන් හිටිය එකෙක්. කොහොමද අපේ වැඩ? :D

      Delete
    2. හපොයි අර නිලධාරිනිය කියපු එක අපේ උන්දැට ඇහුනනම් මාව කපෝතියි.

      මම අදනේ දන්නේ ඔයා කොල්ලෝ වගේ පෙනෙන අයට කැමතියි කියලා :D :D :D

      Delete
  27. පරෙස්සම හොඳා කොයිකටත්. අපේ තාත්තටත් තියන අවුලක් තමයි ආයුධ යකඩ වගේ දේවල් එක්ක වැඩක් පටන් ගත්තොත් ලේ සොලවාගැනීම.

    ReplyDelete
    Replies
    1. මම මාවම අධි තක්සේරු කරගැනීමේ වරදට දඬුවම ලැබුණා.

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }