මම මුලින්ම යුද පුහුණුවට ගියේ 1981 වසරේදී. අපේ කණ්ඩායම 150 ක් විතර හිටියා. දියතලාවේ කඳවුරේ තමයි පුහුණු වුනේ. සමහර අයට ලැබෙන නිල ඇඳුම් ඇඟට හිර වැඩියි. සමහර අයට ලැබෙන ඒවා මහා බාච්චු ඇඳුම්. දවසක් ඒ වගේ විසාල ඇඳුමකුත් ඇඳගෙන තමයි මගේ කණ්ඩායමේ සාමාජිකයෙක් සරඹ පිටියට ආවේ. එක පුහුණු උපදේශකයේ එයා දිහා බලල ඉතා වැදගත් විදිහට (හිනා නොවී) කිව්වා, “හා ‘සරලාබායි’ ත් ඇවිල්ල ඉන්නේ ට්‍රේනින් වලට” කියලා.
එක දවසක් අපි දවස පුරා කඳු වලයි, කැලෙයි, බඩගාලා, සටන් පුහුණුව ලබලා, සරාගොයියලා වගේ තුවක්කුත් කරේ තියාගෙන ආපහු කඳවුරට එනවා. දියතලාවේ වන වදුලු වල තියන රසවත් ඇඹුල් පෙර කඩාගෙන කමින් තමයි අපි ආවේ. කඳවුරට ආසන්න වෙනකොට අපි දැක්කා, සුදුම සුදු සුන්දර තරුණ කාන්තාවක්, රතුපාට හිරට හිරේ ගවුමක් ඇඳගෙන, නිතඹ ලෙලවමින් මිහිකත සනහමින්, හංස ලීලාවෙන් ගමන් කරනවා. මට නොදැනීම මගේ අතේ තිබුන ඇඹුල් පෙර ගෙඩියක් නියපිටින් පැන, උඩින්ම ගොස්, ඇගේ සැලෙන ලෙලෙන නිතඹේ වැදුනා. අපේ කණ්ඩායමේ අය හඬනගා සිනාසුනත් අයගේ මුහුණේ ඉරියවු වල කිසිදු වෙනසක් වූයේ නැහැ. කඳවුරට පැමිණි අපි ජලස්නානයෙන් පසු රාත්‍රී අහාරයට පෙර යමක්ද කර, අහාරයෙන් පසු නිවස්නයට ආවා. රාත්‍රී 10 ට පමණ, පුහුණු උපදේශකයන් පැමිණ, අපේ නිවස්නයේ දොරවල් වලට තඩිබාමින්, මහා හඬින් කෑගැහුවා සියලු දෙනා වහාම සම්පූර්ණ යුද ඇඳුමෙන් (යකඩ හිස්වැස්ම, පිටේ එල්ලන ලොකු මල්ල ආදී බර ඇඳුමක්) (F.S.M.O. = Field Service Marching Order) සැරසී සරඹ පිටියේ පෙළ සාදන ලෙස. ඉන්පසු පාඨමාලාව බාර ප්‍රධාන උපදේශක තුමා පැමිණ අප ඇමතුවා, “පුංචි මහත්වරු අද වීරක්රියාවක් කරලා තියනවා, අපේ රෙජිමේන්තු විධායක අධිකාරිගේ (මුළු රෙජිමේන්තුවේම විනය හා පරිපාලනය භාර නිලධාරියා Regimental Adjutant) බිරිඳ, පාරේ යනවිට, නොහොබිනා විහිළුවක් කර තිබෙනවා, ඔච්චර අමාරුවක් තියනවනම් අයිනකට ගිහින් . . . . . . . . . . . . .(අම්මෝ ඒකනම් අහන්ඩ එපා) හොඳයි, මම විනාඩියක් දෙනවා වැරැද්ද කල කෙනාට ඉදිරියට එන්ඩ. එවිට ඔහුට පුළුවන් ඒ මැඩම් හම්බවෙලා සමාව ගන්ඩ” නමුත් අපි අත්දැකීමෙන් දන්නවා සමාව ගැනිල්ල කොහොම වෙතත් ඔක්කොම බඩු පැක් කරගෙන පහුවදා උදේ ගෙදර යන්ඩ පුළුවන් කියලා. අපි සද්ද නැතුව හිටියා. ඊළඟට ප්‍රධාන උපදේශක තුමා පුහුණු උපදේශක වරුන්ට නියෝග කරා අපිට දඬුවම් සරඹ (Pack Drill) කරවන ලෙස. දියතලාවේ සීතල රත් වුනේ එදා. අපිට ඒ කාලයේ පුහුණුව සඳහා ලැබුනේ දැන් තියන T 56 අවියට වඩා හුඟක් බර .303 රයිෆලය . අපිව අරන් ගියා පාරට. පිටේ මලුවල බර වැඩිවෙන්ඩ ගල් දැම්මා, රයිෆලය අත්දෙකෙන් උඩට උස්සගෙන දුවන්ඩ කිව්වා, පහුවෙන අයව පිටුපසින් එන ට්‍රක් එකකින් හප්පනවා යට නොවෙන ගානට. ඊළඟට විවිධ පිනුම් ගැස්සුවා, සෑහෙන දෙනෙක් වමනේ දැම්මා, ඊටත් පස්සේ ඇහුවා දැන්වත් ඇත්ත කියන්ඩ කියලා. අපේ වීර කොල්ලෝ නෙවෙයි කට හෙල්ලුවේ. අන්න නියම සමගිය. පාන්දර වෙනකල් වද දීලා අපිව අතෑරියා. අපරාදේ කියන්ඩ බෑ, අපේ කට්ටිය, ආපහු නිවස්නයට එනගමන්, මට හොඳ උපහාර උළෙලක් පැවැත්තුවා හොඳම වචන වලින්.
No comments :
Post a Comment