හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

12 July 2016

අපිට ගැහුවා - අපිත් ගැහුවා (තුන්වැනි කොටස)

   මේ ලිපියේ පළමුවැනි කොටස සහ දෙවැනි කොටස කියවූ බොහෝ දෙනෙකුගේ ඉල්ලීම වුණේ, තුන්වැනි කොටසත් ඉක්මනින් පලකරන ලෙසයි. නමුත්, සති අන්තයේදී නොසිතූ ලෙස මා අතිශයින් කාර්ය බහුල තත්වයකට පත්වුණා. අද (ජූලි 11 වැනිදා) තමයි නිදහසක් ලැබුනේ, මේ කොටස ලියන්න.  පසුගිය ඊලාම් යුද්ධයේදී, අපේ හමුදාව මෙන්ම, LTTE ත්‍රස්තවාදීන් ද, බංකර් සාදාගෙන සටන් කල බව, ඔබ අසා තිබුනත්, රූපවාහිනී සහ/හෝ පුවත්පත් වාර්තා ඔස්සේ, එවැනි බංකර් වල පින්තූර දැක තිබුණත්, මොකක්ද මේ බංකර් යුද්දේ කියා, ඔබෙන් බොහෝ දෙනෙකු නොදන්නවා ඇති. ඇත්තටම, බංකර් යුද්දේ කියා කට වචනෙට කිව්වත්, යුද භූමියේ පවත්වාගෙන යන ආරක්‍ෂක ප්‍රදේශ මොනවගේද, ඒ ආශ්‍රිත සටන් සිදුවන්නේ කෙසේද, යන්න පිළිබඳව, ඔබේ දැනුම පුළුල් කිරීමයි, මේ ලිපි මාලාවේ අරමුණ. 

   පසුගිය ලිපි කියවීමෙන් ඔබ දැනගත්තා, අපි තවමත් LTTE ප්‍රහාර වලක්වා ගැනීම සඳහා ආරක්ෂක පියවර ගනිමින් සිටින බව. කටුකම්බි දැමීම, කොන්සර්ටිනා වයර් දැමීම, ලී උල් හිටවීම, වැනි උපක්‍රම අපි කළා. නමුත්, ලෝකයේ කොහෙවත් නැහැ, බංකර්, 100% ක් සතුරු ප්‍රහාර වලින් වලක්වාගත හැකි ක්‍රමයක්. 

   දැන් අපි ආරක්‍ෂාව තවත් වැඩිදියුණු කිරීමේ උපක්‍රම වලට අවතීර්ණ වුණා. ඒ තමයි, පුද්ගල නාශක බිම් බෝම්බ, ක්ලේමෝ බෝම්බ, ජම්පින්ග් මයින්ස්, ට්‍රිප් ෆ්ලෙයාර්ස්, වැනි දේ ආරක්‍ෂක වලල්ලේ සවිකිරීම. මේ වෙඩි ද්‍රව්‍ය ගැන මා මීට පෙර ඔබට අවම වශයෙන් දෙවතාවක් පමණ කියා දී තිබෙන නිසා නැවත මෙතන කියන්නේ නැහැ. මෙතනින් එක ලිපියක් සහ මෙතනින් තවත් ලිපියක් බලන්න පුළුවන්. 

   මේ වනවිට අපේ පිරිස් බලය වැඩිවුනා, නව බඳවාගැනීම් නිසා. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ප්‍රධාන බංකර් පේලියට පසුපසින් තවත් බංකර් සාදා, ඇතුලට රිංගන සතුරන්, සාර්කථව මර්දනය කිරීමටත්, බංකර් පේලියේ කොතැනකට හෝ සතුරු ප්‍රහාරයක් එල්ල වනවානම්, ආධාරක භට පිරිසක් යැවීමටත් හැකියාව ලැබුණා. තවත් දෙයක් තිබුණා. ඒ කාලේ අපේ සමහර නොදියුණු ලක්ෂණ යුද භූමියේත් ප්‍රදර්ශනය වුණා. ඒ මෙහෙමයි. අපි හිතමු බංකර් පේලියේ බංකර 50 ක් එක රෙජිමේන්තුවකට අයත් බලඇණියක් විසින් ආරක්ෂා කරනවා. එතැනින් එහාට ඉන්නේ වෙනත් බලඇණියක අය. මෙහෙම වුනාම, මුල් කාලයේදී, උන් එකාට එකා කතා නැහැ. මූණ බලන්නේවත් නැහැ. ඒ වගේ තැන්වලට කොටි ගැහුවම, මේගොල්ලෝ අරගොල්ලන්ගේ වැරැද්ද නිසා වුණේ කියනවා. ඒගොල්ලෝ මේ ගොල්ලන්ගේ වැරදි කියනවා. මේකට අපි හොඳ විසඳුමක් හොයාගත්තා. බලඇණි දෙකක භටපිරිස් යාවෙන ස්ථානයක තිබෙන බංකර් 5 ක් පමණ, ඒ බලඇණි දෙකේම සෙබළුන් මිශ්‍ර කර යෙදවීම තමයි, විසඳුම. ඔන්න අර වාද භේද අමතක වෙලා, ලෙඩේ හොඳවුණා. ඒ විතරක් නෙවෙයි, අපි ඉගැන්නුවා, මේ බල ඇණියට පහර එල්ලවනවා නම්, යාබද බලඇණියෙන්, ආධාරක වෙඩි, (මෝටාර්/මැෂින් තුවක්කු වැනි) ලබා දෙන්නත්, අවශ්‍ය නම් භටපිරිස් පවා එවන්නත්. අනේ අම්මපා, අපේ සමහර ජරා ගති, හමුදාවෙදි වත් නවත්තගන්න බැරි හැටි. 

   දීර්ඝ කාලයක් බංකර්වල ඉන්නකොට හැදෙනවා, 'බංකර් මානසිකත්වය'. අර, දූපත් මානසිකත්වය වගේ. ඒ කියන්නේ, බංකරය ඇතුලෙම ඉන්න තමයි බලන්නේ. ඉස්සරහට ගිහින් යුද්ධ කරන්න කැමති නැහැ. එහෙම කරන්න බැහැ. බංකර් වලට ඉස්සරහින් දාලා තියන බිම්වෙඩි, කටු කම්බි, ආදිය වගගෙන කැලේ වැවෙනවා. ඒවා පරිස්සමෙන් සුද්ධ කරන්න ඕනේ. නැත්නම් ඉස්සරහා මොකුත් පේන්නේ නැහැ. සතුරා ඇවිත් ඒවා ගලවාගෙන ගියත් දන්නේ නැහැ. ඒ නිසා කැලේ කපන්නම ඕනේ.

   (බිම් වෙඩි වැලලුවාම, ඉංජිනේරු රෙජිමේන්තුවෙන්, අපිට ලැබෙනවා, බිම්වෙඩි කෙතේ සිතියමක්. ඒ අනුව, බිම්වෙඩි තිබෙන තැන් හොයාගන්න පුළුවන්. බිම්වෙඩි වැළලීම, ඉංජිනේරු රෙජිමේතුවේ කාර්යයක්. අපිට බැහැ, හිතෙන හිතෙන තැන්වල බෝම්බ වලලන්න) 

  බංකරේටම වෙලා හිටියොත්, සතුරා අපේ දෙපරැන්ද අස්සටම ඇවිත්, කොරන්ඩ ඕනේ ඔක්කොම දේවල් කොරලා යයි.   ඒ නිසා අපි යන්න ඔනේ සතුරා ඉන්න භූමියට. දවල් කාලයේදී නම් උස ගහකට නැග්ගොත් ඈත පේනවා. අපි එකට කියන්නේ නිරීක්ෂණ මුරය කියලා. Observation Post ඒ වගේමයි, රෑටත් බංකර් පේලියෙන් ඉදිරියට ගිහින්, සතුරා එනවද බලන්න ඕනේ. ඒකට කියන්නේ, සවන්දීමේ මුරය Listening Post ඉතිං කොහොමද අර බෝම්බ වළලලා තියන භූමිය උඩින් එලියට යන්නේ එන්නේ? හෙහ් හෙහ්, ඒකට පොඩි සලකුණු දාලා තියනවා, පුංචි අඩිපාරක් ඉතුරුවෙන්න. ඒ විතරක් නෙවෙයි. 

   අපි පටන්ගත්තා මුර සංචාර වල යෙදෙන්නට. එයින් හැකිවුනා, ඉදිරි භූමියේ ඉන්න කුඩා සතුරු කණ්ඩායම්, අන්ද මන්ද වන ආකාරයේ ප්‍රහාර එල්ල කරන්නට සහ ඔවුන්ගේ සැලසුම් අවුල් කරන්නට. එමෙන්ම අපි, දිවා රාත්‍රී දෙකේදීම, බංකර් වලට ඉදිරි භූමියේ, රැකසිට පහරදීම් යෙදෙව්වා. එහි ප්‍රතිඵලය වුණේ, අපේ බංකර් වලට ගහන්න එන සතුරු කණ්ඩායම්, අපි අතින් විනාශවීමයි. එයින්, සතුරාගේ චිත්ත ධෛර්යය, බරපතල ලෙස බිඳවැටෙනවා.

   මේ කාලය වනවිට, කොටින් අපේ බංකර්වලට RPG ප්‍රහාර එල්ල කරන තරමට වැඩිදියුණුවී හිටියා. ඒ නිසා අපේ බංකර්වල ආරක්‍ෂාව සඳහා බර මැෂින් තුවක්කු යෙදෙව්වා.  GPMG, .50 සහ 12.7 වැනි මැෂින් තුවක්කු මේ ආකාරයට යොදවාගත්තා. මෙතැනදී පොඩි න්‍යායාත්මක කරුණක් තියනවා කියන්න. 

   මේ විදිහට, බර මැෂින් තුවක්කුවක්, සතුරාට එකවර සොයාගැනීමට නොහැකිවන ආකාරයට, යුද භූමියේ සැඟවුණු ස්ථානයක සවිකර, සතුරා අපට පහර එල්ල කරන කෝණයට වඩා වෙනස් කෝණයකින්, අපේ ප්‍රහාරය එල්ල කිරීමයි ඒ න්‍යාය. මෙය හඳුන්වන්නේ, Enfilade fire from Defilade position යනුවෙන්. හම්මේ.........සැර වැඩියි නේද? හරි හරි, ඒක අමතක කරන්නකෝ. මෙහෙම හිතන්න. සතුරා, අපි ඇති කියලා හිතාගෙන තියන වෙඩි, අපට නොවදින තැනක හැංගිලා, අපේ මැෂින් තුවක්කුවෙන් සතුරාව කම්බස් කිරීම. දැන් හරිනේ. ඔය පහලින් තියන පින්තූරේ බලන්න. 



  අර සතුරා කියන වචනේ තියන තැන, ඊතලෙන් පෙන්වන්නේ, සතුරා අපිව හොයාගෙන එන දිශාව. එහෙම වෙන්නේ, සතුරාට පෙනෙන අපේ බංකර් තියෙන්නේ ඒ පැත්තේ නිසා. නමුත් ඔය අස්සේ එක තැනක, අපි මැෂින් තුවක්කුවක් හයිකරනවා, බංකරයක් ඇතුලේ හෝ වැලි ගෝනි ආවරණයක (කොළ අතු එහෙම ගහලා හංගලා) ඒ මැෂින් තිවක්කුවෙන් එල්ලවන වෙඩි පහර, සතුරාගේ මූනට නෙවෙයි වදින්නේ හරහට. පේනවද මූනට මූණ දාලා, අපේ එක පිරිසක් වෙඩි තියනවා, බංකර් වල ඉඳලා. නමුත්, මැෂින් තුවක්කු පාර වදිනකොට, සතුරා හොල්මන් වෙනවා, ඒ හොහෙන්ද වෙඩි එන්නේ කියලා. නමුත් ඒ පැත්ත බලන්නත් කලින් සතුරා සුන්.

   මීළඟට අපි යුද්ධ ටැංකි සහ සන්නාහ සන්නද්ධ රථ යොදාගත්තා,  සන්නද්ධ රථ, ආරක්ෂක වළල්ලට ගෙන එන්න නම්, රළුවට හෝ සැකසුණු පාරවල් අවශ්‍යයි. ඒ වගේම, සතුරු RPG ප්‍රහාර වලින් වැළකී, පොළොවට හැකිතරම් ආසන්නව පැතිරී යන ලෙස, සන්නද්ධ රථවල තිබෙන මැෂින් තුවක්කු වලින් ප්‍රහාර එල්ල කිරීම සඳහා, බංකර් පේලියේ අතරින් පතර, සුදුසු ස්ථාන සැකසිය යුතුයි. ඒවා හඳුන්වානේ Hull down position යනුවෙන්. හල් - Hull කියන්නේ, සන්නද්ධ රථයක ඉදිරිපස කොටස. ඒ කොටස පොළොවේ මට්ටමට පහතින් සිටින ලෙස පොළොව කපා සැකසුවාම, පොළොවට ආසන්න මට්ටමෙන් යන ලෙස, වෙඩි තියන්න පුළුවන්. සතුරු යුද ටැංකියකට වත්, එකවර අපේ ටැංකිය ඉලක්ක කරගන්න අමාරුයි. (LTTE එක කවදාවත් යුද්ධ ටැංකි වලින් යුද්ධ කලේ නැහැ) බලන්න පහල තියන පින්තූරය. ඔය තියෙන්නේ Hull down කරලා. 



  මේ අතරේ අපි, මෝටාර් අවි වලින්, ඉදිරි භූමියට ප්‍රහාර එල්ල කිරීම පටන්ගත්තා. භූමියේ තිබෙන අපේ සෑම බංකරයක්ම, GPS තාක්ෂනය මගින්, අක්ෂාංශ දේශාංශ අනුව අංකනය කළා. ඒ අනුව, අංක 1 බංකරය කිව්වොත්, පසුපස භූමියේ ඈතින් තියන, බලඇණි මූලස්ථානයේ හෝ බලසේනා මූලස්ථානයේ තිබෙන සිතියමෙන් බලා, හරියටම ඒ බංකරයට ඉදිරියෙන් පිහිටි භූමියට, මෝටාර් හෝ කාලතුවක්කු වෙඩි එවන්නට හැකියාව ලැබුණා. 

   නමුත් මෙහෙම කර කර ඉන්න බැහැ හැමදාම. අපි භූමිය අත්පත් කරගනිමින් ඉදිරියට යායුතුයි. යුද්ධය අවසන් කළයුතුයි. ජයග්‍රහණය අනිවාර්යයෙන් ලබාගත යුතුයි. 

   ඒ සඳහා අපි නව උපක්‍රම ආරම්භ කළා. ඒ තමයි, බංකර් ක්‍රමය අතහැර, කෙලින්ම භූමියේ සැඟවීම. මෙහි තිබෙන විශේෂ වාසිය තමයි, අපි කොහෙද ඉන්නේ කියලා, සතුරාට හොයාගන්න බැරිවීම. බංකර් තියනවානම් දන්නවා, අපි එතන ඉන්න බව. නමුත්, මහකැලේ, වෙස්වලාගෙන, සැඟවී ඉන්න අපිව සෙවීම, ලෙහෙසි නැහැ. ළඟට ආවොත්, අපි අතින් මරණය තෑගි ලැබෙනවා. 

   මෙය ඉතා අභියෝගාත්මක ක්‍රියාවක්. සමහරවිට, රාත්‍රියේදී මෙන්ම දවල් කාලයේදී වුවත්, සතුරා අපිට සමාන ඇඳුම් ඇඳ සිටීනම්, අපි සමග මිශ්‍ර වීමට වුවත් පුළුවන්. එහෙම වුන අවස්ථා එකක් දෙකක් තිබුණා. නමුත් අපි රහස් පද සහ වර්ණ පටි ක්‍රමය පටන්ගත්තාම, ඒ අපහසුතා මගහැරුණා. රහස් පදය කියන්නේ, වචන දෙකක්. මෙය කටින් කට කියනවා මිසක්, ගුවන්විදුලි පණිවිඩ හුවමාරු යන්ත්‍ර වලින් කියන්නේ නැහැ. අපේ අයට පමණයි කියන්නේ. උදාහරණය:- 'රතු - කුකුලා'. දැන් අපි භූමියේ ඉන්න අපේ වන/නොවන කෙනෙක් හඳුනා ගැනීමට, ඔහු අසලට ගොස්, 'රතු' කිව්වොත්, ඔහු 'කුකුලා' කියන්න ඕනේ. බැරිවුනොත් මරණය. 

   වර්ණ පටි කියන්නේ, එක් දිනකට හෝ දවසේ වරින්වර වෙනස්වන වර්ණ පටියක්, තමන්ගේ අත්දෙකෙන් එකක මැණික්කටුවේ බැඳ ගැනීමයි. එවිට අපි දන්නවා ඒ අපේ මිනිහෙක් බව. මේ සඳහා රහස් පද, වෙනනමම තියනවා. සෑම සෙබළකු අතම, වර්ණ පටි කට්ටලයක් තියනවා. උදාහරණය:- 'බළලා මල්ලේ' කියා කිව්වොත්, එහි තේරුම, 'රතුපාට පටිය දකුණු අතේ බැඳගනින්' කියන එක විය හැකියි. 'සීයා ගෙදර' කිව්වොත්, 'නිල්පාට පටිය වම් අතේ බැඳගනින්' කියන එක විය හැකියි. වම දකුණ මාරු කරගත්තොත් 'අබ සරණයි'


   බංකර් අතහැර, යුද භූමියට ගොස්, සංවිධානාත්මකව සටන් කිරීමෙන්, අපි යුද්ධය ජයගත්තා. නමුත්, සෑම යුද්ධයකදීම පාහේ, මේ විදිහට, බංකර් සහිත ආරක්‍ෂක ප්‍රදේශ පවත්වාගන්නට සිදුවෙනවා. බංකර් වල සිටිමින් කලයුතු වැදගත්ම කාර්යය වන්නේ, ඉදිරි සැලසුම් සකස්කර ගැනීමයි. 

   මේ ලිපි මාලාව කියවීමෙන්, ඔබ යම් දැනුමක් ලබන්නට ඇතැයි මා විශ්වාස කරනවා. මේ ලිපි තුන ඇතුළත, ගැඹුරු යුද න්‍යාය ගණනාවක්, ඇතුලත් කොට තිබෙනවා. මා ඒවා හමුදා පොතේ විදිහට ලිව්වා නම්, ඔබ මේ ලිපි කියවීම අත්හරිනවා. එක් න්‍යායක නමක් පමණයි, මා සඳහන් කලේ. ඒක නිකම් කුණුහරපයක් වගේ නේද? 

   හොඳයි, එහෙනම්, මේ  ලිපි මාලාව, මෙතෙකින් අවසන් වෙනවා. 

2016 ජූලි මස 12 වැනි දින 1043 පැය 

42 comments :

  1. බළලා මල්ලෙන් පැන්නා.

    1.එතකොට වැරදීමකින් ඔය පටි මාරුවෙන්නට රහස් පදය අමතකවෙන්නට හැකියාවක් නැද්ද? අනික එක දවසක් හමුදා කාණ්ඩයකින් මඟ හැරුණු කෙනෙක් ආයෙ හම්බෙනවා වෙන දවසක එතකොට ඔහු වෙන පාට පටියක් පැළඳ සිටීමේ හැකියාවක් නැද්ද?

    2.මඟඇරුණු හෝ අතුරුදහන් වෙච්චි කෙනෙක් නැවත කණ්ඩායම හා සම්බන්ධ වීමේ පටිපාටිය කුමක්ද? මේ විදිහට සතුරෙක් කණ්ඩායමට ඇතුළුවීම වළක්වා ගන්නේ කොහොමද?

    3.බංකරයක් තුළ සැඟවී සිටීමෙන් බලාපොරොත්තු වන්නේ වෙඩිවරුසාවකින් ආරක්ෂා වීම නේද? ආවරණයක් නොමැතිව භූමියේ රැඳී සිටීම අවදානමක් ගැනීමක් නේද?

    4.යුධ ටැංකි ගෙන්වීමට එල්ටීටීඊය නොපෙළඹුනේ ඇයි. ප්‍රවාහන දුශ්කරතා නිසාද? ඔවුන්ගේ යුධ උපායන්ට නොගැළපුනු නිසාද?

    5.මේ ලිපි පෙළ පුරාවටම මට හිතුනු දෙයක් තමයි ලෝකයේ වෙනත් රටවල් බිම් බෝම්බ ක්ලේමෝ බෝම්බ වැනි ක්‍රම ක්‍රියාත්මක කරද්දි ඇයි අපේ හමුදාව ප්‍රාථමික පියවර අත්හදා බලමින් ඉදිරියට ආවෙ. මම දන්නෙ නෑ මේ ඇත්තටම යොදාගත්තු ක්‍රමද නැතිනම් විචාරක මහත්මයා පියවරෙන් පියවර විස්තර කරගෙන ආවද කියලා.

    ReplyDelete
    Replies
    1. අම්මට හුඩු.... දැන් ඉතින් දීපන්කො උත්තර.....

      Delete
    2. 1. මම දන්නා තරමින් එකම දවසකවත් මාරුවීමක් සිදුවී නැහැ. කෝප්‍රල්ලා, සාජන්ලා, නැවත පරීක්‍ෂා කරනවා නිරවද්‍යතාව ගැන. මා දන්නා ඉතිහාසයේ ඒ විදිහට මගහැරුණු/අතුරුදන් වුනු සෙබලෙක්, නැවත පැමිණ අපෙන් වෙඩි කාලා නැහැ. එවැන්නක් වුනොත් ක්‍රියාකරන, 'එක්තරා ක්‍රමයක්' තියනවා. ඒ අනුව ක්‍රියා කලාම වැඩේ හරියනවා.

      2. 'එක්තරා ක්‍රමය' කියාදෙන්නට නොහැකිවීම ගැන කණගාටුයි.

      3. ඔව්, බංකරය කියන්නේ ආවරණයක් තමා. ඉතිං ඕක ඇතුලෙම ඉන්න ගියොත් සතුරා ඇවිත් අපිට කොරන්න තියන ඔක්කොම කොරලා, වේලෙන්න කලින් පත්තරෙත් දානවා. අපි පුහුණු සොල්දාදුවෝ. සොල්දාදුවාගේ කාර්ය භාරයේ role ප්‍රධානතම දෙයක් තමයි, අභියෝගාත්මක තත්වයන්ට මුහුණ දීම. යුද්දෙදි ඉස්සර වෙච්චි එකා දිනුම්. ඒ නිසා අපි ඉස්සරවෙලා, සතුරා අපිව හොයාගන්න කලින්, අපි සතුරාව හොයාගෙන විනාශ කරනවා. මෙහිදී, අපි දැඩි අවදානමකට මුහුණ දෙනවා. ඒ බව දැන දැනම තමයි එහෙම කරන්නේ. නමුත් හොඳ සැලැස්මක් තිබේනම්, අපි හොඳ පුහුණුවක් ලබා තිබේනම්, බිය වියයුතු නැහැ.

      4. යුද ටැංකිය ගමන් කරනකොට සද්දයි. දුම දානවා, විශාලයි, හංගන්න අමාරුයි. නඩත්තුව ඉතා අධික වියදම් සහිතයි. ඉන්ධන ගොඩක් ඕනේ. ටැංකියේ ආරක්ෂාවට වෙනම පිරිසක් ඕනේ. අපිට පුළුවන් ඒවාට ගුවන් ප්‍රහාර එල්ල කරන්න පහසුවෙන්ම. ඒ නිසා LTTE එක ඒවා පාවිච්චි කලේ නැහැ.

      6. නැහැ. අපි පියවරෙන් පියවර ආවේ, මුල් කාලයේදී සතුරා අවතක්සේරු කිරීම නිසා, කඩිගුල ඇවිස්සුනාම තමයි, කඩියන්ගේ සැර දැනගත්තේ. ඊටපස්සේ වැඩේ පටන්ගත්තා පිළිවෙලකට. විස්තර කිරීමේදී මුල්ම කාලයේ අන්දලා තමයි කියාගෙන ආවේ.

      Delete
  2. හොඳ ලිපි ටිකක්..... කොමෙන්ට් කලේ නැති උනාට පහුගිය ටිකත් කියෙව්වා.....

    මොකද කියන්නේ .... අත්දැකීම් ටිකක් ලියමුකො බලන්ඩ විචාරකතුමා.....

    ReplyDelete
  3. ‍චෙහ්! ඔව්වට කවුද බංකර් කියන්නේ, රූපවාහිනියේ පෙන්නන එව්වා තමයි නියම බංකර්.

    ReplyDelete
    Replies
    1. විචා, අර සිංදු කියන අය සෙලෙක්ට් කරන සරස්වතී වගේ හමුදාවට යන අය සෙලෙක්ට් කරන්න දෙවතාවෙක් නැත්ද? මනුස්සයට තෑන්ක්ස් කරන්නෝන මාව රෙජක්ට් කළාට, නැත්තං හැම වැඩක්ම ටපලෝගන්න විදිහට පාටමාරුවෙලා මැරෙනව ෂුවර්.

      Delete
    2. ඒ කාලේ ඔය රූපවාහිනී නාලිකා වලින් ඇවිත් හිටියා නියම ජෝකර්ලා සැට් කීපයක්. අපෙන් විස්තර අහගෙන මුන් යුද්ධ භූමියේ හිටියා වගේ ලියන එවුන්.

      හෙහ් හෙහ්, දැන් පටලවාගන්නේ මොනවද?

      Delete
    3. දැන් පටලෝගත්තොත් යුද්දෙන් මැ‍රෙන්න තිබුණනං හොඳයි කියල හිතෙයි. හැක්..

      Delete
  4. // මේ ලිපි මාලාව කියවීමෙන්, ඔබ යම් දැනුමක් ලබන්නට ඇතැයි මා විශ්වාස කරනවා.//

    දැනීම පමණක් නෙමෙයි විචා ඔබලා ඇතුළු අපේ හමුදාව ගැන ලොකු ආඩම්බරයකුත් ගෞරවයකුත් ඇතිවුණා.

    ReplyDelete
    Replies
    1. තව බොහොම කෙටි කාලෙකින් මේවා අපේ මිනිස්සුන්ගේ මතකයෙන් ගිලිහෙනු ඇති. ඒ නිසයි මෙහෙමවත් සටහනක් තියන්න හිතුවේ.

      ඇගයීම ගැන බොහොම ස්තුතියි ඉයන්.

      Delete
  5. අපේ අය ගිහින් එයාලගෙ බංකර් වලට ගහපු හැටියි එයාලගෙ බංකර් වලට එයාල යොදාගෙන තිබ්බ ආරක්ෂක උපක්‍රමයිත් ලියන්ඩෝ . (රහස් නෙවේනම්)

    ReplyDelete
    Replies
    1. LTTE එකට බංකර් ගොඩක් තිබුනේ නැහැ. අන්තිම කාලේදී තමයි බංකර් ගැහුවේ. ඉතාම අමානුෂික විදිහට අහිංසක ද්‍රවිඩ ජනතාව බලහත්කාරයෙන් රඳවාගෙන, ද්‍රවිඩ ගම්මාන මැද්දේ තමයි හැංගිලා හිටියේ. අවසාන කාලයේදී අපිවගේම බංකර් හදාගෙන, ඒවාට ඉදිරියෙන් සහ පසුපසින් පස් බැමි, අගල්, සකසා තිබුණා. ඒවා අපේ හමුදාවට එතරම් ලොකු අභියෝග වුණේ නැහැ.

      Delete
  6. ශ්හ්ඃ.....ඉවර උනාද?
    ඔබගේ ලිපි වලින් වන ලොකුම සේවය තමා යුද්ධය කියන්නෙ සෙල්ලමක් නෙමෙයි කියන එක පැහැදිලි වීම.
    චිත්‍රපටි වල ඉන්න පෙනේර වෙන්න වෙඩි වැදුනත් මැරෙන්නැති උන්ගෙ විගඩම් බලාගෙන ඉඳලා ෆෝම් වෙලා භූමියේ දිවි පරදුවට තියපු සොල්දාදුවන්ට කෝචොක් දාන උන්ට සෑහෙන්න රිදෙයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. තවදිගට ලියන්න දේවල් තිබුනත්, මෙතනින් ඉවර කරන්න හිතුණා. යුද්ධය ගැන අපේ රටේ ජනතාව නොදන්නා දේ බොහොමයි. සොල්දාදුවා අපහාසයට, උපහාසයට, ඔය කොයි එකටත් ඔට්ටුයි.

      Delete
  7. වාධ බේධ එතනින්ම නතර කර ගත්ත එක හොඳයි..... නැත්තන් තවත් යුද්ධයක්......

    ඇත්තටම විචාරකගේ අද්දැකීම් ලියන්නකෝ....
    බොහොම ආසාවෙන් කියවපු ලිපි මාලාවක්... මේවා අපි විතරක් කියවලා මදී... කියවන්න දෙන්නම ඕනේ කට්ටියක් තව ඉන්නවා...
    ඔබේ දැනුම මේ විදිහට බෙදාගත්ත එක අගෙයි...

    ReplyDelete
    Replies
    1. මගේ අද්දැකීම් බොහොමයක් තියනවා මුල් කාලයේ මා ලියපු ලිපිවල. වෙලාවක් ඇත්නම් බලන්න.

      ඇගයීම ගැන ස්තුතියි.

      Delete
  8. මායිම් ගම්මාන වගේම බන්කරුත් බලාගෙන යනකොට අපිව මග නවත්වන වැඩක් බවට පත් වෙලා තිබිලා. එයින් ඔබ්බට ගිහින් සතුරා අන්ද මන්ද නොකරා නම් අදත් අපි එතනම. අර War is not a Science, it's an art කිව්වැහෙ, පොඩ්ඩක් වෙනස් විදියට හිතුව එක තමයි ජයග්‍රහණයේ මුල් පියවර. මේක සරලව ලියපු එක හොඳයි. ඕනෑම් ක්ෂේත්‍රයක තියෙන බරසාර වචන දාලා ලිව්වනම්, නීරස වෙනවා. Every Action has a reaction කිව්වා වගේ යුද්දෙදී වෙනස් වෙන උපක්‍රම වලට වෙනස් වෙමින් යන උපායත් අවශ්‍ය වෙනවා. ලේසි නෑ බලාගෙන ගියාම. ඇත්තටම කවුරුත් වචන වරද්ද ගත්තෙම නැද්ද ?(අර සියඹලා තිබුණේම නැද්ද වගේ )

    ReplyDelete
    Replies
    1. මට තවමත් හොයාගන්න බැරිවුණ දෙයක් සුදීක, ඔය 'මායිම් ගම්මාන' කියන නම හැදුවේ මොකාද කියන එක. මම හිතන්නේ, කවුරු හරි, අමන 'මාජ්ජ වේජියෙක්' තමයි ඔය අපරාදේ කරන්න ඇත්තේ. උගේ හොම්බට අනින්න ඇත්නම්, අද වුනත් කමක් නැහැ. ඔය කතාව LTTE එකට ලොකු වාසියක් වුණා.

      ඔව් ඇත්තටම military theory විදිහට ලිව්වොත් කවුරුවත් බලන එකක් නැහැ. නමුත් මේ ලිපි තුනේ තියනවා, ආරක්ෂක ප්‍රදේශයක් පවත්වාගෙන යාමේදී සැලකියයුතු, න්‍යායාත්මක කරුණු බොහොමයක්. Principles of Defence කියන මාතෘකාව ඔස්සේ තමයි, මේ ලිපි ලියවෙලා තියෙන්නේ.

      Delete
    2. අපොයි වරද්දගත්ත තැන් ඕනෙතරම් තිබුණා. ඒ නිසා ජීවිත වලින් වන්දි ගෙවූ අවස්ථාත් තිබුණා.

      Delete
  9. අනේ අම්මපා, අපේ සමහර ජරා ගති, හමුදාවෙදි වත් නවත්තගන්න බැරි හැටි. /////////////// athha

    ReplyDelete
    Replies
    1. මා හොඳින්ම දන්නවා ඔබට නම් ඒ ගැන සෑහෙන 'හොඳ' අද්දැකීම් තිබෙන බව.

      Delete
  10. ඔබතුමා ල ඔහොම ජීවිත ඇපේට තියල කැප වුනාට ජයග්‍රහණයේ අයිතිය තියෙන්නෙ කටින් සටන් කරපු සැට් එහෙකට

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, එහෙම කයිය ගහපු අයගේ කටේ නරිවාදම් නිකම්ම රෙද්ද පල්ලෙන් පෙරුණා. යුද්දෙදි කයිය නෙවෙයි ඕනේ වැඩ.

      Delete
  11. නියම ලිපි පෙලක් වගේම හොඳ තොරතුරු ටිකක් දැනගන්න හැකියාව ලැබුණ මේ ලිපි වලින් විචා.

    අර කුකුළ්ලු වගේ සත්තු කෝඩ් වර්ඩ් වලට දාල ඉතිං ඔතන කුකුළෙක් හිටියොත් අබ සරණයි තමයි.

    ReplyDelete
    Replies
    1. ඉන්න ඇති. අඩු ගාණෙ මේක ලියන එකාවත්

      Delete
  12. මල්ලෙ බළලාට සීයගෙ ගෙදර කුකුලා කෙටුවා

    ReplyDelete
    Replies
    1. එහෙම කිව්වොත් ඒකෙ තේරුම වර්ණ පටි ඔක්කොම ටික අරන් ගහගනින්...........කියන එක. :D

      Delete
    2. 1. එතකොට අසම්භාවී විදිහට අතට අහුවෙන පටියක් පාවිච්චි කරනවද? නැත්නම් අනුපිළිවෙළක් තියෙනවද පාට තෝරගන්න?

      2.එහෙම අණක් නිකුත් කරන්න සිදුවෙන විශේෂ අවස්ථා තියෙනවද?

      :D :D

      Delete
    3. 1. නෑ නෑ මම ප්‍රාජේට කිව්වේ පටි ටික අරන් ගහගනින් තොගෙ............k කියන තේරුමයි.

      2. ඔව් මට තදවෙලා ඉන්න වෙලාවක සොල්දාදුවෙක් ඇහුවොත් අද මොන පටියද ගහන්නේ කියලා අන්න අර උත්තරේ තමයි දෙන්නේ.

      Delete
    4. තේරුනා තේරුනා මම විහිළුවට ප්‍රශ්න ඇහුවෙ :D :D

      Delete
  13. සමහර අය බංකර් කියලා හඳුන්වන සමහර ඒවා ඇත්තටම ට්‍රෙන්ච් නේද?

    ReplyDelete
    Replies
    1. ලොකු ට්‍රේන්ච් එකක් හදාගත්තම, ඒකෙ තැන් තැන් වල පොඩි ආවරණ ගහගන්නවා, හිසට උඩින් හිටින්න කොට ටිකක්, වැලි ගෝනි එහෙම දාලා. ඒවා බංකර් නෙවෙයි.

      Delete
  14. පහුගිය ටිකේ බ්ලොග් එක පැත්තේ වැඩිය එන්න ලබුනෙ නැති නිසා මුල් කොටස් දෙකත් එක්කම අද කියෙව්වා.

    වටින ලිපි පෙලක් අලුත් දේවල් ගොඩක් දැන ගත්තා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි තුශානි.

      Delete
  15. නියමයි විචාරක තුමා .. ඔය කියන යුධ උපක්‍රම text book cases විදියට සතුරා ඉගෙනගන්නෙ නැද්ද? එතකොට ඔය වගේ උපක්‍රම මාරු කෙරෙන්නෙ නැත්ද? අර රහස් පදය අමතක උනොත් "බාල්දිය කියපිය" කියල තහවුරු කරගන්නත් බැරි කමක් නෑ. හෙහ් හෙහ්..
    නිවැරදි කිරීමක් කරන්න ඕන විචාරක තුමා hull කියල කියන්නෙ යුද්ධ ටැංකියේ ඉදිරි කොටසට නෙවෙයි. පහල කොටසට (ට්‍රැක් ලයින්, එන්ජින්, ඩ්‍රයිවර් ඉන්න පහල කොටස). ඉහල කොටස turret නේද. යුද්ධ ටැංකි බොහෝ වෙලාවට rotating turret තියෙන්නෙ. hull down position කියන්නෙ hull එක යටට බස්සන නිසා වෙන්නැති. පණ්ඩිත කම් කිව්ව කියල හිතන්න එපා ඕන්න...

    ReplyDelete
    Replies
    1. කරුමේ කියන්නේ මේ යුද න්‍යායන් වෙන භාෂා වලින් තියනවා අන්තර්ජාලයේ ඕනේ එකෙකුට නිදහසේ කියවලා ඉගෙනගන්න. සිංහල කියවන එකාට හුළං. එකයි මම මෙහෙමවත් ටිකක් ලියන්නේ.

      හැක්. බාල්දියට වාල්දිය කියන එකනම් ෂුවර් එකට බඩු කවුද කියලා හොයාගන්න ක්‍රමයක්.

      නෑ නෑ, පණ්ඩිත කමක් නෙවෙයි. මම මෙතැනදී හැකි තරම් සරල වෙන්නයි ඉස්සරහ කිව්වේ හරියට වාහනයක වගේ. ඒ කියන්නේ ගමන් කරනකොට ඉස්සරහ පැත්ත කියන තේරුමෙන්. Hide, Hull Down, Turret Down, කියලා position තුනක් තියනවා. මම ඒවා කියන්න ගියේ නැහැ.

      Delete
    2. විචාරක තුමා,, ලංකාවේ තියෙන්නෙ මොන මොඩල් එකේ ටැංකිද? රුසියානු ටැංකි නැද්ද? මට කව්දෝ කිව්ව ගොඩක් තියෙන්නෙ t55 කියල.

      Delete
  16. සියල්ල කියව්වා ...ඉතා වැදගත් කරුණු දැනගත්තා...

    ReplyDelete
    Replies
    1. ඔබේ දැනුමට යමක් එකතුවීම මට ලොකු සතුටක්.

      Delete
  17. Hi , Sir this is a humble req from me , As a active memeber of the war you must be having ton of stories / experince . would you like to right about them Eg; a story about a operation which you were in how you did it coz what we read in news papares are most of the time not the real deal , Can u think about it ?

    ReplyDelete
    Replies
    1. You are welcome Sir.

      As you can see that I'm keeping my identity hidden for my safety. If I write my battle experience, I am prone to expose my identity.

      Well, let me think again.

      Thank you so much for your comment.

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }