හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

18 July 2014

ඇත්තටම අපි යුද්දේ පැරදුනා නම්...................... If We Were Defeated......


images
 ඔන්න ඉතින් කේන්ති ගන්න එපා මෙහෙම කිව්වා කියලා. මට මේ නිකමට හිතුන දෙයක් කිව්වේ. මේ දවස්වල මානව හිමිකම් කොමිෂන් ප්‍රශ්න, එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අරක කොරනවලු, මේක කොරනවලු. බ්‍රිතාන්‍ය රජය අපේ රටේ හමුදාව පුහුණු කරලා අහිංසක දෙමල මිනිස්සු මරන්න උදව් කලාලුඒ මදිවට ඉන්දියාවේදී කොටින්වත් පුහුණු කලාලු. දැන් එක එක කතා එළියට එනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්, නීත්‍යානුකූල රාජ්‍ය ලෙස පිළිගන්නා රටවල් දෙකක් අතර, යුද්ධාධාර ගිවිසුම් ඇතිකරගැනීම පිළිබඳව, කාටවත් කිසිම චෝදනාවක් නගන්න බැහැ. චෝදනා කලහැක්කේ, එම ආධාර, වෙනත් රටක ස්වාධිපත්‍යය වැනසීම සඳහා බලපෑමක් ඇති කරනවානම් විතරයි.

   ලංකාවේ ත්‍රිවිධ හමුදා නිලධාරීන්, බ්‍රිතාන්‍යයේදී පුහුණු කිරීම ආරම්භ වුණේ, අපි නිදහස ලබන්නටත් කළින්. බ්‍රිතාන්‍ය හමුදා නිළධාරීන්/නිළධාරිනියන්, දියතලාව යුදහමුදා විද්‍යා පීඨයේ පුහුණු උපදේශක රාජකාරි සඳහා මුලින්ම පැමිණියේ, 1970 දශකයේ අග භාගයේදී, අපේ රටේ පළමු වරට, කාන්තා බලකායක් ඇතිකළ අවස්ථාවේදීයි. අද දක්වාම ලංකාවේ ත්‍රිවිධ හමුදා නිළධාරීන්, එංගලන්තය, ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, පාකිස්ථානය, චීනය, බංග්ලාදේශය, වැනි රටවල වැඩිදුර පුහුණුව සඳහා යනවා. ඒ යන්නේ දෙමළ මිනිස්සු මරන්න ඉගෙනගන්න නෙවෙයි. ලෝකයේ කොයි හමුදාවත් ලබන වැඩිදුර පුහුණුවීම් ලබන්න. එහෙම යන්නේ ලෝකයේ වෙනත් රටවලට හොරෙන් නෙවෙයි. ඒ ඒ රටේ හමුදා ගැන බුද්ධි තොරතුරු සොයන සෑම රටක්ම දන්නවා, පහුගිය අවුරුද්දේ, ඒ ඒ රටෙන්, ඒ ඒ රටට, කොපමණ හමුදා නිළධාරීන් සංඛ්‍යාවක් පුහුණුවට ගියාද, ඔවුන් ඉගෙනගන්නේ මොනවගේ දේවල්ද, කියලා. මාලදිවයින් යුදහමුදාවට අයත් කෙඩෙට් නිලධාරීන්, දියතලාව යුද හමුදා අභ්‍යාස විද්‍යා පීඨයට පැමිණ පුහුණුව ලැබුවේ/ලබන්නේ, අද ඊයේ නෙවෙයි. ශ්‍රී ලංකා ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යා පීඨයේ පුහුණුව ලැබීම සඳහා, විදේශීය හමුදාවන්ට අයත් සිසුන්, සෑහෙන පිරිසක්, වාර්ෂිකව සහභාගි වෙනවා. ඒ නිසා අර චෝදනා එතරම් ගණන් ගතයුතු නැති, මෝඩකමට කියන කතා ලෙසයි මමනම් දකින්නේ.

   හොඳයි. දැන් අපි හැරෙමුකො අපේ මාතෘකාවට. ලෝකය පුරා සිටින දෙමළ ඩයස්පෝරාව, විවිධ රටවල මෙන්ම, එක්සත් ජාතීන්ගේ සංවිධානයේද අනුග්‍රහය, අනුකම්පාව, ඉතාම සූක්ෂ්මව දිනාගෙන, යළිත් අර අඳින්නේ, කෙසේ හෝ ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කොට, 'ද්‍රවිඩ ඊළමක්' ගොඩනැගීමට බව රහසක් නොවෙයි. ඒ සඳහා ඔවුන් ඉදිරියට දාගෙන සිටින ප්‍රශ්නය තමයි මානව හිමිකම්. මානව හිමිකම් තිබිය යුත්තේ එල්.ටී.ටී.ඊ. සංවිධානයට පමණද? උතුරේ ද්‍රවිඩ වැසියන්ට පමණද? අපේ හමුදාවට හා දිවයිනේ දකුණු ප්‍රදේශවල ජනතාවට මානව හිමිකම් නැද්ද? එහෙනම් ඇයි එක පැත්තක විතරක් මානව හිමිකම් ගැන මෙච්චර කෑගහන්නේ? හොඳයි අපි මෙහෙම හිතමු අපි යුද්දේ පැරදුණා කියලා හිතමු. ඒ කියන්නේ ලංකාවෙන් බාගයක් අපිට අහිමි වෙනවා කියන එකයි.



2


   මතකද මේ යුද්දේ දිනන්න බැහැ කිව්ව අය. සෑහෙන දෙනෙක් ඉන්නවා හොඳ ප්‍රසිද්ධ පුද්ගලයෝ, යුද්ධය දිනන්න බැහැ කිව්ව. පහත දක්වනවා ඒ ගැන ලියන ලද පුවත් පත් තීරු ලිපියක්. හැබැයි ඒ ලිපියේ සමහර කරුණු, ටිකක් අතිශයෝක්තියට බරයි. 

කොටින්ට එරෙහි යුද්ධය ජය ගත නොහැකි යෑයි පැවසුවෝ


2007 මාර්තු 22 වැනිදා බ්ලුම්බර්ග් නමැති වෙබ් අඩවිය ආරක්‍ෂක විමර්ශකයන් යෑයි හඳුන්වන පිරිසක්‌ කළ ප්‍රකාශයන් තුළින් කියා සිටියේ රජයට හා කොටින්ට යුද්ධයෙන් ජයගත නොහැකි බවයි.

සිංගප්පූරුවේ ආරක්‍ෂක කටයුතු අධ්‍යයන ආයතනයේ ත්‍රස්‌ත මර්දන පර්යේෂණ ඒකකයේ ප්‍රධානි බැව් කියන රොහාන් ගුණරත්න එකී බ්ලුම්බර්ග් වෙබ් අඩවියට පැවසුවේ අර්බුදයට සාකච්ඡාමය විසඳුමක්‌ අවශ්‍ය බවයි. එසේම රජයට හා කොටින්ට යුද්ධය ජයගත නොහැකි යෑයි ඔහු කියා සිටියේය. කොටි සමග සාකච්ඡාමය විසඳුමක්‌ ඇති කර ගත යුතු යෑයි ගුණරත්න ප්‍රකාශ කර මාස තුනකට පසු ශ්‍රී ලංකා හමුදාව නැගෙනහිර ප්‍රදේශයම සිය පාලනයට ගත්තේය. රොහාන් ගුණරත්න මෙම ප්‍රකාශය කිරීමට පෙර ටැමිල්නෙට්‌ කොටි වෙබ් අඩවිය මෙහෙයවූ ඩී. පී. සිවරාම් හෙවත් තාරකී ප්‍රකාශයක්‌ කරමින් ශ්‍රී ලංකා හමුදාව නැගෙනහිර අල්ලා ගැනීමට උත්සාහ කළහොත් එය පාරා වළල්ලක්‌ වන බව සඳහන් කළේය.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ සංජනා හත්තොටුව නමැත්තා බ්ලුම්බර්ග් වෙබ් අඩවියට ප්‍රකාශයක්‌ කරමින් විනයගමූර්ති කරුණා කොටි සංවිධානයෙන් වෙන් වුවත් කරුණාගේ සහය මත යාපනය මුදා ගැනීමට රජයට හැකි දැයි ප්‍රශ්න කළේය.

2007 මැයි මස නෝර්වීජියානුවන් ද පළකළේ රජයට කොටි සංවිධානය පරාජය කළ නොහැකි බවයි. ඊට පෙර හිටපු හමුදා මාධ්‍ය ප්‍රකාශක සරත් මුණසිංහ පැවසුවේ අර්බුදය යුදමය ක්‍රියාදාමයකින් විසඳිය නොහැකි බවයි. හිටපු ගුවන් හමුදාපති හැරී ගුණතිලක ද ප්‍රකාශයක්‌ කරමින් නැවතත් යුද්ධයකට යන අයට ලෝක ප්‍රජාවෙන් සමාවක්‌ ලැබෙන්නේ නැතැයි කීවේය.

කැනඩාවේ ඩී. බී. එස්‌. ජෙයරාඡ් කොටි සංවිධානයට 50,000 ක බළකායක්‌ ඇතැයි ද පළ කළේය. ඉන්දීය "රෝ" ඔත්තු සේවාවේ හිටපු ප්‍රධානි බී. රාමන්ද ශ්‍රී ලංකා හමුදාව ඉල්ලන් කනු ඇතැයි කියා සිටියේය. කිලිනොච්චියේදී හමුදාව මුළුමනින්ම විනාශ වන බව රාමන් පළ කළේය.

ඉන්දීය සාම හමුදාවේ හිටපු බුද්ධි ප්‍රධානි කර්නල් හරිහරන් ද ශ්‍රී ලංකා හමුදාව පරාජය වනු ඇතැයි සඳහන් කර තිබිණි.

එසේම මෙරට හිටපු ඇමරිකානු තානාපති රොබට්‌ බ්ලේක්‌ද කීවේ කොටින්ව යුදමය ක්‍රියාමාර්ගයෙන් පරාජය කළ නොහැකි බවයි.

මෙයට සමගාමීව වීරකේසරී - සුධර්ඔලි සහ උදයන් යන පුවත්පත් කොටි ජය ගන්නා බවට අතිශයෝක්‌තියෙන් යුත් පුවත් ද්‍රවිඩ ජනතාවගේ මනසට ඇතුල් කිරීමට ක්‍රියා කළේය.

වීරකේසරි හි සත්තිරියන් නමින් හඳුන්වාගත් තැනැත්තා ඊට මුල් විය.

මෙරටින් විදේශ රටකට ගිය මුස්‌ලිම් මාධ්‍යවේදියකු පැවසුවේ කොටි සංවිධානය පරාජය කළ හැකිය යන මතය සිහින ලෝකයේ ප්‍රකාශයක්‌ බවයි.

මේ හැර හිටපු හමුදාපතිවරයකු ද ශ්‍රී ලංකා හමුදාවට වන්නියට යැමට නොහැකි යෑයි කීවේය.

කොළඹ ඉංගී්‍රසි පුවත්පතක ආරක්‍ෂක විමර්ශකයකු කොටි හා හමුදාවට යුද කර ජයගත නොහැකියි යන මතය ඉදිරිපත් කළේය. 2009 මැයි 14 දායින් පසු ඔහු නිහඬ විය. ඉන්දීය ලේ කා ඇනිටා ප්‍රතාප් ද පැවසුවේ හමුදාව විනාශ වී ප්‍රභාකරන් ජය ගනු ඇති බවයි. මම 2009 ජුනි මස ශ්‍රී ලංකාවට අවුත් ප්‍රභාකරන්ගේ ඉතිහාසය ලියනවා යෑයි ඇය කීවාය. එහෙත් ඇනිටා ප්‍රතාප් මේ දක්‌වාම කට ඇරියේ නැත. කොටින්ගේ දේදුන්න පුවත්පත සකස්‌ කළ රෝහිත භාෂණ අබේවර්ධන නමැත්තා කොටි ජයගනු ඇතැයි තරයේ විශ්වාස කළේය.
එහෙත් කොටි පරාජය වීමෙන් පසු ඔහු ජර්මනියට පැනගියේය. එසේ වුවත් කොටින්ව පරාජය කළ නොහැකි බව පැවසූ රොහාන් ගුණරත්න කොටි පරාජය වීමෙන් පසු මෙරටට සම්ප්‍රාප්ත විය. ඔහු ජාත්‍යන්තර ආරක්‍ෂක සමුළු අමතමින් දේශන ද පවත්වනු ලැබීය. මෙරට හමුදා ඉතිහාසයේ ලොකු ම විහිළුව එයයි.

මේ අතීතය මෙරට හමුදා නිලධාරීහු රැසක්‌ නොදනී. අපි මේ අතීතය හෙළි කරන්නේ අතීතය වසන් කිරීමට ඇතැම් පාර්ශ්ව ක්‍රියා කරන නිසාය.

එසේ වුවත් යුද්ධය නිමවීමත් සමගම යුද්ධ කරන්න බැහැ යෑයි පැවසූ ඇතැම් හිටපු හමුදා සහ පොලිස්‌ පාර්ශ්ව ද ග්‍රන්ථ ප්‍රකාශයට පත් කරමින් ලකුණු දමා ගැනීමට උත්සාහ කර ඇත.

- කීර්ති වර්ණකුලසූරිය

   හැබැයි මේ ලිපිය ලියා තිබෙන කීර්ති වර්ණකුලසූරිය ගැනත් යමක් කියන්න ඕනේ. ඔහු කලක් ජෙනරල් සරත් ෆොන්සේකාගේ ගුණ ගයමින්, එතුමා ඉර පෙන්වා හඳ කිව්වත් එය ඉහළින් පිළිගෙන වර්ණනා කරමින්,  පැදුරු තරම් විසාල පුවත්පත් ලිපි මගින් එතුමන්ට ප්‍රශස්ති ගායනා කරමින් සිට, (ඒ කාලේ අපිටවත් ජෙනරල් ළඟට යන්න බැහැ. මෙයා යනවා) ජෙනරල් අමාරුවේ වැටුණු වහාම, එතුමා හැර ගිය අවස්ථාවාදියෙක්. එමෙන්ම මේ ලිපියේදීවත් එතුමාට සාධාරණය ඉටු කරමින් කියා නැහැ, එතුමා තමයි ස්ථිරවම මේ යුද්ධය ජයගන්න පුළුවන් කියලා කිව්ව එකම සෙනෙවියා කියන එක.


iqbal   මේ ලිපියේ කියනවා 'කොළඹ ඉංග්‍රීසි පුවත්පතක ආරක්ෂක විමර්ශකයකු' යනුවෙන් සඳහනක්. මා අනුමාන කරනවා, ඒ කියන්නේ, ඉක්බාල් අතාස් ගැනය කියා. ඉක්බාල් අතාස් ට, ඒ කාලේ, අපේ ත්‍රිවිධ හමුදාවේම, ඉතා උසස් නිළධාරීන් සමග, සෑහෙන සමීප සබඳකම් තිබුණා. හමුදාපති වරයා පවත්වන, ඉහළ පෙළේ සංග්‍රාමික සාකච්ඡා වලදී කතාකළ දේවල් පවා, ඉක්බාල් අතාස් විසින්, Sunday Times පුවත්පතට ලියන ලද, Situation Report  (තත්ත්ව වාර්තාව) කොළමේ සඳහන් වුණා.  ඒ තොරතුරු ඔහුට ආවේ කොහෙන්ද යන්න අබිරහසක්. අද, මේ පුද්ගලයා, කොහාට මංගච්චලාදැයි මම නොදනිමි. ඒ කාලේ ඔහු ලිපි ලිව්වේ, හරියට, යුදබිම පුරා ඇවිද, තොරතුරු එකතුකරගත් ආකාරයක් පෙන්වමින්. සාමාන්‍යයෙන් ඉංග්‍රීසි පුවත්පත් නොකියවන අයද, මේ කොලම කියවන්නට පුරුදුව සිටි අතර, පසුව මෙහි සිංහල පරිවර්තනයක්ද ලංකාදීපයේ පළවන්නට විය. 


p9


   හොඳයි. යුද්දේ පැරදුනානම් අපි මොකද කරන්නේ? ඔබ මොකද හිතන්නේ? මා මෙතැනින් ලිපිය අවසන් කරන්නේ, මෙතැන් සිට බුද්ධිමත් සංවාදයක් ආරම්භ කිරීම පිණිසයි. හිතන්න...........අපිට මොකක් වෙයිද? අපි මොනවා කරයිද? 2009 දී අපි පැරදී යුද්ධය අවසන් වුනානම්, මේ වනවිට අපි කොහේ ඉඳියිද? 


my-signature-for-blog[1]   2014 ජූනි මස 17 වැනි දින 2303 පැය

104 comments :

  1. සමා වෙන්න අහනවට. මේ ලිපිය කීර්ති ලියපු එකක්ද?

    ඔබ වගේ හමුදාවේ ඇත්ත තත්ත්වය දන්න කෙනෙක් වෙලත් කීර්තිලව හයිලයිට් කරන්න පෙළඹෙනවද? යුද්ධයක් ආසාවට කලේ නෑ නේ. ඒත් කීර්තිලාට යුද්ධය තවත් එක ආදායමක් විතරයි බොහෝ දේශපාලකයන්ට වගේම.

    ReplyDelete
    Replies
    1. ඔව් මේ ලිපිය කීර්ති ලියපු එකක් තමයි. නමුත් මට අවශ්‍ය වුනේ යුද්දය දිනන්න බැහැ කියපු අය හිටියා කියන එකට උදාහරණයක් පෙන්නන්න පමණයියි. ඒ වගේම නිල්පාට අකුරු වලින් ඒ හයිලයිට් කරලා තියන කොටසට යටින් මම රතුපාට අකුරින් කීර්ති ගැන කියලා තියනවා.

      Delete
    2. "යුද්ධය දිනන්න බෑ" කියපු පිරිස අතරේ ඕනෑ තරම් අවස්ථාවාදීන් ඉන්න ඇති. හැබැයි අවංකව සෑබෑතතු මත පදනම්ව එහෙම කියපු අයත් හිටියා. වැඩි විස්තර යටින් දිගු කමෙන්ට් එකක දී ඇති. මේ සියළු දෙනාම එකම ගොඩකට දමා සැලකීම අසාධාරණයි. කීර්ති කරන්නේ ඒක. විචාරක ඒ තරම් අන්තයකට යා යුතු නැතැයි මා හිතනවා.

      Delete
    3. කීර්තිලාට යුද්ධය තවත් එක ආදායමක් තමයි. නමුත් කිර්ති කලේ සහ කරන්නේ රට වෙනුවෙන් කතා කිරීම. ඇයි ඒක වැරදිද?

      Delete
    4. කීර්ති රට වෙනුවෙන් කතා කරන බවක් මට නම් පේන්නේ නැහැ. රට වෙනුවෙන් කතා කරන පුද්ගලයෙක් කියන්නෙ අමු ජාතිවාදී බොරු කාරයෙක් නෙවෙයිනෙ.

      Delete
    5. This comment has been removed by a blog administrator.

      Delete
    6. විචා මේ තර්ඩ් පාටි මඩ අයින් කලානම් නේද හොඳ.. මේ වගේ දේවල් උඹේ නිල තල වලට ගැලපෙන්නේ නෑ මචෝ..

      Delete
    7. විචා මේ තර්ඩ් පාටි මඩ අයින් කලානම් නේද හොඳ.. මේ වගේ දේවල් උඹේ නිල තල වලට ගැලපෙන්නේ නෑ මචෝ..

      Delete
    8. This comment has been removed by a blog administrator.

      Delete
    9. මාතෘකාවට අදාළ නොවන කමෙන්ට් එකක් ඉවත් කිරීමට සිදුවිය.

      Delete
  2. හැරෙන ...හැරෙන පැත්තට ලියන කිර්ති වගෙ අය ගැන නම් මගෙ මනාපයක් නැහැ....
    කිර්තිය ජෙනරල් ගැන ලියන්නෙ කොහෙද විචාරක තුමණි ....... බඩ පුරා කන්න වෙන බව දන්නව ගෝඨා ස් ගෙන් කියල දන්නව .....
    ඉක්බාල් විජේරාම හංදියෙන් හැරිල ගියාම තිබෙන ගෙදර ඉද්දි පොලිසියෙන් දෙන්නෙක් ආරාක්ෂාව සපයල තිබ්බ .......
    එහෙම කිව්ව රොහාන් අද රජයෙ හොදම මිතුරෙක් නෙ .......
    යුද්දෙ දින්න එක සතුටුයි.......නමුත් ආරක්ෂක වියදම් වලට කියා අයවැයෙන් වාර්ෂිකව වෙන් කරන මුදල අඩුවක් වෙලා නැහැනෙ .......
    එහෙම බලද්දි ගෝතා බාප්පි ගෙන් මට අහන්න වෙන්නෙ "ඇත්තටම යුද්දෙ දින්නද.... බාප්පි.....?" කීල තමාය .........

    ReplyDelete
    Replies
    1. කීර්ති මේ ලිපිය ලියලා තියෙන්නෙත් එක ඇහැකින් බලාගෙන තමයි, කෙන්ජි. ආරක්‍ෂක වියදම් අද වැඩිවෙලා තියෙන්නේ ඇයිද කියන එක මටත් ප්‍රශ්නයක්. නැවතත් මම අහන්නේ යුද්දේ පැරදුනා නම් මොකක් වෙයි කියලද ඔයා හිතන්නේ?

      Delete
    2. කොටි සංවිධානය ඉල්ලුවේ රටෙන් කොටසක් මිසක් රටම නෙවෙයි නේද? එහෙම නම් වෙන්න තිබුණු භයානකම නරකම දේ රට දෙකඩ වීම විනා රට අහිමි වීම නෙවෙයි නේද? ඇයි මේ විචාරක වගේ සාමාන්‍යයෙන් බුද්ධිමත් තීරණ ගන්නා කෙනෙකුත් තුට්ටු දෙකේ ජාතිවාදීන්ගේ මට්ටමට වැටෙන්නේ මේවා කියලා?

      Delete
    3. ඇඟට අමාරුද ගෙජ්ජියා...මාරයාගෙන් සැරටම කෑවලු නේද ?

      Delete
    4. @AnonymousJuly 18, 2014 at 10:01 AM
      මම ඉතිං මේ රෙද්දට අකුරු කොටන්න ගත්ත දවසෙ ඉදල ගොඩක් අයට දිරවන්නෙ නැති බුවා නොවැ මචෝ.....
      උඹත් අපේ එකෙක් නොවැ .......
      එක එකාට ටින්කිරි කල්දේරම් වුනාට....
      මට ගොම දාන්න හිතුනොත් දානව ..... ඒ මගේ නිදහස....
      මට ඔය කාවවත් ලොකුත් නැහැ......
      මාව කාටවත් ලොකුත් නැහැ මචෝ...
      මම කියන/ලියන දේ මට ඕන විදියට ලියනව ....

      Delete
    5. විචාරක තුමණි .... මට නම් යුද්ධය දිනුවත් එකය....පැරදුනත් එකය....
      මොකද මම ලංකාවෙ ජිවත් නොවෙන්න තීරණය කරල ගොඩක් කල්ය ...
      කොටින්ම මගෙ දරුවො දෙන්නට ලංකාවෙ කියන කෙනෙක් කසාද බන්දල දෙන්නෙත් නැතිය.....
      ඔය තුප්පහි රට මට එපා වී ඇත....
      ඔය කුප්ප ඇනෝ හිගන්නො ආණ්ඩුවෙ කාර්යාල වල ඉදං කොටන කමෙන්ට් ....
      පේනව නේ....

      Delete
    6. AnonymousJuly 18, 2014 at 8:43 AM

      මහත්මයාණනි, ඔබේ අනවබෝධය ගැන ඔබට අනුකම්පා කිරීම හැර වෙනත් කළහැකි යමක් නැත. ආරක්ෂක බුද්ධි තොරතුරුද සෑහෙන්න පලවී තිබියදීත් ඔබ මෙලෙස 'වැදූවන් ඉදිරියේ කොලොම්බු ලන්නා සේ' (කරුණාකර ජාතක පොත කියවා අර්ථය සොයාගන්න) කතාකිරීම මටනම් හාස්‍යය උපදවන්නකි.

      මහත්මයා, එල්.ටී.ටී.ඊ.ය පෙන්නුවේ රටෙන් කොටසක් ඔවුන්ට ඕනේ කියලා තමයි. නමුත් ඔවුන්ගේ යටි අරමුණ මලයනාඩුවද ඇතිකිරීමයි. ('මලයනාඩු' කියන්නේ මොකක්ද කියා මෙතෙක් කල් නොදැන සිටියේනම්, ඔබ මෙහි අදහස් දැක්වීමට සුදුස්සකු නොවන බව කාරුණිකව සලකන්න) ඊළඟට අපි නිකම් ප්‍රාන්තයක් බවට පත්කිරීමයි. මේ ගැන තව ටිකක් හොයා බලා කරුණු අවබෝධයෙන් යුක්තව සංවාදයට එනවානම් තමයි හොඳ.

      Delete
    7. @ කෙන්ජි.

      කෙන්ජි මට එකපාරටම මතක්වුනේ නන්දා මාලිනියගේ 'සරුංගලේ වරල් සැලේ' කියන ගීතය. ටිකක් හිතලා බලන්න කියලා ආදරයෙන් ඉල්ලනවා.

      https://www.youtube.com/watch?v=P3ZOy2ICKA8

      Delete
    8. ඔන්න මෙච්චර වෙලා බුද්ධිමත්ව කතා කරපු විචාරක තුමාත් ජාතිවාදී මඩ වලටම වැටුණා. අනේ ඇත්තට බුද්ධියක් තියෙන අයත් එතැනටම යනවා නම් අනෙක් අය ගැන කවර කතාද?

      Delete
    9. අවලාද නොකියා සංවාදයට අදාලව කරුණු කියන්න.

      Delete
  3. යුද්ධේ පැරුදුනා නම් නේද? පාලනය වෙනස් වෙයිනේ. 'සිංහ' කියලා කල්ලියක් හැදිලා ආපහු යුද්ධයක් පටන් ගනී. මුලු ඉතිහාසය පුරාම දකින්නේ ඒ වගේ දේය්ක් නේද?

    'History repeats itself’ කියලා අපි බලාගෙන ඉඳී... :D

    ReplyDelete
    Replies
    1. සිංහ කල්ලිය කොහොම වෙතත් අපි ලෝකයේ මුල්ලකට තල්ලුවුන, කවුරුවත් ගණන් නොගන්නා, කාගේවත් අනුකම්පාව නැති, හුදකලා රටක්/ජාතියක් වෙන්න හොඳටම ඉඩ තිබුනා.

      Delete
  4. යුද්දයක් කියලා එකක් තිබුණ ද මං හිතුවෙ මානුෂිය මෙහෙයුමක් කියලා :P කොහොම වුනත් තවම රටේ අළු යට ගිනි කියලා විතරක් කියන්න පුළුවන් ,එත් එවා නිවන්න ඕන කමක් නෑ කාටවත්ම ....
    යුද්දෙ පරාද වුනා කියලා වෙනසක් නෑ මං හිතන්නෙ බඩු මිල පහල වැටෙයි සමහර විට ... :D

    ReplyDelete
    Replies
    1. මොන නමකින් හැඳින්වුවත් ගැටුමක් තිබුනානේ? අළු යට ගිනි නිවෙන පාටක් පෙනෙනතේ මානෙක නැහැ. මමනම් හිතන්නේ බඩුමිල පහත වැටීමක් වෙන්නේ නැහැ. අපි චෙච්නියාවක් වෙනවා.

      Delete
  5. LTTE කියන්නෙ ලෝකයේ ඉන්දියාවත් ඇතුලුව බලවත් රටවල් ගනනාවක් විසින්ම තහනමකට ලක් වූ සංවිධානයක්. කොටින්ම ඔවුන් ත්‍රස්තවාදීන්.
    ඉතින් ලෙජීටිමේට් ආන්ඩුවක් විසින් මානව අයිතින් රැකීම සහ ත්‍රස්තයන් විසින් මාන අයිතීන් රැකීම කොහොමටවත්ම සමාන කරන්න බෑ. ඒකයි ඔවුන්ට ත්‍රස්තයාදීන් කියල කියන්නෙ. ඔවුන් ඒව රැක්කත් නොරැක්කත් ඒක කිසි ලෙසකින් රජයක ක්‍රියාවක් සමඟ සංසන්දනය කරන්න බෑ.
    ඒ තර්කය නිකන් බල්ලො පාරෙ රෙන නිසා අපිත් රෙනවා කියල කියනව වගේ

    ReplyDelete
    Replies
    1. ඉතින් බලන්නකෝ ලෝකයේ කිසිම රටක් එල්.ටී.ටී.ඊ. එක 'ත්‍රස්තවාදීන් - terrorists' කියන වර්ගීකරණයට දැම්මෙවත්/දාන්නේවත් නැහැනේ. යොදාගත් ලොකුම වචනය තමයි බෙදුම්වාදීන් - separatists කියන එක. නමුත් වැඩිපුරම පාවිච්චි කලේ විප්ලවවාදීන් - rebels කියන වචනයයි.

      ඒ කියන්නේ එල්.ටී.ටී.ඊ ය යුද්දයෙන් දිනුවා නම් ඔවුන්ව'ඉඹලා පිළිගන්න' සූදානම් රටවල් සෑහෙන්න හිටියා කියන එක කියලයි මටනම් හිතෙන්නේ. අන්න ඒ වගේ පිළිගැනීමක් ජාත්‍යන්තරව ඔවුන්ට ඇතිවුනා නම් අද අපි කොහෙද?

      Delete
    2. විචාරක ඔච්චර පටු විදිහට බලන්න එපා. දැන් ලංකාවේ කී දෙනෙක් හමාස් කියන්නෙ ත්‍රස්තවාදී සංවිධානයක් කියනවද? ඔව්, LTTE දින්න නම් ලෝකෙ වැඩි හරියක් රටවල් නෙවෙයි සියළුම රටවල් ඔවුන් පිළි ගන්නවා. ඒක තමයි ලෝක දේශපාලනය කියන්නෙ. කාටවත් හරි වැරද්ද වැදගත් නැහැ. හැමෝම බලන්නෙ තමන්ගෙ වාසිය. උදාහරණයක් හැටියට හෙට ත්‍රස්තවාදී කණ්ඩායමක් ඉන්දියාවෙ අගමැති මරලා බලය අල්ලා ගත්තා නම් අපිත් ඔවුන් පිළි ගන්නවා. වෙන විකල්පයක් නැහැ.

      Delete
    3. මම කිව්වෙ ඒ ගොල්ලන්ව හඳුන්වාගන්න එක එක නම් ගැන නෙවෙයිනෙ.
      මම කිව්වෙ LTTE එක "අහිංසක" මිනිස්සු මරන එකයි ආන්ඩුව "අහිංසක" මිනිස්සු මරන එකයි සංසන්දනය කොරන්න බෑ කියන එක.
      ඔය බයිලමනෙ හැම දාමත් ආන්ඩුව ගහන්නෙ, විශේෂයෙන්ම චන්දයක් කිට්ටු වුනාම්. ගැලරියට ඔය තර්කය සමහර විට හරියයි. නමුත් මොලේ කඳුලක්වත් තියෙන මිනිස්සුන්ටත් ජාත්ත්‍යන්තරයටත් ඒ බයිල හරි යන්නෙ නෑ.

      Delete
    4. මමත් කතාකලේ ජාත්‍යන්තර හමුදාමය සහ දේශපාලන ස්වභාවය පිළිබඳව මා කර තිබෙන අධ්‍යයනයන් ඇසුරෙන් මිස පෞද්ගලික මතිමතාන්තර අනුව නොවෙයි. ඔබත් කියවා බලන්න අන්තර්ජාලයේ හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිර්වචන තුළ හෝ, එල්.ටී.ටී.ඊ. ය තහනම් කල කිසිදු රටක හෝ ඔවුන් ත්‍රස්තවාදීන් කියන වර්ගීකරණයට දමා තිබෙනවාද කියා. කාලීන තොරතුරු current affairs පිලිබඳ දැණුම යාවත්කාලීන කරගන්නේ නැතුව මෙවනි සංවාද වලට එළඹීම නුවණට හුරු නොවන බව ඔබවෙත අවධාරණය කරන්නට කැමතියි.

      කිසිම බයිලාවක් හෝ කාටවත් ඡන්දය දිනාදීමේ ව්‍යාපෘතියක් කිරීමට මට අවශ්‍ය නැත. මේ යුද්ධය දිනුවේ 'දියසේන කුමාරයා' පහළවීම නිසා නොවේ. සැබෑ සෙන්පතියන් විසින් දරන ලද සාමූහික ප්‍රයත්නයක් නිසයි. ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් රාජ්‍ය නායකයන්ගෙන් උදුරලා වගේ තමයි ගත්තේ. ඒ පැත්ත ලිවීම තරමක් දුෂ්කරයි.

      Delete
    5. එකක් අමතක වුනා. ඉන්දියාවේ අගමැති මරලා බලය අල්ලා ගන්නා ත්‍රස්තවාදී කණ්ඩායමක් නීත්‍යානුකූල රජය ලෙස පිළිගන්නේ මානසික ආබාධිතයන් පමණයි. ලෝකේ කොහෙවත් පැහැදිලි විදේශ ප්‍රතිපත්තියක් තියන රටක් එහෙම කරන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් මියන්මාරය පිළිබඳව අධ්‍යයනයක් කරන ලෙස මා ඔබෙන් ඉල්ලාසිටිනවා.

      Delete
  6. අප්පේ මේව අමතක අය කී දෙනෙක් ඉන්නවද නේද විචාරක තුමා...
    ඕව ගැන මක්කට දොඩනවැයි...
    යුද්දෙ පැරදුනා නං...
    බොබසේ නැත... (වෙඩි කා නහින්ට වෙනව නෙව)ර
    රට ඇතුලේ ඉදං රට කන්න හදන හරක් නැත...
    බොරු දේස පේමියො
    හොර විප්ලව කාරයො නැත...
    අඩු ගානේ මේ බොග් කියවන ලියන මාත් නැති වෙන්න තිබ්බ..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේ මම කියන මාතෘකාව ඔස්සේ හිතලා බැලීම අනාගතයට හරිම වැදගත්.

      Delete
    2. විකල්ප ඉතිහාස (alternative history)පොත් කියවල තියනවද?
      ඇමරිකන් සිවිල් යුද්ධය ("If South won the war") , WW 11 ගැන එහෙම තියනව

      Delete
  7. මේ ලියන්නේ සම්ප්‍රදායික ජාතිවාදීන්ට වඩා විවෘත ඇසෙකින් ඔබට මේ ප්‍රශ්නය ගැන දකින්නට හැකියාවක් ඇතැයි සිතමිනි. එනිසා මගේ අදහස් ඍණාත්මකව නොව ධනාත්මකව පිළි ගන්න.

    1. ත්‍රස්තවාදී කණ්ඩායමකින් පොදු ජන ජීවිතයට බාධා පැමිණෙන විට ඔවුන් එයින් මුදා ගැනීම හමුදාවන්හි වගකීමය. ඔවුන්ට වැටුප් ගෙවන්නේද සාමාන්‍ය මිනිසුන්ට වඩා වැඩි වරප්‍රසාද ලබා දී ඇත්තේද ඒ වෙනුවෙනි. එසේම රටේ ඕනෑම පුරවැසියකුට හමුදාවන්හි ක්‍රියාමාර්ග විවේචනය කිරීමේ නිදහස තිබේ. (ආණ්ඩුවේ වෙනත් ඕනෑම ආයතනයක් විවේචනය කිරීමේ නිදහස ඇතිවාක් මෙන්) එසේ නොවේ නම් ඒ රට ප්‍රජාතන්ත්‍රවාදී රටක් නොවේ.

    2. "යුද්ධය දිනන්න බෑ" කියන කතාව අධි සරලකරණය කළ එකකි. At any cost යුද්ධය ජය ගත හැකි බව විශ්වාස නොකළ කෙනෙක් සිටියේ නම් ඒ ඉතා සුළු පිරිසක් විය යුතුය. (කුඩා ගරිල්ලා සටන් කණ්ඩායමකට රටක නීත්‍යානුකූල හමුදාව සමඟ යුද වැදී ජය ගත හැකිය යමකු සිතතොත් ඒ මෝඩයකු පමණක් විය යුතුය.) මෙතැන ගැටළුව වූයේ යුද්ධය ජය ගැනීම නොව ඒ සඳහා ගෙවිය යුතු මිළයි. මැදහත් වැඩි පිරිසකගේ අදහස වූයේ ලක්ෂ ගණනක ජීවිත හානියක් වී යුද්ධය දිනනවාට වඩා සාකච්ඡා මාර්ගයෙන් විසඳුමක් කරා යාම සාධනීය බවයි. මෙය මොනම ආකාරයකින් වත් පරිපූර්ණ විසඳුමක් නොවේ. Least of the two evils පමණෙකි.

    3. බොහෝ දෙනා යුද්ධය කළ යුතුය හිතුවේ "මරාගෙන මැරෙනවා" කියන ජාතිවාදී ආස්ථානයේ සිටය. මේ ප්‍රායෝගික සිතිවිල්ලක් නොවේ. (ඔවුන් නිවැරදි වූයේ අහම්බයකිනි.) ප්‍රායෝගිකව යුද්ධය කළ හැකිය හා එය ජය ගත හැකිය යන ආස්ථානයේ සිටියේ සරත් ෆොන්සේකා ඇතුළු කිහිප දෙනකු පමණෙකි. අඩු ගණනේ මහින්ද රාජපක්ෂගේ මතය පවා ආරම්භයේදී එය නොවීය. සරත් ෆොන්සේකාට එවැනි මතයක් ගත හැකි වූයේ ඔහුට යුද්ධ කටයුතු පිළිබඳ වූ දැනුම නිසාය. (ඒ පිළිබඳ මගේ ගෞරවය අනිවාර්යයෙන්ම ඔහුට හිමි වේ.) එවැනි විශේෂඥ දැනුමක් නැති සාමාන්‍ය පුද්ගලයින් යුද්ධය දිනිය නොහැකිය යන මතය දැරීම ගැන ඔවුන් විවේචනය කළ නොහැකිය. හැම දෙනාම තීරණ වලට බහින්න්නේ තම තම නැණ පමණිනි.

    4. කොටි සංවිධානය 1979-2001 කාලය තුළ හමුදාවට සාපේක්ෂව ඉදිරියෙන් සිටියේත් 2006 ට පසු හමුදාව ඉදිරියෙන් සිටියේත් ඇයිද යන්න හිටපු හමුදා භටයකු හැටියට ඔබට අවබෝධයක් ඇතැයි සිතමි. 1979 දී අපට සිටියේ ceremonial හමුදාවකි. එයින් කළ හැකි දෙයක් නොවීය. යුද්ධය නිසා යම් යම් දේ වෙනස් වුවද තාක්ෂණික අතින් හා හමුදා භටයින්ගේ පුහුණුව/හැකියාවන් අතින් 2001 පමණ වනතුරුම තත්වය ඉතාම පසුගාමී විය. හමුදාව තාක්ෂණික ලෙස හා හැකියාවන් අතින් වර්ධනය වීම ආරම්භ යූයේ සටන් විරාම යුගයේදීය. 2006 දී කොටින්ට ගැහුවේ 2001 වනතුරු කොටින්ට ගැහූ හමුදාව නොව වඩා ශක්තිමත් හමුදාවකි. (ඔව්, සරත් ෆොන්සේකාගේ මිලිටරි නායකත්වය සේම මහින්ද රාජපක්ෂගේ දේශපාලන නායකත්වයද මෙහිදී අපට අමතක කළ නොහැකිය.) හමුදාව තුළ වූ වෙනස්කම් නොදන්නා කෙනෙක් 1979-2001 අත්දැකීම් මත පදනම්ව යුද්ධෙ දිනන්න බෑ කීම මේ නිසා සාධාරණය. එය දේශද්‍රෝහී කමක් නොව තමන් දන්නා කාරණා මත කෙනෙක් බැස ගන්නා සාමාන්‍ය නිගමනයයි. යුද හමුදාවේ දැක්ම මීට වෙනස් වූයේ නම් ඒ ඔවුන්ට සාමාන්‍ය ජනතාවට නොතිබුණු විශේෂඥ දැනුමක් තිබුණු නිසා විය හැකිය.

    5. අවසාන වශයෙන් අද කතා කෙරෙන "මානව හිමිකම්" යනු යුද්ධය දිනීමට අත්‍යාවශ්‍යයෙන් කැඩිය යුතු වූ ඒවා නොව යුද හමුදාවේ සුළු පිරිසකගේ ගොන්කම නිසා වූ ඒවා බව මට වඩා හොඳින් ඔබ දන්නවා ඇතැයි සිතමි. යුද්ධය දිනීමට තිරිකුණාමලයේ උසස්පෙළ සිසුන් පහක් ඝාතනය අවශ්‍ය නොවීය. NGO එකක 17 දෙනකු මරා දැමීම අවශ්‍ය නොවීය. ඉසිප්‍රියා දූෂණය කොට මරා දැමීම අවශ්‍ය නොවීය. ප්‍රභාකරන්ගේ දොළොස් හැවිරිදි දරුවා මරා දැමීම අවශ්‍ය නොවීය. කොටින්ම යුද්ධයේ අවසාන දවසේ සුදු කොඩි ගෙන පැමිණි පුලිදේවන්, නඩේසන් හා ඔහුගේ සිංහල භාර්යාව මරා දැමීම අවශ්‍ය නොවීය. මේ සියල්ලම යුද්ධය දිනීම සඳහා අවශ්‍ය වූ ඒවා නොව (1971 දී කතරගම ප්‍රේමවතී මනම්පේරි ඝාතනය සේම ) යුද හමුදාවේ යම් යම් පිරිස් තම ලිංගික අවශ්‍යතා සපුරා ගැනීමට හෝ තරහ පිරි මසා ගැනීමට කළ දේවල්ය. ඇත්තටම මේවාට වගකිවයුත්තන්ට දඬුවම් ලැබිය යුත්තේ හමුදාව තුළින්මය. දේශපාලන හේතූන් මත එසේ නොකෙරෙන වාතාවරණයක් තුළ වින්දිතයන්ගේ ඥාතීන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ලවා හෝ එය කරවා ගැනීම කිසිම වරදක් මම නොදකිමි.

    ReplyDelete
    Replies
    1. මා ඔබට ඉතාම ස්තුතිවන්ත වනවා මෙතෙක් මා දුටු හොඳම අදහස් ඉදිරිපත් කිරීම මෙය බව පෙනීයන නිසා.

      1. වැටුප් හා වරප්‍රසාද ලද පමණින් කිසිදු හමුදාවක් 'මේ මගේ යුතුකම' කියා සිතා යුද්ධ දිනන්නේ නැත. පහසුකම් වැඩිවෙන්න වැඩිවෙන්න කම්මැලිකම ඉහල යනවා. ඉතා දැඩි විනයක්, ඉතා ඍජු අණදීමක් යටතේ පවත්වාගැනීමෙන් පමණයි, යුද්දයක් දිනන්න පුලුවන් වන්නේත්, ලෝක ඉතිහාසයේ වෙලා තියෙන්නෙත් එහෙමයි. ජෙනරල් ෆොන්සේකා කලේ එයයි.

      2. යුද්ධය පවතී අවධියේ එල්.ටී.ටී.ඊ. ය විසින් මනෝවිද්‍යාත්මක මෙහෙයුම් psychological operations සෑහෙන තරම් සාර්ථකව අපේ හමුදා වෙත මෙන්ම, මහජනතාව වෙතද එල්ල කළා. ඒ නිසා සැළකියයුතු පිරිසක් විශ්වාස කළා යුද්ධය ජයගන්න බැහැ කියලා. ලෝකයේ කොහෙවත්, ත්‍රස්තවාදී කණ්ඩායමක් සමග සාකච්ඡා කර, අවසාන විසඳුමක් ලබාගත් අවස්ථාවක් මා දන්නා තරමින් නැහැ. ඒ නිසා මුලින්ම ත්‍රස්තවාදය මැඩපැවැත්විය යුතුයි. දෙවනුව ඔවුන්ට ඇහුම්කන් දියයුතුයි. එසේ නැතිවුනොත් ඔවුන් සීමාව ඉක්මවාගොස් අනෙක් පාර්ශ්වය ගිලගන්නවා.

      3 සම්පූර්ණයෙන් එකඟයි. තවත් දෙයක් එකතු කරන්නම්. මරාගෙන මැරෙන ජාතිවාදී ආස්ථානය උද්දීපනය කල කිසිවකුත් යුද්දයට තම දූ දරුවන් දුන්නේවත්, තම සැප පහසුකම් අඩුවන විට විඳදරාගත්තේවත් නැත.

      4 සටන් විරාමය ඉතා බුද්ධිමත්ව යොදාගන්නට අපට නොහැකි වුනේ ජනාධිපතිනිය එක පැත්තකත්, අගමැති එක පැත්තකත් සිටි නිසයි. ත්‍රිවිධ හමුදාව තාක්ෂණික අතින් සහ සටන්කාරී බවෙන් ඉහලට ගෙන ඒමේ ගෞරවය මුලින්ම ලැබෙන්න ඕනේ ජෙනරල් කොබ්බෑකඩුවටයි. ඉන්පසු බොහොමයක් යුද සෙනෙවියන් එක්ව බුද්ධි මණ්ඩලයක් think tank ලෙස ක්‍රියා කිරීම නිසා ත්‍රිවිධ හමුදාවම ඉහලට ගත්තා. අවාසනාවකට අපේ රටේ යුද්ධෝපාය න්‍යායාචාර්ය strategists වරුන් ලෙස හැඳින්විය හැකි අය හිටියේ නැහැ. (එකම එක්කෙනෙක් හිටියා අති සාර්ථක. ඒ තමයි ලලිත් ඇතුලත්මුදලි මහතා) ඒ හේතුවත් ජයග්‍රහණයේ ප්‍රමාදයට බලපෑවා. මහ සෙනෙවියන්ට සිදුවුණා, යුදබිමේ සටන් කරන අතරම, ඇත්ත තත්ත්වය තේරුම්කර දී, ත්‍රිවිධ හමුදාව නගාසිටුවීම සඳහා අවශ්‍ය දේ ලබාගැනීමට, පාලකයන් සමගත් සටන් කරන්නට.

      5 මෙහි ඇත්තේ 50 ට 50 තත්වයකි. ඊට පෙර මෙවැනි මහ සටනක යෙදී අත්දැකීම් නැති අපේ හමුදාවේ මානසිකත්වය සාධාරණ මට්ටමක තබාගැනීමට, වගකිවයුතු නිලධාරීන්ට අපමණ වෙහෙසක් දරන්නට සිදුවුනා. එල්.ටී.ටී.ඊ ය විසින් කළ කෲර සහ ම්ලේච්ඡ සාමාන්‍ය වැසියන් ඝාතන රැල්ල නිසා සෙබළුන් තුළ පළිගැනීමේ චේතනාව වර්ධනය වුනා. (එසේ මැරුනේ තම ජාතියේ/වර්ගයේ/ආගමේ/ අය. සෙබලා සිතුවේ ජාත්‍යන්තර යුද න්‍යාය අනුව නොවෙයි. ජාත්‍යන්තර මානුෂවාදී න්‍යාය අපි පුහුණුව ලබන කාලයේදීත් ඉගැන්නුවේ නැහැ) මේ පටු මානසිකත්වයෙන් සෙබළුන් ගොඩගන්න ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේද ආධාර ඇතිව විශේෂ පුහුණු සැසි යුදබිමේදීම පැවැත්වුවා. නමුත් එය සාර්ථක වුයේ 50% ක් පමණ. එහෙත් කිසිදු ආකාරයක යුද අපරාධයක් පිළිබඳව මේ කරුණු කියා ගැලවෙන්නට කිසිවකුටත් බැහැ. මෙතෙක් කල් යුද්ධයක නොයෙදුණු සොල්දාදුවන් අතිමහත් බහුතරය යුද්ධය අවබෝධ කරගත්තේ එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම් සමග සැසඳීමෙන් විනා, ජාත්‍යන්තර යුද නීතිය යටතේ බැලීමෙන් නොවේ. එය අවාසනාවක්, දුර්වලකමක්.

      Delete
    2. 1. මෙතැනදී මට කියන්න ඕනෑ හමුදාව වුවත් විවේචනයට පුරවැසියන්ට අයිතිය තියෙනවා කියන එකයි. ඒක ඔබ පිළි ගන්නවා නම් වාදයක් නැහැ. සරත් ෆොන්සේකාට දිය යුතු ගෞරවය ලබා දී ඇති. (ඇත්තටම සරත් ෆොන්සේකාගේ නායකත්ව හැකියාව ගැන මා දේශන පවා පවත්වා තියෙනවා.) ඒ නිසා ඒ ගැනත් වාදයක් අවශ්‍ය නැහැ.

      2. LTTE එක psychological warfare කරන්න ඇති. ඒක හැමෝම කරන දෙයක්නෙ. ඒ වෙනුවෙන් ඔවුන්ට සේවය කළ පිරිසකුත් ඉන්න ඇති. නමුත් මා කීවේ එසේ නැතිව අපේ අවබෝධය මත විශාල මිනිස් ඝාතනයක් නොවී යුද්ධය දිනිය නොහැකිය කියා සිතූ පිරිසකුත් හිටි බව. ඇත්ත, ඔවුන්ට වැරදුණා. නමුත් ඒක අපට retrospectively පේන දෙයක්නෙ. Retrospectively හරිම ලෙහෙසියි කරුණු විශ්ලේෂණය කරන්න. අපට අද පේන දේවල් 2001 පේන්නේ නැහැනෙ. මා කියන්නේ යුද්ධය දිනන්න බෑ කියලා කියපු හැම දෙනාම දේශ ද්‍රෝහියෝ කියලා හංවඩු ගහන්න එපා කියලා.

      3. වාදයක් නැත.

      4. වාදයක් නැත.

      5. ඔබ කියන තත්වය මා වටහා ගන්නවා. යුද හමුදාවේ ඉහළ සිට පහළට එකම maturity එකක් තියා ගන්නවා කියන එක අමාරු වැඩක්. Ground level එකේ ඉන්නා භටයාගේ හිතේ තියෙන්නේ LTTE එකෙන් මරපු තමන්ගේ සහෝදරයා, සගයා ගැන වෛරය වෙන්න පුළුවන්. නමුත් එහෙමය කියලා මානව හිමිකම් කඩවීම් වලට දඬුවම් නුදුන්නේ නම් අපි අශිෂ්ට ජාතියක් වෙනවා. ඇත්තටම මා දන්නා තරමින් මානව හිමිකම් කඩා ඇත්තේ ඉහළ මට්ටමේ නිලධාරීන් දෙදෙනායි. නමුත් මින් එක් අයෙක් යුද සමයේ රජයේ මාධ්‍ය වලින් විශාල ලෙස ප්‍රතිරූපයක් ගොඩ නඟා ගත්තු කෙනෙක්. ඉතින් එහෙම් කෙනෙකුට දඬුවම් දීම දේශපාලනිකව අවාසි සහගතයි. නොකෙරෙන්නේ ඒකයි. නමුත් එයින් වන්නේ මුළු මහත් රටම (හා හමුදාවම) අපකීර්තියට පත්වීම. හොඳයි කල්පනා කරලා බලන්න තමන්ගේ පුද්ගලික එදිරිවාදිකමකට ප්‍රේමවතී මනම්පේරි ඝාතනය කළ නිලධාරියාට දඬුවම් නොකළේ නම් මොකද වෙන්නේ කියලා.

      Delete
    3. අපිට කියන්න දෙයක් නෑ

      Delete
    4. හරිම සන්තෝසයි මෙනැනි ඇනෝවරුන් පිළිබදව...

      Delete
    5. @ AnonymousJuly 18, 2014 at 9:25 AM

      නැවතත් මා ඔබව අගය කරනවා. මනම්පේරි නඩුව අපේ හමුදාවේ විනය හා ගෞරවය පිලිබඳ විශිෂ්ඨ ආදර්ශයක් දුන් සිදුවීමක් බව මමත් පිලිගන්නවා. අද හමුදාවේ පළාගිය සෙබළුන්ගේ ප්‍රශ්නය තවම විසඳිලා නැහැ. හමුදා පනතේ තිබෙනවා යුද්ධයක් පවතින කාලයකදී හමුදාවෙන් පැන යන්නන් යුද්ධාධිකරණය වෙත පමුණුවා මරණීය දණ්ඩනය නියම කළහැකි බව. එදා මුලින්ම පැනගිය කීප දෙනෙකුට ඒ දඬුවම පැනවුවා නම්;

      1 ඊට පස්සේ කවුරුවත් පැන යන්නේ නැත.

      2 කවුරුවත් හමුදාවට බැඳෙන්නේත් නැත.

      අද අපි කුමක් කලයුතුද?

      Delete
    6. ඇනෝ, මට උඹ ගැන තීන තරක් අම්මප. ආයි ඉතින් සාකච්ඡාවකට යමක් ඉතුරු කරලම නැති හැටි.

      Delete
  8. වැඩි වෙනසක් වෙන එකක් නෑ.. ඒ කාලෙ උතුරෙ “සාමාන්‍ය“ මිනිස්සු හිටියා වගේ මුළු රටේම ඉන්න “සාමාන්‍ය“ මිනිස්සුන්ට ඉන්න වෙයි..

    ReplyDelete
    Replies
    1. මුළු රටේම නෙවෙයිනේ. එහෙම වුනානම් රටවල් දෙකයි. අන්න එතනයි ප්‍රශ්නය තියෙන්නේ.

      Delete
  9. තිස් වසරක යුද්ධය නිමා කරලා රට නැවත සාමාන්‍ය තත්වයට ගේන කාරණයේදි යුද හමුදාවේ සක්‍රිය දායකත්වය ගැන කිසිම තර්කයක් නැහැ. ඒ ගෞරවය ඔවුන්ට හිමි විය යුතුයි. නමුත් ඒ නිසාම මේ රට මිලිටරීකරණයට ඉඩ දිය යුතුය කියනවා නම් ඒකට මා එකඟ වෙන්නේ නැහැ. ඒ වගේම ඒ නිසාම යුද්ධ හමුදාව වන්දනීය පූජනීය තත්වයක ලා සැලකිය යුතුයි කියනවා නම් ඒකට එකඟ වෙන්නෙත් නැහැ. හමුදාවේ සාමාජිකයින් හා හිටපු සාමාජිකයින් එහෙම බලාපොරොත්තු වෙනවා නම් ඒක වැරදියි.

    උදාහරණයක් හැටියට මම ළඟදි දවසක බැංකුවට ගිහිල්ලා සාමාන්‍ය ගනුදෙනුකාරයෙක් වගේ පෝලිමේ ඉන්න කොට මෙන්න කවුද පැත්තෙන් ඇවිල්ලා කවුන්ටරේට පොතක් දික් කරනවා. ඉතින් මට සිද්ද වුණා සංවරව පහදා දෙන්න පෝලිමක් කියලා එකක් තියෙනවා කරුණාකරලා ඒකෙ එන්න කියලා. ඊට පස්සෙ මේ මනුස්සයා කුටු කුටු ගගා පස්සට ගියා. මම කවුන්ටරේට ගියහම එතැන හිටපු මනුස්සයා මට කියනවා ඒ "රණ විරුවෙක්ලු" මම කිව්වා මොකා වුණත් මගේ ප්‍රතික්‍රියාව ඒකයි. හමුදා සාමාජිකයින් හා හිටපු හමුදා සාමාජිකයින් මෙවැනි විශේෂ සමාජ වරප්‍රසාද බලාපොරොත්තු වෙන එක වැරදියි. අශීලාචාරයි. ආණ්ඩුවට ඕනෑ නම් මේ අයට සලකන්න වෙනම බැංකුවක් විවෘත කරලා ඒකෙ ඕනැතරම් පහසුකම් දෙන්න. සමාජයේ ශිෂ්ඨ විදිහට කෙරෙන වැඩ අවුල් කරන්න ඔවුන්ට ඉඩ දෙන එක අප්‍රසන්නයි.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් දැක්වීම අගය කරන අතර නිදහස් අදහස් දැක්වීමට ඔබට ඇති අයිතියද මෙහිදී සුරකිනවා. නමුත් ඔබ මෙහි දක්වා ඇත්තේ මා මෙම ලිපියෙන් ඇසු ප්‍රශ්නයට යන්නේ කොහෙද මල්ලේ පොල් පිළිතුරක්. මම ඇහුවේ අපි යුද්දය පැරදුනා නම් අද කෙබඳු තත්වයක් නිර්මාණය වෙයිද? සිතා බලන්න එතකොට මේ භූමිය රවල් දෙකක් වෙනවා. අපිට මොනවා වෙයිද? අන්න ඒ ඔස්සේ හිතා පුලුවන්නම් නැවත අදහස් දැක්වීමක් කරන්න.

      කිසිම ආකාරයකින් හමුදාවට වන්දනීය පූජනීය තත්වයක් අවශ්‍ය නැත. සොල්දාදුවා අවශ්‍යවිට පාවිච්චි කර ඉවත දමන මෙවලමක් බව අපි දනිමු. ඒ ගැන කලකිරීමක් නැත. මිලිටරිකරණය කියන්නේ මා දන්නා තරමින් හමුදාව විසින් බලය අල්ලා ගැනීමයි. මේ කුනුවෙච්ච රට අල්ලාගෙන පාලනය කරන්න මොලේ ඇති හමුදා නායකයෙක් ඉදිරිපත් වන්නේ නැත. ඔය මිලිටරිකරණ වචනය දේශපාලකයන් විසින් මිනිසුන්ගේ ඔලුවට දාපු එකක්. පාලකයන් හමුදාව තම දේශපාලන අවශ්‍යතා සඳහා පාවිච්චි කරනවානම් එය නැවැත්විය යුත්තේ ඔබත් මමත් අවංකව අපේ ඡන්ද බලය පාවිච්චි කිරීමෙන්.

      පෝලිම් කඩාගෙන එන කොයි එකාටත් එහෙම කලයුතුයි. හැබැයි පොලිස්කාරයෙක් නිල ඇඳුමින් ඇවිත් එහෙම කලාම පෝලිමේ ඉන්න එවුන් නැට්ට පුකේ ගහගන්නවා. ආබාධිත සොදාදුවෙකුට බස් එකේ කෝච්චියේ ආසනයක් නොලැබෙන මේ රට ගැන කුමන කතාද.

      Delete
    2. මිලිටරීකරණය යනු හමුදාව විසින් බලය අල්ලා ගැනීම නොව සිවිල් සමාජයේ හැම කටයුත්තක්ම හමුදා සංස්කෘතිය යටතේ කරන්නට පාලකයින් උත්සාහ දැරීමයි. උදාහරණයක් හැටියට විදුහල්පතිවරුන්ට හමුදා පුහුණුව ලබාදීම. යුද්ධයක් නැති පරිසරයක මෙවැන්නක් කිරීම අවශ්‍ය නොවන අතර එය කොයිතරම් භයානකද සාක්ෂි කිහිපයකුත් අපට පසුගිය කාලේ පෙණුනා නේද?

      කෝච්චියක හෝ බස් එකක හැම ආබාධිතයකුටම සැලකිල්ලක් ලැබිය යුතුයි. ඇයි ආබාධිත සෙබලකුට විතරක් විශේෂයක්? ඔබ කතා කරන්නේ අපේ සමාජය ආබාධිතයින්ට නිස සැලකිලි නොදැක්වීම ගැනයි. ඔවුන් මේ පුද්ගලයා ආබධිත සෙබලෙක් කියා සිතා එසේ කරන්නේ නැහැ.

      නිල ඇඳුමින් එක පොලිස් භටයකුට පවා මගේ ප්‍රතිචාරය සමානයි. ඔය හැම දෙනාටම වඩා පුරවැසියා ප්‍රධාන බවයි මා විශ්වාස කරන්නේ.

      Delete
    3. හරියටම හරි ආණ්ඩුවට එයාලට සලකන්ඩ ඕනනං වෙන මොනව හරි දෙන්ඩ බැරියැ

      ඉස්පිරිතාලේ ඔන්න මලා මෙන්න මලා වයසක මිනිස්සු පොඩි දරුවෝ පෝලිංවල ඉන්දැද්දි එයාල කිසිම හිරිකිතක් නැතුව පෝලිම පනිනව

      ලොකු පොඩි සියලු නිලයන් එහෙමයි ,

      ලොකු නිලධාරි පොඩි උන්ට හපං , වැඩෙත් කරගන තව ඒ මදිවට එතන මිනිස්සු එක්ක කයියත් ගගහ ඉන්නව , එලියේ ඉන්න මිනිස්සු හුල්ලනව

      පොලිසිය ගැනනං කතා නොකර ඉම්මු වචනත් අපරාදේ

      Delete
    4. @ AnonymousJuly 18, 2014 at 9:35 AM

      කෝච්චියක බස් එකක ආබාධිත සොල්දාදුවකුට ඇයි විශේෂයක්?

      කරුණාකර පිළිතුර නනගනීම සඳහා ඔබේ පළමුවැනි කමෙන්ටුවේ පළමුවැනි වාක්‍යය කියවන්න.

      @ අටම්. හමුදාවේ අය විතරක් නෙවෙයි කිසිම කෙනෙකුගේ අසාධාරණයට විරුද්ධ නොවී ඉන්න එපා. හැබැයි ඉස්පිරිතාලෙට ගිහින් බලන්නකෝ දොස්තරලාගේ නර්ස්ලගේ ඇටන්ඩන්ට් ලාගේ ගෙම්බර් බලන හැටි හික්මීයෝ වගේ.

      Delete
    5. මගේ මතය කෝච්චියක බස් එකක * හැම ආබධිතයකුටම * විශේෂ සැලකිල්ලක් ලැබිය යුතු බවයි. අප ඇති කළ යුතු විනය ඒකයි. එතකොට සෙබළක් වුණත් නැතත් හැම ආබාධිතයකුටම පහසුවක් ලැබෙනවා. ආබාධිත සෙබළකුට විතරක් සීට් එකක් දීලා සෙබළකු නොවන ආබාධිතයකුට හිට ගෙන යන්න කියන එක මනුස්සකමක්ද?

      Delete
    6. ඉස්පිරිතාල වැනි රජයේ ආයතන වල සේවකයින් පුරවැසියන්ට ගෙම්බර් දැමීම එක ප්‍රශ්නයකි. තුන්වන පාර්ශ්ව විසින් පුරවැසියන්ට ගෙම්බර් දැමීම තව ප්‍රශ්නයකි. මේ දෙක දෙකකි. එකක් තිබුණා කියා අනෙක සාධාරණීකරණය කළ නොහැකිවා සේම මේ ප්‍රශ්න දෙක විසඳීම පිණිස ගත යුතු ක්‍රියා මාර්ගද වෙනස්ය.

      Delete
    7. හමුදාව මෙවලමක් බව අපි දන්නා බව මා මුලින්ම කිව්වේ ඒ නිසයි. කරුණාකර දෙවැනි ලෝක යුද්ධයෙට ගිය එමෙන්ම කිසිදු ආබාධයක් නැති සොල්දාදුවන්ට ලෝකයේ බොහෝ රටවල සාමාන්‍ය ජනතාවගෙන් ලැබෙන සැලකිලි මොනවාද කියා සොයා බලන්න.

      ඔබ කියන තුන්වැනි පාර්ශ්වය හමුදාව විතරද? රෝහලක සේවක මණ්ඩලයට වෙනම බෙහෙත් කවුන්ටර තිබෙනවා. සමහර ආයතන වල සේවක මණ්ඩලයට පමණක් විශේෂ වරප්‍රසාද තිබෙනවා. ඒවා හදාගෙන තිබෙන්නේ කොහොමද? ප්‍රශ්න විසඳීමට ඔබ යෝජනා කරන ක්‍රියාමාර්ග මොනවාද?

      තවම මගේ ප්‍රශ්නයට උත්තර නොදී වටේ යන්නේ ඇයි? අපි යුධයෙන් පැරදුනා නම් කුමක් වෙයිද?

      Delete
    8. මහත්මයාණනි, ඔබ තවමත් ප්‍රස්තුතය මගහැර යාමෙන් පෙනෙන්නේ මේ සංවාදයෙන් ඉතා කණගාටුදායක ලෙස ඔබ අසමත්ව ඇති බවයි.

      අපි යුද්දෙන් පැරදුනානම් මොකක් වෙයිද කියන ප්‍රස්තුතය මගහරිමින්, ඔබ, හමුදාව දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක්කරනවා. හමුදාවෙන් පැනගිය/විශ්‍රාම ගිය/ නීත්‍යානුකූලව ඉවත් කළ/ අය, විවිධ කරදර හා ප්‍රශ්න ඇති කරනවා. මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ, මංකොල්ලකෑම්, කාන්තාවන්ට හිරිහැර කිරීම්, බාලාපචාර ක්‍රියා, සාමාන්‍ය ජනතාව වෙත හිරිහැර ඇතිවන සේ හැසිරීම්, දැන් ලැයිස්තුවේ දිග ඇතිනේද? සතුටුද?

      මහත්මයාණනි, ඔබේ හුදු ද්වේශය හෝ කෝපය, මේ ප්‍රශ්න විසඳීමට කිසිසේත් ආධාර අනුබල නොදෙන බවත්, විසඳුමක් යෝජනා කිරීමට ඔබ අසමත්ව ඇති බවත්, පැහැදිලිව පෙනීයන අතර, 'දීර්ඝ කාලීන යුද්ධයක යෙදී සිටි හමුදා සොල්දාදුවන් විසින් ඇතිකරනු ලබන සමාජ ප්‍රශ්න' නමැති මාතෘකාව, ඔබ ජීවිත කාලය තුළ තවමත් අසා නැති බවද, පැහැදිලිවම පෙනෙනවා. එබැවින් මා ඔබට ඉතා කාරුණිකව යෝජනා කරනවා;

      මෙන්න මේ ලිපිය කියවන ලෙස

      Delete
    9. විචාරක ඔබට ඇති ගැටළුව මිලිටරියට බැඳීමේදී හා පුහුණුවේදී සෝදා ඇති ඔබේ ඇබිත්තං මොළය මිලිටරි කල්චර් එකෙන් පිට නිදහස් සමාජයක් තිබිය යුතු බව පිළිගැනීමට දක්වන මැළි කමයි. එය ඔබේ වරදකැයි නොකියමි. එසේම ඉහත කමෙන්ට් කියවන මැදහත් පාඨකයකු මෙය ලෙහෙසියෙන්ම වටහා ගන්නා බවද දනිමි. මට කියන්නට ඇත්තේ ඔබේ මතටය එරෙහි කමෙන්ට් වුව පළ කිරීම ගැන ස්තූතියි කියා පමණකි.

      Delete
    10. /'දීර්ඝ කාලීන යුද්ධයක යෙදී සිටි හමුදා සොල්දාදුවන් විසින් ඇතිකරනු ලබන සමාජ ප්‍රශ්න' නමැති මාතෘකාව, ඔබ ජීවිත කාලය තුළ තවමත් අසා නැති බවද, පැහැදිලිවම පෙනෙනවා. එබැවින් මා ඔබට ඉතා කාරුණිකව යෝජනා කරනවා/

      මේවාට නම් කොතැනකින් හිනා වෙන්නදැයි නොදනිමි. දීර්ඝ කාලීන යුද්ධයක යෙදී සිටි හමුදා භටයින්/නිලධාරීන් විශ්‍රාම ගොස් සමාජ මිලටරීකරණයට පක්ෂව බ්ලොග් ලිවීමද සමාජ ප්‍රශ්නයක් බව අප නම් අවබෝධ කොට ගත්තේ කාලයකට පෙරයි.

      Delete
    11. මගේ මොලය සෝදා ඇත්නම් අර මම යොමුව වශයෙන් දී ඇති ලිපිය කියවා තේරුම් නොගෙන මෙසේ අදහස් දැක්වීම ළිං මැඩි ලක්ෂණයක් පමණි.

      Delete
  10. යුද්ධය පැරදුනානම්

    1. රනිල් ජනාධිපති වෙයි ... ඕක තමයි අපි කිව්වේ කියයි.
    2. යුද්ධය කලේ තනිකරම ෆොන්සේකා - දැන් නම් කරලා තියෙන්නේ ගොථා , කෙහෙළිය. විමල් වගේ අයනේ
    3. රණවිරු රියල් ස්ටාර් නැතිවෙයි .
    4. මහින්ද රාජපක්ෂ සහ බුදු හාමුදුරුවන්ගේ නෑදා කම ගැන ජැක්සන් නොකිය ඉඳියි.
    5. සමන් කුමාර රාමවික්‍රමට ඩයස්පෝරාවට විකුනන්න දෙයක් නැතිවෙයි.
    6. දේශ ප්‍රේමියෝ නැතිවෙයි .
    7. සමනතමතාවය සුළු ජාතික අයිතිවාසිකම ගැන කතා කරන පට්ට රැඩිකල් පොරවල් හොයා ගන්නවත් නැතිවෙයි

    ReplyDelete
    Replies
    1. මේකත් සිරා පැහැදිලි කිරීමක්

      Delete
    2. ඔය මොනවා කරන්නවත් අපට රටක් ඉතුරුවෙන්නේ නැහැ ඉවාන්. උන් එටිකත් අල්ලගන්නවා. එකට උදව් කරන්න බලාගෙන හිටිය පිරිසක් අදත් සද්ද නැතුව ඉන්නවා.

      Delete
  11. යුද්දය පැරදුනානම්.......... අපි මැලේසියාවේ දෙමල්ලු ටික ප්‍රභාට අදාර දෙන හැටි බලන් හුල්ල හුල්ල ඉන්නවා
    දැන් දිනලත් මුන් ටික ඉතුරු කොටින්ට පැට්‍රල් ගහන්න දගලන දැගලිල්ල දිහා බලන් කම්පා වෙනවා

    ReplyDelete
    Replies
    1. ඔව් ඊට පස්සේ ලෝක ආධාර යටතේ මහා ඊලාම් රාජ්‍යයක් ගොඩ නැගෙනවා. මුළු ලෝකෙම අපිව අමතක කරලා දානවා.

      Delete
  12. අයියන්ඞි උඔ දන්නවානේ මම පුරේ කොල්ලා, එහම වුනානම් මටත් ඉන්න වෙන්නෙ උන්ගේ පාලනය යටතේ, අනික වුන් ඔය කොටස අරගෙන නිකන් ඉදිද? මුලු රටම අල්ල ගත්ත දවසට ඉන්න වෙන්නේ බල්ලෝ වගේ.
    මට නම් හිතා ගන්නත් බෑ

    ReplyDelete
    Replies
    1. හරියට හරි සංජීව මල්ලි. උන් ඒ ටිකෙන් සෑහීමට පත්වෙන්නේ නැහැ උන් අපිට අරිනවා කටෙන් මතුවෙන්න. ආයේ ආත්ම දහයකටවත් ගොඩ එන්න බැරිවෙන්න.

      Delete
    2. එල එල
      මම හැමදාමත් උදේට පාන තියනකොට ඔයාලව සිහිකරන එකට අද තවත් වටිනාකමක් එකතු වුනා.
      අපි ඡාති ඡාතිත් උඔලට ණයයි අයියන්ඞි.

      Delete
    3. පින්සිදුවේවා! උඹලාගේ ආදරය ගඟක් වගේ හැමදාම ගලන බව අපි දන්නවා.

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. දිග කමෙන්ට් එකක් ගහලා මැකුවා සංජියා. වැඩක් නෑ ඕව කියලා.. මමත් පුරේ හැදුන එකා..අපි අද රඟන්නේ උන් අපි වෙනුවෙන් මැරුණ හින්දා. ඒකෙ රෙස්පට් එක මගෙ නං මැරෙනකං තියනවා !!!!

      Delete
    7. අයියන්ඞි, පත්තර මල්ලි මට මෙන්ඞා කියන්න.
      අනිවා මචං උඔයි මම දන්නවා ඒ දුක හොදටම. ඔය දැන් ලොකු ටොක් දාන එක අයියා කෙනෙකුටවත් මතක නෑ මැදවච්චිය චෙක් පොයින් එකෙන් එහාට යන්න බැරැව හිටපු කාලේ.
      පතතර මල්ලි තෝ ආය උඔගේ කමන්ටු මැකුවෝත් මම තෝ මරනවා. කමන්ටු කොටන්නේ උඔ උනාට උඔ අයිති අපිට.

      Delete
    8. ඒකනේ කියන්නේ මෙන්ඩා. කමෙන්ට් කෙටුවනම් කෙටුවා. අපිනේ එව්වා බලන්නේ. පත්තරයා පුවත්පත් සංස්කාරකයෙක් නෙවෙයිනේ.

      Delete
    9. මොන්ඩෝ, විචාරක සෑර්,.බැණුං කෝටියයි ඕං මකන් නෑ බං ඈ , ඒකෙ ලිව්වෙ මචෝ මම මිණී බාලා තියනවා ආමි කොල්ලන්ගේ මගේ අත් දෙකෙන් බං. සංසාරෙ එපා වෙනවා.. ඒව මුන්ට මතක නෑ..

      Delete
  13. යුද්ධය පරදීවි කියල මම නං හිතන්නෙ නෑ. මොකද උතුරු නැගෙනහිර වෙනුවෙන් ඕනෑම දෙයක් කැපකිරීමට සූදානමිනුයි මිනිස්සු හිටියෙ. වෙන්න පුළුවන් කමක් තිබුන එකම දේ තමයි යම් මට්ටමක සටන් විරාමයකින් දෙමළ මිනිස්සුන්ට බලය බෙදීමේ වැඩපිලිවෙලක් ඇතිවීම. (ඒක ඊලමට යන පාරද නැද්ද කියන එක වෙනම කතාවක්).

    ReplyDelete
    Replies
    1. තව අවුරුදු 5ක් යුද්දය ඇදුනානම් මිනිස්සුන්ට එපාවෙනවා රාජ්. එතකොට අර සහයෝගය දෙන්නේ නැහැ. මතකයි නේද එක වරක් හමුදාව පසු බැස්සා. ඒ වගේ බැරිවෙලාවත් අනුරාධපුරෙන් මෙහාට පසුබැස්සා නම් මිනිස්සුත් බයවෙලා කියනවා, සාකච්ඡා කරමු කියලා. එතකොට පරක්කු වැඩියි. උන් වැට ගහලා ඉවරයි.

      Delete
  14. Yudde paraduna nam, raten baagayak apita deela, baagayak un aragena, watakin 2ta bedala saamen sathuten indeewi kiyala hithanawa nam, mama eyaata kelinma kiyanne "Dan eli wela.. Nagitapiya" kiyala. Wadima unoth maasayak e wage thathwayak thiyewi.. Eeta passe ithuru maasayak yaddi, aaya Sinhala (samaharawita Muslim) jaathiyak me ratewath ithuru nowenna thibuna yudde paradunaanam..
    Samaharawita ehema una nam api Indiawe pranthayak me weddi. Samahara wita Demala-Muslim yuddayak thiyewi..
    Mage phone eka Nokia 6220c. Mekata Sinhala fonts newe, aduma gaane comment ekakata Reply comment ekak daanawath baae.. Thawa sathi 5y wadima unoth..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔබ කියන ප්‍රතිඵල බොහොමයක් අත්වෙන්න තිබුනා. එක පිරිසක් රටෙන් කෑල්ලක් කඩා ගත්තානම් තව තව පිරිස් තව කෑලි කඩන්න බලනවා.

      Delete
  15. "යුද්ධය පැරදුනා නම්" කියන තත්වය අපි උපකල්පනය කරනවා නම් එය ඇති වෙන්න මූලික වූ සාධකත් උපකල්පනය කළ යුතුයි. මොකද රික්තකයක යුද්ධය පරදින්නේ නැහැ. යුද්ධය පරදින්න බලපාන යම් යම් සාධක තියෙනවා අනිවාර්යයෙන්ම. මොනවාද ඒ?

    1. යුද්ධය පරදිනවා නම් පරදින්නේ ත්‍රිවිධ හමුදාවේ විශාල පිරිසක් මිය ගිහිල්ලා. හරියටම ගාන හිතන එක බොරු වැඩක්නෙ. ලක්ෂයක් කියමු.

    2. ඒ එක්කම දකුණේ විශාල ජීවිත හානියකුත් වෙනවා. ඒකත් ලක්ෂයක් කියමුකෝ.

    3. ඉහත 1 හා 2 අනුව දකුණේ ලක්ෂ දෙකක් මිය යනකොට උතුරු නැඟෙනහිරත් ඊට සමාන ගණනක් වත් මිය යා යුතුයි. එතකොට උතුරු නැඟෙනහිරත් මියගිය ගණන දෙලක්ෂයයි.

    පොඩ්ඩක් හෝව්. ඔන්න ඔතැනදි අපි පීලි පනිනවා. මොකද උතුරු නැඟෙනහිර හැම දෙමළෙක්ම කොටියෙක් කියලා උපකල්පනය කළත් මෙතැන වරදක් තියෙනවා. මොකද ඒ අවස්ථාවේ උතුරු නැඟෙනහිර හිටි දෙමළ ජනගහණය (කුඩා දරුවන්, නාකි ආච්චිලා, නාකි සීයලා නම් හිටියේම නැති තරම් ඇතුළුව) දෙලක්ෂ පනස්දාහයි.

    හරි අපේ පහසුවට හිතමුකෝ උතුරු නැඟෙනහිර එක් ලක්ෂ පනස්දාහක් මැරිලා ලක්ෂයක් ඉතුරු වුණා කියලා. මෙයින් 50,000 ක් වත් සක්‍රිය කොටින් කියලාත් හිතමුකෝ. (ඇත්ත ගාන නම් මීට වඩා අඩු විය යුතුයි මොකද තීරණාත්මක යුද්ධයකදී වැඩියෙන්ම මැරෙන්නේ සොල්දාදුවන් නිසා නමුත් අපි එහෙම හිතමුකෝ.)

    එතකොට දකුණේ සක්‍රිය ජනගහණය ලක්ෂ 8-9 ක් වේවි. උතුරේ 50,000 යි. එතකොට උතුර දිනලා කියන්නේ කොහොමද?

    දැන් අපට පැහැදිළියි යුද්ධයකින් කවමදාවත් කොටින්ට දිනන්න ඉඩක් නොතිබුණු බව. විය හැකිව තිබුණු නරකම දේ තමයි ඔවුන් ජාත්‍යන්තර සහාය ඇතිව තාවකාලික ආණ්ඩුවක් උතුරු නැඟෙනහිර පිහිටුවා ගැනීම. ඒක යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස නෙවෙයි. වෙන්න තිබුණු තවත් දෙයක් තමයි දීර්ඝකාලීන යුද්ධය. (එක පැත්තකටවත් ජයක් නැතුව)

    2009 දී යුද්ධය අවසාන නුවූයේ නම් වෙන්න තිබුණේ මේවා. ඒ හන්දා අප ප්‍රායෝගිකව කතා කළ යුත්තේ එහෙම වුණා නම් කොහොමද කියන කාරණාව මිසක් යුද්ධය පැරදුනා නම් කොහොමද කියන එක නෙවෙයි.

    හැබැයි යුද්ධය පැරදුණා නම් කොහොමද කියන ප්‍රශ්නය නිසා කෙනකුගේ හිතේ එක්වරම බයක් ඇති වෙනවා, යකෝ මේක නොකළා නම් මට ත්‍රස්තවාදීන් යටතේ ජීවත් වෙන්න වෙනවා නේද කියලා. ඒ බය නිසා ඒ පුද්ගලයා සාමාන්‍ය තත්ත්ව යටතේ නොකරන දෙයක් කරන්න පුළුවන්. (උදාහරණයක් හැටියට සාමාන්‍ය තත්ත්ව යටතේ සන්ධානයට ඡන්දය නොදෙන යූ එන් පී පාක්ෂිකයෙක් මේ බිය නිසා සන්ධානයට ඡන්දය දීම)

    විචාරක ගැන වඩා හොඳින් දැන නොසිටියා නම් මට ඔහුගේ අරමුණු ගැනත් සැක හිතෙන්න ඉඩ තිබුණා. විචාරකට එහෙම දේශපාලන අරමුණු ඇතැයි මා හිතන්නේ නැහැ. ඔහු ඊට වඩා පැසුණු පුද්ගලයෙක්.

    හැබැයි රජෝ ඔය යුද්ධයෙන් පැරදුණා නම් කොහොමද කියන ප්‍රශ්නය නඟන අනෙක් අයියලා ගැන නම් එහෙම කියන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. අනේ මටනම් කිසිම දේශපාලන අරමුණක් නැහැ.

      අර සටන්කාරීන් සහ හමුදාව ගැන ගණනය කිරීම් වලදී මෙන්න මේවත් හිතන්න ඕනේ. ඉතා හොඳින් පුහුණු හමුදාවකට තමන්ට වඩා විශාල හමුදාවකට මුහුණ දෙන්න පුළුවන්. එමෙන්ම ගරිල්ලා සටන් වලදී අපේ හානිය අවම කරගෙන සතුරාගේ හානිය උපරිම කරගන්න පුළුවන්. නමුත් ඒ වාසිය වැඩිපුර ගත්තේ එල්.ටී.ටී.ඊ.යයි. එල්.ටී.ටී.ඊ. ය දකුණේ නගර ගම් වලට රිංගලා ගහපුවා මතකයිනේ. ඊට සාපේක්ෂව අපි ඒ විදිහට ආපහු ගැහුව ප්‍රමාණය අඩුයි. දෙමල මිනිස්සුන්ට ඒ කාලෙත් රටේ ඕනෙම තැනකට යන්න නිදහස තිබුනා. ඒ වාසිය අපිට තිබුනේ නැහැ. ඔබ දන්නවද යුද්ධයේ අවසාන කාලයේදී හමුදාවට බැඳෙන්න කවුරුවත් ආවේ නැහැ. අපි ගම නියම්ගම් ගානේ ඇවිදලා ගෙවල්වල මිනිස්සු එක තැනකට එකතු කරලා කරුණු කියලා ඉතා අමාරුවෙන් උප්පැන්න, අධ්‍යාපන, සහතික හොයාගෙන කොල්ලන්ව බඳවා ගත්තේ.

      මට පෙනන්න අවශ්‍ය අපි තීරණාත්මක සටනකින් දිනුවා කියන එකත් එය සාමූහික ප්‍රයත්නයක් මිස, දියසේන කුමාරයකුගේ පහළවීමෙන් ලත් දෙයක් නොවන බවත්.

      Delete
    2. මා ලියූ දේ තේරුම් ගන්න ඔබට අපහසුවක් තියෙන බව පේනවා. මා ඔප්පු කළේ ඔබ අසන්නේ වැරදි ප්‍රශ්නයක් බවයි. වැරදි පක්ෂග්‍රාගී ප්‍රශ්නයක් ඇහුවාම ලැබෙන්නේ ඔබට අවශ්‍ය උත්තරය. මේක ටික කලකට කලින් අරුණි ශපීරෝ පැහැදිළි කළා "ගෑනිට ගහන එක නැවැත්තුවාද?" කියලා බ්ලොග් පෝස්ට් එකකින්.

      Delete
    3. මා ඉදිරිපත් කලේ උපකල්පනයක්. ඒ ඔස්සේ යම් සංවාදයක යෙදීමයි අරමුණ වුනේ. අපි කාට කාටත් තියනවනේ ඔය 'තේරුම් ගැනීමේ අපහසුව'

      Delete
  16. පැරදුනා නම් හොඳයි කියලත් හිතෙනවා වෙලාවකට. මොකෝ දිණුවයි කියලා හම්බ වෙච්ච ලබ්බකුත් නෑ නේ.

    ReplyDelete
    Replies
    1. තවටිකක් හිතලා බලන්න මෙහෙම කතාකරන්නවත් රටක් ඉතුරුවෙයිද කියලා පැරදුනානම්.

      Delete
  17. මේ කියන කරුණු කාරණා සියට සීයක් නිවරැදි වෙයි කියල නං හිතන්න අමාරුයි.. සමස්ථයක් ලෙසත් ගලා යාම (කාලය) අනුවත් එය වෙනස් විය හැකියි.. සමහර විට එක් දිනක හෝ දින දෙකක දරුණු කාලයකින් ඔක්කෝම වෙනස් වෙන්නත් පුළුවන්

    ReplyDelete
    Replies
    1. මට තේරුනේ නැහැ. තව ටිකක් පැහැදිලි කරන්න.

      Delete
  18. හොඳ වෙලාවට මේ ප්‍රශ්ණෙ සිංහලෙන් ඇහුවෙ... ඉංග්‍රීසියෙන් ඇහුවනම් ඕකට මේ වගේ උත්තරයක් හම්බෙන්න තිබුනා ඔය කොහෙන් හරි..

    << අපිට මේක පැහැදිලි මදි... දැන් කට්ටිය හිටපු තැන් වලටම ආයෙ යන්න, ගිහින් යුද්දෙ ආයෙ පටන් ගන්න.. ඊට පස්සෙ තමා අපිට මේ ගැන මොනා හරි දෙයක් කියන්න පුළුවන්...>>

    ReplyDelete
    Replies
    1. හඃ හඃ හා...................කොටියා උගුලෙන් බේරගත්ත මිනිහාට නරියා දුන්න උපදෙසේ නේද?

      Delete
  19. මාගේ අදහස් දැක්වීමක් අවශ්‍ය නැත. දක්වා ඇති අදහස් ප්‍රමාණවත් බව සිතමි.

    ReplyDelete
  20. එහෙම යුද්දය පරදිනවා කියල එකක් තියෙන්න පුලුවන්ද?

    1. දෙවන ලෝක යුද්දය නැවතුනේ යුද්දේ පටන් ගත්ත හිට්ලර් මැරුණට පස්සෙ.

    2. ඒ විදිහටම කොටින් යුද්දය පැරදුනේ යුද්දේ පටන් ගත්ත ප්‍රබාකරන් මැරුණට පස්සේ.

    3. රජයේ හමුදාවන් යුද්දෙ පරදින්නේ නැහැ, සරත් ෆොන්සේකාවත් මහින්දවත් මැරුණා කියල.

    4. අපිට යුද්දේ පැරදියි කියලා කියන්න පුලුවන් වෙන්නේ පාර්ලිමේන්තුව අල්ලගෙන රජයේ ජනමාධය අල්ලා ගත්තොත් තමයි. නමුත් කොටින්ගෙ හොදම කාලයෙදීවත් එහෙම හැකියාවක් තිබුනෙ නැහැ.

    5. අපි ප්‍රබාකරන් විනශ කරලා, 2009 දි යුද්දේ "නැවැත්තුවෙ" නැත්නම්, තාමත් යුද්දෙ "තියෙනවා" කියලා තමයි කියන්න තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මේක රට ඇතුලේ සිවිල් යුද්දයක්නේ. එවැනි යුද්ද, කාලෙන් කාලෙට විවිධ මුහුණුවර ගන්නවා දීර්ඝ කාලයක් ඇදෙනකොට.

      එල්.ටී.ටී.ඊ. ය ඔවුන් විසින්ම සාදාගත් ඊනියා දේශසීමා අපේ හමුදාවන්ට ඇතුල්වෙන්න බැරි විදිහට ශක්තිමත් කරගත්තානම්,අපේ ගුවන් හා නාවික බලයට නොබියව අභියෝග කළහැකි ලෙස ඔවුන්ගේ එම බලය වර්ධනය කරගත්තානම්, ආයේ කොළඹ ඇවිත් මෙහෙ පාර්ලිමේන්තුව, මාධ්‍ය ආයතන අල්ලන්න ඕනේ නැහැ. එහෙ ඉඳලා ස්වාධීනත්වය ප්‍රකාශ කලානම් ලෝකයේ සෑහෙන්න රටවල් ගණනක් එය පිළිගන්න ඉඩ තිබුනා. එතනදී අපි පරාදයි.

      Delete
    2. ආ..ඔය විචාරක මහතාම කියලා තියෙන්නෙ උත්තරේ.

      Delete
  21. Hamuadawa jeewitha pudala rata beeragathata ownta AAcharaya!Uddaya peradunanam wenne.Den palakayan huoorankana rata,wenuwata prbakaran Pramuka demala palakayan wisin hoorakeemai.

    ReplyDelete
    Replies
    1. හූරාගෙන නෙවෙයි උන් අපිව මරාගෙන කනවා ෂුවර්.

      Delete
  22. සිංහල ඩයස් පෝරාවක් ඇති වේවි
    මානව හිමිකම් කඩවුණා යැයි ප්‍රභාකරන් විදුලි පුටුවට ගෙනියන්න ලෑස්ති වෙයි
    ප්‍රභාකරන් තමන් යුද්ධය දිනා දුන් නායකයා යැයි සැමදා කටමැත දොඩවයි
    ප්‍රභාකරන්ගේ නමින් එම ප්‍රදේශ පුරා ඉදිවන හැම දෙයක්ම නම් කරයි
    එකී මෙකී නොකී කොච්චර දේවල් සිද්ධ වෙයිද

    ReplyDelete
    Replies
    1. අපේ ජනතාව ප්‍රතිසංවිධානය කරගැනීම එතරම් පහසු නොවනු ඇති. ඒ තරම් බෙදීම් අපි තුළ තියනවනේ. අර පැත්තට ආවඩන අයත් ඉන්න ඉඩ තියනවා.

      Delete
    2. අපිට ඩයස්පෝරාවක් හදාගන්න කොයි රටේද ඉඩ දෙන්නේ?

      Delete
  23. ජැක්සන් කියයි ප්‍රබාකරන් බුදුන්ගේ පරපුරේ කියලා. (කොටින්ට වන්දි බට්ට කම් කරන පිරිසක් බිහිවෙයි)

    යුද්දය පැරදුණා නම් උතුරේ වෙනම රටක් බිහිවේවි. ලංකාවේ රජයට වඩා ඔවුන්ගේ වංචා දුෂණ අඩු නම් එම රට දියුණු වෙයි. (ඔවුන්ට ප්‍රජාතන්ත වාදය යටත්ව නම් දකුණ අල්ල ගන්න බැරි වන නිසා අපිට ඉන්න රටක් නැතිවෙන එකක් නැහැ.) එහෙම උනොත් දකුණේ අය උතුරට වීසා ගන්න පෝලිම් වල ඉඳීවි.

    ReplyDelete
    Replies
    1. // උතුරට වීසා ගන්න පෝලිම් වල ඉඳීවි
      වීසා අරන් ගිය කාලයක් තිබුනා මචෝ "සාමය" දුන්නු වෙලාවේ.

      Delete
    2. රේදදේ ප්‍රඡාත්‍රන්ත්‍රවාදේ ත්‍රස්ත්‍රවාදින්ට කොහෙද එහම එකක් මුලු රටම අල්ලලා අපිට #%^&* ඇරලා ඌන් නවතින්නේ.

      Delete
  24. @ මහා කළු සිංහලයා. හොඳ අදහස් ගොනු කිරීමක්. ඇත්තටම ඊලම ගත්තානම් ඔවුන්ට උදවු කරන්න නොර්වේ ඇතුළු රටවල් ගොඩක් සැදී පැහැදී හිටියා.

    @ නිකං. ඒ වෙලාවේ උතුරට යන/එන අය නිවැරදි පාලනයක් යටතට ගන්න බැරිවුනේ ඒ ගිවිසුමේ සඳහන් කරුණු නිසයි.

    @ මෙන්ඩා. ඒක තමයි මම උඩ කමෙන්ට් එකකත් කිව්වේ, නිකම් නෙවෙයි කටෙන් මතුවෙන්න අරින්නේ කියලා.

    ReplyDelete
  25. යුද්ධෙ අපි පැරදුනානම්,

    මට එකපාරටම හිතුනෙ, දකුණෙ අපිට නැති මානව හිමිකම් එතකොටත් නැතිවෙයි. දැන්... පාරෙ යන්න බෑ පොලිස් කාරයො වෙඩි තියනවා, ප්‍රාදේශීය සභාපති වරු කෙල්ලොන්ව දූෂණය කරනවා, දළදා මාළිගාව ළග කාර් රේස් තියනවා. දැන් තියෙනව වගේම රටක් තමා කොටි පාලනය යටතෙත් අපිට ලැබෙන්න තිබුණෙ... නැද්ද?

    ReplyDelete
    Replies
    1. හෙම වෙන්නත් පුළුවන්. ඊට වඩා උන් අපේ පැත්තත් අල්ලගන්න හොඳටම ඉඩ තියනවා.

      Delete
    2. උන් අපේ පැත්ත අල්ලගත්තනම් ඒත්, මං කියපු දේම තමා වෙන්න පුළුවන්...

      Delete
  26. මොන පාලනේ ආවත් අපි වගේ බෝමබ බයක් නැතිව පවුලම එක බස් එකේ යනවට අපි උඹලට ණයයි අයියෙ

    ReplyDelete
    Replies
    1. හැබැයි අපි පැරදුනානම් ඔය නිදහස ලැබෙන්නේ නැහැ.

      Delete
  27. යුද්ධය දිනන්න බැහැයි කියන මතයේ රජතුමාත් හිටියනේ මුල් කාලයේ. අර ජේවීපිය කියනවා වගේ රජතුමාව මේ වගේ තැනකට අරන් ගියේ බල්ලෝ නාවන්න අරන් යනවා වගේලුනේ. ඕකයි දේශපාලන කතාව. ඒ වගේම ජේවීපිය දැන් කියනවා, සිවිල් ජනතාව වෙනුවෙන් ඔවුන් දැක්වූ මැදිහත්වීම මදිබව ගැන කනගාටුවෙන බවත්.

    යුද්ධය පැරදුනානම් කවුරු බලයට ආවත් අන්ත අරාජික රටක් වෙන බවනම් කියන්න දෙයක් නැහැ. ඉන්දියාවේ බලපෑම් අදටත් වඩා වැඩිවෙනවා. සිවිල් ජන සමාජයේ අස්ථාවරබව නිසාම සිවිල් කැරලි පවා ඇතිවෙන්න හේතුවෙයි. ත්‍රස්ත සංවිධාන හා යුධ නිමා කරගැනීමට බැරිවූ රටවල් වල තත්වය අමුතුවෙන් ලියන්න අවශ්‍ය නැහැනේ. එහෙම වුනා නම් අද රට කන සහෝදරයෝ රැල මහින්ද ලොක්කාව අතහැරලා ඊළඟ ෆ්ලයිට් එකේ ගිහින් නවතින්නේ ඇමරිකාවේ. ඒක නම් ෂුවර්.

    නමුත් අවාසනාවකට...අද මේ කාලකණ්ණි පවුල් පාලනය විසින්...යුද්ධය නිමාවීමෙන් පසු ජනතාවට හිමිවිය යුතු සමාජ, ආර්ථික, දේශපාලන වාසිය ජනතාවට හිමි නොකිරීම ගැන කවදා හෝ අමතක නොවන පාඩමක් කියාදෙයි.

    1970 සිට 2009 දක්වා රට තුල ඇතිවු සිවිල් සටන්, ත්‍රස්තවාදී ක්‍රියා සහ රාජ්‍ය ත්‍රස්තවාදය ඊට මැදිහත්වූ අයුරු දෑසින් දුටු කෙනෙක් ලෙස...මේ අමනයින්ගෙන් ඉල්ලා සිටින්නේත් එවැනි තැනකට රට පත් නොකරන ලෙසයි. 83 කළු ජූලියෙන් පසු අවුරුදු 30කට ආසන්න කාලයක් විඳවපු ලාංකීය ජනතාවට තවත් වසර ගානකට ඒ විඳවීම දෙන්න එපා. අපි මැරිලා යයි. ඒත් අනාගත පරම්පරාව?? දුකයි සහතිකෙන්ම.

    ReplyDelete
    Replies
    1. බොහොම අගෙයි අරු ඔබේ අදහස් දැක්වීම. මම මේ ලිපිය ලිව්වේ සංවාදයක් ඇතිකර, අපි ලබාගත් ජයග්‍රහණයේ වැදගත්කම පෙන්වීමට මිසක්, පරාජිත මානසිකත්වයක් ඇතිකිරීමට නෙවෙයි. නමුත් සමහරු මේ ජයග්‍රහණය තමන්ගේ ප්‍රාණ භුක්තියට තියාගෙන, රටේ ජනතාව නොමග යැවීම ප්‍රභාකරන් කරපු අපරාධයටත් වඩා දරුණු අපරාධයක්.

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }