හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

08 March 2014

කාන්තාර කුණාටුව - වෛද්‍ය රුවන් එම් ජයතුංග ගෙන් කෙටිකතාවක්

වෛද්‍ය රුවන් එම් ජයතුංග විසින් රචිත මෙම කෙටිකතාව ඔබේ රසවින්දනය උදෙසා ඉදිරිපත් කරන්නට මා හිතුවා. මීට ටික කලකට ඉහතදීයි වෛද්‍ය ජයතුංග මේ කෙටිකතාව මා වෙත ඒවා තිබුණේ.  ඇත්තෙන්ම මේ කතාව හුදු උපකල්පනයක් වුවත්, එහි යම්කිසි නාට්‍යමය ස්වරූපයක් දකින්නට ලැබෙනවා. යුදබිම ගැන යම් අවබෝධයකින් තොරව මෙවැනි කෙටි කතාවක් නිර්මාණය කිරීම අපහසුයි. මීට වඩා මේ ගැන මා විස්තර කියන්නේ නැහැ. කතාව ගැන ඔබේ අදහස් දක්වන්න. නමුත් වෛද්‍ය ජයතුංග පිළිතුරු දෙන්නේ නැහැ. මට කලහැක්කේ කරුණු පැහැදිළි කිරීම් පමණයි. 
කාන්තාර කුණාටුව 
DESERT SHIELD     වැලි කුණාටුව නිසා කුඩා ගම්මානය දිස් වූයේ බොඳ වී ගිය චිත‍්‍රයක් විලසිනි. සොල්දාදුවන් දුටු කාන්තාවන් හනිකට ගෙවල්වලට වැදුනහ. වැලිපාරේ දක්නට සිටියේ කුඩා ළමුන් සහ මහල්ලන් අතලොස්සකි. සුපරික්ෂාකාරී ලෙස පැමිණි සොල්දාදුවන් ඔවුන් පැමිණි වාහන ගම්මානය අද්දර නවතා පා ගමනින් ගම්මානයට කඩා වැදුණේ දඩ බල්ලන් ගොදුරු සොයන අන්දමටය. සොල්දාදුවන් පැමිණි BMP-1 වර්ගයේ යුධ ටැංකි දෙක දුටු ළමුන් එය බැලීම සඳහා ටැංකිය අසලට ගිය මුත් ඉදිරියේ සිටි හැඩි දැඩි කළු සොල්දාදුවා දැක නැවතුනහ. HMMWE රථ පමණක් වැලි පාර ඔස්සේ නිවාස පේලිය අසලටම පැමිණියේය. ඉදිරි වාහනයේ සිටි සෙබළා නොනවත්වාම වෙඩි තැබිය හැකි විශාල මැෂින් තුවක්කුව සූදානමෙන් අල්ලාගෙන සිටි අතර ඔහුගේ මුහුණේ දාඩිය සමඟ දූවිලි පිරී තිබුණි. ඔහුගේ දෙනෙත් ආවරණයවී තිබුණේ අවු කන්නාඩි යුවලකිනි. ඔහු නොනවත්වාම චුවින්ගම් හැපුවේය. 
  ඉදිරියෙන්ම ගිය සෙබල කණ්ඩායමේ සාජන්වරයා අත M4A1 වර්ගයේ මැෂින් තුවක්කුවකි. ඔහු නියෝග දුන්නේ ලූවිසියානා ප‍්‍රාන්තයේ භාෂා ඌරුවටය. ඔහුගේ දේහය ශක්තිමත්ය; යකඩින් වාත්තු කලාක් මෙනි. ඔහු අසල සිටි සාමාන්‍ය සෙබලා යකඩ නාරස්සනයක් අතේ තබා ගෙන සිටියේ දොරවල් කැඞීමටය. සාජන්වරයාගේ පිටු පසින් සිටි උස සෙබලාගේ පිටේ සවිකොට තිබූ පණිවුඩ හුවමාරු රේඩියෝව සහ ඇන්ටනාව ඈත සිට වුවද දැකිය හැක. පණිවිඩ හුවමාරු යන්ත‍්‍රයෙන් අපැහැදිලි ලෙස පණිවුඩ ගලාගෙන ආවේය. 
  "ටෙඩ්, ඉදිරි නිවස පරීක්ෂා කරන්න." සාජන්වරයා සෙබල ටෙඩ් අහමඞ් ඇතුළු සෙබළුන් තිදෙනාට නියෝග කළේය. සාමාන්‍ය සෙබල ටෙඞ් අහමඞ් ගේ මූලයන් ආරම්භ වන්නේ ලෙබනනයෙනි. අවුරුදු තුනේදී දෙමාපියන් සමග ඇමරිකාවට සංක‍්‍රමණය වූ ටෙඞ් අහමඞ් අරාබි බස ඉංගී‍්‍රසි ඌරුවට කතා කළේය. මේ නිසා සෙබල පිරිසේ භාෂා පරිවර්තක ලෙස ටෙඩ් කි‍්‍රයා කරන ලදී. 
  සාමාන්‍ය සෙබල ටෙඩ් නිවසේ උළුවස්සට මුවාවී තුවක්කු බටයෙන් දොරට තට්ටු කළේය."දොර අරින්න." ඔහු අරාබි බසින් නියෝග දුන්නේය. සෙබළුන් දෙදෙනා තුවක්කු මනාගෙන සිටියහ. 
  "වහාම දොර අරින්න." යලිත් ටෙඩ් අහමඞ් උස් ස්වරයකින් කීය. නාරස්සනය අත තිබූ සෙබලා දොර අසලට ගියේය. 
  "දෙවියන්ගේ නාමයෙන් මොහොතක් ඉන්න." නිවස තුළින් ගැහැණු කටහඬක් ඇසුණි. අනතුරුව දිරා ගිය සරනේරු හඬවමින් දොර හැරුණි. හිස සහ මුහුණ ආවරණය කර සිටි කාන්තාව කතා කළේ බියපත් වූ ස්වරයකිනි. 
  "කෝ හම්සා?" සාමාන්‍ය සෙබල ටෙඩ් අහමඞ් අරාබි බසින් ගැහැනියගෙන් විමසුවේය. 
  "අල්ලා දෙවියන්ගේ නාමයෙන් එහෙම කෙනෙක් ගෙදර නැහැ." ඇය කීවාය. 
  කාන්තාව කී දෙය ටෙඩ් සාජන්වරයාට පරිවර්ථනය කළේය. 
  "ගෙදර පරීක්ෂා කරන්න." ඔහු සෙබළුන් දෙදෙනාට නියෝගයක් දුන්නේය. සෙබළුන් දෙදෙනා සුපරීක්ෂාකාරීව ගෙය තුළට ගියේය. ඔවුන්ගේ දබර ඇඟිල්ලේ මැෂින් තුවක්කුවල ටි‍්‍රගරයට ස්පර්ශව තිබුණේ ඕනෑම හදිසියකදී වෙඩි තැබීමටය. 
  ටෙඩ් කාන්තාවට උළුවස්ස අසලින් මෑත් වන ලෙස කීවේ මෘදුවය. කාන්තාවගේ වියපත්වූ මුහුණ දුටු ඔහුට තම මව මතක් විය. මිචිගන්හි කුඩා නිවසක වාසය කළ ඇය පසුගිය වසරේ දී උගුරේ පිළිකාවකින් මිය ගියාය. ටෙඩ් කාන්තාවට බිය නොවන ලෙස පැවසීය. බියපත්ව සිටි ඇය දොර අසලන් මෑත්ව ගෙවත්තේ තිබූ විශාල ගස යට වාඩිවී හති ඇරියේ ඇදුම රෝගියකු මෙනි. මැදි වයසේ සිටි ඇය ඇඳ සිටියේ කලපාට ඔලොගුවකි. හිස සහ මුහුණ කලු මොට්ටක් කිලියකින් ආවරණය කර සිටි ඇයගේ දෙනෙත් තරමක් විනිවිද පෙනෙන සුදු සේද රෙදි කඩකින් ආවරණයවී තිබුණි. සොල්දාදුවන් දැකීමෙන් බියපත්ව සිටි කාන්තාව දෙවියන්ට යාඥ කළාය. ඉදිරිය ගැන තැකීමක් නොකළ සොල්දාවන් ගෙය වට කළහ. 
  සොල්දාදුවන්ගේ බූට්ස් වලට පෑගුණු රටකජු පැළ චප්ප වූයේ බිත්තර කටු මෙනි. ගෙය තුළින් තරුණ කාන්තා හඬක් ඇසුණි. වාඩිවී සිටි කාන්තාව නැගිට ගෙය ඇතුළට යාමට තැත්කළාය. එහෙත් සෙබල ටෙඩ් ඇය වලකාලීය. කාන්තාව අරාබි බසින් මුර ගෑවාය. ටෙඞ් තම අල්ලෙන් ඇයගේ කට වැසුවේය. ඉක්බිතිව ඇයට සන්සුන් වන ලෙස කීවේය. ගෙය තුළට ගිය සොල්දාදුවෙක් තරුණ කාන්තාවක අතින් ඇදගෙන ආවේය. එම තරුණිය හිස හෝ මුහුණ වසාගෙන නොසිටි නිසා ඇයගේ රුව නැරඹුමට සොල්දාදුවන්ට හැකි විය. තරුණිය බිය නිසා මුර ගෑවේ නැත. ඇය හිස පහත් කරගෙන සිටියාය. මැදිවියේ කාන්තාව තරුණියගේ මව විය හැකිය. 
  මැදි වයසේ කාන්තාව තරුණියගේ හිස සහ මුහුණ වසා ගැනීමට තම උරහිස වටා තිබූ සාලුව විසි කළාය. වෙව්ලන අත්වලින් සාලුව ගත් තරුණිය හිස සහ මුහුණ වසාගෙන කාන්තාව දෙසට දිව ගියාය. තරුණිය දැකීමෙන් ප‍්‍රමෝදයට පත්වූ කෝප‍්‍රල්වරයෙක් තම යකඩ හිස් වැසුමේ ගසා සිටි මාල්බරෝ සිගරට් පැකට්ටුවෙන් සිගරට්ටුවක් ගෙන ලයිටරයෙන් එය දල්වා ගත්තේය. සිගරට්ටුව දල්වන විටද ඔහුගේ දෙනෙත් තරුණිය දෙසට යොමුවී තිබිණ. ඔහුට තමා අසල සිටි සොල්දැදුවාට පහත් හඬින් කතා කළේය. 
  "මැක්, කොහොමද හජ්ජි කෙල්ල අරගෙන යමුද ප‍්‍රශ්න කරන්න?" 
  මැක් කෝප‍්‍රල්වරයාට යම් අසභ්‍ය දෙයක් කීවේය. දෙදෙනාම මදක් උස් හඬින් සිනාසුනහ. එම සිනාවට සාජන්වරයා දැක්වූයේ කෝප වූ ප‍්‍රතිචාරයකි. සාජන්ට තරහ ගිය බව දුටු කෝප‍්‍රල් මෙල්ල විය. 
  "ගෙදර වෙන කවුරුවත් නැහැ වගේ." නිවසට ගිය සොල්දාදුවෙක් කීවේය. 
  "තව හොඳට පරීක්ෂා කරන්න. ඇඳන් යට බැලුවාද?" සාජන් මුරගා අසුවේය. 
  " මැක්, ගේ ඇතුළට ගිහිල්ලා හොඳට බලනවා." සාජන් මැක්ට නියෝග කළේය. මැක් තම මැෂින් තුවක්කුවේ ආරක්ෂක ලීවරය පහතට දමා ගේ තුළට ගියේ ආරක්ෂිත පියවර අනුගමනය කරමිනි. ඔහු උකුසු දෑසින් නිවසේ කාමර වලට එබුණේය. මුලින්ම ගෙය තුළට ගිය සොල්දාදුවන් දෙදෙනා මැක් පසු පස යමින් ඔහුව අනුකරණය කළහ. නිවසේ සෑම තැනම, ඇදන් යට පවා බැළු නමුදු කිසිම හෝඩුවාවක් නොලැබිණි. 
  "කවුරුත් නෑ මැක්." සොල්දාදුවෙක් කීවේ ඉක්මනින් නිවසින් එළියට යාමටය. සමහර ගෙවල් වල කාමර වලට සවිකර තිබෙන ක්ලේමෝ බෝම්බ පිළිබඳ අසා තිබූ ඔහු ඇතුළේ කාමර වලට එබුණේ ඉතා ප‍්‍රවේසමනි. 
  "යමු." ඔහු නැවත වතාවක් කීවේය. 
  "කට වහපන්." මැක් කීවේ රළු විලසිනි. අසභ්‍ය වචනයක් සොල්දාදුවා වෙත දමා ගැසූ මැක් තවත් සුපරීක්ෂාකාරීව නිවසේ ඇතුළත පරීක්ෂා කළේය. මුළුතැන්ගෙය අසල දර දමා තිබූ කුඩා කාමරය මැක්ගේ අවධානයට යොමු විය. ඔහු ලී දොරට පයින් ගැසීය. දොර අසල පහත් වී සිටි අයකු එකවරම නැගිට දර ගොඩ දෙසට දිව ගියේය. මැක්ගේ තුවක්කුවෙන් පිටවූ උණ්ඩ සැඟවී සිටි පුද්ගලයාගේ ශරීරය පසාරු කළේය. වෙඩි වැදුණු තැනැත්තා ඇද වැටුණි. ඔහුගේ අතේ තිබූණු යමක් හඬ නගමින් බිමට වැටී ගියේය. එය ලී වලින් තැනූ ගුවන් යානාවකි. එහි අවර පෙති තනා තිබුණේ ප්ලාස්ටික් යෝගට් කෝප්පයක් කපා ගැනීමෙනි. වෙඩි හඬ ඇසුණු සොල්දාදුවන් තම අවි වහාම සූදානම් කර ගත්හ. සාජන්වරයා තම අවිය ගෙන නිවස තුළට ගියේ විදුලි වේගයෙනි. ගැහැණුන් දෙදෙනා විලාප දුන්හ. 
  ඔවුන් නිවස තුළට යාමට තැත් කළද සෙබළ ටෙඩ් ඔවුන්ව වලකාලීය. නිවස තුළට ගිය සාජන් දුටුවේ වෙඩි පහර නිසා බඩවැල් පවා එළියට ඇවිත් තිබූ ලේ විලක වැටී සිටී අවුරුදු 12 ක පමණ ළමයෙකි. ඔහුගේ හුස්ම වැටුණේ යාන්තමිනි. 
  "මෙඩික්, මෙඩික්." සාජන් මුර ගෑවේය. 
  වෛද්‍ය සහයක සෙබලා නිවස තුළට ආවේ කඩිනමිනි. ඔහුගේ හිස් ආවරණය රතුකුරුසයකි. ඔහු වෛද්‍ය උපකරණ සහ බෙහෙත් දමා තිබූ මල්ල ඇර පන අදින ළමයාට මෝෆීන් එන්නතක් දුන්නේය. තවත් විනාඩි දහයක් පමණ අමාරුවෙන් හුස්ම ගත් ළමයා මිය ගියේය. 
  පොරෝනාවකින් ළමයාගේ මිනිය වැසීමට අණකළ සාජන් තම ඉනේ ගසා තිබූ ග්‍රෙනේඞ් බෝම්බයක් නිසලව වැටී සිටි ළමයාගේ අල්ල මත තැබුවේය. බිම වැටී තිබූ සෙල්ලම් ගුවන් යානය දර ගොඩට විසි වන ලෙස පා පහරක් දුන්නේය. අනතුරුව හිස් වැසුම ගලවා නිවසින් එළියට පැමිණ පණිවිඩ හුවමාරු යන්ත‍්‍රය පිටේ එල්ලාගෙන සිටි සෙබලා වෙත ගියේය. 
  "මේ අමතන්නේ චාලි කණ්ඩායමයි. නදිජා ගම්මානයේ කළ මෙහෙයුමකදී නිවසක් තුළ සැඟවී සිට ග්‍රෙනේඞ් බෝම්බයක් එල්ල කිරීමට තැත් කළ කෙනකු ප‍්‍රතිප‍්‍රහාරයකින් මිය ගියා..." 
  ඔහු විනාඩි හයක් පමණ නොකඩවා සිද්ධිය පිළිබඳ මෙහෙයුම් මධ්‍යස්ථානයට දැන්විය. ගැහැණුන් දෙදෙනාගේ විලාපය නිසා අසල්වාසීන් පැමිණියද අවිගත් සෙබළු නිසා ඔවුන් කිසිවකු නිවස අසලට පැමිණීමට බිය විය. මැදි වියේ කාන්තාව අරාබි බසින් සාමාන්‍ය සෙබල ටෙඩ් අහමඞ්ට තම අඳෝනාව කීවේ දෑතින් පොළව ස්පර්ෂ කරමිනි. එම විලාපය නිසා සෙබල ටෙඩ්ගේ ද අභ්‍යන්තරය කඩා වැටුණාක් මෙනි. ඔහු සෙමින් සාජන්වරයා වෙත ගියේය. 
  "සාජන්," ටෙඩ් ඔහුව ඇමතීය. "අපිට වැරදීමක් වෙලා. අපි හොයන හම්සා මේ ගෙදර නොවේ ඉන්නේ. මේ ගෙදර ඉන්නේ අර ගැහැණියයි, ඇගේ දුවයි, පුතයි පමණයි. ඇගේ සැමියා මිය ගොසින් දැන් වසර අටක් වෙනවාලු. දැන් මොකද කරන්නේ?" 
  සාජන් ඔහුව පසෙකට රැගෙන ගියේය. "ටෙඩ්, අපි සොල්දාදුවෝ. අපි එකට සටන් කරන එකට මිය යන කණ්ඩායමක්. අපි කණ්ඩායම් හැඟීමෙන් වැඩ කළ යුතුයි. දැන් මෙතන සිදු වූ දෙය මම මෙහෙයුම් මධ්‍යස්ථානයට පැවසූ දෙය මිසක් වෙන කිසිවක් නොවේ. නුඹට තේරුණද?" 
  ටෙඩ් කිසිවක් කීවේ නැත. හිස සැලුවා පමණි. 

නිමි 
*BMP -1 වර්ගයේ යුධ ටැංකි :- ඉරාක යුද්ධයේදී බහුලව භාවිත කරන යුධ ටැංකි විශේෂයකි.
**HMMWE රථ :- සොල්දාදුවන්ට ගමන් කළ හැකි වේගයෙන් ධාවනය කළ හැකි සන්නද්ධ රථ විශේෂයකි.
***M4A1 වර්ගයේ මැෂින් තුවක්කු :- අධික ගිනි බලයෙන් යුත් ඉතා දුර වෙඩි තැබිය හැකි මැෂින් තුවක්කු වර්ගයකි.

****
හජ්ජි කෙල්ල :- අරාබි ජාතිකයන් හැඳින්වීමට ඇමරිකානු හමුදා යොදා ගන්නා අපහාසාත්මක වදනකි.
 රුවන් එම්. ජයතුංග
my-signature-for-blog[1]     2014 මාර්තු මස 08 වැනිදින 0013 පැය

28 comments :

  1. ඇත්තටම මේ වගේ සිද්දීත් වෙනවද විචාරක මහත්තයෝ ඔය මෙහෙයුම් වලදී ??

    ReplyDelete
  2. ඔව්/නැහැ කියන දෙපැත්තටම සම සමව කියන්න කරුණු තියනවා.

    ReplyDelete
  3. හදවත කඩා වැටුනා කියලා තමයි කියන්ට තියෙන්නේ... :(

    ReplyDelete
    Replies
    1. ඔව් සෑහෙන්න කම්පනයක් ඇතිකරනවා.

      Delete
  4. කතාව කියවූවා. යුද්ධය භයානකයි කියන්නෙ ඒකනෙ.

    ReplyDelete
  5. ෂීට් ,, යුද්ධය මං පිළිකුල් කරන්නේ ඔය නිසාමයි.. ලෝකේ කොහෙත් ඕකමයි...අපේ උතුරේත් අහිංසක දෙමළ මිනිස්සුන්ව අපේ හමුදාව අතින් මේ වගේ මැරෙන්න ඇති.. ඒ වගේම අපේ අහිංසක උතුරේ මිනිස්සුන්ව කොටි මරන්න ඇති..

    ReplyDelete
    Replies
    1. යුද්ධය ඇති කරන්නෙත් සාමය ඇතිකරන්නෙත් රාජ්‍ය පාලකයෝ. සොල්දාදුවෝ නෙවෙයි. සොල්දාදුවා තරම් සාමයට කැමති කෙනෙක් ලෝකේ වෙන කොහෙවත් නැතුව ඇති.

      උතුරේ වැසියන් විතරක් නෙවේ. එල්.ටී.ටී.ඊ. යේ ම්ලේච්ච්ඡ ප්‍රහාර නිසා දකුණේ වැසියන් කොච්චර මැරුණද කියන එකත් අමතක කරන්න එපා.

      Delete
    2. ////යුද්ධය ඇති කරන්නෙත් සාමය ඇතිකරන්නෙත් රාජ්‍ය පාලකයෝ. සොල්දාදුවෝ නෙවෙයි./////
      ++++++++++++++++++++++++++++++++++++++=

      Delete
  6. හ්ම්ම්.....ඇත්තටම් මෙහෙම දේවල් නොවෙනවා කියන්න පුලුවන්ද? යුද්ධය යනු හැමවිටම ආචාර ධර්ම මත සිදුවන්නක් නොවෙයි නේද?

    ReplyDelete
    Replies
    1. සමහර අවස්ථා තියනවා අචාර ධර්ම රකිනවාද, තම ජීවිතය, සහෝදර සෙබළුන්ගේ ජීවිත, රටේ ජනතාවේ ජීවිත රකිනවාද, කියලා සුළු මොහොතක් තුළ තීරණය කරන්න වෙන.

      Delete
  7. ඇඟ කිලිපොලා ගියා මේක කියවලා. මෙවන් දේවල් වෙන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. වියහැකියි/නොවිය හැකියි. වීමට ඉඩ නොදිය යුතුයි/වෙනවා.

      Delete
  8. මේ තියෙන්නේ යුද්ධයේ හා සැකයේ අතුරු ප්‍රතිපලයි.
    කෙටිකතාව කියවා නැවත හිතුවේ යුද්ධය ගැනමයි.

    ReplyDelete
    Replies
    1. ඔව් මේ කතාව හුදු උපකල්පනයක් වෙන්නත් පුළුවන්. යුද්ධයෙන් හෙම්බත්ව සිටින සොල්දාදුවන් මෙසේ නොසැලකිලිමත්ව කටයුතු කරන්නත් පුළුවන්. හොඳ උපදේශනයක් සහ හික්මීමක් නැතිකමත් මෙවැනි සිදුවීම් වලට හේතුවන්න පුළුවන්.

      Delete
  9. ජාතීන් අතර හෝ ආගම් අතර ගැ‍ටුම් ඇතිවීමට ඇතිකරවීමට අඩුවැඩි වශයෙන් දායක වෙන, හවුල් කාරයෝ වෙනකොට කවුරුවත් යුද්ධය මෙයාකාරයැයි නොසිතන එක ගැනයි මට කනගා‍ටු.

    ReplyDelete
    Replies
    1. අපි ලෝකයේ ඇතිවන සෑම යුද්ධයක්ම ඉතා පුළුල්ව අධ්‍යයනය කර බැලිය යුතුයි එහි සැබෑ අරමුණ කුමක්ද කියා. බොහොමයක් යුද්ධ ඇතුලේ සැඟවුණු අභිමතාර්ථ තිබෙනවා. ඒවා හරියට අවබෝධ කරගත්තොත් අපිට කියන්න පුළුවන් එය කාගේ යුද්ධයක් ද යන්න.

      Delete
  10. පුදුම දුකක් දැනුනා කතාව කියවලා...

    ReplyDelete
    Replies
    1. මෙවැනි තත්වයන් ඇතිවීම වළක්වාගන්න පුළුවන් වෙන්නේ රාජ්‍ය පාලකයන්ටයි.

      Delete
  11. //යුද්ධය ඇති කරන්නෙත් සාමය ඇතිකරන්නෙත් රාජ්‍ය පාලකයෝ. සොල්දාදුවෝ නෙවෙයි.//

    සහතික ඇත්ත.
    ----------

    හදවතට කිදා බහින විදියට ලියල තියෙන කෙටි කතාවක්. අපි එක්ක බෙදා ගත්ත ට බොහොම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. මිනිස්කම යනු කුමක්ද යන්න නැවත සිතාබැලීමට අපව යොමුකිරීමක් වගේ නේද? ඇගයීම ගැන ස්තුතියි.

      Delete
  12. සැකයේ වාසිය නිතරම අපේ පැත්තට තමා තියෙන්න ඕන නේද විචාරක මහත්තයෝ... ආමි 1 හිටිය හින්ද දන්නව ඇතිනෙ..
    පොදු අරමුණක් උදෙසා කටයුතු කරනව තමයි ඒත් තමන් භාර සෙබලුන්නෙ ජීවිතාවධානම...? මට බෑ මෙතනදි දොසක් නගන්න... මොකද ඔය දේ වගේම ඕකෙ අනික් පැත්තත් වෙන්න පුලුවන්...

    ReplyDelete
    Replies
    1. ලෝක ඉතිහාසයේ මෙතෙක් සිදුවූ මානව හිමිකම් නොකැඩුණු යුද්ධයක් තියනවා කියලා කවුරු හරි සාධාරණ සැකයකින් තොරව ඔප්පු කරලා පෙන්නුවොත්, මම කොන්ඩේ නොකපා මහණ වෙනවා.
      :d

      Delete
    2. හා... කැමැත්තක්....
      මං කියපු දේ කණපිට ගහගත්තෙ නෑනෙ....

      Delete
    3. නැහැ නැහැ වරදවා වටහාගනීමක් නැහැ. මගේ පෞද්ගලික ස්ථාවරය තමයි මම කිව්වේ.

      Delete
  13. සංවේදි කතාවක් විචාරකතුමනි..

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම මෙය උපකල්පනයක් වුවත් සත්‍ය සිදුවීමක් කියා හිතෙන ආකාරයට ලියා තිබෙනවා.

      Delete
  14. සෑහෙන්න දුක හිතෙන කතා පුවතක් !

    ReplyDelete
    Replies
    1. මෙහෙම දේවල් මේ ලෝකය තුල වෙන්නේ ඇයි කියන එකත් අපි හිතා බැලිය යුතුයි.

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }