හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

05 January 2016

මඩුවලිගේ.................. මඩුවලිගේ.....................! බුදු අම්මෝ......... මඩුවලිගේ!

pol-cartoon3   හෙහ් හෙහ් හෙහ්, අම්මපා අපේ ජනාධිපතිතුමාගේ කටින්, අර මඩුවල්ග කතාව පිටවුණ දවසේ ඉඳලා, කොච්චර නම්, පත්තර වාර්තා, රූපවාහිනී වාර්තා, කාටූන්, පළවුනාද, පාර්ලිමේන්තුවේ කතාවුනාද, බ්ලොග් ලිපි ලියවුනාද, තවමත් ඉවර නැහැ මගෙ හිතේ. නෑ නෑ ඒකත් හොඳයි. කියවන්න බ්ලොග් ලිපි හිග කාලේ, අඩු ගානේ ජනාධිපතිතුමාට (මහේල සහ සංගාටත්?) පින්සිද්ද වෙන්න, අලුත් මාතෘකාවක් ලැබුණා, අර හක්කෙන් මේ හක්කට මාරු කරමින්, හප හපා සාරය උරාබොන්න.

   අනේ අම්මේ.........මම නම් ඔය මඩුවල්ග දේශපාලනය ගැන නෙවෙයි ඔන්න අද කතාකරන්නේ. ඇත්තම මඩුවල්ගය ගැන. හැබෑටම තමුන්නාන්සේලා ඇත්තම මඩුවල්ගයක් දැකලා තියනවද? නෑ නෑ......පින්තූර වලින් නෙවෙයි, ඇත්තටම. අඩු ගානේ මඩුවා කියන මාලුවාව දැකලා තියනවද?

   ඔව්, මම හිතනවා කීපදෙනෙක් වත් දැකලා ඇති. මම මුලින්ම ඇත්තම මඩු මාළුවකු දැක්කේ, 1987 වර්ෂයේ දී, පුත්තලමට උතුරෙන්, විල්පත්තු අභය භූමියට යාබද, එළුවන්කුලම නමැති ප්‍රදේශයේ සේවය කරද්දියි. ඒ ප්‍රදේශයේ තිබෙනවා, 'ගඟේ වාඩිය' නමැති ධීවර ගම්මානයක්. අන්න ඒ ධීවර ගමේ බෝට්ටුවකින් අල්ලාගෙන ආ මඩුවකු තමයි, මා දැක්කේ. ගඟේ වාඩිය ඉතා සුන්දර ප්‍රදේශයක්.

Screenshot (119)

 කොහේ ගියත් පොඩි කැමරාවක් අරන් යන එක මගේ සිරිතක් නිසා, (හමුදාවෙන් විශ්‍රාම යනතුරු මා අතේ තිබුණේ ඇනලොග් කැමරා පමණයි) එදා දුටු ඒ මඩුවා මෙන්න මේ ආකාරයට මගේ කැමරාවේ සටහන් වුණා. 

Scan_20160104_232315

   මඩුවා කියන්නේ මොකාද? ඇත්තෙන්ම මඩුවා නොගැඹුරු මුහුද ප්‍රියකරන මත්ස්‍යයෙක්. සමූහ වශයෙන් සැරිසරන්නට කැමති, පැතලි සිරුරක් ඇති මඩුවා, කාටිලේජ වලින් සැදුන සිරුරකින් යුක්තවන අතර, මෝරාට නෑදෑකම් කියන මත්ස්‍යයෙක්. කූනිස්සන්, මුහුදු පතුලේ සිටින ගොළුබෙල්ලන්, හන්ගොල්ලන් වැනි සතුන් තමා, මඩුවා ගේ ආහාරය වන්නේ. මඩුවා ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන්නේ, Stingray යනුවෙන්. මේ වචනය ශබ්ද කරන්නේ 'ස්ටින්ග්‍ රේ' කියලයි. මඩු මාළු ආහාරයට ගන්නවා. අපේ රටේ වෙළඳපොලේ, තරමක් විරලයි, මඩු මාළු. 

   මුහුදේ සැරිසරන මඩුවකු මුහුද යටදී පෙනෙන්නේ මෙහෙමයි. 

 

SouthernStingray1
   පේනවා නේද, මේ මත්ස්‍යයාට සිහින් වලිගයක් තියනවා කියලා. ඔන්න ඔය වලිගෙ නේ දැන් මේ අපේ පාර්ලිමේන්තුවට, ජන මාධ්‍යයට, බ්ලොග් අඩවි වලට, එකී මෙකී නොකී සෑම තැනකටම, ඇවිල්ලා තියෙන්නේ. හොඳයි ඔන්න මඩුවා දැක්කා. ඊළඟට මම අහන්නේ, මඩු වල්ගයක් දැකලා තියනවද කියලයි. නෑ නෑ, අල්ලාගෙන ආපු මඩුවකුගේ වල්ගය නෙවෙයි, පහරදීම සඳහා කසයක් මෙන් සකස් කල මඩු වල්ගයක් දැකලා තියනවද? මම දැකලා තියනවා.

   මතකද මම මීට පෙර ලිපියක් ලිව්වා කලා කලාකිරිඤ්ඤය ගැන. අන්න ඒක දැකපු කාලෙදිමයි මම දැක්කේ, වේලපු මඩු වල්ගයක්. ඔව් ඔව්, මම දන්නවා, කටෙන් වචනේ පනිනකොටම තමුන්නාන්සේලා කියයි ඉතින්, වේලපු ලිවගංග ගැන. ඔට්ටුයි ඒකක් දැකලා නැතුවට. බොරු කියන්නේ මොකටද, මමත් දැකලා නැහැ. මමනම් හිතන්නේ, ඒක මේ කියමනට කියනවා විතරයි. ඇත්තටම හදන්නේ නැති දෙයක්. කලාකිරිඤ්ඤයයි මඩු වල්ගයයි දෙකම, අපේ ගෙදරට ගෙනාවේ, අපේ අර මරුමුස් මස්සිනා. ඒ යකා ඒ කාලේ, කරාටි, මරාටි, ගුජරාටි, මැරෑටි, පාන් වාටි, ඔය ඔක්කොම දන්නවා කියලා පොරසිද්දයි. හනේ.... අපේ අක්කා රැවටෙන්න ඇත්තේ එව්වට තමා.

   හොඳින් වේලා පදම් කළ මඩුවලිගයක්, පෙනෙන්නේ මෙන්න මෙහෙමයි.

3

   ඔබට පෙනෙනවා ඇති, මේ මඩු වල්ගයේ ඉහළට නෙරා ඇති බුබුළු මෙන් තිබෙන බව. ඒ බුබුළු ඉතා රළුයි. මා අසා ඇති ආකාරයට, මඩු වල්ගයෙන් පහරදුන් විට, මිනිස් සිරුරේ සම පැලෙන බවත්, විශේෂඥ ප්‍රතිකාර නොකළොත්, සමට යටින් ආසාදනයවී, සුවනොවන ආකාරයේ තුවාල ඇතිවන බවත්, දැනගන්නට ලැබුණා. මඩු වල්ගයෙන්, මහා විශාල පහරක් ගහන්න අවශ්‍ය නැතිලු. සාමාන්‍ය පහරක් ගැහුවත්, තුවාල සිදුවෙනවලු. අම්මෝ.......එහෙම එකකින්ද මේ ගහන්න කියන්නේ?

   අපි පොඩිකාලේ, දඟකාර, නාහෙට අහන්නැති කොල්ලන්ට, (මම බෝ පැලයක්මි) දෙමව්පියෝ වැඩිහිටියෝ බනිනවා, 'මූට ගහන්න ඕනේ මඩු වල්ගෙන්' කියලා. හැබැයි මතක තියාගන්න, විශේෂයෙන්ම මඩු වල්ගෙන් ගහන්න ඕනේ කියලා ඒකාලේ කිව්වේ, අනාචාරයේ හැසිරෙන අයට. අපේ ජනාධිපතිතුමාට ඒක මතක්වෙලා තමයි, අර විදිහට කියන්න ඇත්තේ. 

   මඩු වල්ගය අපේ රටේ සම්පූර්ණයෙන් තහනම් ආයුධයක්. ලෝකයේ බොහෝ රටවලත් එය තහනම් ආයුධයක්. මෙන්න බලන්න මඩු වල්ගයේ රඟ.



   මඩු වල්ගයෙන් ගැහීම වගේම දරුණුයි, මඩු මාළුවාගේ පහරදීම. මඩු මාළුවා, නොගැඹුරු දියේ වැලි අතරේ ලැගලා ඉන්නවා. ඒ වෙලාවට ඌව පැහැදිලිව පෙනෙන්නේ නැහැ. වැලි තලය යට සැඟවිලා ඉන්න නිසා. ඒ වෙලාවට, නොගැඹුරු දියේ ඇවිදින කෙනෙක්, මඩුවාගේ සිරුර මත පය තැබුවොත්, ඌ විදුලි වේගයෙන් උගේ වල්ගයෙන් පහර එල්ල කරනවා. එහිදී සිදුවන්නේ, මඩුවාගේ වල්ගයේ ඇති කටුවක් වැනි කොටස, අපේ සිරුර තුළට කිඳා බැසීමයි. මේ බලන්න.

StingrayBarb-720x360
  මේ ප්‍රහාරය දරුණුයි. වහාම ප්‍රතිකාර ලබාදිය යුතුයි. වචනයෙන් කියන්නට බැරි, මහා වේදනාවක් ඇතිවෙනවා. නිසි ප්‍රතිකාර නොකළොත්, ආසාදනය වී, බරපතළ තත්වයට පත්වෙනවා. මේ බලන්න, තුවාල සිදුවී ඇති ආකාරය, ප්‍රතිකාර කලත්, තවමත් ආසාදිත තත්වයන් පෙන්නුම් කරන ආකාරය.

4

   පුද්ගලයකු මඩුවකුගේ ප්‍රහාරයට ලක්වන හැටි මේ වීඩියෝවෙන් පෙන්නනවා. 



   සෑම වසරකම, ලෝකය පුරා, (විශේෂයෙන් ඝර්ම කළාපීය වෙරල තීර වල) සෑහෙන පිරිසක්, මඩුවාගේ ප්‍රහාරයට ලක්වෙනවා. එවැනි සිදුවීමකට මුහුණදුන් පිරිමි ළමයකු ගැන, මේ කෙටි වීඩියෝවෙන් බලන්න. 



මේ මාතෘකාව ඔස්සේ, දීර්ඝව කරුණු ඉදිරිපත් කළහැකි නමුත්, මා හිතනවා, මේ කරුණු ටික, ඔබේ දැනුම වර්ධයයට ප්‍රමාණවත් කියා. 

2016 ජනවාරි මස 05 වැනි දින 0058 පැය

03 January 2016

පැරණි පෙම්වතියක් අප හැරදා යයි

   පෙම්වතියක් වෙන්වීම ඉවසන්නට බැරි දුකක් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ නේ. මේ පෙම්වතිය ඇත්තටම මට ජීවිතයේදී හමුවුන කෙනෙක් නෙවෙයි. නමුත් ඇය අපේ කාලයේ සදානුස්මරණීය පෙම්වතියක් බව නොකියාම බැහැ. හින්දි සිනමාවේ අතිශයින් ජනප්‍රිය, සුරූපී නිළි, සාධනා, (සාධනා ශිවදාසනී) වසර 74 ක් ආයු වළඳා, පසුගිය දෙසැම්බර් 25 වැනිදා අභාවප්‍රාප්ත වූ බව දැනගත් මොහොතේ, මගේ සිත අතීතයට ඇදීගියේ නිතැතින්මයි. හින්දි චිත්‍රපටි පිස්සුව තදින්ම වැළඳී තිබුණු, 1960 දශකයේ, අපේ සිත් තදින් පැහැරගත් හින්දි සිනමා නිලි රැජිණක් ලෙස, ඇයට අප හදවත්හි හිමිවන්නේ අද්විතීය ස්ථානයක්. මා නම් ඇය හඳුනාගත්තේ 1962 දී නිපදවුණු, එහෙත් 1966 දී පමණ ලංකාවේ තිරගතවුණු, 'අස්ලි නක්ලි' චිත්‍රපටියෙන්. ඒ චිත්‍රපටියේ ඇගේ තරුණ, සුරූපී, පෙම්වත් රංගනය පිලිබඳ හොඳ උදාහරණයක් පහත දැක්වෙන ගීතය. 




   ඇගේ රංගනය ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් අතර තවත් ජනප්‍රිය වන්නට හේතුවූ චිත්‍රපටියක් වුයේ, 1965 දී නිපදවුණු, 1967 දී පමණ ලංකාවේ තිරගතවුණු අර්සු චිත්‍රපටියයි. එම චිත්‍රපටියේ, මෙහි පහත දැක්වෙන ගීතයේ තනුවට අනුව, ජී.එස්.බී.රානි පෙරේරා ගායිකාව විසින්, 'බැඳී ආදරයට මාගේ පිටුපා යාවිද වෙන්වී' යනුවෙන්, ගීතයක් ගායනා කළා. එම ගීතයද පහත දක්වනවා.







ශ්‍රී ලාංකික හින්දි චිත්‍රපටි ප්‍රේක්ෂකයන්ගේ සිත් තුළ සාධනා ගැඹුරින් ලැගුම් ගත්තේ, 1969 දී නිපදවුණු, 1970 දී ලංකාවේ තිරගතවුණු, ඒක් ඵූල් දෝ මාලි චිත්‍රපටියෙනුයි. බලන්න මේ ගීතය ඔබට මතකද කියා.








සාධනාගේ පැරණි පින්තූර කීපයක් පහත දක්වනවා. 



m4LiN3k
sadhana-759















ඉතා මෑතකදී ගත් සාධනාගේ පින්තූරයක් පහත දක්වනවා. 

029326aa-8f05-4052-89ef-35e38c61d85b

   සාධනාගේ අභාවය වෙනුවෙන් සොව පළකරන්නට, තවත් පැරණි, ජනප්‍රිය හින්දි නිලියන් දෙදෙනෙකු පැමිණි අවස්ථාවේදී ගත් ඡායාරූපයක් පහත දක්වන අතර, ඔවුන්ගේ තරුණ කාලයේ පින්තූර, මා එම පින්තූරයටම ඇතුළු කළා. 


ජීවිතය කියන්නේ හමුවීම් සහ වෙන්වීම් ගොඩක් බව අපි හොඳින්ම දන්නවා. නමුත් මෙවැනි ළබැඳි කෙනෙකුගේ වියෝව අපට සංවේගයක් උපදවන බවත් අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. අපේ කාලයේ පෙම්වතියේ ඔබට මෝක්ෂ සුවය ලැබේවා!

2016 ජනවාරි මස 03 වැනි දින 0101 පැය

01 January 2016

2016
අප්පේ....................අලුත් අවුරුදු සුබපැතුම් දෝරේ ගලනවා නේද මේ දවස්වල?

  කියලා වැඩක් නැහැ. විද්‍යුත් තැපෑල, කෙටි පණිවිඩ, දුරකථන ඇමතුම්, සුබපැතුම් පත්, එකී මෙකී නොකී දේවල්, හැටහුටහමාරක් සිද්ද වෙනවා. මට එකවරම මතක් වෙන්නේ, දැනට දශක හතරකට පහකට විතර ඉස්සර, ජනවාරි පළමුවැනිදා ගෙවුණු හැටි පිළිබඳවයි.

  කොහොමද ගෙවුණේ?

 ගෙවුණේ ඉතින් වෙනදා වගේම එච්චර ලොකු විශේෂත්වයක් නැතුවයි. ජනේරුව ඉහළින් සමරුවේ, කතෝලික බැතිමතුන් පමණයි.

   ඒ කියන්නේ තමුසෙලා බුම්මගෙන හිටියා? අල්ලපු ගෙදර මිනිහටවත් විශ් කලේ නැහැ.
  
  අන්න එතන තමයි ළමයෝ පුරස්නේ. ඒ කාලේ ඔය විෂ තිබුණේ නැහැ, ගම්වල ජීවත්වුණු මිනිස්සු අතරේ. අපි සහ අපේ අල්ලපු ගෙදර මිනිහා අතර. ඒකට හේතු කීපයක් තිබුණා. අල්ලපු ගෙවල් කියලා බොහොම ටිකයි තිබුණේ, බොහෝවිට අල්ලපු ගෙදර තිබුණේ, මීටර් 50 ක් 100 ක් හෝ ඊටත් වැඩි දුරින්. ඒ නිසා, විශ් කිරිලි කොහොම වෙතත්;

   අපේ ගෙදර ඉඳුල් වතුර, අල්ලපු ගෙදරට නොවැටෙන්න විසි කරන්න,

   දැන් කාලේ සංදර්ශන වේදිකා වලට විසිකරන අර අහවල් ඒවා, නිදහසේ හෝදලා වැලේ වනන්න,

   හොඳට බුලත්විටක් කාලා කෙලපාරක් ගහන්න,

   ආණ්ඩුවේ පැත්තට හුළං ටිකක් වැඩිපුර වදින්න, සරම ටිකක් උස්සගෙන, මිදුලේ හක්කොලන් කොරන්න,

   කේන්තියක් ආවම මිදුලට බැහැලා බැණ අඬගහන්න,

   හදිසියකදී හොඳ හූවක් කියලා අසල්වැසියන් ගෙන්වාගන්න,

   දැන් වගේ පෙළපාළි වලට 'අඳින්නේ' නැතුව, ඇත්තටම ගොවිතැන් කටයුතු සඳහා අමුඩේ 'ගහන්න',

   අල්ලපු ගෙදර මිනිස්සු 119 ඇමතීමකින් තොරව, සිංහල අවුරුද්දට, ඇති තරම් රතිඤ්ඤා, බීරංග, උණවෙඩි, චීන පටස්, පත්තු කරන්න, (බීරංගය දන්නේ නැති අය, විමසීම යෙහෙකි)

   පුළුවන්කම තිබුණා. 

   ඒ වගේම කොච්චර ඈතින් ගෙවල් තිබුණත්, අපි එකිනෙකා බදාගෙන, බෙදා හදාගෙන හිටියා. කොයි ගෙදරත් ළමයි කාගේත් ළමයි ලෙස සැලකුණා. මට මතකයි, මම රස්තියාදුවේ ගිහින්, මගේ පියාගෙන් ගුටි කෑ අවස්ථා කීපයකදීම, මා රස්තියාදුවේ ගියබව, මගේ පියාට වාර්තා කර තිබුණේ, අපේ අසල්වැසියන්, අපි බඩුගන්න කඩේ මුදලාලි, වැනි අය. නමුත් එළෙස මගේ තත්වයට වැටුණු ළමයි කවුරුවත්, ඒ වැඩිහිටියන් සමන්වන්න ගියේ නැහැ. තරහක් ඇතිවුණත් ටික කාලයයි. ඒ වැඩිහිටියාම, අපිට, 'ඉඳා පුතේ ලොසින්ජරයක්' කියා අපට යමක් දෙනවා. 'මගේ පුතා ආයේ රස්තියාදුවේ යන්ඩ එපා' කියලා කරුණාවෙන් කියනවා, තමන්ගේ ළමයෙකුට වගේ.

   අපි හිතේ හැටියට සුබපැතුවේ සිංහල අවුරුද්දටයි. පටන් ගන්නේ පන්සලෙන් නොවැ. ඊට පස්සේ ගමපුරා කෑම පිඟන් අරන් යනහැටි, නෑ දෑ ගමන් යනහැටි, කියන්න ඕනේ නැහැනේ. කෙලින්ම විශ් එක මූණටම දෙන්න පුළුවන් ඒ නිසා. අද කරන විදිහට, කණ්ඩායම් කෙටි පණිවිඩ, කුට්ටි විද්‍යුත් තැපැල් ගහලා, ඔන්න මම ඔක්කොටම සුබ පැතුවා කියලා හිත හදගන්න පුළුවන්ද? ඇත්තටම පුළුවන්ද? මටනම් බැහැ. ඒ නිසා මම සාමාන්‍යයෙන් මුහුණට හමුවන අයට පමණයි, ජනවාරි පළමුවැනිදාට, සුබ අලුත් අවුරුද්දක් වේවා! කියා කියන්නේ. නමුත් මට එන විද්‍යුත් සුබපැතුම් වලට පිළිතුරු දෙන්නේ, යාලුමිත්‍රකම් රැකගැනීමේ අභිලාෂයෙන් විනා, එහි කිසිදු වැදගත්කමක් ඇති නිසා නොවේ. ජනවාරි පළමුවැනිදා වෙනුවෙන් සුබපැතුම් පත් යැවීමට වඩා මා ප්‍රියකරන්නේ, වෙසක් සුබපතුම්පතක් යැවීමටයි. 

   සිංහල අවුරුද්දට ගෙදර නොඑන, තම විවාහක දරුවන් නිසා සිත්තැවුලට පත්වන වයසක දෙමව්පියන් පිළිබඳ කෙටිකතා, නවකතා, චිත්‍රපටි, ටෙලිනාට්‍ය, කොපමණ බිහිවී ඇද්ද? එම නිර්මාණ බලා, ඒ ප්‍රශ්නය විසඳී ඇද්ද? එය කවදාවත් සම්පූර්ණයෙන් නොවිසඳෙන ප්‍රශ්නයක් බව, මුලින්ම අවබෝධ කරගත් යුත්තේ, අපේ වයසේ ඉන්න වැඩිහිටි පරපුරයි. අපේ වැඩිහිටි පරපුර, වර්තමානයට අනුව හැඩගැහීම අතින් නම්, තවමත් ඉන්නේ බොහොම පසුගාමීවයි.  

   ජනවාරි පළමුවැනිදා උදේ, මත්පැන් ගඳ වහනය වෙමින් ඉන්නට, රතුවූ දෑසින්, බමන මතින් ඉන්නට, මා අතිශයින් අප්‍රිය කරනවා. ඒ නිසා, බොහෝවිට, නොගියොත් මිත්‍රත්වය පළුදුවන තරමේ, දෙසැම්බර් 31 වැනිදා රාත්‍රියේ සාදයකට ඇරයුමක් ලැබුනොත්, මා සෑමවිටම කරන්නේ, බීර ස්වල්පයක් පානය කිරීම පමණයි. ජනවාරි පළමුවැනිදා මට අතිවිශේෂ දවස නොවූවත්, එලෙස සලකන කෙනෙකුට එදින උදේම මා මුණගැහුනොත්, ඔහුගේ/ඇයගේ අප්‍රසාදයට ලක්වන්නට මා කැමති නැහැ.

   'ජනවාරි පළමුවැනිදා අලුත් ආරම්භයක් ගන්නවා' කියන අයගෙන්, සීයට කී දෙනෙක්ද ඒ ආරම්භය, ඒ අවුරුද්ද පුරා පවත්වාගෙන යන්නේ? ඒ නිසා, මා නම් හිතන්නේ, ජනවාරි පළමුවැනිදා, වෙසක් දවස, නත්තල් දවස, වැනි කිසිම ජාතික ආගමික දවසක් අවශ්‍ය නැහැ, ජීවිතයේ අලුත් ආරම්භයක් ගන්නට. සුදුසුම දිනය අද, වෙලාව මේ දැන්, කා එක්කද? කවුරුවත් අවශ්‍ය නැහැ. ඔබට ඉන්නේ ඔබ පමණයි.

   අද්‍යතන ජීවන රටාව තුළ අපේ ජීවිත යාන්ත්‍රීකරණය වීමේ භයානක ප්‍රපාතයකට අපි වැටෙමින් ඉන්නවා කියා ඔබට ඉඳහිටවත් දැනෙන්නේ පෙනෙන්නේ නැද්ද? මෙය වලක්වාගන්නේ කොහොමද? එකම එක විසඳුමයි තියෙන්නේ. එනම්, අප සියලුදෙනාම, අපට  හැකි උපරිමයෙන්, අල්පේච්ඡතාව simplicity වෙත නැඹුරු වීමයි. ඒ තමයි විසඳුම. අල්පේච්ඡතාව, ලොව ආගම් කතුවරුන් බොහොමයක් අනුදැන වදාළ ක්‍රියාමාර්ගයක්. ධනය, බලය, දේපල, වස්තුව, අප සියලුදෙනාට අවශ්‍යයි. නමුත්, එහි සීමාව කොතැනකදැයි සිතා බලන්න. ඒ සීමාව පළමුවද, දෙවනුවද, තුන්වනුවද ඇතිකරගත යුත්තේ, ඔබේ සිත තුළයි.

   සමාජය සමග තරගයට නොගොස්, විවිධ වෙළඳ ප්‍රචාරණ වල ඉලක්ක බවට පත්නොවී, තම ආර්ථිකය කළමනාකරණය කරගන්නට, අසල්වැසියන් කරන කරන දේ, ඉවක් බවක් නැතිව කරන්නට ගොස්, අමාරුවේ නොවැටෙන තත්වයට පත්වන්නට, සමාජ හරයන් ලෙස, අපේ ඔලුවට බලෙන් ඔබ්බවා තිබෙන, බොහෝ ඊනියා චාරිත්‍ර, ඇත්තටම අපට වැඩදායකදැයි නැවත නැවතත් සිතාබලන්නට, ඔබත්, ඔබේ දරුවනුත් යන්නේ යම්කිසි පැහැදිලි ඉලක්කයකටදැයි නැවත සිතාබලන්නට, ස්වාධීන චින්තනය මගින් ජීවිතයේ ස්ථිර අඩිතාලමක් දමාගන්නට, මේ අවුරුද්දේ, මේ දැන් සිට අධිෂ්ඨාන කරගන්නට, ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා!

   ඒ මගේ පැතුමයි. 

2016 ජනවාරි මස 1 වැනි දින 0001 පැය 

29 December 2015

හමුදාවේ දොස්තරලාත් සටනට බසිති

Doctor with a gun
පසුගිය දිනවල, රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය, එක යුද්ධයක් දිනුවා නේද? දැන් ආයෙත් යුද්ධ ප්‍රකාශ කරලා තිබුණ බව, ඊයේ රූපවාහිනියෙන් දැක්කා. අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. අම්මපා දොස්තර මහත්තුරු 'ඉස්ටැයික්' කොරන, ලෝකයේ එකම රට, අපේ රටද මන්දා. මම මේ ඊයේ පෙරේදා, මොකක්හරි තැනක කියෙව්වා, ලෝකයේ එක්තරා රටක, නේස් මිසීලා ඉස්ටැයික් කලොත්, ලෙඩ්ඩුන්ට කරදර නිසා, ඒ රටේ පතල් කම්කරුවෝ වැඩ වර්ජනය කරාලු, මිසීලා වෙනුවෙන්. අම්මපා අපිටත් බැරිද, වින්නඹු මාතාවන්ගේ අයිවාසිකම් වෙනුවෙන්, ගර්භනී මාතාවන්ගේ ඉස්ටැයික් එකක් කොරන්න, අපි වදන්නේ නෑ කියලා. එහෙම නැත්නම්, ලෙඩ්ඩුන්ට බැරිද, දොස්තර මහත්තුරුන්ගේ ඉල්ලීම් දෙනතුරු අපි බෙහෙත් බොන්නේ නෑ, කියලා ඉස්ටැයික් කොරන්න. එහෙමත් නැත්නම්, අපිව මෝචරියට දැම්මත් මැරෙන්නේ නෑ කියලා. අනේ මන්දා අප්පා, මෙව්වට මොනවා කියන්නද කියලා. සාමාන්‍ය දොස්තරලා යුද්ද ප්‍රකාශ කරනවා වගේ නෙවෙයි, හමුදාවේ දොස්තරලා, යුද්දේ කිව්වොත් යුද්දේම තමයි ආයේ දෙකක් නෑ.

   අනේ මේ, ඔය ඉස්ටැයික් යුද්ද විසඳගන්න වැඩේ ආණ්ඩුවටයි දොස්තර මහත්තුරුන්ටයි බාරදීලා, අපි වෙන වැදගත් දෙයක් කතාකරමු. අද මා ඔබ සමග සාකච්ඡා කරන්නේ, යුද්දෙට යන සෙබළෙකුට (සෑම යුද හමුදා සාමාජිකයකුටම) ලැබෙන වෛද්‍යාධාර මොනවගේද කියන එකයි. දැන් මීට කලින් ඔබ ඉගෙනගත්තානේ, යුද්ධයක් හරියට කරන්න නම් පරිපාලන ක්‍රියාවලියකුත් තියනවා කියලා. ඒ වගේම ඔබ දන්නවා, යුද්ධයකදී තුවාල සිදුවන හමුදා සාමාජිකයන්, නොපමාව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකළයුතු බව. එයට හේතුව, යුද්ධයේදී බොහෝවිට සිදුවන්නේ, පතරොම්, බෝම්බ, වැනි දේ වලින් ඇතිවන, භයානක තුවාල නිසා.

   මේ ආකාරයට තුවාල සිදුවන/මියයන අයවලුන්, යුදබිමෙන් ඉවත්කරගැනීම හඳුන්වන්නේ, 'තුවාලකරුවන් ඉවත්කරගැනීම - Casualty Evacuation = CASEVAC' 'කැසිවැක්' යනුවෙන්. තමන්ට යුද්ධයේදී තුවාල සිදුවුණොත්, ඒ සඳහා ක්‍ෂණික වෛද්‍යාධාර ලැබෙන බවට සහතිකයක් නැත්නම්, සෙබළකු යුද්ධයේදී කැපවීමෙන් සටන් කරන්න මැළිවෙනවා. මේ නිසා, ලෝකය පුරාම, සෑම යුද හමුදාවකම, තුවාලකරුවන් ඉවත්කරගැනීමේ පිළිවෙතක් ක්‍රියාත්මක වෙනවා. මෙය වෙනමම ස්වාධීන ක්‍රියාවලියක් ලෙසයි සිදුවන්නේ.

   හොඳයි, ඉතින් කොහොමද මේ ක්‍රියාවලිය සිදුවෙන්නේ? හමුදාවේ දොස්තර මහත්තුරු යුද පෙරමුණටම යනවද?

   නැහැ නැහැ. වෛද්‍යවරයෙක් සටන සිදුවන ස්ථානයේ ආසන්නයට යවන්නේ නැහැ. එයට හේතු කීපයක් තියනවා. පළමුවැනි හේතුව තමයි, සටන සිදුවන ආසන්නයේ සිට, මොනම ආකාරයකින්වත් වෛද්‍ය ප්‍රතිකාර දෙන්න බැහැ. කොයි මොහොතේ සතුරු මෝටාර්/කාලතුවක්කු/මල්ටි බැරල් රොකට්/යුද ටැංකි/ගුවන්/ ප්‍රහාරයක් එල්ල වෙයිද කියන්න බැහැ. ඒ නිසා, වෛද්‍යවරයකු සටන් පෙරමුණ අසළටම යවා, ඔහුගේ ජීවීතය හානිවුණොත්,  එය අපරාධයක්.

   ඒ වගේම වෛද්‍ය උපකරණ උස්සාගෙන, සටන් පෙරමුණට පසුපසින්, තැනින් තැන යන්න බැහැ. එහෙම කලොත්, ඒ වෛද්‍ය කණ්ඩායමේ ආරක්ෂාවට, වෙනම සෙබළුන් යොදවන්න වෙනවා. ඒ සඳහා යොදවන්න වෙන්නේ, පාබල සෙබළු. ඒ කියන්නේ, පෙරමුණේ සටන් කරන්න ඉන්න සෙබළු. සංග්‍රාමයේදී, භටපිරිස් කළමනාකරණය අතින් බැලුවම, (ඔව්, සාමාන්‍ය ව්‍යවහාරයේ, personnel administration ම තමා. කරන ක්‍රමය විතරයි වෙනස්) එය විශාල පාඩුවක්.

   එහෙනම් ඉතින්, සටන් පෙරමුණේ ඉන්න සෙබලා අනාථයි නේ. මිනිහට මොකුත් උදව්වක් නැහැනේ, තුවාල වුණාම.

   නැහැ නැහැ, එහෙම හිතන්න එපා. මම කියන්නම් පියවරෙන් පියවර, මොකද වෙන්නේ කියලා. එතකොට වැටහෙයි.
  
   සෑම පාබල බලඇණියකම, සෑම කණ්ඩායමකම, ඉන්නවා ප්‍රථමාධාර පිලිබඳ විශේෂ පුහුණුවක් ලද සෙබළුන් පිරිසක්. ඔවුන් ඒ කාර්යයේ යෙදෙන්නේ, වෛද්‍ය බලකාය විසින් පවත්වන, විශේෂ පුහුණු පාඨමාලාවක් හදාරා, සමත්වීමෙන් පසුවයි. (මේ, ඔන්න ඉතින්, බලඇණිය, බලකාය, කණ්ඩායම, කියන්නේ මොකක්ද කියලා, දැන් අහන්න එපා) සටනේදී තුවාලවන තමන්ගේ සහෝදර සෙබළුන්, එම ස්ථානයෙන් ඉවත්කරගැනීමේ මූලික ක්‍රියාව කරන්නේ මෙන්න මේ පිරිස විසින්. ඔවුන් ඒ ක්‍රියාවේ යෙදෙන්නේ සටන් කරන ගමන්. නමුත්, ඔවුනුත් තුවාල සිදුවන මියයන අවස්ථා තිබෙනවා. සටනේ යෙදෙන සෑම සෙබලාම දන්නවා, කැසිවැක් කරන හැටි. ඒ නිසා, විශේෂඥ පුහුණුවක් නැතත්, මූලික කොටස කෙරෙනවා.

   අපි කවුරුත් දන්නවා තුවාලකරුවකුට ලබාදියයුතු මූලික පහසුකම්. ලේ ගැලීම නැවත්වීම, ස්වසනය පහසු කිරීම වැනි දේවල්. යුද බිමේදී මීට වඩා අභියෝගය වැඩියි. තුවාලකරුවන් වහාම ඉවත් නොකලොත් තවත් ප්‍රහාර එල්ලවී තත්වය බරපතළ වන්නට පුළුවන්. තුවාල ලබා ඉදිරි භූමියේ වැටී සිටින තම සගයන් බේරාගැනීම සඳහා ගිය සෙබළුන්, සතුරු ප්‍රහාරයට ලක්වී මියගිය අවස්ථා මෙන්ම, එසේ මියගිය අයගේ සිරුරු, අපට ගන්නට නොදී, දිනයක් දෙකක්, ඒ ස්ථානයට නොකඩවා ප්‍රහාර එල්ලවූ අවස්ථා පවා, අපි LTTE යුද්ධයේදී අත්වින්දා. ඒවා මතක් කරන්න මම කැමති නැහැ. හිතලා බලන්න, යුද සෙබලා කරන්නේ, රැකියාවක්ද සේවයක් ද කියන එක.

   මුලින්ම කරන්න ඕනේ ලේ නවත්වන එකනේ. ඒ සඳහා යෙදිය හැකි සැරහුම්, සෑම සෙබලකුගේම පිටේ එල්ලාගෙන යන මල්ලේ තිබෙනවා. ඒවා හඳුන්වන්නේ ක්‍ෂේත්‍ර සැරහුම් - Field Dressings යනුවෙන්. මේ තියෙන්නේ ඒවා. 


FD 1


   සැරහුම සහිත පැකට්ටුවේ ඉදිරිපස පෙනුම තමා, වම්පැත්තේ කෙළවරේ තියෙන්නේ. මැද තියෙන්නේ, පැකට්ටුවේ පසුපස, පාවිච්චි කිරීමේ උපදෙස් සඳහන්ව ඇති ආකාරය. දකුණු කෙළවරේ තියෙන්නේ, එළියට ගත්තාම, සැරහුම පෙනෙන ආකාරය. මේ සැරහුමේ ඇති ඇදෙනසුළු බව නිසා, ලේ ගැලීම නවතින ලෙස බඳින්න පුළුවන්.  

   හොඳයි, ඔන්න මූලික ප්‍රතිකර්මය (ප්‍රතිකාරය නොවේ) කළා. ඊළඟට ගෙනියන්නේ කා ළඟටද? සටන් පෙරමුණට ආසන්නයෙන් තිබෙනවා, වෛද්‍ය සැරහුම් ස්ථානය  කියලා එකක්. Medical Dressing Station = MDS මෙය ක්‍ෂේත්‍ර සැරහුම් ස්ථානය යනුවෙනුත් හඳුන්වනවා.  Field Dressing Station = FDS කාලීනව ඒ ස්ථානයෙන් කෙරෙන සේවාවන්හි තත්වය අනුව තමයි, මේ නම් දෙකෙන් අදාළ නම යෙදෙන්නේ. අපේ රටේ සාමාන්‍යයෙන් MDS එකක් හෝ FDS යොදවන්නේ බලසේනාවකට Brigede එකක් වශයෙන්. මෙය යුද භූමියේ පසුපස, ආරක්‍ෂිත ස්ථානයක, තාවකාලිකව අටවාගනු ලබන කූඩාරම් වලයි, සකස්කරගන්නේ. එයට හේතුව, අවශ්‍යතාව පරිදි, ක්‍ෂණිකව තවත් ස්ථානයකට ගෙනයාමේ පහසුව සඳහා. මෙය, සම්පූර්ණයෙන්ම වෛද්‍ය බලකායට අයත් කඳවුරක්. පොතේ හැටියට නම්, මෙහි ආරක්‍ෂක මුරයත්, වෛද්‍ය බලකායෙන්ම කරන්න ඕනේ. නමුත්, අපේ රටේ වෛද්‍ය සෙබළුන් ඉන්නේ සීමිත ප්‍රමාණයක් නිසා, මෙහි ආරක්ෂාව සඳහා පාබල සෙබළුන් යොදවනවා.  පහුගිය යුද්ධ කාලේ සමහර අවස්ථා වලදී, වෛද්‍ය වරුන්, මේ ස්ථාන වලට ගොස්, දැඩි අවදානමකට මුහුණ දෙමින්, තුවාලකරුවන්ව ගස්යට තබාගෙන පවා, මූලික ප්‍රතිකාර කළා. 

   MDS එකක ඉන්නේ මොනවගේ කාර්ය මණ්ඩලයක්ද?

  • හදිසි, සාමාන්‍ය ශල්‍යකර්ම කිරීමට දැනුම හා අත්දැකීම් ඇති, MBBS සුදුසුකම් ලත් වෛද්‍ය වරයෙක් හෝ දෙදෙනෙක්.
  • හෙද නිලධාරීන් කීප දෙනෙක්.
  • වෛද්‍ය සහායකයන් කීප දෙනෙක්.
  • ගිලන් මැසි stretcher රැගෙන යන්නන් දහ පහළොවක්.   
  • මේ මධ්‍යස්ථානයේ ආරක්‍ෂක මුරය අණදෙන, අධිකාරි ලත් නිලධාරියකු Commissioned Officer හෝ Senior Non Commissioned Officer =SNCO සිටිය යුතුයි. (පොතේ හැටියට මොහු වෛද්‍ය බලකායේ කෙනෙකු වියයුතුයි)
  • තුවාලකරුවන් සහ කාර්යමණ්ඩලයේ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ප්‍රවාහන අංශයක්, අදාළ වාහන සමග සූදානම්ව තිබිය යුතුයි.
  • තුවාලකරුවන්ගේ වර්ගීකරණය (පහත දක්වා ඇත) සහ හිසට තුවාල සිදුවීම්, බිම්බෝම්බ වලට අසුවීම්, මෝටාර්, කාලතුවක්කු, රොකට් වෙඩි වලින් පහරකෑමට ලක්වීම් ආදී වශයෙන්. වර්ග කිරීමේ අංශයක්. මෙය ප්‍රධාන ශාඛාව G Staff (General Staff) අයත් කාර්යයක්. ඊට අමතරව ගුවනින් තුවාලකරුවන් ප්‍රවාහනය සම්බන්ධීකරණය, ඇතුළත් කෙරුණු සහ පිටත් කර යැවුණු තුවාලකරුවන් පිළිබඳව, සියලු තොරතුරු ඇතුළත් වාර්තා තබාගැනීම. 
  • සියලුම භටකාර්ය සම්පාදන ක්‍රියා සඳහා පාලන ශාඛාවක්. A Staff (Administration and Logistics Staff) (උදා; තුවාලකරුගේ සිරුරට සවිකර, ඊළඟ ඉහළ රෝහල වෙත යවන, ස්වසන උපකරණ වැනි දේ ප්‍රමාණවත්ව තබාගැනීම) 
  • යුද හමුදා පොලීසිය (හමුදා නීතිය අනුව සියල්ල සිදුවේදැයි නිරීක්ෂණය, අක්‍රමිකතා වැලැක්වීම, වාහන පාලනය) 
   MDS/FDS එකේ දී තවත් වැදගත් ක්‍රියාවක් සිදුකරනවා. ඒ තමයි, තුවාලවල ස්වභාවය අනුව, තුවාලකරුවන් වර්ගීකරණය කිරීම. හිසට පපුවට සිදුවන තුවාල බරපතළ තුවාල ලෙස සළකනවා. එවැනි තුවලකරුවන්ව, ප්‍රමුඛත්වය 1 - priority 1 = P 1 ලෙස වර්ග කරනවා. ඉන්පසු තිබෙන තුවාල අනුව, අනෙකුත් තුවාලකරුවන්, P 2 සහ P 3 ලෙස වර්ග කරනවා. මේවා කරන්නේ ඒ සඳහා දැනුම සහ පුහුණුව තිබෙන අය විසින්. MDS/FDS වල තුවාලකරුවන් හැකිතරම් අවම වෙලාවක් රඳවා තබාගන්නට සියලු උත්සාහ දරනවා. 

   මේ තැන්වල හදිසි අවශ්‍යතා අනුව ක්‍ෂේත්‍ර ශල්‍ය කණ්ඩායම් Field Surgical Team = FST ගෙන්වාගන්න පුළුවන්. ඔවුන් විශේෂඥ පුහුණු ශල්‍ය වෛද්‍යවරුන්ද සහිත, ජංගම කණ්ඩායමක්.


FDS

   මොකක්ද ඊළඟ වෛද්‍ය මධ්‍යස්ථානය?

  එතන හඳුන්වන්නේ, Advance Dressing Station = ADS යනුවෙන්. ADS එකට එන තුවාලකරුවන්ගේ වර්ගීකරණය අනුව ඔවුන්ට ප්‍රතිකාර ලබාදෙනවා. P 1 අයට ප්‍රතිකාර ලබාදෙන්න බැරිනම්, ඊළඟ ඉහල ස්ථානයට හෝ කෙලින්ම හමුදා රෝහලට හෝ කලින් සූදානම් කර තිබෙන රජයේ රෝහලට හෝ යවනවා. FDS එකෙන් P 2 හෝ P 3 වර්ගීකරණය ලබා එන කෙනෙක්, අතරමගදී තත්වය උත්සන්න වී P 1 තත්වයට එන්න පුළුවන්.

   කියන්න ලැජ්ජයි, සමහර අවස්ථා වලදී, තුවාලකරුවන් දාගෙන එන්න වුණේ, ට්‍රැක්ටර් ට්‍රේලර් වල. එහෙම ගේනකොට මගදී මැරෙන එක අහන්නත් දෙයක්ද? අපි කොච්චර ඇඬුවත්, කිව්වත්, වාහන ලැබුනේ නැහැ. ඒ කාලේ ඔය, මගේ යුද්ධය කියලා මහා ලොකු පොත් ලියාගෙන, කයිය ගහන උන්නැහේලා, තුවාලකරුවන් ගෙනෙන්නේ කොහොමද කියලා, හොයලා බැලුවේ බොහොම අඩුවෙන්. (bloody spectacle viper = BSV)

   ඊටපස්සේ මොකද වෙන්නේ?

   මීළඟට තුවාලකරුවන් යැවෙන්නේ හමුදා මූලික රෝහල් වෙතයි. Army Base Hospital = ABH කොළඹ, පනාගොඩ, අනුරාධපුර, පලාලි, යන ස්ථානවල, හමුදා මූලික රෝහල් තිබෙනවා. මීට අමතරව හමුදා අයවලුන්ගේ හදිසි ප්‍රතිකාර සඳහා, රජයේ රෝහල්වල වෙනම වෙන්කළ අංශ තිබෙනවා. ඔබෙන් සමහර අය දන්නවා ඇති, යුද්ද කාලේ, පොලොන්නරුව, අනුරාධපුර, අම්පාර, ශ්‍රී ජයවර්ධනපුර, වැනි රජයේ රෝහල්වල, එවැනි අංශ ක්‍රියාත්මක වුණා.

   ඉතා සංකීර්ණ ක්‍රියාවලියකින්, අංශු මාත්‍රයක් තමා, මේ සඳහන් කළේ.  යුද හමුදාව සප්ත මහා සාගරය වගේ කියලා මා මීට පෙර කියා තිබෙන්නේ එනිසයි. මේ තොරතුරු ඔබට කියන්නේ, සමහර අය තුළ හමුදාව පිළිබඳව ඇති දුර්මත දුරු කරන්නයි.

   ඉතින් ඔන්න ඔහොමයි, හමුදාවේ දොස්තරවරු සටනට බහින්නේ. යුද්ධ කාලෙක එයාලත් කාර් පර්මිට් ඉල්ලලා වැඩ වර්ජනයක් කළොත්............?

2015 දෙසැම්බර් මස 28 වැනි දින 2213 පැය 

18 December 2015

'ටැෆායි' සහ ලංකාව - ඉන්දියාව යා කිරීම

'රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ' කියලා, ප්‍රියා සූර්යසේන කියනවා. අපේ කාලයේ සුන්දර මතකයන් අවදිකරවන ගීතයක් එය. ඒ වුණාට අද කාලේ, රටකින් රටකට ඉගිලෙන එක සුළුදෙයක්. තමන්ගේ මව් රට සදහටම හැරදමා, වෙනත් රටකට ඉගිලෙන ලෝ වැසියන්, එක අවුරුද්දකට ලක්ෂ කීයක් ඇද්ද? මේ අඩවිය කියවන කී දෙනෙක් ඇද්ද, එහෙම සදහටම මව්රට හැරදා ගිය අය. නන්දා මාලනී 'සරුංගලේ වරල් සැලේ' ගීතය කිව්වේ, ඒ වගේ අයට නේද? ඇත්තටම මිනිස්සු මෙහෙම කාලෙන් කාලෙට, රටකින් රටකට යන්නේ ඇයි? විවිධ හේතු තියනවා නේ? තමන්ගේ රටේ තියන ප්‍රශ්න, තමන්ගේ පෞද්ගලික ප්‍රශ්න, ජීවිතයේ දියුණුව සොයාගැනීම, තව කොච්චරනම් හේතු තියනවද. හොඳයි, ඒ කතාව එතනින් නවත්තලා, අද කතාවට බහිමුකො.

   ඔබ අතරින් කීපදෙනෙකු හෝ, 'ටැෆායි' කියන වචනය අසා තිබෙනවා ඇතැයි, මා සිතනවා. ඇත්තටම මෙය, ඉංග්‍රීසි වාක්‍යයක මුලකුරු යොදා සැකසූ, කෙටි යෙදුමක්. (Acronym) මේ වචනය, 1960 දශකයේ සිට, 1980 දශකය ආරම්භ වන කාලය දක්වා, ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා මෙන්ම, ඉංග්‍රීසි මාධ්‍ය භාවිත කළ අය, හොඳින් දැනසිටියා. මෙහි සම්පූර්ණ යෙදුම වන්නේ, Task Force Anti Illicit Immigration = TFAII යන්නයි. උච්ඡාරණය පහසු වෙන්න තමයි, 'ටැෆායි' කියලා හදාගෙන තියෙන්නේ. මේ හමුදාව ක්‍රියාත්මක තත්වයෙන් හිටියේ 1961 - 1981 කාලයේ. 

   මේ හමුදාව හැදුවේ මොකටද? කවුද ඒ හමුදාවේ හිටියේ? ඔවුන් මොකද කළේ? අද ඒ හමුදාව තියනවද නැද්ද? ඉතා දීර්ඝ විස්තරයක් කෙටිකර කියනවානම්, මේ විශේෂ ආරක්ෂක අංශය හැදුවේ, ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවම එකතු කරලා. නමුත් ඒ කාලයේ (1960 දශකයේ) ගුවන් හමුදාව මේ සඳහා දායකත්වය දැක්වූයේ සීමාසහිතවයි. එයට හේතුව, අදමෙන්, අපේ ගුවන් හමුදාව, එදා දියුණු තත්වයේ නොතිබීමයි. ඉතින් මොකටද මේ වගේ හමුදාවක් හැදුවේ? මෙන්න මේකයි හේතුව.

   ඒ කාලයේ අපේ රටට දකුණු ඉන්දියාවෙන් අනවසර සංක්‍රමණිකයන් පැමිණීම මහත් හිසරදයක් වුණා. ඔවුන් රාත්‍රී කාලයේදී, බෝට්ටු මගින් මෙන්ම, දවල් කාලයේදී, ලංකාවේ උතුරු වෙරළෙන් මුහුදු යන ධීවර යාත්‍රා වෙත, බෝට්ටු මගින් පැමිණ, මුදල් ගෙවා මාරුවී පැමිණෙන බවත්, සමහරු, ගමනේ හරි මැද හෝ හතරෙන් තුනක් පමණ බෝට්ටුවකින් පැමිණ, ඉතිරි ටික පිහිනා පැමිණෙන බවත්, ඒ කාලයේ අපි, පුවත්පත් වාර්තාවලින් දුටු අතර, ගුවන්විදුලි ප්‍රවෘත්ති ප්‍රචාර වලින්ද ඇසුවා.

   ඉතින් ඒ වැඩේ නවත්තන්න බැරිවුණා ද? සෑහෙන්න හොඳට නැවැත්තුවා. අන්න ඒ වැඩේ නවත්තන්න තමයි, ත්‍රිවිධ හමුදාව ටැෆායි රාජකාරිවල යෙදුවේ. ඔවුන්, වෙරළාරක්‍ෂක බලකායක් මෙන්ම, මුහුදු සීමා ආරක්‍ෂක බලකායක් වශයෙනුත්, සේවය කළා. ගුවන් හමුදාව, ගුවනින් නිරීක්ෂණ කටයුතුවල යෙදුණා. මේ නිසා, ඉතා සාර්ථක ලෙස, හොරවැසියන් පැමිණීම මර්දනය කරන්නට හැකිවුණා. යුද හමුදාවේ නිත්‍ය/ස්වේච්ඡා විවිධ රෙජිමේන්තු, මාරුවෙන් මාරුවට මේ රාජකාරි සඳහා යොදවනු ලැබුවා.

   මුහුදු සීමා ආරක්‍ෂාව පැවරුනේ නාවික හමුදාවටයි. ඔබට මතකද, බඹරු ඇවිත් චිත්‍රපටිය? 1978 දී තිරගතවූ ඒ චිත්‍රපටියේ පෙන්වනවා, කල්පිටිය ප්‍රදේශයට ඉහළින් ඇති, බත්තලන්ගුන්ඩුව වැනි ප්‍රදේශවල ජනජීවිතය. එහිදී, පොලීසියට අයත් රාජකාරි කරන්නේ, නාවික හමුදාව. එයට හේතුව, ඒ කාලයේ ටැෆායි රාජකාරි යටතේ, පොලිස් රාජකාරිත්, නාවික හමුදාවට පැවරී තිබීමයි. ඒ කාලයේ එහෙ පොලීසි තිබුණේ නැහැ.

   ටැෆායි රාජකාරි හෙවත් TFAII duties ගැන, බොහොම රසවත් කතා, ඒ කාලේ හමුදා සේවයේ යෙදී සිටිය අය කියනවා. ටැෆායි රාජකාරිවල යෙදුන අයගෙන් කවුරුවත්, අද නම් ත්‍රිවිධ හමුදා සේවයේ නැහැ. විශ්‍රාම ගිහින්. නමුත්, අපි හමුදාවට ගිය මුල් කාලයේ, එවැනි අය හිටියා. ඔවුන්ගේ සමහර කතා වලට, බඩ අල්ලාගෙන හිනා යනවා. ඒ කාලයේ, යුද හමුදාවට දී තිබුණු ප්‍රධාන අවිය වුණේ, .303 ලී එන්ෆීල්ඩ් රයිෆලයයි. ඒ කාලේ, රාත්‍රී මුර සංචාරයකදී වුණත්, ඒ රයිෆලයක් දෙන්නේ, දෙදෙනෙකු මුර සංචාරයේ යනකොට එක අයකුට පමණයිලු. (කොහොමද වැඩේ? දෙන්නයි යන්නේ) ඒ වගේම, මුර සංචාරයේ යනවිටවත්, ඔවුන් රයිෆලයට පතරොම් දමන්නේ නැතිලු. පතරොම් නැතිවෙයි කියන බයට, පතරොම් සහිත චාජර් එක, එක්කෙනෙකුගේ නිළ ඇඳුමේ උඩ සාක්කුවක දමා, හැට්ට කටුවකුත් ගහනවාලු, හැලෙයි කියන බයට. නැතිවුණොත් ගස් තමයි. :D රයිෆලය තියෙන්නේ අනික් එක්කෙනාගේ  අතේලු.

   ඒ වගේම, මුර සංචාරයේ යෙදෙන නාවික බෝට්ටු වලත්, තුවක්කු දෙකකට වඩා ගෙනියන්නේ නැතිලු, නැතිවෙයි කියන බයට. එක තුවක්කුවක් දික්කලාම, හොරවැසි බෝට්ටු යටත් වෙනවලු. (හොරවැසියන් දන්නේ නැහැනේ, තුවක්කුවට පතරොම් දාලද නැද්ද කියලා) යුද හමුදාවේ අයවත් දාගෙන, 'මාළු ඇල්ලීමේ මුර සංචාර' වලත් දෙනවලු. ඒක තමයි, අයියලා එව්වා කරන අතරේ, හොරවැසියෝ එකසිය ගාණට මෙහාට පනින්න ඇති. 1981 න් පස්සේ, අපේ රටේ තත්වය මොකක්ද කියලා, කියන්න අවශ්‍ය නැහැනේ. හොරවැසියන් පැමිණීම, නැත්තටම නැතිවන තරමට අඩුවුණා. උතුරේ ත්‍රස්තවාදය හිස එසෙව්වා. ඒ නිසා, ත්‍රිවිධ හමුදාවම වඩාත් ශක්තිමත් සහ සංවිධානාත්මක තත්වයට ගන්නට සිදුවුණා. ටැෆායි රාජකාරි නැවතුණා. 

   මේ අය මෙහෙම ආවේ ඇයි? අද නම් ඉන්දියාවේ ජීවත්වීම පහසුයි. අපේ රටට වඩා එහි ජීවන වියදම සාපේක්ෂව අඩුයි. නමුත් ඒකාලයේ තිබුණේ එහි අනික් පැත්ත. ඉන්දියාවේ ජීවන වියදමට වඩා, ලංකාවේ ජීවන වියදම අඩුයි. ඒ නිසයි දකුණු ඉන්දියානු මිනිසුන් අපේ රටට පැන ආවේ. මේගොල්ලෝ මොනවා කරලද මෙහෙ ජීවත්වුණේ? අපොයි ගොඩක් දේවල් කළා.

   බෝතල් පත්තර එකතුකර විකිණීම තමයි, ප්‍රධාන වශයෙන් කළේ. ඊට අමතරව ද්‍රවිඩ ජනතාව වැඩියෙන් පදිංචි ප්‍රදේශවල, විවිධ ආකාරයේ කුලීවැඩ කළා. පිටකොටුවේ තොග වෙළඳසල් වල මුට්ට කරගැහුවා. ටිකක් කල් යනකොට, මේ අයගෙන් කොටසක්, ව්‍යාපාරිකයන් වශයෙන් දියුණු වුණා. ලංකාවේ පුරවැසි භාවය තිබෙන, ද්‍රවිඩ ජාතික කාන්තාවන් සමග විවාහ වුනා. තමන්ගේ පරපුරේ තවත් අය, හොරෙන්ම ගෙන්නාගත්තා ඉන්දියාවෙන්.

   මේ තත්වය, ලංකාව තුළ, ජනවාර්ගික අර්බුදයක් ඇතිකිරීමට තරම් බලවත් වන බව, එකල පාර්ලිමේන්තුවේදී පවා කියවුණා. මේ ගැන, ජනප්‍රිය ගායක ඇන්ටන් ජෝන්ස්, ඒ කාලේ ගීතයක් ගායනා කළා, 'අල්ලගන්න මෙන්න එනව කල්ලතෝනිලා' යනුවෙන්. එම ගීතය, අද අහන්න බොහොම දුර්ලභයි. ඒ ගීතයේ පදමාලාව, මානව හිමිකම් අතින් බලන කල, අදට නොගැලපෙන නිසා දෝ, දැන් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ (අද ඉන්න සමහර මාධ්‍ය කුක්කන්/කික්කියන් කියන විදිහට, මාධ්‍ය හරහා නෙවෙයි)  අද ප්‍රචාරය වන්නේ නැහැ. අනුෂ් හෙට්ටිආරච්චි නම් සංගීත රසිකයෙක්, එම ගීතය සංරක්‍ෂණය කරනු වස්, අන්තර්ජාලයට එකතුකොට තිබෙනවා. මේ තිබෙන්නේ එම ගීතයයි. 





ද්‍රවිඩ භාෂාවෙන් කල්ලතෝනි කියන්නේ, 'හොරවැසියා' කියන තේරුම කියා, මා අසා තිබෙනවා. ඒ කාලයේ දකුණේ සිංහල ජනතාවට, යම්කිසි ද්‍රවිඩ ජාතිකයකු ගැන සැකයක් ඇතිවුණොත්, 'කොහෙද යන කල්ලතෝනියෙක්, මේකා කල්ලතෝනියෙක්ද කොහෙද, අර මිනිහා බැඳලා ඉන්න ගෑණි කල්ලතෝනිද මන්දා, මොකට යනවද ඔය කල්ලතෝනිත් එක්ක ගනුදෙනු කරන්න',  වැනි යෙදුම් පාවිච්චි කළා.

   මතක නේද අර, 'බෝතාල් පත්තරේයි' ගීතය. අන්න ඒ ගීතයත්, මේ හොරවැසි කතාව පදනම් කරගනිමින්, නිර්මාණය වුවක්. මේ ගීතයට පාත්‍රවන පුද්ගලයා, මුලින් බෝතල් පත්තර රස්සාවේ යෙදී දියුණු වී, මඩකලපුවේ කඩයක් දාගෙන සිටියදී තමයි,  ජනවාර්ගික යුද්ධය ඇවිලී තිබෙන්නේ. එයින් සියල්ල විනාශවූ ඔහු, යළිත් තමන් මුල් යුගයේ කළ, බෝතල් පත්තර එකතුකර විකිණීමේ රස්සාවට බහිනවා. මේ තියෙන්නේ ඒ ගීතය.




 මේ ගීත, ප්‍රබුද්ධ සාහිත්‍ය නිර්මාණ නොවුනත්, අතීත සමාජමය තොරතුරු කියනවා. 

   උඩරට වතුකරයේ, ඒ වනවිටත්, බ්‍රිතාන්‍ය පාලන සමයේ කම්කරුවන් ලෙස ගෙන්වාගත්, ද්‍රවිඩ ජාතික පවුල් සෑහෙන සංඛ්‍යාවක් හිටියා. ඔවුන්ට මේ රටේ පුරවැසිකම තිබුනේ නැහැ. පසුකාලීනව වරින්වර පුරවැසිකම ප්‍රදානය කළා කොටසකට. නමුත් තවත් සෑහෙන පිරිසක් සිටි නිසා, එවකට ලංකාවේ අගමැතිණි,  සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිතුමිය විසින්, එවකට, ඉන්දීය අගමැති ලාල් බහදුර් ශාස්ත්‍රී මැතිතුමා සමග ඇතිකරගත් 'සිරිමා - ශාස්ත්‍රී ගිවිසුම' මගින්, පුරවැසි භාවය නොලබා මෙරට සිටි ද්‍රවිඩ ජාතික පවුල්, අති විශාල සංඛ්‍යාවක්, ආපසු ඉන්දියාවට යවනු ලැබුවා.
  
   මේ ඉදිරිපත් කළේ, ඉතා දීර්ඝ විස්තරයක්, හැකිතරම් කෙටියෙන්. දැන් මේ ලිපියේ මාතෘකාවේ තියනවානේ, ලංකාව - ඉන්දියාව යාකිරීම කියලා කොටසකුත්. මම දැන් ඔබේ අවධානය යොමු කරන්නේ, ඒ කොටසටයි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පාළමක් ඉදිකිරීමටත්, මුහුද යටින් දිවෙන උමඟක් ඉදිකිරීමටත්, දෙරටේ අවධානය යොමුවී තිබෙනවා. එකිනෙකට ආසන්න රටවල් මෙවැනි පාළම් සහ උමං මාර්ග ඔස්සේ යාකිරීම ලෝකයේ රටවල් කීපයකම දකින්නට ලැබෙනවා. ප්‍රංශය සහ ස්විට්සර්ලන්තය (අපොයි, තවමත් අපේ සමහර අය ලියන්නේ කියන්නේ, 'ස්විස්ටර්ලන්තය' කියලා) අතර ඉදිකර තිබෙන, මොන්ට් බ්ලාන්ක් උමඟ -  Mont Blanc Tunnel ඔබ හොඳින්ම දන්නවා ඇති. සමහරු ඒ ඔස්සේ ගිහිල්ලත් ඇති. මෙමගින් උතුරු යුරෝපය සහ දකුණු යුරෝපය, කෙටි මගකින් සම්බන්ධවීම නිසා, ආර්ථික වශයෙන් වාසි රැසක් අත්වෙනවා.

   ඒ ආකාරයටම, ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය යා කරමින්, මුහුද යටින් ඉදිවී තිබෙන, චැනල් ටනල් - Channel Tunnel උමඟ නිසාත්, ඒ දෙරට අතර ප්‍රවාහනය දියුණුවීමෙන්, වාසි රැසක් හිමිකරගෙන තිබෙනවා. නමුත් මෑතකදී, මෙම උමඟින්, හොරවැසියන් බ්‍රිතාන්‍යයට ඇතුළුවීමට උත්සාහ දැරීම නිසා, ගැටළු මතුවී තිබෙනවා. කි.මී. 50.5 ක් වන, මෙම මුහුදු උමං මාර්ගය දිගේ, පයින් ඇවිදගිය පුද්ගලයකුද, උමඟේ බ්‍රිතාන්‍ය අන්තයේදී, අල්ලාගෙන තිබෙනවා. මෙලෙස පැමිණෙන්නේ, දරිද්‍රතාවය, යුද්ධ කලකෝලාහල, ආදියට මැදිවූ, මධ්‍යම සහ උතුරු අප්‍රිකානු රවලවට සහ  මැදපෙරදිග සමහර රටවලට අයත් වැසියන්.

   දැන් නැවතත් මා ඔබේ අවධානය යොමු කරන්නේ, මේ යෝජිත ශ්‍රී ලංකා - ඉන්දියා පාළම සහ උමඟ වෙතටයි. මේවා අදිකිරීමෙන් බලාපොරොත්තු වන්නේ, මේ දෙරට අතර ප්‍රවාහනය දියුණුවීමෙන්, භාණ්ඩ ආනයන අපනයන වියදම් අඩුකර ගැනීම, සංචාරක ව්‍යාපාරය දියුණු කරගැනීම, කර්මාන්ත සංවර්ධනය, වැනි පරමාර්ථ කීපයක්.

   ඔබ දන්නවා ඇති සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය. ඒ ව්‍යාපෘතිය දියත් කිරීමට ඉන්දියාව බලාපොරොත්තු වන්නේ ඈත අතීතයේ සිටයි. පෝක් සමුද්‍ර සන්ධියේ, ඉන්දියාවට ආසන්න පැත්තෙන්, මුහුද ගැඹුරට හාරා, විශාල නැව් ගමන් කිරීම සඳහා, ඇළමාර්ගයක් සකස් කිරීමයි මේ ව්‍යාපෘතියේ පරමාර්ථය. දැනට ඉන්දියාවේ නැගෙනහිර - බටහිර වෙරළෙහි පිහිටි වරාය වෙත ගමන් කරන නැව්, ලංකාව වටේ ගොස්, තම ගමනාන්තයට යායුතුයි. ඒ පිරිවැය අඩුකරගැනීමයි, සේතු සමුද්‍රම් ව්‍යාපෘතියේ මූලික අරමුණ. නමුත්, එමගින් ඉන්දියාවට සංග්‍රාමික මූලෝපාය අතින්ද, යම් යම් වාසි අත්වනවා.

   මේ ව්‍යාපෘතිය සම්පූර්ණ වුවහොත්, ශ්‍රීලංකාවට, ඉතා දැඩි පාරිසරික, සංග්‍රාමික, සහ ආර්ථික බලපෑම් ඇතිවෙනවා. පෝක් සමුද්‍ර සන්ධියේ, ශ්‍රීලංකාවට අයත් සාගර කළාපයේ පිහිටි, මත්ස්‍ය නිජබිම් විනාශවීමෙන්, ධීවර කර්මාන්තයට ඉතා දැඩි බලපෑමක් ඇතිවෙනවා. ඉන්දියානු විශාල යුද නැව්, මේ කලාපයේ ගැවසීම, අපේ රටේ ආරක්ෂාවට තර්ජනයක් වියහැකියි.   මේ සියල්ල සම්පිණ්ඩනය කර බැලූවිට මෙන්න මෙවැනි දේ හිතට එනවා. 

  • ඉන්දියාව, අපිට සේතු සමුද්‍රම් නමැති යක්ෂයාව පෙන්වා බයකොට, මේ පාළම සහ උමඟ ඉදිකිරීමට යනවාද?
  • මේ පාළම සහ උමඟ නිසා, රටවල් දෙකටම අත්වන වාසි අවාසි, එක සමානද?
  • මේ තුළින් ශ්‍රීලංකාවට කෙටි කාලීනව සහ දීර්ඝ කාලීනව ඇතිවියහැකි, වාසි අවාසි, ප්‍රතිවිපාක, මොනවාද?
ඔබ මොකද මේ ගැන හිතන්නේ?

2015 දෙසැම්බර් මස 18 වැනි දින 1141 පැය.
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }