හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

31 December 2011

අනිවාර්යයෙන් වැසිකිලිය හරහා යාම

අපේ එෆ් එම් නාලිකාවල සහ රූපවාහිනී නාලිකාවල සිටින සමහර නිවේදක කුක්කන්ගේ සහ කික්කියන්ගේ සෝබන කෑලි, බලා ඉන්ඩ හිරිකිතය. මොවුන් හිතන්නේ, හැකි තරම් වේගයෙන්, වචන වැඩි ගණනක්, හුස්ම නාල්ලා කියාගෙන යාම නිවේදන කලාව කියලා ය. මෑතක සිට මොවුන්, කවුරුන් හෝ පාන්කඩ නිවේදකයකු විසින්, වචන හිගය නිසා කෝකටත් තෛලය වශයෙන් යොදාගත් වචනයක්, අද මොවුන් දන්නා එකම ප්‍රධාන වචනයක් බවට පත් කරගෙන තිබේ. ඒ වචනය නම් ‘අනිවාර්යයෙන්’ යන්නය. (අනිවාර්ය යන වචනය නිවැරදිව ලියන්නට මා සිංහල ලියන මේ මෘදුකාංයේ ඉඩ සලසා නැත. නිවැරදිව ලියන්නේනම් අනිවා යන අකුරු වලට පසු ‘ය’ යන්න, යංශය සහ ඒ මත රේඵය ලිවිය යුතුය.) සමහරවිට ඉංග්‍රීසි භාෂාවේ yes indeed, ofcourse, වැනි යෙදුමක් සඳහා මොවුන් මෙය භාවිත කරනවාද යන සැකය උපදී. ඉතින් මේ නිවේදක කුක්කෝ කික්කියෝ කෙසේද මෙය වහරන්නේ. මෙන්න උදාහරණ සංවාදයක්;
අසන්නා/නරඹන්නා :- අක්කේ අද වහියිද?
නිවේදක (කුක්කා/කික්කිය) :- අනිවාර්යයෙන් නංගී
අසන්නා/නරඹන්නා :- අක්කේ අද ඔයා හරි ලස්සනට ඇඳලා ඉන්නවා
නිවේදක (කික්කිය) :- අනිවාර්යයෙන් නංගී
අසන්නා/නරඹන්නා :- අයියේ මගේ සින්දුව දෙනවද
නිවේදක(කුක්කා) :- අනිවාර්යයෙන් මල්ලී හැබැයි ලබන සතියේ (ලබන සතිය වනවිට මොනවා වෙයිද?)
  මේ විදිහට ප්‍රශ්න අසාගෙන යනවිට අක්කේ අද ඔය වැසිකිලි ගියාද කියා ඇසුවත් පිළිතුර වන්නේ අනිවාර්යයෙන් නංගී කියාය. ඒ කියන්නේ බැරි වෙලාවත් යන්තම් හෝ මළ බද්ධය සෑදී තිබුනොත් යකඩ කූරක් යොදවා හෝ අනිවාර්යයෙන් වැඩේ කරන බවය. මෙවැනිම ආකාරයට යොදන තවත් වචනයක් වන්නේ ‘හරහා’ යන්නය. හරහා යන වචනයද ඉංග්‍රීසි යෙදුමක් වන a cross යන්නට ආදේශකය වශයෙන් යොදා ගන්නේද යන සැකය කීප විටක් මා තුල ඇතිවූයේ ‘මේ කාර්යය ඉටු කරගත හැක්කේ ඇමතිතුමා හරහා ය’. ‘පළාත් සභාව හරහා යාමෙන් මේ කාර්යය ඉටු කරගැනීමට පහසු වේ’. වැනි අමන යෙදුම් නිසාය. ඇමතිතුමා හරහා ගියොත් ඒ අසරණයා (අසරණයා?) මියයන්නට ඉඩ ඇති බව නොපෙනේද? පළාත් සභාව හරහා එය කුඩුපට්ටම් කරගෙන යාහැක්කේ බුල්ඩොසරයකට පමණි. ඇමතිතුමා මගින්, පළාත් සභාව ඔස්සේ, වැනි යෙදුම් මේ නිවේදක අම්බරුවෝ කිසි දින නොයොදති. සාමාන්‍යයෙන් අප අසා ඇත්තේ කානු දිගේ වතුර ගලන බවය. වරක් සීගිරිය පිලිබඳ විචාරයක් කල රූපවාහිනී අම්බරුවෙක් එහි කානු හරහා වතුර ගලන බව කීවේය.
  මේ අමනොඥ භාෂා විලාශයට හේතුව කුමක්ද? විශ්ව විද්යාලයකින් ලබාගත් ජනමාධ්‍ය උපාධිය හෝ ඩිප්ලෝමාව, සිය ජීවිත කාලය පුරා, (හක්ක බොක්කේ ඇනෙනතුරු) ඔහේ මොනවා හෝ කියවන්නට ලැබුණු ලැයිසොමක්, හෝ උරුමක්කාර පොල්මඃකාර, අද්මිනිස්ත්රාත් බල කඩදාසිකාර කමක් කියා සිතීමේ අමන කම ය. මොවුහු කිසි දිනක, සිය විෂයය පථයට අදාළ ශාස්ත්‍රීය ග්‍රන්ථ පරිශීලනය කරන්නන් හෝ ප්‍රවීනයන්ගේ අදහස් වලට සවන්දෙන්නන් සහ ජාත්‍යන්තර මට්ටමේ නිවේදක භූමිකාව පිලිබඳ තොරතුරු ගවේෂණයේ යෙදෙන්නෝ නොවෙති.
තවත් එකක් :- බ්ලොග් ලිවීම යනු තමන්ගේ කුනුවූ මනස තුල තිබෙන ඕනෑම කුනුහබ්බයක් එලසම ඇදබෑම යන්නය යන කුණු මානසිකත්වයේ සිටින අබ්බ ගොබ්බයෝ සිංහල වචන තම අභිමතය පරිදි වෙනස් කළහැකි යයි සිතා සිටිති. ඒ නිසා සමහර ගොබ්බයෝ අනිවාර්යයෙන් යන වචනය ‘අනිවා’ යනුවෙන් කොට කරගෙන යොදති. මේ අමන රැළ සිතන්නේ හාවා, බල්ලා, ලේනා, නරියා, අලියා, යන සියලු සතුන්ගේ වලිගය එකම මෝස්තරයකට කපා සැකසීම නිවැරදියි කියා සිතන පිස්සකු මෙනි. මට බය මේ අයියලා ‘හුදකලා’ යන වචනයද අකුරු අඩුකර යොදයි කියාය. අපේ අයියලාගේ වැඩ ඔහොමය - මෙහෙමය.

29 December 2011

විවිධසේවා ‘තමෝපකාර’ බහුකාර්ය කළා කරුවෝ

අද කාලයේ සිටින, කලාකරුවන් යයි කියාගන්නා සමහර උදවියගේ, වීර වික්‍රමාන්විත ක්‍රියා දෙවැනි වන්නේ, අපි පාසල් යන කාලයේ කියවූ, සුසිල් ප්‍රේමරත්නගේ හෝ බන්ධුල හරිශ්චන්ද්රගේ, මොටාගෙදර වනිගරත්නගේ, ජී එස් ප්‍රනාන්දුගේ නැතහොත් දයා රාජපක්ෂගේ ආකර්ශනීය කතාවක තිබුණු චරිත වලට පමණි. මේ නිර්මාපකයන්ගේ චිත්‍ර කතා සැබවින්ම අප මනසෙහි ආනන්දය තුලින් ප්‍රඥාව බිහිකරන්නට සමත් වූ අතර , එයින් සමහරක කදිමට මවා තුබුණු තිබුණු අද්භූත රසය අදද විඳ ගැනීමට බාධාවක් නැත. (නොකියවූවෝ රට පෙරලා හෝ සොයාගෙන ‘බිලි පූජාව’ ‘රන් දූපත’ ‘දේවස්මිතා’ ‘හුලවාලි’ වැනි චිත්‍ර කතා කියවත්වා) අද සිටින සමහර කලාකරුවන් ශ්‍රී ලංකා යුද හමුදා කොමාන්ඩෝ රෙජිමේන්තුවේ සාමාජිකයන්දැයි සීතෙන අවස්ථාද ඇත. කොමාන්ඩෝ රෙජිමේන්තුවේ ආදර්ශ පාඨය වන්නේ ‘නොහැක්කක් නොමැත’ යන්නය. අද අපි විද්‍යුත් මාධ්‍ය ඔස්සේ අහන දකින කලාකරුවන්ට නොහැක්කේ කුමක්ද? රඟපෑම, ගායනය, මෝස්‌තර නිරූපණය, නිවේදන කටයුතු, ඉවුම් පිහුම්, මැහුම් ගෙතුම්, තරග විනිශ්චය, දේශපාලනය, කලා විචාරය, අධ්‍යක්ෂණය, රූපලාවන්‍යාගාර කටයුතු, විවාහෝත්සව සංවිධානය, මේ ලැයිස්තුව තව කොපමණ දුර යාදැයි මටම සිතාගත නොහැකිය. මොවුන්ගේ මහා දස්කම් විස්කම් අහන දකින විට, අපේ ගාමිණී ෆොන්සේකලා ජෝ අබේවික්රමලා, පුන්‍යා හීන්දෙනියලා, සන්ධ්‍යා කුමාරිලා, අමරදේව, නන්දා මාලනී, වික්ටර්, සනත්, මිල්ටන් (පෙරේරා/මල්ලවාරච්චි) සුනිල් (ශාන්ත/එදිරිසිංහ) ලෙස්ටර්, ධර්මසේන පතිරාජ, එච් ඩී ප්‍රේමරත්න, ප්‍රසන්න විතානගේ, ඈ මෙකී නොකී පරම්පරාව මොන සොකඩයන්දැයි සීතේ.
  එකල ගුවන්විදුලියේ, එක වෙළඳ දැන්වීමකටවත් දායකත්වය නොදී, හොඳට හම්බ කරන්ඩ තිබුන අවස්ථා, තම ආත්ම ගෞරවය වෙනුවෙන් මගහැරී කලාකරුවෝ මොන මෝඩයෝද? රූපවාහිනිය පැමිණි පසු එය බදුගෙන, නිෂ්පාදකයන්ගේ පශ්චාද් භාගය අල්ලා වැඳ වැටෙමින්, තම පම්පෝරිය ප්‍රචාරය නොකරගත් ඉහත නම් සඳහන් පරම්පරාවේ කලාකරුවෝ මොන මුග්ධයෝ ද? දැන් සිටින සමහර ඊනියා කලාකරුවන් පිලිබඳව මා විසින් කල නිරීක්ෂණ සමහරක් මෙසේය.
  සමහර ගායක/ගායිකාවෝ:- මොවුන්ට කල නොහැකි එකම දෙය ගීත ගායනයයි. සින්දු කියන්නට පුළුවන. ඒ සඳහා තම කට හඬේ ඇති දුර්වලකම් වසාගන්නට, නවීන පරිගණක තාක්ෂණයෙන් උපක්‍රම යෙදිය යුතුය. තනිව අමිශ්‍ර සංගීතය සමග ගායනා කළහොත් සායම් බාල්දියට වැටුන නරියා හා සම වන්නේය. මොවුන් තම නොහැකියාව වසා ගන්නට යොදන මේ බාල බොළඳ තාක්ෂණික උපක්‍රම නිසා, ශබ්දාගාරයකදී, පරිගණක තාක්ෂණයෙන් කල ප්‍රයෝග, වේදිකාවක් මතදී කල නොහැකි බැවින්, හෙළුව එළිවේ. ඊළඟට මොවුන් යොදාගන්නා බාල බොළඳ උපක්‍රමය වන්නේ ‘රූප සින්දු’ මගින් බොළඳ ජනප්‍රියත්වය වඩවා ගැනීමයි. ගීතයේ අදහසට අදාළ නොවන, විකාර රූපී, කාමුක, අශ්ලීල අර්ථ ගැන්වෙන රූප සමුදායකින්, ගීතයක වටිනාකම නොදත්, (භාෂාව, සාහිත්‍යය, සංගීතය, පිලිබඳ මූලික හරයවත් නොදත්) අද පරපුරේ තරුණ සිත් නොමග යවා, මොවුන් ලබන ජනප්‍රියත්වය, ප්‍රසිද්ධියේ ගණිකා වෘත්තියේ යෙදීම හා සාකල්‍යයෙන්ම සමාන වන්නේය.
  සමහර නළු නිලියෝ:- මොවුන්ටද කළ නොහැකි එකම දෙය රඟපෑමයි. සමහරු කියන්නේ මම අහවල් මහා අචාරියාගේ ගුබ්බෑයමේ, කුප්පායමේ, අහවල් ‘කැම්පොස්’ එකේ අහවල් ගොම්පස් එකේ නාට්ටිය හා රංගකලාව කෙලෙව්වා කියලාය. ඒක කොරාම ඇතිය. සහජ දක්ෂතා කුසලතා සහ සතතාභ්‍යාසය තුලින් ඔප්නංවා ගතයුතු සතර අභිනයාදී රංගන වින්‍යාසය බල්ලාට ගියාට කමක් නැත. රඟපෑමට ඇති එකම සුදුසුකම පාඨමාලාවේ සැටිපිකේට් එකය. මොවුන් හිතන්නේ රඟපෑම යනු උපාධි හෝ ඩිප්ලෝමා සහතිකයක් මගින් ලබාගෙන කළහැකි රැකියාවක් කියාය. අනෙක් කොටස වන්නේ රූපය පමණක් රඟපෑමට ඇති එකම සුදුසුකම යයි සිතා අවුරුදු කුමාරිගේ පටන් ඕනෑම රූප සුන්දරී තරඟයකින් ජය ලබන සීනි බෝලියන් හා කරාටේ බොඩි බිල්ඩින් ආදියෙන් රඟපෑමට සුදුසුකම් ලබන සීනිබෝලයන් ය. ඉතින් මොවුන් නළු නිළියෝද? මොවුන් ලවා, ගෙවල්වල සිටින බාල බොලඳියන් ඉදිරියේ, රූප පෙට්ටිය මගින් ගංජා අබින් ලෝක මවා පෙන්වන, ටෙලි නාට්ටි කරුවෝ එක්තරා ආකාරයක පිම්පියන් නොවන්නේද? ටෙලි නාට්‍ය දෙක තුනක රඟපෑ එකා, ඊළඟට මතුවන්නේ සිනමා තිරයෙනි. රූපවාහිනිය සහ සිනමාව අතර ඇති වෙනස්කම් පවා හරි හැටි නොදන්නා, හුදු ජනප්‍රියත්වය පමණක් හඹායමින්, ඒ සමගම මෝඩයන් රවටා මුදල් සොයන ‘ටෙලිනාට්ටි’ කාරයෝ, සිනමාවටද පැන අර සීනිබෝල කෑලි යොදවා කරන, දෙකයි පනහේ වැඩ බලන්ඩ, අපේ මිනිස්සු යන්නේ, පවුල් පිටින් වලිගය කරේ තියාගෙනය. ටික දවසක් රඟපෑමේ යෙදෙන මේ සීනිබෝල, ඊළඟට යන්නේ රූපවාහිනී නිවේදන ක්ෂේත්රයටයි. ඒ සඳහා මාධ්‍යයට සුදුසු කටහඬක් අවශ්‍ය නැත. ඒ ක්ෂේත්‍රය පිලිබඳ අධ්‍යයනයක් හෝ අත්දැකීමක් අවශ්‍ය නැත. හැකි තරම් බොළඳ සතපහේ යෙදුම් දැන සිටීම විශේෂ සුදුසුකමකි. ටිකදිනක් රූපලාවන්‍ය වැඩසටහන් මෙහෙයවන මොවුන් නවතින්නේ තමන්ගේම සැලොන් එකක් දමාගෙනය. බලනකොට රූපලාවන්‍යය පිලිබඳ වන් ඉයර් (වන්නියේ ?) පාඨමාලාවකුත් ඔය අල්ල පනල්ලේ කොරලාය. දැන් ඉති හොඳ මහත්තයෙකුත් ලැබෙයි. බිස්නස් සරුය. ගොනාට අඳින්ඩ එන පිරිස වැඩිවෙයි. දැන් රූපවාහිනියට පැමිණ රඟපෑමේ සිට රූපලාවන්‍යය දක්වා උපදෙස් දීමද ගැටපිස්මේන්තු මැහුම් පාඨමාලාවේ සිට සියලු ‘කුණු ඉස්ටාර්’ තරග විනිශ්චයද කරන්නට කාලය හරිය. මොකද, පිටියෙන් ඉවතට විසි කරන පැලීගිය පන්දුවක් මෙන් විසිවෙන්නට පෙර, තවත් කීයක් හෝ හම්බ කරගතයුතු නිසාය. හේතුව කුමද? මාධ්‍ය ප්‍රචාරය නැතිවූදාට තමන් නිකම් පොල්ලෙල්ලක් බව තමන්ම හොඳින් දන්නා නිසාය. තමන් ක්ෂේත්‍රයේ රැඳවී සිටියේද මාධ්‍යයෙන් කල පිම්බීම නිසා මිස තම දක්ෂතා හෝ කුසලතා මත නොවන බව දන්නා නිසාය. මොවුන් විවිධසේවා තම+උපකාර = තමෝපකාර වන්නේ එබැවිනි.

28 December 2011

ඉස්කෝලේ යන කාලේ

සුනාමි ව්‍යසනයෙන් අපට අහිමිවූ, මගේ බාල සොහොයුරාගේ සහ ඔහුගේ එකම පුතාගේ අභාවයෙන්, සත් වසක් සැමරීමේ පින්කමට, පසුගිය 26 වැනිදා සහභාගී වූයෙමි. ඒ දුක කිසි ලෙසකින්වත් දුරුවන්නක් නොවේ. එදා දානයද රැගෙන විහාරස්ථානයට ගොස් සිටින අතරතුර දැනට අපේ පරම්පරාව කොතරම් වඩා වර්ධනය වී ඇත්දැයි සිතුනේ රැස්ව සිටි තුන්වැනි පරපුරේ දරුවන් දැකීමෙනි. මගේ විමතියටත් බලවත් සතුටටත් හේතු වූයේ මා එදා ඉගෙනගත් පාසලට, මගේ එක් වැඩිමහල් සහෝදරියකගේ පුතුන් දෙදෙනා යන බව දැන සිටියත් තවත් වැඩිමහල් සහෝදරියකගේ දුවගේ පුතාද යන බව ඇසීමෙනි. ඉතින් මම ඒ මගේ බෑනා වරුන්ට සහ මුණුබුරාට පාසලේ අතීතයෙන් බිඳක් දෙසුවෙමි. ඒ මා හයේ පන්තියේ සිට සාමාන්‍ය පෙළ සමත්වනතුරු ගිය පාසලයි. ඒ 1965 සිට 1970 අග දක්වාය. නගරයේ ප්‍රධාන බෞද්ධ පිරිමි පාසල මගේ පාසලයි. මගේ අයියාද ගියේ මෙම පාසලටමයි. මගේ අක්කලා තිදෙනා ගියේ ප්‍රධාන බෞද්ධ ගැහැණු පාසලටයි. මේ හැර එවැනිම කතෝලික පිරිමි, කතෝලික ගැහැණු පාසල් දෙකක්ද වෙයි. අපේ පාසල පිහිටියේ මහා කඳු මුදුනකය. කන්ද කපා හැදූ මහපාර අක්කලාගේ පාසලට මෙන්ම එය පිහිටි ප්‍රදේශයේ ගම්වලට ඇතුළුවීමේ දොරටුවයි. කන්ද කැපූ නිසා වෙන්වූ අපේ පාසල් ඉඩමේ එක්පසෙක පාසලේ ප්‍රධාන ගොඩනැගිලිද ඉවුරෙන් එගොඩ ප්‍රේක්ෂකාගාරය සහ බාලක නිවාසයද තිබුන අතර, ඉවුරු දෙක යාකර තිබුනේ පැද්දෙන පාලමකිනි. එහි සිට පහල මහා පාරට අඩි 18 ක් 20 ක් තරම් උසක් තිබුණි. (අදටත් එසේමය. වෙනස හොඳ ශක්තිමත් කොන්ක්‍රීට් පාලමක් යෙදීමය) මේ පාලම උඩ රැඳී සිටීම සපුරා තහනම්ය. නමුත් උදෙන්ම පාසලට එන අපේ එක් විනෝදාංශයක් වූයේ පාලම උඩටවී පහල පාරෙන් යන බාලිකාවන්ට උසුළු විසුළු කිරීමය. ලොකු අයියලා රසායනාගාරයට ගොස් අපි නොදන්නා රතු පැහැති දියරයක් සාදා ගෙනවිත් පාලම උඩ සිට පහලින් යන බාලිකාවන්ගේ ගවුමට හලයි. තම ගවුමේ රතු පැල්ලම දකින බාලිකාවන් මහා හඬින් හඬමින් යන අතර පාලමේ සිට මීටර් 400 ක් පමණ දුරින් පිහිටි ඔවුන්ගේ පාසල අසලට යන්නට පෙර එම පැල්ලම රසායනික ක්‍රියාවලියකින්ම ඉබේම මැකී යයි. පරපීඩන කාමය ඔලුවට වැටුන අපිද රතු තීන්ත නැති නිසා වැලි ටිකක්වත් ගෙන පහලින් යන ළමයින්ගේ (ඒ කාලේ අපිට අර එයාලව ලඟින් ආශ්‍රය කරන්ඩ නොහිතෙන වයස) ඔළුවට දමමු. එක් දිනක් මා මේ ක්‍රියාන්විතයට සූදානම්ව සිටිනවිට, මට චූ යන ටොක්කක් වැදුනි. ආපසු හැරී බලන විට ඒ සංග්‍රහය පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා වූ මගේ අයියාගෙනි. ඔට්ටු අල්ලා පාලම පල්ලේ පැනීම එකල මහා වීරක්‍රියාවකි. එය මමද දෙවරක් කර ඇත්තෙමි. හැබැයි පැන්නේ පහල තිබුණු වැලි ගොඩකටය. එකවරක් එම වීරක්‍රියාව සඳහා උපහාර වශයෙන් නියෝජ්‍ය විදුහල්පති තුමාගෙන් වේවැල් පාර හතරක සංග්‍රහයක් ලැබුවෙමි. තවත් කොටසක් ඉදිරියට……….

27 December 2011

නිල ඇඳුමෙන් සිටි කාලේ


මම මුලින්ම යුද පුහුණුවට ගියේ 1981 වසරේදී. අපේ කණ්ඩායම 150 ක් විතර හිටියා. දියතලාවේ කඳවුරේ තමයි පුහුණු වුනේ. සමහර අයට ලැබෙන නිල ඇඳුම් ඇඟට හිර වැඩියි. සමහර අයට ලැබෙන ඒවා මහා බාච්චු ඇඳුම්. දවසක් ඒ වගේ විසාල ඇඳුමකුත් ඇඳගෙන තමයි මගේ කණ්ඩායමේ සාමාජිකයෙක් සරඹ පිටියට ආවේ. එක පුහුණු උපදේශකයේ එයා දිහා බලල ඉතා වැදගත් විදිහට (හිනා නොවී) කිව්වා, “හා ‘සරලාබායි’ ත් ඇවිල්ල ඉන්නේ ට්‍රේනින් වලට” කියලා.
එක දවසක් අපි දවස පුරා කඳු වලයි, කැලෙයි, බඩගාලා, සටන් පුහුණුව ලබලා, සරාගොයියලා වගේ තුවක්කුත් කරේ තියාගෙන ආපහු කඳවුරට එනවා. දියතලාවේ වන වදුලු වල තියන රසවත් ඇඹුල් පෙර කඩාගෙන කමින් තමයි අපි ආවේ. කඳවුරට ආසන්න වෙනකොට අපි දැක්කා, සුදුම සුදු සුන්දර තරුණ කාන්තාවක්, රතුපාට හිරට හිරේ ගවුමක් ඇඳගෙන, නිතඹ ලෙලවමින් මිහිකත සනහමින්, හංස ලීලාවෙන් ගමන් කරනවා. මට නොදැනීම මගේ අතේ තිබුන ඇඹුල් පෙර ගෙඩියක් නියපිටින් පැන, උඩින්ම ගොස්, ඇගේ සැලෙන ලෙලෙන නිතඹේ වැදුනා. අපේ කණ්ඩායමේ අය හඬනගා සිනාසුනත් අයගේ මුහුණේ ඉරියවු වල කිසිදු වෙනසක් වූයේ නැහැ. කඳවුරට පැමිණි අපි ජලස්නානයෙන් පසු රාත්‍රී අහාරයට පෙර යමක්ද කර, අහාරයෙන් පසු නිවස්නයට ආවා. රාත්‍රී 10 ට පමණ, පුහුණු උපදේශකයන් පැමිණ, අපේ නිවස්නයේ දොරවල් වලට තඩිබාමින්, මහා හඬින් කෑගැහුවා සියලු දෙනා වහාම සම්පූර්ණ යුද ඇඳුමෙන් (යකඩ හිස්වැස්ම, පිටේ එල්ලන ලොකු මල්ල ආදී බර ඇඳුමක්) (F.S.M.O. = Field Service Marching Order) සැරසී සරඹ පිටියේ පෙළ සාදන ලෙස. ඉන්පසු පාඨමාලාව බාර ප්‍රධාන උපදේශක තුමා පැමිණ අප ඇමතුවා, “පුංචි මහත්වරු අද වීරක්රියාවක් කරලා තියනවා, අපේ රෙජිමේන්තු විධායක අධිකාරිගේ (මුළු රෙජිමේන්තුවේම විනය හා පරිපාලනය භාර නිලධාරියා Regimental Adjutant) බිරිඳ, පාරේ යනවිට, නොහොබිනා විහිළුවක් කර තිබෙනවා, ඔච්චර අමාරුවක් තියනවනම් අයිනකට ගිහින් . . . . . . . . . . . . .(අම්මෝ ඒකනම් අහන්ඩ එපා) හොඳයි, මම විනාඩියක් දෙනවා වැරැද්ද කල කෙනාට ඉදිරියට එන්ඩ. එවිට ඔහුට පුළුවන් ඒ මැඩම් හම්බවෙලා සමාව ගන්ඩ” නමුත් අපි අත්දැකීමෙන් දන්නවා සමාව ගැනිල්ල කොහොම වෙතත් ඔක්කොම බඩු පැක් කරගෙන පහුවදා උදේ ගෙදර යන්ඩ පුළුවන් කියලා. අපි සද්ද නැතුව හිටියා. ඊළඟට ප්‍රධාන උපදේශක තුමා පුහුණු උපදේශක වරුන්ට නියෝග කරා අපිට දඬුවම් සරඹ (Pack Drill) කරවන ලෙස. දියතලාවේ සීතල රත් වුනේ එදා. අපිට ඒ කාලයේ පුහුණුව සඳහා ලැබුනේ දැන් තියන T 56 අවියට වඩා හුඟක් බර .303 රයිෆලය . අපිව අරන් ගියා පාරට. පිටේ මලුවල බර වැඩිවෙන්ඩ ගල් දැම්මා, රයිෆලය අත්දෙකෙන් උඩට උස්සගෙන දුවන්ඩ කිව්වා, පහුවෙන අයව පිටුපසින් එන ට්‍රක් එකකින් හප්පනවා යට නොවෙන ගානට. ඊළඟට විවිධ පිනුම් ගැස්සුවා, සෑහෙන දෙනෙක් වමනේ දැම්මා, ඊටත් පස්සේ ඇහුවා දැන්වත් ඇත්ත කියන්ඩ කියලා. අපේ වීර කොල්ලෝ නෙවෙයි කට හෙල්ලුවේ. අන්න නියම සමගිය. පාන්දර වෙනකල් වද දීලා අපිව අතෑරියා. අපරාදේ කියන්ඩ බෑ, අපේ කට්ටිය, ආපහු නිවස්නයට එනගමන්, මට හොඳ උපහාර උළෙලක් පැවැත්තුවා හොඳම වචන වලින්.

අනේ අපේ නම් තැබිල්ල

ඕනෑම කෙනෙකුට තමන් කැමති ඕනෑම නමක් භාවිත කරන්නට ඇති අයිතිය, අභියෝග කල නොහැකි පරම අයිතිවාසිකමකි. සුද්දාගේ කාලයේදී, ග්‍රෙගරි යන නම ගිරිගොරිස් ලෙසත් හර්මන් යන නම හරමානිස් ලෙසත් මේරි මැගී සොපී ආදියත් භාවිත කල අපි, අදනම් කීයටවත් විලියම් ෆිලිප්ස් කැතරින් වැනි නම් අපේ ළමයින්ට නොයොදමු. 

සිංහල ජනතාවට පුද්ගල නාම භාවිතය පිළිබඳව ලෝකයේ සමහර ජාතීන්ට මෙන් තහංචි නොමැති බැවින් හිතේ හැටියට නම් තබන බව රහසක් නොවේ. 19 වන සියවසේ අග භාගයේ සිට, සිංහල දරුවන්ට ඉතා අර්ථාන්විත සිංහල හෝ සංස්කෘත නම් යෙදීම ඇරඹුණි. මෑත කාලයේදී මා කල නිරීක්ෂණ වලදී අනාවරණය කරගත් කරුණු ඉතා කනගාටුදායක හා අවාසනාවන්ත බව නොකියාම බැරිය. 

රුක්ෂාන්,රුක්ෂානි, දිල්ශාන්, දිල්ශානි, ෂෙහාන්, ෂෙහානි, ෂෙරොන්, රොෂාන්, වැනි නම් යෙදූ සිංහල දරුවන් කොපමණක් අද අපේ රටේ සිටිත්ද? මේ නම් සියල්ල මුස්ලිම් නම් බව මේ දරුවන්ගේ දෙමාපියෝ දනිත්ද? නොදන්නේමය. දිල්කි, ශෂී, රේවතී, වැනි නම් හින්දු නම් බව දන්නෙහිද? නොදන්නේමය. එසේනම් මෙවැනි විජාතික නම් යෙදීමට හේතුව කුමක්ද? මා විසින් සොයාගත් හේතු කීපයක් මෙසේය. 

1. මෙම නම් උච්ඡාරණයේදී නැගෙන හඬට ඇති ආසාව නිසා. 

2. දැන් පෙන්වන සීනිබෝල හින්දි චිත්‍රපටි වල එන චරිත සහ ආච්චි අම්මලාත් ‘දහඅටයි මාස අටයි’ පමණට තරුණ කරවන, තුට්ටු දෙකේ කුණු ඉන්දියන් ටෙලි නාට්‍ය චරිතද මෙවැනි නම් වලින් යුක්ත වීම. 

මේ ටෙලි නාට්‍ය නිසා තමන්ගේ දරුවන්ගේ දරුවන්ටත් මුස්ලිම් හෝ හින්දු නම් තැබීමට උනන්දුවන, ඒ ටෙලිනාට්‍ය වල සිටින බහුබූත චරිත මෙන් අඳින පළඳින (කතා බහත් කරනවා හින්දි පුළුවන් වුනානම්) මැදි විය ඉක්මවූ සිංහල කාන්තාවන් මම දැක ඇත්තෙමි. කිසිදු මුස්ලිම් ජාතික පවුලක හෝ හින්දු පවුලක සඳුනී, සමන්මලී, විකුම්, අභීත, වැනි නම් යෙදූ දරුවෝ සිටිත්ද? අතීතයේදීත්, වර්තමානයේදීත්, අනාගතයේදීත් නැත්තේමය. ඉතින් දැන්වත් මේ පරගැති භාවයෙන් මිදෙන්නට අදහසක් නැද්ද? …..නැද්ද?…….නැද්ද?

24 December 2011

දෙබරයකට ගල් ගසමි 2

ලෝකයේ සෑම ජාතියක්ම පාහේ තම ජාතික අනන්‍යතාව රැක ගැනීම සඳහා ඉතා සැලකිල්ලෙන් කටයුතු කරන්නේ, එම අනන්‍යතාව අනාගත පරපුරට ලබා දියයුතු දායාදයක් වන බැවිනි. තම ජාතිය සතු විවිධ සංස්කෘතික ගුණාංග රැක ගැනීම, පවත්වා ගැනීම, මූලික හරය නොනැසෙන පරිදි වඩා වර්ධනය කිරීම, වැඩිහිටියන් සතු පරම යුතුකමක් වෙයි. වර්තමානය වනවිට සිංහල සංස්කෘතිය විනාශ කිරීමට බලපාන ප්‍රධාන සාධක දෙකක් ලෙස මා දකින්නේ අවුල් ජාලයක් බවට පත් වූ අධ්‍යාපනය සහ පාලනයකින් තොරව වනචාරී ලෙස හැසිරෙන ජනමාධ්‍යයි. සෑම ආගමකටම අදාළ දහම් පාසල් පවත්වාගෙන ගියද එමගින් චරිත සංවර්ධනයක් කර ගන්නේ 20% පමණ පිරිසක් බව පෙනෙයි. විෂයය ඉගැන්වීම මිස සදාචාරය ඉගැන්වීමට වර්තමාන අධ්‍යාපන ක්‍රමය තුල ගුරුවරයාට ඉඩක් නැති තරම්ය. ඇතත් එයට යොමු වෙන ගුරුවරු බොහොමයක්, අතරමග තම වගකීම් ඉටුකිරීම නවතා දමන්නේ හෝ මන්දෝත්සාහී වන්නේ, ප්‍රමාණවත් ආධාර අනුබලය හෝ සහාය අදාළ බොහොමයක් තැන්වලින් නොලැබෙන බැවිනි. හුදෙක් ජනමාධ්‍ය වලින් කෙරෙන විවේචන හෝ උපහාසාත්මක කරුණු දැක්වීම්, අදාළ නායක කාරකාදීන්ගේ ඇස නොඅරවන්නේ, ඔවුන් සදාචාර ජනමාධ්‍ය භාවිතට වඩා දුරාචාර ජඩ මාධ්‍ය භාවිතයට හුරුවී ඇති බැවිනි. අන්තර්ජාලයේ ඇති වෙබ් අඩවි සමහරක් සහ බ්ලොග් අඩවි අති බහුතරය, කුනුවූ සමාජ රටාව තුල, ඔද්දල් වූ මනස සහිත පුද්ගලයන් විසින්, තම සිතට එන ඕනෑම පහත් සිතුවිල්ලක්, රිසි ආකාරයෙන් හා ගර්හා කටයුතු භාෂාවෙන් ලියන අමු කුණුහරප ගොඩවල් මිස, අන් කවරක්වත් නොවේ. අන්තර්ජාලය තුල ඕනෑම අවල කෙලියක් කෙලීම තම අයිතිය, අභිමානය, අනභියෝගාත්මක පෞරුෂ ප්දර්ශනය ලෙස සිතා සිටින අබ්බ ගොබ්බයන් රැලක් නිසා එහි සැරිසරන නව යොවුන් වියේ පසුවන්නන් නොමග යන්නේ ආපසු ඇද ගැනීමට බැරි තරම් වේගයෙන් එපමණම ඈතකටය. තවමත් වැඩිහිටියන්ගෙන් අතිමහත් බහුතරයකට තොරතුරු තාක්ෂනය ගැන අබමල් රේණුවකවත් දැනුමක් නොමැතිවීම, පරිගණකය ඔස්සේ අනාචාරයේ යන යෞවනයන්ට, අහසට බැඳි ඉනිමගක්ව තිබේ. එහෙත් ඉහලදී ඉනිමග කඩාවැටෙන බව කල්තබා හඳුනාගන්නේ, අතලොස්සක් පමණක් වීම ඉතා අවාසනාවන්තය. අන්තර්ජාලයේ සැරිසැරීම පිලිබඳ මග පෙන්වීමක්, සියලු වයස් කාණ්ඩ වල සියලු දෙනාට විධිමත් පරිදි ලබාදීමට අප දැනටමත් ප්‍රමාද වැඩි බව පෙනේ. භාෂාව වනසමින්, දේශීය සංස්කෘතිකාංග වෙනුවට, අමන බහුරූ කෝලම්, සුපිරි තාරකා ලීලාවෙන්, මුදල් තකා බෙදාදෙන සහ, බස වනසමින් කුණු බසින් අසන්නන් අමතන මාධ්‍ය, පාලනය කල යුතුමය. මෙය නිදහස් මාධ්‍ය තහනමක් නොව භාෂාව සහ සංස්කෘතියට එල්ලවන පහත් පෙලේ ආක්‍රමණ පාලනයක් පමණක් විය යුතුය. අන්තර්ජාල පාලනය සිදුකලයුත්තේ හැකි තරම්, විවෘත සංවාද, අන්තජාලය තුලම බහුලව ප්‍රචලිත කිරීමෙනි.

ඉස්කෝලේ යනකාලේ


මම ශිෂ්‍යයෙක් හැටියට හිටිය කාලෙත්, ගුරුවරයෙක් හැටියට හිටිය කාලෙත්, අමතක නොවන චරිතයක් ගැනයි මේ. එතුමාගේ නම ආරියවංස. අද මම වගේම විශ්‍රාමිකයි. ඉතා උනන්දුවෙන් වැඩ කරන, තමන්ට පැවරෙන ඕනෙම වගකීමක් නැහැ බැහැ නොකියා ඉටු කරන, සරල චාම් උතුම් මනුෂ්‍යයෙක්. එතුමාගේ සමහර ඇවතුම් පැවතුම් අපිව සිනහ ගැන්වූවත්, අපි අද එතුමා දකින්නේ, ඒ සිනහව තුලින් අපව වැඩකිරීමට ආකර්ශනය කරගත් පුද්ගලයකු ලෙසයි. එක වසරක වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙල ලංවුනා. එතුමා ඉතා උනන්දුවෙන් වැඩ. දුරපැනීම සහ උස පැනීම කරන වලට, වැලි සහ ලී කුඩු තොගයක් ගෙන්වාගත යුතුව තිබුනා. එතුමා විදුහල්පති තුමාගේ මේසය මත ඇති දුරකතනයෙන් ඇමතුමක් ගත්තා. (ඒ කාලේ දැන් වගේ අහවල් පෝං තිබුනේ නැත) වැලි පටවන ලොරි අයිති කෙනෙකුටයි කතා කලේ. ඔක්කොම විස්තරය පැහැදිලිව කිව්වා වැලි ගෙන ආයුතූ මාර්ගයත් කිව්වා. අන්තිමට වැලමිට ලඟින් නවා තමන්ගේ දකුණු අත ඔසවා කිව්වා. “හැබැයි මුදාලාලි බලාගෙන ලොරිය අද්දන්නේ, කන්ද මේන්” කියලා. . . . . . . එතුමා වෙලාවකට බොහොම සැරයි. දිනක් එතුමා එක පන්තියකට යනවිට පන්තියේ ළමයි පාසල තුල එහෙ මෙහෙ ගිහින්. හොඳටම කෝපයටපත් එතුමා එක ළමයෙක්ව යැව්වා “ගිහින් ඔක්කොම රස්තියාදු කාරයෝ ටික හොයාගෙන එනවා” කියලා. ඒ ළමයා දුවලා ගිහින් එක එක තැන්වල හිටිය ළමයින්ට පණිවිඩේ කිව්වා. දැන් පන්තියට එන එන එකාට වදිනවා පස්ස පැත්තට කෝටු පාරක්. අන්තිමට ආපු එකාටත් වැදුනා. කොල්ලා පස්ස අත ගගා කියනවා “ඇයි සර් මමනේ පණිවිඩේ අරන් ගියේ” කියලා. එතුමා කිව්වා “ඒකට කමක් නැහැ, තමුසෙලාගේ තාත්තා මට කියලා තියෙන්නේ තමුසෙට හොඳට දඬුවම් කරන්ඩ කියලා” . . . . . . . . . . .ඒ වගේම තමයි පාසලේ ක්‍රීඩා තරග පැවැත්වෙන වෙලාවට, ක්‍රීඩක ක්‍රීඩිකාවන් උනන්දු කරන්ඩ ළමයි පිටියට පැන්නොත්, එතුමා හයියෙන් කෑගහනවා “අයිසේ ගෙට් බැක් පස්සට” කියලා. නියමිත් වයස් සීමා වලට අයත් ළමයින් සොයා ගැනීමේදී එතුමා අහන්නේ ” අයිසේ, තමුසේ අන්ඩර් දාසයෙන් පහලද?” තමුසේ අන්ඩර් දාහතෙන් පහලද?” ආදී වශයෙන්. . . . . . . . එතුමාට දීර්ඝායුෂ ලැබේවා.

20 December 2011

දෙබරයකට ගල් ගසමි 1

බ්ලොග් ලිවීම කලාවක්ද, විද්යාවක්ද, විජ්ජාවක්ද, සෙප්පඩ විජ්ජාවක්ද, නිදහස් අදහස් ප්‍රකාශ කිරීමක්ද, නැතහොත් ඒ සියල්ල සංකලනය වූවක්ද යන්න, දිනකට පැය 10 ක් පමණ අන්තර්ජාලයේ සැරිසරන මට, තවම පසක් නොවූ දෙයකි. සමහරු බ්ලොග් ලියන්නේ තම ආත්මය තුලම කැකෑරෙමින් පවතින, ලෝකය කෙරෙහි ඇති වෛරයක් පිට කරනා අටියෙන් බව පෙනීයයි.
තවත් සමහරු හුදු ජනප්‍රියත්වය (සමහර විට ලාබ ජනප්‍රියත්වය) පතා බ්ලොග්කරණයේ යෙදෙන බව පෙනෙයි. මේ ආකාරයෙන් මුදල් ඉපයීම, මඩ ගැසීම, තමන්ගේ මතවාද අනුන් පිට පැටවීම, ආගම්කරණය, ආදී කෝටි ගණනක් අරමුණු අරබයා බ්ලොග් ලිවීම සිදු වුවද, මේවා කියවන අය පිළිබඳව අබමල් රේණුවක තරම්වත් තැකීමක් නැතිව, ඕනෑම හරුපයක් අමු අමුවේම ඇදබාන බ්ලොග් අඩවි පිළිබඳවනම් ඇතිවන්නේ දැඩි අපුලකි.
එවැනි බ්ලොග් අඩවියක එයට විරුද්ධව අදහස් දැක්වුවහොත් සිදුවන්නේ, බ්ලොග් හිමියාගෙන්ද, ඔහුගේ බ්ලොග් සහචරයන්ගෙන්ද, පහත් මට්ටමේ අපහාස ඇනුම් බැනුම් වලට ලක්වීමටය.
භාෂාව තමන්ට අවැසි ලෙස නම්‍ය කරගැනීම තම අයිතියක් ලෙසත්, ඒ සඳහා කිසිදු රීතියක් අවශ්‍ය නැති බවත් සිතන, එසේම කරමින්, සිංහලයටත් නැති, ඉංගිරිසියට හෝ වෙනත් භාෂාවකටත් නැති, අමුතු හරුප වචන බිහිකර,
පාදඩ භාෂා විලාශයක් බිහි කිරීමේ ප්‍රවනතාවක් ඇති බව, සමහර බ්ලොග් කියවීමේදී පෙනීයයි. අනිවාර්ය යන සිංහල වචනය ‘අනිවා’ ලෙස යෙදීම උදාහරණයකි. මෙලෙස කටයුතු කරමින් සිටින අම්බරු පිරිස මතක තබාගතයුත්තේ ඔවුන් මෙලෙස වනසන්නේ ඔවුන්ගේ (අපේ) දරුවන්ට දීමට ඇති වටිනා දායාදයක් බවයි. යන්තම් විභාගයක් සමත්වීම සඳහා සිංහල ටිකක් උගෙන, කිසිදු බාහිර කියවීමක්, ඇසීමක්, විචාරයක්, සාකච්චාවක් නොකොට, ‘මම ලොක්කෙක්’ සිතුවිල්ල
පමණක් පෙරටුකොටගෙන, භාෂා ඔස්තාද්ලා වීමට වැර දරන, බොහොමයක් අයවලුන්, භාෂා පුස්සන් බව, ඔවුන් ලියන වැකියකින් දෙකකින් මොනවට පැහැදිලි වෙයි. වහරන බසද ලියන බසද මුසුකොට බ්ලොග් ලිවීම වරදක් ලෙස මම නොදකිමි. එහෙත්
කුණු කානු වල ගලන පහත් භාෂා විලාශයෙන් බ්ලොග් ලිවීම, භාෂාවටත්, කියවන්නාගේ මනසටත්, විශේෂයෙන් භාෂාව ඉගෙනගන්න දරුවන්ගේ මනසටත් එල්ල කරන, නීච, නින්දිත, තුච්ඡ, අධම, පහත්, ප්‍රහාරයකි.

17 December 2011

අපි හදන සිංගිරිසි අනාගත සිංහල වෙයිද?

ලෝකයේ සෑම ජාතියක්ම තම මවු බසින් නව වචන සහ යෙදුම් සෑදීම සාමාන්‍ය තත්වයකි. මට මතක හැටියට නම් සිංහල භාෂාවට වචන එක්වන්නේ තත්සම, තත්භව, සහ නිෂ්පන්න යන ක්‍රම වලට අනුවය. මෙම සටහන ව්‍යාකරණ පාඩමක් නොවේ. එහෙත් අප සමාජය විසින් සාදන සමහර වචන හෝ යෙදුම් කොතරම් දුරට කාලෝචිතද? ප්‍රඥාගෝචරද යන්න විමසා බැලියයුතු වන්නේ හේතු රාශියක් නිසාය. මෙවැනි සමහර අමනොඥ යෙදුම් කල්යාමේදී සාමාන්‍යකරණය වීමෙන් භාෂාව විකෘති වීම.
සමහර යෙදුම් සදාචාර සම්පන්න නොවුනද එය සාමාන්‍ය තත්වයයයි පාසල් දරුවන් පවා සිතන්නට පෙළඹීම. අවසාන ප්‍රතිඵලය වශයෙන් දුර්වල, වෙනත් භාෂාවන්හි වචන සහ යෙදුම් වලින් යැපෙන, පහත් මට්ටමේ භාෂාවක් ඉතිරිවීම. පසුගිය කාලය තුල මා කියවූ බ්ලොග් අඩවි වලින් 90% පමණ ඇත්තේ, ඉහත සඳහන් දුර්වල ලක්ෂණ වලින් යුක්ත වූ බ්ලොග් සටහන් ය. (බ්ලොග් යෙදුම් ගැන පසුව වෙනම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි) වසර කීපය තිස්සේ මා නිරීක්ෂණය කළ අවර ගනයේ යෙදුම් කීපය උදාහරණ වශයෙන් දක්වමි.
ඩෙක් එක – ඕඩියෝ/වීඩියෝ කැසට් රෙකෝඩර/ප්ලේයර මෙරටට පැමිණි අවධියේ නිර්මාණය වූ වචනයකි. මෙම උපකරණ වල ‘කැසට් ඩෙක්’ යන්න සටහන්ව තිබීම හා තාක්ෂණික ශිල්පීන් එය යෙදීම අසා සිටීමෙන් ‘ඩෙක්’ යන්න පමණක් කඩාගෙන සමාජයේ ව්‍යවහාර විය. ඉංග්‍රීසි භාෂාවේ ඩෙක් යනු තට්ටුව යන තේරුමයි. එබැවින් කැසට් යන කොටස අතහැර ඩෙක් යනුවෙන් යෙදීම සාවද්‍යය.
කැසට් පීස් – ඕඩියෝ/වීඩියෝ කැසට් හැඳින්වීමට යොදාගන්න සාවද්‍ය වචනයකි. පීස් යනු කෑල්ල යන තේරුම බව නොදන්නෝ මෙම සාවද්‍ය යෙදුම වහරති. බහුතරය වරදවා වටහාගෙන සිටින්නේ ‘කැසට් එක’ යනු කැසට් ධාවනය කරන උපකරණය කියාය. ‘පීස්’ යන අනවශ්‍ය යෙදුම ආවේ එබැවිනි.
‘කොම්පියුටර් කරනවා’ (පරිගණකගත ලිපි සැකසුම), ‘ලන්ච්සීට්’ (කෑම ඔතන කොළ) ‘ත්‍රීවීල්’, (සමහරු දැන් ත්‍රී කොටසද කපා නිකම්ම ‘වීල්’ කියති) තවත් උදාහරණ කීපයකි.

15 December 2011

බ්ලොග් ලෝකයට මගේ පැමිණීම මෙසේ සටහන් කරන වගයි

තනියම ඉගෙනගෙන කරන්නට යන මේ සෙල්ලම කොතරම් දුරට හරියාදැයි තවම කිව නොහැකිය. එහෙත් නොබියව පියවරෙන් පියවර ඉදිරියට යමි. 'අන්තර් ජංජාලය' මට වංකගිරියක් නොවේවා.
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }