27 March 2014
22 March 2014
කළකට පසු මහගෙදර ගියෙමි
කාලෙකට පස්සේ මහගෙදර යන්න ලැබුණානේ මේ ඊයේ පෙරේදා දවසක. ගියාට පස්සේ තමයි මතක්වුණේ පින්තූර ටිකක් ගත්තනම් ඔබ හැමදෙනාටත් පෙන්වන්න තිබුණා කියලා. ඒත් ඉතින් කැමරාවක් නොතිබුන නිසා ජංගම දුරකථන කැමරාවේ පිහිට පැතුවා. ඒ නිසා බොහොමයක් පින්තූර ගුණාත්මක බවෙන් අඩුයි. ඒ වගේම තමයි එදා සිදුවූ සෑම දෙයක්ම පින්තූරයට නගන්නත් අවස්ථාව ලැබුණේ නැහැ. මතක්වුන වෙලාවට ගත්ත පින්තූර කීපයක් තමයි මේ ඉදිරිපත් කරන්නේ. එහෙම වෙන්න හේතු කීපයක් තිබුණා. සංවත්සර සභාව පැවැත්වෙන අතරතුර නැගිට නැගිට පින්තූර ගන්න බැහැනේ. ඒ වගේම බොහොම කාලෙකට පස්සේ හම්බවුන 'ආදිපාද'ලා (පරණ කකුල්) අතට අත දෙනවා, බඩ ඉඹිනවා, බදාගන්නවා, උම්මා දෙනවා, විස්තර අහනවා, එක වැඩයි. ඔක්කොමලත් එක්ක එක වචනයක් හෝ කතා නොකරත් බැහැ. ඒ නිසා පින්තූර ගැහිල්ලට දෙවැනි තැන තමයි දෙන්න වුණේ.
මෙන්න මේ වැඩේට තමයි මහගෙදර ගියේ. පින්තූරයේ නම් කීවෙනි සංවත්සරයද කියලා පෙනෙන්නේ නැහැ. එදා තිබුණේ 35 වැනි සංවත්සරය.
දැන් ඔය පින්තූරයේ තියන බැනර් එකේ පහළින්ම තියෙන්නේ, මා ඔය ගඟ අද්දර කියලා නේ. හිතන්න එපා අපි මා ඔය අයිනේ ගල් උඩ ඉඳගෙන සංවත්සරය පැවැත්තුවා කියලා. 'ගඟ අද්දර' කියන්නේ අපේ මහගෙදරට අයත් අක්කර සිය ගණනක් විශාල භූමියෙන් එක කොටසක්. ඒ ප්‍රදේශය හඳුන්වන නම තමයි ගඟ අද්දර. අපේ මහගෙදර ඉඩමේ එක මායිමක් තමයි මා ඔය.
මේ දෙන්නා තමයි බියුගල් හඬවා අමුත්තන් පිළිගැනීම කළේ.
මේ දෙන්නා ටිකක් මිටියි වගේ පෙනෙන්නේ මගේ අති විශිෂ්ඨ කැමරා ශිල්පයේ දක්ෂකම නිසා.
මේ දෙන්නා විතරක් නෙවෙයි අපේම තවත් පිරිසක් පිළිගැනීමේ කාර්යයට සූදානම්ව හිටියේ මෙහෙමයි.
සංවත්සර සභාව තියන්න විශේෂ එළිමහන් කූඩාරමක් ඉතා අලංකාරව සකසා තිබුණා. ඇත්තෙන්ම ශ්‍රවනාගාරයේ නොපවත්වා මෙසේ එළිමහනේ පැවැත්වීම කාටත් බොහොම පහසුවක් වුණා.
අපේ මහගෙදර භූමිය තුළ ඉස්සර පුංචි ජලාශයක් තිබුණා. අදවනවිට එය ඉතා අලංකාර කුඩා වැවක් ලෙස සංවර්ධනය කර තිබෙනවා. මේ පින්තූරය මගින් වැවේ නියම ලස්සන පෙනෙන්නේ නැහැ. ඈතට යන්න මට වෙලාවක් නැහැ.
ලොව පුරා සිටින ඔබෙන් බොහෝ දෙනෙක් ජීවිතයේ එක්වරක් හෝ එළිමහන් සිනමාවක චිත්‍රපටියක් නරඹා ඇති.
මේ අපේ මහගෙදර එළිමහන් සිනමාහල.
ඒ කන්දත් අපේ තමයි - මේ කන්දත් අපේ තමයි. අර ඈත පෙනෙන කන්ද දක්වා අපේ මහගෙදර ඉඩම විශාලයි. දන්නවද වැඩක්, ඒ කන්ද පාමුල තියෙන රක්ෂිත වනාන්තරයේ ගෝන්නු, මුවෝ, එහෙමත් ඉන්නවා. අපේ අයගේ ආරක්‍ෂාව යටතේ.
රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් බොනිෆස් පෙරේරා සමුළුව අමතමින්
එදා යුදබිමේ මහ සෙනෙවියෝ පැරණි මතකය අවදි කරමින්
කිසිකලෙක නොසිඳෙන අභිමානය. විශ්‍රාමික උපකරණ පාලක සැරයන් මේජර් ජයතිලක
එදා එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට අලිමංකඩ අල්ලාගන්නට ඉඩනොදී සටන් කර ජයගත්, එමෙන්ම හසලක වීර ගාමිණී කුලරත්නගේ අණදෙන නිලධාරියාවූ, මේජර් ජෙනරල් සනත් කරුණාරත්න
පින්තූරයක් ගන්නවට එතුමා එච්චර කැමති වුණේ නැහැ.
අපි තරුණ නිළධාරීන් කාලයේ, අපිට ගුරුහරුකම් දුන් මේ සැරයන්වරු, සැරයන් මේජර් වරු දැක්කම, වැඩිහිටි නෑදෑයෙක් දැක්කා වගේ. එදා අපිට සමහර වෙලාවට මෙයාලව පෙන්නන්න බැහැ. අපේ වැරදි කියනවා අණදෙන නිළධාරි තුමාට. අපි මෙයාලට හදලා තිබුණ, හොඳ නම් දෙකක් මට මතක් වුණා. වම් පැත්තේ ඉන්න එක්කෙනාට අපි කිව්වේ 'දුෂ්ඨ බුද්ධි' කියලා. අනික් එක්කෙනාට කිව්ව නම මෙතන ලියන්න බැහැ. මම ඒ නම් දෙක මතක් කළාම, 'අම්මේ......... සර්ට ඔව්වා තවමත් මතකද' කියලා ඇහුවා.
පරණ කතන්දර කොච්චර කිව්වත් ඉවරයක් නැහැ. සොඳුරු අතීතයේ මිහිර, මධු විතකින් උණුසුම් වූ මොහොතක
සංගීතය නැති හමුදා ජීවිතය පරිප්පු නැති හෝටලය වගේ. එදා අයයි මෙදා අයයි සංගීතයේ මිහිර වින්දේ මෙහෙමයි.
කදවුරේ අලංකාරය වගේම සැප පහසුකම්ද විශාල ලෙස වර්ධනය වී තිබෙනවා. මේ තියෙන්නේ සැරයන් වරුන්ගේ නිවස්නය.
රෙජිමේන්තු මූලස්ථාන සංකීර්ණයේ පිවිසුම
කඳවුරු භූමියේ තවත් දසුනක්
මෙයාව බලන්නත් අමතක කළේ නැහැ. මම වගේම මෙයත් වයසට ගිහිල්ලා වගේ මට පෙනුණේ.
කාලය ගෙවෙනවා ලෝකය වෙනස් වෙනවා. ඇත්තටම ඒ වෙනස්වීම කාටවත් වලක්වන්න බැහැනේ. හමුදාව සම්බන්ධ එක්තරා කියමනක් තියනවා. සොල්දාදුවා කිසිදිනක මියයන්නේ නැත. කාලීනව වියැකී යනවා පමණි. මේ උත්සවයට ගියාම, නිළ ඇඳුමෙන් ඉන්න සොල්දාදුවෝ මට පිටුපා ඉන්න අවස්ථාවලදී, මට මතක්වුණා එදා මා සමග එකට සිටි අද ජීවතුන් අතර නැති සොල්දාදුවෝ. අර ඉන්නේ එයාවත්ද කියලා හිතුනා. නිළ ඇඳුමෙන් ඉන්නකොට හැම සොල්දාදුවාම එක වගේනේ. ජීවිතේ හැටි ඔහොම තමයි නේද?
මේ පහළින් ඉන්නේ, එදා තරුණ සොල්දාදුවන්ව සිටි, අද සොල්දාදුවන්ට නායකත්වය දෙන, පළපුරුදු, ජ්‍යොෂ්ඨ කොමිෂන් නොලත් නිළධාරීන් දෙදෙනෙක්.
රෙජිමේන්තු අධිපති තුමාගේ දැක්ම වී තිබෙන්නේ, 2016 වනවිට, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, ශ්‍රී ලංකා යුද හමුදාවේ විශිෂ්ඨතම රෙජිමේන්තුව බවට පත්කර ගැනීමයි. ඒ සඳහා, සියල්ලට පළමුව විනය මූලික කරගත්, දැවැන්ත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. ඒ වැඩපිළිවෙලට, අපිත්, අපේ ආශිර්වාදය සහ දායකත්වය පිරිනමන බව, කඳවුරෙන් එන්නට පෙර කියා ආවා.
Labels:
එදිනෙදා දැනුම
,
ජීවිත සටහන්
,
විශේෂ
,
හමුදාවේ කතා
16 March 2014
දුර්ලභ ඡායාරූප එකතුවක්
අපේ ගමේ විහාරස්ථානයේ පිහිටි ස්වභාවික ගල් පර්වතයක, පොළොන්නරුව ගල් විහාරයේ සැතපෙන පිළිමයේ අනුරුවක් නෙළමින් පවතිනවා. මෙය තරමක් දුෂ්කර ක්‍රියාවක්. පිළිමය නෙලීම සඳහා, යටත්පිරිසෙයින් අවුරුදු දෙකක පමණ කාලයක් ගතවනු ඇතැයි ගණන් බලා තිබෙන අතර, ඒ සඳහා රුපියල් එක්කෝටි විසිපන් ලක්ෂයක් (රු 12,500,000) වැය වනු ඇතැයිද ගණන් බලා තිබෙනවා. ප්‍රදේශවාසී අපට පමණක් ඒ බරපැන සොයාගැනීම අපහසු නිසා, දානපතියන්ගේ ආධාර සහ රාජ්‍ය අනුග්‍රහයද ලබාගැනීමට අදහස් කරනවා.
ඔබෙන් බොහෝ දෙනෙකු දන්නවා ඇති දැනට ලංකාවේ ඉදිවෙමින් පවතින විශාලතම ශෛලමය සමාධි ප්‍රතිමාව, කුරුණෑගල, රම්බඩගල්ල, මොනරගල්ල, ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින බව. අපේ පන්සලත් පිහිටා තිබෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේමයි. මෙහි ඉදිකෙරෙන ප්‍රතිමාවේ විශේෂතා කීපයක් තිබෙනවා. රම්බඩගල්ල ප්‍රදේශයේ ඉදි කෙරෙන්නේ සමාධි ප්‍රතිමාවක්, අපේ පන්සලේ ඉදිකෙරෙන්නේ සැතපෙන පිළිමයක්. රම්බඩගල්ල ප්‍රදේශයේ ඉදිකෙරෙන ප්‍රතිමාව නෙළන්නේ ඉන්දීය ශිල්පීන් පිරිසක්. අපේ පන්සලේ ප්‍රතිමාව නෙළන්නේ, ඉන්දියාවේදී, ප්‍රතිමා නෙළීමේ විශේෂ උපාධි පාඨමාලාවක් හැදෑරූ, අපේම සිංහල ශිල්පියෙක්. තවමත් තරුණවියේ සිටින ඔහුගේ විශ්මිත නිර්මාණ රැසක් දැකීමෙන් අනතුරුවයි, මේ සඳහා ඔහුව තෝරාගෙන තිබෙන්නේ. සැතපෙන පිළිම සෑහෙන ප්‍රමාණයක් මෑතකදී පවා ඉදිවී තිබුණත්, ශෛලමය සැතපෙන පිළිමයක් නෙළීම කිසිදු තැනක මෑත භාගයේදී සිදුවී නැහැ. එයත් විශේෂත්වයක්.
මේ පිළිමය නෙළීමේ කාර්‍යය ආරම්භ කිරීමත් අති දුෂ්කර ක්‍රියාවක් වුණා. අපේ පන්සල පිහිටියේ කන්දක. එහි ගල් පර්වත සහ පැරණි විහාරයක් තිබුණේදැයි සැක සිතෙන ලක්ෂණද තිබෙනවා. මේ නිසා මුලින්ම මේ පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ලිඛිතව දැන්වූ අතර එහි නිළධාරීන් පැමිණ සම්පූර්ණ භූමිය පරීක්‍ෂාකර පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති කිසිවක් නැති බව තහවුරු කළා. ඉන් අනතුරුව පිළිම ගෙය සහ අවට භූමියේ නිර්මාණ කටයුතු සඳහා අවශ්‍ය සැළසුම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සැළසුම් ශිල්පීන් විසින් කරනු ලැබුවා.
දුෂ්කරම කාර්යය වුණේ මෙම පිළිමයේ නිර්මාණ කටයුතු සඳහා පොළොන්නරුව ගල් විහාරයේ සැතපෙන පිළිමයේ මිණුම් සහ විවිධ කෝණ ගණනාවකින් සමීප ඡායාරූප ලබාගැනීමයි. මේ සඳහා පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජෙනරල් වරයාගේ ලිඛිත අවසරයක් ලබාගැනීමට සිදුවුණා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ, පොළොන්නරුව ගල් විහාරයේ සැතපෙන පිළිමයේ මිණුම් ලබාගත් අතර, අපේ පන්සලේ පිළිමය නෙලන ශිල්පියා විසින් ඉල්ලාසිටි පරිදි විවිධ කෝණ වලින් ඡායාරූප 123 ක් ලබාගත්තා. පොළොන්නරුව ගල් විහාරයේ සැතපෙන පිළිමය අඩි 46 ක් දිගයි. අපේ පන්සලේ නෙළන ප්‍රතිමාවේ දිග අඩි 30 යි.
මේ පින්තූර ගැනීම මටත් අමුතු අත්දැකීමක් වුණා. ප්‍රතිමාවට අගෞරවයක් හෝ හානියක් නොවන පරිදි, පින්තූර ලබා ගැනීම සඳහා, මට පැය තුනක් පමණ ගතවුණා. ඉතින් එසේ ලබාගත් පින්තූර වලින් සමහරක්, ඔබටත් පෙන්වන්න අදහස් කළේ, හැමදෙනාටම මේ ආකාරයට පින්තූර ලබාගන්න ඉඩ නොලැබෙන නිසයි. පින්තූර බලා ඔබේ අදහස් දක්වන මෙන් කාරුණිකව ඉල්ලනවා.
එදා අපේ ශිල්පීන්ගේ නිර්මාණ හැකියාව කොතරම් ශ්‍රේෂ්ඨද යන්න, මේ පින්තූර වලින් අපිට ඉතා පැහැදිළිව පෙනෙනවා. අද අපේ පන්සලේ පිළිමය නෙලන්නේ, නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින්. රුපියල් 2000 ක් වටිනා ග්‍රයින්ඩර් යන්ත්‍ර තලයක්, දින තුනකින් ගෙවී යනවා. නමුත්, එදා මේ පිළිම නෙලන්නට ඇත්තේ කෙබඳු තාක්ෂණයක් උපයෝගී කරගෙනදැයි සිතන්නටවත් අපහසුයි.
අද වනවිට අපේ පන්සලේ නෙළන ප්‍රතිමාවේ අවසන් කර තිබෙන ප්‍රමාණයත් ඔබට පෙන්වන්නට කැමතියි.
ලිපිය අවසන් කරන්නට මත්තෙන්, තවත් අදහසක් කියන්නට කැමතියි. ඔබ සැමදෙනාම පාහේ අසා ඇති, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් අපේ රට පාලනය කල සමයේදී, බ්‍රිතාන්‍ය ජාතිකයකු, පොලොන්නරුව ගල්විහාරයේ පිළිම වලට වෙඩි තබා හානි කල බවත්, ඒ අවස්ථාවේදී කඩා වැදුණු වන අලියෙක්, එම සුද්දාව මරාදැමූ බවත්. මීට කලින් කීප වතාවක් මෙම පිළිම නරඹා ඇතත්, මෙතරම් සමීපව නරඹන්නට නොලැබුන නිසා, මම මේ පිළිම හොඳින් නිරීක්ෂණය කල නමුත්, වෙඩි පහර වලින් සිදුවූ හානි නම් කිසිවක් දකින්නට ලැබුනේ නැහැ. ඒ ගැන මගේ නිගමනය මේකයි. සුද්දා වෙඩි තියන්න ඇත්තේ අවම වශයෙන් 1815 ට පසු සහ 1940 ට වත් පෙර. 1836 දී පමණ තමයි, ලොව මුල්ම රයිෆල් නිපදවා තිබෙන්නේ. එයට යෙදූ පතරොම් වලින්, මෙවැනි ගලකට වෙඩි තැබීම විහිළුවක්. ගලට කිසිම හානියක් වෙන්නේ නැහැ. 1900 පමණ වනවිට තිබුණු රයිෆලයක උණ්ඩයකටවත්, එවැනි හානියක් කරන්නට බැහැ. ඒ නිසා සුද්දා නිකං සවුත්තු වුණා විතරයි.
13 March 2014
මගේ පුස්තකාලයෙන් - A Glimps from My Library
මගේ පුස්තකාලයෙන් තවත් පොතක් ඔබට හඳුන්වාදෙන්නට සිතුනා. කාලීනව මෙවැනි පොත් ඔබ වෙත හඳුන්වා දෙන්නේ ඔබේ කියවීමේ රුචිය සහ දැණුම වර්ධනය කිරීමේ අරමුණින් යුක්තවයි. මේ පොත ඉතා අගනා ඓතිහාසික, සමාජ විද්‍යාත්මක, ආර්ථික, මෙන්ම සංග්‍රාමික තොරතුරු රැසක් හෙළිකරන මහාර්ඝ ග්‍රන්ථ රත්නයක් ලෙස හඳුන්වන්නට කැමතියි. මේ පොතට පාදක වන්නේ අපේ රටේ ඉතිහාසයේ වැදගත් කාලවකවානුවක් වූ මහනුවර යුගයයි. පොත නම් කර තිබෙන්නේ 'සිංහල සමාජ සංවිධානය - මහනුවර යුගය' නමින්. කීර්තිමත් සමාජ විද්‍යාඥයකු මෙන්ම විශ්වවිද්‍යාල ආචාර්ය වරයකු වූ, රැල්ෆ් පීරිස් වියතාණන් විසිනුයි, මෙහි මුල් කෘතිය, 1956 වසරේදී 'Sinhalese Social Organization' යන නමින් රචනාකොට තිබෙන්නේ. බොරලැස්ගමුවේ, කේ.ඒ.ඩී. පෙරේරා ශූරීන් විසින් මෙම ග්‍රන්ථය 1964 වසරේදී සිංහලට පරිවර්තනය කොට තිබෙනවා.
මේ ග්‍රන්ථයේ මා සිත්ගත් තොරතුරු ඔබවෙත හඳුන්වා දෙන්නටයි මා මෙතැන්සිට උත්සාහ කරන්නේ. ඉතා විශාල ග්‍රන්ථයක් බැවින් සියලු විස්තර දැක්වීම ඉතාම අපහසුයි. ඒ නිසා තෝරාගත් පිටු ගණනාවක ඇති තොරතුරු පමණයි ඔබවෙත ගෙන එන්නේ.මුලින්ම බලමු ඒ කාලය සිතියමක්. ක්‍රි.ව. 1796 දි ලංකාවේ පරිපාලන ප්‍රදේශ දැක්වෙන සිතියමයි මේ.
මහනුවර යුගයේදී රජතුමා සහ රාජ්‍යත්වය පිලිබඳ සංකල්පය පැවති ආකාරය මේ පොතේ විස්තර වෙන්නේ මෙහෙමයි.
රජෙකුට සිටි පරිවාර ජනතාව පිළිබඳව කියවෙන මේ විස්තරයෙන් පැහැදිලිවන්නේ කොතරම් සංවිධානාත්මක බවකින් යුක්තව රාජ්‍ය පරිපාලනය සකස්වී තිබුණාද යන්නයි.
උඩරට රාජධානියට අයත් පරිපාලන ප්‍රදේශ ලෙස දැක්වෙන්නේ මෙන්න මේ ප්‍රදේශ
රජ කෙකෙකුගේ අභාවයෙන් පසු අලුතෙන් රජකෙනෙකු පත්කරගැනීම සඳහා එකල අනුගමනය කළ ක්‍රමවේදය පිලිබඳ රසවත් විස්තරයක් මේ පොතේ ඇතුළත් වෙනවා.
ඔබ දන්නවා ඇති ඕනෑම රාජ්‍යයක තිබෙනවා රාජ්‍ය නිලධාරි ජ්‍යොෂ්ඨතා පිළිවෙතක්. (Protocol) මහනුවර යුගයේදී එය සැකසී තිබුන ආකාරය මේ පොතේ විස්තර කෙරෙනවා.
සිංහල මිණුම් ක්‍රම ගැන ඉතා සවිස්තරව උදාහරණ දක්වමින් කෙරෙන විස්තර රාශියක් මේ පොතේ ඇතුළත්. මෙහි දැක්වෙන්නේ එයින් උපුටාගත් පිටු කීපයක්.
රජතුමෙකුගේ පාලන ක්‍රමය හා ව්‍යුහය අනුව පවත්වාගෙන ගිය 'රාජකාරි ක්‍රමය' පිළිබඳව මේ පොතේ කියන්නේ මෙහෙමයි.
මහනුවර රාජධානි සමයේ යුද්ධ හමුදාව සංවිධානය වී තිබුණු ආකාරය ඉතාම ආකර්ශනීය විස්තරයක්. තරමක් දිග විස්තරයක් වුනත් එයින් දැනගත හැකි කරුණු බොහොමයි. ඒ නිසා ඉවසීමෙන් යුක්තව මේ විස්තරය කියවා බලන්න.
රජතුමාට ආදායම් ලැබුනේ කෙසේද යන්න පිළිබඳව ඉතා දීර්ඝ විස්තරයක් තිබෙනවා. එහි ප්‍රධාන කොටස පමණක් මෙහි දක්වනවා.
බොහොම සරල වැටුප් ගෙවීමේ ක්‍රමයකුත් පැවතුනු බව පෙනෙනවා. මෙසේ සරල ක්‍රමයක් ඇතිවන්නට ප්‍රධාන හේතුව 'රාජකාරි ක්‍රමය' බවත් පෙනෙනවා.
මහනුවර රාජධානිය ගැන කතාකරද්දී මහනුවර ඇසළ පෙරහැර ගැන කතා නොකරම බැහැනේ. මීළඟට මා මෙහි දක්වන්නේ ඒ කාලයේ ඇසලළපෙරහැර ගැන ලියවුනු අපූරු තොරතුරු එකතුවක්.
මෙහි එකතැනක තිබෙනවා බොහොම වැදගත් වචනයක්. අද අපේ බ්ලොග් ලියන අය නිතර කියන 'පස්ට' කියන වචනය මේ විස්තරයේ එක තැනක තියනවා. කියවා බලන්න.
මා හිතන්නේ නැහැ මේ පොත ගැන මීටවඩා විස්තර ලිවීම සුදුසුයි කියා. ඉතා දීර්ඝ පරිඡේද ගණනාවක් සහිත මේ මහ පොත කියවා බැලීම සුදුසු බවයි මට කියන්න තියෙන්නේ. මහනුවර යුගයේ ආර්ථික, සාමාජික, ආගමික, රාජ්‍ය පරිපාලන, සංග්‍රාමික, ආදී විවිධ පැතිකඩ ඔස්සේ කෙරුණු දීර්ඝ විග්‍රහයක් මේ පොතේ ඇතුළත් වෙනවා.
Labels:
එදිනෙදා දැනුම
,
ඓතිහාසික කතා
,
කලාව සහ සාහිත්‍යය
,
සමාජ විද්‍යා ලිපි
Subscribe to:
Posts
(
Atom
)