පුංචි කතන්දරයක් දෙකක් කියන්න බැරිවුනා කාලෙකින්. වැඩේ කියන්නේ මේකයි. මතකයේ තියන කතා බොහොමයක් 60 + ඒවානේ. ඉතින් කොහොමද ලියන්නෙ. මම කාලෙකට ඉහතදී, වෙනත් නමකින්, මෙවැනි කතා වලට ප්‍රසිද්ධ අඩවියකට සෑහෙන කතා ගණනක් ලිව්වා. ඒත් පස්සේ හිතුනා ඒවා නවත්තන්න ඕනේ කියලා. එයින් තෝරාගත් කතා කීපයක් පසුව ලියන්නම්. කවුරුහරි කිව්වොත් කොපිකළා කියලා, එහෙම කියන අයට පුළුවන් මම ඒ අඩවියේ පාවිච්චිකළ මගේ නමින් ඒ අඩවියට ඇතුළුවෙලා (login) පෙන්වන්න. මොකද දැන් ඒ අඩවියට ඇතුළුවීමට තිබෙන්නේ එදා මා ඇතුළුවූ ක්‍රමය නෙවෙයි. ඒ නිසා මටත් දැන් ඒ නමින් ඇතුළු වෙන්න බැහැ. සමහරවිට අඩවි පරිපාලකට පුළුවන් ඇති.
මොකක්ද ඉස්සරවෙලාම කියන්නේ? මම හමුදාවට බැඳෙන්න කලින් වසර තුනක් පමණ ගුරු වෘත්තියේ හිටියනේ. ඇත්තටම එය හරිම ආසා හිතෙන රසවත් අත්දැකීම් සහිත ජීවිතයක්. රස කියන්නේ රස වෑහෙනවා/පෙරෙනවා/ගෑවෙනවා/පිහදාගන්නවා/ආයෙත් ගෑවෙනවා ආ............ම්................මෝ.................ඕ..................
සියඹලා ගහ
ඕනෙම පාසලක තිබෙන ගුරු විවේකාගාරය එකම රස ගුලාවක්. දැන්නම්, දේශපාලන/තමන් උගන්වන විෂයය අනුව/තම අධ්‍යාපන සුදුසුකම්/මහත්තයා හෝ නෝනා පාසලේ නොවන වෙනත් සුපිරි රැකියාවක නම්/කල්ලිවාදය ඉස්මතු වෙනවා බොහොමයක් තැන්වල. අනේ කාලේ වනේ වාසේ. අපේ කාලෙනම්, ප්‍රාදේශීය ලේකම් තුමාගේ/නඩුකාර හාමුදුරුවන්ගේ/ඩී.එම්.ඕ. මහත්තයාගේ/අධ්‍යාපන අධ්‍යක්‍ෂගේ/පොලීසියේ ඕ.අයි.සී. මහත්තයාගේ/මාර්ග සංවර්ධන ඉංජිනේරු මහත්තයාගේ/ ආදී වශයෙන් නෝනලා ගොඩක් ගුරු මණ්ඩලයේ හිටියා. (ලංකාවේ සුප්‍රසිද්ධ මධ්‍ය මහා විද්‍යාලයක්) අනේ ඒ කවුරුවත් කවදාවත් තමන්ගේ මහත්තයාගේ 'රැස්පොට්' ගුරු මණ්ඩලයේ අනික් අයට පෙන්නන්න ගියේ නැහැ. විදුහල්පතිතුමාට අභියෝග කරන්න ගියෙත් නැහැ. පුදුමාකාර සහයෝගයකින් වැඩ කළේ. පින්තූරේ ගත්තේ මෙතනින්
ඔන්න ඔය කාලේ හිටියා බොහොම 'සිරියා'වන්ත පෙණුමක් තියන ගුරු මහත්මියක්. ඇත්ත වශයෙන්ම නියම ගුරු මාතාවක්, ආදර්ශවත් චරිතයක් ලෙස ඇයව හඳුන්වන්න පුළුවන්. ඉතා විවෘතව ඕනෙම විහිලුවකට ඔට්ටු ඇය, තමන් ඉගැන්වූ විෂයයන්ට වගේම ක්‍රීඩා කටයුතු වලටත් මහත් ඇල්මක් දැක්වුවා. නිවාසාන්තර මළල ක්‍රීඩා උත්සව සංවිධානයේදී, ඇයගේ ක්‍රියාකාරී දායකත්වය සමග හැරෙන්නටවත් ඇයට වඩා තරුණ ගුරුවරියන්ට නොහැකි වුනා. ඒ කාලේදී ඇය අවුරුදු 40 ට වඩා වැඩි වයසක සිටියත්, ස්ථුල ශරීරයකින් යුක්තව හිටියත්, තරුණ කාලයේ (වීශ්ව විද්‍යාලයේදීත්) ක්‍රීඩා කටයුතුවල යෙදීම නිසා, ඉතා ක්‍රියාශීලීව සිටියා. ගුරු වෘත්තියට බැඳෙන්නට පෙර, ඇය උප පොලිස් පරීක්ෂක වරියක් ලෙස කලක් සේවය කර තිබෙනවා. ඒ කාලයේදී ඇය කර තිබෙන නිර්භීත ක්‍රියා, වෙනමම ලිපියකින් ලියන්න ඕනේ. නමුත් අපි බලකර ඇහුවොත් මිසක් කවදාවත් ඇය පොලිස් ජීවිතය ගැන එක වචනයක්වත් කියන්නේ නැහැ. ඇය විවාහවී සිටියේත් උසස් නාවික හමුදා නිලධාරියකු සමග. ඇත්තටම ඇය රූමත්. උප පොලිස් පරීක්ෂක කාලයේදී නිළ ඇඳුමින් ගත් ඡායාරූපයක ඉන්නේ, අද දේශපාලනයේ ඉන්න ජනප්‍රිය සිනමා නිළියකගේ මුහුණට 99% ක් සමාන පෙණුමකින්.
පාසලේ සඳුදා උදේ රැස්වීම තියනවනේ, සිංහලෙන් කියනවනම් අර 'එසෙම්බ්ලි' එක. ඉතින් ඒක තියන වෙලාවට ගුරු මණ්ඩලය ඉන්නේ පාසලේ මහ මිදුල අසළ තියන සද්දන්ත සියඹලා ගහ යට. හිතාගන්න එකසිය ගණනකට යට ඉන්න පුළුවන් සියඹලා ගහ කොපමණ විසාලද කියලා. ඒ වගේම ඒ සියඹලා ගහේ මහා විශාල බෙණයක් සෑදී තිබුනා. කාට හරි රිංගන්න තරම් ඉඩක් එහි තිබුනා. එක සඳුදා දවසක උදේ රැස්වීම ආරම්භවීමට ආසන්නයි. අර ටීචර් හරියටම සියඹලා ගහේ කඳ ළඟම හිටගෙන හිටියා. අලංකාරෝක්ති කීමෙහි බිනීමෙහි අති දක්‍ෂ, මගේ පන්ති භාර ගුරුතුමා සහ සිංහල ගුරුවරයා, එකලත් සේවයේ යෙදී සිටියා. එතුමාගේ අතිජාත මිත්‍රයකු වන, විනෝදයට බොහොම බර, එම විදුහලේ ලෝහ වැඩ විෂයය භාර ගුරුතුමා සියඹලා ගහ අසළට එනවිට දුටුවා, අර ටීචර් හිටගෙන ඉන්නවා. ඉතා ඕනෑකමින් ඒ පැත්ත බැලූ එතුමා අර සිංහල ගුරුතුමාට කිව්වා, 'මම මේ බැලුවේ සියඹලා ගහ කෝකද කියලා' කිව්වා. එවිට සිංහල ගුරුතුමා උත්තර දුන්නා, 'නෑ ඉතින් බෙණේ දිහා බැලුවනම් කියන්න පුළුවන් සියඹලා ගහ කෝකද කියලා' යනුවෙන්. අර ටීචර් එයින් හාස්‍ය හා උපහාස රසය වින්දා මිස අමනාපයක් වුනේ නැහැ. මේ උතුම් ගුරු මාතාව, විශ්‍රාම ලබා කෙටි කලකට පසු මේ මෑතකදී අභාවප්‍රාප්ත වුණා.
මෙන්න ඊළඟ කතාව. මේ කතාවටත් අර ලෝහ වැඩ ගුරුතුමා සම්බන්ධයි. ගුරු වෘත්තියේ අද වනවිට වැඩිපුරම ඉන්නේ කාන්තා පක්‍ෂයනේ. මම හිතන්නේ අනාගතය වනවිට ගුරු වෘත්තීය සම්පූර්ණයෙන්ම කාන්තාවන්ගේ වෘත්තියක් වෙන්න ඉඩ තියනවා. ඔන්න එක දවසක් උදේ විදුහල පටන්ගන්න කලින් ගුරු විවේකාගාරයේ අල්ලාප සල්ලාප වාරය පැවැත්වෙමින් තිබුණා. ඒ දිනවල ගුරු මණ්ඩලයට අලුත් අය කීප දෙනෙක් එකතුවුනා. ඒ සෑමදෙනාම ගුරු මෙනෙවියෝ. විශ්‍රාම යන්න ආසන්න වයසේ හිටි එක ගුරුවරයෙක් අර ලෝහ වැඩ ගුරුතුමාට කිව්වා, 'අනේ මන්දා, මේකේ ඉන්නෙත් වැඩිහරියක් ගෑණු. අළුතෙන් එන්නෙත් ගෑණු. හොඳ කොල්ලෙක් දෙන්නෙක් එන්නේ නැහැනේ' කියලා. එතකොට ලෝහ වැඩ ගුරුතුමා උත්තර දෙනවා, 'මම දන්නේ නැහැනේ තමුසේ ඒ ජාතියේ කියලා'
මේ කතාවනම් මගේ යාලුවෙක් ගැනයි. මේ කතාවේ ඉන්න පාත්‍ර වර්ගයා ඔක්කොම අද මම වගේම විශ්‍රාම සුවයෙන් ඉන්නවා. මගේ යාලුවෙක් ඉන්නවා ගාමිණී කියලා. අනේ ගාමිණී කිව්වට එයාව කවුද කියලා අල්ලගන්න බැහැ. ඒ නිසයි බය නැතුව නම කිව්වේ. ගාමිණී ටිකක් අමුතු චරිතයක්. එයාට තිබුනා අමුතු විදිහේ රෝගයක්. ඒ තමා චිත්‍රපටියක් හෝ නාට්‍යයක් බලන්න ගියාම (ඒ කාලේ රූපවාහිනිය තිබුනේ නැහැ) එහි ඉන්න නළුවකු හෝ නිළියක් වරින් වර විවිධ ඇඳුම් වලින් ආවොත්, ඒ එන්නෙත් එයාම තමයි කියලා හඳුනාගන්න බැරිවීම. උදාහරණයක් ලෙස, මේ දැන් තිබෙන ජවනිකාවේ ගාමිණී ෆොන්සේකා ඉන්නවා අමුඩයක් ගහගෙන කුඹුරක් කොටමින්. ඊළඟ ජවනිකාවේදී ගාමිණී ෆොන්සේකා කලිසම් කමිස ඇඳලා ආවොත් අර අපේ ගාමිණී, හෝල් එකේ පේළි දෙක තුනකට ඇහෙන්න තරම් හඬින් අහනවා අපි කාගෙන් හරි, 'ඒ කවුද' කියලා. මේකා තනියම චිත්‍රපටි බලන්න යන්නෙත් නැහැ. ඒ මදිවට අපෙත් නම්බුව කනවා. මොකද අර ප්‍රශ්නය අහපුගමන් ළඟ ඉන්න වෙනත් ප්‍රේක්ෂකයන්ට හිනා යනවා. වස ලැජ්ජාවයි. ඔන්න ඉතින් මේකාට කනට කරලා කියනවා, 'යකෝ ඒ ගාමිණී ෆොන්සේකාම තමයි කට වහගෙන බලාගෙන හිටු' කියලා. මොන විකාරද, තව ටිකකින් ගාමිණී ෆොන්සේකා සරමක් ඇඳගෙන ආවනම්, මේකා ආයෙත් මහා හඬින් අහනවා, ඒ කවුද කියලා.
(පසු කාලයකදී මෙයා යාළුවෙලා හිටිය ගෑණු ළමයා එක්ක මේ කතාවට අදාළ අවිස්සාවේල්ලේ ඉම්පීරියල් සිනමාහලට ගිහින් තියනවා චිත්‍රපටියක් බලන්න. එදා මිනිහාට අමතක වුණා ළඟ ඉන්නේ කවුද කියලා. අර විදිහටම මහා හඬින් ප්‍රශ්නේ ඇහුවලු. කෙල්ල නැගිටලා යන්න ගිහින්. ලස්සන වැඩේ කියන්නේ ගාමිණීමයි මට කිව්වේ හරි වැඩේනේ උනේ මචං කියලා)
මගේ යාළුවෙක් ඉන්නවා හපුආරච්චි කියලා. හපුආරච්චි 'වලිසිංහ' කෙනෙක්. එකවරක් හපුආරච්චි ඇතුළු අපි කොල්ලෝ හත් දෙනෙක් අවිස්සාවේල්ලේ ඉම්පීරියල් සිනමා ශාලාවේ ගැලරියේ ගෝරියකට පැටලිලා, මුළු ගැලරියටම ගහලා, පොලිස්කාරයන්ගේ කකුල් යටින් රිංගලා, දුවලා බේරිලා ගෙදර ආවා. ඔන්න මේ කියන දවසේ හපුආරච්චි, ගාමිණී, විජේකෝන්, විතානගේ, සහ මම තමයි ගිහින් හිටියේ පිචර් බලන්න. ඔන්න ගාමිණී පළමුවැනි වරට ප්‍රශ්නය ඇහුවා. මම උත්තර දුන්නා. දෙවෙනි වර ඇහුවා. විජේකෝන් උත්තර දුන්නා. තුන්වෙනි වරට ඇහුවා. හපුආරච්චිගේ පුෂ්පය විකසිත වුණා. මොකද ඒ වෙලාවේ රසවත් ජවනිකාවක් දිග හැරෙමින් තිබුණේ. චිත්‍රපටිය 'කස්තුරි සුවඳ'. 'ඒ ඉන්නේ තොපේ අම්මා' කියලා මහා හඬින් හපුආරච්චි උත්තර දුන්නා. 'හරි හරි උඹලා ඉතින් සියල්ල දත් නේ, කියමින් ගාමිණීත් මහ හඬින් දොස් කියන්න පටන් ගත්තා. අනික් ප්‍රේක්ෂකයෝ කෑ ගහන්න පටන්ගත්තා, 'ඕයි ඕයි, මේ, දාගන්න ගෝරියක් එලියට ගිහින් දාගන්නවා' කියලා. අපිටත් අමතක වුනා හෝල් එකේ ඉන්නේ කියලා. මම 'කෑ ගහන්න එපා යකෝ' කියනකොටත් චිත්‍රපටිය නවතා ශාලාවේ ලයිට් දැම්මා. කළමනාකරු ඇවිත් කිව්වා වහාම එළියට යන ලෙස. එළියට ඇවිත් වාදය දිගටම කරමින් ටික දුරක් පාරදිගේ ඇවිදගෙන ආවා. වෙලාව රෑ 8 ට විතර ඇති. කියව කියවා පාරේ ඇවිදගෙන එමින් ටික වෙලාවකින් බලනකොට අපි කිලෝමීටර් 7 ක් දුර ගෙවමින්, අපි ඔක්කොගෙම ගෙවල් තිබුන දෙහිඕවිට දක්වාම පයින් ඇවිත්.
ඒ කාලේම මොකක් හරි චිත්‍රපටියක් බැලුවා අපි කට්ටියම, මට ඒ චිත්‍රපටියේ නම හරියටම මතක නැහැ. 'සාරංගා' වගේ නමක්. හැබැයි දෙයියන්ගේ පිහිටෙන් එදා ගාමිණීගෙන් කිසිම කරදරයක් වුනේ නැහැ. දවස් දෙක තුනකට පස්සේ ගාමිණී මට කියනවා, 'මචං අර එදා බලපු ෆිල්ම් එකේ මේන් ඇක්ට්‍රස් වගේ කෙල්ලෙක් ඉන්නවා, උඹට නම් නියමෙට මැච් වෙනවා. තල්දූවේ ඉන්නේ' කියලා. මම ඇහුවා 'මොන ඇක්ට්‍රස්ද බං' කියලා. ඇයි බං අර 'නුරානි සිගේරා' හෑ ..................?????? මොකා? මට එහෙම නමක් තියන සිනමා නිළියක් මතක නැහැ. පොඩ්ඩක් කල්පනා කළා. හුටා.................මොකක්ද මේකා මේ කියලා තියෙන්නේ, 'ශිරානි නුගේරා'
ටටා..........................
අර වගේ එකෙක් එක්ක චිත්‍රපටියක් බලන්ඩ යන එකත් එපා කරපු වැඩක්.. !
ReplyDeleteඒ උනාට පස්සේ දවස්වල මතක් කරලා හිනා වෙන්ඩත් තියෙන්නේ ඔය වාගේ දේවල් තමා :)
මමත් ඔයාගේ අදහසට එකඟයි. ඒ දවස්වල මේකා කපාගෙන යන්න හිටියත් කොහෙන් හරි ඇවිත් ඇලෙනවා. දැන්නම් හරිම මිහිරි මතකයනන්.
Deleteහා........ නියම කතන්දර සැට් එකක් නෙව! බෙනේ කතන්දරය තමයි හොඳම.
ReplyDeleteගුරු කතන්දර ටිකත් හමුදා කතා අස්සෙම දාන්න
මතක්වෙන මතක්වෙන විදිහට ලියන්නම්කො.
Deleteහමුදා කතා ??? ඒ මොනවද ඒ ?
Deleteමේකම පෙරලල බලහං. ඔටුවගේ පට්ට කතාවක් ඇති..
Deleteපුදුමයි අර ගුරුතුමියට අර වගේ කතාවක් කිව්වමත් හිනාවෙල නිකාහිටිය කිව්වම :D
ReplyDeleteඒවා විවෘත මනසින් කරන විහිලු මිසක්, කාමුක යටි පරමාර්ථ නැති විහිලු බව, විහිලුව කියන්නාත්, අසන්නාත් දෙන්නම දන්නවා.
Deleteපෝලනී මන්සේකා, ෆෝමිනි ගන්සේකා එහෙම දන්නවද දන්නේ නෑ ගාමිණි.
ReplyDeleteඅර ටීචර් නම් ෆෝලනී මන්සේකා වගේමයි. කිසිම වෙනසක් නැහැ.
Deleteමමනම් හරි ආසයි ඔය ගාමිණි වගේ චරිත වලට..... පිචර් වල නැති ආතල් නේ දෙන්නේ
ReplyDeleteතව පොඩ්ඩෙන් ආතල් එකක් හම්බවෙන්න තිබුනා එදා අනික් ප්‍රේක්ෂකයින්ගෙන්.
Deleteමේවා ඉදහිට මතක් වෙන එක වයසට ඇති වෙන ලෙඩක් වෙන්න ඇති. නැත්නං අනේ කොච්චර සොයි බෙනේ කතන්දරේ.. හැක්
ReplyDeleteවයස? හිටුකෝ දවසක මම පෙන්නන්න වයස.
Deleteයකෝ අම්මපා ඔන්න දැන් තමයි තව එකක් මතක්වුනේ. අවුරුදු 45 ත් පැනපු සමහර ටීචර්ලා උදේ ඉස්කෝලෙට ආවම කියනවා උදේට ළමයි ඉස්කෝලේ යවන්න සූදානම් කිරීම, මහත්තයාට වැඩට යන්න කෑම එක හදාදීම, ආදී ගෙදර උදේට තියන යුද්දේ දන්නවනේ.
ඉතින් ඔය ටීචර්ලා සමහරු කියනවා 'තුන වදිනකොට නැගිට්ටේ අනේ' කියලා. දවසක් අර ලෝහ වැඩ ගුරුතුමා කියනවා, 'ඉතිං එක වදිනකොටත් නැගිට්ටේ නැත්නම් ඔයාලගෙන් ඇති වැඩක් නැහැනේ' කියලා. අර ටීචර්ට තේරුනේ විනාඩියකට පස්සේ. හුහ්..ගාලා ගස්සාගෙන යන්න ගියා.
එක වදිනකොටත් නෙවෙයි ඒක වදිනකොටත් කියලා නිවැරදි වියයුතුයි.
Deleteඅනේ අම්මාපල්ල වැඩිහිටියෝ කියන කතාද මෙව්වා , ඊටත් ගුරුවරු
Deleteඇයි ගුරුවරු හැදිලා ඉන්නේ ඉටිපන්දම් වලින්ද?
Deleteහැක් හැක්.. එක උස්පිල්ලෙන් කතාව වෙනස් උනා නෙව.. ඔය තියෙන්නේ අපිම අනින්න ඕන මේකගේ පස්සට මොකක් හරි මතක් වෙන්න..
Deleteඅතීතේ මතක් වෙනකොටත් සතුටුයි නේද විචාරකතුමා??වයසට යන්න යන්න ඒ කාලෙ කරපුව මතක් වෙනවා වැඩියිලුනේ
ReplyDeleteකියලා වැඩක් නෑ අනේ.
Deleteමේවා නම් අර තුවක්කු බෝම්බ වලට වඩා රහම රහයි.. ඒත් ඉතින් වැඩි දෙනෙක් කැමති අර වගේ ඒවටනේ.. සොමියට වඩා වලියට බර ජාතියනේ..
ReplyDeleteමට තදවුනොත් ඔන්න ලියාගෙන ලියාගෙන යනවා අරවා ඕනෙ කැකිරි වත්තකින් යන්න කියලා.
Deleteතව ඒව තියනව නම් ලියන්න... :D
ReplyDeleteවර්ඩ් ප්‍රෙස් එකේ කමෙන්ට් දාපු ගමන් පෙන්නන්නෙ නැද්ද. කමෙන්ට් දෙකක් දැම්ම. ඒව කොහෙ ගියා ද නෑනෙ. බෙනයක් අස්සට වත් ගියා ද කියල මං කල්පනා කලෙ.. :) අර කලින් ආපු දෝෂය නම් ආවෙ නෑ දැන්.
මොකක්හරි කමෙන්ට්ස් දැමීමේ අපහසුවක් තියන බව මටත් දැනුනා. සියලුම උත්සාහ දරනවා එය නිවැරදි කිරීමට.
Deleteතවත් කතා තියනවා. ඒවා හිතෙන්ම සංස්කරණය කරන්න ඕනේ. වචන තෝරාගැනීමේදී බොහොම පරිස්සම් වෙන්න ඕනේ.
ෙම් කතා අවුලක් නැත (කමන්ගෙ ළමයි කවදා හරි බැලුවත් අවුලක් නැත ඒකට බයේෙන අැඹරී අැඹරී හිටිෙය) තව ටිකක් සැරට ලියුවත් සීමාව (තමන්ම තබාෙගන අැති) පණින්ෙන නැත තව ලියන්න දිරි
ReplyDeleteබොහොම ස්තුතියි මා දිරිමත් කිරීම පිළිබඳව. ඉදිරියේදීත් මේ සීමාව තුළ සිට ලියන්නම්.
Deleteඅතීත මතක කවදත් සොදුරුයි නේ.. අපෙත් ඉස්කෝලේ හිටියා අර වගේ හලලා යන්න ඕන එකෙක්.. ඒත් වැඩේ කියන්නේ ඒකා කොහෙන් හරි ආයෙම සෙට් වෙනවනේ..
ReplyDeleteඔය වර්ගයේ අය නැතුවහමත් කිසි ජොලියක් නැහැ. නේද.
Deleteවර්ඩ්ප්‍රෙස් දෝෂය තවම තියනවා වාගේ. ඒකෙ අන්තිමට //නිර්නාමික said:
ReplyDelete2014 ජනවාරි 23 දින 23:29 ට,
නිර්නාමික said:
2014 ජනවාරි 23 දින 23:31 ට// කමෙන්ට් දෙකම දැම්මේ මං. ඒත් ඒවා වැටිලා තියන්නේ ඇනෝ විදිහට නෙ. දැන් ආයෙත් අර කලින් අවුල එනවා. හ්ම්.. ඔන්න ඔහේ ඕන එකක්. :) මේකෙත් ස්පෑම් එක බලන්න පොඩ්ඩක්.
මම log out වෙලා ඇනෝ කමෙන්ට් එකක් ගහලා බැලුවා. ඒක වැටුනා. නමුත් තවමත් මොකක්හරි ප්‍රශ්නයක් තියන බව පෙනෙනවා. ඔයාගේ කමෙන්ට් වල නම ලියන්න ඕනේ තැන නිර්නාමික කියලා නොලිව්වොත් anonymous කියන එක තමයි පෙන්වන්නේ.
Deleteඅවිස්සාවේල්ලෙ ඉඳල දෙහිඕවිටට පයින් යන්න තරං වාදෙ ගිය එකේ අර මැනේජරය කට්ටියව එළියට දාපු එකම තමයි හොඳ. නැත්තං ඒ මිනිහට හෝල් එක වහල ගෙදර යන්න වෙන එකක් නෑ.
ReplyDeleteඅර තුවක්කු කතා අස්සෙ මේ කතා ටිකකුත් ඔබල දාන්න.
එලෙව්වේ නැත්නම් එදා ප්‍රේක්ෂකයන්ගෙන් ගුටි කනවා. ඒ මදිවට අපි මහ හඬින් වාද කරමින් පාරදිගේ එනකොට බල්ලෝ බුරාගෙන පනිනවා, ගෙවල් වලින් ටෝච් ගහලා බලනවා (දැන් වගේ පාරේ ලයිට් කණු තිබුනේ නැහැ හැම තැනම) මොක්කුද මේ පිස්සෝ කියලා.
Deleteඅර ටීචර් හොද හික්මීමක් සහ අන්ඩර්ස්ටෑන්ඩින් එකක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ ,, මේ වගේ කතා නියමයි
ReplyDeleteඇත්තටම ඒ ගුරු මණ්ඩලයේ බොහොම දෙනෙක් මේ වගේ විවෘත විහිලු බොහොම සැහැල්ලුවෙන් බාරගත්තා. තවත් කතා තියනවා. ඔයාලා වගේ අය නරක් වෙන නිසා ලියන්න බැහැ.
ReplyDeleteඅනේ විචාරක තුමෝ ඒවටනෙ අපි කැමතිම හෙහෙ හෙහෙ
Delete