හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

25 July 2016

ඓතිහාසික නාවික සටහන් (පළමුවැනි කොටස)

   අම්මපා, මේ අපේ නැවියෙක් ඉන්නවා, කිසි කමකට නෑ. අඩු ගානේ නැවක රෝද හතර තියෙන්නේ කොහෙද, නැවකට කොච්චර ඉහලට පියාඹන්න පුලුවන්ද, වගේ ලිපියක්වත් ලියපන්කො ඉඳලා හිටලාවත්. කොහෙද මේ යකා ලියන්නෙම, සුබසාධන කතා විතරයි. දැන් අර ලොකු නැව් මහත්තුරු දෙන්නෙක් ලියනවා, ඒත් ලියන්නේ නැහැනේ, ඔය පරණ යුද්ද කතා ටිකක්. මේ දවස්වල, මම ජාලේ කරක් ගහනකොට, අහම්බෙන් දැකපු පින්තූර ටිකකට ආසාවේ බැරුව, ඒ ටික තමුන්නාන්සේලාටත් පෙන්නන්න හිතුණා. ඇත්තටම අපේ රටේ ඉතිහාසයටත්, නාවික හමුදා ඉතිහාසයටත් සම්බන්ධ ඒ පින්තූර, බොහොම වටිනවා. ඔන්න බලමුකෝ ඒ පින්තූර වලින් ටිකක්. තව මහා ගොඩක් තියනවා. ඒවා පස්සේ බලමු. 

   මේ පින්තූර අයත්වන්නේ, දෙවැනි ලෝක සංග්‍රාමය ආරම්භ වීමට ආසන්න කාලයට සහ, දෙවැනි ලෝක සංග්‍රාමය ඇරඹුණු මුල් කාලයට මෙන්ම, එහි අවසාන භාගයටයි. එබැවින්, මේ පින්තූර වල ඓතිහාසික වටිනාකම බොහොම ඉහලයි. 

   එකල බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ ලංකාව, පාලනය කෙරුනේ, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ අරමුණු සහ අවශ්‍යතා අනුව බව ඔබ හොඳින්ම දන්නවා. අපේ රටේ එකල දේශීය ත්‍රිවිධ හමුදා නොපැවැති අතර බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවල, ස්වේච්ඡා ඒකක ලෙසයි අපේ රටේ ත්‍රිවිධ හමුදා පවත්වාගෙන ගියේ. මේ අතරින්, රාජකීය  නාවික හමුදාවේ ස්වේච්ඡා උප සේවය (Royal Navy Volunteer Reserve = RNVR) ලෙසයි මෙම කරුණු උපුටාගත් මූලාශ්‍රයේ සඳහන් වන්නේ. 


පුහුණු කටයුතු 

   බ්‍රිතාන්‍ය හමුදාව යටතේ  පවත්වාගෙන ගිය ස්වේච්ඡා නාවික බලසේනාවට, ඉතා හොඳ පුහුණුවක් ලබා දී තිබෙන බව, මේ පින්තූර වලින් පෙනෙනවා. මා දන්නා තරමින්, සාමාන්‍ය නැවියන්ට පවා පුහුණුව ලබා දුන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. 

  පහත දැක්වෙන බොහෝ පින්තූර වලට අදාළ විස්තරයේ සටහන්ව තිබෙන්නේ, Cingalese Ratings  යනුවෙන්. මෙහිදී, Cingalese යන්න යොදා ඇත්තේ, අද අපි, Sinhalese/Singhalese යනුවෙන් කරන යෙදුම් උදෙසා බව පෙනෙනවා. නාවික හමුදා භාෂාවෙන්, Rate කියන්නේ, අදාළ නාවික හමුදා පුද්ගලයාගේ, තත්වය/තරාතිරම/වෘත්තීය/යන්නයි. 

   මේ පින්තූර, 1942 වර්ෂයේදී, කොළඹදී ලබාගත් බවයි, අදාළ මූලාශයේ සඳහන් වන්නේ. ඒ කාලයේ, බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත, .303 Lee Enfield Mark I රයිෆල් තමයි, මේ නාවික සෙබළුන් අත දකින්නට ලැබෙන්නේ. බලන්න, ඒ කාලේ පාවිච්චි කල බයිනෙත්තුව කොපමණ දිගද කියා. එය රයිෆලයෙන් ගලවාගෙන, කෙටි කඩුවක් ලෙසත් පාවිච්චි කරන්න පුළුවන්. 


මේ පින්තූරයේ දැක්වෙන සෙබළුන්, අවිය ගෙනයන්නේ, 'උරේ අවි' නමැති ඉරියව්වෙන්. 
අද මෙම ඉරියව්ව අපේ ත්‍රිවිධ හමුදාව භාවිත කරන්නේ නැහැ.











අවිය නිවැරදිව සවිකර, පිරිසිදුව තිබෙනවාද යන්න, පෙරෙට්ටුවේදී, නිලධාරීන් විසින් 
පරීක්‍ෂා කරන්නේ මෙහෙමයි.


පොල් අතු සෙවිලි කළ භට නිවාස තමයි, පහත පින්තූරයේ පසුබිමේ දකින්නට ලැබෙන්නේ.



ඒ ඒ අවස්ථානුකූලව නැවක ඔසවන විවිධ ධජ මගින් ගොඩබිමට නොයෙක් තොරතුරු සපයනවා. 
මේ, ඒ පිලිබඳ පුහුණුවක් ලබන හැටි. 



බර අවි පුහුණුව, සෑහෙන තරම් උසස් මට්ටමෙන් සිදුකර ඇති බව, මේ පින්තූර වලින් පෙනෙනවා. ඇත්තෙන්ම මේ කරන්නේ, ළඟ ළඟ එන ලෝක සංග්‍රාමයකට මුහුණදීම සඳහා සූදානම් වීමයි. 
මේ ඉගෙනගන්නේ ගුවන් යානා නාශක තුවක්කුවක් ක්‍රියාකරවන ආකාරයයි.


රාත්තල් 3 උණ්ඩ, යොදා වෙඩි තබන මධ්‍යම පරිමාණ තුවක්කුව. 
පුහුණුවෙන අයට සපත්තුත් නෑ වගේ.


දේශනයකට සවන්දෙන ලංකාවේ නැවියෝ  


මුහුදු වෙඩි ඇතිරීම පිලිබඳ පුහුණුවක්  


මුහුද යට අතුරා ඇති, සතුරු මුහුදු වෙඩි පිළිබඳව, තොරතුරු සොයා බැලීමේ පුහුණුව  


මුහුදේ අතුරා ඇති, සතුරු මුහුදු වෙඩි, පුපුරුවා හැරීමට පුහුණුව ලබන අයුරු. 


කොහොමද ඒ කාලේ අපේ නේවි කොල්ලෝ  




සතුරු ගුවන් ප්‍රහාර වැළක්වීමේ, ගුවන් යානා නාශක අවි පුහුණුව. 
එළිමහනේ කලයුතු මේ පුහුණුව, වහලයේ කුඩා කොටසක් ඉවත් කල ගොඩනැගිල්ලක් තුළ කරන්නේ, 
සතුරු ගුවන් ප්‍රහාර එල්ලවෙතැයි, අනුමාන කරන නිසා වන්නට ඇති.   
මෙම පුහුණු පාසල හඳුන්වා තිබෙන්නේ 
CEYLON SCHOOL FOR NAVAL GUNNERS යනුවෙන්.




තොරතුරු තාක්‍ෂණය අද මෙන් දියුණු නැතත්, හොඳ පුස්තකාල පහසුකම් ලැබී තිබෙනවා. හොඳින් බලන්න, සිවිලිමේ එල්ලා තිබෙන, කුඩා ගුවන් යානා ආකෘති. මේවා සෑමවිටම ඇස ගැටුනාම, එහි හැඩය මතක හිටිනවා. ගුවනේදී දැක්ක ගමන් හඳුනාගන්න පුළුවන්, ඒ කුමන ගුවන් යානයක්ද කියා.  


ඒයි අපේ නැවියා, කියලා දීපන් Boxing Compass කියන්නේ මොකක්ද කියලා. 
මේ කරන්නේ අන්න ඒ පුහුණුව. මට තේරෙන විදිහට මාලිමාව මගින් දිශා හඳුනාගැනීම. 


බර අවි, කොටස් වලට ගැලවීම, පිරිසිදු කිරීම,
සවිකිරීම, ආදී නඩත්තු වැඩ ඉගෙනගැනීම. 


ලොකුම තර්ජනය ගුවන් ප්‍රහාර. ඒ නිසා සතුරු/මිතුරු ගුවන්යානා, 
දුර තියාම හඳුනාගන්න හැටි කියාදීම වැදගත්.


සතුරු ගුවන්යානා වනසන මහ තුවක්කුවක්. 


කොහොමද ඒ කාලේ පණිවිඩ හුවමාරු උපකරණ.
හැබැයි, මේවා ජංගම යන්ත්‍ර කියලයි මූලාශ්‍රයේ තියෙන්නේ.  


මේ උපකරණය හඳුන්වන්නේ, හේලියෝග්‍රාෆ්  - Heliograph කියලා.
මේකේ තියන කන්නාඩියෙන්, හිරු එළිය, එක්තරා රටාවකට පරාවර්තනය කරලා, 
මෝස් කේත ක්‍රමය වැනි ක්‍රමයක් අනුව, සංඥා ලබාදෙන්න පුළුවන්. 


ඒ කාලේ අප්‍රිකානු සෙබළුන්, ලංකාවට ගෙනැවිත් තිබෙනවා, පුහුණු කටයුතු සඳහා.
මේ එවැනි පිරිසක් අපේ තේ රස බලද්දී.


සතුරු මුහුදු වෙඩි සොයමින්, කොළඹ අවට මුහුදේ මුර සංචාරයක යෙදෙන,  
HMS Sambhur නෞකාව. ඉදිරියෙන් සිටින්නේ, නැවේ කපිතන් වන, 
ලාංකිකයකු වූ, ලුතිතන් සන්සෝනි 


ලංකාවට ඒමට නැව් නගින අප්‍රිකානු සොල්දාදුවෝ.
අප්‍රිකානු සොල්දාදුවන් හඳුන්වන්නේ, Askaris යනුවෙන්. 


'අම්මෝ....පොල්ගස් වල කරටියේ ගෑවී නොගෑවී යන්නේ' කියමින්, 
බෝම්බ ප්‍රහාරක බ්‍රිතාන්‍ය ගුවන් යානා නරඹන, ලාංකික ජනතාව  




අවරපෙති සහිත ගුවන් යානාවල, එම පෙති, වේගයෙන් මේ විදිහට කරකවා, 
පණගන්වන්නට පුළුවන්. මේකත් හරියට, එක්තරා ආකාරයක, 'තල්ලු ස්ටාර්ට්' එකක්.
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ මේ ද්‍රවිඩ ජාතික ධීවරයන්, අත් උදව් කරුවන් හැටියට, 
මේ වැඩේ කරන්න මුලදී බයවුනත්, පසුව, අති දක්ෂ විදිහට ඒ වැඩේ කල බව, 
මූලාශ්‍රයේ සඳහන් වෙනවා.
ඇත්තෙන්ම, මෙය මරණීය අනතුරු සිදුවිය හැකි දෙයක් වුනත්, අදත් කරනවා. මේ බලන්න.





සුබසාධනය 

එදත් අදත් ලෝකයේ බොහෝ රටවල රාජ්‍ය පාලකයාගේ බිරිඳ 
එම රජයේ සුබසාධන කටයුතු වලදී විශේෂ දායකත්වයක් දරනවා.
දෙවැනි ලෝක සංග්‍රාම සමයේ අවසාන භාගයේ 
ලංකාවේ ආණ්ඩුකාරයා වූ 
ශ්‍රීමත් හෙන්රි මොන්ක් මේසන් මූවර් ගේ බිරිඳ 
එවකට බ්‍රිතාන්‍ය රතු කුරුස සේවයේ ලංකා ශාඛාවේ 
සභාපතිනිය ලෙස සේවය කළා. 
මේ ඇය ලංකාවේ සේවය සඳහා පැමිණි අවස්ථාව.


බ්‍රිතාන්‍ය රතුකුරුස සංගමයේ ලංකා ශාඛාවේ සේවය සඳහා පැමිණි
බ්‍රිතාන්‍ය සාමාජිකාවන් මේ ආකාරයටයි සේවයේ යෙදුණේ.


පොල් අතු සෙවිලි කල නේවාසිකාගාර 


පොල් අතු නිවස්නය වුනත්,  පිරිසිදුකම සහ පිළිවෙල නම් තියනවා වගේ.


ඔවුන්ගේ අවන්හල. අවන්හල් සේවය අපේ අයගෙන් වගේ 


විවේකාගාරය 


අපේ නැවියන්ට ඒ කාලේ ලැබුණු දන්ත වෛද්‍ය පහසුකම්. 
මේ ඡායාරූපය ගෙන තිබෙන්නේ, පුත්තලම නාවික කඳවුරේදී බවයි 
මූලාශ්‍රයේ සඳහන් වන්නේ. 


අධීක්‍ෂණය 
අපි එවකට බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ අතර 
මේ කාලයේදී රාජ්‍ය මන්ත්‍රණ සභා ක්‍රමය 
ක්‍රියාත්මකව පැවතුණා.
පහත අංක 38, 39, සහ 40 යන ඡායාරූප වලින් දැක්වෙන්නේ,
එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ප්‍රධානියා සහ කෘෂිකර්ම ඇමති වූ 
ඩී.එස්.සේනානායක, 
ප්‍රවාහන සහ ඉදිකිරීම් අමාත්‍ය 
කර්නල් ජේ.එල්.කොතලාවල,
ස්වදේශ කටයුතු අමාත්‍ය ඒ.මහාදේව යන අය 
HMS Ceylon නෞකාවේ නිරීක්ෂණ චාරිකාවකට 
එක්වූ අවස්වථාක්.





ත්‍රිවිධ හමුදා අතර සම්බන්ධිකරණ කටයුතු සඳහා 
පත්කර සිටි, වෘත්තීයෙන් වන සංරක්‍ෂණ නිලධාරියකු වූ 
එවකට 1 වැනි ලංකා පාබල හමුදාවේ අණදෙන නිළධාරි 
ලුතිතන් කර්නල් සී.පී.ජයවර්ධන වෙත 
1944 වසරේදී MBE (Military) සම්මානය බ්‍රිතාන්‍යයේ 
හයවැනි ජෝර්ජ් රජු විසින් ප්‍රදානය කරන ලදී.
නිල ඇඳුමේ කුරුසයක හැඩයට පැළඳගෙන සිටින්නේ එම සම්මාන පදක්කමයි.


යාත්‍රා තොරතුරු 



HMS OKAPI මුර යාත්‍රාව ලාංකික නැවියන් සමග 
කොළඹ අවට මුහුදේ මුර සංචාරයක 



බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාව, ඉන්දීය නාවික හමුදාව, පාකිස්තානු නාවික හමුදාව 
යන හමුදා සමග, ලංකා නාවික හමුදාවේ යාත්‍රා, ත්‍රිකුණාමල වරායේ අභ්‍යාසයක 
1944 වර්ෂය 


ලංකාවේ සේවා කාලය නිමාකොට 
ත්‍රිකුණාමල වරායෙන් 
ආපසු බ්‍රිතාන්‍යය බලා පිටත්ව යන 
HMS NEWFOUNDLAND යුද නැව 


මෙන්න ඉන්නවා ඇම්ඩා
මේ තමයි, ජර්මානු නාවික හමුදාවට අයත් 
 KMS EMDEN නෞකාව
1939 දී ත්‍රිකුණාමලයෙන් පිටත්ව යාම.

ඇම්ඩා ලංකාවට ආව බවට සාක්කි මෙන්න 



   මොකද හිතෙන්නේ? ඇත්තටම මේ පින්තූර වලින් බොහොමයක්, අවුරුදු 75 ක් තරම් පැරණියි. ඒ වගේමයි, මේ පින්තූරවල පෙනීසිටින කිසිවකුත්, අද ජීවතුන් අතර නැහැ. මෙහි පෙන්වා ඇති අවි ආයුධ කිසිවක්, අද භාවිතයේ නැහැ. මෙහි දැක්වෙන කිසිදු නාවික යාත්‍රාවක්, අද භාවිතයේ නැහැ. මේ සියල්ල, අගනා ඓතිහාසික සටහන් පෙළක්.

මූලාශ්‍රය:- http://www.iwm.org.uk/

2016 ජූලි මස 20 වැනි දින 2257 පැය     

16 July 2016

ධනුෂ්ක, රාෆි, සහ අපතේ යන තාරුණ්‍යය

   රූපවාහිනී සංගීත වැඩසටහන් අතරින්, මා නරඹන්නේ, ජාතික රූපවාහිනියේ හෝ ස්වාධීන රූපවාහිනියේ ප්‍රචාරය වන, ශාස්ත්‍රීය  සහ/හෝ, සරල සංගීත වැඩසටහන් ය. එම නාලිකාවල වුවද ප්‍රචාරය වූ, 'සංගීත තරු' බිහිකරන වැඩසටහන්, මා නැරඹුවේ නැත. ත්‍රිවිධ හමුදා සාමාජිකයන් උදෙසා ඉදිරිපත් කල 'සුපිරි තරු' වැඩසටහනේ, මා හොඳින් දන්නා හඳුනන අයද ගායනා ඉදිරිපත් කල නමුත්, එම වැඩසටහන් ද, මම නොබැලුවෙමි. 

මෙයට හේතුව වන්නේ, සිරස රූපවාහිනී නාලිකාව විසින් ආරම්භ කොට, පසුව වසංගතයක් බවට පත්වූ, 'තරු නිපදවන සංගීත වැඩසටහන්' කිසිසේත් මා සිත් නොගන්නා බැවිනි. පළමුවැනි 'සුපිරි තරු' වැඩසටහන,  සිරස නාලිකාවෙන් නැරඹු නමුත්, එය, හුදෙක්, වාණිජ පරමාර්ථ උදෙසා ඉදිරිපත් කරන්නක් විනා, දේශීය සංගීතයේ ප්‍රගමනය කෙරෙහි කරන්නාවූ ව්‍යායාමයක් නොවන බව, පසක් විය.   එතැනින්ම, එවැනි හරසුන් වැඩසටහන් නැරඹීම අත්හළෙමි. 

   අන්තර්ජාලයේ සැරිසරන අතරද, මා, පරිගණකය අසල සවිකරගෙන තිබෙන, 1990 දී මා මිලදීගත්, දැනට මා මෙන්ම වයස්ගත, ගුවන් විදුලි යන්ත්‍රයෙන්, දේශීය ගුවන්විදුලි නාලිකා වලට සවන්දෙන්නේ, බොහෝවිට දේශීය ප්‍රවෘත්ති පැයකට පමණ වරක්, දැනගැනීම සඳහාය. ඒ අතර, Gold FM වැනි නාලිකා වලට සවන් දෙන්නේ, 'අපේ කාලයේ' පැරණි බටහිර ගීත වලට සවන්දීමට ඇති ආසාව නිසාය. අද දින මට අහම්බෙන් එක්තරා සිංහල ගීයක් අසන්නට ලැබුණි. එය වෙනත් බොහෝ ගීත මෙන්, අහම්බෙන් අසන්නට ලැබුණා විනා, සිතාමතා අසා සිටීමක් නොවුනි. ඒ ගීතය, ඔබෙන් බොහෝ දෙනෙකු, හොඳින් දන්නවා ඇතැයි සිතමි. 

   මේ ගීතයට සවන් දෙන අවස්ථාවේ දී, මගේ සිතේ එකවරම ඇඳී ගියේ, 'මේ ගීතය මා මීට පෙර අසා තිබෙනවා' කියන හැඟීමයි.  නමුත්, ඇසුවේ කවදා කොහෙදිද යන්න මතක් කරගැනීමට, සියලු උත්සාහයන් දැරුවද, එය අසාර්ථක විය. ගීතය අවසානයේ, එය ගැයුවේ, එම්.ජී.ධනුෂ්ක විසින් බව, නිවේදිකාව පැවසුවාය. කවුද එම්.ජී ධනුෂ්ක? කොහොමද මම එයාව දන්නේ? මම එයාගේ සින්දු කීයක් දන්නවද? යන්න මතක් කරගැනීමට උත්සාහ කළද එය අසාර්ථක විය.  මෙන්න ගීතය.



   ඉන්පසු මා කලේ, ඒ ගීතයේ පදමාලාව ඔස්සේ, සෙවුම් යන්ත්‍රයෙන් සෙවීමක් කිරීමයි. මගේ උත්සාහය සාර්ථක වූ අතර, ගීතය නැවතත් ශ්‍රවනය කිරීමේ අවස්ථාව මට ලැබුණි. තවදුරටත් කරුණු සොයා බැලීමේදී, ඔහු, මෑත කාලීන 'සුපිරි තරු' ගායකයකු බව දැනගතිමි. කෙසේ වෙතත්, තවමත් මට සිතාගන්නට නොහැකි කාරණය වුයේ, මේ ගායකයා ගැන කිසිවක් කියන්නට දැනුමක් මට නැතිව තිබියදීත්, ඔහුගේ මේ ගීතය, මගේ සිතේ කොහේදෝ තිබෙන බව දැනෙන්නේ ඇයි? යන්නය. 

   සාමාන්‍යයෙන් මා දිනපතා ස්නානය කරන්නේ, රාත්‍රී 7.30 ට පමණය. යුද්ධ කාලේ පුරුද්දක් නිසා, මම ජංගම දුරකථනයද, නිවසේ රැහැන් රහිත දුරකථනයද, codeless phone නාන කාමරයට ගෙනයමි. එහෙම නොකළොත්, මට ඇමතුමක් ආවොත්, අපේ උන්දෑ, රැහැන් රහිත දුරකථනය උස්සාගෙනවිත්, දොරට ගසයි.

    මේ රැහැන් රහිත දුරකථනය ගෙදරකට ලොකු පහසුවකි. ශ්‍රී ලංකා ටෙලිකොම් වෙතින්, පළමුව රු 500 ක් ගෙවා, ඉන්පසු,  මාසිකවරු 350 ක් වැනි මුදලක් කැපෙන ආකාරයට මිළ දී ගත හැකිය. දුරකථනයේ වටිනාකම රු 7500 කි. ගිගා හර්ට්ස් පරාසයේ ක්‍රියාකරන නිසා, සෑහෙන තරම් දුරකට ගෙනයා හැකි අතර, බිත්ති වලින් බාධාවක් නොවේ. (ප්‍රචාරක අනුග්‍රහය විචාරක සහ සමාගම)  දුරකථනයේ තිරයෙන්, ගෙදරට එන ඇමතුම් සහ මට එන ඇමතුම් බලාගතහැකි නිසා, ගෙදරට එන ඇමතුමක් නම්, නාන කාමරයේ සිට උත්තර නොදෙමි. එවිට අපේ උන්දෑ, රැහැන් සහිත දුරකථනයෙන් පිළිතුරු දෙයි.

   හැබැයි අපරාදේ කියන්න බැහැ, සබන් ගාගත්ත ගමන්, කවුරුහරි කතාකරනවාමය. ඉතිං සබන් පිහදාගෙන උත්තර දෙමි. (යුද්ධ කාලේ, කඳවුරු ජීවිතයේදී, ඊට අමතරව, පණිවිඩ හුවමාරු කරන කුඩා යන්ත්‍රයද රැගෙන යමි. එක එක ලොක්කා, කොයි වෙලාවේ කතා කරයිද කියන්න බැරිය. 'මම බාත්රූම් එකේ හිටියා' කියා කීම, කිසිසේත් නිදහසට කරුණක් ලෙස පිළිගනු නොලැබේ. යුද්ධයේදී, තත්පර කීපයක ප්‍රමාදයකින්, ජීවිත ගණනක් අහිමිවිය හැකිය)

   තවමත් මට මේ ගීතය ප්‍රහේළිකාවකි. නාන ගමන්, මමත් ඒ පදමාලාව මුමුණන්නට පටන්ගත්තෙමි. ටිකක්වෙලා මුමුණන විට, යුරේකා පහළවිය. (කොහොමටත් යුරේකා කියන්න පුළුවන් විදිහටනේ හිටියේ. හැබැයි යුරේකා ඉරියව්වෙන් එලියට ආවානම්, අපේ උන්දෑ, මාව අංගොඩ ගෙනයනු නොඅනුමානය) හෙහ් හෙහ්, මොකක්ද මේ තනුව? මේ තනුව තමයි මගේ මතකයේ තිබුණේ. මේ ගීතය සහිත, 'ප්‍යාර් කා සාගර්' (ආදර සයුර) චිත්‍රපටිය, 1960 දශකයේ දිනක,  කෑගල්ලේ (දැනට නැති) පරාක්‍රම සිනමාහලේ නැරඹු හැටි, මට මතක්විය. මෙන්න එම මුල් තනුව සහිත ගීතය. මේ ගීතයෙන් අඩක්වත් අසන ලෙස, මම ඔබෙන් කාරුණිකව ඉල්ලමි. මන්ද, ඉදිරියේදී මා කියන කරුණු සනාථ වන්නේ එවිටය. රූප දෙස බලන්න එපා. දෙනෙත් පියාගෙන ගීතය අසන්න.


  1961 දී තිරගතවූ, (ලංකාවේ තිරගතවුණේ ඊට පසුව) ප්‍යාර් කා සාගර් චිත්‍රපටියේ සංගීතය, භාරතීය සිනමා සංගීතඥයන් අතර අග්‍රගන්‍යයකු වූ, භාරතයේ විවිධ සම්මානයෙන් පුද ලද, 2012 වර්ෂයේදී අභාවප්‍රාප්තවූ, පොදුවේ 'රවී' යන නමින් ජනප්‍රිය, රවී ශන්කර් ශර්මා විසිනි. පදමාලාව, ප්‍රේම් ධවාන් ගෙනි. සිත් අලවන මෝහනීය ගායනය, මොහම්මද් රෆී සහ ආශා භෝස්ලේ ගෙනි. 

   මීළඟට මා කලේ, මේ ගීත දෙක සංසන්දනය කර බැලීමයි. අහෝ එවිට දැනුනේ දැඩි වේදනාවකි. මුල් ගීතයේ තනුවට කර ඇති අපරාධය, වචනයෙන් විස්තර කල නොහැකි තරම්ය. මේ 'සුපිරි තරු' වැඩසටහන් බලන 'කට්ටියට' අප්පුඩි ගහන්න, තාලය අල්ලන්න, ටිකක් නටන්න, සුදුසුවන පරිදි, අර අගනා තනුව, දඩබඩ ක්‍රමයකට වෙනස් කරලා ය. පදමාලාව, බල්ලාගේ පුකේ පදමාලාවකි. හිඟන ප්‍රේමාලාපයකි. භාෂාව හෝ සාහිත්‍යය නූගත්, පදික වේදිකා යාචකයකුගේ පදමාලාවකි. 

   සුපිරි තරු කියන්නේ, ගායකයන් හෝ ගායිකාවන් බිහිකරන වැඩසටහන් නොවන බව, මම හොඳින්ම දනිමි. හොඳයි, අපි මොහොතකට හිතමු, එහෙම නොවුනාට කම් නැත කියා. එහෙනම්, මේ තරුණ පරපුර, සුපිරි තරු ඔස්සේ යන්නේ කොහේද?  මට තේරෙන විදිහට මේ අය විශාල මුදල් ත්‍යාගයක්, ප්‍රසිද්ධිය, සහ ඉතා කෙටිකලක් පවතින ජනප්‍රියත්වය උදෙසා, තම තාරුණ්‍යයේ නම්බුව, ගෞරවය, හරය, ශුද්ධත්වය, ලාබෙට විකුණා දැමීමක් පමණයි කරන්නේ. ටික කලකින්, මෙහෙම කෙනෙක් හිටියාද කියා කවුරුවත් දන්නේ නැත.

   'අනේ ගොනෝ, සුපර්ස්ටාර් කියන්නේ ඒකට තමයි' කියා, මට කීමට සූදානම් වන මහත්වරුනි, නෝනා වරුනි, මට කියාදෙන්න, කාලෙන් කාලෙට සුපිරි හෝටල්වල, අර නිකල් ප්ලේට් බටය දිගේ ඉහලට පහලට ඇඹරෙමින්, තම ඇඳුම් එකින් එක උනා දමමින්, තව නොයෙක් නොයෙක් 'වැඩකෑලි' පෙන්වමින්, කුලියට නටන ගණිකාවක සහ, මේ සුපිරි තරු අතර වෙනස කුමක්ද කියා? එම ගණිකාවට අලුත් අලුත් වැඩකෑලි උගන්වා, ඒවා ප්‍රදර්ශනය කොට, ඉහල ලාභයක් උපයන්නේ, අර හෝටලයේ අයිතිකාරයාය. අපි ටික කාලයක් එම ගනිකාවගේ 'සුපිරි දස්කම්' බලන්නට යන්නෙමු. නමුත් ටික කලකින්, එකම දේ දැකීමෙන්, අපිට ඒ ගණිකාව එපා වෙනවාය. ඒ බව දන්න හෝටල් කාරයා, ඊට වඩා හොඳ 'කෑල්ලක්' ඉදිරිපත් කරයි. එහෙම නොකලොත් බිස්නස් එක වැටේ. අලුතෙන් එන කෑල්ලට, හෝටල් කාරයා ගෙවන ගාන කොපමණ ඉහලද යත්, 'ඕනෑම දේකට' ඒ කෑල්ල ඔට්ටුය. ඔය සුපිරි නාලිකා කරන්නේත්, ඔය සෙල්ලමම ය. වෙනසකට ඇත්තේ, නිරුවත නැති එක විතරයි.

   මෙතෙක් බිහිවූ සුපිරි තරු අද කෝ? ඔවුන්ට හැකියාව ඇත්තේ, ඊනියා සංගීත කළබෑගෑණියක, කවදත් සුපුරුදු සිංදු සැට් එකක් කියා, ගාන අතට ගෙන, වේදිකාවෙන් බැසයාම පමණි.  ඒ කියන්නේ, ඔවුන් සින්දු ඉදිරිපත් කරන්නන් මිස, ගායක ගායිකාවන් නොවේ. විච්චූරණ ඇඳුම් ඇඳ, නානාප්‍රකාර ඉරියව් පාමින්, ගායනා කිරීම ප්‍රාසාංගික කලාවක් බව අද සම්මතයකි. වැරැද්දක් නැත. ගායකයාගේ හෝ ගායිකාවගේ ඒ සුපිරි පෙණුමට (කෘත්‍රිමව කරගත් අලංකරණයට) සාපේක්ෂව, ගායනයද උසස් විය යුතුය. වෙනත් වචන වලින් කියනවානම්, හඬ පමණක් වෙනම ගෙන අසා සිටින විට, එහි ගීතමය වටිනාකමක්, හරයක්, තිබිය යුතුය. ධනුෂ්කගේ ඉහත ගායනයේ මෙන්ම සුපිරි තරු බවට පතු අනෙකුත් අයගේද එවැනි අඩුපාඩු නැතුවා නොවේ. 

   නමුත්, සුපිරි තරු ප්‍රසංගයකට එන විනිශ්චය මණ්ඩලයටද, කල්තබා දෙන උපදෙස් තිබෙන බව දන්නවාද? ඔවුන්ද ගීය අනුව නොනටා නැටිය යුතුය. හායි හූයි වචන හෝ, ඔබ තමයි යුගයේ හඬ වැනි, අමු ඔලමොට්ටල කතා දෙසා බෑ යුතුය. ඔවුන්ගේ අත මිට මෙලවීම වැඩි වෙන්නේ එවිටය. 

   ධනුෂ්කගේ ගායනය, මොහම්මද් රෆී ගේ වගේ නැතැයි කියා, 21 වැනි සියවසේ ජෝකරයකු වන්නට, මම කිසිවිටකත් නොසිතමි. නමුත් ධනුෂ්කට සහ, අනෙකුත් ධනුෂ්කලාට ධනුෂ්කිලාට,  ඇත්තටම අවශ්‍යතාවක් ඇත්නම්, මොහම්මද් රෆීලා, ආශා භෝස්ලේ ලා වන්නට පුළුවන. 

  අපිට අවශ්‍යත් එය බව, අවධාරණය කරමි.  

   හැමදාම අපේ පරණ සැට් එකට ආවඩන එහෙයියකු වීමටත්, මට අවශ්‍යතාවක් නැත. 

   මා කියන්නේ මෙයයි. ගායන හැකියාව ඇති මේ තරුණ පරපුර, වෙළඳ උපක්‍රම වලට රැවටී, අවසානයේ ඉච්ඡාභංගත්වයට පත්වීමෙන්, තම හැකියාව මොට කරගනිති. හොඳ සහජ හැකියාව තියන තරුණ පරපුර, සංගීතයේ හරවත් පැත්තට යොමුකරවීමට සිටින ගුරු පරපුර පවා, පස්ස උඩ දාගෙන, 'සුපර්ස්ටාර්' සේවනයේ යෙදීමෙන්ම, ඔවුන්ගේ විචාර බුද්ධිය කොතරම් පහත් මට්ටමක ඇද්ද යන්න, පසක්වේ.  සංගීතය තියා, මෙලෝ හසරක් නොදන්නා බොහෝ දෙමව්පියෝ, හයහතර නොදන්නා පොඩි එවුන්, සුපර්ස්ටාර් වලට දැක්කීම තරම් අපරාධයක් තවත් ඇද්ද කියා මට බොහෝවිට සිතෙයි. කුඩා කාලයේදීම, ඒ දරුවන් ඉච්ඡා භංගත්වයට පත්වන සැටි, කණගාටුවෙන් යුක්තව වරක් අත්වින්දෙමි

   ටකරම් සංදර්ශන ඔහේ තිබුනාවේ, කේ ජී කෑල්ලක්, මලක්, පැකට් එකක් ගසා, ඒවා බලන අය බලපුවාවේ. දක්ෂතා ඇති, සහජ කුසළතා ඇති තරුණ පරපුර, සංගීත ඥානය, සතතාභ්‍යාසය, වැඩි දියුණු කරගනිමින්, අද්‍යතන ලෝකයේ තිබෙන මනෝ විකාරයන්ගෙන් මිදුණු, සුභාවිත සංගීතයේ කොටස් කරුවන් කරගැනීමට, ඔවුන්ගේ උරුමය ඔවුන්ට කියාදෙමු. සැබෑ සංගීත ලෝකයක් ඔවුන් ලවා ගොඩ නංවමු. එසේ නොකොට, අපිත්, අර නරා වල සැපයෙකැයි කියා, ඒ වෙතම අපේ තරුණ පරපුර සහ බාල පරපුර දක්කන්නේ නම්, අපේ මිනී වලටත් හෙණ ගහනු නොඅනුමානය.

2016 ජූලි මස 16 වැනි දින 0020 පැය 

13 July 2016

ආයෙත් ලට පට

    දන්නවනේ මම හිටපු ගමන් ඔය ලටපට දේවල් කීපයක් එකට එකතුකරලා ලියන බව. එහෙම එකතුවෙච්චි දෙක තුනක් තමා මේ ලියලා දාන්නේ. මෙව්වා ගැන දන්න කියන අයගේ අදහස් දැනගැනීම මානසික සෞඛ්‍යයටත් හොඳයි මම හිතන්නේ. ඒ නිසා දන්නා ඇත්තෝ කියමු බලන්ඩ මොකෑ වෙන්නේ, මොකෑ කොරන්ඩ ඕනේ කියලා. 




පළවෙනි ලටපටේ.

   මේ  දවස්වල බොග දැමීම එපාවෙන වැඩක් සැට් වෙලා. ඒ තමයි, බොගර් බොග් වල කොමෙන්ටු වලට, යූ බටේ වීඩියෝ සහ පින්තූර දාන්න බැරිවීමේ, මහා බහානෙක තත්වයක් උදාවී තිබීම. ඕක විසඳන්න ගිහින්, තව පොඩ්ඩෙන්, බොගටත් කෙලවෙනවා. හොඳ වෙලාවට, මුලින්ම පස්ස උඩ දාලා (backup) කරපු නිසා, වැරදුනාට පස්සේ, ආපහු බොග තිබුණු තැනටම ගත්තා. අර හිටමෝල් කෝඩ් ද html කෝඩ් ද මොනාද කියන එව්වා, විසිපස් පාරක් විතර වෙනස් කළා, ජාලයේ තියන උදව් පිටු ගානකට ගිහින්. මොන.......වැඩේ හරියන්නෙම නෑ. 

   පස්සේ ඇහුවා පටම්අහුරා ගෙන්. ඌත් කිව්වා ඌටත් ඒ ලෙඩේ බෝවෙලාය, හදන්න හැදුවට හරියන්නේ නැත කියලා. පස්සේ මම අර සරුවාංග විසේසග්න වයිද්දිය, නිමෝ තුමාගේ නොම්මරේ පටම්අහුරා ගෙන්ම ඉල්ලගෙන, රෑ වෙලාවක ගැහුවා කෝලයක්. මොන........මෙන්න මේකා උත්තර පණිවිඩයක් එවනවා, මාමේ මම මේ ගෝලීය ආර්ථික සමුළුවේ දේශනයක් පවත්තමින් ඉන්නේ, පස්සේ උඹව අමතන්නං (අඹවන්නං?) කියලා. අනේ අද වෙනතුරු ඌ අර සමුළුව අමතනවද කොහෙද, මට ඇමතුවේ නැහැ. තමුන්නාන්සේලා දන්නවානං, කියලා දෙනවකො, බොගර් බොග් වල කොමෙන්ටු වලට, යූ බට වීඩියෝ සහ පින්තූර දැමීම නැවතිලා තියෙන්නේ හිටං මක්කැයි කියාලා සහ, ඒක විසඳන්නේ කොහොමැයි කියාලා හිටං.  

දෙවැනි ලටපටේ.

  මේ ලඟදි මම කොළඹ ගිහින් එනකොට, එක්තරා තරුණයකු, මා ගමන් කල දුම්රියට ගොඩවුනා, වේයන්ගොඩ දී හෝ මීරිගමදී. ඔහු, දුම්රියට ගොඩවූ අවස්ථාවේ සිට ගමන් කලේ, දුම්රියේ පා පුවරුවේ. දුම්රිය ඇතුලේ වාඩිවෙන්න ඕනේ තරම් ඉඩ තිබුනත්, මේ හාදයා ගමන්කළේ, පා පුවරුවේ. නමුත්, මා බෙහෙවින් කණගාටුවට පත්වුණේ, මොහුගේ දකුණු අත මැණික් කටුව ළඟින් අහිමි වී ඇති බව, දුටුවට පස්සෙයි. ඔහුට නොදැනෙන්න, මා ඔහුගේ පින්තූර කීපයක් ගත්තා. එයින් හතරක් පහත පළකරනවා. 



   තම ජංගම දුරකථනයට සම්බන්ධිත, ශ්‍රවණ උපකරණයත් කන්දෙකේ ගසාගෙන, ඔහු සිටියේ, බොහොම විනෝදකාමී ස්වරූපයකින්. ඔහු, වරින්වර, පාපුවරුවේ විවිධ ඉරියව් පාමින්, ගමන් කළා. දැනටමත් එක් අතක් මෙලෙස ආබාධිතව තිබියදී, මෙලෙස අනාරක්‍ෂිතව දුම්රිය පාපුවරුවේ ගමන් කිරීමෙන්, බරපතළ ආදීනව ලැබිය හැකි බව ඔහුට කීමට සිතුනත්, මේ පරපුර අවවාද පිළිගන්න අය නොවන බව අද්දැකීමෙන්ම දන්නා නිසාත්, උඹට මොකද H කියා, අහන්න ඉඩ තිබෙන නිසාත්, මා නිහඬව මේ විප්‍රකාරය නරඹමින් ආවා. හැබැයි, ඔහු දුම්රියෙන් වැටුනානම්, මා පැහැදිලිවම සාක්ෂි දෙනවා, ඔහු නොසැලකිල්ලෙන් එම අනතුර කරගත් බවට. 

   මේ තරුණයා, අඹේපුස්ස දුම්රිය ස්ථානයෙන් බැසගියා. මට ඒ වෙලාවේ පොඩි සැකයක් ඇතිවුනා මොහු හමුදා සොල්දාදුවකුද කියා. නමුත්, හොඳ පුහුණුවක් ඇති සොල්දාදුවකු, මෙලෙස ඇඳුම් අඳින්නේවත්, යුද්ධයේදී ආබාධිත වූවකු නම්, මෙලෙස හැසිරෙන්නේවත් නැහැ. අනික, යුද්ධයේදී ආබාධිත වූවානම්, ඔහුට කෘත්‍රිම අතක් හිමිවෙනවා. කෙසේ වෙතත්, වර්තමාන සොල්දාදු පරපුරේ අය, මෙලෙස හැසිරෙනවාදයි මා දන්නේ නැහැ. 


තුන්වැනි ලටපටේ 

සැටලයිට් සිංග්ලිෂ් ගැන දන්නවද? මා පහත දැක්වෙන සැටලයිට් සිංග්ලිෂ් පින්තූර ටික එකතුකරගත්තේ ගෙදරදී සැටලයිට් ටීවී වැඩසටහන් බලන අතරේදීයි. ඔන්න බලන්නකෝ සැටලයිට් සිංග්ලිෂ්. 















ඔය ඇති නේද? ගොහිං එඤ්ඤං ඈ?

2016 ජූලි මස 13 වැනි දින 1421 පැය 



12 July 2016

අපිට ගැහුවා - අපිත් ගැහුවා (තුන්වැනි කොටස)

   මේ ලිපියේ පළමුවැනි කොටස සහ දෙවැනි කොටස කියවූ බොහෝ දෙනෙකුගේ ඉල්ලීම වුණේ, තුන්වැනි කොටසත් ඉක්මනින් පලකරන ලෙසයි. නමුත්, සති අන්තයේදී නොසිතූ ලෙස මා අතිශයින් කාර්ය බහුල තත්වයකට පත්වුණා. අද (ජූලි 11 වැනිදා) තමයි නිදහසක් ලැබුනේ, මේ කොටස ලියන්න.  පසුගිය ඊලාම් යුද්ධයේදී, අපේ හමුදාව මෙන්ම, LTTE ත්‍රස්තවාදීන් ද, බංකර් සාදාගෙන සටන් කල බව, ඔබ අසා තිබුනත්, රූපවාහිනී සහ/හෝ පුවත්පත් වාර්තා ඔස්සේ, එවැනි බංකර් වල පින්තූර දැක තිබුණත්, මොකක්ද මේ බංකර් යුද්දේ කියා, ඔබෙන් බොහෝ දෙනෙකු නොදන්නවා ඇති. ඇත්තටම, බංකර් යුද්දේ කියා කට වචනෙට කිව්වත්, යුද භූමියේ පවත්වාගෙන යන ආරක්‍ෂක ප්‍රදේශ මොනවගේද, ඒ ආශ්‍රිත සටන් සිදුවන්නේ කෙසේද, යන්න පිළිබඳව, ඔබේ දැනුම පුළුල් කිරීමයි, මේ ලිපි මාලාවේ අරමුණ. 

   පසුගිය ලිපි කියවීමෙන් ඔබ දැනගත්තා, අපි තවමත් LTTE ප්‍රහාර වලක්වා ගැනීම සඳහා ආරක්ෂක පියවර ගනිමින් සිටින බව. කටුකම්බි දැමීම, කොන්සර්ටිනා වයර් දැමීම, ලී උල් හිටවීම, වැනි උපක්‍රම අපි කළා. නමුත්, ලෝකයේ කොහෙවත් නැහැ, බංකර්, 100% ක් සතුරු ප්‍රහාර වලින් වලක්වාගත හැකි ක්‍රමයක්. 

   දැන් අපි ආරක්‍ෂාව තවත් වැඩිදියුණු කිරීමේ උපක්‍රම වලට අවතීර්ණ වුණා. ඒ තමයි, පුද්ගල නාශක බිම් බෝම්බ, ක්ලේමෝ බෝම්බ, ජම්පින්ග් මයින්ස්, ට්‍රිප් ෆ්ලෙයාර්ස්, වැනි දේ ආරක්‍ෂක වලල්ලේ සවිකිරීම. මේ වෙඩි ද්‍රව්‍ය ගැන මා මීට පෙර ඔබට අවම වශයෙන් දෙවතාවක් පමණ කියා දී තිබෙන නිසා නැවත මෙතන කියන්නේ නැහැ. මෙතනින් එක ලිපියක් සහ මෙතනින් තවත් ලිපියක් බලන්න පුළුවන්. 

   මේ වනවිට අපේ පිරිස් බලය වැඩිවුනා, නව බඳවාගැනීම් නිසා. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ප්‍රධාන බංකර් පේලියට පසුපසින් තවත් බංකර් සාදා, ඇතුලට රිංගන සතුරන්, සාර්කථව මර්දනය කිරීමටත්, බංකර් පේලියේ කොතැනකට හෝ සතුරු ප්‍රහාරයක් එල්ල වනවානම්, ආධාරක භට පිරිසක් යැවීමටත් හැකියාව ලැබුණා. තවත් දෙයක් තිබුණා. ඒ කාලේ අපේ සමහර නොදියුණු ලක්ෂණ යුද භූමියේත් ප්‍රදර්ශනය වුණා. ඒ මෙහෙමයි. අපි හිතමු බංකර් පේලියේ බංකර 50 ක් එක රෙජිමේන්තුවකට අයත් බලඇණියක් විසින් ආරක්ෂා කරනවා. එතැනින් එහාට ඉන්නේ වෙනත් බලඇණියක අය. මෙහෙම වුනාම, මුල් කාලයේදී, උන් එකාට එකා කතා නැහැ. මූණ බලන්නේවත් නැහැ. ඒ වගේ තැන්වලට කොටි ගැහුවම, මේගොල්ලෝ අරගොල්ලන්ගේ වැරැද්ද නිසා වුණේ කියනවා. ඒගොල්ලෝ මේ ගොල්ලන්ගේ වැරදි කියනවා. මේකට අපි හොඳ විසඳුමක් හොයාගත්තා. බලඇණි දෙකක භටපිරිස් යාවෙන ස්ථානයක තිබෙන බංකර් 5 ක් පමණ, ඒ බලඇණි දෙකේම සෙබළුන් මිශ්‍ර කර යෙදවීම තමයි, විසඳුම. ඔන්න අර වාද භේද අමතක වෙලා, ලෙඩේ හොඳවුණා. ඒ විතරක් නෙවෙයි, අපි ඉගැන්නුවා, මේ බල ඇණියට පහර එල්ලවනවා නම්, යාබද බලඇණියෙන්, ආධාරක වෙඩි, (මෝටාර්/මැෂින් තුවක්කු වැනි) ලබා දෙන්නත්, අවශ්‍ය නම් භටපිරිස් පවා එවන්නත්. අනේ අම්මපා, අපේ සමහර ජරා ගති, හමුදාවෙදි වත් නවත්තගන්න බැරි හැටි. 

   දීර්ඝ කාලයක් බංකර්වල ඉන්නකොට හැදෙනවා, 'බංකර් මානසිකත්වය'. අර, දූපත් මානසිකත්වය වගේ. ඒ කියන්නේ, බංකරය ඇතුලෙම ඉන්න තමයි බලන්නේ. ඉස්සරහට ගිහින් යුද්ධ කරන්න කැමති නැහැ. එහෙම කරන්න බැහැ. බංකර් වලට ඉස්සරහින් දාලා තියන බිම්වෙඩි, කටු කම්බි, ආදිය වගගෙන කැලේ වැවෙනවා. ඒවා පරිස්සමෙන් සුද්ධ කරන්න ඕනේ. නැත්නම් ඉස්සරහා මොකුත් පේන්නේ නැහැ. සතුරා ඇවිත් ඒවා ගලවාගෙන ගියත් දන්නේ නැහැ. ඒ නිසා කැලේ කපන්නම ඕනේ.

   (බිම් වෙඩි වැලලුවාම, ඉංජිනේරු රෙජිමේන්තුවෙන්, අපිට ලැබෙනවා, බිම්වෙඩි කෙතේ සිතියමක්. ඒ අනුව, බිම්වෙඩි තිබෙන තැන් හොයාගන්න පුළුවන්. බිම්වෙඩි වැළලීම, ඉංජිනේරු රෙජිමේතුවේ කාර්යයක්. අපිට බැහැ, හිතෙන හිතෙන තැන්වල බෝම්බ වලලන්න) 

  බංකරේටම වෙලා හිටියොත්, සතුරා අපේ දෙපරැන්ද අස්සටම ඇවිත්, කොරන්ඩ ඕනේ ඔක්කොම දේවල් කොරලා යයි.   ඒ නිසා අපි යන්න ඔනේ සතුරා ඉන්න භූමියට. දවල් කාලයේදී නම් උස ගහකට නැග්ගොත් ඈත පේනවා. අපි එකට කියන්නේ නිරීක්ෂණ මුරය කියලා. Observation Post ඒ වගේමයි, රෑටත් බංකර් පේලියෙන් ඉදිරියට ගිහින්, සතුරා එනවද බලන්න ඕනේ. ඒකට කියන්නේ, සවන්දීමේ මුරය Listening Post ඉතිං කොහොමද අර බෝම්බ වළලලා තියන භූමිය උඩින් එලියට යන්නේ එන්නේ? හෙහ් හෙහ්, ඒකට පොඩි සලකුණු දාලා තියනවා, පුංචි අඩිපාරක් ඉතුරුවෙන්න. ඒ විතරක් නෙවෙයි. 

   අපි පටන්ගත්තා මුර සංචාර වල යෙදෙන්නට. එයින් හැකිවුනා, ඉදිරි භූමියේ ඉන්න කුඩා සතුරු කණ්ඩායම්, අන්ද මන්ද වන ආකාරයේ ප්‍රහාර එල්ල කරන්නට සහ ඔවුන්ගේ සැලසුම් අවුල් කරන්නට. එමෙන්ම අපි, දිවා රාත්‍රී දෙකේදීම, බංකර් වලට ඉදිරි භූමියේ, රැකසිට පහරදීම් යෙදෙව්වා. එහි ප්‍රතිඵලය වුණේ, අපේ බංකර් වලට ගහන්න එන සතුරු කණ්ඩායම්, අපි අතින් විනාශවීමයි. එයින්, සතුරාගේ චිත්ත ධෛර්යය, බරපතල ලෙස බිඳවැටෙනවා.

   මේ කාලය වනවිට, කොටින් අපේ බංකර්වලට RPG ප්‍රහාර එල්ල කරන තරමට වැඩිදියුණුවී හිටියා. ඒ නිසා අපේ බංකර්වල ආරක්‍ෂාව සඳහා බර මැෂින් තුවක්කු යෙදෙව්වා.  GPMG, .50 සහ 12.7 වැනි මැෂින් තුවක්කු මේ ආකාරයට යොදවාගත්තා. මෙතැනදී පොඩි න්‍යායාත්මක කරුණක් තියනවා කියන්න. 

   මේ විදිහට, බර මැෂින් තුවක්කුවක්, සතුරාට එකවර සොයාගැනීමට නොහැකිවන ආකාරයට, යුද භූමියේ සැඟවුණු ස්ථානයක සවිකර, සතුරා අපට පහර එල්ල කරන කෝණයට වඩා වෙනස් කෝණයකින්, අපේ ප්‍රහාරය එල්ල කිරීමයි ඒ න්‍යාය. මෙය හඳුන්වන්නේ, Enfilade fire from Defilade position යනුවෙන්. හම්මේ.........සැර වැඩියි නේද? හරි හරි, ඒක අමතක කරන්නකෝ. මෙහෙම හිතන්න. සතුරා, අපි ඇති කියලා හිතාගෙන තියන වෙඩි, අපට නොවදින තැනක හැංගිලා, අපේ මැෂින් තුවක්කුවෙන් සතුරාව කම්බස් කිරීම. දැන් හරිනේ. ඔය පහලින් තියන පින්තූරේ බලන්න. 



  අර සතුරා කියන වචනේ තියන තැන, ඊතලෙන් පෙන්වන්නේ, සතුරා අපිව හොයාගෙන එන දිශාව. එහෙම වෙන්නේ, සතුරාට පෙනෙන අපේ බංකර් තියෙන්නේ ඒ පැත්තේ නිසා. නමුත් ඔය අස්සේ එක තැනක, අපි මැෂින් තුවක්කුවක් හයිකරනවා, බංකරයක් ඇතුලේ හෝ වැලි ගෝනි ආවරණයක (කොළ අතු එහෙම ගහලා හංගලා) ඒ මැෂින් තිවක්කුවෙන් එල්ලවන වෙඩි පහර, සතුරාගේ මූනට නෙවෙයි වදින්නේ හරහට. පේනවද මූනට මූණ දාලා, අපේ එක පිරිසක් වෙඩි තියනවා, බංකර් වල ඉඳලා. නමුත්, මැෂින් තුවක්කු පාර වදිනකොට, සතුරා හොල්මන් වෙනවා, ඒ හොහෙන්ද වෙඩි එන්නේ කියලා. නමුත් ඒ පැත්ත බලන්නත් කලින් සතුරා සුන්.

   මීළඟට අපි යුද්ධ ටැංකි සහ සන්නාහ සන්නද්ධ රථ යොදාගත්තා,  සන්නද්ධ රථ, ආරක්ෂක වළල්ලට ගෙන එන්න නම්, රළුවට හෝ සැකසුණු පාරවල් අවශ්‍යයි. ඒ වගේම, සතුරු RPG ප්‍රහාර වලින් වැළකී, පොළොවට හැකිතරම් ආසන්නව පැතිරී යන ලෙස, සන්නද්ධ රථවල තිබෙන මැෂින් තුවක්කු වලින් ප්‍රහාර එල්ල කිරීම සඳහා, බංකර් පේලියේ අතරින් පතර, සුදුසු ස්ථාන සැකසිය යුතුයි. ඒවා හඳුන්වානේ Hull down position යනුවෙන්. හල් - Hull කියන්නේ, සන්නද්ධ රථයක ඉදිරිපස කොටස. ඒ කොටස පොළොවේ මට්ටමට පහතින් සිටින ලෙස පොළොව කපා සැකසුවාම, පොළොවට ආසන්න මට්ටමෙන් යන ලෙස, වෙඩි තියන්න පුළුවන්. සතුරු යුද ටැංකියකට වත්, එකවර අපේ ටැංකිය ඉලක්ක කරගන්න අමාරුයි. (LTTE එක කවදාවත් යුද්ධ ටැංකි වලින් යුද්ධ කලේ නැහැ) බලන්න පහල තියන පින්තූරය. ඔය තියෙන්නේ Hull down කරලා. 



  මේ අතරේ අපි, මෝටාර් අවි වලින්, ඉදිරි භූමියට ප්‍රහාර එල්ල කිරීම පටන්ගත්තා. භූමියේ තිබෙන අපේ සෑම බංකරයක්ම, GPS තාක්ෂනය මගින්, අක්ෂාංශ දේශාංශ අනුව අංකනය කළා. ඒ අනුව, අංක 1 බංකරය කිව්වොත්, පසුපස භූමියේ ඈතින් තියන, බලඇණි මූලස්ථානයේ හෝ බලසේනා මූලස්ථානයේ තිබෙන සිතියමෙන් බලා, හරියටම ඒ බංකරයට ඉදිරියෙන් පිහිටි භූමියට, මෝටාර් හෝ කාලතුවක්කු වෙඩි එවන්නට හැකියාව ලැබුණා. 

   නමුත් මෙහෙම කර කර ඉන්න බැහැ හැමදාම. අපි භූමිය අත්පත් කරගනිමින් ඉදිරියට යායුතුයි. යුද්ධය අවසන් කළයුතුයි. ජයග්‍රහණය අනිවාර්යයෙන් ලබාගත යුතුයි. 

   ඒ සඳහා අපි නව උපක්‍රම ආරම්භ කළා. ඒ තමයි, බංකර් ක්‍රමය අතහැර, කෙලින්ම භූමියේ සැඟවීම. මෙහි තිබෙන විශේෂ වාසිය තමයි, අපි කොහෙද ඉන්නේ කියලා, සතුරාට හොයාගන්න බැරිවීම. බංකර් තියනවානම් දන්නවා, අපි එතන ඉන්න බව. නමුත්, මහකැලේ, වෙස්වලාගෙන, සැඟවී ඉන්න අපිව සෙවීම, ලෙහෙසි නැහැ. ළඟට ආවොත්, අපි අතින් මරණය තෑගි ලැබෙනවා. 

   මෙය ඉතා අභියෝගාත්මක ක්‍රියාවක්. සමහරවිට, රාත්‍රියේදී මෙන්ම දවල් කාලයේදී වුවත්, සතුරා අපිට සමාන ඇඳුම් ඇඳ සිටීනම්, අපි සමග මිශ්‍ර වීමට වුවත් පුළුවන්. එහෙම වුන අවස්ථා එකක් දෙකක් තිබුණා. නමුත් අපි රහස් පද සහ වර්ණ පටි ක්‍රමය පටන්ගත්තාම, ඒ අපහසුතා මගහැරුණා. රහස් පදය කියන්නේ, වචන දෙකක්. මෙය කටින් කට කියනවා මිසක්, ගුවන්විදුලි පණිවිඩ හුවමාරු යන්ත්‍ර වලින් කියන්නේ නැහැ. අපේ අයට පමණයි කියන්නේ. උදාහරණය:- 'රතු - කුකුලා'. දැන් අපි භූමියේ ඉන්න අපේ වන/නොවන කෙනෙක් හඳුනා ගැනීමට, ඔහු අසලට ගොස්, 'රතු' කිව්වොත්, ඔහු 'කුකුලා' කියන්න ඕනේ. බැරිවුනොත් මරණය. 

   වර්ණ පටි කියන්නේ, එක් දිනකට හෝ දවසේ වරින්වර වෙනස්වන වර්ණ පටියක්, තමන්ගේ අත්දෙකෙන් එකක මැණික්කටුවේ බැඳ ගැනීමයි. එවිට අපි දන්නවා ඒ අපේ මිනිහෙක් බව. මේ සඳහා රහස් පද, වෙනනමම තියනවා. සෑම සෙබළකු අතම, වර්ණ පටි කට්ටලයක් තියනවා. උදාහරණය:- 'බළලා මල්ලේ' කියා කිව්වොත්, එහි තේරුම, 'රතුපාට පටිය දකුණු අතේ බැඳගනින්' කියන එක විය හැකියි. 'සීයා ගෙදර' කිව්වොත්, 'නිල්පාට පටිය වම් අතේ බැඳගනින්' කියන එක විය හැකියි. වම දකුණ මාරු කරගත්තොත් 'අබ සරණයි'


   බංකර් අතහැර, යුද භූමියට ගොස්, සංවිධානාත්මකව සටන් කිරීමෙන්, අපි යුද්ධය ජයගත්තා. නමුත්, සෑම යුද්ධයකදීම පාහේ, මේ විදිහට, බංකර් සහිත ආරක්‍ෂක ප්‍රදේශ පවත්වාගන්නට සිදුවෙනවා. බංකර් වල සිටිමින් කලයුතු වැදගත්ම කාර්යය වන්නේ, ඉදිරි සැලසුම් සකස්කර ගැනීමයි. 

   මේ ලිපි මාලාව කියවීමෙන්, ඔබ යම් දැනුමක් ලබන්නට ඇතැයි මා විශ්වාස කරනවා. මේ ලිපි තුන ඇතුළත, ගැඹුරු යුද න්‍යාය ගණනාවක්, ඇතුලත් කොට තිබෙනවා. මා ඒවා හමුදා පොතේ විදිහට ලිව්වා නම්, ඔබ මේ ලිපි කියවීම අත්හරිනවා. එක් න්‍යායක නමක් පමණයි, මා සඳහන් කලේ. ඒක නිකම් කුණුහරපයක් වගේ නේද? 

   හොඳයි, එහෙනම්, මේ  ලිපි මාලාව, මෙතෙකින් අවසන් වෙනවා. 

2016 ජූලි මස 12 වැනි දින 1043 පැය 
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }