හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

15 July 2014

පොරවගෙන ඉන්නෙ නැතුව පොරොව ගැන ඉගෙනගන්න - The Axe

????????????????????????????????????????????????????????????????????????????????
 හැමදාමත් මම වැඩිපුරම ඔබත් එක්ක කතාකරන්නේ අවි ආයුධ ගැන නේ. අවි ආයුධ කිව්වම යුද්ධයට අදාළ අවි ආයුධත් තියනවා, එදිනෙදා ජීවිතයට අදාළ අවි ආයුධත් තියනවා. මතකද මීට කලින් මම පිහිය ගැන කතාකළා. ඒ ලිපියටත් ඔබෙන් සෑහෙන්න ප්‍රතිචාර ලැබුණා. පොරවාගෙන ඉන්නේ නැතුව පොරොව ගැන ඉගෙනගන්න කිව්වේ, අද මම පොරොව නමැති ආයුධය ගැන ඔබ සමග කරුණු කාරණා සාකච්ඡා කරන්න බලාපොරොත්තුවෙන නිසයි. පොරොව ගැන එක්තරා ජන කතාවක් පුංචි කාලේදී අහලා තියනවා මතකද? එය ඊසොප් ගේ උපමා කතාවක් ලෙසයි මම නම් අහලා තියෙන්නේ. නමුත් බෞද්ධ සාහිත්‍යයටත් සම්බන්ධයක් තියනවා. මතකද කතාව? මතක නෑ? හයියෝ...........පොඩි එකෙක් ඔයාගේ ලඟට ඇවිල්ලා, 'කතාවක් කියලා දෙන්නකෝ'...... කිව්වම කියලා දෙන්නේ, ටීවී එකේ යන හඩු ටෙලි නාට්‍ය කතාවක්ද? නැත්නම් අර විචාරක කියන හාදයා බ්ලොග් වල ලියන ගිරවාගේ කතාව වගේ එව්වද?


axe


   හැබෑටම දැන් ඉන්න වැඩිහිටියන් බොහොම දෙනෙකුට ළමා කථා, ළමා ගීත, ගැන මේ ලෝක දැණුමක් නැත්තේ මොකද අම්මපා? ඒ ගොල්ලන්ට ළමා කාලයක් තිබුණේ නැද්ද? එක පාරටම වැඩිහිටියෝ විදිහටද ඉපදුණේ?............... ඇත්තම කියන්නද? මෙන්න මේකයි වුණේ/වෙන්නේ. කියනකොට කියන්නේ ළමයාගේ දැණුම, කුසලතා, ආකල්ප, වර්ධනය කරන අධ්‍යාපන ක්‍රමයක් කියලා. නමුත් වෙන්නේ මේකයි. ඔක්කොම කරන්නේ එදාට එදාට කරන සරඹයක් - drill විතරයි. ගුරුවරුත් එහෙමයි, ළමයිනුත් එහෙමයි, දෙමවුපියනුත් එහෙමයි. ගුරුවරුන්ට උගන්නනවට වඩා තියෙන්නේ විවිධ සටහන්, සැළසුම්, වාර්තා, ඇගයීම්, ආදිය ලිය ලියා ඉහළට පෙන්නන එක. ළමයින්ට තියෙන්නේ උහුලගන්න බැරිතරම් ටියුෂන් වැඩ සහ ගෙදර වැඩ. දෙමවුපියන්ට තියෙන්නේ මැරීගෙන පවුල් බර අදින ගමන්, ළමයින්ගේ ගෙදර වැඩ කරන එක.


   ඉස්සර ගුරුතුමී/අපේ අම්මා/අත්තා/කිරිඅම්මා/ අපට හරිම රසවත්ව කතන්දර කියාදුන්නා. අද කතන්දරය කියන්නේ නැහැ. ඊසොප්ගේ පින්තූරයක් ඇඳගෙන එන්න. ඊසොප්ගේ රැවුල සෙන්ටි මීටර් කීයක් දිගද කියා මැනගෙන, ඒ දිගට පාට කඩදාසි පටියක් කපාගෙන එන්න. ඊසොප් පීට්සා කෑවේ කොයි කඩෙන්ද? ඔබේ ගෙදර හෝ අල්ලපු ගෙදර තිබෙන පොරොවේ මිට සාදා තිබෙන්නේ කුමන වර්ගයේ ලීයෙන්ද කියා දැනගෙන, ඒ වර්ගයේ ලී කෑල්ලක් ගෙන එන්න. වගේ කුණුහරප කරනවා මිසක්, අර කතාව ළමයාගේ ඔලුවට පොවන්නේ නැහැ. ඉතින් කොහෙද මතක තියෙන්නේ. ගුරුවරයා හිතනවා ළමයා කරයි කියලා, ළමයා හිතනවා ගුරුවරයා කරලා දෙයි කියලා, දෙමවුපියෝ හිතනවා ගුරුවරු ළමයි ලවා කරවයි කියලා. අන්තිමට මොකද වෙන්නේ?.....................හරි හරි විභාග පාස් වෙනවා තමයි. නමුත් තරගකාරී බවේ උපරිමයට යනකොට මිනිස්කම අපේ මනසින් පැනලා යන්නේ දඩාවතේ යන අස්සයෙකුටත් වඩා වේගෙන්. අධ්‍යාපනයෙන් දැණුම වගේම ශික්ෂණයත් ලැබෙනවානම්, මේ විදිහේ කපටි, දුෂ්ඨ, නරුම, මිනිස්සු වැඩිවෙන්නේ ඇයි? මෙව්වා අතීත කාමයවත්, පරම්පරා ගැටුමවත්, පඳුරු තැලිල්ලවත්, නෙවෙයි. ටිකක් හිතලා බලන්නයි මෙහෙම කිව්වේ. මතකනේ අර everybody, somebody, anybody, nobody, කතාව.



TheStoryofEverybodySomebodyAnybodyandNobody-82715


   හරි, එහෙනම් බහිමුද පොරොවේ කතන්දරේට? ඊට කලින් කැමතිද අර ඊසොප්ගේ කතාව පුංචි සජීවීකරණයකින් බලාගන්න? මේ වගේ දෙයක් බලන්න බයිට් වියදම් කලාට කමක් නැහැ අනේ. (වෙන වෙන බයිට් ජාති වලට කොච්චර සල්ලි වියදම් කරනවද) පුළුවන්නම් පොඩි එවුන්ටත් පෙන්නන්න.






   ඉස්සර නම් හැම ගෙදරකම වගේ පොරොවක් තිබුණා. එයට ප්‍රධාන හේතුව වුණේ, ඉවුම් පිහුම් සඳහා අවශ්‍ය දර පලාගැනීමට පොරොවක් අත්‍යවශ්‍ය වූ නිසයි. අද, දර භාවිතය සැළකියයුතු තරම් පහළ මට්ටමක තිබෙන නිසාත්, වඩාත් පිරිසිදු, අඩු වෙහෙසකර, ලාභදායී, විකල්ප බලශක්ති ප්‍රභව තිබෙන නිසාත්, දර අවශ්‍යතාව මෙන්ම පොරොවක අවශ්‍යතාවද, හොඳටම අඩුවී ගිහින් තිබෙන්නේ. අපේ ගෙදර අදටත් පොරොවක් තිබෙනවා. ඉඳහිට එයින් ප්‍රයෝජනත් ගන්නවා. (මගේ පොරොව නෙවෙයි යකෝ, ඒකෙන් දැන් වැඩ ගන්නේ නැහැ. මළකඩ කාලා) මට ඉතාම සතුටින් කියන්න පුළුවන්, අපේ ගෙදර තියන පොරොව, කැත්ත, උදැල්ල, වැනි විවිධ ආයුධ නඩත්තු කරන ආකාරය පිළිබඳව, ඉතා සතුටුදායක දැණුමක් මට ඇති අතර, එවැනි ආයුධයක ඇති ලී මිට කැඩුනොත්, අලුත් මිටක් සවිකරගැනීමත්, මට තවමත් තනිව කරගත හැකි බව. ඒවා කියාදුන් ගුරු දෙගුරුන්ට බුදුබව අත්වේවා! මේ කියන්නේ ආත්ම වර්ණනාවක් නෙවෙයි. මට තවමත් පුළුවන්, පරිගණකයක් අලුත්වැඩියා කරමින් ඉන්න ගමන්, ඒ වැඩේ නවත්තලා, අපේ උන්දැගේ නියෝග මත ඉල්ලීම මත, ඉනිමග අරන් කොස් ගහට තියලා නැගලා, කොස් ගෙඩියක් කඩලා, පොල් කෙක්කෙන් පොල් ඉත්තකුත් කඩලා, පොල් ගෙඩියක් දෙකක් ලෙලිගහලා ගාලා දීලා, කොස් ගෙඩිය වප්පිහියෙන් කපා, මදුළු ටිකක් ගලවාදී, අතපය පිරිසිදු කරගෙන, ආපහු පරිගණකය හැදීම පටන්ගන්න.

   ඔන්න එහෙනම් මාතෘකාවට බහිනවා කියලා දෙවැනි වතාවටත් කියනවා. අපිට අපේ ජීවිතයේදී බලාපොරොත්තු රහිත අවස්ථාවලදී සමහර ආයුධ පාවිච්චි කරන්න සිදුවෙන්න පුළුවන්. ඉස්සර කියමනක් තියනවා 'කැත්තේ උදැල්ලේ වැඩවත් බැහැ' කියලා. එයින් අදහස් කරන්නේ, ගොවිතැන් වැඩ දන්නේ නැහැ කියන එක වගේම, එදිනෙදා ජීවිතයේදී අවශ්‍ය අවිආයුධ පාවිච්චිය දන්නේ නැහැ කියන එකයි. පොරොව කියන්නේ බොහොම පරෙස්සමෙන් පාවිච්චි කලයුතු ආයුධයක්. ඔබෙන් බොහෝ දෙනෙක් දන්නවා පොරොව සහ අත් පොරොව කියන ආයුධ දෙක පිළිබඳව. පොරොවේ කොටස් මොනවද? මොනවද ඉතින් තලෙයි මිටයි නේ? නෑ නෑ, අපි හිතනවාට වඩා කොටස් තියනවා. මේ බලන්න අත් පොරොවක තියන කොටස්. 

2

  අයි හෙවත් ඇස කියන්නේ, පොරොවේ මිට තලයට බස්සවා තිබෙන සිදුරයි. බට් කියන්නේ, පොරෝ තලයේ පසුපස කොටස. හෙඩ් කියන්නේ, සම්පූර්ණ පොරෝ තලය. බ්ලේඩ් යනුවෙන් හඳුන්වන කැපුම් තලයේ, ඉහළ සහ පහළ කෙළවරවල් දෙක, පිළිවෙලින්, ටෝ සහ හීල් යනුවෙන් හඳුන්වනවා. ෂෝල්ඩර් කියන්නේ, පොරෝ මිට තලයට සවිවන තැන. බෙලි = මිටේ මැද. හැඬල් = සාමාන්‍යයෙන් වැඩ කිරීමේදී පොරොව අල්ලාගන්නා ස්ථානය. ග්‍රිප් = දැඩි බලයක් යෙදීම සඳහා පොරොව අල්ලාගන්නා ස්ථානය. නොබ් - මිට අතින් ගිලිහී නොයන්නට, මිටේ කෙළවර මහතට සාදා තිබෙන ස්ථානය. දැන් බැලුවම වැඩ සීයයි කෑලි අටහමාරයි නේද? සාමාන්‍ය පොරොවක් ගත්තත් මේ කොටස් මේ ආකාරයටම තමයි හඳුන්වන්නේ. නමුත් මීට වඩා සරලයි. 

3



5



පොරොවකින් ගහක් කපන්න දන්නවද? දන්නවා?.............. අනේ මොකටද මගේ කට. තණකොළ ගහක් නම් කපන්න දන්නවා ඇති. පොරොවෙන් ලොකු ගහක් කැපීමේදී අනුගමනය කලයුතු පිළිවෙතක් තියනවා. ඒ පිළිවෙත වරද්දාගත්තොත් භයානක අනතුරු වෙන්න පුළුවන්. මුලින්ම බලන්න කිසිදු ගොඩනැගිල්ලකට, මහා මාර්ගයක ගමනාගමනයට, විදුලි, දුරකථන කණු හෝ රැහැන් වලට, මේ ගස කැපීමේදී යම් බලපෑමක් හෝ හානියක් වීමට ඉඩ තිබේද කියා. එහෙම තිබෙනවානම් ගහ කොටස් වශයෙන් කපා ඉවත් කරනවා හැර, මුළු ගහම එකවර කපන්න බැරිවෙනවා. එහෙම බලපෑමක් නැත්නම්, ඔබට පුළුවන් මුළු ගසම එකවර කපන්න.


   මුලින්ම බලන්න ඔබට හොඳට අතපය දිගහැර පොරොව හසුරවන්න ඉඩ තිබෙනවාද කියා. අවට පිහිටි කුඩා පඳුරු, කුඩා ගස් ආදිය තිබේනම්, මුලින්ම ඒවා කපා ඉවත් කරන්න. ඊළඟට හිතන්න ගස බිම දමන්නේ කුමන දිශාවකටද කියා. අන්න ඒ පැත්ත තමයි මුලින්ම කපන්න ඕනේ. පහල පින්තූරයේ අංක 1 යනුවෙන් පෙන්වන්නේ ඒ කැපුමයි. ඒ සඳහා යොදන කැපුමේ යම් නිශ්චිත හැඩයක් තිබෙනවා. ඒ හැඩයට නොකැපුවොත් ගහ කැරකී වෙනත් පැත්තකට වැටෙන්න ඉඩ තියනවා. ගහේ අරටුව දක්වා එම කැපුම යෙදිය යුතුයි. ඊළඟට කපන්නේ මුලින් කැපු පැත්තට විරුද්ධ පැත්ත. ඒ කැපුම පළමුවැනි කැපුමට වඩා මඳක් ඉහළින් යොදන්නේ. එමෙන්ම ඒ කැපුම එතරම් විශාල නැහැ. දැන් ගහ වැටෙන්න යනවායි ඔබ හිතනවානම්, ගහ ඇලවෙන බව පෙනෙනවානම්, වහාම ඉවත්වන්න. ඉවත්වන්නේ කොහාටද? ගහ වැටෙන කෝණයෙන් අංශක 45 ක් පමණ කෝණයකට තමයි ඔබ යායුත්තේ. මොකද, යම් වැරදීමක් සිදුවී ගහ ආපහු වැටෙන්න පුළුවන්, දෙවැනි කැපුම යෙදු පැත්තට. පහළ පින්තූරය බලන්න. 



4



   ගහක් කපන්න ගිහින් අර, 'කර ගහ කරගහ' කිව්ව කතාව දන්නවනේ. දන්නා කෙනෙක් ඔන්න ඔය කමෙන්ට් එකකවත් ලියලා දාන්න. හරි. ඔන්න පොරොව ගැන කිව්වා. පොරොවේ නෑදෑයෝ කවුද? මක්කිව්වා උදැල්ල? මම කියන්නේ නෑ............ඔන්න එහෙනම් අහගන්න පොරොවේ නෑදෑයෝ.

   වෑය කියන ආයුදේ දන්නවද? දැන්නම් වෑය භාවිතයේ නැති තරම්. වෑයෙන් කරන්නේ, ලී කඳක තිබෙන අනවශ්‍ය ඇද කොටස් කපා ඉවත්කර ලීය හැකිතරම් කෙලින් හැඩයකට සකසා ගැනීම සහ/හෝ, ලී කඳකින්, පරාල වැනි, කෙලින් පිහිටි කොටස්, පලා වෙන්කර ගැනීමයි. ඉස්සර පොල් ලී සැකසුවේ (පැළුවේ) වෑයෙන්. එක්තරා පැරණි සිංහල කියමනක් තියනවා, 'වෑ පස්සෙයි හිර පස්සෙයි යන්න එපා' කියලා. මොකක්ද ඒකෙ තේරුම? ඒ කියන්නේ 'වෑයෙන් වැඩ කරනකොට ඊට පිටුපසින් ඉන්න එපා, අනතුරු වෙන්න පුළුවන්, විවාහයක් කරගැනීම සඳහා බැගෑපත්වෙමින් පසුපස යන්න එපා, අපහාස උපහාසයට ලක්වෙන්න පුළුවන්' කියන එකයි.  

1 (25)

පින්තූරය ගත්තේ මෙතනින් 

  වෑය අස්සේ තවත් ඒවා ගහන්න ගියොත් වැඩේ දික් ගැහෙයිද? හැබැයි මෙතන මම කරලා තියෙන්නේ පොරෝ කතාව අස්සට වෑය රිංගවීම. වෑය, පොරොව, වගේ තවත් ආයුධයක් තියනවා ඒ තමයි පික්ඇක්ස් pick axe එක. සමහරු නම් මේකට වැරදි උච්ඡාරණයකින් 'පිකස්' කියලා කියනවා.  පික්ඇක්ස් එක ගස් වලට හෝ ලී වලට සම්බන්ධ නැහැ. එයින් කරන්නේ තද පොලොව කැඩීම සහ කැපීමයි. පික්ඇක්ස් එකට සිංහල නමක් තියනවා නේද 'කුන්තානිය' කියලා? 



pickaxe_photo


  පොරොවේ තවත් නෑදෑයෙක් තමා අයිස් පොරොව. ඒකත් ලී වලට සම්බන්ධ නැහැ. හිම කඳු නගින අය, බාධක හිම කුට්ටි කඩා ඉවත් කිරීමටත්, කඳු නැගීමේදී ලිස්සා නොගොස්, ඉහළ නැගීමේ ආධාරකයක් ලෙසත් අයිස් පොරොව පාවිච්චි කරනවා.


mountain_climbing



   ලෝකයේ විවිධ රටවල තිබෙනවා, විවිධ හැඩයේ, විවිධ ප්‍රමාණයේ විවිධ ප්‍රයෝජන ගතහැකි, පොරොව වර්ග. මේ බලන්න.


axes


   අද ලෝකයේ සියලුම දේවල් නවීකරණය වෙනවා වගේ, අද පොරොවත් නවීකරණය වෙලා තියනවා. මේ බලන්න පොරොව නවීකරණය වෙලා තියන හැටි. වීඩියෝව නොවරදවාම බලන්න. 


6








ඉහත පින්තූරය සහ වීඩියෝව ගත්තේ මෙතනින් 


   මා විශ්වාස කරනවා, අද අපෙන් ඈත්වෙමින් පවතින පොරොව ගැන, ඔබට යම් සතුටුදායක දැනුමක් ලැබෙන්නට ඇතැයි කියා. ඔබ මගෙන් සෑමවිටම පාහේ බලාපොරොත්තුවන, හමුදා කටයුතු සම්බන්ධ ලිපි දෙකක් සංස්කරණයේ පවතිනවා. පරිවර්තනය කිරීම තරමක් අමාරු කාර්යයක්. හැකි ඉක්මනින් ඒ ලිපි ඔබ වෙත ගෙන එන්නට උත්සාහ කරනවා. තවත් ලිපියකින් ළඟදීම හමුවෙමු.



my-signature-for-blog[1]    2014 ජූලි මස 14 වැනි දින 2320 පැය

59 comments :

  1. විඩියොව පස්සෙ බලන්නම් ,පොරොව ගැන බලන් ගියාම දැනගෙන ඉදලම නෑනේ ???වැය ටිකක් භයානක අයුදයක් පුරුදු නැති අය වැඩ කරොත් කකුල ඉවරයි ,එක සැරයක් දැක්කා එහෙම වෙලා තියෙනවා ,දැක්කා
    විචාරක තුමා ලිපියක් ලියන්න වෙන මහන්සියට මගේ ප්‍රණාමය ...(අපි නම් අකුරු ටිකක් කෙටුවා පබ්ලිශ් කරා )

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඇගයීම ගැන. මටත් හිතුනා පොරොව දැන් හුඟක් දෙනාගේ මතකයෙන් ගිලිහිලා ඇති කියලා.

      Delete
  2. ඇත්තටම 'පොරොව' මෙහෙම කියලා කවදාවත් දැනගෙන හිටියේ නෑනේ... :D

    ReplyDelete
    Replies
    1. අමතක වෙන, අමතකවී ගිය, දේවල් මතක් කිරීම හොඳයි කියලා හිතුන නිසයි ලිව්වේ.

      Delete
  3. මට මතක් වුනේ දෙයියෝ දීපු පොරෝ පාර

    පට්ට විචාරයක් දෙන්නම් පස්සේ ඇවිත් මගේ පසමිතුරු පත්තරයත් එක්ක

    ReplyDelete
    Replies
    1. අන්න හරි දෙන්නා පටන්ගනිල්ලකෝ විචාරේ. හොඳ හොඳ දේවල් අපිටත් දැනගන්න බැරියැයි.

      Delete
    2. අත් පොරෝ පාරවල් තමා ගණංම.. !!!

      Delete
    3. ඇයි සමහරු කියන්නේ ඉහළට යන්න නම් වෑයයි පොරොවයි පාවිච්චි කරන්නම් වෙනවා කියලා.. :D

      Delete
    4. ආ...... දැන් ඉවනයයි පත්තරයයි සාම ගිවිසුම් ගහලද.....!
      අනේ බොලන්ලගේ විචාර....! මොකටද මගේ කට.

      Delete
  4. දැන් උන් දන්නවා පොරව.. “ඇයි පුකට පොරෝ පාරක් වැදුනද ??“ කියලා අහන්න විතරක්... ඒ වගේම කාඩ් පැක් එකේ පොරව...

    අත් පොරවකින් වැඩ කරල නැහැ මම. ඒත අයිස් පොරව ඇරෙන්න හැම පොරවම දැකල තියෙනවා. අර තඩි දිග දර පලන පොරව තමා අපේ ගෙදර තාමත් තියෙන්නේ.

    මේක ලියපු උඹ මාර පොරක් බං..

    ස්තුති මතකයන් අවදිකළාට..

    ReplyDelete
    Replies
    1. පොරෝ පාර වැදුනේ ඔය කියන පැත්තටද ඊට විරුද්ධ පැත්තටද?

      අම්මපා සෑමෝ උඹ කියනකල් මටත් අමතකවුණා නේ කාඩ් කුට්ටමේ පොරොව.

      ස්තුතියි ඇගයීම ගැන.

      Delete
  5. බැලුවහම පොරව ගැන මුකුත්ම දැනගෙන ඉඳලා නෑනේ...

    හුඟක් මහන්සිවෙලා ලියපු වටින විස්තරයක්.. බොහොමත්ම ස්තූතියි අපිත් එක්ක මේ තොරතුරු බෙදා ගත්තට ...

    ReplyDelete
    Replies
    1. බොහොම සතුටුයි ඔබේ දැණුම දියුණුවීම ගැන.

      Delete
  6. සුද්දා නම් ගහ පෙරලී ගෙන එනකොට 'ටිම්බර්' කියලා බෙරිහන් දෙනවා.
    අඩේ අලුත් පොරවට කේස් එකකුත් තියනවා නොවැ.

    වෑයක් දැක්ක කල්
    උඩරට මුල් කාලයේදී එක ගහකින් එක ලීයක් පමණක් ගත්තු බව අහල තියනවා
    පොරොවෙන් බිමදාල වෑයෙන් අහිනවලු ලෙල්ලට.කියත් නැති හින්දද මන්දා

    //වෑ පස්සෙයි හිර පස්සෙයි යන්න එපා
    :-) මසුරං කියුම්. ඇහැව්වමයි මේක.

    ReplyDelete
    Replies
    1. අපේ එවුන්ට 'ටි'යන්න වෙනුවට 'කි'යන්නවත් කියාගන්න අමතක වෙනවා ගහ වැටෙනකොට.

      අප්පේ ඉස්සර ගොඩනැගිලි වල එක බාල්කෙකින් පුළුවන් දැන් කාලේ මුළු වහලයකටම අවශ්‍ය ලී ඉරාගන්න.

      ස්තුතියි අදහස් දැක්වීම ගැන.

      Delete
  7. අනේ ඉතින් අද කාළේ උන්ට කතන්දර කියා දිදි උන්න කතන්දරෙත් යන්න ගියා නේ. කතන්දර ගොඩාක් තියෙනවා කිව්වට ඉවර වෙන්ට ඇති මයෙ හිතේ. දෙවියන් වහන්සේ ගාවත් පොරවක් තීලා තියෙනවා නේ. ඒ පොරෝ පාර කාපු අය තාමත් ඉන්නවා. කොහොම පාරක් දෙන්න ඇද්ද නේ විචාරක උන්නැහේ...?

    තව කතාවක් මතක් උනා අර පොරවත් අරගෙන ගහ කපන්න ගිය ගමයගේ කතාව. ඌ කිව්වලු නේ යකෙක් කන්න බඩගිනියි කියලා. ඒකට යකා බය උනා. හරි අපූරූ කතාව.

    මම දැක්කා අදටත් ව්/ඩිපුර භාවිතා වෙන්නේ දරය කියලා. ඒකත් හරි කරදර වැඩක් නොවෑ..

    ReplyDelete
    Replies
    1. කතන්දර තම බ්ලොග් එක නැවත්වීම සාධාරණ නැහැ. මොකද අපි බ්ලොග් ලිව්වට බ්ලොග් කියවන්නන්ටත් ඒ බ්ලොග් එක අයිතියි. මා හිතනවා තරමක විවේකයකින් පසු ඔහු නැවත ලියයි කියලා.

      පොරෝ කතා ගොඩක් තියනවා. ලිපිය දික්ගැහෙයි කියලා ලිව්වේ නහ.

      ඇත්තටම අදත් දර භාවිතය බොහොම ඉහලයි.

      Delete
    2. matahalanta mama deeppu poro para gana wenataathi neda mathak une

      Delete
  8. හා සෑර් .. පොරෝ පාරවල් හරි ගණං .. සීදේවි පාටයි :D

    ReplyDelete
    Replies
    1. ඔන්න පොරෝ අක්කා කෙනෙක්ගේ පින්තූරයක් දැම්ම, හදිස්සියෙන් හම්බවෙලා. බලන්නකෝ ඒකත්.

      Delete
  9. අපි නං පොරවකින් වැඩ කොරන්න ගත්ත හමඅපේ අම්මල කියන්නෙ
    හනුම දර පලනව වගේ කියල... ඒ අරපරිස්සම් නැති කිරියාව හින්ද පොරව අල්ලන්න නොදුන්න කාලය්ක තිබ්බ.
    වෑය නං පට්ට ආයුදේ... කාව හරි හොදට සැහැල දාන්න පුළූවං... හිහි
    මං එක පාරයි වෑයක් අල්ලල තියෙන්නෙ ඒ පොල්ලී පලන්න කට්ටියක් වත්තට ආපු දොහක.. ඒත් මං ඒක අල්ලනව කියල දැක්ක උංදල මාව පන්න ගත්ත.. ඇයි දන්නෑ...
    සමහර විට අරරිලවගෙ කේස් එක මතක් වුණාද දන්නෑනෙ

    ReplyDelete
    Replies
    1. ඇත්තටම පොරොව, වෑය, වගේ ආයුධ පරිහරණය කිරීමට යම් දැණුමක් අවශ්‍යයි. අපි කවදාවත් ළමයින්ට මේ වගේ ආයුධ අල්ලන්න දෙන්නේ නැත්තේ ඒ නිසා නේද?

      හැබැයි මේ වගේ ආයුධ අතපත ගාලා තුවාලයක් වත් නොකරගත්තොත් ඒකා කොල්ලෙක් නෙවෙයි.

      Delete
  10. මෝල් ගහ ගැනත් ලියන්නකො දවසක

    ReplyDelete
    Replies
    1. ටිකක් කරුණු හෙව්වොත් ලියන්නත් බැරි නැහැ. මෝල් ගහ ගැන හොඳම වාක්‍ය රචනය ලියලා තියෙන්නේ කුමාරතුංග මුනිදාස පඬිතුමා. එතුමා කුඩා කාලයේදී කිතුල් ගස ගැන රචනයක් ලියද්දී ලිව්වලු මෙන්න මෙහෙම.

      'කිතුල් ගසෙන් සාදන තවත් ගසක් ඇත. එනම් මෝල් ගසයි'

      Delete
  11. Wayen rahala poro parak dena eka gana kiyala nane.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්..........එව්වා කියන්න ගියානම්, ලිපිය පොඩි ළමයින්ට පමණයි කියලා, දාන්ඩ වෙනවා.

      Delete
  12. විචාරකතුමනි,

    මම දැක්කා විදේශීය ජනමාධ්‍ය වල පලවෙලා තියෙන පුවතක් එහි දක්වා තිබුනා ශ්‍රී ලංකාවේ හමුදාවට,බ්‍රිතාන්‍යයෙන් ලැබුණු උදව් උපකාර ගැන. 2009 වන තෙක් විස්තර එහි අඩංගුයි. ඔබ එය දුටුවද? ජායාරුප කිහිපයකුත් එහි අඩංගුයි.

    ඔබතුමා මොකද ඒ ගැන හිතන්නේ?

    වාර්තාවට සබැදියක් පහතින්.

    http://www.ptsrilanka.org/images/documents/britains_dirty_war.pdf

    ReplyDelete
    Replies
    1. කියවලා බලලා උත්තරයක් දෙන්නම්.

      Delete
  13. කෙටේරි, Hatchets, Battle axes, Tomahawks ආදිය ගැනත් ලියන්න

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මම මේ ලිපියේදී කතාකලේ ගෙදර පාවිච්චි කරන පොරොව ගැන පමණයි. පොරොව කියන වර්ගීකරණයට සම්බන්ධ අනෙක් ආයුධ ගැන පසුව වෙනම ලියන්නම්.

      Delete
  14. 1. //පොල් ඉත්තකුත් කඩලා// ඒ මොකක්ද අප්පේ ඒ?

    2. පොරොව අමතකයි කිව්වට අපේ ගෙදර නම් තාම පාවිච්චි වෙනවා. අත් පොරව හා දර පලන ලොකු එක. හැබැයි ඔය වගේ ප්‍රියමනාප පෙනුමක් නෑ. දෙකම කම්මලේ හදල අපි මිට ගහගත්තුවා. ඔය වගේ ලස්සනට තියෙන පොරෝ හාඩ්වෙයාර් වලින් ගත්තැකි. ඒ උනාට එච්චර හයිය නම් නෑ.

    3. //අවට පිහිටි කුඩා පඳුරු, කුඩා ගස් ආදිය තිබේනම්, මුලින්ම ඒවා කපා ඉවත් කරන්න// මේකා වැඩක් කරන්න ගියාම වටේම ගස් ඉවරයි. එහෙමයි අම්මා කියන්නෙ.

    4. කරගහේ කතාවට වඩා මරුනෙ අර කරත්තෙ කොස් ගහට කපපු කතාව. ආයෙ උස්සල කරත්තයට පටවන්න ඕනෙත් නෑනෙ.

    5. ගහක් කපන හැටි නම් හරියට දැනගෙන නෙමෙයි මෙච්චර කල් ගස් කැපුවෙ. බොහොම ස්තුතියි කියලා දුන්නට.

    6. කුන්තානියට අපි කියන්නෙ උල් කටුව කියලා.. ඒ වගේ අලුත් ජාතියෙ පොරෝ නම් දැක්කෙත් අදයි. හදිසි ගිනි නිවීම් ඒකක වලත් පොරෝ තියෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. 1 සමහර පැතිවල පොල් වල්ල, තවත් සමහර පැතිවල පොල් ඉත්ත.

      2 ඔව් කම්මලකින් හදවාගන්න තරම් කඩෙන් ගන්න පොරෝ තල හොඳ නැහැ. හැබැයි දැන් මිටවල් ගන්න තියනවා කඩේ. ඒවා හොඳයි. පොරෝ තල පිටරටින් ගෙන්වන්නේ නැත්තේ මෙහෙ ඒ සඳහා වෙළඳපොළක් නැති නිසා වෙන්න ඇති.

      3 කොයි වැඩේ කරන්න ගියත් වටේ පඳුරු තලනවද?

      4 අම්මපා අමතක වෙලා තිබුන කතාවක් ඔයා මතක් කලේ. අපරාදේ මෙතනම ලියලා දැම්මනම් ඉවරයිනේ.

      5 මට ඔය ගස් කැපිල්ල කියලා දුන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කෙනෙක්.

      6 කුන්තානියත් රටේ විවිධ පැතිවලදී විවිධ නම් වලින් හඳුන්වනවා. ගිනි නිවීමේ කටයුතු සඳහා අත් පොරොව වැනි ආයුධයක් තියනවා.

      Delete
    2. 4. කරත්තෙ කොස් ගහට නෙමෙයි කොස් ගහ කරත්තෙට. :e

      5. වන සංරක්ෂණ කියන්නෙ ඒකට වෙන්නැති..

      Delete
    3. ඒක 'සංරක්ෂණය', 'ආරක්ෂණය' නෙවෙයි. ඒ නිසා ඒකට ගස් කැපිල්ලෙ ප්‍රශ්නයක් එන්ට විදියක් නෑ නෙවැ හරී.

      Delete
  15. පොරවෙන් කැපිල්ල නං ටිකක් විතර ලෙහෙසියි. නමුත් වෑය නං ඩේංජරස්. පොඩ්ඩක් මිස් වුනොත් දනිස්සෙන් පහල හබක්!

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් වෑයත් එක්ක සෙල්ලම් නැහැ. ඒකනේ අර කියමනෙත් තියෙන්නේ.

      Delete
  16. බොහොම ස්තුතියි මේ අපුරු විස්තරයට,.

    එක නෙවේ වෙනදා වගේම මට මේ පොස්ට් එකෙනුත් පොඩි ප්‍රශ්නයක් මතු උනා. එක විස්තර කොරන්න හැකිද? මෙන්න ප්‍රශ්නය..

    //පේ උන්දැගේ නියෝග මත ඉල්ලීම මත, ඉනිමග අරන් කොස් ගහට තියලා නැගලා, කොස් ගෙඩියක් කඩලා, පොල් කෙක්කෙන් පොල් ඉත්තකුත් කඩලා, පොල් ගෙඩියක් දෙකක් ලෙලිගහලා ගාලා දීලා, කොස් ගෙඩිය වප්පිහියෙන් කපා,//

    මේ කියන දේ ව්‍යන්ගාර්ථයක් තිබේද? :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඇගයීම ගැන.

      අම්මපා මේ සිංහල බාසාව මහා අරුම පුදුම බාසාවක්. අමු හිංගලෙන් මොකක්හරි කිව්වත් ඒක ඇතුලේ වෙන වෙන තේරුම් ඉබේම පහල වෙනවා. ඇත්තටම මෙහි යටි අරුතක් ගැන හිතලා ලිව්වේ නැහැ. ඇත්තම තත්වය ලිව්වේ.

      Delete
  17. Ada indan Sinhala font nam naha, phone 1n ena nisa..
    Pala tikak daranna gihin porowa enakal thama meka kiyewwe. Coincidenses kiyanne mewata wenna athi. Matath aththa udalla, porowa paawichchi karanna kiyala deela thiye. Iskole farm ekenuth danumak labuna. Ape gedara thawama dara thamaa pradhana indanaya. E nisa porowa thawamath mehe paawichchi wenawa hamadaama wage.. (Eeye nam wathura muttiyak unu karanna mama Nuwara Running Shed eken genaapu gal anguru walin poddak damma)

    ReplyDelete
    Replies
    1. ෆෝන් වලින් ජාලෙට යන්න මමනම් අකමැතියි. මටනම් එපා වෙනවා. සිංහල දාගන්න බැරි මොඩල් එකක්ද තියෙන්නේ.

      අහම්බයක් කියන එක කොයි මොහොතේ වෙනවාද කියලා කියන්න බැහැනේ.

      කොයි ආයුධය වුනත් ටිකක් ඉගෙනගෙන තිබීම වැදගත්.

      Delete
  18. හත් ඉලව්වට ගහපු මොකක්ද එක කිව්වලු.........

    පොරවයි වෑයයි දෙකම දැකලා තියෙනවා. වෑය නම් පොඩ්ඩක් අනතුරුදායකයි වගේ.

    "කුන්තානිය" මම දන්නේ නම් මේක උල් කටුව ලියලා.

    පොරව ගැන මෙච්චර විස්තර දැනගත්තේ නම් අද. විස්තර හොයල පලකිරිම ගැන ස්තුති.

    ගස් කැපිල්ලත් ලේසි නෑ. ඔය ගහෙ කපන ත්‍රිකොනේ වගේ කෑල්ලට කියන්නේ අල්ලුව කපනවා කියලද කොහෙද? (මන්දා මට මතක විදිය)

    එනිවේ පොස්ටුවෙන් ගොඩක් දේ ඉගෙනගත්තා. විශේෂයෙන් ගහක් වැටෙද්දී අනික් උන්ට මොකක් උනත් ආරක්ෂාකාරී පැත්තට දුවන එකවත්. හේ.. හේ.. :P

    ReplyDelete
    Replies
    1. හත්ඉලව්වට ගැහැව්වේ කලාබරේ මිසක් පොරොව නෙවෙයිනේ?

      සමහර පැතිවල කුන්තානියට උල් කටුව කියලයි කියන්නේ.

      අල්ලුව කපනවා කියන එක මම අදයි ඇහුවේ. බොහොම ස්තුතියි ඒ දැණුම දුන්නට.

      ගහක් වැටෙනකොට දුවන්න ඉගෙනගැනීමත් සුළුපටු වැඩක්ද?

      ස්තුතියි ඇගයීම ගැන.

      Delete
  19. පොරොව පාවිච්චි කලාට අපි පොරොව ගැන දන්නෙ කොච්චර ටිකයිද කියල හිතුණා.බීසනේ කාලෙ රෑට ගෙදරට කතාකළොත් පොරව ගන්න කියල ජේ ආර් කිව්වා නේද?

    ReplyDelete
    Replies
    1. ජේ.ආර්.ට නම් ඒ කාලේ බයක් හැකක් නැතුව පොරවාගෙන නිදියන්න පුළුවන් වෙන්න ඇති නේද හැලපෙ. ඇයි ඉතිං කිරිජ්ජපල්ලේ ඉඳලා ඔක්කොම ආරක්ෂා කරන්න ත්‍රිවිධ හමුදාවයි පොලීසියයි හිටියනේ.

      පොරොව අද පරපුරට අමතකවීම වලක්වගන්නයි මේක ලිව්වේ.

      Delete
  20. මමත් ආසම භාණ්ඩයක් තමා අර double headed axe එක. හරි හුරුබුහුටියි නේ. :-)

    Pra Jay කිවුවා වගේ battle axes, tomahawks ගැන එහෙමත් දවසක ලියමුනේ.

    ReplyDelete
    Replies
    1. ඔව් මේ සංග්‍රාමික පොරොව ගැන වෙනම ලියන්නම්. මොකද ඔලු දෙකේ පොරොවට ඔච්චරම ආසා?

      Delete
    2. ඒක දැක්කහම මතක් වෙන්නෙ අර ඉස්සර කාලෙ වයිකිංවරු එහෙම ඕවා පාවිච්චි කරලා යුද්ධ කරපු හැටි. මම කොහොමත් යුද්ධ කතාවලට ආසයි නෙ.

      Delete
  21. සර්.... Cpl කුලරත්න තමන්ගේ ජීවිතේ පූජා කරල අලිමංකඩ කඳවුර බේරගෙන මේ මාසයට අවුරුදු 23ක් වෙනවා.

    මම සර්ගෙන් ඉල්ලා සිටින්නේ ඒ ගැන ඔබගේ අත්දැකීමුත් එකතු කර ලිපියක්
    ඉදිරිපත් කරන ලෙසයි.


    මම කියවපු ලිපිය මෙතනින් බලන්න පුලුවන්...
    http://www.sundayobserver.lk/2010/07/11/sec03.asp

    ReplyDelete
    Replies
    1. මේ වීර සෙබලා ගැන ලියවුනු ලිපි රාශියක් තියනවා. අන්තර්ජාලයේ වෙනමම ලියවුනු ලිපි නැද්ද කියා බලලා ලියන්නම්.

      බොහොම ස්තුතියි අර ලින්ක් එකට සහ මේ මතක් කිරීමට.

      Delete
  22. පොරව ගැන මෙච්චර ලොකු විස්තරයක් තියෙයි කියලා දැනන් හිටියේ නැහැනේ..

    ReplyDelete
    Replies
    1. ඔව් අපි හිතන්නේ නැති දේවල් සෑම උපකරණයක් පසුපසම තියනවා.

      Delete
  23. නොහිතපු වෙලාවක අපි හොදින්ම දන්න ආයුධයක් ගැන අප නොදන්නම තොරතුරු ගොන්නක්. ඒත් දැන් ගස් කපන්න පොරව භාවිත වෙනවා අඩුයි නේද? අර දම්වැල් කියත තමා භාවිතයට ගන්නේ.

    ලංකාවෙනං දැන් මිනිස්සු මරන්නත් පොරව භාවිත කරනවා ආරංචි ඇතිනේ ..
    ස්තුතියි සටහනට..

    ReplyDelete
    Replies
    1. මහා පරිමාණ ගස් කපන්නෝ දැන් දම්වැල් කියත තමයි පාවිච්චි කරන්නේ නලීන්. නමුත් දර කෑල්ලක් පලාගෙන කුස්සියට ගන්න මිනිස්සු තවමත් පොරොව තමයි පාවිච්චි කරන්නේ.

      පොරොව බොහොම මාරක ආයුධයක්. පොරෝ පහරකින් මරණීය තුවාල නොවී බේරෙන්නේ බොහොම කලාතුරකින්.

      Delete
  24. වටින විස්තරයක් විචාරක තුමණි ......
    පොරව අහල තිබ්බට......දෙයියො දීපු පොරෝ පාර තමයි තමයි ඉතිං ........

    ReplyDelete
    Replies
    1. උඹ දන්නේ ඉතිං ඒ පොරෝ පාර විතරනේ.

      මම ඊ මේල් එකක් එව්වා හම්බවුනාද?

      Delete
  25. අර පොරවනම් මරු ඈහ්... එකක් ගන්න හිතුනා.. ලංකාවෙ තියනවද දන්නෑ නේද ?

    ReplyDelete
    Replies
    1. මටත් ඒ වීඩියෝ එක දැක්කම හිතුනා සෙන්නා ඒක අපූරු පොරොවක් කියලා. මම හිතන්නේ නැහැ ලංකාවේ ගන්න ඇති කියලා. මේ වගේ පොරොවක මිළ අනුව ලංකාවේ විකිණෙන එකක් නැහැ.

      Delete
  26. පොරව තියන් ඉන්න අක්කනම් මරු විචෝ...... සංජිව මෙන්ඩිස් ආවනම් අක්ක ඇදන් ඉන්න එකත් මරු කියයි

    ReplyDelete
    Replies
    1. අක්කා ලඟට ගියානම් සංජීවගේ අනවශ්‍ය කොටස් කොට කරලා එවයි.

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }