හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

03 May 2016

පයින් යනෙන සෙබළුන් හට - යුද රථයක් සොයා දෙන්න!

   බ්ලොග් ලිපියකට මාතෘකාවක් තෝරා ගැනීමත් ටිකක් අමාරු වැඩක්. අද  ලියන දේවල් ගැන කල්පනා කරමින් ඉඳිද්දී, මට මතක්වුනේ, අකාලයේ වියෝවූ, ජනප්‍රිය නිලි රෙබෙකා නිර්මලී රඟපෑ, 'වෙද හාමිනේ' ටෙලි නාට්‍යයේ,  ගායිකා ප්‍රදීපා ධර්මදාස ගැයූ, 'දූවිල්ලෙන් සැදුන ලියේ' ගීතයයි. ඒ ඇසුරෙන් තමා, මම මාතෘකාව යෙදුවේ, 'පයින් යනෙන සෙබළුන් හට යුද රථයක් සොයා දෙන්න' කියලා. මොකද අර ගීතයේ කියනවා නේද, 'වෙණ වයනා මිනිස්සුන්ට පන් පැදුරක් එලා දෙන්න' කියලා. ඒ කියන්නේ, වෙහෙස වන අයට, සහනයක් සලස්වන්න කියන එකනේ. ඉතින්, වෙහෙස වෙන සෙබළුන්ට, පන් පැදුරක් එලලා දෙනවද, නැත්නම් යුද්ධ රථයක් හොයලා දෙනවද කියලා තමයි, අද කතාකරන්න යන්නේ. 

   ඔබ යුද හමුදාව ගැන විවිධ තොරතුරු අසා තිබුනත්, අද මා ඔබ සමග සාකච්ඡා කරන්න යන කරුණ, බොහෝවිට මීට පෙර අසා නැතුව ඇති කියා, මට හිතෙනවා. අද මා ඔබ සමග කතාකරන්නේ, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව කියන්නේ මොකක්ද, කියන එක ගැනයි. 

   ඔබ අසා ඇතුවාට සැකයක් නැහැ, චතුරංගනී සේනාව කියන එක ගැන. චතුරංගනී සේනාව කියන්නේ, ඇත්, අස්, රිය, පාබල, යන සතර ආකාරයේ හමුදා වලට බවත්, ඇත් හමුදාව, ඇතුන්පිට නැගී යුද පිටියට ගොස්, සටන් වැදුන බවත්, ඇතුන් ලවා, සතුරු බලකොටු බිත්ති බිඳ දැමූ බවත්, ඔබ අසා ඇති. අස් හමුදාව හෙවත් අසුන් පිටේ යන හමුදාව, වේගයෙන් සතුරන් වෙත කඩාපැන, අසුන් පිට සිටිමින්, සටන් කල බවත්, රිය හමුදාව, සතුන් විසින් අදින ලද රථ මගින්, යුද පිටිය වෙත භටපිරිස් රැගෙන ගිය බවත්, ඔබ අසා ඇති. 

   මේ ආකාරයට, පයින් ගමන් කරන හමුදාවට, යම් ප්‍රවාහන ශක්තියක්/බලයක් ලබාදීමෙන්, ඔවුන් යොදවා වේගවත් ප්‍රහාර එල්ල කළහැකි බවත්, යුද බිම වෙත සහ යුද බිම තුළ, පයින් ගමන් කිරීමට සිදුවන කාලය අඩු කරගත හැකි බවත්, ඈත අතීතයේ සිටම පිළිගත් සංකල්පයක් බව පෙනෙනවා. අද වනවිට එහි වඩාත් දියුණු අවස්ථාව, ලෝකය පුරා යුද හමුදාවන්හි ක්‍රියාවට නංවා තිබෙනවා. ඒ තමයි, යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සංකල්පය. Mechanized Infantry Regiment = MIR  මෙය හමුදා කෙටි යෙදුමකින් හඳුන්වන්නේ, Mec Infantry යනුවෙන්. 

   ශ්‍රී ලංකා යුද හමුදාවේත්, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවක් තිබෙනවා. වර්ෂ 2007 දී, අපේ හමුදාවට යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවක් ඇරඹීමේ පුරෝගාමියා වූයේ, වර්තමාන ෆීල්ඩ් මාර්ෂල්, එවකට ශ්‍රී ලංකා යුද හමුදාධිපති වූ, ලුතිතන් ජෙනරල් සරත් ෆොන්සේකා මහතායි. අවසන් මානුෂික මෙහෙයුමේදී, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවෙන් විශාල මෙහෙයක් ඉටුවුණා. ශ්‍රී ලංකා යුද හමුදා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ, ලාංඡනය සහ ධජය පහත දක්වනවා. 




 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවක් කියන්නේ මොකක්ද? 

   සාමාන්‍යයෙන් යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවක් ප්‍රධාන වශයෙන් හැදෙන්නේ, පාබල හමුදාව සහ සන්නාහ සන්නද්ධ බලකාය එක්වීමෙන්. මෙහිදී සන්නාහ සන්නද්ධ බලකායේ, විශේෂිත සන්නද්ධ රථවල නැගුන පාබල සෙබළුන්, කඩිනමින් යුද බිමට ගොස්, යුද බිමේදී එම රථවලින් බැස, එම රථ වල ආවරණය, වෙඩි බලය, ආධාර කරගනිමින්, සාමාන්‍ය පාබල සෙබල භූමිකාවේ යෙදෙනවා. නමුත් මෙහි ඇති විශේෂත්වය වන්නේ, සන්නද්ධ රථවලින් ගමන් කිරීම, ක්‍ෂණයකින් රථයට නැගීම සහ බැසීම, සන්නද්ධ රථ සතුරු ප්‍රහාර වලින් ආරක්ෂා කරගනිමින් සටන් කිරීම, අවශ්‍ය අවස්ථා වලදී, සන්නද්ධ රථ මගින්ද ප්‍රහාර එල්ල කිරීම, යන කරුණුයි. මේ සඳහා, යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සාමාජිකයන්ට විශේෂ පුහුණුවක් ලැබෙනවා. 

   සාමාන්‍ය පාබල සෙබල සේනාවන්ට යුද භූමිය වෙත පිවිසීමේදී සතුරු සන්නද්ධ රථ සහ සතුරු යාන්ත්‍රික පාබල කණ්ඩායම් වලින් එල්ලවිය හැකි තර්ජනයට ප්‍රතිවිරෝධීව කටයුතු කිරීම, යාන්ත්‍රික පාබල භූමිකාවේ වැදගත් කොටසක්. සාමාන්‍යයෙන්, මේ පහත දැක්වෙන ක්‍රමයට තමයි, එක සන්නද්ධ රථයකට අදාළ යාන්ත්‍රික පාබල කණ්ඩායමක් සැකසෙන්නේ. මෙය, රටෙන් රටට වෙනස් වෙනවා. 


   ඉතින් මේ කණ්ඩායම කොහොමද සන්නද්ධ රථයක යන්නේ? නිකම් හිතුමතේට යන්න බැහැ. මේ බලන්න කොයිතරම් සංවිධානාත්මකවද යන්නේ කියලා. 



   ඒ ඒ අවස්ථාව අනුව රථය මත නැගී යන්නත්, රථය තුළ ගමන් කරන්නත් පුළුවන්. නියමිත අණ යටතේ ක්‍ෂණයකින් රථයෙන් බැස, සටනට එක්වෙනවා. 









   පහත දැක්වෙන වීඩියෝවේ තිබෙනවා, බ්‍රිතාන්‍ය යුද හමුදාවේ, යාන්ත්‍රික පාබල සොල්දාදුවන් පිරිසක්, යුද අභ්‍යාසයක යෙදෙන හැටි. එය නැරඹීමෙන්, ඔබට මනාව පැහැදිලිවනු ඇති, යාන්ත්‍රික පාබල හමුදාව සටන් කරන්නේ කුමන ආකාරයටද යන්න. 




   යාන්ත්‍රික පාබල හමුදා මුලින්ම පිහිටෙව්වේ කොයි කාලෙද? 

   අපේ රටේ නම්, 2007 දී කියලා, මම ඉහත සඳහන් කලානේ. නමුත් පළමුවැනි ලෝක යුද සමයේදී තමයි, මුලින්ම යාන්ත්‍රික පාබල සංකල්පය ක්‍රියාවට නැංවී තිබෙන්නේ.  මේ බලන්න, 1918 තරම් ඈත අතීතයේදී, යාන්ත්‍රික පාබල කටයුතු සඳහා යොදාගෙන ඇති, සන්නද්ධ රථයක ස්වරූපය. 



  මේ මොහොතේ මට තවත් වැදගත් කාරණයක් මතක්වුණා. සංග්‍රාමික අවශ්‍යතා සඳහා, පාබල හමුදා සෙබල කණ්ඩායම්, හමුදා ට්‍රක් රථ මගින්, තැන් තැන් වලට යවනවා. නමුත් ඔවුන් යාන්ත්‍රික පාබල කියන වර්ගීකරණයට වැටෙන්නේ නැහැ. ඔවුන් අයත්වන්නේ, 'මෝටර් ප්‍රවාහන පාබල කණ්ඩායම් - Motarised Infantry' යන වර්ගීකරණයටයි. 

අපේ යාන්ත්‍රික පාබල හමුදාව පාවිච්චි කරන සන්නද්ධ රථ මොනවද? 

   අපේ හමුදාව සෑහෙන සන්නද්ධ රථ වර්ග කීපයක්ම පාවිච්චි කරනවා. යුද්ධ ටැංකියක් මත වුනත්, සෙබල පිරිසක් ගෙනියන්න පුළුවන්. ලෝකයේ හැම තැනම, යුද්ධ ටැංකි නිකම් යවන්නේ නැහැ. ආරක්ෂාවට සෙබල කණ්ඩායමක් ඉන්නවා. අපිත් පහුගිය යුද්දෙදි එහෙම කළා. බලමුකො, අපිට යාන්ත්‍රික පාබල හමුදාවේ ප්‍රයෝජනයට ගන්න පුළුවන්, සටන්කාරී සන්නද්ධ රථ Armoured Fighting Vehicles = AFV මොනවද කියලා. 

   අපි පාවිච්චි කරන එක සන්නද්ධ රථ වර්ගයක් තමා, BMP යනුවෙන් හැඳින්වෙන, රුසියාවේ නිෂ්පාදිත, සන්නද්ධ රථ. BMP කියන්නේ, රුසියානු නමක්. Boevaya Mashina Pehoty (Боевая Машина Пехоты, "Infantry Combat Vehicle") පාබල සටන් රථය. මේ පහල තියෙන්නේ, BMP 1, 2, සහ 3 යන වර්ග තුන. මේ වර්ග තුනම, අපේ හමුදාව පාවිච්චි කරනවා. මේ කිසිදු රථයක, තාක්‍ෂණික විස්තර ඉදිරිපත් නොකරන්නේ, මේ ලිපිය, මහා දීර්ඝ ලිපියක් වීම වලක්වා ගන්නයි. 







   ඊළඟට තියෙන්නේ, සන්නද්ධ සටන් රථ හෙවත් Armoured Fighting Vehicle = AFV නමැති වර්ගීකරණයට වැටෙන රථ. මේ වර්ගයට අයත් මෝස්‌තර දෙකක රථ අපේ හමුදාව පාවිච්චි කරනවා. ඒ තමයි T 85 AFV සහ T 86 AFV






   අපේ හමුදාව මෙතනින් නවතින්නේ නැහැ. තවත් සන්නද්ධ රථ වර්ගයක් තිබෙනවා සන්නද්ධ සෙබල ප්‍රවාහන රථ හෙවත්, Armoured Personnel Carriers = APC යනුවෙන් හැඳින්වෙන. එම වර්ගීකරණයට අයත් මෝස්‌තර තුනක් අපි පාවිච්චි කරනවා. පහත දැක්වෙන්නේ ඒවා.






   ඉහත පින්තූරයේ BTR කියන එකත් රුසියානු නමක්. (бронетранспортер/Bronetransporter, = "Armoured Transporter") ඔබ දන්නවා නොවැ, රෝද හතරටම බලය යෙදූ වාහන. 4 x 4 වාහන. සමහර ඒවා නිපදවලා තියෙන්නේ, සෑමවිටම, රෝද හතරටම බලය යෙදෙන ආකාරයටනේ. මේ සන්නද්ධ රථයත්, ඒ වගේ. මෙහි රෝද අටටම, සෑමවිටම බලය යෙදී තිබෙනවා. ඒ කියන්නේ මෙය 8 x 8 රථයක්. 

   හොඳට මතක තියාගන්න, ඉහත පෙන්වා ඇති එකක්වත්, යුද්ධ ටැංකි නෙවෙයි. ප්‍රහාරක ශක්තිය තිබුනත්, ඒවා යුද්ධ ටැංකි (Main Battle Tank = MBT) කියන වර්ගීකරණයට අයත් වන්නේ නැහැ. මේවා BMP, BTR, AFV, APC, යන වර්ග පමණයි. 

ඉතින් ඔය යාන්ත්‍රික පාබල හමුදාව තනියම සටන් කරනවද යුද්ධයකදී?

   යාන්ත්‍රික පාබල හමුදාව, ගමරාලගේ වංගෙඩිය  වගේ, හැම එකටම යවන්නේ නැහැ. යුද්ධයකදී තියනවා, යුද්ධය කියවීම කියලා දෙයක්. (reading the battle) ඒ කියන්නේ, අපි මුහුණ දෙන යුද්ධය කෙබඳුද යන්න, යුද න්‍යායන් අනුව සිතා තේරුම් ගැනීමයි. අන්න ඒ අනුව තමයි, සේනාංකාධිපතිවරුන් තීරණය කරන්නේ, යුද හමුදාවේ කුමන කොටස/කොටස් ද, සටනට යොමුකල යුත්තේ කියා. යාන්ත්‍රික පාබල හමුදාව සාමාන්‍ය පාබල හමුදාව සටන් කරන භූමියටම රිංගා සටන් කිරීම මෙන්ම, තමන්ට පමණක් සීමා කොට ලබාදෙන කාර්ය භාරයන් task ඉටුකිරීමද, එකසේ සිදුකරනවා. 

   මා හිතනවා, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව ගැන මා කල මේ සරල විස්තරය, ඔබේ දැනුමට යමක් එකතු කරන්නට සමත්වනු ඇතැයි කියා. ඉතා සංකීර්ණ කරුණු, හැකිතරම් සරලව ඔබවෙත ගෙන ඒමයි, මගේ පරමාර්ථය වුයේ. තවත් මෙවැනි ලිපියකින් ඉදිරියේදී හමුවෙමු.
  
2016 මැයි මස 02 වැනි දින 2218 පැය

28 April 2016

ඉස් ඉස්සෙල්ලම හිටං කිව්වේ කවුද හිටං

   අම්මපා මේ හිටං කියන එක, මෑත කාලයේ ඉඳලා අපිට එකතුවුන යෙදුමක් කියලා හිටං, පෙනෙන්න තියනවා. නමුත් මේ හිටං කියන එක, සෑහෙන තරම් අතීතයක ඉඳලා හිටං,  අපේ රාජ රාජ මහාමාත්‍යාදීන් විසින්, පාවිච්චි කොරලා තියනවා හිටං කියලා, මම මේ මෑතකදී තේරුම් ගත්තා හිටං. දැන් බළනකොට මේ හිටං කියන එක කිසිම අවුලක් නැති යෙදුමක් කියලා හිටං තේරෙන්නේ දැනුයි හිටං. මේ හිටං කියන යෙදුම, අපේ ජන නායකයන් විසින්, මීට අවුරුදු හැට හැත්තෑවකට උඩදිත් පාවිච්චි කොරලා තියනවා කියලා හිටං, ඔහෙලා බොහොමයක් දන්නේ නැතුව ඇති හිටං. ඉතිං අප්පා, කාටද තංතෝස කියලා මං අහන්නේ හිටං. මෙව්වා අපේ සඟිස්කුරුතියේ, පරණ කියමන් කියලා දැනුයි ඕං තේරෙන්නේ හිටං. 

   අපේ වර්තමාන ජනාධිපතිතුමා, හිටං කියනවා කියලා හිටං, හුඟක් දෙනෙක්,  අරවා මෙව්වා කියනවා හිටං. ඒ උනාට, එතුමාටත් කලින් හිටං, හිටං කියන යෙදුම පාවිච්චි කල උත්තමයෝ හිටියා කියලා හිටං, ඔහෙලා දැනගන්නවා හොඳයි හිටං. මං මෙව්වා කිව්වට විස්වාස නැත්තං හිටං, ඔන්න ඔය පහලින් තියන, තප්පර 35 ක් විතරක් යන වීඩියෝ එක, බලනවා හොඳයි හිටං. කොම්පීතරේ ළඟ හිටගෙන හිටං. 




   ඕං බලනවාලා හිටං, ජාතියේ පියා කියලා කියන උත්තමයා හිටං, මේ හිටං කියන එක කියලා තියනවා හිටං. හැක්, ඉතිං කියනවලකෝ හිටං, දැං ඔහෙලා මොකද කියන්නේ හිටං?

2016 අප්‍රේල් මස 27 වැනි දින 2354 පැය

26 April 2016

සපෝට් එකට කොම්පැනියක්............................. Army Support Company

   සපෝට් එකක් ඕනෑකරණ වෙලාවල් අපේ ජීවිතයේ කොච්චර නම් එනවද? නමුත් බොහෝ වෙලාවට සපෝට් එකට බල්ලෙක් වත් නෑ නේද? ඔහොම තමයි අනේ ජීවිතේ හැටි. අපිට ඕනේ වෙලාවට සපෝට් එකට බල්ලෙක්වත් නැතිවුනාට මොකද, ඕනේ නැති වෙලාවට නම් බල්ලෝ රංචු ගණන් ඉන්නවා, සපෝට් එකට. ගමේ විදානේගේ බල්ලා මැරුණම, අහල ගම් හතක හිටිය, හැම බල්ලම ආවලු මළගෙදර. නමුත් විදානේ මැරිච්ච දවසේ, එක බල්ලෙක්වත් ආවේ නැතිලු. (නෑ නෑ, ඒ විදනයා ගැන නෙවෙයි කිව්වේ. ඕකට බල්ලෙක් තියා බලු කුක්කෙක් වත් නෑ) දැන් ඉතින් මේ වටින් ගොඩින් එන්නේ මොකටද කියලා දන්නවද? අපි අද කතාකරමු, යුද හමුදාවක තිබෙන, ආධාරක කණ්ඩායම හෙවත්, Support Company (හමුදා භාෂාවෙන් කෙටි යෙදුම Sp Coy) කියන එක ගැන. 

යුද හමුදාවක කොම්පැනි කියලා ජාතියක් තියනවද? 

ඔන්න ඔන්න ඔන්න, මහත්තයෝ, අම්මපා මේ අපේ මිනිස්සුන්ට, මේ තරම් ඉක්මනට, අතීතය අමතක වෙන්නේ, පූරුවේ කරුමෙකටද මන්දා. ඇයි අප්පොච්චියේ, යුද හමුදාවේ පුංචිම කෑල්ලේ ඉඳලා, ලොකුම කෑල්ල දක්වා කොටස් ටික, කියලා දුන්නා අමතකද? අමතක නම් වහාම ගිහින් බලලා එනවා හොඳයි. ඒක අමතක නම්, මේ කතාව ඉස්සරහට ගෙනියන්න අමාරුයි. 

සපෝට් කොම්පැනිය කියන්නේ යුද්ධ කරන කොම්පැනියක්ද?

මේ මොනවා අහනවද? යුද්ධ හමුදාවේ හැම අංශයක්ම, කුමක් හෝ ආකාරයකින් යුද්ධයට සම්බන්ධ වෙනවා. ඒ අතරින්, මේ සපෝට් කොම්පැනියට ලැබෙන්නේ, විශාල වැදගත් කමක්. කෙටියෙන් කියනවානම් මෙහෙමයි. පාබල හමුදා බලඇණියක (Infantry Battalion)  තිබෙන කණ්ඩායම් (Company) අතරින්, විශාල වගකීමක් පැවරෙන කණ්ඩායමක් තමා, ආධාරක කණ්ඩායම (Support Company) කියන්නේ. 

මොකක්ද ඉතින් සපෝට් කොම්පැනියෙන් කරන්නේ?

දන්නවනේ, පාබල ඒකකයකට උරුමවූ කාර්ය භාරය තමයි, පා ගමනින් සතුරා සොයාගෙන ගොස්, සතුරා සමග සටන්කර, ඔහුව විනාශ කිරීම, යටත් කරගැනීම, ඉදිරි සතුරු ක්‍රියා මර්දනය කිරීම, සතුරු බලප්‍රදේශ අපේ යටතට අත්පත් කරගැනීම. ඉතින් මෙන්න මේ ටික කරන්න ගියාම, සාමාන්‍ය පාබල කණ්ඩායමක ශක්තිය මදිවෙනවා. මේ සඳහා ආධාරයට තවත් අය ඕනෑ වෙනවා. අන්න ඒ සහයෝගය හෙවත්, අතිරේක වෙඩි බලය තමයි, සපෝට් කොම්පැනියෙන් දෙන්නේ. ඒ කියන්නේ සපෝට් කොම්පැනියේ තිබෙන, බලඇණි ආධාරක අවි Battalion Support Weapons  බර මැෂින් තුවක්කු, මෝටාර්, RCL, RPG, යුද ටැංකි නාශක සැහැල්ලු අවි, යුද ටැංකි/ගුවන් යානා නාශක මිසයිල්, වැනි ආයුධ වලින්, යුද පිටියේ සටන් කරන පාබල සෙබළුන්ට අවශ්‍ය  සහාය දීම, ඒ විතරක් නෙවෙයි අවශ්‍ය නම් සැහැල්ලු සන්නද්ධ රථ යොදවා සතුරාගේ කෙඉයාකාරකම් පිළිබඳ තොරතුරු සෙවීම, ජල තරණය, විදුලිබල සැපයුම් ස්ථාන වැනි මර්මස්ථාන, පුපුරවා විනාශ කිරීමට දක්ෂ 'ප්‍රහාරක පුරෝගාමී කණ්ඩායම්, Assault Pioneer Teams'  යොදවා, සතුරාගේ ක්‍රියාකාරකම් අවුල් කිරීම ආදිය තමයි කරන්නේ. 

බලන්න යුද ටැංකි නාශක මිසයිලයක් ක්‍රියා කරන හැටි.







සපෝට් කොම්පැනි කාරයෝ, සාමාන්‍ය හමුදා කොම්පැනියක ඉන්න අයට වඩා වැඩ කාරයොද? 

ඒකට ඉතින්, ඔව්/නෑ කියන උත්තර දෙකම දෙන්න පුළුවන්. ඒ මෙහෙමයි. සපෝට් කොම්පැනියක තියනවා, ඒ ඒ අවි වර්ගයට අදාළව සැකසූ  ඛණ්ඩ platoon, ඒ එක් එක් ඛණ්ඩය, ඒ ඒ අවි වර්ගය ගැන විශේෂඥ පුහුණුවක් හා දැනුමක් තියන සොල්දාදුවන්ගෙන් සමන්විතයි. ඒවා මෙන්න මෙහෙම නම් කරලා තියනවා. මෝටාර් ප්ලැටූන්, මැෂින් ගන් ප්ලැටූන්, RCL ප්ලැටූන්, RPG ප්ලැටූන්, ආදී වසයෙන්. මේ ප්ලැටූන් වල ඉන්න අය ආධාරක වෙඩි බලය දීම ගැන විශේෂඥයන් වුනාට, පෙරමුණේ සටන් කිරීමේදී, අදක්ෂ වෙන්න පුළුවන්. සාමාන්‍ය සොල්දාදුවෙක් ඒකෙ අනික් පැත්ත වෙන්න පුළුවන්. මේ ඛණ්ඩ වලට අදාළ වෙඩි බලය ඉදිරි යුද භූමියට අවශ්‍ය ලබාදෙනවා, යුද පිටියෙන් එන ඉල්ලීම් වලට අනුව. ඒ වගේම, ප්‍රහාරක සැලැස්මක්‌ සැකසීමේදී, කල්තබා තීරණය කරනවා, සපෝට් කොම්පැනිය යොදවන්නේ කොහොමද කියා. මෝටාර් වෙඩි සහාය දෙන්න, මෝටාර් විදිනයන් යුද පිටියේ ඉදිරියටම ගෙනියන්න අවශ්‍ය නැහැ. මිලිමීටර් 81 මෝටාරයකින් කි.මී.5 ක් පමණ දුරට බෝම්බයක් යවන්න පුළුවන්. 

මේ බලන්න මිමී 81 මෝටාරයකින් වෙඩි තියන හැටි.





අපේ හමුදාවේත් සපෝට් කොම්පැනි තියනවද?


අපොයි ඔව්. අපේ හමුදාවේ, සෑම පාබල එකකයකම පාහේ, ආධාරක කණ්ඩායමක් හෙවත් සපෝට් කොම්පැනියක් තියනවා. ඒ සඳහා අණ දෙන්නට තෝරාගන්නේ, බලඇණි ආධාරක අවි පාඨමාලාව සමත්වූ කපිතන්/මේජර් නිලයේ නිළධාරියෙක්. බලඇණි ආධාරක පාඨමාලාව නිලධාරීන්ට පමණක් නොවෙයි, කෝප්‍රල්, සැරයන්, සැරයන් මෙජර්, වැනි නිලවල අයටත් ලබාදෙනවා. මේවා සෑහෙන අතීතයේ සිට අපේ හමුදාවේ තියනවා. 

එතකොට බ්‍රිගේඩ් එකක්, එහෙමත් නැත්නම් සේනාංකයක් වගේ මහා විශාල හමුදාවක් සටන් කරද්දී, මේ වගේ සපෝට් කොම්පැනි ගොඩක් ඕනේ වෙනවද? 

ඇත්තටම ඕනේ වෙනවා තමයි. නමුත් ඒ වෙලාවට මීට වඩා සංවිධානාත්මක විදිහට ක්‍රියා කරනවා. එහිදී කරන්නේ බලඇණියක් තරම් විශාල, ඒ කියන්නේ හාරපන්සීයක් විතර හෝ ඊටත් වැඩි සෙබල පිරිසක් ඉන්න, සංග්‍රාමික බළඇණියක් හෙවත් Battle Group එකක් හදාගැනීමයි. මෙහිදී ප්‍රධාන වශයෙන්, පාබල, සන්නාහ සන්නද්ධ, කාලතුවක්කු, සංඥා, වැනි රෙජිමේන්තු වලින් තෝරාගත් විශේෂ පුහුණුවක් ලබාදුන් අයයි යොදවාගන්නේ. 

ඒගොල්ලොත් පයින් ගිහිල්ලද යුද්ධ කරන්නේ 

අවශ්‍යතාවය අනුව තමයි එය තීරණය වෙන්නේ. විශේෂ වාහන වලින් යන්නත් පුළුවන්. එහෙම වාහන වලින් ගිහින් යුද්ධ කරන පිරිසකුත් ඉන්නවා. ඉදිරි ලිපියකදී ඒ ගැන සාකච්ඡා කරමු. 


2016 අප්‍රේල් මස 25 වැනි දින 2246 පැය 

22 April 2016

සති අන්තයේ කියවන්න යමක්................................... Somthing to read at this weekend...........

රිවස් සෙන්සර් එක 

අලුතෙන් එන කාර්වල තියන රිවස් සෙන්සර් ගැන කාර් නිෂ්පාදකයෝ කයිය ගහනවා ඕසේට. නමුත් ඔය එකෙක්වත් නෙවෙයි, චීනයේ ගම්බද ගොවියෙක් තමා රිවස් සෙන්සර් එකේ සංකල්පය මුලින්ම ලෝකෙට ගෙනාවේ. රිවස් සෙන්සර් එකෙන් කරන්නේ, වාහනයක් රිවස් කරද්දී, පිටිපස්සේ බම්පර් එක මොකක හරි වැදුනොත්, මහා හඬක් නගන එක නේද? ඔය කාර් හදන ඉංජිනේරුවෝ හිතන්නේ, උන් තමයි රිවස් සෙන්සර් ගැන දන්නේ කියලා. බලන්නකෝ මේ ගොවියා අපූරු සජීවී රිවස් සෙන්සර් එකක් හදාගෙන තියන හැටි.  


හමුදාවේ කර්නල්ලා ගේ අවංක කම  

හමුදාවේ කර්නල් කෙනෙක් තනියම ඇවිදින්න ගියා ගම්බද ප්‍රදේශයක. එයාගේ ජීප් එක හදිස්සියේම කැඩුනා. හදාගන්න තැනකුත් නැහැ. ඒ පැත්තටම තිබුනේ එක ගොවිපොලක් විතරයි. කර්නල් ගියා ගොවිපොළට. එතන හිටියේ පෙනුම තියන ගෙවිලියක්. කර්නල් හිතුවා එහෙ නැවතිලා පහුවදා උදේ වාහනය හදාගන්න විදිහක් බලන්න.

කර්නල්:- මට අද රෑ මෙහෙ නවතින්න පුලුවන්ද? 

ගෙවිලිය:- අපෝ බෑ, මම විතරයි තනියම ඉන්නේ.


කර්නල්:-  එහෙම මොකුත් හිතන්න එපා මම හමුදාවේ කර්නල් කෙනෙක්.


ගෙවිලිය:- මේ ගෙදර තියෙන්නේ මම නිදාගන්න ඇඳ විතරයි.


කර්නල්:- ඒකට කමක් නෑ, මම ඔයාට කරදරයක් නොවෙන්න ඇඳේ එක පැත්තක නිදාගන්නම්.


ගෙවිලිය:- ඒ වුනාට මම නිදාගන්නේ ඇඳුම් නැතුව. එහෙම නැතුව මට නින්ද යන්නේ නෑ.


කර්නල්:- හරි හරි, මම අනික් පැත්ත හැරිලා නිදාගන්නම්.


දෙන්න නින්දට ගියා. ගෙවිලිය රෑ නිදිවරාගෙන කර්නල්ගෙන් 'ප්‍රතිචාරයක්' බලාපොරොත්තුවෙන් හිටියා. නමුත් ඔහු එළිවෙනතුරු හොඳට නිදාගත්තා. පහුවදා උදේ කර්නල් අවදවී බලනවිට, ගෙවිලිය තම කුකුළු රංචුවට කෑම දමමින් හිටියා. 


කර්නල්:- ෂාහ්..හොඳ කුකුළු රංචුව. කිකිලියෝ කීයක් විතර ඉන්නවද?


ගෙවිලිය:- 100 ක් විතර 


කර්නල්:- එතකොට කුකුලෝ?


ගෙවිලිය:- එකයි


කර්නල්:- නෑ නෑ, මට පෙනෙනවා හත් අට දෙනෙක් ඉන්නවා කියලා.


ගෙවිලිය:- නෑ, එකයි ඉන්නේ, අනික් එවුන් ඔක්කොම කර්නල්ලා.



ඇම්ඩා නැවතත් කතා කරයි  

ටීචර්:- ළමා......යි, ඔයාලා හෙට එනකොට පොඩි විස්තරයක් අරන් එන්න ඕනේ, ඔයාලගේ ගෙවල් පැත්තේ කෙරෙන, අලුත් ඉදිකිරීමක්, ව්‍යාපෘතියක්, වගේ දෙයක් ගැන.

(පන්තිය ඉවර කරලා ටීචර් කිව්වා පිරිමි ළමයි යන්න ගෑණු ළමයි ඉන්න කියලා)

ටීචර්:- කෙල්ලනේ, දැන් උඹලා දන්නවනේ අර ඇම්ඩන් හැමදාම උදේට මොකක් හරි කුණුහරපයක් කියනවා කියලා. දැන් හෙට උදෙත් ඕකා එහෙම එකක් කිව්වොත්, උඹලා පන්තියෙන් නැගිටලා පලයල්ලා.  හරිද? ඉතුරු හරිය මම බලාගන්නම්.  ඉතින් ගෑණු ළමයි එකඟ වුනා. 

ඔන්න පහුවදා උදේ පන්තියේදී ටීචර් එක එක ළමයාගෙන් අහනවා, තම තමන් ගෙනා විස්තරය.

ටීචර්:- සෙව්මිණි කියන්න ඔයා හොයාගත්ත දේ. 

සෙව්මිණි:- ටීචර් අපේ පැත්තේ අලුතෙන් බස් නැවතුම්පොළක් හදනවා.

ටීචර්:- බොහොම හොඳයි. ශානිකා කියන්න.....

ශානිකා:- ටීචර් අපේ පැත්තේ අලුතෙන් ග්‍රාමීය රෝහලක් හදනවා. 

ටීචර්:- බොහොම හොඳයි, ඇම්ඩන් කියන්න.........

ඇම්ඩන්:- ටීචර් අපේ පැත්තේ ගෙදරක අලුතෙන් බ්‍රොතල් එකක් දාන්න යනවා.........

ටීචර්ගේ ඇස් උඩ ගියා. කලින් කතාවුන විදිහටම කෙල්ලො ටික පන්තියෙන් නැගිටලා යන්න හදනකොටම ඇම්ඩා කියනවා............

නැවතියව් පට්ට වේ............තොපි හිතුවද තොපි වගේ පොල්කිච්චියන්ව එතනට ගනියි කියලා. එතැනට ගන්නේ එක්ස්පීරියන්ස් තියන එවුන්. අනික තවම ඒක පටන් අරං නෑ.

කෙල්ලො ටික ගල්ගැහිලා නැවතුනා. ටීචර් කලන්තේ දාලා වැටුනා.

   

ගෙදර ගෝරි පටන්ගන්න හැටි  

පහුගිය අවුරුද්දේ, මම අපේ නැන්දම්මට, අවුරුදු තෑග්ගක් හැටියට අරන් දුන්නේ, නගර සභා සුසාන භූමියේ මිනී වලක් හදාගන්න බලපත්‍රයක්. 

මේ අවුරුද්දේ මොකුත් අරන් දුන්නේ නැහැ.

අපේ උන්දැ අහනවා, ඔයා මේ අවුරුද්දේ අපේ අම්මට මොකුත් තෑගී කලේ නැහැනේ කියලා. 

මම කිව්වා ගිය අවුරුද්දේ දුන්න තෑග්ග පාවිච්චි කලෙත් නැතුව මොකටද මේ අවුරුද්දෙත් තෑගී දෙන්නේ කියලා.

ඔන්න ගෝරියක් පටන්ගත්තා........ 



මමයි අපේ උන්දැයි ඉගෙනගත්ත මධ්‍ය මහා විද්‍යාලේ ආදී ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ වාර්ෂික සුහදහමුව ලොකු හෝටලේක තිබුනා.

අපි දෙන්නා වාඩිවෙලා හිටිය මේසෙට ළඟ මේසෙක තනියම වාඩිවෙලා හිටිය අපේ වයසේ උන්නැහේ කෙනෙක් අම්බානක බොන බවත්, අපේ උන්දෑ වරින්වර දුකෙන් වගේ ඒ මිනිහා දිහා බලන බවත්, මට පෙනුනා. 

මම:- ඔයා දන්නවද අර මෑන්ව? මටනම් මතකයක් නෑ.

අපේ උන්දැ:- (සුසුමක් හෙලමින්) ඔව් එයා හිටියේ අපේ පැරලල් පන්තියක. ඒ කාලේ මං ගැන හරියට බලාපොරොත්තු තියාගෙන හිටියා. අපේ වෙඩින් එක ගත්ත දවසේ ඉඳලම බොනවලු. පව්.

මම:- මොනවා යකෝ? ඌ මාර පොරක්නේ, අපේ වෙඩින් එක තවම සමරන්නේ? 

ඔන්න එතනම ගෝරියක් ඇදුනා. 




මම ටීවී එක බලන්න පටන්ගත්තා විතරයි, ඔන්න අපේ උන්දැත් ඇවිත් වාඩිවුනා. මම දන්නවා තවටිකකින් රිමෝට් කන්ට්‍රෝල් එක එයාගේ ග්‍රහණයට අහුවෙන බව. 

අපේ උන්දැ:- මොනවද ටීවී එකේ තියෙන්නේ?

මම:- ටීවී එක පුරාම දූවිලි තියනවා.

ඔන්න ගෝරියක් ඇදුනා........



මට පරම්පරාවෙන් අයිති වෙච්චි ඉඩමක් විකුණුවා. මෙන්න එදාම හවස අපේ උන්දැ මගේ ඇඟේ දැවටී දැවටී කියනවා මේ.........මට ඕනේ, මේ.......දිලිසෙන, සුදුපාට, තප්පර දෙක තුනකින් 0 ඉඳලා 150 ට යන්න පුළුවන් එකක් හොඳේ.

එදාම හවස මම එයාට ගෙනත් දුන්න බාත්රූම් ස්කේල් එකක්.

ඒක දැකපු ගමන් ඔන්න ගෝරියක් ඇදුනා..........


පැන්ෂන් ගත්තට පස්සේ මට හිතුනා මේ පැත්තේ සිවිල් ආරක්ෂක කමිටුවට බැඳෙන්න. ඉතින් මම ගියා ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙට. ඉල්ලුම්පත්‍රය පුරවලා දුන්නට පස්සේ කවුන්ටරේ හිටිය නෝනා මගේ හැඳුනුම්පත ඉල්ලුවා. හයියෝ.......මම ඒක ගෙදර දාලා ගිහින්. 

අර නෝනා කිව්වා අයි.ඩී. එක නැතුව මොකුත් කරන්න බැහැ කියලා. මම කිව්වා,

'නෝනා දැනට ඉල්ලුම්පත්‍රය බාරගන්න මම හෙට අයි.ඩී. එක ගෙනත් පෙන්නන්නම්' කියලා. 

'එහෙම කරන්න තහනම්. අනික මහත්තයා වැඩිහිටි පුරවැසියෙකුගේ පෙනුම නැහැනේ. කොන්ඩෙත් කලුයිනේ'. 

'නෑ නෑ මම කොන්ඩේ ඩයි කරලා ඉන්නේ'. 

'මොකද කරන්නේ..............? හරි මම කියන්නද, මහත්තයා පොඩ්ඩක් මහත්තයාගේ ෂර්ට් එකේ බොත්තම් දෙක තුනක් ගලවන්න. 

මම ෂර්ට් එකේ බොත්තම් දෙක තුනක් ගැලෙව්වා, මගේ පපුවේ තියන සුදුපාට කේශ කලාපය දැක්ක ඒ නෝනා, 

'හරි හරි, ඉල්ලුම්පත්‍රය ගන්නම්' කිව්වා.

මම ගෙදරආව ගමන් අපේ උන්දැට මේ සිද්ධිය කිව්වා.

'හුහ්, ෂර්ට් එක ගලවලා ගෑනුන්ට පෙන්නන්න? ඇයි තමුසෙට තිබුනනේ කලිසමත් ගලවලා ඒ ගෑණිටම පෙන්නන්න. එහෙම කලානම් තමුසෙට ආබාධිතයින්ගේ සංගමේ සභාපතිකමත් ගන්න තිබුනා' 

ඔන්න තවත් ගෝරියක් ඇදුනා..........



මීට පහලින් තියන කථාව 21+ 
ඒ නිසා කැමතිනම් පමණක් බලන්න. 


 

Today is Sperm Appreciation Day, let's have a Moment of Silence in Honour of those children who were not born But were......

1. Swallowed during a Blow job
2. Thrown away in a Condom
3. Washed in trousers during Masturbation
4. Dropped on someones breast and died in tissue paper
5. Slipped on someones hips and lost with water..
6. And many more untold incidents. ...

Consider Yourself very lucky to be alive. Coz You made it!
You are a Sperm That Survived!!
You were the fastest swimmer and you made it!!
You were a Sperm that survived while billions of others Perished.

So do not feel down. Live Life and Enjoy Life. If you made it when you were a Sperm... You can make it in Life too!


This is the best motivational speech you will ever hear!

2016 අප්‍රේල් මස22 වැනි දින 1625 පැය


18 April 2016

අවුරුදු කෑවා කියන්නේ.........................


   හප්පොච්චියෙ, අවුරුදු කෑවා කියන්නේ කෑමක්, මදි නොකියන්න කෑවා. ආයෙත් අවුරුදු ගානකට අවුරුද්ද නම් එපා. (ඔය කිව්වට අපිනේ දන්නේ.......හෙහ් හෙහ්) නෑ නෑ, මේ කියන්නේ කෑමබීම ගැන විතරක් නෙවෙයි. කවුරු කවුරුත් අවුරුද්දට විශේෂ කෑම බීම හදලා කනවා බොනවා නේන්නම්. නැතුව මම විතරයැ. අපි කාටත් නානාප්‍රකාර අවුරුදු අද්දැකීම් ලැබී තිබෙන බව, මේ දවස්වල බ්ලොග් ලෝකයේ පලවෙන අවුරුදු ලිපි වලින් පෙනෙනවා. 

   ඕං එහෙනං අහගන්ඩකො මේ සැරේ අවුරුද්ද නිසා මට වෙච්චි දේවල්. සෑම වසරකම අපේ පුංචි ජනාවාසයේ,(මේක ගමක් කියන්න බැහැ. ඉඩම් වෙන්දේසියකින් මිලදීගත්, පර්චස් 20 - 30 ඉඩම් කෑලිවල හදාගත්ත ගෙවල් යායක් තියෙන්නේ) අවුරුදු උත්සවය නොවරදවාම සිදුකෙරෙනවා. (අපේ ජනාවාසයටම වෙන්වූ ක්‍රීඩාපිටියක් සහ සමිති ශාලාවක් තියනවා) අවුරුදු උත්සවයක් සංවිධානය කරන්න තරම්, අවුරුදු උණ තියෙන්නේ, අපි කීපදෙනෙකුට විතරයි. නමුත් ඉතින් කොහොම හරි, මේ පවුල්වල දරුවන් වෙනුවෙන් වත්, මොනවාහරි කරන්න එපායැ. 

   සෑම නිවසකින්ම මුදල් ආධාරයක් අරගෙන, පරිත්‍යාගශීලීන්ගෙන් ලැබුන මුදලුත්, අපේ සමිති අරමුදල් වලින් කොටසකුත් දාලා, වැඩටික සංවිධානය කළා. වැඩේ බොහොම ඉහලයි. නමුත් ජනතාවගේ සහභාගිත්වය නම් හොඳටම දුර්වලයි. කොහොම හරි, උදේ 9.00 ට පටන් ගම්මු කියලා හිතාගෙන හිටිය අවුරුදු උත්සවේ, පළමුවැනි තරගය තියන්න වුනේ, උදේ 10.20 ට. අපේ අය ඒ තරම් හොඳට ප්‍රමාද වෙන්න දන්නවා. 

   අපේ රටේ ජාතික ගීයේ, මොකවත් කුණුහරප වචන තියනවද මන්දා, බොහෝ දෙනෙක් ජාතික ගීය වාදනය කරනකොට, එය ගායනා කරන්න කියා ඉල්ලා හිටියත්, වටපිට බලමින්, ඉඟිබිඟි පාමින්, ඇඳුම කොණ්ඩය හදමින්, හිටියා විතරයි. මගේ වයසේ කීපදෙනෙක් සහ පාසල් ළමුන් පමණයි, ජාතික ගීය ගායනා කළේ. අනේ අපේ ජාතිය. 

   අපේ අවුරුදු උත්සවය සඳහා අපිම දාගන්න සංස්කෘතික පොලීසියක් තිබෙනවා. අහවල් එව්වා පානය කොට පැමිණීම තහනම්, පිටිය තුල දුම්බීම තහනම්, එවැනි අය ආපහු හරවා යවනවා.  දරුවන්ට පෙනෙන්න ඉඩතියන්නේ නැහැ එවැනි දේවල්.

   මෙවර නිවේදකයකු ආනයනය කර තිබුනා, වෙනත් ගමකින්. උන්නැහේ, දවල් කෑම වෙලාව කිට්ටු වෙනකොට, තරග වල නම් අලුත් කරන්න පටන් ගත්තා, 'අන්ධයා කිරි කා, මුට්ටිය බිඳ, පොල් අතු වියා, සූප්පුවෙන් කිරිබීම' වැනි අලුත් තරග ගැන කියන්න පටන් ගත්තා. උන්නැහේගේ දිව ටැපලෙන බව, අපිට පැහැදිළිවම පෙනුන නිසා, උන්නැහෙව වහාම උන්නැහේ ආව දිහාවක් බලාගෙන යන ලෙස, අපනයනය කළා. අපි කීපදෙනෙක්, මාරුවෙන් මාරුවට, නිවේදක රාජකාරිය කළා. 

    (නෑ නෑ අවුරුදු උත්සවේ ඉවරවෙලා ලස්සන ඇල ඉවුරක, මහා කජුගහක් යට අපේ කට්ටිය රැස්වෙනවා. ඒ වෙලාවට සියලු පානීය වර්ගත් එතැනට රැස්වෙනවා, මිලදීගැනීම් සහ පරිත්‍යාග කියන දෙආකාරයටම. රාත්‍රී 2.00 විතර වෙනතුරු සාජ්ජය පැවැත්වෙනවා. පුටු පෙරලාගෙන ඇලට වැටෙනවා. සමහරු ඇලට බැහැලා පානය කරනවා. ඇලේ ප්ලාස්ටික් පුටුවක් තියාගෙන, ඉනවටක් වතුරේ ඉඳගෙන පානය කරනවා. මේ දවස්වල රෑටත් ගිරීස්මයි නෙව) 

   පරණ සින්දු වලට තමයි වැඩි තැනක් ලැබෙන්නේ. හැබැයි හිටපු ගමන් පදමාලාව වෙනස්වෙලා කියවෙනවා. හොඳ පදත් කියවෙනවා ඉඳලා හිටලා. අහල පහල ගෙවල් දොරවල් නැති නිසා හොඳයි. 

   මෙතන ලියන්න පුළුවන් උදාහරණයක් වශයෙන් කිව්වොත් ඔන්න මේ වගේ. 'සඳ කොමලී තරු පිරිවරලා' කියන, ලතා වල්පොල මහත්මිය ගයන ගීතය, සමහර වෙලාවට, 'සඳ කොමලී වර තරු පිරිලා' කියලා තමයි කියවෙන්නේ. 

   අවුරුදු උත්සවය බලන්න/සහභාගිවෙන්න එන සියලුදෙනාට, නොමිලේ දිවා ආහාරය දෙනවා. මෙවර අපි අලුත් හාල් බත් උයලා, පොලොස් මාළුවක්, අඹ ඇඹුලක්, පරිප්පු, මාළුමිරිස්/තක්කාලි/අඟුළු කරවල/ මිශ්‍රකොට තෙලෙන් බැද, පපඩම්, බැදපු මිරිස්, සහ තම්බපු මඤ්ඤොක්කා ලබාදුන්නා. උයන්නෙත් අපි අපිමයි.

   සංවිධායක මණ්ඩලයේ සමහර වහන්සේලා කරන වෘෂභ රාජ වැඩ නිසා, තරගයක ඇති සජීවී ලක්ෂණ අඩු වෙනවා. කණා මුට්ටිය බිඳීමේ තරගයේ, මුට්ටි ටික එල්ලන්න ඕනේ, ජනතාව පිටියට එන්න කලින්. ඒ වගේම නිල් දියර තිබෙන්නේ කොයි මුට්ටියේද කියා, ඉඟියක් වත් ලැබෙන ආකාරයට, කතා කරන්න හොඳ නෑ. කුමක් හෝ ප්‍රමාද දෝෂයකින් ඔත්තුවක් ගිහින්. හොඳ ඇට්ටර කොල්ලෙක්, තරගය ආරම්භ කර වැඩි වෙලාවක් යන්නට පෙර, ඇදලා ඇරියා නිවැරදි මුට්ටියට පාරක්. හැබැයි අපරාදේ කියන්න බැහැ, ඒ මුට්ටියට දාලා තිබුනේ, තනිකරම නිල් දියර කුප්පි පහක දියර. අර කොලුවා ඇඳගෙන හිටියේ, වැඩිපුර සුදුපාට තියන කළු සුදු මෝස්තරයකින් යුත් අලුත් කමිසයක්. කොල්ලාගේ කමිසය අහක දාන තරමට නිල් දියරෙන් නෑවුණා.

 පැපොල් ගෙඩියේ ඇට ගණන් කිරීමේ තරගයේදී, එක 'මහත්තයෙක්' හෙමින් සීරුවේ බුද්ධි අංශය මෙහෙයවලා හොයාගෙන තියනවා, කොතන තියන පැපොල් ගහකින්ද, ගෙඩිය කඩාගෙන තියෙන්නේ කියලා. මිනිහා බයිසිකලයකින් ගිහින්, ඒ පැපොල් ගහ අයිති ගෙදරට කියලා තියනවා, උදේ ගෙනිච්ච් පැපොල් ගෙඩිය කොහේදෝ දාගෙන හොයාගන්න බැරුව ඉන්නවා, තව ගෙඩියක් දෙන්න කියලා. අනේ ඉතින් ඒ ගෙදරින්, තව පැපොල් ගෙඩියක් කඩලා දීලා. මිනිහා ඒකත් අරන් ගෙදර ගිහින්, කපලා ඇට ගණන් කරලා ආපහු ඇවිත්, ලොක්කා වගේ තරගයට ඉදිරිපත්වෙලා. තරගයට තිබුන පැපොල් ගෙඩියේ ඇට 487 ක් තිබුනා. අර මනුස්සයාගේ පිලිතුර 486 යි. දිනුම එයාට ලැබුණා. 

  සැඟවුණු අමුත්තා තේරීම කරන්නේ, සම්පූර්ණ නොමග යැවීමේ ක්‍රමයකටනේ. ඇත්තටම සැඟවුණු අමුත්තා කියා කෙනෙක් පිටියේ නැතත්, බොරුවට කියනවා, අතන හිටියා මෙතන හිටියා, තොප්පියක් දාගෙන හිටියා, වගේ දේවල්. දවසේ වැඩසටහන අවසාන වෙන්න ලංවෙලා තමයි, කාවහරි යොදවන්නේ, සැඟවුන අමුත්තා ලෙස. මේ සඳහා මම පරිගණකයෙන් මුද්‍රිත කාඩ්පතක් හැදුවා, සැඟවුන අමුත්තාගේ හැඳුනුම්පත ලෙස. මම ඒක දුන්නා, සැඟවුන අමුත්තා තරගය භාර, සමිති සාමාජිකයාට. අනේ උන්නැහේ ඒ හැඳුනුම්පත අමුත්තාට දෙනවා, කොලු රංචුවකට අතටම අහුවෙලා. විනාඩියෙන් අමුත්තා වේදිකාවට ඇදගෙන ආවා, ඒ පොඩි එවුන් ටික.  

   කඹ ඇදීමේ කාන්තා තරගයේ දී, පොඩි ගෝරියක් යන්න ගිහින්, නූලෙන් බේරාගත්තා. දිනපු පැත්තේ කාන්තාවක්, පැරදුන පැත්තේ කාන්තාවකට කියලා, 'දැන් වැල වෙලා හින්දා අදින්න බෑ නේද' කියලා. හප්පොච්චියෙ තව ඩිංගෙන් සාමසාධක හමුදාවක් ගෙන්නන්න වෙනවා, එක්සත් ජාතීන්ගේ සංවිධානයට කියලා. ඒ වගේමයි, වයස අවුරුදු 40 න් ඉහල කාන්තාවන්ගේ සමබරදිවීමේ තරගයේදී, 'ඇයි ඔයා යන්නේ නැද්ද තරගයට' කියලා, එක කාන්තාවක් තව කාන්තාවකගෙන් අහලා. අරයා අවුරුදු 40 ට අඩුයිලු. තව පොඩ්ඩෙන් බෝම්බ වැලක් පිපිරෙන්න තිබුනා, අපි වැඩේ ෂේප් නොකලානම්. 

   තෑගි වශයෙන් ලබාදුන් සමහර එව්වා, සමහර අයට අල්ලලා නැහැ. ever silver වර්ගයේ පිඟන් කීපයක් ලැබුන කෙනෙක් අහනවා, හිතුවද අපි දිනපතා තෝසේ කනවා කියලා, මේ තෝසෙ කඩවල පිඟන් දෙන්නේ කියලා. කාලා වරෙන්කො.  

   ඔන්න ඉතින් අවුරුදු උත්සවේ ඉවරවුනා කියමුකො. අස්පස් කරන වැඩ පටන්ගත්තේ පහුවදා. අර ගෙදර බඩු මේ ගෙදරට ගිහින්, මේ ගෙදර බඩු තව ගෙදරකට ගිහින්. යන්තම් බොහොම අමාරුවෙන්, මාරු ඔක්කොම නිවැරදි කරගත්තා. 

   ඊළඟට පටන්ගත්තා ටෙන්ට් ගලවන්න. අපරාදේ කියන්න බෑ, අවුරුදු උත්සවයේදී මට තෑග්ගක් නොලැබුන නිසා, එක ටෙන්ට් එකක පතන්දර යකඩ පොල්ලක්, මගේ වම් කකුලේ පිටිපතුලට වැටුණා. චූ යන තරම් වේදනාවක් සහ සෙන්ටිමීටරයක තරම් දිග, මිලිමීටර් 5 ක් පමණ ගැඹුරු තුවාලයක්, තෑග්ග වශයෙන් ලැබුනා. අපේ කට්ටිය, වහාම මාව වාහනයක පටවාගෙන ගිහින්, ප්‍රතිකාර ලබාදුන්නා. දැන් ඉතින් මේ තුවාලය සුව වෙනතුරු, අවුරුදු සතුට විඳිනවා.  

2016 අප්‍රේල් මස 18 වැනි දින 1308 පැය

07 April 2016

අපි ආමි ද? අපි ආවෙමු ද?



ශ්‍රී ලාංකික පුරවැසි විවිධ වෘත්තිකයන්, ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාව වෙත බඳවාගෙන, අධිකාරියට පත්කිරීමේ වැඩපිළිවෙලක්, දැනට ක්‍රියාත්මක වෙනවා. මෙහි පළමු අදියර, මෑතකදී නිමවූ බව, වෙබ් අඩවි වාර්තාවකින් දැනගන්නට ලැබුණා. මේ පහත දක්වා තිබෙන්නේ, එම වාර්තාවයි. මේ වාර්තාවේ සඳහන් වන්නේ, මෙවැනි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන තවත් රටක් වන්නේ, සිංගප්පූරුව බවයි. නමුත් මා දන්නා තරමින්, විවිධ වෘත්තිකයන් හමුදා සේවය සඳහා යොදාගන්නා රටවල් අතරින්, ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, ජර්මනිය, ප්‍රංශය, වැනි රටවල්ද ප්‍රමුඛස්ථානයක් ගන්නවා. උදාහරණයක් වශයෙන්, ඇමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදිත පේට්‍රියට් මිසයිල් ක්‍රියාත්මක කරවන කණ්ඩායම් වල  වැඩි දෙනෙක්, ස්වේච්ඡා හමුදා නිලධාරීන්.




මෙවැනි වැඩපිළිවෙලක් මගින් අපේ රටට ගතහැකි ඵල ප්‍රයෝජන මොනවාද? 

   ඇත්තෙන්ම, මෙවැනි වැඩපිළිවෙලක් මගින්, අපට ලබාගතහැකි විපුල ඵල ප්‍රයෝජන අතර මුල්ම තැන ගන්නේ, කාර්යක්‍ෂමතාවය වැඩිදියුණු කරගැනීම, කර්යෝත්පාදක ශක්තිය වැඩිදියුණු කරගැනීම, සහ යම් කාර්යභාරයකින් සාර්ථක ප්‍රතිඵල උත්පාදනය කිරීමෙහි ලා විශාල සේවයක් ඉටුවීමයි. 

එහෙනම් ඉතින් මුළු ලෝකෙම තියන උසස් කළමනාකරණ පාඨමාලා ඔක්කොම නවත්තලා හැම මිනිහවම හමුදාවට බැන්දුවානම් ඉවරයිනේ

නැහැ නැහැ,  ඔබ ඔය හිතන්නේ මහදැනමුත්තා ක්‍රමයට. මුලින් කිව්වා වගේ, මේ ක්‍රමය ලංකාවේ විතරක් සිද්ධ වෙන දෙයක් නෙවෙයිනේ. ලෝකයේ තවත් රටවලත්, මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. මෙයින් අදහස් කරන්නේ නැහැ, කළමනාකරණය පිලිබඳ ඉහලම පුහුණුව මෙයයි කියා. ඕනෙම ඉලක්කයකට යන්න, ක්‍රම එකකට වඩා තිබෙන්න පුළුවන් කියලා ඔබ විශ්වාස කරනවද? ඒ නිසා විවිධ මට්ටමේ කාර්යභාරයන් ඉටුකරන, විවිධ අධ්‍යාපනික සහ සමාජයීය තලවලින් පැමිණි පුද්ගලයන් සමග කටයුතු කිරීමේදී, මෙවැනි හමුදා පුහුණුවක් තුලින් ලබාගන්න යම් යම් පරිපාලන ක්‍රමවේදයන් පිලිබඳ දැනුම, සාමාන්‍ය පරිපාලන ක්‍රමවේදයන්ට වඩා ප්‍රතිඵලදායී සහ කාර්යක්‍ෂමව යොදාගතහැකි අවස්ථා තිබෙනවා. 

එහෙනම් ඔය ඉස්කෝලවල ප්‍රින්සිපල්ලාට දුන්න හමුදා තනතුරු වලින් මේ වෙනකොට පාසල් විනය අන්තිම ඉහලට ගෙනත් තියෙන්න එපායැ. කෝ එහෙම වෙලා නැහැනේ. 

අපොයි එතැනදී වුනේ කටුස්සාගේ කරේ රත්තරන් බැන්දා වගේ වැඩක් නේ. දේශපාලන හෙන්චයියලාට තමයි වැඩිපුර ඒ වගේ තනතුරු හම්බවුනේ. පුංචි පුහුණුවක් දීලා, එකපාර කර්නල් වගේ තනතුරක් දුන්නම, කටුස්සගේ කරේ රත්තරන් මාලයක් දැම්මා වගේ වෙනවා. යුද න්‍යාය පිලිබඳ කිසිම පුහුණුවක් නැහැ. හමුදා දැනුමක් නැහැ. කළමනාකරණය, පරිපාලනය, උපක්‍රමික දැනුම යන කිසිවක් එයාලගේ පුහුණුවේ නැහැ. ඔවුන් ලබාගත් අධිකාරිය Commission යුද හමුදාවේ අධිකාරියට සමාන නැහැ. (ජාතික ශිෂ්‍යභට බලකායේ National Cadet Corps = NCC අධිකාරි ලත් නිලයන්, යුද හමුදාවේ අධිකාරියට සමාන වන්නේ නැහැ. ඊට කලින් තිබුන ශ්‍රී ලංකා ශිෂ්‍යභට බලකාය Sri Lanka Cadet Corps = SLCC සහ ලංකා ශිෂ්‍යභට බලකායේ Ceylon Cadet Corps = CCC අධිකාරිය, යුද හමුදාවේ (ත්‍රිවිධ හමුදාවේ) අධිකාරියට සමානයි) 

ඉතින් මේ පිං කර්නල් කෙනෙක් තමයි, අර කුරුණෑගල ඉස්කෝලෙක, අහිංසක ගෑණු ළමයෙකුට, සියදිවි නසාගන්න සැලැස්සුවේ. මේ පිං හමුදා නිළ අහෝසි කරලා, වර්තමානයේදී චක්‍රලේඛ සහ ගැසට් නිවේදන නිකුත්කර තිබුනත්, සමහරු තවමත් ඒවා පාවිච්චි කරනවා. මම දැක්කා දකුණු පළාතේ, එලගවන්න අමාරු ප්‍රින්සිපල් නෝනා කෙනෙක්, තවම මේ තනතුරු නාමය පාවිච්චි කරනවා. මේ අයගෙන් ඇහුවොත්, යුද්ධයේ මූලධර්ම දහය මොනවාද කියලා, ඇඳගෙන ඉන්න වස්තරේම පහවෙනවා. 

හොඳයි මොනවද ඉතින් මේ ආණ්ඩුවෙන් පුහුණු කරපු මේ හමුදා හෙන්චයියන්ට කරන්න පුළුවන්? 

මේ හෙන්චයියන්ගේ ලොකු වෙනසක් තියනවා, අර හෙන්චයියන්ට වඩා. වැදගත්ම දේ තමයි, මේ අයට ඉහල මට්ටමේ හමුදා පුහුණුවක් ලබාදී තිබෙනවා. ඒ කියන්නේ, හදිසියකදී මේ අයව යුද්දෙට යවන්න පුළුවන්. ඔවුන්ට ලබාදී තිබෙන අධිකාරි බලය, ත්‍රිවිධ හමුදාවේ අධිකාරි බලයට සමානයි. ඇත්තටම ඔවුන්, අර පිං නිලනාම නෙවෙයි දරන්නේ. ඔවුන්,  ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ අධිකාරි ලත් නිලධාරීන්. 

මතක තියාගන්න. ශ්‍රීලංකා ත්‍රිවිධ හමුදාවට ලබාදෙන, ඉහලම වීර පදක්කම වන, 'පරම වීර විභූෂණය' පදක්කමෙන්, අපේ හමුදා ඉතිහාසයේ පළමුවරට පිදුම් ලැබුවේ, තම දිවිපුදා සටන් කල, ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ නිලධාරියකු වන, කපිතන් සාලිය උපුල් අලදෙණියයි. 

යුද්ධ කරන්න නම් ඉතින් නිත්‍ය හමුදාව ඉන්නවනේ. අනික දැන් යුද්ධයක් නැහැනේ. ඉතින් මොකටද මේ වගේ අය පුහුණු කරන්නේ? රාජ්‍ය/පෞද්ගලික ආයතනවල සේවක නිදහස යට කරලා, මිලිටරි පාලනයක් හදන්න නේද මේ අරඅඳින්නේ? 

ඔන්න ඕකට තමයි පැන්තාලියේ කිඹුලන් දකිනවා කියන්නේ. මිනිස්සු දැන් ඉස්සර තරම් මෝඩ නැහැ. ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න කියලා, දුර තියාම මිනිස්සු දන්නවා. ඔබ හිතනවද මේ වගේ අය ආයතන ප්‍රධානීන් හැටියට පත් කරලා, මිලිටරි පාලනයක් හදාගෙන, මේ ආණ්ඩුවට හැමදාම ඉන්න පුළුවන් වෙයි කියලා? එහෙම කරන්න ගියොත්, මම නම් හිතන්නේ, විදේශීය බලවේග වල සහයත් අරගෙන, 1971, 1988, තත්වයට වඩා දරුණු, මහජන නැගිටීමක් ඇතිවෙනවා.

එහෙනම් මොන කෙහෙම්මලක්ද මේ මිනිස්සුන්ගෙන් කරන්න පුළුවන්? 

බලන්න අපේ රටේ, එක අවුරුද්දකට, වැඩ වර්ජන, අකුරට වැඩ කිරීම්, ලෙඩ නිවාඩු දැමීමේ ව්‍යාපාර, වතු සේවක, විදුලිය, ජලය, සෞඛ්‍ය සේවා, ප්‍රවාහන, දුරකථන සේවා, වැනි ආයතන වල වර්ජන කොච්චර තියනවද? එයින් කොච්චර මහජන පීඩාවක් ඇතිවෙනවද. මේ වගේ අවස්ථාවල යුද හමුදාව යෙදෙව්වට, හමුදාවට පුළුවන් වෙන්නේ, ඒ ඒ ආයතනවලට යම් භෞතිකමය හානියක් වීම වළක්වාගන්න විතරයි. ඒ ආයතනයේ ක්‍රියාකාරිත්වය ප්‍රතිෂ්ඨාපනය කරන දැනුම, හමුදාවට නැහැ. මේ වගේ වෘත්තිකයන්, හමුදා නිලධාරීන් ලෙස පුහුණු කර ගත්තම, ඔවුන්ට අදාළ ක්‍ෂේත්‍රය වෙත ඔවුන්ව යොමු කරවන්න පුළුවන්. එමගින් එකී සේවාවන් බිඳ නොවැටී පවත්වාගන්නටත්, අහිංසක මහජනතාවට සිදුවන පීඩාව අවම කරගන්නටත් පුළුවන්. (ඔවුන්ට පුළුවන් අනෙකුත් හමුදා නිලධාරීන්ට හමුදා සෙබළුන්ට උගන්වන්න, කලයුතු දේ) 

ඒ කියන්නේ වැඩවර්ජන කඩාකප්පල් කරනවා? 

නෑ නෑ නෑ, වැඩවර්ජන කරන අය ඒවා කරගෙන යන්න. මහජනතාව පීඩාවට පත්වීම අවම කිරීම පමණයි, හමුදාවෙන් කෙරෙන්නේ. ඒක වැරැද්දක් ද? 

මේ වැඩපිළිවෙලේ මම අකමැති එකම එක දෙයයි තියෙන්නේ. ඒ, මේ ව්‍යාපාරයට දී තිබෙන නම. 'අපි ආමි' හා....පෝ.....අජපල් නමක්. මේ නම දැක්කම, මිනිස්සු හිතන්නෙම, මෙතන තියෙන්නේ මිලිටරිකරණය කියලා. අපි ආමි කියලා, නිකම් ආමි පාට් දැමීම සුදුසු මදි. 'අපෙන් රටට' වගේ නමක් දැම්මනම් හොඳයි. 

2016 අප්‍රේල් මස 06 වැනි දින 2322 පැය
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }