හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

06 January 2015

ඡන්දෙ ඉවරවෙනකල්

Ha ha
 අම්මෝ.................ඡන්දෙ,ඡන්දෙ, ඡන්දෙ. උදේ ඉඳන් රෑ වෙනතුරු බැලූ බැලූ හැම පැත්තේම ඡන්දෙ. කන්න බොන්නවත් ඕනෑකමක් නැහැ වගේ සමහර අයට. සමහර වෙලාවකට හරිම වදයක්. මේ දවස්වල ප්‍රධාන අපේක්ෂකයන් දෙන්නගෙම ප්‍රචාරක පත්‍රිකා වලින් අපේ පැත්තේ ගෙවල්වල තැපැල් පෙට්ටි පිරිලා. අපි නම් ඒවා විසිකලේ නැහැ. මොනවා හරි ඔතන්න අරං තිබ්බා. මේ ඡන්ද කරච්චලෙන් ටිකක් මිදෙන්නත් එක්ක, කියවලා බලමුද කතා දෙකතුනක්? හැබැයි මේවා මගේ නිර්මාණ නෙවෙයි. ජාලය පීරලා හොයාගත්ත දේවල්. කමක් නැහැ නේද? අපිට ඕනෙ සරල වින්දනයක් ලබන්නනේ. හරි, එහෙනම් පටන්ගම්මු. (පින්තූරේ ගත්තෙ මෙතනින්)


  තුවාල වෙච්ච හැටි

   ජනාධිපති ෆ්‍රැන්ක්ලින් ඩි රූස්වෙල්ට් ගේ ආර්යාව, හමුදා රෝහලට ගියා, යුද්ධයෙන් තුවාල වූ සොල්දාදුවන් බලන්න. මුළු ශරීරයම වෙළුම්පටි වලින් ඔතලා, මමියක් වගේ පෙනෙන සොල්දාදුවකු දුටු ඇය, හොඳටම කම්පාවී, ඔහුගේ ඇඳ අසළට ගියා. 

"දෙවියනේ.....................!, මොකද ඔයාට වුණේ" ඇය සොල්දාදුවාගෙන් ඇහුවා.

"මේකයි වුණේ මැඩම්, මම කැලේ පැට්‍රෝල් එකක් යනකොට, එක ජපන් සොල්දාදුවෙක් කෑගහලා කිව්වා, ජනාධිපති රූස්වෙල්ට් කන්නේ මීයෝ........ කියලා. මම කෑගහලා කිව්වා, ජපන් අධිරාජයා කන්නේ, 'ග් ඌ...........' කියලා". සොල්දාදුවා උත්තර දුන්නා.

"එහෙනම් එතකොටම උන් ඔයාට මෝටාර් බෝම්බයක් එවන්න ඇති".  ආර්යාව කිව්වා.

"නෑ නෑ මැඩම්, තවම තුවාල වුණේ නැහැ. අර ජපන් සොල්දාදුවා ආයෙත් කෑගහලා කිව්වා, උඹලගේ ගැරී කූපර් කියන්නේ, රඟපාන්න බැරි නළුවෙක්, කියලා. මම කෑගහලා කිව්වා, අධිරාජයාගේ නෝනට උයන්න බෑ..............කියලා"

"එහෙනම් උන් ඔයාට අත් බෝම්බෙකින් දමලා ගහන්න ඇති". ටිකක් නොඉවසිල්ලට පත්වූ ආර්යාව කිව්වා.

"නෑ නෑ තවම නෑ මැඩම්" සොල්දාදුවා උත්තර දුන්න.

"එහෙනම් මොකද වුණේ"?

"ඒ පාර අර ජපනා කෑගැහුවා, උඹලගේ ජෙනරල්ලා ඔක්කොම මෝඩයෝ කියලා". මම කෑගැහුවා, උඹලගේ ජෙනරල්ලා ඔක්කොම මැට්ටෝ කියලා".

"ඉතිං ඒ පාර?" ආර්යාව ඇහුවා.

"ජපනයි මායි ලඟට ඇවිත්, අතට අත දීලා කතාකරලා, සිගරට් එකක් බොන්න හදනකොටම, මේ කොහේදෝ ගිහින් පාර වරද්දගත්ත අපේ හමුදාවේ යුද්ද ටැංකියක්, මාව යටකරගෙන ගියානේ මැඩම්" සොල්දාදුවා උත්තර දුන්නා.


  ජරා මැගසින්

   එක හමුදා කඳවුරක් භාර නිලධාරියා, එයාගේ නෝනට කෝල් එකක් දුන්නා.

   "මේ, අද මම එන්න ටිකක් පරක්කු වෙනවා. මේ අපේ සොල්දාදුවෝ ළඟ තිබිලා, මට අහුවුනා ජරා මැගසින් වගයක්. මම උන්ට එකට අවශ්‍ය දඬුවම් දීලා තමයි ගෙදර එන්නේ"

   නිලධාරියා තරමක් ප්‍රමාදවී නිවසට ආවම, නෝනා අහනවා,

   "මාර ජාති තියෙන්න ඇති නේද ඒ මැගසින් වල? ඔයාට තිබුණේ එකක් දෙකක් අරං එන්නනේ" කියලා.

   නිලධාරියා කියනවා,

   "ඔයා මේ මොන මගුලක් කතාකරනවද කියලා මට තේරෙන්නේ නෑ. උන්ගේ තුවක්කුවල සමහර මැගසින් මළකඩ කාලා. මාස ගානකින් සුද්ද කරලා නෑ. මම උන්ව පැයක් කන්දක ඉහළට පහළට දුවවලා, උන්ට රෑ කෑම ප්‍රමාද කරලා, හැම මැගසින් එකක්ම සුද්ධ කරලා, මට පෙන්නන්න කිව්වා.

type56


ප්‍රථමාධාර 

  බොහොම සැර හමුදා සැරයන් මේජර් කෙනෙක් ඉන්න කණ්ඩායමකට අයත්, ආධුනික සොල්දාදුවන් පිරිසකට, හමුදා වෛද්‍ය උපදේශක විසින් ප්‍රථමාධාර පන්තියක් පවත්වනවා.

  උපදේශක සොල්දාදුවන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා.

   "හොඳයි, මෙහෙම හිතන්න. තමන්ගේ සාජන් මේජර්ට, බෝම්බ කෑල්ලක් වැදී, හිසේ තුවාලයක් ඇතිවෙනවා. මොකක්ද තමුන් දෙන ප්‍රථමාධාරය?"

   එක සොල්දාදුවෙක් විදුලි වේගෙන් නැගිට්ටා. "මම සාජන් මේජර්ගේ බෙල්ලට තිරිංග බැම්මක් දාලා හොඳට තද කරනවා, ලේ ගැලීම නවතිනතුරු" කියලා උත්තර දුන්නා.

picture-22975


අදට ඇති නේද? පස්සේ තව ඒවා දෙන්නම්කො. ගොඩක් තියනවා හොයාගත්ත ඒවා. 



2015 ජනවාරි මස 06 දින 2306 පැය

04 January 2015

මේ බල්බ් වර්ගය මිලදී ගන්න එපා - Poor Quality CFL Bulbs

 පහත පින්තූරයේ දැක්වෙන බලබ් වර්ගය මිලදී ගන්න එපා. මා පසුගිය මාර්තු මාසයේදී මේ වර්ගයේ බල්බ් 15 ක් එකවර මිලදී ගත්තා. මේ වනවිට එයින් 5 ක් දැවී ගොස් අවසන්. ඒවා දැවී යන්නේ අමුතුම ආකාරයකටයි. දැල්වී තිබියදී, එකවරම් 'ඩොහ්' යන හඬින් පුපුරා ගියාක් මෙන් දැනෙන ආකාරයට නිවී යන්නේ, එම පරිපථයට අයත්, කුඩා පරිපථ බිඳිනයද ක්‍රියා විරහිත කරමින්. එසේත් නැත්නම්, නිවා දමා තිබී නැවත දැල්වීමට උත්සාහ කරන විටම, ඉහත සඳහන් ලෙස හඬ නගා දැවී යනවා.

Scan_20150104_125545

Scan_20150104_131402
   CFL බල්බයක ප්‍රමිතිය ගැන සලකා බැලීමේදී මෙය ඉතා අඩු ප්‍රමිතියකින් යුත් බල්බයක් බව පෙනී යනවා. මෙයට තිබෙන්නේත් තරු තුනයි. වසරක වගකීමක් තිබුනත්, අලුත් බල්බයකට මාරු කර දෙනවිට, දිනය දමා දෙන්නේ, පරණ බල්බය මිලදීගත් දින සිට වසරක් තුළ වගකීම දරන ආකාරයටයි. ඒ නිසා නැවත දැවී ගියොත් සිදුවන්නේ පාඩුවක්.

   සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ වෙළඳ නාමයන්ට අයත් CFL බල්බ් මීට වඩා මිල අධිකයි. ප්‍රසිද්ධ වෙළඳ නාම වලට අයත් CFL බල්බ් 20 ක් පමණ මගේ නිවසේ සවිකර ඇති අතර, ඒ බල්බයක් දැවී යන්නේ, අවුරුදු තුනක් පමණ පාවිච්චි කිරීමෙන් පසුව පමණයි. නිවසේ අභ්‍යන්තරයේ, මඳ ආලෝකය අවශ්‍ය තැන් සඳහා පමණක් පාවිච්චි කිරීමට මිලදීගත්, ඉහත පින්තූරයේ සඳහන් බල්බ් වර්ගය, දේශීයව නිෂ්පාදනය කලත්, ප්‍රමිතිය ගැන නම් සෑහීමකට පත්වන්නට බැහැ. 

   'ලාබ බඩුවේ හිලක් ඇත' කියලා පරණ කියමනක් තියනවනේ. ඒ කියමන සත්‍ය බව මේ සිදුවීමෙන් වැටහෙනවා. 



2015 ජනවාරි මස 04 දින 1324 පැය

02 January 2015

මාමා අපිට අරින්න? හුහ්....හිතුවා මදි මාමේ


Dog
 හෙහ් හෙහ් හෙහ්....මාමා තමයි මාමා කියන්නේ. මේ වයසක පැන්සොන් කාරයන්ට කාරියන්ට, නහින දෙහින කාලේ, පැත්තකට වෙලා ඉන්න දෙන්නේ නැතුව, උන්ටත් අරින්නනේ මාමා තනන්නේ. මම හිතන්නේ මාමට දැන් වෙන අයට අරින්න බෑ. ඒ කාලේ  මාමගේ වසුරු ඇදපු එවුන් පවා, මේ දවස්වල මාමට අරිනවා. ඒ නිසා වෙන්න ඇති මාමා මේ නාකි අපිට අරින්න හිතුවේ. එව්වා කොහෙද මාමේ අපිත් එක්ක. මෙන්න මේකයි කටන්තරේ. මතකැයි මං ලිව්වා, මාමගේ චින්තනයෙන් පැන්සොන් කාරයන්ට දෙන, අලුත් පෝන් පැකේජ් එක ගැන. අන්න හරි ඒ කළගුණ පස්සෙන් එලවන පැකේජ් එක තමා.

Scan_20141211_124056

   ඔන්න ඉතිං අද, අපේ ඇත්තියි මමයි උදෙන්ම පේවෙලා, මාමගේ දෙමවුපියෝ පවා මතක් කොරගෙන, අවශ්‍යය ඔක්කොම ලියුං කරදහිද, එව්වයේ පොටෝ කොපිද ඇන්න, ගියා මොබිටෙල් කන්තෝරුවට.

    අපොච්චිගේ පප්පේ.............එතන අපේ වයසේ කොල්ලෝ කෙල්ලෝ ඊස් මීස් නැතුව පිරිලා. ඔන්න සිකුරිටි උන්නැහේ අපිට අර, මැජික් පෙට්ටියකින් නොම්බරයක් ගහලා දුන්න. මම ඕකත් අරං වාඩිවෙලා ඉන්න ගමන් හොඳට වටපිට බැලුවේ අපේ වයසේ කෑලි දිහා. හප්පා.......................ලැජ්ජාවේ තන්තෝසේ බැරුවා.........................18 යි මාස 8 යි වගේ පෙනෙන, 65 යි මාස 13 යි කෑලි හිටියනේ. මම ඔව්වා දිහා බලන අතරේ, ඔන්න මගේ නොම්බරේ කතා කොරලා. මට ඇහිලත් නෑ අරවා බලන සිහිය නිසා. ඔන්න අපේ උන්දෑ, මට ආදරයෙන් හොම්බට දෙකක් ඇනලා මතක් කළා, ඉක්මනට යන්න ඔයාගේ නොම්බරේ කතා කළා කියලා. ඔන්න අනේ ඉතිං, දෙයියන්නේ පිහිටයි තුණුරුවන්නේ සරණයි කියලා, මමත් ගෙහුං කවුන්ටරේ හිටිය තරුණ මහත්තයාට දුන්නා, මම ගෙනාපු ලියුං කරදහි මිටියම. (නෙද්දකින් අච්චර ලස්සන කෙල්ලෝ ඉන්න කවුන්ටර් තියෙද්දී, මට හම්බවුනේ දිගන්චි ගොබිලෙක් ඉන්න කවුන්ටරයක්)

    හැබැයි උන්නැහේ බොහොම කඩිසර, කරුණාවන්ත, කාර්යක්ෂම නිලධාරියෙක් බව කියන්න ඕනෙ. උන්නැහේ කිව්වා, මහත්මයා මුලින්ම මහත්මයා ගන්න යන මේ පැකේජ් එකේ කොන්දේසි පැහැදිළි කරලා දෙන්නම්. මූලික ගෙවීම වශයෙන් රු 500 ක් අය කරනවා. මාසික ගාස්තුව වශයෙන් රු 253 ක් අය කරනවා. වසර දෙකක් යනතුරු අනිවාර්යයෙන් මේ පැකේජ් එක පාවිච්චි කිරීමෙන් පසුව පමණයි, අවශ්‍යනම් පැකේජ් ඒකෙන් ඉවත් වෙන්න පුළුවන්. නමුත් එහෙම ඉවත් වුනත්, මහත්මයා ජීවත්ව සිටිනාතාක් කල්, මහත්මයාගේ විශ්‍රාම වැටුපෙන් මාසිකව රු 253 ක් කපා ගන්නවා. මෙම පැකේජයේ නොවන, වෙනත් මොබිටෙල් අංක සඳහා විනාඩි 100ක් නොමිලේ ලැබෙන නමුත්, නියමිත සීමාවට පසු, එක ඇමතුම් ඒකකයකට, අමතර රුපියලක ගාස්තුවක් එකතු වෙනවා. වෙනත් ජාල වලට ඇමතීමේදී, ඒකකයක් රු 2 ක් සහ බදු එකතුවෙනවා.

   මෙන්න ඒ මහත්තයා මගේ කොලේ උඩ සටහන් දාලා පෙන්නපු හැටි. 
Scan_20150102_125900

   මම ඇහුවා, මේ දෙන ෆෝන් එක හුඟක් වටින එකක්ද මෙච්චර මුදලක් කපන්නේ කියලා, නැහැ, විවෘත වෙළඳපොලේ රු 2000 ක් විතර වටින ෆෝන් එකක් තමයි ලැබෙන්නේ කියලා, අර මහත්තයා උත්තර දුන්නා. මම ආයෙත් ඇහුවා අර රු 253 අපි මේ පැකේජ් එක අත්හැරියත් කපනවද කියලා. ඔව් මහත්මයා, ස්ථිරවම ඒ මුදල නොකඩවාම කපනවා කියලා, ඒ මහත්තයා උත්තර දුන්නා. ඉතිං, ඔය මහත්තයලගෙන්, පෙර ගෙවුම් පැකේජ් එකක් ගත්තානම්, මෙච්චර කරදරයක් නැහැ නේද? කියලා මම ඇහුවා. නැහැ කිසිම කරදරයක් නැහැ කියලා ඒ මහත්තයා කිව්වා.

   හෙහ් හෙහ් හෙහ්........ කොහොමද කළගුණ පැකේජයේ තරම.  කළගුණ සලකන්න කියලා, ඒ කාලේ අපි මාමට සැළකුවාට ප්‍රති උපාකාර වශයෙන්, මාමා අපිට කෙළින්න යන කෙළවිල්ල කොහොමද? මාමා නාකි අපට මෙහෙම කෙළින්න යන්නේ, උගේ අර වනචර, පජාත, කමකට නැති, පුත්තරයන්ට, හෙලිකොප්ටර් පදින්න, ලැම්බෝගිනි පදින්න, අස්සයෝ පදින්න, කැසිනෝ ගහන්න සල්ලි හොයාගන්න නේද? අනේ මාමේ, මාමා අපිට අරින්න හිතුවා මදි.  ටටා...............! 


2015 ජනවාරි මස 02 වැනි දින 1410 පැය

01 January 2015

තීරණාත්මක නව වසරක් උදාකර ගනිමු

Submitting a Vote
  මතකයි නේද මා ඔබෙන් නිවාඩුවක් ඉල්ලුවා මට අසනීප නිසා. දැන්නම් තරමක සුවයක් ලැබී තිබෙනවා. එහෙත් තවමත් දිගු වෙලාවක් පරිගණක තිරය දිහා බලා ඉන්න අමාරුයි. නමුත් පසුගිය දිනවල ලිපි කීපයක් ලිව්වේ, රටේ වෙන දේවල් දැක දැක, ඇහැ කණ පියාගෙන ඉන්න බැරි නිසයි. සමහරවිට විනාඩි දෙකතුනක් ලියා, විවේක ගනිමින් තමා ලිව්වේ. දැන් මම කරන්නේ, යතුරු පුවරුව දිහා බලාගෙන ලියමින්, වරින් වර පරිගණක තිරය දිහා බලා, යතුරු ලියනය කළ දේ නිවැරදි කිරීමයි.

   පසුගිය දිනවල මා මුලතිව්, කිලිනොච්චි, යාපනය, ඩෙල්ෆ්ට් දූපත, නාගදීපය, වැනි ප්‍රදේශ වල සංචාරයක යෙදුණා. ඒ අත්දැකීම් අළලා ලිපියක් ලියන්නට සූදානම් වෙද්දී තමයි, මට බෝවන ඇස් රෝගයක් වන Conjunctivitis වැළඳුනේ. වෛරස් රෝගයක් නිසා, බෙහෙත් කළත්, වෛරස් ක්‍රියාකාරිත්වය අවසන් වනතුරු, රෝගී ලක්ෂණ තිබෙනවා. සෑහෙන දුකක් වින්දා. කෙසේ වෙතත්, උතුරේ සංචාරය ගැන ලිපිය, ඔබ වෙත ගෙන එන්නට මා සූදානම්. 
   
   පසුගිය වසරේ ජනවාරි පළමුවැනිදා මා ලිව්වේ, හැමදාම සුබ අලුත් අවුරුද්දක් වේවා කියමුද? කර ගනිමුද? යන මාතෘකාවයි. මේ වසරේදී, මුළු රටම ජනාධිපතිවරණ උණුසුමකින් ඇළලී ගොස් තිබෙන නිසා, එයින් පිට යමක් ලියන්න අමාරුයි. ඒ නිසා මා හිතුවා ඔබට කියන්නට, රටේ අනාගතය ගැන අතිශයින් තීරණාත්මක ජනාධිපතිවරණයක් පැවැත්වෙන මේ මොහොතේදී ඉතා ස්වාධීනව, මධ්‍යස්ථව සිතා බලා, ඡන්දය පාවිච්චි කරන්නැයි කියා.

   කාටද ඡන්දය දෙන්නේ කියා කියන්නට/ඉල්ලන්නට තරම් මුග්ධයකු නෙවෙයි මා. ඔබ අවම වශයෙන්, වයස අවුරුදු 18 සපුරා, පළමු වතාවට, සර්වජන ඡන්ද අයිතිය භුක්ති විඳින්නට සූදානම් වනවා වන්නට පුළුවන්. නැතහොත් ඔබ, මා වැනි, 60 වයස් පිනූ කෙනෙකු හෝ සමහරවිට ඊට වඩා වයසින් අඩු වුනත්, අපේ රටේ දේශපාලන ඉතිහාසය, පක්ෂ ක්‍රියාකාරිත්වය, ඡන්ද අපේක්ෂකයන්ගේ පැවැත්ම, ඡන්ද දායකයන් තීරණ ගන්නා ආකාරය, ආදිය පිළිබඳව, පෘථුල අවබෝධයකින් යුක්ත වූවකු වන්නට පුළුවන්.
   
   මට විශේෂයෙන් කියන්නට තිබෙන්නේ, ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ, මගේ ජීවිත කාලය තුළ මුහුණ දෙන, අතිශයින්ම තීරණාත්මක ජනාධිපතිවරණට මෙය බවයි. මා මුලින්ම ඡන්දය ප්‍රකාශ කළේ, 1977 වසරේදී. එතැන් සිට මේ දක්වා පවත්වන ලද, ජනාධිපතිවරණ, පාර්ලිමේන්තු මැතිවරණ, අතුරු මැතිවරණ, පළාත්සභා මැතිවරණ, ආදී විවිධ මැතිවරණ ඉතා සුළු ප්‍රමානයකදී, මා, මගේ ඡන්දය ප්‍රකාශ කළා. එයින් සමහර අවස්ථා වලදී, මා ඡන්දය දුන් පක්ෂය ජයග්‍රහණය කළා. තවත් අවස්ථා වලදී පරාජය වුණා. අනිවාර්යයෙන් එහෙම වියයුතුම නේ.

   අපේ රටට කිසිසේත් නොගැලපෙන, ඒකාධිපති ස්වරූපයේ සමහර විධායක ජනාධිපති බලතල ඉවත් කිරීම, කප්පාදු කිරීම, අහෝසි කිරීම, අවලංගු කිරීම ගැන, කතා එළියට ආවේ, අද ඊයේ නොවන බව, ඔබ හොඳින්ම දන්නවා. නමුත් එහෙම කියපු අය, පොරොන්දු දුන් අය, ඒවා ක්‍රියාවට නැගුවේ නැහැ. යළිත් ඒ කතාවම කරළියට ඇවිත් තියනවා. අපේ රටේ ඉතිහාසයේ, දේශපාලකයන්, ඔවුන්ගේ ප්‍රතිපත්ති, ඔවුන්ගේ චර්යාව සහ පැවැත්ම පිළිබඳව, මේ තරම් ජනතා අවිශ්වාසය ඇතිවූ යුගයක්, මටනම් හිතාගන්නට බැහැ. 1970 පාර්ලිමේන්තු මැතිවරණයේදී මා දුටු දේශපාලන සංහිඳියාවේ සිද්ධියක් කියන්නම්.

   එවකට අගමැතිව සිටි ඩඩ්ලි සේනානායක මහතා, කෑගල්ල දිස්ත්‍රික්කයේ, දැදිගම ආසනයෙන් තමයි ඡන්දය ඉල්ලුවේ. ඡන්දය පැවති දා රෑ, ඡන්දය ගණන් කරන මධ්‍යස්ථානය වන, කෑගල්ලේ කාර්මික විද්‍යාලයට එතුමා පැමිණියා. කාර් එක එතුමාගේ. නිළ රථ රජයට භාරදීලා වෙන්න ඇති මැතිවරණය අවසන් වනතුරු. ඒ, ඒ කාළේ දේශපාලකයෝ. ඡන්දය ගණිනු බලාසිටි එතුමා, ශාලාවේ ප්‍රධාන දොරටුව වෙත ආවේ, සිය දුම් පයිප්පය පත්තු කරගන්නටයි. පයිප්පයට දුම්කොළ දමා, එය කටේ තියාගන්නවාත් සමගම, එතනට ආවේ, ලංකා සමසමාජ පක්ෂයේ නායක, ආචාර්ය එන්.එම්.පෙරේරා මැතිතුමා.

   ඔහු තම සාක්කුවෙන් ගිනිපෙට්ටියක් ගෙන, ඩඩ්ලිගේ පයිප්පය පත්තු කළා. දෙදෙනා බොහොම සුහදව සාකච්ඡාවක යෙදුනා. ඊට පෙර දිනවල තිබුණු මැතිවරණ වේදිකාවලදී, එකිනෙකාට එරෙහිව කියාගත් දේවල්, දෙදෙනාම අමතක කර ඇති බවක් තමයි පෙනුණේ. (මේ ඔක්කොම බලාගන්න අපිට බාධාවක් නැහැ. ශාලාව ඇතුළට යන්න විතරයි නොදුන්නේ. මේ දෙදෙනාම කෑගල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද අපේක්ෂකයන් නිසා තමා මෙතනට ආවේ. සම්පූර්ණ මධ්‍යස්ථානයේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 10 ක් විතර ඉන්න ඇති.)

   ඡන්ද ප්‍රතිඵල පිටවුණා. ඩඩ්ලි සේනානායක මහතා පරාදයි. හිස නවාගෙන තම කාරය වෙත ගිය ඔහු, තනිවම එය පදවාගෙන යන්නට ගියා. රැස්ව සිටි කිසිවෙකුත්, ඔහුට කිසිදු අපහාස උපහාසයක් එල්ල කළේ නැහැ. ඩඩ්ලි, එන්.එම්, වැනි දේශපාලකයන් ඊට පසු කාලයේ බිහි නොවුනේ, ව්‍යවස්ථා මගින්ම විෂමාචාරය ස්ථාපිත වීම නිසා කියලයි මටනම් හිතෙන්නේ. ඔවුන්ගේ දේශපාලන දර්ශනයේ සාර්ථක අසාර්ථක, සාධාරණ අසාධාරණ ලක්ෂණ කොපමණ තිබුණත්, ඔවුන් දේශපාලන සංහිඳියාවක සිටියා. මරාගන්න ගියේ නැහැ. ඒ තත්වය, ඔවුන්ගේ දේශපාලන පරිණත භාවයේ ලක්‍ෂණයක් ලෙසයි මා දකින්නේ. 

   පසුගිය දිනවල ඇතිවූ මහා වර්ෂාව නිසා, මේ රටේ ජනතාව අපමණ පීඩාවකට පත්වුණා. පුද්ගලයන් ලක්ෂ දහයකට වැඩි ගණනක් පීඩාවට පත්වුණ බව, ජනමාධ්‍ය ඔස්සේ වාර්තා වුණා. සුබසාධක කඳවුරු 350 ක පමණ, අසරණව කල් ගෙවන්නට, පවුල් රාශියකට සිදුවුණා. මියගිය සංඛ්‍යාව 30 කට වැඩියි. නිවාස අහිමිවූ සංඛ්‍යාවත් විශාලයි. මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා එකට එක්ව, මේ සුබසාධක කඳවුරු වලින් කීපයකටවත් ගොස්, අපේ සටන දේශපාලන සටනක් මිස, පෞද්ගලික සටනක් නොවේ කියා, ඒ මිනිස්සුන්ට බිස්කට් පැකට් එකක්වත් ඒ දෙදෙනා අතින් දෙන්නට පුළුවන් වුණානම්, මේ දෙදෙනාම තම ඡන්ද පදනම ඉතා විශාල ලෙස වර්ධනය කරගන්නවා නොඅනුමානයි. නමුත් දැන් තිබෙන්නේ දේශපාලනයක් නොව මරාගැනිල්ලක්. එමෙන්ම, මේ අසරණ ජනතාව වෙත, දේශපාලන පොරොන්දු වැස්සක් වසිනවා, ජනමාධ්‍ය ඔස්සේ මා දුටුවා. ඒවා කවදා ඉටුවෙයිද කියන පැනය මගේ හිතේ තවමත් තියනවා. 

   පොළොන්නරුව පැත්තේ, ගංවතුර සරණාගත කඳවුරු කීපයකට, මෛත්‍රීපාල සිරිසේන මහතා යැවූ කෑම පාර්සල් රැගත් පිරිස, අහසට වෙඩිතබා බියගන්වා පලවා හරිමින්, සිය නිළ ඇඳුමේ අශූචි තවරාගත් පිරිසක් ගැන, මට දැනගන්නට ලැබුණා. 'මහින්ද බත්' පමණක් කන ලෙස, සරණාගතයන්ටද තර්ජනය කර තිබුණා. මේකද අද තිබෙන සංහිඳියාව? මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේම ආධාරකරුවන් විසින් කළ, විවිධ නීතිවිරෝධී ක්‍රියා, ජනමාධ්‍ය මගින් පෙන්වා දුන්නා. අද අපට ඉතිරිව තිබෙන්නේ, හොඳ පුද්ගලයා නොව, නරක අඩු පුද්ගලයා තෝරා, ඡන්දය දීමටයි.
   
   මෙවර ජනාධිපතිවරණයෙන් අපි අපේ ජීවිත මෙන්ම, අපේ බාල පරපුරේ ජීවිත පවා, තීරණාත්මක තත්වයකට පත්කෙරෙන අවස්ථාවකටයි මුහුණ දෙන්නේ. අපේ රට, ඉතිහාසයේ දුක්ඛිතම තත්වයට පත්කිරීම හෝ, යම් තරමක සහනදායි තත්වයකට ගෙන යාම සඳහා, දැඩි තීරණයක් ගනිමින්, පරමාධිපත්‍ය බලය පාවිච්චි කිරීමේ දුර්ලභ අවස්ථාව, ඡන්දදායකයන් ලෙස, ලබන ජනවාරි 8 වැනිදා අපට හිමිවෙනවා. දුර්ලභ අවස්ථාවක් වන්නේ, මෙය එතරම්ම තීරණාත්මක මැතිවරණයක් නිසා බව, යළිත් අවධාරණය කරනවා. ඒ නිසා, මෙවර අපි දෙන තීන්දුව, අපේ ජීවිත කාලයේදී ගන්නා, අතිශයින් බැරෑරුම් තීන්දුවක් බව නම්, නොකියාම බැහැ. ඉතින්, ඒ තීන්දුව ගැනීම ඔබට බාරයි. පසුගිය වසරේ ජනවාරි පළමුවැනි දින, මා ලියන ලද ලිපිය අවසානයේදී එක්කළ ප්‍රාර්ථනය, මඳක් වෙනස් කර මෙවර ඉදිරිපත් කරනවා.


දුර දක්නා නුවණ

අධිෂ්ඨානය

අත්දැකීමෙන් ලත් දේශපාලන  බුද්ධිය

සහ

නොපසුබට චිත්ත ධෛර්යය

තුළින්

සුබ නව වසරක් උදාකරගැනීමට

ඔබට හැකිවේවා!



my-signature-for-blog[1]2015 ජනවාරි මස 01 වැනි දින 0001 පැය

30 December 2014

භයානක කුමන්ත්‍රණයක්

මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ඉතා භයානක කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. මේ තොරතුරු අනාවරණය කරගන්න මට දුරකථන ඇමතුම් ඉතා විශාල ගණනක් සහ වැදගත් පුද්ගලයන්ට නොදැනෙන පරිදි ඔවුන්ගේ අදහස් දැනගැනීමක් කරන්නට සිදුවුනා. මෙය දැලිපිහියෙන් කිරි කනවා වැනි භයානක ක්‍රියාවක් වුණා. ලැජ්ජා නැතිව සමහර ලොක්කෝ කිව්වා, අපි හොඳින් හෝ නරකින් මහින්දට බලය අරන් දෙන බව. මෙය ඉතා භයානක තත්වයක් බව මා දැඩිව අවධාරණය කරනවා. මගේ ජීවිතයට එල්ලවියහැකි තර්ජන නිසා මා දන්නා සියල්ල මෙහි හෙළි කරන්නට බැහැ. නමුත් අපි ජනවාරි 8 වැනිදායින් පසුව ඉතා භයානක තත්වයකට මුහුණ දෙන බව කියන්නට පුළුවන්. ජනාධිපතිවරණය සාධාරණව නොපැවැත්වීමටත්, ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජයගතහොත්, භයානක කුමන්ත්‍රණයක් මගින් එතුමා ඝාතනය කර හෝ බලය අල්ලාගැනීමටත්, සැළසුම් සකසා තිබෙනවා. බීමත්ව කටමැත දොඩවන පුද්ගලයකු කීවා නම් එය ගණන් නොගෙන ඉන්නට තිබුනා. නමුත් මා මෙම තොරතුරු හොයාගත්තේ ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග මගින්. රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග, ඉතා පැහැදිළිව තහවුරු කර තිබෙනවා, ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරදින බව. මේ රටේ යුක්තිය සාධාරණත්වය අගයන ජනතාවගෙන් මා ඉල්ලා සිටින්නේ මේ ගැන අවදියෙන් සිට, අසාධාරණයට එරෙහිව, අවශ්‍ය ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වන ලෙසයි. 

28 December 2014

හෝ........කොමළ දයාසිරී....!


75111024734-dayasiri
   අපේ දයාසිරි ගොයියා හදිස්සියේම ලියුං කරදහියක් එවා තිබුණා, මේ ඊයේ පෙරේදා. මේ ලියුම පළාතේ ඉන්න ඔක්කොම විශ්‍රාමික රණවිරුවන්ට ලියපු එකක් බවයි පෙනෙන්නේ.


  හම්මේ................දයාසිරි ගොයියට මාර වියදමක් යන්න ඇති, මුළු පළාතටම මේ ලියුං කරදහිය යවන්න. මොකෑ ආයෙ පළාත් සබාවේ සල්ලි වලින් නෙවෙයිනේ තැපැල් ගාස්තු ගෙවන්නේ. තනිකරම තමන්ගේ පොකැට්ටුවෙන් නේ. 

   අධිනීතීඥ නිසා නඩු බලවනවා හම්බවෙනවා ඇති ඕසෙට. ඒ සල්ලි වලින් වෙන්ඩැ මේ තැපැල් ගාස්තු ගෙවන්නේ. නැත්තං පළාත් සබාවේ සල්ලි මැතිවරණ ප්‍රචාරේට වියදං කොරා කියලා, අර ලස්සන දත් සැට් එකකින් යුක්තව නිතර හිනාවෙන, අපේ මැතිවරණ කොමසාරිස්තුමා ඇවිත්, දයාසිරි ගොයියව කුදලාගෙන යනවා සිකුරුයි. එයත් එක්ක සෙල්ලං නෑ. දයාසිරි දන්න, අර මැයි දින පෙළපාලියේදී පෙන්නපු, බල්ටි නැටුම්, රිලා නැටුම්, වලින් එදාට ගැලවෙන්න බෑ. මෙන්න බලාගන්නකෝ ලියුං කරදහිය.

AAA

   මේක කියවපු ගමන් මට එකපාරටම මතක්වුණේ පරණ සින්දුවක්. අපි ලාබාල දරුවන් කාලේ චිත්‍රපටියක ගීතයක්. චිත්‍රපටිය 'රම්‍යලතා'. තිරගත වෙලා තියෙන්නේ 1956 දී. පොඩ්ඩක් අහලා බලන්නකො මේ ගීතය. ටිකක් අහලා සින්දුව මතක් කරගන්නකො.




ඔන්න ඉතිං මමත් පදමාලාවක් ලිව්වා මේ තනුවටම. කියවලා බලන්නකො.

   හෝ......දයාසිරී - හෝ.........කොමළ දයාසිරී 
   කමකට නැතිවෙවී - කුරුණෑගලට වී - පිස්සෙකු වාගෙයි
   හෝ..........බොළඳ දයාසිරී
   අරෙහෙට පැන්නේ - මෙහාට පැන්නේ// - කරන වැඩක්    ඇත්තෙම      නැත්තේ - යෝදයෝ
   තවමත් සිහින ලෝකයේ අනේ
   බල්ටි නැටුම් රිලා නැටුම් දැම්මෙ හෝ ගගා //
   රටටම ණයක් වී - වයඹට දුකක් වී - විහිලු නම් එපා
   හෝ........කොමළ දයාසිරී

26 December 2014

අජිතා ඔන්න ඔයාගේ රෙද්ද ගැලවෙලා

Ajitha
 අනේ අජිතා, මොකද ඔයාට වුණේ? ඔයාට දැණුනේ නැද්ද ඔයාගේ රෙද්ද ගැලවෙලා කියලා. චීත්ත අඳින්න හැමෝටම බැහැ අජිතා. චීත්තයක් අඳින ක්‍රමයක් තියනවා. අද ඔයා අර කැමරා කාරයෝ ඉස්සරහා හෙළුවෙන් වනන්න ගියේ ඇයි? ඔයාගේ ලොක්කා, ලොක්කාගේ ලොක්කා, කිව්වද හේතු මුට්ටියා රටෙන් පැන්නේ නෑ නිකම් පාවෙලා ගියා කියලා කියන්න කියලා.

   අයියෝ............ඔයා මොකටද ඔයාගේ කන්‍යා භාවය කැමරා කාරයෝ ඉස්සරහා නැතිකර ගත්තෙ? මේසෙට යටින් ඔයා කකුල් වනද්දී කැමරා කාරයෝ හරියටම අතනට කැමරාව ඇල්ලුවා කියලා ඔයාට දැණුනේ නැද්ද? අයියෝ...................ඔයාගේ හෙළුව මහ විසාල විදිහට පෙණුනනේ ඒ වෙලාවේ. 'අජිතා රෝහිණී' කියන නමටත් ලැජ්ජයිනේ. මාත් එක්ක එකට ඉගෙනගත්ත, ඔයාට වැඩිය ටිකක් ලොකු පොලොස් කාරයෙකුට කෝල් එකක් දීලා මම ඇහුවා 'ඈ බං උඹලා රෙදි ඇඳගෙනද (නිළ ඇඳුම් ඇඳගෙනද) වැඩ කරන්නේ' කියලා. ඌ කියනවා, 'මචං, ඔක්කොටම කලින් අපි අපේ ගෑණි දරුවෝ එක්ක මේ රටේ ජීවත් වෙන්න ඕනෙනේ' නැත්තං වෙන්නේ අපි පැන්සොන් එකත් නැතුව ගෙදර යන එක තමයි' කියලා.  මම කිව්වා 'යකෝ හෙළුවෙන් ජීවත්වීම නම්බුවක්ද' කියලා. ඌ මට උත්තරයක් දුන්නේ නැහැ.

   බලන්න අජිතා, හේතු මුට්ටියා සිංහපුරයේ ඉඳලා ටෙලිපෝන් එකෙන් කයිය ගහනවා, 'මම ආපහු ආව ගමන් අජිතාට නඩු දානවා' කියලා. ඔන්න අජිතා ඔයාට හොඳ අවස්ථාවක් තියනවා. එනකොටම මග රැකලා ඉඳලා, හේතු මුට්ටියාගේ තඩි බඩට බැටන් පොල්ලෙන් ඇනලා, කුදලල අරගෙන ජීප් එකේ පස්ස පැත්තට විසිවෙන්න පයින් පාරක් දීලා, කෙළින්ම කූඩුවට ගෙනත් දාලා උසාවියට ඉදිරිපත් කරන්න. හැබැයි ඊට කලින් කැමරා කාරයෝ ටිකක් අරං යන්න. බැරිවෙලාවත් එතැනදී ඔයාගේ චීත්තෙ ගැලවෙන්න ඉඩ තියන්න එපා. මොකද ඔයා යටට මොකුත් නැතුව චීත්තෙ අඳින නිසා, කැමරා කාරයෝ නිල් චිත්‍රපටි හදයි.

   අම්මපා අජිතා ඔය ලෝක ආනාදී, හොර තක්කඩි, කුපාඩි, මන්තිරියෝ, ඇමෑත්තයො, ග්‍රීන් චැනල් එකේ යද්දී කවුරුවත් දකින්නේ නැද්ද? පොලොස් උන්නැහේලා, කස්ටම් උන්නැහේලා, ඒ වෙලාවට අතේ  /ඩ්‍රින්ක් එකක්/ ගහලා බුදියගෙනද ඉන්නේ? මොකද එකෙක්වත් දැක්කේ නැත්තේ, ඔච්චර කඳ බඩ තියන හේතු මුට්ටියා පනිනවා? අජිතා, ඉස්සර නම් අපිට විහිලු සපයන්න හිටියනේ ඇනස්ලි, සැමුවෙල්, බර්ටි, තුන්දෙනා. නමුත් ඔයා ඇයි එයාලට කපාගෙන මෙහෙම යන්න හදන්නේ? ඔයා හිතන්නේ හැමදාම ලොක්කට ප්‍රශස්ති ගායනා කරලා, මිනිස්සුන්ගෙන් ඇත්ත වසන් කරන්න පුළුවන් කියලද? අනේ අජිතා, ඔයිට හොඳයි පිම්පි රස්සාව කරන එක වැල්ලවත්තට බැහැලා. 

21 December 2014

නිවාඩු ඉල්ලුම්පත්‍රය

නම:- බ්ලොග් ලියන්නලාගේ විචාරක

ලිපිනය:- http://jangun.wordpress.com
                http://wicharaka.blogspot.com

තනතුර:- බ්ලොග් ලියන්නා

නිවාඩු ඉල්ලීමට හේතුව:- බෝවන ඇස් රෝගයක් වැළඳීම                                                                  Conjunctivitis 

රෝගය වැළඳීමට හේතු:- සංචාරයක් ගොස් පැමිණි විට වැළඳුනා

සංචාරය කළේ කොහේද:- මුලතිවු, කිලිනොච්චි, පරන්තන්, අලිමංකඩ, යාපනය, නාගදීපය, ඩෙල්ෆ්ට් දූපත 

සංචාරය හොඳද:- මල් හතයි ඈ 

නිවාඩු ඉල්ලන දින ගණන:- හරියට ඇස් දෙක ඇරගන්න පුළුවන් වෙනතුරු. (දැනට රිදෙනවා කඳුළු ගලනවා, බෙහෙත් දානවා. නමුත් වෛරස් ලක්ෂණය පහවනතුරු විඳවන්ඩ වෙයි) 

ඔන්න අපේ උන්දෑ බෙරිහන් දෙනවා තියන ටිකත් පොට්ට කරගන්ඩද හදන්නේ ඔය මගුලේ එල්ලිලා කියලා. 

15 December 2014

තුන් පිම්ම - The Triple Jump

jump
 තුන් පිම්ම ගැන නම් කවුරුත් අහලා තියනවනේ. තුන් පිම්ම ක්‍රීඩාවක් හැටියට ප්‍රගුණ කරලා, විශේෂ දක්ෂතා දැක්වුව අයත්, මේ ලිපිය කියවන අය අතර ඇති. ඔන්න මමත් තුන් පිම්මක් පැන්නා. හැබැයි අර සාම්ප්‍රදායික තුන් පිම්ම නෙවෙයි. බ්ලොග් ලෝකයේ තුන් පිම්මක් තමයි පැන්නේ.

   අද දෙසැම්බර් 15 වැනිදා. මම බ්ලොග් ලිවීම පටන් අරන්, අදට හරියටම අවුරුදු තුනයි. සමහර වෙලාවකට හිතෙන්නේ මේ ඊයේ පෙරේදා පටන්ගත්තා වගේ. පරණ ලිපි වලට ගිගින් බැලුවම තමයි තේරෙන්නේ බුදු අම්මෝ මම මෙච්චර ලිව්වද කියලා. ඒත් ප්‍රවීණ බ්ලොග් රචකයන් සමග සැසඳීමේදී නම්, මම ලියා තිබෙන්නේ බොහොම අඩුවෙන්. මේ අවුරුදු තුනටම මා ලියා තිබෙන්නේ ලිපි 262 ක් පමණයි. ඒ කියන්නේ එක අවුරුද්දකට ලිපි 87 ක් විතර නේද? මේ තියෙන්නේ මගේ ආරම්භය.

   මගේ බ්ලොග් ලිපි ගැන කියනවා නම්, මට කිසි විටකත් මාතෘකා වලින් හිගයක් නැහැ. නමුත් මා ලියන ලිපියක් වෙනුවෙන්, සෑහෙන කාලයක් හා ශ්‍රමයක් වැයවෙනවා. මා ලියන ලිපි වල අඩංගු කරුණුවල සත්‍යාසත්‍ය භාවය හා වලංගු භාවය ගැන, මා බොහොම සැළකිලිමත් වෙනවා. සංග්‍රාමික කරුණු සම්බන්ධ ලිපි වලදී විශේෂ සැළකිල්ලක් දක්වන්න වෙනවා. මොකද එවැනි ලිපි ලිවීමේදී න්‍යායාත්මක කරුණු 100% ක් නිවැරදි වියයුතු අතර, රහස්‍යමය තොරතුරු ඉදිරිපත් නොකරන්නත්, වග බලාගත යුතුයි.  

   මේ දිනවල අපේ රටේ පවතින දේශපාලන වාතාවරණය නිසා වැඩියෙන්ම ලියවෙන්නෙත්, කියවන්නෙත්, දේශපාලන ලිපි. එයින් පරිබාහිර මාතෘකා වලට පාඨකයන් යොමුවීමේ අඩුවක්ද දකින්නට ලැබෙනවා. ඒ නිසා මේ ලිපිය දීර්ඝ ලිපියක් කරන්නට බලාපොරොත්තු වන්නේ නැහැ. බ්ලොග් ලිවීමේ දෙවර්ෂ පූර්ණය වෙනුවෙන් මා කලේ එතෙක් කල් වර්ඩ්ප්‍රෙස් වලින් පමණක් ලියමින් සිටි මගේ අඩවිය බ්ලොගර් ක්‍රමයෙන්ද ලියන්නට පටන් ගැනීමයි. නමුත් අදටත් මා කරන්නේ වර්ඩ්ප්‍රෙස් ක්‍රමයට ලිපිය ලියා, එය බ්ලොගර් අඩවියට පිටපත් කිරීමයි. ඔබට මා මීට කලිනුත් පෙන්වා ඇති, වර්ඩ්ප්‍රෙස් ක්‍රමයේදී පහසුකම් රාශියක් තිබෙන අතර, සියලුම උපදෙස් තිබෙන්නේ සිංහලෙන්. රූපය මත ක්ලික් කර විශාල කර බලන්න. 

Screenshot (80) - Copy

   සෑම බ්ලොග් රචකයකුම, නොකඩවා ලියන්නට උනන්දුවන්නේ, පාඨක ප්‍රතිචාර නිසා බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. නමුත් පාඨක ප්‍රතිචාර කිසිවක් නැතත් නොකඩවාම ලියන බ්ලොග් රචකයන්ද ඉන්නවා. මෙතනදී මා දකින වැදගත් කරුණක් තියනවා. සමහර අඩවි වල පළවන ලිපි කියවා, අදහසක් නොදක්වාම යන්නට පුළුවන්. නමුත් සමහර ලිපි තිබෙනවා නිතැතින්ම අදහසක් ලියවෙන. මෙය බ්ලොග් ලියන සෑම දෙනාගේම පොදු අත්දැකීමක් බවයි මගේ අදහස. මීට වඩා කරුණු රැසක් හිතේ තිබුණත්, මෙතෙකින් මේ ලිපිය අවසන් කළයුතුයැයි සිතනවා. 

   මේ තෙවසර පුරා

මා උනන්දු කරවමින්

විවේචනය කරමින්

අඩුපාඩු පෙන්වා දෙමින්

මා දිරිමත් කළ ඔබ සැමදෙනාටම

මාගේ ශීර්ෂ ප්‍රණාමය පුද කරනවා.



2014 දෙසැම්බර් මස 15 වැනි දින 0001 පැය

11 December 2014

My3 ඔයාට බම්බුව තමයි ඔන්න

ඔන්න My3 තරහ වෙන්ඩනම් එපා. මාමා අද ලියුමක් එවලා තිබුණා. මාමා අස්සන් නොකළට මේක මාමගෙ චින්තනේට පහ වෙච්චි...... හුටා..... පහළ වෙච්චි, මල් මසුරං අදහසක්ලු. පොහ්...........My3 ට තවම බැරිඋනානේ, My3 චින්තනෙන් අපිට නොමිලේ දත් හාරන කටුවකුයි, කංහැන්දකුයි දෙනවා කියලවත් කියන්ට. බලන්ටකෝ පහළ තියන ලියුම. අද තමා තැපෑලෙන් ලැබුණේ. මාමා ගානේ ගෙදරටම පොං එකක් ගෙනැල්ලා දෙනවලු. සියලුම පැන්සොන් කාරයන්ට. ඉරිසියා කොරන්ට එපා බොලල්ලා. මාමා මෙව්වා දෙන්නේ, ආයෙ මොකවත් ආපහු ගන්ට බලාගෙන නෙවෙයි. මනුස්සකොමට, මනුස්සකොමට. මොකෑ මෙව්වා දීලා චන්දෙ ඉල්ලන්නයැ. 


The Letter


   පේනවා නේද මාමගේ වැඩ. මොකද මෙව්වා මේ රටේ සල්ලි වලින් දෙන එව්වද? තනිකරම මාමගෙ බූදලෙන් දෙන එව්වනේ. අම්මපා......ආයේ දෙකක් නෑ, ඔය පොං එක ගත්ත ගමන් මං දෙනවා මාමට කෝල් එකක්. දීලා මාමගේ හත්මුතු පරම්පරාවටම හමන්නනවා  පින් දෙනවා. ඒ විතරක් නෙවෙයි. මේ පාර එක කතිරයක් ගහලා මදි මටනම් මේ දුන්න තෑග්ගට. ගහනවා කතිර දෙකක්ම. ඕ යේස්.

   දැන් මේ නොමිලේ පොං බෙදිල්ලට දෙපාර්තමේන්තු, ආයතන, බර ගානක් එකතුවෙලා ඉන්නවා මේ ලියුමේ තියන විදිහට. ඉතිං ඒ බත් බැලයන්ගේ  උත්තමයන්ගේ අතිකාල දීමනා, යැපුම් දීමනා, ප්‍රවාහන දීමනා, අර දීමනා, මේ දීමනා, ඔක්කොම ගෙවන්න වෙන්නේ මාමටමනේ. මොකද ඔය එක ආයතනයකවත් අරමුදල් වලින්, එක හූණු බිජ්ජක් තරම්වත් දෙයක් මෙව්වට දෙයි කියලද, එක වාහනයක් වත් දෙයි කියලද, පැට්ටෝල් ගහලා දෙයි කියලද, මෙච්චර මේ ජනාදිපතිවරණ වැඩ අස්සෙත්, මාමටම තමා ඔව්වට වියදං කොරන්න වෙන්නේ තමන්ගෙම පොකැට්ටුවෙන්. චික් අම්මපා.......... මේ එතනෝල් ගෙන්නන, කුඩු විකුණන, ඉස්කාගාර අයිති, එක ඇමෑත්තයෙක්, අඩු ගානේ කෝටි 50ක සුවීප් එකක් දිනපු, තිත්ත ඇට්ටනායක උන්නැහෙවත්, 'බීඩියක් බීලා බුලත් විටක් කන්න තියාගනින් මාමේ' කියලා, දෙකයි පණහක් දෙයි කියලද?

   ඔන්න My3 නොකිව්වයි කියන්න එපා. Samsung Galaxy S5 එකක්වත් දුන්නොත්, චන්දෙ දීම ගැන සලකා බලනවා. නැත්තං ඉතිං බම්බුව තමයි.

   හැබැයි ඊට පස්සේ මාමා ඊට වඩා ලොකු එකක් දුන්නොත්..........?

   හුටා...................................!


2014 දෙසැම්බර් මස 11 වැනි දින 1320 පැය

09 December 2014

සංවේගයෙන් සටහන් කරමි

   පසුගිය දෙසැම්බර් 3 වැනිදා සිට මේ දක්වා, අන්තර්ජාලය පරිහරණය කරන්නට අවස්ථාව ලැබුණේ නැහැ. සුනාමි ව්‍යසනයෙන් අභාවප්‍රාප්ත වූ, මගේ බාල සොහොයුරා සහ ඔහුගේ එකම පුතා පිළිබඳ, හද කම්පා කරවන මතකය නැවත අලුත් කරමින්, මගේ ඒ සොහොයුරාගේ බිරිඳ, ලියුකීමියා රෝගයෙන් පීඩා විඳිමින්, වසර 15ක් පමණ, අනේක විධ ප්‍රතිකාර මධ්‍යයේ, අනේක විධ දුක් විඳිමින් සිට, පසුගිය 3 වැනිදා අභාවප්‍රාප්ත වුණා. ඊට පසුදින, ඒ පවුලේ එකම දියණියගේ විවාහය ලියාපදිංචි කරන්නට සියලු කටයුතු සූදානම් කර තිබුණේ. නමුත් මගේ ඥාති සොයුරියගේ දෛවය ඊට හරස් වුණා.

   ඒ දියණිය මෙලොව තනිවන්නට නොදී, ඇයගේ අනාගතය යහපත් මාර්ගයකට යොමුකිරීමේ වගකීම, දැන් මා සහ මගේ සොයුරියන්ටත්, මියගිය ඥාති සොයුරියගේ සහෝදර සහෝදරියන්ටත් පැවරී තිබෙනවා. එය නොපිරිහෙලා ඉටු කරනට අපි සූදානම්. ලියුකීමියා රෝගය සුව කළ නොහැකි රෝගයක් ලෙසයි සැළකෙන්නේ. මගේ ඥාති සොයුරිය විදේශ ප්‍රතිකාරද ඇතුළු, ඉතා ඉහළ මට්ටමේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වුණේ.

ලියුකීමියා රෝගය ගැන මෙතනින් කියවන්න.

   මගේ ඥාති සොයුරියගේ අවසන් කටයුතු පසුගිය 6 වැනිදා කුරුණෑගල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණු අතර, සත් දවසේ ධර්ම දේශනය ඊයේ (8 වැනි දින) පවත්වා. අද (9 වැනි දින) දහවල්, සංඝගත දක්ෂිණාවද පිරිනැමුණා. මේ දින කීපය තුළ අධික ලෙස වෙහෙසවීම නිසා, මට දැන් උණ ගැනෙන්නට එනවා මෙන් දැනෙනවා. තවත් දීර්ඝ ලෙස කරුණු දැක්වීමෙන් පලක් නැති බව පෙනෙනවා. 

unnamed (1)
රූපා නැගණිය - ඔබට නිවන් සුව!

  සුනාමි ව්‍යසනයෙන් අභාවප්‍රාප්ත වූ මගේ සොහොයුරා සහ ඔහුගේ එකම පුතා වෙනුවෙන්, කුරුණෑගල පොදු සුසාන භූමියෙහි ඉදිකර ඇති, පවුලේ සොහොන් ගැබ මත ඇති ස්මාරකයෙහි, එදා මා අතින් ලියවුනු කවි දෙකකින් මේ සටහන මා අවසන් කරනවා. එදා මේ කවි දෙක මා ලිව්වේ, මියගිය මේ සොයුරියගේ සිතැඟි නිරූපණය වන ආකාරයෙන්. අද ඇයගේ දේහයද එම සොහොන් ගැබෙහිම තැන්පත් කෙරුණා. නමුත්, අදනම් මට, කවියක් ලියාගන්නට තවමත් හිත එකළස් කරගන්නට බැහැ.

යුද  සෙනෙවියකු නොවුනත් ඔබ තුරුණු     පුතේ 
අද  හෙට එලෙස ඔබ උපදියි කියා               සිතේ 
ලද  පිය සෙනෙහසම නිවනට මගක්         වෙතේ  
එද   මතු බවෙහි ම පුතුම වනු මැනවි           පුතේ 

මිනිසත්     කැළට මනුසත් බව පුහුණු         කොට 
මිනිසෙක්  නිඳයි සිය පුතුවද තුරුළු              කොට 
දහසක්      දනන් ඔබ ගුණ ගී ගයන                 විට 
මගෙ සක්  දෙවිඳ ඔබ මිහි මත පෙනෙයි          මට


   අවමංගල්‍යයේ බොහෝ කටයුතු වෙනුවෙන් අනුග්‍රහය දැක්වූ, එමෙන්ම අවමංගල්‍ය නිවස වෙත පැමිණ දේහයට ගෞරව දැක්වූ, යුද හමුදාධිපති තුමා, යුද හමුදා රෝහලේ කාර්ය මණ්ඩලය, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති තුමා ඇතුළු සියලු නිළයන්, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය නියෝජනය කරමින් පැමිණි සියළු දෙනා, අනෝමා ෆොන්සේකා මැතිණිය, ප්‍රදේශවාසීන්, ඇතුළු නන් අයුරින් සහයෝගය දැක්වූ සියළු දෙනාට, අද තනිවී සිටින දියණිය වෙනුවෙන්, ගෞරව පූර්වක ස්තුතිය පුද කරන්නට මෙය අවස්ථාවක් කරගන්නවා.


my-signature-for-blog[1]2014 දෙසැම්බර් මස 09 දින 2145 පැය
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }