නරඹන්නන්ගේ පසුපසින් සිටගන්නා අපි, අපේ පොත් ගොඩෙන් හෙමින් අඩිරූල එලියට ගෙන, නරඹන්නන් අතරින් අත දමා, නයකුගේ ඔලුවට ‘ටොක්’ ගා පහරක් දී විදුලි වේගයෙන් අත ආපසු ගනිමු. නයා මහා හඬින් ‘ෆූස්’ ගා පිඹ පෙනය පුප්පන අතර නරඹන්නෝ බියවී දුවති. බෙහෙත් තෙල් වෙළෙන්දාට උන්හිටි තැන අමතක වන්නේ එවිටය. ඔහු අප අසා නැති හරුපද කියමින් වනචර කොල්ලන්ට දෙස් දෙවොල් තියයි. නැවත ඒ පැත්ත පළාතට දින ගණනාවක් යනතුරු පාසල් සිසුවකුට ඒමට ඉඩ නොතබයි. එහෙත් නරඹන්නන්ට පසුපසින් සැඟවී අලුත් ජවනිකා නරඹන්නට අපි පසුබට නොවෙමු.
ඒ කාලයේ නිල් චිත්‍රපටියක් බැලීමටත් වඩා භයානක දෙයක් පෙන්වන බව අපේ ඔත්තු සේවා මගින් අපර ආරංචි විය. (මම මුලින්ම නිල් චිත්‍රපටියක් බැලුවේ 1970 දශකයේ මැද භාගයේදීය. එකල වීඩියෝ තාක්ෂනය නිවෙස්වල පාවිච්චි කරන මට්ටමෙන් ලංකාවට පැමිණ නොතිබුණි. ඒ නිසා මම ග්‍රෑන්ඩ්පාස් පැත්තේ මුඩුක්කුවක රිංගා, මගේ මිතුරකුගේ උදව්වෙන් එය බැලුවේ මිලිමීටර් 16 සිනමා ප්‍රක්ෂේපණ යන්ත්‍රයකිනි. එහි පින්තූර ලා නිල් පාටය.) ඒ භයානක දෙය පිලිබඳ ආරංචිය නම්, කාන්තාවන් සඳහා නිපදවා ඇති, අමෙරිකාවෙන් ආනයනය කල, රබර් වලින් සාදන ලද, කෘත්‍රිම පශ්චාද්භාගයක්, සුළං පුරවා පෙන්වන බවයි. එදා අපි කාලවේලා ඇතිව ස්ථානගත වුවද එදින පැමිණ සිටි වෙළෙන්දා, ‘පොඩිමහත්තුරුන්ගේ ‘පින්සිබල්’ මහත්තයාටම ගිහින් කියන්නද? නැත්නම් මෙතනින් යනවාද?’ කියා ඇසූ නිසා අපට පසුබසින්නට සිදුවිය. ඊළඟ සතියේ මගේ මිතුරෙක් අර නයාට ගැසීමේ සෙල්ලම කළේය. කෝපාවිෂ්ඨ වූ වෙළෙන්දා ඉනෙන් පිහියක් ඇදගෙන අපි පසුපස පැන්නුවේය. පණ එපා කියා දිවගොස් බේරුණ අපි, ටික කලක් නයි සෙල්ලමෙන් ඈත් වී සිටියෙමු.
No comments :
Post a Comment