හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

16 March 2014

දුර්ලභ ඡායාරූප එකතුවක්

File0211      අපේ ගමේ විහාරස්ථානයේ පිහිටි ස්වභාවික ගල් පර්වතයක, පොළොන්නරුව ගල් විහාරයේ සැතපෙන පිළිමයේ අනුරුවක් නෙළමින් පවතිනවා. මෙය තරමක් දුෂ්කර ක්‍රියාවක්. පිළිමය නෙලීම සඳහා, යටත්පිරිසෙයින් අවුරුදු දෙකක පමණ කාලයක් ගතවනු ඇතැයි ගණන් බලා තිබෙන අතර, ඒ සඳහා රුපියල් එක්කෝටි විසිපන් ලක්ෂයක් (රු 12,500,000) වැය වනු ඇතැයිද ගණන් බලා තිබෙනවා. ප්‍රදේශවාසී අපට පමණක් ඒ බරපැන සොයාගැනීම අපහසු නිසා, දානපතියන්ගේ ආධාර සහ රාජ්‍ය අනුග්‍රහයද ලබාගැනීමට අදහස් කරනවා.
   ඔබෙන් බොහෝ දෙනෙකු දන්නවා ඇති දැනට ලංකාවේ ඉදිවෙමින් පවතින විශාලතම ශෛලමය සමාධි ප්‍රතිමාව, කුරුණෑගල, රම්බඩගල්ල, මොනරගල්ල, ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින බව. අපේ පන්සලත් පිහිටා තිබෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේමයි. මෙහි ඉදිකෙරෙන ප්‍රතිමාවේ විශේෂතා කීපයක් තිබෙනවා. රම්බඩගල්ල ප්‍රදේශයේ ඉදි කෙරෙන්නේ සමාධි ප්‍රතිමාවක්, අපේ පන්සලේ ඉදිකෙරෙන්නේ සැතපෙන පිළිමයක්. රම්බඩගල්ල ප්‍රදේශයේ ඉදිකෙරෙන ප්‍රතිමාව නෙළන්නේ ඉන්දීය ශිල්පීන් පිරිසක්. අපේ පන්සලේ ප්‍රතිමාව නෙළන්නේ, ඉන්දියාවේදී, ප්‍රතිමා නෙළීමේ විශේෂ උපාධි පාඨමාලාවක් හැදෑරූ, අපේම සිංහල ශිල්පියෙක්. තවමත් තරුණවියේ සිටින ඔහුගේ විශ්මිත නිර්මාණ රැසක් දැකීමෙන් අනතුරුවයි, මේ සඳහා ඔහුව තෝරාගෙන තිබෙන්නේ. සැතපෙන පිළිම සෑහෙන ප්‍රමාණයක් මෑතකදී පවා ඉදිවී තිබුණත්, ශෛලමය සැතපෙන පිළිමයක් නෙළීම කිසිදු තැනක මෑත භාගයේදී  සිදුවී නැහැ. එයත් විශේෂත්වයක්.
   මේ පිළිමය නෙළීමේ කාර්‍යය ආරම්භ කිරීමත් අති දුෂ්කර ක්‍රියාවක් වුණා. අපේ පන්සල පිහිටියේ කන්දක. එහි ගල් පර්වත සහ පැරණි විහාරයක් තිබුණේදැයි සැක සිතෙන ලක්ෂණද තිබෙනවා. මේ නිසා මුලින්ම මේ පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ලිඛිතව දැන්වූ අතර එහි නිළධාරීන් පැමිණ සම්පූර්ණ භූමිය පරීක්‍ෂාකර පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති කිසිවක් නැති බව තහවුරු කළා. ඉන් අනතුරුව පිළිම ගෙය සහ අවට භූමියේ නිර්මාණ කටයුතු සඳහා අවශ්‍ය සැළසුම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සැළසුම් ශිල්පීන් විසින් කරනු ලැබුවා.
   දුෂ්කරම කාර්යය වුණේ මෙම පිළිමයේ නිර්මාණ කටයුතු සඳහා පොළොන්නරුව ගල් විහාරයේ සැතපෙන පිළිමයේ මිණුම් සහ විවිධ කෝණ ගණනාවකින් සමීප ඡායාරූප ලබාගැනීමයි. මේ සඳහා පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජෙනරල් වරයාගේ ලිඛිත අවසරයක් ලබාගැනීමට සිදුවුණා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ, පොළොන්නරුව ගල් විහාරයේ සැතපෙන පිළිමයේ මිණුම් ලබාගත් අතර, අපේ පන්සලේ පිළිමය නෙලන ශිල්පියා විසින් ඉල්ලාසිටි පරිදි විවිධ කෝණ වලින් ඡායාරූප 123 ක් ලබාගත්තා. පොළොන්නරුව ගල් විහාරයේ සැතපෙන පිළිමය අඩි 46 ක් දිගයි. අපේ පන්සලේ නෙළන ප්‍රතිමාවේ දිග අඩි 30 යි. 
   මේ පින්තූර ගැනීම මටත් අමුතු අත්දැකීමක් වුණා. ප්‍රතිමාවට අගෞරවයක් හෝ හානියක් නොවන පරිදි, පින්තූර ලබා ගැනීම සඳහා, මට පැය තුනක් පමණ ගතවුණා. ඉතින් එසේ ලබාගත් පින්තූර වලින් සමහරක්, ඔබටත් පෙන්වන්න අදහස් කළේ, හැමදෙනාටම මේ ආකාරයට පින්තූර ලබාගන්න ඉඩ නොලැබෙන නිසයි. පින්තූර බලා ඔබේ අදහස් දක්වන මෙන් කාරුණිකව ඉල්ලනවා. 
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
  එදා අපේ ශිල්පීන්ගේ නිර්මාණ හැකියාව කොතරම් ශ්‍රේෂ්ඨද යන්න, මේ පින්තූර වලින් අපිට ඉතා පැහැදිළිව පෙනෙනවා. අද අපේ පන්සලේ පිළිමය නෙලන්නේ, නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින්. රුපියල් 2000 ක් වටිනා ග්‍රයින්ඩර් යන්ත්‍ර තලයක්, දින තුනකින් ගෙවී යනවා. නමුත්, එදා මේ පිළිම නෙලන්නට ඇත්තේ කෙබඳු තාක්ෂණයක් උපයෝගී කරගෙනදැයි සිතන්නටවත් අපහසුයි.
  අද වනවිට අපේ පන්සලේ නෙළන ප්‍රතිමාවේ අවසන් කර තිබෙන ප්‍රමාණයත් ඔබට පෙන්වන්නට කැමතියි. 
photo0133
   ලිපිය අවසන් කරන්නට මත්තෙන්, තවත් අදහසක් කියන්නට කැමතියි. ඔබ සැමදෙනාම පාහේ අසා ඇති, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් අපේ රට පාලනය කල සමයේදී, බ්‍රිතාන්‍ය ජාතිකයකු, පොලොන්නරුව ගල්විහාරයේ පිළිම වලට වෙඩි තබා හානි කල බවත්, ඒ අවස්ථාවේදී කඩා වැදුණු වන අලියෙක්, එම සුද්දාව මරාදැමූ බවත්. මීට කලින් කීප වතාවක් මෙම පිළිම නරඹා ඇතත්, මෙතරම් සමීපව නරඹන්නට නොලැබුන නිසා, මම මේ පිළිම හොඳින් නිරීක්ෂණය කල නමුත්, වෙඩි පහර වලින් සිදුවූ හානි නම් කිසිවක් දකින්නට ලැබුනේ නැහැ. ඒ ගැන මගේ නිගමනය මේකයි. සුද්දා වෙඩි තියන්න ඇත්තේ අවම වශයෙන් 1815 ට පසු සහ 1940 ට වත් පෙර. 1836 දී පමණ තමයි, ලොව මුල්ම රයිෆල් නිපදවා තිබෙන්නේ. එයට යෙදූ පතරොම් වලින්, මෙවැනි ගලකට වෙඩි තැබීම විහිළුවක්. ගලට කිසිම හානියක් වෙන්නේ නැහැ. 1900 පමණ වනවිට තිබුණු රයිෆලයක උණ්ඩයකටවත්, එවැනි හානියක් කරන්නට බැහැ. ඒ නිසා සුද්දා නිකං සවුත්තු වුණා විතරයි.
my-signature-for-blog[1]     2014 මාර්තු මස 16 දින 0001 පැය

54 comments :

  1. එක්කෝටි විසිපන් ලක්ෂයක් ප්‍රතිමාවකට !!! ??? අපරාධයක් නෙමේද විචාරක මහත්තයෝ.. ?? ඉන්න හිටින්න තැනක් නැති දුප්පතුන් දෙතුන් දෙනෙකුට ගෙවල් හදලා දුන්නනම් ඔයිට වැඩිය නරකද ? අනික අපිට ප්‍රතිමාවන්ගෙන් හිඟයකුත් නෑනෙ.. අනේ මංදා !

    ReplyDelete
    Replies
    1. සෙන්නාගේ කතාවේ ඇත්තක් තියෙනවා. ඒත් අද රටේ විනාස කරන සල්ලි ගොඩ දැක්කාම, මේ වගේ එකක් කලාට කමක් නෑ කියලා හිතෙනවා. විචාරකගේ පිලිතුරත් ඇත්ත.

      Delete
  2. දිළින්දන්ට, අසරණයන්ට පිහිටවීම උතුම් ගුණයක්. එය සෑමවිටම කිසිසේත් සෑම කාලයකටම ගැලපෙන දෙයක්. මිනිසුන් තුළ ශ්‍රද්ධාවට වඩා තියෙන්නේ භක්තිය. මේ භක්තිය පදනම් කරගනිමින් ඔවුන් වඩ වඩාත් ආගම කෙරෙහි නැඹුරු කරගැනීමේ සම්‍යක් ප්‍රයෝගයක් ලෙසයි මෙවැනි නිර්මාණ වටින්නේ. මේ මුදලෙන් එකක් ලක්ෂ 10 ක් ගණනේ ගෙවල් 10 ක් 12 ක් ක් හදලා දුන්නත් ඒ මිනිසුන්ගේ පැවැත්මේ වෙනස්කම් කරන්නට අමාරුයි. අපි උඹලට ගෙවල් දුන්න නිසා අපි කියන විදිහට වැඩකරපල්ලා කීමත් මානව හිමිකම් කැඩීමක්. ඒ නිසා බහුතරයක් ජනතාව ආගම කෙරෙහි ආකර්ෂණය කරවන මෙවැනි නිර්මාණයක් කිරීමේ විශාල වරදක් මමනම් දකින්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. මම නම් හිතන්නෑ පිළිමයක් දැකලා කවුරුවත් ආගමට නැඹූරු වෙයි කියලා. "ෂාහ් මේක නෙලපු එකා මාර වැඩ්ඩෙක්" කියලනම් කියයි ඕනමනම්. පිළිමයක් ඉඳි කළාට ප්‍රශ්ණයක් නෑ. ඒත් මේකට යන ගාන ගැනයි මට අවුලක් තියෙන්නේ. එච්චර වියදම කරලා එවැනි දෙයක් කරන එක අත්‍යාවශ්‍යමද කියලා මට හිතෙනවා. දැනගන්න අහන්නේ, බුදු පිළිම නෙලීම බුදු රජානන් වහන්සේ කොහේදී හෝ අනුදැන වදාරා තියනවද ?

      Delete
    2. පිළිමයකින් නිරූපණය වන්නේ අසීමිත බුදුගුණ සමුදායයි, පිළිමයක් ළඟට ගිහින් නිකම් බලා ඉඳීමේ නම් තේරුමක් නැහැ. පළමුවෙන් අප තුළ ඒ මහා කාරුණිකයාණන් සතු අසීමිත අසම සම බුදුගුණ ගැන අවබෝධයක් තිබිය යුතුයි. පිළිමය දෙස බලාගෙන ඒ ගුණ මෙනෙහි කිරීම කුසළ කර්මයක්.

      සෑමවිටම චේතනාව තමයි කර්මයට මුල්වෙන්නේ. මේ පිළිමය හැදීමේ චේතනාව පන්සලට සල්ලි ගැරීම නම් ඒ සඳහා මුල්වූ සියලුදෙනා අමනයන් වෙනවා. අපේ පන්සලට සල්ලි ගරන්න අවශ්‍යතාවක් නැහැ. පන්සලට මෙතෙක් අඩුපාඩුවක්ව තිබුණේ පිළිමයක් පමණයි. (විහාර මන්දිරයක්) මා දන්නා තරමින් වෙහෙර විහාර කරවීම සහ ප්‍රතිමා කරවීම බුදුරජානන් වහන්සේ පිරිනිවන් පෑමට ආසන්න කාලයේ අනුදැන වදාරා තිබෙනවා.

      Delete
    3. සෙන්නා වැනි මිනිස්සු අර ගල්විහාරෙ එහෙම හදපු කාලෙත් හිටියනම් තව කීයක් සල්ලි ඉතුරු කරගන්න තිබ්බද.

      Delete
    4. නැහැ සහන්, සෙන්නාගේ අදහස් වල සෑහෙන්න වලංගු බවක් පෙනෙනවා. අපි හිතමු ලංකාවේම තියන පන්සල්වලින් ගල් පර්වත තියන පන්සල් ඔක්කොගෙම මේ වගේ පිළිම හදන්න පටන්ගත්තා කියලා. එයින් කිසිම ආධ්‍යාත්මික ප්‍රබෝධයක් හෝ ආගමික සේවයක් ඉටුවෙන්නේ නැහැ. එවැනි පිළිම ප්‍රදර්ශන භාණ්ඩ බවට පත්වෙනවා. අපේ පන්සලට බුදුගෙයක් නැහැ. තියෙන්නේ ඉතා කුඩා (පිටත සිට වන්දනා කලයුතු) එකක්. ඒ නිසයි අපි මෙවැනි පිළිමයක් නිර්මාණය කරන්නේ. ලංකාවේ සමහර විහාරස්ඨාන තියනවා කෝටි ගණනින් පුණ්‍යාධාර ලබන. නමුත් එයින් සමහර ස්ථානවල අධිපති හිමිවරුන් කෝටි ගණන් ස්ථාවර තැන්පතු දාලා තියනවා. අසරණ, අනාථ මිනිස්සුන්ට උදව් කරන්නේ නැහැ. පන්සලේ සුඛෝපභෝගී බව තවත් වැඩි කරගන්නවා. එක්කෙනෙක් ඒ විදිහට කෝටි 20 ක් ද කොහෙද සෙලින්කෝ එකේ දාලා, දැන් එය කඩා වැටිලා නිසා හූල්ල හූල්ල ඉන්නවා. ඒවා මහජනතාව පිනට දුන් මුදල්.

      Delete
    5. සෙන්නාගේ අදහස් වලින් නියෝජනය වන්නේ වත්මන් සමාජයේ යම් පිරියක් සතුව තිබෙන ආකල්පයක් මෙන්ම යම් පිරිසක් ඇතිකිරීමට උත්සහ කරන ආකල්පයක්. පන්සලකට දානයක් හෝ නිවසට හාමුදුරුවරු වඩම්මා සාංගික දානයක් දෙන්න හදන විටත්. අනේ ඔය හාමුදුරුවෝ මහා සවුත්තු කෙනෙක් කිසි සිල්වත් කමක් නැහැ ඔයිට වැඩ හොඳයි වැඩිහිටි නිවාසයකට හරි ළමා නිවාසයකට හරි දානයක් දෙන එක කියන පිරිසක් ඉන්නවා. මම දැකලා තියෙනෙව ඔය අදහස සමාජයට එක්කිරීමට මුලික වූ අය. දැනටම පිරිසකගේ හිතේ ඔයවගේ ආකල්ප මුල් බැසගෙන තියෙනවා.

      නිසිපරිදි ඉදිකර ඇති බුදු පිළිමයක. වෙහෙරක. බෝ මළුවක ඇති හිත නිවන ගුණය ඔබ අත් දැක ඇත්නම් ඔබ ඔය වගේ කතාවක් කියන්නේ නැහැ සෙන්නා. එම නිදහස නිසා කැළණි පන්සල් නිතර යන මගේ කතෝලික යාලුවෙකුත් ඉන්නවා.

      Delete
  3. ගල් විහාරයේ ප්‍රතිමාව මෙතරම් සමීපව සියුම්ව දැක්කාමයි මේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ඒ නිසාම තමයි මෙහෙම පෙන්නුවේ.

      Delete
  4. අපි මෙතන බලන්ට ආවානේ. අපරාදේ විචාරක ඔය පැත්තේ කියලා ඒ කාලේ දැනගෙන හිටියේ නෑ...

    ReplyDelete
    Replies
    1. රම්බඩගල්ල තියෙන්නේ අපේ ගෙදර ඉඳලා කි.මී. 40 ක් පමණ දුරින්. මම ඉන්න කුරුණෑගල නගරයට කි.මී. 6 ක් පමණ ආසන්නව කොළඹ පාරේ.

      Delete
    2. මම ඉන්න නෙවෙයි මම ඉන්නේ කියා නිවැරදි විය යුතුයි.

      Delete
    3. අපේ ගෙදර ඉඳලා 13km විතර... විනාඩි 15න් යන්න පුලුවන්. ටික කාලෙකට කලින්නම නිතර නිතර ඒහරියෙ යැවුනා ඒත් දැං යන්නෑ ;)

      Delete
    4. යන්ඩ එපා. පිස්සුම කෙල කෙල හිටපං. ඔව්වා තේරෙයි අපායෙදී. :e

      Delete
    5. නෑ නෑ දැං යන්නෙම නෑ... (ඒ කෙල්ල දැං බැඳලා :D ) එහෙව් එකේ පිස්සු කෙලින්නැතුව පුලුවන්ද :P

      Delete
  5. අනේ මංද... විශාල පිළිම කියන්නෙ ථෙරවාදය ශීඝ්‍රෙයන් මහායාවය දෙසට ගමන් කරවීමක් ... මොකද ථෙරවාදය තුළ විශාල බුදු පිළිම නැති නිසා... ඒ ආභාසය ලැබුනෙ මහායානයෙන්...
    මෙවන් කාර්යක මට දැකිය හැකි එකම හොද ලංකාවෙ ශිල්පියෙක් සහභාගී වීම පමණයි... අනිත් කාරණාව නං හැම තැනම දැං පිළිම නෙලන්න පටං ඇරන්... කොටින්ම කීවොත් හංියක් හංදියක් ගානෙ පිළිම... මේම ගිහින් අන්තිමේ බුද්ධ දර්ශනය හෑල්ලුවට ලක්විය හැකී කියල තමා මට හිතෙන්නෙ

    ReplyDelete
    Replies
    1. හන්දියක් ගානේ පිළිම තැබීමේ ගොංපාට් එකට නම් මමත් විරුද්ධයි. බෞද්ධ දර්ශනයේ විස්තර කෙරෙනවානේ ආකාරවතී ශ්‍රද්ධාව සහ අමූලික ශ්‍රද්ධාව යනුවෙන් ශ්‍රද්ධාවත් දෙයාකාරයි කියලා. අනවබෝධයෙන් යුත් ශ්‍රද්ධාවේ තේරුමක් නැහැ.

      විශාල පිළිමයක් ළඟට ගියාම මට මතක්වෙන්නේ අමරදේවයන්ගේ 'ඇසේ මතුවන කඳුළු බිඳු ගෙන' කියන ගීතයයි. එහි එක තැනක කියවෙනවා, 'ඉහළ නිල්වන් අහස විනිවිද - නැගෙන ඔබගේ යෝධ බුදු බඳ - මගේ නෙත සිත මෝහනය කර - මගේ කුදු බව පසක් කර ඇත' යනුවෙන්. ඒ අනුව මම හිතනවා, මම මගේ මිනිස් ගුණධර්ම තවත් කොපමණ වර්ධනය කරගත යුතුද කියා.

      බෞද්ධ දර්ශනයේ ඇති ඉගැන්වීමේ ක්‍රම තුළ මිනිසා විශාල වස්තූන් කෙරෙහි ආකර්ෂණය වීමත් සලකා බලා තිබෙන බවයි පෙනෙන්නේ.

      Delete
  6. හරිම දුර්ලභ පින්තුර ටිකක්. විචාරක තුමාට ගොඩක් ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තට......

    විචාරක තුමත් මමත් ඉන්නෙ එකම දිස්ත්‍රික්කෙනෙ කියල අද තමයි දැන ගත්තෙ........

    ReplyDelete
    Replies
    1. ගමේ මිනිහෙක් එහෙනම් ඔයා. මම ඉන්නේ බෝයගනේ. ඇත්තටම මේ පින්තූර නිතර දකින්න නොලැබෙන බව මටත් වැටහුනා නිසයි මෙහෙම පල කළේ. බොහොම ස්තුතියි ඇගයීම ගැන.

      Delete
  7. මේ වගෙ නිර්මාණ කරන ශීල්පීන් ට පුදුම ඉවසීමක් තියනව ඇති. අර තරම් ඈත අතීතයක කළු ගල් වලින් මෙවැනි සියුම් නිර්මාණ කරපු එක නම් විස්මිතයි.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත චන්දන. අපේ පිළිමය නෙළන ශිල්පියාට මේ නවීන යන්ත්‍රසූත්‍ර වලිනුත් කරන්න පුළුවන් දවසකට අඟල් 8 ක් විතර. පුදුමාකාර ඉවසීමක් ඕනේ. හරියට භාවනාවක් වගේ.

      Delete
  8. අපූරු පින්තූර ටික..
    ඒකාලේ ගල්විහාරය, සමාධි ප්‍රතිමාව, අවුකන, මාලිගාවිල වැනි පිළිම නිර්මාණය කරපු නිසානේ අද අපිට අපේ කලාව හා ඉතිහාසය ගැන දැක බලන්න වත් දෙයක් ඉතුරුවෙලා තියෙන්නේ. මේ පිළිමෙත් තවා අවුරුදු දහස් ගානක් පවතීවි.

    ReplyDelete
    Replies
    1. සෑහෙන්න මහන්සිවෙලා විවිධ ඉරියව් වලින් දණගාමින් බඩගාමින් තමයි මේ පින්තූර ගත්තේ. මටනම් මේ වගේ තැනක දවසක් දෙකක් වුනත් ඉන්න පුළුවන් ආගම් භක්තිය වගේම කළා රසයත් විඳිමින්.

      Delete
  9. "ඒ නිසා සුද්දා නිකං සවුත්තු වුණා විතරයි."
    ඇත්තටම සුද්දා සවුත්තු උනාද නිකන් බොරු කතාවක් හදාගෙන අපිම සවුත්තු වෙනවද මන්දා

    ReplyDelete
    Replies
    1. මම ඒ ටික ලියන්න හිතලත් නොලිව්වේ සදාචාරාත්මක නැති වේදෝ කියලා හිතලා.

      Delete
  10. පිළිමයක් නිර්මාණය කිරීම, එය වෙනුවෙන් දහස් ගණන් ලක්ෂ ගණන් මුදල් වැය කිරීම එක්තරා ආකාරයකට ප්‍රශ්නයක් උප්දද්දවන දෙයක්. එත් ඒ පිළිමය දැකල වැඳ පුදාගෙන බුදු ගුණ සිහි කරලා බුදුන් දෙසූ සමාජ දර්ශනය අනුගමනය කරනවා නම් , එය ක්‍රියාවේ යොදවනවා නම් කොටින්ම සැමටම මෛත්‍රී කරන්න සිතක් පහල වෙනවා නම් ඒ පිළිමය වෙනුවෙන් කොච්චර මුදලක් වැය වුනත් සමාජයට අවැඩක් වෙන්නේ නෑ. එහෙම නොවෙන වා නම් බුදුන් ගේ මහා දර්ශන යටත් නිගා දීමක් හැටියටයි මම නම් සලකන්නේ...
    ---------
    බුදු පිළිමයක අතිශය සමීප ඡායාරූප පෙළක්ම අපිට බලන්න සලස්සපු එකට බොහොම ස්තූතියි...බෞද්ධාගිමකයෙකු නොවුනත් මේ වගේ දේවල් වලට මම නම් ගොඩක් කැමතියි.පන්සල කට වෙලා නිවී සැනසිල්ලේ ගත කරන්න ලැබෙන අවස්ථා කිසිම දෙයක් මම නම් පැහැර හරින්නේ නෑ.පොළොන්නරුවේ ගල් විහාරයට යන්න මට එක චාන්ස් එකක් ලැබුන..ඒ ගිහින් මේ ගල් පිළිම දිහා බලාගෙන ඉන්න කොට පුදුම සැනසීමක් මගේ හිතට දැනුනේ. මොන දෙයින් හරි හිතට ශාන්තියක් ඇත වෙනවනම් එච්චරයි. අගය කල යුතු දේ අගය කල යුතුමයි කිසිම බේදයක් නැතුවම්..

    ආපහු එන්නම්..

    ReplyDelete
    Replies
    1. අපි ජාති ආගම් බෙදාගෙන නටන මේ නාඩගම නවත්තන්න දැන් කාලය හරි. ඔබ පන්සල් වලට ගිහින් විඳ ඇති මානසික සහනය මම තලවිල පල්ලියේදී, මඩු පල්ලියේදී විඳලා තියනවා.

      අපි මේ පිළිමය වෙනුවෙන් මුදල් සම්මාදම් කිරීමේ ක්‍රමයක් හදලා නැහැ. කවුරුහරි සත පහක් දුන්නත්, කෝටියක් දුන්නත් මැදහත් සිතින් බාරගෙන පින්දෙනවා. දායක සභාවෙන් රිසිට් එකක් දෙනවා. දැනට රුපියල් 10 බැගින් දුන් අයත් ඉන්නවා. ඒ කවුරුත් අපිට ලොකුයි.

      Delete
  11. මේ දවස් වල කුරුණෑගලට මාර රශ්නෙ නේද කොල්ලො

    ReplyDelete
    Replies
    1. කොල්ලො කිව්ව එකට නම් හරිම සතුටුයි කොල්ලො.

      කියල වැඩක් නෑ කොල්ලො රස්නෙයි කියන්නේ ...................ත් බනිස් වගේ බේක් වෙයිද කියලා හිතෙනවා. :e

      Delete
  12. මේ තරම් සියුමැලිද කළුගල්
    හිතන්නටවත් බැරි නිසා
    මම ගියා අවුකන බුදුන්ටත්
    දෑස් දුන් මිනිසා සොයා...

    කලා වැව ළඟ ඉලුක් හෙවණක
    මැටි පිලක පැදුරක් එලා
    රිදුම් පිරිමදිමින් බලයි ඔහු
    මැරෙන ඉපදෙන රළ දිහා...

    ඉසුරුමුණියේ නුඹ තැනූ
    පෙම්බරිය කොතැනද කියා
    මා ඇසූ විට හිනැහුනා ඔහු
    තවම තනිකඩ යැයි කියා...//

    ලිව්වේ...රජී වෙල්ගම
    මියුසික්....දර්ශන රුවන් දිසානායක.
    ගැයුවේ...සුනිල් එදිරිසිංහ

    විචාරක......මට එක පාරම මේ ගීතය හිතට ආවේ. ඇත්තටම මේ මූර්ති ශිල්පියා කවුද?

    ReplyDelete
    Replies
    1. පුදුමාකාර හැඟීමක් ඇතිකරන සිංදුවක් අරු. මේ ගීතය අහපු මගේ ලොකුදුව තමයි මටත් මේ ගීතය අහන්න සැලැස්සුවේ. මේ ගීතරචකයාට, සංගීතඥයාට, ගායකයාට පින් දෙන්න ඕනේ අපි මෙවැනි නිර්මාණයක් තුලින් අපේ මනස ප්‍රබුද්ධත්වයට පත්කිරීම ගැන.

      මමත් දන්නේ නැහැ ගල් විහාරයේ මූර්ති ශිල්පියා කවුරුන්ද යන්න. නමුත් ඔහු දිව්‍යමය මනසක්, දිව්‍යමය ශක්තියක් ඇති උතුම් මිනිසෙකු බවනම් පැහැදිලියි.

      Delete
    2. මට මතකයි එක් මහාචාර්‍යවරයෙක් කිව්වා ඔය විදිහට සියුම් නිර්මාණ ඉක්මනින් ඉවර කරන්න පුළුවන් උනේ ඉස්සර අපේ අයට තිබිච්ච රසායන විද්‍යා දැනුම හින්දලු. එයා කිව්ව විදිහට යම් රසායනිකයක් ගල වල තවරලා ගල මෙලෙක් කරලාලු ඔතරම් සියුම්ව කැටයම් කොටලා තියෙන්නෙ. ඒත් ඒ කතාව මම නම් පිළිගන්නෙ නෑ. එයා රාවණා යුගයක් ගැන ලොකු උනන්ඩුවකින් කතා කරන කෙනෙක්.

      Delete
    3. අපේ පන්සලේ පිළිමය නෙලන ශිල්පියාත් කිව්වා පැරැන්නෝ එක්තරා රසායනික සංයෝගයක්, (ඔහු කිව්වේ විවිධ ශාක යුෂ සහ ඛනිජ වලින් ලබාගත් රසායන ද්‍රව්‍ය) ආලේප කරලා ගල් මෙලෙක් කරන (ඔහු කිව්වා බටර් වගේ මෙලෙක් කරන නෙවෙයි. ගල් කටු වලින් කෙටීමෙදී කැඩී බිඳී නොයන තත්වයට ගල් වෙනස්වන) ක්‍රම දන සිටිය බව.

      Delete
  13. මම අන්තීමට පොළොන්නරුවට ගියේ 1999 අවුරුද්දේ. එතකොට ගල් විහාරයේ පිළිම ලඟටම යන්න පුළුවන් වුනා. ඒ වුනාට මේ ඡායාරූප වලින් නම් ගොඩාක් හොඳට මේ කලා කෘතියේ අගය පේනවා. විශේෂයෙන් බුදුන් වහන්සේ ගේ මුහුනේ සමීප ඡායාරූපය ට මම ගොඩාක් කැමතියි ඒකේ ශාන්ත ස්වරූපය නිසා.

    ස්තූතියි මේ ඡායාරූප අපට පෙන්නුවට.

    ReplyDelete
    Replies
    1. ඔබතුමාටට පුදුම හිතෙන තවත් දෙයක් මම කියන්නම්. ඊයේ පෙරේදා දවසක මම අපේ හාමුදුරුවොත් එක්ක ගියා කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමාගේ නිවසට මේ පිළිමය හැදීම ගැන කතාකරන්න. සභාපතිතුමා කිතුණුවෙක්. එතුමාගේ නිවසේ තිබුණා ඉතා අලංකාර පරිපූර්ණ දේව මාතා ප්‍රතිමාවක්. අඩි තුනක් පමණ උස එකක්. මා හිතුවේ ප්ලාස්ටර් ඔෆ් පැරිස් වැනි දෙයකින් හැදූ, පිට රටකින් ගෙන ආ එකක් කියලයි. කරුණු විමසුවාම තමයි දැනගත්තේ ඒක ඒ ගමේ ඉන්න බෞද්ධ බාස් උන්නැහේ කෙනෙක් සිමෙන්තියෙන් හදපු එකක් බව. මට ඇස් අදහාගන්න බැරිවුනා ඒ නිර්මාණයේ පරිපූර්ණත්වය දැකලා. මොකද මම ඒ රූපයම දැකලා තියනවා පිටරටින් ගෙන්වූ ඒවා. ඉතින් ඒ උතුම් නිර්මාණකරුට බාස් උන්නැහේ කියන්නේ කොහොමද?

      ඇගයීම ගැන ස්තුතියි.

      Delete
  14. I also has the same issue, lot of people already asked, why spend that much of money for this kind of work. If needed why don't make a small one. Why all temples trying to build the biggest on the country or world.

    ReplyDelete
    Replies
    1. Sir, I must be frank with you in this issue and emphasis that, this is the truth behind. The Temple is only 12 years old. The Society of Devotees agreed upon this project unanimously and decided not to force any one or not to make big donation sheets etc. instead of that we talk to our relatives, friends for their helping hand.

      Certainly we do not have a suitable Image House. Most of our villagers are financially stable. And they have decided to do this once and for all. A big statue is always attract devotes. It's a type of psychological theory.

      thanks for your contribution.

      Delete
  15. ඇත්තටම දුර්ලභ චායාරූප තමයි ,මොකද දැන් යන අය පොටෝ ගන්නේ බුදුපිලිමෙට පස්ස හරවලා මාර පෝස් වලින්නේ ..මටත් මතක් වුනේ අරූ කියපු සින්දුව

    ReplyDelete
    Replies
    1. පුලුවන්නම් පිළිමේ උඩ නැගලත් පොටෝ කෙළියි.

      ස්තුතියි පින්තූර ඇගයීම ගැන.

      Delete
    2. බුදු පිළිම වලට පස්ස හරවලා පින්තූර ගන්න එක අගෞරවයක් වෙන්නෙ කොහොමද කියන එක මට නම් ඒ හැටි වැටහීමක් නෑ. මම මේ කියන්නෙ අශීලාචාර විදිහට පින්තූර ගන්න එක නෙමෙයි. නිකම් පින්තූරයක් ගන්න එක. බුදුන් වහන්සේ ආගමික කතෘවරයෙක් නිසා එහෙම පින්තූර ගන්න එක අගෞරවයක් කියමුකො. ඒත් පොළොන්නරුවෙ පරාක්‍රමභාහු ප්‍රතිමාව ඉස්සරහා ඉඳන් පින්තූර ගන්න දෙන්නෙත් නෑනෙ.

      Delete
    3. අනික් අය කොහොමද මන්දා මම හිතන විදිහ කියන්නම්. මම ගිහින් නරඹන්නේ හිස කඳෙන් වෙන්වී ගිය ඉතා පැරණි බුදු පිළිමයක් කියා හිතමු. මම එතැනදී හිතෙන් මවාගන්නවා මේ ඉන්නේ බුදුහාමුදුරුවෝ කියලා. (අර මෝඩ උපාසක සිල්ගත්තා වගේ නෙවෙයි) මම ඒ බුදුරුව දකින්නේ සිතෙන්. ඊට පස්සේ බොරු භක්තිය නැතිව හුදු ශ්‍රද්ධාවෙන් අවශ්‍ය ගෞරවය ලබාදෙනවා.

      පරාක්‍රමබාහු පිළිමය ළඟට ගියත් ( ඒ ඉන්නේ පුලතිසි පඬිවරයා මිසක් පරාක්‍රමබාහු රජතුමා නෙවෙයි කියලාත් මතයක් තියනවා) මම හිතන්නේ මේ අපේ පැරණි රජ කෙනෙකි කියලා. පිළිමයට අගෞරවයක් නොවෙන්න පිළිමය සහිතව පින්තූර ගන්න පුළුවන් ක්‍රම තියනවා.

      Delete
  16. ඔය බුදු පිලිමේ ඔච්චර ලඟට ගීහින් දැකලාම නෑ.. දුර්ලභ පින්තූරු ටිකක් නේන්නම් :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඇගයීම ගැන.

      Delete
  17. නියම ඡායාරූප පෙළක් විචාරකතුමා. ඇත්තටම මේ වගේ අවස්ථාවක් ලැබිච්ච එක මේ ආකාරයට පිළිමය ඡායාරූප ගතකරන්න ඒකත් ලොකු වාසනාවක්.
    අැත්තටම ඒ කාලෙ කලා ශිල්පීන්ට කොච්චර සංයමයක් තියෙන්න ඕනද මේ වගේ දෙයක් කරන්න.
    විචාරකතුමාගේ පන්සලේ කාර්යයත් සාර්ථක වෙන්න කියල පතනව.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ප්‍රසන්න. ඔබටත් බොහොම පින් මෙවිදිහට වචනයකින් හෝ දායක වීම ගැන.

      Delete
  18. අඩේ මේ මොකද මේ. මම මේක වර්ඩ් ප්‍රෙස් එකේදිත් දැකල කමෙන්ටුවක් කොටලා ආවා නේ

    ReplyDelete
    Replies
    1. ඔව් මම එකවර වර්ඩ්ප්‍රෙස් සහ බ්ලොගර් යන ක්‍රම දෙකෙන්ම මේ අඩවිය පවත්වාගෙන යනවා. බලන්න මේ අඩවියේ 'අසමි දකිමි සොයමි' කියන හෙඩර් එකට යටින් සඳහන් කරලා තියනවා 'අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් අඩවියට සමගාමීව ප්‍රකාශය පත්කෙරේ' කියලා.

      ඔබ මේ අඩවි දෙකෙන් කුමන අඩවියට ආවත් සාදරයෙන් පිලිගන්නවා.

      Delete
  19. මේ විදිහට අධික වියදම් දරලා පල්ලි පන්සල් වල ලොකු ව්‍යාපෘති කිරීම ගැන නම් මගේ එතරම් පැහැදීමක් නෑ. ඒත් විචාරක මහත්මයා පැහැදිලි කරානෙ පිළිමයක අවශ්‍යතාවයත් ඒ වගේම ආධාර දීමට ඇතිතරම් අය කැමැත්තෙන් ඉදිරිපත් වන බවත්.

    …හැබැයි මම මෙහෙම දෙයක් දැකලා තියෙනවා. ඔය වගේ ව්‍යාපෘතියක් පටන් ගත්තාම වෙන්නෙ පන්සලේ හාමුදුරුවො එහෙම නැත්නම් පල්ලියේ පියතුමා වටාපිටාවෙ ඉන්න සල්ලිකාර ඇත්තන්ව දැලේ දාගන්න උත්සාහ කිරීම. ඒ මිනිස්සු කැමැත්තෙන්ම දෙනවා වෙන්නත් පුළුවන්. ඒත් එහෙම දුන්නා උනත් ඒ වෙනුවෙන් ඒ මිනිසුන්ට වැඩි සැලකිල්ලක් දක්වන්න පැවිද්දාට සිද්ධවෙනවා. දුප්පත් මිනිහා ඉබේම කොන්වෙනවා. මේ වගේ සිද්ධියකයි කතරගමදි කපුවෝ ලොකු කොළ තියෙන වට්ටි උඩින් ගන්න එකෙයි ලොකු වෙනසක් මම දකින්නෙ නෑ.
    ……
    …දුර්ලභ පින්තූර වලට ස්තුතියි. ආයෙ ගල් විහාරයට යන්න හිතුනා.

    ReplyDelete
    Replies
    1. මේ පිළිමය අපි හදන්නේ අපේ පන්සලට විහාර මන්දිරයක් නැති නිසා. මේ වැඩේ පටන්ගන්නකොටම හාමුදුරුවෝ කිව්වා ආධාර සොයමින් යාමෙන් වලකින්න අපි සියලු දෙනාම ක්‍රියා කලයුතුයි කියලා. දායකයන්ටත් කිසිම බලපෑමක් කරන්නේ නැහැ. ඒ වගේම තමයි හාමුදුරුවෝ සූදානමින් ඉන්නවා සල්ලි මදිවුනොත් හාමුදුරුවන්ට පිය පරම්පරාවෙන් හිමිව තිබෙන රුපියල් ලක්ෂණ 50 ක් පමණ වටිනා ඉඩමක් විකුණා ඒ මුදල් මේ වැඩේට යොදන්න. හාමුදුරුවෝ කියන්නේ අධිෂ්ඨානය ඇත්නම්, චේතනාව යහපත් නම්, අපිට මේ පිළිමය හැදීමේ මුදල අපහසුවකින් තොරව ලැබෙයි කියා. මේ පිළිමය හැදුවාම කාගේවත් නම් ගහන්නේ නැහැ අරයා මෙච්චර දුන්නා මෙයා මෙච්චර දුන්නා කියලා. ඒ සියලුම තීරණ අරන් තමයි වැඩේ පටන් ගත්තේ.

      ගල් විහාරය බලන්න කෝච්චියෙන් ගිහින් එන්න. හරිම රසවත් ගමනක් වෙයි.

      Delete
    2. …මට මතකයි විචාරක මහත්මයා පිළිම ගෙයක් නැති අඩුව කිව්ව එක. ඇත්තටම නම් නොගහා ඒ වගේ වැඩක් කරන්න පුළුවන් නම් බොහෝම හොඳයි.
      …කෝච්චියෙන් යන්න බලන්නම්කො..

      Delete
    3. තනියෙන් යන්න එපා බිල්ලියෝ ඉන්නවා. නිසා ..........එක්ක යන්න. :e

      Delete
  20. ඔබතුමා වාසනාවන්තයි මෙවැනි දෙයකට සහය දෙන්න ලැබීම ගැන. අදකාලේ කොතරම් තාක්ෂනය තිබුනත් නොකරන තරම් සියුම් නිර්මාණ ඒ කාලයේ කිරීම ගැන නම් කියන්න දෙයක් නැහැ. ඔතරම් සියුම්ව හදපු කොන්ක්‍රීට් පිළිම වත් හොයාගන්න අමාරුයි.
    ෆොටෝ ගැනීම සමග මිනුම් ගෙන අවශ්‍ය පරිදි scale කර සැලසුමක් හදාගත්තා නම් clone එකක් වගේ හදන්න පුළුවන් වේවි.

    ReplyDelete
    Replies
    1. මිනුම් ඉතා විශාල ගණනක් ගත්තා පිළිමය නෙලන ශිල්පියා විසින්. මම කලේ ඔහු ඉල්ලාසිටි පරිදි පින්තූර ගැනීමයි. 16 වැනි පින්තූරයේ වම් පැත්ත පරීක්ෂාවෙන් බැලුවොත් පෙනෙනවා ශිල්පියාගේ අත සහ ටේප් පටිය.

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }