රූපවාහිනී සංගීත වැඩසටහන් අතරින්, මා නරඹන්නේ, ජාතික රූපවාහිනියේ හෝ ස්වාධීන රූපවාහිනියේ ප්‍රචාරය වන, ශාස්ත්‍රීය සහ/හෝ, සරල සංගීත වැඩසටහන් ය. එම නාලිකාවල වුවද ප්‍රචාරය වූ, 'සංගීත තරු' බිහිකරන වැඩසටහන්, මා නැරඹුවේ නැත. ත්‍රිවිධ හමුදා සාමාජිකයන් උදෙසා ඉදිරිපත් කල 'සුපිරි තරු' වැඩසටහනේ, මා හොඳින් දන්නා හඳුනන අයද ගායනා ඉදිරිපත් කල නමුත්, එම වැඩසටහන් ද, මම නොබැලුවෙමි.
මෙයට හේතුව වන්නේ, සිරස රූපවාහිනී නාලිකාව විසින් ආරම්භ කොට, පසුව වසංගතයක් බවට පත්වූ, 'තරු නිපදවන සංගීත වැඩසටහන්' කිසිසේත් මා සිත් නොගන්නා බැවිනි. පළමුවැනි 'සුපිරි තරු' වැඩසටහන, සිරස නාලිකාවෙන් නැරඹු නමුත්, එය, හුදෙක්, වාණිජ පරමාර්ථ උදෙසා ඉදිරිපත් කරන්නක් විනා, දේශීය සංගීතයේ ප්රගමනය කෙරෙහි කරන්නාවූ ව්‍යායාමයක් නොවන බව, පසක් විය. එතැනින්ම, එවැනි හරසුන් වැඩසටහන් නැරඹීම අත්හළෙමි.
අන්තර්ජාලයේ සැරිසරන අතරද, මා, පරිගණකය අසල සවිකරගෙන තිබෙන, 1990 දී මා මිලදීගත්, දැනට මා මෙන්ම වයස්ගත, ගුවන් විදුලි යන්ත්‍රයෙන්, දේශීය ගුවන්විදුලි නාලිකා වලට සවන්දෙන්නේ, බොහෝවිට දේශීය ප්රවෘත්ති පැයකට පමණ වරක්, දැනගැනීම සඳහාය. ඒ අතර, Gold FM වැනි නාලිකා වලට සවන් දෙන්නේ, 'අපේ කාලයේ' පැරණි බටහිර ගීත වලට සවන්දීමට ඇති ආසාව නිසාය. අද දින මට අහම්බෙන් එක්තරා සිංහල ගීයක් අසන්නට ලැබුණි. එය වෙනත් බොහෝ ගීත මෙන්, අහම්බෙන් අසන්නට ලැබුණා විනා, සිතාමතා අසා සිටීමක් නොවුනි. ඒ ගීතය, ඔබෙන් බොහෝ දෙනෙකු, හොඳින් දන්නවා ඇතැයි සිතමි.
මේ ගීතයට සවන් දෙන අවස්ථාවේ දී, මගේ සිතේ එකවරම ඇඳී ගියේ, 'මේ ගීතය මා මීට පෙර අසා තිබෙනවා' කියන හැඟීමයි. නමුත්, ඇසුවේ කවදා කොහෙදිද යන්න මතක් කරගැනීමට, සියලු උත්සාහයන් දැරුවද, එය අසාර්ථක විය. ගීතය අවසානයේ, එය ගැයුවේ, එම්.ජී.ධනුෂ්ක විසින් බව, නිවේදිකාව පැවසුවාය. කවුද එම්.ජී ධනුෂ්ක? කොහොමද මම එයාව දන්නේ? මම එයාගේ සින්දු කීයක් දන්නවද? යන්න මතක් කරගැනීමට උත්සාහ කළද එය අසාර්ථක විය. මෙන්න ගීතය.
ඉන්පසු මා කලේ, ඒ ගීතයේ පදමාලාව ඔස්සේ, සෙවුම් යන්ත්‍රයෙන් සෙවීමක් කිරීමයි. මගේ උත්සාහය සාර්ථක වූ අතර, ගීතය නැවතත් ශ්‍රවනය කිරීමේ අවස්ථාව මට ලැබුණි. තවදුරටත් කරුණු සොයා බැලීමේදී, ඔහු, මෑත කාලීන 'සුපිරි තරු' ගායකයකු බව දැනගතිමි. කෙසේ වෙතත්, තවමත් මට සිතාගන්නට නොහැකි කාරණය වුයේ, මේ ගායකයා ගැන කිසිවක් කියන්නට දැනුමක් මට නැතිව තිබියදීත්, ඔහුගේ මේ ගීතය, මගේ සිතේ කොහේදෝ තිබෙන බව දැනෙන්නේ ඇයි? යන්නය.
සාමාන්‍යයෙන් මා දිනපතා ස්නානය කරන්නේ, රාත්‍රී 7.30 ට පමණය. යුද්ධ කාලේ පුරුද්දක් නිසා, මම ජංගම දුරකථනයද, නිවසේ රැහැන් රහිත දුරකථනයද, codeless phone නාන කාමරයට ගෙනයමි. එහෙම නොකළොත්, මට ඇමතුමක් ආවොත්, අපේ උන්දෑ, රැහැන් රහිත දුරකථනය උස්සාගෙනවිත්, දොරට ගසයි.
මේ රැහැන් රහිත දුරකථනය ගෙදරකට ලොකු පහසුවකි. ශ්‍රී ලංකා ටෙලිකොම් වෙතින්, පළමුව රු 500 ක් ගෙවා, ඉන්පසු, මාසිකවරු 350 ක් වැනි මුදලක් කැපෙන ආකාරයට මිළ දී ගත හැකිය. දුරකථනයේ වටිනාකම රු 7500 කි. ගිගා හර්ට්ස් පරාසයේ ක්‍රියාකරන නිසා, සෑහෙන තරම් දුරකට ගෙනයා හැකි අතර, බිත්ති වලින් බාධාවක් නොවේ. (ප්රචාරක අනුග්‍රහය විචාරක සහ සමාගම) දුරකථනයේ තිරයෙන්, ගෙදරට එන ඇමතුම් සහ මට එන ඇමතුම් බලාගතහැකි නිසා, ගෙදරට එන ඇමතුමක් නම්, නාන කාමරයේ සිට උත්තර නොදෙමි. එවිට අපේ උන්දෑ, රැහැන් සහිත දුරකථනයෙන් පිළිතුරු දෙයි.
හැබැයි අපරාදේ කියන්න බැහැ, සබන් ගාගත්ත ගමන්, කවුරුහරි කතාකරනවාමය. ඉතිං සබන් පිහදාගෙන උත්තර දෙමි. (යුද්ධ කාලේ, කඳවුරු ජීවිතයේදී, ඊට අමතරව, පණිවිඩ හුවමාරු කරන කුඩා යන්ත්‍රයද රැගෙන යමි. එක එක ලොක්කා, කොයි වෙලාවේ කතා කරයිද කියන්න බැරිය. 'මම බාත්රූම් එකේ හිටියා' කියා කීම, කිසිසේත් නිදහසට කරුණක් ලෙස පිළිගනු නොලැබේ. යුද්ධයේදී, තත්පර කීපයක ප්‍රමාදයකින්, ජීවිත ගණනක් අහිමිවිය හැකිය)
තවමත් මට මේ ගීතය ප්රහේළිකාවකි. නාන ගමන්, මමත් ඒ පදමාලාව මුමුණන්නට පටන්ගත්තෙමි. ටිකක්වෙලා මුමුණන විට, යුරේකා පහළවිය. (කොහොමටත් යුරේකා කියන්න පුළුවන් විදිහටනේ හිටියේ. හැබැයි යුරේකා ඉරියව්වෙන් එලියට ආවානම්, අපේ උන්දෑ, මාව අංගොඩ ගෙනයනු නොඅනුමානය) හෙහ් හෙහ්, මොකක්ද මේ තනුව? මේ තනුව තමයි මගේ මතකයේ තිබුණේ. මේ ගීතය සහිත, 'ප්යාර් කා සාගර්' (ආදර සයුර) චිත්‍රපටිය, 1960 දශකයේ දිනක, කෑගල්ලේ (දැනට නැති) පරාක්‍රම සිනමාහලේ නැරඹු හැටි, මට මතක්විය. මෙන්න එම මුල් තනුව සහිත ගීතය. මේ ගීතයෙන් අඩක්වත් අසන ලෙස, මම ඔබෙන් කාරුණිකව ඉල්ලමි. මන්ද, ඉදිරියේදී මා කියන කරුණු සනාථ වන්නේ එවිටය. රූප දෙස බලන්න එපා. දෙනෙත් පියාගෙන ගීතය අසන්න.
1961 දී තිරගතවූ, (ලංකාවේ තිරගතවුණේ ඊට පසුව) ප්යාර් කා සාගර් චිත්‍රපටියේ සංගීතය, භාරතීය සිනමා සංගීතඥයන් අතර අග්රගන්යයකු වූ, භාරතයේ විවිධ සම්මානයෙන් පුද ලද, 2012 වර්ෂයේදී අභාවප්රාප්තවූ, පොදුවේ 'රවී' යන නමින් ජනප්‍රිය, රවී ශන්කර් ශර්මා විසිනි. පදමාලාව, ප්‍රේම් ධවාන් ගෙනි. සිත් අලවන මෝහනීය ගායනය, මොහම්මද් රෆී සහ ආශා භෝස්ලේ ගෙනි.
මීළඟට මා කලේ, මේ ගීත දෙක සංසන්දනය කර බැලීමයි. අහෝ එවිට දැනුනේ දැඩි වේදනාවකි. මුල් ගීතයේ තනුවට කර ඇති අපරාධය, වචනයෙන් විස්තර කල නොහැකි තරම්ය. මේ 'සුපිරි තරු' වැඩසටහන් බලන 'කට්ටියට' අප්පුඩි ගහන්න, තාලය අල්ලන්න, ටිකක් නටන්න, සුදුසුවන පරිදි, අර අගනා තනුව, දඩබඩ ක්‍රමයකට වෙනස් කරලා ය. පදමාලාව, බල්ලාගේ පුකේ පදමාලාවකි. හිඟන ප්රේමාලාපයකි. භාෂාව හෝ සාහිත්‍යය නූගත්, පදික වේදිකා යාචකයකුගේ පදමාලාවකි.
සුපිරි තරු කියන්නේ, ගායකයන් හෝ ගායිකාවන් බිහිකරන වැඩසටහන් නොවන බව, මම හොඳින්ම දනිමි. හොඳයි, අපි මොහොතකට හිතමු, එහෙම නොවුනාට කම් නැත කියා. එහෙනම්, මේ තරුණ පරපුර, සුපිරි තරු ඔස්සේ යන්නේ කොහේද? මට තේරෙන විදිහට මේ අය විශාල මුදල් ත්‍යාගයක්, ප්‍රසිද්ධිය, සහ ඉතා කෙටිකලක් පවතින ජනප්‍රියත්වය උදෙසා, තම තාරුණ්‍යයේ නම්බුව, ගෞරවය, හරය, ශුද්ධත්වය, ලාබෙට විකුණා දැමීමක් පමණයි කරන්නේ. ටික කලකින්, මෙහෙම කෙනෙක් හිටියාද කියා කවුරුවත් දන්නේ නැත.
'අනේ ගොනෝ, සුපර්ස්ටාර් කියන්නේ ඒකට තමයි' කියා, මට කීමට සූදානම් වන මහත්වරුනි, නෝනා වරුනි, මට කියාදෙන්න, කාලෙන් කාලෙට සුපිරි හෝටල්වල, අර නිකල් ප්ලේට් බටය දිගේ ඉහලට පහලට ඇඹරෙමින්, තම ඇඳුම් එකින් එක උනා දමමින්, තව නොයෙක් නොයෙක් 'වැඩකෑලි' පෙන්වමින්, කුලියට නටන ගණිකාවක සහ, මේ සුපිරි තරු අතර වෙනස කුමක්ද කියා? එම ගණිකාවට අලුත් අලුත් වැඩකෑලි උගන්වා, ඒවා ප්‍රදර්ශනය කොට, ඉහල ලාභයක් උපයන්නේ, අර හෝටලයේ අයිතිකාරයාය. අපි ටික කාලයක් එම ගනිකාවගේ 'සුපිරි දස්කම්' බලන්නට යන්නෙමු. නමුත් ටික කලකින්, එකම දේ දැකීමෙන්, අපිට ඒ ගණිකාව එපා වෙනවාය. ඒ බව දන්න හෝටල් කාරයා, ඊට වඩා හොඳ 'කෑල්ලක්' ඉදිරිපත් කරයි. එහෙම නොකලොත් බිස්නස් එක වැටේ. අලුතෙන් එන කෑල්ලට, හෝටල් කාරයා ගෙවන ගාන කොපමණ ඉහලද යත්, 'ඕනෑම දේකට' ඒ කෑල්ල ඔට්ටුය. ඔය සුපිරි නාලිකා කරන්නේත්, ඔය සෙල්ලමම ය. වෙනසකට ඇත්තේ, නිරුවත නැති එක විතරයි.
මෙතෙක් බිහිවූ සුපිරි තරු අද කෝ? ඔවුන්ට හැකියාව ඇත්තේ, ඊනියා සංගීත කළබෑගෑණියක, කවදත් සුපුරුදු සිංදු සැට් එකක් කියා, ගාන අතට ගෙන, වේදිකාවෙන් බැසයාම පමණි. ඒ කියන්නේ, ඔවුන් සින්දු ඉදිරිපත් කරන්නන් මිස, ගායක ගායිකාවන් නොවේ. විච්චූරණ ඇඳුම් ඇඳ, නානාප්‍රකාර ඉරියව් පාමින්, ගායනා කිරීම ප්‍රාසාංගික කලාවක් බව අද සම්මතයකි. වැරැද්දක් නැත. ගායකයාගේ හෝ ගායිකාවගේ ඒ සුපිරි පෙණුමට (කෘත්‍රිමව කරගත් අලංකරණයට) සාපේක්ෂව, ගායනයද උසස් විය යුතුය. වෙනත් වචන වලින් කියනවානම්, හඬ පමණක් වෙනම ගෙන අසා සිටින විට, එහි ගීතමය වටිනාකමක්, හරයක්, තිබිය යුතුය. ධනුෂ්කගේ ඉහත ගායනයේ මෙන්ම සුපිරි තරු බවට පතු අනෙකුත් අයගේද එවැනි අඩුපාඩු නැතුවා නොවේ.
නමුත්, සුපිරි තරු ප්‍රසංගයකට එන විනිශ්චය මණ්ඩලයටද, කල්තබා දෙන උපදෙස් තිබෙන බව දන්නවාද? ඔවුන්ද ගීය අනුව නොනටා නැටිය යුතුය. හායි හූයි වචන හෝ, ඔබ තමයි යුගයේ හඬ වැනි, අමු ඔලමොට්ටල කතා දෙසා බෑ යුතුය. ඔවුන්ගේ අත මිට මෙලවීම වැඩි වෙන්නේ එවිටය.
ධනුෂ්කගේ ගායනය, මොහම්මද් රෆී ගේ වගේ නැතැයි කියා, 21 වැනි සියවසේ ජෝකරයකු වන්නට, මම කිසිවිටකත් නොසිතමි. නමුත් ධනුෂ්කට සහ, අනෙකුත් ධනුෂ්කලාට ධනුෂ්කිලාට, ඇත්තටම අවශ්‍යතාවක් ඇත්නම්, මොහම්මද් රෆීලා, ආශා භෝස්ලේ ලා වන්නට පුළුවන.
අපිට අවශ්‍යත් එය බව, අවධාරණය කරමි.
හැමදාම අපේ පරණ සැට් එකට ආවඩන එහෙයියකු වීමටත්, මට අවශ්‍යතාවක් නැත.
මා කියන්නේ මෙයයි. ගායන හැකියාව ඇති මේ තරුණ පරපුර, වෙළඳ උපක්‍රම වලට රැවටී, අවසානයේ ඉච්ඡාභංගත්වයට පත්වීමෙන්, තම හැකියාව මොට කරගනිති. හොඳ සහජ හැකියාව තියන තරුණ පරපුර, සංගීතයේ හරවත් පැත්තට යොමුකරවීමට සිටින ගුරු පරපුර පවා, පස්ස උඩ දාගෙන, 'සුපර්ස්ටාර්' සේවනයේ යෙදීමෙන්ම, ඔවුන්ගේ විචාර බුද්ධිය කොතරම් පහත් මට්ටමක ඇද්ද යන්න, පසක්වේ. සංගීතය තියා, මෙලෝ හසරක් නොදන්නා බොහෝ දෙමව්පියෝ, හයහතර නොදන්නා පොඩි එවුන්, සුපර්ස්ටාර් වලට දැක්කීම තරම් අපරාධයක් තවත් ඇද්ද කියා මට බොහෝවිට සිතෙයි. කුඩා කාලයේදීම, ඒ දරුවන් ඉච්ඡා භංගත්වයට පත්වන සැටි, කණගාටුවෙන් යුක්තව වරක් අත්වින්දෙමි.
ටකරම් සංදර්ශන ඔහේ තිබුනාවේ, කේ ජී කෑල්ලක්, මලක්, පැකට් එකක් ගසා, ඒවා බලන අය බලපුවාවේ. දක්ෂතා ඇති, සහජ කුසළතා ඇති තරුණ පරපුර, සංගීත ඥානය, සතතාභ්‍යාසය, වැඩි දියුණු කරගනිමින්, අද්‍යතන ලෝකයේ තිබෙන මනෝ විකාරයන්ගෙන් මිදුණු, සුභාවිත සංගීතයේ කොටස් කරුවන් කරගැනීමට, ඔවුන්ගේ උරුමය ඔවුන්ට කියාදෙමු. සැබෑ සංගීත ලෝකයක් ඔවුන් ලවා ගොඩ නංවමු. එසේ නොකොට, අපිත්, අර නරා වල සැපයෙකැයි කියා, ඒ වෙතම අපේ තරුණ පරපුර සහ බාල පරපුර දක්කන්නේ නම්, අපේ මිනී වලටත් හෙණ ගහනු නොඅනුමානය.
2016 ජූලි මස 16 වැනි දින 0020 පැය