බ්ලොග් ලිවීම කලාවක්ද, විද්යාවක්ද, විජ්ජාවක්ද, සෙප්පඩ විජ්ජාවක්ද, නිදහස් අදහස් ප්‍රකාශ කිරීමක්ද, නැතහොත් ඒ සියල්ල සංකලනය වූවක්ද යන්න, දිනකට පැය 10 ක් පමණ අන්තර්ජාලයේ සැරිසරන මට, තවම පසක් නොවූ දෙයකි. සමහරු බ්ලොග් ලියන්නේ තම ආත්මය තුලම කැකෑරෙමින් පවතින, ලෝකය කෙරෙහි ඇති වෛරයක් පිට කරනා අටියෙන් බව පෙනීයයි.
තවත් සමහරු හුදු ජනප්‍රියත්වය (සමහර විට ලාබ ජනප්‍රියත්වය) පතා බ්ලොග්කරණයේ යෙදෙන බව පෙනෙයි. මේ ආකාරයෙන් මුදල් ඉපයීම, මඩ ගැසීම, තමන්ගේ මතවාද අනුන් පිට පැටවීම, ආගම්කරණය, ආදී කෝටි ගණනක් අරමුණු අරබයා බ්ලොග් ලිවීම සිදු වුවද, මේවා කියවන අය පිළිබඳව අබමල් රේණුවක තරම්වත් තැකීමක් නැතිව, ඕනෑම හරුපයක් අමු අමුවේම ඇදබාන බ්ලොග් අඩවි පිළිබඳවනම් ඇතිවන්නේ දැඩි අපුලකි.
එවැනි බ්ලොග් අඩවියක එයට විරුද්ධව අදහස් දැක්වුවහොත් සිදුවන්නේ, බ්ලොග් හිමියාගෙන්ද, ඔහුගේ බ්ලොග් සහචරයන්ගෙන්ද, පහත් මට්ටමේ අපහාස ඇනුම් බැනුම් වලට ලක්වීමටය.
භාෂාව තමන්ට අවැසි ලෙස නම්‍ය කරගැනීම තම අයිතියක් ලෙසත්, ඒ සඳහා කිසිදු රීතියක් අවශ්‍ය නැති බවත් සිතන, එසේම කරමින්, සිංහලයටත් නැති, ඉංගිරිසියට හෝ වෙනත් භාෂාවකටත් නැති, අමුතු හරුප වචන බිහිකර,
පාදඩ භාෂා විලාශයක් බිහි කිරීමේ ප්‍රවනතාවක් ඇති බව, සමහර බ්ලොග් කියවීමේදී පෙනීයයි. අනිවාර්ය යන සිංහල වචනය ‘අනිවා’ ලෙස යෙදීම උදාහරණයකි. මෙලෙස කටයුතු කරමින් සිටින අම්බරු පිරිස මතක තබාගතයුත්තේ ඔවුන් මෙලෙස වනසන්නේ ඔවුන්ගේ (අපේ) දරුවන්ට දීමට ඇති වටිනා දායාදයක් බවයි. යන්තම් විභාගයක් සමත්වීම සඳහා සිංහල ටිකක් උගෙන, කිසිදු බාහිර කියවීමක්, ඇසීමක්, විචාරයක්, සාකච්චාවක් නොකොට, ‘මම ලොක්කෙක්’ සිතුවිල්ල
පමණක් පෙරටුකොටගෙන, භාෂා ඔස්තාද්ලා වීමට වැර දරන, බොහොමයක් අයවලුන්, භාෂා පුස්සන් බව, ඔවුන් ලියන වැකියකින් දෙකකින් මොනවට පැහැදිලි වෙයි. වහරන බසද ලියන බසද මුසුකොට බ්ලොග් ලිවීම වරදක් ලෙස මම නොදකිමි. එහෙත්
කුණු කානු වල ගලන පහත් භාෂා විලාශයෙන් බ්ලොග් ලිවීම, භාෂාවටත්, කියවන්නාගේ මනසටත්, විශේෂයෙන් භාෂාව ඉගෙනගන්න දරුවන්ගේ මනසටත් එල්ල කරන, නීච, නින්දිත, තුච්ඡ, අධම, පහත්, ප්‍රහාරයකි.
No comments :
Post a Comment