හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

29 January 2012

ඉස්කෝලේ මහත්තයාගේ ‘ජම්ප් එක’

මේ කතාව ඔබ බොහෝ දෙනෙක් අසා ඇතුවාට කිසිදු සැකයක් නැත. එහෙත් මේ කතාව කියන බොහෝ දෙනා, එහි නිර්මාතෘ කවුදැයි දන්නේ නැත. සමහර විට මෙය පෙරදිගට ගැලපෙන සේ අනුවර්තනය කල බටහිර කතාවක් විය හැකිය. මම, මේ කතාව කියනවාටත් වඩා උනන්දු වන්නේ, එය මුලින්ම තීරු ලිපියක පලකල, ඒ ශ්‍රේෂ්ඨ තීරු ලිපි රචකයා, ඉතා ගෞරවයෙන් සිහිපත් කිරීමටය. ඒ වෙන කිසිවකු නොව ‘අමිත අබේසේකර’ මහතාය. ඔහු විසින් ‘ද අයිලන්ඩ්’ පුවත්පතට ‘This is My Island’ යන මාතෘකාවෙන් ලියූ තීරු ලිපි, එකල පාඨකයන් අති විශාල ප්‍රමාණයක් විසින්, මහත් අභිරුචියකින් කියවූයේ, එහි ඇති හාස්‍යය මෙන්ම සියුම් උපහාසයද, නිතර කියවන්නට නොලැබෙන, අපූර්ව රසයකින් යුක්තවූ නිසාය. දේශපාලනය, කාලීන තොරතුරු, කලාව, ආදී නොයෙකුත් මාතෘකා පදනම් කර ගනිමින්, ඔහු ලියූ ලිපි ගණන අපමණය. මේවා එකතුවක් ලෙස පළ කර ඇද්දැයි මම නොදනිමි. දන්නෝ ඒ ගැන මා දැනුවත් කරත්වා. ඒ ශ්‍රේෂ්ඨයාට උපහාරයක් වේවායි පතමින් කතාව ඉදිරිපත් කරමි. මෙය අමිත අබේසේකර මහතා ගේ ඉංග්‍රීසි තීරු ලිපිය මා විසින් මාගේ දැනුමෙන් කල පරිවර්තනයක් බව සලකන්න. කතාව පුවත්පතේ පළ වූවේ 1989 දී පමණ බව මගේ මතකයයි.


ගම්බද, කඩවසම්, නිහතමානී, තරුණයකුට දුෂ්කර පළාතකට ගුරු පත්වීමක් ලැබුනා. දේශීය සම්ප්‍රදාය ගරු කරන පවුලක අයකු වූ ඔහු, සිය දෙමවුපියන්ගෙන් සමුගෙන, නව පත්වීම ලද පාසල සොයා පිටත්වූයේ, තම ඇඳුම් බැඳුම් පොත්පත් අසුරාගත් සූට්කේසයක්ද අතැතිවයි. කොළඹ සිට මහනුවර බලායන බසයකට කෑගල්ලේදී ගොඩවූ ඔහුට, යන්තම් වාඩිවෙන්නට ඉඩක් ලැබුනා. ඔහුට ඉදිරිපස අසුනේ වාඩිවී සිටියේ සුන්දර තරුණියක් බව ඔහුට පෙනුනා. ටික දුරක් යනවිට ඔහු තරමක් අපහසුතාවයට පත්වූයේ සුළඟට ඇගේ කොණ්ඩය ඔහුගේ මුහුණ කරා පැමිණ සිප ගැනීමත් කිති කැවීමත් නිසයි. ඔහු අතින් කොණ්ඩය ඉවත් කලත් එය නැවත නැවතත් සිදුවුනා. බැරිම තැන ඔහු ‘නෝනා’ කියා අයව ඇමතුවා. ඇයට අසුනේ නැහැ. කීප වතාවක් ‘නෝනා’ කියූ පසු ඇය තේරුම්ගත්තා ඔහු අමතන්නේ ඇයට බව. ‘yes what’ ඇය පිළිතුරු දුන්නා. ‘අනේ නෝනා තරහ වෙන්න එපා. නෝනාගේ කොණ්ඩය හුළඟට මගේ මූනේ වදිනවා’ තරුණයා කීය. ‘Oh I’m sorry’ කියූ ඇය කොණ්ඩය ගෙන ඇගේ පපුව දෙසට දමාගත්තා. කෙසේ වෙතත් ඇගේ කෙස් ගස් කීපයක් ඔහුගේ මුහුණේ රැඳුණු අතර ඇයගේ කේශකලාපයේ තිබුණු විලවුන් සුවඳ ඔහුගේ සිත සොරාගත්තා.


තරුණයා මහනුවර නගරයේදී බසයෙන් බස බදුල්ල බලා යන බසයකට ගොඩවූවා. අර තරුණියද තමන් ගෙනයන ප්‍රමානයේම සූට්කේසයක්ද සහිතව එම බසයේ සිටිනු දුටු ඔහු තරමක් පුදුම වූවා. ඇය ඇඳ සිටින්නේ නිල්පැහැති ඩෙනිම් ජීන්ස් එකක් සහ කළු පැහැති කුඩා මල් වැලක් සහිත සුදු පැහැති ටී ෂර්ට් එකක් බවත් ඇය ඉතා රූමත් බවත් ඔහු පළමු වරට දැක්කේ එවිටයි. ඔහු ඇයට සිනහවකින් සංග්‍රහ කලත් අයගෙන් ප්‍රතිචාරයක් නොලද නිසා තමන්ගේ පාඩුවේ ගමන ගියා. නමුත් ඔහුට සිය දෙනෙත් අදහාගත නොහැකි වූයේ බදුල්ලේදී බසයෙන් බැස, තමන් වැඩ බාර ගැනීමට නියමිත පාසල පිහිටි ප්‍රදේශය දක්වා ධාවනය වන බසයට ගොඩවූ විට අර තරුණියද එහි සිටිනු දැකීමෙන්. තමන් බැසිය යුතු තැන ඔහු බසයේ කොන්දොස්තරගෙන් විමසුවා. ‘හරි හරි මහත්තයා, අර නෝනත් බහින්නේ එතනින්. මම කියන්නම් එතැනදී’ කියා ඔහුට පිළිතුරු ලැබුනා. අපේ තරුණයාගේ සිතෙහි විදුලියක් කෙටුවක් මෙන් සැකයක් මතුවූවා. ‘එකත් එකටම මෙයත් ගුරු පත්වීමක් ලැබිලා මම යන ඉස්කොලෙටම යන කෙනෙක් තමයි. බලපල්ලකො ඇඳුමේ හැටි. ඕවත් ඇඳගෙනද ළමයින්ට උගන්නන්න යන්නේ. හොඳට හිටී’ ඔහු තමන්ටම කියාගත්තා. කොන්දොස්තර සීනුව නාද කර බසයෙන් බැසිය යුතු තැන පෙන්වා දුන්නා. දෙදෙනාම බසයෙන් බැස්සා. එතනින් ගුරු පාරක් විහිදෙනු ඔහු දුටුවා. බසයෙන් බැස්ස ඇය පාරේ සිටම තරමක් හඬ නගා ‘මුදලාලි . . . .විද්‍යාලයට යන්නේ කොහෙන්ද? කියා එතන තිබුණු කඩයෙන් විමසුවේ, තමන් ඒ ප්‍රශ්නය අහන්නේ කාගෙන්ද කියා අපේ වීරයා සිතමින් සිටින විටයි. තරමක් පුදුමයෙන් මෙන් ඇය දෙස බැලූ මුදලාලි ‘ඔය පාරේ නොම්මරයක් විතර ගියාම ඉස්කෝලේ හම්බ වෙනවා නෝනා’ කීවේය. ‘නොම්මරයක් what is නොම්මරයක්’ කියා තමන්ටම තනියෙන් කියාගනිමින් ඇය පිටත්වනු දුටු ඔහු, ඇය පසුපසින්ම වාගේ ගමන ඇරඹුවා. 

පාර තරමක් පාලු ස්වභාවයක් ගත්තත් ඇය නොබියව යන අයුරු ඔහුගේ පුදුමයට හේතු වුනා. ඔහුත් තම සිතට ධෛර්යය ටිකක් ගත්තා. ‘ඔයා . . . විද්‍යාලයටද යන්නේ? ඔහු ඇසුවා. ‘ඔවු, ඇයි අහන්නේ? ඇයගෙන් දමාගසන පිළිතුරක් ලැබුනා. ‘නැහැ, මටත් ඒ ඉස්කෝලේ සිංහල සහ සමාජ අධ්‍යයනය විෂයයන් උගන්නන්න පත්වීමක් ලැබුනා. මේක මගේ මුල්ම පත්වීම’ ඔහු කිව්වා. ‘Oh I see, මට ඉන්ග්ලිෂ් ටීචින් අපොයින්ට්මන්ට් එක හම්බවුනා’ ඇය කිව්වා. දෙදෙනා ටික වෙලාවකින් පාසලට ළඟාවුනා. මැදි විය පසුවූ විදුහල්පති වරයා සිටියේ ඔවුන්ගේ පැමිණීම බලාපොරොත්තුවෙන්. ‘ කොළඹ ඉඳලා අපට අලුත් ඉස්කෝලේ නෝනා කෙනෙකුයි කෑගල්ලේ ඉඳලා මහත්තයෙකුයි එනවා කියලා ලියුම් ලැබුනා. බොහොම සන්තෝසයි නෝනයි මහත්තයයි ආව එකට’. විදුහල්පති තුමා දෙදෙනාව පිළිගෙන, ඒ වනවිට පාසැල ඇරී තිබුන බැවින්, ඔවුන්ව කෙලින්ම විදුහල්පතිගේ නිල නිවාසයට කැටුව ගියා.



ඉතා රසවත් ගැමි ආහාර වේලකින් ඔවුන්ට සංග්‍රහ කල විදුහල්පති තුමා, ඊලඟට බැස්සේ මේ දෙදෙනාගේ නවාතැන් ප්‍රශ්නය පිලිබඳ මාතෘකාවටයි. ‘මහත්තයෝ, නවාතැන් දීමේදී නම් පොඩි කොස්සක් තියනවා’. විදුහල්පති තුමා කතාව ඇරඹීය. ‘මේ ගුරු නිවාසයේ අමතර කාමර තියෙන්නේ එකයි. අර තියන ඉස්තෝප්පු කාමරය. ගෙයි ඉතිරි කොටසේ මමයි නෝනයි ළමයි තුන්දෙනයි ඉන්නෙත් හොඳටම ගුලි වෙලා. මේ ගමේ කොහෙවත් නැහැ, නෝනටවත් මහත්තයටවත් නවතින්න සුදුසු ගෙවල්, හරී අහිංසක දුප්පත් මිනිස්සු ඉන්නේ. ඒ මිනිස්සු ඔය යන්තම් අටවගත්ත පැල් කොට තමා තියෙන්නේ. වැසිකිලි යන්නෙත් කැලේට, (අලුත් ගුරුතුමීට ‘Oh my God’ කියවුනා) ඒ නිසා අපි කොහොමහරි පිරිමහගෙන මේ ගුරු නිවාසේම ඉම්මු. නෝනමහත්තයට ඉතින් කාමරේ දෙන්න එපාය. මම මහත්තයට ඉස්තෝප්පුවේ බූරු ඇඳක් දාලා දෙන්නම්. ඔය රෑ ගත කරන එක විතරනේ. කියලා විදුහල්පතිතුමා නවාතැන් ප්‍රශ්නේ විසඳුවා. සියල්ල හොඳින් සිදුවුනා. ජීන්ස් එකක් ඇඳ වැඩ බාර ගැනීමට පැමිණි ඇය පසුදින සාරියකින් සැරසුන විටයි අපේ වීරයාට ඇගේ නියම ලස්සන පෙනුනේ. දෙදෙනාම පාසලේ වැඩ කටයුතු උනන්දුවෙන් කළා. හැබැයි වැඩි අඟෑලුම් කමක් දෙදෙනා අතර නැහැ. කතා කලේ අවශ්‍යම දේකට පමණයි. මේ වනවිට ඒ ප්‍රදේශයට මෝසම් වැස්ස ලැබෙන්නට වුනා. පැල් බැඳගෙන වහින මහා වැස්ස ආරම්භ වුනා. රෑට ඉස්තෝප්පුවේ ඉන්න අපේ වීරයා, වැස්සේ හිරිකඩ වැදී මහත් අපහසුතාවයට පත්වුනා. ඔහු තමන්ගේ බූරු ඇඳ අකුලාගෙන බිත්තියට හේත්තු වුනේ ‘දැන් ඉතින් රෑ එළිවෙනකල් හිටගෙන ඉන්න තමයි වෙන්නේ’ කියලා හිතාගෙන. ඔහු පුදුමයට පත් කරමින් හිටි හැටියේම ඉස්තෝප්පු කාමරයේ දොර අරුනා. ‘ඇය’ රාත්‍රී ඇඳුමෙන් ඔහු අසලට ආවා. ‘තෙමෙනවා නේද? තමුසෙට කැමතිනම් කාමරේට එනවා’ ඇය කිව්වා. ‘පිස්සුද? ලොකුමහත්තයා මොනවා හිතයිද? ඔහු පිළිතුරු දුන්නා. ‘මේ තමුසෙයි ලොකු මහත්තයයි හිතන ඒවා මට වැඩක් නැහැ, තමුසෙට නොතෙමී ඉන්න ඕනෙනම් එනවා’. ඇය කවදත් පුරුදු දැඩි ස්වරයෙන් කිව්වා. ඔහු සිතුවා වැස්ස අඩුවනතුරු කාමරයේ සිට එලියට එන්නට. කාමරයට ගිය ඔහු එහි තිබුණු එකම පුටුවේ වාඩි වුනා. ‘මොකද තමුසේ එළිවෙනකල් ඔහොම ඉන්ඩද කල්පනාව. මට මේ ඇඳේ ඕනේ තරම් ඉඩ තියනවා. තමුසේ ඔය පැත්තෙන් නිදා ගන්නවා’ ඇය කිව්වා. ‘ඔයාට පිස්සුද මොනවද මේ කියන්නේ? ඔහු වෙවුලන ස්වරයෙනුයි ඇහුවේ. ‘මේ ඕයි ඔය තමුසේ හිතන ජාතියේ දෙයක් නෙවෙයි මම කිව්වේ. තමුසේ කැමතිනම් ඔන්න මම මෙතනින් කොට්ටයක් තියනවා, කොට්ටෙන් මෙහා පැත්තේ මම නිදා ගන්නවා. තමුසෙට කැමතිනම් ඔය පැත්තෙන් නිදාගන්නවා’ කියූ ඇය බිත්තිය දෙසට හැරී නිදන්නටවුනා. ඔහු ටික වෙලාවක් කල්පනා කළා. රෑ එළිවෙනතුරු පුටුවේ ඉන්නවාද නැද්ද කියා සිතමින් සිට අවසානයේදී ඇඳට යන්නට තීරනය කළා. යන්තම් ඇඳේ අද්දර ඇයට පිටුපා නිදාගත්තත් නින්ද ගියේ නැහැ. එහෙත් පාන්දර ඇය විසින් අවදි කරන විටයි ඔහුට දැනුනේ තමන්ට නින්ද ගිය බව.’මේ ලොකු මහත්තය දකින්න කලින් එලියට යනවා නැත්නම් අර තමුසේ හිතපුවා එයත් හිතයි’ ඇය කීවාය.

මුළු වර්ෂා සමය පුරා මේ ‘ක්‍රමවේදය’ මෙලෙසම සිදුවුණා. තද වර්ෂාව වැටෙනවිටම ඔහු බූරු ඇඳ අකුලයි. ඇය දොර අරියි. ඔහු ඇතුලට යයි. ඇය දොර වසා ඇඳේ මැද කොට්ටය තබයි. ඔහු ඇඳේ නිදාගනියි. අලුයම ඇය ඔහුගේ ඇඟට තට්ටු කරයි. ඔහු නැගිට එලියට යයි. මේ ක්‍රියාදාමයේදී ඔවුන් අතර එකදු වචනයක්වත් කතා නොකෙරෙයි. මෙය ස්වයංක්‍රීයව සිදුවන දෙයක් වැනිය. ඒ පාසල් වාරය අවසානයේදී මේ විදුහලේ ළමුන් සහ ගුරුවරු අධ්‍යාපන චාරිකාවක යන්නට තීරණය කළා. බොහෝ ස්ථාන වලට ගිය ඔවුන් සීගිරිය නරබන්නටද අමතක කලේ නැහැ. සීගිරිය මුදුනට නගිද්දී ‘ඇය’ පන්කොළ තොප්පියක් පැළඳ සිටියා. හදිසියේම ආ සුළං පහරක් ඇගේ පන්කොළ තොප්පිය සීගිරිය මුදුනේ ඇති නටබුන් වූ කෙටි බිත්තියකින් එපිටට ගෙනගියා. ‘ඔහු’ වහාම බිත්තියෙන් එපිටට පැන තොප්පිය ගෙන එන්නට සූදානම් වූයේ පසුගිය වැසි කාලයේදී ඇය කල උපකාරයට ප්‍රති උපකාරයක් කරන්නයි. ඇය අවඥා සහගත සිනාවක් සමග මෙහෙම කිව්වා. ‘Don’t try to be a joker and don’t make me laugh, you couldn’t jump over pillow for the last three months. How can you jump now over a parapet wall? ‘තමුසේ නිකන් ජෝකරයෙක් වෙලා මාව හිනස්සන්න හදන්න එපා. පහුගිය මාස තුන තිස්සේ කොට්ටෙකට උඩින් පනින්න බැරිවුණු තමුසේ, දැන් කොහොමද මේ බිත්තියට උඩින් පනින්නේ?

2 comments :

  1. //දන්නෝ ඒ ගැන මා දැනුවත් කරත්වා
    විචා,විජිතයාපා එකේ තියේවගේ
    http://www.vijithayapa.com/product/view/2411
    පොතේ නම
    BEST OF AMITA SELECTED PIECES FROM CONTRIBUTIONS TO THE ISLAND

    ReplyDelete
  2. බොහොම ස්තුතියි. මේ තොරතුරු වලට.

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }