අද කාලයේ සිටින, කලාකරුවන් යයි කියාගන්නා සමහර උදවියගේ, වීර වික්‍රමාන්විත ක්‍රියා දෙවැනි වන්නේ, අපි පාසල් යන කාලයේ කියවූ, සුසිල් ප්‍රේමරත්නගේ හෝ බන්ධුල හරිශ්චන්ද්රගේ, මොටාගෙදර වනිගරත්නගේ, ජී එස් ප්‍රනාන්දුගේ නැතහොත් දයා රාජපක්ෂගේ ආකර්ශනීය කතාවක තිබුණු චරිත වලට පමණි. මේ නිර්මාපකයන්ගේ චිත්‍ර කතා සැබවින්ම අප මනසෙහි ආනන්දය තුලින් ප්‍රඥාව බිහිකරන්නට සමත් වූ අතර , එයින් සමහරක කදිමට මවා තුබුණු තිබුණු අද්භූත රසය අදද විඳ ගැනීමට බාධාවක් නැත. (නොකියවූවෝ රට පෙරලා හෝ සොයාගෙන ‘බිලි පූජාව’ ‘රන් දූපත’ ‘දේවස්මිතා’ ‘හුලවාලි’ වැනි චිත්‍ර කතා කියවත්වා) අද සිටින සමහර කලාකරුවන් ශ්‍රී ලංකා යුද හමුදා කොමාන්ඩෝ රෙජිමේන්තුවේ සාමාජිකයන්දැයි සීතෙන අවස්ථාද ඇත. කොමාන්ඩෝ රෙජිමේන්තුවේ ආදර්ශ පාඨය වන්නේ ‘නොහැක්කක් නොමැත’ යන්නය. අද අපි විද්‍යුත් මාධ්‍ය ඔස්සේ අහන දකින කලාකරුවන්ට නොහැක්කේ කුමක්ද? රඟපෑම, ගායනය, මෝස්‌තර නිරූපණය, නිවේදන කටයුතු, ඉවුම් පිහුම්, මැහුම් ගෙතුම්, තරග විනිශ්චය, දේශපාලනය, කලා විචාරය, අධ්‍යක්ෂණය, රූපලාවන්‍යාගාර කටයුතු, විවාහෝත්සව සංවිධානය, මේ ලැයිස්තුව තව කොපමණ දුර යාදැයි මටම සිතාගත නොහැකිය. මොවුන්ගේ මහා දස්කම් විස්කම් අහන දකින විට, අපේ ගාමිණී ෆොන්සේකලා ජෝ අබේවික්රමලා, පුන්‍යා හීන්දෙනියලා, සන්ධ්‍යා කුමාරිලා, අමරදේව, නන්දා මාලනී, වික්ටර්, සනත්, මිල්ටන් (පෙරේරා/මල්ලවාරච්චි) සුනිල් (ශාන්ත/එදිරිසිංහ) ලෙස්ටර්, ධර්මසේන පතිරාජ, එච් ඩී ප්‍රේමරත්න, ප්‍රසන්න විතානගේ, ඈ මෙකී නොකී පරම්පරාව මොන සොකඩයන්දැයි සීතේ.
එකල ගුවන්විදුලියේ, එක වෙළඳ දැන්වීමකටවත් දායකත්වය නොදී, හොඳට හම්බ කරන්ඩ තිබුන අවස්ථා, තම ආත්ම ගෞරවය වෙනුවෙන් මගහැරී කලාකරුවෝ මොන මෝඩයෝද? රූපවාහිනිය පැමිණි පසු එය බදුගෙන, නිෂ්පාදකයන්ගේ පශ්චාද් භාගය අල්ලා වැඳ වැටෙමින්, තම පම්පෝරිය ප්‍රචාරය නොකරගත් ඉහත නම් සඳහන් පරම්පරාවේ කලාකරුවෝ මොන මුග්ධයෝ ද? දැන් සිටින සමහර ඊනියා කලාකරුවන් පිලිබඳව මා විසින් කල නිරීක්ෂණ සමහරක් මෙසේය.
සමහර ගායක/ගායිකාවෝ:- මොවුන්ට කල නොහැකි එකම දෙය ගීත ගායනයයි. සින්දු කියන්නට පුළුවන. ඒ සඳහා තම කට හඬේ ඇති දුර්වලකම් වසාගන්නට, නවීන පරිගණක තාක්ෂණයෙන් උපක්‍රම යෙදිය යුතුය. තනිව අමිශ්‍ර සංගීතය සමග ගායනා කළහොත් සායම් බාල්දියට වැටුන නරියා හා සම වන්නේය. මොවුන් තම නොහැකියාව වසා ගන්නට යොදන මේ බාල බොළඳ තාක්ෂණික උපක්‍රම නිසා, ශබ්දාගාරයකදී, පරිගණක තාක්ෂණයෙන් කල ප්‍රයෝග, වේදිකාවක් මතදී කල නොහැකි බැවින්, හෙළුව එළිවේ. ඊළඟට මොවුන් යොදාගන්නා බාල බොළඳ උපක්‍රමය වන්නේ ‘රූප සින්දු’ මගින් බොළඳ ජනප්‍රියත්වය වඩවා ගැනීමයි. ගීතයේ අදහසට අදාළ නොවන, විකාර රූපී, කාමුක, අශ්ලීල අර්ථ ගැන්වෙන රූප සමුදායකින්, ගීතයක වටිනාකම නොදත්, (භාෂාව, සාහිත්‍යය, සංගීතය, පිලිබඳ මූලික හරයවත් නොදත්) අද පරපුරේ තරුණ සිත් නොමග යවා, මොවුන් ලබන ජනප්‍රියත්වය, ප්‍රසිද්ධියේ ගණිකා වෘත්තියේ යෙදීම හා සාකල්‍යයෙන්ම සමාන වන්නේය.
සමහර නළු නිලියෝ:- මොවුන්ටද කළ නොහැකි එකම දෙය රඟපෑමයි. සමහරු කියන්නේ මම අහවල් මහා අචාරියාගේ ගුබ්බෑයමේ, කුප්පායමේ, අහවල් ‘කැම්පොස්’ එකේ අහවල් ගොම්පස් එකේ නාට්ටිය හා රංගකලාව කෙලෙව්වා කියලාය. ඒක කොරාම ඇතිය. සහජ දක්ෂතා කුසලතා සහ සතතාභ්‍යාසය තුලින් ඔප්නංවා ගතයුතු සතර අභිනයාදී රංගන වින්‍යාසය බල්ලාට ගියාට කමක් නැත. රඟපෑමට ඇති එකම සුදුසුකම පාඨමාලාවේ සැටිපිකේට් එකය. මොවුන් හිතන්නේ රඟපෑම යනු උපාධි හෝ ඩිප්ලෝමා සහතිකයක් මගින් ලබාගෙන කළහැකි රැකියාවක් කියාය. අනෙක් කොටස වන්නේ රූපය පමණක් රඟපෑමට ඇති එකම සුදුසුකම යයි සිතා අවුරුදු කුමාරිගේ පටන් ඕනෑම රූප සුන්දරී තරඟයකින් ජය ලබන සීනි බෝලියන් හා කරාටේ බොඩි බිල්ඩින් ආදියෙන් රඟපෑමට සුදුසුකම් ලබන සීනිබෝලයන් ය. ඉතින් මොවුන් නළු නිළියෝද? මොවුන් ලවා, ගෙවල්වල සිටින බාල බොලඳියන් ඉදිරියේ, රූප පෙට්ටිය මගින් ගංජා අබින් ලෝක මවා පෙන්වන, ටෙලි නාට්ටි කරුවෝ එක්තරා ආකාරයක පිම්පියන් නොවන්නේද? ටෙලි නාට්‍ය දෙක තුනක රඟපෑ එකා, ඊළඟට මතුවන්නේ සිනමා තිරයෙනි. රූපවාහිනිය සහ සිනමාව අතර ඇති වෙනස්කම් පවා හරි හැටි නොදන්නා, හුදු ජනප්‍රියත්වය පමණක් හඹායමින්, ඒ සමගම මෝඩයන් රවටා මුදල් සොයන ‘ටෙලිනාට්ටි’ කාරයෝ, සිනමාවටද පැන අර සීනිබෝල කෑලි යොදවා කරන, දෙකයි පනහේ වැඩ බලන්ඩ, අපේ මිනිස්සු යන්නේ, පවුල් පිටින් වලිගය කරේ තියාගෙනය. ටික දවසක් රඟපෑමේ යෙදෙන මේ සීනිබෝල, ඊළඟට යන්නේ රූපවාහිනී නිවේදන ක්ෂේත්රයටයි. ඒ සඳහා මාධ්‍යයට සුදුසු කටහඬක් අවශ්‍ය නැත. ඒ ක්ෂේත්‍රය පිලිබඳ අධ්‍යයනයක් හෝ අත්දැකීමක් අවශ්‍ය නැත. හැකි තරම් බොළඳ සතපහේ යෙදුම් දැන සිටීම විශේෂ සුදුසුකමකි. ටිකදිනක් රූපලාවන්‍ය වැඩසටහන් මෙහෙයවන මොවුන් නවතින්නේ තමන්ගේම සැලොන් එකක් දමාගෙනය. බලනකොට රූපලාවන්‍යය පිලිබඳ වන් ඉයර් (වන්නියේ ?) පාඨමාලාවකුත් ඔය අල්ල පනල්ලේ කොරලාය. දැන් ඉති හොඳ මහත්තයෙකුත් ලැබෙයි. බිස්නස් සරුය. ගොනාට අඳින්ඩ එන පිරිස වැඩිවෙයි. දැන් රූපවාහිනියට පැමිණ රඟපෑමේ සිට රූපලාවන්‍යය දක්වා උපදෙස් දීමද ගැටපිස්මේන්තු මැහුම් පාඨමාලාවේ සිට සියලු ‘කුණු ඉස්ටාර්’ තරග විනිශ්චයද කරන්නට කාලය හරිය. මොකද, පිටියෙන් ඉවතට විසි කරන පැලීගිය පන්දුවක් මෙන් විසිවෙන්නට පෙර, තවත් කීයක් හෝ හම්බ කරගතයුතු නිසාය. හේතුව කුමද? මාධ්‍ය ප්‍රචාරය නැතිවූදාට තමන් නිකම් පොල්ලෙල්ලක් බව තමන්ම හොඳින් දන්නා නිසාය. තමන් ක්ෂේත්‍රයේ රැඳවී සිටියේද මාධ්‍යයෙන් කල පිම්බීම නිසා මිස තම දක්ෂතා හෝ කුසලතා මත නොවන බව දන්නා නිසාය. මොවුන් විවිධසේවා තම+උපකාර = තමෝපකාර වන්නේ එබැවිනි.
No comments :
Post a Comment