හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

26 April 2016

සපෝට් එකට කොම්පැනියක්............................. Army Support Company

   සපෝට් එකක් ඕනෑකරණ වෙලාවල් අපේ ජීවිතයේ කොච්චර නම් එනවද? නමුත් බොහෝ වෙලාවට සපෝට් එකට බල්ලෙක් වත් නෑ නේද? ඔහොම තමයි අනේ ජීවිතේ හැටි. අපිට ඕනේ වෙලාවට සපෝට් එකට බල්ලෙක්වත් නැතිවුනාට මොකද, ඕනේ නැති වෙලාවට නම් බල්ලෝ රංචු ගණන් ඉන්නවා, සපෝට් එකට. ගමේ විදානේගේ බල්ලා මැරුණම, අහල ගම් හතක හිටිය, හැම බල්ලම ආවලු මළගෙදර. නමුත් විදානේ මැරිච්ච දවසේ, එක බල්ලෙක්වත් ආවේ නැතිලු. (නෑ නෑ, ඒ විදනයා ගැන නෙවෙයි කිව්වේ. ඕකට බල්ලෙක් තියා බලු කුක්කෙක් වත් නෑ) දැන් ඉතින් මේ වටින් ගොඩින් එන්නේ මොකටද කියලා දන්නවද? අපි අද කතාකරමු, යුද හමුදාවක තිබෙන, ආධාරක කණ්ඩායම හෙවත්, Support Company (හමුදා භාෂාවෙන් කෙටි යෙදුම Sp Coy) කියන එක ගැන. 

යුද හමුදාවක කොම්පැනි කියලා ජාතියක් තියනවද? 

ඔන්න ඔන්න ඔන්න, මහත්තයෝ, අම්මපා මේ අපේ මිනිස්සුන්ට, මේ තරම් ඉක්මනට, අතීතය අමතක වෙන්නේ, පූරුවේ කරුමෙකටද මන්දා. ඇයි අප්පොච්චියේ, යුද හමුදාවේ පුංචිම කෑල්ලේ ඉඳලා, ලොකුම කෑල්ල දක්වා කොටස් ටික, කියලා දුන්නා අමතකද? අමතක නම් වහාම ගිහින් බලලා එනවා හොඳයි. ඒක අමතක නම්, මේ කතාව ඉස්සරහට ගෙනියන්න අමාරුයි. 

සපෝට් කොම්පැනිය කියන්නේ යුද්ධ කරන කොම්පැනියක්ද?

මේ මොනවා අහනවද? යුද්ධ හමුදාවේ හැම අංශයක්ම, කුමක් හෝ ආකාරයකින් යුද්ධයට සම්බන්ධ වෙනවා. ඒ අතරින්, මේ සපෝට් කොම්පැනියට ලැබෙන්නේ, විශාල වැදගත් කමක්. කෙටියෙන් කියනවානම් මෙහෙමයි. පාබල හමුදා බලඇණියක (Infantry Battalion)  තිබෙන කණ්ඩායම් (Company) අතරින්, විශාල වගකීමක් පැවරෙන කණ්ඩායමක් තමා, ආධාරක කණ්ඩායම (Support Company) කියන්නේ. 

මොකක්ද ඉතින් සපෝට් කොම්පැනියෙන් කරන්නේ?

දන්නවනේ, පාබල ඒකකයකට උරුමවූ කාර්ය භාරය තමයි, පා ගමනින් සතුරා සොයාගෙන ගොස්, සතුරා සමග සටන්කර, ඔහුව විනාශ කිරීම, යටත් කරගැනීම, ඉදිරි සතුරු ක්‍රියා මර්දනය කිරීම, සතුරු බලප්‍රදේශ අපේ යටතට අත්පත් කරගැනීම. ඉතින් මෙන්න මේ ටික කරන්න ගියාම, සාමාන්‍ය පාබල කණ්ඩායමක ශක්තිය මදිවෙනවා. මේ සඳහා ආධාරයට තවත් අය ඕනෑ වෙනවා. අන්න ඒ සහයෝගය හෙවත්, අතිරේක වෙඩි බලය තමයි, සපෝට් කොම්පැනියෙන් දෙන්නේ. ඒ කියන්නේ සපෝට් කොම්පැනියේ තිබෙන, බලඇණි ආධාරක අවි Battalion Support Weapons  බර මැෂින් තුවක්කු, මෝටාර්, RCL, RPG, යුද ටැංකි නාශක සැහැල්ලු අවි, යුද ටැංකි/ගුවන් යානා නාශක මිසයිල්, වැනි ආයුධ වලින්, යුද පිටියේ සටන් කරන පාබල සෙබළුන්ට අවශ්‍ය  සහාය දීම, ඒ විතරක් නෙවෙයි අවශ්‍ය නම් සැහැල්ලු සන්නද්ධ රථ යොදවා සතුරාගේ කෙඉයාකාරකම් පිළිබඳ තොරතුරු සෙවීම, ජල තරණය, විදුලිබල සැපයුම් ස්ථාන වැනි මර්මස්ථාන, පුපුරවා විනාශ කිරීමට දක්ෂ 'ප්‍රහාරක පුරෝගාමී කණ්ඩායම්, Assault Pioneer Teams'  යොදවා, සතුරාගේ ක්‍රියාකාරකම් අවුල් කිරීම ආදිය තමයි කරන්නේ. 

බලන්න යුද ටැංකි නාශක මිසයිලයක් ක්‍රියා කරන හැටි.







සපෝට් කොම්පැනි කාරයෝ, සාමාන්‍ය හමුදා කොම්පැනියක ඉන්න අයට වඩා වැඩ කාරයොද? 

ඒකට ඉතින්, ඔව්/නෑ කියන උත්තර දෙකම දෙන්න පුළුවන්. ඒ මෙහෙමයි. සපෝට් කොම්පැනියක තියනවා, ඒ ඒ අවි වර්ගයට අදාළව සැකසූ  ඛණ්ඩ platoon, ඒ එක් එක් ඛණ්ඩය, ඒ ඒ අවි වර්ගය ගැන විශේෂඥ පුහුණුවක් හා දැනුමක් තියන සොල්දාදුවන්ගෙන් සමන්විතයි. ඒවා මෙන්න මෙහෙම නම් කරලා තියනවා. මෝටාර් ප්ලැටූන්, මැෂින් ගන් ප්ලැටූන්, RCL ප්ලැටූන්, RPG ප්ලැටූන්, ආදී වසයෙන්. මේ ප්ලැටූන් වල ඉන්න අය ආධාරක වෙඩි බලය දීම ගැන විශේෂඥයන් වුනාට, පෙරමුණේ සටන් කිරීමේදී, අදක්ෂ වෙන්න පුළුවන්. සාමාන්‍ය සොල්දාදුවෙක් ඒකෙ අනික් පැත්ත වෙන්න පුළුවන්. මේ ඛණ්ඩ වලට අදාළ වෙඩි බලය ඉදිරි යුද භූමියට අවශ්‍ය ලබාදෙනවා, යුද පිටියෙන් එන ඉල්ලීම් වලට අනුව. ඒ වගේම, ප්‍රහාරක සැලැස්මක්‌ සැකසීමේදී, කල්තබා තීරණය කරනවා, සපෝට් කොම්පැනිය යොදවන්නේ කොහොමද කියා. මෝටාර් වෙඩි සහාය දෙන්න, මෝටාර් විදිනයන් යුද පිටියේ ඉදිරියටම ගෙනියන්න අවශ්‍ය නැහැ. මිලිමීටර් 81 මෝටාරයකින් කි.මී.5 ක් පමණ දුරට බෝම්බයක් යවන්න පුළුවන්. 

මේ බලන්න මිමී 81 මෝටාරයකින් වෙඩි තියන හැටි.





අපේ හමුදාවේත් සපෝට් කොම්පැනි තියනවද?


අපොයි ඔව්. අපේ හමුදාවේ, සෑම පාබල එකකයකම පාහේ, ආධාරක කණ්ඩායමක් හෙවත් සපෝට් කොම්පැනියක් තියනවා. ඒ සඳහා අණ දෙන්නට තෝරාගන්නේ, බලඇණි ආධාරක අවි පාඨමාලාව සමත්වූ කපිතන්/මේජර් නිලයේ නිළධාරියෙක්. බලඇණි ආධාරක පාඨමාලාව නිලධාරීන්ට පමණක් නොවෙයි, කෝප්‍රල්, සැරයන්, සැරයන් මෙජර්, වැනි නිලවල අයටත් ලබාදෙනවා. මේවා සෑහෙන අතීතයේ සිට අපේ හමුදාවේ තියනවා. 

එතකොට බ්‍රිගේඩ් එකක්, එහෙමත් නැත්නම් සේනාංකයක් වගේ මහා විශාල හමුදාවක් සටන් කරද්දී, මේ වගේ සපෝට් කොම්පැනි ගොඩක් ඕනේ වෙනවද? 

ඇත්තටම ඕනේ වෙනවා තමයි. නමුත් ඒ වෙලාවට මීට වඩා සංවිධානාත්මක විදිහට ක්‍රියා කරනවා. එහිදී කරන්නේ බලඇණියක් තරම් විශාල, ඒ කියන්නේ හාරපන්සීයක් විතර හෝ ඊටත් වැඩි සෙබල පිරිසක් ඉන්න, සංග්‍රාමික බළඇණියක් හෙවත් Battle Group එකක් හදාගැනීමයි. මෙහිදී ප්‍රධාන වශයෙන්, පාබල, සන්නාහ සන්නද්ධ, කාලතුවක්කු, සංඥා, වැනි රෙජිමේන්තු වලින් තෝරාගත් විශේෂ පුහුණුවක් ලබාදුන් අයයි යොදවාගන්නේ. 

ඒගොල්ලොත් පයින් ගිහිල්ලද යුද්ධ කරන්නේ 

අවශ්‍යතාවය අනුව තමයි එය තීරණය වෙන්නේ. විශේෂ වාහන වලින් යන්නත් පුළුවන්. එහෙම වාහන වලින් ගිහින් යුද්ධ කරන පිරිසකුත් ඉන්නවා. ඉදිරි ලිපියකදී ඒ ගැන සාකච්ඡා කරමු. 


2016 අප්‍රේල් මස 25 වැනි දින 2246 පැය 

37 comments :

  1. Replies
    1. යුද්දේ කොරන වෙලාවට, ඒ අහල පහල ඉඳගෙන, 'නියමයි නියමයි' කියන්න කවුරුවත් නෑ අනේ. :e

      Delete
    2. ඉතිං දැන් යුද්දෙ තියෙනවයැ විචාරක මාමෙ....හැක් හැක් දනී නම් දැන් කොරන යුද්දයක තරම.....ඔහොම හිනාවෙන්නෑ ඔච්චමට.....

      Delete
  2. අර මිලි 81 මෝටාර් ගහපු ඔක්කොම එකම තැනටද වැටෙන්නේ, ඒකෙ ඈන්ගල් වෙනස් කිරීමක් කලේ නැහැ නේද...
    පොඩ්ඩක් පැහැදිළි කරන්න...

    ReplyDelete
    Replies
    1. හොඳ ප්‍රශ්නයක්. ඒ වීඩියෝ එකේ මාතෘකාවේ තියනවා Fire for effect mission කියලා. ඒ කියන්නේ මේකයි. ඔන්න සපෝට් කොම්පැනියට ගුවන්විදුලි පණිවිඩයක් එනවා, අහවල් තැන ඉලක්කයක් තියනවා ඒකට ගහන්න කියලා. සපෝට් කොම්පැනියේ මෝටාර් 5 ක් තියනවා කියලා හිතන්න. (මේ වීඩියෝ එකෙත් ඇත්තටම පෙන්නන්නේ සපෝට් කොම්පැනියක මෝටාර් ප්‍රහාරයක්. බලන්න මෝටාර් දෙකක් තුනක් වෙඩි තියනවා පෙනෙනවා) ඒ මෝටාර් පහටම එම ඉලක්කය දීලා එතනට ගහන්න කියනවා. කාලතුවක්කු, මෝටාර්, රොකට් වෙඩි, මේ විදිහට, අවි කීපයකින්, එකම ඉලක්කයට ගහනවාට කියන්නේ, Brigaded Fire කියලා. (එකම ඉලක්කයට වෙඩි වැහි වස්සවනවා) ඔතෙන්දි වෙන effect එක මේකයි. ඉදිරියේ ඉඳන්, ඒ වෙඩි නිරීක්ෂණය කරන අයට පෙනෙනවා, වෙඩි වැටෙන්නේ කොහාටද කියලා. ඒ ගොල්ලෝ ගුවන්විදුලි පණිවිඩ මගින් කියනවා තව මීටර් මෙච්චරක්, ඉස්සරහට/පස්සට/වමට/දකුණට/ ගහන්න කියලා. ඒ අනුව තමයි, නැවත වෙඩි කෝණය සකසන්නේ.

      Delete
  3. ඉතා වැදගත් ලිපියක්...

    ReplyDelete
  4. ආමි එක ගැන හැමදාම කියවන Emotional පැත්තට එහා ගිය, technical awareness එකක් දෙන ලියමනක්. වැදගත්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. මේ ලිපියේ මා දී තිබෙන ලින්ක්ස් වලට ගිහින් බැලුවොත්, තාක්ෂණික තොරතුරු බොහොමයක් දැනගන්න පුළුවන්.

      Delete
  5. දෙකම ළඟ ළඟ දාල වැඩකුත් නෑනෙ නේහ්. ඉතුරු කොටසත් දාන්ටකෝ.. හිහි

    ReplyDelete
    Replies
    1. හෑ........දෙකම එක ලඟට දාලා? මොකක්ද අප්පා ඒ හරුපේ? හරි හරි ඊළඟ ලිපියත් ළඟදීම දාන්නම්කො.

      Delete
  6. සපෝට් එක ඕන වෙලාවට සපෝට් කලේ නැතුව කලින් ලැබිලත්,පස්සෙ ලැබිලත් වැඩක් නෑ.. හරියට හරි කතාව..හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ. සපෝට් කොම්පැනියෙන් ඉල්ලන පමාවට බඩු ආවේ නැත්තං, ගුවන්විදුලි පණිවිඩ හුවමාරු යන්ත්‍ර වලින්, සුද්ද සිංහලත් ඇහෙන වෙලාවල් තියනවා.

      Delete
  7. යුද්ධයකදී සිදුවන හානිය අතින් මේ ආදාරක කන්ඩායම් අවම මට්ටමක ද ඉන්නේ? මං හිතන්නේ එහෙම නෑ කියලයි.

    ReplyDelete
    Replies
    1. සපෝට් කොම්පැනිය කියලා බේරීමක් නෑ කසුන්. යුද පෙරමුණට තරමක් පසුපසින් තිබුනත්, මෙතනටත් ගුවන් ප්‍රහාර, කාලතුවක්කු ප්‍රහාර, MBRL ප්‍රහාර, වගේම හොරෙන් රිංගාගෙන එන සතුරු කුඩා කණ්ඩායම් ප්‍රහාරත් එල්ල වෙන්න, හොඳටම ඉඩ තියනවා.

      Delete
  8. විචාරක ආයෙත් පුරුදු ට්‍රැක් එකට වැටිලා වගෙයි :)

    ReplyDelete
    Replies
    1. සපෝර්ට් කොම්පැනිය හොඳයි වගේ

      Delete
    2. @ උදය. ඔව් අනේ. පහුගිය කාලේ එකතුවෙච්චි මාතෘකා ගොඩක් තියනවා. එකින් එක ලියන්නම්.

      @ Pra Jay. Military History Magazine වලිනුත්, ඔබට පින්සිද්ධ වෙන්න, කරුණු ගොඩක් හොයාගත්තා. ඉදිරියේදී ලියන්නම්.

      Delete
  9. akuruwala lokuuuuuuuuuuuuu....

    ahanna prashna na. meka nikan kiyapuwama aaye kiwillak wage :P

    ReplyDelete
    Replies
    1. කොයි අකුරුද ලොකු? මාතෘකා ද, ඡේද ද?

      නෑ නෑ, සපොට් කොම්පැනිය ගැන වෙනම විස්තරයක් මීට කලින් කියලා නැහැ.

      Delete
  10. Replies
    1. ස්තුතියි නිර්මාණී.

      Delete
  11. අනෙ මන්ද බං පාබල සැට් එකට තමා ඔක්කෙම කරදර. උඩින් ඇවිල්ල කෙලියොත් වසල හමාරයි නේ.

    ReplyDelete
    Replies
    1. උඹ හිතන්නේ වහ කන්නේ පාබල විතරයි කියලද? කෑම දෙන එවුන්ට, (සේවා බලකාය) හෙට උදේට, මෙන්න මෙතනට, මෙච්චර කැලෑ සලාක මලු ඔනෑ කිව්වම, උන් අම්ම මෝ මතක් කර කර, රෑ එළිවෙනකල් එව්වා හදනවා. ඒ කරන්නේ, සාමාන්‍ය ආහාර සැපයීමට අමතරව. ඒ අතරේම උන්, වාහන වලට ඉන්ධන සපයන්නත් ඕනේ.

      හමුදාවේ කොයි එකත් දුකයි සෑමෝ.

      Delete
  12. යුද්ධෙ සහ හමුදාවෙ තාක්ෂනික පැත්තට එහා ගිය සාමන්‍යෙන් ජාලෙ හොයා ගන්න නැති අත්දැකීම් සහ තොරතුරු ගැන කතා කරනවට තමා මගේ මනාපෙ. ඒ නිසා කියෙව්වෙ උඩින් පල්ලෙන්.

    ReplyDelete
    Replies
    1. Army Support Company කියලා සර්ච් කලත්, මෙතන තියන කරුණු බොහොමයක් එන්නේ නැහැ. මට අවශ්‍ය, අපේ යුද්ධ හමුදාවත් ගාවගෙන ලියන්න. නමුත් අවාසනාවකට වගේ, අපේ යුද්ධ හමුදාව එවැනි තොරතුරු, අතිශය රහසිගත තොරතුරු ලෙස සලකනවා වගේ. ලෝකයේ වෙනත් හමුදා වල, සපෝට් කම්පනියේ භටපිරිස් සංඛ්‍යාව, ආයුධ වර්ග, නිලධාරීන් ගණන ඔක්කොම පෙන්වනවා.

      Delete
  13. විචාරක තුමා නොකියන්න අපි මේවා දැන ගන්නේ නෑ. ඇත්තටම මේවා ගැන දැනුවත් කරලා තියෙන එක හොඳයි. අද තියෙන තත්වේ හැටියට ආපහු අපිට ආයුධ අතට ගන්න වෙයිද කියලත් කියන්න බෑ. මේ සපෝට් කෝ ඒකෙන් ගහන ටාගට් වරද්දලා තමන්ගේ අයට හානි වූ අවස්ථා නැතිද ?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේවා රහස්‍ය දේවල් නෙවෙයි සුදීක. මම බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී, අන්තර්ජාලයේ ඉංග්‍රීසි භාෂාවෙන් තියන හමුදා ලිපි කීපයක් පරිවර්තනය කරන්න. සමහරුන්ට පුදුම හිතෙයි, එවැනි තොරතුරු, ඕනෑම කෙනෙකුට නිදහසේ කියවන්න හැකි ආකාරයට, අන්තර්ජාලයේ තියනවද කියලා.

      අපොයි ටාගට් වරැද්ද ගත්ත අවස්ථා පහුගිය යුද්ධ කාලේ සෑහෙන්න තිබුනා. සමහරවිට අපේම අය මැරුණා. ඒ වෙලාවට ඉතින් ගුවන්විදුලි ජාලයේ සංස්කෘත, පාළි, ඔක්කොම කියවෙනවා :e

      Delete
  14. අපි දන්න කොම්පැනි අතරට නොදන්න කොම්පැනියන්. වැදගත් තොරතුරු ටිකක්.

    ඒත් අර විදානෙයට අපහාස කිරීමනං හෙලා දකිනව හිටගෙන. හැක්..

    ReplyDelete
    Replies
    1. එකම වෙනසමේ කොම්පැනි වල අවුරුද්ද අන්තිමට ලාභ අලාභ බලන්නේ නැහැ. බෝනස් බෙදන්නේ නැහැ.

      හෑ...........විදානයට බල්ලෙක් ඉන්නවද?

      Delete
  15. පිපිරීමට ආසන්න බෝම්බයක් ඔබගේ ගොඩනැගිල්ලේ තිබුනොත් ඔබ කළ යුත්තේ කුමක්ද ?

    ත්‍රස්තයන් පිරිසක් ප්‍රහාරයක් එල්ල කරමින් ඔබගේ ගොඩනැගිල්ල දෙසට පැමිනෙමින් සිටිති. ඔබ කළ යුත්තේ කුමක්ද ?

    ඔබ සිටින ගොඩ්නැගිල්ල තුළ බෝම්බයක් පුපුරාගියහොත්, ඔබ ජීවතුන් අතරනම් කළයුත්තේ කුමක්ද ?

    ඔබගේ බිරිඳ සහ දරුවන් ප්‍රාණ ඇපයකට ගෙන ඇතැයි දැනගතහොත් ඔබ කළ යුත්තේ කුමක්ද ?

    ත්‍රස්තවාදියෙකු, ටි 56ක් කරේ දමාගෙන පැමිණ ඔබට සියෙට් එකක් සමඟ, තේ එකක් බීමට ආරාධනා කළොත් ඔබ කළ යුත්තේ කුමක්ද ?

    ආදී ප්‍රායෝගික භාවිතය පිළිබඳ ලිපි පෙලක් ලියන්න කියා අපේ විචාරක මහතැන්ගෙන් ඉල්ලා සිටිනවා...

    ReplyDelete
    Replies
    1. //පිපිරීමට ආසන්න බෝම්බයක් ඔබගේ ගොඩනැගිල්ලේ තිබුනොත් ඔබ කළ යුත්තේ කුමක්ද ?//
      කසාද බැඳපු ඕනෑම පිරිමියෙක් උත්තරේ දන්නවා.

      //ත්‍රස්තයන් පිරිසක් ප්‍රහාරයක් එල්ල කරමින් ඔබගේ ගොඩනැගිල්ල දෙසට පැමිනෙමින් සිටිති. ඔබ කළ යුත්තේ කුමක්ද ?//
      නැන්දම්මා සහ නෑනන්ඩිලා ගෙදර එන වෙලාවට මග ඇරලා යන එක තමා ඇඟට ගුණ

      :D

      Delete
    2. @ සෙන්නා. මේක නම් මට එරෙහිව කරපු අධිරාජ්‍යවාදී විදේශීය කුමන්ත්‍රණයක්. හැක්.

      සෙන්නා කියා තිබෙන මාතෘකා ඒ ආකාරයෙන්ම නොවුනත්, ඒ ඇසුරෙන් යමක් ලියන්නම්.

      @ උදය. දුක හිතෙන කතා කියන්න එපා අනේ. අහෝ ඒ නිදහස් අතීතය. :e

      Delete
  16. නොදන්නා තොරතුරු දන්නා කෙනෙක්ගෙන්....ඔබට අවශ්‍ය ඕනෑම හමුදා තාක්ශන තොරතුරක් ඇත්නම් ....යන්න සොයා-මෙන්න මෙයා...හෝ අමතන්න විචා....ටිං ටිං ටිං...මේ ශ්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල දෙවෙනි සේවයයි!!!!!!!!

    ReplyDelete
    Replies
    1. අනේ ඒ සිංහල දෙවැනි සේවේ ආයෙත් ඒ විදිහටම පටන් ගන්නවානම් කොච්චර ලස්සනට තියෙයිද? අර ටං, ටිං, ටුං, කියලා ගහන Gong එක නම් තවමත් වෙළඳ සේවේ ගහනවා ඇහෙනවා.

      Delete
    2. නිවේදකයගෙ මයික් එක ලඟ භාණ්ඩෙ තියාගෙන පුවක් ගෙඩියක් ගහපු කූරෙන් පතබාන එකයි ඔය කරන්නෙ.රෙකෝඩින් එකක් නෙමෙයි.ඒකයි හොඳම ආතල් එක.

      Delete
  17. වටින ලිය්ප්යක් විචා තුමාගේ. :D

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }