හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

08 July 2015

මේ පින්තූර දැකලා තියනවද? (පළමුවැනි කොටස)

   ලංකාවේ පැරණි තොරතුරු නිරූපණය කෙරෙන පින්තූර, නොයෙක් වෙබ් අඩවි සහ බ්ලොග් අඩවිවල වරින්වර පලවෙනවා. ඒ පින්තූර බොහොමයක්, විවිධ ආයතන, පුද්ගලයන් විසින් ලබාගත්, ඓතිහාසික වටිනාකමකින් යුත් ඡායාරූප බව, එම ඡායාරූප සහිත අඩවි වලට ගියවිට පෙනී යනවා. මේ මෑතකදී, එවැනි ඡායාරූප එකතුවක්, මට දකින්නට ලැබුණා. එම ඡායාරූප මට පෙන්වූ අය, පසුව එයින් කීපයක් මට ඊ මේල් මගින් ඒවා තිබුනේ, මා එම ඡායාරූප කෙරෙහි දැක්වූ දැඩි උනන්දුව නිසයි. 

   මට මේ ඡායාරූප ලබාදුන් මගේ මිත්‍රයා සඳහන් කල පරිදි, මෙවැනි ඓතිහාසික ඡායාරූප විශාල එකතුවක්, ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව තිබෙනවා. මෙම පින්තූරත්, එයින් ලබාගත් ඒවා වන්නට පුළුවන්.

    මේ සෑම පින්තූරයකටම මාතෘකාවක් යොදා තිබුණා. නමුත් ඒ මාතෘකාව පින්තූරය සමග දැක්වුණේ නැති නිසා, මා එම මාතෘකා නැවත මේ පින්තූර මත යෙදුවා. ඒ සමගම, මේ පින්තූර ගැන යම් හැඳින්වීමක් කරන්නටද මා සිතුවා. එහෙනම් අපි බලමු මේ පින්තූර. 




   හපුතලේ සීතල, මේ පින්තූරයෙන් මොනවට පිළිබිඹු වෙනවා. මෙහි දැක්වෙන බරකරත්ත අදනම් දකින්නට නැහැ. ගොනුන් දෙදෙනෙකු බඳින මෙවැනි කරත්තයක, අද තිබෙන කුඩා ලොරියක ගෙනයන තරම් බරක් ගෙනයනවා. 




   ඒ කාලයේ, නුවරඑලිය කොතරම් පාලු ස්වභාවක ගන්නට ඇද්දැයි, මේ පින්තූරයෙන් පෙනෙනවා. මේ පින්තූරය ගත් ස්ථානයේම සිට, අද පින්තූරයක් ගත්තොත්, අර ඈත පෙනෙන කඳු, හොරෙන් කපා අල්ලාගෙන, ගෙවල් හදාගෙන, එළවලු වගාකරගෙන, ඉන්න හැටි පෙනෙනවා. පසුගිය අවුරුදු 20 ක පමණ අතීතයේ, මා දුටු නුවරඑළිය සහ අද අතරත් විශාල වෙනසක් තිබෙනවා. මේ පින්තූරයේ දැක්වෙන ග්‍රෙගරි වැව, බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් කළ නිර්මාණයක්.




   මේ පින්තූරය ලංකාවේදී ගත් එකක් ලෙස මා නම් විශ්වාස කරන්නේ නැහැ. 1885 දී, සුද්දන්ට, අපේ රටේදී කාලතුවක්කු පාවිච්චි කරන්න අවශ්‍යතාවක් තිබුනේ නැහැ. පළමුවැනි ලෝක යුද්ධය ඇරඹුණේ 1914 දී පමණ, දෙවැනි ලෝක යුද්ධය 1942 දී පමණ. ඒ අවස්ථා වලදීවත්, මෙවැනි කාලතුවක්කු, ලංකාව ඇතුළත පාවිච්චි කරන්න අවශ්‍යතාවක් තිබුනේ නැහැ. 

   මේ ඡායාරූපය ඉන්දියාවේදී ගත් එකක් බව, මට සෑහෙන්න විශ්වාසයක් තිබෙනවා. මෙහි අලි පිට ඉන්න අය ඇඳලා ඉන්නේ, ඉන්දියානු ක්‍රමයේ යුද හමුදා නිළ ඇඳුම්. පාර අයිනේ තියන කරත්තයේ, කරත්තකරු ඇඳගෙන ඉන්න ඇඳුමත්, ඉන්දියානු දෝතියක් වගේ එකක්. ඒ කරත්තයේ බැඳ සිටින ගොණුන්, ඉන්දියාවේදී බහුලව දකින්නට ලැබෙන වර්ගයක්. 




   මෙහි මුල් පින්තූරයේ දැක්වෙන්නේ Bandarawela කියා නොවෙයි Bandarawilla කියායි. බණ්ඩාරවෙල ගැන දන්නා අයට, මේ කොතනද කියා හඳුනාගැනීම එතරම් අපහසු නැහැ. මේ කරත්ත එන්නේ, හපුතලේ පැත්තේ සිට. මේ හරිය නගරයට සහ බණ්ඩාරවෙල දුම්රියපොළට ආසන්න ප්‍රදේශය. මේ පින්තූරයේ දකුණු පැත්තේ ඇති බෑවුම, අදනම්, ගොඩනැගිලි වලින් පිරිලා තියෙන්නේ. 




   අපි කුඩා දරුවන් කාලේ, මේ ස්ථානයෙන් බස් රථයක යාම, තරමක් ත්‍රාසය ඇති කරවන දෙයක්. ඒ කාලයේ, අදමෙන්, ද්‍රාව පීඩක බලයෙන් යුත් සුක්කානමක්, කිසිම මෝටර් රථයකට තිබුනේ නැහැ. මේ ස්ථානයට ආසන්නවම, පහලින් තිබෙන වංගුව එකවර ගැනීමට බර වාහනවලට බැහැ. කීප වරක් ඉදිරියට පසුපසට ගෙන තමයි, වංගුව ගන්නේ. මේ අසළ, පහලින් තේ කම්හලක් තිබුණා. 1960 දශකයේදී, මහනුවර දෙස සිට පැමිණි ලොරියක්, පාලනය කරගත නොහැකිව, එම තේ කම්හල තුළට කඩා වැදී, මහත් විනාශක් වුණා. මේ ආසන්නයේ ඇති මහා ප්‍රපාතයට, වාහන වැටුණු අවස්ථා තිබෙනවා. 




   එකල ජනජීවිතය මැනැවින් පිළිබිඹු කරන ඡායාරූපයක් ලෙස, මෙය දක්වන්නට කැමතියි. බලන්න, උඩරට නිළමේ වරයකු පළඳින, සාම්ප්‍රදායික හිස් වැස්මක් පැළඳි අයකුද, මෙහි ඉන්නවා. ඇඳුම් වල සැකැස්ම ගැන බලන්න පිරිමි අය උඩුකය නිරාවරණව ඉන්නේ. 





   ඡායාරූපකරණ විෂයය අතින් ගෙන බැලුවොත්, ඒ කාලයේ තිබුන පහසුකම් යටතේ ලබාගත්, ඉතා හොඳ ඡායාරූපයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මෙය බොහෝවිට හපුතලේ, බණ්ඩාරවෙල, ප්‍රදේශයේදී ගත් ඡායාරූපයක් වන්නට පුළුවන්. 




   බ්‍රිතාන්‍ය ජාතිකයන් ලංකාවේ තේ වගාව ආරම්භ කළ පසු, එය සීඝ්‍රයෙන් පැතිරුනා. බලන්න, පින්තූරයේ ඉන්න සුදු ජාතික වතු අධිකාරී වරයා, ගමන් කරන්නේ, වත්තේ සේවය කරන, ද්‍රවිඩ ජාතිකයකු විසින් අදින, 'රික්ෂෝ' එකකින්. 




   මට පෙනීයන ආකාරයට, මේ ගම්පොල හෝ තලවාකැලේ ප්‍රදේශයයි. මෙය මහවැලි ගඟේ ඉහළ ප්‍රදේශය කියා මට හිතෙනවා. 




   ගොල්ෆ් ක්‍රීඩාව, 15 වැනි සියවස දක්වා ඇදීයන ඉතිහාසයක් හිමි ක්‍රීඩාවක්. මේ ක්‍රීඩාව කිරීමේදී, සහායකයකු අවශ්‍ය වනවා. ඔහුව හඳුන්වන්නේ කැඩී caddy (or caddie) යන නමින්. ක්‍රීඩාවේ ඒ ඒ අවස්ථාවේදී ක්‍රීඩකයා පාවිච්චි කරන විවිධ පිති සහ අනෙකුත් උපකරණ ඇතුළත් බෑගය ඔසවාගෙන, මුළු ගොල්ෆ් කලාපය course පුරා ඔහු ඇවිදිනවා. එපමණක් නොවෙයි, ඔහුට ඒ ගොල්ෆ් කලාපය ගැන මනා විශේෂඥ දැනුමක් තියනවා. ඔහු ක්‍රීඩකයාට උපදෙස් දෙනවා, ඒ ඒ අවස්ථාවේදී ක්‍රීඩා කළයුතු ආකාරය ගැන. 




   කොළඹ තිබෙන රජ ගෙදරට අමතරව, තවත් රජ ගෙදර කීපයක් ලංකාවේ තියනවා. මේ තිබෙන්නේ, නුවරඑළියේ තිබෙන රජ ගෙදර. වර්තමානයේ ජනාධිපති මන්දිරය. මෙය බ්‍රිතාන්‍ය පාලන සමයේදී ඉදිකර තිබෙන්නේ, ලංකාවේ ආණ්ඩුකාරවරයාගේ නිළ නිවසක් ලෙසයි. අදටත් මේ මන්දිරය මේ ආකාරයෙන්ම පවතිනවා. 




   

  අද මේ නමින් හෝටලයක් නුවරඑළියේ තිබෙනවාදැයි මා දන්නේ නැහැ. මෙවැනි හෝටල්, ඒ කාලයේ, සුදු ජාතිකයන්ට පමණක් සීමාවූ ඒවා බව සඳහන් වෙනවා. 




මේ ඡායාරූපය ගත් තැන සිට අද ඡායාරූපයක් ගත්තොත්, නගරයක් මැද ඉන්නවා මෙන් පෙනෙනු ඇති. කෙසේ වෙතත්, නුවරඑළියේ මේ ගොල්ෆ් ක්‍රීඩා කලාපය, අදටත් හොඳින් ක්‍රියාත්මකව පවතිනවා. 




   ඒ කාලයේ සිටම, මාළිගාවේ ඇතාට, ලොකු තැනක් තිබුන බව මේ පින්තූරයෙන් පෙනෙනවා. අපි පාසල් යන කාලයේ, මට මතකයි සමහර පුද්ගලයන් හැඳින්වුණා, 'මාලිගාවේ ඇතා වගේ' කියලා. එයින් අදහස් කළේ, සියලු සැප සම්පත් නොමිලේ ලබාගනිමින්, කිසිදු කාර්යයයක නොයෙදී, සැපට ඉන්න කෙනා යන අදහසින්. 





   මේ ඡායාරූපයෙන් දීර්ඝ විස්තරයක් පෙන්නුම් කරනවා. බ්‍රිතාන්‍ය පාලකයන්, මාලිගාව සංරක්ෂණය කරන්නට, කිසිදු පියවරක් ගෙන නැති හැටිත්, මාලිගාව කොතරම් අභාවයට ගොස් ඇතිද යන්නත්, පෙනෙනවා. 

   මගේ මිත්‍රයා සතුව තවත් මෙවැනි පින්තූර අති විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒවා ලැබෙන ආකාරයට පසුව පලකරන්නම්. 

2015 ජූලි මස 08 වැනි දින 0022 පැය


92 comments :

  1. ගොල්ෆ් ගැන කියා ඇති දේ නිවැරදි නෑ.

    කැඩී යනු එක්තරා ආකාරයක මෙහෙකරුවෙකුයි.

    ගොල්ෆ් තරගයකට නම් එක් සහය ක්‍රීඩකයෙකු හෝ අවශ්‍යයි.

    ReplyDelete
    Replies
    1. ඔබ එක වරක් හෝ ගොල්ෆ් ක්‍රීඩා කරනු සමීපව නිරීක්ෂණය කර ඇත්නම් මෙහෙම කියන්නේ නැහැ. ඇත්තෙන්ම එක්තරා විදිහකින් බැලුවොත් කැඩී මෙහෙකරුවකු කියා කියන්න පුළුවන්. මම නුවරඑළියේදී එලෙස මෙම ක්‍රීඩාව සමීපව නිරීක්ෂණය කොට තිබෙනවා. ඔබ දන්නවාද අදකීම් බහුල පරනු කැඩී කෙනෙකුට ක්‍රීඩකයා අමතන්නේ මිස්ටර් කියලා. ගොල්ෆ් ක්‍රීඩාවේදී සහයකු අවශ්‍ය වනවා යන්නේ අර්ථය සහාය ක්‍රීඩකයකු යන්න නොවේ. ගොල්ෆ් ගැන මූලික දැනුමක් ඇති, රූපවාහිනී ප්‍රවෘත්ති ප්‍රචාරයකදීවත්, ගොල්ෆ් ක්‍රීඩා කරනු දැක ඇති කෙනෙකු, ක්‍රීඩකයා සහ සහායකයා ගැන දන්නවා.

      Delete
    2. නිවැරදි කිරීම:- අද්දැකීම් බහුල, පරණ,

      Delete
    3. 'ගොල්ෆ් තරගයකට නම් එක් සහය ක්‍රීඩකයෙකු හෝ අවශ්‍යයි.'

      රසික වැරදියි. ගොල්ෆ් ක්‍රීඩාවේ තරගයකට සහයක ක්‍රීඩකයෙක් අත්‍යාවශ්‍ය නෑ. සහයකයෙක් අවශ්‍ය වෙනවා. එනමුත් මෙම සහයකයා ගොල්ෆ් ක්‍රීඩකයෙක් වීම, නොවීම අදාල නැත.

      විචාරක මහතාගේ පැහැදිලි කිරීම නිවැරදිය.

      Delete
    4. When he asked Wicharaka, he gave emphasis to the word "Golf" means he is suggesting to Rasika that he picks a different Idea. The sports might have came from the color of the money. And the number might have been written on that money. Is it Possible.

      Mr. Wicharaka,

      Go back to your job in Military and work hard. It may able to protect our counrty. How much you sends here? Carpenters send than your expert arses. So make your job application and go back to expert slavary job. That ll do help.

      Delete
    5. උදේ දුම්රියේ එන අතර ෆෝන් එකෙන් කමෙන්ටුව දෙයදෑ නිසා වැඩිය ලියන්නට ඉඩ ලැබුණේ නෑ.

      මා කීවේ "නිවැරදි නැහැ" කියා මිස වැරදියි කියා නොවේ!

      නිවැරදි නැති දෙය මෙයයි.

      /* මේ ක්‍රීඩාව කිරීමේදී, සහායකයකු අවශ්‍ය වනවා. ඔහුව හඳුන්වන්නේ කැඩී caddy (or caddie) යන නමින්. ක්‍රීඩාවේ ඒ ඒ අවස්ථාවේදී ක්‍රීඩකයා පාවිච්චි කරන විවිධ පිති සහ අනෙකුත් උපකරණ ඇතුළත් බෑගය ඔසවාගෙන, මුළු ගොල්ෆ් කලාපය course පුරා ඔහු ඇවිදිනවා. */

      මුලින් ම කිව යුත්තේ, මා තවමත් ගොල්ෆ් ක්‍රීඩා කර නැති බවයි. වසරක ගාස්තුව ඩොලර් 1300 කි.

      නමුත් අපේ ගමේ ගොල්ෆ් පිටිය ලඟ පාරේ උදේ හවස ගමන් කරන නිසාත්, පැන්ෂන් ගිය පසු ගොල්ෆ් ගැසීම වැනි කාලය කා දමන ක්‍රිඩාවකට අවශ්‍ය නිදහස හොයා ගන්නට හැකිවේ යැයි සිතන නිසාත් (සාමාජික ගාස්තුව ද ඩොලර් 900 ට අඩුවේ!), ඉඳහිට හෝ ටෙලිවිෂන් එකේ පෙන්වන ගොල්ෆ් තරග විස්තර නරඹන නිසාත් මේ පහත කාරණා කිහිපය වටහා ගෙන ඇත්තෙමි.

      1. ගොල්ෆ් ගැසීමට කැඩීලා අවශ්‍යයැයි කීම නිවරැදි නැත. එසේ නම් ළමයෙකු හදා වඩා ගැනීමට නැනී කෙනෙකු ඕනැ වේ. කාර් එකක ගමනක් යෑමට රියදුරෙකු ඕනෑ වේ.

      2. අපේ ගමේ ගොල්ෆ් පිටියේ ක්‍රීඩකයෝ තමන් ම ගොල්ෆ් පිති පිරි බෑග් බිම දිගේ තල්ලු කරගෙන හෝ බැටරියෙන් ක්‍රියා කරන කුඩා රථවල නැගී හෝ එක් ක්‍රීඩා ස්ථානයක සිට ඊළඟ තැනට යති. ගොල්ෆ් බෑග්වලට රෝද හයිකර ඇති නිසා ඉස්සර කැඩීලා කළාක් මෙන් ඔසවා ගෙන යා යුතු නැත.

      3. ඒ සමගම මා කියූවේ "ගොල්ෆ් තරගයකට නම් එක් සහය ක්‍රීඩකයෙකු හෝ අවශ්‍යයි" කියා මිස තනියෙන් ගොල්ෆ් ගහන්නට බැරිය කියා නොවේ. තනිවම ගොල්ෆ් ක්‍රිඩා කළ තමන් ගේ හැන්ඩි-කැප් එක දියුණු කර ගත්තද, "තරගයක්" කියන්නට නම් දෙදෙනෙකු අවශ්‍ය වේ. පීජීඒ තරඟාවලිවල දී පවා වෘත්තීය ක්‍රීඩකයින් විශාල පිරිසක් සහභාගී වුණද, දෙදෙනා වශයෙන් ක්‍රීඩා කරන බවද නිරීක්‍ෂණය කර ඇත්තෙමි.

      ස්තුතියි!

      Delete
    6. @ AnonymousJuly 8, 2015 at 11:37 AM

      Don't ever come to this site without knowing proper English. I don't want to answer your stupid and useless bullshit. you had better eat your own bullshit.

      @ රසිකොලොජිස්ට් - RasikologistJuly 8, 2015 at 12:16 PM

      මම කිව්වනේ නුවඑළියේයේදී මම ටිකක් මේ ක්‍රීඩාව ගැන අධ්‍යයනයක් කළා කියලා. මෙන්න මම ඉගෙනගත්ත දේවල්. කැඩී කෙනෙක් නැතුව සමහර ගොල්ෆ් ක්ලබ් වල සෙල්ලම් කරන්න දෙන්නේ නැහැ. හේතුව ගොල්ෆ් පිටියේ ඇවිදගෙන යන මාවත් තිබෙනවා තණ පිට්ටනියට හානියක් නොවන ආකාරයට. ඒ මාවත් දන්නේ කැඩී. ඒ වගේම පිටියේ ඒ ඒ තැන්වල සුළඟේ වේගය, ඒ හේතුවෙන් පන්දුව නියමිත මාර්ගයේ නොගොස් ඉවතට ඇදීයාමේ අවදානම, ඒ ඒ ස්ථානයට වඩාත් උචිත ගොල්ෆ් පිත්ත, 'ගොල්ෆ් ටී එක' සවිකලයුතු ස්ථානය, ආදිය දන්නේ කැඩී. ඒවා ක්‍රීඩකයා අනිවාර්යයෙන් මතක තියාගතයුතු නැහැ. ඔහුගේ මනස නිදහස්ව තිබිය යුතුයි ප්‍රතිවාදියා/ප්‍රතිවාදීන් ගැන හිතන්න.

      මා අදහස් දැක්වූවේ ලංකාවේ ගොල්ෆ් ක්‍රීඩා කරන ආකාරය ගැන සිතා බලමින්. ඔබ දැක තිබෙනවාද ටයිගර් වුඩ්ස් ක්‍රීඩා කරනවා. ඔහුට කැඩී කෙනෙක් ඉන්නවා.

      සහායකයා යනුවෙන් මා අදහස් කලේ කැඩී ගැනයි.

      Delete
    7. මට කවදාවත් තේරුම් ගන්න බැරිවුන ගේම් දෙකක් තියනවා.. එකක් ගොල්ෆ්, අනික රගර්.

      Delete
    8. ඔව් සෙන්නා දෙකම ටිකක් අමාරු ක්‍රීඩා.

      Delete
    9. https://www.youtube.com/watch?v=F9tMRMpFYYc

      Delete
  2. ඔය හැම පරණ පින්තුර එකතුවකම වැඩිපුර තියෙන්නේ ,කඳුරට තේ කර්මාන්තය ආශ්‍රිත පින්තුර නේද?

    ReplyDelete
    Replies
    1. තේ කර්මාන්තයට අදාළ පින්තූරත් සෑහෙන්න තියනවා ඉවාන්. නමුත්, මාර්ග සංවර්ධනය, ජන ජීවිතය වැනි විෂයයන් ඔස්සේ ගත පින්තූරත් සෑහෙන්න තියනවා.

      Delete
  3. විචාරක මහතා,

    ඔබට බෙහෙවින්ම ස්තුතියි මෙම ඓතිහාසික චායාරූප අප හා බෙදා හදා ගත්තාටත් ඊට අදාල කෙටි විස්තරයක් ඉතාමත් රසවත් ලෙස සටහන් කලාටත්.

    // බලන්න, පින්තූරයේ ඉන්න සුදු ජාතික වතු අධිකාරී වරයා, ගමන් කරන්නේ, වත්තේ සේවය කරන, ද්‍රවිඩ ජාතිකයකු විසින් අදින, 'රික්ෂෝ' එකකින්.// යන්නෙහි;

    කිසියම් අඩුපාඩුවක් ගැන සඳහන් කරනවා නොව, මට හැගෙන අයුරින් එහි "ද්‍රවිඩ ජාතිකයකු විසින්" වෙනුවට "ස්වදේශිකයෙකු විසින්" යනුවෙන් වෙනස් වූවේනම් වඩා මැනවි යැයි සිතුන නිසා; ඒ වගත් මෙසේ පවසා සිටියෙමි.

    ReplyDelete
    Replies
    1. ඔබතුමාට බොහොම ස්තුතියි. ඇගයීම ගැන.

      මම අතන ද්‍රවිඩ ජාතිකයකු වශයෙන් සඳහන් කළේ කිසිදු හේතුවක් නිසාවත් ද්‍රවිඩ ජාතියට අපහාස කිරීමට නෙවෙයි. මගේ අයියගේ පුතා විවාහවී ඉන්නෙත්, ද්‍රවිඩ ජාතික කාන්තාවක් සමග. එය, මම එක පයින්ම කැමතිවූ විවාහයක්. පහුගිය යුද්ධ කාලේ, දහසක් විරෝධතා මැද, සාක්ෂියට අත්සන් කලෙත් මම.

      තේ කර්මාන්තයට අදාළව ඒ කාලයේ සිටම සේවය කරන්නේ ද්‍රවිඩ ජාතිකයන් නොවැ. එකයි එහෙම ලිව්වේ. ඔබේ අදහස වඩාත් සාධාරණ කරන්නට නම්, අර වැකියේ, සුදු ජාතික වතු අධිකාරි වරයා යන්න, විදේශික වතු අධිකාරි වරයා, යනුවෙන් වෙනස් වියයුතුයි නේද?

      Delete
    2. විචාරක තුමාගේ විග්‍රහය හා මතය වඩා නිවැරදියි කියා මට හිතෙනවා. සුදු ජාතික වතුවල කුලී වැඩ කරන්න ස්වශෙිකයන් කැමති වුනේ නැහැ. දකුණු ඉන්දියාවෙන් කම්කරුවන් ගෙන්වන්න උනේ ඒ නිසයි. කෝපිවතු ආරම්භක අවදියේ සිටම කම්කරුවන් ගෙන්වන්න්ට වුනා.

      Delete
    3. //සුදු ජාතික වතුවල කුලී වැඩ කරන්න ස්වශෙිකයන් කැමති වුනේ නැහැ. දකුණු ඉන්දියාවෙන් කම්කරුවන් ගෙන්වන්න උනේ ඒ නිසයි.//
      මගේ අදහස වෙනස්, අපි වුනත් ප්‍රොජෙක්ට් එකක් ආරම්බයේදී ගමේ අය ගන්නවට වඩා ටිකක් ඈත අය ගන්න කැමතියි. ඈතින් එන අය වැඩපලේ නැවතිලා ඉන්නවා, ගෙදර දුවන්න හදිසි නෑ, පුංචි හොරකම් නෑ, රෑක වුනත් ඇවයිලබ්ල්. ගමෙන් වලියක් ආවොත් අපේ ආරක්ෂක සෙබළු පිටින් ආව අය තමයි. ගමේ අය වැඩට එන්න දැගලුවත් ගන්නේ ටෙම්පරි වැඩවලටයි. ඉතින් ඔය ස්වදේශිකයෝ කුලීවැඩ වලට අකමැති වුනා කියන එකත් තවත් එක බොරුපුරාජේරු කතාවක් විතරක් වෙන්න බැරි නෑ, අපි කවුරුත් ඒහෙම කියන්න ඉන්තේරුවෙන් ම කැමතියිනේ.

      Delete
    4. විචාරක මහතා සහ ගුණසිංහ මහතා සමග එකඟ වෙමි. ඉහත මුල් කමෙන්ට්කරුගේ ප්‍රකාශය හරියට "යුදබිම මැරුණේ සිංහලයෙකුනම්" වෙනුවට "රණවිරුවකු" යෙදිය යුතුයි කීවාක් මෙන් ඉතාම හාස්‍යජනක නොගැලපෙන යෙදුමක් බව මගේ විශ්වාසයයි.

      @ ඇණය Nut Man,

      ඔබගේ ඉතාම ලාමක බොළඳ කමෙන්ටුව තුලින් ලාංකේය ඉතිහාසය පිළිබඳ ඔබගේ නොදැනුවත්කම, අපරිණතභාවය මෙන්ම අමනෝඥ භාවයද මැනැවින් විදහා දැක්වෙනවා. ඔබගෙන් ඉතාම කාරුණිකව ඉල්ලාසිටින්නේ කරුණාකර මෙබඳු ප්‍රකාශ කිරීමට පෙර ලංකා ඉතිහාසය පිළිබඳව ලියැවුණු වැදගත් පොත්පත් ලිපි සහ සටහන් කියවා යම් අවබෝධයක් ලබාගන්නා ලෙසයි. අවම වශයෙන් රොබට් නොක්ස්ගේ සටහන් තබා ආර්.එල්. ස්පිටල් මහතාගේ "සුදු වැද්දා" ආදී නවකතාවක්වත් අවබෝධයෙන් යුතුව කියවා අතීතය ගැන හැඟීමක් ඇතිකරගත යුතුයි. මීට වසර 150-180 කට පෙර තත්ත්වය අදකාලේ සයිට් එකකට කම්කරුවන් ගැනීම හා සැසඳීම තරම් විහිළුවක් තවත් නැහැ. එහෙනම් ඉන්දියාවට, දකුණු අප්‍රිකාවට, කැරිබියානු දූපත් වලට ලංකාවෙන් කම්කරුවො ගෙනියාවි.

      විචාරක මහතා සමාවෙන්න මේ වගේ තකතිරු අදහස් දැක්කම මට ටිකක් කේන්ති ගියා. ඔබටත් මීට යමක් එකතුකළ හැකිනම් අගෙයි.

      Delete
    5. @ ඇණයා Nut ManJuly 8, 2015 at 1:46 PM

      ඇනේ, මම කියවලා තියන ඉතිහාස පොත්වල තියෙන්නේ මෙන්න මෙහෙමයි. උඩරට සිංහල වංශවත් ජනතාව කැමති වුනේ නැහැ කෝපි/තේ වතුවල කම්කරු රැකියාවේ යෙදෙන්න. ඔවුන් හිතුවේ එය ඔවුන්ගේ අභිමානයට මහත් කැළලක් කියා. ඒ නිසා ඔවුන් ඒ රැකියා ප්‍රතික්ෂේප කළා. බ්‍රිතාන්‍ය ජාතිකයන් ඉන්දියාවේ දුප්පත් අහිංසක ජනතාවගේ ශ්‍රමය ඉතා ලාබෙට සූරාගත්තා. cheap labor ඒ කාලයේ දකුණු ඉන්දීය ජන ජීවිතය එකම අපායක්. ඔබ අහලා තියනවද කල්ලතෝනි කියන වචනය. ඒ කියන්නේ හොරවැසියා කියන එකයි. 1950 දශකයේ අග භාගයේ සිට 1970 දශකයේ මුල භාගය දක්වා දකුණු ඉන්දීය ජනතාව හොරෙන් ලංකාවට පැන ආවා. එයට හේතුව ඒ කාලයේ දකුණු ඉන්දියාවට වඩා ලංකාවේ ජීවන වියදම ඉතා පහල මට්ටමක පැවතීමයි. ආපහු කතාවට එන්නම්. බ්‍රිතාන්‍ය ජාතිකයෝ හිතුවා, මේ විදිහට කම්කරු රැකියා ප්‍රතික්ෂේප කරන සිංහල මිනිස්සු, මේ රැකියා වලට ආවොත්, 1818, 1848, වගේ ආපහු සුද්දන්ට එරෙහිව කැරලි ගහයි කියලා. ඒ නිසා ඔවුන් දකුණු ඉන්දියාවෙන් කම්කරුවන් ගෙනාව. අන්තිමට ඔවුන්ට පුරවැසිකම දෙන්නට පවා සිදුවුනා. දැන් ඉන්න තොන්ඩමන්ගේ තාත්තා, අම්මා, සීයා, එහෙම ආපු අය. කොටගල නගරයට ඇතුළුවන සහ පිටවන ස්ථානවල විශාල සිහිවටන තොරණ දෙකක් හදා තිබෙනවා ජ්‍යොෂ්ඨ තොන්ඩමන් සහ ඔහුගේ මව කෝදෙයි තොන්ඩමාන් සිහිවීම සඳහා.

      මේ දෙමල මිනිස්සු වැඩ කරන ආකාරයට අපේ අයට වැඩ කරන්න බැහැ. ඉතා රළු, දේශගුණය, (සීතල/උෂ්ණය) යටතේ කිසිදු රෝගී තත්වයකට ලක්නොවී වැඩකිරීමේ ජාන උපතින්ම ඔවුන්ට පිහිටා තිබෙනවා. තේ වත්තේ පඳුරක් යට දැන් දරුවකු වදා, තව ටිකකින් දළු කඩන්න ඔවුන්ට පුළුවන්. මහා වැස්සේ ඔහේ ගහක් යට ඉඳගෙන විටක් කමින් වැස්සට තෙමී බත් වුනත්, ඔවුන්ට හෙම්බිරිස්සාවක්වත් හැදෙන්නේ නැහැ.

      @ AnonymousJuly 8, 2015 at 4:40 PM

      ඔබ ඉතා ආවේගශීලීව අදහස් දක්වා තිබෙනවා. අපි සංවාදාත්මකව අදහස් දක්වමු.

      Delete
    6. @ AnonymousJuly 8, 2015 at 4:40 PM
      තරහ වෙන්න එපා, මම 'ඇණය' කියල ෆේක් ෆොපයිල් එකක් හදාගත්තේ අපි හැමෝම සත්‍ය කියා ප්‍රශ්න නොකර පිළිගන්නා දේවල් විවේචනයකට ලක් කරන්න උත්සාහ ගන්නයි, ඔය අපි විස්වාස කරන ගොඩාක් දේවල් ප්‍රායෝගික සත්‍යයෙන් ගොඩක් බැහැර, පසු කාල වල සමාජයේ ජීවත්වූ අතිපණ්ඩිතයන් විසින් සමාජගත කරන ලද මතිමතාන්තර. එසේ නොවන සත්‍ය දේවලුත් අපමණ ඇති, ඒත් අසත්‍යක් වෙන්නත් පුළුවන් දෙයක් අන්ද විදිහට විස්වාස කරනවාට වඩා විවාද කරල ත්‍ය වටහා ගන්න උත්සහ කිරීම නරක නෑනේ නේද?
      මා දන්නා ආකාරයට රළු දේශගුණයට සුදුසු විශේෂ ජාන දෙමළ ජනයාට නෑ, කොටින්ම අප දෙකොටස එකිනෙකාගෙන් වෙනස් බව හදුනාගත හැකි ජාන කිසිවක් නෑ. විචාරක කියන දෙමළ කම්කරුවන්ගේ ඔරොත්තුදීමේ හැකියාව අප අතර පවතින මතයක්ම විතරයි. පින්නට එළියට බහින්න බැරි කෙල්ලෝ දැන් වතුකරයේ ඉන්නවා වාගේම, අම්පාරේ හෙන්වල කිසිම ලෙඩක් දුකක් නැතිව අව්වට වැස්සට තෙමි තෙමී රෑට මදුරුවෝ වටකරගෙන ලේ බොද්දිත් ගස් ගල් වගේ ඔරොත්තු දෙන රත්නපුරේ උපන් සිංහලයෝ ආශුය කරලා තියනවා. හැබැයි එකක් නම් අවිවාදයෙන් පිළිගන්නවා, ඒ කොස් ගිල ගිල හිටපු අපේ උඩරට සිංහලයෝ කදු කැලෑ පෙරලල වතු හදන්න හොද කාර්යක්ෂම කම්කරුවන් නොවූ බව.

      තවත් තර්ක කීපයක් තියනවා;
      1) ඒ කාලයේ කදු යායවල් පිටින් සංවර්ධනය (?) කරන්න ප්‍රමාණවත් තරම් ස්වදේශීය ශ්‍රමිකයේ හිටියද? මට යම් මතකයක් තියනවා ලංකාවේ පළවෙනි තේවත්ත වගාකරපු සුද්දගාව (ලූල්කඳුර /ටේලර්?) ඉදල තිබුනේ අවට ගම්වල සිංහල සේවකයෝ කියල.
      2). අපේ ආදි මුතුන් මිත්තා (විජය) ඉන්දියාවේ නියංසායකට අහුවෙලා පැනල ආපු කල්ලතෝනියෙක් වෙන්න බැරිද? කුණු හරුප ඔට්ටු නෑ, ඒත් පිරිසක් යන්නෙ කොහෙද දන්නේ නැතුව නොදියුණු බෝට්ටු වලින් යන්න, බෝට්ටු වලින් ඔසි ගියපු අයවත් එහෙම අවදානමක් ගත්තේ නෑනේ.

      Delete
  4. මමත් කාලයක පටන් එකතු කල මේ වගේ ෆොටෝ එකතුවක් තියනව. වැඩිපුරම තියෙන්නෙ තේ වතු සහ දුම් රිය සම්බන්ද ෆොටෝ..

    ReplyDelete
    Replies
    1. මේ පින්තූර මගින් අපේ ඉතිහාසය අධ්‍යයනය කරන්නට විශාල රුකුලක් ලැබෙනවා. මා හිතනවා එවකට දුම්රිය සේවයේ සිටි විදේශිකයන් මෙවැනි ඡායාරූප ගන්නට ඇතැයි කියා.

      Delete
  5. Keena නමින් හෝටලයක් අදත් ග්‍රේගරි වැව ඉදිරිපිට තිබෙනවා..එහි අයිතිකරැ අනුර නැමැති සුහදශිලි මිත්‍රශිලි කෙනෙක්..
    ටයිම් මැෂින් එකක් තිබුනානම් ඒ කාලයට ගිහින් එනවා..
    එල ද බ්‍රා..විස්තරයක්.

    ReplyDelete
    Replies
    1. යමුද මෙන්ඩෝ දවසක කීනා එකේ සොමියක් සඳහා?

      මමත් හිතනවා වෙලාවකට අනේ ඒ කාලයට යන්න පුලුවන්නම් කියලා. ඇයි යකෝ ඒ කාලේ එංගලන්තෙන් ගෙනාපු විස්කි එකක්වත් රහ බලන්න පුළුවන්නේ. :e

      ස්තුතියි ඇගයීම ගැන.

      Delete
    2. හපුතලේ කදු පාර ලග පේලෙන්ටියක් ගහලා දුමක් දාලා...ග්‍රෙගරි වැව ලග අඩ්ඩක් ගහලා..දළදා වැදලා ගොල්ෆ් පාරක් ගහලා එමු...(අතිතයේ)..
      ඇදගෙන යන්නෙ මොනවද?

      Delete
    3. දළදා වැඳලා ගොල්ෆ් ගහන්න? මට පේන්නේ උඹ කමෙන්ට් එක ගහලා තියෙන්නෙත් අදඩ්ඩක් ගහලා ඉන්න ගමන් වගේ. :e

      Delete
  6. දුර්ලභ ඡායාරූප පෙලක්. ඒ කාලෙ තිබුනු තාක්ෂණයත් එක්ක ඔහොම ඡායාරූප ගන්නවා කියන එක හරි අමාරු දෙයක්. අද කාලෙ නම් ගහනවා මකනවා හොඳ එක ගන්නවා. ඒ ඒ දවස් වල ගැහුවොත් ගැහුවා ආයෙ මැකිලි හැදිලි බෑ. මං ලඟත් ඕව එකතුවක් තියෙනවා. ඡායාරූප දුන්නු විචාරක මහත්තයාගෙ මිත්‍රයා කුරුණෑගල කෙනෙක් නම් සමහර විට මං හිතන කෙනා වෙන්නත් පුළුවන්. අර කාලතුවක්කු තියෙන එක ලංකාවෙ එකක් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. ඔයාට හොඳට තේරෙනවා ඇති මේ පින්තූරවල අගය. බලන්න කැමරා කෝණ. මොන ලයිටින්ග් ද, ඉර එලිය විතරයි. ෆ්ලෑෂර්, රිෆ්ලෙක්ටින්ග්ටින්ග් බෝඩ්, මොන මගුලක්වත් නැතුව, ෂටර් එක ගැන පමණක් විශ්වාසය තියලා මේ පින්තූර ගත්ත මිනිස්සුන්ට වඳින්න වටිනවා.

      මිත්‍රය කුරුනෑගල කෙනෙක් නෙවෙයි. හමුදාවේ එක්කෙනෙක්.

      Delete
  7. අපූරු ෆොටෝ ටිකක් වගේම විමර්ශන ශීලි ලිපියක්..
    ස්තූතියි බෙදාගත්තට ඉතුරු ටිකත් පළ කරන්න ලද හැටියෙම

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මහේෂ්. මගේ යාලුවා පින්තූර එව්ව ගමන් පළකරන්නම්

      Delete
  8. එදා පින්තූරයි අද පින්තූරයි බලපුවම අපි දියුණු වෙලාද ආපස්සට ගිහිල්ලද කියලා හිතෙනවා. මම එහෙම කිව්වෙ ස්වාභාවික සම්පත් විනාශය, ජන ජීවිතය සංකීර්ණ වීම වගේ දේවල් නිසා.

    හැබැයි ඒ කාලෙත් ඔය කඩමණ්ඩි මහා විශාල නගර විදිහට මිනිසුන්ට පේන්න ඇති. ඒ කාලෙ මිනිස්සුත් හිතන්න ඇති ඉස්සරට වඩා අද සංකීර්ණයි කියලා.

    පින්තූර වලට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ ජනජීවිතය ගැන පොඩි කාරණයක් කියන්නද. මම පුංචි කාලේ අපේ අම්මා මට රුපියල් දෙකක් දීලා කියනවා පොලට ගිහින් මෙන්න මේ එළවලු වලින් මෙන්න මේ ප්‍රමාණයන් අරන් එන්න කියලා. අම්මා කියන ඔක්කොම එළවලු අරන් සත 5 ක් විතර ඉතුරු වෙනවා. මම ඒ සත පහෙන් අයිස්ක්‍රීම් එකක් කනවා.

      මමත් මේ පින්තූර දැක්කම සෑහෙන වෙලාවක් ඒවා දිහා බලාගෙන හිතෙන අතීතයට යනවා.

      මම පුංචි කාලේ හදුනා වැදුන කෑගල්ල නගරය ඒ කාලේ අපිට මහා විශාල නගරයක්. ඒත් අද?

      Delete
    2. අපේ සීයා ගෙදරින් උදේට පිටවෙද්දි ආච්චිට රුපියල් දෙකක් දීලා යනවලු දවසේ වියදමට. ඒකෙන් වේල් තුන හොඳට උයලා පොඩි එවුන්ට කඩචෝරුහ් අරන් දීලා ගානක් සීට්ටුත් දානවලු.

      Delete
  9. මේ පින්තූර සමහරක් මූනුපොත හරහා මම කලින් දැකල තිබුණ උනත් ඔබගේ විස්තරයත් එක්ක නැවත වරක් දැකීමට ලැබීම සතුටක්.

    මාලිගාවෙ ඇතාගෙ දළ දෙක උඩ ඉන්න බුවාත් ඇතා වගේම සැප විඳිනව වගෙයි. :D

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි ප්‍රසන්න. බොහෝ දෙනෙක් නිකම්ම මේ පින්තූර අප්ලෝඩ් කරනවා. නමුත් වටිනාකමක් එන්නේ, ඒ පින්තූර ගැන ඓතිහාසික තොරතුරු ටිකකුත් දැම්මොත් තමයි.

      අම්මපා අර බුවා අලියට වඩා සැප ගන්නවා.

      Delete
  10. බොහොම වටිනා පින්තුර ටිකක් එක්ක විස්තරයක්....

    මාත් ගියානේ යකඩ යකා එක්ක අතීත සවාරියක්... මේ ලින්ක් එකෙන් ගිහින් බලන්නකෝ..

    http://littleflowerbuds.blogspot.com/2014/05/blog-post.html

    ReplyDelete
    Replies
    1. ඔයා කියන ලිපියේ මම කමෙන්ට් එකක් දාලා ඇති තුෂානි. පොඩ්ඩක් බලන්න මේ ලිපියේ බණ්ඩාරවෙල ගැන කියලා තියන පින්තූරය එතනත් තියනවා. නමුත් ඔයා කියලා තියෙන්නේ ඔහිය කියලා. ඔහිය තියෙන්නේ ඔයාගේ ලිපියේ දෙවැනි පින්තූරයේ.

      Delete
  11. කදිම ජායාරුප එකතුවක්. මහත්මයා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේද සේවය කරන්නේ? මමත් බොහොම කැමතියි එංජින් රියදුරෙක් ලෙස ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට බැදිලා සේවය කරන්න. මගේ බලාපොරොත්තුවත් ඒක තමයි.

    සුනෙත්

    ReplyDelete
    Replies
    1. බොහොම අතුතියි සුනෙත් මහත්මයා. සුනෙත් මහත්මයාට කියන්න මෙවැනි ඡායාරූප සොයාගැනීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කිරීමට අවශ්‍ය නැහැ.

      ඔබ තුමා දුම්රිය එන්ජින් රියදුරකු වන්නට යනවා නම් අපොස උසස් පෙළ ගණිතය සහ භෞතික විද්‍යාව යන විෂයයන්ගෙන් A සාමාර්ථය සහ මනා ඉංග්‍රීසි දැනුමක්ද, ඉතා ඉහල මට්ටමේ ඇස් පෙනීමකින්ද (6/6) යුක්ත විය යුතුයි. ඔබතුමාර හොඳ එන්ජින් රියදුරකු වන්නට හැකිවේවායි ප්‍රාර්ථනය කරනවා.

      හැබැයි මහත්තයෝ, 'පරණ කෝච්චි' ගොඩක් එලෙව්වට පස්සේ තමා, 'අලුත් කෝච්චි' එලවන්න හම්බවෙන්නේ.

      Delete
    2. අපොස උසස් පෙළ ගණිතය සහ භෞතික විද්‍යාව යන විෂයයන්ගෙන් A සාමාර්ථය ගත්තු මිනිස්සු කෝච්චි එලවන්න යයිද? මම නම් හිතන්නෙ නෑ.

      Delete
    3. හරී නිකමට හොයලා බලන්න දුම්රිය රියදුරන් බඳවා ගැනීමේ පිළිවෙත මොකක්ද කියලා. ගණිතය භෞතික විද්‍යාව සමත් වෙලා ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්. මම කිව්වට හොයලා බලන්න. කොළඹ - යාපනය, කොළඹ - බදුල්ල, කොළඹ - මාතර, මගී දුම්රියක රියදුරාගේ වැටුප කීයද කියලා.

      Delete
  12. විචා, අපේ අයගෙ නිදහස් සටන් මර්ධනය කරන්න කාල තුවක්කු ගෙනාවෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. අනිව, ඒවා කොපි කරල අපේ අය ලෝකල් කාලතුවක්කුත් හදලා තියනවා. උඩුදුම්බර, හඟුරන්කෙත, පැතිවල කුඹුරුවල පැල් හදන්න කණුවලටත් රජකාලේ පරණ සිංහල කාලතුවක්කු ගන්නවා. (විහිළු). ඇත්ත, ඒ පැති වල ඕවා පස් යටකරලා තියෙන්නේ, තිස්ස ටවුමේ පුරාවස්තුව වලට කරනවා වගේ, සිංහල කොට කාලතුවක්කු ප්‍රවාහනය කලේ අලියගේ බඩයටින් එල්ලලාලු, ගිණි බිදින්න වුනාම අලිය පස්ස හරෝලා ...

      Delete
    2. මෙහෙමයි රාජ්, ලංකාවට මුලින්ම කාලතුවක්කු ගෙනැත් තියෙන්නේ පෘතුගීසි කාලෙ කියල තමයි කියන්නෙ. කොහොමත් පෘතුගීසි ලන්දේසි වගේම ඉංග්‍රීසිනුත් කාලතුවක්කු යොදාගත්තා. 1803 උඩරට ආක්‍රමණයෙදිත් කාලතුවක්කු යොදාගත් බව කියැවෙනවා. ඉතින් 1815, 1818 වගේම 1848 දීත් සුළුවශයෙන් කාලතුවක්කු භාවිත වෙන්න ඇති. නමුත් සිංහල කැරලිකරුවන් පහර දී තිබෙන්නෙ කඳු බෑවුම්, බඩවැටි, ඕවිටි අතර ඉඳන් ගරිල්ලා ක්‍රමයට නිසා කාලතුවක්කු වලට වඩා බයිනෙත්තු සවිකල අත්තුවක්කු වඩා සාර්ථක වෙන්න ඇති. හැබැයි 1885 දි විතර ලංකාවේ කාලතුවක්කු ප්‍රවාහනය කරන්න තරම් අවශ්‍යතාවක් නොතිබුණා මෙන්ම විචාරක පෙන්වාදුන් වෙනත් ලක්ෂණ එක්ක බැලුවොත් විචාරක නිවැරදිබව සහතිකයි.

      මචං ඇණේ, හික්ස් ! මොකාද බන් ඔය කෙබර දෙසාබාපු එකා? මටනම් පේන්නෙ මොකෙක් හරි බීපු මිනිහෙක් වෙරිපිට කියවපු පල් හෑල්ලක් වගේ. අර අලිරංචුව දිවුල් ගෙඩියෙන් අල්ලගත්ත කතාව වගේ. ලොල්.

      සිංහල කාලතුවක්කු පෘතුගීසි කාලෙ ඉඳලම හදල තියෙනවලු. ලංකාවෙ පරිසරයට ගැලපුනු සිංහල කොට කාලතුවක්කු යුදබිමේදි විදේශික ආටිලරි පරද්දපු බවත් කියනව. උඩරට විතරක් නෙමෙයි පහතරටත් හොඳ වැඩ්ඩො හිටිය කියන්නෙ. ඉස්සර එදිරිල්ලේ රාලගේ හේවායො පෘතුගීසීන්ට එරෙහි කැරලිවලදි යොදාගෙන තියෙන්නෙ බෙලිඅත්ත පුවක්දණ්ඩාව ගමේ හදපු අත්තුවක්කු සහ කාලතුවක්කු කියල ඉතිහාසඥයො කියනව නේද? විචාරක මහතාත් හමුදා කාලතුවක්කු ගැන වටිනා ලිපිපෙලක් ඉදිරිපත් කළා. අතීතයේ ලංකාවේ නිශ්පාදිත අවිගැන විස්තර දන්න කෙනෙක් සබැදියක් දෙන්න.

      Delete
    3. //ඒවා කොපි කරල අපේ අය ලෝකල් කාලතුවක්කුත් හදලා තියනවා//

      පිස්සු විකාර. ලංකාවෙදි සිංහලයො හදපු කාලතුවක්කු කොපි කරපුව නෙමෙයි. සිංහල කාලතුවක්කු වල ඩිසයින් එක වෙනස්. ඒව හදල තියෙන්නෙ සිංහල වෙඩිබෙහෙත් සහ සින්හල උණ්ඩ වලට මැච්වෙන්න. අනික දිගින් අඩු කෙටිදුර ප්‍රහාරක විදෙශික කාලතුවක්කු වලට වඩා බරින් අඩු වඩා සැහැල්ලු අවි විශේෂයක් කියලයි කියන්නෙ. සිංහල සේනාවේ යුද්ධෝපක්‍රම සහ යුද සැලසුම්, භූමියේ ස්වභාවය (උඩරටදී) සහ ප්‍රවාහනය කරන ක්‍රම සහ විධි ගැන හිතල විශේෂයෙන් සැලසුම් කරපු අවියක් තමයි සිංහල කාලතුවක්කු කියන්නෙ.

      Delete
    4. Ancient Sinhalese Artillery:- The Sinhalese made their own cannon, Cannons were normally made of brass (Knox, 1681), but according to de Couto, at the siege of Colombo King Rajasinghe I of Kotte used at the siege Colombo one hundred and fifty pieces of bronze artillery.

      See below article Written by Capt. MSC de Silva of Ceylon Artillery;

      https://sirimunasiha.wordpress.com/about/military-history-of-sri-lanka/the-sinhala-army-during-the-portuguese-dutch-and/

      Delete
    5. @ රාජ්

      නැහැ රාජ්, සුද්දගේ කාලතුවක්කුවලට බැරිවුණා අපේ දේශප්‍රේමී හමුදා සම්පූර්ණයෙන් මර්දනය කරන්න pin down සුද්දට බැරිවුනා. අද ලෝකයේ දියුණු හමුදා ඇම්බුෂ් ambush ගැන ඉගෙනගන්නවා. නමුත් අප සිංහලයෝ ඒ කලේ සුද්දව ඇම්බුෂ් කළා නියමෙට.

      @ ඇණයා Nut ManJuly 8, 2015 at 3:16 PM

      ඇනේ, බොරුනම් කියන්න එපා. අපේ මිනිස්සු සුද්දගේ කාලතුවක්කුව අධ්‍යයනය කරලා අපේම එකක් හැදුවා. හොඳ තුවක්කුත් හැදුවා. මේ බලන්න.

      https://sirimunasiha.wordpress.com/about/military-history-of-sri-lanka/the-sinhala-army-during-the-portuguese-dutch-and/


      http://www.dailynews.lk/?q=business/ancient-lanka-made-guns-powered-local-gunpowder

      @ AnonymousJuly 8, 2015 at 5:11 PM

      ඇයි දෙයියෝ ඇනෝ එන්නේ? ඔයා කියලා තියනදේ ඔක්කොම හරි.

      @ AnonymousJuly 8, 2015 at 5:21 PM

      ඔබතුමාට මාගේ උත්තමාචාරය පිළිගන්වමි.

      @ pra jayJuly 8, 2015 at 6:50 PM

      can't understand

      @ AnonymousJuly 8, 2015 at 7:28 PM

      Thank you Sir.

      Delete
    6. අලි ගෙනිච්ච කාලතුවක්කු කතාව හඟුරන්කෙත පෙරහැර බලන්න ගියහම ගජබින්නාලංකාර පරපුරේ කොන්ඩෙ කපාපු නිලමෙ කෙනෙක්ගෙන් අහගත්ත එකක්, රසවත් නිසා ලිව්ව.

      Delete
    7. සමාවෙන්න විචාරක, පින්තුර ගැන ලියන්නම බැරිවුනා. මම දැකපුවා අතුරින් හොදම ඒවා බොහොම අගෙයි.

      Delete
    8. විචරක, ප්‍රා කියල තියෙන්නේ Grasshopper cannon ගැන.ඒවත් සිංහල කාලතුවක්කු මුහුණුවර ගන්නවා.

      Delete
    9. @ ඇනේ, යකෝ ඒ ගජබින්නාලංකාර කතා ටික ලියපන්කො. මාර කතා ගොඩක් ඇති. මොන සමාවක්ද? සමා ඕනේ නෑ. අදහස් තමයි ඕනේ.

      @ ඇනෝ. ඔව් ඔව්, ප්‍රා කියලා තියෙන්නේ ඇත්ත.

      Delete
    10. https://en.wikipedia.org/wiki/Grasshopper_cannon

      ඇත්තෙන්ම සිංහල කොඩිතුවක්කු Grasshopper Cannon වලට වඩා කුඩායි. එක් අයෙකුට වුනත් ගෙනියන්න පුලුවන්.

      ඉස්සරම සමහර දිග යුරෝපීය මස්කට් එකෙන් හිටගෙන වෙඩිතියනකොටත් වෙනම ස්ටෑන්ඩ් එකක් තිබුනනෙ.https://www.google.lk/search?q=musket+stand&biw=1366&bih=620&tbm=isch&tbo=u&source=univ&sa=X&ved=0CBsQsARqFQoTCOv7wI7BzcYCFYcLjgod1RgOzw&dpr=1

      කොඩිතුවක්කුව ඊට වඩා ඒතරම් ලොකු නෑ. ඒත් මස්කට් එකක් නොව කාලතුවක්කුවක ලක්ෂණය ගන්නෙ ගන් එකටම සවිවුන ඉස්සරහ කකුල් දෙක බිමතියල වෙඩිතැබීම. ඒත් ඒකෙ වෙඩිතබන්නාත් බිම ඉඳගන්න වුනා. රත්නපුර සමන් දේවාලෙ ටිකක් ලොකු එකක් තියනව. ඒකට දෙන්නෙක්ගෙ crew එකක් අවශ්යවෙන්න ඇති. කොහොමවෙතත් ගරිල්ලා යුද්ධවලටම හැදුනු එකක්. කඳු දුර්ගවල වුනත් එක් අයෙක් හෝ දෙන්නෙකුට අරන් යන්න පුලුවන්

      ඇත්ත කාලතුවක්කුත් සිංහල ලෝහ වැඩකරුවන් හැදුවා, ඔවුන්ගේ දක්ෂතාවය යුරෝපීයයන් අගය කරලත් තියනව. හුඟක් තෑගිවශයෙන් දෙන්න ornamental විදිහට හැදුනෙ. ලෙව්කේ දිසාවගේ කාලතුවක්කුවෙ අනුරුවක් නිදහස් චතුරශයේ බේස්මන්ට් එකේ කෞතුකාගාරයෙ තියනව

      Delete
    11. බොහොම ස්තුතියි ප්‍රා, මේ කරුණු පැහැදිලි කිරීම ගැන.

      Delete
  13. අපූරුයි විචාරක තුමා... මේ ඡායාරූප බොහොමයක් මීට කලින් බුකියේ දැකලා තිබුණා. ඒත් ඔබතුමාගේ විග්‍රහයත් එක්ක ඒවා අ‍ායෙ බලද්දි වඩාත් රසවත්. බොහොම ස්තූතියි මේ දැනුම බෙදා ගත්තාට

    ReplyDelete
    Replies
    1. පින්තූරයක් නිකම්ම දාල වැඩක් නැහැ. ඒ ගැන යම් හැඳින්වීමක් කළයුතුයි.
      ඇගයීම ගැන ස්තුතියි.

      Delete
  14. https://www.facebook.com/thearchivesl?fref=ts

    ReplyDelete
  15. 3 ඡායාරූපය ඉන්දියාවේදී ගත් එකක්

    ReplyDelete
    Replies
    1. ඔව් මට ඒ බව පැහැදිලිවම පෙණුනා

      Delete
  16. විචෝ...සුපිරිම පින්තූර ටිකක්...

    අපි ඉපදෙන්න හරියටම අවුරුදු 100 කට විතර කලින් ෆොටෝ දැක්කම පුදුමත් හිතෙනවා.

    මේ වැඩේට නම් විචාට බ්ලොග් පින් සිද්ධ වෙච්චාවේ...

    ReplyDelete
    Replies
    1. හිහ් හිහ්, කොහෙද යකෝ ගිහින් හිටියේ?

      ලියපන් අපිට වදින දෙයක් උඹේ බ්ලොගේ

      Delete
    2. අනේ විචෝ...

      එක තමයි මගෙත් හිතට අමාරු..

      බ්ලොගට ගොඩවෙලා වැඩි වෙලා ඉන්න විදියක් කාලෙකින් ලැබුනේ නෑ..

      ජොබ් එකයි ඒ අස්සේ සෙට් වුනු එක අවුරුදු කෝස් එහෙකුයි එකේ කෙහෙම්මල් පාඩම් වැඩි හින්ද බොහොම අමාරුවෙන් බ්ලොග් විනොදාන්ශේ ගැටගහ ගන්නේ..

      තව මාස දෙකක් විතර මෙහෙම්මම තමයි..

      වෙලාවක් ලැබිච්ච ගමන් මොකක්හරි ගිනි ගෙඩියක් පාත් කරනවා කරනවාමයිමමගේ බ්ලෝග ට...

      Delete
  17. මේ පින්තුර කීපයක් මිට කලින් දැක තිබෙනවා. විස්තර කර ලිවිම අගෙයි.
    http://nelumyaya.com/?p=3504

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අජිත්.

      Delete
  18. ඔබගේ දළදා මාලිගාවේ චායා රුපයට යටින් ලියා තිබෙනවා , සුද්දන් මාලිගාව සංරක්ෂණය කරන්නට පියවරක් ගෙන නැහැ කියලා , ඒ කාලයේ ලංකාවේ බෞද්දයෝ සුළුතරයක් ද සිටියේ , බෞද්ද සිද්දස්ථාන වල වැඩකටයුතු බෞද්දයුනුත් අනිකුත් ආගම් වල වැඩ කටයුතු ඒ ඒ ආගමිකයින් විසින් කරගන්නවානම් වඩා හොඳ නැද්ද ? මුස්ලිම් පල්ලි හදලා දෙන්නේ රජයෙන්ද ,

    ReplyDelete
    Replies
    1. මහත්මයා ලංකාවේ ඉතිහාසය ගැන මොකුත්ම නොදන්නා බව මේ ප්‍රකාශයෙන් පැහැදිලිවම ගම්‍ය වෙනවා. උඩරට ගිවිසුමේදී සුද්දා කිව්වා බුද්ධාගමත් බුද්ධ ශාසනයත් ආරක්ෂා කරනවා කියලා. නමුත් ඒක බලය ගන්න කළ රැවටිල්ලක් පමණයි. බෞද්ධ ජනතාව හිතුවේ සුද්දගේ ආණ්ඩුවෙන් මාලිගාව නඩත්තු කරයි කියලා. කතෝලික පල්ලි, මුස්ලිම් පල්ලි, හින්දු කෝවිල් හදන්න, ඒ ඒ ආගම ප්‍රචාරය කරන රටවලින් ආධාර ලැබුනා. අදත් ලැබෙනවා. කතෝලික පූජක වරුන්ට අදටත් වැටුප් ගෙවන්නේ කාගේ සල්ලි වලින්ද කියා මහත්මයා දන්නවද?

      Delete
  19. නියමයි. මටත් ඔය නගරයක් පහුකරනකොට හිතේ ඇඳෙනවා ඒකාලෙ කොහොමට තියෙන්න ඇත්ද කියලා. වැඩිය ඕනි නෑ කොටුවෙ යෝක් වීදිය බලන්න.
    විචාරක තුමා මේක පොඩ්ඩක් බලන්න නිවාඩු පාඩුව.

    ReplyDelete
    Replies
    1. මම පුංචිකාලේ කොළඹදී ට්‍රොලි බස් එකේ ගිහින් තියනවා මධුවෝ. ඒක දුවන්නේ කරන්ට් එකෙන්. පාරට උඩින් කම්බි ඇදලා තියනවා. බස් එකේ වහලයේ ඉඳලා පොලු දෙකක් අර කම්බි දෙකේ ගාවෙමින් යනවා. එයින් තමා විදුලිය ලැබෙන්නේ. මෙන්න බලපන්.

      [im#]http://4.bp.blogspot.com/-CoXQpPxnVmg/VQvMqmJIWCI/AAAAAAAAAgo/zGe-ZwMRUY4/s1600/3.jpg[/im]

      Delete
    2. මධු, අරකෙ DVD එක මාළඟ තියනවා. නියමයි නේද?

      Delete
    3. වව් වව් වා... ඕල්ඩ් ඉස් ගෝලඩ් , බොරැල්ල-මරදාන එළකිරි

      (අර කාලෙ මිස් ඇමෙරිකා පොටෝ එකක් තියෙනවා. තව පොටෝ කීපයක් දානවා ඕපනිං සීන් එකට. මේ ලිපිය එක්ක මතක් වුණු අනික තමා අර පොටෝ ගහන තැන පුපුරන සීන් එක. ඒ සේරටම වඩා මම කැමති චාලිස් තෙරොන් ඉන්න නිසා... වන් ඔෆ් මයි ෆේවරිට්ස් විත් ග්ලෝවිං අයිස්).

      Delete
    4. //කොළඹදී ට්‍රොලි බස් එකේ ගිහින්
      මේ ගියේ කොයි කාලේද?
      අහල තියන විදියට ට්‍රොලි බස් දාල තියන්නේ ට්‍රෑම් කාර් ටික පාරෙන් අයින් කරලා .ට්‍රෑම් ගිය රූට් එකේමද (කොටුව -තොටළඟ / කොටුව-බොරැල්ල මං දන්නා තරමට)ට්‍රොලි බසුත් ගියේ?
      ට්‍රෑම් කාර් ගැන යමක් විචාරකතුමා දන්නවද?
      පුරස්න ගොඩට තරහ අවසර :-)

      Delete
    5. 1959 - 60 කාලේ තමයි ගියේ. මගේ පියා තමයි පුංචි මට මේ බස් එක ගැන විස්තර කියාදුන්නේ. ට්‍රොලි බස් කොලපාටයි. මම තට්ටු දෙකේ ට්‍රොලිබස් දැකලා නැහැ. නමුත් තිබිලා තියනවා. මේ බස් එකේ වහලයේ සිට ඉහලට තියන පොලු දෙක ලයිට් ගියාම හෙමීට පාත් වෙනවා. බස් එක නවතිනවා. ආයේ ලයිට් ආවම බස් එකේ තියන දිග පොල්ලකින් අර පොලු දෙක කම්බියට කිට්ටු කලාම විදුලි කාන්දම් බලයෙන් ඇලෙනවා.

      ට්‍රෑම් කාර් දැකලා නැහැ. අහලා තිනවා. අපේ අයියා තමයි එයා ගියහැටි කියලා දුන්නේ. ට්‍රෑම් කාර් අයින් කරලා ඒ මාර්ගවල තමයි ට්‍රොලි බස් දැම්මේ. මෙන්න කොළඹ ට්‍රෑම් කාර් ගියහැටි ගැන වීඩියෝ එකක්.

      https://www.youtube.com/watch?v=tLBjGUF9eQY


      වැඩි විතර මෙතනින් බලන්න

      Delete
    6. ලන්කවේ ට්‍රෑම් අයින් කරන්න වුන හේතුව මොකක්ද දන්නැ....ලෝකයේ ගොඩක් රටවල් වල ට්‍රෑම් කාර් තාම භාවිතාකරනව . ඉන්දියාවෙ පවා තාම තියෙනව..

      Delete
    7. බවුස්ට්ඩ් සමාගමෙන් අරඹපු ට්‍රෑම් පසු කාලීනව කොළඹ නගරසභාවේ අයිතියට යටත් වෙලා තියෙනවා.ට්‍රෑම් සේවක වර්ජනයකදී සේවකයන්ට පාඩමක් ඉගැන්වීමට ට්‍රෑම් වලින් ට්‍රොලි බස් වලට මාරූ වුනා කියලා තමා අහලා තියෙන්නේ.දිව්ව ට්‍රෑම් ටික යාඩ් එකක දිරන්න දැම්මලු.

      Delete
    8. @ Bangali DASJuly 10, 2015 at 8:02 AM

      මම අහලා තියන විදිහට නම් නඩත්තුව අපහසු වේම නිසා පාඩු ලැබුවා නිසයි අයින් කරලා තියෙනේ.

      @ AnonymousJuly 10, 2015 at 1:46 PM

      බොහොම ස්තුතියි ඔබේ තොරතුරු වලට

      Delete
  20. එ් කාළය ගැන බොහෝ දේ දැනගත හැකි ඡායාරෑප පෙලක්...

    ReplyDelete
    Replies
    1. මේ සෑම පින්තූරයකම දිග කතාවක් තියනවා. ඒවා අපේ අතීත සිහිවටන.

      Delete
  21. මේ තරම් කදිම ජායාරුප පෙළක් සහ ඒවායේ විස්තරය ඔබතුමා කෙසේද සොයා ගත්තේ. මා සිතන්නේ ඔබට එසේ හැකියාවක් ලැබුනේ ඔබ ලබා ඇති උසස් හමුදා පුහුණුව නිසාම වියහැකියි.

    ඇත්තෙන්ම සිංහල බ්ලොග් අතුරින් වර්තමානයේ ඉදිරියෙන්ම සිටින්නේ මෙම බ්ලොග් අඩවියයි.

    ඔබ නම් ඇත්තෙන්ම මහා දැනුමක් ඇති ශ්‍රී ලාංකිකයෙක්. ලෝක ඉතිහාසය, ලංකා ඉතිහාසය, තාක්ෂනය, යුධ ශිල්පය, තාක්ෂනය, ක්‍රීඩාව වගේ මෙකි නොකී සෑම දෙයක් ගැනම ඔබට ඉතාම හොද දැනුමක් තිබෙන්නේ.

    ඔබතුමා ගැන බොහෝ ආඩම්බර වෙමි.

    ReplyDelete
    Replies
    1. ඔව් මහත්මයා, ඇත්තෙන්ම මා ලද උසස් හමුදා පුහුණුව නිසා තොරතුරු සොයා යාම ගැන විශේෂ උනන්දුවක් දක්වනවා. ඒ ඔස්සේ මා විවිධ විෂයයන් ගැන වගේම විවිධ පුද්ගලයන් ගැනත් සාමාන්‍ය වශයෙන් සහ රහසිගතවද ගැඹුරින් තොරතුරු අධ්‍යයනය කරනවා. අවශ්‍ය තැන්වලදී ඒ තොරතුරු පාවිච්චි කරනවා.

      බලන්න අද ඉන්න සමහර පුස්සන් නිකම් නන් දොඩවනවා වගේ තමයි බ්ලොග් කමෙන්ට් දාන්නෙත්. මොකද උන්ගේ මොලය හිස්. ඔහේ කොම්පියුටර් කොටන්න දැනගත්තට මොකද, කියවීම, ඇහුම්කන් දීම, හරවත් සංවාද වල යෙදීම, කියන ගුණාංග මේ පුස්සෝ දියුණු කරගෙන නැහැ. මොනවා කරන්නද. මම උන්ට අනුකම්පා කරනවා.

      මා ගැන ඇගයීම පිළිබඳව මහත්මයාට බොහොම ස්තුතියි.

      මහත්මයාටත් මා වගේ වෙන්න පුළුවන්, මෙන්න මේ ලක්ෂණ වැඩිදියුණු කරගත්තොත්.

      ශුශ්‍රුතා

      විජිගීෂා

      සංහිතා

      Delete
    2. ශුශ්‍රුතා

      විජිගීෂා

      සංහිතා
      මොනවද අප්පේ මේ

      Delete
    3. ඔන්න කරනවානම් වැඩක්. ඔව්වා හොයලා බලලා ඉගෙනගත්තම වටිනාකම වැඩියි. නිකම්ම කියලා දුන්නම කිසිම වටිනාගමක් නැහැ. හාමුදුරු කෙනෙක්ගෙන් අහන්න.

      Delete
  22. මාත් මේ ළඟදී දැක්කා ෆේස් බුක් එකේ ෂෙයා වෙනව 1932 ශ්‍රී ලංකාවේ ජන ජීවිතය ගැන සුද්දෙක් කරපු වාර්තාමය වැඩසටහනක වීඩියෝ එකක්. link එක මෙතන දාන්නම්
    https://www.facebook.com/1574448292806467/videos/1596683130582983/?pnref=story

    මේ පෝසට් එකේ ඇත්තටම ගොඩක් වටිනා දුර්ලභ ඡායාරූප ටිකක් දැක්කෙ. මෙතන තිබ්බ ඒවා නම් මම මිට කලින් දැකල නැහැ. ඉදිරියේදීත් හම්බෙන ඔක්කොම ඒවා පුළුවන් විදිහට පළ කරන්න කියල ඉල්ලා සිටිනවා.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මනා, අදහස් දැක්වීම ගැන සහ අර ලින්ක් එකට. තවත් පින්තූර ලැබුණ ගමන් පලකරන්නම්.

      Delete
  23. ඉස්තරම් විචාරකතුමනි, ඉස්තරම්. මේ පිංතූරටික පුදුම වටිනවා. ඔය පිංතූර වලට අදාල තැන් කීපයක් පසුකරගෙන මං මේ දැන් ආව විතරයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.

      මේ වගේ පින්තූර වෙනත් අඩවි වල දැකලා තමා මේ උනන්දුව ඇතිවුනේ. අද මේ ප්‍රදේශ වලට ගියාම ඇස් අදහාගන්න බැහැ නේද?

      Delete
  24. නියම පින්තූර ටික. විචාරකතුමාට බොහොම ස්තුතියි.ගොල්ෆ් ගැන ගොඩක් කතාකලානෙ කට්ටියට එකේ තියෙන ගැටලුවිසදන නියම ෆිල්ම් එකක් තමයි The Greatest Game Ever Played (2005). විචාරක තුමා බලලත් ඇති.ඇත්ත කතාවක්ලුනෙ. ලන්කාවෙ ගොල්ෆ් නොමිලේ හෝ අඩුවට ගහන්න තැනක් නැතුව ඇතිනේද?

    http://www.imdb.com/title/tt0388980/?ref_=nv_sr_4

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මේ අදහස් වලට. මේ චිත්‍රපටිය බලලා නැහැ. ස්තුතියි හැඳින්වීමක් සහ ලින්ක් එකක් දුන්නට. බාගෙන බලන්නම්.

      ලංකාවේ මම දන්නා තරමින් එහෙම පහසුවෙන් ගොල්ෆ් ගහන තැනක් නැහැ. දැනට තියෙන්නේ , කොළඹ, නුවරඑලිය, තුල්හිරිය (රෙදි කම්හලට අයත් පෞද්ගලික) සහ පල්ලෙකැලේ (පෞද්ගලික) පමණයි

      Delete
  25. මේ එකතුවෙන් බොහෝ ඒවා හෙන්රි ඩි කේව් මහතාගේ පිංතුර පොත් වලින් උපුටා ගත් ඒවා විය යුතුයි කියලා මට සිතෙනවා..

    ReplyDelete
    Replies
    1. ඒ ගැන වැඩි විස්තර හොයාගන්න ලින්ක් එකක් දෙන්න බැරිද?

      Delete
  26. නියමයි සර්...
    මේ පිංතූර වලිං සමහරක් මමත් කලිං දැකලා තියනවා එෆ්බී එකෙන්. ඇත්තටම ඒවා දකිනකොට අතීතෙට ගිහිං එන්න පුළුවං නම් කියලා හිතෙනවා. මට එතනිං ගොඩක්ම ආස දළදා මාලිගාව එකටයි අර කඩුගන්නාව ප්ලේස් එකටයි... ඇයිද කියන්න දන්නේනෑ ඒ තැන් දෙකේම අමුතු ගතියක් තිියනවා...

    මගේ යෙහෙලියක් ඉන්නවා සදලි කියලා.නුවර මැණිකේ කෙනෙක්.. ඒකිව තරහා ගස්සන්න ඕනි උනාම මම කියන්නේ සුද්දා ගල විද්දේ නැතිනං තවමත් උබලා කැලෑ කොල ඇදගෙන ඕයේ ඔජායේ කියනවා කියලා. අද ඒකි විශේෂඥ වෛද්‍යවරියක් ඕස්ට්‍රේලියාවේ පදිංචි.

    ReplyDelete
    Replies
    1. මෙවැනි පින්තූර වෙත

      මෙන්න මෙතනින් යන්න පුළුවන්

      :e උඩරැටියන්ට, ඔය ගලවිදපු කතන්දරේ, අද ඊයේ කියන දෙයක් නෙවේ. අපි පාසල් යන කාලෙත් කිව්වා.

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }