හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

22 March 2014

කළකට පසු මහගෙදර ගියෙමි


Original 01   කාලෙකට පස්සේ මහගෙදර යන්න ලැබුණානේ මේ ඊයේ පෙරේදා දවසක. ගියාට පස්සේ තමයි මතක්වුණේ පින්තූර ටිකක් ගත්තනම් ඔබ හැමදෙනාටත් පෙන්වන්න තිබුණා කියලා. ඒත් ඉතින් කැමරාවක් නොතිබුන නිසා ජංගම දුරකථන කැමරාවේ පිහිට පැතුවා. ඒ නිසා බොහොමයක් පින්තූර ගුණාත්මක බවෙන් අඩුයි. ඒ වගේම තමයි එදා සිදුවූ සෑම දෙයක්ම පින්තූරයට නගන්නත් අවස්ථාව ලැබුණේ නැහැ. මතක්වුන වෙලාවට ගත්ත පින්තූර කීපයක් තමයි මේ ඉදිරිපත් කරන්නේ. එහෙම වෙන්න හේතු කීපයක් තිබුණා. සංවත්සර සභාව පැවැත්වෙන අතරතුර නැගිට නැගිට පින්තූර ගන්න බැහැනේ. ඒ වගේම බොහොම කාලෙකට පස්සේ හම්බවුන 'ආදිපාද'ලා (පරණ කකුල්) අතට අත දෙනවා, බඩ ඉඹිනවා, බදාගන්නවා, උම්මා දෙනවා, විස්තර අහනවා, එක වැඩයි. ඔක්කොමලත් එක්ක එක වචනයක් හෝ කතා නොකරත් බැහැ. ඒ නිසා පින්තූර ගැහිල්ලට දෙවැනි තැන තමයි දෙන්න වුණේ.

   මෙන්න මේ වැඩේට තමයි මහගෙදර ගියේ. පින්තූරයේ නම් කීවෙනි සංවත්සරයද කියලා පෙනෙන්නේ නැහැ. එදා තිබුණේ 35 වැනි සංවත්සරය. 
photo0157
   දැන් ඔය පින්තූරයේ තියන බැනර් එකේ පහළින්ම තියෙන්නේ, මා ඔය ගඟ අද්දර කියලා නේ.  හිතන්න එපා අපි මා ඔය අයිනේ ගල් උඩ ඉඳගෙන සංවත්සරය පැවැත්තුවා කියලා.  'ගඟ අද්දර' කියන්නේ අපේ මහගෙදරට අයත් අක්කර සිය ගණනක් විශාල භූමියෙන් එක කොටසක්. ඒ ප්‍රදේශය හඳුන්වන නම තමයි ගඟ අද්දර. අපේ මහගෙදර ඉඩමේ එක මායිමක් තමයි මා ඔය.
මේ දෙන්නා තමයි බියුගල් හඬවා අමුත්තන් පිළිගැනීම කළේ. 
photo0144
මේ දෙන්නා ටිකක් මිටියි වගේ පෙනෙන්නේ මගේ අති විශිෂ්ඨ කැමරා ශිල්පයේ දක්ෂකම නිසා.
මේ දෙන්නා විතරක් නෙවෙයි අපේම තවත් පිරිසක් පිළිගැනීමේ කාර්යයට සූදානම්ව හිටියේ මෙහෙමයි. 
photo0152
සංවත්සර සභාව තියන්න විශේෂ එළිමහන් කූඩාරමක් ඉතා අලංකාරව සකසා තිබුණා. ඇත්තෙන්ම ශ්‍රවනාගාරයේ නොපවත්වා මෙසේ එළිමහනේ පැවැත්වීම කාටත් බොහොම පහසුවක් වුණා.
photo0147
අපේ මහගෙදර භූමිය තුළ ඉස්සර පුංචි ජලාශයක් තිබුණා. අදවනවිට එය ඉතා අලංකාර කුඩා වැවක් ලෙස සංවර්ධනය කර තිබෙනවා. මේ පින්තූරය මගින් වැවේ නියම ලස්සන පෙනෙන්නේ නැහැ. ඈතට යන්න මට වෙලාවක් නැහැ. 
photo0146
ලොව පුරා සිටින ඔබෙන් බොහෝ දෙනෙක් ජීවිතයේ එක්වරක් හෝ එළිමහන් සිනමාවක චිත්‍රපටියක් නරඹා ඇති.
මේ අපේ මහගෙදර එළිමහන් සිනමාහල.
photo0145
ඒ කන්දත් අපේ තමයි - මේ කන්දත් අපේ තමයි. ර ඈත පෙනෙන කන්ද දක්වා අපේ මහගෙදර ඉඩම විශාලයි. දන්නවද වැඩක්, ඒ කන්ද පාමුල තියෙන රක්ෂිත වනාන්තරයේ ගෝන්නු, මුවෝ, එහෙමත් ඉන්නවා. අපේ අයගේ ආරක්‍ෂාව යටතේ.
photo0148
රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් බොනිෆස් පෙරේරා සමුළුව අමතමින්
photo0154
එදා යුදබිමේ මහ සෙනෙවියෝ පැරණි මතකය අවදි කරමින්
photo0149
කිසිකලෙක නොසිඳෙන අභිමානය. විශ්‍රාමික උපකරණ පාලක සැරයන් මේජර් ජයතිලක 
photo0155
එදා එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට අලිමංකඩ අල්ලාගන්නට ඉඩනොදී සටන් කර ජයගත්, එමෙන්ම හසලක වීර ගාමිණී කුලරත්නගේ අණදෙන නිලධාරියාවූ, මේජර් ජෙනරල් සනත් කරුණාරත්න
පින්තූරයක් ගන්නවට එතුමා එච්චර කැමති වුණේ නැහැ.
photo0165
අපි තරුණ නිළධාරීන් කාලයේ, අපිට ගුරුහරුකම් දුන් මේ සැරයන්වරු, සැරයන් මේජර් වරු දැක්කම, වැඩිහිටි නෑදෑයෙක් දැක්කා වගේ. එදා අපිට සමහර වෙලාවට මෙයාලව පෙන්නන්න බැහැ. අපේ වැරදි කියනවා අණදෙන නිළධාරි තුමාට. අපි මෙයාලට හදලා තිබුණ, හොඳ නම් දෙකක් මට මතක් වුණා. වම් පැත්තේ ඉන්න එක්කෙනාට අපි කිව්වේ 'දුෂ්ඨ බුද්ධි' කියලා. අනික් එක්කෙනාට කිව්ව නම මෙතන ලියන්න බැහැ. මම ඒ නම් දෙක මතක් කළාම, 'අම්මේ......... සර්ට ඔව්වා තවමත් මතකද' කියලා ඇහුවා.
photo0156
පරණ කතන්දර කොච්චර කිව්වත් ඉවරයක් නැහැ. සොඳුරු අතීතයේ මිහිර, මධු විතකින් උණුසුම් වූ මොහොතක
photo0164
සංගීතය නැති හමුදා ජීවිතය පරිප්පු නැති හෝටලය වගේ. එදා අයයි මෙදා අයයි සංගීතයේ මිහිර වින්දේ මෙහෙමයි.
photo0159
photo0166
photo0167
කදවුරේ අලංකාරය වගේම සැප පහසුකම්ද විශාල ලෙස වර්ධනය වී තිබෙනවා. මේ තියෙන්නේ සැරයන් වරුන්ගේ නිවස්නය.
photo0168
රෙජිමේන්තු මූලස්ථාන සංකීර්ණයේ පිවිසුම
photo0171
කඳවුරු භූමියේ තවත් දසුනක්
photo0172
මෙයාව බලන්නත් අමතක කළේ නැහැ. මම වගේම මෙයත් වයසට ගිහිල්ලා වගේ මට පෙනුණේ.
photo0169
කාලය ගෙවෙනවා ලෝකය වෙනස් වෙනවා. ඇත්තටම ඒ වෙනස්වීම කාටවත් වලක්වන්න බැහැනේ. හමුදාව සම්බන්ධ එක්තරා කියමනක් තියනවා. සොල්දාදුවා කිසිදිනක මියයන්නේ නැත. කාලීනව වියැකී යනවා පමණි. මේ උත්සවයට ගියාම, නිළ ඇඳුමෙන් ඉන්න සොල්දාදුවෝ මට පිටුපා ඉන්න අවස්ථාවලදී, මට මතක්වුණා එදා මා සමග එකට සිටි අද ජීවතුන් අතර නැති සොල්දාදුවෝ. අර ඉන්නේ එයාවත්ද කියලා හිතුනා. නිළ ඇඳුමෙන් ඉන්නකොට හැම සොල්දාදුවාම එක වගේනේ. ජීවිතේ හැටි ඔහොම තමයි නේද?
මේ පහළින් ඉන්නේ, එදා තරුණ සොල්දාදුවන්ව සිටි, අද සොල්දාදුවන්ට නායකත්වය දෙන, පළපුරුදු, ජ්‍යොෂ්ඨ කොමිෂන් නොලත් නිළධාරීන් දෙදෙනෙක්.
photo0150
   රෙජිමේන්තු අධිපති තුමාගේ දැක්ම වී තිබෙන්නේ, 2016 වනවිට, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, ශ්‍රී ලංකා යුද හමුදාවේ විශිෂ්ඨතම රෙජිමේන්තුව බවට පත්කර ගැනීමයි. ඒ සඳහා, සියල්ලට පළමුව විනය මූලික කරගත්, දැවැන්ත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. ඒ වැඩපිළිවෙලට, අපිත්, අපේ ආශිර්වාදය සහ දායකත්වය පිරිනමන බව, කඳවුරෙන් එන්නට පෙර කියා ආවා.
my-signature-for-blog[1]     2014 මැයි මස 19 දින 2324 පැය

50 comments :

  1. "හැමදාම ආඩම්බරෙන් සිහි කළ හැකි අපේම ඇත්තෝ" කියල විතරයි අපට ආඩම්බර වෙන්න පුළුවන්, ඒත් ඔබ වැන්නන්ට අපට මෙන් දෙගුණයක් ආඩම්බර විය හැකියි

    ReplyDelete
    Replies
    1. ඇත්තටම දුක සතුට දෙකම මුසු හැඟීම් සමුදායක් තමයි ඇතිවෙන්නේ. වෙලාවකට පුදුමත් හිතෙනවා අපි මේ මේ දේවල් කළා නේද කියලා.

      Delete
  2. කාලෙකට පස්සෙ පරණ යාළු මිත්‍රයින් හම්බ වෙනව කියන්නෙ ඉතින් හරිම සතුටුයි තමයි. අර වැව සහ රක්ෂිතය ගැන කියද්දි නම් ආස හිතුනා, ඒ පරිසරයට.

    ReplyDelete
    Replies
    1. මම මේ පෙන්වලා තියෙන්නේ මුළු කඳවුරු භූමියෙන් ඉතාම සුළු කොටසක් පමණයි. ඇත්තටම අපේකඳවුරේ ලස්සන කියා නිම කරන්න බැහැ.

      Delete
  3. හරිම සතුටුයි මේ වගේ පින්තුර දැක්කම.. මෙස් එකේ බිලට කාපු ඒවා මතක් වෙන්නැද්ද විචා..

    ReplyDelete
    Replies
    1. මෙස් එකේ බිලට කනවා කියන්නේ ඉතින් මාසේ අන්තිමට අපිම ඒ බිල ගෙවනවා කියන එක තමයි. උත්සවය සංවිධානය කරන්නේ රෙජිමේන්තුවෙන් නම් නොමිලේ කෑම බීම ලැබෙනවා.

      Delete
    2. ඒකේදි වැඩි පුර කැපෙන්නේ බීපුවට නේ..හැක්

      Delete
  4. ඔබ තුමාට සුන්දර අතීතයක් මතක් වූ දිනයක් බව විස්තරයෙන් සහ පින්තුර වලින් ඉතා පැහැදිලියි.

    ReplyDelete
    Replies
    1. ඔව් එදා සමහර පැරැන්නෝ සමුගත්තේ අපි දැන් වයසයි. ආයේ හමු නොවෙන්න පුළුවන් කියන හැඟීම හිතේ දරාගෙන.

      Delete
  5. මහගෙදර ගියාම මොනවගේ හැඟීමක්ද ඇතිවෙන්නෙ කියල හිතාගන්න පුළුවන්.
    මේජර් ජයතිලකගෙ මූන නං සිංහයෙකුගෙ වගේ

    ReplyDelete
    Replies
    1. වචනයෙන් කියන්න බැරි හැඟීමක්. බලන්න වයසට ගියත් හමුදා අභිමානය ඔහුගේ මුහුණේ තියන හැටි.

      Delete
  6. යකෝ මේක මාර ෆොටෝ ඇල්ලිල්ලක්නේ.. අරුන්දෙන්නව මිට්ටෝ දෙන්නෙක් කරලනේ....

    පරිසරයනම් අපූරුයි ඈ...

    අර දෙන්නා ඕගොල්ලන්ට ගුරුහරු කම් දුන්නනම් ඇයි එයාල ඔයාට සර් කියන්නේ ?

    සිංහයනම හෙන කම්මැලියා. පේනවද ඉන්න කැත. දිවත් එළියේ දාගන..කොඩියටත් එක්ක ලැජ්ජයි..

    ReplyDelete
    Replies
    1. හිහ්.........හී...........පාවෙන පීරිසියක් උඩ නැගලා....................

      අම්මපා මට සිංහ ලෙන ඇතුලට පැනලා හොම්බට දෙකක් අනින්න හිතුනානැනගිටපිය කම්මැලියා කියලා.

      සාමාන්‍යයෙන් දෙවැනි ලුතිතන්ට වුනත් රෙජිමේන්තු සැරයන් මේජර් ඇතුළු සියලු සෙසු නිලයන් ආචාර කර සර් කියන්න ඕනේ. අපි දෙවැනි ලුතිතන් වුනාට මේ අය අපිට වඩා සේවා කාලයෙන් වැඩි නිසා අත්දැකීම් බහුලයි. ඒ නිසා සමහ දේවලදී අපිට ගුරුහරුකම් දෙන්නේ මේ අය. මේගොල්ලෝ කියන එක බොහෝවිට අපි කියන එකට වඩා විශ්වාස කරනවා අණදෙන නිලධාරි තුමා.

      Delete
    2. මේගොල්ලෝ සර් කියන්න හේතුව පැහැදිලි වෙනවා ඇඳලා තියෙන විදිහ නිරීක්ෂණය කළා නම්.
      …මම දැකලා තියෙන දෙයක් තමයි සැරයන්ලා සිවිල් ඇඳුමෙන් ඉන්නකොට ටයි පටි පළඳින්නේ නෑ. ඒවගේම බොහෝම සරලව අඳින්නෙ. ඒක නියමයක්ද?

      Delete
    3. නැහැ නැහැ. සැරයන් වරුන්ට තියා සාමාන්‍ය සෙබළුන්ටවත් තහනමක් නැහැ ටයි පටියක් පළඳින්න. මේ ලිපියේම පින්තූරයක ඉන්න සැරයන් මේජර් ජයතිලක ටයි එකක් පැළඳගෙන ඉන්නේ.

      මහනුවර, නුවරඑලිය, දියතලාව, වැනි ප්‍රදේශවල තියන කඳවුරුවල සැරයන් නිවස්නයේ සවස 6 න් පසු රාජකාරියෙන් මිදී සිටින අය ටයි පටියක් පැළඳිය යුතුයි. නුවරඑළියේ නම් කෝට් එකත් අඳිනවා.

      මේ පින්තූරයේ ඉන්න දෙන්න බොහොම දුර බැහැරින් ආව අය. ඔවුන්ට නිදහස තියනවා ටයි පටියක් පළඳින්නට හෝ නොපැළඳ ඉන්නට.

      Delete
    4. කැඩෙට් ඔෆිසර්ස්ලා වෙලා ඉන්නකම් ට්‍රේන් කරන සාජන්ලාට සර් කියනවා. පාස් අවුට් වෙන දවසේ ඉඳන් ඒ සාජන්ලාම මේ අයට සර් කියනවා. එහෙම නේද විචාරක? මට An officer and a gentleman ෆිල්ම් එක මතක් වුනා.

      Delete
    5. කැඩෙට් ඔෆිසර්ස්ලා පුහුණුවන කාලයේදී මේ අයට කතා කරන්නේ ස්ටාෆ් කියලයි.

      Delete
  7. නියම උත්සවයක්නෙ.
    ඒ වගේම අර එළිමහන් කූඩාරමත් විචාරක කිවුව වගේ මාර ලස්සනයි. :s

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්තටම ඉතාම රසවත් සුහද හමුවක්.

      Delete
  8. වැඩේ සරුවටම තිබිලා තියෙනවාන. අහන්නත් දෙයක්යැ... අණ දෙන්නාට වැඩේ ටිප් ටොප් එකට තියෙන්ට එපායැ. මගේ හොඳ මිත්‍රයෙක්. තව දන්න කියන මූණු කීපයකුත් ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. 'ආදිපාද' ලා ගොඩක් හිටියා. පින්තූර ගන්න ලැබුනේ නැහැ. පරණ කතන්දර ගොඩක් ආයෙත් මතක් කළා.

      Delete
  9. මම හිතුවේ ගමේ ගිහින් කියලා. බලනකොට අනෙක් මහ ගෙදර නේද? ලස්සන තැනක් විදියට තමයි පෙනුණේ...හී හී කට්ටිය නටලත් එක්ක. පොලවට මොනවා වෙලාද දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඒ මහගෙදර වගේම මේ මහගෙදරත් එක වගේ වැදගත්.

      කට්ටිය නටපු තැනට වතුර බවුසරයක් වැක්කෙරුවා නම් වී බුසලක් දෙකක් ඉහගන්න තිබුණා. :e

      Delete
  10. මහා ගෙදර දැක්කම ඇත්තටම අපිටත් ආඩම්බරයි

    ReplyDelete
    Replies
    1. ඔව් එය බොහොම අභිමානවත් තැනක්.

      Delete
  11. //මෙයාව බලන්නත් අමතක කළේ නැහැ. මම වගේම මෙයත් වයසට ගිහිල්ලා වගේ මට පෙනුණේ.//
    …මේ අර කලින් පින්තූරයක හිටපු සිංහ පැටියද?

    …මහ ගෙදරට ගියා කිව්වට කොඩිය දැක්ක ගමන් හිතුනා කොයි මහගෙදරද කියලා. විචාරක මහත්මයා සිංහ රෙජිමේන්තුව තෝරගන්න විශේෂ හේතුවක් තිබුනද?

    …//රෙජිමේන්තු අධිපති තුමාගේ දැක්ම වී තිබෙන්නේ, 2016 වනවිට, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, ශ්‍රී ලංකා යුද හමුදාවේ විශිෂ්ඨතම රෙජිමේන්තුව බවට පත්කර ගැනීමයි.//
    …දැන් විශිෂ්ඨතම රෙජිමේන්තුව මොකක්ද?

    ReplyDelete
    Replies
    1. හරියට හරි. මේ ඉන්නේ එයා තමා. මම වගේම නාකියි නේද?

      ඔව් ඇත්තටම මම මූලික පුහුණුව ලබන කාලේදී පළමු වරට සිංහ රෙජිමේන්තු නිලධාරියකු දුටු මොහොතේ ඔහු ඇඳ සිටි කළු පැහැති ලාංඡන වලට සිත ඇදී ගියා.

      දැනට මොකක්ද විශිෂ්ඨතම කියලා මතක නැත.

      Delete
    2. //දැනට මොකක්ද විශිෂ්ඨතම කියලා මතක නැත. // මම හිතුවා ඔය වගේ කපටි උත්තරයක් දෙයි කියලා. :)

      Delete
    3. නෑ නෑ ඇත්තටම මම දන්නේ නැත්තේ අඩු ගණනේ පහුගිය අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා තරගයෙන් ජයගත්තේ මොන රෙජිමේන්තුවද කියලාවත් මතක නැති නිසයි.

      Delete
  12. ඇත්තටම හිතුවා මහ ගෙදර කීවාම මව්පියන් බලන්න ගිය ගමනක් කියලා.........මේජර් ජෙනරල් සනත් කරුණාරත්න පින්තූරයකින්වත් දැකගත්තෙ අද.බොහොම පිං ඔබතුමාට ඒ ඡායාරූපය පළ කළාට...........

    ReplyDelete
    Replies
    1. මේකත් ඉතින් මහගෙදර වගේම තමයි. ගෙදරින් වෙන්වෙලා සෑහෙන කාලයක් ආවේ ගියේ මෙතනට නේ.

      ඇත්තටම එතුමා ප්‍රසිද්ධියට කැමති කෙනෙක් නෙවෙයි. ඒ නිසයි එතුමාගේ පින්තූර දකින්න නැත්තේ. බලකරලා වගේ තමයි මේ පින්තූරය ගත්තේ.

      Delete
  13. ඇත්තටම මේ අයට කල හැකි ලොකුම උපහාරය ඔහුන් කල අමිල සේවය අමතක නොකිරීමයි.

    ReplyDelete
  14. ෆොටෝ ටික දැක්කම බොහොම සන්තෝස හිතුන...පස්සේ තමයි තේරුනේ මහගෙදර කිව්වේ මොකටද කියල. අර එළිමහන් සිනමා ශාලාව නම් ඇති විශිෂ්ඨයි..

    ReplyDelete
  15. මේකත් ඉතින් මහගෙදර වගේමනේ.

    ඔව් මේ සිනමාශාලාවේ චිත්‍රපටියක් නැරඹීම අලුත්ම අත්දැකීමක්.

    ReplyDelete
  16. මහ ගෙදර හරි සුන්දර තැනක් වගේ ,සරුවට තිබිලා තියෙනවා නේ ,සර බීම එහෙම :))))

    ReplyDelete
    Replies
    1. එව්වා ඉතිං ආමි එකෙත් නැත්තං වෙන කොහෙද අනේ තියෙන්නේ. වැඩේ හොඳට නැගලා ගියා.

      Delete
  17. විචාරක මහත්තයා සින්දුවක් එහම කිව්වේ නැතෙයි. සිංහ රෙජිමේන්තුව හොඳම රෙජිමේන්තුව කරන්න දෙයි ද කට්ටිය , දැන් දේශපාලනය රිංගලා නේද බොහෝ තැන්වලට , ගජබා රෙජිමේන්තුව නම් හොඳම එක වෙයි වගේ ..තරහ යයි ද දන්නේ නෑ.. එත් ඉතින් ඔය එහෙන් මෙහෙන් ඇහෙන කතානේ විචා මහත්තයා

    ReplyDelete
    Replies
    1. නෑ නෑ හිත රිදෙන්නේ නැහැ. දක්ෂතාවය අනුවනේ තැන ලැබෙන්නේ. එහෙම ලැබීම සාධාරණයි. දේශපාලනය ගැන කතාකරන්න ගියොත් වැඩේ දිග්ගැස්සෙන නිසා ඒ ගැන කතා නොකර ඉම්මු.

      සින්දු කියන තත්වයට ආවේ නැති නිසා ටිකක් කලින් ආපහු ආවා.

      Delete
  18. විචාරක තුමා සිංහ පවුලේ සාමජිකයෙක් කියල අද තමයි දැන ගත්තෙ
    පරන කට්ටිය හමුවුනාම ඉතිං කතා කරන්න කොච්චර දේවල් තියෙනවද
    මමත් ඔය අත්දැකීම ලබල තියෙනවා අපේ Intake Dayදවසට කට්ටිය හම්බ වුනාම

    ReplyDelete
    Replies
    1. පරණ සගයින් නැවත හමුවීමේ සතුට කොයිතරම්ද කියලා ඔබත් හොඳින්ම දන්නවා ඇතිනේ. එදා රෑත් ඉඳලා එන්න කියලා වද කළා. අම්මෝ හිටියනම් තැපෑලෙන් තමයි ගෙදර එන්න වෙන්නේ. :e

      Delete
  19. අහන්න හැදුව විතරයි කෝ සිංහයා කියල.. මේ ඉන්නෙ
    මං ගියා එක දවසක් කෑම්ප් 1 ඇතුලට වැඩකට
    මගේ යුනිපා්ං එකේ පාටට නං මෙයා කැමති වුනේ නෑ...
    නිල් පාට නෙවී වෙන්නැති

    ReplyDelete
    Replies
    1. අනේ මටනම් දුක හිතුනා සිංහයා දැකලා. වෙනදට ඔතන තියන මහ ගල් පර්වතය උඩට නැගලා ඉන්නේ. සිංහයාට හුරු කොලපාට නිළ ඇඳුම් විතරක් වෙන්න ඇති.

      Delete
    2. සිංහයා එළිමහනේත් ඉන්නවාද?

      Delete
    3. සින්හලා ඉන්නේ ශක්තිමත් වැටකින් වටකළ ප්‍රදේශයක. එහි විවෘත බිමක්, විශාල ගල්තලාවක්, මෙන්ම සිංහ ලෙනක් ද තියනවා.

      Delete
  20. වැඩේ ජයටම තිබිලා තියෙන්නෙ... හරිම ලස්සනයි වටපිටාව... පරණ යාළුවො මුණ ගැහුනම සෑහෙන්න සතුටු හිතෙන්න ඇති නේද...

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නැහැ. සමහර අයව දැක්කේ අවුරුදු ගානකට පස්සේ. ඉතිං කොච්චර ලොකු සතුටක්ද? ඇත්තටම අපේ කඳවුර හරිම දර්ශනීයයි.

      Delete
  21. සාජන් මේජර් ජයතිලක නම කියලා වැඩක් නැහැ. තාමත් ආමි වගේ.
    ජෙනරල් ෆොන්සේකාත් සිංහ රෙජිමන්ට් නේද?

    මම එළිමහන් තිරයක චිත්‍රපටි බැලුවා..ඔමාන් ආමි තියටර් එකේ Muaskar Al Murtafaa (MAM)කියන කෑම්ප් එකේ. දියතලාවේත් මේ වගේ තියටර් එකක් තිබුනාද?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සාජන් මේජර් ජයතිලක වැනි අය යුද හමුදාවට ලැබුණු දායාද. ඔව් ජෙනරල් ෆොන්සේකා තමයි මේ වනතුරු සිංහ රෙජිමේන්තුවෙන් බිහිවුණු එකම යුද හමුදාපති වරයා සහ ඒකාබද්ධ මෙහෙයුම් ආඥාපති වරයා. දියතලාවේ අතීතයේදී කූඩාරමක සවිකළ තියටර් එකක් තිබුන බව මම අහලා තියනවා.

      Delete
  22. මම වැඩ කරන්ඩ යන තැනකටත් ලැබුනා සොනියර් එකක් මේ පොටෝ එකක්වත් ඒකේ තිබුන්නැ ,

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }